Sunday, December 10, 2017

හිරගෙදර සියල්ලේ අවසානයද? (පළමු කොටස)


දින දෙකකට පෙර (දෙසැම්බර් 7 දින) කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිදු වූ විවාහයක් ගොසිප් ලංකා වෙබ් අඩවිය වාර්තා කර තිබුණේය. මේ විවාහය මෙසේ වාර්තා කරන්නට හේතු වී තිබුණේ විවාහය සඳහා පසුබිම්ව තිබුණු සුවිශේෂී හේතුවයි. වාර්තාව අනුව මේ විවාහයේ මනාලිය ස්විටි ෂෙලින් ෂමිලා බක් නම් වූ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මනාලයා වසර 37 1/2ක සිර දඬුවමක් විඳිමින් සිටින තැනැත්තෙකි. මේ ගැන ගොසිප් ලංකා පිටුවේ පළ වී ඇති අමතර විස්තර මෙසේය.

"රටේ සියලූම බන්ධනාගාරවල රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්  පෙනී සිටින ඇය මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු වන සෙනරත් බන්දුල වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවක බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු ඇයට පවසා ඇත්තේ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නව ඇයට හේතුවක් නැති බවකි. බිරිඳ වූයේ නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට හැකි යැයි ඔහු පවසා ඇත්තේ ෂමිලා අපහසුවට පත් කරන්නටය. එම අභියෝගය භාර ගත් ෂමිලා අවිවාහකයකු වන බන්දුල සමඟ විවාහ වෙන්නට තීරණය කළාය. ඒ අනුව බන්ධනාගාර අධිකාරීගෙන් ද, තවත් නිලධාරින් බොහෝ දෙනකුගෙන්ද ඇය ඔහු හා විවාහ වන්නට අවසර ඉල්ලා සිටියාය. නමුත් එවැනි අවස්ථාවක් ලැබුණේ නැත. වසර තුනක් තිස්සේ මේ වෙනුවෙන් ඇවිද ගිය ඇය අවසානයේදී බන්ධනාගාර ඇමැති ඩී. එබ්. ස්වාමිනාදන් මහතා හමුවන්නට ගියාය. අමාත්‍යවරයා සහ ඔහුගේ නිලධාරින්ගෙන් ද සහාය ලැබිණි. මෙම විවාහයට අවශ්‍ය සියලූ පහසුකම් සලස්වන ලෙස නියෝග කරමින් අමාත්‍යංශයෙන් ලිපියක් ද නිකුත් කෙරිණි. මංගල්‍යයට දින නියම වුයේ ඒ අනුවය."

මේ සිද්ධිය පසුබිමෙහි මා නොදන්නා බොහෝ දේ තිබිය හැකි වුවත් මේ කාන්තාව විසින් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කලක් තිස්සේ අනවරත අරගලයක නිරත වෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. ඇතැම් ප්‍රතිචාරකරුවන් විසින් සැක පළ කරන පරිදි ඇගේ මේ සමාජ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් බටහිර රටකින් ඩොලර් නොලැබෙන බව මට සහතික කළ නොහැකි වුවත්, එසේ ලැබුණද ඒ හේතුව නිසා ලංකාවේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් යමෙක් කරන අරගලයක වටිනාකම හෑල්ලු වෙන්නේ නැත.

ලංකාවේ බන්ධාගාර රැඳවියන්ගේ තත්ත්වය ඉතාම ශෝචනීය බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. පහතින් ඇත්තේ ඒ ගැන විස්තර කරමින් අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියා තිබුණු ලිපියක කොටසකි.

"ලංකාවේ සිරගෙවල්වල සාමාන්‍යයෙන් ඇඳන් නැත. මදුරු දැල් නැත. මා සිතන පරිදි මදුරු කොයිල් පවා තහනම් ය. විදුලි පංකා නැත. සාමාන්‍ය වාට්ටුවල නම් විවිධ රෝගාබාධ ඇති, අපිරිසිදු, කුඩුකාර, කොලුකාර, ඒඩ්ස්කාර, මදාවි, පිස්සු ආදී විවිධාකාර ඩයල් සමග එකට වැටී සිටිය යුතු ය. දළයන්ගේ හෙවත් බලවත් හිරකාරයන්ගේ උදහසට ලක් වුණොත් නිදාගන්නට සිදු වන්නේ ඩස්බින් එක හෝ කක්කුස්සිය හෝ ළඟ ය.

සෙල් හෙවත් සිරමැදිරි තුළ එක්කෝ තනිව, නැතිනම් තුන්දෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සමග රැය පහන් වන තුරු සිටිය යුතු ය. සෙල් එකට දමා වැසූ පසු පසුදා පහන් වන තෙක් මුත්‍රා, මළපහ කළ යුතු වන්නේ ඒ සඳහා දෙන බාල්දියකට ය. එය කුටිය තුළ ම තබා ගත යුතු ය. මේ කුටිවල බොහෝ විට වාතාශ්‍රය දුර්වල ය. සාමාන්‍යයෙන් සියලු සිරගෙවල් අධික ලෙස තදබද ය."

ලෝකයේ කවර රටක වුවත් හිර ගෙදරක ජීවිතය සුන්දර නැත. එහෙත්, ලංකාවේ තත්ත්වයට සාපේක්ෂව බටහිර රටවල බන්ධාගාර රැඳවියන්ගේ තත්ත්වය සෑහෙන තරම් යහපත් බව කිව යුතුය. එය දවසකින් දෙකකින් ඇති වූ තත්ත්වයක් නොවේ. විශාල කාලයක් තිස්සේ ෂමිලා බක් වැනි සමාජ ක්‍රියාකාරිකයන්ගේ අරගල ආදිය හරහා ඇති වූ තත්ත්වයකි.

කිසියම් රටක නිදහස් පුරවැසියන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා සැපිරෙන පසුබිමක් නොතිබියදී, සිරකරුවන්ගේ තත්ත්වය පමණක් යහපත් වන්නට ඉඩක් නැත. ලෝකයේ බොහෝ රටවල සමාජ ධුරාවලියේ පහළින්ම ජීවත් වන නිදහස් මිනිසුන්ගේ ජීවන තත්ත්වයද අජිත් පැරකුම් ජයසිංහ විසින් ඉහත විස්තර කර ඇති තත්ත්වයට කිසියම් අයුරකින් සමානය. ඇඳන්, මදුරු කොයිල්, මදුරු දැල් නැතිව නිදන නිදහස් මිනිසුන් ලංකාවේ වුවත් දුලබ නැත. මෙසේ ලියන්නේ සිරකරුවන් මුහුණ දෙන තත්ත්වය සාමාන්‍යීකරණය කිරීමට දරන උත්සාහයක් ලෙස නොවේ.

කිසියම් රටක සිරකරුවන් වෙනුවෙන් ප්‍රමාණවත් පහසුකම් සලකන්නට හැකි වන්නේ ඒ පහසුකම් වල පිරිවැය දරන මිනිසුන්ට ඒ සඳහා ආර්ථික ශක්තියක් ඇති තරමටය. ඒ නිසා, බටහිර රටක හිර ගෙදරක ඇති පහසුකම් ලංකාවේ සිරකරුවෙකුට සැපයීම ඕනෑවට වඩා ලොකු ඉලක්කයකි. කෙසේවුවද, හිරකරුවන්ට හිරගෙදර අපායක් වීමට එකම හේතුව භෞතික පහසුකම් අඩුකම පමණක් නොවේ. ෂමිලා බක්ගේ පහත ප්‍රකාශයෙන් පිළිබිඹු වන්නේ මේ තත්ත්වයයි.

"ඉස්සරහ බෝඩ් එකක් තියෙනවා “සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ කියලා. ඒකට යටින් ගහන්න ඕන ‘නිලධාරින් අමනුෂ්‍යයෝය’ කියලා."

ඉහත තත්ත්වය වෙනස් කිරීමටනම් පිරිවැය ඉහළ නැංවිය යුතු නැත. අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් පමණි.

බොහෝ විට හිරගෙදරට යන්නේ එසේ යා යුතු අය වුවත් එසේ නොවන අවස්ථාද තිබේ. නිවැරදිකරුවන් හිර ගෙදරට යාම ඉඳහිට වුවත් සිදුවන දෙයකි. "දේශපාලන සිරකරුවන්" යන යෙදුම මතභේදකාරී එකක් වුවත් දේශපාලනය නිසා ඇතැම් අයට හිර ගෙදරට යන්නට සිදුවන බවද රහසක් නොවේ. චෝදනා ගොනු නොකර රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඊයේ දිනයේද උද්ඝෝෂණයක් කර තිබුණේය.

සාමාන්‍යයෙන් කිසියම් පිරිසකගේ හෝ අනුකම්පාව ලබා ගන්නා විවිධ හේතූන් මත දඬුවම් ලබන නිවැරදිකරුවන් හා දේශපාලන සිරකරුවන් පමණක් නොව කිසිවෙකුට අනුමත කළ නොහැකි සම්මත අපරාධ කර හිර ගෙදරට යන අය පවා බොහෝ විට කිසියම් ආකාරයක වින්දිතයෝය. සමාජයට වැඩදායක පුද්ගලයෙකු එක් නිමේෂයකින් දරුණු අපරාධකරුවෙකු විය හැකිය.

අපරාධකරුවෙකුට දඬුවමක් ලෙස සිරගත කර තැබීමේ අරමුණු කුමක් වුවත්, කවර අයුරකින් හෝ එවැන්නෙකු නැවත පුනරුත්ථාපනය කර සමාජයට වැඩදායක පුරවැසියෙකු බවට පත් කළ හැකිනම් එය හැම අතින්ම සාධනීය දෙයකි. විවිධ හේතු මත සමාජයට වැඩදායක මිනිසුන් දරුණු අපරාධකරුවන් වනවාක් මෙන්ම, නිසි මාර්ගෝපදේශනයක් ලැබීම නිසා දරුණු අපරාධකරුවන් සමාජයට වැඩදායක පුද්ගලයින් වී ඇති අවස්ථාද ඕනෑ තරම් තිබේ. මේ සඳහා අප බොහෝ දෙනෙකු දන්නා අංගුලිමාල චරිතය හොඳම උදාහරණයකි.

මේ දිගු පූර්විකාව ලිවුවේ නිවුයෝර්ක් සරසවියේ ආචාර්ය උපාධිය හදාරන සිසුවියක වන මිෂෙල් ජෝන්ස් ගැන ලියන්නටය. මිෂෙල් පසුගිය අගෝස්තුවේදී ආචාර්ය උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා නිවුයෝර්ක් සරසවියට පැමිණියේ තමන්ගේම සිවු හැවිරිදි දරුවාගේ මිනීමැරුමට වරදකාරිය වී පනස් අවුරුදු සිර දඬුවමක් ලබා, එම දඬුවම් කාලයෙන් වසර විස්සකට අධික කාලයක් සිරගෙදර ගත කර නිදහස ලැබීමෙන් දිනකට පසුවය. ඇගේ කතාව ඇමරිකානු සමාජයේ විවිධ පැතිකඩ කෙරෙහි ආලෝකය හෙළන්නකි. ඇමරිකාව වැනි රටක පවා බාලවයස්කරුවන් මුහුණ දෙන අවදානම් පිළිබඳව අවධානය යොමු කරවන්නකි.

දෙමවුපියන්ගෙන් දරුවකුට ලැබිය යුතු මාර්ගෝපදේශනය වෙනුවට කුඩා කළ සිටම ගෘහස්ථ හිංසනයේ ගොදුරක් වන මිෂෙල් එන්ග්‍රන් ජෝන්ස් බාලවයස්කාර දැරියකව සිටියදීම ආදරය සොයා කෙවින් සිම්ස් වෙත ලං වෙයි. කෙවින් සිම්ස්ද ඒ වන විට ඉහළ පංතියක පාසැල් සිසුවෙකි. මේ ආදරය දුරදිග ගොස් මිෂෙල් ගැබ් ගන්නා විට ඇගේ වයස යන්තම් අවුරුදු 14ක් වූවා පමණි. මිෂෙල්ට අනුව මේ ගැබ් ගැනීමට හේතු වූ ලිංගික එක්වීම සිදුවන්නේ ඇගේ අනුමැතියෙන් තොරවය.

ගැබ් ගැනීමෙන් පසුව මිෂෙල්ට සිදුවන්නේ වැඩිහිටියන්ගේ තාඩන පීඩන වලට තවත් වැඩියෙන් ලක් වන්නටය. සිය දියණිය ගැබ් ගෙන සිටින බව දැනගන්නා මිෂෙල්ගේ මව ලී පුවරුවකින් ඇගේ උදරයට පහර දෙයි. මෙසේ ගැබිණියක ලෙසද තාඩන පීඩන වලට ලක්වන මිෂෙල් 1987 නොවැම්බර් 11 දින බ්‍රෙන්ඩන් ලෙස පසුව නම් කරන පිරිමි දරුවා වදන විට ඇගේ වයස යාන්තම් අවුරුදු 15කි. මේ දරුවා වර්ධනය අසාමාන්‍ය වීමේ නිදන්ගත ආබාධයකින්ද පෙළෙන අයෙකි.

කෙවින් සිම්ස් දරුවාගේ පීතෘත්වය පිළිගන්නා අතර දරුවාගේ භාරකාරත්වය මිෂෙල්ට හිමි වෙද්දී, කෙවින්ට දරුවා බලන්නට පැමිණීමේ අයිතිය ලැබේ. ඒ අනුව, මිෂෙල් දරුවාද සමඟ ඇගේ දෙමවුපියන් වෙත යයි. එහෙත්, කුඩා බ්‍රෙන්ඩන්ට තබා මවක් වුවත් තවමත් බාලවයස්කාර දැරියක වන මිෂෙල්ට ජීවත් වීමට සුදුසු වාතාවරණයක් ඒ නිවසේ නැත.

බ්‍රෙන්ඩන්ට වයස මාස හතක් වෙද්දී, ඉන්දියානාපොලිස්හි ළමා කාර්යාංශය විසින් තවදුරටත් බාලවයස්කාර දැරියක වන මිෂෙල්ගේ භාරකාරත්වය පවරා ගනිමින් ඇයව නිවසින් ඉවත් කර ගනී. ඒ සමඟ, බ්‍රෙන්ඩන්ගේ භාරකාරත්වය ඔහුගේ පියා වූ කෙවින්ට හිමිවන අතර කෙවින් හා ඔහුගේ මව දරුවාට රැකවරණය සලසන්නට පටන් ගනී.

බ්‍රෙන්ඩන්ට වයස අවුරුදු තුනක් වෙද්දී, ඒ වන විට තවදුරටත් බාලවයස්කාරියක නොවන මිෂෙල්ට නැවතත් බ්‍රෙන්ඩන්ගේ භාරකාරත්වය හිමි වේ. 1992 මැයි මාසයේදී මහල් නිවාසයක ඒකකයක් (එපාර්ට්මන්ට් එකක්) බද්දට ගන්නා මිෂෙල් බ්‍රෙන්ඩන් සමඟ එහි පදිංචියට යයි. 1992 ජූලි මාසයේ දිනක මිෂෙල් ඇගේ මිතුරියක වන ඩෙබෝරා සමඟ සති අන්ත නාට්‍ය වැඩමුළුවකට සහභාගී වීම සඳහා ඩිට්‍රොයිට් බලා පිටත් වෙයි. මෙය සැතපුම් 300ක පමණ දුරක පිහිටි නගරයකි.

ඩෙබෝරා විසින් විමසූ විට මිෂෙල් පවසන්නේ බ්‍රෙන්ඩන් බලා ගැනීම වෘත්තියක් ලෙස දරුවන් බලා ගන්නා අයෙකුට (බේබිසිටර් කෙනෙකුට) පැවරූ බවයි. මේ ගමන නිමවා ආපසු පැමිණීමෙන් පසු මිෂෙල්ගේ යෙහෙළියන්ට හා අසල්වැසියන්ට බ්‍රෙන්ඩන්ව දකින්නට නැති බව පෙනේ. දරුවා ගැන විමසන ඔවුන්ට පිළිතුරු දෙමින් මිෂෙල් පවසන්නේ දරුවා ඔහුගේ පියා සමඟ සිටින බව හෝ එසේ නැත්නම් පියාගේ මව සමඟ සිටින බවයි.

මේ අතර, මිෂෙල් විසින් වරින් වර ඇගේ මෝටර් රථයේ පිටත හා ඇතුළත නැවත නැවත සෝදන බව මිෂෙල්ගේ ඉහළ මාලයේ ජීවත් වන පදිංචිකරු නිරීක්ෂණය කරයි. මේ අතරවාරයේ දිනක මහල් නිවාස සංකීර්ණයේ කළමණාකරුට හදිසියෙන්ම දකින්නට ලැබෙන්නේ මිෂෙල්ගේ  ඒකකයේ කාමරයක ඉදිරි ජනේලයේ මැස්සන් සිය ගණනක් වසා සිටින බවයි. ඒ අනුව, නිවසට ඇතුළු වී පරීක්ෂා කරන ඇයට සැර දුර්ගන්ධයක් ආඝානය වේ. බ්‍රෙන්ඩන් විසින් මෙට්ටයේ මුත්‍රා කර ඇති බව පවසන මිෂෙල් එය පිරිසිදු කර දෙන්නට පොරොන්දු වෙයි. වසර අවසානයේදී මහල් නිවාසයෙන් ඉවත්වන මිෂෙල් ඇගේ තවත් යෙහෙළියක වන මහාලියා සමඟ පදිංචියට යයි.

මේ අතරවාරයේ බ්‍රෙන්ඩන් බලන්නට එන්නට වෙලාවක් වෙන් කර ගැනීම පිණිස කෙවින් හා ඔහුගේ මව දිගින් දිගටම උත්සාහ කරන නමුත් මිෂෙල් ඔවුන්ගේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදෙමින් මඟ හරී. මේ ගැන සැක සිතන කෙවින්ගේ මව මහාලියාගෙන් මේ ගැන විමසයි. එහි ප්‍රතිඵලයක් ලෙස මහාලියා මිෂෙල්ව දිගින් දිගටම ප්‍රශ්න කරයි. තමන් ඩිට්‍රොයිට් ගොස් පැමිණෙන විට බ්‍රෙන්ඩන් මිය ගොස් සිටි බවත්, ඔහුගේ සිරුර පොරෝණයක දවටා සිය මෝටර් රථයෙන් ගෙන ගොස් කැලෑවට දැමූ බවත් අය මහාලියාට පවසයි. ප්‍රශ්න කිරීම් හමුවේ ඩෙබෝරාටද ඇය මීට සමාන කරුණු පවසයි.

ඩෙබෝරාගේ හා මහාලියාගේ පෙරැත්තය මත මිෂෙල් රැකියාවෙන් නිවාඩු ගෙන මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වෙත යයි. බ්‍රෙන්ඩන්ව තනිව නිවසේ දමා ඩිට්‍රොයිට් ගොස් ආපසු පැමිණෙන විට දරුවා මියගොස් සිටි බවත්, පසුව මළ සිරුර කැලෑවට ගෙනගොස් දැමූ බවත් ඇය එහිදී පාපොච්ඡාරණය කරයි. පොලීසිය දිගින් දිගටම බ්‍රෙන්ඩන්ගේ මළ සිරුර සෙවුවත් එය හමු නොවේ. මේ සිදුවීම් වෙන්නේ 1994දීය. මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් පිටවීමෙන් පසු 1995 සැප්තැම්බර් මාසයේදී නැවත රැකියාවට යන මිෂෙල් නොවැම්බර් මාසයේ දිනෙක ඇගේ මිතුරියක වන ක්ලැරිසාටද පරණ කතාවම කියයි.

"දරුව මැරුණේ උඹ ගහලද?"  ක්ලැරිසා අසයි.

"මං හිතන්නේ..." මිෂෙල් පිළිතුරු දෙයි.

මීට අමතරව දරුවාගේ මළ සිරුර දැමූ තැන ගැන තමන් පොලීසියට වැරදි තොරතුරු ලබාදුන් බවද මිෂෙල් ක්ලැරිසාට කියයි.

යමෙක් තමන් අපරාධයක් කළ බව පිළිගැනීම මත පමණක් පුද්ගලයෙකු නීතියෙන් වරදකරුවෙකු කළ නොහැකිය. ඒ සඳහා අපරාධයක් සිදුවී ඇති බව මෙන්ම, අදාළ අපරාධය එම පුද්ගලයා විසින්ම සිදුකර ඇති බවද තහවුරු විය යුතුය. බ්‍රෙන්ඩන්ගේ මළ සිරුර හමු නොවූ නිසා මිෂෙල්ට එරෙහිව චෝදනා ගොනු කිරීම පහසු කටයුත්තක් වුණේ නැත. කෙසේ වුවද, අවසානයේදී ඉන්දියානා රජය මිෂෙල්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට සමත් වූ අතර 1996 ඔක්තෝබර් 22 දින චෝදනා දෙකකට වැරදිකාරිය වූ මිෂෙල් මිනීමැරුම සඳහා වසර පණහක්ද, දරුවාව නොසලකා හැරීම සඳහා වසර තුනක්ද ලෙස එකවර ගෙවී යන දඬුවම් දෙකක් ලබමින් බන්ධනාගාරගත විය.

ඉන්පසුව ඇගේ ජීවිතය ගෙවුණු ආකාරය අපි ඉදිරි කොටසින් කතා  කරමු.

3 comments:

  1. මාර කේස් තමා තියෙන්නේ.. බලමු..

    ReplyDelete
  2. බලමු ඒක මොන වගේ වෙයිද කියලා

    ReplyDelete
  3. ඉතිරි ටිකත් දාන්ඩෝ

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget