Thursday, December 17, 2015

ඇමරිකානු ෆෙඩරල් සංචිත පොලී අනුපාතික ඉහළට...

ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුව විසින් අද දින (16 බදාදා) පැවති ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුවේ ඒකමතික තීරණය පරිදි ෆෙඩරල් පොලී අනුපාතික 0.25-0.50% මට්ටම දක්වා ඉහළ නැංවීය.

පසුගිය දශකයක පමණ කාලය පුරාවට ෆෙඩරල් සංචිත බැංකුව ගෙනගියේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියකි. මීට පෙර අවසන් වරට ෆෙඩරල් පොලී අනුපාතික ඉහළ දැමීමක් සිදු වූයේ 2006 ජුනි මස 26 වෙනිදාය. ඇමරිකාව මුහුණ දුන් ආර්ථික අවපාතයට ප්‍රතිචාර දක්වමින්, 2007 සැප්තැම්බර් සිට, ඒ වන විට 5.25% මට්ටමේ පැවති ෆෙඩරල් පොලී අනුපාතිකය කෙටි කාලාන්තර තුළ වරින් වර පහත හෙලනු ලැබූ අතර, හරියටම වසර හතකට පෙර 2008 දෙසැම්බර් මස 16 වන දින නාමික පොලී අනුපාතික සෛද්ධාන්තිකව පහත හෙළිය හැකි අවම සීමාව දක්වා අඩු කෙරිණි. එදා මෙදා තුර වසර හතක් පුරා ෆෙඩරල් පොලී අනුපාතික පැවතියේ 0-0.25% මට්ටමේය.

මහ බැංකුවක නාමික පොලී අනුපාතික ශුන්‍ය මට්ටමට පහත හෙළූ විට මුදල් ප්‍රතිපත්ති තවදුරටත් ඵලදායී නොවේ. මෙය එක්තරා ආකාරයකින් මහ බැංකුවේ අවි ගබඩාවේ ඇති අවි අවසන් වීමකි. පොලී අනුපාතික සෘණ අගයකට ගෙන ආ විට බැංකුවක මුදල් තබනවාට වඩා මුදල් අතේ තබා ගැනීම වාසිදායක වන බැවිනි. පොලී අනුපාතික මේ අවම සීමාවට රැගෙන ඒමෙන් අනතුරුවත් ආර්ථික අවපාතයක් අවසන් නොවීම ශුන්‍ය අවම සීමා ගැටළුව (Zero lower bound problem) ලෙස හැඳින්වේ. මෙවැනි තත්ත්වයකට පත් වූ විට ආර්ථික අවපාතයකින් ඉක්මණින් ගොඩ ඒම සඳහා රටකට ඇති එකම ප්‍රායෝගික ක්‍රමය ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල (ෆිස්කල්) ප්‍රතිපත්තියයි. පසුගිය කාලයේ ඇමරිකාව අනුගමනය කළ ක්‍රමෝපායය වූයේ මෙයයි. කෙසේ වුවද රාජ්‍ය මූල ප්‍රතිපත්තිය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් මෙමඟින් කෙටිකාලීනව ලැබෙන වාසියට වඩා දිගුකාලීන හානියක් විය හැකිය.

රාජ්‍ය මූල ප්‍රසාරණය හේතුවෙන් 2009 වසරේදී ඇමරිකාවේ ෆෙඩරල් අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදිතයෙන් 9.8%ක් දක්වා ඉහළ ගියේය. එහෙත්, 2014 වසර වනවිට මේ හිඟය 2.8% මට්ටමට අඩු කර ගැනුණු අතර ලබන වසර වන විට 2.5% මට්ටමට අඩු කර ගැනීමට සැලසුම් කර තිබේ. එමෙන්ම, ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ක්‍රියාමාර්ග ගත් පසුගිය කාලය තුල පටු මුදල් සැපයුම (M1) එ.ජ. ඩොලර් බිලියන 1.4 පමණ සිට බිලියන 3 මට්ටම පසුකරමින් දෙගුණය ඉක්මවා වර්ධනය විය. මුදල් සැපයුමේ මේ විශාල වර්ධනය තවමත් මිල මට්ටම් ඉහළ යැවීමට හේතු වී නැත. දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වීමෙන් ෆෙඩරල් සංචිත බැංකුව අපේක්ෂා කරන්නේ මුදල් සැපයුමේ වර්ධනය සීමා කරමින් උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමයි. මේ ආරම්භක පියවරෙන් අනතුරුව ඉදිරි කාලයේ පොලී අනුපාතික තව දුරටත් ඉහළ දමනු ලැබීම අපේක්ෂා කළ හැකි දෙයකි.

පසුගිය කාලයේදී ඇමරිකාව අනුගමනය කළ ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල ප්‍රතිපත්ති සහ ලිහිල් මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් අයවැය හිඟය මෙන්ම ෆෙඩරල් බැංකුවේ සංචිත මුදල් සැපයුමද විශාල ලෙස ඉහළ ගියේය. ඇතැම් අය අනාවැකි පළකළේ මේ හේතුවෙන් ඇමරිකාව වඩා විශාල, ගොඩ යා නොහැකි ආර්ථික අර්බුදයක හිරවනු ඇති බවයි. කෙසේවුවද, ඇමරිකානු ආර්ථිකය නැවතත් සාර්ථක ලෙස හිස ඔසොවා ඇති බව දැන් පැහැදිලිය. 2009 ඔක්තෝබර් වන විට 10% මට්ටමට ඉහළ ගිය විරැකියා අනුපාතිකය මේ වන විට 5% මට්ටම දක්වා අඩුවී තිබේ. මෙය ඇමරිකාවේ පියවි විරැකියා අනුපාතිකය ලෙස ඇස්තමේන්තු කර ඇති  5.2%ට වඩා අඩු අගයකි. එමෙන්ම මේ වසරේදී 2% ඉක්මවූ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරෙන අතර ලබන වසරේදී මේ වර්ධනය 2.2-2.6% මට්ටමට ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වන විට ඇමරිකාවේ උද්ධමනය ඇත්තේ 0.5% මට්ටමේය. මෙය දිගුකාලීන ඉලක්කය වන 2% මට්ටමට වඩා තවමත් බෙහෙවින්ම පහළින් ඇතත් මේ වන විට ඉතා අඩු මට්ටමක ඇති ඉන්ධන මිලෙහි බලපෑම ඉවත් වූ විට උද්ධමනය ඉලක්ක මට්ටමට ළඟා වනු ඇතැයි ෆෙඩරල් සංචිත බැංකුව අපේක්ෂා කරයි. ඒ අනුව, දශකයකට ආසන්න කාලයක් පැවති ලිහිල් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා පළමු පියවර මෙසේ තබා තිබේ. මේ වැඩිවීම මූල්‍ය වෙළඳපොළ ක්‍රියාකාරීන් බලාපොරොත්තුවෙන් සිටි බැවින් කොටස් වෙළඳපොළ අගයේ සුළු වැඩිවීමක් හැරුණු විට මේ තීරණයෙන් මූල්‍ය ක්ෂේත්‍රයෙහි සැලකිය යුතු  කම්පනයක් ඇති වූයේ නැත.

ඇමරිකා ආර්ථිකය මෙසේ ශක්තිමත් වූවද යුරෝපා ආර්ථිකය තවමත් ඔවුන්ගේ අර්බුද වලින් මිදී නොමැති නිසා යුරෝ කලාපයේ මෙවැනි පොලී අනුපාතික ඉහළ යාමක් ළඟකදී බලාපොරොත්තු විය නොහැක. මේ අනුව ඇමරිකාව සහ යුරෝ කලාපය අතර පොලී අනුපාතික වෙනස ඉහළ යාම හේතුවෙන් ප්‍රාග්ධනය යුරෝ කලාපයේ ඇමරිකාව වෙත ඇදී ඒම නිසා ඇමරිකානු ඩොලරය යුරෝවට සාපේක්ෂව තව දුරටත් ශක්තිමත් වනු ඇත. ඇත්තටම, මේ පොලී අනුපාතික ඉහළ යාම අපේක්ෂා කළ එකක් වූ බැවින් විණිමය අනුපාතික ෆෙඩරල් තීරණයට පෙරම ප්‍රතිචාර දැක්වීය. අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක සියල්ලටම පාහේ සාපේක්ෂව ඇමරිකානු ඩොලරය පසුගිය මාස කිහිපය තුල ශක්තිමත් විය.

මෙසේ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම පසුගිය මාස ගණනාවක් මුළුල්ලේම අවප්‍රමාණය වෙමින් පවතින ශ්‍රී ලංකා රුපියල තව දුරටත් අවප්‍රමාණය වීමට හේතු වනු ඇත. ඇමරිකාවට සිදු කරන ආනයන ඉහළ යාමෙන් ගෙවුම් ශේෂයට යම් වාසිදායක බලපෑමක් සිදුවිය හැකි වුවත් රුපියල තව දුරටත් අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට මේ බලපෑම ප්‍රමාණවත් නොවනු ඇත.

මේ ලිපිය දිනක් පසු වී 17 දින පළ වනු ඇත.

(Image: http://www.financemagnates.com/)


30 comments:

  1. මේවා ගෙන මමනම් දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි, මහේෂ්! මේවා නොතේරීම ඔබේ වරදක් නෙමෙයි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ මූලික ආර්ථික විද්‍යා සංකල්ප ටිකක්වත් ඉගෙන ගන්න බොහෝ දෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ආර්ථිකය වැඩ කරන හැටි දන්න අය බහුතරයකගේ නොදැනුවත්කමින් ප්‍රයෝජන ගන්නවා. ඇතැම් රටවල ආර්ථික විද්‍යා සංකල්ප උගන්වන්න පටන්ගන්නේ ප්‍රාථමික පන්ති වලදී.

      Delete
  2. කියෙව්වා ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඉයන්! ඔබ ගොඩක් තැන්වල ගිහින් කරන පැහැදිලි කිරීම් කිරීම සතුටට කරුණක්.

      Delete
  3. ආයකට්ටෙ ඉඳල කාරෙක දක්වා හැම ..ත්තක්කම පිට රටින්ගම ගෙනෙන සිරි ලංකාවට අබ සරනම තමයි

    ReplyDelete
    Replies
    1. එහෙම ගේන්න වෙලා තියෙන එක විණිමය අනුපාතිකයටත් සම්බන්ධ දෙයක්, ඇනෝ. ආයකට්ටක්වත් පිටරටින් ගන්න බැරි තරමට රුපියල වැටුණු දවසක ඕවා ලංකාවේ හැදෙයි.

      Delete
  4. ඔබ ඉතා හොඳ අවබෝධයකින් ලියපු බව පෙනෙනවා. උදාහරණයක් දෙකක් යොදා ගත්තා නම් වැඩි දෙනෙකුට තේරුම් ගන්න පහසු වෙන්න තිබුනා. ඔබේ මහන්සියට අපේ උපහාරය. ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, උපුල්! වැඩි පැහැදිලි කිරීමක් තිබුණොත් හොඳයි කියල හිතෙන දේවල් සටහන් කරන්න. ඉඩ ලැබෙන පරිදි විස්තර කරන්නම්.

      Delete
  5. ජාත්‍යන්තර වෙළඳ කටයුතු බොහොමයක් ඇමරිකන් ඩොලර් හරහා "නාමිකව හෝ" කෙරෙන විට, වෙන මොනවා වුනත්, ඇමරිකන් ඩොලරයේ වටිනාකම අඩු නොවෙන බව මගේ අදහසයි.

    පසුගිය වසරක දෙකක පමණ කාලය තුළ ඔසී ඩොරලය, ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව 1/3 ක් බාල්දු වුණා. දැන් තවත් තත්වය නරක වේවි.

    වැඩේ කියන්නේ ඕස්ටේ‍ර්ලියාවේ පොලී අනුපාතිකය වැඩි වෙන කොටත්, ඇමරිකන් ඩෙලරය ඉහල යනවා. ඇමරිකාවේ පොලී අනුපාතිකය වැඩි වෙන විටත් වෙන්නේ ඒකමයි!!!

    ReplyDelete
    Replies
    1. //ජාත්‍යන්තර වෙළඳ කටයුතු බොහොමයක් ඇමරිකන් ඩොලර් හරහා "නාමිකව හෝ" කෙරෙන විට, වෙන මොනවා වුනත්, ඇමරිකන් ඩොලරයේ වටිනාකම අඩු නොවෙන බව මගේ අදහසයි.//

      එක පැත්තකින් මෙතන තියෙන්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අනිත් මුදල් ඒකක දෙස බලන්න පුරුදු වීමේ ප්‍රශ්නය. හරියට ඇපල් ගෙඩිය පොළොවට ඇදෙනවා පෙනුනට පොළොව ඇපල් ගෙඩියට ඇදෙන එක පේන්නේ නෑ වගේ. නමුත් ඕස්ට්‍රේලියාව කියන්නේ ඇමරිකාව එක්ක ගත්තහම ඇපල් ගෙඩියක් නෙමෙයි. ඇත්තටම ඇමරිකානු ඩොලරයටත් අනිත් මුදල් වලට බලපාන තත්ත්වයන් බලපානවා. ඇමරිකාව ලංකාවට සාපේක්ෂව යෝධයෙක් වුනත් අනෙත් ප්‍රධාන ආර්ථික වලට සාපේක්ෂව තරමක් උස වැඩි සාමාන්‍ය මනුස්සයෙක්. යුරෝ කලාපය ඇමරිකාව තරමටම ලොකුයි. ඒ නිසා ගුරුත්ව බලපෑම ආසන්නව සමානයි. ඇමරිකාව ඕස්ට්‍රේලියාව වගේ දහ ගුණයක් විශාල ආර්ථිකයක්. ඒ නිසා ඇමරිකාවේ වෙනසක් නිසා ඕස්ට්‍රේලියාවට දැනෙන කම්පනය එහි අනිත් පැත්තට වඩා දහගුණයක් වැඩියි. ඒ වුණත් ඕස්ට්‍රේලියාවේ සිදුවන දෙයක් නිසා ඇමරිකාවට සිදුවන කම්පනයත් සුළුවෙන් වුණත් දැනෙන තරමේ එකක්. ඕස්ට්‍රේලියානු ආර්ථිකය සාපේක්ෂව හොඳ වන විට එය ඇමරිකානු ඩොලරයටත් බලපානවා.

      //පසුගිය වසරක දෙකක පමණ කාලය තුළ ඔසී ඩොරලය, ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව 1/3 ක් බාල්දු වුණා. දැන් තවත් තත්වය නරක වේවි.//
      මේක ඇත්ත. එය සිදු වේවි.

      Delete
    2. //වැඩේ කියන්නේ ඕස්ටේ‍ර්ලියාවේ පොලී අනුපාතිකය වැඩි වෙන කොටත්, ඇමරිකන් ඩෙලරය ඉහල යනවා. ඇමරිකාවේ පොලී අනුපාතිකය වැඩි වෙන විටත් වෙන්නේ ඒකමයි!!!//

      එහෙම වෙන්නේ නැහැ. අපේ මතකයන් හැමවිටම නිවැරදි නැහැ. ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාතික සහ විණිමය අනුපාතික අතර සම්බන්ධතාවය සරල භෞතික විද්‍යා න්‍යායයක් විද්‍යාගාර නොවන තත්ත්වයක් තුළ පැහැදිලි වන තරමේ නිරවද්‍යතාවයකින් පැහැදිලිව දැකිය හැකියි. පසුගිය වසර දහය දෙස බැලුවොත් 2006 මුල රටවල් දෙකේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ආසන්නව සමානව තිබුණු අතර (5.25/5.5%) විණිමය අනුපාතිකය 1.36 පමණ වුණා. මේ එතැන් පටන් සිදු වූ දෙයයි. මෙහිදී මා පහසුවට නාමික පොලී අනුපාතික යොදාගත්තත් ඇත්තටම බැලිය යුත්තේ මූර්ත පොලී අනුපාතික දෙසයි. කොහොම වුනත් නාමික පොලී අනුපාතික දෙස බැලුවත් කතාව පැහැදිලියි.

      2006 ජනවාරි- 2008 අගෝස්තු: ඕස්ට්‍රේලියාව දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් පොලී අනුපාතික 7.25% දක්වා ඉහළ දැම්මා. ඇමරිකාවේ පොලී අනුපාතික මුලින් ස්ථාවරව තිබී පසුව ආර්ථික අවපාතය හමුවේ මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරනු ලැබ 2% දක්වා පහත හෙලනු ලැබුවා. මේ කාලය තුල ඕස්ට්‍රේලියාව වෙත ප්‍රාග්ධනය ගලා යාම නිසා ඔසී ඩොලරය ශක්තිමත් විය යුතුයි. ඒ අනුව ඔසී ඩොලරයේ අගය 1.02 පමණ දක්වා 33% පමණ ඉහළ ගියා. ඇමරිකානු ඩොලරය පිරිහුණා.

      2008 අගෝස්තු- 2009 මාර්තු: ඔසී පොලී අනුපාතික 7.25% සිට 3% දක්වා ඉතා කෙටි කලක් තුළ පහත හෙලුවා. ඇමරිකානු පොලී අනුපාතිකත් 2% සිට ශුන්‍ය මට්ටම දක්වා තව දුරටත් පහත හෙළුවත් මෙය පැවති ලිහිල් මුදල් ප්‍රතිපත්තියම පවත්වා ගැනීමක් නිසා අනපේක්ෂිතව තිබුණු දෙයක් නොවෙයි. අනපේක්ෂිත ලෙස ඔසී මුදල් ප්‍රතිපත්තිය ලිහිල් වී ඔසී පොලී අනුපාතික සීග්‍රයෙන් පහත වැටීමත් සමඟ ප්‍රාග්ධනය ඉවතට ගලා යාම නිසා ඔසී ඩොලරය පිරිහිය යුතුයි. මේ කාලය තුල ඔසී ඩොලරය 1.56 මට්ටම දක්වා 35% පමණ පිරිහුණා.

      2009 මාර්තු-2011 අගෝස්තු: නැවතත් ඕස්ට්‍රේලියාව දැඩි මුදල් ප්‍රතිපත්තියකට මාරු වුනා. ඔසී පොලී අනුපාතික 4.75% දක්වා ඉහළ ගියා. මේ කාලය තුල ඇමරිකානු පොලී අනුපාතික වල වෙනසක් වුනේ නැහැ. ඇත්තටම කියනවානම් ශුන්‍ය මට්ටමේ පැවති නිසා තව දුරටත් ලිහිල් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. මේ අනුව පොලී අනුපාතික වෙනස ඕස්ට්‍රේලියාවට වාසිදායක ලෙස වැඩිවුනා. ඒ අනුව, ඔසී ඩොලරය ඇමරිකානු ඩොලරය අභිබවමින් 0.93 පමණ දක්වා 68% කින් පමණ ශක්තිමත් වුනා.

      2011 අගෝස්තු- 2015 දෙසැම්බර්: ඔසී පොලී අනුපාතික 4.75% සිට 2% දක්වා වරින් වර පහත හෙලනු ලැබුවා. ඇමරිකානු පොලී අනුපාතික වල වෙනසක් වුනේ නැහැ. මේ නිසා ඕස්ට්‍රේලියාවට පැවති වාසිදායක තත්ත්වය නැති වී ප්‍රාග්ධනය නැවත පිටතට ඇදිය යුතුයි. ඒ අනුව ඔසී ඩොලරය නැවතත් 1.36 පමණ දක්වා 32% පමණ පිරිහුණා.

      2015 දෙසැම්බර් සිට ඉදිරිය: ඇමරිකානු පොලී අනුපාතික ඉහළ යාමට නියමිත බැවින් ඔසී ඩොලරය තව දුරටත් පිරිහෙනු ඇත. එහෙත් මෙය සීමාරහිතව සිදු වීමට ඉඩක් නැත. ලොව පුරා පහසුවෙන් සංසරණය වන ප්‍රාග්ධනය යම් ප්‍රමාණයක් තිබේ. පසුගිය කාලයේ පැවති පොලී අනුපාතික වාසිය මත ඕස්ට්‍රේලියාවට මේ ප්‍රාග්ධනය විශාල ලෙස ඇදගත හැකිවිය. මේ වන විටත් මේ ප්‍රාග්ධනය විශාල වශයෙන් ඉවත් වී ඇති බව මගේ අදහසයි. එය තව දුරටත් සිදුවනු ඇත. ඉන්පසුව ඉතිරි වන ස්ථාවර ප්‍රාග්ධනය පොලී අනුපාතික වෙනස් වුවද එතරම් පහසුවෙන් ඉවත් නොවන නිසා (වෙනත් හේතු මත) විණිමය අනුපාතික පිරිහෙනු ඇත්තේ එක්තරා මටටම්ක් දක්වා පමණි. ඉදිරි වසර තුළ අනිවාර්යයෙන්ම ඇමරිකානු පොලී අනුපාතික තව දුරටත් ඉහළ යනු ඇත. ඕස්ට්‍රේලියානු පොලී අනුපාතික තවදුරටත් සුළුවශයෙන් අඩු වීම හෝ බොහෝ විට 2% මට්ටමේ ස්ථාවරව ටික කලක් තිබෙනු ඇති බව මගේ දළ අදහසයි. මේ ගැන මට ලොකු අදහසක් නැත. මේ අනුව මා සිතන පරිදි ඉදිරි වසර තුළ ඔසී ඩොලරය තව දුරටත් පිරිහෙනු ඇත.



      Delete
    3. කාල සීමා සහ සංඛ්‍යා ඉදිරිපත් කර ඇත්තේ දළ වශයෙනි. වඩා හොඳින් ප්‍රස්ථාරයකින් පැහැදිලි කිරීමට වෙලාවක් නැත.

      Delete
    4. මේ වගේ කරුණු මතු කරනවාට ස්තුතියි, රසික!

      Delete
  6. හොඳ පැහැදිලි කිරීමක්, ස්තුතියි අපිව දැනුවත් කලාට...

    ඇත්තටම බැලුවොත් ඇමරිකාවට නම් හෙණ ගැහුවත් අපිට කමක් නැහැ, දැන් අපේ සුපියලට මක්කා වෙයිද... ;(

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා: අපේ අපනයන වලින් 25% ක්ම මිලදී ගන්නේ ඇමරිකාවයි. එක්සත් රාජධානිය තවත් 10% කුත්, යුරෝපීය සංගමයේ රවවල් 21% කුත් මිල දී ගනිති. අපේ ඇඟලුම් වලින් 42.5%ක් මිල දී ගන්නේ ඇමරිකාවයි. ඇමරිකාව මේ තරම් අපේ බඩු ගත්තත් අපි ඇමරිකාවෙන් ආනයනය කරන්නේ 3%ක් පමණි. ලංකාවට ලැබෙන ඩොලර් විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ ඇමරිකාව සමඟ ඇති මේ වාසිදායක වෙළඳ ශේෂය නිසාය. දෙවනුව එක්සත් රාජධානිය ඇතුළු අනෙක් යුරෝපීය රටවලිනි. මැදපෙරදිගින් ලැබෙන ඩොලර් බොහෝ දුරට තෙල් ගැනීමට නැවත වියදම් කළ යුතුය. මේ මුදල් අපි ප්‍රධාන වශයෙන්ම වියදම් කරන්නේ ඉන්දියානු සහ චීන ආනයන වෙනුවෙන්ය. ඉන්දියාව අපෙන් ආනයනය කරන්නේ අප ඔවුන්ගෙන් ආනයනය කරනවාට වඩා ඉතා අඩු ප්‍රමාණයකි. චීනය ඉන්දියාව තරම්වත් ආනයනය නොකරන අතර සැලකිය යුතු තරමේ දෙයක් අපෙන් මිල දී නොගනී. මේ නිසා ඇමරිකාවට හෙණ ගැහුවොත් අපේ රුපියලටත් විදුලි සැර වදී.

      Delete
  7. http://www.ft.lk/article/397101/Prof--Lalith-Samarakoon--As-US-interest-rates-rise--no-space-for-Sri-Lanka-to-wait-and-see

    ReplyDelete
    Replies
    1. Uditha: LS is a senior academic with his research expertise in this area combined with some policy related practical experience. WAW is one of the best economists SL has ever produced with sound theoretical knowledge, practical experience and the wisdom to foresee future using science. I was reading this FT article series from the beginning but missed it during the recent months somehow. This is one of the costs of substituting my FB time to spend on Sinhala blogs. This article is a very clear, detailed description of the situation. WAW is a very good teacher and uses a simple language to explain complex concepts. However, this simplicity also has limits. To benefit from WAW's articles one must know some basic economic concepts and also should be able to read and understand English. My original intention when starting this blog was to deliver something to a group who misses the messages in this type of articles. I had no option but to deviate from the original objective until attracting the right audience but I still try to package economics with other things expecting to attract an audience who wouldn't otherwise be interested in economics.

      Delete
  8. නොතේරෙන දේවල් නිවිහැනහිල්ලේ කියවන්න ඕන... ආයෙත් එන්නම්...

    ReplyDelete
    Replies
    1. වැඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය තැනක් තියෙනවනම් කියන්න, සජ්ජා.

      Delete
  9. සුපියල පාවෙන්න දාලා, අන්තීමට නූල කැඩිච්ච සරුංගෝලේ වගේ හොයා ගන්නම බැරි වෙන්න පාවෙලා යයිද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මේක මාතා මුලින්ම රුපියල පා කරන්න තීරණය කරන වෙලාවේ ඒ සඳහා සම්බන්ධ වුන අයටත් මතු වුනු ප්‍රශ්නයක්. ඒත් ඒක එහෙම වෙන්නෙත් නෑ වුනෙත් නෑ. එය යන්නේ එය තිබිය යුතු තැනට. රබර් බෝල වතුර යට ටික කලක් ඔබාගෙන හිටිය හැකියි. ඒත් අත ඇරපු ගමන් උඩට එනවා. මෙයින් මම කියන්නේ රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය නොවෙයි කියා හෝ අර්බුදයක් මතුවෙන්න ඉඩක් නැහැ කියා නෙමෙයි. එවැන්නක් සිදුවෙනවානම් වෙන්නේ ආර්ථිකයේ ආකෘතිමය ප්‍රශ්න නිසා. රුපියල අවප්‍රමාණය වීම නෙමෙයි ප්‍රශ්නය එය වෙන්නේ ඇයි කියන කරුණ. ඒ නිසා පෙනඩෝල් දීලා උණ බැස්සුවත් ලෙඩේ එහෙම්මමයි. උණ තියෙන කොට අඩුගානේ ලෙඩේ පේනවා.

      Delete
  10. ඔය ෆෙඩරල් රිසවු එක ගැන මමඅහල තියෙනවා
    මම හිතකන්නේ ඔක ගොඩක් රටවල ආර්ථික පාලනයට යොදාගෙන තියෙන ගැටයක් කියල් අහල තියෙනව ඒත් ඇත්ත දන්නේ නැ

    http://www.conspiracyarchive.com/NWO/Federal_Reserve_McFadden.htm

    ReplyDelete
    Replies
    1. ලෙවියාතන්, ෆෙඩරල් රිසවු එක කියන්නේ ඇමරිකාවේ මහ බැංකුව. එයට වෙන රටවල ආර්ථිකයට (කෙළින්ම) බලපෑමක් කරන්න බැහැ. මැක්ෆාඩන්ගේ මේ කතාව අවුරුදු අසූවකට පෙර කළ එකක්. පළමුව, මේ වන විට ඇති ලෝක ආර්ථික ක්‍රමයට එහි ඇති ගොඩක් දේවල් අදාළත් නැහැ. දෙවනුව, ඔහු මෙහි චෝදනා කරන්නේ ෆෙඩරල් රිසවු එක ඇමරිකාවේ යහපත වෙනුවෙන් වැඩ කරන්නේ නැති බවට. එය වෙනත් රටවලට අදාල කරුණක් නෙමෙයි.

      Delete
  11. මෙවනි කරුනු ගැන පුලුල් දැනුමක් මටනම් නෑ.ඔබ අප වෙනුවෙන් බොහෝ කරුනු සොයාගෙන ඉතා මහන්සියෙන් ලිපිය සකස් කල බව වැටහෙනවා.මුලින්ම ඒ වෙනුවෙන් ස්තුතිය..

    ...//ඇමරිකානු ඩොලරය යුරෝවට සාපේක්ෂව තව දුරටත් ශක්තිමත් වනු ඇත//...

    ඩොලරයේ ශක්තිමත් වෙනවා කියන්නේ රුපියලේ අගය තවදුරටත් පහල වැටෙනවා කියන එක නේද ?.

    ReplyDelete
    Replies
    1. ඔවු, මනෝ රුපියලට අහිතකර ලෙස බලපානවා කියන එක තමයි. මෙයනම් ඇත්තටම මහන්සි වී ලියූ එකක් නෙමෙයි. ලොකු දෙයක් ලියන්න වෙලාව නැති නිසා ලියූ එකක්.

      Delete
  12. ඩොලර් එකට විකල්ප මුදල් ඒකකයක් හදන්න ගියපු එක ඇමෙරිකාව ගඩාපිව පරලෝකේ යවන්න හේතුවක් කියල අහල තියෙනව.ඇත්තටම තෙල් මිලේ සීග්‍ර පහල බැසීම ඇමරිකන් ආර්ථිකේට පහරක් නෙමේද ?

    ReplyDelete
    Replies
    1. පළමුවම, තෙල් මිල පහළ යන්නේ ඇයි කියන එක ඔබ දන්නේ නැති බව පේනවා. ලෝක තෙල් මිල මේ තරම් පහල ගොස් ඇත්තේ ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය විශාල ලෙස වැඩි වුනු නිසයි. ඇමරිකාව කියන්නේ විශාලතම තෙල් නිෂ්පාදකයෙක් වුනත් ඇමරිකාවේ තෙල් පරිභෝජනය ඊට වඩා වැඩියි. ඒ නිසා ඇමරිකාව තෙල් ආනයනය කරන රටක්. තෙල් මිල වැඩි වීම ඇමරිකන් ආර්ථිකයට විශාල වාසියක්. ඒ වගේම මෙය යුරෝපීය රටවලට, චීනයට, ඉන්දියාවට මෙන්ම ලංකාවටත් වාසියක්. තෙල් මිල අඩුවීමෙන් අවාසිය තෙල් අපනයනය කරන රටවලටයි. මෙයින් වැඩිපුරම අර්බුදයට ගොස් ඇත්තේ රුසියානු ආර්ථිකය. ඒවගේම මෙය අනෙක් තෙල් අපනයනය කරන රටවල් වන වෙනිසියුලා, නයිජීරියා සහ මැදපෙරදිග රටවල ආර්ථිකයන්ට විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා.

      Delete
  13. ඉකොනොමැට්ටා,

    ඔබේ අඩවියෙන් කල උපුටාගැනීම මට වැටහෙන ලෙස.
    http://lankasithuwili.blogspot.com/2015/12/blog-post_18.html

    ReplyDelete
  14. මේ බොජුන්හල නම් බොහොම නිවී සැනසිල්ලෙ ගොඩවෙලා කන්න බොන්න ඕනි තැනක්.
    ඇත්තටම මම ඔබේ ලිපි හතර පහකට වඩා කියවලා නැති උනත් කියෙව්ව ටිකෙන් මට වැටහෙන්න මේක හැමදාමත් අළුතින් යමක් ඉගෙන ගන්න ලැබෙන තැනක් කියලා.

    ඔබ උඩින් සදහන් කරලා තියෙන බ්ලොගය ආරම්භ කිරීමේ අරමුණත් පැසසිය යුතුයි. විශේෂයෙන්ම ආර්ථික විද්‍යාවෙ ප්‍රායෝගික පැත්ත ගැන අපිට විතරක් නෙවෙයි ඒ විෂය ඉගෙන ගත්තු අයටත් නෑ. ඒ නිසා ඔබේ මේ සුමට පැහැදිලි කිර්‍ර්ම් ගොඩක් වටිනවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget