Saturday, January 9, 2016

මහ බැංකුවට කළ හැකි දේ සහ නොකළ හැකි දේ




පසුගිය සටහනකට ප්‍රතිචාරයක් ලෙස වරාමලී විසින් අපැහැදිලි තැනක් ඉස්මතු කර තිබුණේය. මෙය එයට ප්‍රතිචාරයකි.

"රටේ නිෂ්පාදන ධාරිතාවට වඩා වැඩිපුර ඉල්ලුමක් තිබේනම් කළ යුත්තේ මුදල් සැපයුම සීමා කර ඉල්ලුම අඩු කිරීමයි."

"මේ ප්‍රකාශය ටිකක් පැටලිලි සහිතයි. නිෂ්පාදිත ධාරිතාවට වඩා ඉල්ලුම වැඩි නම් ඇයි ඉල්ලුම අඩු කරන්න මුදල් සීමා කරන්නෙ? කල යුත්තේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිර්‍රිම නොවේද? එයින් කෙසේද ආර්ථික කඩා වැටීමක් සිදුවන්නෙ?"

***
මහ බැංකුව ගැන බොහෝ දෙනෙක් අසා තිබේ. ඒ අසා ඇති ආකාරයට මහ බැංකුව මහා බලගතු ආයතනයකි. වෙනත් පුද්ගලයින් හෝ ආයතන වලට මෙන් මහ බැංකුවට සල්ලි හොයන්නට මැරීගෙන දඟලන්නට අවශ්‍ය නැත. ඒ මහ බැංකුවට අවශ්‍ය ප්‍රමාණයක් මුදල් නෝට්ටු මුද්‍රණය කරගත හැකි නිසාය. වෙනත් අයටත් ඔය වැඩේ කරන්නට බැරි නැත. එහෙම කරන අයත් සිටී. හැබැයි එහෙම කර අහුවුණොත් සෑහෙන කාලයකට සල්ලි වෙනුවට ගණන් කරන්න වෙන්නේ යකඩ කූරුය.

කොයිතරම් බලගතු ආයතනයක් වුණත් මහ බැංකුවට කළ හැකි දේවල් මෙන්ම නොකළ හැකි දේවල්ද තිබේ.

"නිෂ්පාදිත ධාරිතාවට වඩා ඉල්ලුම වැඩි නම් ඇයි ඉල්ලුම අඩු කරන්න මුදල් සීමා කරන්නෙ? කල යුත්තේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිර්‍රිම නොවේද?"

කතාව ඇත්තය. කළ හැකිනම් හොඳම දෙය නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමයි. ප්‍රශ්නය වන්නේ එය කියන තරම් ලේසි නැති වීමයි.

ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනක් තිබේ. ඒ කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා අංශයි. අළුත්ම වර්ගීකරණය අනුවනම් අංශ වැඩි ගණනක් තිබුණත් අපේ සාකච්ඡාව ගෙනයන්නට මෙය ප්‍රමාණවත්ය.

දැන් අපි කොහේ හෝ තියෙන අර සුරංගගේ ගම වගේ සුන්දර ගමකට යමු. මේ ගමේ ජෝකපාලට පොඩි කුඹුරු කෑල්ලක් තිබේ. අක්කර කාලක්වත් නැත. කුඹුර අස්වැද්දුවා කියා තෙල්, පෝර වල ගාණවත් ආවරණය නොවන නිසා කලක සිට කුඹුර පුරන් වී තිබේ. ජෝකපාලගේ දුව හන්දියේ බියුටි සැලූන් එකක වැඩ කරයි. ජෝකපාලාලගේ වයසේ අය කොණ්ඩ රැවුල් කපන්නට එහි නොගියත් තරුණ වයසේ අය වැඩිපුර යන්නේ එතැනටය. ජෝකපාලගේ මස්සිනා මාතුපාල හන්දියේ වී මෝලේ අර්ධ කාලීන රැකියාවක් කරයි. ඔහුට වී මෝලෙන් කැඳවීමක් ලැබෙන්නේ වැඩ වැඩි වෙලාවට පමණි.

දැන් මෙහි කුඹුරු කෑල්ල දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික අංශයේ කොටසකි. වී මෝල නියෝජනය කරන්නේ කර්මාන්ත අංශයයි. බියුටි සැලූන් එක සේවා අංශයේ කොටසකි. වී මෝලටත්, බියුටි සැලූන් එකටත් වැඩ තියෙන්නේ පාරිභෝගිකයින් එන ප්‍රමාණයටය.  පාරිභෝගිකයින්ගෙන් ප්‍රමාණවත් ඉල්ලුමක් නැත්නම් මේ තැන් වල නිෂ්පාදනය සීමා වේ.

හදිසියේම ආණ්ඩුව මාරු වේ. අළුත් ආණ්ඩුව ඡන්දයට පෙර පොරොන්දු වූ පරිදි අඩු ආදායම් ලාභීන්ට මුදලින් සහනාධාරයක් දෙන්නට පටන් ගනී. එහෙත්, රජයට මේ සඳහා මුදල් නැති නිසා භාණ්ඩාගාර බිල්පත් විකුණයි. මහ බැංකුව මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනී. මෙය ප්‍රසාරණාත්මක (ලිහිල්) මුදල් ප්‍රතිපත්තියකි.

පෙර කී ගමේ සිටින වැඩිදෙනෙක් අඩුආදායම්ලාභීන්ය. වේලක් නොකා වේලක් කමින් සිටි මේ අයගේ අතේ දැන් මුදල් ගැවසේ. බියුටි සැලූන් එකට ඉල්ලුම වැඩිවේ. එහි සෙනඟ නැති වෙලාවක් නැත. හාල් වලටත් ඉල්ලුම වැඩිවේ. අතේ සල්ලි ඇති නිසා කවුරුත් කිසි ලෝබකමක් නැතිව සල්ලි වියදම් කරති. හාල් මිල වැඩි වේ. බියුටි සැලූන් එකේ සේවා ගාස්තුත් වැඩි වේ.

අඩුආදායම්ලාභියෙක් නොවූ ජෝකපාලගේ ආදායම වැඩි වී නැත. එහෙත් හාල් මිල වැඩි වී ඇති නිසා ඔහුගේ වියදම වැඩි වී තිබේ. දැන් හාල් වල ගානේ හැටියට කුඹුර කරන එක ලාබය. ඔහු කුඹුර අස්වද්දයි. තවත් අය මෙසේ කරති. රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි වේ. වී කොටාගන්නට මෝලට එන පිරිස වැඩිවේ. ඒ නිසා කර්මාන්ත අංශයේ නිෂ්පාදනයද වැඩිවේ. වැඩිපුර පිරිස් බියුටි සැලූන් එකට එන නිසා සේවා අංශයද දියුණු වේ. රටේ දල දේශීය නිෂ්පාදනය වැඩිවේ.

කෙසේවුවද, මෙහිදී නිෂ්පාදන ධාරිතාවේ වෙනසක් වුනේ නැත. නිෂ්පාදන ධාරිතාව නොවෙනස්ව තිබියදී කලින් පාවිචියට නොගැනුණු ධාරිතාව ප්‍රයෝජනයට ගැනුණු බැවින් නිෂ්පාදනය වැඩිවිය. මෙසේ මුදල් සැපයුම වැඩිකිරීම මඟින් කොයිතරම් දුරකට නිෂ්පාදනය ඉහළ දැමිය හැකිද? අළුතින් කුඹුරු අස්වැද්දිය හැක්කේ කුඹුරු ඉඩම් ඇති ප්‍රමාණයටය. එයද වැඩි කලක් කළ නොහැක. තෙල්, පෝර වලට ඉල්ලුම වැඩි වන විට ඒවායේ මිලද ඉහළ යයි. එවිට කුඹුර කිරීම නැවතත් පාඩු ලබන වැඩක් බවට පත්වේ. කුඹුරු නැවත පුරන් වේ. වී මෝලේ ඉල්ලුමද නැවත අඩුවේ. ජෝකපාලගේ දියණිය ඉල්ලුම වැඩිවූ මුල් කාලයේ උදේ සිට රෑ  වන තුරු වැඩකර පාරිභෝගික ඉල්ලුම සැපිරුවත් කලක් යන විට ඇයට මෙසේ එකදිගට මහන්සි වන එක එපාවේ. සැලූන් එකේ සේවාවන් සඳහා අයකරන මිල වැඩි වන විට ඉල්ලුම නැවත අඩුවේ. අන්තිමේදී නිෂ්පාදනය මුලින් තිබුණු තැනටම වැටේ. භාණ්ඩ හා සේවා වල මිල වැඩිවී ආදායම් වැඩිවූ ප්‍රමාණයටම වියදම්ද වැඩිවීම පමණක් සිදුවේ.

සාමාන්‍යයෙන් මුදල් ප්‍රතිපත්ති වලින් මෙන්ම රාජ්‍යමූල ප්‍රතිපත්ති වලින්ද වෙන්නේ මෙවැනි දෙයකි. රටේ මුදල් ගැවසීම වැඩි කර භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම වැඩි කළ විට මුලදී නිෂ්පාදකයින් දිරිමත් වී සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන මට්ටමට වඩා වැඩි නිෂ්පාදනයක් කරයි. එහෙත්, මෙසේ තමන්ගේ සාමාන්‍ය ධාරිතාවට වඩා වැඩියෙන් කෙනෙකුට (හෝ යන්ත්‍රයකට) තාවකාලිකව වැඩ කළ හැකි වුවත් එය දිගින් දිගටම කළ නොහැක. එක්තරා සීමාවකට පැමිණි විට නිෂ්පාදනය තවදුරටත් වැඩි නොවේ. සාමාන්‍ය ධාරිතාවට වැඩියෙන් දිගටම වැඩකිරීම නිසා ජෝකපාලගේ දුව අසනීප වීමටත්, වී මෝලේ යාන්ත්‍රික දෝෂ ඇති වෙන්නටත් පුළුවන. එවිට නිෂ්පාදනය සාමාන්‍ය මට්ටමටත් වඩා අඩුවී ආර්ථිකය කඩා වැටෙන්නටත් පුළුවන. මේ නිසා දිගින් දිගටම මුදල් සැපයුම තවතවත් වැඩිවුණොත් ඉල්ලුමට ගැලපෙන සැපයුමක් නැති නිසා මිල ඉහළ යාමක් පමණක් සිදුවේ.

දිගුකාලීනව ආර්ථිකය වර්ධනය වන්නේ නිෂ්පාදන ධාරිතාව වැඩිවීමත් සමඟය. එහෙත්, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම මහ බැංකුවට හෝ රජයට සෘජුවම කළ හැකි දෙයක් නොවේ. එය සිදුවන්නේ තාක්ෂණ දියුණුව සමඟය. වැඩි අස්වැන්නක් ලබාදෙන වී වර්ග බිහි කරගත් විට ජෝකපාලගේ කුඹුරු කෑල්ලෙන් වුවත් වියදම් ආවරණය වන වැඩි අස්වැන්නක් ගන්නට පුළුවන. වඩා කාර්යක්ෂම වී මෝලක් ගත් විට කෙටි කලකින් වැඩි වී ප්‍රමාණයක් සහල් කළ හැකිය. අළුත් උපකරණ භාවිතයෙන් ජෝකපාලගේ දුවටත් කෙටි කාලයකින් වැඩි පාරිභෝගික පිරිසකට සේවා සැපයිය හැකිය.

තාක්ෂනය අළුත් කරගැනීමට පර්යේෂණ සිදු කළ යුතුය. මෙය කල් ගතවන, වියදම් අධික, අවදානම් සහිත කටයුත්තකි. ඇමරිකාව වැනි රටක ආර්ථිකයක් ඉදිරියට යන්නේ හැම වසරකම පර්යේෂණ කර, තාක්ෂණය අලුත් කර ගැනීමෙන් ඵලදායිතාව ඉහළ නංවා ගන්නා නිසාය. මෙය අසීරු කාර්යයක් නිසා දියුණු ආර්ථිකයක නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරගත හැක්කේ වසරකට 2% පමණ ප්‍රමාණයකින් පමණි.

කෙසේවුවද, තාක්ෂනය අතින් ඇමරිකාවට වඩා බොහෝ පසුපසින් සිටින චීනය, ඉන්දියාව හෝ ලංකාව වැනි රටකට පර්යේෂණ සඳහා මුදල් වැය නොකර වෙනත් රටක් විසින් දැනටම සොයාගෙන ඇති තාක්ෂණයන් වෙත මාරුවීමේ හැකියාව ඇති නිසා ඉහළ ආදායම් මට්ටමට ළඟා වනතුරු 8-10% මට්ටමේ ආර්ථික වර්ධනයක් වුවද පවත්වා ගැනීම බැරිදෙයක් නොවේ. සාමාන්‍යයෙන් දියුණු රටවල ඇති තාක්ෂනය නොදියුණු රටවල් කරා පැමිණෙන්නේ බහුජාතික සමාගම් සහ වෙනත් සෘජු විදෙස් ආයෝජන හරහාය. පළමුව එසේ පැමිණෙන තාක්ෂනය පසුව දේශීය ව්‍යවසාය වෙතද කාන්දු වේ.

රජයකට හෝ මහ බැංකුවට රටේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට සෘජුව මැදිහත් විය නොහැකි වුවත් විදෙස් ආයෝජන හා දේශීය පර්යේෂණ දිරිමත් කිරීම මඟින් ඒ සඳහා වක්‍ර ලෙස දායක විය හැකිය.

මුල් පලකිරීම: http://emgesathapaha.blogspot.com/2016/01/blog-post_5.htm

29 comments:

  1. ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් අපූරුයි.

    ReplyDelete
  2. ඉතා හොඳ ලිපියක්. උදාහරණය තුලින් පෙන්වූ න්‍යාය හොඳින් තේරුම් ගියා.

    ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් සතුව පැහැදිළි ආර්ථික න්‍යායක් නැතිවීම සහ හුදු පොරොන්දු දේශපාලනයටම සීමාවීම කණගාටුදායකයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන හැටියට ජේආර්ට පැහැදිලි ආර්ථික වැඩ පිළිවෙලක් තිබුණා. එය සර්ව සම්පූර්ණ නැති වුණත් බොහෝ දෙනෙකුට පසුව සිදුවුණේ ඔහුව අනුගමනය කිරීමට. ඇත්තටම කියනවනම්, සමඟි පෙරමුණු රජයටත් නිශ්චිත වැඩ පිළිවෙලක් තිබුණා. එය අසාර්ථක පරීක්ෂනයක් වීම වෙනම කරුණක්. රනිල්ගේ 'රී ගේනින්ග් ශ්‍රී ලංකා' වැඩ පිළිවෙලත් නිශ්චිත සැලැස්මක්. එහෙත්, එය ජනප්‍රිය වැඩ පිළිවෙලක් වුනේ නැහැ. දැන්නම් ඔහුගේ වැඩපිළිවෙල එයට වෙනස් බවයි පෙනෙන්නේ.

      Delete
  3. "පළමුව එසේ පැමිණෙන තාක්ෂනය පසුව දේශීය ව්‍යවසාය වෙතද කාන්දු වේ."
    80 ගනන් වල සිටම විදේශීය සමාගම් විසින් ලංකාවේ විශාල ප්‍රමාණයේ වේලි සහ ජලවිදුලි ව්‍යාපෘති ගනනාවක්ම නිමකලා.
    අවුරුදු 30කට පමන පසුවත් මැතකදී ඉදිවුන ව්‍යාපෘතියත් නිමකලේ විදේශීය සමාගමක් මගිනි.
    බලාපොරොත්තු වූ පරිදි තාක්ෂනය ගලා ඒමක් සිදු වී නෑ නේද

    ReplyDelete
    Replies
    1. හැකියාව ඇත.අවස්ථා නැත.ටෙන්ඩර් කොන්දේසි දමන්නේ දේශීය ආයතන වලට ලඟා විය නොහැකි තරම් තදටය.නමුත් දැන් නම් උප කොන්ත්‍රාත් කරුවන් ලෙසින් දේශීය ආයතන ක්‍රියාත්මක වෙයි.

      Delete
    2. මහවැලි ඉදිකිරීම් අවසන් වූ පසු අර්ධ පුහුණ කාර්මික ශිල්පීන් ගොඩක් මැද පෙරදිග රැකියා වලට ගියා, ගමේ ගොඩේ ආර්ථිකය වර්ධනයට ඔවුන්ගේ ඉපැයීම් යෙදවුනා, 90 ගණන් වල වී මෝල්, ගැරේජ් වගේ එවා හැදුනේ ඒ සල්ලි වලින්.

      Delete
    3. ලංකාවේ අය නේද අප්‍රිකන් රටවල මයික්‍රො හයිඩ්‍රෝ බලාගාර හදන්නේ.

      Delete
    4. ස්තුතියි, ගස් ලබ්බාට සහ ඇණයාට මා වෙනුවෙන් පිළිතුරු දුන්නාට. ඔබ දෙදෙනාගේම පැහැදිලි කිරීම් නිවැරදියි. තාක්ෂනය ගලා ආ ආකාරය එක් අංශයක් දෙස පමණක් බලා තීරණය කළ නොහැකියි. නිවැරදි නිර්ණායකයක් වන්නේ සාමාන්‍ය වශයෙන් එක් පුද්ගලයෙකුට නිශ්චිත මුදලක් ආයෝජනය කර නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ හෝ සේවා කාලයත් සමඟ වැඩිවී තිබේද යන්න. මෙතැනදී ශ්‍රමය හා ප්‍රාග්ධනය යන සාධක නොවෙනස්ව ඇති නිසා නිෂ්පාදනය වැඩි වීමට එකම හේතුව කාර්යක්ෂමතාව වැඩි වීම. ඒ කියන්නේ තාක්ෂණයේ දියුණුව. සමස්තයක් වශයෙන් ගත්විට මෙය සිදුවී තිබෙනවා. නමුත්, මෙය හැම අංශයකම එක මට්ටමටම සිදුවන්නේ නැහැ. ඉංජිනේරු ක්ෂේත්‍රය ගත්තොත් (මම නිරීක්ෂණය කරන විදිහට) සිවිල් හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර වල ප්‍රගතිය විශාලයි. වේලි සහ ජලවිදුලි ව්‍යාපෘති වැනි මහා පරිමාණ ව්‍යාපෘති ගත්තහම මෙවැනි කටයුතු වල එක දිගටම නිරතවෙන විදේශ සමාගම් දිගින් දිගටම තාක්ෂණය අළුත් කරගන්නා නිසා ඉඳහිට එවැනි ව්‍යාපෘතියක් කරන දේශීය සමාගමකට තවදුරටත් තාක්ෂණ පරතරයකට මුහුණ දෙන්න සිදුවෙනවා. (වෙනත් සාධක අතහැරියත්) මයික්‍රෝ හයිඩ්‍රෝ වැනි ක්ෂේත්‍ර වලින් ඉදිරියට යාම එයට වඩා පහසුයි. ඇණයා මතක් කර දී ඇති පරිදිම මගේ මිතුරන්ද කිහිප දෙනෙක්ම අප්‍රිකානු රටවල මයික්‍රෝ හයිඩ්‍රෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. කෙසේවුවත්, අපට උකහාගත හැක්කේ අප සතුව දැනට ඇති තාක්ෂනයකට වඩා ටිකක් දියුණු තාක්ෂනයන් පමණයි. පරතරය වැඩි වන තරමට මෙය වඩා අසීරුයි.

      Delete
  4. ස්තූතියි ඔබේ සුමට පැහැදිලි කිරීමට.

    අපේ වගේ රටවල පර්යේෂණ තුලින් සොයාගන්නා දේවල් අඩුයි වගේම එහෙම සොයාගන්න දෙයක් තිබුනත් ඒවා නිෂ්පාදකයින් අතරට යාම සිද්ධ වෙන්නෙ කලාතුරකින්. මගේ දැනීමේ හැටියට බොහෝ පර්යේෂණ ප්‍රතිඵල පර්යේෂණ පත්‍රිකා වලට සීමා වෙනවා මිස දියුණු රටවල වගේ අපේ රට තුල ඒවායේ සැබෑ භාවිතයක් නෑ

    ReplyDelete
    Replies
    1. පර්යේෂණ පත්‍රිකා ඇතත් ව්‍යවසායකයෝ නෑනේ.

      Delete
    2. නිවැරදි පිළිතුර ඇණයා විසින් දීල තියෙනවා. ඇත්තටම මේකයි ප්‍රධානම හේතුව. සමස්තයක් වශයෙන් ලංකාවේ ව්‍යවසායකත්වය අඩුවීම සහ ව්‍යවසායකත්වයට දිරි දෙන පරිසරයක් නැති වීම තමයි මූලික ප්‍රශ්න. අනෙත් කරුණ ලංකාවේ තවමත් බුද්ධිමය දේපල අයිතිය හරියටම සුරක්ෂිත නැතිකම. පර්යේෂණ වල ප්‍රතිඵල ඇත්තෙම නෑ කියන්න බැහැ. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වැඩි දියුණු කළ වී වර්ග වැනි දේවල් උදාහරණ. පරිගණක මෘදුකාංග වලිනුත් ශ්‍රී ලාංකික සමාගම් රැසක් ජාත්‍යන්තරයට ගොස් තිබෙනවා. මම හිතන විදිහට ඒඩ්ස් වලට බෙහෙත් හොයනවා වගේ දේවලට අතගහනවට වැඩිය ප්‍රායෝගිකව අපට ප්‍රතිඵලයක් ලබාගත හැකි මට්ටමේ දේවලට කාලය යෙදවීම වඩා ඵලදායකයි.

      Delete
    3. සකුවෝ, ඒකට හොඳම උදාහරණය මාපලානේ කෘෂි පිඨයේ කුඹුර.කම්බි වැටක් පැනලා මාපලානේ කුඹුරු වලට යන්න බැරි තාක්ෂණය රටට යන්නේ කොහොමද? අනෙක බොලා පර්යේෂණ පත්‍රිකා ලියන්නේ රජ්ජුරැවන්ගේ බාසාවෙන්. අඩුගානේ සිංහල පර්වර්තනයක් වත් ඒ එක්කම දෙනවා නම් උනන්දුවක් තියෙන එකේකවත් අරන් හැදෙය්.බලමුකෝ ආවහාම කොයිකරම් දුරට උඹලාම ක්යන බණ පිළිපදියි ද කියලා

      Delete
  5. චොක්ලට් කේක් කෑල්ලක් වගේ රසවත්ව ලියවිලා.. බෙහෙත් රහක් දැනුනෙම නෑ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. චොකලට් කේක්වලට ඇබ්බැහිය සහ දියවැඩියාව එන්නේ කලකට පස්සේ!

      Delete
    2. ඔය රසික කියල තියෙන්නේ චොකලට් කේක් ගැන! (ලංකාවේ සති දෙකතුනක් ඉඳලා ආපහු ඇවිත් ස්කේල් එකට නැග්ගහම ඔය වගේ දේවල් මතක් වෙනවා. සමහර විට රසිකට එහෙම නැතුව ඇති.)

      Delete

  6. ඉකොනොමැට්ටා,

    හරි අපුරු වියාපාර ක්‍රමයක් පිලිබදව පසුගිය කාලයේ මට දැනගන්න ලැබුන, ඊයේ ඒ පිළිබද ලිපියකුත් ලිව්වා
    http://lankasithuwili.blogspot.com/2016/01/mondragon.html

    ඔබට මේගැන වැඩි විස්තරයක් ලබාදිය හැකිනම් වටිනවා

    ReplyDelete
    Replies
    1. ලිපිය දැක්කා. මම මේ ගැන දන්නේ නැහැ, ලංකා. සේවකයින්ට අයිතිය ඇති සමාගම්නම් වෙනත් තැන් වලත් තියෙනවා.

      Delete
  7. පැහැදිලියි, සරලයි. ආයේ ජීරණය කර කර ඉන්න දෙයක් නෑ, ග්ලූකෝස් කෑවා වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඇණයා. ඔබේ පිළිතුරු වලටත් ස්තුතියි!

      Delete
  8. වැදගත් ලිපියක්.

    ReplyDelete
  9. කියන්න ඕනි ඔක්කොම වචන වගේ උඩින් කියලා.. අපුරු.. පැහැදිලි.. සුමට.. රසවත්..සරල.. තව වෙන මොනවද? ස්තුතියි!!

    ReplyDelete
  10. උඹ ඒවා හරි අගේට පැහැදිලි කරනවා.... .. ඒකයි විශේෂත්වය....

    ReplyDelete
  11. බොහොම වැදගත් විස්තරයක් මචෝ...

    ඔය කොම්, ඉකොන් , අර කොන් මේ කොන් කරලා නැති එකේ අපි වගේ එවුන්ටත් එක්ක තේරෙන බාසාවෙන් පැහැදිලි කිරීම බොහොම වටිනවා...

    ReplyDelete
  12. නිෂ්පාදන ධාරිතාවට වැඩි කිරීමේ අරමුණින් මුදල් සැපයුම ඕනවට වඩා වැඩි කරන්න රජයට බැහැ නේද?මේක බලන් ගියාම එක්තරා ආකාරයක චක්‍රයක්නේ."තාක්ෂණ හා පරේෂණ" රටකට ඉතා වැදගත් විෂයක්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget