වෙබ් ලිපිනය:

Sunday, April 21, 2024

ණයහිමියන්ගේ උපාය මාර්ගය


ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් අතර සාකච්ඡා දැනට නැවතිලා තිබෙන තැනට ආපහු ගියොත්, ලංකාවේ අනාගත ණය ගෙවීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වයේ තක්සේරු අතර වෙනසක් දකින්න පුළුවන්. ණයහිමියන් විශ්වාස කරන විදිහට ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ලංකාව විසින් සහ IMF එක විසින් පෙන්වනවාට වඩා වැඩියි.

අලුත්ම (2023 දෙසැම්බර්) IMF ඇස්තමේන්තු අනුව, 2023-2027 අතර කාලයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය පහත පරිදියි. 

2023 - ඇමරිකානු ඩොලර් බිලියන 83.2

2024 - ඇමරිකානු ඩොලර් බිලියන 81.6

2025 - ඇමරිකානු ඩොලර් බිලියන 81.8

2026 - ඇමරිකානු ඩොලර් බිලියන 83.4

2027 - ඇමරිකානු ඩොලර් බිලියන 87.2

2025-2027 සාමාන්‍ය අගය - ඇමරිකානු ඩොලර් බිලියන 84.2

මෙම ඇස්තමේන්තු අවුරුද්දකට කලින්, 2023 මාර්තු වලදී, IMF එක විසින්ම හදා තිබුණු ඇස්තමේන්තු වලට වඩා වැඩියි. පහත තියෙන්නේ එම ඇස්තමේන්තු.

2023 - ඇමරිකානු ඩොලර් බිලියන 75.3

2024 - ඇමරිකානු ඩොලර් බිලියන 76.0

2025 - ඇමරිකානු ඩොලර් බිලියන 78.4

2026 - ඇමරිකානු ඩොලර් බිලියන 81.3

2027 - ඇමරිකානු ඩොලර් බිලියන 85.0

2025-2027 සාමාන්‍ය අගය - ඇමරිකානු ඩොලර් බිලියන 81.6

ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියෝ කියන්නේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය ඇමරිකානු ඩොලර් බිලියන 96.3ක් වෙයි කියලා. එහෙම වෙන්න පුලුවන්ද?

ඔය අගය, ඒ කියන්නේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය, IMF එක කියන ඇමරිකානු ඩොලර් බිලියන 84.2 වුනොත්, 28%ක ණය කප්පාදුවක් කරන්න ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියෝ කැමතියි. මොකද එහෙම ණය කප්පාදුවක් නොකර ලංකාවට තිරසාර ලෙස ණය ගෙවාගෙන යන්න බැරි නිසා. හැබැයි මේ අගය ඇමරිකානු ඩොලර් බිලියන 96.3ක් වුනොත් ලංකාවට ඔය තරම් කප්පාදුවක් නොකළත් ණය ආපහු ගෙවන්න පුළුවන්. ඒ නිසා, කප්පාදුව 7.3%කට සීමා විය යුතුයි. ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන්ගේ තර්කය ඒක.

දැන් ඔය IMF ඇස්තමේන්තුව හරියයි කියලා ලංකාවට හොඳටම විශ්වාසනම් බයක් සැකක් නැතුව ණයහිමියන්ගේ යෝජනාවට කැමති වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ණයහිමියන්ගේ ඇස්තමේන්තුව නිවැරදි වෙන්න තිබෙන ඉඩකඩ වඩා වැඩියි.

ඔය IMF ඇස්තමේන්තු හදන විට දැනගෙන නොසිටියත් 2023 ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය දැන් අපි දන්නවා. එම අගය ඩොලර් මිලියන 84.5ක්. එම අගය IMF එකේ 2023 මාර්තු ඇස්තමේන්තුව වූ ඩොලර් බිලියන 75.3ට වගේම දෙසැම්බර් ඇස්තමේන්තුව වූ ඩොලර් බිලියන 83.2ටත් වඩා වැඩියි. ඒ වුනත්, දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය ඩොලර් බිලියන 96.3ක් තරම්ම වැඩි වෙන්න පුලුවන්ද?

දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වෙන්න හේතු තුනක් බලපානවා.

1. මූර්ත ආර්ථික වර්ධනය 

2. මිල මට්ටමේ වෙනස් වීම (උද්ධමනය)

2. ඩොලරයක මිල වෙනස් වීම 

ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් විසින් යෝජනා කරන අලුත් ණය උපකරණ වර්ගයට ආර්ථික වර්ධනය හා බැඳුනු බැඳුම්කර කියන්නේ නැතිව සාර්ව ආර්ථිකය හා බැඳුනු බැඳුම්කර කියන හේතුවත් මේ අනුව පැහැදිලි විය යුතුයි. ආර්ථිකයේ මූර්ත අංශයේ ප්‍රසාරණය නිරූපණය කරන ආර්ථික වර්ධන වේගය ඉහත හේතු තුනෙන් එකක් පමණයි. මිල මට්ටම වැඩි වීම මගින් රටේ මුදල් අංශයේ ප්‍රසාරණය නිරූපණය වෙනවා. ඩොලරයක මිල වෙනස් වීම මගින් රටේ විදේශ අංශය ශක්තිමත් වීම හෝ දුර්වල වීම නිරූපණය වෙනවා. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයේ වෙනස් වීමට රටේ මූර්ත, මුදල් හා විදේශ අංශ තුනේම සිදු වන දේවල් බලපානවා.

පහත තියෙන්නේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධව IMF එකේ 2023 මාර්තු පුරෝකථන.

2023 -  (-3.0)

2024 - 1.5

2025 - 2.6

2026 - 3.0

2027 - 3.1

මිල මට්ටමේ වෙනස් වීම පුරෝකථනය කරලා තිබුණේ මේ විදිහටයි.

2023 -  30.0

2024 - 10.7

2025 - 5.2

2026 - 5.1

2027 - 5.0

මේ අනුව, නාමික ආර්ථික වර්ධන වේගය මේ විදිහට පුරෝකථනය කරලා තිබුණා.

2023 -  26.0

2024 - 12.3

2025 - 8.3

2026 - 8.4

2027 - 8.3

ඩොලරයක මිල පුරෝකථනය කරලා තිබුණේ මෙහෙමයි.

2023 - 396

2024 - 441

2025 - 462

2026 - 484

2027 - 502

ඔය ඇස්තමේන්තු 2023 දෙසැම්බර් වෙද්දී මේ විදිහට වෙනස් වෙනවා. මුලින්ම ආර්ථික වර්ධන වේගය.

2023 -  (-3.6)

2024 - 1.8

2025 - 2.7

2026 - 3.0

2027 - 3.1

ඊළඟට මිල මට්ටමේ වෙනස් වීම.

2023 - 20.4

2024 - 10.1

2025 - 6.3

2026 - 5.4

2027 - 5.3

මේ අනුව, 2023 දෙසැම්බර් වෙද්දී නාමික ආර්ථික වර්ධන වේගය පිළිබඳ ඇස්තමේන්තු මේ විදිහට වෙනස් වෙලා තිබුණා.

2023 - 16.1

2024 - 12.1

2025 - 9.1

2026 - 8.6

2027 - 8.5

හොඳින් පරීක්ෂා කර බැලුවොත් ආර්ථික වර්ධන ඇස්තමේන්තු තරමක් එහා මෙහා වෙලා තිබුණත් ලොකු වෙනසක් නැහැ. උද්ධමන ඇස්තමේන්තු වලත් විශාල වෙනසක් නැහැ. ඒ නිසා, නාමික ආර්ථික වර්ධන වේගය පිළිබඳ ඇස්තමේන්තු වලත් විශාල වෙනසක් වෙලා නැහැ. එහෙමනම්, දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය පිළිබඳ ඇස්තමේන්තු වෙනස් වුනේ කොහොමද?

මේ වෙනස් වීමට ලොකුවටම බලපා තියෙන්නේ ඩොලරයක මිල පිළිබඳ ඇස්තමේන්තු.

2023 - 334

2024 - 385

2025 - 419

2026 - 446

2027 - 463

දැන් අපි 2023 දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳව හරියටම දන්නවනේ. ඔය පුරෝකථන සහ සැබෑ අගයන් කොයි තරම් සමීපද?

ආර්ථික වර්ධන වේගය: (-2.3)

මිල මට්ටම වෙනස් වීම: 17.5

නාමික ආර්ථික වර්ධන වේගය: 14.8

ඩොලරයක මිල: 327

දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය: 84.5

නාමික ආර්ථික වර්ධන වේගය දෙසැම්බර් ඇස්තමේන්තුවට වඩා තරමක් අඩු වෙලා වුනත්, ඩොලරයක මිල ඇස්තමේන්තුවට වඩා අඩු වීම නිසා දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය තරමක් වැඩි වෙලා තිබෙනවා. 

දැන් මේ අගය IMF ඇස්තමේන්තු වල විදිහට 2025-2027 අතර කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන 84.2 මට්ටමේ තියෙයිද? එහෙම නැත්නම් බැඳුම්කර හිමියෝ හිතන විදිහට ඩොලර් බිලියන 96.3 මට්ටමට යයිද? 

මෙය තීරණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඩොලරයක මිල වෙනස් වීම මතයි. මුලින් IMF එක විසින් ඇස්තමේන්තු කර තිබුණු විදිහට 2027දී ඩොලරයක මිල රුපියල් 502ක් නොවුනත්, සංශෝධිත ඇස්තමේන්තු වල විදිහට රුපියල් 463 මට්ටමට යයිද? 

මේ අවුරුද්දේ මාස තුනහමාරක් යද්දී ඩොලරයක මිල රුපියල් 300 මට්ටමට බැහැලා. එහෙමනම් මේ අවුරුද්දේ සාමාන්‍ය අගය රුපියල් 385 දක්වා යයිද? ඩොලරයක මිල මේ අවුරුද්දේ ඒ තරම් ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ. ඒ වගේම, උද්ධමනය දැනටමත් 5% මට්ටමේ ස්ථාවර වෙලා. මහ බැංකුවට උද්ධමනය ඒ මට්ටමේ තියා ගැනීමට දැන් නීතිමය වගකීමක් තියෙනවා.

අපි හිතමු උද්ධමනය දිගටම 5% මට්ටමේ තිබිලා ආර්ථික වර්ධන වේගය IMF දෙසැම්බර් පුරෝකථන වලට කිට්ටුවෙන් යයි කියලා. එහෙම වෙද්දී ඩොලරයක මිල පහත ආකාරයෙන් වෙනස් වුනා කියලා හිතමු.

2024 - 320

2025 - 335

2026 - 360

2027 - 390

ඔය වගේ තත්ත්වයක් යටතේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වෙන්නේ මෙහෙමයි. 

2023 - ඇමරිකානු ඩොලර් බිලියන 84.5

2024 - ඇමරිකානු ඩොලර් බිලියන 92.3

2025 - ඇමරිකානු ඩොලර් බිලියන 95.1

2026 - ඇමරිකානු ඩොලර් බිලියන 95.7

2027 - ඇමරිකානු ඩොලර් බිලියන 98.1

2025-2027 සාමාන්‍ය අගය - ඇමරිකානු ඩොලර් බිලියන 96.3

ඒ කියන්නේ ඩොලරයක මිල ඉහත ආකාරයෙන් වෙනස් වුනොත් ණයහිමියන්ගේ ඇස්තමේන්තුව පහසුවෙන්ම හරියන්න පුළුවන්. දැන් ප්‍රශ්නය ඩොලරයක මිල ඔය මට්ටම් වල තියෙයිද?

මෙය තීරණය වෙන්නේ ඉදිරි වසර වලදී රටට ගලා එන විදේශ විණිමය ප්‍රවාහ මත. එම විදේශ විණිමය ප්‍රවාහ යහපත් මට්ටමක තිබුණොත් ඩොලරයක මිල ඔය මට්ටම් වල තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩොලරයක මිල IMF පුරෝකථන වල මට්ටමට ඉහළ යන්න පුළුවන්.

ඉදිරි වසර වලදී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වෙන්නේ ආර්ථික වර්ධනය අනුව හෝ උද්ධමනය අනුව නෙමෙයි. ඒවා ලොකුවට වෙනස් වීමේ ඉඩක් නැහැ. මේ අගය ලොකුවට වෙනස් විය හැක්කේ ඩොලරයක මිල වෙනස් වීම අනුවයි. එය සිදු වන්නේ රටට ගලා එන විදේශ විණිමය ප්‍රවාහ අනුවයි. 

ණයහිමියෝ මෝඩයෝ නෙමෙයිනේ. ඒ අය ඔය තත්ත්වය නිවැරදිව හඳුනා ගෙන තිබෙනවා. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වැඩි වුනොත් වැඩියෙන් ණය ආපසු ගෙවිය යුතුයි කියා කියන එකෙන් ඔවුන් අදහස් කරන්නේ ඉදිරි වසර වලදී රටට වැඩියෙන් විදේශ විණිමය ප්‍රවාහ ගලා ආවොත් ඒ විදේශ විණිමය යොදාගෙන ඔවුන්ගේ ණය වලින් වඩා වැඩි කොටසක් ගෙවන්න කියන එකයි. 

එහෙම වැඩියෙන් විදේශ විණිමය ප්‍රවාහ රටට ගලා ආවේ නැත්නම් ඔවුන්ට කොහොමටවත්ම තමන්ගේ ණය වලින් ලොකු කොටසක් ආපහු ගන්න බැහැ. දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය අඩුනම් වැඩි ණය කප්පාදුවකට ඔවුන් නොපැකිල කැමති වෙන්නේ ඒ නිසා.

10 comments:

  1. රනියට ගෙදර ගියොත් තෝ නසී සීන් එකක්ද වෙලා තියෙන්නෙ?
    චන්ද බලාගෙන ඩොලර් එක බස්සන එකෙන් ණයකාරයො ගොඩ යන සීන් එකක්ද තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඡන්ද බලාගෙන ආණ්ඩුව කරන එකක් නෙවෙයි මේ රුපියල අධිප්රමාණ වීම, ඇත්තටම මේක ඉබේටම වෙන දෙයක්, ලංකාවේ 2022 ආර්ථික අර්බුදය ඇතිවුණේ ප්‍රධාන හේතුව 2019 පාස්කුවේ සිට 2020/21 කොවිඩ් සහ 2022 අරගලය සමග ලංකාවේ සංචාරක කර්මාන්තය එකදිගට වසර පහකට දැඩි ලෙස බිඳවැටීම සමග වාර්ෂිකව ඩොලර් බිලියන පහ බැගින් ඩොලර් බිලියන 20කට ආසන්න ආදායමක් අහිමි වීම සහ 2017-19 කාලේ රනිල්ම මැදිහත්වී අධික පොළියට ගත්ත ISB ණය වල වාරික වසරකට ඩොලර් බිලියන හයක් හතක් ගෙවන්නට සිදුව තිබීම

      දැන් ඔය ප්‍රශ්න දෙකම විසදී ආදායම නැවත යථාතත්වයට පත්වී ණය ගෙවීම කල් දමාගෙන ඇති නිසා සහ වාහන වැනි අධික ලෙස ඩොලර් වැයවන දේ තහනම්ව ඇති නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල දිගටම වැඩි වෙනවා

      ඡන්ද බලාගෙන කරනවා නම් මේ වසරේ විතරයි ඡන්දෙන් පස්සේ ඕක නොකර ඉන්න පුළුවන් නමුත් මෙතන ඇත්තටම වෙන්නේ වෙන දෙයක්, මේ රුපියල ඉහල අගයක දිගටම පවත්වාගෙන යන්නට වී ඇති නිසායි මෙහි ඇති ප්‍රශ්නය, එවිට GDP එකේ ඩොලර් අගය නිකම්ම ඉහල යනවා ආර්ථිකය වර්ධනය නොවුණත්

      Delete
    2. @ Ano

      ඔබේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත ඒ සමග එකඟයි, නමුත් ලංකාවේ විනිමය අනුපාතය තීරණය වන්නේ වෙළඳ පොළේ ඉල්ලුම සැපයුම අනුව වුවත් මහබැංකුව එය අනවශ්‍ය ලෙස සහ අධිකලෙස විචල්‍ය නොවන ආකාරයට පාලනය කරන අතරම මහබැංකුව ස්වාධීන වුවද අයි එම් එෆ් ආයතනයට අවශ්‍ය පරිදි රජය සහ මහබැංකුව සාකච්ඡා කර අන්‍යෝන්‍ය අවබෝධය මත විනිමය අනුපාත ගැන තීරණ ගන්නා බවත් අප තේරුම්ගත යුතුයි, රටක විනිමය අනුපාත සහ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ ජාත්‍යන්තරව පිළිගත් සම්මත ක්‍රමවේදයකට. ඒ සඳහා අවශ්‍ය තරමට විදේශ සංචිත එකතු කරන්න, ආනයන අපනයන වලට අත්‍යවශ්‍ය මුදල් සංසරණය නිවැරදිව පවතින්නට සහ දැනටත් අනිවාර්යයෙන්ම ගෙවන ණය වාරික ගෙවීම, ඉදිරි හදිසි අවශ්‍යතා ආදී බොහෝ කාරණා පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර තීරණ ගත යුතුයි. 2021/22 කාලේ පවා මහබැංකුව විනිමය අනුපාත ෆික්ස් කළේත් සෑහෙන කරුණු හිතලා වුණත් ඔවුන් එතනදී දැඩි අවදානමක් ගත්තා, නමුත් එම අවදානම කළමණාකරණය කිරීමට අපොහොසත්වුණා

      ඒ නිසා ඔය "ආණ්ඩුවට ඩොලරය අඩු කරලා, ආණ්ඩුව දළ දේශීය නිෂ්පාදිතය අඩු කරලා පෙන්නලා අඩුවෙන් ගෙවන්න පුලුවන්, ඡන්දය නිසා ඩොලරය පහළ යනවා" වගේ factual පදනමක් නැති ආතල් රස කතා ෆේස්බුක් වගේ තැන් වල, දේශපාලන වේදිකාවල ගැලරි බයියන්ට මෝඩ චූන් දෙන්නට ජනප්‍රිය කතා වුනත්, එවැනි කතා ලංකාවේ මනි මාකට් එකේ, රජයේ බැඳුම්කර වල ආයෝජනය කරන මට්ටමේ කෙනෙක් සත පහකට ගණන් ගන්න කතාවක් නෙමෙයි.

      පහුගිය කාලයේ ලංකාවේ රුපියල අධිප්රමාණ appreciate වීම නිසා විදේශ ආයෝජකයන් රුපියල් මිලදීගෙන එය පසුව නැවත ඩොලර් කරන්න ආයෝජන කළා, හැබැයි විණිමය අනුපාතය පාලනය කිරීම මගින් ඔය වැඩේ කරන්න පුළුවන් බව ඇත්ත ඒත් එය කිසිසේත්ම හොරට ගණන් පෙන්වීමක් නම් නෙමෙයි. අනෙක 2023 මැයි වල ඩොලරය මීටත් වඩා පහල ගියේ ඇයි කියල හොයල බලන්න.

      Delete
  2. අම්මෝ අම්මෝ
    කාලය යනවෝ
    ඡන්දත් එනවෝ
    මොනවද වෙනවෝ!

    ReplyDelete
  3. බොහොම අගය කරනවා ඔබගේ පැහැදිලි කිරීම. මම ඔබගෙන් ඉල්ලා සිටිනවා දත්ත උපුටා ගැනීමේ දී ඒවාට අයත් මූලාශ්‍ර සදහන් කරන්න කියා .. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. Sources are from IMF Article iv report done in March 2023, IMF staff report made in 2023 December .

      Delete
  4. මේ කියන ණය හිමියන්ගේ යෝජනාව බැලූ බැල්මට සාධාරණ ඉල්ලීමක්නේ. එහෙම වෙලාත් ආණ්ඩුව ඒ යෝජනාවට අකමැති වෙන්නේ මොන හේතුවක් මතද. විශේෂයෙන් ඉක්මණින් මේ ක්‍රියාවලිය අවසන් කරලා දේශපාලන වාසි ලබා ගැනීමේ හැකියාවක් තිබියදීත්

    ReplyDelete
    Replies
    1. මටත් මේකේ අවුලක් නැහැ. මම හිතන්නේ අනෙකුත් පාර්ශ්ව එක්ක සම්බන්ධීකරණය කර ගැනීම සඳහා කාලය අවශ්‍ය බවයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: