Monday, December 21, 2015

ඇමරිකාවේ බොරතෙල් අපනයන තහනම ඉවතට!

ඇමරිකානු මුදල් ප්‍රතිපත්තියේ සුවිශේෂී හැරුම් ලක්ෂ්‍යයක් සටහන් කරමින්, පසුගිය බදාදා ෆෙඩරල් සංචිත බැංකුව දශකයකට පමණ පසු නැවතත් දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරුවිය. අනපේක්ෂිත එකක් නොවූ මේ ප්‍රතිපත්ති තීරණය ඉදිරි වසර තුළ ලෝකයේ බොහෝ රටවල විණිමය අනුපාතික, ප්‍රාග්ධන ප්‍රවාහ, බැඳුම්කර පොලී අනුපාතික, ගෙවුම් ශේෂ යනාදිය කෙරෙහි බලපෑමක් සිදු කරනු ඇත.

කෙසේ වුවද, මේ ප්‍රතිපත්ති තීරණය පසුගිය සතිය තුළ ඇමරිකාව විසින් ගත්, ලෝක ආර්ථිකයට දැනෙන තරමේ බලපෑමක් කළ හැකි, එකම ප්‍රතිපත්ති තීරණය නොවේ. පසුගිය සිකුරාදා (දෙසැම්බර් 18) හැන්දෑ වරුවේ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා තවත් වැදගත් ලියවිල්ලකට සිය අත්සන යෙදුවේය. මේ සමඟ වසර හතළිහක පමණ කාලයක් පුරා ඇමරිකාවේ පැවති බොරතෙල් අපනයන තහනම ඉවත් කෙරිණි. මේ තීරණය මඟින් දිගුකාලීනව ලෝක තෙල් වෙළඳපොළ කෙරෙහි සිදුකරන බලපෑමට අමතරව අදාල තීරණයේ දේශපාලනික වැදගත්කමද නොසලකා හළ නොහැකිය.

ඇමරිකානු බොර තෙල් අපනයන තහනමේ පසුබිම් කතාව හැටේ දශකයේ මැද භාගය දක්වා දිව යයි. ලංකාව ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබීමෙන් තෙමසකින් පමණ පසුව ඊශ්‍රායලයේ ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කෙරුණද බොහෝ රටවල් ඊශ්‍රායලයේ ස්වාධීනත්වය සෑහෙන කලක් යන තුරු පිළිගත්තේ නැත. විශේෂයෙන්ම, මැදපෙරදිග මුස්ලිම් රටවල් අතර රෝපණය කෙරුණු මේ එකම මුස්ලිම් නොවන රාජ්‍යය කිසිදා මුස්ලිමුන්ගේ ප්‍රසාදයට හේතු නොවීය.

හැටේ දශකයේ මැද භාගයේදී ජෝර්දාන් නදියේ ජල සම්පත් අරභයා ඊශ්‍රායලය සහ යාබද අරාබි රටවල් අතර ඇති වූ නොසන්සුන්තාවන් අවසානයේදී ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දුල් නසාර් විසින් ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් දක්වා දුරදිග ගියේය. මෙය අඬන්නට බලාසිටි ඊශ්‍රායලයට ඇහැට ඇඟිල්ලට ඇනීමක් වූ අතර, ඊජිප්තුව ප්‍රහාරයකට පිට පොට ගසද්දී, 1967 ජූනි 5 වන දින ඊශ්‍රායලය විසින් ක්ෂණිකව ඊජිප්තුවට ප්‍රහාරයක් එල්ල කලේ ඔවුන්ගේ සංග්‍රාමික ක්‍රමෝපායයන් අරාබි ජාතීන්ට වඩා ගවු ගණනක් දුරින් බව ලෝකයාට පෙන්වා දෙමිනි.

මේ සමඟම, අසල්වැසි ජෝර්දානය, සිරියාව සහ ඉරාකයද ඊජිප්තුවේ සහයට එක් වුණේ ඊශ්‍රායලය නැත්තටම නැති කර දැමීමේ අරමුණිනි. කෙසේ වුවද, වැඩි කල් නොඇදුණු 'සය දින සටන' ලෙස ප්‍රචලිත මේ සංග්‍රාමය 1967 ජූනි 10 දින සටන් විරාමයකින් නිමාවට පත් වූයේ ජෝර්දානය සතුව පැවති බටහිර ඉවුරත්, ඊජිප්තුව සතුව පැවති ගාසා තීරය සහ සීනායි අර්ධද්වීපයත්, සිරියාව සතුව තිබූ ගෝලාන් කඳුකර ප්‍රදේශයත් ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබීමෙනි. අරාබි ජාතීන්ට විශාල සංග්‍රාමික සහ දේශපාලනික පරාජයක් අත්කරදුන් මේ දින හයේ සටන අවසානයේ ඊශ්‍රායලය සතුව සටනට පෙර පැවති භුමි ප්‍රමාණය තුන් ගුණයකින් විශාල විය.

සය දින යුද්ධය අරඹා දිනකට පසු 1967 ජූනි 6 දින අරාබි ජාතීන් තවත් සුවිශේෂී තීරණයකට එළඹුනේය. ඒ ඊශ්‍රායලයට බාහිර උදවු ලැබීමට තිබුණු ඉඩකඩ වැළැක්වීමේ අපේක්ෂාවෙන් තෙල් අපනයනය කිරීම සීමා කිරීමයි. මෙහිදී ඇතැම් අරාබි රටවල් ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය වෙත තෙල් අපනයන සම්බාධක පැනවූ අතර තවත් රටවල් තෙල් අපනයනය කිරීම මුළුමනින්ම නැවැත්වීය. මේ සම්බාධක සෑම රටක් විසින්ම ඒකාකාරීව ක්‍රියාත්මක නොකළ බැවින් එයින් ඇමරිකාවට හෝ බ්‍රිතාන්‍යයට සැලකිය යුතු බලපෑමක් වූයේ නැත. මේ සම්බාධක අරාබි රටවල් විසින්ම තෙමසකට පසුව ඉවත් කෙරිණි.

කෙසේ වුවද, අරාබි රටවල් විසින් මෙසේ තෙල් අපනයන සම්බාධක පැනවීමට ගත් තීරණය ඇමරිකාව විසින් නොසලකා හැරියේ නැත. ලෝකයේ වැඩියෙන්ම ඉන්ධන පරිභෝජනය කරන, සිය ඉන්ධන අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් වෙනත් රටවලින් ආනයනය කරන ඇමරිකාවට ජාතික ඉන්ධන සංචිතයක් පවත්වා ගැනීමේ වැදගත්කම ගැන සිතන්නට මේ සිද්ධිය මඟින් පෙළඹවීමක් කළේය.

මේ අතර, විය යුතු පරිද්දෙන්ම, ඊජිප්තුව සහ සිරියාව ඇතුළු අරාබි රටවල් සිටියේ තමන්ට අහිමි වූ භුමි ප්‍රදේශ නැවත අත්පත්කරගැනීම සඳහා කල් මරමිනි. යුද අවි සපයන බටහිර රටවලට ඉන්ධන සම්බාධක පනවන බවට අරාබි රටවල් තර්ජනය කරන්නට විය. 1970 සැප්තැම්බරයේදී ගමාල් අබ්දුල් නසාර් මිය ගියේය. අන්වර් සදාත් ඊජිප්තු ජනාධිපති ධුරයට පත් විය. ඇමරිකාවේ ඉන්ධන අවශ්‍යතාවන් සීග්‍රයෙන් ඉහළ යමින් පැවතෙද්දී ඇමරිකානු තෙල් නිෂ්පාදනය පහත වැටෙමින් පැවතිණි. ලෝක තෙල් ඉල්ලුම ප්‍රධාන වශයෙන්ම සැපයුනේ අරාබි රටවලින් බැවින් තෙල් වෙළඳපොළ ස්ථාවරත්වය සඳහා අරාබි කලාපයේ සාමය වැදගත් විය. අරාබි රටවලට එරෙහිව පළමු ප්‍රහාරයක් ඇරඹීමෙන් වැළකෙන ලෙස ඇමරිකාව ඊශ්‍රායලයට තරයේ අවවාද කරන්නේ මේ පසුබිමේය.

මේ කාලය දක්වා පැවති අරාබි-ඊශ්‍රායෙල් සටන් සියල්ලම අවසන්ව තිබුණේ ඊශ්‍රායලයට ජයග්‍රහණය හිමි කර දෙමිනි. අරාබි හමුදා ශක්තියට සාපේක්ෂව අඩු හමුදා ශක්තියක් තිබුණු ඊශ්‍රායලයට මේ ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ප්‍රධාන වශයෙන්ම ඉවහල් වූයේ ඔවුන්ගේ සතුරාට වඩා ඉක්මන් වීමේ යුධ න්‍යායයි. මෙතෙක් පැවති සෑම අරාබි-ඊශ්‍රායෙල් යුද්ධයකට පෙරම ඊශ්‍රායෙල් මොසාඩ් රහස් ඔත්තු සේවයට සතුරාගේ මීළඟ පියවර අනුමාන කළ හැකි වූ අතර, ඒ අනුව හැම විටම සතුරාට පෙර ඉක්මන් වීමට ඊශ්‍රායලය පියවර ගත්තේය.

යොම් කිපුර් දිනය යුදෙව්වන්ගේ වැදගත්ම ආගමික උත්සවයකි. මෙය සබත් වල සබත ලෙස හැඳින්වේ. යුදෙවු දින දසුනේ සත්වෙනි මස දහවන දිනට යෙදෙන මේ ආගමික දිනයේදී යුදෙව්වෝ පැය විසිපහක කාලයක් උපවාස කරමින් යාඥා කරති. යුදෙව්වන්ගේ උපක්‍රම ඔවුන්ටම එරෙහිව ප්‍රයෝජනයට ගනිමින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීමට ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත්, සිරියානු ජනාධිපති හෆීස් අල්-අසාද් ඇතුළු අරාබි නායකයින් විසින් මෙවර තෝරා ගත්තේ 1973 වසරේ යුදෙව්වන්ගේ මේ ශුද්ධ වූ දිනයයි. මෙය මුස්ලිමුන්ගේ රාමසාන් මාසයේ දහවන දිනයද විය.

සිදුවීමට නියමිත මීළඟ යුද්ධයේදී තමන්ට ඇමරිකානු උදවු අවශ්‍ය වන බව ඊශ්‍රායලය දැන සිටියේය. මේ නිසා ඇමරිකාව නොසලකා හරිමින්, අරාබීන්ට පෙර  මුලින්ම ප්‍රහාරයක් එල්ල කිරීම මෙවර ඊශ්‍රායලය විසින් සිදු නොකළේය. අනෙක් අතින් මේ ප්‍රහාරය පිලිබඳ තොරතුරු මොසාඩ් ඔත්තු සේවය අතට පත්වීම වලක්වා ගැනීමට මෙවර අරාබි ජාතීන්ට හැකි විය. ඒ අනුව, යොම් කිපුර් යුද්ධය ලෙස හැඳින්වෙන, 1973 ඔක්තෝබර් මස සති තුනකට ආසන්න කාලයක් පුරා පැවති, අරාබි-ඊශ්‍රායෙල් යුද්ධයේ මුල් දින කිහිපය ඇතුළත ඊශ්‍රායලය පසුබස්වමින් සය දින යුද්ධයේදී තමන්ගෙන් ගිලිහුණු බිම්පෙදෙස් වලින් කොටසක් නැවත අත්පත් කරගැනීමට අරාබි රටවලට හැකි විය.

දින කිහිපයක් ඇතුළත ඊශ්‍රායලයට නැවතත් අරාබි හමුදා පසුපසට තල්ලු කිරීමට හැකි වුවත් මෙවර ඔවුන්ට අරාබීන්ව තීරණාත්මක ලෙස පරාජය කිරීමේ හැකියාවක් පෙනෙන්නේට නොතිබුණේය. කෙසේ වුවද, සිරියා-ඊජිප්තු හමුදා වලට සෝවියට් ආධාර ලැබෙද්දී, ඇමරිකාව ඊශ්‍රායලයේ උදවුවට ඉදිරිපත් විය. යොම් කිපුර් යුද්ධය එක්සත් ජාතීන් මුල් වූ යුද විරාමයකින් අවසන් වූ අතර මේ යුද විරාමය ඊශ්‍රායලය සහ අරාබි රටවල් අතර එකඟතාවයකට වඩා ඇමරිකාව සහ සෝවියට් දේශය අතර එකඟතාවක් වීයැයි කීම වඩා නිවැරදි විය යුතුය.

යොම් කිපුර් යුද්ධයේදී ඊශ්‍රායලය වෙත ආයුධ ලබාදෙමින් ඇමරිකාව විසින් සිදු කළ මැදිහත්වීමට විරෝධයක් ලෙසින් සහ පසුව පැවති සාම සාකච්ඡා වලදී වාසියක් ගැනීමේ අරමුණින් 1973 මැදදී ඔපෙක් රටවල් විසින් තෙල් මිල 70%කින් පමණ ඉහළ දැමීමත්, ඇමරිකාව ඇතුළු බටහිර රටවල් රැසකට තෙල් අපනයනය කිරීම වළක්වමින් සම්බාධක පැනවීමත් එකවර සිදු කළේය. 1974 මාර්තු මාසයේදී මේ සම්බාධක ඉවත් කෙරෙන තුරු ගත වුනු මාස පහක පමණ කාලය ඇමරිකාවට පසු කිරීමට සිදුවූ අමාරුම කාලයකි.

මේ කාලය වන විටත් විශාල ලෙස පෙට්‍රෝලියම් ඉන්ධන පරිභෝජනයට හුරු වී සිටි ඇමරිකානුවන්ට ඔපෙක් සංවිධානයේ රටවල් විසින් පැනවූ මේ බොරතෙල් අපනයන සම්බාධකය නිසා සිදු වූයේ පෙර නොවූ විරූ පීඩාවකි. ඉන්ධන මිල කිහිප ගුණයකින් ඉහළ යාමේ අවාසියට අමතරව, ඔවුන්ට සාමාන්‍යයෙන් නුපුරුදු, සලාක ක්‍රම, පෝලිම් සහ භාණ්ඩ හිඟයන් ඉන්ධන වෙළඳපොළ හා අදාලව ඇමරිකානුවන්ට මේ කාලය තුළ අත්දකින්නට සිදුවිය.

මේ අළුත් තත්ත්වය හමුවේ, ඇමරිකාව විසින් සිය ඉන්ධන සුරක්ෂිතතාව තහවුරු කරගැනීම උදෙසා වැදගත් ප්‍රතිපත්ති තීරණ රැසක් කරා යොමු විය. දශක හතරකට පෙර ඇමරිකානු කොන්ග්‍රසය විසින් සම්මත කර, 1975 දෙසැම්බර් 22 දින ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් විසින් සිය අත්සන යෙදීමෙන් සක්‍රිය වූ, බලශක්ති ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා පණත මඟින් මෙවැනි තීරණ රැසක් ක්‍රියාත්මක කිරීම ඇරඹුණේය. ඇමරිකාවේ නිෂ්පාදනය කෙරෙන බොර තෙල් අපනයනය කිරීම තහනම් කෙරුණේද මේ පණත මඟිනි.

පසුගිය සිකුරාදා ජනාධිපති ඔබාමා විසින් සිය අත්සන යෙදීමෙන් පසුව ඉවත් කෙරුණේ වසර හතළිහක් පුරා පැවති ඉහත කී තහංචියයි. ඒ සඳහා හේතු වූ කරුණු සහ එයින් ලෝක ආර්ථිකයට සහ දේශපාලනයට විය හැකි බලපෑම ගැන පසුව සාකච්ඡා කරමු.

(Image: www.economist.com)

25 comments:

  1. රසවත් සටහනක්.දැන් දැන් තෙල් අපනයනය මතම ආර්ථිකය රඳා පවතින මැද පෙරදිග රටවල් පවා තමුන්ගෙ ආර්ථිකය විවිධාංගිකරණය සඳහා සැලසුම් සකස් කරනවා. කෝමත් ලෝකෙ යුද්ද සහ කැරලි බොහොමයක යටි අරමුණ තෙල් නේද ?

    ReplyDelete
    Replies
    1. ඔවු, පසුගිය දශක ගණනාවක් තිස්සේම වුණේ එය තමයි.

      Delete
  2. බොහොමත්ම ස්තූතියි ඉකෝන්ස් වැදගත් විස්තරයක්..ඒ වගේම මට රසවත් මතක මංපෙතෙහි ආපසු ගමනක්.

    සයදින යුද්ධය මට මතක නෑ. ඒත් 1973 යොම් කිපූර් යුද්ධය මතකයි. ගෝල්ඩා මයර්, මොෂේ ඩයාන්, අන්වර් සදාත්.....ඊට පස්සෙ ඔපෙක් සංවිධානය පිහිටුවීම...ඒ වෙනුවෙන් ප්‍රධාන කාර්යයක් ඉටුකලේ සවුදි තෙල් ඇමති ෂීක් යමානි.

    අමරිකාවෙ තෙල් තහනම නිසා ඇතිවූ අර්බුද පිළිබඳව විස්තරයක් මට මතකයි කියෙව්ව ඒ දවස්වල අමරිකන් තානාපති කාර්යාලයෙන් නිකුත් කරපු දර්ශන සඟරාවෙන්.

    ReplyDelete
    Replies
    1. මටනම් මේ කාලය මතක නැහැ, රවී. ගෝල්ඩා මයර්, මොෂේ දයාන් වගේ අය ගැන විස්තර ගොඩක් මුලින්ම කියෙව්වේ මනහර වගේ සඟරා වලින්. දර්ශන සඟරාත් කියෙවුවා.

      Delete
  3. දැනට පවතින තෙල් මිල කඩා වැටීම ඇමෙරිකාව විසින් සවුදි අරාබියේ සහයෝගය සහිතව කෘතිමව ඇතිකල දෙයක් බව මගේ විශ්වාසයයි. ජෝන් කෙරී එම කාලයේ සවුදි අරාබිය සමඟ මේ ගැන සාකච්චා කලා යැයි මතකයක් තිබේ. එමෙන්ම මෙම කඩා වැටීමට ආසන්නතම හේතුව වූයේ රුසියාවේ විරුද්ධත්වය නොතකා යුක්‍රේනය බටහිර රටවල් පැත්තට ඈඳා ගැනීමේ ඩොලර් බිලියන පහක් වැයකල කුමන්ත්‍රණය සහ බටහිර රටවල් බලාපොරොත්තු නොවූ පරිදි රුසියාව ක්‍රිමියාව ඈඳා ගැනීම. එහිදී රුසියාව දුර්වල කිරීමේ අරමුණින් ආර්ථික සම්භාධක පැනවූවත් රුසියාවේ ගැස් සහ තෙල් නිශ්පාදන නිසා තිබූ ආර්ථික ශක්තිය අඩපණ කිරීමට ලෝක තෙල් මිල කෘතිමව පහල හෙලූ බව මගේ විශ්වාසයයි.

    තෙල් මිල අඩුවීමෙන් තෙල් නිශ්පාදනය කරන රටවලට දැනෙන ආර්ථික ප්‍රශ්ණ නිසා ඔවුන් නිශ්පාදන පරිමා සීමා කිරීමකට යා හැකි බැවින් එවැන්නක් පාලනය කිරීමට එක්සත් ජනපදය තෙල් පිටරට යැවීමේ තහනම ඉවත් කලා යැයි මම විශ්වාස කරමි. තවද බටහිර රටවල් සිරියාවේ කිරීමට බලාපොරොත්තුවූ දේවල් රුසියාවේ මැදිහත්වීම නිසා වෙනස්වීම මත ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට රුසියාව තවදුරටත් ආර්ථික අතින් වැට්ටවීමෙන් හැකි වෙතැයි ඔවුන්ගේ බලාපොරොත්තුවන බැවින් තෙල් මිල තවත් පහලට ගෙන ඒමේ කුමන්ත්‍රණයක් ලෙස මෙම තෙල් අපනයන තහනම ඉවත් කලා විය හැකියි. එසේ නැත්නම් ලෝක යුද්ධයක අවධානමක් ගැන කථා කරන කාලයක මෙම තහනම් ඉවත් කිරීම සැක උපදවන්නක්.

    ReplyDelete
    Replies
    1. මමත් ඉයන් ඉන්න මතයේ ඉන්නේ... රුසියාවට ගේමට තමයි මේක අනිවාර්යයෙන් කළේ.. ඔය සිරියවට ගහන්නෙත් තෙල් නලේ කේස් එකකටනේ..

      කෙසේ වෙතත් මෙවන් අනර්ඝ ළිපියක් බොගක දැමු ඉකොනොමැට්ටාට අපේ ප්‍රණාමය..

      Delete
    2. //ඇමෙරිකාව විසින් සවුදි අරාබියේ සහයෝගය සහිතව කෘතිමව ඇතිකල දෙයක් බව මගේ විශ්වාසයයි// මෙය වෙන්න ඉඩකඩ අඩුයි, ඉයන්. ඇත්තටම දැන් තියෙන්නේ ඇමරිකාව සහ සවුදි අරාබිය අතර වාණිජ සටනක්. මේ වන විට දෙපැත්තටම තුවාලයි. මෙය සහයෝගයෙන් සිදුවන දෙයක්නම් මෙතෙක් දුර ඇදෙන්නේ නැහැ.

      //තෙල් මිල අඩුවීමෙන් තෙල් නිශ්පාදනය කරන රටවලට දැනෙන ආර්ථික ප්‍රශ්ණ නිසා ඔවුන් නිශ්පාදන පරිමා සීමා කිරීමකට යා හැකි බැවින් එවැන්නක් පාලනය කිරීමට// මේ වෙලාවේ එසේ කළොත් ඇත්තටම ඇමරිකාවට වාසියි. ඔවුන් එසේ නොකිරීමයි ප්‍රශ්නය. තහනම ඉවත් කිරීමට හේතුව රට ඇතුළත තත්ත්වයන් සහ වෙනත් තාක්ෂණික හේතුවක්. ඒ වගේම දිගුකාලීන අරමුණුත් තියෙනවා.

      මොන විදිහට වුණත් ලොකුම හානියනම් රුසියාවට තමයි.

      Delete
    3. ඉයන්, ලින්ක් එක යොමු කළාට ස්තුතියි!

      අඩුම වශයෙන් හේතු දෙකක් නිසා මමනම් විලියම් එන්ඩාල්ගේ මේ විශ්ලේෂණය (http://www.boilingfrogspost.com/2014/10/24/the-secret-stupid-saudi-us-deal-on-syria/#comments) වැදගැම්මකට ඇති එකක් ලෙස සලකන්නේ නැත.

      පළමුව, ඔහුගේ සංඛාලේඛණ නිවැරදි නැත. දෙවනුව, ඔහු ඔහුගේ ප්‍රථම උපාධිය හදාරා ඇති ප්‍රින්සෙන්ටන් සරසවිය වැනි ඇමරිකන් සරසවියක ප්‍රථම උපාධියක් හදාරන සිසුන්ට පළමු වසරේදීම උගන්වන මූලික ආර්ථික විද්‍යා සංකල්ප ගැනවත් අවබෝධයක් නැති අයෙකි. ඔහුගේ පාඨකයෙක් විසින්ද මේ වැරැද්ද පෙන්වා දී ඇත.

      //The details are emerging of a new secret and quite stupid Saudi-US deal on Syria and the so-called IS.//
      ඔහු මේ කියන්නේ රහස් ගිවිසුමක් ගැන නිසා ඒ ගැන මට දැනගන්නට ක්‍රමයක් නැත. රහස් ගිවිසුම් ගැන දැනගැනීමේ මාර්ග මා වැනි සාමාන්‍ය පුද්ගලයින්ට නැත. ඔහුට තිබෙනවාද කියා මා දන්නේ නැත.

      //Since June when ISIS suddenly captured the oil-rich region of Iraq around Mosul and Kirkuk, the benchmark Brent price of crude oil dropped some 20% from $112 to about $88. World daily demand for oil has not dropped by 20% however. China oil demand has not fallen 20% nor has US domestic shale oil stock risen by 21%.

      What has happened is that the long-time US ally inside OPEC, the kingdom of Saudi Arabia, has been flooding the market with deep discounted oil, triggering a price war within OPEC, with Iran following suit and panic selling short in oil futures markets.//

      පළමුව සංඛ්‍යාලේඛන දෙස බලමු. ඔහු මේ කියන වකවානුව තුළ (2014 ජූනි සිට ඔක්තෝබර් දක්වා) බොර තෙල් බැරලයක මිල (ප්‍රධාන දර්ශක තුනේ මාසික සාමාන්‍ය අගයයන්ගේ සාමාන්‍යය) $ 108.37 සිට $ 86.13 දක්වා (http://www.indexmundi.com/commodities/?commodity=crude-oil&months=60) 20.52%කින් අඩුවිය. මේ අනුව ඔහු කියන පරිදි 20%කින් මිල අඩු වූ බව සත්‍යයකි.

      ඔහුගේ මතය අනුව බොරතෙල් මිල 20%කින් අඩුවීමටනම් එක්කෝ ඉල්ලුම 20%කින් අඩුවිය යුතුය. නැත්නම් සැපයුම 20%කින් වැඩි විය යුතුය. මෙයින් ඔහු පෙන්වා දෙන්නේ ඔහුට මූලික ඉල්ලුම්-සැපයුම් න්‍යායයන් පිළිබඳවවත් නිවැරදි අවබෝධයක් නොමැති බවයි. මෙසේ විය හැක්කේ ඒකීය-ප්‍රත්‍යස්ථ (unit elastic) ඉල්ලුමක් මෙන්ම සැපයුමක්ද ඇති භාණ්ඩයකට පමණි. හරියටම ඒකීය-ප්‍රත්‍යස්ථ ඉල්ලුමක් හෝ සැපයුමක් භාණ්ඩයකට තිබීම ප්‍රායෝගිකව බොහෝ විට සිදු නොවන දෙයකි. බොරතෙල් යනු කෙටිකාලීනව අප්‍රත්‍යස්ථ ඉල්ලුමක් (inelastic demand) ඇති ද්‍රව්‍යයකි. මේ නිසා ඉල්ලුමේ හෝ සැපයුමේ සිදුවන සුළු වෙනසකින් මිල විශාල ලෙස වෙනස්විය හැකිය. උදාහරණයක් වශයෙන් 1973දී ගල්ෆ් කලාපයේ තෙල් නිෂ්පාදනය කරන රටවල් ඔවුන්ගේ සැපයුම 25%කින් අඩු කළ විට බොරතෙල් බැරලයක මිල 400%කින් ඉහළ ගියේය.

      Delete
    4. //nor has US domestic shale oil stock risen by 21%.// ඔහු කියන කාලය තුළ ඇමරිකාවේ සමස්ත බොරතෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 8.68 සිට බැරල් මිලියන 9.12 දක්වා 5%කින් ඉහළ ගියේය. (https://www.eia.gov/dnav/pet/hist/LeafHandler.ashx?n=PET&s=MCRFPUS2&f=M) 2014දී ඇමරිකාවේ නිෂ්පාදනය කළ මුළු බොරතෙල් ප්‍රමාණයෙන් ශල්ක තෙල් ප්‍රතිශතය 49%කි. මේ අනුව ශල්ක තෙල් නිෂ්පාදනය 10%කින් පමණ වැඩි වී ඇත. වෙනත් සාධක නොවෙනස්ව පවතීනම් සැපයුමේ මෙවැනි වැඩිවීමකින් මිල 20%ක් අඩුවීම ඉතාම සාමාන්‍ය දෙයකි.

      //China oil demand has not fallen 20%//
      චීනයේ තෙල් ඉල්ලුම මේ කාලය තුළ ඉතා සුළුවශයෙන් වැඩි වී ඇත.එහෙත් සමස්ත ලෝක බොරතෙල් ඉල්ලුම අඩුවී තිබේ. ඒ නිසා ඉල්ලුම් සාධක වල බලපෑමද සුළුවශයෙන් හෝ මිල අඩුකිරීමට වේ.
      (http://www.opec.org/opec_web/static_files_project/media/downloads/publications/MOMR_September_2015.pdf))

      //What has happened is that the long-time US ally inside OPEC, the kingdom of Saudi Arabia, has been flooding the market with deep discounted oil,//
      මෙය තනිකරම මේ ලේඛකයාගේ හිතළුවකි. 2014 ජූනි අවසානයේ සවුදි අරාබියේ සාමාන්‍ය බොරතෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 9.69කි. 2014 සැප්තැම්බර් අවසානයේදී දිනකට බැරල් මිලියන 9.64 හා ඔක්තෝබර් අවසානයේදී දිනකට බැරල් මිලියන 9.74වේ. අදාල කාලය තුළ සවුදි අරාබිය විසින් කිසිසේත්ම ඔවුන්ගේ නිෂ්පාදන පරිමා ඉහළ දමා නැත. මේ අනුව, සවුදි අරාබිය මිල පහත හෙලීම සඳහා අඩුමිල බොරතෙල් වලින් වෙළඳපොළ උතුරායාමට සැලැස්වීය යන්න තනිකරම බොරුවකි. (https://ycharts.com/indicators/saudi_arabia_crude_oil_production)

      මූලික ආර්ථික විද්‍යා න්‍යායයන් අනුව පසුගිය කාලයේ තෙල්මිලෙහි සිදුවූ වෙනස්කම් වල මටනම් කිසිදු අමුත්තක් නොපෙනේ. මිල මේ අයුරින් පැවතීමට කුමන්ත්‍රණ හෝ රහස් ගිවිසුම් අවශ්‍ය නොවේ. (මා කියන්නේ එවැනි දේවල් නොතිබිය හැකි බව නොවේ.) මා සිතන පරිදී මේ මිල අඩු වීමට ප්‍රධාන හේතුව ඇමරිකාවේ තෙල් කැණීම් තාක්ෂණයේ ඇතිවූ දියුණුව නිසා ලෝක තෙල් සැපයුම ඉහළ යාමයි. වෙනත් බොහෝ කරුණු වලද බලපෑමක් ඇතත් ඒවා මා සිතන පරිදි ද්වීතියික කාරණාය.

      මේ හැරුණු විට මා හරියටම නොදන්නා දේශපාලනික කරුණු සම්බන්ධවත්, මේ ගැන විලියම් එන්ඩාල් සිතන ආකාරය ගැනත් මා අදහස් දක්වන්නේ නැත.

      Delete
    5. කියෙව්වා ස්තූතියි

      Delete
  4. නොදැන සිටි කරුණු ගොඩක් දැන ගත්තා. ස්තුතියි ඉකොන්...

    ReplyDelete
    Replies
    1. තව කොටසක් ලියලා තියෙන්නේ.

      Delete
    2. තව පැය කිහිපයකින් පෝස්ට් වෙයි, ලොකු පුතා.

      Delete
  5. රුසියාව ලබන වසරේ අය වැය ඇස්තමේන්තු කර තිබුනේ බොර තෙල් බැරලයක් ඩොලර් 50 සීමාවේ පවතී කියා සිතාගෙන බව මාද්‍ය වල පල වුනා....

    අමෙරිකාව මේ උත්සාහ කරන්නේ බොර තෙල් බැරලය ත්වත් පහලට ගෙන එන්නයි.. දැන් එය ඩොලර් 38 සීමාවේ පවතිනවා නේද? නමුත් අමෙරිකාව දැන් වැඩි වශයෙන් ම තෙල් ලබාගන්නේ ෆ්‍රැකින් ක්‍රමයට නිසා එයට විරුද්ද ජනයා බොහෝ උද්ගොශන කිරීම වැලැක්විය නොහැකියි... ඒ අනුව සමහර විට ඔය තෙල් අපනයන තහනම ඉවත්කිරීම එච්චර බලසම්පන්න වෙන එකක් නැහැ...

    ඒ අස්සේ තුර්කි ජනපති ගේ පවුලේ අය සම්බන්ද IS ත්‍රස්තයන් බැරලය ඩොලර් 18 ට පමන බොර තෙල් විකුනනවා.... රුසියාවෙන් එම හොර තෙල් වෙලඳාමට බෝම්බ හෙලනවා...

    රුසියාව, ඉරානය ඉරාකය සහ සිරියාව ගොඩ එනකල් අපේ තේ අනාතයි!

    ReplyDelete
    Replies
    1. මේ වන විට WTI බැරලයක් $34.74 බ්‍රෙන්ට් $36.35. තේ වලටනම් ලොකු ප්‍රශ්නයක් තමයි.

      Delete
  6. මේ නිව්ස් එක දැක්ක හැටියේ මට මතක් වුනේ ඉකොනොමැට්ටව....:)

    ReplyDelete
    Replies
    1. තහනම අයින් කළේ ඉකොනොමැට්ටා කියල හිතුවද, පොඩ්ඩි?

      Delete
  7. නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා. ස්තූතියි ඉකොනොමැට්ටා. කොහොමත් ඔය වගේ දේවල් ගැන මගේ දැනුම අන්තිමයි. කමෙන්ට් ටික කියෙව්වම ඒක තවත් මටම තහවූරු උනා.
    මගේ දැනීමේ හැටියට ඉරිගු, තිරිගු සෝගම් වගේ ඒවගෙන් biofuel නිෂ්පාදනයෙ ඉහලින්ම ඉන්නෙ ඇමරිකාව. ඇත්තටම ඉන්දන විදිහට ඒවයෙ භාවිතය කොහොමද?.

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්, ගොඩක් gas stations වල විකුණන්නේ යම් ප්‍රමාණයකට ජෛව ඉන්ධන මිශ්‍ර කළ පෙට්‍රල්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget