Saturday, November 11, 2017

සයිටම් අරගලයේ ශේෂ පත්‍රය


ආණ්ඩුව විසින් සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කරන බවට වාචික හා ලිඛිත පොරොන්දුවක් දීමෙන් පසුව වසරකට වඩා කාලයක් තිස්සේ ඇදී ගිය සයිටම් විරෝධී සටන අවසන් විය. සයිටම් වෛද්‍ය පීඨය අහෝසි වීම කෙසේ වුවත්, අඩු වශයෙන් ජීවිත හානි නැතිව මේ අරගලය අවසන් වීම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

ජීවිත හානි සිදු නොවූවත් සයිටම් විරෝධී අරගලයේ සමාජයීය හානිය සැලකිය යුතු තරම්ය. මේ හානියෙන් වැඩිම කොටස අනාගත වෛද්‍යවරුන් වන්නට නියමිතව සිටින වෛද්‍ය සිසුන්ටය. සයිටම් අරගලයේ පාර්ශ්වකරුවන්ගේ ශේෂ පත්‍ර ගණනය කළ හැක්කේ මේ හානි ගැනද විමසීමෙන් පසුවය.

සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමට ආණ්ඩුව විසින් ගත් හදිසි හෝ හදිසි ලෙස පෙනෙන්නට සලස්වා ඇති තීරණයත් සමඟ බොහෝ සයිටම් විරෝධීන් මෙන්ම, සයිටම් විරෝධ විරෝධීන්ද කම්පනයට පත්ව ඇති බව පෙනේ. එවැනි බොහෝ දෙනෙකුගේ නිහඬතාවයෙන් පෙනෙන්නේ එයයි. මා මේ කියන්නේ සෘජුවම මේ ප්‍රශ්නයේ පාර්ශ්වකරුවන් වූ, ප්‍රශ්නයේ කේන්ද්‍රයේ සිටි අය ගැන නොව සයිටම් විරෝධී හෝ සයිටම් විරෝධ විරෝධී ස්ථාවරයක සිටිමින් පැත්තකට වී ආතල් එකක් ගත් අය ගැනය. ප්‍රශ්නයේ කේන්ද්‍රයේ සිටි අයට මේ තීරණය එතරම් විශාල කම්පනයක් ඇති නොකළා වන්නටද පුළුවන.

ජවිපෙට, පෙසපෙට මෙන්ම පොදුවේ සරසවි සිසුන්ටද මේ ආකාරයේ අරගල කිරීම පිළිබඳ මනා පළපුරුද්දක් තිබේ. මේ කණ්ඩායම් විසින් කරන අරගල පොදු හෝ පෞද්ගලික ප්‍රශ්නයක් විසඳා ගැනීම වෙනුවෙන් තනි පුද්ගලයෙකු විසින් හෝ කණ්ඩායමක් විසින් අසංවිධානාත්මක ලෙස අරඹන වහලයක් උඩට නැඟ කරන උපවාසයකට හෝ ගව ඝාතනයට එරෙහිව ගිණි තබා ගැනීමක් වැනි හදිසියේ ආරම්භ කරන අසංවිධානාත්මක විරෝධතාවයකට සමාන කළ නොහැකිය.

ජවිපෙ, පෙසපෙ හෝ පොදුවේ සරසවි සිසුන් අසාධාරණයක් වන හැම විටකම විරෝධතා දක්වන්නට යන්නේ නැත. විශේෂයෙන්ම, එවැනි විරෝධතාවකින් සාර්ථක ප්‍රතිඵල නොලැබෙන බව සක්සුදක් සේ පැහැදිලිව ඇති විට මේ කණ්ඩායම් වලට අයත් පිරිස් කළු ගල් වල ඔලුව ගසාගන්නට යන්නේ නැත. ඔවුන් සාමාන්‍යයෙන් මේ ආකාරයේ අරගලයක් ආරම්භ කරන්නේ ඔවුන්ගේ තක්සේරුව අනුව එසේ කිරීමෙන් ප්‍රතිඵලයක් ලබා ගත හැකි බව පෙනෙන්නට ඇති විටය. මෙවැනි තක්සේරුවක් සෑහෙන තරම් නිවැරදිව කරන්නට තරම් පළපුරුද්දක් මේ කණ්ඩායම් තුනටම තිබේ. ඊට අමතරව, ප්‍රසස්ථ අවස්ථාවේදී අරගලයක් නිමා කර එයින් ඉවත් වීමටද ඔවුන් දක්ෂය.

සයිටම් විරෝධීන්ට ඇති එක් විවේචනයක් වන්නේ පසුගිය ආණ්ඩුව කාලයේ ඔවුන් මේ ආකාරයෙන් විරෝධතා නොදැක්වූ බවයි. මෙයට සයිටම් විරෝධීන් අතර සිටි විවිධ අය ලබා දුන් ප්‍රතිචාර සමාන නැතත්, ඔවුන්ගෙන් ඇතැම් අය ලබා දෙන අවංකයයි සැලකිය හැකි ප්‍රතිචාරයක් වන්නේ මෙවැන්නකි.

"ඇත්ත! ඒ වෙලාවේ එහෙම කළා කියල වැඩක් නොවෙන බව අපි දැනගෙන හිටියා. ඒක නිසා තමයි දැන් මේ පුළුවන් වෙලාවෙ වැඩේ කරගන්න බලන්නේ.."

දැඩි ප්‍රතිරෝධයක් දැක්වීමෙන් මේ ආණ්ඩුව ලවා සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කරගත හැකි බව අඩු වශයෙන් මේ අරගලයේ අවසන් අදියර වලදී පෙනෙන්නට තිබුණේය. එහෙත්, පැහැදිලි නොවූයේ ඒ සඳහා කොපමණ ප්‍රතිරෝධයක් අවශ්‍යද යන්නයි.

සයිටම් විරෝධී අරගලය ආකාරයේ විරෝධතා ව්‍යපාරයකට එහි අරමුණු ඉටු කර ගැනීම සඳහා සමාජය කම්පනය කරන්නට සිදු වේ. එහෙත්, මෙය එක් වර කළ නොහැකිය. ඒ නිසා, අවශ්‍ය තරමට සමාජය කම්පනය වන තාක් කල් අරගලය ඇදගෙන යන්නට සිදු වේ. ඒ සඳහා අරගලය දිගින් දිගටම පෝෂණය කරන්නට තරම් කැපවීමක් ඇති පිරිසක් අවශ්‍ය වේ. මෙසේ දිගින් දිගටම පෝෂණය නොවන අරගලයක් ක්‍රමයෙන් දියාරු වී යයි.

ජවිපෙ හෝ සරසවි සිසුන් (අන්තරේ) වැනි මේ ආකාරයේ අරගල ගැන වෘත්තීය පළපුරුද්දක් ඇති කණ්ඩායමක් සාමාන්‍යයෙන් අඛණ්ඩ උපවාස වලට මිස මාරාන්තික උපවාස වලට ලේසියකට යන්නේ නැත. එසේ කිරීම ඉල්ලන් කෑමක් බව ඔවුහු හොඳාකාරවම දනිති. මේ කණ්ඩායම් මාරාන්තික උපවාසයක් ගැන හිතන්නේ තමන්ගේ ඉල්ලීම ඉතා ඉක්මණින් ලැබෙන බවට ලොකු විශ්වාසයක් ඇති වූ විටක තීරණ ගන්නා අයට උපරිම පීඩනයක් එල්ල කිරීම සඳහා පමණි.

මාරාන්තික උපවාසයකදී මෙන් නොව අඛණ්ඩ උපවාසයකදී තනි පුද්ගලයෙක් දිගටම ආහාර වර්ජනය කිරීමක් සිදු වන්නේ නැත. මෙහිදී සිදුවන්නේ හොඳින් බඩ පිරෙන්නට ආහාර ගැනීමෙන් පසු කිසියම් උපවාස කරුවෙකු තමන්ගේ උපවාස මුරයේ පැය ගණන අවසන් වන තුරු අට්ටාලයක් මතට වී ආහාර නොගෙන සිටීම පමණි. එවැන්නකුගේ උපවාස මුරය ඇරඹෙන්නට පෙර හා උපවාස මුරය අවසන් කිරීමෙන් පසු ආහාර ගැනීම සඳහා පහසුකම් බොහෝ විට ඉතා සැලකිල්ලෙන් සංවිධානය කෙරේ. ඒ නිසා, අඛණ්ඩ උපවාසයක් වසර ගණනක් වුවද ඇදගෙන යන්නට බැරිකමක් නැත.

මෙයින් අදහස් කරන්නේ අඛණ්ඩ උපවාසයක් කාලයක් තිස්සේ ඇදගෙන යාම පහසු දෙයක් බව නොවේ. පැය හයේ හෝ අටේ උපවාස මුරයකට වුවත් දිගින් දිගටම වාඩි කරවන්නට පිරිස් සොයා ගැනීම පහසු නැත.

අඛණ්ඩ උපවාසයක් හරහා කිසියම් ප්‍රශ්නයක් කෙරෙහි ජනතා අවධානය යොමු කරවා ගත හැකි වුවත් ඉන් ඉදිරියට එයින් ප්‍රයෝජනයක් ගැනීම අසීරුය. සයිටම් ප්‍රශ්නය කෙරෙහි ප්‍රමාණවත් ජනතා අවධානයක් යොමු වී තිබුණු අතර එය අමුතුවෙන් ඉහළ දමන්නට අවශ්‍යව තිබුණේ නැත. සයිටම් විරෝධීන් හමුවේ වූ අභියෝගය ප්‍රශ්නය කෙරෙහි ප්‍රමාණවත් ජනතා අවධානයක් යොමු නොවීම නොව සයිටම් විරෝධී මතවාදයට ජනතාව ප්‍රමාණවත් තරමින් සංවේදී නොවීමය. ප්‍රශ්නය ජනතාවගේ පොදු ප්‍රශ්නයක් බව ඒත්තු ගන්වන්නට සයිටම් විරෝධීන් කෙතරම් උත්සාහ කළත් ඔවුන්ට එය කළ නොහැකි විය. සයිටම් විරෝධයට කිසි විටකත් පුළුල් ජනතා සහයක් ලැබුණේ නැත.

තත්ත්වය මෙසේ තිබියදීත්, සයිටම් විරෝධී ප්‍රධාන කණ්ඩායම් මාරාන්තික උපවාසයක් ගැන හිතුවේ නැත. ඒ, මස් රාත්තලම ඉල්ලන සටනකදී මාරාන්තික උපවාසයකට යාම අනතුරුදායක බව ඔවුන් පළපුරුද්දෙන්ම දැන සිටි නිසාය.

වෛද්‍ය සිසුන්ගේ දෙමවුපියන් විසින් මාරාන්තික උපවාසයක් ඇරඹුවේ තත්ත්වය මෙසේ තිබියදීය. මෙවැනි සිදුවීම් වලදී තිරය පිටුපස වෙන දේවල් ගැන මනා අවබෝධයක් ඇති නිසා අවසන් නිගමන වලට එන්නට මා හදිස්සි නොවන නමුත් මේ වැඩේට වෛද්‍ය සිසුන්ගේ දෙමවුපියන් අතගැසීම පුළුල් සැලසුමක කොටසක් ලෙස නොව ස්වභාවික ලෙසම සිදු වූවක් වන්නට සෑහෙන ඉඩකඩක් තිබේ. එසේ සිතූ විට, සයිටම් විරෝධී සටනේ සමතුලිතතාව ක්ෂණිකව වෙනස් වූ ආකාරය තේරුම් ගැනීම පහසුය. ඒ පදනම මත බැලූ විට මෙය සයිටම් විරෝධී ව්‍යාපාරයට හදිසියේම ලැබුණු බෝනස් එකකි. යම් හෙයකින් දෙමවුපියන් උපවාසයට එකතු වුනේ හදිසි තීරණයක් මත නොව පුළුල් සැලසුමක කොටසක් ලෙසයැයි සැලකුවත් එයින් සයිටම් විරෝධී ව්‍යාපාරයට විශාල ජවයක් ලැබුණු බව පැහැදිලිය.

පැවති පසුබිම තුළ මාරාන්තික උපවාසයකට වාඩි වීම යනු ආපසු හැරවීමට අසීරු, විශාල අවදානමක් ඇති  ක්‍රියාවකි. කැමැත්තෙන් සිය දිවි නසා ගන්නා වෙනත් පුද්ගලයෙකුට මෙන්ම මාරාන්තික උපවාසයක යෙදෙන්නෙකුටද මිය යන්නට පෙර කිසියම් අවස්ථාවකදී ජීවිත ආශාව ඇති වේ. එහෙත්, උපවාසකරුවෙකුගේ මරණයක් හෝ විරෝධතාවක් මර්දනය කිරීමේදී පත්තු වන තුවක්කුවක් හරහා තමන්ගේ ඉල්ලීම් දිනාගන්නට බලා සිටින පිරිසකගේ සිරකරුවකුව සිටින, නිරාහාරව සිටීමෙන් දුර්වල වී සිටින අයෙකුට තමන්ට උපවාසය අත හරින්නට අවශ්‍ය වන විට ලොක්කෙක්ගේ අතින් තැඹිලි වතුර ටිකක් බී උපවාසය අත්හැරීම පහසු නොවන්නට පුළුවන.

සයිටම් විරෝධය සමඟ එකතු වී සිටි ඇතැම් කණ්ඩායම් ඉලක්ක කළේ මේ හරහා කිසියම් ආකාරයක අරාජිකත්වයක් වර්ධනය කර ගැනීමටය. එහෙත් සයිටම් විරෝධයට එකතු වී සිටි තවත් බොහෝ දෙනෙකුට තිබුණේ එවැනි අවශ්‍යතාවයක් නොවේ. ඔවුන්ට තිබුණේ, පෙර කී පරිදි, සිය වෘත්තිය, අනාගත වෘත්තිය හෝ දරුවන්ගේ අනාගත වෘත්තිය පිළිබඳ ප්‍රශ්නයකි. කෙසේ වුවද, දශක කිහිපයකට පෙර මෙවැනිම තත්ත්වයක් යටතේ රටේ අරාජිකත්වයක් වර්ධනය විය. මේ අරගලයද දිගටම ඇදුනානම් හෝ ආණ්ඩුව එය මර්දනය කිරීමට ඉක්මන් වූවානම් ව්‍යවස්ථා විරෝධය වැනි තවත් දේවල් එයට එකතු විය හැකිව තිබුණේය.

ලංකාවේ ජනමතය මරණ වලට සංවේදීය. යම් හෙයකින් සයිටම් විරෝධතාවයක් මර්දනය කිරීමේ උත්සාහයක් තුළ පොලිස් වෙඩි තැබීමක් වී මරණයක් සිදු වුණේනම් ජනමතය සැලකිය යුතුව වෙනස් විය හැකිව තිබුණේය. සයිටම් අරගලය තුළ සිටි ඇතැම් කොටස් ඒ බව පැහැදිලිව දැන සිටියේය. මේ ආණ්ඩුව එසේ කරනු ඇති බවට ජනමතයක් ඔවුන් කලින්ම හදමින්ද සිටියේය. එහෙත්, ආණ්ඩුව මෙය හඳුනාගෙන තිබුණු බව පෙනෙන්නට තිබුණේය.

මාරාන්තික උපවාසය ආරම්භ වුණේ මස් රාත්තලම ඉල්ලන අසාධාරණ සටනක් හමුවේ පවා ආණ්ඩුව විසින් මරණයක් ලබා දීම පරක්කු කරමින් සිටි පසුබිමකදීය. ඒ නිසා, මේ උපවාසය හරහා හෝ බලාපොරොත්තුවෙන් සිටි මරණය ලබා ගනිමින් සයිටම් අරගලය වඩා පුළුල් තලයකට ව්‍යාප්ත කර ගැනීමේ උත්සාහය ආණ්ඩුව විසින් නොසලකා හැරිය හැකිව තිබුණු කරුණක් නොවේ.

සයිටම් වෛද්‍ය පීඨය වසා දමන බව දැනුම් දෙමින් ආණ්ඩුව විසින් පෙන්නුම් කළේ උපාය මාර්ගික ලෙස ඔවුන් සයිටම් විරෝධී දේශපාලනය තුළ සිටි කොටස් වලට වඩා ඉදිරියෙන් සිටින බවයි. දෙවනු කී කොටස් දශක දෙකකට පෙර යොදාගත් උපක්‍රමය ප්‍රතිචක්‍රීකරණය කරමින් සිටිද්දී, ආණ්ඩුව විසින් පෙන්නුම් කළේ තමන් එතැන් සිට බොහෝ දුර ගොස් ඇති බවයි.

ඇතැම් අය කියන්නේ ආණ්ඩුව විසින් කිසිවක් නුදුන් බව හා එසේ කිසිවක් නොලබාම සයිටම් අහෝසි කිරීමේ සටන අතහරින්නට සයිටම් විරෝධීන්ට සිදුවී ඇති බවයි. එය එසේයැයි මා සිතන්නේ නැත. යමෙක් එසේ හිතන්නේනම් එය සයිටම් විරෝධීන්ව මෙන්ම ආණ්ඩුවද අවතක්සේරු කිරීමකි. ඉතා පැහැදිලිව සයිටම් විරෝධීන්ට පිළිගත හැකි විසඳුමක් ආණ්ඩුව විසින් ලබා දී තිබේ. එය කුමක් වුවද, වැදගත් කරුණ එය සයිටම් විරෝධීන්ට පිළිගත හැකි විසඳුමක් වීමයි. ඔවුන්ව තාවකාලිකව රැවැට්ටීමෙන් ආණ්ඩුවට මේ වෙලාවේ වාසියක් ලැබිය නොහැකිය.

සයිටම් ප්‍රශ්නය විසඳීම නිසා ලොකුම හානිය වුණේ ඒ හරහා වෙනත් අරමුණු ඉටු කරගැනීමට බලා සිටි කොටස් වලටය. ඔවුන්ට අන්තිමේදී ලැබුණු දෙයක් නැත. එවැනි කොටස් ඉදිරියේදීද තමන්ට එල්ලීමට ඉඩක් ඇති මේ ආකාරයේ ප්‍රශ්න හොයනු ඇතත් එය පහසු කරුණක් නොවේ. වෛද්‍ය සංගමය ප්‍රධාන වෛද්‍යවරුන් සයිටම් විරෝධය සමඟ සිටීම නිසා ආණ්ඩුවට එරෙහි මේ අරගලයේ සමතුලිතතාවය වෙනස් වූ ආකාරය, වෙනත් ආණ්ඩු විරෝධී අරගලයකදී ඇති නොවිය හැකි සුවිශේෂී තත්ත්වයකි.

ආණ්ඩුව සයිටම් අහෝසි කිරීමේ අවසන් තීරණයට එන්නත් පෙරම වෛද්‍යවරුන් සමඟ කිසියම් එකඟතාවයකට පැමිණ තිබුණේය. ඇත්තටම කියනවානම් සයිටම් අරගලයට හා හැකි දුර ලකුණු වුණේ ඒ අවස්ථාවේදීමය.

සයිටම් විරෝධයට මුල් වූ වෛද්‍යවරුන්ගේ හා අනාගත වෛද්‍යවරුන්ගේ සැබෑ ප්‍රශ්නය වූයේ ඒ හරහා ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින් සැපයුම විශාල ලෙස ඉඩ යා හැකි වීමේ ප්‍රශ්නයයි. මෙවැන්නක් ඇත්තටම සිදුවීමේ ඉඩක් තිබුණු අතර සයිටම් හෝ වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨ නොතිබුණත් තව වසර ගණනාවකට පසු වෛද්‍ය උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා ගැනීමේ ප්‍රශ්නයක් ඇති වෙන්නට ඉඩ තිබේ. මේ ප්‍රශ්නය ගැන කතා කිරීම සඳහා මේ ලිපියේ ඉඩ වෙන් කරන්නට අදහසක් නැතත්, මෙය දැනට ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින්ව සිටින බොහෝ දෙනෙක් දන්නා කරුණකි. මධ්‍යගත සැලසුම් යටතේ සැපයුම තීරණය වන විටක ඉල්ලුම හා සැපයුම අතර හිඟයක් මෙන්ම අතිරික්තයක්ද ඇති විය හැකිය. සයිටම් වැනි තවත් වෛද්‍ය පීඨ ඉදිවීම නිසා මේ තත්ත්වය වඩා ඉක්මණින් ඇතිවිය හැකිව තිබුණේය.

ඉහත කී ආකාරයේ තත්ත්වයක් ඇති වී අනාගත වෛද්‍ය උපාධිධාරියෙකු රැකියා පෝලිමේ වේලීම දැනට සේවයේ යෙදෙන වෛද්‍යවරයෙකුට විශාල ප්‍රශ්නයක් නොවූවත් එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවන්නේද නැත. වෙළඳපොල තරඟය වැඩිවීම නිසා සිදුවන අවාසිය පැත්තකින් තිබ්බත් එහි වෘත්තීය ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක්ද තිබේ. ලංකාවේ නීතිඥ වෘත්තිය හා අදාළව දැනටමත් මෙවැනි තත්ත්වයක් ඇති වී තිබේ. දැනට සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ට වඩා වැඩියෙන් මේ ප්‍රශ්නය වෛද්‍ය සිසුන්ට දැනේ. ඔවුන්ගේ දෙමවුපියන්ටද දැනේ.

අනෙක් අතට දිගින් දිගටම පංති වර්ජනය කරමින් සිටි වෛද්‍ය සිසුන්ට ඒ හේතුව නිසා ජීවිත කාලීන ආර්ථික අවාසියක් එකතු වෙමින් තිබුණේය. සයිටම් අහෝසි කිරීමත්, ඒ හේතුවෙන් තවත් වසර ගණනකට වෛද්‍ය සැපයුම සීමාවීමත් නිසා ඔවුන්ට ජීවිතකාලීන වාසියක් ලැබුණත් අරගලය ඇදී ගිය කාලය සැලකූ විට ඔවුන්ට ශුද්ධ වාසියක් ලැබුණේද යන්න සැක සහිතය. දෙමවුපිය උපවාසය ඇරඹෙන විට ඔවුන් වැය කර තිබුණු ආවස්ථික පිරිවැය සැලකූ විට සයිටම් අහෝසි නොකළේනම් ඔවුන්ට අවසාන වශයෙන් ලැබිය හැකිව තිබුණේ ශුද්ධ අලාභයකි. සයිටම් හෝ වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨ නැතත්, ලංකාවේ අනාගත වෛද්‍ය සැපයුම හා රැකියා පුරප්පාඩු සැලකූ විට ඔවුන්ගේ දැන් තත්ත්වයේත් ලොකු වෙනසක් නොතිබෙන්නට පුළුවන.

වෛද්‍ය සිසුන්ට සාපේක්ෂව මේ අරගලයේදී වෛද්‍යවරුන් විසින් කළේ අඩු කැපකිරීමකි. එහෙත්, ඔවුන්ට ලැබුණු වාසියද එතරම් විශාල නැත. සයිටම් හේතුවෙන් කිසියම් අවාසියක් හෝ එය අහෝසි කිරීම නිසා වාසියක් ලැබෙන්නේ සාපේක්ෂව තරුණ වෛද්‍ය වරුන්ටය. එහෙත්, එවැනි වාසියක් වුවද, පෙර විස්තර කළ හේතුවම මත දිගුකාලීන හෝ විශාල එකක් නොවනු ඇත.

බිස්නස් කාරයෙක් කියන්නේත් වෛද්‍යවරයෙකු වැනිම ජනතාවට සේවයක් සලසන අයෙකි. එහෙත්, බොහෝ දෙනෙක් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුව "නෙවිල් මුදලාලි" ලෙස හැඳින්වූයේ මේ මුදලාලිගේ සේවය ගැන ගෞරවයක් වශයෙන් නොවේ. ඇත්තටම නෙවිල් ප්‍රනාන්දු හොඳ බිස්නස් කාරයෙක් ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට අත ගැසීම කිසියම් ව්‍යවසායකයෙකු විසින් ගන්නා අවදානමට සරිලන තරමේ ලාභ නොලැබිය හැකි කටයුත්තකි. සයිටම් අරගලයේ අවසන් ප්‍රතිඵලය විසින්ද ඔප්පු කර ඇත්තේ එයයි.

නෙවිල් ප්‍රනාන්දු සයිටම් වෛද්‍ය පීඨය හා ශික්ෂණ රෝහල වෙනුවෙන් ආයෝජනය කළ මුදල් හෝටල් හෝ ඉදිකිරීම් (තට්ටු නිවාස) වැනි ක්ෂේත්‍රයක යෙදෙවුවානම් ඔහුට මීට වඩා අඩු අවදානමක් ගෙන වැඩි ලාබයක් ලැබිය හැකිව තිබුණේය. ඒ නිසා, තමන්ගේ වෘත්තීය ක්ෂේත්‍රයට යමක් කරන්නට ඔහුට ඇත්තටම අවශ්‍යතාවයක් තිබුණා වන්නට පුළුවන. නෙවිල් ප්‍රනාන්දුගේ අරමුණ වූයේ මුදල් ලාභ වුවත්, පුරෝගාමියෙකු වීමේ කීර්තිය වුවත් අවසාන වශයෙන් ඔහු අපේක්ෂා කළ දෙය ඔහුට ලැබී නැත. මේ අනුව, නෙවිල් ප්‍රනාන්දු අසාර්ථක ව්‍යවසායකයෙකි.

කෙසේ වුවත්, නෙවිල් ප්‍රනාන්දු සයිටම් ආයෝජනය කළේ රාජපක්ෂලා තවත් කලක් බලයේ සිටිනු ඇතැයි යන විශ්වාසයෙන් වන්නට පුළුවන. සයිටම් අරඹන කාලයේ පෙනෙන්නට තිබුණු පරිදි රාජපක්ෂලා ගෙදර යැවීම ළඟක වූ දෙයක් නොවේ. මේ අනුව, නෙවිල් ප්‍රනාන්දුට විශාල අලාභයක් විඳින්නට වුණේ ගණන් වරද්දා ගැනීම නිසායැයි කියන්නටද පුළුවන.

දැනට සිටින සයිටම් වෛද්‍ය පීඨ සිසුන්ට බාධාවක් නැතිව උපාධිය ලබාගැනීමට ඉඩ සැලසෙනු ඇතත් ඔවුන්ටද විශාල අවාසියක් වී ඇති බව අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

සයිටම් විරෝධීන් අතර විවිධ කණ්ඩායම් සිටියාක් මෙන්ම සයිටම් විරෝධ විරෝධීන් අතරද විවිධ කණ්ඩායම් සිටියේය. මේ අයගෙන් කොටසක් දොස්තරලා සමඟ ඇරියස් තිබුණු අයයි. තවත් කොටසක් සයිටම් අරගලය සමඟ සිටි ජවිපෙ හා පෙසපෙ වැනි පක්ෂ සමඟ ඇරියස් තිබුණු අයයි. සයිටම් අරගලය පවතින ආණ්ඩුවට එරෙහි අරගලයක්ය යන අදහසින් එයට විරුද්ධ වූ අයද සිටියේය. එහෙත්, මේ සියලු කොටස් ඉවත් කළද සයිටම් අරගලය අසාධාරණ බවත්,  පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ඉඩ සැලසිය යුතු බවත් සිතූ විශාල පිරිසක්ද වූහ. සයිටම් නිසා සෘජු වාසි ලබන කොටස් හැර වෙනත් අය සංවිධානාත්මක ලෙස හඬක් නැගුවේ නැතත්, සයිටම් විරෝධී අරගලයට සාපේක්ෂව ලංකාවේ උසස් අධ්‍යාපන ආකෘතිය ගැන විශාල කතිකාවක් ඇති විය. මෙය ඉතා සාධනීය එකකි. මේ කතිකාවේ ප්‍රතිඵල ඉදිරියේදී ලැබෙනු ඇත.

සයිටම් ප්‍රශ්නය කිසිවිටෙකත් ලංකාවේ බහුතර ජනතාවගේ ප්‍රශ්නයක් වුණේ නැත. ඇත්තටම කියනවානම් මේ ප්‍රශ්නයේ අන්ත දෙකේම හිටියේ සෑහෙන තරමකින් අතිපිහිත වන එකම සමාජ ස්ථරයකි. සයිටම් විරෝධීන් මෙන්ම සයිටම් විරෝධ විරෝධීන් වැඩි දෙනෙක්ද සිටියේ මේ එකම සමාජ ස්ථරය ඇතුළේය.

සයිටම් ප්‍රශ්නය හේතුවෙන් ලංකාවේ සමාජය බෙදුණේ තිරස් අතට නොව සිරස් අතටය. පුළුල් අර්ථයෙන් එය දේශපාලනික බෙදීමක් වුවත් මේ බෙදුම් ඉර වැටී තිබුණේ සම්ප්‍රදායික දේශපාලන මතවාද අනුව නොව ඒ මතවාද එක එකක් ඇතුළෙනි. සයිටම් විරෝධ විරෝධීයෙකු වුණේ සයිටම් විරෝධියාගේම අනික් පලුවයි. සයිටම් විරෝධයට සංවිධානාත්මක ප්‍රතිරෝධයක් නොආවේ එබැවිනි.

මේ කරුණ මතුපිටින් පෙනෙනවාට වඩා වැදගත් කරුණකි.

සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය පීඨ වලට ඉල්ලුමක් එන්නේ "සල්ලිකාරයන්ගේ මෝඩ පුත්තුන්ගෙන්" නොවේ. (පුරුෂ ලිංගිකත්වය යොදාගත්තේ සාමාන්‍ය ව්‍යවහාරය අනුව යමිනි.) ලංකාවේ සල්ලිකාරයන්ගේ මෝඩ පුත්තුන්ට වෛද්‍ය පීඨයකට ගොස් කටු නොකෑවාට තවත් කරන්නට වැඩ ඕනෑ තරම් තිබේ. ඒවා මා විස්තර කරන්නට යන්නේ නැත.

ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට පමණක් නොව සමස්තයක් ලෙස පෞද්ගලික අධ්‍යාපනයටම ඉල්ලුම එන්නේ නාගරික හෝ අර්ධ නාගරික, ඉහළ මධ්‍යම පාන්තික ස්ථරය තුළ සිටින සාපේක්ෂව හොඳ අධ්‍යාපනයක් ලබා සිටින දෙමවුපියන්ගේ දරුවන්ගෙනි. ජාත්‍යන්තර පාසැල් වලට දරුවන් යැවීම වැනි දේ සැලකූ විට, මේ ඉල්ලුම ක්‍රමයෙන් පහළ මධ්‍යම පන්තිය වෙතද ව්‍යාප්ත වේ. ලංකාවේ රජයේ වෛද්‍ය පීඨ වල පුරප්පාඩු වලින් විශාල ප්‍රමාණයක් පුරවන්නේද මේ ස්ථරයමය.

ලංකාවේ ඉහළම ආදායම් ලබන, වෘත්තීය රැකියා නොකරන ස්ථරයට රජයේ වෛද්‍ය පීඨ වලින් තබා සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය පීඨ වලින්ද වැඩක් නැත. පහළ ස්ථර වලට සයිටම් පමණක් නොව රජයේ වෛද්‍ය පීඨද ළඟා වීමට අසීරු ඉලක්කයකි. ඒ නිසා, මේ ප්‍රශ්නයම ලංකාවේ සමාජයේ එක ස්ථරයක් ඇතුළේ තිබෙන ප්‍රශ්නයකි. එහෙත් මේ ස්ථරය ලංකාවේ දේශපාලන බලය තිබෙන ස්ථරයයි.

මෙයට සාපේක්ෂව, උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල අරගලය සිදුවන කාලයේදී රජයේ වෛද්‍ය පීඨ වල සිටි (හෝ ඒවාට ඇතුළු විය හැකිව සිටි) සිසුන්ගේ සමාජ ආර්ථික පදනම අද තරම් ඉහළ මට්ටමක තිබුණේ නැත. සංකේතීය වශයෙන් කියනවානම්, ඒ කාලයේදී රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වුණේ කලා උපාධිධාරී ගුරුවරයෙකුගේ හෝ මධ්‍ය මහා විද්‍යාලයකින් උගත් රජයේ සේවකයෙකුගේ දරුවෙකි. අද රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වන්නේ වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු වැනි වෘත්තිකයෙකුගේ දරුවෙකි (මෙය කරුණ පැහැදිලි කිරීම සඳහා ලියන්නක් නිසා කිසියම් අතිශයෝක්තියක් තිබේ). සයිටම් ප්‍රශ්නය "ඇතුළේ" ප්‍රශ්නයක් වූ නිසා එය "ඇතුළේම විසඳාගැනීම" පහසු විය.

සයිටම් වෛද්‍ය පීඨයට හෝ වෙනත් එවැනි වෛද්‍ය පීඨයකට දරුවෙකු යවන්නට සිටි අයෙකුට සයිටම් අහෝසි කිරීම නිසා ලොකු අවාසියක් වන්නේ නැත. කොහොමටත් මේ ස්ථරයේ පළමු ඉලක්කය වන්නේ රජයේ වෛද්‍ය විද්‍යාලයකට දරුවෙකු ඇතුළු කර ගැනීමයි. පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයෙන් උපාධිය ලබා රජයේ දන්ත වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන, ලංකාවේ සරසවි වලින් තමන් ලැබූ සහතික සිය සායනයේ දැන්වීම් පුවරුවක් පුරා ප්‍රදර්ශනය කරන, උසස්පෙළ දරුවෙකුගේ පියෙකු විභාග වංචාවකට උදවු ගැනීම සඳහා රුපියල් මිලියනයක් ටියුෂන් ගුරුවරයෙකුට ගෙවීමම උදාහරණයක් ලෙස සැලකුවත් ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා ආදායම් වෙනසක් නැතිව සැමටම එක සේ ලැබෙන ආකාරය ගැන හිතාගන්නට පුළුවන.

සයිටම් කියන්නේ සල්ලිකාරයින්ගේ මෝඩ පුත්තුන් වෙනුවෙන් හැදුණු තැනක් නොව රජයේ වෛද්‍ය පීඨ වලට දරුවන් යවන සමාජ ස්ථරයටම අලුතින් ලැබුණු තවත් විකල්ප අවස්ථාවක් පමණි. එය නැති වුනා කියා ඔවුන්ට ලොකු අවාසියක් වන්නේ නැත. විදෙස් සරසවියකට දරුවන් යැවීම වැනි විකල්ප සයිටම් වලටද වඩා වාසිදායක නිසා සයිටම් වලින් ඔවුන්ට විශාල වාසියක් ලැබී තිබුණේ නැත. සයිටම් රැකගැනීම වෙනුවෙන් සංවිධානාත්මක ව්‍යුහයක් ගොඩ නොනැඟුනේ එබැවිණි.

වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට විරුද්ධ වුවත්, පොදුවේ උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය වීම නිසා ප්‍රයෝජන ගන්නේ සයිටම් වලට එරෙහි වූ සමාජ ස්ථරයමය. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මඟින් පිරිනමන වෙනත් උපාධි සඳහා පවතින ඉල්ලුම එන්නේ මේ සමාජ ස්ථරයෙනි. ඒ නිසා, මේ අයට පොදුවේ උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය වීම පිළිබඳව ප්‍රශ්නයක් නැතුවා පමණක් නොව එවැනි විරෝධයකදී මේ සයිටම් විරෝධීන් මෙන්ම සයිටම් විරෝධ විරෝධීන්ද හිටගන්නේ එකම පැත්තේය. ඒ නිසා, සයිටම් අහෝසි කිරීම නිසා ලැබුණු කිසියම් පන්නරයක් වේනම් එය පොදුවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහි අරගලයක් දක්වා ව්‍යාප්ත කිරීමට කිසිදු විභවයක් නැත.

මෙහිදී වෛද්‍ය අධ්‍යාපනය පමණක් වෙනස් ලෙස සැලකුණේ එම වෘත්තියේ ඇති සුවිශේෂීතාවක් නිසා නොවේ. වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා සැපයීමේ වෙළඳපොළේ පවතින සුවිශේෂීතාවය නිසාය. වෙනත් වෘත්තීය ක්ෂේත්‍ර වලින් වෙනස්ව එහි ඇත්තේ මධ්‍යගත ලෙස සැලසුම් කෙරෙන රාජ්‍ය ඒකාධිකාරයකි. ලංකාවේ රාජ්‍ය ව්‍යුහය තවදුරටත් පුළුල් කළ නොහැකි නෛසර්ගික සීමාවකට දැනටමත් පැමිණ ඇති බැවින් අනාගත වෛද්‍ය උපාධිධාරීන්ගේ රැකියා සුරක්ෂිතභාවය හා අදාළව පිපිරෙන්නට නියමිත කාල බෝම්බය පිපිරීම සයිටම් අහෝසි වූ පමණින් වැළකෙන්නේ නැත. ඒ ප්‍රශ්නය විසඳාගත හැක්කේ වෙළඳපොළ කෙරෙහි විශ්වාසය තැබීමෙන් පමණි.

21 comments:

  1. හොද පැහැදිලි කිරීමක්..දෙමාපිය සංගම් දෙක එකතු වුනේ ඔවුන් එකම පංතියේ වූ නිසාය.

    ReplyDelete
    Replies
    1. සයිටම් වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමවුපියන් වගේම රජයේ වෛද්‍ය පීඨ වල සිසුන්ගේ දෙමවුපියනුත් මුහුණ දුන්නේ එකම ප්‍රශ්නයටයි. ඒ තමන්ගේ දරුවන්ට තමන්ට හැකිතරමින් හොඳම අධ්‍යාපනයක් ලබා දී ඔවුන්ගේ අනාගත ජීවිත සුඛිත මුදිත කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයයි. ඒ නිසා, දෙපැත්තක සිටින බව පෙනුණත් ඔවුන්ට එකඟ විය හැකි පදනමක් තිබෙනවා. ඔවුන් 'එකම භාෂාව කතා කරන' එකිනෙකාව පහසුවෙන් තේරුම් ගත හැකි අයයි.

      Delete
    2. //දෙමාපිය සංගම් දෙක එකතු වුනේ ඔවුන් එකම පංතියේ වූ නිසාය//

      ධනවාදී සමාජයේ වූ ප්‍රධාන පංති දෙක වූ කලී ධනේෂ්වර පංතිය හා නිර්ධන පංතියයි. ධනේෂ්වර පංතිය සිය වර්ධනයේදී අවධි ගණනාවක් පසුකරගෙන යන අතර මෙම අවධි ධනවාදී සමාජයේ ආර්ථික සංවර්ධනයේ අවධිවලට අනුරූප වෙයි. ධනවාදී සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන වචනය හුදකලාව පාවිච්චි කළද ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැමති සංකල්පය පොදු එකක් ලෙස සැලකුවද සැබැවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පංතිමය සංකල්පයකි. එය පංති සමාජය තුළ නිර්මාණය වී ධනපති ක‍්‍රමය සමඟ කරළිගත වූවකි. අපට ලෝකය තුළ දැකිය හැකි වන්නේ පංතිමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පමණි. පංතිමය නොවන, පොදු, ‘පිරිසිදු’ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන පංති සමාජය තුළ කථාකිරීම මිත්‍යාවකි.

      පංති සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු එක් පංතියක් විසින් තවත් පංතියක් පීඩාවට පත් කරමින් පාලනය කිරීමේ පාලන ආකාරයකි. සෝවියට් සමාජවාදී සමාජ විප්ලවයෙන් පසු කාල් කෞට්ස්කිගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ විවේචනයන්ට පිළිතුරු දෙමින් ලෙනින් මෙසේ පවසා තිබේ.

      ”අපි සාමාන්‍ය බුද්ධියට හා ඉතිහාසයට අවමාන නොකරමු නම් විවිධ පංති පවතින තාක්කල් අපට ‘පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ ගැන කථා කළ නොහැකි බව පැහැදිලි කරුණකි. අපට පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථා කළ හැක. (‘පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ වූ කලී පංති අරගලය හා රාජ්‍යයේ සන්ධාරය යන දෙකම ගැන නොදැනුම හෙළිදරව් කරන මෝඩ පාඨයකි. එපමණක් නොව කොමියුනිස්ට් සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනස්වීමේ හා පුරුද්දක් බවට පත්වීමේ ක්‍රියාදාමයේදී හැකිළී යනු මිස ‘පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ බවට කිසි ලෙසකත් පත් නොවනු ඇති හෙයින් එය තුන් වරක්ම පුහු පාඨයක් වන බවද අමතර වශයෙන් කියමු)
      ලෙනින්-තෝරාගත් කෘති 9 වෙළුම, 22-23 පිටු

      Delete
  2. ඔබේ නිරීක්ෂණ විශිෂ්ටයි. ඒ+++++. එය කියවූ පසු මාතුළ පැන නැගුනු සිතිවිලි මතෙකි පහත දැක්වෙන්නේ:

    නෙවිල් ප්‍රනාන්දු නම් ව්‍යවසායක වෛද්යවරයා විසින් මුදලට ගන්නා ලද දේශපාලක කණ්ඩායම බලයේ සිටියේනම් සයිටම් වැහෙන්නේ නැත. (මොහු ඔවුන් මුදලින් තෘප්තිමත් කරනා තාක් සයිටම් ඉදිරියට යනු ඇත.) එවිට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා වෙනවාද?

    සයිටම් විරෝධයට පියවරෙන් පියවර සාධනීය ලෙස ප්‍රතිචාර දක්වමින් එය විසඳා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය උපරිම ඉම දක්වා ගෙනයාමට මග හදමින් එම ආයතනය තිබුනාට වඩා උසස් ප්‍රමිතියකට ගෙනා ආණ්ඩුව ලවා එය වස්වා ගැනීමෙන් සයිටම් විරෝධීන් වඩා දේශප්‍රේමී වූවාද? වඩා ප්‍රජාතන්ත්‍රවාදී වූවාද?

    නෙවිල් ප්‍රනාන්දු මහතා මෙය ආරම්භ කරන විටම තමන් උගත් වෛද්ය පීඨයේ තිබුණු ප්‍රමිතියට මෙය ආරම්භ කොට, රෝහලට එන රෝගීන්ගෙන් කිසියම් ප්‍රතිශතයකට නොමිලේ ප්‍රතිකාර කිරීමට කටයුතු කරානම් (ශික්ෂණ රෝහලක අවශ්යතා සපුරාගන්නට පුලුවන් මට්ටමින්) සයිටම විරෝධීන්ගේ විරෝධතාවේ කේන්ද්‍රීය හේතූන් වියහහැකියයි උපකල්පනය කළකැක්කේ මොනවාද?

    මුදල් හම්බ කිරීමම ඔහුගේ අභිමතාර්ථය නොවුනු වග හිතාගත හැකිය. ඊට එහා ගිය අපේක්ෂා ඔහුට තිබුණු බව ඔබ සඳහන් කළා. ඔහුට තමන් ගන්නා අවදානම පිළිබඳ වැඩි අවබෝධයක් නොතිබුනයි කියන්නත් බැහැ. ඔහුත් හිටපු මන්ත්‍රී කෙනෙක්. විධායක ජනාධිපතිටත් අභියෝග කළ කෙනෙක්. මෙය ඔහුගේ පළමු ආයෝජනයත් නෙවෙයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ. ඔහු සෙන්ට්‍රල් හොස්පිටල් එකත් දියුණු කොට විකුනපු ව්‍යවසායකයෙක් නේද? ඔහුට වැරදුනේ කොතැනද?

    මේකෙන් කියන්නෙ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට ආයෝජනය කිරීම රාගමින් අවුරුදු විස්සකට තිහකට පස්සෙත් බැහැ කියන එකද?

    ReplyDelete
    Replies
    1. //නෙවිල් ප්‍රනාන්දු නම් ව්‍යවසායක වෛද්යවරයා විසින් මුදලට ගන්නා ලද දේශපාලක කණ්ඩායම //
      මේ ගැන තොරතුරු නොදන්නා නිසා අදහස් පළ කළ නොහැක.

      //සයිටම් විරෝධයට පියවරෙන් පියවර සාධනීය ලෙස ප්‍රතිචාර දක්වමින් එය විසඳා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය උපරිම ඉම දක්වා ගෙනයාමට මග හදමින් එම ආයතනය තිබුනාට වඩා උසස් ප්‍රමිතියකට ගෙනා ආණ්ඩුව ලවා එය වස්වා ගැනීමෙන්//
      සයිටම් ආයතනයේ ප්‍රමිතිය වැඩි කිරීම සඳහා සයිටම් විරෝධීන්ට හෝ ආණ්ඩුවට අවංක උවමනාවක් තිබුණා කියා මම හිතන්නේ නැහැ. සයිටම් විරෝධීන් ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය ඉස්මතු කළේ සයිටම් වෛද්‍ය පීඨය වසා දැමීමේ හෝ අකර්මන්‍ය කිරීමේ අරමුණින් මිස එහි ප්‍රමිතිය ඉහළ දමා ගැනීමේ අවංක අරමුණෙන් නෙමෙයි. ආණ්ඩුව එහි ප්‍රමිතිය ඉහළ දැමෙන ක්‍රියාමාර්ග වලට ගියේත් සයිටම් විරෝධය පාලනය කර ගැනීමේ අරමුණින් මිස එවැනි අවංක අරමුණකින් නෙමෙයි. මගේ අදහස අනුව, රජය විසින් නියාමනය කළ යුත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස බඳවා ගන්නා අයගේ ප්‍රමිතියයි. ඒ ලංකාවේ වෛද්‍ය සේවා සැපයීමේ ව්‍යාපාරය පවත්වාගෙන යන ප්‍රධානම ව්‍යාපාරිකයා ලෙසයි. ඔවුන් ලබා ගන්නා අධ්‍යාපනය හා පුහුණුව ගැන සොයා බැලිය යුත්තේ ඒ අරමුණිනුයි. ඒ හැරුණු විට, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය අවසාන වශයෙන් තීරණය කරන්නේ (පෞද්ගලික හෝ රජයේ / මුදල් ගෙවන හෝ නොගෙවන) ඒවායේ ඉගෙන ගන්නා සිසුන් හෝ ඔවුන්ගේ දෙමවුපියන් විසිනුයි. වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය තීරණය කරන්නේ පාරිභෝගිකයින් (රෝගීන් හෝ ඔවුන්ගේ භාරකරුවන්) විසිනුයි. එය කාටවත් පාලනය කළ නොහැකියි. මිනිස්සු හිතනවානම් කවුරු හෝ 'වෛද්‍යවරයෙක්' ඇස් වලට ඇඟිලි තබා තෙරපූ විට ඇස් පෙනීම එක් වරම ඉහළ යනවා කියා, ඒ 'වෛද්‍යවරයා' සාමාන්‍ය පෙළ සමත්ද කියා වත් සොයා නොබලා මිනිස්සු ප්‍රතිකාර ගන්නවා. බටහිර වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය හා ආචාර ධර්ම තීරණය කළ යුත්තේ ඔවුන්ගේ වෘත්තීය සංවිධානයක් විසිනුයි. නමුත්, ඔවුන්ට එය වෙනත් අය මත බලෙන් පැටවීමේ හැකියාවක් නැහැ. ඔවුන් විසින් කළ යුත්තේ ඔවුන්ගේ නිර්ණායක අනුව ප්‍රමිතියක් ඇති (හා නැති) අය ගැන පාරිභෝගිකයින් (රෝගීන්) දැනුවත් කිරීමයි. ඒ නිර්ණායක වල ප්‍රමිතිය ගැන අවසාන වශයෙන් නිගමනය කරන්නෙත් පාරිභෝගිකයින් විසිනුයි.

      Delete
    2. //නෙවිල් ප්‍රනාන්දු මහතා මෙය ආරම්භ කරන විටම තමන් උගත් වෛද්ය පීඨයේ තිබුණු ප්‍රමිතියට මෙය ආරම්භ කොට, රෝහලට එන රෝගීන්ගෙන් කිසියම් ප්‍රතිශතයකට නොමිලේ ප්‍රතිකාර කිරීමට කටයුතු කරානම් (ශික්ෂණ රෝහලක අවශ්යතා සපුරාගන්නට පුලුවන් මට්ටමින්) සයිටම විරෝධීන්ගේ විරෝධතාවේ කේන්ද්‍රීය හේතූන් වියහහැකියයි උපකල්පනය කළකැක්කේ මොනවාද?//
      එහෙම කළා කියා තත්ත්වයේ කිසිම වෙනසක් විය හැකිව තිබුනේයැයි මම හිතන්නේ නැහැ. ප්‍රමිතිය කියන එක අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය ලෙසකින් අර්ථ දක්වා ගත හැකියි. ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය සැබෑ ප්‍රශ්නය වසා ගැනීමට ඉදිරිපත් කළ දෙයක් (cover up story) පමණයි. සයිටම් විරෝධී සටනට හා අවසන් ප්‍රතිඵලයට මූලික වශයෙන්ම හේතු වුනේ පැවති (හා පවතින) දේශපාලන බලතුලනයයි.

      Delete
    3. //ඔහුට වැරදුනේ කොතැනද? //
      ඔබ කියන කරුණු ඇත්ත. නෙවිල් ප්‍රනාන්දුව අප මුලින්ම දැන සිටියේ සයිටම් අයිතිකාරයා ලෙස නෙමෙයි. ජේආර්ගේ ආණ්ඩුව කාලයේ ඔහු ක්‍රියාකළ ආකාරය සුවිශේෂීයි. මම හිතන්නේ ඔහු ලංකාවේ දේශපාලන බලතුලනය වැරදියට ඇස්තමේන්තු කළ බවයි. එය ඔහුගේ දුර්වලතාවයක් ලෙස සැලකිය නොහැකියි. සයිටම් ආරම්භ කරන කාලයේ නෙමෙයි 2014 අන්තිම පමණ වන තුරු (වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකයා වන තුරු) මහින්ද රාජපක්ෂව පරාජය කිරීමේ කිසිම හැකියාවක් පෙනෙන්න තිබුණේ නැහැ. ආණ්ඩුව වෙනස් නොවුණානම් සයිටම් විරෝධය මෙතරම් දුර ගෙනයන්න ලැබෙන්නේ නැහැ. කණ්ඩායම් කිහිපයක් එළියට දමාගන්න ලැබුණානම් සයිටම් රටේ ස්ථාපිත වෙනවා. එසේ වුනානම් නෙවිල් ප්‍රනාන්දුගේ මූල්‍යමය අරමුණු වගේම අමතර අරමුණුත් ඉටු වෙනවා. අනික් අතට, මෙතෙක් ඉතිහාසයේ වුනා වගේ පැවති ආණ්ඩුව ජනතාවට එපා වී ප්‍රබල එජාප ආණ්ඩුවක් බලයට ආවානම් ඒත් සයිටම් සටන මෙසේ අවසන් වේයැයි හිතිය නොහැකියි. පවතින දේශපාලන බලතුලනය සයිටම් ආරම්භ කරන කාලයේදී කිසිවෙකුට පහසුවෙන් පුරෝකථනය කළ නොහැකි වූ තත්ත්වයක්.

      Delete
    4. //මේකෙන් කියන්නෙ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට ආයෝජනය කිරීම රාගමින් අවුරුදු විස්සකට තිහකට පස්සෙත් බැහැ කියන එකද?//
      මේකනම් ගොඩක් විස්තරාත්මකව පැහැදිලි කළ යුතු දෙයක්. අදාළ හැම දෙයක්ම පැහැදිලි කරන්නනම් පෝස්ට් ගණනාවක් ලියන්න වෙයි. පළමුව කියන්න තියෙන්නේ රාගමින් අවුරුදු විස්සකට තිහකට පස්සෙත් ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින්ගේ ශ්‍රම වෙළඳපොළේ ස්වභාවය ආකෘතිමය ලෙස ලොකුවට වෙනස් වී නැති බවයි. දෙවනුව, ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට ආයෝජනය කිරීමට නොහැකි වීම විශාල ප්‍රශ්නයක්ද කියා හිතන්න වෙනවා. සංකල්පීය නිදහස් වෙළඳපොළක සිට ආපස්සට සිතූ විට මෙය පැටලුණු නූල් බෝලයක එක කොනක් පමණයි. එක කොණක් හෝ පැටලුම් ඇරීම කිසිවක් නොකර ඉන්නවාට වඩා හොඳ වුවත්, එය අමාරු බව පේනවානම් පැටලුම අරින්න දඟලා තවත් ගොඩක් පටලගන්නවට වඩා වෙනත් කොණකින් පටන් ගැනීමයි වඩා සුදුසු. ආණ්ඩුව විසින් තීරණය කර ඇති පරිදි තවත් වෛද්‍ය පීඨ තුනක් ආරම්භ කිරීම හා රටේ සියලු දෙනාට බදු ගොනු කිරීම අනිවාර්ය කිරීම (විරෝධතා හමුවේ හකුලා නොගත්තොත්) වැනි ක්‍රියාමාර්ග නිසා වසර 4-5කින් මේ ප්‍රශ්නයේ ස්වභාවය සැලකිය යුතු තරමින් වෙනස් විය හැකියි.

      Delete
  3. සයිටම් නාටකය ට තිත තිබීමේ ආසන්නම හේතු දෙමාපියන්ගේ උපවාසය වඩා, ළඟ එන ජන්දය සහ කීප තැනක පාසල් ළමුන් පාරට බස්සවිමයි, කොතෙනක හෝ පාසල් ළමුන්ට ගැහුව නම් කතන්දරේ බැලන්ස් එක තනිකරම රජයට අහිතකර විදිහට වෙනස වෙනවා. මෙතැනදී වින් වින් විසදුමක් හොයාගෙන ක්‍රෙඩිට් එක යුන්පිය උස්සපු එක ගැන ජනාධිපති පාර්ශවය අසතුටු බවයි රනිල්ට බොන්ඩ් කේස් එකට තාවකාලිකව හෝ ස්ටෙප් ඩවුන් වෙන්න එන ඉල්ලීමෙන් පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පාසැල් ළමුන් බැස්සූ බව දැන සිටියේ නැහැ.

      Delete
    2. මං හිතන්නේ ඒ සටන අවසානවීමට දිනකට පෙර දවසේයි.
      https://www.facebook.com/suriyaarachchi/posts/10155940960448793

      Delete
  4. //වෙළඳපොල තරඟය වැඩිවීම නිසා සිදුවන අවාසිය පැත්තකින් තිබ්බත් එහි වෘත්තීය ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක්ද තිබේ. ලංකාවේ නීතිඥ වෘත්තිය හා අදාළව දැනටමත් මෙවැනි තත්ත්වයක් ඇති වී තිබේ. //

    ලංකාවෙන් සුදුසුකම් ලබන නීතිඥයෙකුට වඩා ලේසියෙන් වයිද්‍යවරයෙකුට පිටරට රස්සාවක් හොයා ගත්ත හැකි නේද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නීතිඥ වෘත්තිය විනාශ වූයේ නීති විද්‍යාල විසින් ප්‍රමිතිය නිසි පරිදි තබාගැනීමට අසමත් වීමත් අධික ලෙස නීතිඥ වරුන් වුවමනාවටත් වඩා බිහිකිරීමත් නිසා බව මගේ පුද්ගලික මතයයි. (මෙම තත්වය ඉන්දියාවේ නම් මීටත් වඩා දරුණු ලෙස දොස්තරලා ඉංජිනේරුවෝ ආදීනුත් මුහුණ දෙන දැඩි අර්බුදයක්; උදා: ඉන්දියාවේ තමිළ්නාඩු ප්‍රාන්තයේ පමණක් ඉංජිනේරු විද්‍යාල 36,000කට වැඩියෙන් වසරකට ඉන්ජිනේරුවෝ 100,000 ක් පමණ තනති. මින් 40,000 පමණ අදාළ ඉංජිනේරු අංශවලට ඉතා අසීරුවෙන් ඇතුළු වී රැකියා ලබන නමුත් බහුතරයක් බැංකු සේවකයින්, මාධ්‍යවේදීන්, සේල්ස්‍රෙප්ලා, වෙලදසැල්, ටුවර් ගයිඩ්ලා ආදී ඔඩ් ජොබ් කරති)

      සැබැවින්ම "නීතිඥ වෘත්තිය" කියන්නේ වෘත්තියකට පමණක් සීමා වූ දෙයක් නෙමෙයි. එය ඉතා පුළුල් පරාසයක් ඔස්සේ විහිදී පවතිනවා. ඔබ ඉහත පැවසූ වෛද්‍ය වෘත්තියත් එවැනි දෙයක්. වෛද්‍යවරුන් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට බැදී සිටිනවා. ඒ ආකාරයෙන් නීතිඥ වෘත්තිය රටේ සියලු පද්ධතීන් ආරක්ෂා කිරීමට බැදී සිටිනවා.

      නීති ක්ෂේත්‍රයේ දියුණුව තුළින් ශ්‍රී ලංකා සමාජය වඩාත් විනයගරුක උසස් ආචාර ධර්ම අනුව හැසිරෙන යහපත් යුක්තිගරුක එකක් විය යුතුයි. අපිට තිබෙන්නේ ආසියාවේ තිබෙන පැරණි නීති පද්ධතියක් නෙමෙයි. ඒ නිසා අපේ නීති ක්ෂේත්‍රය නවීන හා හොදම නීති පද්ධතියක් බවට පත් කිරීම රජයේ මෙන්ම පොදුවේ සියලු පුරවැසියන්ගේම යුතුකමක් නොවේද?

      Delete
    2. ඔබ සමග එකඟයි. ("නීති විද්‍යාල" නොවේ. - එකයි තියෙන්නෙ. නීති පීඨ සහ පිටරට උපාධි දෙන ආයතන හුඟක් තියනවා )
      මං කිව්වෙ වෙනත් දෙයක්. නීතිඥයන් වැඩියි. ලංකාවෙ නීතීඥයෙකුට වඩා ලේසියෙන් වයිද්‍යවරයෙකුට පිටරට රස්සාවක් හොයා ගන්න පුලුවන්. එනිසා දැනට නම් වයිද්‍යවරුන් වැඩි වීමේ ප්‍රශ්නයක් නෑ නේද?

      Delete
    3. එහෙම විදේශ ගතවෙනවානම් අදාළ රටෙහි වෛද්‍ය සභාව විසින් පවත් වන විභාගයක් සමත් විය යුතුයි. ඇත්තටම ලංකාවේ වෛද්‍යවරු පිටරට සේවය කරන්නේ හුගක් අඩුවෙන්. අනෙකුත් විද්‍යා උපාධිදාරින්ට සාපේක්ෂව.

      Delete
    4. ප්‍රාජේගේ ප්‍රශ්නයට ඔව් නෑ පිළිතුරනම් ඔවු විය යුතුයි. නමුත්, පහල ඇනෝ කියල තියෙනවා වගේ ලංකාවේ වෛද්‍ය උපාධිධාරියෙකුට වෙනත් රටක රැකියාවක් හොයා ගන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා. පරිගණක, ඉංජිනේරු, ගණකාධිකාරී වැනි ක්ෂේත්‍රයකට සාපේක්ෂව මෙය අමාරු වැඩක්. තාවකාලික වෛද්‍ය හිඟයන් ඇති වූ විට ඇතැම් කාලවල ඇතැම් රටවලදී මෙය සාපේක්ෂව පහසු වෙනවා.

      Delete
  5. විවිධ රංගන ඔස්සේ දිග හැරුණු මේ ප්‍රශ්නය මේ විදියෙන් අවසන් වුනත් නැවත තවත් ආයෝජකයෙක් නෙවිල් ප්‍රනාන්දු ගත්තා වගේ අභියෝගාත්මක ආයෝජනයක් මේ ක්ෂේත්‍රයේ කරයිද කියන ප්‍රශ්නය තියෙනවා.අර උඩින් ඇනෝ කෙනෙකුත් අදහස් දක්වා තියෙන විදියට මේ ආකාරයෙන් කටයුතු කරන්න ඔහු දේශපාලකයෙක් විදියට ලබපු පන්නරයත් යම් විදියකින් ඉවහල් වන්න ඇති.

    හොඳ පැහැදිලි කිරීමක් ඉකනෝ.

    ReplyDelete
  6. ඔබේ මතවාදයට අනුව සමබරව ලියලා තියෙනවා. අපේ රටත් ආර්ථික අතින් පොහොසත්, දූෂණයෙන් වංචාවෙන් හා මැරකම් වලින් තොර, ඒ වගේම දියුණු වෛද්‍ය අධ්‍යාපන හා රෝහල් තිබෙන රටක් නම් ඔබේ මතවාදය ගැන සලකා බලන්ඩ තිබුණා. නමුත් සම්පූර්ණයෙන්ම එහි අනිත් පැත්තේ තියෙන රටක් විදිහට හා සැලකිය හැකි තත්වයක තියෙන ප්‍රථම වෛද්‍ය උපාධි අධ්‍යාපනය , තියෙන තැනෙනුත් පල්ලෙහාට ඇදලා දැමීමට හේතුවෙන ආයතනයක් ඇත්තටම නැවතුනානම් මා නම් ඉතාම සතුටු වෙනවා.
    නමුත් ඔබගේ පහත අදහස් පිළිබඳව මගේ පැහැදිලි කිරීම් ලියන්ඩ හිතුවා.

    #යම් හෙයකින් දෙමවුපියන් උපවාසයට එකතු වුනේ හදිසි තීරණයක් මත නොව පුළුල් සැලසුමක කොටසක් ලෙසයැයි සැලකුවත් එයින් සයිටම් විරෝධී ව්‍යාපාරයට විශාල ජවයක් ලැබුණු බව පැහැදිලිය.#

    ලොකු සැකයක් තියෙනවා ආණ්ඩුවේ ගැටයකට අහුවුනාද කියලා.!!!

    #ඔවුන්ට තිබුණේ, පෙර කී පරිදි, සිය වෘත්තිය, අනාගත වෘත්තිය හෝ දරුවන්ගේ අනාගත වෘත්තිය පිළිබඳ ප්‍රශ්නයකි. #
    දැනට ඉන්න වෛද්‍යවරු ගැන සලකනවානම්, මම මෙයට මුලිනුත් ඔබට කියා ඇති ආකාරයට මෙය අපේ වෘත්තිය පිළිබඳ ගැටලුවක් නෙවෙයි. ඇත්තටම අපේ මට්ටමේ ඉන්න වෛද්‍යවරුන්ට සයිටම් වගේ ආයතනවලින් වාසියක් තමයි වෙන්නේ. නමුත් ඔවුන්ට අනාගතයේදී කිසිම වෘත්තිය ගැටලුවක් ඇතිවීමේ තර්ජනයක් නැතුව සියයට අනූනවයකට වැඩිය මෙයට විරුද්ධයි.
    මම හිතන්නේ නැහැ වෛද්‍ය සිසුනුත් ඔවුන්ට වෙන අවාසියක් ගැන සිතා මෙයට විරුද්ධ වෙනවා කියා. සිසු නායකයන් ලඟින් ඇසුරු කර අයෙකු ලෙස මම හිතන්නේ ඔවුන් වඩා අවධානය යොමු කලේ අධ්‍යපනයේ නිදහස ගැනයි.
    දෙමව්පියන්ටනම් එය දරුවන් පිළිබඳ ගැටලුවක්. නමුත් එයිනුත් සැළකිය හැකි පිරිසක් සිටියා අනාගතය ගැනත් හිතපු.

    # සයිටම් විරෝධයට මුල් වූ වෛද්‍යවරුන්ගේ හා අනාගත වෛද්‍යවරුන්ගේ සැබෑ ප්‍රශ්නය වූයේ ඒ හරහා ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින් සැපයුම විශාල ලෙස ඉඩ යා හැකි වීමේ ප්‍රශ්නයයි. මෙවැන්නක් ඇත්තටම සිදුවීමේ ඉඩක් තිබුණු අතර සයිටම් හෝ වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨ නොතිබුණත් තව වසර ගණනාවකට පසු වෛද්‍ය උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා ගැනීමේ is ප්‍රශ්නයක් ඇති වෙන්නට ඉඩ තිබේ.#

    ලංකාවේත් සෞඛ්‍යය අමාත්‍යාංශයේ සෞඛ්‍යය ආර්ථික විශේෂඥයින් සිටින අතර ලංකාවේ ආර්ථිකයට දැරිය හැකි උපරිම රජයේ හා පෞද්ගලික වෛද්‍යවරු ගැන ඔවුනට පැහැදිලි අවබෝධයක් තියෙනවා. උදාහරණයක් විදිහට මම වැඩකරන අංශය ගත්තොත් ඔවුන් පැහැදිලි උපදෙස් දීලා තියෙනවා අපේ ඉදිරියට පුහුණු කරන ප්‍රමාණය අඩු කරන්ඩ කියලා. ඔවුන් වැඩිපුර ආවා කියලා අපිට නෙවෙයි ප්‍රශ්ණය අලුතෙන් එකතුවෙන අයටයි. අනිවාර්යයෙන්ම මේ විදිහටම ගියොත් සැළකිය යුතු ප්‍රමාණයක් රටට අහිමි වෙනවා. නමුත් අපි ඒ සඳහා ලොකු වියදමක් දරනවා.
    සාමාන්‍යය වෛද්‍යවරුන්ටත් මෙය අදාලයි. ඔවුන් තව වසර දෙක තුනකින් අපේ ආර්ථිකයට දැරිය හැකි මට්ටමට ලඟාවෙනවා. ආර්ථිකය ප්‍රසාරණය නොවුනොත් ඔබ කියෙන තත්වය අනිවාර්යයි. එය විෂම චක්‍රයක් වගේ ආපහු රටටමයි බලපාන්නේ. කරුමෙකට අපිට අනාගතය දකින්ඩ පුළුවන් නායකයෝ හා නිලධාරින් නැහැ. ඔවුන් හිතන්නේ අපි දැන් සියලුම අංශවලින් ඉන්නේ ඇමරිකාව මට්ටමේ කියලා.

    # සයිටම් අහෝසි කිරීමත්, ඒ හේතුවෙන් තවත් වසර ගණනකට වෛද්‍ය සැපයුම සීමාවීමත් නිසා ඔවුන්ට ජීවිතකාලීන වාසියක් ලැබුණත් අරගලය ඇදී ගිය කාලය සැලකූ විට ඔවුන්ට ශුද්ධ වාසියක් ලැබුණේද යන්න සැක සහිතය. #

    ඔයා මොන කාලයක සිටද මේ විදිහට සියල්ලම මුදල් මත තීරණය කරන්ඩ හිතුවේ, විශේෂයෙන්ම සිසු සටන්. මෙම සටනේ අවංකවම සටන් වැදුනේ ඔවුන්. ඔවුන් ජීවිත කාලයේ වැදගත්ම අවුරුද්දක් තමා කැප කෙරුවේ. මම හිතන්නේ නැහැ ඔවුන් එයින් කිසිම වාසියක් බලාපොරොත්තු වුනා කියලා. හරියට අපිට අපේ අවුරුදු තුනක් නැතිවුණා වගේ.

    ReplyDelete
  7. #මාරාන්තික උපවාසය ආරම්භ වුණේ මස් රාත්තලම ඉල්ලන අසාධාරණ සටනක් හමුවේ පවා ආණ්ඩුව විසින් මරණයක් ලබා දීම පරක්කු කරමින් සිටි පසුබිමකදීය. ඒ නිසා, මේ උපවාසය හරහා හෝ බලාපොරොත්තුවෙන් සිටි මරණය ලබා ගනිමින් සයිටම් අරගලය වඩා පුළුල් තලයකට ව්‍යාප්ත කර ගැනීමේ උත්සාහය #
    ඔබ මෙයින් අඟවනවා සයිටම් විරෝධී බලවේග අසාධාරණයි, ආණ්ඩුව හොඳයි කියලා.
    එක මෙම සටන සම්පූර්ණයෙන්ම සාධාරණ හා කිසිම ලෙසකින් පරාදවිය යුතු සටනක් නෙවෙයි. ඔවුන් දිනුවනම් අපි තව අවුරුදු කිහිපයකින් සෑම අංශයකින්ම අසමත් රාජ්‍යයක්.
    දෙක ආණ්ඩුව සිටියේ සිසුන් නොමරා මරමින් අපේ ආර්ථික වර්ධනයට කිසිම විදිහකට බලපෑම් නොකරන, කිහිප දෙනෙකුගේ පුද්ගලික වාසි සඳහා කලුකඩයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් ආරක්ෂා කරමින්.
    ඒ වගේම ඔබ අඟවනවා මෙම උපවාසය සමහර බලවේග විසින් ඔවුනගේ පටු අරමුණු ලබා ගැනීමට ආරම්භ කලා කියලා. මෙය දෙමව්පිය සංගමයේ පුද්ගලයින් කරපු යෝජනාවක්. එයට මුලින් අනිත් බහුතර බලවේග විරුද්ධවී තිබෙනවා. සංවිධාන ව්‍යුහය අතින් ඉතා දුර්වලම දෙමව්පිය සංගමයයි. ඒ නිසයි මෙය ආරම්භ කරපු හා අවසාන කරපු ආකාරය ගැන සැක හිතෙන්නේ.


    #විදෙස් සරසවියකට දරුවන් යැවීම වැනි විකල්ප සයිටම් වලටද වඩා වාසිදායක නිසා සයිටම් වලින් ඔවුන්ට විශාල වාසියක් ලැබී තිබුණේ නැත. සයිටම් රැකගැනීම වෙනුවෙන් සංවිධානාත්මක ව්‍යුහයක් ගොඩ නොනැඟුනේ එබැවිණි.
    මෙයත් ඔබ මුදල්ම ගැන හිතා කෙරෙන ප්‍රකාශයක්. මුදල් ගැන හිතුවොත් මෙයට බොහෝ අඩුවට පවත්වාගෙන යන ආයතන ඉතාම ලේසියෙන් හොයා ගන්ඩ පුළුවන්. නමුත් සයිටම්හි සිටින බහුතරයක් බලාපොරොත්තු වෙන්නේ වෙනත් වාසි. මොකද මුදල් ඔවුන්ට කිසිම ප්‍රශ්ණයක් නෙවෙයි. එම වාසි එකිනෙකාට අනුව වෙනස්.
    1. ඇතුලත් කිරීමේ සුදුසුකම්. සමහරු පිටරට පීඨවල 2nd MBBS කර එය අසමත්වී සයිටම්වලට තෙවන වසරේ සිට ඇතුළුවී තිබෙනවා.
    2.පිටරටදී අභ්‍යන්තර විභාගයට බලපෑම් කිරීමට ඇති අපහසුව. සයිටම්හි සැළකිය යුතු ප්‍රමාණයක ළමුන්ගේ දෙමව්පියන්ම ඉගැන්වීමේ කටයුතුත් කරනවා.
    3.වැදගත්ම කරුණවන 10% ටත් අඩුවෙන් සමත් වෙන ERPM විභාගය මඟහැරීමේ ඇති උවමනාව.

    #මෙහිදී වෛද්‍ය අධ්‍යාපනය පමණක් වෙනස් ලෙස සැලකුණේ එම වෘත්තියේ ඇති සුවිශේෂීතාවක් නිසා නොවේ. වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා සැපයීමේ වෙළඳපොළේ පවතින සුවිශේෂීතාවය නිසාය. වෙනත් වෘත්තීය ක්ෂේත්‍ර වලින් වෙනස්ව එහි ඇත්තේ මධ්‍යගත ලෙස සැලසුම් කෙරෙන රාජ්‍ය ඒකාධිකාරයකි.#

    පැහැදිලිවම වෛද්‍ය වෘත්තියේ කිසිම සුවිශේෂීත්වයක් නැත. එය ඇත්තේ වෛද්‍ය අධ්‍යාපනයේයි. එම නිසයි අපි කියන්නේ එය ලංකාවේදී පුද්ගලික ව්‍යාවසායකයන්ට කිරීමට හැකියාවක් නැහැ කියලා.
    1. අපේ පාඨමාලාවේ අවුරුදු තුනක්ම විවිධ රෝගින් හැදෑරීමක් කල යුතුයි. ඒ සදහා හැකියාව තියෙන්නේ රජයේ රෝහල් වලට විතරයි. එම නිසා සම්පූර්ණයෙන්ම තනි පුද්ගලික ආයතනයකට මෙය කිරීමට නොහැකියි.
    2. අනික අවුරුදු පහෙන් පසු පුහුණුව අවසන් නැහැ. අපි internship එක කල යුතුයි. එය කිරීමට පුළුවන් රජයේ රෝහල්වල විතරයි. දැන් අපේ රටේ base hospital A දක්වා තියෙන සියලුම රෝහල් වල interns ලා ඉන්නවා. අපේ රෝහල් පද්ධතිය හදිසියේ වර්ධනය වෙන් නැත්නම් අපිට අවුරුද්දකට intern ලා පුහුණු කරන්ඩ පුළුවන් උපරිමයට අපි ලඟාවී සිටින්නේ.


    #ලංකාවේ රාජ්‍ය ව්‍යුහය තවදුරටත් පුළුල් කළ නොහැකි නෛසර්ගික සීමාවකට දැනටමත් පැමිණ ඇති බැවින් අනාගත වෛද්‍ය උපාධිධාරීන්ගේ රැකියා සුරක්ෂිතභාවය හා අදාළව පිපිරෙන්නට නියමිත කාල බෝම්බය පිපිරීම සයිටම් අහෝසි වූ පමණින් වැළකෙන්නේ නැත. ඒ ප්‍රශ්නය විසඳාගත හැක්කේ වෙළඳපොළ කෙරෙහි විශ්වාසය තැබීමෙන් පමණි.#

    මේ පිළිබඳව සියලුම වගකිව යුතු පාර්ශවයන් දැනුවත් කර ඇති අතර අපට දුර දක්නා නායකයන් නැත. ලංකාවෙහි ක්‍රියාත්මක වෙන්නේ කලුකඩ වෙළඳපොළ ක්‍රමයකි. අවංක, දුර දක්නා, සියලු දෙනාගේ අදහස් වලට ගරුකරන නායකයෙකු තවම පහලවී නෑ වගේ.

    ReplyDelete
  8. # මේ සියලු කොටස් ඉවත් කළද සයිටම් අරගලය අසාධාරණ බවත්, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ඉඩ සැලසිය යුතු බවත් සිතූ විශාල පිරිසක්ද වූහ.#

    මෙම පිරිස ඉතාම සුළු පිරිසකි. ඔවුන්ගෙනුත් බහුතරය වෛද්‍ය අධ්‍යාපනය ගැන කරුණු හරියට අධ්‍යයනය නොකරපු අයයි.
    අධ්‍යයනය කරපු අයගෙනුත් මෙම සටන අසාධාරණයි කියා කියන සුළු පිරිසක් මෙයින් කෙලින් හෝ වක්‍රව වාසි ගන්න පුද්ගලයින්. ඉතාම සුළු පිරිසක් ඉන්නවා ඔවුන් ලෝකයේ තියෙන සියලුම ප්‍රශ්ණ වලට උත්තර දන්නවා කියලා හිතන.


    #වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට විරුද්ධ වුවත්, පොදුවේ උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය වීම නිසා ප්‍රයෝජන ගන්නේ සයිටම් වලට එරෙහි වූ සමාජ ස්ථරයමය. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මඟින් පිරිනමන වෙනත් උපාධි සඳහා පවතින ඉල්ලුම එන්නේ මේ සමාජ ස්ථරයෙනි.#

    වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට සුදුසු පරිසරයක් ලංකාවේ පේන තෙක් මානයකවත් නැත. අනිත් ඒවා ගැන මම කියන්ඩ යන්නේ නැහැ. නමුත් මම එකක් කියන්නම්. අපි මෙම සටනේදී FUTA වල සහයෝගය ලබා ගැනීමට සාකාච්ඡාවකට සහභාගිවී සිටියදී ඉන්ජිනේරු පීඨයක සභාපති කෙනෙක් කියපු එකක් කියන්නම්.
    " අපිටත් මේ වගේම ප්‍රශ්ණයක් තියෙනවා. නමුත් අපි ඒ පිළිබඳව වැඩිය හිතන්නේ නැහැ . මොකද ඔවුන්ගේ අධ්‍යාපනයෙන් පසුව එළියට එන්නේ සාමාන්‍යයෙන් කාර්මිකයෙකුගේ දැනුමට හා පුහුණුවට සමාන අයෙක්. මෙය සියලු දෙනාම දන්නා නිසා එහිදී සේවා යෝජකයාට, ලාභියාට හා රැකියා ලාභියාට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. “

    #සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය පීඨ වලට ඉල්ලුමක් එන්නේ "සල්ලිකාරයන්ගේ මෝඩ පුත්තුන්ගෙන්" නොවේ. (පුරුෂ ලිංගිකත්වය යොදාගත්තේ සාමාන්‍ය ව්‍යවහාරය අනුව යමිනි.) ලංකාවේ සල්ලිකාරයන්ගේ මෝඩ පුත්තුන්ට වෛද්‍ය පීඨයකට ගොස් කටු නොකෑවාට තවත් කරන්නට වැඩ ඕනෑ තරම් තිබේ. ලංකාවේ ඉහළම ආදායම් ලබන, වෘත්තීය රැකියා නොකරන ස්ථරයට රජයේ වෛද්‍ය පීඨ වලින් තබා සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය පීඨ වලින්ද වැඩක් නැත#
    ඔබ මෙහිදී ධම්මික පෙරේරා, හැරී ජයවර්ධන හා ලලිත් කොතලාවල පන්නයේ අය ගැන සඳහන් කරානම් පිළිගන්ඩ තිබුණා. නමුත් ඒ අය 0.1% ත් වඩා අඩුයි. ලංකාවේ අනිත් ඉහළ ආදායම් ලබන, වෘත්තීය රැකියා නොකරන, කරන සැළකිය යුතු පිරිසක් මෙවැනි වෘත්තිය අධ්‍යාපනය ගැන උනන්දුයි. උදාහරණයකට මම රෝහල් දෙකක වැඩ කරනවා. ඒවා දිවයිනේ ටිකක් ලොකු නගරවල පිහිටා තියෙන්නේ. ඒ නගර දෙකේම ඉදිරියෙන්ම සිටින ව්‍යාපාර කරන පුද්ගලයින් කිහිප දෙනෙකුගේම ළමයි සයිටම්හි ඉගෙන ගන්නවා.


    # බිස්නස් කාරයෙක් කියන්නේත් වෛද්‍යවරයෙකු වැනිම ජනතාවට සේවයක් සලසන අයෙකි. එහෙත්, බොහෝ දෙනෙක් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුව "නෙවිල් මුදලාලි" ලෙස හැඳින්වූයේ මේ මුදලාලිගේ සේවය ගැන ගෞරවයක් වශයෙන් නොවේ. ඇත්තටම නෙවිල් ප්‍රනාන්දු හොඳ බිස්නස් කාරයෙක් ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට අත ගැසීම කිසියම් ව්‍යවසායකයෙකු විසින් ගන්නා අවදානමට සරිලන තරමේ ලාභ නොලැබිය හැකි කටයුත්තකි.#

    ඇත්තටම ඔහු හොඳ බිස්නස් කාරයෙක් නෙවෙයි. ඔහු සක්විති පන්නයේ වංචනික කපටි පුද්ගලයෙක්. ඒ නිසයි ඔහු මුදලාලි ලෙස හැඳින්වුනේ කියලා මම හිතන්නේ. ඔහු උත්සාහ කෙරුවේ මුදලට නම්මා ගත හැකි දේශපාලඥවරුන් හා නිලධාරින් ලවා රටේ නීතියට පිටින් හොර බිස්නස් එකක් කිරීමයි.
    අපි වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සමඟ තිබූ සාකාච්ඡාවකදී එක පීඨයක සභාපති කෙනෙකු කීවේ ඉතාම නිවරැදි කරුණක්. ඔහු කීවේ සයිටම් පටන් ගැනීමේදී ඔවුන් විශ්වාස කෙරුවේ ආදායම් මාර්ග දෙකක්.
    1. රෝගීන්ගෙන් මුදල් අයකර රෝහලෙන් ලබන ආදායම.
    2. ළමුන්ගෙන් මුදල් ගෙන වෛද්‍ය පීඨයෙන් ලබන ආදායම.

    ඔහු කිසිම අවදානමක් ගන්ඩ හිතුවේ නැහැ.




    #සයිටම් ප්‍රශ්නය කිසිවිටෙකත් ලංකාවේ බහුතර ජනතාවගේ ප්‍රශ්නයක් වුණේ නැත. ඇත්තටම කියනවානම් මේ ප්‍රශ්නයේ අන්ත දෙකේම හිටියේ සෑහෙන තරමකින් අතිපිහිත වන එකම සමාජ ස්ථරයකි. සයිටම් විරෝධීන් මෙන්ම සයිටම් විරෝධ විරෝධීන් වැඩි දෙනෙක්ද සිටියේ මේ එකම සමාජ ස්ථරය ඇතුළේය.#

    මෙය අපේ රටේ අනාගත පරපුරේ අධ්‍යාපනයේ හා සෞඛ්‍යයයේ ප්‍රශ්ණයක්. ඒ නිසා බහුතරය සංවේදී නොවුනාට එය බහුතරයකගේ ප්‍රශ්ණයක්. ඔබේ මෙම සමාජ ස්ථර අතිපිහිතවෙන කතාවත් එය උඩින් අත ගෑමෙන් කෙරෙන ප්‍රකාශයක්. මොකද දෙකේම දෙමව්පිය සංගමයේ සභාපති වරු වෛද්‍යවරු. නමුත් යටින් එහෙම නැහැ.
    රජයේ පීඨවල තියෙන්නේ මුළු සමාජයේම නියොජනයක්. ඔයා කිවුවාට වෛද්‍යවරුන්ගේ හා ඉහල වැටුප් ලබන වෘත්තිකයින්ගේ දරුවන් වැඩියි කියා. එම ප්‍රමාණයෙහි අපේ කාලයට වඩා ලොකු පැහැදිලි වෙනසක් නැහැ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget