වෙබ් ලිපිනය:

Wednesday, January 20, 2021

දන්න ගහ සහ හැදෙන ගහ


වියුක්තව හිතන්න පුළුවන්කම මිනිස්සුන්ට තිබෙන සුවිශේෂී හැකියාවක්. මේ හැකියාව මිනිස්සු සාමූහිකව කරන බොහෝ කටයුතු වලදී ප්‍රයෝජනවත් වෙනවා. වියුක්තව හිතන්න පුළුවන් මිනිස්සුන්ට පමණක්ද? සත්තුන්ට වියුක්තව හිතන්න බැරිද? සත්තුන්ට වියුක්තව තියා කොහොමටවත්ම හිතන්න බැරිද? ඒ ප්‍රශ්න අපි දැනට පැත්තකින් තියමු.

වියුක්තව හිතන එක සුළු පිරිසකට පමණක් තිබෙන සුවිශේෂී හැකියාවක් නෙමෙයි. මිනිස්සු කවුරුත් යම් යම් සීමා තුළ වියුක්තව හිතනවා. "ගහ දන්න මිනිහට කොළ කඩා පාන්න දෙයක් නෑ" කියා කියද්දී ඔය කියන්නේ මොන ගහක් ගැනද කියා කාට හරි කියන්න පුළුවන්ද? නැත්නම් හිතේ මවා ගන්න පුළුවන්ද?

ඔය ගහ කොස් ගහක්, පොල් ගහක්, කෙහෙල් ගහක් වගේ මොකක් හෝ ගහක් වෙන්න පුළුවන්. මෙහි ගහ කියා කියන්නේ ඔය ඕනෑම ගහක් හා අදාළ කර ගත හැකි වියුක්ත සංකල්පයකට. හැබැයි මේ ගහ නවහන්දි, මුවකීරිය, පතොක් වගේ ගහක් වෙන්න බැහැ. කොළ තියෙන ගහක් වෙන්න ඕනෑ. මෙහි කොළ කියා කියන්නේ විද්‍යාවට ඉගෙන ගන්න පත්‍ර නෙමෙයි. කොළය කියන්නේත්, පත්‍රය කියා කියන්නේත් වෙනස් සංකල්ප දෙකක්. දෙකම වියුක්ත සංකල්ප. කෙහෙල් කඳ කඳක් නොවන බවත්, ළූණු ගෙඩිය ගෙඩියක් නොවන බවත් මුලින්ම විද්‍යාවට ඉගෙන ගන්න කොට කාට වුනත් පොඩි තිගැස්මක් ඇති වෙන්නේ ඒ වෙද්දී "දැන ගෙන" සිටින දේවල් අභියෝගයට ලක් වෙන නිසයි.

එතකොට "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" කියද්දී කියන්නේත් ඔය ගහ ගැනමද? දන්න ගහ හා හැදෙන ගහ කියන ගස් දෙකම වියුක්ත සංකල්ප වුනත් මේ දෙක එකක්ම නෙමෙයි. දන්න ගහ කොළ තියෙන ඕනෑම ගහක් වෙන්න පුළුවන්. හැදෙන ගහ එහෙම වෙලා මදි. එය බීජයකින් පළවෙන ගහක් වෙන්න ඕනෑ. ගහ හැදෙන්න පටන් ගනිද්දී පෙති දෙක හැදෙන්නේ බීජය දෙපළු වෙලා. ඒ නිසා, කජු ගහක් හරි තෝර පරිප්පු ගහක් හරි හැදෙන ගහක්ද කියලා දෙපෙත්තෙන් කියන්න පුළුවන් වුනත්, පුවක් ගහක් හරි, කෙහෙල් ගහක් හරි ගැන දෙපෙත්ත බලලා ඔය අනාවැකිය කියන්න විදිහක් නැහැ.

"ගහ දන්න මිනිහට කොළ කඩා පාන්න දෙයක් නෑ" කියා කියන විට කාට හෝ ඔය ගහ වගේම කොළත් චිත්තරූප විදිහට හිතේ මවාගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි එහෙම හිතේ මවා ගන්න පුළුවන් වෙන්නේ පොල් ගහක්, කෙහෙල් ගහක් වගේ නිශ්චිත ගහක් මිසක් ගහ කියන වියුක්ත සංකල්පය නෙමෙයි. පොල් ගහ හෝ කෙහෙල් ගහ කියා කිවුවත් මේවත් වියුක්ත සංකල්ප.

පොල් ගහ කියන සංකල්පය මනසින් දැකිය හැකි වුවත් පංචේන්ද්‍රියයන්ගෙන් කිසිවකට ගෝචර වන දෙයක් නෙමෙයි. පංචේන්ද්‍රියයන්ට ගෝචර වන්නේ යම් නිශ්චිත පොල් ගහක් මිසක් පොල් ගහ කියන සංකල්පය නෙමෙයි. පොල් ගහ කියන සංකල්පය මනසේ පමණක් තිබෙන වියුක්ත අදහසක්. මේ දෙකේ වෙනස මවුබස සිංහල වූ අයෙකුට එතරම් පැහැදිලි නැත්තේ පොල් ගහ කියන වියුක්ත සංකල්පය හා ඇස ගැටෙන, අතින් ඇල්ලිය හැකි පොල් ගහ වෙන් කර හඳුන්වන්න සිංහල භාෂාවේ වෙනස් යෙදුම් නැති නිසයි. නමුත්, ඉංග්‍රීසි බස මුල් බස වූ අයෙකුටනම් මේ දෙක දෙකක්. එකක් "coconut tree". අනික "the coconut tree". එතකොට "a coconut tree" කියන්නේ මොකක්ද? ඒ අර "coconut tree" කියන වියුක්ත සංකල්පය සමඟ අපට ගැලපිය හැකි (මැච් කළ හැකි) නිශ්චිත "the coconut tree" එකක්. සමහර විට මේ "the coconut tree" එකත් මනසින්ම මවාගත්, පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවන නිශ්චිත පොල් ගහක් වෙන්න පුළුවන්. එය සාමාන්‍යයෙන් දැකිය නොහැකි, කිසිවකු විසින් දෑසින් කිසිදා දැක නැති, නිල් පාට ගෙඩි හැදෙන, රතු පාට කොළ තිබෙන අමුතුම පොල් ගහක් වෙන්නත් පුළුවන්.

සමහර වියුක්ත සංකල්ප මිනිස්සු හදාගෙන තියෙන්නේ පංචේන්ද්‍රියයන්ට ගෝචර වන කවර හෝ දේවල් කාණ්ඩයක් පොදුවේ සංකේතවත් කරන්න. පොල් ගහ, ගහ, බල්ලා, පූසා වගේ. මේ වගේ වියුක්ත සංකල්පයක් ගැන හිතන කොට ඒ වියුක්ත සංකල්පයෙන් නියෝජනය කළ හැකි නිශ්චිත සාමාජිකයෙකුගේ චිත්තරූපයක් කෙනෙකුගේ හිතේ මැවෙන්න පුළුවන්. ඒ මිසක්, වියුක්ත සංකල්පයේ චිත්තරූපයක් වෙනත් ආකාරයකින් හිතේ මවාගන්න පුළුවන්කමක් නැහැ. 

මේ විදිහටම සරල රේඛාව කියන වියුක්ත සංකල්පය හිතේ මවාගන්න බැරි වුනත්, නිශ්චිත සරල රේඛාවක් හිතේ මවාගන්න පුළුවන්. ඒ සඳහා අධිමානසික හැකියාවක් තිබිය යුතු නැහැ. එහෙත්, එය කළ හැක්කේ සරල රේඛාවක් කියන්නේ කුමක්ද කියන දැනුම ඇත්නම් පමණයි. ඒ දැනුම නිවැරදි දැනුමක් නොවෙන්න පුළුවන්. ඒ නිසා, ඒ නිවැරදි දැනුම නැති කෙනෙක් හිතෙන් මවා ගන්නා සරල රේඛාව සමහර විට සරල රේඛා ඛණ්ඩයක් වෙන්න පුළුවන්. 

කවදාවත් ලාමාවෙක් හෝ ලාමාවෙක්ගේ රූපයක් දැකලා නැති කෙනෙකුට වුනත් ලාමාවෙක්ගේ චිත්තරූපයක් හිතෙන් මවාගන්න පුළුවන් වුනත් ඒ චිත්තරූපය හා ඇත්ත ලාමාවෙක් එක වගේ වෙන්න එතරම් ඉඩක් නැහැ. මෙය කියවන සමහර අය ඉකොනොමැට්ටාගේ චිත්තරූපයක් හිතින් මවා ගන්නවා. ඒ චිත්තරූපය ඇත්ත ඉකොනොමැට්ටා වගේම වෙන්න අවශ්‍ය නැහැ. ඔය විදිහටම කෙනෙකුට අලි ඔලුවක් තිබෙන මිනිහෙක්ව හෝ ඉනෙන් පහළ මාළු සිරුරක් තිබෙන කාන්තාවක්ව හිතෙන් මවා ගන්න පුළුවන්. එහෙම අය කවදාවත් දැකලා තියෙන්න අවශ්‍ය නැහැ. සමහර වියුක්ත සංකල්ප වලින් නියෝජනය වන සාමාජිකයින්ද වියුක්ත සංකල්පම වෙන්න පුළුවන්. 

වියුක්ත සංකල්ප ගැන කතා කරද්දී අපට ප්ලේටෝව අමතක කරන්න බැහැ. ප්ලේටෝට අනුව අපේ පංචේන්ද්‍රියයන්ට ගෝචර වෙන්නේ කිසියම් පරිපූර්ණ ආකෘතියක අසම්පූර්ණ වර්ෂන්. දැන් මෙතැනින් කවුරු හරි ගියාද කියලා මම ඇහුවොත් මට ඔය ප්‍රශ්නයට "ඔව්. සුදු ලස්සන උස ගෑණු මනුස්සයෙක්!" වගේ උත්තරයක් ලැබෙන්න පුළුවන්. දැන් මෙහි සුදු, ලස්සන, උස, ගෑණු, මනුස්සයෙක්, කියන්නේ වියුක්ත සංකල්ප. සුදු කියා කිවුවත් සුදු ප්‍රභේද තිබෙනවා. ලස්සනත් එහෙමයි. ප්ලේටෝට අනුව මේ හැම සංකල්පයකම පරිපූර්ණ වර්ෂන් එකක් තිබෙනවා. මේවා හඳුන්වන්න ප්ලේටෝනික ආකෘති (forms) කියා කියන්න පුළුවන්. ඒ කියන්නේ සුදුනම් පූර්ණ සුදු පැහැය. එහි කිසිම අඩුවක් නැහැ. ලස්සනනම් උපරිම ලස්සන. බල්ලා කිවුවොත් මූලාකෘතික (prototype) බල්ලෙක්. මේ පරිපූර්ණ ප්ලේටෝනික ආකෘති අපට කවදාවත් මනසින් මිස පංචේන්ද්‍රියයන් හරහා ගෝචර කර ගන්න බැහැ. අපට පෙනෙන්නේ මේ ආකෘති වලින් හැදුනු දේවල්. ඒ ආකෘති හැදී තිබෙන්නේ වෙනත් ආකෘති වලින්. මුලටම ගියාම පරිපූර්ණම ආකෘතිය දෙවියන්.

ගණිතයේ අර්ථදක්වා තිබෙන බොහොමයක් දේ මේ ආකාරයේ පරිපූර්ණ ප්ලේටෝනික ආකෘති. ඒවා දැකිය හැක්කේ මනසින් පමණයි. යම් හෙයකින් අපි ඒවා ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කළත් අපට එය කළ හැක්කේ  ආසන්නව, අඩුපාඩු සහිතවයි. ගෝලයක් කියන්නේ කිසියම් නිශ්චිත ලක්ෂ්‍යයක සිට පෘෂ්ඨය මත ඕනෑම තැනකට සම දුරක් තිබෙන ත්‍රිමාන වස්තුවක්. අපි කොයි තරම් හොඳින් ගෝලයක් ප්‍රතිනිර්මාණය කරන්න හැදුවත් එහි සුළු හෝ අඩුපාඩුවක් ඇති වීම වලක්වන්න අසීරුයි. එවැනි අඩුපාඩුවක් නැති පරිපූර්ණ ප්ලේටෝනික ගෝලයක් වියුක්ත අදහසක් පමණක් වුවත් අපට එවැන්නක් චිත්තරූපයක් ලෙස මනසින් දකින්න බැරිකමක් නැහැ.

ගණිතයේදී පිරමිඩයක් අර්ථදක්වන්නේ කවර හෝ පාද ගණනක් ඇති බහුඅශ්‍රයක එක් එක් පාදය පාදයක් කරගත් ත්‍රිකෝණ වල එම පාදය මත නොපිහිටි මුළු සියල්ල එකම ලක්ෂයකට එකතු වී හැදෙන ත්‍රිමාන වස්තුවක් ලෙසයි. බහුඅශ්‍රය ත්‍රිකෝණයක් වූ විට පිරමිඩයට පැති හතරයි. බහුඅශ්‍රය චතුරශ්‍රයක් වූ විට පිරමිඩයට පැති පහයි. බහුඅශ්‍රය පංචාශ්‍රයක් වූ විට පිරමිඩයට පැති හයයි. බහුඅශ්‍රයේ පාද ගණන වැඩි වෙමින් යද්දී එය ටිකෙන් ටික රවුම් වී පිරමිඩය ටිකෙන් ටික කේතුවක් වගේ වෙනවා. පාද ගණන අනන්තයක් වූ විට එහි පාදම රවුමක් හෝ ඉලිප්සයක් වෙනවා. එවිට හැදෙන්නේ කේතුවක්. ඒ නිසා, කේතුවක් කියන්නේත් පිරමිඩයක්.

පිරමිඩය කියන වියුක්ත සංකල්පය අපට චිත්තරූපයක් ලෙස හිතේ මවා ගන්න බැහැ. එහෙත්, නිශ්චිත පාද ගණනක් තිබෙන බහුඅශ්‍රයක් මත ගොඩ නැගුණු නිශ්චිත පිරමිඩයක චිත්ත රූපයක් හිතෙන් මවාගන්න එක අමාරු වැඩක් නෙමෙයි. ත්‍රිමාණ අවකාශයක තිබෙන වෙනත් බහුතලයක් (polyhedron) වුවත් අපට චිත්තරූපයක් ලෙස මනසින් මවා ගන්න අපහසු නැහැ. චතුරශ්‍ර හයකින් හැදුණු ඝනකයක් අපට මනසින් මවා ගන්න පුළුවන්. මෙහිදී අපි හිතින් මවා ගන්නේ අදාළ වියුක්ත සංකල්පය නිරූපණය කරන සංකේතයක් මිසක් වියුක්ත සංකල්පය නෙමෙයි. 

පංචේන්ද්‍රියයන්ගෙන් කිහිපයකට ගෝචර වන  ඝනකයක අසම්පූර්ණ ආකෘතියක් වැඩි අපහසුවක් නැතුව අපට හදා ගන්න පුළුවන්. එහෙත්, එක "පැත්තක්" ඝනකයක් වූ "පැති" අටක් තිබෙන චතුර්මාන tesseract එකක සංකේතයක් වුවත් ස්ථිතික චිත්තරූපයක් විදිහට හිතේ මවා ගන්න එක කළ නොහැකි දෙයක්. එහෙත්, එවැනි දේවල් ගැනත් අපට හිතන්න පුළුවන්. ස්ථිතික චිත්තරූපයක් මවා ගන්න නොහැකි වුවත් අවශ්‍යනම් ගතික චිත්තරූපයක් මවාගන්නත් පුළුවන්. පංචේන්ද්‍රියන්ට දැනෙන ඒ චිත්තරූපයේ අසම්පූර්ණ ආකෘතියක් හදන්නත් පුළුවන්.



8 comments:

  1. වියුක්ත කියන්නේ හිතෙන් මවාගන්න බැරිදේවල්වලට නෙමෙයි.
    හිතෙන් මවාගන්න නොහැකි දෙයක ගුනයක්.

    වියුක්ත කියන දෙයින් අදහස්වෙන්නේ යම්කිසි දෙයක, සලකා බැලිය යුතු ගුනාංග පමනක් ඉතිරිකර අන් සියල්ල ඉවත්කල විට ලැබෙන තත්වයයි.

    වියුක්ත කියන එක සාපේක්ෂ දෙයක්.

    වස්තුවට වඩා ගස සංයුක්තයි
    ගසට වඩා අඹගස සංයුක්තයි.

    සිංහලයෙක්ට සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක් වෙන්න බෑ කියන තත්වය පැහැදිලිවම නිරීක්ෂණය කරන්න පුළුවන් දෙයක්.
    නලීන් ද සිල්වා මහතා එය පැහැදිලිකරන්න ඉදිරිපත්කල හිතලුව තමයි. සිංහලයන්ට වියුක්ත කතා ගොතන්න ඇති දුර්වලකම නිසා මෙම තත්වය ඇතිවීම.

    ඒ කියන්නේ සිංහලයන්ට මොකවත් බෑ කියන එක නෙමෙයි.
    රංග ඩයස්ට කාමර උෂ්ණත්වයේ පවත්වාගන්න පුළුවන් සුපිරි සන්නයකයක් හදන්න පුළුවන් විය හැකියි. (දැන් හදලා තියෙන එක නම් අධි පීඩනයක් යටතේ සුපිරි සන්නායක ගුන පෙන්වන එකක්. ඒකෙන් පායෝගික වැඩක් ගන්න අමාරුයි)

    නමුත් සුපිර්ි සන්නායක ගැන පැහැදිලි කරන වියුක්ත ප්‍රවාදයක් හදන්න නම් එයාට බෑෑෑ.

    ReplyDelete
    Replies
    1. //හිතෙන් මවාගන්න නොහැකි දෙයක ගුනයක්.
      හිතෙන් මවාගන්න නොහැකි වීම වියුක්ත දෙයක ගුනයක්.

      Delete
  2. ඉකොනොමැට්ටාත් දන්නවා ඇතිනේ ලංකාවේ 2015 - 2019 කාලයේ පැවති පසුගිය අන්ත දූෂිත එක්සත් ජාතික පක්ෂයේ යහපාලන රජය සමයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් විසි දෙදෙනකුට නියමිත දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට නිර්දේශ වී ඇති බව?

    මේ බව පවසා ඇත්තේ දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර බැලූ ජනාධිපති කොමිෂන් සභාව වන අතර ඔවුන් මේ ළඟදි දන්වා සිටි පරිදි 2015 ජනවාරි මස 08 වැනි දින සිට 2019 නොවැම්බර් මස 16 වැනිදා දක්වා කාලසීමාවේ සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට මෙම කොමිසම පත්කර තිබිණි. කොමිෂන් සභාවේ නිර්දේශ සහ තීරණ ඇතුළත් ඇමැති මණ්ඩල සංදේශයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමැති මණ්ඩලයට පසුගිය 18 වැනිදා ඉදිරිපත් කරන ලදි.

    එම වාර්තාවේ සඳහන් නිර්දේශවලට අනුකූලව දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිවුරුම කඩ කිරීම සහ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමේ වරද පිළිබඳව කරුණු විමර්ශනය කර දඬුවම් පැමිණවීම සඳහා බලය ලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නොමැති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කළ යුතු බව කියයි. වගඋත්තරකරුවන් 22 දෙදෙනාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා කොමිෂන් සභාව වෙත ඉදිරිපත්ව ඇති සාක්ෂි හා ලේඛන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ නීතිපතිවරයාට යොමු කිරීමටද නියමිතයි.

    එම ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධී දූෂණ විරෝධී කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇති අතර ඒ වගේම හිටපු ඇමැතිවරුන් වන මංගල සමරවීර, චම්පික රණවක, රාවුෆ් හකීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක යන අයද එම නීති විරෝධී කමිටුවේ සාමාජිකයෝ වෙති. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දැනට ලංකාවෙන් පැනගොස් ස්විට්සර්ලන්තයේ සැඟවී සිටින වරෙන්තුධාරී ජයම්පති වික්‍රමරත්න සමග මලික් සමරවික්‍රම, දූෂණ හා වෙනත් චෝදනා රැසක් ඇති නීතිඥ ජේ.සී. වැලිඅමුණ, ආනන්ද විජයපාල, දැනට රක්ෂිත බන්ධනාගාර ගත දූෂිත පොලිස් නිලධාරියෙකු වන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, පී. ප්‍රේමශාන්ත, නිහාල් අමරසිරි, සුජාතා කුමාරි, අයි. වීරරත්න, තුසිත් මුදලිගේ, ලාල් නානායක්කාර, අනුෂ කුමාරස්වාමි, දිනේෂ් පෙරේරා, හිටපු අගමැති ලේකම් සමන් ඒකනායක එහි සෙසු සාමාජිකයෝ වෙති.

    මෙම නීති විරෝධී හොර දූෂණ මර්දන කමිටු කල්ලිය පිළිබඳ පැමිණිල්ලේ සාක්ෂිකරු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ වන අතර වගඋත්තකරුවන් අතර සිටින රාජ්‍ය සේවකයන් දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය යන නිල නොවන සංවිධානයේ සේවය කිරීමෙන් හෝ සේවයට යෙදවීමෙන් අල්ලස් පනතේ දූෂණය නමැති වරද කර ඇති බව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙයි. ඔවුන් රජයේ මුදල් වැටුප් ලබමින් සාපරාධී සාවද්‍ය පරිහරණයක්ද සිදුකර තිබේ. අගමැති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයෙන් රුපියල් මිලියන 3,371ක මුදලක් වියදම් සඳහා ලබාගෙන ඇත. පොදු දේපළ පනත යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම් ලැබිය යුතු සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද එමගින් කර ඇති බව කොමිෂන් සභාව නිර්දේශ කර ඇත. රාජ්‍ය නොවන සංවිධානයක් වන දූෂණ මර්දන කමිටුව නමැති දූෂිත හොර කල්ලියේ රැස්වීම් (කුමන්ත්‍රණ?) පැවැත්වීම සඳහා රාජ්‍ය ආයතනයක් වන අරලියගහ මන්දිරය පාවිච්චි කිරීමෙන් පොදු දේපළ අවභාවිත කර ඇති බවද කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

    මෙම නිර්දේශ ඉදිරිපත් කරන කොමිෂන් සභාව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඇතුළු සාමාජිකයෝ තිදෙනෙක්ගෙන් යුක්ත වූහ. මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද?

    ReplyDelete
  3. ඉකෝන් ලංකාවේ වැරදි ප්‍රතිපත්ති නිසා සිංගප්පූරුව ආර්ථික සංවර්ධනය හරහා දකුණු ගිණිකොන දිග ආසියාවට රජවූ බවත් ඉදිරියේදී ඉන්දියානු සාගර කළාපයේ ඇතිවන දැඩි නාවික තරගයට මුහුණදීම සඳහා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (ඊසීටී) නැගී එන බලවත් විදෙස් ආයෝජකයෙකුට ලබාදිය යුතු බවත් නාවික ක්ෂේත්‍රයේ වසර 30 කට අධික කාලයක අත්දැකීම් ඇති එම ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන රොහාන් මාසකෝරාළ මහතා සාකච්ඡාවකදී අවධාරණය කරපු එක ඔබත් දකින්න ඇති නේද?

    ඒ වගේම අතීතයේ සිටම දේශපාලකයින් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන වගේම රට ගිල ගන්නා ධනවාදී බිල්ලා ගැන කතා ගොතමින් ලංකාවේ ජනතාව රවටා ඡන්ද ගොඩ වැඩිකර ගැනීම ගැන හිතුවා මිසක රටේ ඉදිරි ගමන ගැන නොසිතූ බවත් ඒ තුළින් වර්ග කිලෝමීටර් 600 ක් තරම් ඉතාමත් කුඩා සිංගප්පූරුව කියන දූපත් රට ලෝකයේ දැවැන්තම නාවික කේන්ද්‍රස්ථානයක් දක්වා සංවර්ධනය වූ බවත් ඔහු පෙන්වා දෙයි.

    Sri Lanka business tv YouTube නාලිකාව සමග පැවැත්වූ එම සම්පූර්ණ සාකච්ඡාව මෙන්න.

    https://youtu.be/3HWnIkIEm_o

    මේක ගැන හිතන්නේ මොකද්ද?

    ReplyDelete
  4. 'මේ පරිපූර්ණ ප්ලේටෝනික ආකෘති අපට කවදාවත් මනසින් මිස පංචේන්ද්‍රියයන් හරහා ගෝචර කර ගන්න බැහැ'.

    එතකොට අපි platonic love ගත්තොත් ඒකටත් මේ අර්ථ දැක්වීම අදාලද. Interesting!!!

    (වියුක්ත, අඥේයවාදය වගේ වචන ආයිත් පාවිච්චි කරන වෙලාවක ඒ වගේ ඉන්ග්‍රීසි වචනයත් වරහන් ඇතුලෙ දෙන්න පුලුවන්ද ඉකොන්. ඒ වචන හොඳටම දන්නෙ නැති අය ඔබේ readership එකේ ඉන්න පුලුවන්).

    ReplyDelete
  5. එකොනෝ,

    anthoniyo bahijata January 22, 2021 at 3:41 AM විසින්
    "මෙය ලියන්නේ ඔබ විවාහක පිරිමියෙක්යැයි උපකල්පනයෙන්..."
    යනුවෙන් ලියන ලද කොමෙන්ටුව ප්‍රතිචාර තීරුවෙන් ඉවත් කරන ලෙසට යෝජනා කරමි. එසේම මගේ මේ ඉල්ලීමට සහාය පල කරන ලෙසට මෙහි යන එන අව⁣බෝධාත්මක පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමි.

    ඔබගේ බොජුන්හලින් මා/අප  කෑම ලබා ගන්නේත්,  ඔබ ලබා දෙන්නේත් නොමිලේම වුනත් , එසේ ඉල්ලා සිටීමට මට සදාචාරාත්මක අයිතියක් ඇති බවටද මම විශ්වාස කරමි.

    ස්තුතියි.

    CP-C

    ReplyDelete
    Replies
    1. මෙම ප්‍රතිචාරයෙහි වචන භාවිතය එතරම් සුදුසු නැතත් කියා ඇති කරුණ ප්‍රතිචාරයක් ලබා දිය යුතු තරම් වැදගත් කරුණක් කියා මම හිතනවා. ඔහු අහන්නේ මේ වගේ ප්‍රශ්නයක්.

      "ඔබට ඔබ දන්නා වෙනත් පුද්ගලයෙක්ව හිතෙන් මවා ගන්න පුළුවන්ද?"

      මේ විදිහට වියුත්ක ලෙස ප්‍රශ්නය අහන්නේ නැතිව ඔහු එය සංයුක්ත ලෙස අහනවා. ඔබට ඔබේ බිරිඳ හිතින් මවා ගන්න පුළුවන්ද? ප්‍රශ්නකාරී ප්‍රතිචාරය ඉවත් කර ප්‍රශ්නය වෙනත් ආකාරයකින් ඉදිරිපත් කර පිළිතුරු දීම නිසා ඔහුගේ ප්‍රශ්නයේ හරයට එතරම් හානියක් සිදු වුනේ නැහැ කියා මම හිතනවා.

      ඔහු කියන්නේ අපට අප "දන්නා" කිසියම් පුද්ගලයෙකුගේ විවිධ නිමේෂ මිසක් එම පුද්ගලයාව හිතෙන් මවා ගත නොහැකි බවයි. ඒ කියන්නේ ඔබ සමඟ හෝ ඔබෙන් දුරස්ථව කිසියම් නිශ්චිත කාල-අවකාශයක සිටින ඔබේ බිරිඳගේ චිත්තරූපයක් මිසක් "ඔබේ බිරිඳ" කියන සංකල්පය හිතින් මවා ගත නොහැකි බවයි. මේ කරුණ හා අදාළව මම ඔහු සමඟ එකඟයි.

      මෙය හරිම සරල දෙයක්. වසර විස්සකට පමණ පෙර මගේ හොඳම මිතුරන් හෝ මිතුරියන් වූ, එසේ නැත්නම් මගේ ඥාතිවරයෙකු ලෙස මා දැන සිටි ඇතැම් අය මා වසර ගණනාවකින් දැක නැහැ. ඔවුන්ව මට හිතෙන් මවා ගත හැක්කේ මට ඔවුන්ව අවසන් වරට දකින්න ලැබුණු කාලයේ සිටි ස්වරූපයෙන්. හිටිවනම වත්පොතේ මිතුරු ඉල්ලීමක් පැමිණි විට ඡායාරූපයේ ඉන්නේ වෙනම කෙනෙක්. අපට වියුක්ත අදහසක් චිත්තරූපයක් සේ හිතින් මවා ගත හැක්කේ එහි එක් නිශ්චිත ස්වරූපයකින් පමණයි. එහෙත්, අවශ්‍යනම් වෙනත් එවැනිම නිශ්චිත ස්වරූපයකින්ද චිත්තරූපයක් හිතේ මවා ගන්න පුළුවන්. මේ සන්දර්භයේදී වියුක්ත අදහස කියන්නේ මේ චිත්තරූප වල පොදු ගුණය කියා කියන එකත් නිවැරදියි.

      එහෙත් ඇතැම් වියුක්ත සංකල්ප වල මෙවැනි නිශ්චිත ස්වරූපයක් හෝ චිත්තරූපයක් සේ හිතින් මවා ගත නොහැකියි. පෞද්ගලිකව මටනම් මේ ආකාරයට චිත්තරූප මවා ගැනීමට හැකි වීම හෝ නොහැකිවීම වැදගත් කරුණක් නෙමෙයි. මට ලෝකය තේරුම් ගැනීම සඳහා බොහෝ විට එවැනි චිත්තරූප අවශ්‍ය නැහැ. මම හිතන අවස්ථා වලදී හිතාමතාම චිත්තරූපයක් මවා නොගත්තොත් වචනයක් ඇහෙන විට නිකම්ම චිත්තරූප හිතේ මැවෙන්නේත් නැහැ. මගේ බිරිඳ හෝ දරුවන් ගැන හිතන විට මගේ මනසේ මැවෙන අදහස චිත්තරූප කිසිවක් සමඟ සම්බන්ධ අදහසක් නෙමෙයි. වෙනත් අයගේ මනස් මට කියවිය නොහැකි වුවත් මෙහි ප්‍රතිචාරය දමා තිබුණු පුද්ගලයා වැනි ඇතැම් අය කියන දේවල් අනුව තේරෙන්නේ ඔවුන් ලෝකය දකින්නේ මනසේ මවා ගන්නා චිත්තරූප ඇසුරෙන් බවයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: