වෙබ් ලිපිනය:

Showing posts with label ලංවිම. Show all posts
Showing posts with label ලංවිම. Show all posts

Sunday, March 8, 2026

ලංවිම වෙන්වීම සහ වෙළඳපොළට ලංවීම


ලංකා විදුලිබල මණ්ඩලය සිය වසර පණස් හතක දිවි සැරිය නිමා කරමින් අද (2026 මාර්තු 8) අවසන් ගමන් යනවා. එසේ කරන්නේ හෙට සිට බිහිවන සහ පසුව බිහිවීමට නියමිත දරු මුණුපුරන් ගණනකට අවස්ථාව ලබා දෙමින්. මෙය ඕනෑවට වඩා බොහෝ සේ කල් පසු වී ඇති ශ්‍රී ලංකා විදුලි බල කර්මාන්තයේ අපේක්ෂිත ප්‍රතිසංස්කරණ හා අදාළව සුවිශේෂී සන්ධිස්ථානයක්. 

දහ නවවන සියවසේ අවසානයේදී ලංකාවට මුලින්ම විදුලි බලය හඳුන්වා දෙනු ලැබූයේ පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙනුයි. මුල් කාලයේදී විදුලි බල සැපයුම සිදු වුනේද පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන්. එහෙත් කාලයත් සමඟ මේ කාර්යය රාජ්‍ය ඒකාධිකාරයක් බවට පත් වුනා.

ලංවිම පිහිටුවනු ලැබූ 1969 වසරේ සිට 1995 දක්වා වසර 26ක් රටේ විදුලි ජනනය මුළුමනින්ම සිදු වූයේ ලංවිම ඒකාධිකාරයක් යටතේයි. එහෙත්, 1995 වසරේ දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දීමෙන් අනතුරුව පෞද්ගලික අංශයටද විදුලි ජනනය සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීමට සිදු වුනා. 

ඉන් පසුව, මෑතකදී රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හා ගැට ගැසී තිබුණු විදුලි අර්බුද කාලයේදී කුඩා පරිමාණ සූර්ය විදුලි නිෂ්පාදකයින් විශාල පිරිසක් මේ කාර්යයට සම්බන්ධ වුනා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2024 වසර අවසන් වන විට රටේ විදුලි ජනන ධාරිතාවයෙන් ලංවිම පංගුව 55%කට සීමා වී තිබෙනවා. ලංවිම සතු ජනන මධ්‍යස්ථාන 29කින් රටේ විදුලි බල සැපයුමෙන් 66%ක් සපයද්දී පෞද්ගලික නිෂ්පාදකයින් 346 දෙනෙකු සහ වහල මත සවි කර ඇති සූර්ය විදුලි ජනක 93,064කින් ඉතිරි කොටස සපයනවා. 

විදුලිය බෙදා හැරීම හා අදාළව ලංවිම සතු වූ ඒකාධිකාරය අවසන් කරමින් 1983දී ලෙකෝ සමාගම පිහිටුවනු ලැබුවත්, එම සමාගමද රාජ්‍ය සමාගමක්. ඉන් පසුව, ලෙකෝ සමාගම සහ ලංවිම ඒකක හතරක් අතර කලාප පහක් ලෙස වෙන් කර රටේ විදුලිය බෙදා හැරීමේ කටයුතු සිදු වුනා. කෙසේ වුවද, සම්ප්‍රේෂණය සහ පද්ධති පාලනය මුළුමනින්ම සිදු වූයේ ලංවිම යටතේයි. 

හෙට සිට මෙතෙක් ලංවිම යටතේ සිදු වූ විදුලි ජනනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ පද්ධති පාලනය අලුතෙන් පිහිටුවනු ලබන වෙන වෙනම සමාගම් වෙත පැවරෙන අතර ලංවිම වත්කම් එම සමාගම් අතර බෙදා හරිනු ලැබෙනවා. 2025 අවසන් වන විට ලංවිම සතු වූ වත්කම් වල වටිනාකම රුපියල් බිලියන 1,326.5ක්. 

ඉහත සඳහන් වත්කම් ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක් පමණ වන විශාල වත්කම් ප්‍රමාණයක් වුවත් මේ අයුරින් ආයෝජනය කර තිබෙන මහජන ධනය වෙනුවෙන් කොපමණ ප්‍රතිලාභ ලැබී ඇත්ද යන්න ප්‍රශ්නයක්. පසුගිය 2025 වසර තුළද ලංවිම විසින් රුපියල් බිලියන 38.7ක අලාභයක් වාර්තා කළා. යෝජිත ප්‍රතිසංස්කරණ වලින් පසුව මෙම තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරෙනවා. 

මේ අයුරින් ලංවිම කොටස් කරනු ලැබුවද, ඒ හේතුවෙන් පාරිභෝගිකයින්ගේ පැත්තෙන් ක්ෂණික බලපෑමක් සිදු වන්නේ නැහැ. එහෙත්, මේ මගින් යෝජිත ජාතික විදුලි බල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවකාශ ලැබෙන අතර ඒ යටතේ ඉදිරි කාලයේදී වෙළඳපොළ හිතවාදී ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව, ඉදිරි කාලයේදී තරඟකාරී මිලකට විදුලිය මිල දී ගැනීම පිළිබඳව පාරිභෝගිකයින්ට යම් බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්. 

මෙයින් අනතුරුව මෙතෙක් ලංවිම යටතේ සිදු වූ විදුලි ජනන කටයුතු සිදු වන්නේ ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා පුද්ගලික සමාගම යටතේයි. තව දුරටත් රාජ්‍ය අයිතිය යටතේ ඇති සමාගමක් වුවද, මෙම සමාගමටද අනෙකුත් පෞද්ගලික විදුලි බල නිෂ්පාදකයින් මෙන්ම, ගිවිසුම් යටතේ තොග වශයෙන් විදුලිය විකිණීමට සිදු වෙනවා. එක් සමාගමක් යටතේ වුවද, එක් එක් විදුලි ජනන මධ්‍යස්ථානය සඳහා වෙන වෙනම ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බැවින් පසුකාලීනව මෙම ඒකක වෙන් කිරීම වුවද වඩා පහසුවෙන් සිදු කළ හැකිව තිබෙනවා. 

දැනට ලංවිම කොටස් හතරක් යටතේ සිදු වන විදුලිය බෙදා හැරීමේ කටයුතු ඉදිරියේදී සිදු වන්නේ ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පුද්ගලික සමාගම යටතේයි. එම සමාගම් යටතේ ඇති කොටස් හතරට සහ ලෙකෝ සමාගමට ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා පුද්ගලික සමාගම ඇතුළු විදුලි නිෂ්පාදකයින්ගෙන් තොග වශයෙන් විදුලිය මිල දී ගෙන සිල්ලරට බෙදා හැරීමේ කටයුත්ත කරන්නට සිදු වෙනවා. කෙසේ වුවද, ආරම්භයේදී පාරිභෝගිකයින්ට තමන්ගේ විදුලි බල සැපයුම්කරු තෝරා ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 

ඉහත සමාගම් දෙකටත්, පද්ධති පාලනය සහ සම්ප්‍රේෂණ කටයුතු සිදු කිරීම සඳහා පිහිටුවා ඇති සමාගම් දෙකටත්, ඔවුන් වෙත පවරා ඇති වත්කම් වෙනුවෙන් අවම වශයෙන් 2%ක ප්‍රතිලාභයක් ලබා දීමට සිදු වෙනවා. මෙවැනි ඉතා අඩු ප්‍රතිලාභ අනුපාතිකයක් යෝජනා කර තිබෙන්නේ වෙනස් වන තත්ත්වය යටතේ රාජ්‍ය අංශයට පෞද්ගලික අංශය සමඟ තරඟ කිරීම පහසු කිරීමේ අරමුණින් විය යුතුයි. 

ඉදිරි කාලයේදී සූර්ය විදුලි බලය නිපදවන්නන්ට මෙතෙක් ලැබුණු සහනාධාරය ක්‍රමයෙන් ඉවත්ව යන අතර ඔවුන් නිපදවන අතිරික්ත විදුලිය මිල දී ගනු ලබනු ඇත්තේද තරඟකාරී මිල ගණන් යටතේයි. එමෙන්ම, එක් එක් කාණ්ඩයේ පාරිභෝගිකයන්ට පිරිවැය හා ගැලපෙන විදුලි ගාස්තුවක් ගෙවීමට සිදු වෙනවා. එහිදී විදුලි නිෂ්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම වෙනුවෙන් ඔවුන්ට ගෙවන්නට සිදු වන මිල මෙන්ම රජයට ගෙවිය යුතු බදුද ඔවුන්ට වෙන වෙනම දැනගන්නට ලැබෙනවා. ඊට අමතරව වීදි ලාම්පු දැල්වීම ආදී පොදු කටයුතු වල පිරිවැය වෙනුවෙන්ද විදුලි පාරිභෝගිකයින්ට යම් ගාස්තුවක් ගෙවන්නට සිදු වෙනවා. 

කෙසේ වුවද, අවප්‍රසාදිත කොටස් වලට තව දුරටත් රජයෙන් සහනාධාරයක් හිමි වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ එම සහනාධාරයේ බර අනෙකුත් විදුලි පාරිභෝගිකයින් මත නොපටවා රජයේ අයවැයෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමයි. සහනාධාරයක් හිමි විය යුතු සේ දැනට හඳුනාගෙන තිබෙන්නේ මසකට විදුලි ඒකක තිහ නොඉක්මවා පරිභෝජනය කරන නිවාස ඒකකයි. 

මෙම යෝජිත ප්‍රතිසංස්කරණ සියල්ල අවසන් වීමට යම් කාලයක් ගත විය හැකියි. කෙසේ වුවත්, මෙය අවශ්‍ය දිශාවට තබා ඇති නිවැරදි පියවරක්. 

Thursday, March 5, 2026

ලංවිම කෝටි 3,874ක් පාඩු ලබයි!


පසුගිය (2025) වසර තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 38,740ක (කෝටි 3,874ක) අලාභයක් වාර්තා කර තිබෙනවා. අවසන් කාර්තුවේ අලාභය පමණක් රුපියල් මිලියන 29,160ක්. පෙර (2024) වසර තුළ ලංවිම විසින් රුපියල් මිලියන 141,605ක ලාභයක් වාර්තා කර තිබුණා. 

අනෙකුත් පිරිවැය අඩු කරන්නට පෙරම රුපියල් මිලියන 26,163ක මෙහෙයුම් අලාභයක් වාර්තා වී ඇති තිබෙන්නේ පෙර වසරේදී ලංවිම විසින් රුපියල් මිලියන 109,910ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබුණු පසුබිමකයි. මේ අයුරින් මෙහෙයුම් ලාබය අලාබයක් වී තිබියදී, පරිපාලන වියදම් පෙර වසරට වඩා 50%කින් ඉහළ ගොස් තිබෙනවා. 

මේ වසරේ අලාභය එකතු වීමෙන් පසුව ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 462,541 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ලංවිම විසින් පසුගිය වසර ඇතුළත මෙවැනි පාඩුවක් වාර්තා කර තිබෙන්නේ මෑතකදී සිදුව ඇති ගල් අඟුරු ගණුදෙනුවේ පාඩුව එකතු වීමට පෙරයි. එම ගණුදෙනුවේ පාඩුවේ බලපෑම මෙන්ම, ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමේ ඉඩකඩද නිසා මෙම වසරේ ලංවිම පිරිවැය තවත් ඉහළ යා හැකි බව පැහැදිලියි. ඒ අනුව, මෙම වසර තුළ සැලකිය යුතු විදුලි ගාස්තු ඉහළ යාමක් සිදු නොවන්නේනම්, ලංවිම අලාභ තවත් ඉහළ යාම නොවැලැක්විය හැකියි. 

Saturday, May 17, 2025

ලංවිම - ලංවීම හා දුරස්වීම


ලංවිම නැවතත් පාඩු ලබන තත්ත්වයට පත් වී ඇති බව නැවත සටහන් කළ යුතු නැහැ. මේ ගැන කිහිප දෙනෙකු විසින්ම දැනටමත් කතා කර තිබෙනවා. මේ සටහන එසේ වෙනත් අය විසින් ලියා ඇති දේවල් වලට ඌණ පූරණයක්.

ලංවිම කියන්නේ කාලයක් තිස්සේ දිගින් දිගටම පාඩු ලැබූ ආයතනයක්. 2023 වසරේදී රුපියල් බිලියන 57.6ක ලාබයක් වාර්තා කරන්නට පෙර ලංවිම විසින් අවසන් වරට ලාබ ලැබුවේ 2015 වර්ෂයේදීයි. ඉන් පසුව, දිගින් දිගටම වසරින් වසර පාඩු වාර්තා වුනා. 2022 වසරේ අලාභය පමණක් රුපියල් බිලියන 298.2ක් වූ අතර, ඒ සමඟම ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 602.9 දක්වා ඉහළ ගියා. 

මෙහිදී අප ලාබ සේ හඳුන්වන්නේ ගිණුම්කරණ ලාබ මිස ආර්ථික ලාබ නෙමෙයි. ගිණුම්කරණ ලාබ හැම විටම ආර්ථික ලාබ වන්නේ නැහැ. ගිණුම්කරණ ලාබ ආර්ථික ලාබ වන්නේ ප්‍රාග්ධනයේ පිරිවැයද ආවරණය කිරීමට තරම් එම ගිණුම්කරණ ලාබ ප්‍රමාණවත් වන්නේනම් පමණයි. උදාහරණයක් ලෙස, 2023ට පෙර ලංවිම විසින් අවසන් වරට ලාබ ලැබූ 2015දී ලැබූ ගිණුම්කරණ ලාබය ඒ වන විට එහි යොදවා තිබූ පොදු අරමුදල් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 5.1%ක් පමණයි. නමුත් එම වසරේදී රජය විසින් භාණ්ඩාගාර බිල්පත් ණය සඳහා 7.30%ක පොලියක් ගෙවුවා. එයින් අදහස් වන්නේ එම වසර තුළදී වුවද, ලංවිම විසින් ආර්ථික ලාබ නොලැබූ බවයි. ඇත්තටම වුනේ පාඩුවෙන් කොටසක් වෙනත් තැනක සටහන් වීමයි. 

2022 අවසාන වන විට ලංවිම තුළ ආයෝජනය කර තිබුණු පොදු අරමුදල් ප්‍රමාණය රුපියල් බිලියන 865.2ක්. මේවා එක්කෝ දැනටමත් ගෙවා ඇති බදු මුදල්. එසේ නැත්නම් පොලියද සමඟ අනාගතයේදී බදුගෙවන්නන්ට ගෙවන්නට සිදු වන මුදල්. ලංවිම විසින් මෙම අරමුදල් වෙනුවෙන් බදු ගෙවන්නන්ට එක සතයක හෝ ප්‍රතිලාභයක් උපයා දී තිබුණේ නැහැ. ඇත්තටම සිදු වී තිබුණේ මෙසේ යෙදවූ ප්‍රාග්ධනයෙන් රුපියල් බිලියන 602.9ක්ම ලංවිම විසින් නැති කර දැමීමයි. මෙසේ නැති කරගත් මුදල් බදුගෙවන්නන් වෙනුවෙන් ලංවිමටම කවදා හෝ උපයාගන්නට සිදු වෙනවා.

රුපියල් බිලියන 57.6ක ගිණුම්කරණ ලාබයක් ඉපයූවද, ව්‍යාපාරික කටයුතු කරගෙන යාම සඳහා 2023 වසර තුළ  ලංවීමට තවත් රුපියල් බිලියන 126.3ක පොදු අරමුදල් ප්‍රමාණයක් පොම්ප කරනු ලැබුවා. ඒ අනුව, ලංවිම තුළ පොදු අරමුදල් ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 991.4 දක්වා ඉහළ ගියා. පසුගිය (2024) වසරේදී රුපියල් බිලියන 148.6ක ලාබයක් ලැබීමෙන් පසුවද, තවමත් එහි ආයෝජනය කර ඇති පොදු අරමුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 991.4 නැවත ගොඩ නගාගන්නට ලංවිම විසින් සමත්ව නැහැ. 2024 අවසාන වන විටද ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 402.6ක් වුනා. 

දැන්, මෙම (2025) වසරේ පළමු කාර්තුවේදී ලංවිම විසින් නැවතත් රුපියල් බිලියන 18.5ක පාඩුවක් වාර්තා කරන්නේ මෙවැනි පසුබිමකයි. ඒ අනුව, රුපියල් බිලියන 602.9 මට්ටමේ තිබී, පසුව රුපියල් බිලියන 402.6 දක්වා පහත වැටී තිබුණු, ලංවිම සමුච්ඡිත අලාබය රුපියල් බිලියන 421.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ලංවිම නැවතත් පාඩු ලබන තත්ත්වයට පත් වීමට ප්‍රධානම හේතුව එහි දළ අලාබය හෙවත් විදුලිය විකුණා ලබා ඇති ආදායම සහ විදුලිය නිපදවීමේ පිරිවැය අතර ඇති වෙනසයි. මෙම දළ අලාබය (රුපියල් බිලියන 18.2) එහි සමස්ත අලාබයට (රුපියල් බිලියන 18.5) ආසන්නව සමානයි. 

2025 පළමු කාර්තුව 

විදුලිය විකුණා ලැබූ ආදායම - රුපියල් බිලියන 93.9

නිෂ්පාදන වියදම - රුපියල් බිලියන 112.1

දළ අලාබය - රුපියල් බිලියන (-18.2)

අපට මෙම තත්ත්වය 2024 පළමු කාර්තුව හා සැසඳිය හැකියි. ගිණුම් වාර්තා වලද කාර්තුවක මූල්‍ය තත්ත්වය සසඳන්නේ පෙර වසරේ අදාළ කාර්තුව තුළ පැවති තත්ත්වය සමඟයි.

2024 පළමු කාර්තුව 

විදුලිය විකුණා ලැබූ ආදායම - රුපියල් බිලියන 167.8

නිෂ්පාදන වියදම - රුපියල් බිලියන 105.0

දළ ලාබය - රුපියල් බිලියන 62.8

මූල්‍ය වාර්තා වලම සඳහන්ව ඇති පරිදි, පිරිවැය 6.8%කින් ඉහළ ගොස් ඇති අතර ආදායම 44.0%කින් පහත වැටීමේ ප්‍රතිඵලයක් ලෙස ලංවිම නැවතත් ගිණුම්කරණ අලාබ ලබන තත්ත්වයට පත් වී තිබෙනවා. 

මෙහි "කාමරයේ සිටින අලියා" විදුලි ගාස්තු අඩු කිරීම බව ඉතාම පැහැදිලි කරුණක්. නමුත් ඒ ගැන කතා කරන්නට පෙර අපි පිරිවැය කොටස ගැන විමසා බලමු. 

ආයතනයක නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතු දෙකක් නිසා සිදු විය හැකියි. පළමුවැන්න ඒකක පිරිවැය ඉහළ යාමයි. දෙවැන්න නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය ඉහළ යාමයි. සාමාන්‍යයෙන් වසරෙන් වසර ලංවිම නිෂ්පාදනය ඉහළ යන නිසාත්, පිරිවැය ඉහළ යාම 6.8%ක් පමණක් නිසාත් මේ කරුණ වැදගත්. 

මෙම වසරේ පළමු කාර්තුව තුළ ලංවිම විදුලි ඒකක අලෙවිය පිළිබඳව හරියටම නිවැරදි තොරතුරු සොයා ගැනීමට හැකි වූයේ නැහැ. මහජන උපයෝගීතා කොමිසමේ වෙබ් අඩවියේ ඇති දෛනික ජනන දත්ත වාර්තා අනුව, 2024 පළමු කාර්තුව තුළ ලංවිම විසින් විදුලිය ගිගාවොට් පැය 3,833.71ක් ජනනය කර ඇති අතර 2025 පළමු කාර්තුව ඇතුළත වීදුලිය ගිගාවොට් පැය 3,832.42ක් ජනනය කර තිබෙනවා. මෙම ගණන් ආසන්නව සමානයි. වසර තුළ විදුලි ජනනය ඉහළ ගොස් තිබෙන්නේ 0.2%කින් පමණයි.

සාමාන්‍ය කරුණක් ලෙස අලෙවි කරන විදුලි ඒකක ප්‍රමාණය ජනනය කරන ප්‍රමාණයට සමානුපාතික විය යුතුයි. මෙම ජනන වාර්තා අසම්පූර්ණ විය හැකි වුවත්, ඒවා මත පදනම්ව නිගමනය කළ හැක්කේ ලංවිම විසින් අලෙවි කර ඇති විදුලි ඒකක ප්‍රමාණයෙහි සැලකිය යුතු වෙනසක් සිදු වී නොමැති බවයි. ඒ අනුව, සිදුව ඇති බව පෙනෙන්නේ ඒකක පිරිවැය 6.6%කින් පමණ ඉහළ යාමයි. ඊට හේතු මොනවාද කියා මා විසින් විශ්ලේෂණය කර නැහැ. 

අලෙවි කළ විදුලි ඒකක ප්‍රමාණයේ වෙනසක් දැකිය නොහැකි නිසා ආදායම පහත වැටීමට හේතුව තනිකරම මෙන් ඒකක මිල පහත වැටීම බව පැහැදිලියි. මෙසේ මිල පහත වැටීම එකවර සිදු වූ දෙයක් නෙමෙයි. 

පසුගිය වසරේ මාර්තු මාසයේදී (2024 මාර්තු 5 සිට) විදුලි ගාස්තු 21.9%කින් පහත දමනු ලැබූ අතර, ඉන් පසුව, 2024 ජූලි 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් 22.5%කින් පහත හෙළනු ලැබුවා. ඉන් පසුව, මෙම වසරේ ජනවාරි මාසයේ සිට (2025 ජනවාරි 17) තවත් 20%කින් විදුලි ගාස්තු අඩු කරනු ලැබුවා. 

පසුගිය වසරේ පළමු කාර්තුව තුළ ලංවිම විසින් සැලකිය යුතු ආදායමක් ලබන්නේ ඉහත පළමු ගාස්තු අඩු කිරීම සිදුව තිබියදී වුවත්, එම ගාස්තු වැඩි වීම සිදු වන්නේ මාර්තු මාසයේදී බැවින් එයින් මණ්ඩලයේ ආදායමට සිදු වන බලපෑම 6.3%ක් පමණයි. ඉතිරි 15.6% ආදායම කෙරෙහි බලපාන්නේ ඉන් පසුවයි. 2024 පළමු කාර්තුවේදී ලැබු රුපියල් බිලියන 167.8ක ආදායමෙන් 15.6%ක් අඩු වූ විට එය රුපියල් බිලියන 141.6ක් වෙනවා. එයින් තවත් 22.5%ක් අඩු වූ විට මෙම ආදායම රුපියල් බිලියන 109.8 දක්වා පහත වැටෙනවා. 

ඒ අනුව, මෙම වසරේ ජනවාරි වන විට පැවතුණේ විදුලිය නිපදවීමේ පිරිවැය 6.6%කින් ඉහළ යාමෙන් පසුවද එම පිරිවැය ආවරණය කරගෙන දළ ලාබයක් ලැබිය හැකි තත්ත්වයක්. ලංවිම පාඩු ලබන තැනට වැටෙන්නේ ජනවාරි මාසයේදී සිදු කළ 20%ක ගාස්තු සංශෝධනය හේතුවෙනුයි. මෙය ඒ තරම්ම සංකීර්ණ නැති, සරල අංක ගණිතයක්.

මෙම වසරේ පළමු කාර්තුවේ අලාබය තුළද ගාස්තු අඩු කිරීම මුළුමනින්ම නිරූපණය වී නැහැ. එහි තිබෙන්නේ 16.3%ක බලපෑමක් පමණයි, ඉතිරි 3.7% බලපානු ඇත්තේ දෙවන කාර්තුවේදීයි. ඉහත සඳහන් රුපියල් බිලියන 109.8 ඇස්තමේන්තුවෙන් 16.3%ක් අඩු කර, 0.2% නිෂ්පාදන වර්ධනයද සැලකූ විට ලැබෙන පිළිතුර රුපියල් බිලියන 92.1ක්. 2024 පළමු කාර්තුව තුළ ලංවිම විසින් උපයා ඇති ආදායම රුපියල් බිලියන 93.9ක්. විවිධ කාණ්ඩ වල මිල අඩු වීම් වෙනවෙනම නොසලකා දළ ගණනයක් කිරීමෙන් පසුවද මේ ඇස්තමේන්තු ඉතාම ආසන්නයි. මේ අනුව, මේ අයුරින් ලංවිම නැවත පාඩු ලබන තත්ත්වයට පත් වීම අවසන් ගාස්තු අඩු කිරීම සිදු කරද්දී සරල අංක ගණිතය ඇසුරෙන් වුවද දැනගත හැකිව තිබූ කරුණක්. 

දෙවන කාර්තුව තුළ ලංවිම ආදායම් තවත් 3.7%කින් අඩු වනු ඇති අතර (අනෙකුත් සාධක නොවෙනස්ව ඇති තත්ත්වයක් යටතේ) ලංවිම අලාබය බොහෝ විට මීටත් වඩා වැඩි විය හැකියි. එම අලාභය රුපියල් බිලියන 20ක් පමණ වනු ඇතැයි සැලකුවහොත්, දෙවන කාර්තුව අවසන් වෙද්දී ලංවිම සමුච්ඡිත අලාබය රුපියල් බිලියන 440 පමණ දක්වා ඉහළ යනවා. මෙය සක්කරයාගේ පුතා වයිමාටවත් වැළැක්විය නොහැකි දෙයක්!

ලංවිම විසින් 18.3%ක ගාස්තු වැඩි කිරීමක් යෝජනා කර තිබෙන බව වාර්තා වී තිබෙනවා. එවැනි වැඩි කිරීමක් සිදු කළද, දළ ලාබය පවතිනු ඇත්තේ සෘණ පැත්තේම තමයි. දළ ලාබය ශුන්‍ය කර ගැනීම සඳහා පමණක් 24.0%ක පමණ ගාස්තු වැඩි කිරීමක් සිදු කරන්නට වෙනවා. එසේ නොකළහොත්, යම් ආකාරයකින් නිෂ්පාදන පිරිවැය අඩු වුයේද නැත්නම්, මෙම වසරේ තෙවන කාර්තුවේදීද ලංවිම විසින් ගිණුම්කරණ අලාබයක් වාර්තා කිරීමට නියමිතයි. 

ආයෝජනය කර ඇති පොදු අරමුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 991.4 සැලකූ විට, වත්මන් එක් වසර භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය යටතේ වුවද, රුපියල් බිලියන 80ක පමණ වාර්ෂික ගිණුම්කරණ ලාබයක් ඉපැයුවේ නැත්නම් එම ලාබය පිරිවැය ආවරණය කරන ලාබයක් සේ සැලකීමේ හැකියාවක් නැහැ. එවැන්නක් සිදු වන තුරු ලංවිම ලාබ-පාඩු තුලනය කරා ලංවීමේ ඉඩක් නැහැ. 

ලංවිම කාලයකට පසු, පසුගිය දෙවසර තුළ, ලාබ-පාඩු තුලනය කරා ලංවෙමින් සිටියා. එහෙත් දැන් නැවතත් ලාබ-පාඩු තුලනයෙන් දුරස් වෙන්න පටන් අරන්.

Thursday, March 7, 2024

ලංවිම බිලියන 58 ක් ලාබ ලාබයි!


පසුගිය (2023) වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් බිලියන 58.1ක ලාබයක් වාර්තා කර තිබෙනවා. මීට පෙර ලංවිම විසින් අවසන් වරට ලාබ ලැබුවේ 2015 වර්ෂයේදීයි. ඉන් පසුව, දිගින් දිගටම වසරින් වසර පාඩු වාර්තා වුනා. 2022 වසරේ අලාභය පමණක් රුපියල් බිලියන 309.2ක් වූ අතර, ඒ සමඟ ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 598.0 දක්වා ඉහළ ගියා. මෙය 2023 මාර්තු අවසානය වන විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමුච්ඡිත අලාභය වූ රුපියල් බිලියන 612.4ට ඉතා ආසන්න අගයක්. (ඩොලර් වලින්නම් බිලියන දෙකක් පමණ)

වසර ගණනක් තිස්සේ එකතු වී ඇති ඉහත සඳහන් විශාල සමුච්ඡිත අලාභය නිසා මෙම වසරේ ලැබූ ලාභයෙන්  පසුවද ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 541.3ක්. මෙම සමුච්ඡිත අලාභය අනාගතයේදී විදුලි ගාස්තු ගෙවන්නන්ට හෝ බදු ගෙවන්නන්ට පොලියත් සමඟ ගෙවන්නට සිදු වන මුදලක්. එසේ ගෙවන දිනය කල් දැමිය හැකි වුවත් කවදා හෝ මෙම මුදල විදුලි ගාස්තු ගෙවන්නන්ට හෝ බදු ගෙවන්නන්ට පොලියත් සමඟ ගෙවන්නට සිදු වෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමුච්ඡිත අලාභය වගේම තමයි. 

පසුගිය වසරේදී ලංවිම ලාබ ලැබුවේ කොහොමද?

මම හිතන්නේ ඉහත ප්‍රශ්නයට පිළිතුර කිසිවකුට රහසක් නොවෙයි. කාලයකට පසුව පසුගිය වසරේදී ලංවිම නැවත ලාබ ලැබුවේ විදුලි ගාස්තු එකවර විශාල ලෙස වැඩි කිරීම මගින්. මේ තර්කයේම දිගුවක් ලෙස, පෙර වසර වල ලංවිම පාඩු ලැබුවේ පිරිවැයට වඩා අඩුවෙන් විදුලිය අලෙවි කළ නිසා කියාත් කෙනෙකුට කියන්න පුළුවන්. එවැනි ප්‍රකාශයක වරදක් නැහැ. 

පසුගිය වසරේදී ලංවිම ආදායම රුපියල් බිලියන 606.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට පෙර වසරේදී (2022) එම ආදායම රුපියල් බිලියන 308.5ක් පමණයි. මෙය වසරක් තුළ ලංවිම ආදායම් 97%කින් ඉහළ යාමක්. ලංවිම ආදායම් එසේ විශාල ලෙස ඉහළ ගියේ ලංවිම කාර්යක්ෂමතාවය විශාල ලෙස ඉහළ ගියා නිසා හෝ නිෂ්පාදන පිරිවැයද විශාල ලෙස ඉහළ ගිය නිසා නොවන බවද අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. මෙය සිදු වූ විදිහ ගැන කියවන සියල්ලන්ම මෙන් හොඳින් දන්නවා.

කියවන බොහෝ දෙනෙකු විසින් නොදන්නා දේවල් කිහිපයක් පමණක් සටහන් කරන්නම්.

පසුගිය (2023) වසරේදී ලංවිම විසින් තෙල් සංස්ථාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා රජය විසින් ලංවිම කොටස් ආයෝජන ලෙස රුපියල් 126.3ක මුදලක් ලබා දී තිබෙනවා. මෙය එම වසරේ ලංවිම ලාබය වූ රුපියල් බිලියන 58.1 මෙන් දෙගුණයකට වඩා වැඩි මුදලක්. මේවා බදු මුදල්.

මේ අයුරින්ම ඊට පෙර (2022) වසරේදී, ලංවිම විසින් තෙල් සංස්ථාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 80ක් සහ තවත් රුපියල් බිලියන 251.6ක ණය කපා හැරීමක් ලෙස රුපියල් බිලියන 331.6ක කොටස් ආයෝජන සිදු කර තිබෙනවා. ඊට අමතරව, පුත්තලම ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන 120.5ක මුදලක් වැය කර තිබෙනවා. මේ සියල්ල බදු ගෙවන්නන් විසින් ගෙවා ඇති හෝ ඔවුන්ට අනාගතයේදී ගෙවන්නට සිදු වන මුදල්. 

රජය මැදිහත් වී විදුලි බිල සුබසාධනය කළ යුතුද?

ඉහත ප්‍රශ්නය රටේ මහජනතාව විසින් තීරණය කළ යුතු දේශපාලනික කරුණක්. එවැන්නක් කිරීම සාධාරණීකරණය කළ හැකි විවිධ හේතු තිබෙන්නට පුළුවන්. කෙසේ වුවත්, රජය මැදිහත් වී විදුලි බිල සුබසාධනය කරනවා කියන්නේ එම පිරිවැය වෙනත් කවරෙකුගෙන් හෝ අය කරගන්නට සිදු වෙනවා යන්නයි.

රාජ්‍ය මැදිහත්වීමක් නොමැතිව ව්‍යාපාරික කටයුතු කරන ලංවිම වැනි රාජ්‍ය ආයතනයක් හෝ ලාබ ලැබීම ඉලක්ක නොකරන වෙනත් පෞද්ගලික ආයතනයක් ගැන සිතමු. එවැනි ආයතනයකට වුවද, සිය වියදම් පියවා ගැනීමට හා අනාගත ආයෝජන වෙනුවෙන් අරමුදල් සපයා ගන්නට වෙන්නේ ලාබ ලැබීම මගිනුයි. එවැනි ආයතනයකට එහි "ආර්ථික පිරිවැයට" වඩා අඩුවෙන් විදුලිය සැපයිය හැක්කේ බදු මුදල් යොදවා එවැනි ආයතනයක් සුබසාධනය කරන්නේනම් පමණයි. කෙටිකාලීනව ණය විය හැකි වුවත්, යම් දිනක එම ණය බදු ගෙවන්නන් මත පැටවෙනවා. 

උදාහරණයක් විදිහට, රජය මැදිහත් වී සහන මිලකට විදුලි බලය සැපයීම මගින් අපනයන නිෂ්පාදන වල පිරිවැය අඩු කර විදේශ වෙළඳපොළෙහි එම අපනයන වල තරඟකාරිත්වය වැඩි කරන්න පුළුවන්. එහෙත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් කවර අයෙකු මත හෝ බදු පනවා අය කර ගන්නට සිදු වෙනවා. එහි ප්‍රතිඵලය එම පිරිවැයෙහි බදු බර දරන ආයතන වල නිෂ්පාදන පිරිවැය ඉහළ යාමයි. මෙහිදී වෙන්නේ රජය මැදිහත් වී එක් අයෙකුගේ වියදමින් තවත් අයෙකු සුබසාධනය කිරීමක්. මෙවැන්නක් කිරීමෙන් ලැබිය හැකි කිසියම් ශුද්ධ වාසියක් ඇත්නම් එය නිර්ණය කළ හැක්කේ පුළුල් හා සංකීර්ණ අධ්‍යනයකින් පසුව පමණයි.

Monday, March 27, 2023

පාඩු ලබන රාජ්‍ය ආයතන


කලින් සටහනේ කතා කළේ ලාබ ලබන රාජ්‍ය ආයතන ගැන. ලාබ ලබන රාජ්‍ය ආයතන ගැන සාමාන්‍යයෙන් කතා කෙරෙන්නේ අඩුවෙන්. වැඩියෙන් කතා කෙරෙන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන. ලාබ ලබන රාජ්‍ය ආයතන සංවාදයට බඳුන්වන මාතෘකාවක් වී තිබෙන්නේ රජය විසින් මේ වන විටද පොදු සමාගම් බවට පත් කර තිබෙන, කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කිහිපයක රජයේ කොටස් අයිතිය විකුණන්න යනවා කියන ආරංචියත් එක්ක. 

රජය සතුව හදිසියකදී ගන්න අවශ්‍ය නොවන, කාලයක් එක දිගට ආයෝජනය කර තබා ගත හැකි, ඉතිරි කිරීම් තිබෙනවානම්, ඒ ඉතිරි කිරීම් සමාගම් කොටස් වල ආයෝජනය කරන එකේ වැරැද්දක් නැහැ. එසේ කිරීමෙන් බදු ගෙවන්නන්ගේ සල්ලි වලට අවශ්‍ය පමණ ප්‍රතිලාභයක් ලැබෙනවා. මෙසේ කිරීමේදී අවශ්‍ය පමණ ප්‍රතිලාභ ලැබෙන ආයෝජන කරන එක ගැනත් සැලකිලිමත් විය යුතුයි. 

නමුත් ප්‍රශ්නය ශ්‍රී ලංකා රජය සතුව එවැනි ඉතිරි කිරීම් නැති වීමයි. සිංගප්පූරු රජය වැනි වෙනත් ඇතැම් රජයයන් සතුව එවැනි ඉතිරි කිරීම් තිබෙනවා වගේම සෑම වසරකදීම බදු ආදායම හා රජයේ වියදම් අතර වෙනස එම ඉතිරි කිරීම් වලට එකතු වෙනවා. 

මේ විදිහට රජයක් සතුව විශාල ඉතිරි කිරීම් ප්‍රමාණයක් තිබෙන විට ඒ සල්ලි ඔක්කොම හදිසියේ ගන්න පුළුවන් විදිහට ද්‍රවශීල වත්කම් ලෙසම තියා ගන්න අවශ්‍ය නැහැ. වත්කම් වලින් යම් කොටසක් හදිසියකදී ගන්න ද්‍රවශීල වත්කම් ලෙස තියාගෙන ඉතිරි කොටස වැඩි ප්‍රතිලාභයක් ලැබෙන විදිහට දිගුකාලීනව ආයෝජනය කරන්න පුළුවන්. 

ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභ ලැබෙන්නේ වැඩි අවදානමක් ගන්න තරමටයි. පොඩි වත්කම් ප්‍රමාණයක් තියාගෙන ලොකු අවදානම් ගන්න බැරි වුනත්, ලොකු වත්කම් ඇත්නම් ලොකු අවදානම් ගන්න පුළුවන්. සිංගප්පූරු රජය කරන්නේ ඒකයි. 

සිංගප්පූරු රජයේ වාර්ෂික වියදම සිංගප්පූරු ඩොලර් බිලියන 100ක් පමණ. 2023 වියදම් ඇස්තමේන්තුව සිංගප්පූරු ඩොලර් බිලියන 104ක්. සිංගප්පූරු රජයේ වත්කම් කළමනාකරණය කිරීම සඳහා පිහිටුවා තිබෙන GIC සමාගම සතුව සිංගප්පූරු ඩොලර් බිලියන 700ක පමණ වත්කම් තිබෙනවා. තවත් එවැනිම සමාගමක් වූ Temasek සමාගම සතුව සිංගප්පූරු ඩොලර් බිලියන 400 ඉක්මවන වත්කම් තිබෙනවා. විශ්‍රාම වැටුප් අරමුදල සතුව තවත් සිංගප්පූරු ඩොලර් බිලියන 550කට ආසන්න වත්කම් තිබෙනවා. මීට අමතරව සිංගප්පූරු මුදල් අධිකාරිය සතුව සිංගප්පූරු ඩොලර් බිලියන 400ක පමණ වත්කම් තිබෙනවා. ඔය ටික එකතු කළාම සිංගප්පූරු ඩොලර් බිලියන 2000 ඉක්මවන මුදලක්. රජයේ වාර්ෂික වියදම වගේ 20 ගුණයක්!

ඔය වත්කම් සියල්ල බදු ආදායම් වලින් ඉතුරු කරගත් මුදල් සහ එම ඉතිරි කරගත් බදු ආදායම් ආයෝජනය කර උපයාගත් මුදල්. හදිස්සියකට ඔය තරම් විශාල මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, අවුරුදු විස්සකට සතයක්වත් බදු අය නොකර රජයේ වියදම් සියල්ල දරන්න තරම් ප්‍රමාණවත් විශාල මුදලක් අතේ තියෙද්දී එයින් පොඩි කොටසක් අඩු වුනා කියලා බදු ගෙවන්නන්ට විශාල අවදානමකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා, සිංගප්පූරු රජයට පෞද්ගලික ව්‍යවසායකයෙක් වගේ අවදානම් අරගෙන ඔය අරමුදල් දිගුකාලීනව ආයෝජනය කරන්න පුළුවන්. වැඩි අවදානමක් ගන්න තරමට ප්‍රතිලාභත් වැඩියි. 

මේ තරම් විශාල පොදු අරමුදල් ප්‍රමාණයක් කළමනාකරණය කරද්දී හොරකම්, දූෂණ, වංචා වලට කිසිදු ඉඩක් නොතැබිය යුතු බවත්, එය ඉතාම වැදගත් බවත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. හොරකම්, දූෂණ, වංචා සිදු වුනානම් ඔය වත්කම් ඔය විදිහට ඉතුරු වෙන්නේ නැහැ. කොහොම වුනත් වැදගත්ම කාරණාව අවුරුදු විස්සකින්වත් වියදම් කරලා ඉවර කරන්න බැරි තරම් වත්කම් රජය සතුව තිබෙනවා කියන එකයි. ඒ බදු මුදල් වලින් ඉතිරි කරගත් කොටස.

සිංගප්පූරු ක්‍රමයත් ටික දෙනෙකු විසින් මුළු රට වෙනුවෙන්ම තීරණ ගන්න සමාජවාදී ආකෘතියේම ක්‍රමයක් තමයි. ඒ වගේම එම ක්‍රමය සාර්ථක වූ දුලබ අවස්ථාවක් (සාර්ථකත්වය කියන්නේ ආර්ථික වර්ධනය පමණක් කියා සැලකුවොත්). තනි පුද්ගලයෙක් හෝ කුඩා කණ්ඩායමක් විසින් මුළු රටක් වෙනුවෙන් තීරණ ගන්නා ක්‍රමය සමහර වෙලාවට සාර්ථක වෙන්න පුළුවන්. හැම අවස්ථාවකම අනිවාර්යයෙන් අසාර්ථක විය යුතුමයි කියලා එකක් නැහැ. නමුත්, බොහෝ විට වෙන්නේ අසාර්ථක වෙන එක. මෙය විශාල අවදානමක් ගැනීමක්. 

දැන් සිංගප්පූරුවේ තිබෙන තරම් විශාල ප්‍රමාණයක් නොවුනත් ලංකාවේ රජය සතුවත් නිදහස ලබද්දී සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක් තිබුණා. ජාතිකවාදී හා සමාජවාදී ප්‍රතිපත්ති නිසා ඒ වත්කම් අවුරුදු පහළොවක් යද්දී ඉවර වුනා. රට හිඟමනට වැටුණේ ඊට පස්සේ. 1965න් පස්සේ ලංකාවට IMF එකෙන් තොර පැවැත්මක් නැහැ. ඒ කාලයේ සිට අද දක්වාම රජය විසින් දිගින් දිගටම එකතු කරගෙන තියෙන්නේ ණය මිසක් වත්කම් නෙමෙයි. හැම අවුරුද්දකම වගේ රජයේ ආදායම් හා වියදම් අතර වෙනස ඔය ණය කන්දරාවට එකතු වෙනවා. මේ වෙද්දී ණය කන්දරාව රජයේ ආදායම වගේ දොළොස් ගුණයක් විතර.

දැන් ප්‍රශ්නය ණය ගෙවන එක නෙමෙයි. මොන තරම් හොඳ සැලසුමක් හැදුවත්, ණය ආපසු ගෙවලා නිදහස් වෙන එක කොහොමටත් අවුරුදු විසිපහකටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ප්‍රශ්නය ණය වාරික හා පොලී ගෙවන එක. මෙතෙක් කළේ අලුතෙන් ණය අරගෙන ණය වාරික හා පොලී ගෙවන එක සහ වියදමට තවත් ණය ගන්න එක. දැන් අලුතෙන් අවශ්‍ය පමණ ණය ගන්න බැරි නිසා මොනවා හෝ තිබෙන වත්කමක් විකුණන තත්ත්වයට වැටිලා ඉවරයි. ලාබ ලබන වත්කම් විකුණන්න අවශ්‍ය වී තිබෙන ප්‍රධාන හේතුව මේකයි.

කොහොම වුනත්, ලාබ ලබන රාජ්‍ය ආයතන ගැන දමපු සටහනට ප්‍රතිචාර දමපු සමහර අය ඒ ප්‍රතිචාර දමා තිබුණේ පාඩු ලබන රාජ්‍ය ආයතන ඔලුවේ තියාගෙන. ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන කතා කරද්දී උඩින්ම ඉන්න ත්‍රිමූර්තිය ශ්‍රීලන්කන්, තෙල් සංස්ථාව සහ ලංවිමයි.

ඉහත ආයතන තුනේ පොදු සමානකමක් වන්නේ තෙල් වලට තිබෙන සම්බන්ධයයි. සාමාන්‍යයෙන් තෙල් මිල ඉහළ යාම අඩු වැඩි වශයෙන් මේ ආයතන තුනේම පාඩු වැඩි කරන්න හේතු වෙනවා. එම සමානකම තිබුණත්, මේ ආයතන තුනේ ප්‍රශ්න බොහෝ දුරට එකිනෙකට වෙනස්. 

මේ ආයතන අතරින් තෙල් සංස්ථාවට හා ලංවිමට රට ඇතුළේ ඒකාධිකාරයක් තිබෙනවා. තෙල් සංස්ථාවේ ඒකාධිකාරය සියයට සියයක්ම කෘතීම එකක්. රජය විසින් මේ ඒකාධිකාරය හදන්නේ යල් පැන ගොස් ඇති සමාජවාදී ආර්ථික ක්‍රමය මත පදනම්වයි.

ඇමරිකාවේ හන්දියක හතර පැත්තේ ඉන්ධන පිරවුම්හල් හතරක් තිබෙන එක දුලබ දසුනක් නෙමෙයි. තරඟකාරී සමාගම් හතරකට අයත් මේ ඉන්ධන පිරවුම්හල් හතරේ මිල ගණන් එකිනෙකට සමාන නැහැ. පාරිභෝගිකයෙකුට ඒ හතර අතරින් මිල අඩු තැනකින් ඉන්ධන පුරවා ගන්න පුළුවන්.

නිදහස ලබන විට වගේම නිදහස ලබා වසර පහළොවක් පමණ යන තුරු ලංකාවේ තිබුණේත් මේ වගේම තත්ත්වයක්. මොබිල් (MOBIL), කැල්ටෙක්ස් (CALTEX), ෂෙල් (SHELL), එසෝ (ESSO), ස්ටෑන්ඩඩ් ඔයිල් (Standard Oil) ඇතුළු ලෝකය පුරා ව්‍යාපාරික කටයුතු කළ ප්‍රධාන තෙල් සමාගම් සියල්ලම වාගේ ලංකාව තුළ ඉන්ධන බෙදා හරිමින් සිටියා. එම සමාගම් විසින් ආයෝජනය කර හදා තිබුණු තෙල් නල ඇතුළු යටිතල පහසුකම් ලංකාවේ තිබුණා. සමාගම් අතර විශාල තරඟකාරීත්වයක් පැවතුණා. රටේ තෙල් හිඟයක් තිබුණේ නැහැ.

මෙසේ තිබියදී මුදල් ඇමති සේ කටයුතු කළ ඇන් ඇම් පෙරේරාගේ සහ වෙළඳ ඇමති ලෙස කටයුතු කළ ටී බී ඉලංගරත්නගේ බලපෑම මත අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක විසින් තෙල් සමාගම් සියල්ල ජනසතු කරන්නට පෙළඹුණා. සමාජවාදී පිස්සුව සහ බටහිර විරෝධය හැර එසේ කරන්නට වෙනත් සාධාරණ හේතුවක් තිබුණේ නැහැ. මෙහි ඉලක්කය වූයේ බටහිර සමාගම් වලට ලංකාවේ වෙළඳපොළ අහිමි කර රුසියාව ඇතුළු සමාජවාදී රටවලින් ඉන්ධන ආනයනය කිරීමයි.

මේ අනුව, තෙල් සමාගම් සතු සියලු දේපොළ රජය විසින් පවරා ගැනීමෙන් පසුව තෙල් සංස්ථාව පිහිටුවා එයට නීතියෙන්ම රාජ්‍ය ඒකාධිකාරයක් හදා දුන්නා. තෙල් සංස්ථා පණත මගින් අනෙක් කිසිවෙකුට ඉන්ධන ආනයනය, බෙදා හැරීම හා විකිණීම තහනම් කෙරුණා. 1961දී පටන්ගත් මේ ක්‍රියාවලිය 1971දී එසෝ සමාගම සතු වූ ගුවන් යානා ඉන්ධන බෙදා හැරීමේ පහසුකම් පවරා ගැනීමෙන් අවසන් වුනා. අද වන විට බදු ගෙවන්නට මහත් බරක්ව තිබෙන තෙල් සංස්ථා ඒකාධිකාරය හැදුනේ ඔය විදිහටයි. 

තෙල් සංස්ථාවට සාපේක්ෂව ලංවිම හැදුණේ පෞද්ගලික අංශය විසින් නොකරන ආයෝජනයක් රජය විසින් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට කියා කියන්න පුළුවන්. එහිද, සමාජවාදී අදහස් වල බලපෑම තිබුණත්, එසේ නැතිව වුවත් මෙවැන්නක් සිදු විය හැකිව තිබුණා. යම් තාක් දුරකට ලංවිම කියන්නේ ස්වභාවික ඒකාධිකාරයක්.

ශ්‍රීලන්කන් ගුවන් සේවය හා එහි පූර්වගාමීන් වන එයා සිලෝන් හා එයා ලංකා හැදෙන්නේ ජාතික අභිමානය පිළිබඳ ප්‍රකාශන ලෙස කියා කියන්න පුළුවන්. තමන්ගේම ගුවන් සේවයක් හදා ගැනීම අලුතෙන් නිදහස ලැබූ බොහෝ රටවලට කරන්නට අවශ්‍ය වූ දෙයක්. මෙහිදී ලාබ ලැබීම ප්‍රමුඛ අවශ්‍යතාවය ලෙස සැලකුණේ නැහැ. ජාතික ගුවන් සේවයක් මගින් රටේ සංස්කෘතිය නිරූපණය කිරීම හා ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම වැනි දෙයක්ද සිදු වුනා.

තෙල් සංස්ථාවේ හා ලංවිම පාඩු වලට විසඳුමක් ලෙස IMF එක විසින් මිල සූත්‍ර ක්‍රමය නිර්දේශ කර තිබෙනවා. එහෙත්, මේ මගින් මෙම ආයතන වල ප්‍රශ්න සියල්ල විසඳෙන්නේ නැහැ. හරියටම කියනවානම් එක් ප්‍රශ්නයක් හැර වෙනත් ප්‍රශ්න කිසිවක් විසඳෙන්නේ නැහැ. විසඳෙන එකම ප්‍රශ්නය මෙම ආයතන වල පාඩු අවසාන වශයෙන් උද්ධමන බද්දක් බවට පත් වීම වැලකීමයි. 

රාජ්‍ය ඒකාධිකාර වන තෙල් සංස්ථාවේ හා ලංවිම ප්‍රශ්නය එම ආයතන පාඩු ලැබීමම නෙමෙයි. ප්‍රශ්නය එයනම් විසඳුම සරලයි. අවශ්‍ය තරම් මිල වැඩි කිරීම මගින් පහසුවෙන්ම එම පාඩු නැති කරන්න වගේම මේ ආයතන ලාබ ලබන ආයතන බවට පත් කරන්නත් පුළුවන්. මිල වැඩි වෙද්දී ඉල්ලුම යම් තරමකින් අඩු වන නමුත් ඉන්ධන ඉල්ලුම මෙන්ම විදුලි බල ඉල්ලුමද මිල ඉහළ යද්දී විශාල ලෙස අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, මිල වැඩි කිරීම ලාබ නැති වීමේ ප්‍රශ්නයට විසඳුමක්. ඒ සඳහා දූෂණ, වංචා, හොරකම්, අකාර්යක්ෂමතා කිසිවක් නැති කරන්න අවශ්‍ය නැහැ. රාජ්‍ය ආයතන වල සැබෑ ප්‍රශ්නය ඒවා පාඩු ලැබීමම නොවන බවට මේ කරුණම නිදර්ශනයක්.

කෙසේ වුවත්, ශ්‍රීලන්කන් ආයතනයට මිල සූත්‍ර ක්‍රමය හරියන්නේ නැහැ. එම ආයතනයට තරඟය තිබෙන්නේ රටෙන් බැහැරවයි. ඒ නිසා ශ්‍රී ලංකා රජයට ඒකාධිකාරයක් හදා දීම මගින් එම ආයතනයට උදවු කරන්න බැහැ. ලාබ ලබන්නනම් අනිවාර්යයෙන්ම කාර්යක්ෂම වෙන්න සිදු වෙනවා. 

ගුවන් සේවා සැපයීමේ ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකාවට අනෙකුත් රටවලට නැති විශේෂ වාසියක් නැහැ. එවැනි වාසියක් තිබෙන්නේ තෙල් නිපදවන රටවලට පමණයි. ඒ නිසා, ලංකාවට තරඟ කළ හැක්කේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම මගින්ම පමණයි. වෙන පහසු ක්‍රමයක් නැහැ. සිංගප්පූරු ගුවන් සේවය මෙම කාර්යය කරන්නට සමත් වී තිබෙනවා.

ශ්‍රීලන්කන් පාඩු එහි උරුමයක්. එයා සිලෝන් කාලයේ සිටම මේ පාඩු එනවා. ලංකාවට කවදාවත් ගුවන් සේවයක් කාර්යක්ෂම සේ කළමනාකරණය කළ හැකි කුසලතා තිබී නැහැ. ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් වෙයි කියා හිතන්නත් අමාරුයි. 

බදු ගෙවන්නන්ගේ කැමැත්ත එයනම්, ජාතික අභිමානය වෙනුවෙන් පාඩු ලබමින් ගුවන් සේවයක් නඩත්තු කිරීමේ වැරැද්දක් නැහැ. එසේ කරන්නේනම් පැහැදිලි ලෙස බදු ගෙවන්නන් දැනුවත් කර ඒ සඳහාම වෙනම බද්දක් අය කළ යුතුයි. ප්‍රායෝගිකව ශ්‍රීලන්කන් ගුවන් සේවය ලාබ ලබන ආයතනයක් කළ හැක්කේ එය කළමනාකරණය කිරීම වෙනත් විශාල ගුවන් සේවයකට ලබා දීමෙන් පමණයි. අවශ්‍යනම් රජයට යම් කොටස් අයිතියක් තියා ගන්න පුළුවන්. එමිරේට්ස් එකට දුන් ආකෘතිය හොඳ ආකෘතියක්. 

එහෙත්, තෙල් සංස්ථාව මේ ආකාරයෙන් පවත්වාගෙන යාමට කිසිම තර්කානුකූල හේතුවක් නැහැ. එහි ප්‍රශ්නය පාඩු නොව රාජ්‍ය ඒකාධිකාරයයි. ඒ හේතුව නිසාම ආකෘතිය එලෙසම තිබියදී මෙම ආයතනය විකිණීමද විසඳුමක් නෙමෙයි. රාජ්‍ය ඒකාධිකාරිය පෞද්ගලික ඒකාධිකාරයක් වූ පමණින් ලොකු වෙනසක් සිදු වන්නේ නැහැ. කළ යුත්තේ කර්මාන්තය ප්‍රතිනියාමනය කර නැවත තරඟකාරිත්වය ඇති කිරීමයි.

තෙල් සංස්ථාවෙන් වෙනස්ව ලංවිම විසින් එහි නිෂ්පාදනය බොහෝ දුරට සිදු කරන්නේ රට තුළයි. ආනයනික ඉන්ධන ආදිය හරහා රටින් පිටතට විදේශ විණිමය යන නමුත් ජල විදුලියෙදී හා සූර්ය, සුළං බලය වැනි අවස්ථා වලදී අගය එකතු වීම බොහෝ දුරට සිදු වන්නේ රට තුළයි. එහෙත් ඉන්ධන කර්මාන්තය තුළ පිරිපහදු කිරීමේදී රට තුළ සිදු වන අගය එකතු කිරීම ඒ තරම්ම විශාල නැහැ. රට තුළ ඉන්ධන විකුණා එකතු කර ගන්නා මුදල් බොහෝ දුරට රටින් පිටට යනවා.

ඉහත හේතුව නිසා ඉන්ධන ආනයනය හා බෙදා හැරීම විදේශ සමාගම් වෙත ලබා දීමෙන් ලංකාවට අවාසියක් සිදු වන්නේ නැහැ. පාරිභෝගිකයින්ගේ පැත්තෙන් බැලුවත්, පොදුවේ රටේ පැත්තෙන් බැලුවත් වඩා වැදගත් වන්නේ හැකි තරම් අඩු මිලකට, බාධාවන්ගෙන් තොරව ඉන්ධන ලබා ගන්නට හැකි වීමයි. මේ ඉලක්කය කරා යා හැක්කේ තරඟකාරී සමාගම් ගණනාවකට වෙළඳපොළ විවෘත කිරීම මගිනුයි. එහිදී රටින් එළියට යන්නේ කොහොමටත් රටින් එළියට යන විදේශ විණිමයයි.

ඉලක්කය තරඟකාරිත්වය ඇති කර බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමනම්, ඒ සඳහා තෙල් සංස්ථාව සතු වත්කම් විකිණීමේ අවශ්‍යතාවයක් නැහැ. එවැන්නක් සිදු වන්නේනම් එහි අරමුණ රජයේ අරමුදල් ප්‍රශ්නය විසඳා ගැනීම විය යුතුයි.

Tuesday, January 3, 2023

රාජ්‍ය ආයතන වල වටිනාකම්


පෙර ලිපි දෙකකින් මම පැහැදිලි කළේ තෙල් සංස්ථාව වගේම ශ්‍රීලංකන් ගුවන් සේවයත් මේ වෙද්දී ශුද්ධ සෘණ වටිනාකම් බව. එයින් අදහස් කරන්නේ මෙම ආයතන විකිණීය නොහැකි බව නෙමෙයි. ඒ වගේම, ලිපි ලිවීමේ අරමුණ වුනේ මෙම ආයතන විකිණිය යුතු බව හෝ විකිණිය යුතු නැති බව කියන එකත් නෙමෙයි. පෙන්වන්න අවශ්‍ය වූ ප්‍රධානම කරුණ මේ වගේ ආයතනයක් විකුණලා රජයට අතට ගාණක් ගන්න පුළුවන්කමක් නැති බව. 

රාජ්‍ය ආයතන විකිණිය යුතුද නැද්ද කියන දේශපාලන ප්‍රශ්නය අපි පැත්තකින් තියමු. උපකල්පනයක් ලෙස පමණක් මේ වගේ ආයතනයක් විකුණනවා කියන එක ගැන හිතමු. තෙල් සංස්ථාව වගේම ශ්‍රීලංකන් ගුවන් සේවයද සතුව විකිණිය හැකි භෞතික වත්කම් තිබෙනවා. ඊට අමතරව විකිණිය හැකි අස්පෘශ්‍ය වත්කම් (intangible assets) තිබෙනවා. මේ වත්කම් විකුණා රජයට ආදායමක් ලැබිය හැකියි. නමුත් ඒ විදිහට ලබා ගත හැකි ආදායමකින් මේ වෙද්දී ගොඩ ගැසී තිබෙන මේ ආයතන වල ණය ගෙවලා ඉවර කරන්න බැහැ. ඒ ණය ගෙවන්න වෙන්නේ බදු ගෙවන ජනතාවට. 

කොහොම වුනත් ලංවිම තවමත් තියෙන්නේ ඔය ගොඩේ නෙමෙයි. ලංවිමද දිගින් දිගටම පාඩු ලැබුවත් ලංවිම සතු වත්කම් වල වටිනාකම එහි බැරකම් වලට වඩා වැඩියි. ඒ නිසා, ලංවිම කියන්නේ විකුණා ආදායමක් ලැබිය හැකි ශුද්ධ වත්කමක්. නැවතත් කියන්නේ ලිපියේ අරමුණ ලංවිම විකිණිය යුතුද නැද්ද කියන එක සාකච්ඡා කරන එක නෙමෙයි. ලංවිම වගේ රාජ්‍ය ආයතන වල වත්කම් හා ලාබ ගැන පැහැදිලි කිරීමක් කරන එක.

දැන් ඔය ඉහත ආයතන තුනම පාඩු ලබන රාජ්‍ය ආයතනනේ. එහෙමනම්, ඒ අතරින් දෙකක ශුද්ධ වටිනාකම් සෘණ වෙන්නත් අනෙත් එකේ එසේ නොවෙන්නත් හේතුව කුමක්ද? ඒ ආයතනය සාපේක්ෂව කාර්යක්ෂමද?

සාපේක්ෂව කාර්යක්ෂමද කියන ප්‍රශ්නයට මට ඔව් හෝ නෑ කියා පිළිතුරක් දෙන්න බැහැ. නමුත් ලංවිම ශුද්ධ වටිනාකම සෘණ නොවී තියෙන්නේ ලංවිම වෙනුවෙන් යොදවා තිබෙන පොදු අරමුදල් ප්‍රමාණය තෙල් සංස්ථාව හා ශ්‍රීලංකන් ගුවන් සේවය වෙනුවෙන් යොදවා තිබෙන පොදු අරමුදල් ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි නිසා. එහෙම නොවුනානම්, මේ වෙද්දී ලංවිම වටිනාකමත් සෘණ පැත්තට යා හැකිව තිබුණා. 

2021 අවසානය වන විට තෙල් සංස්ථාව තුළ ආයෝජනය කර තිබුණු පොදු අරමුදල් ප්‍රමාණය = රුපියල් බිලියන 61.5

එම ආයෝජන වලින් උපයා ඇති මුදල = රුපියල් බිලියන (-419.0)යි.

2021 අවසානය වන විට ඉතිරිව ඇති පොදු අරමුදල් ප්‍රමාණය = රුපියල් බිලියන (-357.5)යි.


2021 මාර්තු අවසාන වන විට ශ්‍රීලංකන් ගුවන් සේවය තුළ ආයෝජනය කර තිබුණු පොදු අරමුදල් ප්‍රමාණය = රුපියල් බිලියන 82.5යි.

එම ආයෝජන වලින් උපයා ඇති මුදල = රුපියල් බිලියන (-371.7)යි.

2021 මාර්තු අවසාන වන විට ඉතිරිව ඇති පොදු අරමුදල් ප්‍රමාණය = රුපියල් බිලියන (-289.3)යි.


2022 සැප්තැම්බර් අවසාන වන විට ලංවිම තුළ ආයෝජනය කර තිබුණු පොදු අරමුදල් ප්‍රමාණය = රුපියල් බිලියන 545.3යි.

එම ආයෝජන වලින් උපයා ඇති මුදල = රුපියල් බිලියන (-309.2)යි.

2022 සැප්තැම්බර් අවසාන වන විට ඉතිරිව ඇති පොදු අරමුදල් ප්‍රමාණය = රුපියල් බිලියන 236.0යි.

පේනවනේ වෙනස. තෙල් සංස්ථාවට රුපියල් බිලියන 61.5ක් හා ශ්‍රීලංකන් ගුවන් සේවයට රුපියල් බිලියන 82.5ක් දමද්දී ලංවීමට රුපියල් බිලියන 545.3ක් පොම්ප කරලා තියෙනවා. ඒ නිසා, රුපියල් බිලියන 309.2ක් පාඩු වුනාට පසුවත් තවත් රුපියල් බිලියන 236.0ක් ඉතිරි වෙලා තියෙනවා. 

හරියටම ගණන් හැදුවොත් ලංවිම පාඩුව තෙල් සංස්ථාවේ හා ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩුවට වඩා වැඩි වෙන්න පුළුවන්. මොකද බැංකු වලින් කෙළින්ම ණය ගත්තහම ඒ ණය වල පොලිය වියදමක් විදිහට එකතු වෙලා පාඩු වලට එකතු වෙනවා. නමුත්, රජය ණය වෙලා ගන්න සල්ලි රාජ්‍ය ආයතනයක යට කළහම ඒ ණය වල පොලිය එකතු වෙන්නේ රජයේ ගිණුමක. ඒ පොලී වියදම් අදාළ රාජ්‍ය ආයතනයේ වියදමක් විදිහට ගිණුම් වල සටහන් වෙන්නේ නැහැ. තෙල් සංස්ථාවේ හා ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිර කර තිබෙන පොදු අරමුදල් ප්‍රමාණය අඩු නිසා මේ වෙනස අඩුයි. ලංවිම මේ කොටස ඊට වඩා ගොඩක් වැඩියි. 

සෛද්ධාන්තිකව මේ මොහොතේ ලංවිම විකුණලා රජයට රුපියල් බිලියන 236.0ක ශුද්ධ ආදායමක් ලබා ගන්න පුළුවන්. නමුත්, ලංවිම තුළ ආයෝජනය කර තිබෙන රුපියල් බිලියන 545.3ක මුදල මුළුමනින්ම ලබා ගන්න බැහැ. ඒ මුදල වෙනුවෙන් දිගින් දිගටම ගෙවා තිබෙන ණය පොලී ටික හොයා ගන්නත් බැහැ. ඔය තරමේ ශුද්ධ වත්කමක් ලංවිම තුළ ඉතිරි වී තිබෙන්නේ කාලයෙන් කාලයට ලංවිම ණය ගෙවීමේ බරින් ලංවිම නිදහස් කරලා ඒ බර බදු ගෙවන්නන් මත පටවා තිබෙන නිසා. තෙල් සංස්ථාව හෝ ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වෙලාවේ විකුණනවානම් එසේ විකුණන්න වෙන්නෙත් එම ආයතන වල ණය බර බදු ගෙවන්නන් වෙත පවරා අදාළ ආයතන ණය බරින් නිදහස් කිරීමෙන් පසුව පමණයි. 

Sunday, September 11, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (පස්වන කොටස)

සම්ප්‍රේෂණය හා බෙදාහැරීම ගැන ටිකක් කතා කරපු නිසා දැන් අපි ජනනය පැත්තට එමු. ඉන් පසුව, නැවතත් බෙදාහැරීම ගැන තවත් දේවල් කතා කරන්න තිබෙනවා.

ලංකාවේ වෙළඳපොළ ගැන කතා කරද්දී, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම එක්ක බලද්දී ජනනය ටිකක් සංකීර්ණයි. පළමුව, ජනනය සඳහා දැනටත් පෞද්ගලික අංශයේ විශාල දායකත්වයක් තිබෙනවා. දෙවනුව, හදන්නේ එකම කිලෝවොට්පැය වුනත් හදන තාක්ෂණයේ වෙනස්කම් අනුව, පිරිවැය ආකෘතියේ විශාල වෙනස්කම් තිබෙනවා. විවිධ ක්‍රම වලින් හදන විදුලිය එකම අච්චුවකට දමලා කතා කරන එක අමාරු වැඩක්. හැබැයි පාරිභෝගිකයාගේ පැත්තෙන් මේ විදිහට විවිධ ක්‍රම වලට හදන විදුලිය අතර විශාල වෙනසක් නැහැ. විශේෂයෙන්ම ලංකාවේ වත්මන් සන්දර්භයේදී. මේ තත්ත්වය අනාගතයේදී වෙනස් වෙන්න පුළුවන්.

මේ කොටසින් වැඩි අවධානයක් යොමු කරන්නේ විදුලිය හදන එක් නිශ්චිත පෞද්ගලික සමාගමක් වන වැලිබල් පවර් එරත්න සමාගම වෙත. මතුපිට ප්‍රකාශයක් විදිහට මේ සමාගම ධම්මික පෙරේරාට අයිති සමාගමක් කියා කෙනෙකුට කියන්න පුළුවන්. ගොඩක් අයට ධම්මික පෙරේරාගේ දේශපාලනය හෝ ව්‍යාපාරික ආකෘතිය එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි ඒවා පැත්තකින් තියමු. 

මම මේ සමාගම මුලින්ම තෝරා ගත්තේ එය පොදු සමාගමක් නිසා. මට අනුවනම්, ජනසතු සමාගම් කියා කිවහැක්කේ මේ වගේ පොදු සමාගම් වලට මිසක් රජයේ ඒකාධිකාරයක් යටතේ තියෙන සමාගම් වලට නෙමෙයි. මට අවශ්‍යනම් ධම්මික පෙරේරා වගේම මේ සමාගමේ අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. මගේ ආයෝජනයේ අනුපාතයක් විදිහට ධම්මික පෙරේරා හොයන ලාබයම ලබා ගන්න පුළුවන්. ලංකාවේ වෙන ඕනෑම කෙනෙක්ට වගේම ලංකාවෙන් පිට ඉන්න විදේශිකයින්ට වුනත් ඒ වැඩේ කළ හැකියි. ඒ නිසා, වැලිබල් පවර් එරත්න ගැන කතා කරද්දී පහසුවෙන්ම ධම්මික පෙරේරා සමාගමේ ලොකුම කොටස් හිමියා කියන කරුණ පැත්තකින් තියන්න පුළුවන්. ව්‍යවසායකයෙක් හා කළමනාකරුවෙක් ලෙස ඔහුගේ භූමිකාව නොසලකා හැරිය නොහැකි වුවත්, අපි ඔහුව ලාභ අපේක්ෂා තිබෙන ඕනෑම පුද්ගලයෙක් ලෙස සලකමු.

මගේ විශ්ලේෂණය සඳහා වැලිබල් පවර් එරත්න වැනි පොදු සමාගමක් මුලින්ම තෝරා ගන්න අනෙක් හේතුව පොදු සමාගම් හා අදාල මූල්‍ය වාර්තා හා අනෙකුත් සංඛ්‍යාලේඛණ පහසුවෙන් සොයා ගත හැකි වීමයි. වැලිබල් පවර් එරත්න සමාගම සතුව කුඩා පරිමාණ ජල විදුලි බලාගාර (මිනි හයිඩ්‍රෝ) තුනක් තිබෙනවා. පළමුවැනි එක රත්නපුර දිස්ත්‍රික්කයේ එරත්න ප්‍රදේශයේ. අනෙක් දෙකෙන් එකක් රත්නපුර දිස්ත්‍රික්කයේ. අනෙක් එක නුවරඑළිය දිස්ත්‍රික්කයේ. තුනම තියෙන්නේ ශ්‍රීපාද කන්ද ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශ වල. සිරීපාදේ යන පාරවල් තුනේ කියා කියන්නත් පුළුවන්. 

පළමු බලාගාරය, කුරුවිට පැත්තෙන් සීරීපාදේ යන පාරේ තියෙන, වැලිබල් පවර් එරත්න සමාගමට කෙලින්ම අයිති, ඒ සමාගම විසින්ම හදපු එකක්. අනෙක් බලාගාර දෙක අයිති මුල් සමාගම වැලිබල් පවර් එරත්න සමාගම විසින් පසුව මිල දී ගන්නවා. ඒ අනුව, ඒ දෙකේ වක්‍ර අයිතිය තියෙන්නෙත් වැලිබල් පවර් එරත්න සමාගමට.

ලංකාවේ විදුලිබල වෙළඳපොළ ගිගාවොට්පැය පහළොස් දාහක පමණ වෙළඳපොළක්. ඔය වෙළඳපොළේ වැලිබල් පවර් දායකත්වය ගිගාවොට්පැය සීයකටත් අඩුයි. ඒ කියන්නේ සීයට එකක්වත් නැහැ. මිනි හයිඩ්‍රෝ කොටස පමණක් ගත්තත් වැලිබල් පවර් දායකත්වය 10%කට අඩුයි. ඒ කියන්නේ, වෙළඳපොළ හැසිරවීමේ බලයක් මේ සමාගමට නැහැ. 

වැලිබල් පවර් සමාගම විසින් කරන්නේ හදන විදුලිය ලංවිමට විකුණන එක. ඒ කියන්නේ, වැලිබල් පවර් සමාගම විසින් තරඟ කරන්නේ ලංකාවේ විදුලිබල කර්මාන්තයේ දැවැන්තයා වන සහ සම්ප්‍රේෂණයේ හා බෙදා හැරීමේ (තමන්ටම අයිති ලෙකෝ සමාගමද සමඟ) ඒකාධිකාරය පවත්වා ගෙන යන ලංවිමට විදුලිය විකිණීමටයි. මෙහිදී එම සමාගමට රටේ වැඩිපුරම විදුලිය ජනනය කරන ලංවිමම එක්කත් තරඟ කරන්න වෙනවා. 

කොහොම වුනත්, වැලිබල් පවර් සමාගම විසින් සෑම වසරකදීම විශාල ලාබයක් ලබනවා. පහත පළමු වගුවේ පෙන්වා තිබෙන්නේ 2012/13-2021/22 මූල්‍ය වසර දහය තුළ (අප්‍රේල් 1 සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වා) වැලිබල් පවර් සමාගමට විදුලිය ඒකකයක් (කිලෝවොට් පැයක්) හදන්නට ගිය වියදම, එම ඒකකයක් ලංවිමට විකිණූ මිල, බදු ගෙවීමට පෙර ලාබය හා ලාබයෙන් බදු ලෙස ගෙවූ කොටසයි. පිරිවැයට විදුලිය ජනනය කිරීම සඳහා යන සෘජු පිරිවැය මෙන්ම සමාගම නඩත්තු කිරීම සඳහා යන අනෙකුත් සියලුම වක්‍ර වියදම්ද ඇතුළත්. 

වගුව 1: වැලිබල් පවර් එරත්න ලාබ 


පේනවනේ තත්ත්වය. මෑත වසර කිහිපය දිහා බැලුවොත් විදුලි ඒකකයක් විකුණලා තියෙන්නේ හදනවා වගේ පස් ගුණයක මිලකට. ඒ කියන්නේ ආදායමෙන් පහෙන් හතරක්ම ලාබ. ලාබ වලින් හතරෙන් එකක් ආදායම් බදු විදිහට ගෙවුවට පස්සෙත් හතරෙන් තුනක්ම ලාබ!

සාමාන්‍යයෙන් ගිණුම්කරණ ලාබ පෙන්වන්නේ ඔය විදිහට. ඒ කියන්නේ ලංවිම ලාබ පෙන්වන්නෙත් ඔය විදිහට. හැබැයි ආර්ථික ලාබ කියා කියන්නේ ගිණුම්කරණ ලාබ වලටම නොවන බව මම කලින්ම විස්තර තිබෙනවානේ. ආර්ථික ලාබ ගණනය කළ හැක්කේ යෙදවූ ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැයද සැලකීමෙන් පසුවයි. 

පෞද්ගලික ආයෝජකයෙක්ට ගිණුම්කරණ ලාබ විතරක් තිබිලා වැඩක් නැහැ. ආර්ථික ලාබ තියෙන්න ඕනෑ. වැඩිදුර විස්තර මෙහි පෙන්වා නැතත්, වැලිබල් පවර් සමාගමට ඉතා ඉහළ මට්ටමක ආර්ථික ලාබත් තිබෙනවා. පසුගිය වසර දහය සැලකුවොත්ම, ආදායම් බදු ගෙවීමට පෙර කොටස් ආයෝජන මත සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය (ROE) 27.2%ක්. බදු ගෙවීමෙන් පසුව 23.6%ක්. 

ඔය වසර 10 තුළ සාමාන්‍ය එක්-වසර භාණ්ඩාගාර බිල්පත් පොලිය 8.5%ක් පමණ. දැන් තත්ත්වය ටිකක් වෙනස් වුනත්, සාමාන්‍යයෙන් භාණ්ඩාගාර බිල්පත් ආයෝජනයක් සැලකෙන්නේ අවදානම් රහිත ආයෝජනයක් විදිහටනේ. ඒ කියන්නේ ආයෝජකයෙකුට තමන්ගේ සල්ලි වැලිබල් පවර් වගේ සමාගමක දමලා අවදානමක් ගන්නේ නැතිව භාණ්ඩාගාර බිල්පත් වල දමා 8.5%ක ප්‍රතිලාභයක් ලබා ගැනීමේ විකල්පය තිබෙනවා. ඒ නිසා, ඒ කොටස කොහොමටත් ලාබයක් නෙමෙයි. ඊට අමතරව, මේ වගේ ආයෝජනයක අවදානමක් තිබෙන නිසා ඒ අවදානමට රක්ෂණයක් විදිහට තවත් 5%ක් තියමු. එතකොට 13.5%ක්. මේ මට්ටම දක්වා ගිණුම්කරණ ලාබයක් කියා කියන්නේ ආර්ථික ලාබයක් නෙමෙයි. ආර්ථික ලාබ කියන්නේ එයින් එහාට ලැබෙන කොටස.

වැලිබල් පවර් සමාගමේ ආයෝජකයෙකුට බදු ගෙවීමෙන් පසුව අඩු වශයෙන් 10%ක පමණ ආර්ථික ලාබයක් තිබෙනවා. එය සුපිරි ලාබයක්. 

සුපිරි ලාබ තියෙනවා කියන්නේ ප්‍රමාණවත් තරඟයක් නැහැ කියන එක. මේ සුපිරි ලාබ කතාව ප්‍රධාන කතාවෙන් බාහිර අතුරු කතාවක් නිසා මම විස්තර කරන්න යන්නේ නැහැ. ඒ ගැන විස්තර කරන්න ගියොත් වෙනම ලිපි මාලාවක් ලියන්න වෙනවා. නමුත්, අදාළ මූලධර්ම ගැන අවබෝධයක් තියෙන අයත් කියවන අය අතර ඉන්න නිසා කෙටියෙන් මේ ගැන යමක් කිවුවොත්, මේ සුපිරි ලාබ වල ප්‍රභවය ලංවිම අකාර්යක්ෂමතාවය. කර්මාන්තයේ ඒකාධිකාරයක් තිබෙන ලංවිමට අඩු පිරිවැයකින් විදුලිය ජනනය කළ නොහැකි නිසා ඒ වැඩේ කළ හැකි අයෙකුට සුපිරි ලාබ ලබන්න අවස්ථාවක් පහසුවෙන්ම ලැබෙනවා. රාජ්‍ය බැංකු දෙකේ අකාර්යක්ෂමතාවය නිසා අනෙකුත් සියලුම වාණිජ බැංකු සුපිරි ලාබ ලබන්නේත් ඔය විදිහටමයි. ටෙලිකොම් ක්ෂේත්‍රයේ වුනත් යම් තරමකින් හෝ ඔය වැඩේ වෙනවා කියලා මම හිතනවා. ඒක අතුරු කතාවක්. ඒ නිසා දැනට අපි වැලිබල් පවර් සමාගම පසුගිය වසර දහය තුළ ඉතා ඉහළ ලාබයක් උපයා තිබෙනවා කියන කරුණ එක්ක ඉදිරියට යමු. 

මේ විදිහට කිසියම් සමාගමක් විසින් ඉහළ ලාබ ලබනවා කියන්නේ ආර්ථිකයට අගය එකතු කිරීමක් වෙනවා කියන එකයි. රටේ කාගේ හරි ආදායමක්නේ. ගණන් හිලවු බැලුවොත්, වැලිබල් පවර් සමාගමේ ආයෝජනය කරපු රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 11,112ක් වී තිබෙනවා. ඒ කියන්නේ රටේ ආර්ථිකයට රුපියල් 10,112ක අගය එකතු කිරීමක්. එයින් රුපියල් 2,762ක් ආදායම් බදු ලෙස රජයට ගෙවා තිබෙනවා. ඊට අමතරව බදු ගෙවීමෙන් පසු ලාබයෙන් වැඩි කොටසක් කොටස් හිමියන්ට ලාභාංශ ලෙස ගෙවා තිබෙන නිසා, ඔවුන්ගේ පෞද්ගලික ආදායම් බදු ලෙසත් රජයට සැලකිය යුතු බදු ආදායමක් ලැබී තිබිය යුතුයි. සමහර විට එකතුව රුපියල් 5000ක් පමණ වෙන්න පුළුවන්.

මේ සියලුම බදු ආදායම් රටේ සමස්ත ජනතාවට ලැබුණු ප්‍රතිලාභයක්. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි දේවල් වලට වියදම් කරන්න වගේම දේශපාලනඥයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට නාස්ති කරන්න, හොරකම් කරන්න වගේ ඕනෑම දෙයකට යොදාගත හැකි මුදලක්. අපි හිතමු ඔය විදිහට රජයට ලැබුණු රුපියල් 5000න් රුපියල් 1000ක් කවුරු හරි හොරා කෑවා. කියලා. එහෙම නැත්නම් ගෙවිය යුතු පෞද්ගලික ආදායම් බදු හරියට ගෙවුවේ නැහැ කියලා. මේවා ප්‍රශ්න තමයි. කිසිම විවාදයක් නැහැ. ඒ රුපියල් 1000 බේරා ගත යුතුයි. හැබැයි ඔය රුපියල් 5000ම රජයට ලැබුණේ වැලිබල් සමාගම වගේ පෞද්ගලික සමාගමක් තිබුණු නිසා කියන එක අමතක නොකළ යුතුයි. හොරකම්, දූෂණ වලට විරුද්ධ, එහෙත් පෞද්ගලීකරණයට එරෙහිව රාජ්‍ය ඒකාධිකාරයන් වෙනුවෙන් පෙනී සිටින ආර්ථික ප්‍රතිපත්තියකින් ඔය රුපියල් 1000 බේරෙන්නේ නැහැ. රුපියල් 5000ම නැති වෙන එකයි වෙන්නේ. එතකොට කොහොමත් හොරකම් කරන්න කියලා දෙයක් නැහැ. ඒකත් අතුරු කතාවක්.

ආපහු වැලිබල් ලාබ වලට ආවොත්, අපිට ඔය ලාබ අදාළ කාලයේ ලංවිම ලාබ එක්ක සංසන්දනය කළ හැකියි. සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය පැත්තකින් තිබ්බත්, ලංවිම කියා කියන්නේ ලංකාවේ විදුලිය ජනනයෙන් 70%කට වඩා කරන, ඒ නිසාම පරිමාණයේ වාසියද ලබන (economy of scale), වැලිබල් සමාගමේ තරඟකරුවෙක්. වැලිබල් සමාගමට ලාබ ලැබිය හැකිනම් ලංවිමට ඒ හා සමාන ලාබ ලබන්න බැරි වෙන්න විශේෂ හේතුවක් තියෙනවද? 

ලංවිම මූල්‍ය වර්ෂය දෙසැම්බර් 31න් අවසන් වන නිසා හරියටම ගලපන්න බැහැ. නමුත් මේ වෙනස සංසන්දනයක් කරන්න බාධාවක් නෙමෙයි. 2012-2021 කාලය තුළ ලංවිම විසින් ලාබ ලබා තියෙන්නේ 2013 හා 2015 වසර වලදී පමණයි. නමුත්, මේ ලාබ ගිණුම්කරණ ලාබ. කොටස් ආයෝජන වල අනුපාතයක් ලෙස 2013දී 11.5%කුත්, 2015දී 5.1%කුත් ලාබ ලබා තිබෙනවා. එහෙත්, මෙම වසර වලදී එක්-වසර භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික පිළිවෙලින් 8.29% හා 7.30% නිසා, ආර්ථික ලාබයක් තිබෙනවානම් තිබිය හැක්කේ 2013දී පමණයි. අවදානම වෙනුවෙන් යාන්තම් 3.2%ක් දමපු ගමන් ඒකත් නැතිව යනවා. මේ ලාභ ගිණුම්කරණ ලාබ මිසක් ආර්ථික ලාබ නෙමෙයි. 

පසුගිය වසර දහය තුළ, ආදායම් බදු ගෙවීමට පෙර ලංවිම කොටස් ආයෝජන මත සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය සෘණ 10.5%ක්. මෙය වැලිබල් සමාගමේ එම අනුපාතය වූ 27.2% සමඟ සසඳා බලන්න. 37.7%ක වෙනසක්. වැලිබල් පවර් සමාගමේ ආයෝජනය කරපු රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 11,112ක් වී තිබෙනවා. අදාළ කාලය තුළ (මාස තුනේ වෙනස නොසලකා හැර) ලංවිම තුළ ආයෝජනය කරපු මහජන ධනය රුපියල් 1000ක් වසර දහයක් යද්දී රුපියල් 329ක් දක්වා අඩු වී වී තිබෙනවා. 2022 පළමු මාස හයේ පාඩුව සැලකුවොත්, මෙම වටිනාකම රුපියල් 260 දක්වාම අඩු වෙනවා. මෙහි අවාසිය මේ පාඩුව පමණක් නොවන බව පැහැදිලි විය යුතුයි. පෞද්ගලික අංශය යටතේ ලැබිය හැකිව තිබුණු ලාබය හා ඒ මත අය කළ හැකිව තිබුණු බදු ආදායම මෙහිදී මුළුමනින්ම නැති වී තිබෙනවා.

දැන් අපි ජනප්‍රිය සමාජවාදී තර්කය වෙත එමු. වැලිබල් ලාබ කියා කියන්නේ වෙනත් අයෙකුට අහිමි වූ දෙයක්ද? එසේ නැත්නම්, ඔවුන් විසින් අලුතින්ම නිර්මාණය කළ ධනයක්ද? 

මෙහිදී වැලිබල් ලාබ නිසා වෙනත් අයෙකුට යමක් අහිමි වූවානම් එසේ අහිමි වූයේ ලංවිමට, රජයට හෝ පාරිභෝගිකයාට විය හැකියි. එවැන්නක් සිදු වී ඇත්දැයි දැන් අපි විමසා බලමු. 

වගුව 2: වැලිබල් පවර් විදුලියෙන් ලංවිම ලාබ 


පසුගිය වසර දහය තුළ ලංවිම විසින් වැලිබල් පවර් වෙතින් මිල දී ගත් විදුලිය පාරිභෝගිකයාට විකුණා තිබෙන්නේ සාමාන්‍ය වශයෙන් ඒකකයකට රුපියල් 2.90ක ලාබයක් තියා ගෙනයි. සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදාහැරීමේ වියදම් අඩු කිරීමෙන් පසුව ශුද්ධ ලාබය කොපමණද කියා මා දන්නේ නැහැ. ඇතැම් විට එය අලාබයක් වෙන්නත් පුළුවන්. අපට එය ගණනය කළ හැකි නිශ්චිත පදනමක් නැහැ. 

කෙසේ වුවත්, වැලිබල් පවර් සමඟ ගනුදෙනු වලින් ලංවිමට ලැබුණු සැබෑ ලාබය ඊට වඩා ගොඩක් වැඩියි. එක් වසරකදී හැර (2015) අනෙක් සෑම වසරකදීම ලංවිම විසින් වැලිබල් පවර් විදුලිය ඒකකයක්  වෙනුවෙන් ගෙවා ඇති මුදල ලංවිම සාමාන්‍ය ඒකක පිරිවැයට වඩා අඩුයි. වෙනසෙහි සාමාන්‍ය අගය රුපියල් 5.14ක්. එහෙත්, විදුලි ඒකකයක් හැදීමේ ලංවිම ආවස්ථික පිරිවැය අනිවාර්යයෙන්ම මීට වඩා වැඩියි. එය (ඩීසල් වලින් විදුලිය හැදීමේ පිරිවැය) සාමාන්‍ය ඒකක පිරිවැයට වඩා අඩු වශයෙන් රුපියල් පහකින්වත් වැඩි විය යුතුයි. ඒ කියන්නේ, වැලිබල් පවර් විදුලිය මිල දී ගැනීමෙන් ලංවිමට ඒකකයකින් රුපියල් 10ක පමණවත් ලාබයක් තිබිය යුතුයි. මේ ගනුදෙනුව නොවන්නට ලංවිම පාඩු මීටත් වඩා ඉහළ ගිහින්.

ලංවිම පාඩු වැඩි වෙනවා කියන්නේ රජයේ වියදම්ද වැඩි වෙනවා කියන එකයි. ඒ වගේම, විදුලි බිල වැඩි වීමේ ඉඩකඩ ඉහළ යනවා කියන එකයි. මේ අනුව, වැලිබල් පවර් සමඟ ලංවිම කර ඇති ගනුදෙනු වලින් පාරිභෝගිකයාට හා රජයට වාසියක් මිස පාඩුවක් සිදු වී නැහැ. 

වැලිබල් පවර් විසින් විදුලිය හදන්නේ "ඔවුන් විසින් ආයෝජනය කර නිපදවාගත්" ජලය භාවිතයෙන් නෙමෙයි. පාවිච්චි කරන වතුර රටේ කාටත් අයිති පොදු භාණ්ඩයක්. එහෙමනම්, පෞද්ගලික සමාගමක් විසින් මේ පොදු භාණ්ඩය යොදාගෙන ලාබ උපයන එක නිවැරදිද?

වතුර නිකම්ම ගලා යන වතුර වුනත් ඒ වතුර ප්‍රයෝජනයට ගන්නා සමාගමක් වතුරේ "අයිතිකරුවන්ට" එහි මිල ගෙවිය යුතුයි. වැලිබල් පවර් සමාගම මේ මිල රජයට බද්දක් ලෙස ගෙවනවා. ප්‍රමාණය කොපමණද කියා මම දන්නේ නැහැ. ඒ බදු මුදලද වැලිබල් පවර් සමාගමේ ඒකක පිරිවැයෙහි කොටසක්. රජයට ලැබෙන ආදායමක්. 

මෙතෙක් ලියූ දේවල් වලින් එක් දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ වැලිබල් පවර් සමාගම විසින් අලුතෙන් ධනය නිර්මාණය කරන බව. ප්‍රාග්ධන ආයෝජනයේ ආවස්ථික පිරිවැය අඩු කිරීමෙන් පසු වැලිබල් පවර් සමාගම විසින් නිපදවන විදුලි ඒකකයකින් රුපියල් පහක් පමණ එහි කොටස් හිමියන්ට ලැබෙනවා ඇති. ඊට අමතරව තවත් රුපියල් පහක් පමණ රජයට බදු ලෙස ලැබෙනවා. ලංවිමට රුපියල් දහයක පමණවත් වාසියක් ලැබෙනවා. මේ සියලු වාසි ලැබෙන්නේ වැලිබල් පවර් සමාගමේ අයිතිකරුවන්ගේ ලාබ සොයා යාමේ අපේක්ෂාව තුළයි. 

Tuesday, September 6, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (සිවුවන කොටස)

අමතර කරුණු වලට යන්න කලින් පෙර කොටසේ ලියූ දේවල් වල අපැහැදිලි සේ පෙනෙන තැන් පැහැදිලි කරලා ඉන්නම්. පළමු කොටසේදී මම වචන යොදාගත්තේ ආර්ථික විද්‍යාත්මක අරුතකින් මිසක් විදුලිබල කර්මාන්තය තුළ සිදුවන භෞතික ක්‍රියාවලිය මත පදනම්ව නෙමෙයි. ඒ නිසා, වචන වල අවුලක් පෙනෙන්න පුළුවන්. විදුලිය නිපදවීමේ සිට පාරිභෝගිකයා දක්වා පැමිණීමේ භෞතික ක්‍රියාවලිය කොටස් තුනකට (හතරකට) බෙදිය හැකියි. 

1. විදුලිය නිපදවා තොග වශයෙන් විකිණීම 

2. සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය 

3. බෙදා හැරීම 

(4. සිල්ලර වෙළඳාම) 

විදුලිය නිපදවා "තොග වශයෙන්" විකිණීම - මේ වැඩේ තරඟකාරී පදනමකින් බොහෝ දෙනෙකුට කළ හැකි වැඩක්. එසේ කිරීම වලක්වන ලොකු තාක්ෂණික බාධාවක්  නැහැ. ඒ වගේම, තරඟකාරී වෙළඳපොළක් තිබීම ආර්ථික වශයෙන් ශක්‍ය දෙයක්. ලංකාව ගත්තත් විදුලිය නිපදවන සමාගම් ගණනාවක් දැනටමත් තිබෙනවා. පෙර කොටසේ ලියූ පරිදි, 2021දී ලංකාවේ නිපදවූ විදුලිය ගිගාවොට්පැය 16,716න් වැඩිම කොටසක්, එනම් ගිගාවොට්පැය 12,711ක්ම නිපදවූයේ ලංවිම විසින්. එහෙත්, පෞද්ගලික සමාගම් විසින්ද ගිගාවොට්පැය 4,004ක් නිපදවුවා. මේ හා අදාළ වැඩිමනත් තොරතුරු හා මගේ යෝජනා ඉදිරි කොටසකින් කතා කරමු.

සම්ප්‍රේෂණය- මෙය දෙවන පියවර. සම්ප්‍රේෂණ සමාගමක් විසින් කරන්නේ ජනනය කරන විදුලිය ට්‍රාන්ස්ෆෝමරයක් මගින් අධි-වෝල්ටීය විදුලිය බවට හරවා වෙනත් තැනකට "ප්‍රවාහනය" කර එහිදී තවත් ට්‍රාන්ස්ෆෝමරයක් මගින් වෝල්ටීයතාව අඩු කර බෙදාහරින්නෙකුට ලබා දීම. ඒ වෙනුවෙන් සම්ප්‍රේෂකයා විසින් "ප්‍රවාහන ගාස්තුවක්" අය කරනවා. 

මෙහෙම කිවුවත් මෙය තාක්ෂණික ලෙස සංකීර්ණ වැඩක්. විදුලිය ප්‍රවාහනය කිරීම තක්කාලි ප්‍රවාහනය කිරීම වගේ දෙයක් නෙමෙයි. විදුලිය සම්ප්‍රේෂණය කරන පද්ධතියක් හැම මොහොතකම "සමතුලිතව" තබා ගත යුතුයි. විදුලිය ගබඩා කර තබා ගන්න බැහැ. (තාක්ෂණිකව වැරදිනම් එය ගොඩක් අසීරුයි කියා කියමුකෝ). ඒ නිසා, ඕනෑම මොහොතක විදුලි ඉල්ලුම හා විදුලි සැපයුම සමාන විය යුතුයි. නැත්නම් පද්ධතිය බිඳ වැටෙනවා. අසමතුලිතතාවය යම් සීමාවක් පැන්නොත් පද්ධතිය බිඳ වැටෙනවා. 

සම්ප්‍රේෂකයෙකුට බෙදාහරින්නෙකුගේ ඉල්ලුම පාලනය කරන්න බැහැ. කළ හැක්කේ පුරෝකථනය කිරීම පමණයි. ඒ පුරෝකථනය අනුව සැපයුම වෙනස් කළ යුතුයි. සැපයුම බොහෝ විට පොඩි ගණන් වලින් වෙනස් කරන්න බැහැ. ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියා විරහිත කිරීමයි කළ හැක්කේ. එවිට, එම ජනක යන්ත්‍රයේ මුළු ධාරිතාවම එකවර පද්ධතියට එකතු වෙනවා. නැත්නම් එම මුළු ධාරිතාවම පද්ධතියෙන් එක වර ඉවත් වෙනවා. ඒ නිසා, පද්ධතිය කුඩා වූ තරමට එය සුමට ලෙස පවත්වා ගෙන යාම අසීරුයි. බෙදාහරින්නන් හා විදුලිය නිපදවන්නන් විශාල ප්‍රමාණයක් පද්ධතියට සම්බන්ධ වී සිටින විට එය සුමට ලෙස මෙහෙයවන එක පහසුයි.

ලංකාවේ විදුලිය බෙදා හරින මධ්‍යස්ථාන හා ජනක යන්ත්‍ර සියල්ල එකම පද්ධතියක් ලෙස සම්බන්ධ කර තිබෙනවා. එය කාර්යක්ෂමයි. මේ පද්ධතිය මුළුමනින්ම පාලනය කරන්නේ ලංවිම විසින්. ඒ වගේම සම්ප්‍රේෂණය කිරීමේ ඒකාධිකාරයක්ද තිබෙනවා.

ලොකු රටක් වන ඇමරිකාවේ මහද්වීපයට පිටින් තිබෙන ඇලස්කා හා හවායි ප්‍රාන්ත වල හුදෙකලා විදුලිබල පද්ධති දෙකක් තිබෙනවා. මහාද්වීපයේ පිහිටි ඉතිරි ප්‍රාන්ත 48න් ටෙක්සාස් ප්‍රාන්තයේද බොහෝ දුරට හුදෙකලා විදුලි පද්ධතියක් තිබෙනවා. අනෙක් ප්‍රාන්ත 47 සහ වොෂින්ටන් අගනුවර එකිනෙකින් බොහෝ දුරට හුදෙකලා විශාල විදුලිබල පද්ධති දෙකක් ලෙස සම්බන්ධ වී තිබෙනවා. රටේ නැගෙනහිර කොටසේ ප්‍රාන්ත එක් පද්ධතියක්. බටහිර කොටසේ ප්‍රාන්ත තවත් පද්ධතියක්. ඒ වගේම මේ නැගෙනහිර හා බටහිර විදුලි බල පද්ධති වලට කැනඩාවේ ප්‍රදේශද සම්බන්ධයි. උතුරු ඇමරිකාවම සැලකුවොත් කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තය පැත්තට වෙන්න තවත් විදුලිබල පද්ධතියක් තිබෙනවා. 

මහාද්වීපික ඇමරිකාවේ තිබෙන විදුලිබල පද්ධති තුන එකිනෙකින් "බොහෝ දුරට" හුදෙකලා කියා කීවේ මේ පද්ධති අතරද විදුලි බලය හුවමාරු කළ හැකි සම්බන්ධතාවන් තිබෙන නිසයි. එහෙත් එසේ එම පද්ධති සම්බන්ධ කර ඇත්තේ එක් පද්ධතියක් අසමතුලිත වීම අනෙක් පද්ධති වලට බල නොපාන ආකාරයකිනුයි. මේ විදිහට එකම පද්ධතියක් ලෙස සම්බන්ධ වී තිබුණත් බටහිර හා නැගෙනහිර විදුලිබල පද්ධති එකම සම්ප්‍රේෂකයෙකුට මුළුමනින්ම අයිති නැහැ. ඒ පද්ධති වල කොටස් පද්ධති පාලකයින් 66 දෙනෙකු විසින් පාලනය කරනවා. කැනඩා කොටස් වල තවත් පද්ධති පාලකයෝ ඉන්නවා.


ප්‍රදේශ දෙකක් අතර විදුල බලය ප්‍රවාහනය කිරීම සඳහා තරඟකාරී සම්ප්‍රේෂකයින් දෙදෙනෙකු සිටීම තාක්ෂණික ලෙස සිදුවිය නොහැක්කක් නෙමෙයි. එහෙත්, යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජනය විශාල නිසා මේ වැඩේ මුලින්ම කරන සම්ප්රේෂකයාට විශේෂ වාසියක් ලැබෙනවා. ඒ තුළින් "ස්වභාවික ඒකාධිකාරයක්" හැදෙනවා. ඒ හේතුව නිසා සම්ප්‍රේෂණ පද්ධතියක අයිතිය කාට වුවත් ඇමරිකන් නීතිය යටතේ ඒවා සැලකෙන්නේ පොදු භාණ්ඩ ලෙසයි. ඒ කියන්නේ, පෞද්ගලික  බස් වගේ. 

සම්ප්‍රේෂණ පද්ධතියක අයිතිකරුවෙකු එය පරිහරණය කිරීම සඳහා සියල්ලන්ටම සම අවස්ථා ලබා දිය යුතුයි. වෙනස් ලෙස සැලකිය නොහැකියි. 

ලංකාවේ සම්ප්‍රේෂණ පද්ධතිය මේ වන විට මුළුමනින්ම අයිති ලංවිමටයි. ඒ වගේම, පද්ධති පාලනය කරන්නේත් ලංවිම පමණයි. ලංකාවේ විදුලිබල පද්ධතියේ ප්‍රමාණය අනුව සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය තනි ආයතනයක් විසින් කිරීම ආයතන කිහිපයක් විසින් කොටස් කඩා කරනවාට වඩා කාර්යක්ෂම විය හැකියි. කඩනවා වුනත් වැඩිම වුනොත් මෙය කොටස් පහකට පමණ බෙදිය හැකියි. ඊට වඩා කුඩා කිරීම තාක්ෂණික ලෙස ශක්‍ය නැහැ. ඒ වගේම, එසේ කොටස් කිරීමේ තාක්ෂණික අවාසියට සාපේක්ෂව වෙනත් ආර්ථික වාසි නැහැ. සම්ප්‍රේෂණය කිරීමේ හා පද්ධති පාලනය කිරීමේ ලංවිම ඒකාධිකාරය කඩන එක අනවශ්‍ය දෙයක්. ඇමරිකාවේ පද්ධති පාලකයින් 66 දෙනෙකු ඉන්නේ ඓතිහාසික හා දේශපාලනික හේතු මත මිස ආර්ථික හේතු නිසා නෙමෙයි. 

දෙවන කොටස ගැන තරමක් ලොකු විස්තරයක් ලිවුවේ මේ කොටස ගැන දිගින් දිගටම කතා කරන්න බලාපොරොත්තුවක් නැති නිසා. මොකද මේ කටයුත්ත දැන් සිදු වෙන විදිහ ලොකුවට වෙනස් විය යුතු නැහැ.

බෙදා හැරීම - බෙදා හැරීම තුන් වන කොටසයි. බෙදා හරින්නා විසින් කරන්නේ සම්ප්‍රේෂකයා විසින් තොග වශයෙන් ලබා දෙන විදුලිය විදුලි උපපොළක සිට නිවෙස් දක්වා බෙදා හැරීමයි. මේ සඳහාද යටිතල පහසුකම් වෙනුවෙන් මුදල් යෙදවිය යුතු නිසා පළමුවැන්නාට ස්වභාවික ඒකාධිකාරයක් හිමි වෙනවා. එහෙත්, මෙහි ස්ථිර පිරිවැය සම්ප්‍රේෂකයෙකුගේ ස්ථිර පිරිවැය තරම්ම විශාල නොවන නිසා දෙවැන්නෙකුට වෙළඳපොළට ඇතුළු වීම නොකළ හැක්කක් නෙමෙයි. ඒ වගේම, බෙදා හරින්නෙකුට පැවතීම සඳහා විශාල ප්‍රදේශයක් අවශ්‍ය වන්නේ නැහැ. මගේ අදහස අනුව ඇමරිකාවේ බෙදාහරින්නන් දහස් ගණනක් සිටිනවා විය යුතුයි. ලංකාවේ බෙදා හැරීම කරන්නේ ලංවිම හා ලෙකෝ සමාගමයි.

සිල්ලරට විකිණීම - විදුලිය ජනනය කිරීම, සම්ප්‍රේෂණය හා බෙදා හැරීම භෞතික ලෙස සිදු වන කටයුතු තුනක්. විකිණීම ආර්ථික කටයුත්තක්. ලංකාවේ සන්දර්භයේදී විදුලිය බෙදා හැරීම හා සිල්ලරට විකිණීම එකට යන කටයුතු දෙකක්. එහෙත්, මෙය එසේම සිදු විය යුතු නැහැ. විදුලිය සිල්ලරට විකිණීම කළ හැක්කේ කාටද?

පහසුම ක්‍රමය ලංකාවේ දැනටද සිදුවන පරිදි බෙදා හරින්නා විසින් විදුලිය සිල්ලරට විකිණීමයි. මෙහිදී බෙදා හරින්නා විසින් නිපදවන්නාගෙන් තොග වශයෙන් විදුලිය මිල දී ගන්නවා. නිපදවන්නාට එක්කෝ බෙදාහරින්නට අවශ්‍ය තැනට විදුලිය සපයන්න පුළුවන්. මෙහිදී නිපදවන්නා විසින් සම්ප්‍රේෂකයාට ප්‍රවාහන ගාස්තු ගෙවනවා. එසේ නැත්නම් විදුලිය හදන තැනින් සපයන්න පුළුවන්. එහිදී බෙදාහරින්නා විසින් ප්‍රවාහන ගාස්තු ගෙවනවා. 

සම්ප්‍රේෂකයා විසින් විදුලිය විකිණීම - මෙය ආචාර ධාර්මිකව නුසුදුසු දෙයක්. බොහෝ රටවල නීතියෙන් ඉඩ නොලැබෙන දෙයක්. සම්ප්‍රේෂකයාට ලැබෙන ස්වභාවික ඒකාධිකාරය නිසා සම්ප්‍රේෂකයා සියලු නිපදවන්නට, බෙදාහරින්නට හා පාරිභෝගිකයින්ට සම සේ සැලකිය යුතුයි. සම්ප්‍රේෂකයා ඔවුන්ගේ තරඟකරුවෙකු වූ විට මේ වැඩේ සිදු වෙන්නේ නැහැ. ඇමරිකාවේ බොහෝ සම්ප්‍රේෂකයින් ලාබ ලැබීම අරමුණු කර නොගත් ආයතන. 

නිෂ්පාදකයා විසින්ම සිල්ලරට විදුලිය විකිණීම - ලංකාවේ සිදු නොවුනත් මෙයත් ලෝකයේ වෙනත් රටවල සිදු වන දෙයක්. මෙහිදී නිෂ්පාදකයා විසින් සම්ප්‍රේෂකයාට මෙන්ම බෙදාහරින්නාටද ගාස්තුවක් ගෙවනවා. 

වෙනමම පාර්ශ්වයක් විසින් විදුලිය විකිණීම - මෙහිදී සිල්ලර වෙළෙන්දාට විදුලිය සැපයීම තුළ කිසිදු භෞතික කාර්යභාරයක් නැහැ. සිල්ලර වෙළෙන්දා විසින් නිෂ්පාදකයාගෙන් තොග මිලට විදුලිය ලබාගෙන, සම්ප්‍රේෂකයාට සහ බෙදා හරින්නාට ගාස්තු ගෙවා පාරිභෝගිකයාට විදුලිය ලැබෙන්නට සලස්වනවා.

මේ සියල්ල පසුබිම් විස්තර. දැන් අපි කලින් නැවැත්වූ තැනට එමු. එහිදී මම යෝජනා කළේ ලංකාවේ විදුලිය බෙදා හැරීම හා සිල්ලරට විකිණීම පළමුව විමධ්‍යගත කර දෙවනුව ඒ සඳහා පෞද්ගලික අංශය දායක කර ගත යුතු බවයි. දැන් අපි ප්‍රශ්න වලට යමු.

ජනනය හා සම්ප්‍රේෂණය ගැන කතා නොකර බෙදාහැරීම ගැන කතා කළේ ඇයි?

ලංකාවේ විදුලිබල වෙළඳපොළෙහි ප්‍රමාණය හා රටේ ප්‍රමාණය අනුව සම්ප්‍රේෂණය හා පද්ධති පාලනය විමධ්‍යගත කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම අවශ්‍යම දෙයක් නෙමෙයි. ඒ වගේ වැඩකින් දැනට තිබෙන කාර්යක්ෂමතාවය වැඩි වීමට ලොකු ඉඩක් නැතුවාක් මෙන්ම කාර්යක්ෂමතාවය අඩු වෙන්න වුනත් පුළුවන්. කවර හෝ හේතු නිසා එසේ කළ යුතු වුවත්, ඒ ගැන සිතා බැලිය යුත්තේ කලින් කළ යුතු අනෙකුත් බොහෝ දේ කිරීමෙන් පසුවයි.

ලංකාවේ විදුලි ජනනය මේ වන විටත් සෑහෙන දුරකට පෞද්ගලික අංශය විසින් කරනවා වගේම සැලකිය යුතු තරඟයක්ද තිබෙනවා. තව යා යුතු දුර බොහෝ බව ඇත්ත. නමුත් විදුලි ජනන වෙළඳපොළ ලංවිම ඒකාධිකාරය දැනටත් දුර්වල එකක්. ලංකාවේ විදුලිය නිපදවීමේ ආන්තික පිරිවැය (marginal cost) වගේම සාමාන්‍ය පිරිවැයද (average cost) තීරණය කරන්නේ පෞද්ගලික විදුලිබල නිෂ්පාදකයින් විසින්. 

විදුලි ජනන වෙළඳපොලේ එවැනි තරඟයක් තිබියදීත් එහි වාසිය පාරිභෝගිකයා වෙත නොඑන්නේ විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය ලංවිම හා ලෙකෝ සතුව තිබෙන නිසා. තාක්ෂණික හේතු මත සම්ප්‍රේෂණ ඒකාධිකාරය නොබිඳිය යුතු බව මම ඉහත විස්තර කළා. එවිට ඉතිරි වන්නේ බෙදා හැරීම හා සිල්ලර වෙළඳාම.

ඊළඟට ලංකාවේ බිම් යථාර්තයට ආවොත් මෙය කියවන්නේ ලංකාවේ අහඹු නියැදියක් නෙමෙයි. මෙය කියවන අය අතර වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින අය වැඩි වෙන්න පුළුවන්. නමුත් රටේ තත්ත්වය වෙනස්. රටේ ගොඩක් මිනිස්සු වෙළඳපොළ වැඩි දියුණු කෙරෙන ප්‍රතිසංස්කරණ වලට බයයි. කිසිම තාර්කික හේතුවක් නැතුව ඕනෑම ප්‍රගතිශීලී වෙනසකට විරුද්ධ වෙන අය ඕනෑ තරම් ඉන්නවා.

ලංකාවේ මෙන් රාජ්‍ය ඒකාධිකාරයක් තිබුණු කර්මාන්තයක් එක රැයින් විශාල පරිවර්තනයකට ලක් කරන එක ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. ලෝකයේ කිසිම රටක ප්‍රති-නියාමනය හදිසියේ කරලා නැහැ. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල විදුලිබල සැපයුම් කර්මාන්තය අද තියෙන තැන දක්වා පරිණාමය වී තිබෙන්නේ වසර ගණනක් තුළයි. ඒ නිසා, පියවරෙන් පියවර යා යුතුයි. එක් පියවරක් ලොකු කම්පනයක් නොවිය යුතුයි. හැම පියවරකින් පසුවම එයින් වැඩක් වූ බව රටේ සැලකිය යුතු පිරිසකට පෙනෙන්න තිබිය යුතුයි. මම යෝජනාව ගෙනාවේ මේ හැම දෙයක් ගැනම හිතලා. එය පළමු පියවරක් පමණයි. ඊළඟ පියවර පසුව විස්තර කරන්නම්.

මෙහිදී මම නිගමනය කරනවා මේ පළමු අදියරේදී විදුලිය සිල්ලරට විකිණීම බෙදා හරින්නා විසින් කළ යුතුයි කියා. ඒ ඇයි?

මේ වැඩේ විදුලිය හදන සමාගම් වලට දුන්න ගමන් ලංවිමත් එක්ක ක්ෂණික ගැටුමක් එනවා. එක පැත්තකින් ලංවිම විදුලිය විකුණනවා. පෞද්ගලික නිෂ්පාදකයින්ට විදුලිය විකුණන්න වෙන්නෙත් ලංවිම යටිතල පහසුකම්ම උපයෝගී කරලා. සම්ප්‍රේෂණය වගේම බෙදාහැරීමත් තියෙන්නේ ලංවිම අතේ. වෙනත් බොහෝ දේ වෙනස් නොවී ඔය වගේ ප්‍රතිසංස්කරණයක් සාර්ථක ලෙස දියත් කරන එක ගොඩක් අමාරු වැඩක්. 

දැනට කර්මාන්තයේ නැති අලුත්ම පිරිසක් වැඩේට සම්බන්ධ වෙන එක නොවෙන දෙයක්. එවැනි අයෙකුට කොහොමත් ලංවිම එක්ක තරඟ කරන්න බැහැ. 

බෙදා හරින්නා විසින් විදුලිය සිල්ලරට විකුණන එක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. ඒ වැඩේ කාලයක් තිස්සේ සාර්ථක ලෙස සිදු වුනා. දැනටත් ලෙකෝ එක ඒ වැඩේ කරනවා. මේ වැඩේ වෙළඳපොළට විශාල කම්පනයක් නෙමෙයි. 

මේ වැඩෙන් පාරිභෝගිකයාට වාසියක් නැහැ නේද?

පළමු වටයේදී ක්ෂණික වාසියක් නැහැ. වාසිය ලැබෙන්නේ දෙවන අදියරේදී සහ ඉන් පසුව. එය මම පසුව විස්තර කරන්නම්.

මේ වැඩෙන් තරඟයක් ඇති වෙන්නේ නැහැ නේද? 

තරඟයක් ඇති වෙනවා. වෙළඳපොළක තරඟයක් ඇති විය හැකි විවිධ ආකාර තිබෙනවා. මෙහිදී තරඟය පටන් ගන්නේ බෙදාහරින්නන් තෝරා ගන්නා අවස්ථාවේදී.

මේ වැඩෙන් ලංවිම ඒකාධිකාරය නැති වෙන්නේ නැහැ නේද?

පැහැදිලිවම නැහැ. මෙය ලංවිම ඒකාධිකාරය බිඳීම සඳහා තැබිය හැකි එක් පළමු පියවරක් පමණයි.

ලංකාව වගේ කුඩා රටක විදුලිය බෙදාහරින්නන් 200-300 විතර ඉන්න ආකෘතියක් ලෝකයේ මොනම හරි රටක මේ වෙද්දී සාර්ථක විදිහට ක්‍රියාත්මක වෙන ආකෘතියක්ද?

පළමුව, විදුලිය බෙදාහරින්නන් 200-300 විතර සිටිය යුතු බවක් මම කිවුවේ නැහැ. දෙවනුව, අපි කරන හැම දෙයක්ම ලෝකයේ වෙනත් රටක් කලින් කර තිබිය යුතු නැහැ. ඕනෑම දෙයක් මුලින්ම කරන්නේ මොකක් හරි එක රටක. බොහෝ රටවල් වෙන රටවල් කර නැති දේවල් මුලින්ම කරලා තියෙනවා. හැබැයි වෙනත් බොහෝ රටවල් විසින් කරලා අසාර්ථක වී තිබෙන දෙයක්නම් එවැන්නක් කරන එකේ තේරුමක් නැහැ. මෙය එවැන්නක් නෙමෙයි.

එහෙමනම් විදුලිය බෙදාහරින්නන් කොපමණ සිටිය යුතුද?

මෙය අවසාන වශයෙන් තීරණය වන්නේ වෙළඳපොළ තුළයි. එහෙත්, මුලින්ම කඩන කොටස් ප්‍රමාණයට වඩා බෙදාහරින්නන් ඉන්න විදිහක් නැති නිසා විමධ්‍යගත කිරීමේ සැලසුම තුළ උපරිම බෙදාහරින්නන් ප්‍රමාණය තීරණය වෙනවා. දැනටම ලෙකෝ එකේ ශාඛා බල ප්‍රදේශ 7ක් තිබෙනවා. ලංවිම කොට්ඨාශ වල උප ප්‍රදේශ ගණනාවක් තිබෙනවා.

කොට්ඨාශය 1 - ප්‍රදේශ 20

කොට්ඨාශය 2 - ප්‍රදේශ 24

කොට්ඨාශය 3 - ප්‍රදේශ 14

කොට්ඨාශය 4 - ප්‍රදේශ 11

ලෙකෝ - ප්‍රදේශ 7

එකතුව - ප්‍රදේශ 76

දැනටම මෙවැනි විමධ්‍යගත ආකෘතියක් ඇති නිසා මේ ප්‍රදේශ මත පදනම්ව ප්‍රතිසංස්කරණයක් කරන එක පහසු වැඩක්. මගේ ලිපියේ මම කොටස් 200-300කට කැඩිය යුතු කතාවක් කිවුවේ නැහැ. එහි මම ලිවුවේ මෙවැන්නක්.

"ලෙකෝ එකෙන් කතාව පටන් ගත්තත්, ලංවිම බෙදා හැරීමේ කොට්ඨාශ වලත් උප කොට්ඨාශ තිබෙනවා. ලෙකෝ එකෙන් පටන් ගන්නේ නැතිව, ඒ උප කොට්ඨාශ වලින් මේ වගේ වැඩක් පටන් ගන්න පුළුවන්."

ඔය 200 කතාව ලිවුවේ අහපු ප්‍රශ්නයකට ප්‍රතිචාරයක් ලෙසයි. එහිදී මම කිවුවේ කඩන කලාප ගණනින් බෙදාහරින්නන් එපමණ ඇති වන බවක් අදහස් නොවන බවයි. 200 පැහැදිලි කිරීමේ උදාහරණයේදී යොදාගත් සංඛ්‍යාවක් පමණයි.

"අපි හිතමු කලාප 200කට කැඩුවා කියලා. කුඩා වැඩි නිසා එය අකාර්යක්ෂමනම් වෙන්දේසි කරද්දී කලාප 10 පමණ බැගින් ලබා ගන්නා තරමක් ලොකු සමාගම් 20ක් හැදෙයි. නමුත්, කලාප 20කින් පටන් ගත්තොත් එය අනෙක් පැත්තට වෙන්නේ නැහැ. ඒ නිසා, හැම විටම විමධ්‍යගත කිරීම වඩා කාර්යක්ෂමයි. එය කාර්යක්ෂම නැත්නම් වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳනවා. නමුත් අනෙක් පැත්තට වෙන්නේ නැහැ."

කොයි තරම් කුඩා කොටස් වලට කැඩිය යුතුයිද කියන එක හරියටම තීරණය කරන්න වෙන්නේ දැනට තිබෙන බෙදාහැරීමේ ජාලයේ ස්වරූපය අනුව. (ග්‍රිඩ් උපපොලවල්, ට්‍රාන්ස්ෆෝමර්ස් ආදිය තිබෙන තැන් අනුව). වැඩේ කෙරෙනවනම් කෙරෙන වෙලාවක ඒ ගැන හදාරමු. දැනට නිශ්චිත ගණනක් ගැන තීරණයකට එන්න අවශ්‍ය නැහැ.

මේ තරම්ම පොඩි කොටස් වලට කඩන එක තාක්ෂණික ලෙස ශක්‍යද? තිරසාරද?

පැහැදිලිවම, ඔව්. ලෙකෝ එක පටන් ගත්තේ දැන් ලෙකෝ එකට අයත් ප්‍රදේශ හතෙන් එකකින්. මුලින්ම ලෙකෝ එක වුනේ කෝට්ටේ නගර සභා බල ප්‍රදේශය. පාරිභෝගිකයෝ හිටියේ 13,000ක් පමණයි. ඒ කාලෙත් ලෙකෝ ආකෘතිය වැඩ කළා. ලෙකෝ එක තවමත් තියෙන්නෙත්, එහි ව්‍යාපාරික කටයුතු ටිකෙන් ටික ව්‍යාප්ත වුනෙත්, ආකෘතිය තිරසාර වූ නිසා. මෙයත් රාජ්‍ය ආයතනයක් නිසා එකම හේතුව කියා මම කියන්නේ නැහැ. 

ලෙකෝ එක හදන්න කලින් ලංවිම හැර බෙදාහරින්නන් 219 දෙනෙක් හිටියා. ඔවුන්ට හිටියේ පාරිභෝගිකයින් 230,000ක් පමණයි. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් එක් අයෙකුට දාහක් පමණ. අඩුපාඩු තිබුණත් මේ ක්‍රමය වැඩ කළා. බෙදාහරින්නාගේ ප්‍රමාණය පොඩි වැඩිවීම ප්‍රශ්නයක් වුනේ නැහැ. ලෙකෝ එක නොහදා මේ කාර්යය පෞද්ගලික අංශයට දුන්නානම් බොහෝ විට අද තියෙන්නේ වෙනම තත්ත්වයක්. පළාත් පාලන ආයතන වලින් පාලනය වෙද්දී අකාර්යක්ෂම වීම අහන්නත් දෙයක් නැහැනේ. 

මේ වෙද්දී ලංවිම පාරිභෝගිකයෝ ලක්ෂ 68ක් ඉන්නවා. ලෙකෝ එකත් එක්ක ගත්තම ලක්ෂ 76ක් ඉන්නවා. මම හිතන්නේ සම්ප්‍රේෂණ පද්ධතියේ තිබෙන ග්‍රිඩ් උප පොළවල් ප්‍රමාණයත් මීට ආසන්නයි. ඒ මට්ටමෙන් ප්‍රදේශ වෙන් කළොත් එක කොටසක පාරිභෝගිකයෝ ලක්ෂයක් පමණ ඉන්නවා. සාමාන්‍ය වශයෙන් වසරකට රුපියල් බිලියන තුන ඉක්මවන පිරිවැටුමක්. ඒ කියන්නේ සෑහෙන්න විශාල සමාගමක්. 

මේ මට්ටමට කැඩුවා කියලා ඔය ගාණට බෙදා හරින්නෝ ප්‍රමාණයක් බිහි වෙන්නේ නැහැ. එකම සමාගම බොහෝ විට ප්‍රදේශ ගණනාවකම බෙදා හැරීමේ අයිතිය ලබා ගන්නවා. රුපියල් බිලියන තුනක පිරිවැටුමක් කියා කියන්නෙත් සැලකිය යුතු විශාල සමාගමක්. මම හිතන්නේ වැඩේ පටන් ගන්න රුපියල් බිලියනකවත් ආයෝජන අවශ්‍ය වෙයි. කළ හැකි දෙයක් වුනත් හරියටම ගණන් බැලුවේනම් නැහැ.

ඒ කියන්නේ මේ මට්ටමට කැඩුවා කියලා අලුතෙන්ම ව්‍යවසායකයෝ බිහි වෙන්නේ නැහැ. දැනට රටේ ඉන්න ලොකු සමාගම් වල හා ලොකු ව්‍යාපාරිකයින්ගේ අතට තමයි වැඩේ යන්නේ. ගොඩක් වෙලාවට වැඩිම වුනොත් සමාගම් හය හතක් අතර රටේ ප්‍රදේශ බෙදී යයි. කතිපයාධිකාරයක් (oligopoly) හැදෙයි. හැබැයි දැනට සාපේක්ෂව සැලකිය යුතු තරඟයක් ඇති වෙනවා. එක සමාගමකට බ්ලොක් එකක් විදිහට ලොකු ප්‍රදේශයක් ලැබෙන්නේ නැහැ. 

මම හිතන්නේ අවම වශයෙන් මේ මට්ටමට කලාප කැඩිය යුතුයි. එහෙම නැතිව බෙදා හැරීම මුළුමනින්ම පෞද්ගලීකරණය කළොත් ඔය වැඩේට බොහෝ විට එන්නේ විදේශීය සමාගම්. කොටස් හතරකට කැඩුවා කියලත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රශ්නය වැඩේ විදේශ සමාගමක් අතට යන එකම නෙමෙයි. ප්‍රමාණවත් තරඟයක් ඇති නොවෙන එක. රාජ්‍ය ඒකාධිකාරය වෙනුවට පෞද්ගලික අංශයේ ඒකාධිකාරයක් හැදුනොත් කරපු ප්‍රතිසංස්කරණයෙන් වැඩක් නැහැ. ඒ වගේම, ඔය වගේ ලොකු කෑලි විකුණද්දී අත යට ගනු දෙනු සිදු වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒ වගේ සැගවුණු වියදම් අන්තිමට ගෙවන්න වෙන්නෙත් පාරිභෝගිකයින්ට. කෑලි කුඩා වූ තරමට මේ අවදානම අඩු වෙනවා.

මුලින්ම සැලසුම් කරලා කොටස් හතරකට කඩන එකත්, කොටස් 75කට පමණ කඩලා වෙන්දේසි කළාට පස්සේ ඒ කොටස් එකතු වෙලා කොටස් හතරක් හැදෙන එකත් එකම නෙමෙයි. දෙවැනි ක්‍රමයේදී තරඟකාරීත්වයට වැඩි ඉඩක් ලැබෙනවා වගේම ප්‍රශස්ත ලෙස කලාප බෙදෙනවා. 

සමාගම් පහක් හයක් වගේ ගණනක් අතර බෙදාහැරීමේ කටයුත්ත බෙදී ගියා කියා අපි හිතමු. ඒ එක්කම දැනට ලංවිම වගේ තැන් වල සේවය කරන තාක්ෂණික කුසලතා හෝ සුදුසුකම් තිබෙන අයට එක වරම විශාල ඉල්ලුමක් ඇති වෙනවා. ඒ අයට හෙට්ටු කරලා වැඩි පඩියකට රැකියාවකට යන්න අවස්ථාව ලැබෙනවා. වැඩි වරප්‍රසාද සමඟ එක් සමාගමකින් අයින් වෙලා තවත් සමාගමකට යන්න ඉඩ ලැබෙනවා. සරලවම දැනට නැති රැකියා වෙළඳපොළක් අලුතෙන් හැදෙනවා. 

අවශ්‍යනම් මීටත් වඩා කුඩා කොටස් වලට කලාප බෙදන එකත් කරන්න බැරි දෙයක් නෙමෙයි. මම හිතන්නේ දැනට ලංවිම බෙදාහැරීම් ට්‍රාන්ස්ෆෝර්මර් (උපපොළවල්) තිස්පන්දාහක් පමණ තිබෙනවා. වැරදිනම් නිවැරදි කරන්න. උපපොළවල් විස්සක් පමණ එකතු කලොත් පාරිභෝගිකයින් හාරදාහක් පමණ ඉන්නවා. වසරකට රුපියල් මිලියන දොළහක පමණ, ඒ කියන්නේ මාසයකට මිලියනයක පමණ පිරිවැටුමක්. එයින් ලක්ෂයක් හෝ දෙකක් ලාබ ගන්න පුළුවන්. සිල්ලර වෙළඳාම බෙදා හැරීමෙන් වෙන් කරනවානම් කිසිම අපහසුවක් නැතුව මේ වගේ මට්ටමටකට නෙමෙයි උපපොල මට්ටමට වුනත් යන්න පුළුවන්. වැඩේට තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. 

සිල්ලර වෙළඳාම උපපොළ මට්ටම දක්වාම වුවත් කොටස් කළ හැකි වුවත්, විදුලිය බෙදාහැරීම ඒ තරම්ම පොඩි මට්ටමකට කඩන්න බැහැ. එවිට යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජන සිදුවෙන්නේ නැහැ. නඩත්තු කටයුතු හරියට වෙන්නේ නැහැ. නමුත්, අවශ්‍යනම් ඔය සීමා දෙක අතර ප්‍රශස්ත මට්ටමක් තෝරා ගන්න පුළුවන්. අළුත් ව්‍යවසායකයින් බිහි වීමට ඉඩ සැලසෙන තරම් කුඩා විය යුතුයි. අවශ්‍ය ආයෝජන නොකඩවා සිදු වෙන තරමට විශාල විය යුතුයි. පාරිභෝගිකයින් හාර පන්දාහකට වඩා නැති බෙදාහරින්නන් ඇමරිකාවේ ඉන්නවා. ඊට වඩා පොඩි සමාගමුත් ඇති. ලංකාවට වඩාත්ම සුදුසු ප්‍රසස්ථ බෙදාහරින්නන් ප්‍රමාණය ගැන මම අවසන් නිගමනයකට එන්නේ නැහැ.

මේ විදිහට බෙදාහැරීම හා සිල්ලර වෙළඳාම භූගෝලීය කලාප ලෙස වෙන් කළත් අදාළ ප්‍රදේශයේ ස්වභාවික ඒකාධිකාරයක් ඇති වීම වැළැක්විය නොහැකියි. එහෙමනම්, ඔය වැඩේ එක් ආයතනයක් විසින් කරන එකේ තිබෙන ප්‍රශ්නය කුමක්ද?

කිසියම් ප්‍රදේශයක් ඇතුළත ස්වභාවික ඒකාධිකාරයක් ඉතිරි වන එක ඇත්ත. පළමුව, සම්ප්‍රේෂණයේදී මෙන් මෙහිදී ප්‍රමාණය කුඩා වීමේ අවාසියක් නැහැ. ගොඩක්ම කුඩා වුනොත් ඒ ප්‍රශ්නය එනවා. නමුත්, පාරිභෝගිකයින් ලක්ෂයක් පමණ සිටීම ඕනෑවටත් වඩා ප්‍රමාණවත් කියා මම හිතනවා. අවාසි නැත්නම් පොඩි වාසියක් වුනත් ශුද්ධ වාසියක්.

ඕනෑම ආයතනයක ආයතනික සංස්කෘතියක් තිබෙනවා. නවෝත්පාදන බිහිවන්නේ ඒ ආයතනික සංස්කෘතිය ඇතුළේ. ඒ නිසා, එක් ආයතනයක සිදුවන වෙනසක් ඒ විදිහටම වෙනත් ආයතනයක සිදු වෙන්නේ නැහැ. ආයතන ප්‍රමාණය වැඩි වූ තරමට හොඳ අතට (වගේම නරක අතටත්) වෙනස්කම් සිදු වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. එක් ආයතනයක හොඳ අතට වෙනස්කමක් වූ විට (කාර්යක්ෂමතාවය ඉහළ ගිය විට) ලාබ අභිලාශ තිබෙන අනෙකුත් තරඟකාරී ආයතන විසින්ද ඒ දෙයම කරන්න පෙළඹෙනවා. තනි ආයතනයක් තියෙද්දී මේ වැඩේ මේ විදිහටම වෙන්නේ නැහැ.

ඒ ළඟට කර්මාන්තයේ ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ඵලදායීතාවය හා ගැලපෙන තරඟකාරී මිලක් ලැබෙනවා. ඒ වැඩේ කරගන්න වෘත්තීය සමිති අවශ්‍ය වෙන්නේ නැහැ. 

මිල නියාමනය තව දුරටත් තිබුණේ වුවත් පාරිභෝගිකයින්ට තරඟකාරී සේවා සපයන්නන් සංසන්දනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. මේ සංසන්දනයන් කතාබහට ලක් වෙනවා. ඒ එක්ක සේවාවන්හි ගුණාත්මක භාවය ඉහළ යනවා. වැදගත්ම දෙය ඊළඟට කියන්න යන එක. 

ලංකාවේ විදුලිය ජනනය මේ වන විටත් ඒකාධිකාරයක් නෙමෙයි. ඒකාධිකාරය හැදෙන්නේ විදුලිය ජනනය කළාට පස්සේ ලංවිම විසින් ජනනය වන සියලුම විදුලිය තොග වශයෙන් මිල දී ගැනීම නිසා. එතැනින්ම තරඟය නවතිනවා. සම්ප්‍රේෂණය හා බෙදාහැරීම ලංවිම (හා ලෙකෝ) අතේ තියෙද්දී මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ. සම්ප්‍රේෂණය ලංවිමෙන් ගලවන්නත් බැහැ. නමුත්, බෙදාහැරීම ලංවිමෙන් ගලවලා සම්ප්‍රේෂණය දැඩි ලෙස නියාමනය කළොත් (ලංවිමට විශේෂ ප්‍රමුඛතාවයක් නොලැබෙන පොදු භාණ්ඩයක් කළොත්) නිෂ්පාදකයින්ට හා බෙදාහරින්නන්ට සෘජුව සම්බන්ධ වීමට ඉඩ සැලසෙනවා. ඒ එක්ක ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. ජනනය කිරීමේ ලොකු පංගුව තව දුරටත් ලංවිම අතේම තිබුනත්, ඒකාධිකාරය නැති වෙනවා. විදුලිය ජනනය කරන අනෙකුත් සමාගම් එක්ක තරඟ කරන්න වෙනවා. ඒ පැත්ත පසුව කතා කරමු.

Sunday, September 4, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (තෙවන කොටස)


ලංකාවේ පාරිභෝගිකයින්ට විදුලි බලය සැපයීමේ ඒකාධිකාරය තියෙන්නේ ශ්‍රී ලංකා රජයට. ශ්‍රී ලංකා රජය විසින් ආයතන දෙකක් හරහා මේ ඒකාධිකාරය ක්‍රියාත්මක කරනවා. පළමුවැන්න ලංවිම. දෙවැන්න ලෙකෝ. ලෙකෝ එක පුද්ගලික සමාගමක් ලෙස හදා තිබුණත් එහි අයිතිය තියෙන්නේ ලංවිමට, නාගරික සංවර්ධන අධිකාරියට, මහා භාණ්ඩාගාරයට සහ පළාත් පාලන ආයතන කිහිපයකට. ඒ කියන්නේ පෞද්ගලික අංශයට ලංකාවේ විදුලි බලය සැපයීම තුළ කිසිදු ඉඩක් නැහැ.

වෙනත් බොහෝ දේවල් වගේම ලංකාවට විදුලි බලය හඳුන්වා දෙන්නෙත් පෞද්ගලික අංශය. හොයලා බැලුවොත් රටේ ගොඩක් පාරවල් වලට මුලින්ම බස් එකක් දාල තියෙන්නේ පෞද්ගලික අංශය. බස් ජනසතුව එන්නේ පස්සේ. ඔය වගේම මුලින්ම ලංකාවේ විදුලි බල සැපයුම් කරන්නෙත් පෞද්ගලික අංශය. ලංවිම හදන්නේ පස්සේ. මේ කිවුවේ දැන් තියෙන ලංවිම ගැන නෙමෙයි. මුලින්ම හදපු ලංවිම ගැන. 

පළමු ලංවිම එන්න කලින් වගේම දැන් තියෙන දෙවන ලංවිම ඇවිත් සෑහෙන කාලයක් යන තුරුත් ලංකාවේ විදුලිබල කර්මාන්තය සෑහෙන තරමින් විමධ්‍යගත වෙලයි තිබුණේ. දැන් වගේ ඒකාධිකාරයක් තිබුණේ නැහැ. කර්මාන්තය රාජ්‍ය අංශයේ ග්‍රහණයට ටිකෙන් ටික ගියත් විමධ්‍යගත ආකෘතිය ඒ විදිහටම තිබුණා. පළාත් පාලන ආයතන විසින් විදුලිය හදලා තමන්ගේ ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට විකිණුවා. පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ආදිය තමන්ට අවශ්‍ය විදුලිය තමන් විසින්ම හදා ගත්තා.  

රජය විසින් ආයෝජන කරලා රටේ විදුලි බල නිෂ්පාදනය ඉහළ යද්දී ලංවිමට හදන විදුලිය විකුණා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වුනා. සැපයුම තරමට ඉල්ලුමක් රටේ තිබුණේ නැහැ. එහි අවසන් ප්‍රතිඵලය වුනේ ලංවිම විසින් තමන් නිපදවන විදුලිය කොහොම හරි අනෙක් අයගේ ඇඟේ ගහන එක. ඒ හේතුවෙන්, අනෙකුත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන විසින් විදුලිය නිපදවන එක ටිකෙන් ටික නැවතිලා ඔවුන් ලංවිම පාරිභෝගිකයින් බවට පත් වුනා. 

හැබැයි ඊට පස්සෙත් පළාත් පාලන ආයතන විසින් විදුලිය බෙදා හරින එක දිගටම කරගෙන ගියා. අදාළ ප්‍රදේශ තුළ ලංවිමෙන් තොග මිලට ගන්න විදුලිය සිල්ලරට විකුණන එක කළේ පළාත් පාලන ආයතන විසින්. ඒ අය විදුලිය හදන එකත් සම්පූර්ණයෙන්ම නැවතිලා තිබුණේ නැහැ. 1982 වන විටත් පළාත් පාලන ආයතන විසින් නඩත්තු කළ විදුලි බල පද්ධති 219ක් රටේ තිබුණා. රටේ ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් බාගයක් පමණම විදුලිය ලබා ගත්තේ මේ පද්ධතියකින්. 

ජේආර් ජයවර්ධන කියන්නෙත් මධ්‍යගත ආකෘතියකට කැමැත්තක් දක්වපු කෙනෙක්. හැත්තෑ හතේ ව්‍යවස්ථාවෙන් රටේ නමට "සමාජවාදී" කෑල්ලක් එකතු වුනේ ජේආර්ට වැරදිලා නෙමෙයි. ලංකාවේ එවකට තිබුණු විමධ්‍යගත විදුලිබල ආකෘතිය මධ්‍යගත සැලසුමක් යටතට ගන්න ජේආර්ට අවශ්‍ය වුනා. හැබැයි අර ප්‍රාදේශීය විදුලිබල පද්ධති ටික එකතු කර ගන්න ඒ වෙලාවේ ලංවිම කැමති වුනේ නැහැ.

අන්තිමට ජේආර් කළේ ලෙකෝ සමාගම හදලා අර ප්‍රාදේශීය විදුලිබල පද්ධති බොහොමයක් ඒ යටතට ගන්න එක. මේක ටිකක් තගෙන් වගේ කරපු වැඩක්. ඇතැම් ආයතන උසාවිත් ගියා. කොහොම වුනත් වැඩේ කෙරුණා. ඊට පස්සේ ලංකාව ඇතුළේ විදුලිබලය විකිණීම ලංවිමට හා ලෙකෝ එකට සීමා වුනා.

රාජ්‍ය අංශයට අයිති ආයතනයක් වුනත් ලෙකෝ එකේ යම් සාධනීය ලක්ෂණ තිබුණා. ආයතනය හැදුවේ පෞද්ගලික ආයතනයක ආකෘතියකට. ආසියානු සංවර්ධන බැංකුවෙන් සල්ලි වගේම අවශ්‍ය තාක්ෂනික සහායත් ලැබුණා. අදටත් බටහිර වෙරළ තීරයේ නාගරික ප්‍රදේශ හතක පාරිභෝගිකයින්ට විදුලිබලය සපයන්නේ ලෙකෝ සමාගම. ලංවිමෙන් තොග මිලට මිල දී ගන්න විදුලිය ලෙකෝ එක විසින් සිල්ලරට විකුණනවා. 

ඒ තරම්ම තේරුමක් නැති ප්‍රකාශයක් වුවත් ලෙකෝ එක සාමාන්‍යයෙන් ලාබ ලබනවා. ප්‍රකාශයේ ඒ තරම් තේරුමක් නැහැ කියා කිවුවේ ගැනුම් මිල වගේම විකිණුම් මිලත් තීරණය වෙන්නේ ලෙකෝ එකට පිටින් නිසා. හැබැයි ඒ තත්ත්වය යටතේ ලෙකෝ එක බොහෝ විට ලාබ ලබනවා. 

ලෙකෝ ලාබ වලින් නිරපේක්ෂව කිසිම දෙයක් අදහස් වෙන්නේ නැහැ. මේ ලාබ ඇත්තටම ලාබ නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ විදිහට ලෙකෝ එක ලාබ ලබනවා කියන එකෙන් ලංවිම කාර්යක්ෂමතාවය පරීක්ෂා කර බලන්න පදනමක් හැදෙනවා. කාලයකට කලින් ලංවිම කොටස් කිහිපයකට වෙන් කර තිබීමේ පදනමත් මේකයි.

දැනට ලංකාව තුළ විදුලිය බෙදා හැරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් බෙදා හැරීමේ බලපත්‍ර පහක් නිකුත් කර තිබෙනවා. එකක් ලෙකෝ එකට. ඉතිරි හතර විදුලි බල මණ්ඩලයේම කොට්ඨාශ හතරකට. මේ බෙදා හරින්නන් පස් දෙනා අතර ලංකාව භූගෝලීය ලෙස බෙදා දී තිබෙනවා. ඒ එක් එක් ප්‍රදේශය ඇතුලේ බලපත්‍රය තිබෙන ආයතනයට ඒකාධිකාරයක් තිබෙනවා. 

මෙහෙම කොටස් පහකට වෙන් කළා කියලා පූර්ණ තරඟකාරිත්වයක් ඇති වෙන්නේ නැහැ. අකාර්යක්ෂමතා නැති වෙන්නෙත් නැහැ. හැබැයි මෙය හොඳ අතරමැදි පියවරක්. මොකද මේ වැඩේ හරියට වෙනවානම් විදුලිය බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය සංසන්දනය කළ හැකි යම් හෝ නිර්ණායකයක් ලැබෙනවා. මේ නිර්ණායකයේ අඩුපාඩු රැසක් තිබුණත්, මොකක් හෝ එකක් තියෙනවා. 

මහජන උපයෝගීතා කොමිසමේ යෝජනාව වන්නේ බෙදා හැරීමේ බලපත්‍ර හතරක්ම දීලා තියෙන්නේ ලංවිමටම වුනත් අදාළ ලංවිම කොට්ඨාශ වෙනම ආයතන සේ සලකා ගිණුම් පවත්වා ගත යුතු බවයි. එවිට විදුලිය ජනනය වෙනමම කොටසක් වෙනවා. ලංවිම ජනන කොට්ඨාශයට තියෙන්නේ හදන විදුලිය තොග වශයෙන් බෙදා හරින්නන් පස් දෙනාට විකුණන එක. තොග මිලට ගන්න විදුලිය සිල්ලරට විකුණලා ලාබ ගන්න එක එක් එක් බෙදා හරින්නාගේ වැඩක්. මේ වැඩේ හරියට වෙනවානම් ලංවිම කොට්ඨාශ වල බෙදා හැරීමේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය ලෙකෝ එකත් එක්ක හා ලංවිමම අනෙකුත් කොට්ඨාශ එක්ක සංසන්දනය කළ හැකි බව කොමිසමේ අදහසයි.

එක් එක් කොට්ඨාශයේ විදුලි පාරිභෝගිකයින් ගණන, ඔවුන්ගේ සංයුතිය, සම්ප්‍රේෂණ ජාලයේ ප්‍රමාණය හා ස්වභාවය වගේ ගොඩක් දේවල් අසමාන නිසා මේ වගේ සංසන්දනයක් කරන එක පහසු වැඩක් නෙමෙයි. "විද්‍යාත්මක ක්‍රමයකට" ඒ වෙනස්කම් ගලපලා සංසන්දනයක් කරන එක තමයි කොමිසමේ අපේක්ෂාව. කොමිසමේ සභාපතිවරයා ලංවිමට චෝදනා කරන්නේ එසේ කාර්යක්ෂමතා සංසන්දනය කිරීම සඳහා ඉඩ සලසමින් වෙන වෙනම ගිණුම් නඩත්තු කරන වැඩේ තවමත් හරියට වෙලා නැහැ කියලයි. 

පසුගිය 2021 වසරේදී ලංවිම විසින් විදුලිය ගිගාවොට්පැය 12,711ක් නිපදවලා තිබෙනවා. ඊට අමතරව තවත් ගිගාවොට්පැය 4,004ක් පෞද්ගලික නිෂ්පාදකයින්ගෙන් මිල දී ගෙන තිබෙනවා. එකතුව ගිගාවොට්පැය 16,716ක්. 

ලංවිම - 12,711 GWh 

පෞද්ගලික අංශය - 4,004 GWh 

එකතුව - 16,716 GWh 

මේ විදිහට ලංවිම විසින් නිපදවපු හෝ මිල දී ගත් විදුලිය ලංවිම විසින් එක්කෝ තමන්ගේම කොට්ඨාශයක් හරහා කෙළින්ම පාරිභෝගිකයාට සිල්ලරට විකුණලා තිබෙනවා. එහෙම නැත්නම් තොග මිලට ලෙකෝ එකට විකුණලා තිබෙනවා.

කොට්ඨාශය 1 - 4,129 GWh 

කොට්ඨාශය 2 - 4,766 GWh 

කොට්ඨාශය 3 - 2,675 GWh 

කොට්ඨාශය 4 - 2,010 GWh 

ලෙකෝ - 1,633 GWh 

එකතුව - 15,214 GWh 

හදපු හෝ මිල දී ගත් ප්‍රමාණය හා විකුණපු ප්‍රමාණය අතර වෙනස වන ගිගාවොට්පැය 1,502 නාස්ති වූ ප්‍රමාණයක්. විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී තාක්ෂණික හේතු මත යම් නාස්තියක් වීම නොවැලැක්විය හැකි දෙයක්. එහෙත්, මේ නාස්තිය අවම කර ගත හැකියි.

විදුලිය විකුණන මිල තීරණය කරන්නේ ලංවිම විසින් නෙමෙයි. මහජන උපයෝගීතා කොමිසම විසින්. ඒ වගේම, පාරිභෝගිකයින් ප්‍රවර්ගය අනුව විකිණුම් මිල වෙනස් වෙනවා. ඒ හේතුව නිසාම, එක් එක් කොට්ඨාශය තුළ විදුලි ඒකකයක් විකිණෙන සාමාන්‍ය මිලද වෙනස් වෙනවා. ලංවිම විසින් ලෙකෝ එකට විදුලිය විකිණිය යුතු මිල තීරණය කරන්නෙත් කොමිසම විසින්. 

කොට්ඨාශය 1 - කිලෝවොට් එකක් රුපියල් 17.89  

කොට්ඨාශය 2 - කිලෝවොට් එකක් රුපියල් 15.85

කොට්ඨාශය 3 - කිලෝවොට් එකක් රුපියල් 16.17

කොට්ඨාශය 4 - කිලෝවොට් එකක් රුපියල් 16.68

ලෙකෝ - කිලෝවොට් එකක් රුපියල් 14.04

මේ සියල්ල 2021 වසර හා අදාළ ලංවිම සංඛ්‍යාලේඛණ. 

ලෙකෝ සංඛ්‍යාලේඛණ අනුව,ලෙකෝ එක විසින් ලංවිමෙන් මිල දී ගත් විදුලි ඒකක ගිගාවොට්පැය 1,633ට අමතරව තවත් ගිගාවොට්පැය 84ක සූර්ය බල විදුලිය පාරිභෝගිකයින්ගෙන් මිල දී ගෙන තිබෙනවා. එවිට එකතුව, ගිගාවොට්පැය 1,717ක්. එයින් ගිගාවොට්පැය 1,616ක් විකුණා තිබෙනවා. ඉතිරි ගිගාවොට්පැය 101 ලෙකෝ එක විසින් විදුලිය මිල දී ගැනීමෙන් පසුව සිදු වූ නාස්තිය. 

ලෙකෝ දත්ත අනුව ඒකකයක් මිල දී ගැනීමට රුපියල් 15.11ක් වැය වී තිබෙනවා. ඇතැම් විට සූර්ය බල විදුලිය වෙනුවෙන් වැඩි මිලක් ගෙවුවා වෙන්න පුළුවන්. නැත්නම් නාස්ති වූ විදුලියේ වියදමත් සැලකිල්ලට ගැනීමෙන් පසුව වෙන්න පුළුවන්. ඒකකයක් විකුණලා තියෙන්නේ රුපියල් 20.06කට. ලංවිම කොට්ඨාශ වල විකිණුම් මිලට වඩා වැඩියි. 

ලෙකෝ එක සාමාන්‍යයෙන් ලාබ ලබනවා කියලා මම කිවුවනේ. තවත් දේවල් (නඩත්තු කටයුතු ආදිය) කළත්, ලෙකෝ එක කරන ප්‍රධානම වැඩේ කියා කිව හැක්කේ තොග මිලට විදුලිය අරගෙන සිල්ලරට විකුණන එක. මේ තොග මිල වගේම සිල්ලර මිලත් තීරණය කරන්නේ නියාමකයා විසින් නිසා ලෙකෝ එක ලාබ ලබනවා කියන එකෙන් ලෙකෝ එක කාර්යක්ෂමයි කියා අදහස් වෙන්නේ නැහැ. අකාර්යක්ෂමයි කියා අදහස් වන්නේත් නැහැ. ලෙකෝ ලාබ එහි කාර්යක්ෂමතාවය හා සෘජු සම්බන්ධයක් නැති නිකම්ම අංකයක් පමණයි. 

හැබැයි ලෙකෝ ආකෘතිය අනුවම යමින් මේ කටයුත්ත කාර්යක්ෂම සේ සිදු වන පරිදි වෙළඳපොළ ප්‍රතිසංස්කරණ කරන එක අමාරු වැඩක් නෙමෙයි. 

අපි මෙහෙම හිතමු. සිල්ලර විදුලි ගාස්තු දැන් වගේම නියාමකයා විසින් තීරණය කරනවා. එසේ කරන අතර විදුලිය ලංවිමෙන් තොග මිලට අරගෙන සිල්ලරට විකිණීමේ ව්‍යාපාරය වෙන්දේසි කරනවා. උදාහරණයක් විදිහට 2021දී ලෙකෝ එක විදුලි ඒකකයක් රුපියල් 15.11 බැගින් මිල දී ගෙන රුපියල් රුපියල් 20.06 බැගින් විකුණා තිබෙනවානේ. දැන් වෙන සමාගමක් ඔය කොන්ත්‍රාත්තුව ගත්තත් විකුණන්න වෙන්නේ ඔය මිලටමයි. අනෙකුත් සේවාවන්ද ඔය විදිහටම සැපයිය යුතුයි. එසේ කරන ගමන් ලංවිමට ලෙකෝ එක ගෙවන මිලට වඩා වඩා වැඩි මිලක් ගෙවන්න වෙනත් සමාගමක් සූදානම්නම් ඔය වැඩේ ලෙකෝ එකෙන් ගලවලා ඒ සමාගමට දෙන එකෙන් ලංවිමට වැඩි ලාබයක් ලබා ගන්න පුළුවන්නේ. 

කතාවට කිවුවත් ප්‍රායෝගිකව ඔය වැඩේ සාර්ථකව සිදු නොවෙන්න පුළුවන්. මොකද ලෙකෝ එකත් එක්ක තරඟ කළ හැකි වෙන සමාගම් රටේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔය වැඩේ තව දුරටත් විමධ්‍යගත කළොත් තත්ත්වය වෙනස් වෙනවා. දැනට ලෙකෝ එකේ ශාඛා හතක් තිබෙනවා. ලෙකෝ එකේ ව්‍යාපාරික කටයුතු සිදු වෙන්නේ ඔය ශාඛා වලට අයිති කලාප මට්ටමෙන්. කෝට්ටේ, නුගේගොඩ, මොරටුව, කළුතර, කැළණිය, මීගමුව හා ගාල්ල. ලෙකෝ කලාපය ගෙඩිය පිටින්ම වෙන්දේසි නොකර ඔය කලාප වෙන් කරලා වෙන වෙනම වෙන්දේසි කළා කියා හිතමු. අවශ්‍යනම් තවත් කුඩා කොටස් වලට කඩන්න පුළුවන්.

මේ වගේ කුඩා කලාප වලට වෙන් කළොත් ඒ වගේ ප්‍රදේශයක් තුළ දැනට ලෙකෝ එක විසින් කරන ව්‍යාපාරික කටයුත්ත කළ හැකි දේශීය සමාගම් අනිවාර්යයෙන්ම බිහි වෙනවා. 

සිවිල් ඉංජිනේරු උපාධිය හදාරන ගොඩක් අය කලක් යද්දී තමන්ගේම ව්‍යාපාර පටන් ගන්නවා. එහෙම පටන් අරගෙන තරුණ ඉංජිනේරුවන්ටත් රැකියා දෙනවා. ඒ වැඩේ එහෙම වෙන්නේ සිවිල් ඉංජිනේරු කටයුතු කලක සිටම සෑහෙන තරමකින් විමධ්‍යගත වී තිබෙන නිසා. ලංකාවේ සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති ගත්තත් බොහෝ දුරට කර්මාන්තයේ ලාබ අලාබ තීරණය කරන්නේ රජය විසින් තමයි. නමුත්, රජයට ඒකාධිකාරයක් නැහැ. තරඟයක් තියෙනවා. ව්‍යාපෘති, අනු ව්‍යාපෘති, කොන්ත්‍රාත්තු, උප කොන්ත්‍රාත්තු විදිහට කර්මාන්තය විමධ්‍යගත වෙලා තියෙන්නේ. ඒ නිසා, සිවිල් ඉන්ජිනේරුවෙකුට ව්‍යවසායකයෙකු ලෙස මතු වෙන්න ගොඩක් අමාරු නැහැ. දැවැන්ත ප්‍රාග්ධනයක් අවශ්‍ය නැහැ. මම කියන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නන්නත්තාර වී තිබෙන දැන් තත්ත්වය ගැන නෙමෙයි සාමාන්‍ය තත්ත්වය ගැන. 

ඔය විදිහට ලංකාව ගොඩක් විශාල නැති භූගෝලීය කලාප වලට කඩලා විදුලිය තොග මිලට අරගෙන සිල්ලරට විකුණන එක වෙන්දේසි කළොත් ව්‍යවසායකත්වය තිබෙන විදුලි ඉංජිනේරුවන්ට තමන්ගේ ක්ෂේත්‍රයේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න අවස්ථාවන් හැදෙනවා. විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රදේශය කුඩා වූ තරමට විදුලි හොරකම් ආදිය අල්ලගන්න එකත් ලේසි වෙනවා. 

ලෙකෝ එකෙන් කතාව පටන් ගත්තත්, ලංවිම බෙදා හැරීමේ කොට්ඨාශ වලත් උප කොට්ඨාශ තිබෙනවා. ලෙකෝ එකෙන් පටන් ගන්නේ නැතිව, ඒ උප කොට්ඨාශ වලින් මේ වගේ වැඩක් පටන් ගන්න පුළුවන්. මේ කතා කළේ විදුලිය බෙදා හැරීම වඩා කාර්යක්ෂම ලෙස කළ හැකි ආකාරය ගැන. විදුලිබල කර්මාන්තයේ අනෙකුත් කටයුතු වඩා කාර්යක්ෂම කළ හැකි ආකාර ගැන පසුව කතා කරමු. 

Tuesday, August 30, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (දෙවන කොටස)

ලංවිම අවසන් වරට ලාබ ලැබුවේ 2015 වසරේදී. එම ලාබය වුවද ගිණුම්කරණ ලාබයක් මිස ආර්ථික ලාබයක් නෙමෙයි. 2016 සිට 2021 දක්වාම ලංවිම දිගින් දිගටම පාඩු ලබනවා. මෙයට හේතුව ලෙස ලබා දිය හැකි කෙටි පිළිතුර විකිණුම් මිල වෙනස් නොවුනත් නිෂ්පාදන වියදම ක්‍රමක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවයි. 

ලංවිම නිෂ්පාදන වියදම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ කොයි තරම් වහිනවාද කියන එකයි. වහින අවුරුදු වල ලංවිම නිෂ්පාදන වියදම් පහළ යනවා. පායන අවුරුදු වල වියදම ඉහළ යනවා. මේ විචලනයන්ට හේතුව ලංවිම කාර්යක්ෂමතාවය අඩු වැඩි වීම නෙමෙයි. 

ලංවිම සේවක වැටුප් පිළිබඳව සමාජ මාධ්‍ය වල සංසරණය වන තොරතුරු ඇත්තද නැද්ද කියා මම දන්නේ නැහැ. ඒ තොරතුරු ඇත්ත වුවත්, එය මම ප්‍රශ්නයක් ලෙස දකින්නේත් නැහැ. ආයතනයක සේවක වැටුප් ඉහළ මට්ටමක තිබීම නරක දෙයක් නෙමෙයි. වැදගත් වන්නේ සේවක වැටුප් සේවකයින්ගේ ඵලදායීතාවය හා ගැලපෙනවාද යන්නයි. 

කෙසේ වුවත්, පසුගිය දශකය තුළ ලංවිම සේවක වැය බර විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පැහැදිලි කරුණක්. 2011දී රුපියල් බිලියන 12ක් පමණ වූ ලංවිම වැටුප් බර 2020 වන විට රුපියල් බිලියන 38 ඉක්මවා තිබෙනවා. නිල නොවන වාර්තා අනුව කියැවෙන්නේ මේ වන විට මෙම වියදම රුපියල් බිලියන 51ක් පමණ වී ඇති බවයි.  

කිසියම් කර්මාන්තයක ඒකාධිකාරයක් ඇති විට එම කර්මාන්තයේ නිරත සේවකයින්ට තරඟකාරී වැටුප් ලබා ගැනීමේ ඉඩකඩ අහිමි වෙනවා. වැටුප් වලින් සතුටු නොවන අයෙකුට ආයතනයෙන් අස් වී ගොස් රැකියාව කළ හැකි ඊට සමාන තැනක් බොහෝ විට නැහැ. මෙයට විකල්පයක් ලෙස එවැනි කර්මාන්තයක සේවකයින් සංවිධානය වී ඔවුන්ගේ පැත්තෙන්ද ඒකාධිකාරයක් හදා ගන්නවා. එවිට සේවකයින් මුහුණ දෙන ප්‍රශ්නයටම ආයතනයටද මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉන්න සේවකයින් ඉවත් කර සමාන කුසලතා ඇති සේවකයින් බඳවා ගත හැකි වෙළඳපොළක් රටේ නැහැ.

මෙවැනි වාතාවරණයක් තුළ ආයතනයක සේවක වැටුප් හා සේවක ඵලදායීතාවය ගලපන යාන්ත්‍රණයක් නැහැ. ඒ නිසාම, සේවක වැටුප් කොපමණ වුවත් ඒ වැටුප් අඩුද වැඩිද කියා සරල ලෙස නිගමනය කිරීමේ හැකියාවක්ද නැහැ. සංසන්දනාත්මක නිර්ණායක සොයා ගන්න වෙන්නේ කවර හෝ උපකල්පන මත පමණයි.  

පහත වගුවේ තිබෙන්නේ ලංවිමට කිලෝවොට් පැයක විදුලිය නිපදවා හෝ මිල දී ගෙන, සිල්ලරට හෝ තොග මිලට විකිණීම සඳහා වැය වී ඇති පිරිවැයයි. "අනෙකුත් වියදම්" වලට ප්‍රධාන වශයෙන්ම අයත් වන්නේ පෞද්ගලික නිෂ්පාදකයන්ගෙන් විදුලිය මිල දී ගැනීමේ පිරිවැයයි. 

ආයතනයක සේවකයෙකු වැඩි වැටුප් ඉල්ලා හෙට්ටු කිරීම වරදක් නොවන්නාක් මෙන්ම කළ යුතු දෙයක්. සේවකයින් එක්ව කණ්ඩායමක් ලෙස මෙය කිරීමේද වරදක් නැහැ. එහිදී එසේ ඉල්ලන වැටුප් ලබා දෙනවාද නැද්ද යන්න අදාළ ආයතනයේ පාලකයින් විසින් තීරණය කළ යුතු දෙයක්. 

ලංවිම සේවකයින් ඇතැම් විට ඔවුන්ට ලැබෙන වැටුප් හා වරප්‍රසාද පිළිබඳව තෘප්තිමත් ඇති. සමහර විට එය එසේ නොවන්නත් පුළුවන්. විශේෂ කුසලතා අවශ්‍ය වෘත්තීය රැකියා කරන අය සම්බන්ධව කෙසේ වෙතත් පහළ හා මධ්‍යම මට්ටමේ රැකියා කරන අයගේ වැටුප් "වෙළඳපොළ වැටුප්" සමඟ සසඳන එක ගොඩක් අමාරු නැහැ. සුවිශේෂී කුසලතා හෝ පුහුණුවක් අවශ්‍ය රැකියා සම්බන්ධවනම් මේ වැඩේ අමාරුයි.

ලංවිම පාරිභෝගිකයින් ඔවුන් ගෙවන මිලට ලැබෙන දේ ගැන තෘප්තිමත්ද? මේ ප්‍රශ්නයටත් පහසු පිළිතුරක් නැහැ. එය එසේ වීමට හෝ නොවීමට පුළුවන්. 

කෙසේ වුවත්, එක් දෙයක්නම් ඉතාම පැහැදිලියි. ලංවිම "කොටස් හිමියන්ට" කෙසේවත් තෘප්තිමත් විය නොහැකියි. ඔවුන්ගේ ආයෝජන වෙනුවෙන් අවශ්‍ය පමණ ප්‍රතිලාභ නොලැබෙන බව ඉතාම පැහැදිලියි. බොහෝ විට මොනම ප්‍රතිලාභයක්වත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. එසේනම් ලංවිම පාරිභෝගිකයින්ට, ලංවිම සේවකයින්ට හෝ එම කණ්ඩායම් දෙකටම යම් "අනිසි" ප්‍රතිලාභ ලැබී තිබිය යුතුයි. එය එසේ නොවී, ලංවිම සේවකයින්ගෙන් යම් පිරිසකට, එසේත් නැත්නම් ලංවිම සමඟ ගනුදෙනු කරන වෙනත් ආයතන වලට එම "අනිසි" ප්‍රතිලාභ ලැබී තිබෙනවා වෙන්නත් පුළුවන්. 

මේ විදිහට පාඩු විඳින කොටස්හිමියන් කවුද? නෛතික ලෙස බැලුවොත් මහා භාණ්ඩාගාරයයි. එහෙත්, මහා භාණ්ඩාගාරයේ සල්ලි කියන්නේ මහජන මුදල්. බොහෝ විට "උද්ධමන බදු" ලෙස අය කරන මුදල්. 

වත්මන් රාජ්‍ය ඒකාධිකාරය එලෙස තිබියදී මේ ප්‍රශ්නය විසඳිය නොහැකියි. ඒ සඳහා, මේ ඒකාධිකාරය නැති විය යුතුයි. ඒ සඳහා හොඳ මූලාරම්භක පිළියමක් වන්නේ දැනට තිරස් ලෙස ඒකාබද්ධ වී (vertically integrated) ඇති මෙම කර්මාන්තයේ සංරචක විභේදනය කිරීමයි. සරල ලෙස කිවුවොත්, විදුලිය නිෂ්පාදනය කිරීම (ජනනය කිරීම), ප්‍රවාහනය (සම්ප්‍රේෂණය) හා විකිණීම වෙන වෙනම ආයතන වලට පැවරීමයි. මෙය අලුත් අදහසක් නෙමෙයි. එසේ කිරීමෙන් මේ කර්මාන්තය තුළ යම් තරඟකාරිත්වයක් ඇති කළ හැකියි. 

Monday, August 29, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද? (පළමු කොටස)

ලංවිම පාඩු ගැන ලියපු සටහන තුළ ලංවිම පෞද්ගලීකරණය කළ යුතු බව ලියා නොතිබුණත්, එය එම අරමුණ පෙරදැරිව ලියූ ලිපියක් සේ දකිමින් එක් පාඨකයෙකු විසින් ප්‍රතිචාරයක් දමා තිබුණා. ඔහුගේ අනුමානය මුළුමනින්ම අහේතුක නැහැ. 

අදාළ ප්‍රතිචාරයෙහි ලංවිම පාඩු ලැබීමට හේතු විස්තර කර තිබුණා. ඒ කරුණු පහත පරිදි සාරාංශගත කළ හැකියි.

1. ගල් අඟුරු බලාගාර හදන්නට යන හැම විටකම පරිසරවේදීන් විරුද්ධ වීම 

2. වියදම ආවරණය කර ගත හැකි පරිදි මිල ඉහළ දැමීමට ඉඩ නොදීම 

3. ආනයන සඳහා අවශ්‍ය විදේශ විණිමය ලංවිම වෙත ලබා නොදෙන අතර විදුලිය විකුණා විදේශ විණිමය උපයා ගැනීමටද ඉඩ නොදීම.

4. ජාතික බලශක්ති ජාලය (national grid) වැඩි දියුණු කිරීම සඳහා ප්‍රාග්ධනය නොමැතිකම. 

ඔහු කියන විදිහට,

- මේ කිසිවක් ලංවිම ප්‍රශ්න නෙමෙයි.

- ලංවිම පෞද්ගලීකරණය කිරීමෙන් මේ ප්‍රශ්න කිසිවක් විසඳෙන්නේ නැහැ. තවත් උග්‍ර වෙනවා පමණයි. 

මේ ප්‍රතිචාරයෙහි ඇති කරුණු වලින් පටන් ගෙන අපට වඩා පුළුල් සංවාදයකට මුල පුරන්න පුළුවන්. 

ලංකාවේ විදුලිබල කර්මාන්තය රජයේ මධ්‍යගත සැලසුමක් යටතේ ඒකාධිකාරයක් ලෙස ක්‍රියාත්මක වන්නක්. එම ඒකාධිකාරය පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය විසින් උපයෝගී කර ගන්නා ප්‍රධානම මෙවලම ලංවිමයි. ලංවිම හරහා ශ්‍රී ලංකා රජය විසින් ලංකාව තුළ විදුලිය ජනනය කිරීමේ, ප්‍රවාහනය (සම්ප්‍රේෂණය) කිරීමේ හා විකිණීමේ ඒකාධිකාරයක් පවත්වා ගෙන යනවා. ඒ අතරම, මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු වෙනත් ආයතන හරහා ශ්‍රී ලංකා රජය විසින් විදුලිබල කර්මාන්තය නියාමනය කරනවා. 

මෙයින් අදහස් වන්නේ ලංකාවේ විදුලිබල කර්මාන්තය තුළ පෞද්ගලික අංශයේ දායකත්වයක් ඇත්තේම නැති බව නෙමෙයි. පෞද්ගලික සමාගම් ගණනාවක් විසින්ම ලංකාව තුළ විදුලි බලය නිපදවනවා. එහෙත්, එම සමාගම් සියල්ලම රජයේ ඒකාධිකාරයට යටත්. ඔවුන් කරන්නේ නිපදවන විදුලිය තොග වශයෙන් ලංවිමට විකිණීමයි. විදුලිය සිල්ලර වශයෙන් බෙදා හරින්නේ ලංවිමයි. එය කරන තවත් එක් සමාගමක් (ලෙකෝ) තිබුණත් එම සමාගමද රජයට පූර්ණ වශයෙන් අයිති සමාගමක්. 

පෞද්ගලික අංශය ලංකාවේ විදුලිබල කර්මාන්තයට සම්බන්ධ වී සිටියත් කර්මාන්තයේ වත්මන් ආකෘතිය අනුව එය ශ්‍රී ලංකා රජයේ ඒකාධිකාරයක් ලෙස හඳුන්වන්නට මා පැකිලෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ කර්මාන්තය තුළ සිටින පෞද්ගලික සමාගම් වල කටයුතු සිදු වන්නේද අඩු වැඩි වශයෙන් රජයේ මධ්‍යගත සැලසුම් ආකෘතියේ අංග ලෙස මිස වෙළඳපොළ තරඟය මත පදනම්ව නෙමෙයි. 

කවුරු හෝ කෙනෙක් ලංවිම ඒකාධිකාරය ගැන කතා කරන අතරම ලංවිම පාඩු ගැනද කතා කරන්නේනම් එහි තිබෙන්නේ විසංවාදයක්. ඒකාධිකාරයක් ඇත්නම් පාඩු සිදු විය නොහැකියි. ඒකාධිකාර වලින් පාරිභෝගිකයින්ට පාඩු සිදු වන අතර ඒකාධිකාරී සමාගමේ කොටස් හිමිකරුවන් වාසි ලබනවා. ලංවිම ලාබ ලැබිය යුතුද? ඒ ඇයි? ලංවිම පාඩු ලබද්දී වාසි ලබන අය සිටිනවාද? ඒ කවුද?

ලංවිම පාඩු ලැබීමට හේතු ලෙස ඉහත විස්තර කර ඇති කරුණු වලින් පළමුවැන්න මම බරපතල ලෙස සලකන්නේ නැහැ. ලංවිම ජනන ධාරිතාවෙන් තුනෙන් එකක් පමණත්, නිෂ්පාදනයෙන් අඩක් පමණත් ගල් අඟුරු. ඒ වගේම, ලංවිම ඉදිරි සැලසුම් අතරද ගල් අඟුරු බලාගාර තිබෙනවා. පරිසරවේදීන්ගේ විරෝධතා ශ්‍රී ලංකා රජයට ඒ තරම්ම විශාල බලපෑමක් කර ඇතැයි මා සිතන්නේ නැහැ. එකම ප්‍රභවයක් යොදා ගෙන විදුලිය ජනනය කිරීම, මා දන්නා තරමින්, උපාය මාර්ගිකව නිවැරදි දෙයක් ලෙස ලංවිම විසින් සලකන්නේ නැහැ. එය නිවැරදි ප්‍රවේශයක්.

දෙවන කරුණේ බලපෑම ඉතාම පැහැදිලියි. ලංවිමට අවශ්‍ය පරිදි මිල ඉහළ දැමිය හැකි වූවානම් ලංවිම කිසිසේත්ම පාඩු ලබන එකක් නැහැ. ඒකාධිකාරී බලයක් ඇති සමාගමකට, විශාල ලෙස අකාර්යක්ෂම වුවත්, ලාබ ලැබීම අසීරු දෙයක් නෙමෙයි. නමුත්, මෙහිදී ඒකාධිකාරය තිබෙන්නේ ශ්‍රී ලංකා රජයට මිස ලංවිමට නොවන නිසා ලංවිම පාඩු ලබමින් සිටිනවා. ඒ සන්දර්භය මත ලංවිම පාඩු ගැන කතා කිරීම තේරුමක් නැති දෙයක්. 

තෙවන හා සිවුවන හේතු සෘජුවම ලංවිම ප්‍රශ්න. හතරවැන්න සෘජු ලෙසම ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයක්. ආයෝජන කිරීමට අවශ්‍යනම් ආයතනයක් විසින් ලාබ ලබා එයින් කොටසක් ආයෝජන වෙනුවෙන් වෙන් කළ යුතුයි. එසේ නැත්නම් කොටස් නිකුත් කිරීම හෝ ණය ගැනීම මගින් ප්‍රාග්ධනය ලබා ගත යුතුයි. ලංවිම විසින් දැනටමත් විශාල ලෙස ණය අරගෙන තිබෙනවා. ඒ ණය වල පොලිය ලංවිම වියදම් වල සැලකිය යුතු කොටසක්. 

තෙවැන්නද මෙයටම සම්බන්ධ දෙයක්. මේ වෙලාවේ ලංවිමට විදේශ විණිමය මිල දී ගැනීමට බාධා ඇති බව ඇත්ත. එහෙත්, යම් හෙයකින් ඒ සඳහා ඉඩ දුන්නත් විදේශ විණිමය මිල දී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් ලංවිම සතුව නැහැ. මෙයද ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයක්. වෙනත් විදිහකින් කිවුවොත්, ඉහත තෙවන හා සිවුවන කරුණු ලංවිම පාඩු ලැබීමට හේතු නොව ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයි.

කෙසේ වුවත්, අවශ්‍ය පරිදි මිල වැඩි කරන්නට ඉඩ ලැබුනේනම් ලංවිමට ලාබ ලබන්නට හැකිව තිබුණේය යන්න අපට බැහැර කරන්න බැහැ. එසේ වුනානම්, ඉහත තෙවන හා සිදුවන ප්‍රශ්න මතු වන්නේද නැහැ. 

එහෙමනම්, ලංවිමට අවශ්‍ය පරිදි මිල වැඩි කර පාඩු පියවා ගැනීමට ඉඩ හැරිය යුතුද? 

මෙවැන්නක් කළ යුතුයැයි මා හිතන්නේ නැහැ. එවැන්නකට ඉඩ දුන්නොත් අවසාන වශයෙන් සිදුවන්නේ ලංවිම අකාර්යක්ෂමතා වෙනුවෙන් පාරිභෝගිකයින්ට වන්දි ගෙවන්නට සිදු වන එකයි. 

මේ ආකාරයෙන් "ලංවිම අකාර්යක්ෂමතා" ගැන කතා කළ හැකි පදනම කුමක්ද? මෙය ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්. ලංවිම පාඩු එහි අකාර්යක්ෂමතාවයන්හි ප්‍රතිඵලයක් ලෙස සරල නිගමනයකට එන්න බැහැ. ප්‍රතිපාක්ෂිකයෙකුට මෙවැනි තර්කයක් බිඳ හෙළන එක ඉතාම පහසුයි. 

අපි හිතමු ලංකාවේ විදුලිබල කර්මාන්තයේ වත්මන් ආකෘතිය එලෙසම තිබියදී ලංවිම කිසියම් පෞද්ගලික ආයතනයකට විකුණා දැමුවා කියලා. බොහෝ විට එම ආයතනය විසින් ඉතා ඉක්මණින්ම සේවක කප්පාදුවක් කරයි. අඩු සේවක පිරිසක් යොදවාගෙන ඔය වැඩ ටිකම කර ගනියි. යම් ආයෝජන සිදු කර විදුලිබල පද්ධතියේ කාර්යක්ෂමතාවය තවත් වැඩි කර ගනියි. ඔය දේවල් කරලා දැන් තිබෙන පාඩුව ලාබයකට හරවයි.

ඔය ඔක්කොම කළා කියමුකෝ. ඊට පස්සේ රජය විසින් සැලකිය යුතු ලෙස මිල අඩු කළොත් මොකද වෙන්නේ? දැන් අර පෞද්ගලික සමාගමටත් පාඩු වාර්තා කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් තිබෙන ආකෘතිය ඇතුළේ ලංවිම පාඩු සහ එහි අකාර්යක්ෂමතාවයන් අතර තිබෙන්නේ දුර්වල සහසම්බන්ධයක්. 

ඒකාධිකාරී ආකෘතියක් පවතින තුරු කිසියම් කර්මාන්තයක අකාර්යක්ෂමතා ඇස්තමේන්තු කර පෙන්වා හැකි නිශ්චිත නිර්ණායකයක් (benchmark එකක්) නැහැ. අකාර්යක්ෂමතා තිබෙන බව පැහැදිලි ප්‍රායෝගික සත්‍යයක් වුවත්, හැම විටම කෙනෙකුට එය එසේ නොවන බවට තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. 

ලංවිම පෞද්ගලීකරණය කළ යුතුයි කියා මම හිතනවා. එහෙත්, මම එයින් අදහස් කරන්නේ දැන් තිබෙන ලංවිම ගෙඩිය පිටින්ම කිසියම් විදේශ සමාගමකට විකුණා දැමීම වැනි දෙයක් ගැන නෙමෙයි. ලංකාවේ විදුලිබල කර්මාන්තයේ කාර්යක්ෂමතාවය ක්‍රමිකව ඉහළ නැංවෙන පරිදි අනුක්‍රමයෙන් සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ මාලාවක් ගැන. ඒ හරහා කර්මාන්තය තුළ දැනට පවතින රාජ්‍ය ඒකාධිකාරය නැති කිරීමක් ගැන. කාර්යක්ෂමතාව පිළිබඳ නිර්ණායක පැහැදිලිව ඇහැට පෙනෙන තරඟකාරීත්වයක් කර්මාන්තය ඇතුළට ගෙන ඒමක් ගැන. කර්මාන්තයේ නිරත සේවකයින්ට, ආයෝජකයින්ට වගේම පාරිභෝගිකයින්ටත් "අවශ්‍ය පමණ" වාසි සැලසෙන ක්‍රමයක් ගැන. 

මේ දේවල් ගැන අපි ලිපි මාලාවේ ඉදිරි කොටස් වලින් කියවමු. එහෙත්, ලංවිම අකාර්යක්ෂමතා කොපමණ තිබුණේ වුවත්, ඒ අකාර්යක්ෂමතා ඉවත් කළ යුතු වුවත්, මේ වෙලාවේ ක්ෂණිකව කළ යුතු දෙය මිල වැඩි කිරීම බව නොපැකිළ කිව හැකියි. මා එසේ කියන්නේ පැහැදිලි හේතු ඇතිවයි. 

පහත රූප සටහනේ පෙන්වා ඇති පරිදි, 2014 සිට විදුලි ඒකකයක මිල වැඩි වී නැතුවාක් මෙන්ම අද මිල 2014ට පෙර පැවති මිලට වඩා අඩු මිලක්. විදුලි ඒකකයක මිල අඩු වශයෙන් 2011 පමණ කාලයේ පැවති මට්ටමේ තිබුණානම් ලංවිම මෙතරම් පාඩු ලබන්නේ නැහැ. උදාහරණයක් ලෙස 2012දී මුල් විදුලි ඒකක වෙනුවෙන් ගෙවන්නට වූ මිල ඉන් පසු (මේ මාසයේ මිල වැඩිවීමට පෙර) පැවති මිලට වඩා 50%කින් වැඩි මිලක්. 

මේ කාලය තුළ සේවක වියදම් ඕනෑවට වඩා ඉහළ ගොස් තිබෙනවා වෙන්න පුළුවන්. එහෙත් කාලයත් එක්ක සේවක වියදම් යම් පමණකින් වැඩි වීම සාමාන්‍ය දෙයක්. ඉන්ධන මිල ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය මිල ඉහළ යාමද සාමාන්‍ය දෙයක්. ඊට අනුරූප ලෙස මිල වැඩි නොවන්නේනම් ආයතනයකට පාඩු ලබන්නට වන බවද පැහැදිලි කරුණක්.

විදුලි ගාස්තු ඉහළ දමා ඇති නිසා දැන් ලංවිමට පාඩු පියවා ගන්නට අවස්ථාවක් ලැබී තිබෙනවා. එය හොඳ දෙයක්. එහෙත්, ඒ හරහා ලංවිමට වඩා අකාර්යක්ෂම වීමට උදවු කිරීමක්ද සිදු වෙනවා. කර්මාන්තයේ අකාර්යක්ෂමතා ඉවත් කිරීම පියවරෙන් පියවර කළ යුතු දෙයක්. 


Wednesday, August 24, 2022

මාස හයට ලංවිම පාඩුව කෝටි 7748ක්!


විගණනය නොකළ ගිණුම් වාර්තා අනුව, 2022 පළමු මාස 6 ඇතුළත ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 71,477ක අලාභයක් වාර්තා කර තිබෙනවා. ඩොලර් වලින් බැලුවත් මිලියන 200ක පමණ අලාභයක්. අදාළ කාලය තුළ ලංවිම විසින් උපයා ඇති ආදායම රුපියල් මිලියන 124,377ක් වුවත්, එම කාලය තුළ ඊට වඩා 57.5%ක වැය බරක් දරා තිබෙනවා.

මේ ආකාරයෙන් ගිණුම් වාර්තා වල දැකිය හැක්කේ ආයතනයක ගිණුම්කරණ අලාභයයි. ගිණුම්කරණ අලාභය ගණනය කිරීමේදී ගිණුම්කරණ සම්මත අනුගමනය කරනවා. එහෙත්, බොහෝ විට ගිණුම් වාර්තා වලින් ආර්ථික අලාභය හෙවත් සැබෑ අලාභය පිළිබිඹු වන්නේ නැහැ.

උදාහරණයක් ලෙස ලංවිම ගිණුම් සකස් කරද්දී ලංවිම විසින් මිල දී ගන්නා අලුත් වාහනයක වටිනාකම වසර හතක කාලයක් තුළ අනුක්‍රමික ලෙස ක්ෂය වී යන සේ උපකල්පනය කරනවා. මේ අනුව රුපියල් මිලියන 28කට මිල දී ගන්නා වාහනයක වටිනාකම වසරකට රුපියල් මිලියන 4 බැගින් අඩු වී ගොස් වසර හතකට පසු ශුන්‍ය වී යනවා. ඒ අනුව, දෙවසරකට පෙර රුපියල් මිලියන 28කට මිල දී ගත් ඩබල් කැබ් රථයක දැන් මිල රුපියල් මිලියන 20ක් පමණයි. එහෙත් අද එහි වටිනාකම ඊට වඩා වැඩි වී තිබිය හැකියි. ඒ අනුව, අද මෙම ඩබල් කැබ් රථය රුපියල් මිලියන 25කට විකිණුවොත්, එහි වෙළඳපොළ මිල රුපියල් මිලියන 30ක් වුවත්, එය සටහන් වන්නේ ලංවිම ලැබූ රුපියල් මිලියන 5ක ලාබයක් ලෙසයි. 

ආර්ථික ලාබ ගණනය කිරීමේදී ගිණුම්කරණ සම්මත අත හැර ආවස්ථික පිරිවැය සංකල්පය යොදා ගන්නවා. ඇතැම් විට ආවස්ථික පිරිවැය පිළිබිඹු වන පරිදි ගිණුම්කරණ සම්මතද වෙනස් වුවත් එය සිදු වන්නේ කාලයක් ගියාට පසුවයි. 

මේ වසරේ ජූනි 30 වන විට ලංවිම සතු වූ වත්කම් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 1040.4ක්. එයින් රුපියල් බිලියන 852.9ක්ම ලංවීමට අයිති ජනන යන්ත්‍ර, සම්ප්‍රේෂණ උපකරණ හා අනෙකුත් සිවිල් ඉදි කිරීම් ආදියයි. මේ ඇස්තමේන්තුව සකස් කර තිබෙන්නේ ක්ෂය වීමේ පදනම මතයි. වෙළඳපොළ වටිනාකම අනුව බැලුවොත් මෙම වත්කම් වල වටිනාකම මීටත් වඩා වැඩි විය හැකියි. මම එය කරන්න යන්නේ නැහැ.

ලංවිම අයිතිය තිබෙන්නේ රජයටයි. ඒ අනුව, මෙයින් අදහස් වන්නේ ක්ෂය වීමේ පදනම මත බැලුවත්, රුපියල් බිලියන 1040.4ක මහජන ධනය ලංවිම තුළ ආයෝජනය කර ඇති බවයි. මේ වන විට ශ්‍රී ලංකා රජය දේශීය වෙළඳපොළෙන් ණය ලබා ගන්නේ 30%ක පමණ පොලියකටයි. ඒ කියන්නේ මාස 6ක කාලයක් රුපියල් බිලියන 1040.4ක් හිර කර තැබීමේ ආවස්ථික පිරිවැය රුපියල් බිලියන 156ක් පමණ වන බවයි. නමුත්, ගිණුම් වාර්තා අනුව අදාළ කාලය තුළ ලංවිම මූල්‍ය පිරිවැය රුපියල් බිලියන 10.7ක් පමණයි. ඒ අනුව, ඉතිරි රුපියල් බිලියන 145ක මුදල එකතු කළ වහාම බිලියන 77ක පාඩුව බිලියන 222ක් වෙනවා.

යම් හෙයකින් ලංකාවේ විදුලි බලය සැපැයීමේ ව්‍යාපාරය පෞද්ගලික අංශය විසින් කළේනම්, ඔවුන් ලාබ නොලබා එය කරන්නේ නැහැ. එසේ වූවානම් රජයට සැලකිය යුතු බදු ආදායමක් හිමි වෙනවා. මේ ව්‍යාපාරය රජය විසින් කිරීම නිසා එම බදු ආදායම මුළුමනින්ම අහිමි වී ගොස් තිබෙනවා. එයද ආවස්ථික පිරිවැයක්. ඉහත රුපියල් බිලියන 156ට අමතරව ලංවිම පාඩුවට එකතු විය යුතු මුදලක්. 

මීට අමතරව ලංකාවේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයක් තිබෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවක් තිබෙනවා. එවැනි ආයතන වල වියදම් වලින් සැලකිය යුතු කොටසක් යන්නේ විදුලිබල පාරිභෝගිකයින් වෙනුවෙන්. එම පිරිවැයද ආවරණය විය යුත්තේ විදුලිබලය විකුණා ලැබෙන මුදලිනුයි. එසේ නැත්නම් ඒ වෙනුවෙන් වෙනත් අයෙකුට ගෙවන්න වෙනවා. 

කාලයක සිටම ලංවිම පාඩු ලබනවා. අවසන් වරට ලාබ ලබා තිබෙන්නේ 2015දී. එහෙත් එම ලාබ වුවද ගිණුම්කරණ ලාබ මිසක් සැබෑ ආර්ථික ලාබ නෙමෙයි.

වැඩියෙන් ජල විදුලිය නිපදවන වසර වලදී ලංවිම පාඩු අඩු වෙනවා. ඇතැම් විට ලාබ ලබනවා. එහෙත්, මෙය රැවටිල්ලක් පමණයි. විදුලිය නිපදවීම සඳහා ලංවිම විසින් භාවිතා කරන ජලය වෙනුවෙන් ලංවිම මුදල් ගෙවන්නේ නැහැ. එහෙත්, එම ජලය රඳවා තබා ගන්නා ජලාශ නඩත්තුව සඳහා සැලකිය යුතු මුදලක් වැය වෙනවා. එහි පිරිවැයෙන් සැලකිය යුතු කොටසක් ජල විදුලිය නිපදවීමේ වියදමේම කොටසක් වුවත් එම වියදම් වැටෙන්නේ වෙනත් වැය ශීර්ෂයකටයි. 

ඒ වගේම, මෙම ජලාශ ඉදි කිරීම වෙනුවෙන් යට කළ ප්‍රාග්ධනයක් තිබෙනවා. ඒ වෙනුවෙන් ගත් ණය තවමත් ගෙවා නැහැ. ඒ ණයම බැලුවොත් ගෙවා ඇති. නමුත් ඒ විදිහට ණය ගෙවන්න ගත් ණය සහ පොලිය තවමත් එලෙසම තිබෙනවා. ජල විදුලිය නිපදවන එක ලංවිම විසින් ගණන් හදා පෙන්වන තරම් ලාබ නැහැ. පිරිවැය අඩුවෙන් පෙනෙන්නේ මුළු වියදමම ලංවිමට බැර වී නැති නිසයි.

ඔය සියල්ල එකතු කළොත් ලංවිම ඇත්ත අලාබය පෙනෙන අලාබයට වඩා ගොඩක් වැඩියි. මේ අලාබය "වින්දිතයින් නැති අපරාධයක්" නෙමෙයි. උද්ධමනය හරහා මේ බර රටේ සියල්ලන් වෙතම අසමානව බෙදී යනවා. මෙහිදී ශුද්ධ පිරිවැයක් දරන රටේ බොහෝ දෙනෙක් වින්දිතයින් වෙනවා. වෙනස ඔවුන් ඒ බව නොදන්නා එකයි. මෙහි වාසිය ලබන්නේ වැඩියෙන් විදුලිබලය පරිභෝජනය කරන අය ඇතුළු ටික දෙනෙක්. 

වෙබ් ලිපිනය: