Thursday, October 8, 2015

සූරසේන වෙනස්වෙලා...

කලක් එකට සිටි මිතුරෙකු විදේශගතව සිට නිවාඩුවට පැමිණෙන විට ඔහුගේ වෙනස ගමේ යාළුවාට දැනෙන ආකාරය ගැන කවි පන්තියක් පසුගිය සතියේ ඉවාන් විසින් පළ කර තිබුණේය. මේ කවි පංතියෙන් ඇවිස්සුණු මතකය ඔස්සේ ගොස් මගේ පැරණි සටහන් ගොමුව පීරූ විට සියවස් කාලකට පෙර මේ තේමාව යටතේ මා ලියූවක් හමුවිය. තේමාව එකම වුවත්, මා ස්පර්ශ කරන පරාසය ඉවාන්ගේ කවි පන්තියේ පරාසය මෙන් පුළුල් එකක් නොවන නිසා මෙහි අන්තර්ගතයේ පසුබිම ගැන කුඩා හෝ විස්තරයක් මුලින්ම කළ යුතුය.

කාල සටහනින් අඩක් පමණ විද්‍යාගාර පර්යේෂණ, සැලසුම් ඇඳීම් සහ බිම්මැනීම් වැනි ප්‍රායෝගික කටයුතු සඳහා වෙන් වී ඇති ඉංජිනේරු පීඨය වැනි පීඨවල මේ ක්‍රියාකාරකම් බොහොමයක්ම සිදුවන්නේ තුන් දෙනෙකුගේ සිට පස් දෙනෙකු දක්වා සිසු පිරිසකගෙන් සමන්විත වූ කුඩා කණ්ඩායම් මට්ටමින් බැවින් මෙවැනි කටයුතු මෙහෙයවීමට සහ අධීක්ෂනය කිරීමට සැලකිය යුතු අධ්‍යයන කාර්ය මඬුල්ලක් අවශ්‍ය වේ. මේ කටයුතු සඳහා කථිකාචාර්යවරුන්ගේ කාලය වැය නොකෙරෙන අතර ඒ සඳහා උපදේශකයින් හෙවත් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා නම් වූ කොටසක් බඳවා ගැනේ. මොවුන්ව සිසුන් විසින් හඳුන්වන්නේ 'ඉන්ටෝ' ලෙසිනි. වෙනත් ඇතැම් පීඨ වල මෙවැනි කාර්යයක් කරන අය ඩිමොන්ස්ට්‍රේටර්ස්ලා හෙවත් ඩිමෝලා ලෙසද හැඳින්වෙති.

ඉන්ස්ට්‍රක්ටර් තනතුර තාවකාලික 'ගන්ධබ්බ' තනතුරකි. මේ තනතුරට බඳවා ගැනෙන්නේ අවසාන විභාගයට පෙනී සිටි සිසුන් අතරින් විභාග ප්‍රතිඵල අනුව ඉහළින් සිටින සිසුන්වය. ඉන්ස්ට්‍රක්ටර් තනතුරු සඳහා බඳවා ගන්නා අවස්ථාව වන විට අවසාන වසරේ විභාග ප්‍රතිඵල නිකුත්ව නොමැති නිසා මෙහිදී සලකා බැලෙන්නේ පෙර වසරේ විභාග ප්‍රතිඵලයයි. මේ තනතුරට අදාල වැටුප බාහිර රැකියාවකට සාපේක්ෂව එතරම් ආකර්ෂණීය නැති සුළු වැටුපකි. එහෙත්, බාහිර රැකියාවක් ලැබෙන තුරු ඇති ගන්ධබ්බ සමය තුළ අතේ සතේ නැතුව සිටීමේ විකල්පයට සාපේක්ෂව මෙන්ම සිසු සමයේ ලැබෙන මහපොළ ශිෂ්‍යත්වය වැන්නකට සාපේක්ෂව මේ වැටුප ආකර්ෂණීය නැත්තේත් නැත. වැටුපට වඩා ඉන්ස්ට්‍රක්ටර් තනතුරක ඇති ආකර්ෂනීයත්වය වනුයේ තමන්ට වඩා පහළ කණ්ඩායම් වල සිසුන් මත යම් අධිකාරිත්වයක් පවත්වා ගැනීමේ හැකියාවයි. මේ තනතුර තමන්ගේ යම් නොමනාපයක් ඇති කනිෂ්ඨ සිසුවෙකුව 'ඇන්නවීමට' ඇති හොඳ අවස්ථාවකි.

සිසු අවදියේදී රැවුල වවාගෙන, පොඩි වූ ටී ෂර්ටයක් සහ ඩෙනිමක් ඇඳ, රබර් සෙරෙප්පු පළඳින සිසුවෙකු ඉන්ටෙකු වූ පසු රැවුල පිළිවෙලකට කැපීමට පටන් ගැනීම, සපත්තු දැමීම මෙන්ම මැදපු ඇඳුම් ඇඳීම වැනි වෙනස්කම් මඟින් බාහිර රැකියාවකට සූදානම් වන අතරම තමන් තව දුරටත් සිසුවෙකු නොවන බව ප්‍රදර්ශනය කිරීමට පටන් ගැනීම දුලබ සිදුවීමක් නොවේ. මෙවැනි ඇතැම් ඉන්ටෝ සිසුන් සමඟ වූ ඇයි හොඳයිකම්ද සීමා කරන්නේ ඔවුන්ට 'කරේ නඟින්නට ඉඩදුන් විට' තමන්ගේ රැකියාව කරගැනීම අපහසු වන බව සිතමින් විය යුතුය. පෞද්ගලික හිතවත්කම් සහ රැකියාව එකිනෙකින් වියුක්ත ලෙස නොදකින ලාංකීය සංස්කෘතිය තුළ මේ හැසිරීම ස්වභාවික එකකි. පහත ඇති පදපේලි වලින් විස්තර කෙරෙන්නේ මේ පොදු අත්දැකීමයි.

***
සූරසේන වෙනස්වෙලා...

නිවාඩුවට ගෙදර ගිහිං
ආපහු කැම්පස් එනකොට
කලින් තිබුණු හැම දෙයක්ම
පොඩ්ඩ පොඩ්ඩ වෙනස්වෙලා

ෆැකල්ටියට ඇවිල්ල මං
කොරිඩෝ එක දිගේ ටිකක්
කැරකෙද්දී ඉස්සරහට
මේං එනව සූරසේන.

අවුරුද්දක් මාත්තෙක්ක
අල්ලපු කාමරේ හිටපු
සබන්කෑලි ටූත්පේස්ට්
කොච්චරවත් ගජේගහපු
මිනිහ නේන්නං එන්නේ!

මාව දැක්කෙ නැතුවවද්ද?
අඳුනගන්න බැරුව වාගෙ
අහක බලාගෙන යන්නේ!
ආයෙ හිනාවෙලා බලමු
මිනිහට මං මතක නැද්ද?

වැරදීමක් වෙන්නම බෑ
මැදපු ඇඳුං ඇඳල වුනත්
රැවුල කපල දාල වුනත්
සපත්තුවට බැහැල වුනත්
මේනං සූරයම තමයි!

දැනුයිනෙ මට මතක් වුනේ
සූරය ඉස්ටාෆ් කියල
මඟදී කවුදෝ කිවුවනෙ!

ඒත් මොකද අහක බලං...?
මාත්තෙක්ක හිනා වුනොත්
තත්තෙට හොඳ මදිවවද්ද?

හිනාවුනේ නැතුවටනම්
මගේ කිසිම තරහක් නෑ
ඒ වුනාට මට උඹ ගැන
හිතන කොටත් හරි පුදුමයි.

අප්පච්චී මං බලන්ට
ගෙදර ඉඳං ආ දවසේ
මටත් කලිං උඹයි සූරෙ
බත්තෙක ඇරගෙන කෑවේ

මාවත් ඇදගෙන දවසක්
සොක බලන්න එගොඩ ගිහිං
කිරි ටොයි ෆ්‍රෙෂියක් දැකලා
උඹට මොනාදෝ හිතිලා
ළඟ පුටුවක් අල්ලගන්න
අපි දෙන්නා දඟලපු හැටි
දැන් අමතක වෙලාවද්ද?

රාවය අස්සේ හංගං
වැල පත්තරයක් ගෙනල්ල
කාමරයේ දොර වහගෙන
බැළුවත් උඹ ඉඳල හිටල
පස්සෙ ඒක මටත් දුන්න.

එහෙව් උඹත් එක්කල මං
තරහ වෙන්නෙ කොහොමද බං...?
ඒකයි හිත හදාගත්තෙ
උඹ ගැන මං මෙහෙම හිතල

අල්ලපු කාමරේ හිටපු
සූරසේන මැරිල ගිහිං
අළුත් සූරසේන කෙනෙක්
ඇවිල්ල ඉස්ටාෆ් එකට.

44 comments:

  1. මාර විදියට මිනිස්සු වෙනස් වෙනව. ඒ කියන්නෙ යාලු කාලෙත් ඇත්ත යාලුකමක් තිබ්බෙ නෑ කියන එක. සෙක්කුපීරිස් කියන්නැහෙ මිනිසා කියන්නෙ නළුවෙක් ලෝකය රඟහලක්.
    සූරසේනල හුග දෙනෙක් හීනමානකාරයො. උන්ට අලුත් තත්වය ඔරොත්තු දෙන්නෙ නෑ ඒකයි හේතුව.

    ReplyDelete
    Replies
    1. ඔතන තියෙන්නේ යාළුකම තියෙන්නේ යාළුවගේ මොන කොටසත් එක්කද (ශාරීරික කොටස්ම නොවේ) වගේ ප්‍රශ්නයක්. දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ඔය කොටස වෙනස් වුණාම සම්බන්ධකම බිඳෙනවා. විවාහ, පෙම් සබඳතා වලට වෙන්නෙත් ඕකම තමයි. කොල්ලා උසස්පෙළ ඇණගෙන කෙල්ල කැම්පස් ගිය ගමන් සම්බන්ධය අවුල්.

      Delete
  2. ++++++++++++++

    මට එක දවසක් ඇහුන ලංකාවෙ සරසවියක ලෙක්චරර් කෙනෙක් තවත් ලෙක්චරර් කෙනෙකුට අයියද සර්ද කියන්නෙ කියල ප්‍රශ්නයකට මැදිවෙලා ඉන්නව.
    ලංකාවෙ නමෙන් කතා කිරීම ලොකු ප්‍රශ්නයක් නේ? මං හිතන්නෙ ආසියාවෙම. කොහොමවෙතත් අයියා /මල්ලි /අක්ක/ නංගි /සර් /මැඩම් ලෙඩේ අසූ ගණන්වලින් පස්සෙ වැඩිවුනා. අසූ ගණන් මැද හා අග කාලයෙ මං හිටපු උසස් යයි අපි කියාගත් අධ්‍යාපන ආයතනයේ ( කැම්පස් නොවේ. කැම්පස්වල ඒකාලෙත් ලෙඩේ තිබුනා ) ඒ කාලයේ අයිය /අක්ක ලෙඩේ තිබුනෙ නෑ, ඒත් කැම්පස් ඉන්ෆ්ලුඑන්ස් එකෙන්ද කොහෙද අපි ගියට පස්සෙ ආව

    ReplyDelete
    Replies
    1. අයිය අක්ක නංගි මල්ලි ආමන්ත්‍රනවල නම් හෘදයාංගම බවක් තියනව. මට නම් පේන්නම බැරි සර් මැඩම් ආමන්ත්‍රන තමයි. අපි වුනත් සර් මැඩම් වචනවලින් මෝහනය වුන අවස්ථා නැතිවාම නෙවෙයි. නමුත් මේ වචන සාහසික නිළධාරීවාදී පීඩක වචන බව දැණගත්තම ඒවායින් ඉවත් වෙන්න පුරුදු වෙනව.
      මේ වචන බලාපොරොත්තු වෙනව ඇත්තටම මේවට කිසිම සුදුසුකමක් නැති අය. විදේශවල මේ වචනවලට වැදගත්කමක් නැති බවත් ඔවුන්ට අවශ්‍ය වැඩය අහ්‍රියට කිරීම පම්මනක් බවාත් මා අසා තිබෙනවා. මේ ඔක්කොම හීනමාන ලක්ෂන.

      කතාවක් තියනව රොඩියට කින්නරය හම්බවවුනහම රොඩිය තමන් උසස් කියල පෙන්වන්න ගොම බෙට්ටක් උඩට හරි නගිනවලු. මේ උද්ධච්ච අයයි පාතට වැටුන අයයි දෙගොල්ලොම එකම රෝගයකින් පීඩා විදින අසරණයො.

      සූරසේන කියන්නෙ පරන යාළුව හම්බවුන වෙලාවෙ ගොම බෙට්ටක් උඩට හරි නැගල දැන් මම උබට වඩා උසස් කියන එකෙක්. අනේ පවු.

      ඕනම කෙනෙකුට ඔයා ,උඹ, මචන් කියල හරි නම කියල හරි කතා කරන සමාජයකට මම කැමතියි.

      Delete
    2. මං නම් ලංකාවෙ වැඩ කරන නිසා අවශ්‍ය වෙලාවල සර් මැඩම් භාවිතා කලත් , නෑදෑයො නොවන අයට අයියා, මල්ලි නංගි අක්කා කියන්නෙ නෑ. නෑදෑයො වුනත් නම හරි මචං හරි preferred.

      කොහොමද බෝයිෆ්‍රෙන්ඩ්ට අයියා කියන එක? මට යාලුවෙක් කිව්ව එයාගෙ ගෝලයෙක් (ගෝලියෙක්) එකදවසක් කිව්වලු අපේ අය්යගෙ බ්ලඩ් ගෘප් එක --- මගෙ අය්යගෙ එක -- කියල.
      "අපේ" කියන්නෙ අයියටලු . "මගෙ" කියන්නෙ බෝයි ෆ්‍රෙන්ඩ්ටලු.

      මං දැන් කෙල්ලෙක් අයිය ගැන මොනව හරි කිව්වහම කල්පනා කරනව මොකාද කියල : -DD

      Delete
    3. කලින් කොමෙන්ටුවල ටයිපින් මිස්ටේක් තිබුනා

      මමත් නෑදෑ නොවන කිසිම කෙනෙකුට අයිය අක්ක නංගි මල්ලි කියන්නෙ නෑ. හැබැයි මට අයියා හෝ මල්ලි කීවොත් ඊට ගැලපෙන විදියට උත්තර දෙනව. මම බොහෝ විට කතා කරන්නෙ ඇඩ්‍රස් නැතිව. මුලින්ම හොදට හිනාවෙලා කාරනය කියනව.

      උසස් නිළධාරීන්ට සර් මැඩම් කියන්න වුනත් ඒකත් වෙන්නෙ කනකැස්බෑව විය සිදුරෙන් අහස බලනව වගෙ කලාතුරකින් විශේෂයෙන් මට යමක් කරවගන්න ඕන වුනහම වගෙ. ඒ හැර සර් මැඩම් කියන වචනවලට සුදුසුයැයි මා සිතන උසස් නිළධාරීන්ටනම් අනිවාර්යයෙන්ම කියනව.

      කොහොමටත් මම ඔය වචන පාවිච්චි කරන්නෙ ඉතාම අඩුවෙන්. මේ ලංකාව නිසා පාවිච්චි නොකරමත් බෑ ඉතින්.

      Delete
    4. මෙතන තියෙන මූලික දෙය රැකියාවේ හෝ වෙනත් විශේෂිත කරුණක් හා අදාළ ධුරාවලිය සමඟ එයින් බාහිර සාමාන්‍ය ජීවිතයේ දේවල් සම්බන්ධ කිරීම. අපේ කුල භේදයේ ඓතිහාසික විකාශනයේ ඉඳලා රසික ඊයේ ලියලා තිබුණු අදාල නොවන තැන්වලදී නමට උපාධිය එල්ලීම දක්වා දේවල් වෙන්නේ මේ සංස්කෘතික ලක්ෂණය නිසයි.

      Delete
  3. නාට්‍යයක චරිත තමයි අපි හැමෝම. චරිතෙ වෙනස් වෙනකොට වෙන ඇඳුම් වෙන දෙබස්.

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ එහෙම තමයි.

      Delete
  4. අනිවාර්යෙන්ම මේවගේ වෙනස්කම් ඉතාමත් සුලභයි.

    ReplyDelete
    Replies
    1. කවුරුහරි ඡන්දෙකින් දිනුවට පස්සෙත් වෙන්නේ ඔය වගේම දෙයක්නේ.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. අපේ බැච් එකෙත් හිටියා "කුප්පියා" කියන කාඩ් එක තිබුණු එකෙක්!

    ReplyDelete
    Replies
    1. උෟද රසිකයියේ කුප්පි දැම්මෙත්..........

      Delete
    2. ඒ තියෙන්නේ අන්වර්ථ නාමයක් නෙමෙයි. අන්වර්ථ අන්වර්ථ නාමයක්.

      Delete
    3. අර කුප්පිය්ය කාලා නිදා ගත්තේ එයාද ?

      Delete
  7. එල ද බ්‍රා
    ඉවානයගේ කයිය වගේම එල ද බ්‍රා..
    ඔය වගේ වෙලාවක පැනපු ගමන් දෙන්න ඔනේ හෙම්බ කට සමතලා වෙන්න..

    ReplyDelete
    Replies
    1. යකෝ ටිකක් සංවරව කියහංකෝ.............

      Delete
    2. එහෙම වෙච්ච අවස්ථාත් තියෙනවා. එවේලේම නෙමෙයි. පසුව සැලසුම් කරලා වූ දේවල්.

      Delete
    3. අනේ නිකන් හිටහන් කුරෑට්ටෝ...සුද්දියන්ට ඡංගි මහන මට මොන සංවරද?

      Delete
  8. මේක හුදෙකලා සිදුවීම් ගොඩක් එකතු කරලා, තනි සිද්ධියක් විදිහට ඉදිරිපත් කරපු මනඃකල්පිතයක් මිසක් ඇත්තටම ඔය විදිහටම සිදුවුණු දෙයක් නෙමෙයි. ඒත් මේ හුදෙකලා සිදුවීම් වලින් පිළිබිඹු වෙන්නේ අපේ කාලයේ (සමහර විට දැනටත්) කැම්පස් ජීවිතයේ හරස්කඩක්.

    ReplyDelete
    Replies
    1. සමහරවිට නෙවෙයි. දැනටත් එහෙම තමයි. අද්දැකීම් කිහිපයක් තියෙනවා. මීට අව්රුදු තුනකට විතර කලින්.

      Delete
  9. ලස්සනයි....... ඇත්තම එකක් වගේ ම ලියල තියෙනවා. කියවද්දි ඒ හැගීම දැනෙනවා අවංකවම.....

    ReplyDelete
    Replies
    1. අවංක පොරක් අවංකවම කිවුවහම පිළිගන්න වෙනවනේ!

      Delete
  10. පරක්කු වෙලා හරි මෙතනට එන්න ලැබුණු එක සතුටක්, මාව මතක් කිරීම ගැන මුලින්ම ස්තුතියි .
    ඇත්තටම ඉන්ටෙක් වීම තුල අපේ හැගීම් පවා ගන්ධබ්බ අවධියට පත්වෙනවා , එත් ශිෂ්‍ය කාලේදී හැමතැන දුවපු අක්මුල් එහෙම පිටින්ම ගලවලා අයින් කරන්න බැරි කෙනෙකුට ඔය ඉන්ටා වීමම හිසරදයක් වෙන අවස්ථා නැතුව නෙවෙයි.

    මම ඉන්ටා වෙනකොට ශිෂ්‍යන් කීප දෙනකගේ ශිෂ්‍ය භාවය අත්හිටුවලා උද්ගෝෂණ රැල්ලක් ගිය අවස්ථාවක්. එතකොට ඉන්ටා වුනු අපි කාම පැයේදී ගිහිං පිකටින් එකේ හිටගෙන හිටියා ,ඔෆ් වුනු ගමන් ගිහින් උපවාසේ වාඩිවුනා , එතකොට අර පඩිය නිසා අතේ මිටේ කියක් හරි තියෙන එකෙක් බවට පත්වෙලා හිටපු නිසා උන්ට කන්න බොන්න අරන් යන එක එහෙම සතුටින් කළා ,

    සර්වේ කෑම්ප් එකට ගියාම අසනීප වුනු ශිෂ්‍යයෝ ගැන කතා කරන්න ගිහිං ,ස්ටාෆ් හිටියා ඇති වගේ කියලා අහගත්තා. එහෙම ගියාම තේරුනා මේ හාෆ් ස්ටාෆ් වැඩේ අපි වගේ එවුන්ට කරන්න පුළුවන් කෙරුවාවක් නෙවෙයි කියල . අන්තිමට බැස්සා එලියට.

    ඒත් ඉන්ටා වෙච්ච් පලවෙනි දවසේ ඉඳන් ජූනියර්ස්ලාට සර් කියලා කතා කරපං කියලා කියපු එවුනුත් හිටියා . ඒ වගේම මචං ස්කොල් එකෙක්ට යන්නනම් පරණ කෙලි අමතක කරලා අලුතෙන් ඉපදුනා වගේ ඉන්න ඕන කියපුඑවුන් දිහා පුදුමෙන් බලන්නත් වුනා ,

    කොහොම වුනත් ඒක හරිම අමුතු අසරණ හැගීම් දනවන ජොබ් එකක් වුත්රක් වුනා අන්තිමට මටනම්

    ReplyDelete
    Replies
    1. ඔබ සඳහන් කරන කාණ්ඩ තුනටම අයත් අය අපි හිටපු දවස් වලත් හිටියා, ඉවාන්. හැබැයි උපවාස තියෙන පැත්තක නිකමට කැරකිලා එනවා මිසක්, උපවාසෙක වාඩිවුණු ඉන්ටෙක් ගැනනම් මම ඇහුවමයි.

      Delete
  11. මගේ අදහස රස්සාවයි,පුද්ගලිකත්වයයි පටලගන්න ඕනෙ නෑ කියන එක.ඒ කියන්නේ ඕෆ් උනාම "මචං" කියන තත්වයක් ගන්න පුලුවන්නම් හොදයි නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවනම් හොඳයි. ඒත් අපි තාම එතෙන්ට ගොඩාක් දුරින් නේද, මලී?

      Delete
  12. අල්ලපු කාමරේ හිටපු
    සූරසේන මැරිල ගිහිං
    අළුත් සූරසේන කෙනෙක්
    ඇවිල්ල ඉස්ටාෆ් එකට

    මෙතනදි නම් අඩුම තරමේ එක් ආයතනයක ඉන්න හින්දා එහෙම වෙන්න ඇති කියලාවත් හිත හදාගන්න පුලුවන්නේ.
    මගේ මිතුරෙක් හිටියා කොලඹ කැම්පස් එකේ සහකාර කතිකාචාර්යවරයෙක්.පස්සේ ජර්මන් යන්න චාන්ස් එකක් ආවා.අවුරැදු දෙකකට පස්සේ ආවාම අමුතුම මිනිහෙක් වෙලා.මට අයියේ කියන්න එපා,මචං කියන්න එපා සර් කියන්න කියලා මිනිහම කිව්වා.එකෙන් උනේ හොදම යාලුවෝ පිරිසක් මේ පුද්ගලයගෙන් ඈත්වුනා.තනිවුනා.තවම අපි කිහිප දෙනෙක් විතරයි ඇසුරැ කරන්නේ.

    ReplyDelete
    Replies
    1. 'මට සර් කියන්න' කියලා තමන්ටම කියන්න පුළුවන් අයගේ මානසිකත්වය ගැන මටනම් හිතාගන්නත් අමාරුයි. කැමැත්තෙන් සර් කියන අයට වක්‍රව උත්තේජනයක් දීම වෙනම දෙයක්.

      Delete
  13. සූරසේනට තියෙන්න ඇත්තේ හීනමානය......කඩදහියෙන් ලබපු තනතුර දරාගැනීමට අවශ්‍ය ගට නැති භාවය....ඉවාන් කිව්වා වගේ ලොකු හිතක් තියෙන්න ඕනි අඩු වයසෙන් ලොකු තරාතිරම් දරා ගැනීමට...හැමෝටම මචං විතරක් කියලා කතා කරන මම වැන්නෙකු ඉදිරියේ, මා ඉන්නා තැන නිසාම, අන්‍ත අසරණ භාවයන්ට පත්වෙන්නන් මට දවස පුරා හමුවේ....
    Ian, කිවා සේ වෙස් මාරු කරගැනීමට නලුවන් මෙන්ම ප්‍රේක්ෂකයින්ද පුහුනු විය යුතුය යන්න මගේ හැඟීමයි...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ... එල ද බ්‍රා කතාව

      Delete
    2. ඔව්, ඇත්ත. ඔබ කියන අත්දැකීමට කිට්ටු අත්දැකීම් මටත් තියෙනවා.

      Delete
  14. මම නම් කියන්නේ 'සුරසේනලා' එකතකින් පව්. 'ඔය කාලෙට රස්සාවක්..කියක් හරි අතට එන මාර්ගයක් කියන්නේ 'මාරම' වටින දෙයක්.. හොඳ පෞරුෂත්වයක් තියෙන එහෙකුට නම් ඕක කළමනාකරණය කර ගන්න පුළුවන්.. එත් හැමෝටම එහෙම බෑ..
    උණු හින්ද බොන්නත් බැරි කිරි හින්ද විසිකරන්නත් බැරි' .. අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නේ තමන් තමන් නොවීම පිලිබඳ ප්‍රශ්නයක්. සමහර අයට ශිෂ්‍ය ජීවිතයෙන් ඉවත් වුනාම අමාරුවෙන් වෙන කෙනෙක් වෙන්න වෙනවා. ශිෂ්‍ය කාලයේදී වෙන කෙනෙක් වෙලා සිටිය තවත් අය නැවත තමන් බවට පත්වෙනවා.

      Delete
  15. අර කයියයි මේ කයියයි දෙකම නියමයි

    ReplyDelete
  16. ඉවාන්ගෙ කවිය වාගෙම ඔබේ කවියත් හරිම ඉහළයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, හැලප සහ බණ්ඩා. කවිදනම් මන්දා? ඒ දවස්වල ඔය වගේ ඒවා කුරුටුගෑවා. මෑතකදීනම් බැරි වැඩවලට අතගහලා නැහැ.

      Delete
  17. මට මතකයි මේ කවි ටික ෆැකල්ටි arts circle පුවරුවේ එල්ලලා තිබ්බ හැටි. ඒ දවස්වල හොඳට හිට්ස් තිබිච්ච කවියක්. අනේ අවුරුදු විසි තුනක් විතර ඒවයේ මුල් පිටපත් පරිස්සම් කර ගත්ත එක කොයෝ තරම් අගේද . එදා වගේම අදටත් අදාලයි මේක. එළ එළ

    ReplyDelete
    Replies
    1. ඔබට මතක තිබුණද? මෙවැනි කොහේ හෝ පළකළ සහ පළනොකළ අත්පිටපත් ලොකු ෆයිල් එකක්ම මා ළඟ තියෙනවා.

      Delete
  18. මේකෙ අනිත් පැත්තත් තියනවා, අයියෙ අක්කෙ කියල කථා කරපු සීනියර් අය ඩිමෝ වෙලා ඉන්නකොට පැක්ටිකල්, පැක්ටිකල් රිපෝට් හරියට කරන්න, වෙලාවට සබ්මිට් කරන්න තියන උවමනාව අඩුවෙනවා.
    ඒවගෙ දේවල් ගැන ඩිමෝ කෙනෙක් යමක් කිවුවොත් මු මෙහෙමෙයි අපිත් එක්ක හිටියෙ දැන් මුගෙ ගැට්ට කියල ඩිමෝ එක්ක ගේම ඉල්ලනවා

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම එකඟයි, ඇනෝ. මේක එකම කාසියේ දෙපැත්ත. මේ දෙක එකකින් අනික පෝෂණය කරනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget