තව දවස් තුනකින් (ජනවාරි 21) කොළඹ සරසවියේ ශාස්ත්‍ර හා විද්‍යා පීඨ වල සියවස සැමරෙනවා. කොළඹ සරසවිය මමත් අවුරුදු හතර පහක් තිස්සේ ගාටපු තැනක්. එහෙත්, මගේ පළමු සම්බන්ධය තිබෙන්නේ පේරාදෙණිය සරසවිය සමඟයි. යම් හෙයකින් මට පේරාදෙණි යාමේ අවස්ථාව නොලැබුනානම් මා බොහෝ විට මුලින්ම යන්නේ කොළඹ සරසවියටයි. මුලින් පේරාදෙණි යන්න අවස්ථාව ලැබුණු නිසා කොළඹ යන්න වුනේ දෙවනුවයි.
උසස් පෙළ කර සරසවි යාම ගැන හිතද්දී හැම විටම වගේ මගේ හිතේ මැවුණේ පේරාදෙණිය සරසවියයි. පේරාදෙණි ගොස් ඉගෙන ගැනීමේ සිහිනයටත් වඩා උඩින් තිබුණේ පේරාදෙණිය සරසවිය ආශ්‍රිතව වසර හතරක් ගත කිරීමේ සිහිනයයි. මොරටුව සරසවියට යන්නට මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. යම් හෙයකින් මොරටු යන්න සිදු වීමේ අවදානම වලක්වා ගැනීම සඳහා මම සරසවි පාඨමාලා අයදුම් කරද්දී මොරටුවේ පාඨමාලා කිසිවක් සඳහා අයදුම් කළේම නැහැ.
අයැදුම්පත්‍රයේ මගේ පළමු කැමැත්ත ලෙස මා සඳහන් කළේ, අපේක්ෂා කළ පරිදිම මට යන්නට අවස්ථාව ලැබුණු, පේරාදෙණි පාඨමාලාවයි. මගේ දෙවන හා තුන්වන මනාප ලැබී තිබුණේ කොළඹ සරසවියේ පීඨ දෙකක පාඨමාලා දෙකකටයි. කැමති පාඨමාලා දහයක් දක්වා සඳහන් කළ හැකිව තිබුණත්, මා ඉල්ලා සිටියේ ඉහත කී පාඨමාලා තුනෙන් එකක් පමණයි.
පේරාදෙණියේ ගත කළ කාලය මගේ ජීවිතයේ හොඳම කාලය කියා කියන්න අසීරු වුනත් හොඳම කාලයක්. එම කාලය ගැන අදටත් සතුටු විය හැකියි. එහෙත් පේරාදෙණියෙන් මා ලබාගත් අධ්‍යාපනය පිළිබඳව මා සතුටු වනවා කියා කියන්න බැහැ. මට ලැබුණු කියා නොකියා මා ලබාගත් කියා කියන්නේ මෙහි යම් වරදක් ඇත්නම් එය බොහෝ දුරට මගේ පැත්තෙන් සිදු වූ වරදක් නිසා.
වෙනත් දේ කෙසේ වෙතත් අධ්‍යාපනය හා අදාළව පේරාදෙණියේදී මගේ ඉලක්කය වුනේ හැකි අවම මහන්සියකින් විභාග සමත් වීමයි. ඒ වන විට අධ්‍යාපනයේ ඉලක්කය ලෙස මා හඳුනාගෙන තිබුණේ අදාළ විභාග සමත් වී ජීවිතය සාර්ථක කර ගැනීමේ ඊළඟ පියවර දක්වා ගමන් කිරීමයි. සරසවි ප්‍රවේශය දක්වාම මේ ඊළඟ පියවර වුනේ තවත් විභාගයක්. පාසැල් සිසුවකු ලෙස මා දැන සිටියේ අධ්‍යාපනය හරහා ජීවිතය සාර්ථක කර ගැනීමේ අවසන් හා පරමාදර්ශී ඉලක්කය වනුයේ, ඒ දින වල සිතා සිටි පරිදි ඉහළ ආදායමක් උපයන්නට ඉඩ සලසන, වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු වැනි වෘත්තිකයෙකු වීම බවයි.
සරසවි විභාග සමත් වීම අභියෝගයක් බව වෙනත් බොහෝ දෙනෙකු මෙන්ම මා ද දැන ගත්තේ නවක වද සමයේදීයි. ඒ නිසා, පළමු වසර විභාගයට පෙර ප්‍රතිඵලය පිළිබඳ යම් බියක් නොතිබුණා නෙමෙයි. පළමු වසරේ පුනරීක්ෂණ විභාග අවස්ථාවක් තිබීම හේතුවෙන් මේ බය යම් තරමකින් තුනී වුවත්, ඉදිරි තෙවසර තුළ හදාරන අනු ක්ෂේත්‍රය මෙන්ම ඒ වන විට හිතාගෙන සිටි පරිදි ඉදිරි ජීවිත කාලය තුළම කරන්නට සිදුවන රැකියාවද තෝරා ගැනීමේ අවස්ථාව මේ විභාගයේ ප්‍රතිඵලය මත තීන්දු වන නිසා විභාගය යාන්තමින් සමත් වීම ඒ තරම්ම සතුටු විය හැකි දෙයක්ව තිබුණේ නැහැ.
පළමු වසරේ විභාග ප්‍රතිඵලය ඒ තරම් නරක එකක් නොවුනාක් මෙන්ම එම ප්‍රතිඵලය මත කැමති ඕනෑම අනු ක්ෂේත්‍රයක් තෝරා ගැනීමේ අවස්ථාවද හිමි වූ නිසා එක පැත්තකින් නරකක්ද සිදු වුනා. ඒ සරසවි විභාග වලට තිබුණු සුළු හෝ බය ඉවත්ව යාමයි. ලැබෙන උපාධිය අවසන් වශයෙන් තීරණය වුනේ අවසන් වසරේ විභාග ප්‍රතිඵලය මත නිසා දෙවන, තුන්වන වසර වල විභාග හොඳින් සමත් වුනා කියා අමුතුවෙන් ලබා ගත හැකි දෙයක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ නිසා, දෙවන තුන් වන වසර වලදී මගේ ඉලක්කය වුනේ අඩුම කාලයක් වැය කර යාන්තමින් විභාග ගොඩ දමා ගැනීමයි. අධ්‍යාපනය වෙනුවෙන් "නාස්ති" නොකර ඉතිරි කර ගන්නා කාලය වෙනත් කටයුතු සඳහා යෙදෙවීමට හැකි වුනා. ඇත්තටම කියනවානම් ඒ වෙනත් කටයුතුද සරසවි අධ්‍යාපනයේම කොටස් තමයි.
ඔය හැම දෙයක්ම කරමින් පාඨමාලාවේ කෙළවරට පැමිණෙද්දී අවසන් විභාගය හැකි තරම් හොඳින් සමත් වීමේ උවමනාවක් ඇති වී තිබුණා. ලැබෙන උපාධි සාමාර්ථය කුමක්ද කියා තීරණය වුනේ අවසන් විභාගයේ ප්‍රතිඵලය මත වීම ඊට හේතුවයි. ඒ නිසා, මේ අවසන් විභාගයට පෙර විභාග සඳහා වැය කළාට වඩා වඩා කාලයක් වැය කරමින් සූදානම් වුනා. කෙසේ වුවත්, ලැබුණේ අනපේක්ෂිත ප්‍රතිඵලයක්. අවසන් විභාගයේ ප්‍රතිඵල අනුව මා විභාගය සමත්ව තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස නැවත විභාගයට පෙනී සිටින්නට වසරක කාලයක් බලා ඉන්න සිදු වුනා. අවසන් විභාගයේ සියලුම විෂයයන් එක වර සමත් නොවුවහොත්, පුනරීක්ෂණ විභාගයක ප්‍රතිඵල කෙතරම් හොඳ වුවද කවර හෝ පන්ති සාමාර්ථයක් ලබා ගැනීමේ අවස්ථාවක් නැති නිසා එම අවස්ථාව ද ගිලිහී ගියා.
පාඨමාලාව හැදෑරුවේම විභාගය සමත් වීමේ අරමුණින් මිස ඉගෙන ගැනීමේ අරමුණින් නොවූ නිසා මේ අනපේක්ෂිත විභාග ප්‍රතිපලය විසින් මා තල්ලු කර දමනු ලැබුවේ ගොඩ එන්නට ඉතා අසීරු අගාධයකටයි. ගුරු රස්සාව හා ඊටත් පෙර කළ වෙනත් රස්සා වලින් ඉතිරි කරගත් සැලකිය යුතු මුදලක් පේරාදෙණි යද්දී අතේ තිබුණා. ඒ නිසා, පේරාදෙණි සිටි කාලයේ යම් තරමකින් අත දිග හැර මුදල් වියදම් කළ හැකි වුනා. පාඨමාලාව අවසානයේදී රැකියාවක් ලැබෙන එක ගැන සැකයක් නොතිබුණු නිසා මුල සිටම සැලසුම් කළේ ඉතිරි කරගත් මේ සල්ලි වසර හතර තුළ ක්‍රමානුකූල ලෙස වියදම් කර දමමින් සරසවියේ ගත කරන කාලය වැඩිපුර දුක් නොවිඳ ගෙවන්නටයි. එය එසේම සිදු වුනා. දැන් වසර හතර අවසන් වෙද්දී උපාධියත් නැහැ. රැකියාවකුත් නැහැ. අතේ සතේත් නැහැ.
පේරාදෙණියේ අවසන් විභාගය ලියා අවසන් කිරීමෙන් පසුව ගත වුනේ මගේ ජීවිතයේ අඳුරුම කාලයක්. මේ වසර මා ගත කළේ ඉතා දැඩි මානසික පීඩනයකින්. විභාගය අවසන් කළ වහාම, වෙනත් රැකියාවක් ලැබෙන තුරු, පීඨයේ විද්‍යාගාර උපදේශකයෙකු (ඉන්ටෙක්) ලෙස සේවය කිරීමේ අවස්ථාව බොහෝ දෙනෙකුට හිමි වන නමුත් එම වසරේ පැවති තරඟය නිසා මට ඒ අවස්ථාව හිමි වුනේ නැහැ. එම වසරේ පැවති සුවිශේෂී ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය නිසා රැකියා වෙළඳපොළේ තිබුණේත් ඉතාම තරඟකාරී තත්ත්වයක්. මෙය පුනරීක්ෂණ විභාගයට ලියන තුරු මුහුණ දෙන්නට සිදුව තිබුණු තාවකාලික තත්ත්වයක් නිසා වෙනත් ස්ථිර රැකියාවකට අයදුම් කරන එකේත් තේරුමක් තිබුණේ නැහැ.
එකවරම මා කිසිදු මූල්‍ය ප්‍රාග්ධනයක් අතේ නැති, වසර ගණනාවක් තිස්සේ එකතු කරගත් මානව ප්‍රාග්ධනයෙන්ද වහාම ගත හැකි කිසිම ප්‍රයෝජනයක් නැති, අතපය හතර පමණක් තිබෙන සාමාන්‍ය තරුණයෙකු වී සිටියා. කළ හැකිව තිබුණේ අත පය හතර ප්‍රයෝජනයට ගැනීම පමණයි. කැලෑ වී තිබුණු වත්ත එළි පෙහෙළි කර කෙසෙල් හිටෙවුවා. තවත් දේවල් ද වගා කළා. පසුව හතු හදන්නත් පටන් ගත්තා. ඔය දේවල් වලින් අතට මුදලක් ලැබෙන්න කිට්ටු වෙද්දී වසරක් ගෙවුනා. අපේක්ෂා කරමින් සිටි ආකාරයේ රැකියාවක්ද ලැබුණා. කොළඹ එන්න සිදු වුනා.
පේරාදෙණියේ සිටි කාලය අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු පෞද්ගලික ආයෝජනයක් ද කළ කාලයක් වුවත් මේ පාඨමාලාව වෙනුවෙන් පාඨමාලා ගාස්තුවක් අතින් ගෙවන්න සිදු වුනේ නැහැ. යම් හෙයකින් එසේ මුදලක් අතින් ගෙවන්න සිදු වුනානම් එම කාලය තුළ හොඳින් අධ්‍යාපනය ලබා ගැනීම කෙරෙහි යොමු වන්නට මීට වඩා පෙළඹවීමක් ඇති වෙනවා.
පේරාදෙණි නොගියානම් මා බොහෝ විට දිගටම ගුරු රස්සාව කරනවා. එසේ කළානම් බොහෝ විට ඉතා ඉක්මණින් අමතර ආදායමක් ඉපැයීම සඳහා පෞද්ගලික උපකාරක පන්තිද ආරම්භ කරන්න ඉඩ තිබුණා. පෞද්ගලික උපකාරක පන්ති පවත්වා මුදල් සෙවීම මා වයස අවුරුදු එකොළහක කාලයේ සිට කළ දෙයක්. ගුරු රස්සාවෙන් හා පෞද්ගලික උපකාරක පන්ති කිරීමෙන් වසර හතරක් පුරා ඉපැයිය හැකිව තිබුණු, පේරාදෙණි යාම නිසා අහිමි වූ මුදලද අදාළ උපාධිය මිල දී ගැනීම වෙනුවෙන් දැරූ ආවස්ථික පිරිවැයක්. අධ්‍යාපනය වෙනුවෙන් මා සිදු කළ පෞද්ගලික ආයෝජනයේ කොටසක්.
කොළඹ සරසවියේ පීඨ දෙකක පශ්චාත් උපාධි පාඨමාලා දෙකක් වෙනුවෙන්ද මා පාඨමාලා ගාස්තු ලෙසම සැලකිය යුතු මුදලක් ගෙවුවා. ඉංජිනේරුවෙකු ලෙස රැකියාව කර උපයා ගත් මුදල් වලින් වැඩි කොටසක් වැය වුනේ මේ ආකාරයෙන් නැවත අධ්‍යාපනය වෙනුවෙන්ම ආයෝජනය කරන්නයි. ඔය වගේ රැකියාවන් කරමින් ඔය වයසේ සිටි වෙනත් බොහෝ දෙනෙකු සේ හැසිරුනානම් මෝටර් රථයක් මිල දී ගැනීමට හෝ නිවසක් හදා ගැනීමට වැය කළ හැකිව තිබුණු මුදලක්.
මේ වසර හතර පහක පමණ කාලය තුළද පාඨමාලා ගාස්තු සේ ගෙවූ මුදල මා දැරූ සමස්ත පිරිවැය නෙමෙයි. මේ කාලය තුළ මා නීත්‍යානුකූල හා සාධාරණ ලෙස ඉතා ඉක්මණින් මුදල් ඉපැයිය හැකි ව්‍යාපාරික අවස්ථාවක් හඳුනා ගෙන තිබුණා. එම ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් මාස හයක් පමණවත් සැලසුම් කළා. මේ වැඩේ කල් දමන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එසේ කළානම් වෙනත් අයෙකු විසින් මේ ව්‍යාපාරික අවස්ථාව හඳුනා ගනු ලබනවා. ඊට පෙර වැඩේට අත ගැසිය යුතුව තිබුණා. වැඩේ පටන් ගත්තානම් මුල් කාලයේ කළ යුතු කැපවීමත් එක්ක අධ්‍යාපන කටයුතු ඉදිරියට කර ගෙන යන්න වෙන්නේ නැහැ. මේ දෙගිඩියාව සමඟ මාස හයක් පමණ දෙපැත්තට වැනි වැනී සිටීමෙන් පසුව අන්තිමේදී වැඩේ අත අරින්න තීරණය කළා.
මේ කාලය තුළ මගේ මේ සැලසුම පිළිබඳව ඒ දවස් වල ලඟින් ඇසුරු කළ මිතුරෙකු සමඟ දිනපතාම වගේ සාකච්ඡා කළා. ඔහු තීක්ෂණ බුද්ධියක් තිබුණු, දක්ෂ හා මහන්සියෙන් කටයුතු කරන තරුණයෙකු වුවත් උසස් පෙළ කඩඉම පැන සරසවි යාමේ වරම ලබා නොතිබුණු නිසා ඒ වෙද්දී විධිමත් අධ්‍යාපන සුදුසුකමක් ලොකුවට තිබුණේ නැහැ. මා වැඩේ අතඅරින බව ස්ථිර ලෙසම පැවසීමෙන් පසුව ඔහු වැඩේට අත ගැසුවා. ඒ වන විට ඔහුට එසේ කිරීම නිසා මට මෙන් නැති වෙන්න දෙයක් තිබුණේ නැහැ. ඔහු සමඟ සම්බන්ධ වන සේ මගෙන් ඉල්ලා සිටියත් මා ඔහුගේ ව්‍යාපාරික හවුල්කරුවෙකු සේ සම්බන්ධ වුනේ නැහැ. එහෙත්, මුල් කාලය තුළ දිගින් දිගටම ඔහුට අවශ්‍යව තිබුණු තාක්ෂනික සහාය ලබා දෙමින් හිර වූ හැම විටකම ගොඩ යන්නට උදවු කළා. ඔහු ඉතා ඉක්මනින් ලංකාවේ ප්‍රමුඛ ධනවතෙක් වුනා වගේම පසුව ඉගෙනීම වෙනුවෙන්ද දිගටම කාලය හා මුදල් වැය කර බටහිර රටක සරසවියකින් ආචාර්ය උපාධියක්ද ලබා ගත්තා.
මා මෙය ලිවුවේ කිසිදු පසුතැවිල්ලකින් නෙමෙයි. ලොකු ධනවතෙකු වීමේ උවමනාවක් මට කවදාවත්ම තිබුණේ නැහැ. දැනුත් නැහැ. මගේ සරල කෙසේ වෙතත් එතරම් සංකීර්ණ නැති ජීවිතය ගෙවන්න ප්‍රමාණවත් ආදායමක් ලැබේනම් මට එය හොඳටම ඇති. පෙර කී ව්‍යාපාරික අවස්ථාව අත ඇරීම මගේ තේරීමක්. ඒ ගැන මා අදටත් සතුටු වෙනවා. කෙසේ වුවත්, එම ව්‍යාපාරය ආරම්භ කර ඉපැයිය හැකිව තිබුණු මුදලද මා අධ්‍යාපනය වෙනුවෙන් සිදු කළ පෞද්ගලික ආයෝජනයේ කොටසක්.
ප්‍රථම උපාධියේදී මෙන් නොව මේ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමේදී මගේ ඉලක්කය වුනේ විභාග සමත් වී ලබා ගන්නා උපාධි සහතිකයම නෙමෙයි. උපාධිය ලබා ගැනීමද එක් ඉලක්කයක් වුවත්, පාඨමාලා සඳහා මුදල් ගෙවුවේ දැනුම හා අධ්‍යාපනය මිල දී ගැනීමටයි. කොළඹ විද්‍යා පීඨයෙන් හැදෑරූ පශ්චාත් උපාධි පාඨමාලාවේ වසර අවසාන විභාග හා ඒ දිනවලම හැදෑරූ නීති විද්‍යාල පාඨමාලාවේ විභාග සමපාත වීම නිසා එම පාඨමාලාවේ අවසන් විභාගයට මුහුණ දීමේ අවස්ථාවද ගිලිහී ගියා. ඉන් පසුව මෙම පාඨමාලාව විද්‍යා පීඨයෙන් ඉවත් වී එහි ස්වරූපයම වෙනස් වීම නිසා අදාළ පශ්චාත් උපාධිය ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැතත් උගත් දේ යම් තරමකින් හෝ ඉතිරි වුනා. අනෙක් පශ්චාත් උපාධියනම් ලබා ගත්තා.
කොළඹින් වගේම පේරාදෙණියෙන්ද ලැබුණේ බටහිර ආකෘතියේ අධ්‍යාපනයක්. මා කොළඹින් ලබා ගත් හා ලබා නොගත් පශ්චාත් උපාධි දෙකෙන් එකක්වත් පර්යේෂණ උපාධි නෙමෙයි. පර්යේෂණ උපාධියක් ලබා ගන්නා කෙනෙකු එය කරන්නේ උපදේශක වරයෙකුගේ අධීක්ෂණය යටතේ. ආචාර්ය උපාධියක්නම් උපදේශක මණ්ඩලයක් සිටිනවා. එහි ප්‍රධාන උපදේශකයෙකු හෝ ඇතැම් විට දෙදෙනෙකු සිටිනවා. මෙවැනි පර්යේෂණ උපාධියක සෘජු ගුරු ගෝල සම්බන්ධයක් තිබෙනවා. අදාළ වාර්තා තිබේනම් මේ ගුරු ගෝල සම්බන්ධතා පසුපසට හඹා යන්න පුළුවන්.
ආචාර්ය උපාධි ලබා දීම ආරම්භ වුනේ යුරෝපයේ. මුලින්ම ආචාර්ය උපාධි ප්‍රදානය කළේ යුරෝපයේ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය වැනි රටවල්. ඇමරිකාව හා එංගලන්තය වැනි ඉංග්‍රීසි කතා කරන ලෝකයේ ආචාර්ය උපාධි ලබා දීමේ පුරුද්ද ඇති වුනේ පසුකාලීනවයි. එතෙක්, එංගලන්තයේ සරසවි වලින් ප්‍රදානය කළේ මාස්ටර්ස් උපාධි. මේ මාස්ටර්ස් උපාධි සම්ප්‍රදායේත් ගුරු ගෝල සම්බන්ධය තිබුණා.
අධ්‍යාපනය ගුරු ගෝල සම්බන්ධතා හරහා සම්ප්‍රේෂණය වෙන්න පටන් ගත්තේ අද දැකිය හැකි සම්මත ආකාරයේ විශ්ව විද්‍යාල බිහිවී, එම විශ්ව විද්‍යාල පද්ධතීන් තුළ පර්යේෂණ උපාධි ප්‍රදානය කිරීම් සිදුවෙන්න පටන් ගැනීමෙන් පසුව නෙමෙයි. ගුරු ගෝල සම්බන්ධතා වල අතීතය ඊට වඩා පැරණියි. බටහිර අධ්‍යාපන සම්ප්‍රදාය ආරම්භ වන්නේ ග්‍රීසියෙන් කියා කියන්න පුළුවන්. මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ගුරුවරයා ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල්ගේ ගුරුවරයා ප්ලේටෝ. තරමක් විවාදිත කරුණක් වුවත් සොක්‍රටීස් ප්ලේටෝගේ ගුරුවරයෙක්. අද ලංකාවේ ලබා දෙන සරසවි අධ්‍යාපනයේ මුල් තිබෙන්නේත් පැරණි ග්‍රීසියේ කියා කිවුවොත් එහි වැරැද්දක් නැහැ. සොක්‍රටීස්ගේ කාලයේ සිට පැවත එන සම්ප්‍රදායකට මේ වෙද්දී වසර දෙදාස් පන්සීයකට ආසන්න ඉතිහාසයක් තිබෙනවා.
අධ්‍යාපනය තුළ ගුරු ගෝල සම්බන්ධතා දාම දැකිය හැක්කේ බටහිර සම්ප්‍රදාය තුළ පමණක් නෙමෙයි. වෙනත් හොඳම උදාහරණයක් වන්නේ ලංකාවේ සංඝ ශාසනයයි. හොරෙන් සිවුරු පොරවා ගත් අයෙක් නොවේනම්, ලංකාවේ ඕනෑම බෞද්ධ භික්ෂුවකට ගුරු හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ ගුරු හාමුදුරුවන්ටත් ගුරු හාමුදුරු කෙනෙක් ඉන්නවා. වාර්තා හොයා ගන්න පුළුවන් වුවත්, බැරි වුනත් ඔය දාමය ආරම්භ වන්නේ බුදු හාමුදුරුවන්ගෙන්. ඒ අතර, දාමයේ පුරුක් සියම, බුරුමය වගේ රටවල් වලට ගිහින් ආපහු ඇවිත් ඇති. මගධයේ සිට ලංකාවට ඇවිත් ඇති.
සංඝ ශාසනය ඇතුළේ වගේම වෙනත් ලෞකික කර්මාන්ත හා දැනුම් සම්ප්‍රේෂණය වෙලා තිබෙන්නේත් ගුරු ගෝල සම්බන්ධතා හරහා. උදාහරණ විදිහට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, වෙදකම, රන් හා ලෝහ වැඩ පිළිබඳ දැනුම, නැටුම් වගේ ගොඩක් දේවල්. ගුරු ගෝල සම්බන්ධයක් කියන්නේ ගුරුවරයා උගන්වන දේ ඒ විදිහටම ගෝලයාට කියා දෙන එක නෙමෙයි. ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීම් හා ප්ලේටෝගේ ඉගැන්වීම් අතර විශාල වෙනස්කම් තිබෙනවා. අඛණ්ඩව පහළට යන්නේ දැනුම සම්ප්‍රේෂණය කිරීමේ සම්ප්‍රදාය මිසක් වෙනස් නොවන දැනුමක් නෙමෙයි. එහෙත් ආගමික සම්ප්‍රදායන් ඇතුළේ දැනුම නොවෙනස්ව සම්ප්‍රේෂණය කරන එක අදාළ සම්ප්‍රදායේම මූලික ලක්ෂණයක්. එහිදී සම්ප්‍රේෂකයාගේ කාර්යය වන්නේ පවතින දැනුමට එරෙහිව යන අලුත් දැනුම් නිෂ්පාදනය කරන්නට උත්සාහ නොකර පවතින දැනුම ඇති සැටියෙන් සම්ප්‍රේෂණය කිරීමයි. බටහිර විද්‍යාත්මක සම්ප්‍රදාය මෙයින් වෙනස් වන්නේ පවතින දැනුමට අභියෝග කිරීම සම්ප්‍රදායේම කොටසක් වීම තුළයි.
ඔබගේ කතාව පස්චාත් උපධි 2න් ඉහලට ගෙන නොගිය එක නම් කියවන අපිට පාඩුවක්. පුලුවන් නම් ඔබගේ ජීවිත කතාව කොටස් වශයෙන් පල කරන්න වෙනම කොටසක් විදිහට. ඕපාදූපයක් විදිහට නෙමෙයි, නිසි විදිහට ජීවිතේ අධ්‍යාපනික අරමුණු ජයගන්න හැටි අනෙක් අයට දැන ගන්න ලැබෙන එක ලොකු අවස්ථාවක්
ReplyDeleteසුදුසු අවස්ථාව ආවහම බලමු. යෝජනාවට ස්තුතියි!
Deleteඋගත මනා ශිල්පයමයි මතු රැකෙනා
ReplyDeleteඅරුත හොඳින් යළි-යළි මතකෙට නඟනා
ඔබේ ලිපිය තරුණන් වෙත අද සිටිනා
පහන් ටැඹකි! නිසි මං පෙන්වා දෙවනා!
නියමයි. හිතන්න යමක් තියෙන කතාවක්. සෑහෙන යමක් ඉගෙන ගත්තා. ඒත් සමහර් තැන් පැහැදිලි නෑ.
ReplyDelete1.ධනවතෙක් වෙන්න කැමති නැත්නම්, අර ව්‍යාපාරික අවස්ථාවට මාස හයක කට්ටක් කෑවෙ ඇයි?
2. මුල් අදහස ඔබේ වුනත්, ධනවතෙක් වී , ඒ මඟින් බටහිර රටක ආචාර්‍යය උපාධියක් ගත්ත මිතුරගේ සම්පත් ආයෝජනය සහ ප්‍රතිලාභ වඩා කාර්‍යක්ෂම නැත්ද? ඔහුට ඔබට තරම් දැණුමක් නැතුව ඇති, ඒත් බොහෝවිට ඔහුගේ ආචාර්‍යය උපාධිය භාවිතා වෙන්නේ "තත්ව සංකේතයක්" ලෙස පමණක් වෙන්න ඇති.
1. හොඳින් මගේ වචන කියවන්න. මම ලියා තිබෙන්නේ "ලොකු ධනවතෙකු වීමේ උවමනාවක් මට කවදාවත්ම තිබුණේ නැහැ." කියා මිසක් "ධනවතෙක් වෙන්න කැමති නැහැ" කියා නෙමෙයි. මට යම් අවශ්‍යතා ප්‍රමාණයක් තිබෙනවා. ඒ අවශ්‍යතා සපුරා ගන්න මුදල් අවශ්‍යයි. එම අවශ්‍යතා ප්‍රමාණය සපුරා ගැනීමේ හැකියාවක් නැත්නම් මට මුදල් හොයන්න මහන්සි වෙන්න වෙනවා. හැබැයි ඉලක්කය මගේ අවශ්‍යතා සපුරා ගැනීම මිසක් මුදල් නෙමෙයි. මම මගේ අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් නැති අයෙකු සේ ජීවත් වෙන්න කැමති නැහැ. එහෙත්, ඒ මට්ටමෙන් එහාට මුදල් හොයන්න මහන්සි වෙන්නේ නැහැ. මුදල් හොයන්න මහන්සි නොවී මම සතුටු වන වෙනත් දේ කරද්දී ඒ වෙනුවෙන් මට මුදල් ලැබෙනවානම්, ඒ මුදල් මගේ අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුවත්, මම ඒ මුදල් ප්‍රතික්ෂේප කරන්නේ හෝ එම මුදල් වලින් අසතුටු වන්නේ නැහැ. තවත් පැහැදිලි කිරීම සඳහා මම දැන් කරන රැකියාව ගත්තොත් මම එම රැකියාව කරන්නේ ඉතාම කැමැත්තෙන් වගේම දැඩි ආශාවකින්. යම් හෙයකින් මා සතුව ජීවිත කාලයටම මගේ අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් මුදල් සංචිතයක් තිබුණා කියමු. ඒ කියන්නේ මට තවත් මුදල් හොයන්න අවශ්‍ය නැහැ. එසේ තිබියදී මට මේ රැකියාව කිරීමේ හෝ නොකර සිටීමේ විකල්ප දෙක මා හමුවේ තිබුනානම් කිසිදු මුදලක් නොලැබුණත් මම මේ රැකියාව කරනවා. සමහර විට මුදලක් අතින් ගෙවා වුවත් රැකියාව කරන්න ඉඩ තිබෙනවා. (ජිම් ගිහින් අතින් සල්ලි ගෙවා "වැඩ කරන" අය ගැන හිතන්න). එහෙත්, දැන් මට ලැබෙන වැටුප මා ප්‍රතික්ෂේප නොකරනවා වගේම වැඩි වැටුපක් ලැබේනම් රැකියාව මාරු කරනවා. මොකද මට වැඩි වැටුපක් ලැබෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මා නිසා වෙනත් අය ලබන සතුට තවත් වැඩි වෙලා කියන එකයි. දැන් මේ බ්ලොග් එක ලියන්නේ මුදල් ලැබෙන නිසා නෙමෙයිනේ. ඒ වගේ. අපි හිතමු මේ බ්ලොග් එක ලියන නිසා මට විශාල මුදලක් ලැබෙනවා කියා. මම කිසිසේත්ම එම මුදල ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දැන් වෙන්නේ කුමක්ද? මම එදිනෙදා මට සතුටු විය හැකි දෙයක නිරතව සිටිනවා. ඒ වෙනුවෙන් මට මගේ අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් මුදලක් ලැබෙනවා. ඒ නිසා මට අඩු වශයෙන් මගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා හෝ මුදල් හොයන එක ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ව්‍යාපාර කරන එකේත් සතුටක් තිබෙනවා. හැමෝම නොවුනත් ගොඩක් ව්‍යාපාරිකයින් ව්‍යාපාර කරන්නේ ඒ සතුට වෙනුවෙන්. එහිදී අතුරු ප්‍රතිඵලයක් විදිහට මුදල් ලැබෙනවා. එහෙම නැතුව දිවා රෑ සල්ලි හොයන්න මැරෙන එකක් නෙමෙයි එතැන තියෙන්නේ. සමහර විට ගායකයෙක් සංගීත සංදර්ශනයකට යන්නේ, ලේඛකයෙක් දිවා රෑ නිදිමරාගෙන පොතක් ලියන්නේ තමන්ගේ සතුට වෙනුවෙන් මිසක් සල්ලි හොයන්න නෙමෙයි. නමුත්, තමන් සතුටු වන මේ වැඩේ කරද්දී වෙනත් අය සතුටු වන නිසා මුදල් ලැබෙනවා. ලංකාව වගේ රටක ගොඩක් අයට මේ විදිහට තමන් සතුටු වන දේවල් කරද්දී ඒ වෙනුවෙන් සල්ලි ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට මුදල් හෙවීම සඳහා තමන් සතුටු නොවන දේවල් කරන්න වෙනවා. නමුත් රටක් වඩා ධනවාදී වී වෙළඳපොළ ක්‍රමයෙන් දියුණු වෙද්දී මේ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ඇමරිකාවේ ගොවීන් බොහෝ දෙනෙක් ගොවිතැන් කරන්නේ ගොවිතැනින් සතුටු වන නිසා. ඇමරිකාවේ වුවත් ජීවත් වීම සඳහා තමන් අකැමැති රැකියා කරන විශාල පිරිසක් ඉන්නවා. ලෝකයේ හැමෝටම තමන් සතුටු දේවල් කරන්නත්, තමන්ට අවශ්‍ය දේවල් සියල්ල මහන්සියක් නැතුව ලැබෙන්නත් ඉඩ සැලසෙන වාතාවරණයක් හැදෙන්නනම් වෙළඳපොළ තවත් ගොඩක් ප්‍රසාරණය විය යුතුයි.
Delete2. අපට මේ වගේ සංසන්දනයන් කරන්න අමාරුයි. කාර්යක්ෂමතාවය අර්ථදක්වන්න පුළුවන් වෙන්නේ අපේක්ෂිත ඉලක්ක වලට සාපේක්ෂවයි. අප එකිනෙකා සතුටු වන දේවල් වෙනස් නිසා අපේ අපේක්ෂිත ඉලක්කත් වෙනස්. මිනිහෙක් තියෙන දෙයක් කාලා වැඩක් පලක් නොකර ගෙදරට වෙලා ඉන්නේ එසේ කිරීමෙන් සතුටු වන නිසා. එවැනි අය ගැන අනුකම්පා කරන්න හෝ උදවු කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේ කෙනෙක් ඉන්නේ අසතුටෙන් නෙමෙයි. වෙනත් අයගේ උදවු ලැබිය යුතු කිසියම් තත්ත්වයක් හෝ අවස්ථාවන් නැති කම නිසා නිකම් ඉන්න වී තිබෙනවානම් එය ප්‍රශ්නයක්. ලංකාවේ බොහෝ තරුණයින්ට තිබෙන ප්‍රශ්නය ප්‍රමාණවත් අවස්ථාවන් නැති කමයි. එය වෙළඳපොළ ප්‍රමාණවත් තරම් පුළුල් හා තරඟකාරී නොවීම නිසා ඇති වී තිබෙන ප්‍රශ්නයක්.
දීර්ඝ පැහැදිලිකිරීමට ස්තූතියි.
Delete\\ලංකාව වගේ රටක....තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට මුදල් හෙවීම සඳහා තමන් සතුටු නොවන දේවල් කරන්න වෙනවා. නමුත් රටක් වඩා ධනවාදී වී වෙළඳපොළ ක්‍රමයෙන් දියුණු වෙද්දී මේ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වෙනවා\\
ම්හූ ...එහෙම වුනේ නෑ. වුනේ ඒකෙ අනිත් පැත්ත. ගොවියන් ගැන කතාව ඇත්ත. මෙහේ ගොවියො හොඳ සල්ලි කාරයො.
//ම්හූ ...එහෙම වුනේ නෑ. වුනේ ඒකෙ අනිත් පැත්ත.//
Deleteටිකක් පැහැදිලි කරන්න.
ආත්ම තෘප්තියක් ලැබෙන රැකියාවක් ලැබීමේ සම්භාවිතාවය, පිටරටවලට වඩා ලංකාවේ වැඩියි, සංක්‍රමණියෙකුට. මේකට බාහිර සාධක කීපයක් බලපානවා. හැබැයි පිටරටවල රැකියාවලින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ වැඩියි. ඒ නිසා රහගුණ බලන්නෙ නැතුව කිඹුල කිරිමැටි ගිලින්නැහෙ ඇදලා දානවා. ඔය අතර ඉකනො, කොළඹ ගමයා වගේ වෙනස් අයත් ඇති, හැබැයි මම දන්න බහුතරය අයත් වෙන්නෙ පලමු කාණ්ඩයට.
Deleteපෞද්ගලිකව මා සම්බන්ධවනම් කියන්න තිබෙන්නේ තනිකරම අනික් පැත්ත. මගේ දැන් වැටුප රුපියල් වලට හැරෙවුවොත් ලංකාවේ මට ලබා ගත හැකිව තිබුණු වැටුපට වඩා කිහිප ගුණයක් වැඩියි තමයි. එහෙත්, ඇමරිකාවේ හා ලංකාවේ වියදම් සසඳා ගැලපූ විට ලංකාවේ හිටියානම් ආදායමේ ප්‍රතිශතයක් ලෙස වැඩි මුදලක් ඉතිරි වෙන්න පවා ඉඩ තිබුණා. නමුත් ලංකාවේ සිටියානම් හැමදාම ජීවත් වෙන්න සිදුවන්නේ විශාල ආතතියකින්. දැන් ලැබෙන ආත්ම තෘප්තිය කිසිසේත්ම ලැබෙන්නේ නැහැ. මම දන්න ඇමරිකාවේ ඉන්න ලංකාවෙන් පැමිණි බොහෝ දෙනෙක් සම්බන්ධවත් තත්ත්වය මෙයයි. "රහගුණ බලන්නෙ නැතුව කිඹුල කිරිමැටි ගිලින්නැහෙ ඇදලා දාන" රැකියා කරන අය ලංකාවේ සිට වෙනත් ඇතැම් රටවලට සංක්‍රමණය වන තරමට ඇමරිකාවට සංක්‍රමණය නොවීම සමහර විට ඊට හේතුව වෙන්න ඇති. කොහේ හිටියත් රැකියාවක් කිරීමේ එකම අරමුණ සල්ලි හෙවීම කරගත් විට ආත්ම තෘප්තිය අහිමි වෙනවා. විකල්පයක් නැත්නම් සල්ලි හොයන්න කුමක් හෝ රැකියාවක් කරන්නත් වෙනවා. වෙළඳපොළ පුළුල් රටක විකල්ප වැඩි නිසා ආත්ම තෘප්තිය හා මුදල් යන දෙකම ලැබෙන රැකියාවක් කරන්න තිබෙන අවස්ථා වැඩියි.
Deleteබස්සා: 'ආත්ම තෘප්තිය' කියලා ඔබ සඳහන් කරන්නෙ ලන්කාවෙදි ලැබෙන status එක නේද. මගේ රැකියාව ගැන මම ඉතාම තෘප්තිමත් එහි තියෙන නිදහස (autonomy) නිසා. ආයතන පටිපාටි, red tapes ඔක්කොම තියෙනවා- නමුත් රැකියාව කිරීමෙදි තියෙන නිදහස ඉතා වැඩියි. ඒ නිදහසවත්, work culture එකවත් ලන්කාවෙදි ඒ රැකියාවම කලත්, කිසිසේත්ම ලැබෙන්නෙ නැහැ. අපේ යාලුවො නම් හුඟක් අය අකමැත්තෙන් රස්සාවල් කරගෙන ඒකෙම ඉන්නෙ comfort zone එකෙන් එලියට යන්න භය නිසා. ඒ වගේම සමහරුන්ට communication skills නැති නිසා (කිසිසේත්ම ඉන්ග්‍රීසි බැරුව නෙවෙයී). විවෘත මනසකින් නැති නිසා ඒ ගොල්ලන්ට අලුත් අවස්තා වුනත් මඟ ඇරෙනව. නමුත් ඒක ඒගොල්ලන්ගෙ වැරැද්දකුත් නෙවෙයි. ඉකොන් කිව්වා වගේ, සල්ලි හෙවීම විතරක් වැදගත් වෙනවා, විවිධ හේතු නිසා, හුඟක් අයට.
Delete@ Lotus
Deleteමම කියපු දේ වැරදි වෙන්නත් ඉඩ තියනවා. ඒ මා දන්නා සීමිත නියැදි ප්‍රමාණයකින් පොදු තර්කයක් ගොඩ නැගීම නිවැරදි නොවන නිසා. ඔව් ඔබ කියනදේත් එකක්. තව වෙනත් හේතුත් තියනවා. සමස්තයක් ලෙස ගත්විට අවාසිවලට වඩා වාසි වැඩිබව මං පිළිගන්නවා.
ඒත්, හැමදේටම මිලක් තියෙන සමාජයක,සල්ලි හෙවීමට මුල්තැනදීම වරදක් විදිහට මං දකින්නෙ නෑ. ඔව්, ඒ වෙනුවෙන් මිලක් ගෙවන්න වෙනවා- ආත්ම තෘප්තිය. ඒත් එය ඔබේ තේරීමයි.
ඒක හරි. සල්ලි හම්බ කිරීමෙන් ලැබෙන ආත්ම තෘප්තියක් තියෙනවානෙ. මම මෙතනදි අදහස් කලේ self actualization needs යම් ප්‍රමානයකට රැකියාවෙන් සම්පූර්න වීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය ගැන. ඉකොන් කතා කරලා තියෙන්නෙත් බොහෝ දුරට ඒ ගැන කියලයි මම තේරුම් ගත්තෙ. Thanks for the response, බස්සා.
Delete//ලන්කාවෙදි ලැබෙන status එක නේද//
Deleteමේ කියන status එක නිසා ගොඩක් අයට අයට ආත්ම තෘප්තියක් ලැබෙනවා ඇති. අපි එකිනෙකා වෙනස් දේවල් වලින් සතුටු වන අයනේ. මම පෞද්ගලිකව ගත්තොත්නම් මටනම් මෙය ඉතාම විශාල ආතතියක් ගෙන දෙන දෙයක්. මම ඇමරිකාවේ ජීවිතය වගේම ඇමරිකාවෙත් මම කරන රැකියාවට ගොඩක් කැමති status එක වෙනුවෙන් රැකියාවට සෘජුව අදාළ නොවන දේවල් නොකළ යුතු නිසා. ටයි දාන්න, කමිස මදින්න, සපත්තු පොලිෂ් කරන්න වගේ දේවල්. මම සමාජයේ විශේෂ පුද්ගලයෙක් නෙමෙයි. තවත් සාමාන්‍ය පුද්ගලයෙක්. එසේ සිටීම නිසා ලැබෙන නිදහස මට තිබෙනවා. අනෙක් අතට ඕනෑම ලොකු පුද්ගලයෙක් සමඟ සමානයෙක් ලෙස කතා කරන්න පුළුවන්කමත් තිබෙනවා. ලංකාවේ සිටින විට ඔය දෙපැත්තෙන්ම පීඩනයක් එනවා. ලොක්කන්ට ඔලුව පාත් කරන්න වෙනවා වගේම පොඩ්ඩෝ කියා හිතා ගෙන ඉන්න අය අපි ඔවුන්ගේ තැනට වැටෙනවාටත් කැමති නැහැ. සමාජයේ පුද්ගලයෙකුට අයිති නිශ්චිත තැනක් තිබෙනවා. සමාජ ධුරාවලියේ නිශ්චිත තැනක් තිබෙනවා කියන්නේම අත පය දිග අරින්න තිබෙන ඉඩකඩ අඩු වෙනවා කියන එකයි. ඒ තැන ඉහළද පහළද කියලා වෙනසක් නැහැ. ඇමරිකාවේදී මට වෙනත් කෙනෙකු නොවී මමම ලෙස ජීවත් වෙන්න වඩා ලේසියි.
//ඒත්, හැමදේටම මිලක් තියෙන සමාජයක,සල්ලි හෙවීමට මුල්තැනදීම වරදක් විදිහට මං දකින්නෙ නෑ. //
Deleteමේ අදහස තනිකරම වැරදි අදහසක්. මෙය ධනවාදය පිළිබඳව සමාජවාදීන් විසින් පතුරවා තිබෙන හා පතුරවන අදහසක්. විශේෂයෙන්ම ලංකාවේ කලාව හරහා. හැමදේටම මිලක් තියෙනවා කියන එකත් සල්ලි හෙවීමට මුල් තැන දෙනවා කියන එකත් තනිකරම කරුණු දෙයක්. සමාජය කුමක් වුවත් හැමදේටම මිලක් තියෙනවා. මිලක් නැති දේවල් නැහැ. එය ඇමරිකාවට වගේම, චීනයට, කියුබාවට හා ලංකාවටත් පොදු මූලික ධර්මතාවයක්. වෙළඳපොල පුළුල් වුනත්, පටු වුනත්, නිදහස් වුනත්, සීමාකාරී වුනත් මේ ධර්මතාවය වෙනස් වන්නේ නැහැ. ඇමරිකානු සමාජය ලංකාවෙන් වෙනස් වන්නේ එම අදහස ධර්මතාවයක් ලෙස පිළිගත් සමාජයක් වීම මතයි. එසේ වූ පමණින් මිනිස්සු සල්ලි හෙවීමට මුල්තැන දෙන්නේ නැහැ. ඇත්තටම ඒ තත්ත්වය තියෙන්නේ ලංකාවේ. ඕනෑම පොඩි දෙයකින් වුවත් කීයක් හෝ කොමිස් එකක් ගහ ගන්නයි ගොඩක් අය බලා ඉන්නේ. මම කියන්නේ පෞද්ගලික අත්දැකීම් වලින්. මොනවා හෝ දෙයක් මිල දී ගන්න කාව හෝ කඩේකට යැව්වත් ගානක් තියාගෙනයි වැඩේ කරන්නේ. මිනිස්සු කරන වැඩේට වඩා මුල්තැන දෙන්නේ ලැබෙන පඩියට හෝ මුදලට. කරන වැඩෙන් ආත්ම තෘප්තියක් ලබන අය සාපේක්ෂව අඩුයි. ලංකාවෙන් කෙනෙක් ඇමරිකාවට ආවා කියලත් මේ මානසිකත්වය තිබෙන, ලංකාවේ වැඩ කිරීමේ සංස්කෘතියට පුරුදු වී සිටින කෙනෙක් එක පාරට වෙනස් වෙන්නේ නැහැ. සමහර අය කාලයක් ගිහිල්ලත් වෙනස් වෙන්නේ නැහැ. ඇමරිකාවේදී වෙන්නේ අවංකව වැඩ කරලා සේවාදායකයා සතුටු කරලා ටිප් එකක් ගන්න එකයි. ධනවාදය දුවන්නේ දීම මත මිසක් ගැනීම මත නෙමෙයි. මම ලංකාවේ සිටියදීත් කළ හැම රැකියාවක්ම ඉතා මහන්සියෙන්, උනන්දුවෙන් හා කැපවීමෙන් කළ කෙනෙක්. එසේ කළේ සල්ලි හොයන්නම නෙමෙයි. වැඩ නොකර සිටීමට සාපේක්ෂව යම් තරමකින් හෝ ආත්ම තෘප්තියක් ලැබුණු නිසා. එහෙත්, එසේ කළා කියා ලැබුණු ලොකු දෙයක් නැහැ. ඇමරිකාවට සාපේක්ෂව නෙමෙයි. ලංකාවේම සමාන වැටුප් ලැබූ "ශරීර හොරුන්ට" සාපේක්ෂව. නමුත්, ඇමරිකාවේදී ඔබ ඔබේ වැඩේ හරියට කරනවානම් අනෙක් පැත්ත ගැන වද වෙන්න අවශ්‍ය නැහැ. වෙළඳපොළ විසින් අනෙක් පැත්ත ගැන බලා ගන්නවා.
//ඔය අතර ඉකනො, කොළඹ ගමයා වගේ වෙනස් අයත් ඇති,// මං හිතන්නේ එකොන් වගේම මමත් මේ ධනවාදී සමාජය විසින් දීල තියෙන අවස්ථාවන් උපයෝගී කරගත්ත. මම ඔඩ් ජොබ් කරලා තියෙනව මට අවශ්‍ය තැනට යන්න. මම ඔඩ් ජොබක් කරන කාලේ ලනක්වේ මනුස්සයෙක් හිටිය කාමරේක දවස් 7ම එකම රස්සාව කරපු. ලන්ඩන් වල වත් ඇවිද්දේ නැති. එහෙම කරලා සල්ලි හොයල ලංකාවට ගිහින් මොකද්ද ව්‍යාපාරයක් කරනව. මගෙන් පින්තූර ඉල්ලුව කෙල්ලට පෙන්වන්න එයා ගිය තැන හැටියට. පස්සෙන් පහු මට පණිවිඩ පිට පණිවිඩ එව්වා ආපහු ගෙන්න ගන්න කියන්න. සල්ලි මදි වුනාලු. හේ හේ
Delete//කොනොමැට්ටා EconomattaJanuary 20, 2021 at 7:25 AM// මම මේ ප්‍රතිචාරයට කැමතියි. බ්‍රිතාන්‍ය සමාජයේ වුනත් අවංකව වැඩ කරනවිට ලැබෙන ප්‍රතිලාභයෙන් ජීවිතය ගෙනයාම අමාරු නැහැ. නමුත් අමාරුයි කියන හුඟක් අය දිහා බැලුවොත් වෙන මොනවා හරි ප්‍රශ්නයක් සැඟවී තියෙනවා කියල හිතෙනවා. /මේ අදහස තනිකරම වැරදි අදහසක්. මෙය ධනවාදය පිළිබඳව සමාජවාදීන් විසින් පතුරවා තිබෙන හා පතුරවන අදහසක්. විශේෂයෙන්ම ලංකාවේ කලාව හරහා.විශේෂයෙන්ම ලංකාවේ කලාව හරහා. // මෙහම් සමාජවාදීන් ඉන්නකොට තමයි මුකුත්ම කරන්න බැරි. ඊයේ පෙරේද මාත් එකක් වාදයට සමාජවාදී පුවත්පත් කලාවේදියෙක් ආවේ මෙන්න මේ කරුණ මත. කොපි කිරීම වැරදියි කිව්වා එකට.
Deleteහැම දෙයකටම මිලක් තිබෙනවා කියන අදහස මාක්ස්වාදය තුළත් තිබෙනවා. එහෙම දෙයක් නැත්නම් මාක්ස්වාදයක් නැහැ. ඒ මිල අර්ථදක්වා තිබෙන්නේ ශ්‍රමය මත පදනම්ව වෙනත් ආකාරයකට වීම වෙනම කරුණක්. හැම දෙයකටම මිලක් තිබෙනවා කියන එකත්, හැම දෙයක්ම විකිණිය යුතුයි කියන එකත්, සල්ලි වලටම මැරෙනවා කියන එකත් එකිනෙකට සම්බන්ධ නැති වෙනම කරුණු තුනක්. ඇමරිකාවේ ටිප් දෙන එක ඉතාම ප්‍රචලිතයි. ගොඩක් පහළ මට්ටමේ ඇතැම් රැකියා කරන අය මූලික වැටුපට වඩා වැඩි ආදායමක් හොයන්නේ ටිප් වලින්. නමුත් බලෙන් ටිප් ඉල්ලන්න එන්නේ නැහැ. ටිප් එක නොලැබුණොත් අසතුටු වෙන්නේ සල්ලි නිසාම නෙමෙයි. තමන් පිළිබඳව පාරිභෝගිකයා සතුටු නොවුනේ ඇයි කියලා. මොනවා හරි කරලා සල්ලි හොයන්න මැරෙන එකත්, තමන්ට අවශ්‍ය නැති බඩු ගොඩගහගන්නා පරිභෝජනවාදයත් ලංකාවේ දකිනවා වගේ ඇමරිකාවේ දැකිය නොහැකියි. ධනවාදය කියන්නේ සල්ලි වලටම මැරෙන එක කියන අදහස ප්‍රචලිත කර තිබීම නිසාම ලංකාවේ මිනිස්සු එසේ කරන්න පෙළඹෙනවා. අර ප්‍රධාන සාප්පු සංකීර්ණයක සුපිරි ගණිකා මඩමක් පොලීසියෙන් අල්ලලා පත්තරේ දැම්මහම ගම් වල කාන්තාවන් තමන්ටත් එම රැකියාව කිරීම සඳහා හොයාගෙන එනවා වගේ වැඩක් වෙන්නේ. ඇමරිකාවේ සල්ලි හොයන එක පොඩි කාලයේ ඉඳලාම ප්‍රවර්ධනය කළත්, එසේ ප්‍රවර්ධනය කරන්නේ වැඩ කරලා සල්ලි හොයන එකයි. ඇතැම් සල්ලි තිබෙන පවුල් වල දෙමවුපියන් පවා ග්‍රීෂ්ම නිවාඩු කාලයේදී දරුවන්ව අර්ධ කාලීන රැකියා කරන්න යවනවා. එහෙම කරන්නේ සල්ලි වලට නෙමෙයි.
Deleteඑතකොට ඔබගෙ මේ ආර්ථික විද්‍යා ප්‍රවේශය ලැබුනෙ කොහොමද ඉකොනො?
ReplyDeleteආර්ථික විද්‍යාව ඉගෙන ගත්තේ මෙහි සඳහන් වකවානුවට පසුව, සාපේක්ෂව මෑත කාලයකදී. ඔය කාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් තිබුණේ නැහැ.
Deleteමම යන්න හිතන් හිටියේ මොරටු. ලැබුනේ NDT(විභාගෙට ගිය නිසා) හා කොළඹ සරසවිය. එන්ස්ට් ඇන්ඩ් යංග් එකේ රස්සාව ලැබුන. ගියේ නැහැ. දෙවෙනි කරන්න අදහසක් තිබ්බේ නැති නිසා සෝවියට් ගියා. හැබැයි ජිවිතේ යන අතට හැම වෙලේම කරකවල හදා ගත්ත. දෙවෙන පශ්චාත් උපාධිය කලේ ඉගෙන ගැනීමේ ආශාවට. බිස්නස් කරන්න මේ ආත්මෙට බැහැ. කරන්න ගිහින් දෙතුන් පාරක් ඇන ගත්ත. එකොන් ගේ ලිපිය නැවතත් මාවත් අතීතයට ගෙන ගියා. එකොන් ගේ බ්ලොගය නිසා මට ආර්ථික විද්‍යාව ගැන තිබ්බේ නැති උනන්දුවක් ආයේ ඇතිවී තිබෙනවා. ස්තූතියි
ReplyDelete1.
ReplyDelete/* වෙනත් දේ කෙසේ වෙතත් අධ්‍යාපනය හා අදාළව පේරාදෙණියේ දී මගේ ඉලක්කය වුනේ හැකි අවම මහන්සියකින් විභාග සමත් වීමයි. */
2.
/* මගේ ඉලක්කය වුනේ අඩුම කාලයක් වැය කර යාන්තමින් විභාග ගොඩ දමා ගැනීමයි. */
ඔබට පෙර එහි සිටි මගේ අරමුණ වුනේත් මෙය ම යි.
එනිසා තෙවන වසරේ සිට මා තෝරා ගත්තේ නිෂ්පාදන ඉංජිනේරු විද්‍යාව හැදෑරීමයි. එනිසා සිවිල් වැනි ධාරාවක් කරන සිසුවෙකුට වඩා ඉතා වැඩි නිදහසක් අවසන් වසරේ දී තිබුණා පමණක් නොවේ, අවසන් වසරේ Industrial Engineering නම් පොදු විෂයය සහ මා බී පාඨමාලාවක් ලෙස හැදෑරූ ගණිත දෙපාර්තමේන්තුවේ Operation Research and Statistics ද ඉතා ලේසි වුණා පමණක් නොව විභාග සියල්ල සඳහා ලැබුණු සති හය ප්‍රමාණවත් වුණා!!
මා සම්බන්ධයෙන් ලියනවා නම් පහත වැකිය "අධ්‍යාපනයේම" වෙනුවට "ජීවිතයේම" කියා යෙදා වෙනස් කළ යුතුයි
/* අධ්‍යාපනය වෙනුවෙන් "නාස්ති" නොකර ඉතිරි කර ගන්නා කාලය වෙනත් කටයුතු සඳහා යෙදෙවීමට හැකි වුනා. ඇත්තටම කියනවානම් ඒ වෙනත් කටයුතුද සරසවි අධ්‍යාපනයේම කොටස් තමයි. */
😀
https://rasikalogy.blogspot.com/2015/06/what-did-you-do-at-peradeniya-university.html
Industrial Engineering නම් පොදු විෂයය මා පේරාදෙණියේදී උගත් විෂයයන්ගෙන් කැමතිම වූ විෂයයක් වගේම ඉතාම පහසු වූ විෂයයක්. වැඩි මහන්සියක් නොවී A සාමාර්ථයක් ගත හැකි බවට සැකයක් නොතිබුණු එකම විෂයයයි.
Deleteඅකමැත්තක් නැත්නම් කියන්නකෝ ඉකොනො ඉංජිනේරු අංශයෙන් විශේෂිකරණය උනේ කුමන අංශයෙන්ද කියලත් ? සිවිල් , කාර්මික,රසායානික ... කියල තියෙනවා නේ
ReplyDeleteවිදුලි හා විද්‍යුත්.
Deleteඑකොන් මමත් විදුලිය කලේ පළමුවෙනි උපාධියට. පස්සේ තම පරිගණක ක්ෂේත්‍රයට ආවේ
Delete