Saturday, June 3, 2017

සූටි කයියා එළියට ගැනීමෙන් පසු...


ආපනශාලාවකට පැමිණි අයෙක් කිසියම් ආහාරයක් ඇණවුම් කළේය. ඔහු ආහාර ගැනීම අරඹන්නට හදන විටම ගෑරුප්පුව බිම වැටුණේය. වේටර් වරයකුට කතා කළ ඔහු අලුත් ගෑරුප්පුවක් ඉල්ලා සිටියේය. සිය නිල ඇඳුමේ සාක්කුවට අත දැමූ වේටර්වරයා සිය පාරිභෝගිකයාට වහාම ගෑරුප්පුවක් ලබා දුන්නේය.

ගෑරුප්පුවක් රැගෙන එන්නට කුස්සියට නොගොස් වේටර්වරයා විසින් වහාම එය ලබාදීම පාරිභෝගිකයාව සතුටටද, මවිතයටද පත් කළේය.

"ඔයා හැම වෙලාවෙම අමතර ගෑරුප්පුවක් සාක්කුවෙ දාගෙන ඉන්නවද?"

"මගේ විතරක් නෙමෙයි, සර්! අපේ රෙස්ටොරන්ට් එකේ හැම වේටර් කෙනෙක්ගෙම සාක්කුවේ අමතර ගෑරුප්පුවක් වගේම අමතර හැන්දකුත් තියෙනවා!"

"මරුනේ! කාගෙ අදහසක්ද මේක?"

"පහුගිය මාසේ අපේ මුදලාලි රෙස්ටොරන්ට් එකේ ප්‍රොඩක්ටිවිටි එක ඉම්ප්රූ කරන්න උපදෙස් ගන්න කන්සල්ටන්ට් කෙනෙක්ව හයර් කළා. ඉතිං මිනිහා සති ගාණක් මේ රෙස්ටොරන්ට් එකේ වැඩ කෙරෙන හැටි බලා හිටියා. එයා දැකල තිබුණු දෙයක් තමයි අපේ කස්ටමර්ස්ලාගෙන් පහෙන් එකක් විතරම හැන්දක් හරි ගෑරුප්පුවක් බිම වට්ටලා අලුත් එකක් ඉල්ලන බව."

"ඉතිං?"

"එක වේටර් කෙනෙක් කුස්සියට ගිහින් හැන්දක් හරි ගෑරුප්පුවක් හරි ගේන්න මිනිත්තු දෙකහමාරක් යනවා. අපේ රෙස්ටොරන්ට් එකට දවසකට කස්ටමර්ස්ලා දාහක් විතර එනවා. එතකොට මේ හැඳි ගෑරුප්පු බිම වැටීම නිසාම දවසකට වේටර්ලාගේ පැය අටක් පමණ නාස්ති වෙනවා. කන්සල්ටන්ට් පෙන්නල දුන්න විදිහට හැම වේටර්ටම අමතර හැන්දක් හා ගෑරුප්පුවක් ළඟ තබාගන්න දීමෙන් අපට එක වේටර් කෙනෙක්ව අයින් කරන්න පුළුවන් වුණා."

"නියම අදහසක්නේ! එයා ඒ වගේ යෝජනා වෙන මුකුත් කළේ නැද්ද?"

ගෑරුප්පුවෙන් ඇන මස් කෑල්ලක් කටට ඔබාගන්නා ගමන් පාරිභෝගිකයා අසයි.

"ඇයි නැත්තේ? සර්ට පේනවද මගෙ කමිසේ යටින් නූලක් එල්ලෙනවා."

"මම දැක්කා. අනිත් වේටර්ලගේත් එහෙම නූලක් එල්ලෙනවා නේද?"

"ඔවු. මේකත් ඒ කන්සල්ටන්ට්ගේම අදහසක්. එයාගේ ගණන් හැදීම් අනුව එක වේටර් කෙනෙක් පැය දෙකකට වරක් මුත්‍රා කරන්න වැසිකිලියට යනවා."

"ඉතිං?"

"ඉතිං වැඩේ ඉවර කරලා අත් සෝදාගන්න ඕනැනේ. ඒකට සාමාන්‍යයෙන් විනාඩි තුනක් යනවා."

"ඒක ඉතිං කරන්නම වෙනවනේ?"

"නෑ! කන්සල්ටන්ට් යෝජනා කරපු විදිහට මේ නූල අවශ්‍ය තැනට ගැට ගහල තියෙන්නේ ඒකයි. දැන් අපි මුත්‍රා කරන වෙලාවට අතින් අල්ලන්නේ නැතුව නූලෙන් ඇදල සූටි කයියා එළියට ගන්න පුළුවන්. එතකොට අත හෝදන්න අවශ්‍ය වෙන්නේ නැහැ."

"මරුනේ ඕයි!"

"සර්, තව මොනව හරි ඕනැනම් කියන්න. මම එහා මේසෙට යනවා."

වේටර්වරයා යන්නට හැරුණේය.

"මේ පොඩ්ඩක් ඉන්නවා. දැන් එතකොට නූලෙන් අල්ලල සූටි කයියා එළියට ගත්ත කියමුකෝ...ඕක කොහොමද අතින් නොඅල්ලා ආපහු ඇතුළට දාගන්නේ?"

"අනිත් අයනම් ඕක කොහොම කරනවද කියල මම දන්නෙ නෑ, සර්! මමනම් ඔය වැඩේට සාක්කුවෙ තියෙන අමතර හැන්ද හරි ගෑරුප්පුව හරි තමයි පාවිච්චි කරන්නේ!"

***

ආපනශාලා පාරිභෝගිකයින් විසින් හැඳි හා ගෑරුප්පු බිම වැට්ටවීම මෙය කියවන බොහෝ දෙනෙකු විසින් කලින් අසා තිබෙන්නට ඉඩ ඇති උඩ කතාවේ පෙන්වන තරම් ලොකු ප්‍රශ්නයක් නොවූවත්, සේවකයින් වෙනුවෙන් අවම පිරිවැයක් දරමින් තත්ත්වයෙන් හැකිතාක් ඉහළ සේවාවක් සැපයීම ඉතා තරඟකාරී කර්මාන්තයක් වන ආපනශාලා කර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයින් මුහුණ දෙන ප්‍රශ්නයකි. මේ සඳහා හැකිතාක් අවම වැටුපකට සේවකයින් බඳවා ගන්නට සිදුවේ.

ලංකාවේ ඇතැම් කර්මාන්ත හා අදාළව අවම වැටුප් නියම කර තිබුණත්, එම කර්මාන්ත වල නිරතවන ශ්‍රමිකයින්ට ගෙවන සාමාන්‍ය වැටුප් මේ අවම වැටුප් වලට වඩා බොහෝ වැඩි නිසා ලංකාවේ අවම වැටුප් නීතිවලින් ශ්‍රම වෙළඳපොළ සමතුලිතතාවයට ප්‍රායෝගිකව එතරම් බලපෑමක් සිදු නොවේ. එහෙත්, ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල පවතින්නේ මෙයට වඩා වෙනස් තත්ත්වයකි. ඇමරිකාවේ අවම වැටුප වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලට වඩා වැඩිය. ඒ නිසා, ආපනශාලා කර්මාන්තය වැනි නුපුහුණු ශ්‍රමය අවශ්‍ය කර්මාන්ත වල නියැලෙන ව්‍යවසායකයින්ට ශ්‍රමය මිල දී ගැනීමේදී "නියම මිලට" වඩා වැඩි මිලක් වන අවම වැටුප සිය සේවකයන්ට ගෙවන්නට සිදු වේ.

ශ්‍රම වෙළඳපොළේ ඇති ඉහත අසමතුලිතතාවය නිසා ෆෙඩරල්, ප්‍රාන්ත හෝ ප්‍රාදේශීය පාලකයින් විසින් නියම කර ඇති අවම වැටුපට වඩා අඩුවෙන් වැඩ කරන්නට කැමැත්තෙන් සිටින ඇමරිකානුවන් හා ඇමරිකාවේ පදිංචි විදේශිකයින් බොහෝ දෙනෙකුට රැකියා විරහිතව ඉන්නට සිදුවී තිබේ. මෙහි බලපෑම වැඩිපුරම තිබෙන්නේ ඇමරිකාවේ පදිංචි විදේශිකයින්ටය. නිල සංඛ්‍යාලේඛණ වල දැකිය නොහැකි වුවත්, ආපනශාලා කර්මාන්තයේ විදේශ ආපනශාලා අනු අංශය තුළ මේ අසමතුලිතතාවය සමතුලිත වන ආකාරය පැහැදිලිව  පෙනෙන්නට තිබේ.

ඇමරිකාවේ බොහෝ නගර වල ක්ෂණික ආහාර ආපනශාලා නොවන ආපනශාලා අතරින් අඩුම මිලකට ආහාර වේලක් විකිණෙන්නේ මෙක්සිකන්, චීන, වියට්නාම් ආදී රටවල ආහාර විකුණන එවැනි රටවලින් පැමිණි සංක්‍රමණිකයින් විසින් පවත්වාගෙන යන ලාබ අවන්හල් වලය.

මේ අවන්හල් වල සේවය කරන සේවකයින් බොහෝ දෙනෙකුට කිසිදු වැටුපක් නොලැබේ. එසේ තිබියදී, ඔවුන් මෙසේ සේවය කරන්නේ සන්තෝෂම් ලෙස ලැබෙන මුදල් වලින් පමණක් වුවද ඔවුන් බලාපොරොත්තු වන ශ්‍රමයේ වටිනාකම ලැබෙන නිසාය. එහෙත්, එවැනි සන්තෝෂම් මුදල් වුවද ඔවුන්ට ලැබෙන්නේ ව්‍යවහාර මුදලින් (cash) සන්තෝෂම ලබාදුන් විට පමණි. බොහෝ පාරිභෝගිකයින් විසින් ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවමින් බිල් පතටම එකතු කරන සන්තෝෂම් මුදල් අදාළ සේවකයින්ට ලැබෙන්නට මෙන්ම නොලැබෙන්නටද ඉඩතිබේ. 

අලිඛිත සේවා ගිවිසුමක් අනුව තමන්ට හිමි විය යුතු සන්තෝෂම් මුදල් නොලැබුණු විටෙක පැමිණිලි කිරීමේ හැකියාවක්ද මේ බොහෝ දෙනෙකුට නැත. ඒ, මේ බොහෝ දෙනෙකුට ඇමරිකාවේ රැකියා කිරීමට අවශ්‍ය නීතිමය අවසරයද නැති නිසාය. ඒ නිසා, දේශීය ආදායම් අධිකාරියට බදු ගොනු කිරීමේදී
ඔවුන් උපයන ආදායම වාර්තා වන්නේද නැත.

ඉහත ආකාරයේ අලිඛිත සේවා ගිවිසුම් මත සන්තෝෂම් මුදල් පමණක් වෙනුවෙන් සේවය කරන බොහෝ දෙනෙකු ඇමරිකාවේ විවිධ නගර වලදී මට හමුවී තිබේ. මේ සියලු දෙනාම වාගේ සේවය කරන්නේ සංක්‍රමණිකයෙකු විසින් පවත්වාගෙන යනු ලබන අවන්හලක වීම විශේෂත්වයකි. ඔවුන් සතු ලාබ ශ්‍රමය සමඟ තරඟ කිරීම සිය සේවකයින්ට නිසි ලෙස අවම වැටුප් ගෙවන ව්‍යවසායකයෙකුට කරන්නට අමාරු දෙයකි. ඒ නිසා, මේ ලාබ අන්තයේ ඇති ඇමරිකානු අවන්හල් අතර බොහෝ විට දැකිය හැක්කේ රටපුරා පැතිරුණු ශාඛා ගණනාවක් ඇති මැක්ඩොනල්ඩ්ස් ආකාරයේ ස්වයංසේවා අවන්හල්ය. එවැනි අවන්හල් සිය විශාලත්වයේ වාසිය (economy of scale) හා ස්වයංකරණය මඟින් වෙළඳපොළ තරඟයට මුහුණ දෙයි.

ඇමරිකාවේ ආපනශාලා කර්මාන්තය මුහුණ දෙන්නේ මිල නියාමනයට පමණක් නොවේ. මේ කර්මාන්තයේ ගුණාත්මක භාවයද විශාල ලෙස නියාමනයට යටත් වේ. අවම වැටුප් මෙන්ම අවම තත්ත්ව පාලන අවශ්‍යතාවයන්ද ඇමරිකාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පමණක් නොව නගරයෙන් නගරයට පවා වෙනස් වේ.

උදාහරණයක් ලෙස, වොෂින්ටන් ප්‍රාන්තයේ සියැටල් නගරය අයත් වන කිංග් කවුන්ටිය ආපනශාලා හා අදාළව පුළුල් නියාමන රාමුවක් ක්‍රියාත්මක කරන ප්‍රදේශයකි. මේ කවුන්ටියේ බලධාරීන් විසින් මාස හතරකට පමණ වරක් ප්‍රදේශයේ ඇති ආපනශාලා පරීක්ෂා කරමින් ලකුණු දීමක් කරයි. මේ ක්‍රමය අනුව ලකුණු ලැබෙන්නේ වැරදි හෝ අඩුපාඩු වලටය. කිසිදු වැරැද්දක් නැත්නම් ලකුණු ගණන බිංදුවකි.

වැරැද්දේ හෝ අඩුපාඩුවේ ස්වභාවය අනුව ලකුණු ගණන වෙනස් වනවාට අමතරව, රතු වැරදි හා නිල් වැරදි වශයෙන්ද වර්ගීකරණයක්ද කෙරේ. මුළු ලකුණු ගණන අනුව අවන්හලක් ඉතා හොඳ, හොඳ, සාමාන්‍ය හා අඩුපාඩු සහිත ලෙස වර්ග කෙරේ. කිසියම් අවන්හලක මේ අවසන් වර්ගීකරණය මෙන්ම, එය පරීක්ෂා කෙරුණු එක් එක් අවස්ථාවේදී දකින්නට ලැබුණු රතු හා නිල් වැරදි පිළිබඳ විස්තර හා ලකුණු ගණන්ද අන්තර්ජාලයෙන් බලාගන්නට පුළුවන.

බලධාරීන් විසින් සිදුකරන පරීක්ෂාවට අමතරව ඕනෑම අයෙකුට අන්තර්ජාලය හරහා (හා වෙනත් ක්‍රමවලින්) පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර ඒ පැමිණිලි සම්බන්ධවද බලධාරීහු ක්‍රියාත්මක වෙති. මහජන සෞඛ්‍යට හානිකර තත්ත්වයක් පෙනෙන්නට ඇත්නම් එවැනි අවන්හලක් වහාම වසාදමන්නට නියෝග කෙරේ. මෙසේ අවන්හලක් වසා දමන්නට තීරණය කරන්නේ වැරැද්ද විශාල එකක් වීම නිසා, එකම වැරැද්ද අවවාද නොතකා දිගටම කිරීම නිසා හෝ සුළු වැරදි විශාල ගණනක් සිදු කිරීම නිසා වන්නට පුළුවන.

එක පැත්තකින් සේවකයින් සඳහා අවම වැටුප් ගෙවන අතරම දැඩි තත්ත්ව පාලන කොන්දේසි වලට මුහුණ දෙමින් අවන්හල් සේවා සපයන ව්‍යවසායකයෙකුට ලාබ ලැබීම විශාල අභියෝගයකි. 2014 වසරේදී සියැටල් නගර සභාව විසින් පණතක් සම්මත කරගනිමින් වසර කිහිපයක් ඇතුළත අවම වැටුප ඩොලර් 10 සිට ඩොලර් 15 පමණ දක්වා ඉහළ දමන්නට තීරණය කළේ මේ  අතරදීය.


ඩිමොක්‍රටික් පක්ෂයට බලය ඇති සියැටල් නගර සභාවේ නියෝජිතයින් අතර ඇමරිකාවේ ක්‍රියාත්මක ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් වන සමාජවාදී විකල්ප පක්ෂයේ සාමාජිකාවක් වූ ක්ෂමා සවන්ත්ද සිටී. ඇය ඇමරිකාවේ එවැනි නියෝජිත තනතුරකට තේරී පත් වී සිටින එම පක්ෂයේ එකම (සාමාජිකයා හෝ) සාමාජිකාවයි.

අවම වැටුප් වැඩිකිරීම යනු ආපනශාලා කර්මාන්තකරුවන්ගේ පිරිවැය ඉහළ යාමයි. විශාල ලාභ නැති තරඟකාරී කර්මාන්තයක පිරිවැය ඉහළ ගිය විට කර්මාන්තයේ කලින් පැවති ලාබ නැති වී යයි. එවිට කර්මාන්තයේ දිගටම රැඳී සිටිය හැක්කේ කිසියම් උපාය මාර්ගික ප්‍රතිචාරයක් දක්වමින් සිය අහිමි වූ ලාබ නැවත හිමි කරගත හැකි අයට පමණි. දේශපාලන තීරණ හේතුවෙන් කර්මාන්තයක පිරිවැය ඉහළ යන හැම විටකම වගේ ව්‍යවසායයන් ගණනක් වැසී ගොස්, ඒවායේ සේවය කළ අයට රැකියා අහිමි වන බව න්‍යායාත්මකව මෙන්ම දත්ත වලින්ද පෙනී යන කරුණකි.

තවමත් ජර්නලයක පළ වී නැති අලුත් හාර්වර්ඩ් පර්යේෂණ පත්‍රිකාවකට (working paper) අනුව, අවම වැටුප ඩොලරයකින් වැඩි වන විට පහළ අන්තයේ ඇති අඩුමිල අවන්හලක් වැසීයාමට ඇති ඉඩකඩ 14%කින් ඉහළ යයි. අවන්හලක් වැසීයාම යනු සේවකයින් ගණනකට රැකියා අහිමිවීමකි.

අවම වැටුප් වැඩි වෙද්දී තවදුරටත් කර්මාන්තයේ රැඳී සිටින අය එසේ කරන්නේ කෙසේද? ලාබ පවත්වාගත හැකි එක් ක්‍රමයක් වන්නේ මිල ඉහළ දැමීමයි. එහෙත්, එසේ කළ විට මේ අඩු මිල අවන්හල් වලට එන පාරිභෝගිකයින්ට අඩුමිල අවන්හල් හා වඩා හොඳ අවන්හල් අතර මිල වෙනස පෙර තරම් විශාල නොවන බව පෙනෙන නිසා ඔවුන් බොහෝ දෙනෙක් වඩා හොඳ අවන්හල් වෙත යයි. අවම වැටුප් ඉක්මවන වැටුප් ගෙවන වඩා හොඳ අවන්හල් වලට අවම වැටුප් වැඩිවීමේ බලපෑමක් නැති නිසා ඔවුන්ට මිල වැඩි කිරීමට අවශ්‍යතාවයක් නැත. මිල වැඩි කරන විට ලාබ ආන්තිකය වැඩිවුවත් ඊට වඩා වැඩියෙන් පාරිභෝගිකයින් ගණන අඩුවේනම් ලාබ වැඩි නොවේ. අඩුමිල අවන්හල් හා අදාළ තත්ත්වය මෙවැන්නකි. ඒ නිසා මිල වැඩි කිරීම එක්තරා සීමාවකින් ඔබ්බට හරියන උපාය මාර්ගයක් නොවේ.

මිල වැඩි කළ නොහැකිනම් කරන්නට වෙන්නේ පිරිවැය අඩු කර ගැනීමයි. එය කළ හැක්කේ සේවක පිරිස් අඩු කිරීමෙනි. මේ නිසා, අවම වැටුප් ඉහළ යන විට රැකියා නැති වන්නේ වැසීයන අවන්හල් වල සේවය කළ පිරිස් වලට පමණක් නොවේ. දිගටම කර්මාන්තයේ රැඳී සිටින අවන්හල් වල සේවය කළ විශාල පිරිසකටද රැකියා අහිමි වේ.

සේවකයින් අඩු කළ විට කලින් කළ වැඩ කරන්නට පිරිස් මදි වේ. මෙයට එක් විසඳුමක් වන්නේ ස්වයංකරණය වෙත යොමු වීමයි. ශාඛා ගණනාවක් ඇති මැක්ඩොනල්ඩ්ස් ආකෘතියේ අවන්හල් හැරුණු විට අනෙක් අඩු මිල අවන්හල් වලට ස්වයංකරණය වෙනුවෙන් ආයෝජනය කිරීමට ඇත්තේද සීමිත හැකියාවකි. ඒ නිසා, මේ කුඩා අවන්හල් බොහොමයක්ම යොමු වන්නේ තෙවන විකල්පය වන ගුණාත්මක භාවය පහත හෙලීම කෙරෙහිය.

ගුණාත්මක භාවය පහත හෙලීමේද සීමාවන් තිබේ. ලොකු වැරදි කළොත් නියාමනයේ හස්තයට අසුවී ව්‍යාපාරය වසා දමන්නට සිදුවේ. ඒ නිසා, 'රතු වැරදි' සිදු නොවන්නට සැලකිලිමත් විය යුතු වුවත් 'නිල් වැරදි' සිදුවීමෙන් විය හැකි හානිය එතරම්ම වැඩි නැත. දත්ත අනුව පෙනී යන්නේ අවම වැටුප් වැඩිවන හැම විටකම ආහාර වල ගුණාත්මක භාවයට (සුරක්ෂිතතාවට) විශාල ලෙස බලපාන කරුණු ගැන පමණක් සැලකිලිමත් වෙමින් "පොඩි අතපසුවීම්" නොසලකා හරින්නට ආපනශාලා පරිපාලකයින් පෙළඹෙන බවයි.


සමීක්ෂණ ප්‍රතිඵල අනුව පෙනෙන පරිදි, ගැහැණුන්ගෙන් 40%ක් හා පිරිමින්ගෙන් 62%ක් වැසිකිලි යාමෙන් පසු අත් සේදීම ගැන වද නොවන අතර, වසර කිහිපයකට පෙර පළ කෙරුණු පර්යේෂණ පත්‍රිකාවකට අනුව,  යොදාගත් නියැදියේ සිටි එසේ අත සෝදන අය අතරින්ද 95%ක්ම නිසි ලෙස විෂබීජහරණය වන පරිදි එය කරන්නේ නැත. අවම වැටුප ඉහළ යන හැම විටකම සිදුවන්නේ වේටර් කෙනෙකු මුත්‍රා කිරීමෙන් පසුව නිසි ලෙස අත සෝදා විෂබීජහරණය කිරීමේ ඉඩකඩ තවත් පහළ යාමයි.

මෙය මෙසේ කීවත් මෙය ලංකාවේ බොහෝ දෙනෙකු සංවේදී නැති කරුණක් වන්නටද පුළුවන. මුත්‍රා කරන්නට පවා පහසුකම් නැති තැනකදී අත සේදීම ගැන කතාකිරීම තේරුමක් නැති දෙයකි.

දැන් තත්ත්වය වෙනස් වී තිබෙන්නට ඉඩ ඇතත් මා පාසැල් යන කාලයේදී මෙන්ම සරසවියේ සිටි කාලයේදීද පුරුද්දක් වශයෙන් මුත්‍රා කිරීමෙන් පසු නොවරවා අත සෝදන අයෙකු සිටියේනම් ඔහු හොඳ බයිට් එකක් වනු නොඅනුමානය. පිරිමියෙක් විසින් කොහේ හෝ අයිනකට මුත්‍රා කිරීම වසර පහළොවකට විස්සකට පෙරද ඉතාම සාමාන්‍ය දෙයක් විය. මේ තත්ත්වය දැන් සෑහෙන දුරට වෙනස් වී තිබේ. මෙවැනි දසුනක් ඇස ගැටුණු බටහිර රටකින් පැමිණි සංචාරකයෙකු විසින් හඳුනා ගන්නා ලංකාව, පාරවල් අයිනේ පෝලිමට මළපහ කරන්නන් සිටින බව බොහෝ දෙනෙක් කියන ඉන්දියාවෙන් වෙනස් වන්නට ඇත්තේ සුළු ඉඩකි.

ඇමරිකාවේ පාරවල් අයිනේ මලපහ කරන අය හෝ මුත්‍රා කරන අය දකින්නට නැත්තේ නීති තද නිසා හෝ ඇමරිකානුවන් ස්වභාවයෙන්ම ශිෂ්ඨ සම්පන්න නිසාම නොවේ. ඇමරිකානු සමාජය දිගු කලක් තිස්සේ එවැනි තැනක් දක්වා පරිණාමය වී ඇති බැවිනි. ඒ පරිණාමය ලංකාවේ මෙන්ම ඉන්දියාවේද සිදුවේ. ඇමරිකාවේ පාරවල් අයිනේ මලපහ කරන අය හෝ මුත්‍රා කරන අය දකින්නට නැතත්, ඇමරිකානුවන් සෑහෙන දෙනෙකු තවමත් මුත්‍රා කිරීමෙන් පසු අත නොසෝදති. එහෙත්, මේ තත්ත්වය සීඝ්‍රයෙන් වෙනස් වේ.

ලංකාවේ පාර අයිනේ මුත්‍රා කිරීමට නොපැකිලුණු කෙනෙක් හෝ පාර අයිනේ මළපහ කර ඇති ඉන්දියානුවෙක් ඇමරිකාවට පැමිණි පසු එසේ කරන්නේ නැත. නීති රීති වල වෙනස්කම් වලට වඩා මෙයට බලපාන්නේ සාම්‍ය පීඩනයයි (peer pressure). ආර්ජන්ටිනා පර්යේෂක කණ්ඩායමක් විසින් 'ඉකොනොමික් ඉන්ක්වයරි' සඟරාවේ අලුත්ම කලාපයේ පළ කර ඇති ලිපියකට අනුව වෙනත් අයෙකු මුත්‍රා කිරීමෙන් පසුව අත සෝදනු දැකීම නිසා ඇති වන සාම්‍ය පීඩනය යමෙක් මුත්‍රා කර අත සේදීමේ සම්භාවිතාව 13%කින් වැඩි කරයි.

සමාජයක් එකවර වෙනස් වන්නේ නැත. එහෙත්, තනි පුද්ගලයින් කරන දේවල් වෙනත් අයද අනුගමනය කිරීමට පෙළඹෙන අතර, මෙසේ අනුගමනය කරන ප්‍රමාණය එක් සීමාවකට පැමිණි විට සාම්‍ය පීඩනය ඉතා වැඩි නිසා ඉතා කෙටි කලක් තුළ සමාජය විශාල පරිවර්තනයකට ලක් වේ. මෙය හොඳ අතට මෙන්ම නරක අතට වුවත් සිදුවන්නට පුළුවන.


***

"සර්, තව මොනව හරි ඕනැද? නැත්නම් බිල ගේන්නද?"

"බිල ගේන්න. හැබැයි ඊට කලින් මට තව එක දෙයක් අහන්න තියෙනවා..."

"අහන්න, සර්!"

"තමුසෙ කාගෙන්ද අර සූටි කයියා වචනේ අල්ල ගත්තේ?"

"ඒකද , සර්? ඒක ටිකක් පරණ කතාවක්. මෙතන වැඩට එන්න කලින් ඉලන්දාරියා කාලේ මං අභයගිරි ප්‍රොජෙට්ටේකේ වැඩ කළා. ඕක එතැන වැඩ කරපු මහත්තේක්ගේ වචනයක්!"

"මරු වචනයක්නේ ඕයි!"

"අපෝ, ඔය මනුස්සයාගේ වචන ගැනනං කියල වැඩක් නෑ. ඔන්න දැන් ටික කාලෙක ඉඳල නිදහස් සිතුවිලි කියල බ්ලොග් එකකුත් ලියනවා.."

"එතකොට තමුසේ බ්ලොග් පාඨකයෙක්?"

"ඉස්සර කියෙවුවා. පස්සේ නැවැත්තුවා. අර කන්සල්ටන්ට් උන්නැහේ අපේ මුදලාලිට කියලනේ වැඩ කරන අය බ්ලොග් කියෝන එක නවත්ත ගත්තොත් සේවකයො බාගයක්ම අයින් කරල රෙස්ටෝරන්ට් එක අමාරුවක් නැතුව දුවවන්න පුළුවන් කියල.."

11 comments:

  1. සාකච්චා කර තිබෙන්නේ අවම වැටුප ඉහල දැමීමෙන් වෙළඳ ව්‍යාපාරවලට සිදුවන බලපෑම වුනත් මම තාම හිනාවෙන්නේ කන්සල්ටන්ට්ලගේ එලියට ගැනීම සඳහා මොලේ ඇතුලට දාගන්න ක්‍රමයක් නැති එක ගැනයි.

    ReplyDelete
    Replies
    1. කන්සල්ටන්ට්ලගේ උපදෙස් වල සමහර වෙලාවට ඔය වගේ අවුල් තියෙනවා. :)

      Delete
  2. ඉකෝන් බඩදිය බෑවට පස්සෙ අත විතරය හෝදන්නෙ? සෙක්..සූටි කයියගෙ තොංගලත් හෝදන්ට එපාය...

    මම ඒ වැඩේ කරන්නෙ මෙහෙමයි...බඩදිය බාල අහක වෙලා යුරිනල් එකෙන් අඩියක් පස්සට වෙනව. යුරිනල් එකට වතුර එන්නෙ එතකොට (ඒකෙ තියනව මූව්මන්ට් සෙන්සර් එකක්) වතුර එනකොටම ඉස්සරහට පැනල සූටි කයිය හෝද ගන්නව. ඉකෝනුත් එහෙම කරල බලන්ටකො...සෝක් වැඩේ...:)

    අපෙ අත්තම්ම හිටියනං උන්දැගෙ ඉහේ මලක් පිපෙයි මං මෙහෙම කිව්වම.."ආං අත්තම්මෙ අත්තම්මගෙ වචනයක් ඇමරිකාවටත් ගිහිල්ල" ඒත් එහෙම කිව්වම මගෙ ඔලුව නරක්වෙනව අත්තම්මට ඇමරිකාව කොහෙද තියෙන්නෙ කියල තේරුං කරන්ට ගියාම...උන්දැ දන්නෙ දඹදිවයි ඒරොප්පෙයි විතරයි.

    ඒ කාලෙ මම ඔය මහ රෑ ඇහැරගෙන ක්‍රිකට් මැච් අහනවනෙ. වෙස්ට් ඉන්ඩීස් වල මැච් පටංගන්නෙ ලංකාවෙ වෙලාවෙං රෑ දහයට වගෙ. ඉතිං මට නිවනක් නෑ උන්දැට විස්තර කරල දීල වෙස්ට් ඉන්ඩීස් තියෙන්නෙ කොහෙද? මේ මහ රෑ එහෙ ක්‍රිකට් ගහන්නෙ කොහොමද කියල...හෙහ්,හෙහ්,

    මම ඔය වෙලාවට කරන්නෙ මා ගාව තිබ්බ ලෝක බෝලෙ ගෙනල්ල විස්තර කරල දෙනව. එකක් තියෙන්නෙ උන්දැගෙ මීටරේ නියමයි.ටක් ගාල අල්ල ගන්නව.හෙහ්,හෙහ්..මම හිතන්නෙ ඉස්කොලෙ එහෙම ගියානං හොඳ තැනකට එයි ආය දෙකක් නැතුව...ඒ විස්තරේ ආයම ලියන්නං.....:)

    ReplyDelete
    Replies
    1. සනීපාරක්ෂාව අතින් ඉස්ලාම් ලබ්ධිකයින් හා මුස්ලිම් රටවල් මුල සිටම ටිකක් ඉදිරියෙනුයි හිටියේ.

      මෙතඩ් එක නරක නෑ. :)

      Delete
  3. ඒරොප්පේ කියන වචනෙත් අර කලිං කොහෙද කියල තිබ්බා වගේ Europe කියනෙක අපේ උන් හරවා ගත්ත විදිය නේද? :)

    ReplyDelete
    Replies
    1. පෘතුගීසි භාෂාවෙන් යුරෝපයට කියන වචනය (Europa) ශබ්ද වෙන්නේ ඉයුරොප්පා කියලා. එය තමයි ඒරොප්පේ වෙලා තියෙන්නේ.

      Delete
  4. යූඑස්ඒවල සුළු රාජකාරි කරන සේවකයින්ව පත්කර ඇති හිඟන තත්වය නම් ශෝචනීයයි බ්‍රෝ.

    ශ්‍රම සූරාකෑමේ උපරිමය.

    ReplyDelete
  5. ඇමෙරිකාව තුල පාරේ මල මූත්‍ර පහකරන්නන් නැති වීමට හේතුව එහි ඇති ඇංග්ලිකන් සංස්කෘතික ආධිපත්‍යය විය හැකියි.
    ඉහත ආකාරයේ සංස්කෘතිවල අය ඇමෙරිකාවේදී ඇංග්ලිකන් සංස්කෘතියට ඇති බය නිසා තම අවශ්‍යතා යටපත්කරගනියි.
    එය සාම්‍ය පීඩනයට වඩා ප්‍රබලයි

    ReplyDelete
    Replies
    1. ඇංග්ලිකන් සංස්කෘතිය හෝ ඇංග්ලිකන් සංස්කෘතික ආධිපත්‍යය කියා වෙනස් නොවන නිශ්චිත දෙයක් නැහැ. එය පරිණාමය වන දෙයක්. (සංස්කෘතියකට අදාළ ලේසියෙන් වෙනස් නොවන මූලික දේවල් තිබෙන බව ඇත්ත) සියවසකට පමණ පෙර ඇංග්ලිකන් සංස්කෘතිය තුළ ජීවත් වූ අය හැසිරී තිබෙන්නේ අද පවතින ඇන්ග්ලිකන් සංස්කෘතියට සාපේක්ෂව "ශිෂ්ඨ සම්පන්න" ලෙස නෙමෙයි. ඒ වගේම සාම්‍ය පීඩනය කියන්නේ සංස්කෘතික පීඩනය ක්‍රියාත්මක වන එක් ආකාරයක්. ඒ නිසා ඔබ සමඟ යම් තරමකින් එකඟ විය හැකියි.

      Delete
  6. Suuti Kayiyaa ha ha virudhDha padhaya suuti kichiya

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget