වෙබ් ලිපිනය:

Monday, December 11, 2017

හිරගෙදර සියල්ලේ අවසානයද? (දෙවන කොටස)


පසුගිය ලිපියෙන් අප කතා කළේ මිෂෙල් ජෝන්ස්ට වසර පණහක සිර දඬුවමක් නියම වීමට හේතු වූ පසුබිම් කතාවයි. බැලූ බැල්මටම ඇය තමන්ගේම කුසින් වැදූ වයස අවුරුදු හතරක ආබාධිත දරුවාට තාඩන පීඩන කර මරා දැමූ හෝ නොසැලකිල්ල නිසා මැරෙන්නට සැලැස්වූ අපරාධකාරිනියකි. ඇගේ දරුවා වූ බ්‍රෙන්ඩන්ගේ මළ සිරුර පසුව හෝ හමු නොවුනත්, එම දරුවා මිය ගොස් ඇති බව සිතන්නට සැලකිය යුතු තරම් සාධක තිබුණේය. එහෙත්, එම මරණය සිදු වූ ආකාරය හරියටම දන්නේ මිෂෙල් පමණි.

මිෂෙල්ගේ මිතුරියන් හා අසල්වැසියන් විසින් ලබා දුන් සාක්ෂි ඇයට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කිරීම සඳහා යොදා ගැනුණු අතර මේ ඇතැම් සාක්ෂි පදනම් වුයේ ඈ විසින්ම ඔවුන්ට කියා තිබුණු දේවල්ය. බොහෝ විට මිෂෙල් විසින් බ්‍රෙන්ඩන්ව මරා දමන්නට අදහස් නොකළා වන්නට ඇත. එහෙත්, ඇය දරුවා සම්බන්ධයෙන් දක්වා තිබුණු නොසැලකිල්ල ඉතා පැහැදිලිය. දරුවා මිය ගොස් ඇතැයි සැක සිතීමෙන් පසු ඇය දරුවාව වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් නොතිබුණු අතර අඩු වශයෙන් දරුවා අතුරුදහන්ව සිටින බව පොලීසියට පැමිණිලි කර හෝ නොතිබුණේය. අවසාන වශයෙන් වසර පණහක සිර දඬුවමක් ගෙවීම සඳහා ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරයට යන්නට ඇයට සිදු විය.

ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරය ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තාවන් සඳහාම වෙන්වූ පළමු බන්ධනාගාරයයි. 1873දී මේ බන්ධනාගාරය ස්ථාපනය කිරීමට පෙර කාන්තා රැඳවියන්වද යොමු කර තිබුණේ ඉන්දියානා රාජ්‍ය බන්ධනාගාරය වෙතය. එහිදී, කාන්තාවන්ට විවිධ අඩන්තේට්ටම් වලට මුහුණ දෙන්නට සිදු වී ඇති අතර පිරිමි සිරකරුවන් විසින් පමණක් නොව බන්ධනාගාර නිලධාරීන් විසින් පවා කාන්තා රැඳවියන් දූෂණය කිරීම සාමාන්‍ය දෙයක්ව තිබී ඇත. එයට විරුද්ධ වන කාන්තාවන් නිරුවත් කර අනෙකුත් පිරිමි හා කාන්තා රැඳවියන් ඉදිරියේ කසපහර දීම සිදුවී ඇති බවට වාර්තා තිබේ. මේ යුගය සමාජ විරෝධීන් ලෙස සැලකුණු සිරකරුවන්ගේ අයිතිවාසිකම් ගැන ලෝකයේ කවර සමාජයක් හෝ එතරම් සැලකිලිමත් වූ කාලයක් නොවේ.

ඇමරිකානු සමාජ ක්‍රියාකාරිනියක රෝඩා කොෆින් හා සිවිල් යුද්ධයේදී හෙදියක ලෙස කටයුතු කර ඇති සේරා ස්මිත් විසින් ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරය පිහිටුවීමට මුල් තැන ගන්නේ මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාන්තා රැඳවියන්ගේ තත්ත්වය වඩා යහපත් කිරීමේ අරමුණිනි. රෝඩා කොෆින්ගේ සමාජ ක්‍රියාකාරිත්වය හමුවේ ඉන්දියානා රජයට කාන්තා බන්ධනාගාරය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරන්නට සිදුවන අතර සේරා ස්මිත් එහි ආරම්භක බන්ධනාගාර අධිකාරීවරිය බවට පත්වේ. මේ හේතුව නිසා පසුගිය කාලය පුරාම සමාජ ක්‍රියාකාරිනියන් ලෙස රෝඩා කොෆින් හා සේරා ස්මිත්ව ගෞරවාදරයට ලක්ව තිබේ.

මිනීමැරුමකට වරදකාරිය වී ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරයේ බිත්ති අතරට ජීවිතයෙන් අඩසියවසක් සිර කරන්නට සිදු වුවත් මිෂෙල් ජෝන්ස් ඒ හේතුවෙන් ජීවිතය පිළිබඳ යහපත් බලාපොරොත්තු අතහරින්නේ නැත. රැඳවියක ලෙස බන්ධනාගාරයේ නීති පුස්තකාලයේ සේවය අරඹන ඇය ඒ අතර නීතිය පිළිබඳ මූලික වෘත්තීය සුදුසුකමක් (පැරාලීගල්) ලබා ගනී. ඉන් පසුව, 2004 වසර වෙද්දී බෝල් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධියක්ද හිමි කර ගනී.

මිෂෙල් ඇතුළු තවත් කාන්තා රැඳවියන් ගණනාවකගේ ජීවිත වල හැරවුම් ලක්ෂ්‍ය ලකුණු කරන්නේ තවත් සමාජ ක්‍රියාකාරිනියකි. ඒ ස්වේච්ඡා පදනමින් ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරය තුළ අධ්‍යපනික වැඩ සටහනක් අරඹන කෙල්සි කෝෆ්මන්ය. ඇගේ සහයට පිළිගත් සරසවි වල විශ්‍රාමික මහාචාර්යවරු ඇතුළු තවත් කණ්ඩායමක් එකතු වේ. මිෂෙල්ට ඇමරිකානු ඉතිහාසය පිළිබඳ පර්යේෂිකාවක ලෙස නමක් සටහන් කරන්නට ලැබෙන්නේ මේ පිරිස නිසාය.

කෙසේවුවද, ඇමරිකාවේ බන්ධනාගර රැඳවියකට වුවත් නිදහස් පර්යේෂිකාවකට ලැබෙන පහසුකම් බොහොමයක් සිහිනයක් පමණි. ඔවුන්ට අද කාලයේ පර්යේෂකයෙකුට නැතිවම බැරි අන්තර්ජාල පහසුකම් නැත. බන්ධනාගාර පුස්තකාලයේ පොත් විශාල ගණනක් තිබුණත් ඒවා ප්‍රබන්ධ මිස අධ්‍යාපනික ග්‍රන්ථ නොවේ. සාමාන්‍යයෙන් ඇමරිකාවේ පුස්තකාල බොහොමයක ඇති ඉතා වටිනා පහසුකමක් වන්නේ රටේ වෙනත් පුස්තකාලයක ඇති පොතක් ගෙන්වා ගැනීමට ඇති හැකියාවයි. එහෙත්, මේ අයුරින් වෙනත් පුස්තකාලයක ඇති පොතක් බන්ධනාගාර පුස්තකාලයට ලැබෙන්නට සෑහෙන කලක් ගත වී ඇති බව පැවසේ. ඒ නිසා, මිෂෙල්ට තමන්ට අවශ්‍ය වන මූලාශ්‍ර බොහොමයක් පරිශීලනය කරන්නට වෙන්නේ බාහිර ස්වේච්ඡා ක්‍රියාකාරිකයන්ගේ උදවුවෙනි.

කෙසේවුවද, ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම කාන්තා බන්ධනාගාරය ලෙස සැලකෙන ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරයේ ආරම්භක අවධිය හා අදාළ ලිපිගොණු රැසක් එහි තිබුණු අතර ඒවා කිසිවෙකුගේ සැලකිල්ලට ලක්වී නොතිබුණේය. ඇමරිකානු ඉතිහාසය හා අදාළ වටිනා ලියවිලි ගොන්නක් ලෙස සැලකිය හැකි මේ ලේඛණ පිළිබඳව විමර්ශනයක් අරඹන්නට කෙල්සි කෝෆ්මන් විසින් මිෂෙල්ව යොමු කරවයි. එහිම තවත් රැඳවියක වන ලෝරි රෙකෝඩ්ද ඇයට එකතු වේ, ඒ වන විට ලෝරිද බෝල් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධියක්ද හිමි කරගෙන අවසන්ය.

අප එදිනෙදා අසන දකින දේවලින් අප මතක තබා ගන්නේ අපට අවශ්‍ය දේ පමණි. අපට අනවශ්‍ය දේ අප හිතාමතාම හෝ නොවැදගත් ලෙස සැලකීම නිසා අමතක කර දමන්නෙමු. කිසියම් සමාජයක සාමූහික මතකය පිළිබඳව ඇත්තේද මෙවැනිම තත්ත්වයකි. සමාජයකට පොදුවේ මතක තබා ගන්නට අවශ්‍ය නොවන දෑ කාලයත් සමඟ එම සමාජයේ සාමූහික මතකයෙන් ගිලිහී යයි. ඉතිහාසය බවට පත් වන්නේ සාමූහික මතකය තුළ ඉතිරිවන කොටස පමණි. උදාහරණයක් ලෙස මාලදිවයින මුස්ලිම් රටක් වීමෙන් පසුව එහි බෞද්ධ ඉතිහාසය බොහෝ දුරට සාමූහික මතකයෙන් ඉවත්ව තිබේ. අශෝක බුද්ධාගම ලංකාවේ ව්‍යාප්ත වීමෙන් පසුව මහාවංශයට පෙර යුගය පිළිබඳ තොරතුරු බොහොමයක් ලාංකිකයින්ගේ සාමූහික මතකයෙන් ගිලිහී ඇත. මෙවැන්නක් සිදුවන්නට සියවස් ගණනක් කල් ගත විය යුතු නැත.

ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරයේ ආරම්භක අවධිය හා අදාළ ලිපිගොණු පරීක්ෂා කළ මිෂෙල්ට හා ලෝරිට ඒ වන විට ඇමරිකානුවන්ගේ සාමූහික මතකයෙන් ගිලිහී ගොස් තිබුණු බොහෝ දේ දැනගන්නට ලැබුණේය. ඒ වාර්තා අනුව, මේ වන විට වීරවරියන් වී සිටින සේරා ස්මිත් වැනි අය හිතන තරම්ම සුදු චරිත නොවන බවත් කාන්තා රැඳවියන් හා අදාළව ඇය අනුගමනය කර ඇත්තේ ඉතා දැඩි ප්‍රතිපත්තියක් බවත් ඇයට පැහැදිළිව දකින්නට ලැබුණේය. කාන්තාවන් සඳහාම වෙන්වූ මේ බන්ධනාගාරය තුළ පවා රැඳවියන්ට සෑහෙන තරමේ අඩන්තේට්ටම් සිදු වී ඇති අතර එහි මුලින්ම පැමිණි රැඳවියන්ට මිෂෙල්ලාට තරම් හොඳ ජීවිතයක් එහිදී උරුම වී නැත.

ලේඛණ පරීක්ෂා කිරීමේදී මිෂෙල් ඇතුළු පිරිසට දකින්නට ලැබුණු පුදුම එළවන සුළු නිරීක්ෂණයක් වූයේ මුල් කාලයේ මේ බන්ධනාගාරයේ සිටි රැඳවියන් අතර ගණිකාවන් පිළිබඳ වාර්තා ඇත්තේම නැති තරම් බවයි. එහෙත්, වෙනත් ඓතිහාසික වාර්තා අනුව මේ කාලය ගණිකා වෘත්තිය විශාල ලෙස ව්‍යාප්තව තිබුණු කාලයකි. මේ ඔස්සේ කරුණු විමසන ඔවුන්ට සොයාගන්නට ලැබෙන්නේ මෙයට හේතුව ඒ කාලයේදී ඇමරිකාවේ තිබී ඇති "මග්දලේනා ලොන්ඩරි" බවයි. චරිතය අයහපත් කාන්තාවන් අල්ලා සිරගත කර තැබීම සඳහා අයර්ලන්තයේ තිබී ඇති මෙවැනි මග්දලේනා ලොන්ඩරි ගැන ඒ වන විටද අනාවරණය වී තිබුණේය.

ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරය ආරම්භ කරන්නට පස්මසකට පෙර ඉන්දියානාපොලිස්හිද මෙවැනි මග්දලේනා ලොන්ඩරියක් තිබී ඇති බවත්, පෞද්ගලික (කතෝලික පල්ලි මඟින් නඩත්තු කරන) බන්ධනාගාර ලෙස සැලකිය හැකි එවැනි මග්දලේනා ලොන්ඩරි අඩු වශයෙන් 23ක් ඊට පෙර ඇමරිකාව පුරා ආරම්භ කර ඇති බවත් මිෂෙල් හා ලෝරිට සොයාගන්නට හැකි විය. ඉතිහාසයේ මේ කාලපරිච්ඡේදය පිළිබඳ ඇමරිකානු සාමූහික මතකයෙන් ගිලිහී තිබුණු මේ තොරතුරු අනාවරණය කරමින් මිෂෙල් ජෝන්ස් හා ලෝරි රෙකෝඩ් විසින් ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාව මේ වසරේදී "Journal of the Indiana Academy of the Social Sciences" ජර්නලයේ පළ වූ අතර ඊට පෙර එම ජර්නලය පළ කරන ඉන්දියානා සමාජ විද්‍යා ඇකඩමියේ වාර්ෂික රැස්වීමේදී බන්ධනාගාරගතව සිටි මිෂෙල් හා ලෝරි විසින් වීඩියෝකන්ෆරන්ස් ක්‍රමයට මේ පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කළේය. එම පත්‍රිකාව සඳහා අදාළ වසරේ එම සංගමයට ඉදිරිපත් කෙරුණු හොඳම පර්යේෂණ පත්‍රිකාව සඳහා වන ත්‍යාගය හිමි විය.

මිෂෙල් ජෝන්ස් ගැන කතාබහ නැවතත් කරලියට එන්නේ මේ වසරේදී හාර්වඩ් විශ්ව විද්‍යාලය ඇතුළු ඇමරිකාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල රැසකට ආචාර්ය උපාධි අපේක්ෂිකාවක ලෙස මිෂෙල් ජෝන්ස් අයදුම් කිරීමත් සමඟය. ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා හාර්වඩ් විශ්ව විද්‍යාලයට ඇතුළු වීම මිනීමැරුමකට චෝදනා ලබා ඇති අයෙකු හිරෙන් නිදහස් වීමටත් වඩා අසීරු කාර්යයක් බව කිව යුතු නැත.

ඇමරිකාවේ ප්‍රධාන පෙළේ සරසවි බොහොමයක් සිසුන් තෝරා ගැනීමේදී එය කරන්නේ සිසුන්ගේ කුසලතා හා අදාළ කරුණු හැර ජාතිය, ආගම, ලිංගිකත්වය වැනි වෙනත් කරුණු දෙස නොබලමිනි. විශේෂයෙන්ම හාර්වඩ් විශ්ව විද්‍යාලය මුදල් ගෙවීමේ හැකියාව පවා නොසලකා හැමවිටම දක්ෂ සිසුන් පමණක්ම ඇතුළු කරගන්නා ආයතනයකි. කෙසේ වුවත්, තවමත් ඇතැම් සරසවි අයදුම්පත් වල දැකිය හැකි දෙයක් වන්නේ "ඔබ කෙදිනක හෝ අපරාධ වරදකට වරදකරු වී ඇත්ද?" යන්නයි. පිළිතුර "ඔව්" යන්නනම් අදාළ සිදුවීම විස්තර කළ යුතුය. මේ ප්‍රශ්නය සාර්ථක ලෙස අධ්‍යාපනය ලැබීමට ඇති කුසලතාවට සම්බන්ධ නොවන කරුණක් නිසා එමඟින් කිසියම් වෙනස් ලෙස සැලකීමකට ඉඩකඩ විවර කරයි. මේ හේතුව නිසා ඇමරිකාවේ සරසවි වල මෑතකාලීන ප්‍රවණතාවයක්ව තිබෙන්නේ මේ ප්‍රශ්නය අයදුම්පත් වලින් ඉවත් කිරීමයි.

ඇමරිකාවේ සරසවියක ආචාර්ය උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අයදුම්කරන්නන් අතරින් සුදුසු තැනැත්තන් තෝරා ගැනීම සාමාන්‍යයෙන් අදාළ අධ්‍යයනාංශය විසින් කරන්නකි. එහෙත්, මේ තේරීම සරසවියේ වෙනත් තැන් වලින්ද අනුමත විය යුතුය. හාර්වඩ් සරසවියේ ඉතිහාස අධ්‍යයනාංශය විසින්ද මේ අයුරින් ඔවුන්ට ලැබුණු අයදුම්පත් අතරින් වඩා යෝග්‍ය සිසුසිසුවියන් සීමිත පිරිසක් ආචාර්ය උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා තෝරා ගත්තේය. මෙසේ තෝරාගත් ලැයිස්තුවට මිෂෙල් ජෝන්ස්ගේ නමද ඇතුළත් විය. කෙසේ වුවද, ඇගේ අතීතය හා අදාළ සුවිශේෂී තත්ත්වය නිසා මේ ලිපිගොනුව අනුමැතිය පිණිස විශ්ව විද්‍යාලයේ ඉහළ මට්ටමේ කමිටුවකට යොමු වූ අතර එහිදී ඇගේ අයදුම්පත ප්‍රතික්ෂේප විය. මිෂෙල්ව හාර්වඩ් සරසවියේ ආචාර්ය උපාධි පාඨමාලාවට ඇතුළත් කර නොගැනීමට හේතුව ලෙස සඳහන් කෙරුණේ මිෂෙල් විසින් ඇගේ අයදුම්පත සමඟ ඉදිරිපත් කරන පෞද්ගලික ප්‍රකාශනයෙහි සිය අතීත වැරදි ගැන අඩුතක්සේරුවකින් යුතුව කතා කර තිබීමයි. මෙය ඇගේ ශාස්ත්‍රාලයීය අවංක බව පිළිබඳව සැක සංකා ඇති කරන බව අදාළ කමිටුවේ නිගමනය විය.

කුසලතා පදනම මත ඉතිහාස අධ්‍යයනාංශය විසින් තෝරාගැනීමෙන් පසුව හාර්වඩ් සරසවිය විසින් මිෂෙල් ජෝන්ස්ට එහි දොරගුළු වැසීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් විය. කෙසේ වුවද, එක් දොරක් වැසෙන විට ඇයට ඇමරිකාවේ වෙනත් සරසවි රැසකම දොරගුළු විවර වූ අතර ඒ අතරින් ඇගේ තේරීම වූයේ නිවුයෝර්ක් සරසවියයි. දැන් ඈ එහි ආචාර්ය උපාධිය හදාරන පළමු වසර ශිෂ්‍යාවකි. එයට අමතරව, මිෂෙල් රැඳවියන් නැවත සමාජගත කිරීම වෙනුවෙන්ද ක්‍රියාකාරී ලෙස කටයුතු කරමින් සිටී. ඇමරිකානු ඉතිහාසය පිළිබඳ පර්යේෂිකාවක් හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස ඈ අනාගතයේදීද පුවත් මවනු ඇතැයි සිතිය හැකිය.

පහත පළමු ඡායාරූපයෙන් පෙනෙන්නේ ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරය ආරම්භ කෙරුණු මුල් කාලයේදී  වික්ටෝරියානු සදාචාරය මත පදනම්ව හික්මවනු ලැබූ රැඳවියන් කුකුළන්ට කෑම දෙන ආකාරයයි. දෙවන ඡායාරූපයේ පෙනේනෙන් මිෂෙල් ජෝන්ස් හා තවත් ශිෂ්‍යාවක් බන්ධනාගර නිල ඇඳුමෙන් සැරසී පර්යේෂණ කටයුත්තක නියැලී සිටින ආකාරයයි. ලිපිය ආරම්භයේ දැකිය හැක්කේ රෝචෙස්ටර් සරසවියෙන් උපාධිය ලබාගන්නා සිරකරුවන් කණ්ඩායමකි. ඇමරිකාවේ සරසවි ගණනාවක්ම සිරකරුවන් වෙනුවෙන් උපාධි මට්ටමේ පාඨමාලා පවත්වයි. මේ වැඩ සටහන් බොහොමයක්ම ආරම්භ වී ඇත්තේ ස්වේච්ඡා ක්‍රියාකාරීන්ගේ කැපවීමෙන් හා සම්පත් දායකත්වයෙන් මිස රජයේ මැදිහත්වීමෙන් නොවේ.




(Image: http://www.rochester.edu/newscenter/rochesters-prison-education-program-aims-to-transform-lives-of-inmates-undergraduates/)

4 comments:

  1. එතකොට අර කලින් ලිපියේ සඳහන් කරපු ක්‍රියාකාරි කාන්තාව සුවිශේෂි චරිතයක්..

    ReplyDelete
    Replies
    1. පුද්ගලයෙකුගේ ජීවිතය නොයෙක් ලෙසට වෙනස් විය හැකි ආකාරය පිළිබඳ කතාවක්!

      Delete
  2. හරිම රසවත් වගේම දැනුමෙන් පොහොසත් ලියවිල්ලක්
    ////අප එදිනෙදා අසන දකින දේවලින් අප මතක තබා ගන්නේ අපට අවශ්‍ය දේ පමණි. අපට අනවශ්‍ය දේ අප හිතාමතාම හෝ නොවැදගත් ලෙස සැලකීම නිසා අමතක කර දමන්නෙමු. කිසියම් සමාජයක සාමූහික මතකය පිළිබඳව ඇත්තේද මෙවැනිම තත්ත්වයකි. සමාජයකට පොදුවේ මතක තබා ගන්නට අවශ්‍ය නොවන දෑ කාලයත් සමඟ එම සමාජයේ සාමූහික මතකයෙන් ගිලිහී යයි. ඉතිහාසය බවට පත් වන්නේ සාමූහික මතකය තුළ ඉතිරිවන කොටස පමණි. උදාහරණයක් ලෙස මාලදිවයින මුස්ලිම් රටක් වීමෙන් පසුව එහි බෞද්ධ ඉතිහාසය බොහෝ දුරට සාමූහික මතකයෙන් ඉවත්ව තිබේ. අශෝක බුද්ධාගම ලංකාවේ ව්‍යාප්ත වීමෙන් පසුව මහාවංශයට පෙර යුගය පිළිබඳ තොරතුරු බොහොමයක් ලාංකිකයින්ගේ සාමූහික මතකයෙන් ගිලිහී ඇත. මෙවැන්නක් සිදුවන්නට සියවස් ගණනක් කල් ගත විය යුතු නැත.//// -

    you only see what your eyes want to see කියන්නේ ඕකට නේ

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට ඇත්තටම සිදු නොවූ නමුත් සිදු වුනා කියා අපි හිතන්න කැමති දේ අපේ සාමූහික මතකයේ කොටසක් වී පසුව ඉතිහාසය බවට පත් වීමත් වෙන්න පුළුවන්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: