Thursday, January 28, 2016

ගලගොඩඅත්තේ ඥානසාර එ. කුමාර් ගුණරත්නම්


පහතින් ඇත්තේ මාතලන් විසින් පළකළ ලිපියකට ඇනෝ කෙනෙකු විසින් දැමූ කමෙන්ටුවකි.

"ඉතාලි, ප්‍රංශ සහ චීන ජාතිකයෝ පිළිවෙලින් ගෙඹි කකුල්, ගාලික් බටර් සමග බේක් කළ ගොලුබෙල්ලන් (Escargot) සහ සර්පයෝ කෑමට ඉතාම රුසියි. අප රටවලට මේ තරම් අසික්කිත පිළිකුල් සහගත දෙයක් තව නැහැ. යුරෝපියන් වැඩි දෙනෙක් හැඳි ගෑරෝප්පු පාවිච්චි කරනවා. අතේ කෑම තවරාගනීම ඔවුන්ට පිළිකුල දනවන අසංවර දෙයක්. නමුත් ඉන්දියානුවන්ට හෝ අපට එය ඉතා සාමාන්‍ය දෙයක්. ලංකාවේ හෝ ඉන්දියාවේ සාමාන්‍යයෙන් විවාහයකදී දෑවැද්දක් බලාපොරොත්තු වෙනවා මනාලියගේ පාර්ශවයෙන්; මේක බටහිර කෝණයකින් බැලුවහම ඉතාම තුප්පහි දෙයක්, මිනිස් ජීවිතයකට මුදලින් සප්ලිමන්ට් කරන එක.

කාලයෙන් පසුපසට යන්න යන්න; ලංකාවේ තියෙන්නේ අම්මල පුතාල, සහෝදර සහෝදරියෝ එකට නිදාගත්ත, ඊටත් පසු සතවර්ෂ වල එකගෙයි කාපු කාලය පැවතුනේ බටහිර ආක්‍රමණ වලට පෙර. ඊටත් සතවර්ෂ කිහිපයක් පස්සට යන්න; උදේට රූපවාහිනියෙන් හැමදාම පාහේ කුඩා දරුවන්ට පවා පෙන්නන උඩුකය නිරාවරණය කරගත් කාන්තාවන්ගේ බිතු සිතුවම්, උඩුකය නිරාවරණය කරගැනීම කාන්තාවකට ඉතාමත් අසෝබන දෙයක් ලෙස සලකන අද කාලේ කරානම් කොච්චර වනචර දෙයක් කියල කෑගහන අය සෑහෙන්න ඉඳි.

කාල පරාසයකට සහ යම් භූගෝලීය පරාසයකට අනුව ඔබගේ හිතේ මැවෙන භූතාත්ම (entities) තමයි ඔය ජාතිවාදී නොවන ශීලාචාර කම කියන්නේ; ඔබ අසංවර, තුප්පහි, විලිලැජ්ජා නැති අන්තවාදීන්, පිස්සන්, ලෙඩුන්, මානසික රෝගීන් යනුවෙන් අර්ථකථනය කරන දේවල් හුදෙක් ඔබ හිතේ මවාගත් ප්‍රතිරූප, ඔබට මේ ප්‍රතිරූප මවගැනීමට අයිතියක් තියෙනවා – නමුත් ඒවාට අනුගත වන්නට කිසිවෙක් කිසිසේත්ම බැදී නැහැ (ඔබගේ සහෝදරියන්, බිරිද, දියනියන් පවා). මන්ද ඔබට ඔවුන් ගේ සිරුරු හෝ මනෝභාවයන් අයිති නැති නිසා, ඔවුන් ට ඔවුන් විසින් නිර්වචනය කර ගෙන ඇති සදාචාර පරාස ඇති නිසා.

සදාචාරය වෙන්නේ, ඇඳුමේ දිගවත්, තමන් කන්නේ බොන්නේ මොනවද යන්නවත්, තමන් රාත්‍රියට සමාජ ශාලාවකට යනවද යන්නවත්, සුළු ජාතික ජාතිවාද්යට උඩගෙඩි දීමවත් සියලු ජාතීන් සමයි කීමවත් නොවේ. – සදාචාරය මනින මිම්මක් වෙන්නේ, පැත්තක ඉන්න මිනිස්සු, අනෙක් මිනිස්සුන්ගේ (තමන්ට හෝ අනුන්ට කරදරයක් නොවන) නිදහසට අත පෙවීමයි. මේ අතින් අපේ නූතන, පශ්චාත් වික්ටෝරියානු “සදාචාරය” – අරාබිකරයේ “සදාචාරයට” වැඩ වෙනස් නැහැ. කෙසේ නමුත් ජාතිවාදී අන්තවාදී ත්‍රස්තවාදී ඝාතක පිරිස් නම් මර්දනය කල යුතුයි

එකම වෙනස, අප සහ ඔවුන් තමන්ගේ කාන්තාවන්ගේ සිරුර වැසීමට භාවිත වන රෙදි වල වර්ගපලය පමණයි. ආකල්ප බෙහෙවින් සමානයි. තවමන් කාන්තාවන් වෙනුවෙන් පිරිමින් තීරණ ගන්න අසික්කිත, තුප්පහි සමාජයක වසන අපිට සදාචාරය ගැන කතාකිරීමට පවා ලැජ්ජයි. ඉතින් ගෝත්‍රික වර්ගවාදය වගේම ඊට එරෙහි අන්තවාදය ද එකම අක්ෂයක අන්ත දෙකක් ලෙසයි මටනම් පෙනෙන්නේ."


මේ කමෙන්ටුවේ ඇනෝ විසින් කියා ඇති සියළුම කරුණු වලට මා වචනයෙන් වචනය, වාක්‍යයෙන් වාක්‍යය එකඟ වන්නේ නැත. එහෙත්, ඔහු මතු කරන කරුණෙහි හරය සමඟ මට එකඟ විය හැකිය. සදාචාරය, ජාතිවාදය, ජාත්‍යන්තරවාදය, මානවවාදය වැනි සංකල්ප කිසිවක් සෑම කාලයකටම හා සෑම සමාජයකටම ගැලපෙන නිරපේක්ෂ සංකල්ප නොවේ.

යමෙකු සිය වකුගඩුව මුදලට අලෙවි කිරීම වත්මන් ලාංකික සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙකුට 'කිසියම් අවුලක් ඇති' සංකල්පයකි. එහෙත්, වකුගඩුවක් මුදල් නොලබා ප්‍රදානය කිරීම ගැන අපුලක් ඇති අය ඇත්නම් ඒ ඉතා අඩුවෙනි. අවුල ඇත්තේ මුදල් ගණුදෙනුවේය. වකුගඩු දායකයෙකු සහ ග්‍රාහකයෙකු සම්බන්ධ කරමින් තැරැව්කරුවකු විසින් ලාභයක් ලැබීම ඇතැම් අයට අශීලාචාර කටයුත්තක් ලෙස පෙනිය හැකිය.

විවාහය අතිශය පෞද්ගලික කටයුත්තකි. විවාහය සහ දෑවැදි අතර සම්බන්ධතාව තවමත් ලාංකික සමාජයෙන් මුළුමනින්ම ගිලිහී ඇති දෙයක් නොවේ. මෙහිදීද  සිදුවන්නේ අතිශය පෞද්ගලික කටයුත්තක් සඳහා මුදල් මැදිහත් වීම වුවත් බොහෝ දෙනෙකු එය අශීලාචාර දෙයක් ලෙස නොසලකති.

ශීලාචාර වීම ලෙස මා දකින්නේ තමන් ජීවත්වන සමාජය විසින් යම් කාලයකදී පිළිගන්නා මූලික සම්මුතීන් සමඟ අනුගත වීමයි. සුළුතරය බහුතරයේ අදහසට අනිවාර්යයෙන්ම යටවිය යුතුය යන්න එයින් ගම්‍ය නොවේ. සුළුතරයේ අදහස් වලට ඉඩදීම සමාජ සම්මුතියේ අංගයක් විය හැකිය. ඇතැම් විටක එය එසේ නොවන්නටද පුළුවන.


කිසියම් සමාජයක ස්ථාපිත වී ඇති සම්මුතීන්ට ඒ සමාජයේ බොහෝ දෙනෙකු විසින් ගරු කිරීම දියුණු ලක්ෂණයකි. එවැනි සමාජයකට කිසිදු නිශ්චිත අරමුණක් නැතිව ඉබාගාතේ යන සමාජයකට සාපේක්ෂව ඉදිරි ගමනක් තිබේ. සම්මුතීන් වෙනස් නොකළ යුතු බව එයින් අදහස් නොවේ. සම්මුතීන් නිර්මාණය කරන්නේ පුද්ගලයින් විසින් ඔවුන්ගේ පොදු යහපත වෙනුවෙනි. යම් සම්මුතියක් තවදුරටත් පොදු යහපත පිණිස හේතු නොවේනම් එය වෙනස් කළ යුතුය. එහෙත්, ඒ වෙනස්කම සිදු කරන තුරු අදාළ සම්මුතියට ගරු කළ යුතුය.

වත්මන් ලෝකයේ සෑම සමාජයකම මෙන්ම මූලික පදනම වන්නේ ඒ සමාජය විසින් පිළිගත් නීති පද්ධතියකට ගරු කිරීමයි. මේ නීති පද්ධතිය රටින් රටට මෙන්ම එක් රටක භූගෝලීය කලාප අනුවද වෙනස් විය හැකිය. නීති පද්ධතිය කවරක් වුවද, ශිෂ්ඨත්වය වන්නේ තමන්ට අදාළ නීති පද්ධතියට ගරු කිරීමයි.

ලංකාවේ වත්මන් නීති පද්ධතිය ස්ථාපිත කළේ ලන්දේසීන් විසිනි. එය රෝම නීතියේත් ඕලන්ද නීති සම්ප්‍රදායන්ගේත් මිශ්‍රණයක් වූ රෝම-ලන්දේසි නීතියයි. කෙසේ වුවද, ලන්දේසින් යටතේ මේ නීතිය රට පුරාම ක්‍රියාත්මක වූයේ නැත. එය ක්‍රියාත්මක වූයේ ලංකාවේ පදිංචි වී සිටි ලන්දේසීන්, ලන්දේසීන්ට සේවය කළ ලාංකිකයින්, කතෝලික හෝ ක්‍රිස්තියානි ආගම වැළදගෙන සිටි ලාංකිකයින් සහ ලන්දේසි කොටු තුළ ජීවත්වූ සිවිල් වැසියන් වැනි සීමිත පිරිසක් හා අදාළවය. ඉතිරි ජනකොටස් අතර වෙනත් සම්මුතීන් පැවතුණේය.

ඉංග්‍රීසින් විසින් ලංකාවේම පාලනය සියතට ගැනීමෙන් පසු, ඔවුන්ගේ යටත් විජිත ප්‍රතිපත්තිය අනුව යමින්, එවකට රටේ පැවති නීතිය අනුවම තවදුරටත් ක්‍රියාකිරීමට පටන් ගත්තේය. කෙසේ වුවද, මෙහිදී 'එවකට රටේ පැවති නීතිය' ලෙස ඉංග්‍රීසින් විසින් සැලකුවේ රෝම ලන්දේසි නීතියයි. වෙනත් ජනකොටස් අතර පැවති සම්මුතීන් උඩරට, තේසවලාමේ සහ මුස්ලිම් නීති ලෙස පිළිගැනීමකට ලක්වුවද ඒ නීති වලට ලැබුණේ දෙවන තැනකි.

ලංකාව පාලනය කළ ඉංග්‍රීසින්ට තවමත් රැජිනක් සිටී. එහෙත්, අද මෙන්ම ඔවුන් ලංකාවට පැමිණි එදාත් එංගලන්තයේ රජෙකුට හෝ රැජිනකට යටත් වැසියෙකුව දියේ ගිල්වා මැරීමට හෝ බිළිඳෙකුව වංගෙඩියක දමා කෙටීමට අණ කළ හැකි සම්මුතියක් එංගලන්තයේ තිබුණේ නැත. එවැන්නක් ලංකාවේ සිදු වූ විට රටේ ජනතාව දින ගණනක් ලිප ගිණි නොදල්වමින් ශෝකයෙන් කල් ගත කළත් විරෝධතාවක් දැක්වීමට ඉදිරිපත් නොවුණේ රජුට ඇති බියට අමතරව එවැන්නක් කිරීමට රජුට ඇති අයිතිය පිළිගත් සමාජ සම්මුතියද වූ බැවිනි. ජනතාවට කළ හැකිව තිබුණු දෙය "රාජා භවතු ධම්මිකෝ" කියා උදේ හවස ප්‍රාර්ථනා කිරීමයි. කෙසේවුවද, රජුට කිසිදු සම්මුතියකට යටත් නොවී ක්‍රියා කළ හැකිව තිබුණු බව මෙයින් අදහස් නොවේ.

යම් රටක නීතියේ පදනම ඓතිහාසික සම්මතයන්, ආගමික ඉගැන්වීම් හෝ විද්‍යාත්මක සොයාගැනීම් වල ප්‍රතිඵල වැනි කවරක් හෝ විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මේ නීති හදන්නේ ව්‍යවස්ථාදායකයි. අධිකරණය මේ නීති අර්ථ දක්වමින් ගන්නා තීරණ පොලීසිය වැනි ආයතන හරහා ක්‍රියාත්මක කරයි. ප්‍රායෝගිකව නීතියක් ක්‍රියාත්මක කළ හැකි වන්නේ එය අදාළ සමාජයේ බහුතරය විසින් පිළිගන්නා සම්මුතීන් සමඟ ගැලපෙන්නේනම් පමණි. එසේ නොවන විට කළ යුත්තේ නීති වෙනස් කිරීමයි. එහෙත්, එසේ නීති වෙනස් කරන තුරු ඒවාට ගරු කළ යුතුය. නීති හැදීමේ බලය රටක ව්‍යවස්ථාදායකයට තිබුණත්, එසේ හදන නීති වලට ව්‍යවස්ථාදායකය මෙන්ම විධායකයද යටත්ය. නීතියේ සමානාත්මතාව වත්මනේ පුළුල් ලෙස පිළිගත් සම්මුතියකි.

ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ 64ක් තිබේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය, බොදු ජන පෙරමුණ හා තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල් යනු මේ අතරින් පක්ෂ තුනකි. පිළිවෙලින් කුමාර් ගුණරත්නම්, ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මේ පක්ෂ වල නායකයින් ලෙස සැලකිය හැකිය. (මේ තිදෙනාම ජීවිතයේ යම් කාලවල යම් සන්දර්භයන් යටතේ වෙනත් නම්ද භාවිතා කර තිබේ.) මේ අවස්ථාව වන විට මේ තිදෙනාම, රටේ පවත්නා නීතිය අනුව, කිසියම් වරදකට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටී. (එහෙත්, වරදකරුවන් වී නොමැත.) මේ තිදෙනාගෙන් තෙවැන්නා ගැන සිංහල මාධ්‍ය වල විශාල අවධානයක් දැනට නැතත් (ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය වල මේ තෙ
වැන්නාද අවධානයට ලක්වේ.) පළමු දෙදෙනා ගැන සැලකිය යුතු කතිකාවක් ඇති වී තිබේ.

කුමාර් ගුණරත්නම් සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යන පුද්ගලයන් දෙදෙනාත්, ඔවුන් නියෝජනය කරන දේශපාලන ධාරාවනුත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ, අන්ත දෙකක ඇති ඒවා ලෙස බොහෝ දෙනා සලකති. ඒ අනුව, එක් කණ්ඩායමක් ජාතිවාදීය. අනෙක් කණ්ඩායම ජාතිවාදයට විරුද්ධය.

කෙසේ වුවද, මේ කණ්ඩායම් දෙකේ සමානකම්ද තිබේ. මේ කණ්ඩායම් දෙකටම, රටේ ජනගහනයට සාපේක්ෂව සුළු ප්‍රතිශතයක් වුවත්, නිශ්චිත ආධාරකරුවන් පිරිසක් සිටිති. මේ පිරිස අතිශයින්ම ක්‍රියාශීලීය. අනෙක් සියළු මතවාදී කණ්ඩායම් වලට වඩා තමන් ඉදිරියෙන් සිටින බව සිතති. ඔවුන්ව නොසලකා හරිති. කණ්ඩායම් දෙකටම ආධාරකරුවන් නොවන අනුකම්පා කරන්නෝද (sympathizers) සැලකියයුතු පිරිසක් සිටිති. එකම ආකාරයේ නොවූවත්, කණ්ඩායම් දෙකටම ක්‍රම විරෝධයක්ද තිබේ. කණ්ඩායම් දෙකම තමන් සතු පිරිස් බලය ප්‍රයෝජනයට ගනිමින් පවතින සම්මතයන්ට අභියෝග කරති. (මේ කණ්ඩායම් පසුපස කවරෙකු සිටීද යන කරුණ පැත්තකින් තියමු.)

මේ කණ්ඩායම් දෙකටම, විශාල පිරිස් බලයක් නැතත්, සමාජයට දැනෙන තරමේ බලපෑමක් කිරීමේ ශක්තියක් තිබේ. රටේ නීතිය මේ දෙපිරිසේම අභියෝගයට ලක්වී ඇත.

වත්මනේ සෑම සමාජයකම පාහේ මූලික සැකිල්ලෙහි කොටසක් වන නීති පද්ධතියට අභියෝග කිරීම සුළුපටු දෙයක් නොවේ. මේ සැකිල්ල බිඳ වැටුණු විට එහි හානිය සමස්ත සමාජයටමය. ඒ නිසා, සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ එවැනි අභියෝගයකට සමාජයෙන් ප්‍රති-ප්‍රහාර එල්ල වීමයි (පොලු මුගුරු නොවේ!). යම් තරමකට එය සිදුවුණත්, මේ අභියෝගය සමාජයෙන් අනුමත වීමක්ද පෙනෙන්නට තිබේ. මෙයින් පෙනී යන්නේ රටේ පිළිගත් සම්මුතීන් සමඟ මහා සමාජයටද බේරා ගැනීමට ගණුදෙනු ඇති බවයි.

ලංකාවේ නීතිය හා සාමය ක්‍රියාත්මක වීම පිළිබඳ ගැටළු අද ඊයේ ඇති වූ ඒවා නොවේ. එහෙත්, කිසිවිටෙකත් සමස්තයක් වශයෙන් නීතිය පිලිබඳ ජනතා විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණේයැයි කිව නොහැකිය. ජවිපෙ විසින් දෙවරක්ද, උතුරේ සටන්කාමී කණ්ඩායම් විසින් දශක දෙකහමාරක් තිස්සේද රටේ නීතිය අභියෝගයට ලක් කළේය. ඒ අභියෝග හමුවේ නීතියේ ආධිපත්‍යය නැවත ස්ථාපිත කිරීමට මහා සමාජයට හැකි විය.

නීතිය ක්‍රියාත්මක කිරීමේ ඇති දුර්වලතා හේතුවෙන් පසුගිය කාලයේ වරින්වර මතු වූ විරෝධතාවන් කිසියම් කණ්ඩායමක උසිගැන්වීම් නිසා ඇති වුනු තත්ත්වයන් ලෙස ලඝු කළ නොහැකිය. බොහෝ විට එවැනි කණ්ඩායම් විසින් කළේ පැවති තත්ත්වයෙන් දේශපාලන වාසියක් ගැනීමයි. පොලීසියට සාපේක්ෂව, අධිකරණ පද්ධතිය පිළිබඳව මැතක් වන තුරුම රටේ පැවතුණේ විශ්වාසයකි. දේශපාලඥයින් විසින් වරින්වර අධිකරණයට බලපෑම් නොකළා නොවේ. එහෙත්, එය කළේද අධිකරණ පද්ධතියේ මූලික ආකෘතිය දුර්වල නොකරමිනි. රටේ සාමාන්‍ය ජනතාව අධිකරණ පද්ධතියට එරෙහිව කැරලි ගැසීමක් සිදු නොවූ තරම්ය.


ශිරාණි බණ්ඩාරනායක හා අදාළව ගත් ක්‍රියාමාර්ගය ලංකාවේ අධිකරණ පද්ධතිය පිලිබඳ විශ්වාසනීයත්වය කෙරෙහි ඉතා නරක බලපෑමක් සිදු කළේය. එහෙත්, ඒ අවස්ථාවේදීද, සියළු පියවර ගනු ලැබුවේ රටේ පිළිගත් සම්මුතීන් අනුව කටයුතු කරන බව (බොහෝ දෙනෙකුට පිළිගත නොහැකි වුවත්) ප්‍රදර්ශනය කරමිනි. ඒ නිසා ඇතිවූ අවුල් සහගත තත්ත්වය ආපසු හැරවීම පිණිස ගනු ලැබූ ක්‍රියාමාර්ගය ඊටත් වඩා අවුල් සහගත, ක්‍රම විරෝධී එකකි. තත්කාලීන දේශපාලන වාතාවරණය අනුව, පැවති හොඳම විකල්පය එය වූවා විය හැකි වුවත් ඒ අවස්ථාවේදී දුන්නේ එතරම් හොඳ පූර්වාදර්ශයක් නොවේ. සරත් ෆොන්සේකා හා අදාළවනම් අවශ්‍ය නිවැරදි කිරීම් පැවති නීති රාමුව යටතේම සිදුවිය.

තමන් සිටින්නේ නීතියට උඩින්යැයි ඇතැම් අය සිතනවා විය හැකිය. දයා ගමගේ සහ චම්පික රණවක අතර ගැටුමේද වෙනත් නොදන්නා බොහෝ දේ තිබිය හැකි වුවත් එවැනි දෙයක්ද පෙනෙන්නට තිබේ. රජයක් පිහිටුවීම සඳහා මූල්‍යමය දායකත්වය සැපයීම හෝ රජයේ බලවතෙකු වීම නීතියට වඩා උඩින් සිටීමට නිදහසට කරුණක් නොවේ.

රටකට ඉදිරියට යාමට නීතියක් අවශ්‍යය. ඒ නීතිය සමාජයේ සම්මුතීන් සමඟ ගැලපීමද අවශ්‍යය. එසේ නොවන්නේනම්, එවැනි නීති සංශෝධනය වීමද සිදු විය යුතුය. එහෙත්, ඕනෑම මොහොතක රටක පවතින නීතිය කාටත් පොදුවේ ක්‍රියාත්මක විය යුතුය. 


ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකු සරම කොනකින් උස්සාගෙන මහේස්ත්‍රාත් අධිකරණයකට පැමිණ තමන්ගේ ආධාරකරුවෙකු නිදහස් කරන ලෙස ඉල්ලමින් විනිසුරුවරයාට අසභ්‍ය වචනයෙන් බැණීම හෝ ගමේ 'පොදු ජනතාව' උසාවියට රැස් වී සැකකරුවෙකුට ලබා දිය යුතු දඬුවම ගැන විනිසුරුට උපදෙස් දීම ඉදිරියේදී සිදු නොවිය යුත්තකි.

50 comments:

  1. මේ කම්පැනි එක කෙලින්ම ගංකබරයගෙන්,ගමරාලට මාරු වෙච්චි එකක්.මේක අපහාසයක් නෙමේ ගැලපෙනම වචනය.

    /රජයක් පිහිටුවීම සඳහා මූල්‍යමය දායකත්වය සැපයීම හෝ රජයේ බලවතෙකු වීම නීතියට වඩා උඩින් සිටීම/
    කලින් මේක කතාකරන එකත් නිරර්තක එහෙමනැතිනම් සාමාන්‍ය්‍යය දෙයක් වෙලා තිබුනා.
    ඉස්සර හිටපු කබරයාත්,දැන් ඉන්න ගමරාලත් කල හා කරන ප්‍රකාශ ඇත්තම නම් ඒ අය ජිවත්වෙන්නේ අපි(මම මල්මි) ජිවත්වන ලෝකයේ නෙමෙයි.හැබැයි. පොඩි පොඩි කට් වලින් වුනත් පේනවා. දැන් ඉන්න කබරයා ඉස්සර කබරයා නෙමෙයි වෙන සතෙක් කියලා.අනික් අය කෙසේ වෙතත් අවුරුද්දක් තුල එයානම් වෙනස්වෙලා.

    කොටින්ම අර සලුපට සිද්දියට කිසි ගැහැනියෙක් ස්ත්‍රි වර්ගයාට අපහාස කොලා එහෙම කියා කතාවක්. නැහැ හරියට ඒක පිරිමින්ට අයිති වස්තරයක් වගේ.සද්දේ දාන්නේ පිරිමිමයි.

    යුත්තකි./යුතුය/නොවේ./සිදුවිය.
    මොකද අද මෙහෙම පරණ භාසාවෙන් ලිවුවේ. දැන් යන ගමරාලගේ ආන්ඩුවට ගැලපෙන්නද???

    ReplyDelete
    Replies
    1. //කලින් මේක කතාකරන එකත් නිරර්තක එහෙමනැතිනම් සාමාන්‍ය්‍යය දෙයක් වෙලා තිබුනා.// ඔවු, ඒක ඇත්ත.
      //අනික් අය කෙසේ වෙතත් අවුරුද්දක් තුල එයානම් වෙනස්වෙලා.// මටත් එහෙම හිතෙනවා.
      //පරණ භාසාවෙන් ලිවුවේ// අපිත් දැන් පරණ මිනිස්සුනේ, මල්මි. දේදුන්නකට වර්ණ ගලපන්නේ කොහොමද?

      Delete
  2. අපේ නූතන, පශ්චාත් වික්ටෝරියානු “සදාචාරය” – අරාබිකරයේ “සදාචාරයට” වැඩ වෙනස් නැහැ. //// true

    ReplyDelete
    Replies
    1. වෙන අයගේ සදාචාරය ගැන හොයන එක සරලයි. පහසුයි.

      Delete
  3. ලන්ඩන් ටවර් එකේ කර ඇති මරණ ගැන අසා නැද්ද?

    ReplyDelete
    Replies
    1. මම මේ ගැන වැඩිය දන්නේ නැහැ, රසික. ඒ සිද්ධි ගොඩක් වුණේ ඉංග්‍රීසින් ලංකාවට පැමිණි කාලයට පෙර කියලයි මම හිතාගෙන හිටියේ.

      Delete
    2. ලන්ඩන් ටවර් එකේ මරණ දඬුවම් දීම වැඩිපුරම උනේ එක්දහස් පන්සීය ගණන් වලයි. ඉංගිරිසින් ලංකාවට ආවේ එක්දහස් හත්සිය ගණන් වල අගදී.

      Delete
  4. මේ ඔක්කොම ඔය දුණු ඊතල, තුවක්කු වගේ දේවල් සොයා ගත්ත වුන්ගෙ. මොකද ඕව නොතියෙන්න අපි තාම සත්තුන්ගෙන් බේරෙන්න සටන් කරනවනෙ. ඒකෙන් බේරුණ නිසා තමයි මිනිස්සු මිනිස්සු එක්ක සටන් කරන්න හේතු හොයාගෙන තියෙන්නෙ. හරිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. මුල සිටම කතා කරන්න සිතාගෙන සිටි, තවමත් කතා නොකළ මාතෘකාවක්. ලෝකයට ඉදිරියට යන්නට ආයුධ වලින් ලබාදුන් දායකත්වයක් තියෙනවා. ඉතිහාසය කියන්නේ එක්තරා දුරකට යම් යුගයක හොඳම ආයුධ නිෂ්පාදනය කළ හැකි වූ අයගේ ඉතිහාසයක්. මේ විෂයය කෙටියෙන් කතා කළොත් වැරදි අදහසක් ඉස්මතු වෙන්නේ. කඩු පොලු වලට සාපේක්ෂව දුනු-හී හා තුවක්කු වලින් කරපු සුවිශේෂී කාර්ය භාරයක් තියෙනවා. කඩු පොලු යුගයේ වීරයෝ වැඩිම මාංශ පේශී ශක්තියක් තිබුණු අය. දුනු-හී වලටත් මාංශ පේශි ශක්තිය අවශ්‍ය වුණත් සාපේක්ෂව අඩුවෙන්. තුවක්කු පාවිච්චියේදී වඩා වැදගත් මොළය පාවිච්චි කිරීමයි. තුවක්කුව තියෙන්නේ රෝද පුටුවේ සිටින වයස්ගත ආබාධිත පුද්ගලයෙකු අතේ වුණත්, ඔහු එවැනිම ආයුධයක් අත ඇති හැඩි දැඩි තරුණයෙක් තරමටම බලවත්. ඒ නිසා (බාහු බලයෙන්) ශක්තිවන්තයින්ට දුර්වලයින්ට වඩා තැනක් තිබුණු ලෝකයක් වඩා සමාන ලෙස වෙනස් කිරීමට ආයුධ වලින් සිදුවූ කාර්යභාරයක් තියෙනවා. ඉදිරියේදී දියුණුම ආයුධ වෙන්නේ පරිගණක ක්‍රමලේඛණ. ඒ අංශයෙන් ඉදිරියට යන සමාජ ලෝකයේ බලවතුන් වෙයි.

      Delete
    2. ආයුධ වලින් ඉතිහාසයට කල බලපෑම ගැන දැනගන්න මේ පොත කියවන්න. Jared Diamond ගේ Guns Germs and Steel. මෙය මා කියවූ හොඳම පොත් වලින් එකක්. එය මෙතනින් download කර ගැනීමට හැකියි. http://www.ahshistory.com/wp-content/uploads/2013/04/GUNS-GERMS-AND-STEEL.pdf

      Delete
    3. එය හොඳ පොතක්, ඇනෝ. බාගත කළ හැකි සබැඳියක්ද සමඟ දැමීම ගොඩක් වටිනවා. ඔහුගේ අනිත් පොතුත් හොඳයි.

      Delete
    4. ස්තූතියි ඇනෝ...අපූරු පොතක්......:)

      Delete
  5. නීතියට වඩා විනය වැඩි වී අනුන් හට කරදර කිරීම (විස්ස විජ්ජාල නවක වදය වැනි ) දේ නතර වී අනුන් ගේ නිදහසට අකුල් නොහෙලීමට සිරි ලන්කාවාසීන් ඉගෙන ගත යුතු බව ස ර ස තුමා ගේ හැඟීමයි....

    ඔය නවක වදයෙන් සමාජයට වැඩදායී යමක් තිබේදැයි සොයා බලන්න යන හීනමානයෙන් පෙලෙන්නවුන් ට මඩු වලිගෙන් තැලිය යුතුය!

    ReplyDelete
    Replies
    1. //නවක වදයෙන් සමාජයට වැඩදායී යමක් තිබේදැයි සොයා බලන්න යන// එහෙම අයත් ඉන්නවද?

      Delete
    2. නවක වදය දෙන කොට senior උත්තමයෝ උත්තමාවියෝ ඒක justify කරන්නේ එහෙමනේ. නවක වදය නිසා සමාජයේ ඕනේ දෙකට මුණ දෙන්න පුළුවන් අය බිහිවෙනවලු. That's how they disguise their inferiority complex.

      Delete
    3. // නවක වදය දෙන කොට senior උත්තමයෝ උත්තමාවියෝ ඒක justify කරන්නේ එහෙමනේ. නවක වදය නිසා සමාජයේ ඕනේ දෙකට මුණ දෙන්න පුළුවන් අය බිහිවෙනවලු. That's how they disguise their inferiority complex. //

      මසුරන් වටින කතාව.... ඇනෝ ගෙ කටට බාල්දු වෙච්චි රුපියලක් ම දාන්න හිතෙනවා..

      Delete
    4. පරණ රුපියල් වගේ නෙමෙයි අළුත් රුපියල්. උගුරේ හිර වෙන්නෙ නැතුව කෙළින්ම බඩට යනවා. (ඒ නිසා දොස්තර මහත්තයෙක්ට ව්‍යාපාරික අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්!)

      Delete
  6. පැහැදිලි කිරීමනම් අනර්ඝයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, මහේෂ්! මේ සටහනේ ලොකු දෙයක්නම් නැහැ.

      Delete
  7. නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වෙනවා නම් ගොඩක් ප්‍රශ්ණ අඩුයි.. එහෙම නොවෙන එකයි ප්‍රශ්ණය..

    දැන් නානසාරට නීතිය ක්‍රියාත්මක උනාට.. හිරුනිකාට එහෙම ක්‍රියාත්මක් උනේ නෑ කියලා බයියෝ නගන තර්කයේ සත්‍යයක් නැත්තෙමත් නෑ නේ.. එයාටත් මේ විදියටම ක්‍රියාත්මක උනා නම් කොතරම් අපූරුද....?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. හැමදාම කොටසක් නීතියට උඩින් ඉන්නවා. එහෙම නොඉන්න ගොඩක් අයට අවශ්‍ය ඒ තත්ත්වය වෙනස් කරගන්න නෙමෙයි. අර නීතියට උඩින් ඉන්න පිරිස ඉවත් කරලා (හෝ එසේ නොකරම) තමනුත් ඒ ගොඩට ඇතුළු වෙන්න.

      Delete
  8. නීතියේ වෙනස් වෙන්න ඕනේ දේවල් ඉක්මනින් වෙනස් විය යුතුයි...

    අපේ හමුදාව රසායනික අවි භාවිත කර දෙමළ ජනයා සමුලඝාතනය කලායයි ප්‍රසිද්ධ ප්‍රාක්ෂ නිකුත් කරන කතක් කිසිම ගැටළුවක් නැතිව නිදහසේ සිටීම මටනම් මේ සියල්ලටම වඩා ගැටළු සහගතය...
    නීතිය කොහේදෝ කියල හිතෙනවා ඒ වගේ ඇති භයානක ප්‍රකාශ වලට ආණ්ඩුවෙන් හෝ නීතියෙන් කිසි ගැටළුවක් නැති බව පේනකොට...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා, මේ කරුණ හා අදාළව නීතිය මඟින් සිදුවිය යුත්තේ කුමක්ද කියන එක මටනම් එතරම් පැහැදිලි නෑ. ඇය කියන්නේ කිසිම පදනමක් නැති, වෙනත් කිසිවෙකු පිළිනොගන්නා කරුණක්නම් එයින් විශාල ප්‍රශ්නයක් නැහැ. එය එසේ නොවන බව වෙනත් අයට කරුණු සහගතව පෙන්වා දිය හැකියි. මේ සඳහා ආණ්ඩුව හෝ රටේ නීතිය මුල් වීමම අවශ්‍ය නැහැ. එවැන්නක් සිදු වූ බව ඇය සිතනවානම් (වැරදි හෝ නිවැරදි ලෙස) ඒ ගැන ඇයට පහසුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ සැලසෙන, ඒ කරුණු නිසි ලෙස විභාග කිරීමට සමත් යාන්ත්‍රණයක් තිබීය යුතුයි. විශේෂයෙන්ම ඇය සිතන පරිදි (අවංකවම) සිතන බොහෝ දෙනෙක් ඉන්නවානම් සහ එය වැරදි අදහසක්නම් එවැනි වැරදි මතයක් තුරන් නොකර කෙනෙකුට හෝ තෝරාගත් පිරිසකට දඬුවම් දීමෙන් සිදුවන්නේ ප්‍රශ්නය යටපත් වීමක් පමණයි. යම් හෙයකින් සිතාමතාම බොරුවක් පතුරුවා සමාජය අස්ථාවර කිරීමේ සැලසුමක් ඇයට තිබේනම්, ඒ බව පැහැදිලි ලෙස තහවුරු වේනම් එය නීතිමය වරදක් ලෙස සැලකීම විසඳුමක් විය හැකියි.

      Delete
  9. හැබැට පක්ෂ නායකයෝම තුන් දෙනෙක් හිරේ නේ.. බැලුවම නීතිය ක්‍රියාත්මක වීමේ අඩුවකුත් නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. එක් කෙනෙක් ඇතුළේ ඉඳලා එළියට ආවා. දැන් තුන් දෙනෙක් ඇතුළේ.

      Delete


  10. නීතීය සියලුම පුද්ගලයින්ට සමානව යෙදෙනවා යන්න පිලිබදව කිසිවකුට විශ්වාසයක් නැත. සරලම උදාහරණයක් ලෙස ගත හැක්කේ මැති ඇමතිවරුන් මාර්ග නීතී පිලිබදව නොසිතමින් මාර්ගවල ගමන් කිරීමය. තවද මුදල් තිබෙනවානම් නීතීයෙන් බේරියාමට ඇති හැකියාවද ඉතාමත් වැඩිය.(වංගෙඩි මිනිමැරීම සහ ගොයම් කොල වලට මුවාවී වෙඩි තියන්නේ එවැනි අවස්ථා වලදීය). එනම් සාමාන්‍ය ජනතාවට නීතීය පිලිබදව විශ්වාසයක් නැත.

    නීතීය විමර්ශනය කිරීමට සිටින නිලධාරින් සම්බන්ධයෙන්ද තත්වය එසේමය.

    අනෙක් කරුණනම් නීතීය දේශපාලකයින්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වීමයි.
    කුමාර් ගුණරත්නම් නඩුවේදි ඇප ලබාදීම හෝ ඒ පිලිබදව අධිකරණමය කටයුතු සිදුකිරීම හිතාමතාම පමා කරමින් සිටියි. එමෙන්ම කුමාර් ගුණරත්නම්ට එරෙහිව යොදවන නීතීය, නීතීයට අවනත නොවු අනෙත් පිරිස්වලට ඒ අයුරින්ම යොදවන්නේ නැත. (කුමාර් ගුණරත්නම් විසින් කරන ලද වරද නීතී විරෝධී ලෙස රටින් බැහැර වීමය (නීතී විරෝධී ලෙස රටින් බැහැරවු වෙනත් රටවල පුරවැසිභාවය ගත් පිරිස් නැවත ලංකාවට පැමිණි පසු ඔවුන් දේශපාලනයට සම්බන්ධ නොවේනම් ඔවුන්ට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැත (බොට්ටු මගින් රට ගොස් නැවත ලංකාවට එන පිරිස්)

    ඥනසාර හමුදුරුවන් විසින් සිදුකරන ලද ක්‍රියාව වැරදි ලෙස මම දකින්නේ ඔහුගේ අවසන් අරමුණත් සමග පමණකි. සමාජයක් වෙනස් කිරීමේදි පවතින නීතීය කඩ කීරීමට සිදුවනවාය එය අනිවාර්යයක්ය.

    //ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකු සරම කොනකින් උස්සාගෙන මහේස්ත්‍රාත් අධිකරණයකට පැමිණ තමන්ගේ ආධාරකරුවෙකු නිදහස් කරන ලෙස ඉල්ලමින් විනිසුරුවරයාට අසභ්‍ය වචනයෙන් බැණීම හෝ ගමේ 'පොදු ජනතාව' උසාවියට රැස් වී සැකකරුවෙකුට ලබා දිය යුතු දඬුවම ගැන විනිසුරුට උපදෙස් දීම ඉදිරියේදී සිදු නොවිය යුත්තකි.// මෙය ප්‍රසිද්ධියේ සිදු නොවුනද දුරකතන මාර්ගයෙන් මෙයටත් වඩාවන බලපෑම් අධිකරණයට ඇත. නීතීය විසින් සාමාන්‍ය පුද්ගලයින් මෙවැනි වැරදි නොකිරීමට වන බලපෑම ඕනෑවටත් වඩා සිදුකර ඇත (අදිකරණ භුමියේ ගසක ළමයෙකු විසින් නෙල්ලි කඩන ලද වරදකට පියාට විවෘත අදිකරණයේ අවවාද ලබාදීම, කිවිසුම් ගියවිට කුඩුවට දැමිම, ....)

    නීතිය විසින් සමහර වැරදි සම්බන්ධයෙන් සිදුකරන අර්ථකතනයන් මාහට ගැටලුකාරිය උදාහරණයක් ලෙස යම් පුද්ගලයකුගෙන් දේපලක් සොරකම් කිරීම හෝ වංචනිකව ලබා ගැනීම හෝ මංකොල්ල කෑම අපරාධමය වරදක්ය. එහෙත් පුද්ගලයකුට යම් ව්‍යාපාරයක් සදහා මුදල් යොදවා එම ව්‍යාපාරයට සම්බන්ධ ශ්‍රමිකයින්ට මුදල් ගෙවිමෙන් පසු භාණ්ඩ විකුණා විශාල ලාභයක් ලැබීම වරදක් නොවේය. (උදා - එක් මිනිසකු සකස් කරන භාණ්ඩයක් එම පුද්ගලයාගෙන් රු 100කට ගෙන එම භාණ්ඩය රු 25 වියදම්කර ප්‍රවාහනය කර තවත් පුද්ගලයකුට රු 250කට විකුණයි. විකිණිම කරන පුද්ගලයාට රු 50ක් ගෙවා රු 100 යෙදවු ආයෝජකයා රු 175ක් නැවත තමන් අතට ලබා ගනියි (ලාභය රු 75) මෙම ක්‍රියාව මගින් වරදක් සිදුවන බවක් නීතීය පිලිගන්නේ නැත. මෙම ලාභය වෙනුවෙන් යම් බදු මුදලක් පමණක් රජය ලබා ගනියි. මට ඇති ගැටලුවනම් ආයෝජනය කරන පුද්ගලයා යොදවන්නේ මුදල් පමණි. ලාභය යනු ඔහුගේ ශ්‍රමය වෙනුවෙන් වන කොටසද නැතිනම් යම් වරදක් එතැන සිදුවන්නේද? (ආයෝජකයින් මුදල් යොදවන්නේ පාඩු ලැබීමට නොවේ, සමහර ආයෝජකයින් පාඩු ලබයි, සමස්ථයක් ලෙස සම්පුර්ණ ආයෝජනයන් සැලකිමේදි ඇත්තේ සමස්ථ ලාබයක්ය)

    ReplyDelete
  11. ප්‍රදීප්, ඔබේ දීර්ඝ කමෙන්ටුවට ගොඩක් ස්තුතියි! ඔබ සිතන ආකාරය සහ ඔබ ප්‍රශ්න ලෙස දකින දේවල් මේ ආකාරයට පැහැදිලිව සටහන් කළ විට ප්‍රතිචාර දැක්වීම පහසුයි. කාලවේලා ප්‍රශ්න සහ වෙනත් තාක්ෂණික ප්‍රශ්න නිසා මම එය කොටස් වශයෙන් කරන්නම්.

    //එනම් සාමාන්‍ය ජනතාවට නීතීය පිලිබදව විශ්වාසයක් නැත.//
    ඔබ මතු කරන කරුණු වල වැදගත්කමක් නැතැයි මම කියන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වීම පිලිබඳ බොහෝ ගැටළු තියෙනවා. මේ ගැටළු එන්න එන්නම වර්ධනය වෙනවා. එහෙත්, මගේ අදහස පරිදි ලංකාවේ බොහෝ දෙනෙකුට නීතිය පිලිබඳ පූර්ණ විශ්වාසයක් නැතත්, ඒ ගැන සෑහෙන විශ්වාසයක් තවමත් තියෙනවා. තමන්ගේ ගැහැණු දරුවෙකු නීත්‍යානුකූලව විවාහ කර නොදී පිරිමියෙකු සමඟ ජීවත් වීමට යනවාට කැමති දෙමවුපියන් කොපමණ සිටිනවාද වැනි කරුණක් ගැන සිතන්න. මොන තරම් ප්‍රශ්න තිබුණත්, තවමත් රටේ නීති පද්ධතිය විසින් සිදු කරන කාර්යය ඉතා විශාලයි. තියෙන අඩුපාඩු මඟ හරවා ගැනීමයි සිදුවිය යුත්තේ. නීතිය පිළිබඳව ඇති අවිශ්වාසය (ඒ සඳහා සාධාරණ හේතු තිබුණත්) එයට බාධාවක්. මෙය මැතිවරණ වැනි දේටත් අදාළයි. කලින් කලට කොයිතරම් මැතිවරණ දූෂණ සිදුවුවත් සමස්තයක් වශයෙන් මැතිවරණ ක්‍රමය ගැන විශ්වාසයක් තැබිය හැකියි.

    //නීතීය විමර්ශනය කිරීමට සිටින නිලධාරින් සම්බන්ධයෙන්ද තත්වය එසේමය.//
    මගේ අදහස පරිදි නීතීය විමර්ශනය කිරීමට සිටින නිලධාරින් සම්බන්ධ අවිශ්වාසය අධිකරණ පද්ධතිය පිලිබඳව ඇති අවිශ්වාසයට වඩා වැඩියි සහ පැරණියි. සාපේක්ෂව හොඳ තැන සාපේක්ෂව නරක තැන දක්වා තල්ලු කිරීම නොව එහි අනිත් පැත්තයි සිදුවිය යුත්තේ.

    ReplyDelete
    Replies
    1. //කුමාර් ගුණරත්නම් නඩුවේදි ඇප ලබාදීම හෝ ඒ පිලිබදව අධිකරණමය කටයුතු සිදුකිරීම හිතාමතාම පමා කරමින් සිටියි.// එය එසේ විය හැකිය. මෙය පමා කිරීමට සාධාරණ හේතු ඇත්දැයි මා දන්නේ නැත. ඒ නැතත්, නීතිය සාධාරණව ක්‍රියාත්මක වීම පමණක් ප්‍රමාණවත් නැත. එය සාධාරණව ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබීමද අවශ්‍යය.

      //නීතී විරෝධී ලෙස රටින් බැහැරවු වෙනත් රටවල පුරවැසිභාවය ගත් පිරිස් නැවත ලංකාවට පැමිණි පසු ඔවුන් දේශපාලනයට සම්බන්ධ නොවේනම් ඔවුන්ට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැත.//
      මෙහි ඇති වරද ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවීමයි. වෙනත් අය වැරදි කිරීම නිසා මා වරදක් කිරීම සාධාරණ වන්නේ නැත. යම්කිසි හේතුවක් නිසා නීතියක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකිනම් එවැනි නීතියක් සංශෝධනය විය යුතුය. එහෙත්, එය සිදුවන තුරු එය ක්‍රියාත්මක විය යුතුය.

      //සමාජයක් වෙනස් කිරීමේදි පවතින නීතීය කඩ කීරීමට සිදුවනවාය එය අනිවාර්යයක්ය.//
      එය කිසිසේත්ම එසේ නොවේයැයි මා කියන්නේ නැත. එවැනි අවස්ථාවකට සමාජයක් එළඹිය හැකිය. එහෙත්, එසේ කිරීමට අවශ්‍ය තරමට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී/ නීතිමය රාමුව දුර්වල වී ඇතැයි මා සිතන්නේ නැත. මේ රාමුවේ අඩුපාඩු ඇත්නම් ඒ අඩුපාඩු සකස්කර ගැනීමට ඉඩප්‍රස්තාවන් තවමත් ඕනෑ තරම් තිබේ. එක් අයෙකු රාමුවෙන් බැහැර වූ විට තවත් අය එයම අනුගමනය කිරීමෙන් එය සිදු නොවේ. එයින් වන්නේ මේ රාමුව තවත් දුර්වල වීම පමණි. (ඇතැම් අය මේ බව දැනගෙන චේතනාන්විතවම මෙය කරනවා විය හැකිය.)

      Delete
    2. //මෙය ප්‍රසිද්ධියේ සිදු නොවුනද දුරකතන මාර්ගයෙන් මෙයටත් වඩාවන බලපෑම් අධිකරණයට ඇත.// මා ඔබ සමඟ එකඟය. ඇත්තටම මෙවැනි දේ ගැන මට සැලකිය යුතු අවබෝධයක් තිබේ. මේ තත්ත්වය සාපේක්ෂව මෑතකාලීනව සිදුවූ වර්ධනයකි. දශක ගණනකට පෙර රටේ නිලධාරීතන්ත්‍රය දේශපාලන අධිකාරිය සාපේක්ෂව ඉතා ප්‍රබල තැනක සිටියේය. දිසාපති වරයෙකුට පළාතේ මන්ත්‍රීට 'ගෙටවුට්' කීමට හැකි කාලයක සිට මෙය ටිකින් ටික දුර්වල වී (මෙහිදී මා පළමු ක්‍රමය වෙනුවෙන් කොන්දේසි විරහිතව, මුළුමනින් පෙනී සිටිනවා නොවේ) ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකුටත් ඔලුව නමන්නට වන තැන දක්වා වෙනස් වෙද්දී අධිකරණයට සාපේක්ෂව ස්වාධීනත්වය රැකගෙන සිටීමට හැකි විය. මේ තත්ත්වය මෑත කාලයේදී සීඝ්‍රයෙන් වෙනස් වීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට තිබුණේය. එය හොඳ ප්‍රවණතාවක් නොවේ. මොන අඩුපාඩු යටතේ වුවත්, තවමත් සාමාන්‍ය පුරවැසියෙකුට රාජ්‍ය (දේශපාලන) යාන්ත්‍රණයට එරෙහිව ඇති ප්‍රධානම විකල්ප බලය රටේ අධිකරණ පද්ධතියයි. ඒ ශක්තිය නැති වූ විට සිදුවන්නේ පුරවැසියා තවත් අන්ත අසරණ තත්ත්වයකට පත්වීමයි. (මේ තත්ත්වය අපේක්ෂා කරන කණ්ඩායම්ද සිටිති.)

      Delete
    3. අවසන් කොටස මා කැමතිම කොටසයි. මා මේ බ්ලොග් එක ඇරඹුවේම මෙවැනි ප්‍රශ්න සාකච්ඡා කිරීමටය. එක් අතෙකින් මෙවැනි සරල දේවල් මුලින් විස්තර නොකිරීම ගැන මට මා ගැනම කණගාටුවක් තිබේ. අනෙක් අතට, වෙනත් කරුණු ගැන නොලිවුවානම්, ඇතැම් විට මේ ප්‍රශ්නය අසන්නට ඔබ මෙහි එන්නේද නැත.

      //එක් මිනිසකු සකස් කරන භාණ්ඩයක් එම පුද්ගලයාගෙන් රු 100කට ගෙන එම භාණ්ඩය රු 25 වියදම්කර ප්‍රවාහනය කර තවත් පුද්ගලයකුට රු 250කට විකුණයි. විකිණිම කරන පුද්ගලයාට රු 50ක් ගෙවා රු 100 යෙදවු ආයෝජකයා රු 175ක් නැවත තමන් අතට ලබා ගනියි (ලාභය රු 75) මෙම ක්‍රියාව මගින් වරදක් සිදුවන බවක් නීතීය පිලිගන්නේ නැත.//

      ඔබේ විස්තරය ඉතා පැහැදිලි, හොඳ විස්තරයකි. ඒ නිසා විශ්ලේෂණය කිරීම පහසුය. 'වරදක්' යන වචනය ගත්තොත් මෙය සාපේක්ෂ සංකල්පයකි. ඔබ වරදක් සේ දකින දෙයක් මා එසේ නොදකින්නට පුළුවන. එවිට පුද්ගල සම්බන්ධතා සුමට ලෙස සිදුනොවේ. මෙය අප දෙදෙනාටම ප්‍රශ්නයකි. වරද කුමක්ද යන කරුණ ගැන අප දෙදෙනා එකඟතාවයකට පැමිණීම මෙයට විසඳුමකි. උදාහරණයක් ලෙස පන්සල් ගෙනයාමට අවසරයකින් තොරව ඔබේ වත්තේ මල් කැඩීම මා වරදක් ලෙස නොදකිද්දී ඔබ එසේ දැකිය හැකිය. නීතිය යනු සමාජයක් මෙසේ එකඟ වන කරුණු සමූහයකි. යම් කරුණක් සම්බන්ධව බොහෝ දෙනෙකුට සම්මුතියකට පැමිණීම අපහසුය. ඒ නිසා, එක් පුද්ගලයෙකු වරදක් ලෙස දකින දෙයක් අදාළ සමාජයේ නීතිය අනුව වරදක් නොවිය හැකිය.

      එහෙත්, ඒ සමාජයේ බොහෝ දෙනෙකු වරදක් ලෙස සිතන දෙයක් එහි නීතිය අනුවද වරදක් බවට පත්වේ. ඉහත උදාහරණයේ ඇති කරුණ නීතිමය වරදක් නොවූවත් සදාචාරාත්මක වරදක් ලෙස ඔබ සලකනවා විය හැකිය. ආගමික හෝ සදාචාරාත්මක වැරදි හැමවිටම නීතිමය වැරදි සමඟ සමපාත නොවේ. දැන් ඉහත කරුණට ආපසු ආවොත්, මෙවැන්නක් වරදක්යයි ඔබ සිතනවානම් ඔබ එවැනි ලාභයක් ලැබෙන කටයුත්තක නොයෙදීමට ඉඩ තිබේ. එවැන්නක් කළද, වරදකාරී හැඟීමකින් එය කරනු ඇත. ඒ නිසා, එය සැබවින්ම ඔබට අනුව වරදකි. එහෙත්, එසේ නොසිතන අයට එය වරදක් නොවේ. මෙය නීතිමය වරදක් වී නැත්තේ එය සදාචාරාත්මක වරදක් බව බොහෝ දෙනෙකු නොසිතන නිසාය. එසේ නොවන්නේ ඇයිද යන කරුණ මට ආර්ථික විද්‍යා මූලධර්ම ඇසුරෙන් පැහැදිලි කළ හැකිය.

      Delete
    4. //එක් මිනිසකු සකස් කරන භාණ්ඩයක් එම පුද්ගලයාගෙන් රු 100කට ගෙන එම භාණ්ඩය රු 25 වියදම්කර ප්‍රවාහනය කර තවත් පුද්ගලයකුට රු 250කට විකුණයි. විකිණිම කරන පුද්ගලයාට රු 50ක් ගෙවා රු 100 යෙදවු ආයෝජකයා රු 175ක් නැවත තමන් අතට ලබා ගනියි (ලාභය රු 75) මෙම ක්‍රියාව මගින් වරදක් සිදුවන බවක් නීතීය පිලිගන්නේ නැත.//

      මම මේ විදිහට නම් ටිකක් යොදාගන්නම්.
      සෝමලතා- භාණ්ඩය සකස්කර රු 100ට විකුණයි.
      රාමන්- රුපියල් 25කට භාණ්ඩය ප්‍රවාහනය කරයි.
      පැට්‍රීෂියා- රුපියල් 250කට භාණ්ඩය මිල දී ගනී.
      නවුෆර්- රුපියල් 50ක කුලියකට ඉහත ගනුදෙනුව සඳහා මැදිහත් වේ.
      රත්නායක- පැත්තක සිට රුපියල් 100ක් යොදවා රුපියල් 75ක ලාභයක් ලබයි.
      භාණ්ඩය- කෙසෙල්කැනක් යැයි සිතමු.

      තවමත් මෙහි ඇත්තේ ඔබ සඳහන් කළ කරුණු පමණි. මේ කතාවේ රත්නායක ආයෝජකයාගේ සහ ව්‍යවසායකයාගේ කාර්යයන් දෙකම කරයි.

      දැන් අපි මේ ගනුදෙනුවෙන් එක් එක් පුද්ගලයාට ලැබෙන ලාභය බලමු.
      සෝමලතා- කෙසෙල්කැන රු 100ට විකුණන්නේ එසේ කිරීමෙන් ඇයට ලාභයක් ලැබෙන නිසාය. ලාභයක් නැත්නම් ඇයට මෙය ප්‍රතික්ෂේප කළ හැකිය. ඇගේ නිෂ්පාදන වියදම සහ ශ්‍රමයේ වටිනාකම රුපියල් 75ක් නම් ඇයට රුපියල් 25ක ලාභයක් තිබේ.
      රාමන්- රුපියල් 25කට කෙසෙල්කැන ප්‍රවාහනය කර දෙන්නේ ඒ ගණනට ප්‍රවාහනය කර දීමෙන් ඔහුට ලාභයක් ලැබෙන නිසාය. රාමන් මෙය කර තියාගෙන යයි. ඔහු එදින එය නොකළොත් ඔහුට වෙනත් වැඩක් නොලැබේ. ඒ නිසා රාමන්ට ලැබෙන වාසිය රුපියල් 25කි.
      පැට්‍රීෂියා- රුපියල් 250කට භාණ්ඩය මිල දී ගනී. ඇයට ගෙදර උත්සවයකට කෙසෙල්කැනක් අවශ්‍යය. මේ කෙසෙල්කැන ඇයට නොලැබුනානම් ඇයට වෙනත් අයෙකුගෙන් කෙසෙල්කැනක් මිලදී ගැනීමට රුපියල් 275ක් වැයවේ. ඒ නිසා ඇගේ ලාභය රුපියල් 25කි.
      නවුෆර්- රුපියල් 50ක කුලියකට ඉහත ගනුදෙනුව සඳහා මැදිහත් වේ. රත්නායක මේ සඳහා ඔහුට කතා කරන විට නවුෆර් රුපියල් 25ක කුලියකට වෙනත් වැඩක් භාර ගැනීමට සූදානම් වුණා පමණි. මේ වැඩෙන් ඔහුට වැඩිපුර රුපියල් 25ක් ලැබේ.
      රත්නායක- සෝමලතාට රුපියල් 100ක් අතින් ගෙවයි. රාමන්ට සහ නවුෆර්ට ගෙවන්නේ පැට්‍රීෂියාගෙන් ලබාගත් මුදලිනි. යොදවා රුපියල් 75ක ලාභයක් ලබයි. එය ලබා ගැනීම සඳහා රත්නායක කළේ කුමක්ද?

      -රත්නායක අවදානමක් ගත්තේය. ප්‍රවාහනය කරන විට පැට්‍රීෂියා රුපියල් 275කට වෙනත් අයෙකුගෙන් කෙසෙල්කැනක් මිල දී ගෙන තිබුණානම් සිදුවන්නේ කුමක්ද?
      වෙනත් කෙනෙකුට කෙසෙල්කැන විකුණන්නට වෙන්නේ රුපියල් 200කටය. මේ අවදානම 50%ක් විය. එසේ වුණානම් ඔහුගේ ලාභය රුපියල් 25ක් පමණි. ඒ කියන්නේ ඔහුගේ අපේක්ෂිත ලාභය වූයේ රුපියල් 50කි. (25 සහ 75 සාමාන්‍ය අගය). දැන් ඔහුගේ රුපියල් 75න් 25ක් ඒ අනුව ලැබුණේ ඔහුගේ 'වෙලාව හොඳ' නිසාය. (සම්භාවිතාව අනුවය) මෙය රුපියල් 25ක පාඩුවක් විය හැකිව තිබුණි.
      -මේ රුපියල් 100 පොලියට දුන්නානම් ඔහුට රුපියල් 25ක් ලබාගන්නට තිබුණේය. (වෙනත් අයුරකින් කියනවානම්, මේ රුපියල් 100 ඔහුගේම මුදල් නොවී, ඔහු ගත්තේ සැබෑ ආයෝජකයා වන හේමලතාගෙන් පොලියටනම් ඔහු හේමලතාට රුපියල් 25ක් ගෙවිය යුතුය.)
      -ඉතිරි රුපියල් 25 ඔහුට ලැබෙන්නේ ඔහු ව්‍යවසායකයෙකු වශයෙන් කළ ඉතාම වැදගත් කාර්යය නිසාය. ඔහුට ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගත හැකි විය. ඒ නිසා, සෝමලතා, රාමන්, පැට්‍රීෂියා, නවුෆර්, හේමලතා යන පස් දෙනාටම රුපියල් 25 බැගින් වාසි විය. ඔහුට රුපියල් 50ක වාසියක්ද සිදුවිය.

      ව්‍යවසායකයා කියන්නේ ඉතාම වැදගත් පුද්ගලයෙකි. රැකියා ජනනය කරන්නේ ව්‍යවසායකයාය. ඔහු කිසිම සදාචාරාත්මක වරදක් නොකරයි. ඒ බව බොහෝ දෙනෙකු නිවැරදිව තේරුම් ගන්නා නිසා ව්‍යවසායකත්වය මඟින් මුදල් ඉපැයීම කිසිදු රටක (මා දන්නා පරිදි) නීතිමය වරදක් නොවේ. රටක් දියුණු වන්නේ මෙවැනි ව්‍යවසායකන් වැඩි වූ තරමටය.

      මේ කොටසේ ඔබට අපැහැදිලි හෝ අවුල් සහගත යමක් ඇත්නම් කරුණාකර අහන්න. මට මෙය තවදුරටත් පැහැදිලි කළ හැකිය.

      Delete
    5. ආයෝජකයින් සිදුකරන කාර්යය වරදක් ලෙස මම දකින්නෙ නැතිය. මට තිබෙන ගැටලුවනම් ආයෝජකයින් අසිමිතව ලබන ලාභය එනම් තම අවදනම වෙනුවෙන් ලැබෙන කොටසට වැඩිපුර දෙයක් ලබන බවයි. අනෙක් අතට ආයොජකයින් තමන්ගේ ලාභයේ කොටසක් නිශ්පදනය දියුනුකිරීම සදහාද යොදවයි. සමහර අවස්තවලදි එය නව නිශ්පදනයක් වැලැක්විම සදහා යෙදවිමටද කටයුතුකරයි. මෙම ද්ත්ව කාර්යයම සිදුකිරිම සදහා ඔවුනට බාධාවක් නොමැතිය. එමෙන්ම තම ඒකධිකාරිය ආර්ක්ශාකර ගනිමින් අනවශයය ලාභයන් ලැබිමද සිදුකරයි.

      දෙවන කරුනනම් ආයොජකයා නිශ්පදකයාගෙන් (ශ්‍රමය යොදවන්නගෙ ශ්‍රමය ) අඩු මුදලකට ලබාගන්නේ ඔහුට ඇති අවශයතාවයන් සීමකිරිම මගින්ය
      සමස්තයක්ලෙස ආයොජනයන් (නිශ්පාදනයන්) ඉහල නැන්විම මගින් ශ්‍රමිකයගේත් ආයොජකයාගේත් ආදයම් මට්ටම ඉහලයයි. එය සමස්තයක් ලෙස සැලකිමේදි සමාන අනුපතයන්ගෙන් සිදුනොවේ |(සෑම ආයොජකයෙක්ම ලාභ ලබන්නෙ නැත|, එමෙන්ම ආයොජන්යන් සිදුවන්නෙ ලාභ ලැබිමට වැඩි සම්බවිතාවක් තිබෙනා නිසාය )

      Delete
    6. මගේ පළමු කොටසේදි මම කීමට උත්සහ කරන ලද්දේ කුමර්ට එරෙහිව නිතිය ක්‍රියත්මක වන්නෙ ඔහු වරදක් කල බැවින් පමනක් නොව ඔහු දෙශපාලනය කරන නිසද බවයි.( ඔහු නීතිය කඩකර නැතැයි මම කියන්නේ නැත )

      සමජයක් පාලනය වීම සදහා සියලුදෙනාම පිලිගන්නා පොදු සම්මුතියක් තිබිය යුතුබව මම පිලිගනිමි. එහෙත් පවතින පොදු සම්මුතින් සියල්ලම සාධරනයැයි මම සිතන්නේ නැතිය

      සාමන්ය පුද්ගලයකුට තමන්ගේ ඉඩමෙ අයිතිය නිරවුල් කරගෙනීම සදහා ඉතා විශාල කාලයක් බලාසිටිමට සිදුවේ. මනුශ ගාතනයකට එරේහිව නිතිය ක්‍රියත්මක වන්නෙ වසර 10ක්ට 20කට පසුවය. මෙම නීතිය පිලිබදව ජනතව ප්‍රස්න නොකිරීම ගැටලුවක්ය.

      ඇපදිම ප්‍රමාද කිරිම, නඩු දිගින් දිගටම කල් ඩෙමිම, විමර්ශන්යන් පමවිම, නඩු වීස්දීමට අවශය ප්‍රමානයට නිලධරින් පත්නොකිරිම පිලිබලව ජනතාව ප්‍රස්න කල යුතුව ඇත. තනි තනිව තමන්ගේ ගැටලුව විදදරා ගැනීම වෙනුවට ජනතව තම්ගේ නඩු පමාවීම පිලිබඩව සාමුහිකව ප්‍රස්න කල යුතුය |( හාමුඩුරුවන්ගෙ ක්‍රියාව මම අනුමත නොකරන්නෙ එහි අවසන් අරමුන ගැටලුසහගත බැවින් පමනී

      ප්‍රදීප් මංගල

      Delete
    7. ප්‍රදීප්, නැවතත් ඔබ සංයමයෙන් යුතුව සහ පැහැදිලිව ඔබ සිතන දේ ඉදිරිපත් කිරීම මම අගය කරනවා. මෙය අවශ්‍ය වුනොත් මම මෙහි හෝ මගේ අනිත් බ්ලොගයේ ඉදිරියට ගෙනයන්නම්. විශේෂයෙන්ම ආර්ථිකය හා අදාළ කොටස.

      //මගේ පළමු කොටසේදි මම කීමට උත්සහ කරන ලද්දේ කුමර්ට එරෙහිව නිතිය ක්‍රියත්මක වන්නෙ ඔහු වරදක් කල බැවින් පමනක් නොව ඔහු දෙශපාලනය කරන නිසද බවයි. ( ඔහු නීතිය කඩකර නැතැයි මම කියන්නේ නැත )// එය එසේ විය හැකි බව ඔහු ගැන විශේෂ කැමැත්තක් හෝ ද්වේශයක් නැති තුන්වන පාර්ශ්වයක් වන මටද හැඟෙන දෙයයි. යම් වරදක් කරන සියල්ලන්ටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නැත. උදාහරණයක් ලෙස වේග සීමා ඉක්මවන සියල්ලන්ම සෑම විටම ඇල්ලීම ප්‍රායෝගික දෙයක් නොවේ. සුලභ වැරදි වලට දඬුවම් දීමේදී වඩා කාර්යක්ෂම ක්‍රමය අහඹු ලෙස වරදකරුවන් අල්ලා ගැනීමයි. (වැඩි පැහැදිලි කිරීමක් අවශ්‍යනම් කළ හැකිය.). ඒ නිසා සියල්ලන්ටම දඬුවම් නොදීම පිළිබඳව මට ප්‍රශ්නයක් නැත. එහෙත්, මෙහිදී ඔබ කරන චෝදනාව (මා එයට එකඟය) එවැන්නක් නොවේ. තෝරාගත් පිරිසකට එරෙහිව දඬුවම් දීම සහ වෙනත් අය බේරා හැරීම අහඹු ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා වෙනස් දෙයකි. එයින් නීතියේ අපේක්ෂාවන් ඉටුවන්නේ නැත. මෝටර් රථයේ වර්ගය අනුව හෝ එහි සිටින පුද්ගලයින් අනුව තෝරාබේරා නීතිය ක්‍රියාත්මක කිරීම නිවැරදි නැත. එය වෙනස් විය යුතු දෙයකි. එය වෙනස් කරගැනීම සඳහා කටයුතු කිරීමද නිවැරදිය. ඇතැම් අය වේග සීමා උල්ලංඝනය කරන බව මට පෙනේනම්, ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවේනම් එයට විරෝධය පාමින් මාද වේග සීමා උල්ලංඝනය කිරීම සහ එසේ නොකරන අයටත් වේග සීමා උල්ලංඝනය කිරීමට පෙළඹවීම මේ තත්ත්වය නිවැරදි කර ගැනීමට විසඳුමක්යැයි මා සිතන්නේ නැත. එවැනි ප්‍රවේශයක් අවසන් වන්නේ අවුල් ජාලයකිනි. එවැනි විටෙක වේග සීමා උල්ලංඝනය කිරීම හා අදාළව මට චෝදනා කෙරේනම්, මා ඒ වරද කළ බව පැහැදිලිනම් මා වෙනත් සාමාන්‍ය පුද්ගලයෙකු පරිදිම ඒ චෝදනාවට මුහුණ දිය යුතුය. මා නීතියේ සාධාරණත්වය අපේක්ෂා කරන්නේනම් ඒ සඳහා මට ඇති සැබෑ කැමැත්ත මට ආදර්ශයෙන් පෙන්විය හැක්කේත්, සමාජය නිවැරදි දිශාවට මෙහෙයවීමට උත්තේජනයක් සැපයිය හැක්කේත් එසේ කිරීමෙනි. (තනි පුද්ගලයින්ට වෙනස් විය හැකිනම් සමාජය අමුතුවෙන් වෙනස් කරන්නට අවශ්‍යතාවයක් ඇති නොවේ.)

      Delete
    8. //එහෙත් පවතින පොදු සම්මුතින් සියල්ලම සාධරනයැයි මම සිතන්නේ නැතිය//
      කිසියම් නිශ්චිත මොහොතක පවතින කිසියම් පොදු සම්මුතියක් සාධාරණ නැති බව ඔබට හෝ මට පෙනෙන්නට පුළුවන. එහෙත්, සමාජයේ බහුතරයක් එය නිවැරදියයි සිතනවානම් මට එවැනි සම්මුතියකට අනුගත වීමට සිදුවේ. බොහෝදෙනෙකු නොපිළිගත්තත් මා සාධාරණයයි සිතන සම්මුතියක් වෙනුවෙන් හඬක් නැඟීමේ අයිතිය සහ වෙනත් අය දැනුවත් කිරීමේ අයිතිය මට තිබිය යුතුය. එහෙත් මා විශ්වාස කරන දෙය සමාජයේ පොදු සම්මුතිය බවට වෙනස් වන තුරු මා ඒ සම්මත සමඟ අනුගත විය යුතුය. (එසේ නැත්නම් දඬුවමක් විඳීමේ අවදානම ගත යුතුය)

      Delete
    9. //ඇපදිම ප්‍රමාද කිරිම, නඩු දිගින් දිගටම කල් ඩෙමිම, විමර්ශන්යන් පමවිම, නඩු වීස්දීමට අවශය ප්‍රමානයට නිලධරින් පත්නොකිරිම පිලිබලව ජනතාව ප්‍රස්න කල යුතුව ඇත.//
      පළමුව මේ ප්‍රශ්න වල මුල් හඳුනාගත යුතුය. ඒ මුල් කොටස් දෙකකට බෙදිය හැකිය.
      1. සම්පත් පිලිබඳ ප්‍රශ්න
      2. කාර්යක්ෂමතාවය පිලිබඳ ප්‍රශ්න

      සම්පත් අසීමිතව නැත. සම්පත් වැඩිකිරීමේදී එහි බර අවසාන වශයෙන් දරන්නට වෙන්නේ ජනතාවටමය. උදාහරණයක් ලෙස හන්දියක් හන්දියක් ගානේ පොලිස් නිලධාරියෙක් දමා (ඔවුන් කාර්යක්ෂමව සහ සාධාරණව කටයුතු කරනවායැයි සිතමු) හෝ රටෙන් බාගයක් සිරගෙවල් වල දමා නීතිය හා සාමය රැකීම ඉතා වියදම් අධික කටයුත්තකි. මෙසේ කිරීමෙන් ජනතාවට ලැබෙන වාසිය එහි වියදමට වඩා වැඩිය. ඒ නිසා, එක්තරා අවස්ථාවක අසාධාරණත්වය ඉවසා ගැනීම සාධාරණත්වය වෙනුවෙන් ගෙවිය යුතු මිලට වඩා වාසිදායක විය හැකිය. තනි පුද්ගලයින් වශයෙන් වැඩි දෙනෙකු සමාජයේ පොදු සම්මුතීන් සමඟ අනුගත වන විට ඒ පොදු සම්මුතීන් රැකීම සඳහා වැය වන වියදම විශාල ලෙස අඩුවේ. පොදු සම්මුතීන් සමඟ එකඟ නොවෙන ප්‍රතිශතය වැඩි වන තරමට සාධාරණත්වය වෙනුවෙන් පුද්ගලයෙකු ගෙවිය යුතු මිල වැඩිවේ. සමාජය ශිෂ්ඨ සම්පන්න වන තරමට (මෙය සාපේක්ෂ දෙයකි) නීතිය, සාමය, සාධාරණත්වය ආදී සියල්ල වඩා ලාභදායක/ මිල අඩු වේ.

      කාර්යක්ෂමතාවය පිලිබඳ ප්‍රශ්නය එවැන්නක් නොවේ. මෙහිදී වැදගත් වන්නේ තිබෙන සම්පත් වලින් මෙයට වඩා වැඩිදෙයක් කළ නොහැකිද යන ප්‍රශ්නයයි. අධිකරණ හා නීතිය හා සාමය රැකීමට අදාළව අකාර්යක්ෂමතාවයන් ඇත්නම් එහි ප්‍රභවය මේ ක්ෂේත්‍ර වල සේවය කරන තනි පුද්ගලයින්ගේ අකාර්යක්ෂමතාවයන්ය. තනි පුද්ගලයින් කාර්යක්ෂම වුවහොත් නිකම්ම සමස්ථ පද්ධතියද කාර්යක්ෂම වේ. යමෙකුට ක්‍රමවේද (procedures) ගැන මතක් කළ හැකිය. ක්‍රමවේද හදන්නේත් පුද්ගලයින්ය. අවසන් වශයෙන් ඇත්තේ තනි පුද්ගලයින්ගේ හැසිරීම්/තීරණ/කාර්යක්ෂමතාව පිලිබඳ ගැටළුවකි.

      Delete
    10. //තනි තනිව තමන්ගේ ගැටලුව විදදරා ගැනීම වෙනුවට ජනතව තම්ගේ නඩු පමාවීම පිලිබඩව සාමුහිකව ප්‍රස්න කල යුතුය//
      මෙයට මා එකඟය. එහෙත් මෙසේ ප්‍රශ්න කරන ක්‍රම ඵලදායී විය යුතුය. ප්‍රශ්න සමඟම විසඳුම් යෝජනාද ඉදිරිපත් විය යුතුය. ඒවා පුළුල්ව සාකච්ඡා විය යුතුය. විසඳුම් ලබා දීම වෙනත් අයෙකුගෙන් බලාපොරොත්තු වීම එතරම් ඵලදායී දෙයක් නොවේ. (කැමතිනම් මගේ ඊළඟ පෝස්ට් එකේ ඇති මහජන පෙත්සම් මඟින් නීති වෙනස්කිරීම පිලිබඳ ඔබේ අදහස කියන්න.)

      Delete
    11. //හාමුඩුරුවන්ගෙ ක්‍රියාව මම අනුමත නොකරන්නෙ එහි අවසන් අරමුන ගැටලුසහගත බැවින් පමනී// මෙයින් ඔබ අදහස් කරන්නේ අවසන් අරමුණ ඔබේ අරමුණු සමඟ ගැලපේනම් මේ ක්‍රියාමාර්ගය නිවැරදියයි ඔබ සිතන බව විය යුතුය. (ඇතැම් විට ඔබේ 'යහපත්' අරමුණ වෙනුවෙන් හාමුදුරුවන්ව පූර්වාදර්ශයකට ගැනීම හොඳ දෙයක්යැයි ඔබ සිතනවා විය හැකිය.) ඔබ මෙන්ම හාමුදුරුවන්ගේ අවසන් අරමුණ නිවැරදියයි සිතන අයද සිටිති (මා ඒ ගොඩේ නැති වීම වෙනම කරුණකි.) මෙසේ තමතමන් නිවැරදියයි සිතන අවසන් අරමුණු වෙනුවෙන් විවිධ කණ්ඩායම් මේ අයුරින් ක්‍රියා කරන්නට පටන් ගත්තොත් ඇති වන අවුල් ජාලය ගැන මා වැඩිපුර විස්තර කළ යුතු නැත. එවැන්නක් ගෝත්‍රික සමාජයකට වඩා වෙනස් නොවනු ඇත.

      Delete
    12. ආර්ථිකය හා අදාළ කොටස ගැන පසුව ප්‍රතිචාර දමන්නම්.

      Delete
    13. යමෙකුට ඔහුගේ ජීවිතය තර්ජනයකට ලක්වී ඇතිබව දැනේන්නේනම් ඔහුට ජීවිතය ආරක්ශා කරගැනීම සදහා සමහර නීති කැඩිමට සිදුවේ (කුමාර් සහ අනෙක් සමහර දෙශපාලන ක්‍රියදරයන්ට සහ මාධය වෙදින්ට තම ජීවිත ආරක්ශව සදහ නීති වීරොධිලෙස රටින් බැහැර වීමට සිදුවිය. තවත් සමහරුන් වෙලදපොල අවශයතාවයන් සදහා එලෙස රටින් බැහැර වෙති ) එලෙස ඇති තම පුද්ගල ආරක්ශාවෙ අයිතිය අනුව පොලිසිය විසින් අපරාධ චුදිතයින් මරාදමන ලදි. සමාජයක් ලෙස බහුතරය විසින් එය අනුමත කරන ලදි හෝ අදාල අවස්තවෙදී නිශ්ශබ්ධව සිටින ලදි.

      සුලබ වරදවල් සම්බන්දයෙන් සියල්ලන්ටම නීතිය ක්‍රියත්මක කල නොහැකිබව මමද පිලිගනිමි. (කුමර් විසින් කරනලද වරද ලන්කාවේදි සුලබ වරදක් වීමට ඉඩ ඇත ) එමෙන්ම පවතින නීතිය සාධාරණ නැතැයි සහ එය වෙනස්විය යුතුයැයි සිතා කටයුතු කිරීමෙදි යම් යම් නීති කඩා දමන්නෙනම් පවතින නීතිය අනුව දඩුවම් විදිමටද මිනිසුන් සුදනම් විය යුතුබවද මම පිලිගනිමි. එහෙත් මට අවශය නීතියේ අසාධාරණත්වය පෙන්විමටනම් එලෙස ලැබෙන දඩුවම සහ නීතිය ක්‍රියත්මකවීමෙ අඩුපාඩුද මම විසින් පෙන්විය යුතුය. තමන්වෙත ලැබේන යුක්තිය පිලිගෙන නිහඩව සිටිම මගින් නීතියේ ඇති දොශයන් නිවරදි වන්නෙ නැත.

      ඔබ විසින් ඉදිරිපත්කරන තර්කයන් නීතිය අපක්ශපාතිව සහ සාධාරනව යෙදෙන්නෙනම් ක්‍රියත්මක කලහැකිය. එවිට මිනිසුන් ස්වයක්තයෙන්ම ඒ අනුව කටයුතු කරනු ඇතැයි මමද සිතමි. එලෙස නොවන සෑම අවස්තාවකදීම අරයට නීතිය ක්‍රියත්මක කරන්නේ නැතුව මට ක්‍රියත්මක කරන්නේ ඇයි යන්න විමසිය හැකිය. (වයවස්තාදායකය සහ විධායකය නීතිය ක්‍රියත්මක කිරීමට බලපැම් ඇතිකරන අවස්තවලදි සහ අධිකරන නිලධරින් පක්ශක්ග්‍රහී වන අවස්තවලදි )

      එමෙන්ම දැනට අඩුපාඩු සහිතව හෝ ක්‍රියත්මකවන නීතිය මගින් සමජයතුල තුලිතතාවය පවත්වාගෙන යනබව මමද විශ්වාස කරමි. එබැවින් සමාජයේ බහුතරයක් තුල නීතිය, පොලිසිය පිලිබදව අවිශ්වාශයක් අප්‍රසාදයක් තිබුනද තමන්ට එම ආයතනයෙන් සහනයක් ලැබේයැයි මිනිසුන් අපෙක්ශා කරයි.

      ප්‍රදීප් මංගල

      Delete
    14. අධිකරනයකදි සමානයය පුද්ගලයකුට තමට ඇප ලබ නොදෙන්නේ ඇයි යනුවෙන් ප්‍රශ්න කිරීමට නොහැකිය. තමන්ගේ නඩුව ප්‍රමාධවන්නෙ ඇයිද යනුවෙන් විමසිමටද නොහැකිය. හාමුදුරුවන්ගෙ ක්‍රියාව මම ඒතැනින් අනුමත කරමි. ඒ අරමුනින් කලාවුවද යම් දඩුවමක් ලබාදීම සම්බන්දයෙන් මම විරුද්ධ නැත. අධිකරනමය කටයුතු ප්‍රමාදවීම පිලිබදව විශාල පිරිසක් එලෙස කතාකරන්නෙනම් (දඩුවම් ලැබිමට යටත්ව ) ඒ පිලිබදව වගකිවයුතු පාර්ශවයන් විසදුම් සොයනු ඇත. ( පොදු ජනතව , නීතිය පිලිබන්දව අවබෝධයක් ඇති පිරිස සහ නීති රීති සකස් කරන්නන්)

      අධිකරණ කටයුතු ප්‍රමාධවීමට එක් කරුනක්නම් අනවශය කරුනුද අදිකරනයටම ගෙන ඒමය (උදා - රථවාහන වැරදි සම්බන්ද නඩු අධිකරනයට ගෙන ඒම.......)

      ඇප ලබාදීම බෝහෝ අවස්තාවලදි ප්‍රමාද කරණුයෙ වීමර්ශනයන් වලට බාධාවක් වනවාටත්වඩා වරද සම්බන්දයෙන් නීතිය ක්‍රියත්මක කිරීමට විශාල කාලයක් ගතවන නිසා වරද කරුට දඩුවමක් ලබාදීමටය.( ආයුධ පෙන්වීමට ගොස් මරාදමන ලද්දෙද ඒ හේතුවෙන්මය ) මෙය යුක්තිසහගත තත්වයක් නොවෙය. ආයුධ පෙන්වීමට ගොස් මරාදැමීම සම්බන්දවවූ වීරෝදය ආකාරයටම මෙයටද විරුද්ධවිය යුතුය.

      Delete
    15. සමාජය තුලින් පොදු සම්මුතින් ලෙස පනවාගනු ලැබු නීති පද්දතින් ආරක්ශා කිරිම සම්බන්දයෙන් මමද පෙනී සිටිමි. (උදා - ඇඹිලිපිටිය සිද්දියෙදී පොලිසියේ පමනක් නොව ගැටුමට අදාල අනෙක් පාර්ශවයේද වරදක් ඇතිබව මම විශ්වාස කරමි, ගැටුම ඇතිවීමේ පළමු වරද කරුවන් ඔවුන්ය, අදාල සිද්දිය පිලිබදව කතාකිරිමේදි බෝහෝදෙනා එම පාර්ශවය පිලිබදව කතාකලේ නැත ).

      ඔබගෙ පැහැදිලිකිරීම් සම්බන්දව බෝහෝ දුරට එකගවිය හැකිවුවද, ඔබගේ කරුණු දැක්වීම තුල ඇති තනි තනි පුද්ගලයින් කාර්යක්ශමවීම, නිවරදිවීම, නීතිගරුකවීම තුලින් සමජය කාර්යක්ශම, නීතිගරුක වඩා යහපත් වීම දැනට පවතින සමාජය තුලදි ප්‍රයොගිකව සිදුනොවන බව සිතමි.
      ප්‍රදීප් මංගල

      Delete
    16. ප්‍රදීප්, ඔබ හිතන ආකාරය මට තේරුම් ගන්න පුළුවන්.

      ඔබ මෙසේ හිතීමට එක හේතුවක් වන්නේ ඔබ නීතිය කියා පොලිසිය, අධිකරණය වැනි තැන් වල කටයුතු කරන පිරිස වෙන් කරගෙන ඔබ ඇතුළු ඉතිරි පිරිස (දේශපාලන බලය ඇති පිරිස් හැර) නීතියට යටත් වෙනම කොටසක් ලෙස දැකීමයි. එය එහෙම නොවෙයි. නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින් කියන්නෙත් නීතියට යටත් විය යුතු තවත් කණ්ඩායමක් පමණයි. ඒ වගේම නීතිය රැකීම ඔබෙත් මගෙත් වගකීමක්. මා මෙහිදී නීතිය රැකීම කියන්නේ අප විසින් පුද්ගලයින් වශයෙන් වැරදි නොකර සිටීම පමණක් නෙමෙයි. රටේ නීතිය ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීමත් එයට අයිතියි.

      දැන් ඔබ කියයි මෙය තමයි බිම් යථාර්තය කියා. එහි ඇත්තක් තිබෙනවා තමයි. කොහොම වුණත් නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයෙකු නීතියට අනුව කටයුතු නොකරනවානම් එයට විරුද්ධ වීම ඇත්තටම නීතිය රැකීමක්. එය නීතියට එරෙහි වීමක් නෙමෙයි.

      නීතිය කැඩීමට සිදුවන අවස්ථා තියෙනවා. උදාහරණයක් ලෙස හදිසි අනතුරකට ලක්වුණු කෙනෙකුව රෝහලකට ගෙන යාමේදී වේග සීමා උල්ලංඝනය කිරීමක් සලකමු. මෙවැනි අවස්ථාවක නීතිය තියෙන්නේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කියන එක තේරුම් ගත් නිලධාරියෙක් ඔබට දඩ කොළයක් නොදෙනු ඇති වුණත් සමහර විට කෙනෙක් දෙන්නත් පුළුවන්. මෙහිදී ඔබ සදාචාරාත්මකව වරදක් කර නැතත් නීතිමය වරදක් කර තිබෙනවා. මෙවැනි අවස්ථා වල සමාජයේ සාකච්ඡාවක් ඇති වී නීතිය වඩාත් සුනම්‍ය වීමයි සිදුවිය යුත්තේ. ඒ කියන්නේ, මෙවැනි අවස්ථාවක වේග සීමා උල්ලංඝනය වරදක් නොවන බව (ඇතැම් විට වෙනත් කොන්දේසි යටතේ) නීතියට එකතු වීම.

      //එහෙත් මට අවශය නීතියේ අසාධාරණත්වය පෙන්විමටනම් එලෙස ලැබෙන දඩුවම සහ නීතිය ක්‍රියත්මකවීමෙ අඩුපාඩුද මම විසින් පෙන්විය යුතුය.// මේ දෙක දෙකක්. නීතිය ක්‍රියාත්මකවීමෙ අඩුපාඩු ඔබ විසින් සෑම විටම පෙන්විය යුතුයි. මෙය නීතියේ අසාධාරණත්වය පෙන්වීමක් නෙමෙයි. පවතින නීතිය ඇතුළේම මෙය කිරීමට විශාල අවකාශයක් තියෙනවා. නීතිය යම් පුද්ගලයෙකු විසින් (උදාහරණයක් ලෙස පොලිස් නිලධාරියෙකු) අවභාවිතයේ යොදවන පළමු අවස්ථාවේම විරුද්ධ නොවීම නිසා තමයි ඒවා සම්මත බවට පත්වී විරුද්ධ වීමට අපහසු තත්ත්වයකට වර්ධනය වන්නේ.

      //තමන්වෙත ලැබේන යුක්තිය පිලිගෙන නිහඩව සිටිම මගින් නීතියේ ඇති දොශයන් නිවරදි වන්නෙ නැත.// රටක අධිකරණ පද්ධතියක ධුරාවලියක් තියෙන්නේ මේ නිසා. පහළ උසාවියක තීන්දුවෙන් ඔබ සෑහීමට පත් නොවන්නේනම් ඔබට ඊළඟ මට්ටමට යා හැකියි.

      Delete
    17. //එලෙස ඇති තම පුද්ගල ආරක්ශාවෙ අයිතිය අනුව පොලිසිය විසින් අපරාධ චුදිතයින් මරාදමන ලදි. සමාජයක් ලෙස බහුතරය විසින් එය අනුමත කරන ලදි හෝ අදාල අවස්තවෙදී නිශ්ශබ්ධව සිටින ලදි.// මෙතැනදී ඇත්තටම වෙන්නේ පොලිසිය විසින් නීතිය කැඩීම සහ සමාජය වරදකරු (පොලිසිය) වෙනුවෙන් පෙනී සිටීම. මෙවැන්නකට එරෙහි වීම නීතිය වෙනුවෙන් පෙනී සිටීමක්. හැබැයි සමාජයම ඉල්ලා සිටින්නේ මෙවැන්නක්නම් මෙතැන තියෙන්නේ නීතියේ ප්‍රශ්නයක් නෙමෙයි. සමාජය නීතියට අනුගත නොවීමේ ප්‍රශ්නය.

      //අරයට නීතිය ක්‍රියත්මක කරන්නේ නැතුව මට ක්‍රියත්මක කරන්නේ ඇයි යන්න විමසිය හැකිය.//මෙය විමසීමේ වරදක් නැහැ. එහෙත් එයින් ඔබ කළ වරද නිශේධනය වෙන්නේ නැහැ. ඒ නිසා මෙවැන්නක් නීති පද්ධතිය තුළ විමසීම ප්‍රායෝගිකව ලොකු ප්‍රයෝජනයක් නැති දෙයක්. එසේ සිදු වීම වැළැක්වෙන පරිදි (හුදෙකලා සිද්ධීන්ට අදාළව නොවෙයි, පොදුවේ) කතිකාවක් ඇති කිරීමයි මම හිතන්නේ හොඳම දෙය.

      //අධිකරනයකදි සමානයය පුද්ගලයකුට තමට ඇප ලබ නොදෙන්නේ ඇයි යනුවෙන් ප්‍රශ්න කිරීමට නොහැකිය. තමන්ගේ නඩුව ප්‍රමාධවන්නෙ ඇයිද යනුවෙන් විමසිමටද නොහැකිය.// මේකනම් තරමක් සංකීර්ණ ප්‍රශ්නයක් තමයි. මෙතනදී ඔබට සෘජුව කළ හැකි දෙයක් නැහැ. මෙය සමස්තයක් වශයෙන් රාජ්‍ය සේවයේ ඇති විනිවිදභාවයක් නොමැති කමේ (පළමු කරුණට අදාළව) සහ අකාර්යක්ෂමතාවයේ (දෙවන කරුණට අදාළව) පිළිබිඹුවක්. ඔබ ගැඹුරින් සිතුවොත් ඔබට පෙනෙයි රජයේ කාර්යාල කොයි එකෙත් තත්ත්වය මෙය බව. වෙන වැඩක් කරගන්න ගියත් වෙන්නේ ඔය ටිකම තමයි.

      අධිකරණ කටයුතු ප්‍රමාද වීමට හේතුනම් (ඔබ ඉදිරිපත් කර ඇති ඒවා ඇතුළු) ගොඩක් තියෙනවා. මේ ඇතැම් ඒවා වෙනස් කරගත හැකි දේවල්. මම දැනට ඒවා ගැන කතා කරන්නේ නැහැ.

      //ඇප ලබාදීම බෝහෝ අවස්තාවලදි ප්‍රමාද කරණුයෙ වීමර්ශනයන් වලට බාධාවක් වනවාටත්වඩා වරද සම්බන්දයෙන් නීතිය ක්‍රියත්මක කිරීමට විශාල කාලයක් ගතවන නිසා වරද කරුට දඩුවමක් ලබාදීමටය// මෙය වැරදියි. මෙවැනි අදහස් සමාජගත වීමට උදවු දීමත් නොකළ යුතුයි. මෙවැනි දෙයට එරෙහිව කතා කිරීම නීතිමය රාමුව තුලම කළ හැකියි.

      //ගැටුම ඇතිවීමේ පළමු වරද කරුවන් ඔවුන්ය// එය එසේ වුවත් පොලිස් නිලධාරීන්ට මේ අයුරින් ක්‍රියා කිරීමේ හැකියාවක් නැත.

      //ඔබගේ කරුණු දැක්වීම තුල ඇති තනි තනි පුද්ගලයින් කාර්යක්ශමවීම, නිවරදිවීම, නීතිගරුකවීම තුලින් සමජය කාර්යක්ශම, නීතිගරුක වඩා යහපත් වීම දැනට පවතින සමාජය තුලදි ප්‍රයොගිකව සිදුනොවන බව සිතමි.// තනි පුද්ගලයින් වෙනස් නොවන තාක් කල් සමාජය වෙනස් නොවේ. එහෙත්, එසේ කීමෙන්, එක් එක් පුද්ගලයා තනි තනිව වෙනස් වන තුරු පැත්තකට වී සිටින්නට මම ඔබට යෝජනා නොකරමි. පුද්ගලයින් කණ්ඩායම් ලෙස පොදු අරමුණු වෙනුවෙන් සංවිධානය වීම සහ එක් අයෙකු විසින් වෙනත් අයව දැනුවත් කිරීම යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයි.

      ඔබ හිතන ආකාරය තවත් බොහෝ දෙනෙකු හිතන ආකාරයට වෙනස් නැත. මෙසේ සිතීමට එක් හේතුවක් වන්නේ පවතින (ඇතැම් විට යල් පැනගිය) නීතිය තුළ වුවත් තවමත් සාමාන්‍ය පුරවැසියෙකුට ඇති රැකවරණය ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නොවීමයි. නීති වෙනස් කර ගැනීමද අවශ්‍යය. එහෙත්, ඔබ ප්‍රශ්න ලෙස දකින දේවල් වලින් ඉතා විශාල ප්‍රමාණයක් පවතින නීති රාමුව යටතේම කර ගත හැකි දේවල්ය.

      Delete
    18. ඔබ සමස්ථ කරුණු දැක්වීම තුලම දක්වා ඇති කරුණ වන (මා හට තේරුම් ගිය පරිදි) “ සමාජය විසින් පොදු සම්මුතියක් ලෙස සකස්කරගෙන ඇති නීතී උල්ලංගනය කරන අවස්ථාවන් වලදී ඕනෑම අයෙකුට එරෙහිව සමාන ලෙස නීතීය ක්‍රියාත්මක කල යුතුයි සහ එලෙස පොදු සම්මුතින් උල්ලංගනය කරන අවස්ථාවලදී සමාජයෙන් එවා කඩ කරන්නන්හට එරෙහිව පිඩනයක් ඇතිකල යුතු බවයි. තවද අවශ්‍යතාවයන් අනුව බහුතරයකගේ කැමැත්තෙන් නීතී සංශෝධනය කරගත යුතු බවයි“ යන්නය.

      පළමු කරුණනම් ඔබ නීතීය යනු සමාජය විසින් සකස්කරගෙන තිබෙන පොදු සම්මුතියක් ලෙස සිතනවාය. මම සිතන්නේ නීතීය සමාජ විසින් සකස්කර ගතයුතු පොදු සම්මුතියක් ලෙසය. එනම් දැනට තිබෙන නීතී පද්දතිය පොදු ජනතාව විසින් තමන්ගේ අවශ්‍යතාවය අනුව සකස්කර නොගන්නා ලද වෙනත් අය විසින් සකස්කර බලහත්කාරීව පිලිපැදිය යුතුයැයි පනවා තිබෙන සම්මුතියක් ලෙසය.

      එලෙසවු පමණින් එහි සියල්ල බැහැර කල යුතුයැයි මම සිතන්නේ නැතිය. එමෙන්ම දැනට පවතින නීතීය තුල සාමාන්‍ය පුද්ගලයකුට ලොකු රුකවරණයක් ලැබී ඇති බවද මම පිලිගනිමි.

      දැනට පවතින පොදු සම්මුතියේද ඇතිවී තිබෙන ගැටලු වැඩි ප්‍රමාණයක් එහි පවතින ක්‍රියාත්මකවීමේ දෝෂයන් නිසා ඇතිවන ඒවාය. සැබවින්ම එම ක්‍රියාත්මකවීමේ දෝෂයන් රහිතව ලියා ඇති ආකාරයටම කටයුතු වන්නේනම් ඉතාමත් අගනේය. එහෙත් ගැටලුව වන්නේ එලෙස සිදු නොවීමය. එලෙස සිදු නොවන්නේ ඇයි යන්න පිලිබදව විමසීමේදි එය පුද්ගල දෝෂයන් ලෙස පමණක් සැලකීමට නොහැකිය. එමෙන්ම නීතීයතුල ක්‍රියාත්මකවීමේ දෝෂයන්ට අමතරව දැනට පවතින සමාජ තත්වයන් මගින්ද අසාධාරණ තත්වයන් ආරක්ෂා කරනවාය.





      Delete
    19. මම කියන දේ ඔබ සාරාංශගත කර ඇති අයුරු නිවැරදියි.

      //පළමු කරුණනම් ඔබ නීතීය යනු සමාජය විසින් සකස්කරගෙන තිබෙන පොදු සම්මුතියක් ලෙස සිතනවාය. මම සිතන්නේ නීතීය සමාජ විසින් සකස්කර ගතයුතු පොදු සම්මුතියක් ලෙසය. එනම් දැනට තිබෙන නීතී පද්දතිය පොදු ජනතාව විසින් තමන්ගේ අවශ්‍යතාවය අනුව සකස්කර නොගන්නා ලද වෙනත් අය විසින් සකස්කර බලහත්කාරීව පිලිපැදිය යුතුයැයි පනවා තිබෙන සම්මුතියක් ලෙසය.//

      ඔබ හිතන ආකාරය මට තේරුම් ගත හැකියි. මෙය ඔවු හෝ නැහැ ලෙස සරල පිළිතුරක් දිය හැකි කරුණකට වඩා තරමක් සංකීර්ණයි. නීති හදන/හැදෙන ආකාරය සමඟ මම මෙය පසුව පැහැදිලි කරන්නම්. සමහර විට වෙනම පෝස්ට් එකකින්.

      ඔබ අවසානයට ලියා ඇති ඉතිරි කරුණු ගැන මගේ සැලකිය යුතු විසම්මුතියක් නැහැ. ආර්ථික විද්‍යාවට අදාළ කරුණු මම අනිත් පිටුවේ ලියන්නම්, ඔබත් එහි පැමිණ ඇති නිසා. මම වෙලාව හොයා ගන්නේ අමාරුවෙන්. පිළිතුරු ප්‍රමාද වුණත් හැකි වුනු වහාම එය කරනවා.

      Delete
    20. Pradeep, Econ obala goda naguwe ethaamath rasawath watinaa kathikaawak,

      Delete
  12. //ව්‍යවසායකයා කියන්නේ ඉතාම වැදගත් පුද්ගලයෙකි. රැකියා ජනනය කරන්නේ ව්‍යවසායකයාය. ඔහු කිසිම සදාචාරාත්මක වරදක් නොකරයි. ඒ බව බොහෝ දෙනෙකු නිවැරදිව තේරුම් ගන්නා නිසා ව්‍යවසායකත්වය මඟින් මුදල් ඉපැයීම කිසිදු රටක (මා දන්නා පරිදි) නීතිමය වරදක් නොවේ. රටක් දියුණු වන්නේ මෙවැනි ව්‍යවසායකන් වැඩි වූ තරමටය. //

    Well said Bro!

    ReplyDelete
  13. ...//මේ කණ්ඩායම් දෙකටම, විශාල පිරිස් බලයක් නැතත්, සමාජයට දැනෙන තරමේ බලපෑමක් කිරීමේ ශක්තියක් තිබේ/...

    අන්න ඒ නිසාමයි මොවුන් සම්බන්ධ සිදුවීම් දින ගනනාවක් පුරාවටම කතා බහට ලක් වන මාතෘකා බවට පත් වෙන්නෙත්.

    ReplyDelete
  14. ඉකෝන්,

    අපූරු ලිපියක් ඒ වගේම අගනා සංවාදයක්....:)

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget