වෙබ් ලිපිනය:

Thursday, January 7, 2021

තිරිසන් මනස්


පසුගිය ලිපියේ මාතෘකාව සම්බන්ධව කිහිප දෙනෙකුටම ප්‍රශ්න ඇති වී තිබෙනවා. ප්‍රශ්න ඇති වී තිබෙන්නේ "මනුෂ්‍ය නොවන දැනුම" යන යෙදීම සම්බන්ධවයි. එහෙත්, මේ යෙදීම ප්‍රශ්න කරන කිසිවෙකුත් "මනුෂ්‍ය නොවන දැනුම" ලෙස ඒ අය හඳුන්වන්නේ කුමක්ද කියන එක නිශ්චිතව සඳහන් කර නොතිබීමෙන් පැහැදිලි වන්නේ ඒ කිසිවෙකුටත් තමන් විසින් කියන දේවල් ගැන නිරවුල් අදහසක් නැති බවයි. 

ජගත් පතිරණට අනුව මේ යෙදීම නිසා නලින් ද සිල්වාට අපහාසයක් සිදු වී තිබෙනවා. එහෙත්, ඒ අපහාසය සිදු වුනේ කවර ආකාරයකින්ද කියන එක ඔහු පැහැදිලි කර නැහැ. මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගැනීම පිළිබඳව වසර කිහිපයක සිට නලින් ද සිල්වා විසින් අදහස් පළ කරමින් සිටිනවා. මේ ගැන කතා කළ හැකි දේවල් අපමණ තිබුණත් පාළු ගෙවල් වල වලං බිඳින එකේ තේරුමක් නැහැ. අප මෙහි ලියන දෙයකට එරෙහිව සුළු හෝ වැදගම්මක් ඇති විවේචනයක් එල්ල වූ විට අප ලියන දේ වෙනුවෙන් පෙනී සිටිනු මිස මෙය කියවන වැඩි දෙනෙකු විසින් කොහොමටත් බරපතල සේ නොසලකන අදහස් වලට එරෙහිව ලියන්නට අපේ කාලය නාස්ති කිරීම එතරම් තේරුමක් නැති වැඩක්.

නලින් ද සිල්වාගේ අදහස් ගැන කතා කරන එක මා වසර තිහකට වැඩි කාලයක් තිස්සේ ඉතා කැමැත්තෙන් කර ඇති දෙයක්. නමුත්, එවැනි සාකච්ඡාවක් සඳහා ගැලපෙන කෙනෙක් හමු වන්නේ ඉතාම කලාතුරකින්. නලින් ද සිල්වාගේ මූලික විවේචනයක් වන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් බටහිර දැනුමේ අනුකාරකයින් බවයි. මේ විවේචනය මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එවැනි විවේචනයක් කරන නලින් ද සිල්වා විසින් පසුගිය කාලය මුළුල්ලේ කර තිබෙන්නේද ඔහු කියන දේ එලෙසම වමාරන්නට පමණක් දන්නා අනුකාරකයින් පිරිසක් හදන එකයි. මෙය නලින් ද සිල්වා විසින් හිතාමතා කළ දෙයක් කියා මා කියන්නේ නැහැ. ඇතැම් විට මේ ගැන ඔහුගේත් මනාපයක් නැති වෙන්න පුළුවන්. ඔහුම වරින් වර කියා තිබෙන්නේ ඔහුට ගෝලයින් නැති බවයි.

ඒ විදිහට නලින් ද සිල්වා කියන දේවල් ගැන තමන්ටවත් අවබෝධයක් නැතුව වමාරන්නට පමණක් දන්නා නලින් පෝතකයින් හා නලින් නැට්ටන් මිස නලින් ද සිල්වාගේ අදහස් වෙනුවෙන් සෘජුව පෙනී සිටින කෙනෙක් තවමත් අපට මේ වියුණුව හරහා හමු වී නැහැ. අනෙක් පැත්තෙන් නලින් ද සිල්වාගේ විවේචකයින් ලෙස හමු වන්නේ නලින් ද සිල්වා යනු කිසිම වැදගැම්මකට ඇති අදහසක් පළ නොකරන අයෙකු සේ සලකන අයයි. ඔය ගොඩවල් දෙකේම නැති සුළු පිරිසක් වරින් වර සැබෑ ලෝකයේදී හමු වී ඇතත් මේ වියුණුව හරහානම් එවැන්නෙකු මෙතෙක් හමු වී තිබුණේ නැහැ. මේ දෙගොඩටම නැති එක් අයෙකු පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දක්වා තිබීම සතුටට කරුණක්.

නලින් ද සිල්වාගේ අදහස් ගැන පොදු වශයෙන් මෙහි කතා කිරීම පාළු ගෙයි වලං බිඳීමක් වුවත්, අප විසින් ලියූ ලිපියේ මාතෘකාව විවේචනය කරමින් පළ කර ඇති ඇති කරුණු පිළිබඳව අපට තවදුරටත් අදහස් දැක්විය හැකියි.

මනුෂ්‍ය නොවන දැනුම් ගැන කතා කරන්නට කලින් දැනුමක් කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව එකඟතාවයකට පැමිණිය යුතුයි. 

ඔක්ස්ෆෝර්ඩ් ශබ්දකෝෂය දැනුම (knowledge) යන වචනය අර්ථ දක්වන්නේ පහත ආකාරයටයි.

අධ්‍යාපනය හා පළපුරුද්ද තුළින් ලබා ගන්නා තොරතුරු, අවබෝධය හා කුසලතා (the information, understanding, and skills that you gain through education or experience).

ඉහත අර්ථදැක්වීම මේ මාතෘකාව ගැන කතා කරන වෙනත් අය විසින්ද භාවිතා කර තිබෙන නිසාත්, මේ අර්ථදැක්වීම සමඟ පෞද්ගලිකව මට එකඟ විය හැකි නිසාත්, මා සාකච්ඡාවට ප්‍රවේශයක් ලෙස මේ අර්ථදැක්වීම ගන්නවා. කිසියම් අයෙකු මේ අර්ථදැක්වීම සමඟ එකඟ නොවන්නේනම්, ඒ පිළිබඳව වැඩිදුර කතා කළ හැකියි.

දැනුම සහ දැනීම යනු දෙකක් බව කතා කතු විසින් අපට මතක් කර දී තිබෙනවා. තවත් අයෙක් ඉව කියන වචනය ඉදිරිපත් කර තිබෙනවා. දැනීම කියන්නේ දැනුම නොවන බව විවාද කළ යුතු කරුණක් නෙමෙයි. මිනිසෙකුගේ කවර හෝ ඉන්ද්‍රියයකට යමක් දැනෙන්න අධ්‍යාපනයක් හෝ පළපුරුද්දක් අවශ්‍යම නැහැ. එය උපතින්ම ලැබෙන හැකියාවක්. ජීවවිද්‍යාත්මක කරුණක්. ගින්දර අල්ලන විට පළමුව උණුසුමත් දෙවනුව වේදනාවත් දැනෙන එක දැනුමට සම්බන්ධ දෙයක් නෙමෙයි. නමුත්, සමහර දේවල් දැනෙන්නේ අධ්‍යාපනය හෝ පළපුරුද්ද හරහා ලැබෙන දැනුම හරහා. මෙහි කිසියම් කෙනෙක් ප්‍රතිචාරයක් දමන කොට මේ එන්නේ මොකාටද කියා දැනෙන්නේ පළපුරුද්ද නිසා. ඉව කියන එකත් දැනීමටම සම්බන්ධ දෙයක්. දැනුම නැතත් ඉව තියෙන්න පුළුවන්. දැනීමට හෝ ඉවට ප්‍රතිචාර දැක්වීම සඳහා දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, දැනුමක් තිබෙන කෙනෙක් දැනීමට හෝ ඉවට ප්‍රතිචාර දැක්වීමේදී එය වෙනස් ආකාරයකට කරන්න පුළුවන්.

මිනිස් දරුවෙක් උපදින්නේ දැනුමක් නැතුවයි. දැනුම කියා කියන්නේ උපතින් පසුව ලබා ගන්නා දෙයක්. ගින්දර අල්ලා අත පිච්චෙන විට යමෙක් ක්ෂණිකව අත ඉවත් කර ගන්නේ දැනුම නිසා නොවුණත්, ගින්දර අල්ලා නොසිටින්නේ දැනුම නිසා. කුඩා කාලයේ ගින්දර අල්ලන දරුවන් වයසින් වැඩෙද්දී ගින්දර නොඅල්ලන්නේ ඒ නිසයි. නැවත නැවතත් ගින්දරම අල්ලන, වයසින් නොවැඩෙන වැඩිහිටි දරුවන්ට මෙය අදාළ නැහැ.

දැනුම ගැන කතා කරන බොහෝ අවස්ථා වලදී අප කතා කරන්නේ මනුෂ්‍ය දැනුම ගැනයි. ඒ කියන්නේ එක් මනුෂ්‍යයකු හෝ පොදුවේ මනුෂ්‍යයන් විසින් අධ්‍යාපනය හෝ පළපුරුද්ද හරහා ලබා ගන්නා තොරතුරු, අවබෝධය හා කුසලතා. දැනුම ලබා ගත හැක්කේ මනුෂ්‍යයන්ට පමණක්ද?

බටහිර ලෝකයේ මනුෂ්‍ය නොවන දැනුම ගැන කතා කරන සන්දර්භ දෙකක් තිබෙනවා. පළමුවැන්න, කාබනික ජීවීන් නොවන යන්ත්‍රයකට දැනුම ලබා ගත හැකිද කියන එකයි. දෙවැන්න මනුෂ්‍යයන් නොවන වෙනත් කාබනික ජීවීන්ට දැනුම ලබා ගත හැකිද කියන එකයි. නලින් ද සිල්වා කතා කරන මනුෂ්‍ය නොවන දැනුම මේ දෙකෙන් එකක්වත් නෙමෙයි. නලින් ද සිල්වාත්, නලින් පෝතකයින් හා නලින් නැට්ටනුත් කතා කරන මනුෂ්‍ය නොවන දැනුම ගැන මටනම් පැහැදිලි අදහසක් නැහැ. මෙහි ප්‍රතිචාර දැමූ කිසිවෙකුට, නලින් ද සිල්වා කියන දේවල් තම තමන් විසින් කියවා ගන්නා ආකාරය වමාරනවා මිස, ඒ ගැන අදහසක් ඇති බවක් පෙනෙන්නේත් නැහැ. 

නලින් ද සිල්වා කතා කරන හා නලින් නැට්ටන් විසින් වමාරන නාථ දෙවියන් මටනම් හිතින්වත් මවාගන්න අමාරුයි. සරල රේඛාවක් හිතින් මවා ගන්න බැරි බව කියන නලින් ද සිල්වාට නාථ දෙවියන් හිතින් මවා ගත හැකි බව ඔහු කිහිප වර සඳහන් කර තිබෙන දෙයක්. මටනම් සරල රේඛාවක් හිතින් මවා ගන්න පුළුවන්. අවශ්‍යනම් රේල් පාරක් හැතැම්ම ගණනක් කෙළින් තිබෙන තැනක රේල් පීල්ලක දාරය ගැන හිතන්න. ඔය දාරයේ ගණකම ශුන්‍ය සේ සලකන එකත්, රේල් පීල්ල අනන්තය දක්වා දික් කරන එකත් පහසුවෙන් හිතින් කරන්න පුළුවන්. එහෙත්, නාථ දෙවියන් හෝ වෙනත් දෙවි කෙනෙක් මටනම් හිතින්වත් මවා ගන්න බැහැ. සමහර හින්දු හෝ බෞද්ධ දෙවිවරුන්ගේ පිළිමනම් හිතින් මවා ගන්න පුළුවන්. ඒ හිතින් මවා ගන්නා පිළිම සහ අප එදිනෙදා දකින මිනිස් රූප අතර ලොකු වෙනසක් නැහැ. දේව රූපයක් මිනිස් රූපයකින් වෙනස් වුනොත්, බොහෝ විට මිනිසෙකුගේ හා සතෙකුගේ හයිබ්‍රිඩ් එකක්. ගණ දෙවි රූපය අලි ඔළුවක් තිබෙන මිනිස් රූපයක්. අනිබස් දේව රූපය බලු ඔලුවක් තිබෙන මිනිස් රූපයක්. ලංකාවේ සමහර පන්සල් වල දේව රූප වලට තිබෙන්නේ ඒවා හදන දවස් වල ඒ පැතිවල හිටපු ඉංග්‍රීසි පාලකයන්ගේ මුහුණු.

හැබැයි ඉතිං මට නාථ දෙවියන් හමු නොවුනා හෝ නාථ දෙවියන් හිතින් මවා ගන්න බැරි වුනා කියා නාථ දෙවියන් කියා කෙනෙක් නැති බව තහවුරු වන්නේ නැහැ. මගේ ලෝකයේ එහෙම කෙනෙක් නැති වුනත් වෙනත් අයගේ ලෝක වල ඉන්න පුළුවන්. ඒ නිසා, එවැනි කෙනෙක් ඉන්නවා කියා හිතන අයගේ විශ්වාස වලට මම පහර දෙන්න යන්නේ නැහැ. නාථ දෙවියන් විශ්වාස කරන අයගේ ඒ විශ්වාස දැරීමේ අයිතිය වෙනුවෙන් මම පෙනී සිටිනවා. එහෙත් මම පෞද්ගලිකව මනුෂ්‍ය නොවන දැනුම් ලෙස තේරුම් ගන්නේ අර කලින් සඳහන් කළ අකාබනික යන්ත්‍ර වල හෝ වෙනත් කාබනික ජීවීන්ගේ දැනුම් මිස මට කිසිම අදහසක් නැති නාථ දෙවියන්නම් කෙනෙකුගෙන් හෝ වෙනත් මට නොපෙනෙන, නොදැනෙන කෙනෙකුගෙන් වෙනත් අයට ලැබෙන මනුෂ්‍ය නොවන දැනුම් නෙමෙයි. 

අකාබනික යන්ත්‍ර වල හෝ වෙනත් කාබනික ජීවීන්ගේ දැනුම් ගැන කතා කරන එක බොහෝ විට සිදුවන්නේ මිනිසුන්ට හැර මේ අනෙකුත් කාණ්ඩ දෙකේ අයටත් විඥානයක් තිබෙනවාද කියන ප්‍රශ්නයත් එක්කයි. අපේ ප්‍රස්තුතයට වඩා අදාළ වෙනත් කාබනික ජීවීන් නිසා අපි දැනට අකාබනික යන්ත්‍ර පැත්තකින් තියමු.

මනුෂ්‍ය දැනුම කියන එක ගැන කවුරුත් වගේ එකඟ වෙනවා. මේ දැනුම සමඟ විඥානය (consciousness) සම්බන්ධ කිරීමත් බොහෝ දෙනෙක්ට ගැටළුවක් නැති කරුණක්. විඥානයක් තියෙන්නේ මිනිස්සුන්ට විතරද? සත්තුන්ට තිබෙන්නේ දැනීමක්, ඉවක් එහෙමත් නැත්නම් සහජාසයක් පමණද? ඊට අමතරව අධ්‍යාපනය හා පළපුරුද්ද හරහා තොරතුරු, අවබෝධය හා කුසලතා ලබා ගැනීම හෙවත් දැනුම ලබා ගැනීම සත්තුන්ට කරන්න බැරිද?

පෙරදිග, විශේෂයෙන්ම බෞද්ධ හා හින්දු චින්තනය ඇතුළේනම් සත්තුන්ටත් මිනිස්සුන්ට වගේම විඥානයක් තිබෙනවා. මේ කරුණ තහවුරු කරන්න උදාහරණ අවශ්‍යයි කියා මම හිතන්නේ නැහැ. ඒ වගේම, මිනිස්සුන්ගෙන් සත්තුන්ට මාරු විය හැකි ආත්මයක්ද තිබෙනවා. නොනැසෙන සදාකාලික ආත්මයක්ම වෙන්න අවශ්‍ය නැහැ. ඇති වී නැති වෙන චිත්ත පරම්පරාවක් වෙන්න පුළුවන්. මොකක් වුනත් මිනිස්සුන්ට තියෙන එක සත්තුන්ටත් තිබෙනවා. 

සත්තුන්ට මිනිස්සුන්ට මෙන් ආත්මයක් නැහැ කියන එකත්, සතුන් ක්‍රියා කරන්නේ තනිකරම සහජාසය මත කියන එකත්, ආබ්‍රහමික ආගම් වල හා නලින් ද සිල්වාගේ විවේචනයට නිබඳ පාත්‍ර වෙන ඇරිස්ටෝටල්ගෙන් පටන් ගන්නා බටහිර දාර්ශනික සම්ප්‍රදාය තුළ වර්ධනය වූ අදහසක්. නමුත්, මේ අදහස මේ වන විට බටහිර ලෝකය තුළම බිඳ වැටී අවසන්. මේ සුසමාදර්ශ වෙනසේ තීරණාත්මකම කඩඉමක් ලෙස හැඳින්විය හැක්කේ 2012 කේම්බ්‍රිජ් ප්‍රකාශනයයි.  

We declare the following: “The absence of a neocortex does not appear to preclude an organism from experiencing affective states. Convergent evidence indicates that non-human animals have the neuroanatomical, neurochemical, and neurophysiological substrates of conscious states along with the capacity to exhibit intentional behaviors. Consequently, the weight of evidence indicates that humans are not unique in possessing the neurological substrates that generate consciousness. Nonhuman animals, including all mammals and birds, and many other creatures, including octopuses, also possess these neurological substrates.”

නිවැරදි පාරිභාෂික වචන සියල්ලම නොදන්නා නිසා මම ඉහත ප්‍රකාශනය සිංහලට පරිවර්තනය කරන්නේ නැහැ. සරලව කියනවානම් මෙයින් කියන්නේ හිතන්න පුළුවන් මිනිස්සුන්ට පමණක් නෙමෙයි කියන එකයි. ඇරිස්ටෝටල්ගේ සිට ඉහත ප්‍රකාශනය දක්වා පැමිණි දිගු ගමන ගැන හෝ සතුන්ගේ දැනුම, මතකය හා සිතීමේ හැකියාව පෙන්වන මෑත කාලීන පර්යේෂණ ගැන කතා කරන්න මම කාලය යොදවන්නේ නැහැ.

මේ වැඩේට ලංකාවෙන්ම උදාහරණ පෙන්වන්න අමාරු නැහැ. අර අලි වැට ගහපු පැති වල අලි කොට ගෙනත් වැටට තියලා වැට පනින්නේ සහජාසය හෝ ඉව නිසා නෙමෙයි. අධ්‍යාපනය හා පළපුරුද්ද තුළින් තොරතුරු, අවබෝධය හා කුසලතා ලබා ගැනීම සත්තුන්ටත් පොදුයි. 

ඉහත උදාහරණයෙන් අලින්ට දැනුමක් තිබෙන බව පැහැදිලි වන නමුත් ඒ දැනුම මිනිස්සුන්ට නැති, අලින්ට අනන්‍ය දැනුමක් නෙමෙයි. ඒ නිසා, එය මනුෂ්‍ය නොවන දැනුමක් වුවත් මනුෂ්‍ය දැනුමක් බවට පත් කර ගන්න අවශ්‍ය දැනුමක් නෙමෙයි. 

බල්ලන්ගේ ආඝ්‍රාණ ඉන්ද්‍රිය මිනිස්සුන්ගේ එම ඉන්ද්‍රියට වඩා වර්ධනය වී තිබුණත් ඒ හේතුව නිසාම බල්ලන්ට බිම් බෝම්බ හෝ කෝවිඩ් ආසාදිතයින් හඳුනාගන්න බැහැ. එය කළ හැකි වන්නේ අධ්‍යාපනය හා පළපුරුද්ද හරහා එම කුසලතාවය වර්ධනය කර ගැනීමෙන් පසුවයි. එය බල්ලන්ගේ දැනුමක් වනවා වගේම මිනිස් දැනුමක් නොවන බල්ලන්ට අනන්‍ය දැනුමක්. බල්ලන් ලවා ඒ වැඩේ කරගන්නා ආකාරය මිනිස් දැනුමක්. බල්ලෙක් බිම්බෝම්බ තිබෙන තැන පෙන්වන බව මිසක් බල්ලා බිම්බෝම්බ හොයා ගන්නේ කොහොමද කියන එක මිනිස්සු දන්නේ නැහැ. ඒ වගේම, බිම්බෝම්බ හොයද්දීත්, කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගනිද්දීත් බල්ලන්ට ඕනෑ තරම් වරදිනවා. බල්ලන්ට එහෙම වරදිනවා කියන එකත් මිනිස් දැනුමක්.

නලින් ද සිල්වාගේ තර්ක බොහොමයක්ම වැරදියි කියා සෛද්ධන්තිකවම පෙන්විය නොහැකි තර්ක. තර්ක ගොඩනගලා තිබෙන්නේම චක්‍රීය ආකෘතියක. උදාහරණයක් විදිහට නලින් ද සිල්වාට අනුව සිංහල බෞද්ධයෙක්ට කවදාවත් බටහිර විද්‍යාඥයෙක් වෙන්න බැහැ. මේ තර්කය කවදාවත් බිඳින්න පුළුවන් එකක් නෙමෙයි. මොකද කවුරු හරි කෙනෙක් නලින් ද සිල්වාගේ සම්මත අනුව බටහිර විද්‍යාඥයෙක් වුනොත්, ඒ පුද්ගලයා සිංහල බෞද්ධ සංස්කෘතියේ නොඉන්න බව පහසුවෙන්ම කියන්න පුළුවන්. මේක නලින් ද සිල්වාගේ මූලික අදහස ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. 

නාථ දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීමත් ඔය වගේම බිඳින්න අමාරු තර්කයක්. මොකද අදාළ ප්‍රවාදය අනුවම ඕනෑම කෙනෙක්ට මේ ආකාරයට දෙවියන්ගෙන් දැනුම ලබා ගන්න බැහැ. ඒ නිසා, මට නාථ දෙවියන්ව නොපෙනුනා කියා නාථ දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම නොකළ හැක්කක් බව තහවුරු වෙන්නේ නැහැ. මෙහි තිබෙන පළමු ප්‍රශ්නය වන්නේ වංචනිකයෙකුට පහසුවෙන්ම නලින් ද සිල්වාගේ ප්‍රවාදය තමන්ගේ වාසියට හරවා ගත හැකි වීමයි. එවැනි වංචනිකයින් කොපමණ හමු වුනත් ඒ හේතුව නිසා නලින් ද සිල්වාගේ ප්‍රවාදය බිඳෙන්නේත් නැහැ. අනෙක් අතට දෙවියන්ගෙන් ලැබෙන දැනුමක් නිවැරදි නැති වුනා කියා දැනුම ලබාගත් පුද්ගලයා වංචනිකයෙක් වෙන්නෙත් නැහැ. මොකද ප්‍රවාදය අනුවම දෙවියන් විසින් ලබා දෙන තොරතුරු නිවැරදි නොවෙන්න පුළුවන්. බල්ලන්ට වගේම දෙවියන්ටත් වරදිනවා. දෙවියෝ හිතාමතාම බොරුවක් කරන්නත් පුළුවන්.

දැන් නලින් ද සිල්වාගේ අලුත්ම පර්යේෂණය දෙවියන් හරහා ඉතිහාස දැනුම ලබා ගැනීමනේ. දැන් ඔය උතුරේ යුද්ධයේදී මැරුණු එල්ටීටීඊ සාමාජිකයෝ ඉන්නවනේ. ඒ අයට ඒ දවස් වල උගන්වපු ඉතිහාසයකුත් තිබුණනේ. මේ අයගෙන් කොටසක් දෙවිවරු හෝ වෙනත් අදෘශ්‍යමාන ප්‍රාණීන් වෙලා (මම එවැන්නක් විශ්වාස නොකළත්) සිංහලයින් විශාල පිරිසකට ඉතිහාස දැනුම ලබා දුන්නොත් ඒ දැනුම පිළිගන්න වෙනවද? එවැනි දැනුමක් පිළිගන්න බැරිනම් ඒ විදිහටම ලැබෙන සිංහලයින්ට වාසිදායක දැනුමක් පිළිගැනීම නිවැරදිද?

නලින් ද සිල්වාගේ ප්‍රවාදය අනුවම බැලුවත් දෙවි කෙනෙකුගෙන් ලැබෙනවා කියා කියන දැනුම භාවිතයට ගත යුත්තේ පරීක්ෂාවට ලක් කර මිනිස් දැනුමක් බවට පත් කර ගැනීමෙන් පසුවයි. අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ කොහොමද කියන එක දැන නොගත්තා කියා ප්‍රශ්නයක් නැහැ. නමුත්, අඩු වශයෙන් අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන බව තහවුරු වී නැත්නම් එහි දෙවියන්ගේ නියෝජිතයාගේ බොරුවකට අහුවීමේ අවදානම වගේම දෙවියන්ගේ බොරුවකට අහු වීමේ අවදානමත් තිබෙනවා.


31 comments:

  1. ඉකොනොමැට්ටා තිරිසන් මනස් ගැන සඳහන් කරන විට මට එකපාරටම මතක් වුනේ මේ වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දැඩි සේ පැතිර ගොස් තිබෙන උමතු ආගමික අන්තවාදය ගැන. ඇත්තටම විශ්ව විද්‍යාලයක තත්වයත් මෙහෙමනම්, සමාන්‍ය සමාජයේ මේ අන්තවාදය කොච්චර පැතිරිලාද කියන එක අහන්න දෙයක් නෙමෙයිනේ. අදාළ බලධාරීන්ට මේවා ගැන ඉතාමත් හොදින් සහ සැලකිල්ලෙන් නිරික්ෂණය කරමින් ආරක්ෂිත ක්‍රියාමාර්ග සඳහා සූදානම් කිරිමට අප බල කල යුතුයි. මොකද තව සහ' රාන්ලා කී දෙනෙක් ඉන්නවාද කියලා කවුද දන්නේ?

    http://newshub.lk/2021/01/05/lecturer-abdul-haq-lareena/


    මෙම ලිපිය අනුව පේරාදෙණිය සරසවියේ වෙබ් අඩවි වල මුස්ලිම් සිසුවියන්ගේ මුහුණු පල නොකිරීම හරහා මෙරට සරසවි පද්ධතියට උමතු ආගමික අන්තවාදය ඇතුළුවී ඇති බව පැහැදිලි ලෙසම නිරූපණය වන බව සබරගමුව සරසවියේ කථිකාචාර්‍ය ආචාර්ය අබ්දුල් හක් ලරීනා පවසනවා.

    ඉතා දීර්ඝ ඓතිහාසික සම්ප්‍රදායක් ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලය වැනි ආයතනයක මුස්ලිම් මජ්ලිස් (කවුන්සිලය) සිය කාන්තා සාමාජිකාවන්ගේ මුහුණු සඟවා තබා තිබීම ඉතා ලැජ්ජා සහගත, පසුගාමී පමණක් නොව විශ්ව විද්‍යාලයේ මුස්ලිම් මජිලිස් වෙලාගෙන ඇති උමතු ආගමික මූලධර්මවාදයේ අවාසනාවන්ත කථාන්දරයද පෙන්නුම් කරයි.

    මෙවැනි අතිශය හිරිකිත අශිෂ්ඨ දහතුන්වන සියවසේ පසුගාමී තලේබාන් ජඩ සිරිත් විරිත් මෑතක සිට සවුදි බලපෑම් සමග රටපුරා ඇති ආගමික පාසල් වූ මද්‍රසාහී බරපතල ලෙස ව්‍යාප්ත වීමක්ද දක්නට ලැබුණි. එහෙත් දැන් බුද්ධිමතුන් බිහි කරන බවට ඇතැමුන් පවසන විශ්ව විද්‍යාල පද්ධතියට එවැනි භාවිතයන් ඇතුල් වීම මුස්ලිම් ප්‍රජාවගේ පරිහානියේ දර්ශකයක් ලෙස දැකිය යුතුය. මෙය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලුම ආදි විද්‍යාර්ථීන්ටත් සිසුන්ටටත් අති මහත් නින්දාවකි! ඇත්තටම හතර විලි ලැජ්ජයි. මේ ගැන පැහැදිලි කිරීමක් පෝස්ට් එකක් ලියන්න පුලුවන් නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔය සිසුවියන් කොහොමටත් සම්පූර්ණයෙන්ම මුහුණ වසාගෙන සිටින අයනම් එවැනි වසාගත් මුහුණක ඡායාරූපයක් වෙබ් අඩවියක දැම්මා කියලා වැඩක් නැහැ. යම් හෙයකින් වෙබ් අඩවියේ මුහුණ ඇරලා ඡායාරූපයක් දැම්මත් සැබෑ ලෝකයේදී ඉන්නේ මුහුණ වහගෙනනම් අඳුනාගන්න පුළුවන්කමක් නැහැ. මුහුණ වසාගෙන සිටීම ඔවුන්ගේ කැමැත්ත මත සිදු වන දෙයක් නොවේනම් ප්‍රශ්නයක් තිබෙනවා. තමන්ගේ ඡායාරූපය පොදු අවකාශයකට මුදා හරිනවාද නැද්ද කියන එක පෞද්ගලික කාරණයක්. තමන්ට එසේ කිරීමට අවශ්‍යව තිබියදී ඒ සඳහා අවස්ථාවක් නොලැබෙනවානම් එහි ප්‍රශ්නයක් තිබෙනවා. පේරාදෙණියේ අප ඉගෙන ගන්නා කාලයේදී වුවත් සිසුවෙකුට හෝ සිසුවියෙකුට තමන් කැමති ඇඳුමක් ඇඳීමේ නිදහසට බාධා තිබුණා. එවැනි බාධා සීමා වනවානම් හොඳයි.

      Delete
    2. මමනම් වහාබි වාදයේ හොඳකුත් දකිනවා.
      “ඔබ මුස්ලිම් නම් මෙන්න මෙහෙම සිටිය යුතුයි, නැතිනම් ආගම අතහරින්න“ කියලා
      මුස්ලිම් මිනිස්සුන්ට හැඟීමක් ඇතිකරන්න පුළුවන් වුනොත්. කොහොමද?

      Delete
  2. ඇත්තටම තිරිසන් හෝ මනුෂ්‍ය නොවන දැනුම කියා එකක් ඇති බවට සාධක නෑ. මේ ඉකොනොමැට්ටා කලින් පෝස්ට් එකේ සුනඛ ඉව (instinct) කියන සතුන් සතු හැකියාව මිනිස් අවශ්‍යතා සඳහා යොදා ගැනීම "මනුෂ්‍ය නොවන දැනුමක්" කියන එක විකාරයක්. ඒකත් මනුෂ්‍ය දැනුම් වල කොටසක්. උදාහරණයක් විදියට හරක් අශ්ව වැනි සතුන්ට විශාල කායික ශක්තියක් ඇති බව බව මිනිසුන් නිරීක්ෂණය කළ අතර ඒ හරහා එම සතුන් අල්ලා හීලෑ කිරීම, ඒ තුලින් එම සතුන්ගේ ශක්තිය යොදවා තම වැඩ පහසු කරගන්නා ආකාරය මනුෂ්‍යයන් විසින් දියුණු කර ගත් දැනුම් සම්භාරයක්. සුනඛ වැනි සතුන්ට ඇති ඉව ද එසේ භාවිතා කර තම වැඩ පහසු කරගන්නා ආකාරය මනුෂ්‍යයන් විසින් දියුණු කර ගත් තවත් මනුෂ්‍ය දැනුම් පද්ධතියක්.

    මූලික වශයෙන් "දැනුම" (knowledge) එහෙම නැත්නම් මනුෂ්‍ය දැනුම යනු මිනිසාගේ පංචේන්ද්‍රියනුත් ස්නායු පද්ධතියත් මොළයත් සම්බන්ධවී සිදු කරන සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදියට හඳුන්වන්න පුළුවන්.

    ප්‍රධාන වශයෙන් මිනිසා සිය පංචේන්ද්‍රියන් මගින් ලබා ගන්නා සරල අවබෝධය හෙවත් ඉන්ද්‍රිය ගෝචර දැනුම මොළය තුල සිදුකරන තාර්කික ක්‍රියාවලියක් හරහා තාර්කික දැනුමක් බවට පත් කරගනු ලැබේ.
    මිනිස්සු සිය හැකියාවන් (skills) දැනුම යොදාගනිමින් සංවර්ධනය කරගෙන මිනිස් ශිෂ්ටාචාරය ගොඩ නගා ඇති. උදාහරණයක් විදියට සිතීමේ හැකියාව.

    තව දුරටත් පැහැදිලි කිරීමක් වශයෙන් මනුෂ්‍ය සමාජයේ ගායකයෙකු වීමට මුලින්ම ගායනා කිරීමට හැකියාවක් තිබිය යුතුයි. පසුව සංගීතය ගායනය පිළිබඳ වැඩිදියුණු කරගෙන තියෙන දැනුම යොදාගනිමින් ගායකයෙකු වීමට පුළුවන්.

    මනුෂ්‍ය නොවන දැනුම කියා එකක් ඇති බවට සාධක නෑ. පිට සක්වළ ජීවින්, දෙවියන් අමනුෂ්‍යයන් වැනි සංකල්පීය ජීවින් සතුව එවැන්නක් තිබිය හැකි වනු ඇත. නමුත් අවශ්‍ය නම් මනුෂ්‍ය නොවන දැනුම ලෙස සතුන් තමන් සතු හැකියාව සිය පැවැත්ම උදෙසා යොදාගන්නා උපක්‍රමයන් යම්තාක් දුරට (මනුෂ්‍ය නොවන දැනුම ලෙස) සැලකිය හැකියි. සුනඛ වැනි සතුන් ඔවුන්ගේ ඉව නමැති හැකියාව යොදාගනිමින් දඩයම් කිරීම, ජලය සහ මග හොයා ගැනීම සරල දැනුමක් ලෙස සැලකිය හැකියි. ඇතැම් සත්ත්ව විශේෂ සිය පැටවුන් සමග එම දැනුම බෙදාගනිමින් ඔවුන්ව පුහුණු කිරීමද දැක ගත හැකියි. නමුත් එම හැකියාව මිනිසුන්ගේ ප්‍රයෝජනයට යොදාගන්නේ එය මනුෂ්‍ය දැනුමෙන් පමණක් වන අතර එය මනුෂ්‍ය නොවන දැනුම කියා කිසිම විටක කියන්න බැහැ. මොකද එම සතුන්ගේ හැකියාවන් මෙහෙයවන්නේ මිනිස්සු මිනිස්සුන්ට ඕන විදියට.

    නැවතත් මනුෂ්‍ය දැනුම ගැන පැහැදිලි කිරීමේදී දැනුමේ විවිධත්වයට හේතු වන්නේද එම පාරිසරික විවිධත්වයන්, තාර්කික හැකියාවේ විවිධත්වයන් හා දැනුම ලැබීමට ලැබෙන අවස්ථාවල විවිධත්වයන් බව පැහැදිලියි. එසේම අතීත මනුෂ්‍ය සමාජමය එම දැනුම ලබාදීමේ හා ලබාගැනීමේ හැකියාව මතද (අධ්‍යාපනය) දැනුමේ ප්‍රමාණය තීරණය වන බව කිව යුතුයි.

    මනුෂ්‍ය දැනුම පවතිනුයේ එක් එක් පුද්ගලයන් තුළ වුවද දැනුම යනු පුද්ගල දැනුමක් නොව සමාජීය දැනුමකි. දැනුම වර්ධනය වනුයේ ඓතිහාසිකව හා සමාජයක් ලෙස සාමූහිකව ලබන අත්දැකීම් අනුවයි.

    ඓතිහාසිකව මිනිස් සමාජය තුළ "දැනුම" ඇරඹෙනුයේ මානව සමාජයේ පදනම වූ නිෂ්පාදන ක්‍රියාවලියත් සමග වන අතරම දැනුම වර්ධනය වූයේද ඊට සාපේක්ෂව මිනිසාගේ පංචේන්ද්‍රියන් හා මොළය වර්ධනය වුයේද විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ අවශ්‍යතාවයන් හා බැඳෙමින්. මනුෂ්‍ය සමාජයේ හැම කෙනෙක්ම සතුව විවිධ ප්‍රමාණයෙන් පවත්නා "දැනුම" තම පෞද්ගලික දේපළක් පෞද්ගලික දක්ෂතාවයක ප්‍රතිඵලයක් නොව සමාජමය දේපළක්/ සමාජමය ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ නිසාම දැනුම සමාජමය වන අතර එය යෙදවිය යුත්තේද සමාජමය අරමුණකින් බව පැහැදිලියි.

    ඒ වගේම මනුෂ්‍ය දැනුම යනු ලෝකය පිළිබඳ අවබෝධ කර ගැනීමක් ලෙස පමණක් යැයි සමහරු දක්වනවා. කෙසේ වෙතත් මනුෂ්‍ය "දැනුම" ලෝකය තේරුම්ගැනීමට පමණක් සීමාවන්නක් නොව ලෝකය වෙනස් කිරීම සඳහාද උපයෝගී වන්නක් බව ඉතා පැහැදිලියි. දැනුම අවශ්‍ය වන්නේ සියල්ල දන්නා පණ්ඩිතයෙක් ලෙස සමාජයට පොර ටෝක් දෙමින් කුජීත ලෙස ජීවත්වීමට නොව දැනුම භාවිතයට නගා ලෝකය වඩා හොඳ තැනක් බවට වෙනස් කිරීමට කටයුතු කිරීමට බව පැහැදිලියි. සාමාන්‍යයෙන් න්‍යායයෙන් තොර භාවිතය අන්ධ යැයිද භාවිතයෙන් තොර න්‍යාය වඳ යැයිද පවසන්නේ මේ පදනමින් බවත් සඳහන් කරන්නට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. කාලයකට පෙර තිබුණු මනුෂ්‍ය දැනුම අනුව ඔබ නිවැරදියි. දැන් මනුෂ්‍ය දැනුම ඔය කියන තැන සිට ගොඩක් ඉදිරියට ගිහින්.

      Delete
    2. ඉකොනොමැට්ටා,

      මේ දැනුම පිළිබඳ definitions අර්ථ දැක්වීම් සහ නිර්ණායක සඳහා Roderick Chisholm ගේ "Theory of Knowledge" ආශ්‍රය කරගෙන (the nature of knowledge, evidence, reason, perception and truth, among other topics in epistemology) පැරණි යල්පිනූ ක්‍රමවාදය (Methodism) වෙනුවට මේ සඳහා සුවිශේෂවාදය (particularism) යනුවෙන් ඔහු හඳුන්වන ක්‍රමය අප මෙහිදී refer කළා. එමෙන්ම පහත සඳහන් references ද අපගේ අදහස් වලට පදනම් කරගත්තා;

      01. Zalta, Edward N. (ed.). "The Value of Knowledge". Stanford Encyclopedia of Philosophy.

      02. Zalta, Edward N. (ed.). "The Analysis of Knowledge". Stanford Encyclopedia of Philosophy.

      03. Zalta, Edward N. (ed.). "Knowledge by Acquaintance vs. Description". Stanford Encyclopedia of Philosophy.

      04. https://inpho.cogs.indiana.edu/taxonomy/2390

      05. KM definitions by John Girard Ph.D https://www.johngirard.net/km/


      එහෙත් ඔබ ඔය සඳහන් කරන නූතන දැනුම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? ඒ පිළිබඳ මේ පෝස්ට් දෙකෙන් එකක්වත් කිසිම දෙයක් තේරුම් ගන්න අමාරුයි.

      Delete
    3. මේ සඳහා මට ටිකක් කල් දෙන්න. මේ ප්‍රශ්නයට ප්‍රමාණවත් හා අර්ථවත් ප්‍රතිචාරයක් දෙන්න කාලය අවශ්‍යයි..

      Delete
    4. //මනුෂ්‍ය නොවන දැනුම කියා එකක් ඇති බවට සාධක නෑ. පිට සක්වළ ජීවින්, දෙවියන් අමනුෂ්‍යයන් වැනි සංකල්පීය ජීවින් සතුව එවැන්නක් තිබිය හැකි වනු ඇත. නමුත් අවශ්‍ය නම් මනුෂ්‍ය නොවන දැනුම ලෙස සතුන් තමන් සතු හැකියාව සිය පැවැත්ම උදෙසා යොදාගන්නා උපක්‍රමයන් යම්තාක් දුරට (මනුෂ්‍ය නොවන දැනුම ලෙස) සැලකිය හැකියි. සුනඛ වැනි සතුන් ඔවුන්ගේ ඉව නමැති හැකියාව යොදාගනිමින් දඩයම් කිරීම, ජලය සහ මග හොයා ගැනීම සරල දැනුමක් ලෙස සැලකිය හැකියි. ඇතැම් සත්ත්ව විශේෂ සිය පැටවුන් සමග එම දැනුම බෙදාගනිමින් ඔවුන්ව පුහුණු කිරීමද දැක ගත හැකියි.//

      දැන් මෙහි ඔබ "මනුෂ්‍ය නොවන දැනුම කියා එකක් ඇති බවට සාධක නෑ" කියා පටන් ගත්තත් ඉන් පසුව සතුන්ගේ දැනුමද අවශ්‍යනම් මනුෂ්‍ය නොවන දැනුමක් සේ සැලකිය හැකි බව කියා එය විස්තර කරලත් තියෙනවනේ. මම කියා තියෙන්නෙත් ඔය ටිකම තමයි. සතුන්ගේ විඥානය පිළිබඳ වැඩි තොරතුරු සොයා ඉදිරිපත් කළ හැකි වුවත් එසේ කිරීමෙන් පසුව එළැඹෙන්න තිබෙන නිගමනය ඔබ විසින්ම මෙහි ලියා තිබෙනවා. එහෙම නැතුව සතුන්ගේ දැනුම සාධාරණ වශයෙන් මිනිස්සුන්ගේ දැනුමට වඩා උසස් දැනුමක් කියා මම කියා නැහැ. එය කොහොමටත් මූලික මට්ටමේ දැනුමක්.

      //නමුත් එම හැකියාව මිනිසුන්ගේ ප්‍රයෝජනයට යොදාගන්නේ එය මනුෂ්‍ය දැනුමෙන් පමණක් වන අතර එය මනුෂ්‍ය නොවන දැනුම කියා කිසිම විටක කියන්න බැහැ.//

      මේ කරුණ ඉතාම පැහැදිලියිනේ. කවර හෝ දැනුමක් මිනිසුන්ගේ ප්‍රයෝජනයට යොදාගන්න අවස්ථාව වන විට එය කිසියම් ආකාරයක මිනිස් දැනුමක් වෙලා. මෙහිදී ඔබ කියන "පිට සක්වළ ජීවින්, දෙවියන් අමනුෂ්‍යයන් වැනි සංකල්පීය ජීවින්"ගෙන් ලැබෙන දැනුමකට වුවත් මෙය සාධාරණයි. මනුෂ්‍ය නොවන දැනුම ගැන කතා කරන අයට එය අර්ථදක්වන්න කියා මම ඉල්ලා සිටියේ ඒ නිසයි.

      Delete
    5. වෙනත් විදිහකින් කිවුවොත් දෙවිවරු කියා පිරිසක් සිටින බව හා ඔවුන් සමඟ සන්නිවේදනය කර රෝගයකට ඔසුවක් අසාගත හැකි අය සිටින බව උපකල්පනය කළොත්, ඒ ඔසුව යම් නිරවද්‍යතාවයකින් වැඩ කරනවානම්, අදාළ සන්නිවේදකයා විසින් කරන්නේ එම දෙවියන්ව detection tool එකක් ලෙස යොදා ගැනීම කියා මට යෝජනා කරන්න පුළුවන්. ඒ අනුව ඔබේ තර්කය අනුව යමින් එය මිනිස් දැනුමක් කියා මට කියන්න පුළුවන්.

      Delete
    6. //මනුෂ්‍ය සමාජයේ හැම කෙනෙක්ම සතුව විවිධ ප්‍රමාණයෙන් පවත්නා "දැනුම" තම පෞද්ගලික දේපළක් පෞද්ගලික දක්ෂතාවයක ප්‍රතිඵලයක් නොව සමාජමය දේපළක්/ සමාජමය ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ නිසාම දැනුම සමාජමය වන අතර එය යෙදවිය යුත්තේද සමාජමය අරමුණකින් බව පැහැදිලියි.//

      දැනුම ලබා ගැනීම සඳහා පෞද්ගලික ආයෝජනයක් කළ යුතු නිසා මේ අදහස සමඟ මම එකඟ නැහැ. මා එකඟ නැතත්, ඔය වගේ සමාජවාදී අදහස් හෝ භාවිතාවන් මිනිසුන්ට වගේම වඳුරන්ටත් තිබෙනවා.

      https://www.nature.com/articles/nature01963

      Delete
    7. Animal Consciousness පිළිබඳව හොඳම මූලාශ්‍රයක් (කෝෂ්ඨාගාරයක්) වන්නේ ඔබ විසින්ම ඉහත සඳහන් කර ඇති Stanford Encyclopedia of Philosophy. එහි පහතම ඇති Bibliography වෙත ගිය විට මේ හා අදාළ මෑතකාලීන පර්යේෂණ විශාල ප්‍රමාණයක තොරතුරු සොයා ගත හැකියි.

      Delete
  3. ඉකොනොමැට්ටා,

    //ඒ විදිහට නලින් ද සිල්වා කියන දේවල් ගැන තමන්ටවත් අවබෝධයක් නැතුව වමාරන්නට පමණක් දන්නා නලින් පෝතකයින් හා නලින් නැට්ටන් මිස නලින් ද සිල්වාගේ අදහස් වෙනුවෙන් සෘජුව පෙනී සිටින කෙනෙක් තවමත් අපට මේ වියුණුව හරහා හමු වී නැහැ. අනෙක් පැත්තෙන් නලින් ද සිල්වාගේ විවේචකයින් ලෙස හමු වන්නේ නලින් ද සිල්වා යනු කිසිම වැදගැම්මකට ඇති අදහසක් පළ නොකරන අයෙකු සේ සලකන අයයි. ඔය ගොඩවල් දෙකේම නැති සුළු පිරිසක් වරින් වර සැබෑ ලෝකයේදී හමු වී ඇතත් මේ වියුණුව හරහානම් එවැන්නෙකු මෙතෙක් හමු වී තිබුණේ නැහැ. මේ දෙගොඩටම නැති එක් අයෙකු පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දක්වා තිබීම සතුටට කරුණක්.//

    මගේ අදහස් වලට අනුව නම් ආචාර්ය නලින්ද සිල්වා කියලා කියන්නේ ටහිරි ලංකාවේ මේ තාක් බිහි වූ අග්‍රගණ්‍ය බුද්ධිමතෙකු බවට විවාදයක් නෑ මොකද බටහිර විද්‍යාවට පදනම වූ එහි දර්ශනවාදය හෙවත් ඥාන විභාගය ගැන ඔහු තරම් ලංකාවේ කතා කොර ඇති අය ඉතාම විරල බව අපද අවධාරණය කරන මුත් ආචාර්ය නලින් පෙනී සිටින්නේ ලංකාවේ සිංහල බෞද්ධ ජාතිවාදී වර්ගවාදී ජාතික ව්‍යාපාරය වෙනුවෙන්, ඔහු ඊට චින්තන කියලා නමක්ද යොදා ගෙන ලංකාවේ දමිළ ජාතිවාදී වර්ගවාදී බෙදුම්වාදී ව්‍යාපාරික කණ්ඩායම් වලට එරෙහිව සටන් කළ අතර මේ වන විට ලංකාව තුල මෙන්ම පිටතද දමිළ ජාතිවාදී වර්ගවාදී බෙදුම්වාදී ව්‍යාපාර කටයුතු දුර්වල වී තිබේ. මේ නිසා දැනට ලංකාවේ සිංහල බෞද්ධ ජාතිවාදී වර්ගවාදී ව්‍යාපාර සිය පැවැත්ම උදෙසා වේගයෙන් නැගී සිටින ලංකාවේ ජාතිවාදී වර්ගවාදී ආගමික උන්මත්තක ලෙස කටයුතු කරන මු'ස්ලිම් ජාතිවාදී වර්ගවාදී ව්‍යාපාර සමග සටන් ආරම්භ කර තිබෙන නමුත් ආචාර්ය නලීන් තවමත් ලංකාවේ ම'හමදික ජනයාගේ ජාතිවාදී වර්ගවාදී මූලධර්මවාදී ව්‍යාපාර කෙරෙහි දක්වන්නේ මෘදු ආකාරයේ විරෝධයක්.

    නලින්ද සිල්වාට අනුව ලංකාවේ දේශපාලනයක් ද තිබේ. ඒ බොහෝ දුරට ලංකාවේ දැනට පවත්නා රාජ පක්ස රජය සමග සමගාමී වන සෞභාග්‍යයේ දැක්ම (මහින්ද චින්තන ඉදිරි දැක්ම), ලංකාවේ සිංහල ජාතිවාදී වාර්ගික ගැටළුව, තිස් අවුරුදු යුද්ධය, ප්‍රභාකරන් ඔහුගේ මුත්තලා ලොකුඅප්පලා බාප්පලා වැනි ලංකාවේ කෘතිමව ඇතිකර බොරු දමිළ ජාතිවාදී වර්ගවාදී බෙදුම්වාදී ව්‍යාපාර ප්‍රෝඩාව, දැන් අලුතෙන් එන ආගමික අන්තවාදයේ මූලධර්මවාදී පදනම ආදී සියලු මෙකී නොකී බොහෝ මාතෘකා ගැන මාගල් තරම් දිග ලිපි ආචාර්ය නලීන් විසින් ලියා ඇති අතරම මින් බහුතරයක් සාමාන්‍යයෙන් හරවත් යැයි කිව හැකිය. ලංකාවේ ජරා පස්ස කල්ලියට හීනියට කඩේ ගියත් කරුණු වල සාරවත් භාවය ගැන අපිට මෑන්ව අගය කරන්න සිදු වන බව නිසැකයි.

    කෙසේ වෙතත් ආචාර්ය නලින් යනු අතිදරුණු විවේචකයෙකු වේ. ඒ වගේම බටහිර විද්‍යාව පට්ට පල් බොරු යැයිද, අවැසි නම් ඒ බව ඔප්පු කරන්නට තමා සූදානම් යැයිද කී ඔහු එමතු නොව, ඒ ගැන අවශ්‍ය නම් පානදුරා වාදය සේ දින ගණනක් පැවැත්වෙන වාදයකට ලංකාවේ පඬියන්, පඬි පෝතකයන් හා (ඉකොනොමැට්ටා බඳු) පඬි නැට්ටන්ට ඔහු අභියෝගාත්මක ආරාධනා කළ බව ඔබට මතක ඇති.

    ඔහු කියන පරිදිම බටහිර විද්‍යාව යනු කතන්දර ගොඩකි. ඒ බව නලින් මෙන්ම අපිද දනිමු. මේ කමෙන්ටු ලියන අපද සරසවිය පසු කෙළේ විද්‍යා විෂය ධාරාවෙන් නිසා බටහිර විද්‍යාව පමණක් නොව, ඕනෑම විද්‍යාවකින් කරන්නේ කතන්දර හැදීම බව දන්නා නිසාය. එහෙත් මේ කතන්දර සුරංගනා කතන්දර නොවේ. තාර්කික පදනමක් මත පදනම්වූ කතාන්දරය. සුරංගනා කතාව සහ නිව්ටන් නියම වෙනස් වන්නේ එබැවිනි. කලක් නිව්ටන් ගේ නියම වලින් පැහැදිලි කළ භෞතික ලෝකය දැන් පැහැදිලි කරන්නේ වෙනත් සුසමාදර්ශයක් මගිනි. ඒ විද්‍යාවේ හැටි ය. වරදක් නොවේ. අපට ගැටලුව ඇත්තේ එතන නොවේ. බටහිර විද්‍යාව නිසා හිස පැළඳි මහාචාර්ය පට්ටම නොසළකා බටහිර විද්‍යාවට ම පලු යන්නට බනින ආචාර්ය නලීන් (සරලව සිතන්න. නලින්ද සිල්වා බටහිර ගණිතය පිළිබඳ විශේෂඥ ඥානයක් සහිත මහාචාර්ය වරයකු නොවුණා නම් ඔහුට මේ මාකට් එක තිබේවි ද?) ඔහු කරන්නේ බටහිර විද්‍යාව තුළ පැන නගින ගැටළුවලට පාර භෞතික පිළිතුරු දීමයි. මීට කලකට පෙර “බුදු දහම විද්‍යාත්මක කිරීමේ මුළාව” නමින් විදුසරට පිටු ගණන් ලිපි ලී ඔහු, අද කරන්නේ බුදු දහම හා බැඳුණු සංකල්ප ඇසුරින් ඔහු පවසන 'අපේම විද්‍යාවට' (ලංකාවේ පැරණි විශ්වාස ආදියට) පැලැස්තර ඇලවීමය. (මේ දෙවියන් භූතයන් හා කතා කරන්න පුළුවන් බව කියන පිරිස් වලට ඔවුන් ගේ දැනුම අති විශිෂ්ට යයි සහතික දීමට ද ආචාර්ය නලීන් ප්‍රමාද නොවේ.) මේ ගැටලුකාරී තත්වයන් යටතේ ඔහු පිළිබඳ විස්වාසය බරපතල ලෙස ලංකාවේ දැන උගත් සමාජය තුල බිඳ වැටීම දක්නට ලැබෙන බව පේනවා නේද?

    ReplyDelete
    Replies
    1. //ඔහු කියන පරිදිම බටහිර විද්‍යාව යනු කතන්දර ගොඩකි. ඒ බව නලින් මෙන්ම අපිද දනිමු. මේ කමෙන්ටු ලියන අපද සරසවිය පසු කෙළේ විද්‍යා විෂය ධාරාවෙන් නිසා බටහිර විද්‍යාව පමණක් නොව, ඕනෑම විද්‍යාවකින් කරන්නේ කතන්දර හැදීම බව දන්නා නිසාය. එහෙත් මේ කතන්දර සුරංගනා කතන්දර නොවේ. තාර්කික පදනමක් මත පදනම්වූ කතාන්දරය. සුරංගනා කතාව සහ නිව්ටන් නියම වෙනස් වන්නේ එබැවිනි. කලක් නිව්ටන් ගේ නියම වලින් පැහැදිලි කළ භෞතික ලෝකය දැන් පැහැදිලි කරන්නේ වෙනත් සුසමාදර්ශයක් මගිනි. ඒ විද්‍යාවේ හැටි ය. වරදක් නොවේ.//

      මෙහිදී ඔබට මග හැරී ඇති දෙය නලින් ද සිල්වා විසින් මේ වන විට ඔබ මෙහි සඳහන් කරන "තාර්කික පදනමක්" මත නිගමන වලට එළඹීමද ප්‍රතික්ෂේප කර ඇති බවයි. ආරම්භයේදී නලින් ද සිල්වා විසින් කළේ විකල්ප තාර්කික පදනමක් ඉදිරිපත් කිරීමයි. (එහිද ප්‍රශ්න තිබීම වෙනම කරුණක්). නලින් ද සිල්වාට අනුව බටහිර විද්‍යාව මෙන්ම ඔබ විසින් තාර්කික පදනමක් මත පදනම්වූ කතාන්දර හා එසේ නොවන කතන්දර වෙන්කර ගැනීමට යොදා ගන්නා තාර්කික පදනමද බටහිර දැනුමේම කොටසක්. එම තාර්කික පදනමද බටහිර දැනුම් පද්ධතියේම කොටසක් සේ සලකා ප්‍රතික්ෂේප කළ වහාම සුරංගනා කතා සහ අනෙකුත් කතාන්දර වර්ග කිරීමට පදනමක්ද නැති වෙනවා. ඔහු එසේ බටහිර තර්කනය ප්‍රතික්ෂේප කිරීම යන කරුණ වෙනත් අයෙකුට ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක්ද නැහැ. ඒ වගේම මේ වෙද්දී නලීන් ද සිල්වා විසින් බටහිර තර්කනය පමණක් නොව තර්කනය මත නිගමන වලට එළැඹීම කියන මූලික අදහසම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා, නලින් ද සිල්වාගේ දැනුම් පද්ධතිය තුළ සිට නලින් ද සිල්වාගේ ප්‍රවාද බිඳ දැමිය හැකි අවකාශය මුළුමනින්ම වාගේ ශුන්‍ය වෙනවා. මෑතකදී කරලියට පැමිණි මෙයසු ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති අසාර්ථක වන්නේ මේ සීමාව නිසා. දැනුම් පද්ධති දෙකක් සංසන්දනය කිරීම සඳහා ඒ දැනුම් පද්ධති දෙක අතිපිහිත වන කිසියම් මූලික සන්දර්භයක් හොයාගෙන එතැන් සිට ඉදිරියට යන්න වෙනවා. බටහිර විද්‍යාව හා මේ වන විට නලින් ද සිල්වා සිටින තැන එසේ අතිපිහිත වන තැනක් නැති තරම්. එවිට ඉතිරි වන්නේ භක්තිවාද දෙකක් සංසන්දනය කිරීමේදී මතු වන ආකාරයේ විසඳුම් නැති මූලික ගැටළුවක්.

      Delete
  4. අනුන්ට ප්‍රජාත්‍රන්තවාදයේ අගය කියලා දෙන්න යන ඇමරිකාවේ ජනාධිපති පත්කරගන්න ගිහිං මිනිස්සු වෙඩි තියාගෙන මරාගන්න එක ගැන ලිපියක් ලියන්නකෝ ඉකොනෝ, මේ කිසිවෙකුගේ උනන්දුවක් නැති නලින්ද සිල්වාගේ වාතයේ ගඳ සුවඳ බල බලා ඉන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ ඊයේ සිදු වුනු දෙයත් නලින් ද සිල්වා කියන කතා වලට සම්බන්ධ දෙයක්. එම ගැටුමට මූලික හේතුවක් වන්නේත් නලින් ද සිල්වා විසින් බටහිර දැනුම ලෙස හඳුන්වන දැනුම හා එම දැනුම මත පදනම් වූ තොරතුරු ඇමරිකාව තුළම ප්‍රතික්ෂේප වීමයි.

      Delete
  5. නලිම් සිල්වා මහාචාර්යතුමා හා චන්න ඇමති මහාචාර්යතුමා කියනවා රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් කියා නාථ දෙවියන් ඔවුන්ට සංනිවේදනය කල බව. එසේම ඔවුන් නාථ දේව මණ්ඩලය සමග සන්නිවේදනය කරන බව.

    මගේ ප්‍රශ්නේ, ලෙඩේට හේතුව කියන වෙලේ ඇයි ලෙඩේට ප්‍රතිකාරේ නොකිව්වේ කියන එකයි. අඩුම තරමින් ඇයි ඒක ඇහුවේවත් නැත්තේ.

    කාලි මෑණියෝ ඇයි මේ අහක ඉන්න මේසන් බාස් කෙනෙක්ටම කොවිඩ් පැණියෙ රෙසිපි එක දුන්නේ.

    නලිම් සිල්වට අනුව ඇපල් හෝ පොල් ගෙඩිය බිමට වැටෙන එක ඉන්ද්‍රියගෝචර නැතිලු. එතකොට නාථ දේවමන්ඩලේ එයාලට ඉන්ද්‍රිය ගෝචරයි. කාට කියන්නද මේවා. පිස්සු නැත්තං නලිම් සිල්වත් හොඳ මිනිහෙක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. Economatta has given answers to your points above;

      Ref: ////නලින් ද සිල්වාගේ විවේචකයින් ලෙස හමු වන්නේද නලින් ද සිල්වා කියන දේවල් වලින් කිසිම දෙයක් ගැනවත් මූලික වශයෙන් විද්‍යාවන් හෝ තර්කයක් ගැනවත් තමන්ටවත් අවබෝධයක් නැතුව නලීන්ට පිස්සු කියා වමාරන්නට පමණක් දන්නා නලින් ද සිල්වා යනු කිසිම වැදගැම්මකට ඇති අදහසක් පළ නොකරන අයෙකු සේ සලකන නලීන් විරෝධී ගිරාපෝතකයින් ලෙස සැලකිය හැකි නූගත් අයයි//

      By the way what do think about following statement?

      FORMER IRSH PRESIDENT Mary Robinson has criticized Donald Trump's reaction to losing the US election.

      She compared his refusal to concede defeat with the "volatile and undemocratic situations in states such as Kenya, Sri Lanka and Zimbabwe." - Irish Post-

      In "Sri Lanka's" perspective, who is the person who refused to concede defeat in the recent past?

      If we consider last decade, it's only Dr Ranil Wickramasinghe during the period of late 2018 to early 2019 whom excessively used his powerful foreign relations to concede defeat (postponing elections, deprived rights of people to elect their representatives and finally keep his crown as the PM despite majority of the people's extreme hatred towards him using undue influences of his so much powerful foreign allies) Am I correct? Pls advice. Thanks.

      (Amarbandu R.)

      Delete
    2. හැම දෙයක් දිහාම ආර්ථික සාධකවලින් බැලීම කෂිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්.
      නලින් තුමාගේ මේ රුවන් වැකියම සිංහල ජාතියට ගොඩයන්න ප්‍රමාණවත්.

      ලංකාවේ ආර්ථික කරුණු ගැන හිතල චන්දෙ දෙන්නේ සිංහලයෝ විතරමයි.

      Delete
  6. මේ හොඳ ආරම්භයක්.

    ReplyDelete
  7. පසුගිය ලිපියේ මාතෘකාවෙන් නලින්ද සිල්වාට අපහාසකල ඉකොනොමැට්ටා. මෙවර ලිපියෙන් මට අපහාස කලේදැයි සැක සිතේ.

    නලින් ද සිල්වා ගැන සලකද්දී ඔහු ගනුදෙනුකරන සමාජය ගැනත් සැලකිය යුතුය.

    මුලින්ම නලීන්ද සිල්වා මහතාට ඉල්ලුමක් ඇතිවුනේ කෙසේදැයි සලකමු.
    එයට හේතුව අනෙකුත් සිංහල උගතුන් සිංහල බෞද්ධ අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටීමේ උනතාවයයි. එයට හේතුව සමාජවාදී දේශපාලනය විය හැකියි.
    මෙයට හොඳම උදාහරණයක් ලෙස හෙල හවුල දැක්විය හැක.
    හෙල හවුල සිංහල ජාතිකවාදී නිර්ආගමික ව්‍යාපාරයකි. අද සිටින බුදුන්ගේ රස්තියාදුව වැනි පොත් ලියන්නන්ගේ අදහස් රැපියෙල් තෙන්නකෝන්ගේ පොත් වලත් තිබුනි. නමුත් සිංහල බෞද්ධයන් එයට එරෙහි නොවුනි. එයට හේතුව හෙල අවුල ඔවුන්ට වඩා වෙනස් වුවද ඔවුන් වෙනුවෙන් පෙනීසිටින බව විශ්වාස කිරීමයි.

    දෙවිවරුන්ගෙන් දැනුම ගැනීම ගැන කතාවෙදි නම් නලීන් මහතා යම් ආකාරයක සටනක් කරනබව මගේ මතයයි. නමුත් දෙවියන්ගෙන් ලද දැනුමකින් ඖෂධයක් තැනූබව සැලවු විටම එය දෙවියන්ගෙන් ලද දැනුමක් නිසාම ප්‍රතික්ෂේප කෙරෙන තත්වයක් පවතින බව පැහැදිිලිය. නලීන් මහතා සටන් කරන්නේ එම බලවේගයට එරෙහිවය.

    නලීන් මහතා කල වැදගත්ම සේවය (බටහිර) විද්‍යාවට භක්තිමතුන් බිහිවීම වැලැක්වීමයි.
    කලයුත්තේ නලින් ද සිල්වාගේ වැරදි සෙවීම නොව ඔහු පෙන්වන මග ඔස්සේ ගොස් සිංහල බෞද්ධ අභිලාශයන් ලබා ගැනීමට වෑයම් කිරීමයි.

    උදාහරණයක් ලෙස සිංහල බෞද්ධ අභිලාශයට විරුද්ධ පුරා විද්‍යාත්මක සාක්කියක් සොයා ගතහොත්.
    සිංහල බෞද්ධයන් කල යුත්තේ පුරා විද්‍යාවට යටවීම නොව සිංහල බෞද්ධ අභිලාශයට ගැලපෙන ප්‍රවාදයක් ගොඩනැගීමයි.

    තවත් උදාහරණයක් දක්වන්නේ නම් බුදුදහමේ සූත්‍ර දේශනා, පවතින විද්‍යාත්මක ප්‍රවාද ඔස්සේ පැහැදිලි කිරීම වෙනුවට කල යුත්තේ එම සූත්‍රවල සඳහන් කරුණු සහ තවත් නිරීක්ෂණ පැහැදිලිකරන ප්‍රවාද ගොඩ නැඟීමයි.
    සිංහල උගත්තු මෙතනදී දුර්වල බව පැහැදිලිය.

    ReplyDelete
  8. @ ජගත්

    කොවිඩ් ගැන පහත ප්‍රශ්න වලට පිළිතුරු ලබා දී පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    මෙහෙම වෙන්නේ ඇයි?

    1. සුව වීමේ ප්‍රතිශතය 99.9% පමණ වන රෝගයකට එන්නතක් දෙන්නේ ඇයි?

    2. මෙතරම් භයානක යැයි කියන රෝගයක් රෝග ලක්ෂණ වලින් නැතිව පීසීආර් වලින් හදුනා ගන්නේ ඇයි?

    3. මාර ස්පීඩ් එකකින් ව්‍යාප්ත වෙනවා යැයි සිතන වයිරසයක් තාම ලංකාවේම ව්‍යාප්ත වී නැතයි සිතන්නේ ඇයි?

    4. එහෙම ව්‍යාප්ත වී ඇත්නම් කෝවිඩ් මරණ ගාන වැඩි විය යුතු නේද? එහෙම නම් සමස්ත මරණ ගනන වැඩි විය යුතු නේද? එය සංඛ්‍යා දත්‍ත වලින් නොපෙන්වා කොරෝනා භයානක යැයි කියන්නේ ඇයි?

    5. වසරක් තුළ ප්රභේද 12ක් ඇති වූ බව කියන වයිරසයකට එක වරක් එන්නතක් දී දීර්ග කාලීන ප්‍රතිශක්තිකරණයක් ඇති වෙනවා යැයි උපකල්පනය කරන්නේ ඇයි?

    ඒ වගේම පහත දැක්වෙන කාරණා ඔබේ අවධානයට යොමු කරන්න;

    වයිරස් වසංගත වලට මුහුණ දීම සඳහා හොඳ සෞඛ්‍ය පුරුදු පිලිපදිමු.

    කොරෝනා හෝ වෙනත් ඕනෑම වයිරසයක් වැලඳුනු එයට නියමිත ඖෂධ නිපදවා නැත්නම් පීසීආර් හෝ වෙනත් ඕනැම ක්‍රමයකින් රෝගය හඳුනා ගැනීමේ කිසිඳු වාසියක් නැත. (පීසීආර් කිරීමේ වාසිය එන්නේ යන්ත්‍ර නිපදවන කෙමිකල් නිපදවන සමාගම් වලටය)

    බොහෝ වයිරස රෝග වලට ඇත්තේ එන්නත් වන අතර ඒවා ලබා දිය යුත්තේ වයිරසය ආසාදනය වීමට ප්‍රථම මිස ආසාදනය වූ පසු නොවේ.

    වයිරස රෝග වලින් බේරීමට ඇති හොඳම ක්‍රම රෝගය වැලඳීමට ඉඩ දීම හෝ ඉමියුනිටි සාදාගැනීමට එන්නත් ලබා ගැනීමයි.

    මේ වන විට ලංකාවේ හොල්මන් කරන්නේ කොරෝනා නොවන බවට හෝ මෙය කොරෝනා නම් එය ඉන්ෆ්ලුවෙන්සා වලට වඩා දරුණු කම අඩු බවට ඕනෑ තරම් සාධක පෙන්විය හැක. මෙතුල පවතින්නේ මාධ්‍ය හුවාදැක්වීමක් මිස අන් කවරක් වත් නොවේ.

    මේ සම්බන්ද සාකච්චාවකදී මාගේ මිතුරකු කීවේ අපි භයානක කොරෝනා වලට සූදානම් විය යුතුද නැද්ද යන්නයි. ඔවු අප කොරෝනා වලට පමනක් නොව ඕනෑම වයිරසයකට සූදානම් විය යුතුය. ඒ සඳහා ඕනෑ තරම් සූදානම් උපක්‍රම සෞඛ්‍ය අමාත්‍යාංශය දෙනු ලබන බව පෙනේ, අවුල නම් මිනිස්සු ඒව පිලි නොපැදීමයි එයට හේතුව මාධ්‍ය වලින් මවන බය ඊනියා කොරෝනා වලින් මිනිසුන්ට නොදැනීමයි.

    කෙසේ වෙතත් වයිරස වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමට යහපත් යැයි හැඟෙන(බහුලව කතා නොවන) සෞඛ්‍ය පුරුදු කීපයක් පහතින් දක්වනු ලැබේ.

    ��. හොටු දියර ගලන්නේ නම් හැමවිටම කොලයකට ඉවත් කර වායුගෝලයට නිරාවරන නොවන පරිදි ඉවත් කරන්න.මෙයින් වායු ගෝලයට වයිරසය එකතු වීමේ ප්‍රමානය අඩු වේ.

    ��. හොටු දියර තැන් තැන් වල ඇතිල්ලීමෙන් වලකින්න.

    ��. උගුරේ සෙම ඇති විට කෑරීමෙන් පසුව වායුගෝලයට නිරාවරණය නොවන පරිදි ඉවත් කිරීම වටී. මෙහිදී මෙම සෙම ගිල දැමීම වඩාත්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමය ලෙස යෝජනා කරමි. මන්ද පරිසරයට වයිරසය පිට වීම මින් වලකින අතරම ආමාශයේ දි සෙම සාමාන්‍ය ජීව අනු ජීර්ණය වන ආකාරයට ජීර්ණය වේ... (හොටු කන්න කීවා කියා බැනීමෙන් වලකින්න. මේ ක්‍රමය බයිසිකලයේ තනිව යනවිට මාස්ක් පැලද ගෙන ගොස් පිරිස අතරට පැමින මාස්ක් ගලවා කතා කරන ක්‍රමයට වඩා සෞක්‍යාරක්ෂිතය..

    ��. ශරීරයේ ඔස්මොටික් බැලන්ස් එක පවත්වා ගන්න බැලන්ස් අඩුවන ක්‍රියාකාරකම්, දුම් බීම, මත්පැන් බීම, නිදි වැරීම, වැස්සට තෙමීම.....

    ��. ශරීර උෂ්ණත්වය පවත්වා ගන්න සාමාන්‍යයෙන් වයිරස රෝග වලදී උණ ගැනිම යනු වයිරස මර්ධනයට හොඳ උපක්‍රමයකි. පෙරදා ඔබට උණ ගැනුනු පසු රෙදිකඩකින් පෙරවා නිදි කරවු අම්මා මතකයට ගන්න.

    ��. ස්වස්න පද්දතියට හානි නොවන පරිදි හුමාලය අල්ලන්න. පැගිරි ශාක කොල වලින් අඩු උෂ්ණත්වයකදී හුමාලය නිපදවෙන බවත් ඒවායින් ප්‍රතිශක්තියක් ඇති නොවන බවත් ඔබේ දුම් හට්ටි අලෙවි කරුවාට කියා දෙන්න...

    උරස....

    ReplyDelete
  9. මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදය පුරාම සෞඛ්‍ය සේවා කාර්‍යයමණ්ඩල හා ඉදිරි පෙළ විශේෂඥයන් කොවිඩ එන්නත් කරණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරති.

    https://www.dailymail.co.uk/health/article-9104845/Up-60-health-workers-refusing-COVID-19-vaccines.html

    මීට හේතු වන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් කියන එක වැරදියි, ඇනෝ. ඔය ලිපියේ කොහේවත් සම්පූර්ණයෙන් කියා නැහැනේ. නමුත්, සැලකිය යුතු පිරිසක් එන්නත ප්‍රතික්ෂේප කරනවා කියන එක ඇත්ත. එය එසේ කරන අයගේ පෞද්ගලික තීරණයක්. මම පෞද්ගලිකව මට අවස්ථාවක් ලැබෙන මුල්ම අවස්ථාවේ කෝවිඩ් එන්නතක් ලබා ගන්නයි ඉන්නේ. නමුත්, මම වුනත් නිර්දේශ කරන හැම එන්නතක්ම ගන්නේ නැහැ. කෝවිඩ් කියන්නේ හැම කෙනෙකුටම විශාල අවදානමක් තිබෙන රෝගයක් නෙමෙයි. සමහර අය හැදිලා සුව වන තුරු දන්නෙවත් නැහැ. නමුත්, සමහර අයට මාරාන්තිකයි. අනෙක් පැත්තෙන් ඔය ලිපියේම කියලා තිබෙන ආකාරයට මේ එන්නත් සාපේක්ෂව අඩු කාලයක් පරීක්ෂාවට ලක් වූ එන්නත්. ඇමරිකාව තුළ දැනට ලබා දී තිබෙන්නේත් හදිසි අනුමැතියක් මිස පූර්ණ අනුමැතියක් නෙමෙයි. ඒ නිසා, කෝවිඩ් වලින් හානියක් වීමේ අවදානම ඉතාම අඩු කෙනෙක් එන්නතේ අතුරු ආබාධයක අවදානම ගන්න අවශ්‍ය නැහැ. මේ විදිහට කෝවිඩ් අවදානම අඩු අය එන්නත ප්‍රතික්ෂේප කරන එක සමාජයීය වශයෙන් බැලුවත් හොඳයි. ඒ පුද්ගල නිදහස නිසා එන්නත් සැපයුම සීමිත මේ අවස්ථාවේදී තිබෙන එන්නත් ඒවා වඩාත්ම අවශ්‍ය අයට ඉක්මණින් ලැබෙන එක තහවුරු වෙනවා.

      Delete
  10. ඉකොනොමැට්ටා මේ සින් එක මොකද වෙන්නේ?

    https://www.nbcnews.com/politics/congress/democrats-ask-fbi-director-wray-open-criminal-probe-trump-after-n1252732?cid=sm_npd_nn_fb_ma



    https://nbcnews.to/3hGIeze

    කවදා කාපු ටකරං ද මන්දා වෙන රටක නම් මෙලහට යූ ඇන් සම්බාධක දාලත් ඉවරයි

    Facebook and Twitter lock Trump's accounts after posting video praising rioters ��

    https://www.nbcnews.com/tech/social-media/facebook-youtube-twitter-remove-video-trump-amid-chaos-capitol-n1253157?cid=sm_npd_nn_fb_ma&fbclid=IwAR2QWurJPaK1eQ9Mg8TJMMNiGduer-YU1uFfZscYl2Ojq8k9ypXH3TpOY3I

    ReplyDelete
  11. මේ මම නලින්ද සිල්වා මහතා ගැන ලිවූ එකක්:

    ගුරුත්වාකර්ෂණ කාච ක්‍රමය පිලිබඳ ඔබ දන්නා ගණිතඥයෙකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතාත් විද්‍යා ලිපියක් පල කර තිබෙනවා. අවශ්‍ය නම් එය මෙතනින් බා ගත හැකියි. එතුමාගේ ලිපියේ ගණනය කිරීම කර ඇත්තේ අවකාශ-කාලය ස්ථතික (static ) හා යුක්ලිඩියනු ලෙස උපකල්පනය කරගෙනයි. (පින්තුරය බලන්න. )
    http://www.nature.com/nature/journal/v228/n5277/abs/2281180a0.html//මේ කොටස උපුටා ගත්තේ මහාචාර්ය නලින් ද සිල්වා මහතා 1970 සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සිටියදී පලකල විද්‍යාත්මක ලිපියකිනි.
    // ලිපිය ලින්ක් එකෙන්

    ReplyDelete
    Replies
    1. 3. අවකාශ-කාලය යනු කුමක්ද?https://kolambagamaya.blogspot.com/2014/10/blog-post_19.html

      Delete
  12. නලින් ද සිල්වා මහතා හෝ එකොනෝ කියන මටත් දෙකම මට බැහැර කරන්න බැහැ.මම කාලයක් "භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි" කියල ලිපි පෙළක් පල කළා. ඒක කලේ මළවුන් ගෙන්වන අය සමග මෙන්ම දෙවියන් සමග කතා කරන අය සමග එකතුව. මේ පර්යේෂණවලට මමම ටෙස්ට් කේස් එකක් හැටියට් ඉදිරිපත් වුනා. ඒවා වල විස්තර ලියා තිබෙනවා. මම ඒ දේවල් පිලිබඳ විශ්වාස නොකලත් (සාක්ෂි මද කම නිසා) සමහර තැන්වල මළවුන් ගෙන්වන අය කීදේ අකම්ත්තෙන් වුනත් පිලි ගන්නට සිදු වුනා. මම අදේවවාදියෙක්,පුනරුප්ත්පත්තිය විශ්වාස නොකරන්නෙක්. නමුත් සමහර තැන් මට පැහැදිලි කරන්න වෙන්නේ "සමාන්තර විශ්වයන් " පිලිබඳ අදහස අරගෙන. අපි වගේම අපේ ජිව්තම ගෙනියන සමාන්තර විශ්ව තිබෙන්න සම්භාවිතාවක් ඇතැයි කියා හිතනවා ඇන්ටි මැටර් ආදී දේ ගැන සිතුවම. (පසුව ලිපියක් ලියන්න අදහසක් තියනවා ඒ ගැන ) එහෙම අවස්ථාවක එවැනි dimension එකක දත්ත ගන්න පුළුවන් කෙනෙක් ඉන්න බැරිද? ඒ ප්‍රශ්නය මගේ හිතේ තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. මම පුද්ගලයෙක් විදිහට මගේ විශ්වාස මත මාව හඳුන්වා ගන්න කැමති අඥේයවාදියෙක් ලෙස. දැනුම පිළිබඳව පොදුවේ මගේ අදහස වඩා කිට්ටු පරිමිතවාදයකට කියා කියන්න පුළුවන්. පෞද්ගලිකව මට හැම දෙයක්ම දැනගන්න බැරුවාක් මෙන්ම පොදුවේ මිනිස්සුන්ට වුවත් හැම දෙයක්ම දැන ගන්න බැහැ කියලයි මම හිතන්නේ. දෙවන කරුණ පළමු කරුණට සාපේක්ෂ නිසා එය එසේ නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මට සෛද්ධාන්තික ලෙසම දැන ගන්න බැරි සීමාවේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා, වෙනත් අය යෝජනා කරන පැහැදිලි ලෙස ප්‍රතික්ෂේප කරන්න බැරි බොහෝ දේවල් නිවැරදි වෙන්න යම් සම්භාවිතාවක් තිබෙනවා. ප්‍රායෝගිකව තීරණ ගැනීමේදී හරියටම නොදන්නා දේවල් සම්බන්ධව කටයුතු කරන්න වෙන්නේ අපේ දැනුමට සාපේක්ෂ විෂයමූලික සම්භාවිතා මත පදනම්වයි. මෙහිදී ඇතැම් දේවල් සෛද්ධාන්තිකව සිදු විය හැකි වුවත්, ප්‍රායෝගිකව එසේ වීමේ හැකියාව ශුන්‍යයට ආසන්න සේ සලකන්න වෙනවා.

      සමාන්තර විශ්ව වගේ ප්‍රවාද වල තිබෙන ප්‍රශ්නය වන්නේත් මෙවැනි ප්‍රවාද පරීක්ෂාවට ලක් කළ හැකි පැහැදිලි ක්‍රමයක් තවමත් නොමැතිකම. ඒ නිසා, එවැනි දේවල් ගැන කතා කිරීම මොළයට උත්තේජනයක් වුවත් එයින් ඔබ්බට ප්‍රායෝගිකව වැඩක් නැහැ. සමහර විට මේ තත්ත්වය ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්.

      අජිත්, Dark සීරීස් එක බලල තියෙනවද?

      Delete
    2. //අජිත්, Dark සීරීස් එක බලල තියෙනවද?/ ඔව් සෑහෙන කාලෙකට කලින්. ජර්මන් සීරිස් එකනේ.

      Delete
    3. ඔව්. මම හිතාගෙන හිටියේ සීරීස් 3 ආවේ පහුගිය අවුරුද්දේ කියලා. සමහර විට ජර්මන් වර්ෂන් කලින් එන්න ඇති.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: