Saturday, December 23, 2017

රුසියා ගිය තේ කුරුමිණියා


තේ කන්ටේනරයක හැංගී අනවසරයෙන් රුසියාවට ඇතුළු වූ කුරුමිණියෙකු නිසා සෑහෙන අලකලංචියක් වී තිබේ. කතාව කවුරුත් දන්නා නිසා ඒ ගැන අමුතුවෙන් විස්තර කරන්නට දෙයක් නැත.

රුසියාව හා ලංකාව අතර සම්බන්ධතා වලට මේ වන විට දිගු ඉතිහාසයක් තිබේ. පීටර් රීව්ස්ගේ ශ්‍රී ලංකා ඩයස්පෝරා විශ්වකෝෂයට අනුව රුසියන් තානාපති කාර්යාලයක් ගාල්ලේ පිහිටුවා ඇත්තේ 1882 වසරේදී වන අතර 1891දී එය කොළඹට ගෙනැවිත් තිබේ. නොවැම්බර් විප්ලවයෙන් කලකට පසුව, 1958 පෙබරවාරි 25 දින ලංකාව හා සෝවියට් දේශය අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව දෙරට අතර වූ සම්බන්ධතා වඩා පුළුල් වූ අතර එවකට ලංකාවේ ප්‍රධාන අපනයන වූ තේ, රබර් හා පොල් නිෂ්පාදන සෝවියට් දේශයට යැවීම ආරම්භ විය. සෝවියට් දේශය බිඳ වැටුණද රුසියාව හා ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම බිඳ වැටුණේ නැත.

ඇඟලුම් කර්මාන්තය දියුණු වීමට පෙර ලංකාවට වැඩිම අපනයන ආදායමක් ලැබුණේ තේ වලිනි. මෑතක් වන තුරුම ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරු වූයේ රුසියාවයි. දැනටත් රුසියාව ලංකාවේ ප්‍රධානම තේ ගැනුම්කරුවෙකි. ඊට අමතරව, රබර් හා රබර් අත්වැසුම් ආදී රබර් නිෂ්පාදනත්, පොල් නිෂ්පාදනත් රුසියාව තවමත් ලංකාවෙන් ආනයනය කරයි.

ඉහත පරිදි රුසියාව ලංකාවෙන් තේ පමණක් නොව රබර් හා පොල් වැනි වෙනත් දේද දිගින් දිගටම ආනයනය කළත්, දශකයකට පමණ පෙර කාලය දක්වාත් ලංකාව රුසියාවෙන් සැලකිය යුතු දෙයක් ආනයනය නොකළේය. ඒ නිසා, දෙරට අතර වෙළඳ ශේෂය දිගින් දිගටම පැවතුණේ ලංකාවේ වාසියටය.

පසුගිය දසවසරක පමණ කාලය තුළ ලංකාව හා රුසියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම ක්‍රමයෙන් රුසියාවේ වාසියට වෙනස් විය. ඒ සඳහා හේතු වූයේ කුමක්ද යන්න පැහැදිලි නැත. 2009 වසර වන විටද නොගිණිය හැකි මට්ටමක තිබුණු රුසියානු ආනයන ඉන් පසු ඉතා වේගයෙන් ඉහළ ගියේය. එහෙත්, ලංකාවෙන් රුසියාවට සිදු කරන අපනයන ස්ථාවරව පැවතුණේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාව හා රුසියාව අතර වූ වෙළඳ ශේෂ අතිරික්තය වසරින් වසර ක්‍රමයෙන් කුඩා වී ගොස් ලංකාවේ අවාසියට හේතු වන මට්ටමටම පැමිණියේය.

මහ බැංකු වාර්තා දත්ත මත පදනම් වන පහත වගුවෙන් පෙන්වා ඇති පරිදි, පසුගිය දෙවසර තුළ ලංකාව හා රුසියාව අතර වෙළඳාම සිදු වී තිබෙන්නේ රුසියාවේ වාසියටය. වෙනත් ලෙසකින් කියනවානම්, පසුගිය දෙවසර තුළ ලංකාව විසින් රුසියාවට තේ ඇතුළු සියලු අපනයන යවා ඉපැයූ මුදලට වඩා වැඩි මුදලක් රුසියානු ආනයන වෙනුවෙන් වැය කර තිබේ. මෙයට අමතරව, විවිධ උපාධි හැදෑරීමට රුසියාවට යන සිසුන් හරහාද සැලකිය යුතු විදේශ විණිමයක් ලංකාවෙන් රුසියාවට යයි.


පසුගිය 2016 වසර තුළ තේ අපනයනයෙන් ලංකාව ලැබූ සමස්ත ආදායම ඩොලර් මිලියන 1,269ක් හෙවත් ඩොලර් මිලියන 10,310ක මුළු අපනයන ප්‍රමාණයෙන් 12.3%කි. එයින් රුසියාවට විකුණා ඇති තේ වලින් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 143ක් හෙවත් සමස්ත තේ අපනයන ආදායමෙන් 11.3%කි. මේ අනුව, රුසියාවට තේ යැවීමෙන් ලංකාව උපයා ඇති ආදායම සමස්ත අපනයන ආදායමෙන් 1.4%කට අඩු වන අතර ඒ මුදලද ආනයන වෙනුවෙන් නැවත රුසියාවට ගෙවා තිබේ. (මෙයට සාපේක්ෂව ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන ඇඟලුම් වලින් උපයන ආදායම සමස්ත අපනයන ආදායමෙන් 20.4%කි.)

කෙසේ වුවද, මේ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළේ රුසියානු-ශ්‍රී ලංකා වෙළඳ පරිමාව හා ද්විපාර්ශ්වික වෙළඳාමේ වාසි අවාසි සංසන්දනාත්මක ලෙස පෙන්වීමට මිස රුසියාවට තේ යැවීමේ වැදගත්කම අවතක්සේරු කිරීමට නොවේ. එය ලංකාවට ඉතා වැදගත්ය.

තේ ගැන කතා කරන්නට පෙර රුසියාවෙන් ලංකාවට සිදුවන ආනයන පසුගිය වසර හතක කාලය තුළ ඩොලර් මිලියන 3ක සිට 200ක් දක්වා 66 ගුණයකින් ඉහළ ගොස් ඇත්තේ ඇයිදැයි විමසිය යුතුය. මේ ගැන ස්ථිර අදහසක් පළ කරන්නට තරම් තොරතුරු මා සතුව නැති නිසා, ඒ සඳහා පාදක විය හැකිව තිබුණු හේතු ගැන සිතන්නට සිදු වේ. ඒ, පහත කරුණු වලින් එකක් හෝ කිහිපයක් විය හැකිය.

1. දිගින් දිගටම රුසියාවේ අවාසියට හා ලංකාවේ වාසියට තිබුණු වෙළඳ ශේෂය ගැන රුසියාව සැලකිලිමත් වී එය ඔවුන්ගේ වාසියට හරවා ගන්නට කටයුතු කිරීම.
2. ලංකාවේ විණිමය අනුපාතිකය අවශ්‍ය පමණට අවප්‍රමාණය නොවීම නිසා ලංකාවේ අපනයන තරඟකාරීත්වය ක්‍රමයෙන් අඩු වී රුසියානු අපනයන වල තරඟකාරිත්වය ඉහළ යාම.
3. ලංකාවේ කිසියම් පිරිසක් විසින් රුසියාව සමඟ වෙළඳ සම්බන්ධතා ඇති කරගෙන රුසියාවෙන් භාණ්ඩ ආනයනය කරන්නට  පටන් ගැනීම.

ලංකාව සමඟ වෙළඳ හිඟයක් දිගින් දිගටම පැවතෙන විට රුසියාවට ඒ වෙනුවෙන් ඩොලර් උපයන්නට සිදු වේ. ඒ ලංකාවට අවශ්‍ය වන්නේ ඩොලර් මිස රූබල් නොවන බැවිනි. එහෙත්, ඩොලර් යනු රුසියාවටද අවශ්‍ය දෙයකි. ඒ නිසා, ඉහත පළමු කරුණ අපට පහසුවෙන් බැහැර කළ නොහැකිය.

කෙසේ වුවත්, 2016 වසරේදී රුසියාවේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 282කි. ආනයන වියදම ඩොලර් බිලියන 180කි. වෙළඳ ශේෂය ඩොලර් බිලියන 102ක අතිරික්තයකි. මේ ගණන් සමඟ සැසඳූ විට ලංකාව සමඟ වෙළඳාමෙන් රුසියාවට වන අවාසිය ගිණිය හැකි එකක් නොවේ. ඉතිහාසය පුරා විශාල ගෙවුම් ශේෂ අර්බුද වල සිටි අවස්ථා වලදී වුවද රුසියාව ලංකාව වැනි රටක් සමඟ කරන වෙළඳාමෙන් සිදුවන අවාසි ලොකු ප්‍රශ්නයක් ලෙස සිතා නැත.

දෙවැන්නද සලකා බැලිය හැකි කරුණකි. එහෙත්, එය ලංකාවේ විදේශ වෙළඳාමට පොදුවේ බලපාන ප්‍රශ්නයක් මිස රුසියාව සමඟ කරන වෙළදාමට පමණක් විශේෂයෙන් බලපාන තත්ත්වයක් නොවේ. මේ අනුව, ඉහත තෙවන කරුණට අපට සෑහෙන බරක් දෙන්නට පුළුවන.

ලංකාව රුසියාවෙන් ආනයනය කරන්නේ මොනවාද?

මේ හා අදාළවද විස්තරාත්මක දත්ත සොයාගන්නට නැතත් ලෝක වෙළඳ සංවිධානයේ දත්ත අනුව මෙය විවිධාංගීකරණය වූ පැසකි. මාධ්‍ය වාර්තා වල කතා කෙරෙන ඇස්බැස්ටෝස් හෝ ඇස්බැස්ටෝස් නිෂ්පාදන අමුද්‍රව්‍ය ඒ අතර තිබෙනවා විය හැකි වුවත් එය රුසියානු ආනයන සමස්තය නොවේ. රුසියානු ආනයන වලට සාපේක්ෂව ලංකාවෙන් එහි යවන අපනයන විවිධාංගීකරණය වී ඇත්තේ ඉතා අඩුවෙන් වන අතර අපනයන ආදායමෙන් 75-80% පමණම ලැබෙන්නේ තේ වලිනි.

රුසියාවට තේ යවා ලංකාව උපයන්නේ සමස්ත අපනයන ආදායමෙන් 1.4%කට නොවැඩි මුදලක් වුවත් එහි ක්ෂුද්‍ර ආර්ථික බලපෑම් සාර්ව ආර්ථික බලපෑම් වලටද වඩා විශාලය. රුසියාවට තේ අපනයනය කරන නිශ්චිත අපනයනකරුවන් සිටින අතර ඔවුන්ට තේ විකුණන නිශ්චිත අතරමැදියන් පිරිසක් හා නිශ්චිත තේ නිෂ්පාදකයින් පිරිසක් සිටිති. මේ පිරිස් විශාල රැකියා ගණනක් ජනනය කරන අතර ලංකාවේ පවුල් ගණනාවක් රුසියාවට යවන තේ වලින් යැපේ. ඩොලර් මිලියන 143ක සමස්ත අපනයන ආදායමම අහිමි වුවත් රටක් ලෙස ලංකාවට මහා විශාල ප්‍රශ්නයක් වන්නේ නැතත්, රට තුළ තේ කර්මාන්තයේ නියැලෙන්නන්ට එය විශාල ප්‍රශ්නයකි. අනෙක් අතට, රුසියාවෙන් ඇස්බැස්ටෝස් අමුද්‍රව්‍ය ආනයනය කිරීමක් සිදුවේනම් බොහෝ දුරට එහි වාසිය ලබන්නේ පසුගිය වසර කිහිපය ඇතුළත රුසියාව සමඟ වෙළඳ සම්බන්ධතා ගොඩ නඟා ගෙන ඇති ආනයනකරුවෙකු හෝ කිහිප දෙනෙකි.

රුසියාව ලංකාවේ තේ තහනම් කරන්නට හේතු වී ඇත්තේ තේ තොගයක සිට හමු වී ඇති කුරුමිණියෙකි. රුසියාව පැත්තෙන් බැලූ කළ මේ තීරණය තර්කානුකූලය.

ඕනෑම රටක් තමන් විසින් ආනයනය කරන ආහාර හා කෘෂිකාර්මික භෝග වල තත්ත්වය ගැන අතිශයින්ම සංවේදීය. නවසීලන්තයෙන් එන කිරිපිටි තොගයක කුරුමිණියෙකු සිටියොත් ලංකාව ක්‍රියා කරනු ඇති ආකාරය සිතා ගන්නට අපහසු නැත. මෙවැනි සිදු වීමකින් පසු, රුසියාව ලංකාවේ තේ තහනම් නොකළත් ඒ සිදුවීම පමණක් වුවද ලංකාවේ තේ වලට රුසියාවේ ඇති ඉල්ලුම විශාල ලෙස පහත හෙළන්නට හේතු විය හැකිය.

ලංකාවේ තේ වලට රුසියාවේ ඇති ඉල්ලුම පහත වැටුණු විට එහි වැඩිම බලපෑමකට ලක්වන පිරිස අතර ඉහළින්ම සිටින්නේ රුසියාවට තේ යවන අපනයනකරුවන්ය. ඔවුන් රුසියාවට තේ යවන්නේ පළමුව තේ හැර වෙනත් ආදේශක සමඟත්, දෙවනුව වෙනත් රටවල තේ සමඟත්, තෙවනුව ලංකාවේම වෙනත් අපනයනකරුවන් සමඟත් තරඟ කරමිනි. මේ තරඟයෙන් එළියට විසි නොවන්නටනම් තමන්ගේ අපනයන වල තත්ත්වය ඉතාම ඉහළ මට්ටමක තිබිය යුතු බව ඔවුන් නොදන්නවා නොවේ. රජය මැදිහත්වී තේ අපනයන තහනම ඉවත් කරගත්තත් කුරුමිණියා යැවූ අපනයනකරුට නැවත රුසියාවට තේ යවන්නට නොලැබෙන්නට ඉඩ තිබේ.

ඇතැම් අය විශ්වාස කරන පරිදි රුසියාව ලංකාවේ තේ තහනම් කර ඇත්තේ ලංකාව ඇස්බැස්ටෝස් තහනම් කිරීමට එකට එක කිරීමක් ලෙසිනි. මේ කතාව ඇත්තක්නම්, සැබෑ ප්‍රශ්නය කුරුමිණියෙකු සිටීම නොවේ. ඇස්බැස්ටෝස් තහනම හරහා රුසියාවට රිදවීමයි.

රුසියාවට ලංකාවේ ඇස්බැස්ටෝස් තහනමට එකට එක කරන්නට අවශ්‍ය වෙලාවේම ලංකාවෙන් යවන තේ තොගයක කුරුමිණියෙක් හමු විය හැකිද? මේ කුරුමිණියා කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද? ඇස්බැස්ටෝස් තහනම් කිරීම ගැන අමනාපයෙන් සිටි රුසියාව හිතාමතාම කුරුමිණි කතාවක් ගෙතුවාද?

ඇස්බැස්ටෝස් තේ සම්බන්ධය ඇත්තක්නම් ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට සෑහෙන්න රිදී තිබිය යුතුය. රුසියාවට ඒ තරමටම රිදෙන්නටනම් ලංකාවේ ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට ලොකු පාඩුවක් සිදුවිය යුතුය.

පෙර කී පරිදි රුසියාවේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 282කි. ඇස්බැස්ටෝස් අමුද්‍රව්‍ය ඇතුළු රුසියාවෙන් ලංකාවට එවන මුළු භාණ්ඩ තොගයේම වටිනාකම ඩොලර් බිලියන 0.2කි. එනම්, රුසියාවේ අපනයන ආදායමෙන් 0.1%කටත් අඩු ප්‍රමාණයකි. ලංකාවට එවන මුළු අපනයන තොගයම නැති වුණත්, එසේ නැත්නම් එය හිටිවනම දෙගුණ වුනත්, රුසියාවට දැනෙන්නේවත් නැත. රූබලයේ බාහිර වටිනාකම (විණිමය අනුපාතිකය) උච්ඡාවචනය වීම නිසා පැයක් වැනි කාලයක් තුළ සිදුවන බලපෑම ඊට වඩා වැඩිය. ඒ නිසා, ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට සැලකිය යුතු ආර්ථික බලපෑමක් සිදු වේයැයි සිතීම පදනම් විරහිතය.

කෙසේ වුවද, ලෝකයේ විශාලතම ඇස්බැස්ටෝස් නිෂ්පාදකයා මෙන්ම අපනයනකරුද රුසියාවයි. ඇස්බැස්ටෝස් නිසාම ප්‍රසිද්ධ වූ ඇස්බැස්ට් වැනි නගර පවා රුසියාවේ තිබේ. එම නගරය කේන්ද්‍ර කර කටයුතු කරන උරල්ඇස්බැස්ට් සමාගම පමණක් රුසියානු ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් නිෂ්පාදිතයෙන් 45%ක් හා ලෝක නිෂ්පාදිතයෙන් 22%ක් නිපදවන අතර එයින් 78%ක් අපනයනය කරයි. 2015 වසරේදී ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් අන්තරායකර ද්‍රව්‍යයක් ලෙස නම් කරමින් අපනයනය නියාමනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්මත නොවීමට හේතු වූයේද රුසියාව, කියුබාව, කසකස්ථානය, කිර්ගිස්තානය, ඉන්දියාව, පකිස්ථානය හා සිම්බාබ්වේ යන රටවල විරුද්ධත්වයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ඇස්බැස්ටෝස් හේතුවෙන් වසරකට සිදුවන මරණ ගණන 107,000කි. වෘත්තිමය සුරක්ෂිතතාව පිළිබඳ ගැටළු නිසා ලොව පුරා සිදුවන මරණ වලින් අඩක්ම සිදුවන්නේ ඇස්බැස්ටෝස් හේතුවෙනි. ඇස්බැස්ටෝස් භාවිතයේ ඇති සෞඛ්‍යමය හානි සලකමින් මේ වන විට ලෝකයේ රටවල් 55ක් පමණ ඇස්බැස්ටෝස් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එසේ කර නැති ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව වැනි රටවල ඇස්බැස්ටෝස් භාවිතය දැඩි නියාමනයකට ලක් කර භාවිතය සීමා කර තිබේ. ලෝක කම්කරු සංවිධානය විසින් ක්‍රොසයිඩොලයිට් ඇස්බැස්ටෝස් වැනි ඇස්බැස්ටෝස් වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇතත් ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් තවමත් රටවල් ගණනාවක බහුලව භාවිතා වේ.

මේ වන විට ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් කණින ප්‍රධාන රටවල් වන්නේ රුසියාව, චීනය, බ්‍රසීලය හා කසකස්ථානයයි. ඇස්බැස්ටෝස් අපනයනය කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ රුසියාව, බ්‍රසීලය, කසකස්ථානය, චීනය හා ඉන්දියාවයි. ඒ අතරින්ද, ලෝක ඇස්බැස්ටෝස් අපනයන වලින් 56%ක්ම කරන්නේ රුසියාවයි. ලෝකයේ වැඩියෙන්ම ඇස්බැස්ටෝස් ආනයනය කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව, ඉන්දුනීසියාව, චීනය හා ලංකාවයි.

ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර නැති බොහෝ රටවල පවා පසුගිය දශකය තුළ ඇස්බැස්ටෝස් භාවිතය විශාල ලෙස අඩුවී ඇතත් රටවල් කිහිපයක සිදුවී ඇත්තේ එහි අනිත් පැත්තයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පසුගිය කාලයේදී ඇස්බැස්ටෝස් භාවිතය ඉහළ ගිය රටවල් අතළොස්සට ලංකාවද අයත්ය. මේ තත්ත්වය සලකා බලන විට ලංකාව විසින් ඇස්බැස්ටෝස් ආනයනය ක්‍රමයෙන් නැවැත්වීමට ගත් තීරණයට පැහැදිලි පදනමක් තිබේ.

ලෝක ඇස්බැස්ටෝස් අපනයන වලින් 56%ක්ම කරන්නේ රුසියාව වුවත් මේ අපනයන වලින් රුසියාවට ලැබෙන ආදායම එතරම්ම විශාල නැත. ඒ, සමස්ත ලෝක ඇස්බැස්ටෝස් වෙළඳ පරිමාවම ඇමරිකන් ඩොලර් මිලියන 344ක් පමණක් වන බැවිනි. රුසියාව ඇස්බැස්ටෝස් අපනයනය කර උපයන මුළු මුදල ඇමරිකන් ඩොලර් මිලියන 191ක් පමණක් වන අතර (2015 දත්ත) එම මුදල රුසියාවේ සමස්ත අපනයන ආදායම වන ඩොලර් බිලියන 282න් 0.1%කටත් අඩුය. මගේ ඇස්තමේන්තු අනුව, ලංකාවට අපනයනය කරන ඇස්බැස්ටෝස් ප්‍රමාණයේ සමස්ත වටිනාකමම ඩොලර් මිලියන 20ක පමණ  මුදලක් වන අතර මේ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම රුසියාවෙන් ආනයනය කරනවා වුවත් රුසියන් ලංකා ඇස්බැස්ටෝස් වෙළඳාම ඩොලර් මිලියන 20 නොඉක්මවයි. මේ තරම් සොච්චම් මුදලක් වෙනුවෙන්, බොහෝ රටවල් විසින් දැනටමත් ගෙන ඇති මහජන සෞඛ්‍යය හා අදාළ තීරණයක් ගැනීමට එකට එක කරමින්, ලංකාවට දඬුවම් කරන්නට රුසියාවට අවශ්‍යද යන්න සැක සහිතය.

කෙසේ වුවත්, ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් අන්තරායකර ද්‍රව්‍යයක් ලෙස නම් කරමින් අපනයනය නියාමනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කළ යෝජනාවට රුසියාව විරුද්ධ විය. ඒ නිසා, අපට දැනට ප්‍රචලිතව ඇති මතය මුළුමනින්ම බැහැර කළ නොහැකි වුවත්, රුසියාව වැනි ප්‍රබල රටක් ලංකාවේ ඇස්බැස්ටෝස් තහනමට සෘජුවම විරෝධය නොපා කුරුමිණියෙක් සම්බන්ධ කරගෙන තේ ආනයනය තහනම් කරන්නට යොමුවීමද තරමක් අසාමාන්‍ය දෙයකි.

ලංකාවේ ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට දැනෙන බලපෑමක් සිදුනොවුණත් එයින් විශාල පාඩුවක් වන කොටස් නැත්තේ නැත. මෙහිදී මුලින්ම සැක මතු වන්නේ ලංකාවට රුසියාවෙන් ඇස්බැස්ටෝස් ආනයනය කර ලාභ ලබන කණ්ඩායම් පිළිබඳවය. පසුගිය වසර කිහිපය ඇතුළත රුසියාව සමඟ වෙළඳ සම්බන්ධතා ඇති කරගනිමින් රුසියන් ඇස්බැස්ටෝස් ආනයනය කර ලංකාවේ ප්‍රචලිත කළ අයටනම් ඇස්බැස්ටෝස් තහනම නිසා සිදුවන්නේ විශාල හානියකි. ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක කිරීමට ආසන්නව අහඹු ලෙස සිදු වූ කුරුමිණි ගමන හා එයට ප්‍රතිචාර ලෙස රුසියාව විසින් ලංකාවේ තේ ආනයනය කිරීම තහනම් කිරීම සම්බන්ධ කරමින් කතාවක් ගොතන්නට එවැනි අයෙකුට නුවණ පෑදෙන්නට බැරිකමක් නැත. යම් හෙයකින් එය එසේ වූවානම්, ඇස්බැස්ටෝස් තහනම අකුළා ගනිමින් ආණ්ඩුව ලස්සනට ඇඳගෙන තිබේ.

3 comments:

  1. මීට ඇමරිකාවේ යම් අපරධයකට සම්බන්ධ අයකු [දැනට අප රටේ රිමාන්ඩ් භාරයේ සිටින ] රුසියාවට භාර නොදීම පිලිබඳ ආරවුලක් බලපාන බවට අදහසක් මෙවර රාවයේ තිබෙනවා .ඇත්තක්ද දන්නේ නැත

    ReplyDelete
    Replies
    1. එයා අන්තරස්ධාන වෙලාලු.

      Delete
  2. ජනාධිපතිවරයා පරිසර වාදීන් ලෙස ජනප්‍රිය වීමට ප්‍රයත්න දරන කුඩා අන්තවාදී පිරිසක් සමග එකතුව ගන්නා තීරණ ගැන නොසතුටු බොහෝ දෙනා සිටිනවා, මේක මේ හිටන්ට දැනෙන්න පොඩි ටොක්කක් අන්නින්න ලැබුණු අවශ්තාවක්, එය ඕකේ වාඩුව ගන්න තව මොනවා හරි කොමිසමක් දායි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget