වෙබ් ලිපිනය:

Thursday, May 7, 2026

පෙබරවාරි අවසානයේදී අයවැය අතිරික්තයක්!


පෙබරවාරි මාසය දක්වා වූ මාස දෙකක කාලය අවසානයේදී ශ්‍රී ලංකාවේ රාජ්‍යමූල්‍ය ගිණුමෙහි රුපියල් බිලියන 170ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. අවසාන වශයෙන් වැදගත් වන්නේ වර්ෂ අවසාන අයවැය ශේෂය කුමක්ද යන්න වුවද, මේ අයුරින් වසර අතරමැදදී හෝ අයවැය අතික්තයක් වාර්තා වීම රාජ්‍ය මූල්‍යනය හා අදාළව සිදුව ඇති විශාල වෙනසක්. 

වසරේ මුල් දෙමස තුළ රුපියල් බිලියන 1,031ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එයින් වැය කර තිබෙන්නේ රුපියල් බිලියන 861ක් පමණයි. මේ අනුව, රුපියල් බිලියන 170ක අයවැය අතිරික්තයක් වාර්තා වෙනවා. 

මෙම වියදමෙන් රුපියල් බිලියන 376ක්ම පොලී වියදම් වන අතර පොලී වියදම් ඉවත් කළ විට රුපියල් බිලියන 545ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වෙනවා. 

පෙර (2025) වසරේ පළමු දෙමසට සාපේක්ෂව, බදු ආදායම් 35.8%කින් ඉහළ ගොස් ඇති අතර, බදු නොවන ආදායම් 32.8%කින් ඉහළ ගොස් තිබෙනවා. සමස්තයක් ලෙස වියදම් ඉහළ ගොස් තිබෙන්නේ 1.5%කින් පමණයි. 

මාර්තු මාසය තුළද වාහන ආනයන විශාල ලෙස අඩු වී නොමැති පසුබිමක, වැට් බදු පදනම සැලකිය යුතු ලෙස විශාල කර ගැනීමක්ද සිදුව ඇති බැවින් ආදායම් වර්ධන ප්‍රවණතාව දිගටම එලෙසම පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැකි වුවත්, ඉන්ධන සහනාධාර ආදිය හේතුවෙන් වියදම් පාර්ශ්වයේ යම් වැඩි වීමක් සිදු විය හැකි බව පෙනෙන්නට තිබෙනවා. එහෙත්, රාජ්‍ය මූල්‍යනය හා අදාළව අර්බුදකාරී තත්ත්වයක් ඇති වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ.

බාහිර කම්පන හමුවේ විදේශ අංශයේ අස්ථාවරත්වයක් ඇති වී තිබෙන මේ අවස්ථාවේදී, ඩොලර් ප්‍රශ්නයට අමතරව රුපියල් ප්‍රශ්නයක්ද ඇති කර නොගැනීම ප්‍රශ්නයට මුහුණ දීමට උදවුවක්. මීට පෙර මෙවැනි බාහිර කම්පන ඇති වූ බොහෝ අවස්ථා වලදී ඩොලර් ප්‍රශ්නය විසඳා ගැනීමට අමතරව රුපියල් ප්‍රශ්නයකටද මුහුණ දීමට සිදු වුනා. 

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: