Wednesday, December 23, 2015

තෙල් මිල ඉහළ යයිද?

ඒ හැත්තෑව දශකයේ මුල් කාලයයි. ඉරානයේ ෂා පාලනයට එරෙහිව සෝවියට් උදවු ලබන වාමාංශික ගරිල්ලා කණ්ඩායම් එක් පසෙකිනුත්, ඉස්ලාම් මුලධර්මවාදී කණ්ඩායම් තවත් පසෙකිනුත් කඳවුරු බඳිති. එවකට ඉරානය පාලනය කළ මොහොමඩ් රෙෂා පාලවී ෂා රජුට මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධවත්, දූෂණ සම්බන්ධවත් චෝදනා ඉදිරිපත් වී ඇත. ඇමරිකාවේ නිවු යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරුවෙකු රෙෂා ෂා සමඟ සාකච්ඡාවකය.

"ඔබ සිතන පරිදි ඉදිරියේදී ලෝක තෙල් මිල ඉහළ යයිද?"

"පැහැදිලිවම ඉහළ යනවා! අනිවාර්යයෙන්ම!! දැන් ඔබ අපට විකුණන තිරිඟු වල මිල පසුගිය කාලයේ තුන් ගුණයකින් වැඩිකළා. එතකොට සීනි? සිමෙන්ති? ඒවත් එහෙමයි. දැන් ඔබ අපේ බොර තෙල් කුණු කොල්ලෙට මිල දී අරගෙන ඒවා පිරිපහදු කරලා හදන දේවල් අපෙන් ගත් මිල වගේ සිය ගුණයකට නැවත අපටම විකුණනවා. මේ වැඩේ සාධාරණද? දැන් ඉඳලවත් ඔබ අපේ තෙල් වලට වැඩිපුර ගෙවිය යුතුයි. ඔවු, අඩු ගානේ දහ ගුණයක්වත් වැඩියෙන්..."

මේ කාලයේදී ඉරානය ලෝකයේ දෙවන විශාලතම බොරතෙල් අපනයනකරු වූ අතර ඇමරිකාව සමඟ ඉතා යහපත් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවන් පවත්වාගනිමින් සිටි රටකි. එසේනම්, රෙෂා ෂාගේ මේ බැලූ බැල්මටම ඇමරිකන් විරෝධී ආස්ථානයට හේතුව කුමක්ද?

ඇතැම් විට මෙතෙක් කලක් බටහිර රටවල් විසින් තමන්ව රවටනු ලැබුවායැයි ඔහු සිතුවා විය හැකිය. එසේ නැත්නම්, ඇමරිකාවෙන්ද තමන්ට එල්ල වී ඇති මානව හිමිකම් සහ දූෂණ චෝදනා සම්බන්ධව ඔහුගේ අප්‍රසාදය පළකළා විය හැකිය. මේ දෙකටම වඩා, ඇමරිකන් ගැත්තෙකු ලෙස තමන්ට රට තුළ ඇලවී ඇති ලේබලය ඉවත් කර ගැනීම සඳහා ගැලරියට කතා කළාද විය හැකිය. කෙසේ වුවද, රෙෂා ෂාගේ මේ වචන වලින් පෙන්වන්නේ දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැති බවයි. මෙය අදටද වලංගු කරුණකි.

රෙෂා ෂාගේ ඉහත අදහස් දැක්වීමට හේතුව කවරක් වුවද ඔහුගේ වචන තුළින් එළියට ආවේ අරාබි රටවල් ප්‍රමුඛ තෙල් අපනයනය කරන රටවල් බොහොමයක එවකට පැවති ජනප්‍රිය මතයයි. මේ වචන යතාර්ථයක්  බවට පත්වන්නේ ඊශ්‍රායලය සහ අරාබි රටවල් අතර යොම් කිපූර් යුද්ධය ඇරඹීමත් සමඟය. මේ අවස්ථාවේදී ඇමරිකාව ඇතුළු බටහිර රටවල් රැසකට බොරතෙල් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම වැළැක්වීමට අමතරව සයදින යුද්ධයේදී විසින් ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් බිම් පෙදෙස් සියල්ල ආපසු ලබාදෙන තුරු සිය තෙල් නිෂ්පාදනය මසකට 5% බැගින් අඩු කිරීමටද ගල්ෆ් කලාපයේ පිහිටි ඔපෙක් රටවල් තීරණය කළේය.

මෙසේ පැනවූ සම්බාධක පස් මසකින් පසු ඉවත් කෙරෙන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 3 සිට 12 දක්වා සිවු ගුණයකින් ඉහළ ගොස් අවසන්ය. මිල ඉහළ ගියද පෙට්‍රෝලියම් ඉන්ධන සඳහා ඇති ඉල්ලුම ක්ෂණිකව අඩු නොවේ. මේ නිසා මේ කාලය තුළ තෙල් අපනයනය කරන රටවල ආදායමද විශාල ලෙස ඉහළ ගියේය.

තමන්ගේ තෙල් සංචිත වල දේශපාලන අවියක් වශයෙන් ඇති වටිනාකම අරාබි රටවල් විසින් හරියටම තේරුම් ගත්තේ මේ 1973 සම්බාධක වලින් පසුවය. සම්බාධක පැවති කාලය තුළ බොරතෙල් නිෂ්පාදනය 25%කින් අඩු කිරීමට මේ රටවලට හැකි විය. බහුජාතික සමාගම් හරහා ලෝක තෙල් වෙළඳපොළේ බටහිර රටවල් සතු වූ ආධිපත්‍යය කෙමෙන් ගිලිහී අරාබි රටවල් අතට පත් වෙද්දී බටහිර විරෝධය සමඟ එක්ව ඉස්ලාම් මූලධර්මවාදය හිස ඔසවන්නට විය. ඉරානයේ ෂා පාලනය බිඳ වැටුණු අතර අයතොල්ලා කොමෙයිනි විසින් නැවතත් ඉරානය ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත් කළේය.

මැද පෙරදිග කලාපයට ගලා ආ තෙල් සල්ලි ආයුධ මිල දී ගැනීම වෙනුවෙන් විශාල ලෙස වැය කෙරුණු අතර පසුකාලීනව කලාපයේ ඇතිවූ ගැටුම් රැසකදී  මේ ආයුධ ප්‍රයෝජනයට ගැනිණි. එමෙන්ම, ඉස්ලාම් ධර්මය පිලිබඳ සවුදි අරාබි අර්ථකථනය ඉදිරිපත් කෙරෙන වහාබ්වාදය ලොව පුරා පැතිරවීම සඳහා එදා මෙදා තුර විශාල මුදලක් වැය කෙරුණු අතර මෙය තවමත් සිදුවෙමින් පවතින්නකි. ආචාර්ය යුසුෆ් බට්ට අනුව වහාබ්වාදය ප්‍රචලිත කිරීම සඳහා සවුදි අරාබිය විසින් පසුගිය දශක තුන තුළ වඩා දුප්පත් මුස්ලිම් රටවල් වෙත පොම්ප කර ඇති මුදල ඇමරිකන් ඩොලර් බිලියන 100 ඉක්මවන අතර ඇතැම් විට එමෙන් දෙගුණයක් වුවද විය හැකිය. මේ මුදල සමඟ සැසඳීමේදී 1921-1991 අතර වසර හැත්තෑවක කාලය තුළ සෝවියට් දේශය විසින් ලොවපුරා කොමියුනිස්ට්වාදය පැතිරවීම සඳහා වැය කර ඇතැයි ඇස්තමේන්තු කර ඇති ඇමරිකන් ඩොලර් බිලියන 7ක පමණ මුදල සොච්චමකි. මේ මුදල් පකිස්ථානය තුළ වැය කෙරෙන ආකාරය විකිලීක්ස් මඟින් එළිදරවු කර ඇති, මෙහි ඇති කේබල් පණිවුඩයේ විස්තර කෙරේ. එහි අවසානය දක්වා කියවුවහොත්  වහාබ්වාදය පැතිරවීමට සවුදි අරාබියට ඉඩ හැරීම සැබෑ ඇමරිකන් අපේක්ෂාව නොවන බව පැහැදිලිය.

ඇමරිකන් දේශපාලනික අපේක්ෂාවන් තුළ බොහෝ විට ඇත්තේ දිගුකාලින ආර්ථික අපේක්ෂාවන්ය. ලොව පුරා  වහාබ්වාදය හෝ බටහිර සංස්කෘතියට තර්ජනයක් විය හැකි වෙනත් මතවාදයක් පැතිරෙනු දැකීම ඇමරිකානු අපේක්ෂාවක් වීම පිළිගත හැකි තර්කයක් නොවේ. එහෙත්, ඇමරිකන් ආර්ථිකය දිවවීමට අවශ්‍ය ඉන්ධන වැඩිපුරම ඇත්තේ සංස්කෘතිකව හෝ දේශපාලනිකව ඇමරිකන් විරෝධී රටවල් සතුවය. මේ නිසා කලින් කලට ඇමරිකාව මෙවැනි ඇතැම් රටවල් සමඟ උපක්‍රමික දේශපාලනයක යෙදේ. මෙසේ කෙටිකාලින වාසි තකා ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග වලින් දිගුකාලිනව සිදුවී ඇති අවාසි පිලිබඳ නිදසුන් ඉතිහාසය තුළ නොඅඩුව දැකිය හැකිය. කවුරුත් දන්නා මේ දේවල් ඇමරිකන් ප්‍රතිපත්ති සම්පාදකයින් නොදන්නවායැයි යමෙක් සිතනවානම් එතරම් මෝඩකමක් තවත් තිබිය නොහැකිය. ඒ නිසා පිළිගත හැකි තර්කයක් වන්නේ මෙවැනි තාවකාලික උපක්‍රමික සංධාන පවත්වාගැනීමට ඇමරිකාවට අවශ්‍ය වන්නේ ඇමරිකාවේ දිගුකාලීන අරමුණු ඉටුකරගන්නා තාක් පමණක් බවයි.

ඇමරිකන් ඉන්ධන අවශ්‍යතා සහ නිෂ්පාදන හැකියාවන් අතර පරතරය දශක ගණනාවක් තිස්සේ ඇමරිකාවට කෙටිකාලීන විසඳුම් සෙවිය නොහැකි වූ ප්‍රශ්නයකි.  එහෙත්, අඩුම වශයෙන් අඩසියවසක පමණ සිට ඇමරිකාව විසින් මේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සොයමින් සිටියේය. උතුරු ඇමරිකාව තුළ ඇති සම්ප්‍රදායික ඛනිජ තෙල් සංචිත මේ වන විට මුළුමනින්ම පාහේ නිරාවරණය කරගෙන අවසන්ය. ඒ නිසා, මේ ගැටළුවට සාම්ප්‍රදායික විසඳුමක් තිබුණේ නැත. දශක ගණනාවක පර්යේෂණ වලින් අනතුරුව මේ වන විට ඇමරිකාව සාර්ථකව ප්‍රයෝජනයට ගන්නා හයිඩ්‍රෝලික් විභේදන තාක්ෂණය (Hydraulic fracturing) සහ එමඟින් නිපදවන ශල්ක තෙල් (shale oil) මේ ප්‍රශ්නයට ඇමරිකාව සොයාගත් විප්ලවීය විසඳුමකි. එක් අතකින් මේ ක්‍රමයට අළුතින් කැණීම් අට්ටාලයක් ඉදිකිරීමට ගතවන කාලය සහ වැයවන පිරිවැය සම්ප්‍රදායික තාක්ෂණයට සාපේක්ෂව ඉතා අඩුය. අනෙක් අතින්, උතුරු ඇමරිකාවේ මේවන විට සොයා නොගත් සම්ප්‍රදායික තෙල් සංචිත නොමැති වුවත් ශල්ක තෙල් සංචිත 'ඕනෑ තරම්' තිබේ. මේ සංචිත තව බොහෝ කලකට ප්‍රමාණවත්ය.

ලෝකයේ බොරතෙල් අපනයනය කරන රටවල් අතර පෙරමුණේම සිටින්නේ සවුදි අරාබිය සහ රුසියාවයි. ඉන්පසුව පිළිවෙලින්, ඉරානය, ඉරාකය, නයිජීරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන මුස්ලිම් රටවල්ද ඇන්ගෝලාව සහ වෙනිසියුලාවද සිටී. මේ රටවල් බොහොමයක ආර්ථිකයන් විශාල ලෙස විවිධාංගීකරණය වී නොමැති අතර බොහෝ දුරට බොරතෙල් අපනයනයෙන් ලැබෙන ආදායම මත රඳා පවතී. තෙල් මිල පහත වැටීම මේ රටවල ආර්ථිකයන්ට මරු පහරකි.

අනෙක් අතට, තෙල් ආනයනය කරන රටවල් අතර පෙරමුණේම සිටින්නේ ඇමරිකාවයි. ඉන් පසුව සිටින්නේ නැගීගෙන එන රටවල් වන චීනය සහ ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව සහ ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය, නෙදර්ලන්තය වැනි බටහිර යුරෝපීය රටවල්ය. මේ රටවල ආර්ථිකයන්ට තෙල්මිල පහත වැටීම විශාල පාරිතෝෂිකයකි. මෝටර්රථ නිෂ්පාදනය වැනි තෙල් මිල අඩුවීමෙන් වාසි ලැබිය හැකි නිෂ්පාදන කර්මාන්ත වලින් ඉදිරියෙන් සිටින්නේද මේ රටවල්ය.

මේ බෙදීම තුළ, තෙල් මිල පහත යාමෙන් බටහිර රටවල් බොහොමයකට සැලසෙන්නේ වාසියකි. සම්ප්‍රදායික බටහිර විරෝධී රටවල් බොහොමයකට සැලසෙන්නේ අවාසියකි. කෙසේ වුවද, කැනඩාව සහ නොර්වේ වැනි ඇතැම් බටහිර රටවලටද තෙල් මිල පහත වැටීම අවාසියකි.

පසුගිය දෙවසර තුළ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස පහත වැටුණේ ඇමරිකාවේ බොරතෙල් නිෂ්පාදනය විශාල ලෙස වැඩි වූ නිසාය. හයිඩ්‍රෝලික් විභේදන තාක්ෂනය උපයෝගී කරගනිමින් ඇමරිකාව විසින් විශාල ලෙස ශල්ක තෙල් නිෂ්පාදනය කිරීමේ හේතුවෙන් මේ වන විට බොරතෙල් නිෂ්පාදනය අතින් සවුදි අරාබිය සහ රුසියාව අභිබවමින් මුල් තැනට පැමිණීමට ඇමරිකාවට හැකි වී තිබේ. ඒ සමඟම ලෝක බොරතෙල් නිෂ්පාදනය සමස්ත ලෝක පරිභෝජනය ඉක්මවීම නිසා නිපදවෙන බොරතෙල් වලින් සංචිත පිරෙමින් පවතී. මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 34 මට්ටම දක්වා අඩු වී ඇති අතර මෙය වසර නවයකින් දක්නට නොලැබුණු අඩු මිලකි.

පවතින තත්ත්වය යටතේ තෙල් මිල ඉහළ නැංවීමටනම් සමස්ත ලෝක බොරතෙල් නිෂ්පාදන පරිමාවේ අඩුවක් සිදුවිය යුතුය. හේතු කිහිපයක් නිසා ඇමරිකාව විසින් මෙය කිරීම සිදුවිය නොහැක්කකි. පළමුව, මේ වන විට ලෝකයේ විශාලතම තෙල් නිෂ්පාදකයා බවට පත් වී සිටියද ඇමරිකාව තවමත් තෙල් ආනයනය කරන රටකි. දේශීය තෙල් නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම හැටේ දශකයේ පටන්ම ඇමරිකානු අභිලාෂයකි. දෙවනුව, සමස්තයක් වශයෙන් තෙල්මිල අඩු මට්ටමක පැවතීම ඇමරිකානු ආර්ථිකයට වාසිදායකය. තෙවනුව, ඇමරිකාවේ තෙල් නිෂ්පාදනයට ඇමරිකානු රජයේ සම්බන්ධයක් නැත. ඒ නිසා ඇමරිකානු රජයට අවශ්‍ය වුවද තෙල් නිෂ්පාදනය සීමා කිරීම අසීරු කටයුත්තකි.

අනෙක් අතින් මේ අවස්ථාවේදී සවුදි අරාබිය හෝ රුසියාව බොරතෙල් නිෂ්පාදනය සීමා කළහොත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම නිසා ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදනය තවදුරටත් දිරි ගැන්වී දැනට මේ රටවල් විසින් පාලනය කරන තෙල් වෙළඳපළවල් ඇමරිකන් සමාගම් මඟින් අල්ලා ගැනීමේ ඉඩකඩක් පවතී. එසේ වුවහොත් පාඩු දෙකක් සිදුවේ. මේ නිසා සවුදි අරාබිය හෝ රුසියාව තවමත් සිය බොරතෙල් නිෂ්පාදන පරිමා පහත හෙලීමට කටයුතු කර නැත. කෙසේ වුවද, මේ රටවල් දෙක අතරින් සවුදි අරාබියේ බොරතෙල් නිෂ්පාදන පිරිවැය ඉතාම අඩු නිසා ඔවුන්ට මේ අඩු මිල ගණන් යටතේත් තව දුරටත් කිසියම් ලාභයක් ලැබීමට බැරිකමක් නැත. එහෙත්, රුසියාවට ඒ වාසියද නැත. ඒ නිසා නිෂ්පාදන සීමා කිරීමේ හැකියාව ඇත්තටම ඇත්තේ සවුදි අරාබියට පමණි.

ඔපෙක් සංවිධානය මඟින් සාමාජික රටවලට තෙල් නිෂ්පාදන කෝටා නියම කර තිබියදී ඇතැම් රටවල් වංචා සහගත ලෙස මේ සීමාවන් ඉක්මවීම හැමදාමත් සිදුවූ දෙයකි. මෙවැන්නක් සිදුවන විට මෙතෙක් කල් සවුදි අරාබිය විසින් කළේ එසේ වැඩිපුර නිෂ්පාදනය කරන ප්‍රමාණය වෙනුවෙන්ද තමන්ගේ නිෂ්පාදනය අඩු කිරීමෙන් කෙසේ හෝ මිල මට්ටම පවත්වා ගැනීමයි. එහෙත්, මෙවර සවුදි අරාබිය කරන්නේ වෙනත් ක්‍රීඩාවකි.

මේ අවස්ථාවේ ඇමරිකාව සහ සවුදි අරාබිය අතර ඇත්තේ ගල උඩ සටනකි. ශල්ක තෙල් නිෂ්පාදනය කිරීමේ ආන්තික පිරිවැය සාම්ප්‍රදායික ක්‍රම වලින් බොරතෙල් නිෂ්පාදනය කිරීමේදී දැරිය යුතු පිරිවැයට වඩා විශාලය. සම්ප්‍රදායික ක්‍රමයට බොරතෙල් නිෂ්පාදනය කිරීමේදී ආරම්භක ප්‍රාග්ධනය ඉතා විශාල වුවත් මේ ප්‍රාග්ධනය වැය කිරීමෙන් අනතුරුව ඉතා අඩු ආන්තික පිරිවැයක් වැයකරමින් දශක ගණනාවක් පුරා බොරතෙල් නිපදවිය හැකිය. ශල්ක තෙල් කැනීම් අට්ටාලයකින් කාර්යක්ෂම ලෙස බොරතෙල් නිපදවිය හැක්කේ වසර කිහිපයක් පමණි. ඒ නිසා ශල්ක තෙල් නිෂ්පාදකයින්ට දිගුකාලීන ලාභයක් ලැබීමට නිරතුරුවම අළුත් කැණීම් අට්ටාල ඉදිකිරීමට සිදුවන අතර එසේ කිරීම ලාභදායක වීමට බොරතෙල් මිල සැලකියයුතු ඉහළ මට්ටමක තිබිය යුතුය. කෙසේ වුවද, ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදන තාක්ෂණය තවදුරටත් දියුණු වෙමින් පවතින අතර ඒ සමඟ ශල්ක තෙල් නිෂ්පාදන පිරිවැයද ක්‍රමයෙන් පහත වැටේ.

මිල මට්ටම පහත තබා ගැනීමෙන් සවුදි අරාබිය අපේක්ෂා කරන්නේ ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදකයින් වෙළඳපොළෙන් ඉවත් කිරීමටය. මේ වන විට සවුදි අරාබිය ඔවුන්ගේ අරමුණ වෙත සෑහෙන දුරකට ලඟා වී සිටී. පසුගිය මාස කිහිපය තුළ ඇමරිකාවේ අළුත් ශල්ක තෙල් කැනීම් අට්ටාල ඉදිවීම විශාල ලෙස අඩුවී තිබේ. එහෙත්, මේ සඳහා සවුදි අරාබියටද විශාල වන්දියක් ගෙවීමට සිදුවේ. ඔවුන්ගේ බොරතෙල් නිෂ්පාදන පිරිවැය අඩු නිසා තවදුරටත් තෙල් වෙළඳාමෙන් ලාභ ලැබිය හැකි වුවත් මේ ලාභය සාමාන්‍යයෙන් ඔවුන් ලබන ලාභයට වඩා බොහෝ සේ අඩුය. අත දිග හැර තෙල් සල්ලි වියදම් කිරීමට පුරුදු වී සිටින සවුදි අරාබියට ඔවුන්ගේ වියදම් පිරිමසා ගැනීමට මේ අඩු ලාභය ප්‍රමාණවත් නැත. තෙල් මිල පහළ යද්දී සවුදි අරාබියේ අයවැය හිඟය ඉහළ යයි. ඒ නිසා මේ ක්‍රීඩාවෙන් අන්තිමේදී සවුදි අරාබිය පැරදෙන්නටත් බැරි නැත.

ඇමරිකාව සහ සවුදි අරාබිය අතර මේ ක්‍රමෝපායික ක්‍රීඩාවේ ජයග්‍රහණය කාට හිමි වේදැයි කියන්නට තවමත් කල් වැඩිය. ඒ කවුරු වුවද, තරඟයේ ජයග්‍රහකයා තීරණය වීමට පෙර රුසියාව ඇතුළු තෙල් අපනයනය කරන වෙනත් රටවල් රැසකටම පැරදෙන්නට වන බවනම් සහතිකය.

(Image: www.uncommonwisdomdaily.com)

31 comments:

  1. වැදගත් ලිපියක් මචෝ.
    සුබ නත්තලක්.

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නත්තලක්, මහේෂ්!

      Delete
  2. ඉකෝ, මා කියවපු පරිදි ඇමෙරිකාව බොරතෙල් අපනයනය තහනම ඉවත් කරන්න සිතුවේ දැන් කලෙක සිට නේද? පෙබරවාරි වල ටයිම් මේක ඉඟි කෙරුවේ එය කාලයේ ප්‍රශ්නයක් විතරක් කියා.

    හැබැයි දැනට තියන තාක්ෂනය අනුව shale කැණීම් තෙල් වලින් ආර්ථිකව ලාභ ගන්න බැරලයක් අඩුම ගානේ ඩොලර් 70 කට වත් දෙන්න ඕනේ වගත් කියනවා. මේ නිසා මිල පහල යාම ඇමෙරිකානු ආර්ථිකයටත් දෙයාකාරයකින් (වත්) බලපාවි.

    කොහොමත් ඇමෙරිකානු ශේල් තෙල් නිෂ්පාදනය ගැන අනාවැකි කියා තියන Goldman Sachs/Capital economics වැනි ආයතන කියන්නේ 15-70% පමණ දක්වා නිෂ්පාදනය පහල වැටෙන්න හැකි වග. මොකද මිල ගොඩක් පහල වැටීමෙන්, මේවා එකොනොමිකල් නොවීමට ඉඩ ඇති නිසා.

    ReplyDelete
    Replies
    1. //ඉකෝ, මා කියවපු පරිදි ඇමෙරිකාව බොරතෙල් අපනයනය තහනම ඉවත් කරන්න සිතුවේ දැන් කලෙක සිට නේද? පෙබරවාරි වල ටයිම් මේක ඉඟි කෙරුවේ එය කාලයේ ප්‍රශ්නයක් විතරක් කියා.//

      ඔවු, රයිගම්. මෙය යම් නිශ්චිත සිදුවීමක් දෙස බලා හදිසියේ ගත් තීරණයක් නෙමෙයි. දිගුකාලීනව සැලසුම් කර වාසි අවාසි කිරා මැන බලා ගත් තීරණයක්. එසේ අවශ්‍ය වුණත්, ඇමරිකාවේ නීතියක් සම්මත කරන එක පහසු වැඩක් නොවෙයි. මේ විදිහට කල් ඇදෙන එක තමයි සාමාන්‍ය තත්ත්වය. මෙතෙන්දී මේ තහනම ඉවත් කිරීමට පැකිලෙන්න එක් හේතුවක් වුනේ එයින් සාමාන්‍ය පාරිභෝගිකයා ඉන්ධන සඳහා ගෙවිය යුතු මිල වැඩි විය හැකිය යන අදහස. එසේ වුණොත්, එය විශාල දේශපාලන ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම ප්‍රවාහන වියදම් ආදිය හරහා ආර්ථිකයටත් බලපානවා. නමුත්, ස්වාධීනව සිදුකළ අධ්‍යයන රැසකින්ම පෙන්නුම් කළේ දේශීය සිල්ලර මිල වැඩිවීමට ඉඩක් නැති බව සහ ඇතැම් විට අඩු විය හැකි බව. මේ නිසා බය ඇරුණා.

      දෙවනුව මෙතන පොඩි කඹ ඇදිල්ලක් තිබුණා. බොරතෙල් අපනයනය තහනම් වුණත් පිරිපහදු කළ තෙල් අපනයනය තහනම් වෙලා තිබුණේ නැහැ. මේ නිසා පිරිපහදුකරුවන් බොරතෙල් අඩුමිලට අරගෙන (නිෂ්පාදකයින්ට රටෙන් පිට විකිණිය නොහැකි නිසා) ජාත්‍යන්තර මිලට විකිණීම නිසා ඔවුන්ගේ ලාභ ඉහළ ගියා. මේ තත්ත්වය තුල ගුවන් යානා සමාගම් පවා තෙල් පිරිපහදු කරන්න පටන් ගත්තා. බොරතෙල් නිෂ්පාදකයින්ගෙන් මේ තහනම ඉවත් කිරීමට බලපෑම් එද්දී පිරිපහදු කරන්නන් විය යුතු පරිදිම එයට කැමැත්තක් දැක්වූයේ නැහැ. මේ නිසා බොරතෙල් නිෂ්පාදකයින් වැඩිපුර සිටින ප්‍රාන්ත නියෝජනය කරන අය සහ පිරිපහදු වැඩි ප්‍රදේශ නියෝජනය කරන අය දෙපිලකට බෙදීමකුත් වුණා. මේ දේවල් නිසා මේ තීරණය ප්‍රමාද වුණා. නැත්නම් මෙය හදිසියේ ගත් තීරණයක් නෙමෙයි.

      Delete
    2. //හැබැයි දැනට තියන තාක්ෂනය අනුව shale කැණීම් තෙල් වලින් ආර්ථිකව ලාභ ගන්න බැරලයක් අඩුම ගානේ ඩොලර් 70 කට වත් දෙන්න ඕනේ වගත් කියනවා. මේ නිසා මිල පහල යාම ඇමෙරිකානු ආර්ථිකයටත් දෙයාකාරයකින් (වත්) බලපාවි.//

      සාමාන්‍යයෙන් මිල අඩුවන විට අකාර්යක්ෂම නිෂ්පාදකයින් ස්වභාවිකවම වෙළඳපොළෙන් ඉවත් වෙනවානේ. එය මෙයටත් පොදුයි. එහෙත්, මෙහි ඇති වෙනස බොරතෙල් කැනීම හා අදාලව අකාර්යක්ෂමතාවය කියන්නේ ව්‍යවසායකයන්ගේ කාර්යක්ෂමතාව අඩුකම නොවීමයි. එය බොහෝ දුරට තෙල් නිධිය හා අදාළ ස්වභාවික කරුණක්. ශල්ක තෙල් බැරලයක් විකුණා ලාභ ලැබීමට පැවතිය යුතු අවම මිල කාර්යක්ෂමතාව අඩුම සම්ප්‍රදායික කැණීමකින් නිපදවන තෙල් බැරලයක පිරිවැයට වඩා සැලකිය යුතු ලෙස වැඩියි. මේ මිල ගැන ඩොලර් 55-75 අතර විවිධ ඇස්තමේන්තු තිබෙනවා. (සවුදි තෙල් බැරලයක නිෂ්පාදන පිරිවැය ඩොලර් 15කට වඩා අඩුයි.) කෙසේ වුවත් එය වත්මන් වෙළඳපොළ මිල වන (මේ වන විට අළුත්ම, අද 3% පමණ වැඩිවුණා) ඩොලර් 37ට වඩා පැහැදිලිවම වැඩියි. කෙසේ වුවත්, කෙටිකාලින නිෂ්පාදනය තීරණය වන්නේ ආන්තික පිරිවැය මත. එය ඩොලර් 30 පමණ හෝ එයටත් වඩා අඩු විය හැකියි. මේ නිසා ශල්ක තෙල් නිෂ්පාදකයින් නිෂ්පාදනයෙන් ඉවත් කිරීමටනම් මිල තව දුරටත් අඩුවිය යුතුයි. දැනට ඉදිකර ඇති කැනීම් අට්ටාල මෙසේ දිගටම නිෂ්පාදනයේ යෙදුණත් මේ මිල යටතේ අලුතින් ශල්ක කැණීම් අට්ටාල ඉදි කිරීම දිරිමත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මිල යටතේ වෙන්නේ දැනට ඉදිකර ඇති තෙල් අට්ටාල වලින් තවදුරටත් තෙල් නිපදවීම. ප්‍රශ්නය එළියට පෙනෙන්න ගන්නේ මේ වන විට කැණ ඇති ලිං වල ඵලදායිතාව අඩුවන විටයි. (එතෙක් මිල මේ මට්ටමේ තිබුණොත්) අපනයන තහනම ඉවත් කිරීම නිසා ක්ෂණිකව විශාල බලපෑමක් වෙන්නේ නැහැ.

      Delete
    3. //කොහොමත් ඇමෙරිකානු ශේල් තෙල් නිෂ්පාදනය ගැන අනාවැකි කියා තියන Goldman Sachs/Capital economics වැනි ආයතන කියන්නේ 15-70% පමණ දක්වා නිෂ්පාදනය පහල වැටෙන්න හැකි වග. මොකද මිල ගොඩක් පහල වැටීමෙන්, මේවා එකොනොමිකල් නොවීමට ඉඩ ඇති නිසා.//
      නිෂ්පාදනය තරමකට හෝ පහත වැටෙයි. මෙය 40%කට පමණ වඩා අඩු නොවිය හැකි බවයි මගේ දළ අදහස. මෙයට හේතුව ශල්ක තෙල් නිෂ්පාදකයින් අතරත් සමතුලිත (break even) මිල ඉතා අඩු අය සහ ඉතා වැඩි අය සිටින නිසා. ඩොලර් 55-75 ඇස්තමේන්තුව සාමාන්‍ය අගයක් මිස සියළු නිෂ්පාදකයින්ට පොදු අගයක් නෙමෙයි. ඒ වගේම, ඒ සමඟ මිල නැවතත් ඉහළ යන විට නිෂ්පාදනය නැවත යම් තරමකට ඉහළ යයි. මම මෙහි වැඩිපුරම දකින්නේ දිගුකාලීන බලපෑමක්. තෙල් මිල මේ මට්ටමේ දිගටම තිබිය හැකි නොවුණත් ඉදිරියේදී තෙල් මිල ශල්ක තෙල් නිෂ්පාදනයේ සාමාන්‍ය සමතුලිත (average break even) මිලට වඩා වැඩි නොවනු ඇති බව මගේ අදහසයි. විශේෂයෙන්ම, මේ ඇමරිකානු තාක්ෂණය ඉක්මණින් හෝ පසුවී යුරෝපයටත් යයි. එවිට මැදපෙරදිග රටවල් වලට ලෝක තෙල් වෙළෙඳපොළට කළ හැකි බලපෑම විශාල ලෙස සීමා වෙනවා. ඒ සමඟ ඒ කලාපයේ දේශපාලනික වැදගත්කමත් දැනට වඩා අඩුවිය හැකියි.

      Delete
  3. වැදගත් ලිපියක්. බොහෝ දේ දැනගත්තා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඉයන්! ඔබ යොමු කළ ලින්ක් එක මාව හිතන්න පෙළඹෙව්වා.

      Delete
  4. අති විශිෂ්ටයි.

    සීතල වතුර වීදුරුවක් බිව්ව වගේ දැනෙනවා. මෙවැනි සරල, ජාගොන් නැති, පැත්තකට ඇල නොවුනු ලිපි ඉංග්‍රීසියෙන් වත් ලිය වෙනවා අඩුයි.

    බොහොම කාලෙකට ඉස්සර මහ බැංකුවෙන් පළ වූ ආර්ථික විමසුම සඟරාවේ මෙවැනි ලිපි සිංහලෙන් පළ වුනා, ඒකාලේ අපට සමාජවාදී වෛරසය වැළඳිලා, අපිට සනීප වෙන කොට ඒ ලිපි ලියපු විද්වතුන්ට වරදාන දිලීර වැළඳිලා.

    ඒ කියන්නේ අපේ මැදපෙරදිග ගෘහ සේවිකා අර්බුදයටත්, අපි අනෙකුත් බොහොම අර්බුද වල දි යොදා ගත්ත කල් බැලීමේ විසඳුම ගැළපෙයි වගේ නේද?

    ReplyDelete
    Replies
    1. මහ බැංකුවෙන් දැනටත් සටහන සඟරාව පළ කරනවා. මැදපෙරදිග ගෘහ සේවිකා අර්බුදය, පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්නය, ලංකාවේ බැංකු සම්බන්ධ ගැටළු, බුද්ධි ගලනය වගේ දේවල් ගැන ලියන්නනම් ගොඩක් දේවල් තියෙනවා. මේවා ගැන කෙටියෙන් ලියන්න අපහසුයි.

      Delete
  5. සෞදිය සහ රුසියාව අතර විසාල අමනාපකම් තිබෙනවා නේද.... මතකද එවකට සෞදි බුද්දි ප්‍රදානී Prince Bandar bin Sultan 2113 රුසියවෙ සෝචී ශීත ඔලිම්පික් වලට ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනවා කියලා කල හැමොම දැනගත් රහස් ප්‍රකාසය?

    http://www.telegraph.co.uk/finance/newsbysector/energy/oilandgas/10266957/Saudis-offer-Russia-secret-oil-deal-if-it-drops-Syria.html

    එම කාලේ තෙල් බැරලය ඩොලර් 112. එදා සිට උදා වුනේ තෙල් බැරලයේ බැසීමේ කලාවයි.

    ලොකුම තෙල් නිශ්පාදකයෝ දෙදෙනා වයිරක්කාරයෝ කලාම, එවැනි රුසියා සෞදි අමනාපකම් මත අමෙරිකාවට ගේම ගහන්න පහසුයි නේද?

    ReplyDelete
    Replies
    1. සා රස: මෙතන ඇති ප්‍රශ්නය ඇමරිකාව කියන්නේ කවුද කියන එකයි. සවුදි තෙල් නිෂ්පාදනයෙන් 90%කට වඩා ඇත්තේ සවුදි රජයට අයිති සවුදි ඇරම්කෝ සමාගම සතුව. සවුදි රජය කියන්නේ සවුදි රජපවුල ලෙස සැලකිය හැකියි. රුසියානු තෙල් වලින් 50%ක් පමණ ඇත්තේ රජයේ පාලනය යටතේ. රුසියානු රජය කියන්නේ තනිකරම පුටින් නෙමෙයි. ඒ වුනත්, ඔහුට සැලකිය යුතු පාලනයක් තිබෙනවා. ඒත්, ඇමරිකාවේ රජයේ පාලනය යටතේ තෙල් නිපදවීමක් සිදුවන්නෙම නැහැ. ඇමරිකාවේ තෙල් නිෂ්පාදන පරිමා තීරණය කරන්නේ පෞද්ගලික සමාගම්. මිල තීරණය වන්නේ වෙළඳපොළ සාධක මත. මේවා තරඟකාරී සමාගම්. අකාර්යක්ෂම සමාගම් ස්වභාවිකවම වෙළඳපොළෙන් ඉවත්වන විට ඉතිරිවන වඩා කාර්යක්ෂම සමාගම්. ඔවුන් හැමවිටම ක්‍රියා කරන්නේ තාක්ෂණය උපයෝගී කරගනිමින් අනෙකුත් තරඟකාරී සමාගම් වලට සාපේක්ෂව කාර්යක්ෂමතාව ඉහළ නංවාගෙන පිරිවැය අඩුකර ගැනීම මඟින් ලාභ ලැබීමටයි. ඔවුන්ට යම් හෙයකින් දේශපාලනික අරමුණු ඇත්නම් ඒ මේ ප්‍රධාන අරමුණ ඉටුකර ගැනීම සඳහා වන ද්වීතියික අරමුණක් වශයෙන් පමණයි. දේශපාලනික අරමුණු ඇත්තේ ඇමරිකන් රජයටයි. දැන් සිදු වන නිෂ්පාදනය වැඩිවීම සහ මිල අඩුවීම ඇමරිකන් රජය විසින් ගත් කිසියම් ක්‍රියාමාර්ගයක සෘජු ප්‍රතිඵලයක් නෙමෙයි. සවුදියේ කරන ආකාරයට මේ සමාගම් වලට කෝටා නියම කිරීම ඇමරිකන් රජයට කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා මෙමඟින් ඇමරිකාවට සිදුවන වාසියකට ලැබිය යුතු ගෞරවයක් හෝ අවාසියක් වෙනුවෙන් ලැබිය යුතු දෝෂාරෝපණයකක් ඇමරිකන් රජයට හිමි විය යුතු නැහැ. ඇමරිකන් රජය වෙනුවෙන් වැඩ කරන ආර්ථික විශ්ලේෂකයෙකුට කළ හැක්කේත් ඔබ හෝ මා වැනි වෙනත් අයෙක් කරන්නාක් මෙන් දත්ත උපයෝගී කරගෙන විශ්ලේෂණ සහ පුරෝකථන කිරීම පමණයි. වත්මන් සහ පෙර පැවති ඇමරිකන් රජයයන් විසින් කර ඇත්තේ ඇමරිකාව තුළ ව්‍යවසායකයින් දිරිගන්වන, දේපල අයිතිවාසිකම් සුරකින වාතාවරණයක් පවත්වාගැනීමට උදවු කිරීම පමණයි (එය ඉතා වැදගත් දෙයක් තමයි). ඒ නිසා මේ තෙල් මිල අඩුවීම ඇමරිකන් රජය විසින් කෘතීම ලෙස ඇති කළ එකක් යන අදහස හිස් පඹයෙකුව යෝධයෙක් ලෙස දැකීමක්.

      රුසියා සෞදි අමනාපකම් ගැන බැළුවොත්, මෙය සැසඳිය හැක්කේ මේ රටවල් දෙකේ කාර්ටලයකින් ඇතිවිය හැකි ප්‍රතිඵලයට සාපේක්ෂව එවැන්නක් කොයිතරම් දුරකට ලෝක තෙල් මිලට සහ එනයින් ඇමරිකාවට බලපානවාද කියන කරුණ අනුවයි. මෙවැනි කාර්ටලයක් මෙතෙක් කල් සාර්ථක ලෙස ඇති වුනේ නැහැ. එයට හේතුව ඇමරිකන් රජයේ දේශපාලනික උපාය මාර්ගයක්ද නැද්ද යන කරුණ සාකච්ඡා කිරීමට කාලය යොදවනවාට වඩා මෙය ආර්ථික විද්‍යා න්‍යාය ඇසුරින් තේරුම් ගැනීම පහසුයි. සරලයි. මේ අවස්ථාවේ එවැනි කාර්ටලයක් ඇති වුණා කියා සිතමු. එවිට ඔවුන්ට එකතු වී නිෂ්පාදනය පාලනය කිරීමෙන් ලෝක තෙල් මිල අඩු කිරීමට හෝ වැඩි කිරීමට පුළුවන්. එසේ ඔවුන් නිෂ්පාදනය සීමා කිරීමෙන් තෙල් මිල වැඩි වුණොත් ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය තවත් වැඩි වෙනවා. එවිට මිල නැවතත් පහත වැටීමත්, මේ රටවල් දෙකේ වෙළඳපොළ පංගු (market share) වලින් කොටසක් ඇමරිකාව විසින් අයත්කර ගැනීමත් නිසා ඔවුන්ගේ අලාභය තවත් වැඩි වෙනවා. අනිත් අතට, ඔවුන් නිෂ්පාදනය වැඩි කර මිල තවත් පහත හෙළුවොත් ඔවුන් දැනට මුහුණ දෙන අර්බුද තවත් උග්‍ර වෙනවා. සවුදියේ රජයේ ආදායමෙන් 90% සහ අපනයන වලින් 88%ක් තෙල්. රුසියාවේ රජයේ අදායමෙන් 50% ක් සහ අපනයන වලින් 68%ක් තෙල්. සවුදිය සතුව එකතු කරගත් ධනයක් ඇතත් රුසියාව දැනටමත් ඉන්නේ අමාරු තත්ත්වයක. සවුදියටත් මේ වැඩේ දිගටම කරන්න බැහැ. ඇමරිකාවට තෙල් ඕනෑ කියන එකේ අනිත් පැත්ත තමයි තෙල් නිපදවන රටවල පැවැත්මට ඇමරිකාව විසින් තෙල් පරිභෝජනය කළ යුතුයි කියන කරුණ. ඔවුන්ගේ ආදායම රඳා පවතින්නේ ඇමරිකාව (සහ බටහිර යුරෝපය) විසින් තෙල් මිල දී ගැනීම මත. දැන් සිදු වී තිබෙන්නේ ඇමරිකාවට පෙර තරමට අනුන්ගේ තෙල් අවශ්‍ය නැති වීම. රුසියාව සහ මැදපෙරදිග ගත්තහම තවත් වෙනස්කමුත් තිබෙනවා. රුසියාව සතුව අත නොතැබූ තෙල් සංචිත තවත් බොහෝ තිබෙනවා. මැදපෙරදිග තෙල් ඉවර වුණත් මේවා ඉවර වෙන්නේ නැහැ. ඒත් මේ තෙල් සම්පත් ගොඩගැනීමට ඔවුන්ට ඇමරිකන් තෙල් සමාගම් සතු තාක්ෂණය අවශ්‍යයි. සම්බාධක නිසා දැනට මෙය වැලකී තිබෙනවා.

      Delete
  6. ස්තූතියි ඉකොමොමැට්ටො....සෑහෙන්න දේවල් ටිකක් දැනගත්තා වගේම කියවන්න ආසා හිතෙන විදිහට ලියලා තියෙනවා

    ReplyDelete
  7. බොහොම ආසාවෙන් කියවපු වැදගත් ලිපියක් ඉකෝන්ස්...බොරතෙල් මිල අඩුවීමට ෂේල් ඔයිල් නිෂ්පාදනය බොහෝසේ බලපෑවයි කියල තමයි අපි ඔය බ්‍රහස්පතින්දා හවසට පවත්වන සාද වලදි ඒ ගැන සාකච්ඡා කරනකොට පොදු මතය වුනේ. ඒත් ඒ එක්කම ඊට බලපෑ තවත් වැදගත් කරුණු රාශියක් ඔබේ ලිපියෙන් දැනගත්තා..ස්තූතියි ඔබට....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, රවී! බ්‍රහස්පතින්දා බොරතෙල් සාදයට සුබපැතුම්!

      Delete
  8. මං මෙච්චර කල් හිතන් හිටියේ සවුදි ආර්ථිකය ඇමරිකන්කාරයො මෙහෙයවනවා කියල .

    ReplyDelete
    Replies
    1. එහෙම කාලයක් තිබුණා තමයි, ඇනෝ. දැන් එය වෙනස් වෙලා ගොඩක් කල්. ඉඩ ලැබුණොත්, ඒ ඉතිහාසය වෙනස් වූ හැටි ගැන ලියන්නම්.

      Delete
  9. කොහොමද ඒ ගැහිල්ල.. රුසියාවට වඩා ළොකුයි ඉරිසියාව කියලා තියෙන්නේ ඒක නිසා වෙන්න ඇති.. කොහොම හරි යුධ ශක්තිය කෙසේ වෙතත්, ඇමරිකාව රුසියාවට බයයි. හේතුව මම හිතන්නේ පුටීන්ගේ පෞර්ෂත්වය. සමහර උන් ඉන්නේ කටින් අහල පහල උන් බය කරගෙන.

    එහෙම එකාට ටැක් ටික්ස් වලින් ගහන ගේමක් මේ. මැට්ටට අනේක වාරයක් තුති.. බොග දාන උන්ගේ චැට් එකකදි මම උඹව විශේෂයෙන් සඳහන් කළා.. මේ තරම් වටින ළිපි හින්ගලෙන් කොහේවත් නෑ.. බොග දාන උන් වශයෙන් ආඩමබරයෙන් කියන්නේ උඹ අපිට සම්පතක්

    ReplyDelete
    Replies
    1. මාතා, මෙතැනත් අර උඩින් සාරසගේ කමෙන්ට් එකට දැම්මා වගේ තියෙන ප්‍රශ්නය ඇමරිකාව කියන්නේ කවුද කියන එක. සාමාන්‍ය ඇමරිකානුවන් වෙතින් නම් (මා නිරීක්ෂණය කරන පරිදි) රුසියාවට බයක් පේන්නේ නැහැ. මා මෙය කියන්නේ නිරවි යුද සමයට සාපේක්ෂව. කොහොම වුවත්, කවර තත්ත්වයන් යටතේ වුණත් රුසියාව කියන්නේ යෝධයෙක් හෝ නිදිගත් යෝධයෙක්. රුසියාව දැනටත් ලෝකයේ විශාලතම රට. සමස්ත ගොඩබිම් වලින් අටෙන් එකක් අයිති රුසියාවට. ඒ නිසා රුසියාව සතු ඉන්ධන ඇතුළු ස්වභාවික සම්පත් ප්‍රමාණය ඉතා විශාලයි. රුසියානුවන් ජාතියක් වශයෙන් දක්ෂයි. අකාර්යක්ෂම ක්‍රමයක් වන සමාජවාදය යටතේ රුසියාවට සෑහෙන දුරක් යා හැකි වීමට රුසියානුවන්ගේ මේ නිර්මාණශීලීත්වයත් එක් හේතුවක්. ක්‍රමයේ සීමාවන් දක්වා ඔවුන් ඉදිරියට ගියා. අනෙක් අතට අවිආයුධ නිෂ්පාදනය අතින් රුසියාව තවමත් ඇමරිකාව කිට්ටුවටම ඉන්නවා.

      Delete
  10. ශෙල් ඔයිල් කියන්නෙ මොනවද? කරදරයක් නැත්තං පොඩි පැහැද්ලිකිරීමක්.......

    ReplyDelete
    Replies
    1. ශල්ක තෙල් (shale oil) ලෙස හැඳින්වෙන්නේ සම්ප්‍රදායික බොරතෙල් වලට විකල්පයක් ලෙස මෑත වසර කිහිපය තුළ සැලකිය යුතු ලෙස ප්‍රචලිත වුණු ඉන්ධනයක්. මේවා ලබා ගන්නේ තෙල් ශල්ක (oil shale) වලින්. තෙල් ශල්ක කියන්නේ කාබනික ද්‍රව්‍ය විශාල ලෙස අඩංගු පාෂාණ වර්ගයක්. මේ පාෂාණ රසායනික ක්‍රියාවලියකට ලක් කිරීමෙන් (අම්ලකර වායුව රහිතව අධික උෂ්ණත්වයකට ලක්කිරීම හයිඩ්‍රජන් එකතු කිරීම වැනි) ද්‍රව ඉන්ධනයක් බවට පත් කළ හැකියි. මේ ද්‍රව ඉන්ධනය පිරිපහදු කිරීමෙන් බොරතෙල් වලින් ලබාගන්නා ඉන්ධන වර්ග ලබා ගත හැකියි. මෙයට අමතරව තෙල් ශල්ක අතර සාමාන්‍ය බොරතෙලුත් රැඳී තිබෙනවා. මේ සාමාන්‍ය බොරතෙලුත් ඇතැම් විට ශල්ක තෙල් ලෙස හැඳින්වෙනවා. මේ හා අදාල තාක්ෂණික කරුණු ගැන මටත් විශාල දැනුමක් නැහැ. මෙය මා දන්නා තරමින් කෙටි පිළිතුරක්.

      Delete
  11. ඇමරිකාව තෙල් හැදුවාට ඒ ගොල්ලන්ටද තෙල් මදිය. ඒ නිසා ඇමෙරිකාව ඒගොල්ලන්ගේ යාළු චාවෙස්ගෙන් මෙන්ම සෞදි, ඉරාක තෙල් ද ගන්නේය. අවසානෙදී කවුරු කවුරුත් තෙල් ගන්නේ මැද පෙරදිගිනි. ඔපෙක් කාරයෝ නිකන් තෙල් දෙන්නේ නැතිය. ඒවාට ඩොලර් කොල ද විසි කල යුතුය.ඩොලර් හම්බ කරන්නේ ආයුධ විකුනලාය. ඒ ආයුධ විකුණනේද මැද පෙරදිගටය. මැරෙන්නෙද උන්මය. අනිත්මට තෙල් ටිකද නැත්තේය. ඩොලර්යි තෙලුයි දෙකම නවතින්නේ ඊශ්‍රායලයේ ය.

    ගාසා වලට නෙලීම හෙවත් තෙල් ආයුධ හුවමාරුව.

    ReplyDelete
    Replies
    1. //ඇමරිකාව තෙල් හැදුවාට ඒ ගොල්ලන්ටද තෙල් මදිය. ඒ නිසා ඇමෙරිකාව ඒගොල්ලන්ගේ යාළු චාවෙස්ගෙන් මෙන්ම සෞදි, ඉරාක තෙල් ද ගන්නේය.// මෙය නිවැරදිය. 2014 දත්ත අනුව, ඇමරිකාවේ තෙල් පරිභෝජන අවශ්‍යතා වලින් 73%ක් රට තුළ නිපදවා ගන්නා නමුත් 27%ක් ආනයනය කෙරේ. ආනයකික ප්‍රතිශතය පසුගිය වසර කිහිපය තුළ අඩුවෙමින් පවතින අතර 2015 වසරේදී තවදුරටත් අඩුවනු ඇත. විවෘත ආර්ථිකයක් ඇති රටක් වන ඇමරිකාව විසින් ලෝකයේ තෙල් නිපදවන රටවල් බොහොමයකින්ම යම් තරමකට හෝ තෙල් ආනයනය කරයි. (https://www.eia.gov/dnav/pet/pet_move_impcus_a2_nus_ep00_im0_mbblpd_a.htm)

      //අවසානෙදී කවුරු කවුරුත් තෙල් ගන්නේ මැද පෙරදිගිනි.//
      මෙය අර්ධ සත්‍යයකි. ඇමරිකාව ප්‍රධාන වශයෙන්ම තෙල් ආනයනය කරන්නේ කැනඩාවෙනි. 2014 වසරේදී මේ ප්‍රතිශතය 36.3%කි. වෙනිසියුලාව සහ උතුරු අප්‍රිකානු රටවල්ද ඇතුළත්ව සියළුම ඔපෙක් රටවලින් ආනයනය කර ඇත්තේ මීට වඩා අඩුවෙනි. සවුදි අරාබියෙන් ආනයනය කර ඇත්තේ 12.6%ක් පමණි. ඇමරිකා එක්සත් ජනපදයට ආසන්නව ඇති මෙක්සිකෝවෙන් සහ කොලොම්බියාවෙන්ද 12.6%ක් ආනයනය කර ඇත. ඉරාකයෙන් ආනයනය කර ඇත්තේ මුළු ආනයනික අවශ්‍යතාවයෙන් 4%ක් පමණි. සවුදි සහ ඉරාක තෙල් වලින් පිරිමසා ගන්නේ ඇමරිකානු පරිභෝජන අවශ්‍යතාවයෙන් 4.5% පමණ ප්‍රමාණයකි. එමෙන්ම, යුරෝපිය සංගමයේ ඉන්ධන අවශ්‍යතා ප්‍රධාන වශයෙන්ම සැපයෙන්නේ නොර්වේ ප්‍රධාන ස්කැන්ඩිනේවියානු රටවලින් සහ රුසියාවෙනි. 2014දී සියළුම මැදපෙරදිග රටවලින් ආනයනය කර ඇත්තේ ආනයනික අවශ්‍යතාවයෙන් 12.95%කි. (https://ec.europa.eu/energy/en/statistics/eu-crude-oil-imports)

      Delete
    2. //ඩොලර් හම්බ කරන්නේ ආයුධ විකුනලාය.//

      මේ කිසිම සොයා බැලීමක් නැතිව බොහෝ දෙනා විසින් පතුරුවන ජනප්‍රිය මිථ්‍යා මතයකි. ආයුධ අපනයනය අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ ඇමරිකාවයි. එහෙත්, මෙය විශේෂත්වයක් ඇති දෙයක් නොවේ. ලෝකයේ විශාලතම ආර්ථිකය වන ඇමරිකාව වෙනත් බොහෝ දේ අපනයනය කිරීමෙන්ද මුල්තැන සිටී. ස්වාධීන දත්ත අනුව (http://armstrade.sipri.org/armstrade/page/values.php), 2014 වසරේදී වෙනත් රටවලට ආයුධ විකිණීමෙන් ඇමරිකාව උපයා ඇති මුදල ඩොලර් බිලියන 10.8කි. (සංසන්දනාත්මකව, ඇමරිකන් ආර්ථිකය මෙන් 10%ක් පමණ වන රුසියාව උපයා ඇති මුදල ඩොලර් බිලියන 5.98කි.) 2014 වසරේදී ඇමරිකාවේ මුළු භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 2,343කි. (සේවා හැර භාණ්ඩ අපනයන ආදායම පමණක් ඩොලර් බිලියන 1,621කි.) මේ අනුව ආයුධ විකිණීමෙන් ඇමරිකාව උපයා ඇති මුදල මුළු අපනයන ආදායමෙන් 0.5%කටත් වඩා අඩුය. ආයුධ විකිණීමට ඇමරිකාවට සාපේක්ෂව වැඩි බරක් තබන රුසියාව වුවද මෙමඟින් උපයාගන්නේ මුළු අපනයන ආදායමෙන් 1.2%ක් පමණි. එමෙන්ම, ඇමරිකාවේ ආයුධ නිපදවන සමාගම් වල ප්‍රධානම ගැනුම් කරු ඇමරිකන් රජයයි. මේ සමාගම් වල ආදායමින් වෙනත් රටවලට අවි විකිණීමෙන් ලබාගන්නේ 15-17% අතර ප්‍රමාණයක් පමණි.

      Delete
    3. //ඒ ආයුධ විකුණනේද මැද පෙරදිගටය.// ඉරානය හැරුණු විට අනෙකුත් මැදපෙරදිග රටවල් සියල්ලම පාහේ ඇමරිකාවෙන් අවි මිලදී ගනී. ඉරාකය වැනි රටවල් (ලෝකයේ ලොකුම අවි ගැනුම්කරු වන ඉන්දියාව මෙන්) ඇමරිකාවෙන් මෙන්ම රුසියාවෙන්ද අවි මිලදී ගනී. මේ වනවිට ඇමරිකාවේ ප්‍රධානම අවි ගැනුම්කරු වී සිටින්නේ සවුදි අරාබියයි. ඔවුන් පසුගිය වසරේදී ඇමරිකාවෙන් ඩොලර් බිලියන 1.2ක අවි මිලදී ගෙන තිබේ. මැදපෙරදිග කලාපය ඇමරිකාව විසින් අවි සපයන ප්‍රධානම තැනක් වුවත් මැදපෙරදිගට යන්නේ ඇමරිකාව අපනයනය කරන අවි වලින් 30-40% පමණ ප්‍රමාණයක් පමණි. කෙසේ වුවද, 2014 වසරේදී ඇමරිකාව විසින් සවුදි අරාබියෙන් ඩොලර් බිලියන 47ක ආනයන (මුළුමනින්ම පාහේ තෙල්) සිදුකර ඇත. සවුදි අරාබියට ආයුධ විකිණීමෙන් උපයා ඇති මුළු මුදල වන ඩොලර් බිලියන 1.2 මේ වියදමෙන් 2.5%ක් පමණි. (http://www.trade.gov/mas/ian/build/groups/public/@tg_ian/documents/webcontent/tg_ian_003364.pdf)

      Delete
    4. ඉකොන්...

      දීර්ඝ ලෙස සංවාදයේ යෙදීමට නොහැකි උවත් මා මතුකරන චිත්‍රය ප්‍රතික්ශේප වී ඇතැයි මා සිතන්නේ නෑ....

      මා මතුකරන්නේ මැද පෙරදිග දේශපාලන හා සංග්‍රාමික වශයෙන අස්ථාවර කිරීමට ඇමෙරිකාව යෝදා ගන්න ක්‍රම උපාය තුල ඇත්තේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් නෙලිමේ කටයුත්තක් බවයි...

      1.පලවෙනි කාරනය නම් යුද්ධමය ව්‍යාකූලත්වයක්ට පත් කිරීම මගින් ශක්තිමත් මුස්ලිම් රාජ්‍ය බිද දැමීම හා එම මුස්ලිම් රාජ්‍යන්ගේ ආර්ථික අඩපණ කර මුස්ලිම් ව්‍යාප්තිවාදය අඩාල කිරීම හා තෙල් සම්පත පාලනය.

      2. ආයුධ සදහා වෙලදපොල පවත්වාගෙන යෑම.( මෙය හුදෙක් අමෙරිකාව මැදපෙරෙදිගට විකුණන ආයුද ලෙසම ලඝු කර යුතු නොවේ.....ත්‍රස්ත්‍රවාදය නෑමැති බිල්ලා මවා අමෙරිකානු රජයේ භාන්ඩාගාරයේ මුදල් ආරක්ශක වියදම් සදහා යොදා ගැනීමද මෙයට අයත්ය..)

      කාලය හරස් නිසා මාගේ අදහස මීට වඩා සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට අපහසු උනත් ඔබ ඉදිරිපත් කර ඇති දත්ත වලින් එයට බධාවක් නැතී බව මගේ හැඟිමයි... ලෝකයේ සමස්ථ නිශ්පාදන වියදමින් ආයුද වෙලදාමට අයත් වෙන්නේ 3% වඩා අඩු ප්‍රතිශතයක් උනත් එහි ලාභදායි බව සහ එයට සම්භන්ධ පුද්ගලයන්ගේ බලවත් භාවය රටවල දේශපාලන පොලිසි ඩිසිශන් සදහා හේතූ නොවන බව තීරනය කිරීමට ප්‍රමානවත් මදි බව මගේ හැඟීමයි.

      Delete
    5. එක ගල කුරුල්ලන් දෙදෙනෙකුට වැදීමනම් ලස්සනට සිදුවෙනවා.

      Delete
  12. මේ කමෙන්‍ටුව මම කොටලා තියෙනේ 2012 අර උඩ දාපු ලිපියටමයි

    //තව උදාහරන තියෙනවා..80 ගනන් වල සෝවියට් හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් එලවන්න, බින්ලාඩ්න් ඇතුලු මුජහිදීන් ගරිල්ලන්ට අයූද දුන්නේ ඇමෙරිකාව.ඒ වගේම දැන් සිරියාවේ කැරලි කරුවන්ටත් නේටෝ එක අයුධ දෙනව. කවද හරි මේ කට්ටියම ඇමෙරිකාවට විරුද්දව ආයුද අතට ගන්නවා. ඒතකොට ඇමෙරිකාව කරන්නේ දැන් ගසා වල්ට කරන වැඩේ ම තමයි....එගොල්ලන්ග එක්කෙනෙකුට අරගොල්ලන්ගේ සීයක් විතර දෙවියන් ගාවට යවනවා..එගොල්ලො ආගම නාමෙයන් දෙවියන් ගාවට යනවා..මෙගොල්ලන්ට තෙලුයි,ඩොලර් ටිකයි ගන්නවා..//

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget