Thursday, January 14, 2016

ඉරාන තෙල් සහ ඉරාන ඩොලර්

මේ ලිපිය පළවන මොහොත වන විට ඉරානය විසින් අරක් න්‍යෂ්ඨික ප්‍රතිකාරකය ගලවා ඉවත් කර අදාළ ස්ථානය කොන්ක්‍රීට් දමා වසා අවසන් විය යුතුය. මේ බව ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරිය විසින් තහවුරු කිරීමෙන් පසුව ඉරානයට එරෙහි ආර්ථික සම්බාධක ලිහිල් කිරීම සඳහා අවශ්‍ය අවසන් කටයුත්තද සිදුව ඇති බැවින් ඔවුන්ට නැවතත් ජාත්‍යන්තර බොරතෙල් වෙළඳපොළට ඇතුළු වීමටත්, ඩොලර් බිලියන 100ක් පමණ විය හැකි විදෙස් බැංකු වල ඇති ඔවුන්ගේ සංචිත ප්‍රයෝජනයට ගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇත.

සම්බාධක ඉවත් වුවද ඉරානයට ඇතුළු වීමට ලැබෙන්නේ වසර තුනහමාරකට පෙර ඔවුන්ව ඉවත් කරනු ලැබූ වෙළඳපොළටම නොවේ. ඒ වන විට ඩොලර් 100 ඉක්මවා ඉහළ ගොස් තිබුණු බොරතෙල් බැරලයක මිල මේ ලිපිය ලියන මොහොත වන විට (13 බදාදා) ඩොලර් 30 මට්ටමෙන්ද පහතට වැටී ඇත. මෙවැනි අඩු මිලක් අවසාන වරට පැවතියේ 2004 වසරේදීය.

කෙසේ වුවද, ඉරානය පවසන්නේ සම්බාධක ඉවත් කෙරුණු වහාම බොරතෙල් නිෂ්පාදනය වැඩි කරන බවයි. ප්‍රශ්නය ඇත්තේ මේ වැඩි වන නිෂ්පාදනයට සිදුවන්නේ කුමක්ද යන්නයි.

ඉරානය ජාත්‍යන්තර බොරතෙල් වෙළඳපොළෙන් ඉවත්ව සිටි කාලය තුල ලෝක තෙල් සැපයුම බොහෝ සේ වැඩි විය. මේ වන විට සමස්ත ලෝක තෙල් නිෂ්පාදනය සමස්ත ලෝක තෙල් ඉල්ලුමට වඩා වැඩිය. බොරතෙල් මිල එන්න එන්නම පහළ වැටෙන්නේ මේ නිසාය. මුලින් ඉරානය විසින් තෙල් සැපයූ වෙළඳපොළවල් මේ වන විට වෙනත් රටවල් විසින් අත්පත් කරගෙන හමාරය. මේ නිසා ඉරානය හමුවේ ඇති අභියෝගය සුළුපටු නොවේ. කෙසේ වුවද, තමන්ගේ පෙර පැවති වෙළඳපොළවල් නැවතත් අල්ලාගත හැකි බව ඉරානයේ විශ්වාසයයි.

ඉරානයට සම්බාධක පනවන විට ලංකාවේ බොරතෙල් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම වාගේ සැපයුනේ ඉරානයෙනි. එයට හේතුවක් තිබුණේය. එය තාක්ෂණික හේතුවකි. ලංකාවට ඇත්තේ එකම එක තෙල් පිරිපහදුවකි. සපුගස්කන්දේ ඇති, දිනකට බොරතෙල් බැරල් 50,000ක් පිරිපහදු කළ හැකි මේ තෙල් පිරිපහදුව සීරුමාරු කර ඇත්තේ ඉරාන තෙල් පිරිපහදු කිරීමටය.

බොරතෙල් කියා කතාවට කිවුවත් හැම බොරතෙලම සමාන නැත. ඒවායේ සංයුතියේ වෙනස්කම් තිබේ. පිරිපහදු සාදා ඇත්තේ යම් නිශ්චිත සංයුතියක් ඇති බොරතෙල් උපරිම කාර්යක්ෂමතාවයකින් පිරිපහදු කළ හැකි ආකාරයෙනි. එනම්, බොරතෙල් පිරිපහදු කිරීමෙන් ලබාගත හැකි පෙට්‍රල්, ඩීසල්, ගෑස් වැනි දේවල අනුපාතය වැඩිම ආර්ථික වටිනාකමක් ලැබෙන අනුපාතය වන ලෙසිනි. එක් බොරතෙල් වර්ගයක් පිරිපහදු කිරීමට සාදා ඇති පිරිපහදුවක් උපයෝගී කරගෙන වෙනත් බොරතෙල් වර්ගයක් පිරිපහදු කළ විට මේ අනුපාත විශාල ලෙස වෙනස් වේ. සමස්තයක් වශයෙන් සිදුවන්නේ ලබාගත හැකි අවසන් නිෂ්පාදන පරිමා විශාල ලෙස අඩුවීමයි.

මෑතකදී ඇමරිකාව විසින් කලක් පැවති බොරතෙල් අපනයන තහනම ඉවත් කිරීමටද මේ කරුණ හේතුවිය. ඇමරිකාවේ පිරිපහදු බොහොමයක් සවුදි ආරාබිය ප්‍රධාන මැදපෙරදිග බොරතෙල් පිරිපහදු කිරීමට සීරුමාරු කර ඇත. ඒ නිසා ඇමරිකාවේ නිපදවන ශල්ක තෙල් පිරිපහදු කිරීමට මේවා සුදුසු නැත. ඒ නිසා, ඇමරිකාවේ කොතරම් ශල්ක තෙල් නිපදවූවත් මැදපෙරදිගින් බොරතෙල් ආනයනය කිරීමට සිදුවේ. එමෙන්ම, ඇමරිකාවේ පිරිපහදු කළ නොහැකි අතිරික්ත බොරතෙල් අපනයනය කිරීම අඩු කාර්යක්ෂමතාවක් යටතේ පිරිපහදු කිරීමට වඩා වාසි සහගතය.

ලංකාව විසින් ඉරානයෙන්ම බොරතෙල් ආනයනය කිරීමට දෙවන හේතුවක්ද තිබුණේය. ඒ ආසියානු නිෂ්කාශන සංගමයේ ක්‍රියාකාරිත්වයයි. ආසියානු නිෂ්කාශන සංගමය යනු සමඟි පෙරමුණු රජය සමයේ ලංකාව ඇතුළු කලාපයේ බොහෝ රටවල් මුහුණ පෑ ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට විසඳුමක් ලෙස ඇති කරගත් යාන්ත්‍රණයකි. මුලින්ම, 1974දී මෙය අරඹන විට දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, පකිස්ථානය, ලංකාව, නේපාලය හා ඉරානය මෙහි සාමාජික රටවල් විය. පසුව, දකුණු ආසියානු කලාපයේ ඉතිරි රටවල් වූ බංග්ලා දේශය, මියන්මාරය, භූතානය සහ මාල දිවයිනද එක් විය.

මේ යාන්ත්‍රනය අනුව, ආසියානු නිෂ්කාශන සංගමයේ සාමාජික රටවල් ඔවුනොවුන් සමඟ ආනයන අපනයන කිරීමේදී වහාම මුදල් ගෙවිය යුතු නැත. ඒවා ගිණුම් වල සටහන් කර ගෙවීම් සහ ලැබීම් එකිනෙක අවලංගු කිරීමෙන් පසුව මාස දෙකකට වරක් ඉතිරිවන ශුද්ධ ශේෂය පමණක් ගෙවීම මේ යටතේ සිදුවේ. ලංකාව හා ඉරානය ගත් විට ලංකාව ඉරානයෙන් විශාල ලෙස තෙල් ගෙන්වූවද, තේ ටිකක් හැරුණු විට අප විසින් ඉරානයට මහ දෙයක් යැවුවේ නැත. මේ නිසා, ප්‍රායෝගිකව මේ යාන්ත්‍රනය නිසා අපට අප ගෙන්වන බොරතෙල් වලට මාස දෙකක් දක්වා කාලයක් යන තුරු මුදල් නොගෙවා සිටීමේ හැකියාව ලැබුණේය.

ඉරානයට සම්බාධක පැනවීමත් සමඟම අපට මේ වාසි දෙකම නැති විය. මුලින්ම මේ සුවිශේෂී තත්ත්වය සලකා අපට තවදුරටත් ඉරානයෙන් තෙල් ගෙන්වීමට ඉඩකඩක් සපයා තිබුණත් පසුව ඒ සහනයද ඉවත් කෙරිණි. ඇත්තටම ඊට පෙරම අපට ඉරානයෙන් තෙල් ප්‍රවාහනයට නැව් සමාගම් අකැමැති වීමේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදු විය. ඒ අනුව, පසුගිය කාලයේදී සවුදි අරාබිය, අබුඩාබි වැනි වෙනත් රටවලින් තෙල් ආනයනය කිරීමට ලංකාවට සිදුවී තිබුණේය. මේ තෙල් පිරිපහදු කිරීමෙන් ලබා ගත හැකි 'ඵලදාව' (yield) 20%කින් පමණ අඩු බව සඳහන් වී තිබුණි.

ඉරාන තෙල් නැවත ලැබීම ලංකාවට හොඳ ප්‍රවෘත්තියකි. අනෙක් අතට, තමන්ගේ පෙර පැවති වෙළඳපොළක් වෙත නැවත ප්‍රතිෂ්ඨ වීමට ලැබීම ඉරානයටද වාසියකි.

මේ අල්ලපනල්ලේ ලංකාව ඉරානය සමඟ තවත් ඩීල් එකක් දාගෙන තිබේ. ඒ අනුව, සපුගස්කන්ද තෙල් පිරිපහදුව විශාල කිරීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලින් 70%ක් ගෙවන්නට ඉරානය කැමති වී ඇත. පිරිපහදු පහසුකම් පුළුල් කළ පසු දැන් මෙන් දෙගුණයක්, එනම් දිනකට බොරතෙල් බැරල් 100,000ක් දක්වා පිරිපහදු කිරීමට පුළුවන.

පිරිපහදු පහසුකම් පුළුල් කිරීම හොඳ වැඩකි. එහෙත්, ඉරාන සල්ලි වලින් කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉරාන තෙල්ම පිරිපහදු කළ හැකි අයුරින් මේ පුළුල් කිරීම සිදුකිරීම බව පැහැදිලිය. මෙතැනදීනම් වෙන්නේ බිත්තර සියල්ල එක කූඩයේ දැමීමකි. ඉරාන තෙල් වලටම ලංකාව හිර කර ගැනීම ඉරානයට වාසියකි. 100%ක්ම ඉරාන තෙල් මතම යැපෙන එකම රට ලංකාවයි.

අනෙක් අතට, තර්කානුකුලව බැලූ විට, මේ මුදල් දෙනවා කීවාට ඇත්තටම ප්‍රායෝගිකව වෙන්නේ මේ මුදලට හරියන ප්‍රමාණයට, දිගුකාලීනව මුදල් පියවිය හැකි පරිදි තෙල් ලැබීමයි. මේ අනුව, පැරණි වෙළඳපොළට නැවතත් පහසුවෙන් ඔලුව දමා ගැනීමට හැකි වීමේ වාසියද ඉරානයට ලැබේ. ඉරානය තමන්ට අවාසිදායක තත්ත්වයන් යටතේ වුවත් දෙපැත්තකින්ම වැඩේ ගොඩ දාගෙන තිබේ.

ලංකාව මේ වෙලාවේ සිටින තත්ත්වය අනුව මේ තීරණය තේරුම් ගත හැකිය. බිලියන 1.5කින් 70%ක් යනු ඩොලර් බිලියනයකි. රවී කරුණානායක සඳහන් කළ බව පැවසෙන ඩොලර් බිලියනයේ ආයෝජනය ඇතැම් විට මෙය විය හැකිය. මේ වෙලාවේම මේ බිලියනය හැර වෙනත් බිලියන්ද තිබේනම් එය සැබෑවටම අහඹු සිදුවීමකි. ඩොලර් බිලියනයක් කියන්නේ රුපියල සෑහෙන කලකට ස්ථාවර කර ගත හැකි මුදලකි.

කෙසේවුවද, රුපියල වැටීම මහා ලොකු ආර්ථික ප්‍රශ්නයක් නොවේ. එය අත්‍යවශ්‍ය නිවැරදි වීමකි. සැබෑ ප්‍රශ්නය රුපියල වැටීමට හේතුවන පදනමයි. අපේ ශරීරය වෛරසයක් සමඟ සටන් කරන විට ශරීර උෂ්ණත්වය වැඩි වන්නේ වැඩි උෂ්ණත්වයේදී මේ සටන වඩා කාර්යක්ෂමව සිදුවන නිසාය. ඒ නිසා එවැනි වෙලාවක උණ පොඩ්ඩක් තිබීම අවසාන වශයෙන් හොඳ දෙයකි.

ගෙවුම් ශේෂ ප්‍රශ්නය හා අදාලව පරණ දොස්තරලා වගේම අලුත් දොස්තරලාත් බෙහෙත් හොයන්නේ රෝග ලක්ෂණ වලට මිස රෝග නිධාන වලට නොවේ. බිලියනයකින් හෝ දෙකකින් මේ වෙලාවේ වැඩේ ගොඩ දාගන්නට පුළුවන. එහෙත්, ඉරානයෙන් ණය ගත්තත්, වෙනත් විදේශ ආයෝජකයෙකුගෙන් ගත්තත් අවසානයේදී ගෙවන්නට වෙන්නේ පොලියත් සමඟය.

36 comments:

  1. එළ මචං...
    කාරණේ හොඳටම තේරුණා...

    හැබැයි දිගටම අපි 20% ක ලොස් එකක් පිටනම් අනිත් රටවල තෙල් පිරිපහදු කලේ, ආපහු ඉරාන තෙල් ලැබුනොත් දැන් තියෙනවට වඩා 20% ක තෙල් ප්‍රමාණයක් ලාභ වශයෙන් ලැබෙනවා...
    අඩු ගානේ ඒ වාසියවත් ජහමනයාට ලැබුනොත්...

    පිරිපහදුව සීරුමාරු කර ඇත්තේ ඉරාන තෙල් වලට උනාට පොඩි ට්‍රයි එකක් දීලා වෙනත් තෙල් වලටත් සීරුමාරු කර ගන්න බැරි කමක් තියෙන්න විදිහක් නැහැ නේද ඉකොන්...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා,

      ඔතන තමයි ප්‍රශ්නය තියෙන්නේ අපට සිටින්නේ රටගැන සිතන මිනිසුන්ට වැඩිය තමුන් ගැන සිතන අයයි
      අවුරුදු 50 කට වඩා මේවයින් ප්‍රයෝජන http://www.divaina.com/2016/01/10/nimna07.html නොගත් රට
      ඔයවගේ තක්ෂණික දේවල් සොයිද ?

      Delete
    2. පිරිපහදුවට හරියන තෙල් ලැබීමනම් විශාල වාසියක්. වෙනත් වර්ගයක තෙල් යොදාගැනීම නිසා සිදුවන අකාර්යක්ෂමතාවය මහා අපරාධයක්. පිරිපහදු තාක්ෂණය ගැන මට විශාල දැනුමක් නැහැ. එහෙත්, මට තේරෙන හැටියටනම් පිරිපහදුවක් වෙනත් තෙල් වර්ගයකයට ගැලපෙන ලෙස වෙනස් කිරීම සංකීර්ණ හා අසීරු කාර්යයක්. නැත්නම් වසර ගණනක් මෙසේ පාඩු විඳිය යුතු නැහැ.

      Delete
    3. ලංකා, ඔය තෙල් ටැංකි ගැන ලිපියේම විසංවාදයක් තියෙනවා නේද? බල්ල පිදුරු කන්නේ නෑ කියලත් බනිනවා. හැබැයි කන ගොනෙකුට දෙන්නත් එපාලු!

      දැන් ඔය තෙල් ටැංකි වලින් වැඩක් ගන්න තරම් අපට සල්ලි හෝ තාක්ෂණය නැත්නම් කරන්න තියෙන්නේ ඒවා තියෙන කෙනෙකුට වැඩේ බාරදීමයි. ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක්නම් එහෙම නොකර වැඩේ අතාරින්න වෙනවා. ඕනෑනම් කොහොමටත් දිරල යන එකනේ කියලා පරණ යකඩ වලට විකුණන්න පුළුවන්. ඔය දෙකටම අකැමතිනම් බොරුවට විවේචනය කරල වැඩක් නැහැ.

      ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවේ ඉන්දියාව සමඟ ඇති කරගත් රාජ්‍යතාන්ත්‍රික එකඟතාවක් අනුව මේ ටැංකි ඉන්දියාව හැර වෙනත් රටකට ලබා දිය නොහැකියි. නිකම් වේලි වේලි තිබුණු ටැංකි 14ක් ඉන්දියානු තෙල් සමාගමට දීම වගේම ඔවුන්ට ලංකාවේ තෙල් වෙළඳපොළට ඇතුළු වීමට ඉඩහැරීමත් හොඳ දෙයක්. රනිල් කලින් අගමැතිව සිටි කාලයේ ඉතිරි ටැංකි ටිකත් ඔවුන්ට දීමට එකඟ වී ඇතත් එය සිදුවී නැහැ. කෙසේ වුවත්, මේ වන විට මේ ටැංකි අලුත්වැඩියා කර නැවත පාවිච්චියට ගැනීම සඳහා කටයුතු කෙරෙමින් තිබීම හොඳ දෙයක්. පිරිපහදුව වැඩිදියුණු කිරීමෙන් පසු තෙල් ප්‍රතිඅපනයනය කල හැකිනම් එය ඉතාම හොඳ දෙයක්.

      Delete
    4. ඉකොනො,

      ඉන්දියාවට ලබා දී ඇත්තේ ටැංකි 2 යි. මෙහි ඇති වැදගත් දේ මෙම ටැංකි අදත් පාවිච්චි කල හැකි තත්වයේ පැවතීමයි. මොකද සුදුයකඩ වලින් නිමවා ඇතිබවයි සහහන් වුනේ. නමුත් පයිප්ප ආදිය අබලන් වී ඇති. නමුත් මේවා යතා තත්වයට ගැනීමට වැයකිරීමට සිදුවන්නේ අඩු වියදමකුයි.

      Delete
    5. //LIOC Managing Director Subodh Dakwale told Business Times that his company already utilizes 14 tanks in the Lower Tank Farm and it will soon take over the upper tank farm with 84 giant oil tanks//

      http://www.lankaioc.com/sri-lanka-embarks-business-plan-develop-china-bay-oil-storage-facility/

      Delete
  2. අන්ඞස්ටැන්ඞ් සැර්.

    ReplyDelete
  3. ඕකෙම අනික් පැත්ත අපේ තේ ඩිංගටත් මාකට් එකක් හැදේවි නේද ?

    ReplyDelete
    Replies
    1. ඉරානයට සම්බාධක පැනවීමට කලින් 2010දී ඔවුන්ට තේ විකිණීමෙන් අපට ඩොලර් මිලියන 152ක් ලැබුණා. මෙය අපේ තේ වලට ඉරානයේ ඇති සාමාන්‍ය ඉල්ලුම. සම්බාධක පැවති කාලයේ මේ ඉල්ලුම අඩුවුණේ නැහැ. 2014දීත් අපි ඉරානයට ඩොලර් මිලියන 160ක තේ විකිණුවා. ඒ නිසා කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ මේ සම්බාධක ඉවත්වීම නිසා තේ වලට විශේෂ වාසියක් නොලැබෙන බවයි.

      සම්බාධක පැනවූ 2011දී අපි ඉරානයෙන් ඩොලර් මිලියන 1,602ක ආනයන සිදු කළා. මෙය තේ වලින් ලැබෙන මුදල මෙන් දහගුණයක් පමණ. සම්බාධක නිසා මෙය නැවතුනා. දැන් නැවතත් ඒ මුදල් ඉරානයට යනවා. හැබැයි කොහොමත් මැදපෙරදිග රටකට යන මුදල් නිසා එහි විශේෂ අවාසියක් නැහැ. ඔවුන් අපට ඩොලර් මිලියන 1,050ක ණයක් දීමේදී සිදුවනු ඇත්තේ අපට ඒ වටිනාකමට තෙල් විකුණා මුදල් ගෙවීමට දිගු කාලයක් කාලයක් ලබා දීමයි. ඒ කාලයට පොලියත් අයකරයි.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. බොහොම ස්තූතියි ඉකොන් පැහැදිලි කිරීමට. පිරිපහදුව හදන කාලේ ඉල්ලීමට වඩා තෙල් ඉල්ලුම ඉහල ගොස් තියෙන නිසා ධාරිතාව වැඩි කිරීම හොඳ දෙයක්. ඉන්දියන් ඔයිල් සමාගම මම හිතන්නේ පිරිපහදු තෙල් ඉන්දියාවෙන් ආනයනය කරනවා. අනික් තෙල් පිරිපහදු කරන්න මෙම යන්ත්‍ර මොඩිෆයි කරන්න පුළුවන්ද දන්නෙ නැහැ. එහෙම බැරිනම් ධාරිතාව වැඩි කිරීමට ඉරාන උදව් ගන එක හොඳයි. වෙන තාක්ශණයක පිරිපහදුවක් හැදුවොත් Economies of Scale නැතිවෙලා පිරිපහදු වියදම වඩි වෙන්න පුළුවන් නිසා. අනික නිකන් ලැබෙනවනම් දත් බලන්න ඕන නැහැනෙ. වෙන තෙල් අපනයන කරුවකුට පුළුවන් තවත් තෙල් පිරිපහදුවක් දෙන්න. ඇනෝ කිව්ව වගෙ ලංකාවේ තේ වලට ඉල්ලුමක් තියෙන්න පුළුවන්. තේ මිල ගණන් අඩු කාලේ ඒක ලොකු පිටුවහලක් වේවි.

    ReplyDelete
    Replies
    1. //පිරිපහදුව හදන කාලේ ඉල්ලීමට වඩා තෙල් ඉල්ලුම ඉහල ගොස් තියෙන නිසා ධාරිතාව වැඩි කිරීම හොඳ දෙයක්.//

      ඔව්. 1969දී මෙය හැදුවේ දිනකට බොරතෙල් බැරල් 38,000ක් පිරිපහදු කිරීමේ ධාරිතාවක් සහිතව. ඒ කාලයේ එය හොඳටම ප්‍රමාණවත්. පසුව 1979දී (හෝ ආසන්න වසරකදී) ධාරිතාව දිනකට බොරතෙල් බැරල් 51,000 දක්වා වැඩිකළත් දැන් මෙය ප්‍රමාණවත් නැහැ. දැන් අපේ අවශ්‍යතාවයෙන් අඩක් හෝ වැඩි ප්‍රමාණයක් සැපිරෙන්නේ ආනයනය කරන පිරිපහදු කළ තෙල් වලින්. ඒ නිසා ධාරිතාව වැඩිකිරීම පැහැදිලිවම හොඳ දෙයක්.

      //ඉන්දියන් ඔයිල් සමාගම මම හිතන්නේ පිරිපහදු තෙල් ඉන්දියාවෙන් ආනයනය කරනවා.//
      ඔබ නිවැරදියි.

      //අනික් තෙල් පිරිපහදු කරන්න මෙම යන්ත්‍ර මොඩිෆයි කරන්න පුළුවන්ද දන්නෙ නැහැ.//
      මගේ අදහස පරිදි මෙය ඉතා අසීරු කාර්යයක්. එහෙත්, මට මේ ගැන ලොකු දැනුමක් නැහැ.

      //එහෙම බැරිනම් ධාරිතාව වැඩි කිරීමට ඉරාන උදව් ගන එක හොඳයි. වෙන තාක්ශණයක පිරිපහදුවක් හැදුවොත් Economies of Scale නැතිවෙලා පිරිපහදු වියදම වඩි වෙන්න පුළුවන් නිසා.//
      ඔවු, Economies of Scale නිසා වාසියක් තිබිය යුතුයි. අනික් අතට ඉරානයේ සංහිඳියාව කොයි වෙලාවේ නැවත වෙනස් වෙයිද දන්නේ නැති නිසා අවදානමකුත් තියෙනවා. මේ ගැන, මට මතුපිටින් බලලා නිවැරදි විවේචනයක් කරන්න බැහැ. බොහෝදෙනෙක් එකතුවෙලා වසර ගනණක් සාකච්ඡා කර ගෙන ඇති තීරණයක් නිසා සමහර විට ප්‍රායෝගිකව කළ හැකි හොඳම දෙය වෙන්න ඇති.

      //අනික නිකන් ලැබෙනවනම් දත් බලන්න ඕන නැහැනෙ.//
      නිකම්නම් නෙමෙයි ලැබෙනවා ඇත්තේ. පොලිය, ගෙවිය යුතු කාලය වැනි දේවල් අනුව තමයි වාසි අවාසි තීරණය වෙන්නේ. කොහොම වුනත්, පහුගිය කාලයේ මේ වැඩේම කිරීමට පළපුරුද්දක් නැති චීන සමාගමකට ඩොලර් බිලියන දෙකකට කොන්ත්‍රාත් දීමට තිබුණු සූදානම එක්ක බැලුවහමනම් කෙලින්ම ඩොලර් මිලියන 500ක වාසියක් තියෙනවා.

      //වෙන තෙල් අපනයන කරුවකුට පුළුවන් තවත් තෙල් පිරිපහදුවක් දෙන්න.//
      එයයි සිදුවිය යුත්තේ. IOC එකට ඉතිරි තෙල් ටැංකි ටික බදුදීමෙනුත් තරඟකාරිත්වය වැඩිකරගන්න පුළුවන් වෙයි. තෙල් අලෙවියේ සංස්ථා ඒකාධිකාරය කැඩීමයි සිදුවිය යුත්තේ.

      //ඇනෝ කිව්ව වගෙ ලංකාවේ තේ වලට ඉල්ලුමක් තියෙන්න පුළුවන්. තේ මිල ගණන් අඩු කාලේ ඒක ලොකු පිටුවහලක් වේවි.// සංඛ්‍යාලේඛණ අනුව මෙය වෙන්න ඉඩකඩ අඩුයි. (උඩ කමෙන්ට් එක බලන්න.)

      Delete
  6. තෙල් ප්‍රශ්නයේදී අපි ඉන්නේ හරිම අසරණ තත්වයක. වර්ග දෙකක බොරතෙල් සඳහා පිරිපහදු කම්හල් දෙකක් හදාගැනීම බොහොම අමාරු වැඩක්. දැනට ඉරානයෙන් යැපෙමින් අනාගතයේදී වෙනත් විකල්ප පිරිපහදුවකට යාම හොඳයි කියා හිතනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයේ වත්මන් ස්වභාවය, කෙටිකාලීන විසඳුම් හා දිගුකාලින විසඳුම් ඔබ සාරාංශගත කර තිබෙනවා.

      Delete
  7. මචං මේ බොර තෙල් කියන දේ සහ අපි වාහන වලට ගහන තෙල් අතර කිසිම අාකාරයක සම්බන්ධයක් නැද්ද කියලත් වෙලාවට හිතෙනවා........ අැයි අරක 100 පැන්නාම දුන්න ගානට ම නේ තාම අපි ගන්නේ......

    ReplyDelete
    Replies
    1. මෙය රජය විසින් ව්‍යාපාර වලට අතගැසීමේ ඇති අකාර්යක්ෂමතාවය හොඳින් පෙන්වන තැනක්. මිල අඩු නොකිරීමට ඊළඟට යොදාගන්නා නිදහසට කරුණ වනු ඇත්තේ පිරිපහදුව වැඩිදියුණු කිරීමට යන වියදම.

      Delete
  8. තෙල් මිල කොච්චර පහල ගියත් මේ සැරේවත් ඒක සහනය සාමාන්‍ය ජනයාට ලැබේද කියලා සැකයි.

    ReplyDelete
    Replies
    1. ඒවානම් ෂුවර් නැහැ, මහේෂ්.

      Delete
  9. මචන් මේක ඉතා පරිණතව කරුණු පැහැදිලි කරපු ලියමනක් . ඉරානයෙන් ලැබෙන එක වගේ පහසු විසඳුම්වල එල්ලෙනව මිසක් මේ ආණ්ඩුවටත් අනාගත අවදානම අඩු ස්මාර්ට් විසඳුම් නැති බවයි පෙන්නේ

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද මචං, ස්මාර්ට් නැති අපි වගේ මිනිස්සුන්ට කවුද ස්මාර්ට් විසඳුම් දෙන්නේ?

      Delete
  10. ස ර ස තුමා නම් ඉරාන ආර්තික සම්බාදක ඉවර වෙනකම් බලන් ඉන්නේ නැවතත් පෙර සේම ඉරානයෙන් ගෙන්වූ ඔස්සෙට්‍රා වර්ගයේ කැවියාර් රස විඳීමටයි....

    ReplyDelete
    Replies
    1. ලංකාවේදී කවදාවත් දැකල නැහැ.

      Delete
  11. ඉරානයට පනවා තියෙන සම්බන්ධක ඉවත් කිරීම තුලින් අපිටත් එහෙනම් යම් වාසියක් තියෙනවා.
    ඔබ කියූ විදියට මේ පිරිපහදුව අලුත්වැඩියා කරන්න යන මුදල නම් රවී කරුණානායක පැවසු අර ඩොලර් බිලියනයේ ආයෝජනය නම් ඇයි මේ බව කියන්න රවී මැලි වෙන්නේ.ඉකනෝ හිතනවාද මේ තරම් විශාල මුදලක් තනි පුද්ගලයෙක් අපේ වගේ රටක ආයෝජනය කරයි කියලා.

    ReplyDelete
    Replies
    1. මෙය මගේ හිතළුවක් පමණයි. ඔහු කියන්නේ වෙන බිලියනයක් ගැන විය හැකියි. රුපියල් බිලියනයක් වැනි විශාල මුදලක් හරියටම එකම ගණන එකම කාලයේ ලංකාවට දෙවිදිහකට ලැබෙනවනම් එය බොහොම දුර්ලභ සිදුවීමක්. ඒ පදනම මතයි මම මේ අදහස පළකළේ. මෙවැනි මුදලක් ලංකාවේ ආයෝජනය කළ හැකි, එසේ කිරීමට කැමති, තනි පුද්ගලයෙක් ඉන්නවා කියන එකත්, ඔබ කියනවා වගේම, යම්කිසි අයුරකින් සිදුවෙනවනම් එය ඉතාම සුවිශේෂී දෙයක්. ලංකාව සාමාන්‍යයෙන් ස්වෛරිත්ව බැඳුම්කරයකට බිලියනයක් එකතු කිරීමටත් විශාල වෙහෙසක් දරනවා.

      Delete
  12. අවුරුදු හතළිහකට ඉස්සර රෝහණ බැද්දගේ දැකපු හීනෙ හැබෑ නොවුනෙ අපේම අවාසනාවට...සික්...:(

    අපෙ දුක් ගී ඇහිලා හැඬූ ලක්මවගේ හදවතේ 
    අනාදිමත් කලක පටන් ලේ උණු වෙනවා
    ඒ උණු ලේ කඳුලු වෙලා හෙලූ කඳුලු එකතු වෙලා 
    තෙල් හැදිලා පේසාලෙන් ගොඩට ඇදෙනවා
    හා.. යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා

    Thank you so much Econ..Understanding Sak Sudak…..:)

    ReplyDelete
    Replies
    1. එහෙම වාසනාවක් තිබුණනම් අපි අද තෙලෙන් කාල තෙලෙන්ම අත හෝදනවනේ...එහෙනම්, රස්සා හොයාගෙන ලංකාවට ඇවිත් විප්‍රවාස ගතවෙන්න වෙන්නේ අරාබි කාරයින්ටයි. අපිට තියෙන්නේ ඉඳල හිටලා මොකක් හරි වරදක් කරන කෙනෙක්ව අල්ලලා උල තියන එක විතරයි. කොහොමවුනත්, පහුගිය ශතවර්ෂයේ මුල් කාලේ අරාබින් හිටියෙත් ඔය ජාතියේ සින්දු කිය කිය තමයි.

      ඔය සක් සුදක් කිවුවට මම දැකල තියෙන සක්නම් එකක්වත් හරියටම සුදු නෑ. :)

      Delete
  13. හරිම සතුටුයි ඉකෝන්.මහා ගැඹුරු පාඩමක් සරලව ඉගෙන කියා ගත්ත වගේ දැනෙනවා.ලිපිය අනර්ඝයි කියල විතරක් කියන්නං.ස්තුතියි.

    ReplyDelete
  14. hondha lipiyak Econ, deyak wadipura
    gabadaa karaganeemata hakiweema weladhaamedi wadi laabayak labeema nedha??

    ReplyDelete
    Replies
    1. සෙනරත්, හොඳ ප්‍රශ්නයක්. එය හැමවිටම එසේ නැහැ. එය තීරණය වන්නේ ගබඩා කර තබා ගැනීමට යන වියදම සහ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙය අවශ්‍ය තැන නැතිවීම නිසා විය හැකි පාඩුව මත. වෙළඳසැල් වල කලින් කලට වට්ටම් දීමට හේතුව (පොත්, ඇඳුම් වැනි දේ) ඒවා ගබඩා කර තබා ගැනීමේ වියදම වැඩි වීමයි. ජපානයේ Just In Time සංකල්පයේ පදනම ගබඩාකර තබා ගන්නා අමුද්‍රව්‍ය ප්‍රමාණය බින්දුවටම අඩු කිරීමයි. හරියටම අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ අවශ්‍ය තැනට ගෙන ඒමට තරම් logistics දියුණුනම් මේ තත්ත්වයට කිට්ටු විය හැකියි. යම් ද්‍රව්‍යයක මිල වැඩිවන බව පෙනෙන විට ගබඩා කර තබා ගැනීම වාසියි. අඩු වන විට අවාසියි. ඉහළ උද්ධමනයක් නරක දෙයක් වුනත් සුළු උද්ධමනයක් පැවතීම අවධමනයට වඩා හොඳ දෙයක් බව සැලකීමට මෙයත් එක් හේතුවක්. භාණ්ඩ වල මිල අඩුවනවානම් නිෂ්පාදකයින් අමුද්‍රව්‍ය හෝ නිමිභාණ්ඩ ගබඩා කර නොගැනීමට පෙළඹීම නිසා නිෂ්පාදනය අඩුවෙනවා. මිල සුළුවශයෙන් වැඩි වන විට අමුද්‍රව්‍ය සහ නිමිභාණ්ඩ යම් ප්‍රමාණයක සංචිතයක් පවත්වා ගැනීමට පෙළඹෙනවා. එසේ ඇති විට ගණුදෙණු ප්‍රමාණය යම් තරමකින් වැඩිවෙනවා. බොරතෙල් වෙළඳපොළ ගත්තොත් ගබඩා කර තබාගත් අයට මේ කාලයේ විශාල ලෙස පාඩු වෙනවා.

      Delete
  15. අනේ අම්මේ...ඉකොන් ක්ලාස් නොගිය මටත් එකෙන්ම තේරුනා මචෝ සංසිද්ධිය...

    ආයේ ඉතින් වෙන මොන කතාද...පොස්ටුවේ වටිනාකම කෝටියයි ( නෑ නෑ "බිලියනයයි")

    ReplyDelete
    Replies
    1. දෙවුලොවින් පැමිණි පාරිභෝගිකයෙක්. :)

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget