වෙබ් ලිපිනය:

Sunday, January 10, 2021

අල හොදි හා නියඟලා අල


වැහි දවසක්. ඇමරිකාවේ නෙමෙයි, ලංකාවේ. උදේ වැඩට යන්න බස් එකෙන් බහිනවා. බස් එකෙන් බැහැලා කන්තෝරුවට පයින් යන්න තිබෙන්නේ බොහොම පොඩි දුරක්. ඒ වුනත්, මොර සූරන වැස්ස නිසා ඒ පොඩි දුර පයින් යන්න බැහැ. අතේ කුඩයකුත් නැහැ. බස් එකෙන් බැහැපු ගමන්ම කරන්න තියෙන්නේ ළඟම තියෙන කඩ පිලකට දුවන එක. මිනිත්තු පහළොවක් ඇතුළත කන්තෝරුවට නොගියොත් රතු ඉර වදිනවා. එතකල් වැස්ස අඩු වීම බලාපොරොත්තුවෙන් කඩ පිලේ ඉන්න පුළුවන්කම තිබෙනවා.

යන්නේ කන්තෝරුවටම නොවෙන්න පුළුවන්. ප්‍රශ්නය රතු ඉර වදින එකම නොවෙන්න පුළුවන්. උදාහරණ විදිහට විභාගයකට, ටියුෂන් පංතියකට, දේශනයකට හෝ සම්මුඛ පරීක්ෂණයකට යද්දී ඔය වැඩේ වෙන්න පුළුවන්. ආණ්ඩුවේ කන්තෝරුවක් හෝ බැංකුවක් වහන්න කිට්ටුව වැඩක් කරගන්න යද්දී ඔය වැඩේ වෙන්න පුළුවන්. මම හිතන්නේ කියවන ගොඩක් අයට ඔය වගේ අත්දැකීමක් නැති වෙන්න බැහැ.

මිනිත්තු පහක් ගත වෙද්දී වැස්ස ටිකක් තුරල් කරනවා. ආයෙම වැඩි වෙන්නත් පුළුවන්. වැස්ස නැවතිලාම යන්නත් පුළුවන්. කිසිම නිශ්චිත අදහසක් නැහැ. පොඩ්ඩක් තෙමෙද්දී කන්තෝරුවට දුවනවද? නැත්නම්, වැස්ස ආපහු වැඩි වීමේ අවදානම අරගෙන පායනකම් තව ටිකක් බලනවද? 

ඔය වගේ වෙලාවක මමනම් බොහෝ විට කරන්නේ පොඩ්ඩක් තෙමෙද්දී කන්තෝරුවට දුවන එකයි. සමහර විට මිනිත්තු පහක් යද්දී වැස්ස පායලා. තෙමිලා තියෙන්නේ නිරපරාදේ. හැබැයි වැස්ස තවත් අඩු වන තුරු බලා ඉඳිද්දී වැස්ස අඩු නොවී තවත් වැඩි වුනානම් එක්කෝ හොඳටම තෙමෙන්න වෙනවා. නැත්නම් රතු ඉර වැදෙනවා.

අපිට ජීවිතයේ මුහුණ දෙන්න වෙන ගොඩක් ප්‍රශ්න ඔය වගේ. නිශ්චිත නිවැරදි පිළිතුරක් නැහැ. අවිනිශ්චිතතාවය හමුවේ  තීරණ ගන්න වෙන්නේ විෂයමූලික සම්භාවිතා මත පදනම්වයි. ගන්න තීරණයකින් අවදානම අඩු කරගන්න පුළුවන් වුනත් අවදානම නැති කරගන්න බැහැ. 

සමහර දවසට බස් එක ලොකු ට්‍රැෆික් එකකට අහුවෙලා වෙනදාට වඩා පරක්කු වෙනවා. අනිවාර්යයෙන්ම වෙලාවට වැඩට යන්න බැරි වෙනවා. උදේම ඉන්නම ඕනෑ රැස්වීමකුත් තියෙනවා. ඉන්න තැන අනුව බස් එකෙන් බැහැලා ත්‍රීවීල් එකක් හොයා ගන්න පුළුවන් කමක් පේන්නෙත් නැහැ. තියෙන ට්‍රැෆික් එකේ හැටියට ත්‍රීවීල් එකකට වුනත් අස්සෙන් රිංගලා යන්නත් අමාරුයි. ඒ කියන්නේ විකල්පයක් නැහැ. ඉතිං මැරෙන්නද? බස් එක යන වෙලාවක යයිනේ කියලා හිතලා පාඩුවේ අතේ තියෙන පොතක් කියවන එකයි මමනම් කරන්නේ.

අඥේයවාදියෙක්ගේ ලෝකය සමස්තයක් විදිහට ගත්තහම අවිනිශ්චිතතාවන්ගෙන් පිරුණු එකක්. අඥේයවාදියෙක්ම නොවුනත් ඕකේ වෙනසක් නැහැනේ. අඥේයවාදියෙක්ගේ තිබෙන වෙනස ඔය ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හොයන්න වද නොවීමයි. නිශ්චිත පිළිතුරු හොයන්නේ නැහැ කියා කියන්නේ පිළිතුරු හොයන්නේ නැහැ කියන එක නෙමෙයි. අවිනිශ්චිත පිළිතුරකින් සෑහීමකට පත් වෙන්න පුරුදු වෙනවා කියන එකයි.

වයස අවුරුදු එකොළහක් වෙද්දී, ඒ කියන්නේ හයේ පන්තියට එන කොට මම මුළු හදවතින්ම හේතුවාදියෙක් වී සිටි බව කලින් ලිපියේ ලිවුවනේ. ඒ එක්කම විද්‍යාව ගැන ඉගෙන ගන්නත් විශාල උනන්දුවක් ඇති වුනා. විශේෂයෙන්ම තාරකා විද්‍යාව ගැන ගොඩක් කියෙවුවා. ඒ වයසේ හැටියට වෙනත් අයට වඩා ඉදිරියෙන් සිටියත් මහා ලොකු දේවල් දැනගෙන හිටියා කියන්න බැහැ. අහල පහළ පුස්තකාල හත අටකම නිත්‍ය සාමාජිකයෙකු වී හිටියත් තිබුණු දැනුම් පිපාසයට සරිලන තරමේ සිංහල පොත් හොයාගන්න පුළුවන් වුනේ නැහැ. සාපේක්ෂතාවාදය ගැන ලියපු සිංහල පොතක් හොයා ගන්න පුළුවන් වුනේ අටේ පංතියේදී පමණ.

ගොඩක් වෙලාවට හේතුවාදීකම එළියට දැම්මේ වැඩිහිටියෙකු කේන්ති ගස්සන්න අවශ්‍ය වූ විටක. වැඩිහිටියන් කේන්ති ගස්සන්න අවශ්‍ය වුනේ මගේ නිදහසට වැඩිහිටියෙක් අනවශ්‍ය ලෙස බාධා කරනවා කියා හිතුනු වෙලාවට. මා විසින් මිථ්‍යා විශ්වාස සේ වර්ග කර තිබුණු දේවල් වලට බොහෝ වැඩිහිටියන් විශාල බරක් තබන බවත්, වැඩිහිටියන් සමඟ ගනුදෙනු කරද්දී ළමයෙකුට සිදුවන අවාසි සමනය කරගැනීමේ මාර්ගයක් ඒ හරහා වැටී තිබෙන බවත් ඉතා අඩු වයසකදී අවබෝධ කරගන්න මට පුළුවන් වී තිබුණා. ළමයෙක් විදිහට වැඩිහිටියන්ගේ ඔය දුර්වලතාවය මම බොහෝ වර ප්‍රයෝජනයට අරගෙන තිබෙනවා. වැඩිහිටියෙක් අසාධාරණයක් කරද්දී ගොඩක් වෙලාවට බැණුම් ඇහුවේ පැත්තක හිටපු දෙවියෙක්.

ඔය වැඩේ නිසා සිදු වුනු පාඩුත් බොහොමයි. "කට කැඩිච්ච කතා" කියලා නමක් හදාගෙන හිටපු නිසා කාලයක් යනකල්ම කෝඩුවේ සිරීපාදේ එක්ක ගෙන යන්න කැමති වැඩිහිටියෙක්ව හොයා ගන්න අමාරු වුනා. අන්තිමට මේ වැඩේට ඥාතියෙක්ව බොහොම අමාරුවෙන් කැමති කරගත්තා. ඇය ගත්ත අවදානම ගැන හිතලා, ඇයට මා නිසා වෙනත් අයගෙන් බැණුම් අහන්න වෙන එක වලක්වා ගන්න ඔය ගමන ගිහින් එනකල්ම වචනයක් කටින් පිට කරන්න කලින් දහයට ගණන් කරනවා කියලා හිතින් අධිෂ්ඨාන කරගෙනයි ගියේ. ඒ වැඩේනම් අමාරුවෙන් වුවත් ඒ විදිහටම කළා. හිතට ආපු දේවල් ඒ විදිහටම කිවුවනම් කී පාරක් කට වරද්දගෙනද දන්නේ නැහැ.

සාමාන්‍ය පෙළ විභාගයට යන්න කලින් බෝධි පූජා තියන්නත්, බෙල්ලන්විල ගොස් කතරගම දෙවියන්ට භාර වීමටත් හැදුවත් යන එක කෙලින්ම ප්‍රතික්ෂේප කළා කියලා අජිත් ධර්මා විසින් ලියා තිබුණා. ඔය වගේ වැඩ මමත් ඕනෑ තරම් කරලා තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට යද්දී ප්‍රතිඵලය ගැන මට විශාල සහතිකයක් තිබුණා. සාමාන්‍ය පෙළ විභාගය කියා කියන්නේ එක විෂයයක විෂය අංකය පාසැලෙන් වරද්දලා යවලා හයේ පන්තියේ සිට වසර පහක් උගත් විෂයයක් වෙනුවට කවදාවත් ඉගෙනගෙන නැති විෂයයක් විභාගයට ලියන්න වී තිබියදී ඒ විෂය දවස් තුන හතරකින් ඉගෙන ගෙන එයටත් විශිෂ්ඨ සාමාර්ථයක් ලබාගත් අමතක නොවන විභාගයක්. ප්‍රතිඵලය ගැන ඒ තරම් සහතිකයක් තියෙද්දී ඒකේ ගෞරවයෙන් පොඩ්ඩක්වත් කොහේවත් ඉන්න දෙවි කෙනෙක්ට දෙන්න මට අවශ්‍ය වෙලා තිබුණේ නැහැ.

සාමාන්‍ය පෙළ විභාගයේ පළමු දවසේදී විභාග ශාලාවේ වාඩි වී සිටිය යුතු වූ වෙලාව උදේ අට. උදේ අටට පාසැලට යන්නනම් හතටවත් කළින් ගෙදරින් යා යුතුයි. පාසැල් බස් රථය එන්නේ උදේ 6:45 වගේ වෙලාවකට. පාසැල් බස් රථය අල්ලා ගත්තේ නැත්නම් වෙනත් බස් එකක යන්න වෙනවා. වෙනත් බස් සීසන් කෑලි වලට හැම විටම නවත්වන්නේ නැහැ. ඔය ඔක්කොම සලකලා බලලා පාසැල් බස් එක එන වෙලාවට ගෙදරින් එළියට බහින්න හදන කොටම අමුතු නියෝගයක් ආවා.

"හතහමාරට රාහු කාලේ. පරක්කු නොවී යන්න."

සඳුදා දවස් වල හතහමාරට රාහු කාලේ ලබනවා. රාහු කාලේ තිබුණත් නැතත් කොහොමටවත් මම හතහමාර වෙනකම් ගෙදර ඉන්නේ නැහැ. ඒ වෙලාවට ගෙදරින් ගිහින් වෙලාවට විභාගෙට යන්න බැරි බව දන්නවා. ඒ වෙනකොටත් අනෙක් භාරහාර සියල්ල ප්‍රතික්ෂේප කරලා තිබුණු නිසා අන්තිම මොහොතේ හරි මගේ විභාග ප්‍රතිඵලයේ නම්බුව හොරකම් කරන්න හදන උත්සාහයක් විදිහටයි මට මේක තේරුණේ. මළ පැන්න පාර විභාගයට වෙලාවට යන්න බැරි වෙන එකේ අවදානමත් අමතක වුනා. ආපහු ගෙදර ඇවිත් රාහු කාලේ ලබලා මිනිත්තු පහක් ගත වෙන තුරු පුටුවක වාඩි වෙලා ඉඳලා, වම් කකුල පෙරට තියලා, දොරෙන් ඉදිරිය බලා කෙළින්ම එළියට බහින්නේ නැතුව එදා මරු සිටි දිශාව වූ වයඹ දිශාවට හැරිලා ගෙදරින් එළියට බැස්සේ 7:35ට. මිනිත්තු පහක් වැඩිපුරත් හිටියේ යාන්තමින් රාහු කාලය අහු නොවී යන්න පුළුවන් නිසා. විභාගෙට යන්න ඉන්න නිසා පින්සෙන්ඩු වුනා මිසක් ගෙදර කවුරුවත් ගහන්න බණින්න ආවේ නැහැ.

මගේ වාසනාවට වගේ බස් නැවතුමට යන කොටම ආපු දුරගමන් බස් රථයක් අත දාපු ගමන් නැවැත්තුවා. බස් නැවතුමේ වෙන කවුරුවත්ම හිටියේ නැහැ. හැමෝම ගිහින්. සාමාන්‍යයෙන් බස් එකක් එනතුරු මිනිත්තු දහයක් පහළොවක් බලා ඉන්න වෙනවා. එවැනි ප්‍රමාදයක් සිදු නොවූ නිසාත්, බස් එක හැම තැනම නවත්වන එකක් නොවූ නිසාත් සෑහෙන තරම් ඉක්මණින් පාසැල ළඟට ගියා. ඊට පස්සේ හති දාගෙන විභාග ශාලාවට දිවුවා. අටට විභාග ශාලාවේ සිටිය යුතු වුනත් විභාගය පටන් ගන්නේ අටහමාරට. ඒ අතර, කොළ බෙදන එක විභාග අංකය (ඇඩ්මිෂන් කාඩ් එක) පරීක්ෂා කරන එක ආදිය කරනවා. මම යන කොට ඔය ඔක්කොම කරලා අන්තිමට ප්‍රශ්න පත්‍රයත් බෙදලා. හැමෝම තම තමන්ගේ ආසන වල වාඩි වෙලා නිසා කවුරුවත් නැති හිස් ආසනයක් ඈතදීම මගේ උකුසු ඇස් වලට නිරීක්ෂණය වුනා. කෙළින්ම එතැනට ගිහින් බලද්දී මගේ විභාග අංකය. ඉතිං හති ඇර ඇර විභාගය ලිවුවා.

ඔය වගේ මෝඩ වැඩ දිගින් දිගටමනම් කළේ නැහැ. අනිත් අයගේ විශ්වාස නිසා මම නිකම් පරිප්පු කන්න අවශ්‍ය නැහැ කියන එක කාලයක් යද්දී තේරුණා. 

අඥේයවාදය කියන්නේ මොකක්ද කියලා මම දැනගත්තේ "අඥේයවාදය යනු කුමක්ද?" නම් වූ පොතක් කියවලා. පොඩි පොතක්. සමහර විට පරිවර්තනයක්. මගේ ජීවිතයට සුවිශේෂී බලපෑමක් කළ පොතක් වුවත් කතෘ කවුද කියලාවත් මතක නැහැ. මම හිතන්නේ ඔය පොත කියවන්න ලැබුණේ සාමාන්‍ය පෙළ විභාගය ලියලා ගෙදර හිටපු කාලයේ. ඒ වන විට මම අහලා තිබුණු රසල් හා අසා නොතිබුණු හක්ස්ලි වගේ අය අඥේයවාදීන් බව ඔය පොත හරහා දැන ගැනීමෙන් පසුව ඒ අයගේ ඉංග්‍රීසි පොත් කිහිපකුත් හොයාගෙන කියවන්න උත්සාහ කළා. හරියටම තේරුම් ගන්න තරම් ඉංග්‍රීසි දැනුමක් තිබුණේ නැහැ. කොහොම වුනත්, ඔය කාලයේදී මම ද්‍රව්‍යවාදයෙන් ඔබ්බට ගියා. බෞද්ධ සාහිත්‍යය තුළ ගර්හාවට ලක් වන සංජය බෙල්ලට්ඨිපුත්ත විසින් කියන්නේත් තේරුමක් තියෙන කතාවක් බව වැටහුණා. ඉන් පසු, දිගටම මම මා ගැන හිතුවේ අඥේයවාදියෙක් විදිහටයි. 

විද්‍යාව කියා කියන්නේ ඉතා පුළුල් දැනුම් පද්ධතියක්. කවුරු වුනත් හොඳින්ම දන්නේ මේ දැනුම් පද්ධතියේ කිසියම් කොටසක් පමණයි. අලියාගේ කණ, කකුල්, වලිගය ආදිය මිස අලියාවම අතගාන්න අපි කාටවත් කාලය හෝ අවස්ථාවන් ලැබෙන්නේ නැහැ. අලියා ඒ තරම්ම ලොකු සද්දන්තයෙක්. භෞතික විද්‍යාවේ තන්තු න්‍යාය හෝ ක්වොන්ටෝම් න්‍යාය වගේ දේවල් මම හදාරලා නැහැ. ඒ වුනත්, ලෝකයේ හැම ප්‍රශ්නයකටම විසඳුම් හොයන්න ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව ඉහළටම හදාරා තිබීම අත්‍යාවශ්‍යයි කියලා මම හිතන්නේත් නැහැ. ඒ වගේම, අනෙක් හැම විද්‍යාවක්ම භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසමින් යනවා කියාත් මම හිතන්නේ නැහැ. තාරකා භෞතික විද්‍යාවට විශාල මෙහෙයක් කරලා, නේචර් වගේ ඉහළම ජර්නල ඇතුළු විමර්ශිත ජර්නල වල තාරකා භෞතික විද්‍යාව සම්බන්ධ වැදගත් පත්‍රිකා සිය ගණනක් පළ කරලා පසුව ආර්ථික විද්‍යාව මුල සිට හදාරන්න පැමිණි අය සිටියත් ඒ අය එවැනි දෙයක් කියන්නේ නැහැ. මේ කතාව භෞතික විද්‍යාව පිළිබඳ මගේ දැනුමේ අඩුපාඩු වහගන්න කියන කතාවක් නෙමෙයි. කොහොමටත් මම භෞතික විද්‍යා න්‍යාය ලොකුවට දන්නේ නැහැ. සමහර විට දන්නේම නැහැ වෙන්නත් පුළුවන්.

මගේ විද්‍යා දැනුම සීමිත දැනුමක්. මා වැඩිපුර ඇසුරු කර තිබෙන්නේ ආර්ථික විද්‍යාව, සංඛ්‍යානය වැනි විෂයයන් හා අදාළ පර්යේෂණ වල නියැලෙන අයයි. මේ හැම දෙනෙක්ම වගේ විද්‍යාවේ භාවිතය තුළදී අඥේයවාදීන්. මා හිතන විදිහට විද්‍යාව විසින් කරන්නේ දැනුමේ අවිනිශ්චිතතාවය පිළිගනිමින් එම අවිනිශ්චිතතාවය අවම කරන විසඳුම් සෙවීම මිස නිශ්චිත පරම විසඳුම් හොයන එක නෙමෙයි. විද්‍යාවේ වෙනත් කේෂේත්‍ර වල පර්යේෂණ කරන අය ඇතැම් විදිහට වෙනත් ආකාරයකට හිතනවා වෙන්න පුළුවන්. මා දන්නා සීමාවේනම් හැම විටම මේ අවිනිශ්චිතතාවය තිබෙනවා.

ගණිතය බොහෝ වෙලාවට නිශ්චිත පිළිතුරු සපයනවා. නමුත්, සංඛ්‍යානය බොහෝ වෙලාවට සපයන්නේ අවිනිශ්චිත පිළිතුරු. මෙය ගණිතය හා සංඛ්‍යානය අතර ප්‍රධාන වෙනසක්. දෙවියන් වහන්සේ දාදු කැට උඩ දමන්නේ නැතුව ඇති. හැබැයි මට ඒක දැනගන්න වෙන්නේත් දාදු කැටයක් උඩ දමලා. 

විද්‍යාවෙන් කවදාවත් කෝවිඩ් සඳහා සියයට සියයක් සාර්ථක බෙහෙතක් හොයා ගන්න බැහැ. අඩුම වශයෙන් සියයට සියයට නිරවද්‍යතාවයකින් යුතුව කෝවිඩ් රෝගියෙකු හඳුනා ගන්නවත් බැහැ. අවශ්‍යනම් කෝවිඩ් පරීක්ෂණයක ප්‍රතිඵල මත කෝවිඩ් රෝගය අර්ථදක්වන්න පුළුවන්. එවිට සිදුවන්නේ සියයට සියයක නිරවද්‍යතාවය ප්‍රකාශයට පත් කිරීමක්. මම විද්‍යාව තේරුම් ගන්නා ආකාරයට විද්‍යාව සහ ආගම් අතර වෙනස ආගම් වලින් නිශ්චිත පිළිතුරු යෝජනා කරද්දී විද්‍යාව විසින් එවැනි නිශ්චිත පිළිතුරු යෝජනා නොකිරීමයි. වෙනත් අයට වෙනත් අර්ථකථන තියෙන්න පුළුවන්.

පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නතේ ඵලදායීතාවය 95.0%ක් බව හැමෝම වගේ අහලා ඇති. ඔය මාධ්‍ය හැම එකකම වගේ කියන්නේ. දැන් මේ අනුව, එන්නත ගත්තා කියා රෝගය හැදෙන එක වැලකෙනවද? අනිවාර්යයෙන්ම නැහැ. රෝගය හැදෙන එක වැලකෙන්නේ 95%ක සම්භාවිතාවකින් පමණක් බවත්, රෝගය වැළඳීමට 5%ක සම්භාවිතාවක් තිබෙන බවත් ගොඩක් අය කියයි. ඔය ටික ගොඩක් අයට තේරෙනවනේ. ඒ කියන්නේ එන්නත ගත්තත් රෝගය හැදෙන්න හෝ නොහැදෙන්න පුළුවන්. ඔය දෙකෙන් එකක් වන බවට කිසිම සහතිකයක් නැහැ. 

හරි. ඒක එහෙමයි කියමුකෝ. එහෙමනම් පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත ලබාගත් කෙනෙක්ට රෝගය වැළඳීමේ සම්භාවිතාව 95.0%ක් කියන එක නිශ්චිත කාරණයක්ද? මේ හා අදාළ විද්‍යාව ගැන වැඩි දැනුමක් නැති අය ඔව් කියලා කියයි. නමුත්, මේ හා අදාළ පර්යේෂණ පත්‍රිකාවක් බැලුවොත් පේනවා එන්නතේ සාර්ථකත්වය 90.3- 97.6% පරාසයේ විචලනය විය හැකි බව. 95.0%ක සාර්ථකත්වය කියන්නේ නිශ්චිත කාරණාවක් නෙමෙයි. එය 90% හෝ 97% වැනි ගණනක් වෙන්න පුළුවන්. මේ ගැන ටිකක් වැඩිපුර දන්නා කෙනෙක් ඔය පරාසය ඉදිරිපත් කරයි.

එහෙමනම්, පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත ලබාගත් කෙනෙක්ට රෝගය වැළඳීමේ සම්භාවිතාව 90.3- 97.6% පරාසයේ විචලනය විය හැකි අගයක් කියන එක නිශ්චිත කාරණයක්ද? 

පිස්සුද? ඒත් නෑ!

ඔය 90.3- 97.6% පරාසයට කියන්නේ 95% විශ්වාසී පරාසය කියලා. ඒ කියන්නේ, පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නතේ සාර්ථකත්වය 90.3- 97.6% පරාසයේ අගයක් වෙන්න 95%ක සම්භාවිතාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ පරාසයෙන් පිටත අගයක් වෙන්නත් 5%ක සම්භාවිතාවක් තිබෙනවා. සාර්ථකත්වය 0% සිට 100% දක්වා ඕනෑම අගයක් වෙන්න පුළුවන්. වෙනත් විදිහකින් කිවුවොත් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. 

කෝවිඩ් පරීක්ෂාවක් ගැන කියන්න තියෙන්නේත් ඔය ටිකමයි. අපි හිතමු පීසීආර් පරීක්ෂණයකින් කෝවිඩ් රෝගියෙකු හඳුනාගැනීමේ සම්භාවිතාව 70%ක් කියලා. ඒ කියන්නේ වැරදෙන්න 30%ක ඉඩක් තිබෙනවා. එහෙමනම්, හරියන්න 70%ක ඉඩක් තිබෙනවා කියන එක නිශ්චිත කාරණාවක්ද? පැහැදිලිවම නැහැ. හරියන්න 70%ක ඉඩක් තිබෙන්න කිසියම් ඉඩක් තිබෙනවා. එහෙත් එය 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන්. ඔය ගොඩක් අය කතා කරන R0 අගය, කෝවිඩ් පැතිරෙන වේගය වගේ ඕනෑම දෙයක් හා අදාළව මේ අවිනිශ්චිතතාවය තිබෙනවා. අවිනිශ්චිතතාවයට හේතුව විද්‍යාව ඒ තරම් දියුණු නැති වීම නෙමෙයි. මේක විද්‍යාවේ ස්වභාවයමයි. අවිනිශ්චිතතාවයක් නැත්නම් ඒක ආගමක්. මේ කාරණා ගැනනම් මම ටිකක් හදාරා තිබෙන නිසා, ඇත්තටම මගේ මූලික විෂය ක්ෂේත්‍රය නිසා, වැඩි පැහැදිලි කිරීම් අවශ්‍යනම් කරන්න අමාරුවක් නැහැ. 

පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නතේ සාර්ථකත්වය සෛද්ධාන්තිකව 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන්. සෛද්ධාන්තිකව ධම්මික පැණියේ සාර්ථකත්වයත් 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය දෙකේ කිසිම වෙනසක් නැද්ද?

විද්‍යාව හා ව්‍යාජ විද්‍යාව අතර වෙනස තේරුම් ගන්නනම් සාර්ථකත්වය සෛද්ධාන්තිකව 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන් පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත හා ඒ ආකාරයෙන්ම සාර්ථකත්වය සෛද්ධාන්තිකව 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන් ධම්මික පැණිය අතර තිබෙන වෙනස කුමක්ද කියා වටහාගත යුතුයි. පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නතේ සාර්ථකත්වය 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන් වුනත් වඩාත්ම ඉඩ තිබෙන්නේ එම අගය 95.0%ක් වෙන්නයි. එම අගය 90.3- 97.6% පරාසයේ අගයක් නොවෙන්න තිබෙන සම්භාවිතාව 5%කට වඩා අඩුයි. නමුත්, ධම්මික පැණිය ගැන අප දන්නේ එහි සාර්ථකත්වය 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන් කියන එක පමණයි. විද්‍යාව විසින් මෙහිදී අවසන් වශයෙන් කර තිබෙන්නේත්, මම හිතන විදිහට බොහෝ විට කරන්නේත් අපේ නොදැනුම තුළ තිබෙන ඓන්ද්‍රීය අවිනිශ්චිතතාවය නිසා අපට මුහුණ දෙන්න සිදුවන අවදානම අවම කරන එකයි. එහෙම නැතුව විද්‍යාව විසින් නිශ්චිත පිළිතුරු ලබා දෙන්නේ නැහැ.

හැබැයි අපට බොහෝ විට අවශ්‍ය වන්නේ නිශ්චිත පිළිතුරු මිසක් අවිනිශ්චිත පිළිතුරු නෙමෙයි. 95%ක සම්භාවිතාවකින් කෝවිඩ් වලක්වන ඔසුවකට වඩා 100%ක  සම්භාවිතාවකින් කෝවිඩ් වලක්වන ඔසුවකට අපි කැමතියි. අපි අවිනිශ්චිතතාවයට කැමති නැහැ. ඇත්තටම කියනවානම් විද්‍යාව අවශ්‍ය වන්නේත් අපි අවිනිශ්චිතතාවයට කැමති නැති නිසා. ඒ නිසා, භාවිතය තුළදී විද්‍යාවට සිදුවෙනවා මිනිස්සුන්ට නිශ්චිත පිළිතුරු සේ පෙනෙන පිළිතුරු සපයන්න. දැනුම් ආධිපත්‍යයක් ලෙස විද්‍යාවේ භූමිකාව විද්‍යාමාන වන්නේ මේ සන්දර්භය තුළයි.

මට කෝවිඩ් තිබෙනවද කියා සැකයක් ඇති වුනොත් මම පරීක්ෂාවක් කර ගන්න යනවා. අපි හිතමු මට ලැබුණු පරීක්ෂණ ප්‍රතිඵලය මේ වගේ එකක් කියලා.

"ඔබට කෝවිඩ් හැදී තිබීමේ සම්භාවිතාව 64.7-77.4% අතර අගයක් වීමට 95%ක සම්භාවිතාවක් තිබෙනවා!"

ඔය අණ්ඩර දෙමළයෙන් වැඩක් තියෙන්නේ කාටද? 

"ඒ කියන්නේ මට කෝවිඩ් හැදිලද? නැද්ද?"

ගොඩක් අය අහයි. මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ බයිනරි (ද්විමය) උත්තර. කෝවිඩ් හැදිලද නැද්ද? ඔයා මට කැමතිද නැද්ද? යුෂ්මතා වැරදිකරුද නිවැරදිකරුද? 

භාවිතය තුලදී විද්‍යාව සන්නිවේදනය කරන්න වෙන්නේ විද්‍යාව භාවිතා කරන අයට එයින් ප්‍රයෝජනයක් ලැබෙන ආකාරයට. මෙහිදී ගොඩක් වෙලාවට අවිනිශ්චිතතාවය ගැන නොකියා ද්විකෝටික බෙදීමක් කරලා නිශ්චිත පිළිතුරක් ඉදිරිපත් කරන්න සිදු වෙනවා. එක්කෝ පොසිටිව් නැත්නම් නෙගටිව්. 

දැන් වැඩේ පහසුයි. තමන් කෝවිඩ් පොසිටිව්ද නැත්නම් නෙගටිව් නෙගටිව්ද කියලා රෝගියා දන්නවා. පොසිටිව්නම් නිරෝධායනයට. නෙගටිව්නම් ගෙදර. 

අවිනිශ්චිත තොරතුරකින් මේ විදිහට නිශ්චිත ප්‍රතිඵලයක් ලබා දෙන්නේ කොහොමද? ඒ සඳහා කිසියම් රීතියක් උපයෝගී කර ගන්න වෙනවා. උදාහරණයක් විදිහට කෝවිඩ් වැළඳී තිබීමේ සම්භාවිතාව 95%ට වඩා වැඩිනම් පොසිටිව්. එම සම්භාවිතාව 5%ට අඩුනම් නෙගටිව්. ඒ කියන්නේ වැරදෙන්න තිබෙන සම්භාවිතාව 5%ක් පමණයි. එතකොට කෝවිඩ් වැළඳී තිබීමේ සම්භාවිතාව 5-95% අතරනම් මොකක්ද කියන්නේ? අවශ්‍යනම් චතුර්කෝටික පිළිතුරක් දෙන්න පුළුවන්.

"ඔබට කෝවිඩ් හැදිලත් නැහැ. හැදිලා නැත්තේත් නැහැ"

"ඔබට කෝවිඩ් හැදිලා වගේම ඔබට කෝවිඩ් හැදිලා නැහැ"

දාර්ශනික වැදගත්කමක් තිබෙනවා විය හැකි වුවත්, ඔය වගේ චතුර්කෝටික පිළිතුරකින් කාටවත් ප්‍රයෝජනයක් තියෙනවාද කියලා මම දන්නේ නැහැ. වඩා නිවැරදි පිළිතුරක් අවශ්‍යනම් අර මම කලින් යෝජනා කරපු පිළිතුර තියෙනවා.

"ඔබට කෝවිඩ් හැදී තිබීමේ සම්භාවිතාව 64.7-77.4% අතර අගයක් වීමට 95%ක සම්භාවිතාවක් තිබෙනවා!"

ද්විකෝටික පිළිතුරු වල බොහෝ විට ප්‍රයෝජ්‍ය වටිනාකමක් තිබෙනවා. විද්‍යාත්මක ක්‍රම හරහා ලබා ගන්නා අවිනිශ්චිත තොරතුරු ගොඩක් වෙලාවට භාවිතය තුළදී නිශ්චිත ද්විකෝටික පිළිතුරු විදිහට සන්නිවේදනය කරන්න හේතුව මේකයි. මෙහි ආධිපත්‍ය ස්වරූපයක් තිබෙනවා තමයි. නමුත්, අවශ්‍ය කෙනෙකුට විද්‍යාව තුළින්ම ඒ ආධිපත්‍ය බාධකය බිඳගෙන අවශ්‍ය පියවර ගණනක් පස්සට යන්න පුළුවන්. 

කෝවිඩ් පරීක්ෂාවකදී හෝ වෙනත් එවැනි පරීක්ෂණයකදී ලැබෙන තොරතුරු මත නෙගටිව් හෝ පොසිටිව් ගොඩකට දමන්න බැරිනම් බොහෝ විට කරන්නේ පරීක්ෂණය නැවත සිදු කරන එකයි. එවිට ආසාදිතයෙකු විය හැකි පුද්ගලයාට නිශ්චිත පිළිතුරු දෙකකින් එකක් ලැබෙනවා. අනෙක් අතට පරීක්ෂාව කරන පුද්ගලයාට ත්‍රිකෝටික බෙදීමක් හමු වෙනවා. එහෙත්, විද්‍යාව, අඩු වශයෙන් මා වැඩිපුර දන්නා ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විෂයයන් හා අදාළව, ද්විකෝටික තර්කයක හෝ ත්‍රිකෝටික තර්කයක හිර වී නැහැ. සංඛ්‍යානමය විශ්ලේෂණයන් තුළ වියහැකියාවන් අනන්ත ප්‍රමාණයක් තිබෙනවා.

විද්‍යාවේ ප්‍රායෝගික භාවිතය තුළ කවදාවත්ම අවිනිශ්චිතතා මුළුමනින්ම නැති කරන්න බැහැ. ඔබට දැන් සනීපයි කියා රෝගියෙකු රෝහලෙන් ගෙදර යවන එකෙන් අදහස් වෙන්නේ මේ වන විට ඔබට රෝගය සුව වී තිබීමේ සම්භාවිතාව ඉතාම විශාලයි කියන එකයි. නිසි සේ සැලසුම් කළ පාලමක් නිසි දැනුමක් නැති මේසන් බාස් කෙනෙකු හැදූ පාලමක් මෙන් කඩා වැටෙන්නේ නැහැ කියන්නේ එසේ කඩා වැටීමේ සම්භාවිතාව ඉතා අඩුයි කියන එකයි. 

සුද්දන් පොටේටෝ චිප්ස් කද්දී අල හොදි එක්ක බත් කන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් මම හොදි හදන්න අර්තාපල් වෙනුවට නියඟලා අල ගන්නේ නැහැ. 


25 comments:

  1. Replies
    1. වසර 1935 දී විතර ජර්මානු අල්බෙයිට් අඑයන්ස්ටෙයින් වෙත Quantum theory සිද්ධාන්තය පිළිබඳ වූ වඩාත්ම ප්‍රසිද්ධ විරුද්ධාභාසය (paradox) ඉදිරිපත් කළ එර්විඒන් ශ්‍රෝඩින්ගෙයර් නිශ්චිත බව කියන්නට නොහැකි නිසා නියතයක් නැතැයි යන ප්‍රපංචය විග්‍රහ කරමින් නියතයක් නැත්නම් තම විරුද්ධාභාසය පැහැදිලි කරන්න යැයි ශ්‍රෝඩින්ගෙයර් අභියෝග කරන අතර මෙහිදී කිසිම බළලෙකු මේ පර්යේෂණයට යොදා ගැනුනේ නැති අතර එය හුදු මානසික අභ්‍යාසයක් පමණි.

      පර්යේෂණයේ අරමුණ: සංවෘත වූ පෙට්ටියකට දැමූ බළලෙකු හා ඇතුලට විකිරණශීලි අණුවක් ද, ගෑයිගර් කවුන්ටරයක් (Geiger counter) ද,
      හයිඩ්‍රජන් සයනයිඩ් වස බෝතලයක් (HCN) ද, යකඩ මිටියක් ද දමා ඇත. විකිරණශීලි අණුව වෙනස් වුවහොත් ගෑයිගර් කවුන්ටරය එය මැන විසිර යන ඇල්ෆා අංශු හඳුනා ගන්නා අතරම ඉන් හටගන්නා ප්‍රතික්‍රියාව නම් මිටිය HCN වස බෝතලයට පහරක් දී එම වස නිසා බළල් තඩියා මිය යනු ඇතැයි යන්නයි.

      ඒ සංවෘත පෙට්ටිය තුළ ඉන්න බළල් තඩියා මියගොස් ද ජීවත්වන්නේ ද යන්න දැන ගැනීමට එය විවෘත කළ යුතු බව විවෘත කිරීම නොහොත් නිරීක්ෂණයට යෑමේ දී, පවතින තත්වය වෙනස් වන නිසා බළලා ජීවත්වන්නට හෝ මැරෙන්නට ඉඩ තිබෙන බව පේනවා නේද? අනුමානයෙන් යමක් නිශ්චිතව කිව නොහැකි තරම් වන බවත් ඊට භෞතික විද්‍යාඥයා දරන උත්සාහය අනුව යාන්තමින් ළං විය හැක්කේ චලනය වන වස්තුවකට එක ෆෝටෝන විදුලියක් වැදීම මැනීමට, එය ඉතාමත්ම නිශ්චිත බවට ළං වන මිණුම් දණ්ඩ වුවත් එය බලන්නට දරන ඉතාම කුඩා උත්සාහයක දී වුවද එහි ස්ථානය (position) සහ චලනය (motion) වෙනසකට භාජනය වන බව මේ මගින් පැහැදිලි කෙරේ.

      Delete
  2. මල නම් ලස්සනයි නියඟල වුවද වස
    එවැනිය ඔබේ ලිපියද, තියෙනවා රස
    විදුහුරු තතුවලට වැඩියෙන් බොරුය රස
    අනියත ලොවක වෙද නියතය කියන බස?

    ReplyDelete
  3. මේක කියෙව්වාම මතක් උනේ අර ඔපරේෂන් තියටර් එකේ කතාව.

    සර්ජරිය සඳහා සිහි නැති කරන්න ඉස්සෙල්ලා නර්ස් ලෙඩාට කිව්වලු "ඔබ හරි වාසනාවන්තයි" කියලා.

    "ඒ මොකද''? කියලා ලෙඩා ඇහුවාම නර්ස් කිව්වලු, මේ "ඔපරේෂන් එකේ සාර්ථකත්වය 25% යි. ඔයා තමයි අද මේ ඔපරේෂන් එකට ආපු හතර වැනියා, කලින් ආපු තුන් දෙනාම මැරුණා" කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගොඩක් අය සම්භාවිතාව කියන එක තේරුම් ගන්නේ ඔය විදිහට තමයි.

      Delete
  4. කොහොම වුනත්, ඔය කාලයේදී මම ද්‍රව්‍යවාදයෙන් ඔබ්බට ගියා....
    Appreciate if you can explain what you mean by going beyond ද්‍රව්‍යවාදය

    ReplyDelete
    Replies
    1. පොඩි උදාහරණයකින් පැහැදිලි කළොත් කොවූර්ව කියවීමෙන් පසුව මගේ ලෝක දැක්ම වී තිබුණේ හොල්මන් කියා දෙයක් "නැති" බවයි. හේතුවාදය කියා කිවුවත් ප්‍රායෝගිකව කොවූර්ගේ පොත් හරහා සම්ප්‍රේෂණය කෙරුනේ ද්‍රව්‍යවාදී දැක්මක්. එක පැත්තකින් බැලුවොත් මේ ආකාරයෙන් සිතීමම හේතුවාදී නැහැ. මම හිතන්නේ මෙය හේතුවාදයක් වන්නේ කොවූර්ගේ කණ්ඩායම විසින් ඇතැම් ඇය "දැක තිබුණු" හොල්මන් හොල්මන් නොවන බව සොයා බලා පෙන්වා දීම සමගයි. ද්‍රව්‍යවාදයෙන් ඔබ්බට යාම කියන එකෙන් අදහස් කළේ මේ ලෝකදැක්ම අඥේයවාදී ලෝක දැක්මක් ලෙස වෙනස් වීමයි. ඒ කියන්නේ හොල්මන් කියා දෙයක් ඇති බවට සාධක නැති බව මිස හොල්මන් කියා දෙයක් නැති බව කීමටද සාධක නැති බැවින් ඒ නොදැනුම පිළිගැනීමයි. මෙවැනි අඥේයවාදී ස්ථාවරයක තිබෙන ප්‍රශ්නය කිසිම දෙයක් හරියටම දැන ගත නොහැකි වීමයි. ඒ නිසා, තාර්කික තීරණ ගත හැකි වන්නේ සම්භාවිතා සැලකිල්ලට ගනිමිනුයි. නමුත්, මේ සම්භාවිතා විෂයමූලික නිසා එම සම්භාවිතා මත පදනම් වූ තීරණ තාර්කික වන්නේද යම් කොන්දේසි මත මිස නිරපේක්ෂව නෙමෙයි. ඒ නිසා එම තීරණ හොඳම තීරණ නොවීමේ අවකාශයක් තවදුරටත් ඉතිරි වෙනවා. විද්‍යාවේ ඉලක්කය වන්නේ එම අවදානම අඩු කර ගැනීමයි. එය කරන්න වෙන්නේ ඉහත කී විෂයමූලික සම්භාවිතා නිවැරදි වීමේ කොන්දේසි සම්පූර්ණ නොවීමේ සම්භාවිතාව අවම කිරීමෙන්. එය කරන්න වෙන්නේත් යම් කොන්දේසි මත.

      Delete
    2. මගේ සමාජවාදය පිලිබඳ අදහස වගේ.

      Delete
    3. ඒ වුනාට මාක්ස්-ලෙනින්වාදී ස්ථාවරය සමඟ අජිත්ගේ ඔය අදහස එකඟ නැහැ නේද?

      Delete
    4. මට මාක්ස් ලෙනින්වාදී ස්ථාවරයක් නැහැනේ. එහෙම අදහසක් ආවද කොහෙන් හරි? මම හිතන්නේ මාක්ස් කියල තියෙන්නෙත් හැම දෙයක්ම සැක කරන්න කියල. දැන් අය එහම් නොකලට. ලෙනින් කරපු පලමුවෙනීම දේත් මාක්ස් කියපු එක වෙනස් කළ එකනේ.

      Delete
    5. නෑ. මම එහෙම අදහසකින් ලිවුවේ නැහැ. කොහොමටත් මම ඔය වගේ ලේබල් වලට ඒ තරම් කැමති නැහැ. මාක්ස්-ලෙනින්වාදියා, සමාජවාදියා, ජාතිවාදියා, දේශප්‍රේමියා වගේ කොයි හැඳින්වීමකට වුනත් හැමෝටම එකඟ විය හැකි නිශ්චිත තේරුම් නැහැ. එහෙම තිබුණත් පුද්ගලයෙක් හැම සන්දර්භයකම එකම විදිහට කටයුතු කිරීම දුලබ දෙයක්.

      Delete
  5. මගේ යෙහෙළියක් මොරටුව විශ්වවිද්‍යාලයේ නගර නිර්මාණය (Town and country planning) හදාරන කාලයේ පළමු වසරේදී උතුරු මැද පළාතට පළාත් සංවර්ධන සැලැස්මක් කණ්ඩායම් ව්‍යාපෘතියක් විදියට කළා. එහි අරමුණ වුනේ උතුරු මැදට agropolitan development plan එකක් හදන්න. ඊට පළවෙනි වසරේ ශිෂ්‍යයින් 38 ක් සම්බන්ධ වී හිටියාලු. ඒ හැමෝම පළවෙනි ක්ෂේත්‍ර චාරිකාවෙදි අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික් දෙකටම ගියත් දෙවෙනි එකේදි කණ්ඩායම් දෙකකට බෙදිලා කොටසක් අනුරාධපුරයටත් තව කොටසක් පොළොන්නරුවටත් ගියා. පාන්දර දෙකට විතර මොරටුවෙන් පිටත් වෙලා පදවියට යනකන් තියෙන අනුරාධපුරයේ ප්‍රධාන හන්දි වලින් දෙන්නා දෙන්නා බස්සවාගෙන බස් එක පදවියටම ගිහින් හවස එක එක්කෙනා නග්ගාගෙන ආපහු එන්න තමයි සැලැස්ම තිබුනේ.

    මගේ යෙහෙළියත් තව මිතුරියෙකුත් තමයි තඹුත්තේගම හන්දියෙන් බැස්සේ. උදේ පහට හයට විතර බැහැලා ආර්ථික මධ්‍යස්ථානය කිට්ටුව නයිට් කඩේකින් බනිසයක් කාලා තේ එකක් බීලා ආර්ථික මධ්‍යස්ථානෙට ගිහින්. එතන පොදු වැසිකිළියෙන් මූණ ටිකක් හෝදගෙන ආර්ථික මධ්‍යස්ථානයේ ප්‍රධාන පරීක්ෂකගෙන් තොරතුරු ලබාගෙන තව අය ඉන්ටවීව් කරලා ඉවර වෙලා දවල්ට කන්න මතක් වෙනකොට වෙලාව හවස තුනයි. ඒ වෙලාවට කන්න තැනක් හොයාගන්න බැරි වුන නිසා ඔවුන් හන්දියේ තානායමට ගිහින්. එතන හිටිය පිරිමි සේරම ඒ දෙන්නා දිහා බලමින් කුටු කුටු ගාන්න පටන් ගත්ත නිසාත් අනාරක්ෂිත බවක් දැනුන නිසාත් ඒ දෙන්නා දොර ලඟම මේසෙ වාඩි වෙලා. එක්කෙනෙක් අත හෝදගෙන එනකන් අනිත් කෙනා බලන් හිටියෙ හදිසියේ අවුලක් වුනොත් එළියට පැනලා කෑගහන්න බලාගෙන.

    ඒ දෙන්නා කාලා එළියට ඇවිත් යාලුවා පාරෙන් අනිත් පැත්තට ගිහින් photos වගයක් අරගන්න. එයාට එන්න කියලා මගේ යෙහෙළිය ගිහින් ලඟම තිබුණු කෘෂි නිෂ්පාදන කඩේට. කඩේ හිටියෙ ඇන්‍ටි කෙනෙක්. එයාට පොඩි ප්‍රෑන්ක් එකක් කරන්නත් හිතාගෙන ඇය ගිය ගමන් කියලා "ඇන්ටි මට මැහිතෙල් කුප්පියක් දෙන්න" කියලා. Full authentic ස්වරයෙන්ම කිව්ව නිසා ඇන්ටි ඇගේ දිහා බලාගෙන ඉදලා ලඟ ඉන්න කොල්ලට කියලා පොඩ්ඩක් පිටිපස්සට ගිහින් මොනවද බලලා එන්න කියලා. ඇන්ටි ඊට පස්සෙ ඇහුවාලු "දුවව ටිකක් දැකලා පුරුදුයි. ගෙවල් කොහෙද" කියලා. ඇය හිනාවුනාලු. ඇන්ටි පුටුවක් පෙන්නලා කිව්වාලු "අර ළමයා අරගෙන එයි පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න" කියලා. ඇන්ටිත් ඇවිත් ළඟින් වාඩිවෙන ගමන් ආයෙත් ගෙවල් කොහෙද ඇහුවාලු. ඇගෙ යාලුවෙක් ඉන්නවා රාජාංගනේ, එයාගෙ ගෙවල් තියෙන පැත්ත කිව්වාලු. "දුවට මොකටද මැහිතෙල් බෝතලයක්" කියලා ඇන්ටි අහනකොටම ඇගේ යාලුවා ආවම ඇයට හිනාගිහින් ඇන්ටිට ඇත්ත විස්තරේ කිව්වාලු.

    ඇන්ටි කිව්වාලු. "මම කිසිම තරුණ ළමයෙක් ඇවිත් වස කුප්පියක් ඉල්ලුවම දෙන්නෙත් නෑ. හරවලා ආපහු යවන්නෙත් නෑ. ජීවිතේට හානියක් කරගන්න යන ළමයට මම වස කුප්පියක් නුදුන්නොත් එයා කනේරු ඇට ටිකක් කනවා, නැත්නම් කෝච්චියට හරි වැවට හරි පනිනවා. මම කරන්නෙ ළමයව කතාවට අල්ලාගන්නවා. එහෙම කතා කරලා මැරෙන්න හිතාගෙන හිටිය ළමයිව මම දෙමව්පියන්ට හරි වගකිවයුත්තෙක්ට හරි බාර දීපු අවස්ථා ගොඩක් තියෙනවා. දුවලා දෙන්නා අර තානායමේ ඉදලා එළියට එනවත් මම බලාගෙන. ඒක වැදගත් ගෑණු ළමයින්ට යන්න සුදුසු තැනක් නෙමෙයි. මෙහෙ රස්තියාදුකාරයෝ ගෑණු ළමයි ඔය තානායමට ගෙනත් අනාත කරලා යනවා. මම ඒකයි බය වුනේ"

    ReplyDelete
    Replies
    1. එදා ඇන්ටි එක්ක විහිලුවක් කරන්න ගිහින් ඇති වුන ඒ කතාව agropolitan එකක් හදලා නගර හා ගම් "සංවර්ධනය" කරන ව්‍යාපෘතියෙදි වැදගත් එකක් බව ඇයට අවබෝධයක් තිබුනේ නෑ. ඔවුන් හදාගත්ත ප්‍රශ්න මාලාවක් සහ ඒවාට පිළිගැනීමට සූදානම් විකල්ප උත්තර ඔවුන්ට තිබුණා. එම කාන්තාව තඹුත්තේගම හන්දිය, නගරය සහ අවට ගමේ "සංවර්ධනයට සහ යහපැවැත්මට" කරන කාර්ය භාරය එදා නොපෙනුනත් පශ්චාත් උපාධිය සඳහා සමාජය සහ අවකාශය හැදෑරීමත් එක්ක ඇට පෙනෙන්නට පටන් ගත්තාලු. පොදු සමාජයේ පුද්ගල වගකීම කියන දේ ඇය එම කතගෙන් ඉගෙන ගත්තා. ඇය කියන්නෙ ඒ හන්දියට ඒ නගරයට කොටින්ම කිව්වොත් ඒ හදන්න ගිය agropolitan එකට පවා අවශ්‍යම පොදු චරිතයක්. ඇය විසින් එම සමාජ අවකාශය තුළ විශාල සමාජ කාර්‍යයක් ඉටු කරනවා.

      ලංකාවේ අවකාශ හා ඒවායේ ප්‍රජාවන් තේරුම් ගැනීමට බ්‍රිතාන්‍යයේ, ජර්මනියේ හෝ චිකාගෝ වල අවකාශ පිළිබඳ ගොඩනැඟුනු න්‍යායන් ආදේශ කිරීමෙන් හැකි වන්නේ නෑ. වෛද්‍ය ශිෂ්‍යයෙක්ට ලැබ් එක සහ ක්ලිනිකල් වැදගත් තරමටම නගර හා ග්‍රාම සැළසුම් සහ සංවර්ධනය හදාරන ශිෂ්‍යයෙක්ට ප්‍රජාව සහ ඔවුන්ගේ අවකාශ වල ගැලෙමින් කරන හැදෑරීම ඉතා වැදගත්. ලංකාවේ විධිමත් අධ්‍යාපනයේ වෙනස්විය යුතු සහ දියුණු විය යුතු දෑ පිළිබඳ අදහසක් ඇයට තිබුණත් මොරටුව විශ්වවිද්‍යාලයේදී සමාජයට පිවිස ඒ හා ගැලී එය ගැන කියවාගන්නට විෂය නිර්දේශය තුළම තිබූ ඉඩ ඇය අගය කරනවා. අදටත් පළමු වසරේදී කළ ක්ෂේත්‍ර අධ්‍යයනයන් වලිනුත් එදා නොදුටු, එදා උගත නොහැකි වූ දේ පවා ඇය ඉගෙනගනිමින් ඉන්නවා.

      මේ මල් මිට හන්දියේ සිට වැඩිහිටියෙකුගේ සමාජ වගකීම කරන ඇන්ටීටත් එය කියවාගන්නට ඇයට ඉඩ දුන් නිදහස් අධ්‍යාපනයටත්!

      Delete
    2. මමත් ඔය පාඨමාලාවේ දේශන පවත්වා තිබෙනවා. මට මතක විදිහට අඩුම වශයෙන් බාගයක් පමණ පිරිමි සිසුන් සිටියා. ඔය වගේ අවස්ථාවක කණ්ඩායම් හැදීමේදී ගැහැණු හා පිරිමි සිසුන් මිශ්‍ර කළානම් ප්‍රායෝගිකව මෙවැනි අවදානම් අඩු වෙනවා කියලයි මම හිතන්නේ.

      Delete
  6. ඉතාම කෙටියෙන් කියනුයේ නම් අඥේයවාදියෙක් (agnostic) යනු දෙවියන්වහන්සේ සිටින බව හෝ නොසිටින බව හරියටම කියන්නට මිනිස් දැනුම හෝ අද්දැකීම ප්‍රමාණවත් නොවන බව කියනා පුද්ගලයෙකි. මේ හේතුව නිසා ඔහු සමාජය, සහ පුද්ගලිකත්වය අරබයා තීරණ ගනුයේ විෂයයමූලික සිද්ධාන්ත පදනම් කරගෙනය. මේ නිසා ඔහුගේ තීරණ සමාජයට සහ පුද්ගලයාට අනුකූලව නිවැරදි වීමට ඇති ඉඩ කඩ/space උපරිම වෙයි. අප ජීවත් වන සමාජය කෙරෙහි ඔහු දක්වන්නේ යම් අනුමතකාරී/approved මතයකි.

    සමාජය තුල සිදුවන නිශ්පාදන ක්‍රියාවලියේදී එහි එකිනෙකාගේ පන්ති තත්වය/class status අනිවාර්යයෙන්ම තීරණය වනුයේ පුද්ගලයා නිශ්පාදනයට බැඳී ඇති ආකාරය මතය. එහෙත් අඥේයවාදියා මෙය බැහැර කරයි. එය ස්වභාවික ප්‍රපංචයක් සේ දනින ඹහු තත්කාලීන මෙන්ම අනදෙිමති කාලය තුල  සමාජය තුල පන්තිමය බෙදීමක් ඇති බව නොදකී. එය නොසලකා හරියි. මේ අනුව අඥේයවාදියාට පන්ති අරගලයක් ඇති බව නොපෙනේ., නොදැනේ, නොසලකා හැරෙයි.

    එකොනෝ කියන ලෙසටම සහ ඔහු පිලිගන්නා ලෙසටම අඥේයවාදියාගේ ලෝකය අවිනිශ්චිතතාවය/uncertainty  රජ කරන ලෝකයකි. ඒ නිසා ඔහු (එකොනො නොවේ) ලද දෙයින් සතුටු වෙයි. එහෙත් විප්ලවවාදී මාක්ස්-ලෙනින්වාදියා නොහාත් සැබෑ ට්‍රොට්ස්කිවාදීන් එසේ නොවෙති.නිදසුනක් ලෙසට මෙසේ සිතමු.

    මේ දෙපිරිසටම අනිවාර්යයෙන්ම සමාජ විප්ලවයක් සඳහා සක්‍රියව දායක වන්නට සිදු වුනා යැයි සිතන්න. පාලක පන්තිය බලවත් බැවින් දෙපිරිසටම එකම සිර ගෙයක ලගින්නට සිදු වෙයි. සිරකරුවන්ට පාන් සහ ඇල්වතුර වැනි තේ දෙන අතරේදී අඥේයවාදියා කර බාගෙන පාන් සහ වතුරෙන් සැනසෙන විට, නව සමාජයක් දකින විප්ලවවාදියා කෑම බෙදන ජේලර්ගෙන්..
    " මේ පාන් සමඟ කන්නට චීස් නැත්තේ ඇයි?තේ උණුසුම් නැත්තේ ඇයි? තේවලට කිරි මදක් එක් කිරීම ශිෂ්ඨ සම්පන්න දෙයක් බව නොදනීද ?.." ආදී අධිකාරී ප්‍රශ්න රාශියක් නඟනු ඇත. විය හැකි ප්‍රධානම දෙය වනුයේ මාක්ස්වාදීයාට පසු කාලීනව දත් නැතුව බත් කන්නට සිදු වීම වුවත්, දිගින් දිගටම සිදු කරන අරගලයකින් පසුව වුව උණු තේ සමගින් මාගරින් ගෑ පාන් පෙත්තක් ලැබීම නොවෙිද? එවිට අඥේයවාදියා මේ දෙය එපා කියයිද? බොහෝ දුරට නැත. නමුත් ඇල්වතුර සිට උණු තේ ලැබීමත්, පාන්වලට චීස් ආදේශක ලැබීම විප්ලවවාදීයාට එරෙහිව නොහොත් අරගලයට එරෙහිව අඥේයවාදියා විග්‍රහ කරන්නේ කෙසේද?...contd

    ReplyDelete
    Replies
    1. CP-C,

      මම හිතන්නේ ඔබ මේ සාකච්ඡාව හොඳ තැනකට ගෙනත් තිබෙනවා. පළමු ඡේද දෙක පිළිබඳව ලොකු විවේචනයක් නැහැ. සාධාරණ වශයෙන් වගේම පෞද්ගලිකවත් සෑහෙන දුරකට (අප දෙදෙනා මේ ලියා ඇති දේවල් විෂයමූලික ලෙස තේරුම් ගන්නා ආකාරයන්හි තිබිය හැකි වෙනස්කම් වලට යටත්ව) එම කරුණු සමඟ එකඟ විය හැකියි.

      //එකොනෝ කියන ලෙසටම සහ ඔහු පිලිගන්නා ලෙසටම අඥේයවාදියාගේ ලෝකය අවිනිශ්චිතතාවය/uncertainty රජ කරන ලෝකයකි. ඒ නිසා ඔහු (එකොනො නොවේ) ලද දෙයින් සතුටු වෙයි. එහෙත් විප්ලවවාදී මාක්ස්-ලෙනින්වාදියා නොහාත් සැබෑ ට්‍රොට්ස්කිවාදීන් එසේ නොවෙති.//

      මෙහි "රජ කරන" කියන වචනය නිවැරදියි කියා හිතන්නේ නැහැ. "පිරුණු" වැනි යෙදුමක් සම්බන්ධවනම් ප්‍රශ්නයක් නැහැ. "රජ කරන" කියා කිවුවහම එන්නේ වෙනස් කළ නොහැකි පූර්ණ බාහිරත්වයක් වැනි අදහසක්. ඒ වගේම, අඥේයවාදියා ලද දෙයින් සතුටු වෙනවා කියන එක වැරදියි. ඔබේ අර්ථදැක්වීම අනුසාරයෙන්ම පැහැදිලි කිරීමක් කළොත්, විප්ලවවාදී මාක්ස්-ලෙනින්වාදියා ලද දෙයින් සතුටු නොවී "නොලද දෙයකින්" සතුටු වෙද්දී අඥේයවාදියා ලද දෙයින් මෙන්ම නොලද දෙයින්ද සතුටු වෙන්නේ නැහැ.

      අඥේයවාදියා වගේම මාක්ස්-ලෙනින්වාදියාද දෙවියන්වහන්සේ සිටින බව සැක කරනවා. අඥේයවාදියා දෙවියන්වහන්සේ නැති බවද සැක කරද්දී මාක්ස්-ලෙනින්වාදියා දෙවියන්වහන්සේ නැති බව සැක නොකර විශ්වාස කරනවා. මාක්ස්-ලෙනින්වාදියා අරගලයකින් පසුව වුව උණු තේ සමගින් මාගරින් ගෑ පාන් පෙත්තක් ලැබීම වගේම අරගලයක් නැතිව උණු තේ සමගින් මාගරින් ගෑ පාන් පෙත්තක් නොලැබීමද සැක නොකර විශ්වාස කරනවා. එහෙත්, අඥේයවාදියා විමසා බැලීමක් නොකර එසේ සැක නැතුව විශ්වාස කරන්නේ නැහැ. අඥේයවාදියා විසින් අරගලයකින් පසුව වුව උණු තේ සමගින් මාගරින් ගෑ පාන් පෙත්තක් ලැබීමට හෝ නොලැබීමට තිබෙන සම්භාවිතාවන්ද, අරගලයක් නැතිවම උණු තේ සමගින් මාගරින් ගෑ පාන් පෙත්තක් ලැබීමට හෝ නොලැබීමට තිබෙන සම්භාවිතාවන්ද, අරගලයේ පිරිවැයද සලකා බලා මිස අන්ධ භක්තියෙන් තීරණ ගන්නේ නැහැ.

      යම් හෙයකින් අරගලයකින් පසුව උණු තේ සමගින් මාගරින් ගෑ පාන් පෙත්තක් ලැබීමට ඉඩ තිබෙන බව හා අරගලයක් නැතිවම උණු තේ සමගින් මාගරින් ගෑ පාන් පෙත්තක් ලැබීමට ඉඩක් නැති බව පැහැදිලිවම පෙනී ගියත් මාගරින් ගෑ පාන් පෙත්ත වෙනුවෙන් ගෙවිය යුතු මිල තමන්ගේ දත් ඇන්ද බවට කිසිදු සැකයක් නැත්නම් අඥේයවාදියෙකු හෝ වෙනත් කිසිදු තාර්කික පුද්ගලයෙකු එම මිල ගෙවන එකක් නැහැ. එහෙත්, මෙහිදී තිබෙන්නේ තමන්ගේ දත් ඇන්ද අහිමි වීමේ අවදානමක්නම් (සම්භාවිතාව 1ට අඩුනම්) එම සම්භාවිතාවේ ප්‍රමාණය අනුව අඥේයවාදියෙකු විසින්ද එම අවදානම ගන්න ඉඩ තිබෙනවා. යම් හෙයකින් අඥේයවාදියාගේ විෂයමූලික සම්භාවිතා මත අරගලයට සම්බන්ධ නොවී සිටියදී අතාර්කික (irrational) මාක්ස්-ලෙනින්වාදියෙකු ඔහුගේ වීෂයමූලික සම්භාවිතා මත හෝ අන්ධ භක්තියෙන් අරගලයක් කරනු ලැබ එහි ප්‍රතිඵලයක් ලෙස අඥේයවාදියාට උණු තේ සමගින් මාගරින් ගෑ පාන් පෙත්තක් ලැබේනම්, ඔබ කියනවාක් මෙන්ම, මිලක් නොගෙවා ලැබෙන එම පාන් පෙත්ත ප්‍රතික්ෂේප කිරීමට අඥේයවාදියාට කිසිදු හේතුවක් නැහැ.

      Delete
  7. 2. අඥේයවාදියාගේ තීරණ වල වැඩි ප්‍රමාණයක් විෂය මූලික වන අතර මාක්ස්-ලෙනින්වාදියාගේ තීරණයන් වැඩි ප්‍රමාණයක් මනෝ මූලික වෙයි. මක්නිසාදයත් දෙවනුව කී පිරිස ලෝකය දකින්නේ තමාට ඉදිරියේ එය තබා ඇති ආකාරයෙන් නොවන නිසාය. අඥේයවාදියා වුව වැඩිහිටියන් එය තමාට පිලිගන්වා ඇති ආකාරයට අනුවම පිලි නොගන්නා මුත් මාක්ස්-ලෙනින්වාදියා එය පිලිනොගන්නා ආකාරය සපුරා වෙනස්ය. අඹ ගසක පාමුල වැටී ඇති, මදක් තැළුන  ලේන් කොටයකින් ඇතැමි අයවලුන් සැනසෙන විට විප්ලවීයව සිතන කොලු ගැටයා සිතන්නේ අඹ ගසට නැඟ දිදුලන , ඉදුනු අඹ ගෙඩියක් අතටම කඩා ගන්නේ කෙසේද යන්නය. ස්වභාව ධර්මය තමාට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්නේ කෙසේද යන්න විප්ලවවාදීයා නිරතුරුවම සිතන්නේ ඇයි? සමාජ සාධාරණත්වයක් තිබිය යුතු බවට ඔහු අදහන නිසාවෙනි.

    වැදගත්ම කාරණය නම් ඔහු තම අරගලවලින් නිශ්චිතවම පිලිතුරක් අපේක්ෂා කරන නිසාය. මෙය අවිඤ්ඤානිනවම දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුගේ ඇති විශ්වාසය මතු කරයි. තමා සමාජ ඒජන්තයකු බවත් , යහපත් දෙසට  වෙනස් කල යුතු සහ වෙනස් කල හැකි ලෝකයක් තමා ඉදිරියේ ඇති බවත් ඔහු විශ්වාස කරයි. ඒ අනුව ක්‍රියා කරයි. එහෙත් අඥේයවාදියා ලෝකය තමාට අනුව වෙනස් නොවන නිසා තියෙන දෙයින් සැනසීමට පත්ව සිටියි.

    එහෙත් පාලක පන්තිය කුට්ටම අනන්නේ තෝරාගත් කොල පසෙකට තබා අඩු වටිනාකම සහිත කොල එකට තබාය. මේ සියල්ලන් එකට හමුවන අනාගත සිපිරි ගෙයක් Elon Musk, Jeff Bezos, Mark S(z)uckerberg විසින් දැනටමත් සාදමින් සිටිති. එහිදී මතුගම අජිත් ,ලන්ඩන් අජිත්  DGM බස්සා, පංචතන්තරේ ලියන නිදි, අන්තෝනියෝ ....., මම, විතරක් නොවේ එකොනොත් එකට හමුවේවි. උත්ප්‍රාසජනක ලෙස අපට යසන්ත රාජකරුණානායක වත් හමු වේවි. එහිදී Bezos හිනාවෙලාම යසන්තව ඇතුලට දානවා අපට බලා ගත්ත හැකියි.

    ධනවාදය ස්වභාවිකයි කිව්ව අයට එහි  ස්වභාවය හරියටම බලා ගන්න නම් මේ යථාර්ථයෙන් අපට ඈත් වි නැවත වෙන විධියකට හමු වෙන්න ඕනේ.

    මිතුරනි, පාන් පෙත්තේ අරගලයෙන් පටන් ගෙන ලෝකයක් වෙනස් කල හැකියි.

    CP-C

    ReplyDelete
    Replies
    1. //එහෙත් අඥේයවාදියා ලෝකය තමාට අනුව වෙනස් නොවන නිසා තියෙන දෙයින් සැනසීමට පත්ව සිටියි.//
      පැහැදිලි ලෙසම නැහැ. අඥේයවාදියා උත්සාහ කරන්නේ Elon Musk, Jeff Bezos, Mark S(z)uckerberg කෙනෙක් වීමටයි. අඥේයවාදියෙකු ලෝකය තිබෙන ආකාරයෙන්ම තිබිය යුතුයැයි විශ්වාස නොකරන අතර පාන් පෙත්තේ අරගලයෙන් පටන් ගෙන හැදිය හැකියැයි වෙනත් අයෙකු විසින් යෝජනා කරන විකල්ප ලෝකයද සැකයකින් තොරව විශ්වාස නොකරයි. එයින් අදහස් වන්නේ කිසිවක් නොකර නිකම් සිටිනවා යන්න නෙමෙයි. මා හිතන ආකාරයට විද්‍යාව යනු පවතින ලෝකය හා නොපවතින විකල්ප අතරින් හොඳම විකල්පය තෝරා ගැනීම පිණිස කළ යුතු හා නොකළ යුතු දේ තීරණය කිරීමේ ක්‍රමවේදයයි. ඇතැම් විටක මෙසේ කරන සංසන්දනයක අවසන් ප්‍රතිඵලය වන්නේ ලෝකය වෙනස් නොකර එලෙසම පවතින්නට හැරීම විය හැකි වුවත්, එය අවිචාරාත්මකව ලෝකය පවතින ආකාරයෙන් භාර ගැනීමට වඩා වෙනස් දෙයක්.

      Delete
    2. බොහොම ස්තූතියි CP-C, මේ සකච්චාව වෙනත්ම මානයකට ගෙනයාම ගැන.දැන් තමා මේ අඥේයවාදය හරියටම තේරුනේ.

      ඒත් එක්කම ඉකනො කියල තියන " පැහැදිලි ලෙසම නැහැ. අඥේයවාදියා උත්සාහ කරන්නේ ....එය අවිචාරාත්මකව ලෝකය පවතින ආකාරයෙන් භාර ගැනීමට වඩා වෙනස් දෙයක්" කියන පැහැදිලි කිරීම, වඩා නිවැරදියි කියලයි මට හිතෙන්නෙ.

      Delete
  8. //ගණිතය බොහෝ වෙලාවට නිශ්චිත පිළිතුරු සපයනවා. නමුත්, සංඛ්‍යානය බොහෝ වෙලාවට සපයන්නේ අවිනිශ්චිත පිළිතුරු. මෙය ගණිතය හා සංඛ්‍යානය අතර ප්‍රධාන වෙනසක්. //

    මෙහි ගණිතය හා සම්බන්ධ නැති සංඛ්‍යාන විද්‍යාවක් තියෙනව ද? මම දන්න සමහර උසස් පෙළට කලා විශය ධාරාවෙන් පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යාව හා සංඛ්‍යානය වගේ විශයන් ඉගෙන ගන්නවා. ඔවුන් යම් ගනිතමය ආකෘතිය සිට යම් දෙයක් කෙසේ ද්පුරෝකතනය කරන්නේ?

    ReplyDelete
    Replies
    1. සංඛ්‍යානයේදීත් යොදා ගන්නේ ගණිතය වුවත් සංඛ්‍යානය ගණිතයෙන් බාහිරව වෙනම පුළුල් ලෙස වැඩි දියුණු වී තිබෙන විෂයයක්. සංඛ්‍යානය ශුද්ධ ගණිතයෙන් මූලික ලෙස වෙනස් වන්නේ ශුද්ධ ගණිතය යම් උපකල්පන මත පදනම්ව නිශ්චිත පිළිතුරු සැපයුවත් සංඛ්‍යානයේ පිළිතුරු වල අවිනිශ්චිතතාවයටද ඉඩක් තිබීම යන කරුණ මතයි. සංඛ්‍යානයේ ආකෘති වල මෙම අවිනිශ්චිතතාවය තිබෙනවා. අපට පුරෝකථන අවශ්‍ය වන්නේම අනුභූතික ලෝකය අවිනිශ්චිත නිසා. සංඛ්‍යානයෙන් ලබා දෙන පිළිතුරු පදනම් වන්නේ අවිනිශ්චිත දත්ත මත නිසා ලැබෙන ප්‍රතිඵල (පුරෝකථන)ද අවිනිශ්චිතයි. හරියටම නිවැරදි ප්‍රකාශයක් නොවුනත්, සංඛ්‍යානයේ ආකෘති වලින් කරන්නේ නිශ්චිත හෝ සීමිත අවිනිශ්චිතතාවයක් තිබෙන පුරෝකථන ලබා ගැනීම කියා කියන්න පුළුවන්. එය පූර්ණ අවිනිශ්චිතතාවයකට වඩා ප්‍රයෝජනවත්.

      Delete
  9. //ප්‍රතිඵලය ගැන ඒ තරම් සහතිකයක් තියෙද්දී ඒකේ ගෞරවයෙන් පොඩ්ඩක්වත් කොහේවත් ඉන්න දෙවි කෙනෙක්ට දෙන්න මට අවශ්‍ය වෙලා තිබුණේ නැහැ.// මම කලෙත් ඒ දේම තමයි. නොදන්න දෙවි කෙනෙකුට මම සමත් වෙනවා කියල දන්නා විභාගය දෙන්න කැමති වුනේ නැහැ. මම දන්නේ නැහැ එකොන් භෞතික විද්‍යාව ඉගෙන ගත් අය පැමිණ ආර්ථික විද්‍යාව කරනවා කියන එකෙන් අදහස් කලේ මොකක්ද කියල? //ඒ වුනත්, ලෝකයේ හැම ප්‍රශ්නයකටම විසඳුම් හොයන්න ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව ඉහළටම හදාරා තිබීම අත්‍යාවශ්‍යයි කියලා මම හිතන්නේත් නැහැ. ඒ වගේම, අනෙක් හැම විද්‍යාවක්ම භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසමින් යනවා කියාත් මම හිතන්නේ නැහැ// මම හිතන්නෙත් නැහැ. මම නම් තාරකා විද්‍යව ඉගෙන ගත්තේ ඒක මගේ විනෝදාංශයක් නිසා සහ මට ඉගෙනුම ලැබීමේ පිපාසයක් තියන නිසා. ඔය එක විද්‍යාවක් අනිකට වඩා හොඳයි කියල හිතන එක බොළඳ කමක් බවයි මම හිතෙන්නේ. මම රසායන විද්‍ය්වටත් කැමතියි. දුවලගේ බයෝලොජි පොතත් ඊයේ පෙරේද කියෙව්වා අවශ්‍ය වෙලා. මුලික දැනුමක් අමතක වෙලා. ලෝකය දැන ගැනීමට නම් මේ හැම දෙයකම ප්‍රමාණික දැනුමක් තිබිය යුතුයි කියලයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. //මම දන්නේ නැහැ එකොන් භෞතික විද්‍යාව ඉගෙන ගත් අය පැමිණ ආර්ථික විද්‍යාව කරනවා කියන එකෙන් අදහස් කලේ මොකක්ද කියල?//

      ඔය අජිත් පහළින් කියා තියෙන එකම තමයි. සමස්තයක් ලෙස විද්‍යාව තියා එහි එක විෂයයක් වුනත් එක් පුද්ගලයෙකුට ජීවිත කාලය තුළ ඉගෙනගෙන අවසන් කරන්න තබා හිතන්නවත් බැරි තරම් සුවිශාලයි. අවුරුදු 300කට පමණ පෙර තත්ත්වය නෙමෙයි දැන්. භෞතික විද්‍යාව හා දර්ශනය අනෙක් විෂයයන්ට වඩා පැරණියි (ආගම් හැරුණු විට). ගැලීලියෝගේ හා ඩෙකාර්ට්ගේ කාලයෙන් පසුව යම් කාලයක් අනෙකුත් විද්‍යා භෞතික විද්‍යාව හා දර්ශනය පස්සේ ගියා. නමුත්, ඉන් පසු බොහෝ විෂයයන් තනි තනිව සෑහෙන දුරක් ගමන් කර තිබෙනවා. සංඛ්‍යානය කැඩෙන්නේ ගණිතයෙන් වුවත් දැන් එය වෙනම විෂයයක්. අලුතෙන්ම හැදෙන දත්ත විද්‍යාව සංඛ්‍යානයටත් වඩා වෙනස් අලුත්ම විෂයයක්. සංඛ්‍යානය මෙන් නොව දත්ත විද්‍යාවට එන විට ගණිතය සෑහෙන දුරට හැලෙනවා. සමාජ විද්‍යා භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසමින් යනවා කියන කතාව මාක්ස්වාදය හා අදාළව යම් තරමක් ඇත්ත. ඒක මාක්ස්වාදය හැදුනු කාලයේ තිබුණු සාමාන්‍ය තත්ත්වය. මම හිතන හැටියට ඔය කතාව හැදෙන්නේ සියලුම සමාජ විද්‍යාවන් මාක්ස්වාදී සමාජ විද්‍යාවන්ට ලඝු කර එම කෝණයෙන් බැලීම නිසා. ලංකාව හා අදාළව මේ ප්‍රකාශයේ යම් ගැලපීමක්ද තිබෙනවා. එහෙත් ධනවාදී ආර්ථික විද්‍යාව ආරම්භ වන්නේම වෙනත් පදනමක් මත. මම හිතන්නේ මාක්ස්වාදයේ එන ශ්‍රමය මත පදනම් වූ වටිනාකම කියන අදහස භෞතික විද්‍යාවෙන් ණයට ගත් අදහසක්. මාක්ස්වාදය මුළුමනින්ම වගේ ගොඩනගා තිබෙන්නේ එම අදහස මත. එම උපකල්පනය නැත්නම් මාක්ස්වාදයක් නැහැ. නමුත්, එය උපකල්පනයක් පමණයි. සාධන සියල්ල පදනම් වෙන්නේ එම උපකල්පනය නිවැරදි වීම මත. මේ කාරණයේදී ධනවාදය ආරම්භ වන්නේ අඥේයවාදී ස්ථාවරයකින්. වටිනාකම් නිර්ණය වන නිශ්චිත සමීකරණයක් නැහැ. එය ඕනෑම එකක් වෙන්න පුළුවන්. මාක්ස්වාදය රැඳී තිබෙන එක වෙන්නත් පුළුවන්. අනෙකුත් අනන්ත වියහැකියා වලින් ඕනෑම එකක් වෙන්නත් පුළුවන්. මෙය කවදාවත් හරියටම දැන ගන්න බැහැ. දැන ගන්න අවශ්‍යත් නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: