Monday, October 19, 2015

මේ ඇන්ටන් චෙකොෆ් වැවූ චෙරිවත්ත නොවේ.

මා සයවන ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේදී මසකට පමණ වරක් සති අන්තයේදී ගිය එක්තරා ගමනක් විය. ප්‍රධාන පාරෙන් නොගොස් එවකට අප පදිංචිව සිටි නිවසේ සිට අතුරු පාරවල් ඔස්සේ සැතපුම් තුනක් පමණ වූ දුරක් කඳුවැටි, ඕවිටි, පාළු සොහොන්පිටි, රබර්වතු, තේවතු පසු කරමින් එවකට මගේ සිංහල ගුරුතුමියගේ නිවසට මෙසේ ඇවිදගෙන ගියේ රත්තරන් හෙලේනාව හඳපානේ කැන්දන් එන්නට නොවේ. රත්තරන් හෙලේනා කුමරිය ඒ වනවිටත් වසර කිහිපයක සිටම පොත් රාක්කයේ වසීලිස්සා පොත ඇතුලේ සිටි නිසා එවකට මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඇය නොසිටියාය.

මේ ගුරුතුමිය අදාල කාලයේදී එක්තරා දුරකට මගේ වීරවරියකි. මේ දිනවල 'වයසට වඩා පැහී සිටි' මා සම්බන්ධව වැඩිහිටියන්ගේ ප්‍රතිචාර වර්ග තුනක් තිබුණේය. පළමු කොටස සිතුවේ මා ඕනෑවට වඩා පණ්ඩිත බවයි. ඔවුන්ට අනුව මගේ දෙමවුපියන් මා කියවන දේ පිලිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුය. එදිනෙදා උගන්වන පාඩම් පමණක් යන්තම් උඩින් පල්ලෙන් බලාගෙනවිත් තරමක් වෙනස් ප්‍රශ්නයක් ඇසූවිට ඇණගෙන නොදන්නාකම කටෙන් සහ වේවැලෙන් වසාගන්නා ඇතැම් ගුරුවරුද සිටියේ මේ ගොඩේය. මේ අයව මට ඇල්ලුවේම නැත.

දෙවන කොටස මේ පණ්ඩිතකමින් විනෝදයක් ලැබූ අයයි. වැඩිහිටියන්ගේ සාකච්ඡාවක් මැද්දට හදිසියේම මා කැඳවන මෙවැනි කෙනෙකු මගෙන් 'බරපතල' ප්‍රශ්නයක් අසයි. ඔවුන් මේ ප්‍රශ්නය අසන්නේ පිළිතුර දැනගැනීමට අවශ්‍ය නිසා නොව පොඩි එකා දෙන ලොකු උත්තරයෙන් ෆන් එකක් ගැනීම සඳහාය. ඇතැම් විට මෙය ඉලක්කම් තුනක සංඛ්‍යාවක් තවත් ඉලක්කම් තුනක සංඛ්‍යාවකින් මනසින් ගුණ කිරීම වැනි දෙයකි. මෙවැන්නක් ඒ කාලයේදී තරමක විනෝදජනක දෙයක් වූ අතර මගේ පිළිතුර පරීක්ෂා කිරීමට ගණක යන්ත්‍රයක් බොහෝ විට ළඟ පාතක නොතිබුණු නිසා උත්තරය හරියටම නිවැරදි නොවීම ලොකු ප්‍රශ්නයක් වුනේ නැත. එසේ නැත්නම් කෙනෙකුගේ උපන්දිනය සහ වෙලාව පවසා ලග්නය ඇසීම වැනි දෙයක් විය හැකිය. මෙවැනි වැඩිහිටියන් හමුවේදී 'පොරක් වීමෙන්' සතුටක් ලැබුණත් මේ දෙවන කාණ්ඩයේ අයගෙන්ද ගන්නට යමක් නැතිබව ඒ කාලයේදීම මට තේරුණේය.

මා ඉහත කී සිංහල ගුරුතුමිය ඇතුළු සුළු පිරිසක් තුන්වන කාණ්ඩයට අයත්විය. කුඩා දරුවෙකු යනු අර්ධ මිනිසකු නොවන බව සලකමින් මා නොදන්නා දේ විස්තර කරන අතරම, නොදන්නා දේ නොදන්නා බව නොපැකිල පවසමින්, මගේ අදහස් වලටද හොඳින් සවන් දුන් මේ තුන්වන කාණ්ඩයේ අය අදත් මගේ මතකයේ රැදී සිටිති. මා බොහෝ දේ උකහා ගත්තේ මෙවැනි අයගෙනි. එවැන්නන් සමඟ පැය ගණනක් එක දිගට කතා කරන්නට මට බොහෝ දේ තිබුණේය.

මේ ගමනින් ලැබුණු එකම ප්‍රයෝජනය පුරාවිද්‍යාව, ඉතිහාසය, ආගම්, නාට්‍ය, සාහිත්‍යය ඔස්සේ ඇදී ගිය මෙවැනි කතාබහ පමණක් නොවේ. එවකට අවිවාහකව සිටි මේ ගුරුතුමිය වාසය කළ ඇගේ දෙමවුපියන්ගේ නිවසට උදේ කාලයේ යන මා එහිදී දිවා ආහාරයද ගෙන හැන්දෑ වරුවේ ආපසු එන විට රැගෙන ඒමට බරටම දේවල් තිබුණේය. පළමුව, මේ නිවසේ වූ පොත් රාක්කයකින් එකතුකර ගන්නා පොත් හත අටකි. දෙවනුව, ආයුර්වේද වෛද්‍යවරයෙකුද වූ ඇගේ පියාගේ ලොකු එළවළු කොටුවෙන් එකතු කර දෙන එළවළු සහ අලවර්ග මල්ලකි. තෙවනුව, අදාල කාලය අනුව මේ වත්තෙන් එකතු කරගන්නා රඹුටන්, මැන්ගුස්, වෙරළු, නමිනං වැනි පලතුරු මල්ලකි. වසරකට පමණ පසු මේ ගුරුතුමිය විවාහ වී නිවසෙන් පිටව යන තුරු, ගෙනගිය පොත් කියවා අවසන් වීමෙන් පසු ඒවාද රැගෙන මා නැවත නැවතත් එහි ගියෙමි.

මේ ගුරුතුමියගේ නිවස 'කැම්පස් ගෙදරකි'. සාමාජිකයින් හත් අට දෙනෙකුගෙන් යුතු මේ පවුලේ එවකට අවිවාහකව නිවසේ සිටියේ බාලම සාමාජිකාවන් දෙදෙනා පමණි. පවුලේ වැඩිමලා එවකටත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු මෙන්ම ශාස්ත්‍රීය පොත් ගණනාවක් පළ කර තිබුණු ප්‍රසිද්ධ ලේඛකයෙකි. මේ සියල්ලන්ගේම පොත් එකතු සහිත රාක්ක කිහිපයකින්ම සිත් සේ පොත් තෝරාගැනීමේ නිදහස මා සතුවිය. ඇන්ටන් චෙකොෆ්ගේ චෙරිවත්ත නාට්‍යයේ පරිවර්තනය මා මෙසේ රැගෙන ගොස් කියවූ පොතකි. මාර්ටින් වික්‍රමසිංහට ගම්පෙරලිය ලිවිම සඳහා ප්‍රස්තුතය සැපයුවේ චෙකොෆ්ගේ චෙරිවත්ත බවට අදහස් පලවී තිබේ. එමෙන්ම. චෙකොෆ් සැබෑ ජීවිතයේදීද චෙරිවත්තක් වවා ඇති බව සඳහන්ය.

මගේ මතකය පරිදි චෙරිවත්ත පරිවර්තනය එතරම් ආකර්ෂණීය නිමාවක් නොතිබුණු කුඩා පොතක් වූ අතර ප්‍රගති ප්‍රකාශක මන්දිරයෙන් පලකළ සෝවියට් පොතක් නොවීය. එහෙත්, පොතේ අන්තර්ගතයෙහි වරදක් තිබුණේ නැත. වසර දෙකතුනකට පසුව චෙරිඋයන නම් වූ මේ පොතේම වෙනත් පරිවර්තනයක්ද මට කියවන්නට ලැබුණේය.

චෙකොෆ්ගේ චෙරිවත්ත කුඩා කාලයේදීම රසවින්දත් එහි නව නළු රස හැර චෙරි රසක්නම් මට එවකට දැනුණේ නැත. ඒ එවකට මා ශෘංගාර, හාස්‍ය, කරුණා, රෞද්‍ර, වීර, භයානක, බීභත්ස, අද්භූත හා ශාන්ත රස මිස චෙරි රස හඳුනාගෙන නොසිටි බැවිනි. ඔය කිවුවාට මා වාසය කළ වෙනත් ප්‍රදේශයක ළඟ පාත ගෙදරක චෙරිගසක් කියා ගසක් තිබුණේය. එහි කිසියම් ගෙඩි වර්ගයකුත් හැදුනේය. එහෙත්, ඒවායේ තිබුණේ පැණි රසක් හෝ ඇඹුල් රසක් නැති නොඉදුණු දන් ගෙඩියක් කන විට දැනෙන රස වැනි රසකි.

මා කුඩා කාලයේ නිවසට එනකෙනෙකු ළඟපාත කඩේකින් බිස්කට් පැකට්ටුවකට විකල්පයක් ලෙස ඇතැම් විට ගෙන ආ කේක් ගෙඩිය බොහෝ විට බටර් කේක් එකක් හෝ ඉඳහිට සම්ප්‍රදායික අයිසිං කේක් එකක් වුවා මිස ගැටෝ කේක් එකක් වුනේ නැත. ඒ අයුරින්ම, අයිස් පලම්, අයිස් චොක්ස් හෝ අයිස් කෝන් එකක් මිස අයිස්ක්‍රීම් සන්ඩේ ගැන ඒ දිනවල මා අසා තිබුණේ නැත. මේ නිසා අයිස්ක්‍රීම් සන්ඩේ එකක් සමඟ එන චෙරි ගෙඩියක් හෝ චෙරි ගෙඩි හයක් ගැසූ ගැටෝ කේක් එකක් සමඟ චෙකොෆ්ගේ වත්තට රිංගන්නට මට අවස්ථාවක් ලැබුණේ අනූව දශකයේදී විය යුතුය. මේ කාලයේදී චෙරි ගෙඩි ලෙස හඳුනාගත් සීනි ගුලි නියම චෙරියයි තවත් වසර ගණනාවක් මම සිතා සිටියෙමි.

චෙරි වත්තකට රිංගා, චෙරි ගසකට නැඟ බඩකට පිරෙන්නට චෙරි ගිල දැමීමේ අවස්ථාව ලැබෙන කාලය වනවිටනම් සැබෑ චෙරි රස විඳීමේ අවස්ථා ඕනෑ තරම් ලැබී තිබුණත් බොහෝ විට මෙසේ රසවිඳ තිබුණේ සාමාන්‍යයෙන් යුරෝපීය සහ උතුරු ඇමරිකානු වෙළඳපලේ බහුලවම දක්නට ලැබෙන තද දම් පැහැති චෙරි වර්ගයයි.

ප්‍රධාන වශයෙන්ම චෙරි වර්ග දෙකක් තිබේ. මෙයින් පළතුරක් ලෙස ආහාරයට ගන්නා පැණි රසක් ඇති ප්‍රභේද 'ස්වීට් චෙරි' ලෙසත්, ඇඹුල් රසැති ප්‍රභේද 'ටාර්ට් චෙරි' හෝ 'සවර් චෙරි' ලෙසත් හැඳින්වේ. ටාර්ට් චෙරි ප්‍රයෝජනයට ගන්නේ චෙරි යුෂ, වියලි හෝ ටින් කළ චෙරි ආදිය සෑදීම සඳහා පමණි. ඉතා ඉක්මණින් නරක් වන පලතුරක් වන චෙරි දින කිහිපයකට වඩා කල් තබා ගත නොහැක. මේ නිසා ඇපල් හෝ මිදී මෙන් වසර පුරාම වෙළඳපොලේ චෙරි දක්නට නොලැබේ. උත්තර අර්ධ ගෝලයේ චෙරි වැවෙන රටවල පලදාව නෙලන්නේ වසරේ අප්‍රේල් සිට අගෝස්තු දක්වා කාලය තුලදීය. දක්ෂිණ අර්ධ ගෝලයේ රටවල දෙසැම්බර් ආසන්නයේ චෙරි ගස් පලබර වේ.

සාපේක්ෂව වගා කිරීමට අසීරු පළතුරක් වන චෙරි ඝර්ම කලාපීය රටවල වැවිය නොහැක. චෙරි වැවෙන්නේ සමකයෙන් ඈත්ව පිහිටි නිශ්චිත උෂ්ණත්ව පරාසයක් පවතින ප්‍රදේශ වලය. ස්වීට් චෙරි මෙන්ම ටාර්ට් චෙරි නිෂ්පාදනය අතින්ද ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ තුර්කියයි. ස්වීට් චෙරි නිෂ්පාදනයෙන් දෙවන තැන සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඉතාලිය සහ ස්පාඤඤය වැනි දකුණු යුරෝපීය රටවල් සහ ඉරානයද ස්වීට් චෙරි නිෂ්පාදනය අතින් ඉදිරියෙන් සිටින රටවල්ය. ටාර්ට් චෙරි නිෂ්පාදනයෙන් දෙවන තැන සිටින්නේ රුසියාවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ස්වීට් චෙරි නිෂ්පාදනය මුළුමනින්ම පාහේ සිදුවන්නේ කැලිෆෝර්නියා, ඔරිගන්, වොෂින්ටන් යන බටහිර වෙරළබඩ ප්‍රාන්ත වලය. කැලිෆෝර්නියාවේ දකුණු ප්‍රදේශ වල චෙරිගස් අප්‍රේල් වෙද්දී පලබර වන අතර උතුරට යද්දී මේ අස්වනු කාලය ක්‍රමයෙන් පමා වෙයි. බටහිර වෙරලේ උතුරින්ම පිහිටි වොෂින්ටන් ප්‍රාන්තයේ කැනඩා මායිම ආසන්න කඳුකර පෙදෙස් වල චෙරි ගස් පලබර වන්නේ අගෝස්තු ආසන්නවය.

චෙරි ගස උගුරැස්ස හෝ ලොවි ගසක් වැනි මධ්‍යම ප්‍රමාණයේ ගසකි. එහෙත් උගුරැස්ස ගසක මෙන් කටු නැත. මලින් බර වූ චෙරිගසක් ඉතා ප්‍රිය දසුනකි. ජපානයේ සකුරා යනුද චෙරි වර්ගයේම ගසකි. බහුලවම දක්නට ඇති තද දම් පැහැති චෙරි වලට වඩා පෙනුමෙන් පැහැදිලිව වෙනස් තැඹිලි පැහැති රේනර් චෙරි මිලෙන්ද තරමක් වැඩිය. උඩින්ම ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ පලබර වී ඇති රේනර් චෙරි ගසකි. මේ ප්‍රභේද දෙකේ අතරමැද පැහැයක් ගන්නා දෙමුහුන් චෙරි ප්‍රභේද රැසක් තිබේ. රතු පැහැති වර්ගයද එවැන්නකි.

ඇමරිකා එක්සත් ජනපදයේ මෙවැනි ඇතැම් චෙරි වතු වල චෙරි පලදාව 'යූ-පික්' ක්‍රමයට ඉඩමේදී විකිණේ. මෙහිදී අපට චෙරි වත්තට ඇතුළු වී අවශ්‍ය පමණ චෙරි කඩා ගත හැකිය. පිටතට ගෙන යන චෙරි වලට බර අනුව මුදල් ගෙවිය යුතුය. බඩකට පිරෙන්නට චෙරි වත්තේදීම ගිල දමන චෙරි වෙනුවෙන් මුදල් ගෙවීමක් නැත. සාමාන්‍යයෙන් දෙතුන් වරක් අස්වනු නෙලීමෙන් පසු ඉතිරිවන චෙරි මේ ක්‍රමයට අලෙවි කරන්නේ කම්කරුවන් යොදවා චෙරි නෙලීමට වඩා මේ ක්‍රමය වාසිදායක නිසාය.

එකම කෘතියක් වුවත් චෙරිවත්ත හා චෙරිඋයන ලෙස දෙදෙනෙකු පරිවර්තනය කළ විට දැනෙන්නේ එකම රසය නොවේ. චෙකොෆ්ගේ නාට්‍යයේ මෑතකාලීන පරිවර්තනයක් වන 'ඉඩමේදී විකිණේ' රසවිඳීමේ අවස්ථාව මට හිමිවී නොමැති නිසා එහි රස ස්වීට් චෙරි රසක්ද නැත්නම් ටාර්ට් චෙරි රසක්ද කියා මා දන්නේ නැත.





38 comments:

  1. අර ටීචර් ගැන ලියල මදි වගේ. බොහෝ දියුණු රටවල ගුරු වෘත්තියට බැඳෙන්නේ ළමයින් ගැන කැපවීමක් ඇති උපාධිදාරීන්ය. ඊට අමතරව ඔවුන්ට මානසික විද්‍යාව ගැන අමතර දැනීමක් ලැබේ. අප වැනි රටවල මෙම වෘත්තියට බැඳෙන්නේ වෙන රැකියාවක් සොයා ගැනීමට නොහැකිවූ අයයි. තෝරාගැනීම වන්නේද දේශපාලකයෙකු ගේ නිර්දේශ මතය. එවන් අය අතර ඔබ කියනා වර්ගයේ ගුරුවරු අතලොස්සක් ඇත. මටත් එවැන්නන් දෙදෙනෙකු මගේ පාසැල් කාළයේදී හමුවී ඇත.

    ReplyDelete
    Replies
    1. ඇය තරුණ වියේදීම ප්‍රදේශයේ බලවත් දේශපාලනඥයෙකුට පවා අභියෝග කළ දිරිමත් කතකි. විවාහයෙන් පසු වෙනත් ප්‍රදේශයකට පදිංචියට යාමෙන් පසු මට ඇයව හමුවී නැත. ඇගේ හඳුන්වාදීමෙන් මට සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂක්ෂවරයෙකු සමඟ සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම ඇතුළු වෙනත් අවස්ථා රැසක් හිමිවිය. මා රසිකගේ සටහනක කමෙන්ටුවකට දැමූ පරිදි හත්වන ශ්‍රේණියේ සිටියදී කවිපොතක් අතින් ලියා විදුහල්පතිට පිළිගන්වා පසුව විදුහල් පුස්තකාලයට එකතුකළේ ඇගේ උනන්දු කරවීමෙනි.

      Delete
    2. Ian ගෙ කතාව ඇත්ත.ලගකදි ඉදන් ලංකාවෙ ගුරුවෘත්තියට යන්නෙ වෙන රස්සාවක් හොයාගන්න බැරි අය තමයි. ඒ අතරෙ පිස්සොත් ඉන්නව.ඒ වගෙ අය මේ වගෙ ශ්‍රෙෂ්ඨ ගුරුමෑනිවරු න්ටත් අවමානයක් .ඉස්සර ගුරුවරු එහෙම නෙමෙයි.

      ගුරුවරයා යනු විටෙක මවක් පියෙක් මනෝ වෛද්‍ය උපදේශකයෙක්, දාර්ශනිකයෙක්, මිතුරෙක් . මේ වගෙ විවිධ චරිත රැසක් ගුරුවරයා තුල ඉන්නවා. මගෙ ජීවිතයෙත් මට හුඟක් උදවු කළ ගුරුවරු හිටියා.
      ඒ ගුරුවරුන්ගෙ දෙව් විමනට පෙරේතයෙක් ආවොත් ඒ පෙරේතයට එරෙහිව මම ලියනව.

      Delete
    3. ගුරුවරු බහුතරයක් තමන්ගේ වගකීම ඉටුකරනවා. ඒ අතරින් අතලොස්සක් ඉන්නවා තමන්ගේ කරන දේ job නොව එකක් passion ලෙස ගන්නා. ඔවුන් තමයි හිඟ.

      Delete
  2. චෙරි උයන කියවලා තිබුනට මම දැනං හිටියෙ නෑ මේකෙ පරිවර්තන තුනක්ම තියෙනව කියල. මේ තුනෙන් වඩා ප්‍රශස්තම පොත මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඉඩමේදී විකිණේ නාට්‍යය මා නරඹා නැත. එය පොතක් ලෙස තිබේදැයි නොදනිමි. රන්ජිත් ධර්මකීර්තිගේ පරිවර්තනය මුල් පරිවර්තනය සමඟ සැසඳීමට තරම් මතකයක් දැන් මට නැත. මා මේ පොත් කියවා දැන් වසර 35ක් පමණ වේ.

      Delete
  3. චෙරි, ස්ටෝබෙරි වගේ ඒවා මම අකැමැතිම පලතුරු.
    ලංකාවෙ ලොවි මට අමා රසයි !

    චෙරිය උයන කියවලත් නැහැ බොලව් ! :(

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාගේ රුචි අරුචිකම් වෙනස්නේ, සෑම්. මමනම් කාල නැති පළතුරක් දැක්කොත් රස විඳිලා බලනවා. අලුතින්ම කාපු පළතුර කිවානෝ- අප්‍රිකානු පළතුරක්. ස්ට්‍රෝබෙරිනම් දැන් ලංකාවෙත් සාර්ථකව වවනවනේ.

      Delete
  4. ඔවැනි එකම එක ගුරුවරියක් මගේ පාසල් කාලයේ හමුවී තියනවා. අපට 4-5 වසර වල උගන්වන්නට හිටපු කෙනෙක්. ඇය නිසා යා යුතු මඟ හොයාගත් ගණන බොහොමයි.

    අර ඉයන් කිව්ව වගේ ගුරුවරිය ගැන කිව්වා බොහොම මදි.

    ReplyDelete
    Replies
    1. මටනම් මෙවැනි හොඳ ගුරුවරු සහ ගුරුවරියන් ගැනත් අත්දැකීම් රැසක් තිබෙනවා. හැබැයි ඉතිං ගුරුහොරු තමයි වැඩි.

      Delete
  5. චෙරි ගෙඩි සෘංගාරාත්මක සංකේතයක් ලෙසත් යොදා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රශස්ත කාලගුණයක් නොමැතිනම් චෙරිගෙඩි පුපුරාගොස් ගෙඩියේ පැල්මක් ඇතිවේ. එවිට චෙරි වල ආර්ථික වටිනාකම නැති වේ. සාමාන්‍ය භාවිතයේදී ස්ත්‍රියකගේ කන්‍යා පටලයද ඉංග්‍රීසි බසින් චෙරි ලෙස හැඳින්වේ.

      Delete
  6. මුලින්ම කොහේදි හෝ චෙරි ගෙඩියක් කන්න ලැබුණු දා, අයියෝ කියා සිතුණි.

    ReplyDelete
    Replies
    1. කවදාවත් චෙරි කාල නැති කෙනෙක්ට ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. චෙරි කියලා හිතාගෙන කේක් එක්ක එන සීනි ගුලි වලට පුරුදු වෙලා හිටපු නිසා මටත් ඔය දේ ඔය විදිහටම දැනුනා. දැනුමෙන් මිදීම (unlearning) දැනුම ලබා ගන්නවාට වඩා ගොඩක් අමාරුයි.

      Delete
  7. ඉකොනෝමැට්ටා ගේ පොස්ට් කියවන විට එන්නේ නෙල්ලි ගෙඩියක් කා වතුර බිව්වාක් වැනි හැගීමකි , ඔබගේ හැම පොස්ටුවකම වාගේ රසයන් කීපයක් කීප අයුරකින් කැටි වී තිබේ. අගෙයි.

    අර තුන්වන කාණ්ඩයේ වැඩිහිට්යන් ලෙසට හිතන්නට බහුතරයක් පුරුදු වුනු දාට නිර්මානශිලි දරු පරපුරක් බිහි වේවි

    ReplyDelete
    Replies
    1. හැබැයි වතුර වීදුරුව හොයාගෙන බොන එක තමන්ගේ වැඩක්, ඉවාන්!

      Delete
  8. අපේ ටේස්ට් එකයි සුද්දගෙ ටේස්ට් එකයි අතර තියෙන පරතරය හින්ද වෙන්න ඇති අපේ බහුතරයක් චෙරි ස්ට්‍රෝෙබරි එතකොට අර දොඩං වගේ මොනවද අර වද බහින තැඹිලි පාට ලෙල්ල තියෙන එක දිරවන්නෙම නෑනෙ.. සිරාවටම හරිම වචනෙ ඩිස්ගස්ටින්

    තුන් දෙනෙක්ගෙ පරිවර්තන කියන්නෙ තුන්දෙනෙක්ගෙ භාෂා භාවිතය නෙහ්.. මාත් චෙරි උයන විතරයි කියවල තියෙන්නෙ අනෙත් පරිවර්තන දෙක කියවල නෑ..ලයිබ්‍රියකින් හම්බුනොත් තමා බලන්න වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. භාෂා භාවිතයට වඩා යමක් තියෙනවා නේද? උඩකැන්දවල සරණංකර හිමිගේ දීනදුක සහ ඊරියගොල්ලගේ මනුතාපය ගැන හිතන්න.

      Delete
  9. ගල් සියඹලා,ලොවි,වෙරලු වලට වඩා ස්ටෝබෙරි,චෙරි ජනප්‍රියයි.
    කරවල, ජාඩි වලට වඩා හැම්,බේකන් ජනප්‍රියයි.
    උම්මග්ග ජාතකයට වඩා රාමායනය, මහා භාරතය ජනප්‍රියයි. මේක භාණ්ඩයේ/නිර්මාණයේ තත්වය සම්බන්ධ දෙයක්වක් පුද්ගල කැමැත්තට ඌණනනය කලහැකි දෙයක්වත් නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. මල්මාමාට වඩා ටින් ටින් ජනප්‍රියයි.

      Delete
    2. ඔබේ කමෙන්ටුවේ පොස්ට් එකක් ලියන්න තරම් දේවල් තියෙනවා. යම් පළතුරක් ජනප්‍රිය වීමට ඉල්ලුම් සාධක වගේම සැපයුම් සාධකත් බලපානවා. ඉල්ලුම් සාධක වලට බලපාන්නේ පුද්ගල කැමැත්ත. පුද්ගල කැමැත්තට උපතින් ලැබෙන ජාන වගේම සංස්කෘතික සහ පාරිසරික සාධකත් බලපානවා. 'ගල් සියඹලා,ලොවි,වෙරලු වලට වඩා ස්ටෝබෙරි,චෙරි ජනප්‍රිය' වීමට සැපයුම් සාධක හේතු වන බවයි මගේ අදහස. මේ පලතුරු මහා පරිමාණයෙන් වගා කර නිසි ප්‍රමිතියකින් වෙළඳපොළට ඉදිරිපත් කරනවානම් ඒවා ලෝකයේ වෙනත් පැති වලත් ජනප්‍රිය නොවීමට හේතුවක් මා දකින්නේ නැහැ. ඇමරිකාවේ සාමාන්‍යයෙන් සාර්ථකව වගා කළ නොහැකි (ප්‍රදේශ කිහිපයක හැර) අඹ සහ කෙසෙල් සාපේක්ෂව ජනප්‍රියයි වගේම සුලභයි. ගස්ලබු වුනත් දුලබ නැහැ. මේ පලතුරු දකුණු ඇමරිකානු රටවල මහා පරිමාණයෙන් වගා කර අපනයනය කරනවා. යුරෝපයේත් කෙසෙල් හා අඹ ජනප්‍රියයි. වෙරළු ඔලිව් මෙන් ටින් කළ හැකිනම් ඔලිව් වලට හොඳ ආදේශකයක් වෙයි. ලොවි වලින් ටාර්ට් චෙරි වලින් ගන්නා ප්‍රයෝජන ගත හැකියි. මල්මාමා කාටුන් චිත්‍රපටයක් හැදුවොත් එය ටින්ටින් මෙන් ජනප්‍රිය වෙයි. කලා නිර්මාණයක් වගේම කෑමක් රස විඳීමටත් පුද්ගලයෙකු ලබා ඇති පුහුණුව බලපානවා. පළමු වරට නීරසක් දැනෙන ඇතැම් දේ පසුව රසවත් සේ දැනෙනවා. හැම් සහ බේකන් සකස් කර ඇති ආකාරය අනුව පහසුවෙන් ආහාරයට ගත හැකියි. ලංකාවේ ඇති කරවල නැවත සකස් නොකර කෙලින්ම ආහාරයට ගත නොහැකි නිසා එය හැම් වලට හොඳ ආදේශකයක් නෙමෙයි. එහෙත් කරවල වලට කිට්ටුවෙන් යන දුම් ගැසූ මාළු ඇතැම් යුරෝපීය රටවල බොහෝ ජනප්‍රියයි. කුමන ආකාරයකින් සිදුවුණත් අවසාන වශයෙන් පුද්ගලයින්ගේ රුචි අරුචිකම් වෙනස් නිසා ඔවුන්ගේ තෝරාගැනීම් සමාන නැහැ. ඉල්ලුමක් තිබිය හැකි තැනක එය සැපිරී නැත්නම් එහි ව්‍යාපාරික අවස්ථාවක් තිබෙනවා. ගල් සියඹලා, ලොවි, වෙරලු නිසි ප්‍රමිතියකින් සකස් කර අපනයනය කළ හැකිනම් එය එවැනි අවස්ථාවක්.

      Delete
    3. මල්මාමා ගෙන් කාටුන් එකක් හැදීමනම් හොඳ අදහසක්. ඇත්තටම අපි මල්මාමාට සලකනවා මදි.
      පලතුරු ගැන කියද්දීනම් ඇපල් දොඩම් කෙසෙල් අඹ වගේ පලතුරු ආහාරමය වටානාකමක් තියෙන "නියම පලතුරු" ලෙස හැඳින්විය හැකියි නමුත් ස්ට්‍රෝබෙරි වගේ පලතුරු හිම වැටෙන රටවල වැවෙන ගඩාගෙඩි ලෙස සැලකිය හැකියි. මේවගේ පලතුරු ජනප්‍රිය වන්නේ සංස්කෘතික හේතු මත.
      අනිත් අතට මම දන්න තරමින් යුරෝපයේ ජනප්‍රිය නිවර්තන කලාපීය පලතුරු එම වෙලඳපොලවල්වල ජනප්‍රිය ‍කරවූයේ එම රටවලම ව්‍යාපාරිනයන් විසින්මයි.

      Delete
    4. "නියම පලතුරු" සහ ගඩා ගෙඩි අතර ඔබ සඳහන් කරන වෙනස මම හරියටම දන්නේ නැහැ. ඔබ මේ බෙදීම කරන්නේ පෝෂ්‍ය ගුණය (කැලරි ප්‍රමාණය සහ සංඝටක) අනුවනම් එහි ඇත්තක් තිබෙනවා. //අනිත් අතට මම දන්න තරමින් යුරෝපයේ ජනප්‍රිය නිවර්තන කලාපීය පලතුරු එම වෙලඳපොලවල්වල ජනප්‍රිය ‍කරවූයේ එම රටවලම ව්‍යාපාරිනයන් විසින්මයි.// මා සිතන්නේ ඇමරිකාව හා අදාළවත් මෙය එසේම බවයි.

      ජගත් මල්මාමාට ගොඩක් කැමතියි වගේ. මම කලින් තැනකත් සඳහනක් දැක්කා වගේ මතකයි. මමත් ගොඩක් ආසාවෙන් බලපු කතාවක්.

      Delete
  10. ඉස්සෙල්ලම 'ඔරිජිනල්' චෙරි ගෙඩියක් කෑවම මට දැනුනේ බෙහෙත් රසක්.
    ඒ චෙරි රස කොෆ් සිරප් 'රස බේස්' එක විදියට තිබුන නිසා වෙන්න ඇති. අපේ සංවේදන , perceptions හැඩගැහෙන විදිය හරි පුදුමයි!
    දැන් නම් චෙරි ආසාවෙන් කනවා.

    මේ පැත්තේ චෙරි පිකින් සීසන් එක දැන් ළඟයි!

    ReplyDelete
    Replies
    1. ඔවු, ගොඩක් දේවල් අපිට රස ලෙස දැනෙන්නේ අපි ඒ දේවල් වලට පොඩි කාලේ ඉඳලා පුරුදු වෙලා නිසා.

      Delete
  11. පොත කියවලා නෑ..
    ලංකාවේ නුවර එලියේ මහා පරිමානයෙන් චෙරි වවනවා නේද?

    ReplyDelete
    Replies
    1. හම්මේ, තාම යහතින් නේද? මං හිතුවේ මට කකුල් දෙකකට ගෙවන්න වෙයි කියලා. මේ පාර චෙරි ගැන ලිවුවෙත් ඒකයි. නුවරඑළියේ දැන් චෙරි වවනවද? මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. වවනවනම් ඒක හොඳ ආදායම් මාර්ගයක් වෙයි. දැන් ඔය ස්ට්‍රෝබෙරි වැඩෙත් නැගල යනවනේ. හැබැයි චෙරි වවන එක සාපේක්ෂව හරිම අමාරු, අවදානම් සහගත වැඩක්. කාලගුණයේ පොඩි වෙනසකින් මුළු අස්වැන්නම විනාශ වෙන්න පුළුවන්.

      Delete
    2. නුවරඑළියෙ චෙරි වවන්නෙ නෑ. කුඩා පෙයාස් වතු සහ සුළුවෙන් ස්ට්‍රෝබෙරි වවනව. දැන් පොඩි ඇපල් ජාතියක් වවනව හැබැයි අඹ වගේ ඇඹුල්.

      Delete
  12. චෙරි ගෙඩියක් මුලින්ම කෑවේ විදියට ගැටෝ එකක ගහලා තිබ්බ එකක් වෙන්න ඕනේ.චෙරි වැඩිය කලා නැති නිසා රස මේ වගේ කියා මතක් කර ගන්න අපහසුයි.

    ReplyDelete
    Replies
    1. අපි ගොඩක් අයට සාමාන්‍යයෙන් මුලින්ම කන්න ලැබෙන්නේ ඔය වගේ ගැටෝ එකක ගැසූ චෙරි ගෙඩියක් තමයි.

      Delete
  13. හොද ගුරුවරු කියන්නෙ චෙරි ගෙඩියක් වගේ ඉක්මනින් නරක් වෙන ළමයි නියම ලෙසට, කාලයට නිවැරදි පාරට යොමු කරන අයටයි.
    ඇත්තටම එකම පොතක් පරිවර්ථනය කරන පුද්ගලයා භාවිතා කරන වචන තුලින් සෑහෙන්ඩ වෙනස් වෙනව නේද හරියටම චෙරි වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ගුරුවරුන්ට පුළුවන් කැලේ හැදෙන චෙරි හොඳ මිලක් ගත හැකි වෙළඳපොළවල් වලට හඳුන්වා දෙන්නත්. මා උඩින් කී ගුරුවරිය ඒ දේ කළා.

      Delete
  14. කේක් උඩ තියෙන චෙරි ගෙඩිය කන්නේ කොයි වෙලාවෙද කියලා අදටත් කෙල පෙරාගෙන බලාගෙන ඉන්නවා...

    අර කතන්දරට කියලා තියෙන චෙරි කන්න කව්ද අප්පා ආස නැත්තේ...

    ReplyDelete
    Replies
    1. මමත්. සමහරවිට අනුන්ගේ අතුරුපස වල තියෙන චෙරි ගෙඩිය ඉල්ලගෙනත් කනවා. පෙර්ත කමට චෙරි බෝතලයක් ගෙනාවා. යන්තම් ටික කලායකට පෙරේත කම ගියා.

      Delete
    2. //පෙර්ත කමට චෙරි බෝතලයක් ගෙනාවා. යන්තම් ටික කලායකට පෙරේත කම ගියා.// මමත් කෑමකට ආස හිතුනම ඔය වැඩේ කරනවා.

      //අර කතන්දරට කියලා තියෙන චෙරි// වඳුරන්ට අහුවුනොත්නම් ගැටයක්වත් බේරගන්න අමාරුයි.

      Delete
  15. චෙරි ගැන මෙච්චර විස්තර ටිකක් කියෙව්වමයි... චෙරි රස මතක් කරගන්න අමාරුයි නේ මටත්. කේක් වල තියෙන චෙරි තනිකරම සීනි වලින් හදන එකක් ද? මම හිතුවේ මොකක් හරි වියලි පළතුරකින් හදන දෙයක් කියල...

    ReplyDelete
    Replies
    1. ඒවා හදලා තියෙන්නේ (මම හිතන හැටියට) ඇත්ත චෙරි වලින්ම තමයි. ඒ වුනත් සීනි ද්‍රාවනයක කාලයක් තියලා වගේ දෙයක් නිසා එයින් එන්නේ තද පැණිරසක් මිස සැබෑ චෙරි රස නෙමෙයි. කුඩා ළමුන්ට දෙන ඇතැම් බෙහෙත් වල තියෙන්නේ චෙරි රස. ඔය විදිහටම, සීනි ද්‍රාවන වල ටින් කළ රඹුටන්, වරකා ආදියේ වැඩිපුර තියෙන්නේත් සීනිවල පැණි රස.

      Delete
  16. මෙතැන පින්තුර දැමීමට නොහැකි නිසා අපේ චෙරි ගැහෙ පින්තුරයක් දමන්න බහ. නමුත් අපේ චෙරි ගහ ඇඹුල් එකක්. බිරිඳ ගෙදර පාවිච්චිය සඳහා චෙරි ලිකර් හදන්නේ ඒවායින්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget