Thursday, December 7, 2017

ඇමරිකානු ජනමතය වෙනස් කළ පර්ල් වරාය මෙහෙයුම



මිලියන පණහකට අධික ජීවිත ප්‍රමාණයක් විනාශ කරමින් අවසන් වූ දෙවන ලෝක යුද්ධය මිනිස් ඉතිහාසයේ සිදු වූ විශාලතම අවි ගැටුම ලෙස සැලකේ. හිට්ලර්ගේ නායකත්වය යටතේ, 'නාසි' ලෙස කෙටියෙන් හැඳින්වෙන ජර්මනියේ ජාතික සමාජවාදී කම්කරු පක්ෂය විසින් ප්‍රවර්ධනය කළ දේශපාලන මතවාදය වටා පෙළ ගැසී සිටි ජර්මානුවන් විසින් 1939 සැප්තැම්බරයේදී පෝලන්තය ආක්‍රමණය කිරීම දෙවන ලෝක යුද්ධයේ ආරම්භය ලෙස සැලකුණත් එයින් වසර දෙකකට පසුවත් ඇමරිකාව මේ යුද්ධයට සම්බන්ධ වී නොසිටියේය.

දෙවන ලෝක යුද්ධය ඇමරිකාවේ එළිපත්තට එන තුරුම ඇමරිකන් ආණ්ඩුවේ ස්ථාවරය වූයේ ලෝක දේශපාලනයට මැදිහත් වී අහක යන ලෙඩ ඇඟේ දමා නොගැනීමයි. වඩා නිවැරදිව කියනවානම්, ඇමරිකාවේ මහජන මතය වූයේ තමන්ගේ ආණ්ඩුව ලෝක යුද ගැටුම් වලට මැදිහත් නොවී සිටිය යුතු බව වූ නිසා ඇමරිකන් ආණ්ඩුවට මහජන මතය නොසලකා එවැනි මැදිහත්වීම් කිරීමට හැකියාවක් තිබුණේ නැත.

ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වන විට ජර්මනිය, ජපානය හා ඉතාලිය යන රටවල් වලින් සමන්විත වූ අක්ෂ පාර්ශ්වය යුරෝපයේ සම්ප්‍රදායික යුද බලවතුන් වූ ප්‍රංශය හා බ්‍රිතාන්‍යය අභිබවමින් සැලකිය යුතු යුද ජයග්‍රහණ ලබාගෙන තිබුණේය. ඇමරිකන් මැදිහත්වීම දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලය තීරණාත්මක ලෙස වෙනස් කළේය.

ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමට පෙර සිදු වූ වැදගත් දේශපාලනික සිදුවීමක් වූයේ 1939 අගෝස්තු 23 දින ස්ටාලින්ගේ නායකත්වය යටතේ පැවති සෝවියට් දේශයේ හා ජාතික සමාජවාදී ජර්මනියේ විදේශ ඇමතිවරුන් අතර අත්සන් කෙරුණු මොටොලොව්-රිබන්ට්‍රොප් සම්මුතියයි. සිය දෙරට අතර පිහිටි රටවල් ආක්‍රමණය කරමින් එම බිම්කොටස් සෝවියට් දේශය හා ජර්මනිය අතර බෙදාගන්නට පසුබිම සැලසුනේ මේ සම්මුතියෙනි. මේ සම්මුතිය අනුව බෝල්කන් රටවල් හා ෆින්ලන්තය සෝවියට් දේශයටත් එයින් බටහිරට වූ රටවල් ජර්මනියටත් වෙන් කරමින් බෙදුම් ඉරක් ඇඳුනේය. මොටොලොව්-රිබන්ට්‍රොප් සම්මුතිය අත්සන් කර මාස කිහිපයකට පසු දෙරට අතර පුළුල් වෙළඳ සම්මුතියකටද අත්සන් තැබුණේය.

ජර්මනිය හා සෝවියට් දේශය එකිනෙකා සමඟ සටන් නොකිරීමටත්, එක් රටක සතුරු රටකට අනෙක් රට උදවු නොකරන්නටත් එකඟ වෙමින් මොටොලොව්-රිබන්ට්‍රොප් සම්මුතිය අත්සන් කිරීමෙන් අනතුරුව 1939 සැප්තැම්බරයේදී ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කරමින් එහි කොටසක් ඈඳා ගත්තේය. එයට සමාන්තරව ෆින්ලන්තය ආක්‍රමණය කළ සෝවියට් දේශය 1939 නොවැම්බරය වෙද්දී පෝලන්තයේ කොටසක් යටත් කර ගත් අතර ලිතුවේනියාව, ලැට්වියාව හා එස්ටෝනියාවද ඈඳා ගත්තේය. 1940 ජනවාරිය වෙද්දී ෆින්ලන්තය සෝවියට් දේශයට යටත් වීමෙන් හා ෆින්ලන්ත බිම්පෙදෙස් වලින් කොටසක් සෝවියට් දේශයට අයිති වීමෙන් සෝවියට්-ෆින්ලන්ත යුද්ධය අවසන් විය. 1940 අප්‍රේල් මාසය වෙද්දී ජර්මනිය විසින් නොර්වේ හා ඩෙන්මාර්කයත්, තවත් මසකට පසු ලක්සම්බර්ග්, බෙල්ජියම හා නෙදර්ලන්තයත් ආක්‍රමණය කළ අතර මැයි මාසය වෙද්දී ප්‍රංශයද ආක්‍රමණය කළේය.

ජර්මනිය, ජපානය හා ඉතාලිය අතර යුද සම්මුතිය අත්සන් කෙරුණේ 1940 සැප්තැම්බර් මාසයේදීය. ඉන්පසුව යුද්ධය යුරෝපයේ ඉතිරි රටවලට පමණක් නොව යුරෝපයෙන් පිටතටද පැතිරුණේය.

මොටොලොව්-රිබන්ට්‍රොප් සම්මුතිය අත්සන් කරමින් ස්ටාලින්ගේ සෝවියට් දේශය හා හිට්ලර්ගේ ජාතික සමාජවාදී ජර්මනිය අතර ඇති කරගත් එකඟත්වය දෙවසරක්වත් පැවතුණේ නැත. දෙරට විසින් යටත් කරගත් පෝලන්තයේ කොටස් සම්බන්ධව පැවති මතභේද දුරදිග යද්දී ජර්මනිය විසින් මොටොලොව්-රිබන්ට්‍රොප් සම්මුතිය ඒකපාර්ශ්වික ලෙස අවසන් කරමින් 1941 ජූනි 22 දින බාබරෝසා මෙහෙයුම ආරම්භ කළේය. ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම යුද මෙහෙයුම විය හැකි බාබරෝසා මෙහෙයුම ආරම්භයේදී සාර්ථක වුවත්, අවසානයේදී එය ජර්මනියට පාරාවළල්ලක් විය.

අක්ෂ පාර්ශ්වයට එරෙහි මිත්‍ර පාර්ශ්වයට සෝවියට් දේශයද එකතු වීමෙන් පස් මසකට පසු ජපානය විසින් පර්ල් වරායට පහර දීමත් සමඟ ඇමරිකාවද යුද්ධයට අවතීර්ණ විය. ඇමරිකානුවන් 2,402ක් මරණයට පත් කරමින් ඉරිදා දිනක උදෑසනක මේ ප්‍රහාරය අනපේක්ෂිත ලෙස එල්ල වන විට ජපානය ඇමරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කර තිබුණේ හෝ නැත. ඒ නිසා, මේ ප්‍රහාරය යුද අපරාධයක් ලෙස සැලකේ.

පර්ල් වරාය මෙහෙයුමෙන් පසුව ඇමරිකාවද දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වූ අතර මිත්‍ර පාර්ශ්වයේ ජයග්‍රහණයෙන් දෙවන ලෝක යුද්ධය අවසන් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක දේශපාලනයේ විශාල වෙනස්කම් සිදුවිය. ලංකාව වැනි යුරෝපීය රටවල යටත් විජිත වලට නිදහස ලැබීමටද දෙවන ලෝක යුද්ධය විශාල බලපෑමක් කළේය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සම්ප්‍රදායික යුද බලවතුන් වූ බ්‍රිතාන්‍යය හා ප්‍රංශය අභිබවා ඇමරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය ලෝක බලවතුන් ලෙස කැපී පෙනෙන්නට විය. ඒ අතරම, ලිබරල් ජාත්‍යන්තරවාදය හා සමාජවාදී ජාත්‍යන්තරවාදය විකල්ප දේශපාලන ආකෘති දෙකක් ලෙස ලෝක ව්‍යාප්ත වන්නටද පටන් ගත්තේය.

ලෝක දේශපාලනයට මැදිහත් නොවී තමන්ගේ වැඩක් බලාගෙන සිටින්නට කැමැත්තෙන් සිටි ඇමරිකානුවන්ගේ ජනමතය තීරණාත්මක ලෙස වෙනස් කරන්නට හේතු වූ අවස්ථාවක් ලෙස පර්ල් වරාය ආක්‍රමණය පෙන්විය හැකිය. ඒ වෙනසේ බලපෑම අද දක්වාත් දකින්නට පුළුවන.

පර්ල් වරාය ආක්‍රමණය සිදු වී අදට වසර 76කි.

15 comments:

  1. Like the attack on Pearl Harbor, another hinge event in American history, 9/11 was a great tactical victory for America's enemies. But in both these cases, the tactical success of the attacks was not matched by strategic victories. Quite the reverse.

    -Peter L. Bergen

    ReplyDelete
    Replies
    1. හිට්ලර් ගේ රුසියන් ආක්‍රමණයත්, ප්‍රභාකරන්ගේ රජීව් ගාන්ධි ඝාතනයත් ඔය ජාතියේ වැරදි උපක්‍රම ලිස්ට් එකට දැම්ම හැකි නේද?

      Delete
    2. හැබැයි ඒ වැරදි නිසා ඉතිහාසයක් එහෙම් පිටින්ම වෙනස් වෙනවා නේද ?

      Delete
    3. Pearl Harbor caused our Nation to wholeheartedly commit to winning World War II, changing the course of our Nation's history and the world's future.

      -Joe Baca

      Delete
    4. //හිට්ලර් ගේ රුසියන් ආක්‍රමණයත්, ප්‍රභාකරන්ගේ රජීව් ගාන්ධි ඝාතනයත් ඔය ජාතියේ වැරදි උපක්‍රම ලිස්ට් එකට දැම්ම හැකි නේද?//

      මේ දෙකම ගැන මිශ්‍ර අදහසක් මට තියෙන්නේ. මම අනිත් පැත්ත ගැන කියන්නම්.

      රුසියන් ආක්‍රමණය ගැන විවිධ ඉතිහාසඥයින් විවිධ මත පළ කර තිබෙනවා. බොහෝ දුරට හිට්ලර්ගේ පරාජයට හේතු වූ කරුණුම මත ඉතිහාසය පුරා රුසියාව ආක්‍රමණය කරන්න කළ උත්සාහයන් සාර්ථක වෙලා නැහැ. උදාහරණයක් ලෙස 1812 නැපෝලියන්ගේ ආක්‍රමණය.

      හිට්ලර් රුසියාව ආක්‍රමණය කරන්න තීරණය කළේ මෙහි ඇති අවදානම නොදැන නෙමෙයි. මේ වෙනුවෙන් වෙන් කළ සම්පත් ප්‍රමාණය දෙස බැලූ විට එය පැහැදිලියි.

      හිට්ලර්ට ජර්මන් ජාතිය ව්‍යාප්ත කිරීම පිළිබඳ පැහැදිලි සැලසුමක් තිබුණා. සෝවියට් දේශය ආක්‍රමණය කිරීමත් එහි කොටසක්. සෝවියට් දේශය සමඟ ගිවිසුම් අත්සන් කරන අතරම ඔහු මේ ආක්‍රමණයත් සැලසුම් කර තිබෙනවා. ගිවිසුම් අත්සන් කිරීම උපක්‍රමික ලෙස කර ඇති දෙයක්. ඒ මඟින් සෝවියට් දේශය බ්‍රිතාන්‍යය හා ප්‍රංශය සමඟ සන්ධානගත වීම ප්‍රමාද කළා මෙන්ම සෝවියට් දේශය යුද්ධයක් සඳහා සූදානම් වීමද ප්‍රමාද කළා. ඉන් පසුව, සෝවියට් දේශය යුද්ධයට සූදානම් වීමට පෙර ඒකපාර්ශ්විකව ප්‍රහාර ආරම්භ කළා.

      පසුව කණපිට හැරුණත් ජර්මනිය සෑහෙන දුරකට ඔවුන්ගේ ඉලක්කය කරා ගියා. සෝවියට් ජයග්‍රහණය පහසුවෙන් ලබාගත් එකක් නෙමෙයි. සුළු එහා මෙහා වීමකින් ප්‍රතිඵලය වෙනස් විය හැකිව තිබුණා. ජපානය පර්ල් වරායට පහර දීම වෙනුවට සෝවියට් දේශයේ කිසියම් නගරයකට පහර දුන්නනම් තත්ත්වය විශාල ලෙස වෙනස් විය හැකිව තිබුණා.

      ඒ වගේම, රජීව් ගාන්ධි ඝාතනයත් තනිකරම වැරදි උපක්‍රමයක් කියා කියන්න බැහැ. ඉන්දියාව උතුරේ සන්නද්ධ සංවිධාන වලට කෙතරම් උදවු කළත් ඉන්දියාව විසින් උතුරේ වෙනම රාජ්‍යයක් හදන්න ඉඩදීමේ ඉඩකඩක් තිබුණේ නැහැ. එය ප්‍රභාකරන් දැන සිටියා. ඉන්දියාව විසින් උදවු කරන්න ඉඩ තිබුණේ ඉන්දියාවේ ප්‍රාන්තයක් වැනි එකක් ලබා ගැනීම දක්වා පමණයි. එය ලබා ගන්න ඕනෑනම් රජීව්ගේ මරණයෙන් පසුව චන්ද්‍රිකාගේ කාලයේ ඒ ඉඩකඩ රජීව් ඝාතනයට පෙර තිබුණාටත් වඩා වැඩියෙන් තිබුණා. ප්‍රභාකරන්ගේ අරමුණ වුණේ ඊට වඩා වැඩි දෙයක්.

      රජීව් ගාන්ධි ඝාතනය කිරීමෙන් එක පැත්තකින් ප්‍රභාකරන් ඉන්දියානු බුද්ධි සේවා බිංදුවටම දැම්මා. අනෙක් පැත්තෙන් තමන්ට විරුද්ධ වන ඉන්දියාවේ ඕනෑම ලොක්කෙක්ගේ ජීවිතය තිබෙන්නේ අවදානමක බව සංඥා කළා. තනතුරේ බලය කෙතරම් වුවත් ඕනෑම කෙනෙක් තනි පුද්ගලයින් වශයෙන් මැරෙන්න බයයි. මෙවැනි ඝාතනයකින් පසුව රජයේ ඉහළ නිලධාරීන්, දේශපාලනඥයින් ඇතුළු තීරණ ගත හැකි පුද්ගලයින් තීරණාත්මක ලෙස LTTE එකට විරුද්ධ වීමේදී දෙවරක් හිතනවා.

      ඔබ කියන කරුණට මම එකඟ නොවනවා නෙමෙයි. ඊට අමතරව මේ මම දකින අනිත් පැත්ත.

      Delete
  2. පළමු වැනි ලෝක යුද්ධය උදෙසා එක්සත් ජනපදයේ දායකත්වයක් තිබුනෙම නැතිද ?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වුනෙත් යුද්ධය ආරම්භ වී වසර දෙකහමාරකට පමණ පසුවයි.

      Delete
  3. ලෝකයේ දිශානතිය මේ වගේ හිටපු ගමන් කෙලපු සීන් වලින් තමා වෙනස් වෙන්නේ..

    ජපන්නු ඇමරිකාවට පහර දෙන්න යන කොට ජප්පොන්ගේ විනීත කම තිබ්බේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. යුද්ධ වලදීනම් කාගෙත් විනීතකම් ඔහොම තමයි. කොහොම වුනත් ජපානය සැලසුම් කර තිබෙන්නේ ප්‍රහාරයට පැය බාගයකට කලින් විධිමත් ලෙස යුද ප්‍රකාශ කරන්නයි. නමුත්, ඇමරිකාවේ ජපාන තානාපති කාර්යාලයට පණිවිඩය විකේතනය කර ඇමරිකානු රජයට දැනුම් දෙන්න හැකි වී තිබෙන්නේ ප්‍රහාරයෙන් පැය දෙකකටත් පසුවයි. ඇතැම් වාර්තා අනුව ඇමරිකානු බුද්ධි අංශ විසින් ඊට පෙර එය විකේතනය කරගෙන තියෙනවා.

      Delete
  4. ඇමරිකා ඔරුමත්තුනාඩුවට යටත්වීම ජපනුන්ගේ වාසනාවක්.
    යම් හේතුවකින් ජපානය බිරිතානියට යටත්වුනා නම් බිරිතානීන් ජපානය තුල ජපනුන්ට හිමිවියයුතු තැන අහිමිකරනවා නියතයි.

    ලංකාවේ ප්‍රශ්ණයත් බිරිතානි අධීරාජ්‍යයවාදය නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිතැන අහිමිවීමයි.
    නාසිවාදයට එක හේතුවක් තමයි, පලමු ලෝක(යුරෝපා) යුද්ධයෙන් පසු එකල ලෝකෙට ලොක්කා වූ බිරිතානිය විසින්
    ජර්මන් ජාතියට හිමිතැන අහිමි කිරීමට කටයුතු කිරීමයි.
    ඊස්‍රායලය සම්බන්ධයෙන් මුලදී බිරිතානි අභිලාශය වූයේ
    ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය වන යුදෙව්, පලස්තීන සංස්කෘතීන්ට සම තැනක් ලැබෙන අංගවිකල රාජ්‍යයක් ගොඩනැඟීමයි.

    ඇමරිකා ඔරුමත්තුනාඩුවත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක් වුවත් එය බිරිතානිය තරම් කපටි නෑ.
    ඒ අතින් ඔවුන් වඩා සමීප පෘතුගීසීන්ට. මිනී මැරුවත් අවංකයි. :)

    ReplyDelete
    Replies
    1. //ජපානය බිරිතානියට යටත්වුනා නම් බිරිතානීන් ජපානය තුල ජපනුන්ට හිමිවියයුතු තැන අහිමිකරනවා නියතයි.//
      මේ කතාවෙනම් පොඩි ඇත්තක් තියෙනවා.

      Delete
  5. මේහා සම්බන්ධ අලංකාර ඉංග්‍රීසි ච්ත්‍රපටයක් තිබේ. පර්ල් හාබර් එහි නමයි. ඇමරිකානු ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකිය හැකියි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මෙය මමත් ගොඩක් කලින් ලංකාවේ සිටියදීම බලපු චිත්‍රපටයක්.

      Delete
    2. Pearl Harbour ෆිල්ම් එකට වඩා හොදයි "Tora! Tora! Tora!" කියන ෆිල්ම් එක. එකෙ ජපානයේ හා ඇමරිකාව දෙපැත්තෙම යුධ සූදානම පෙන්නනවා.

      Delete
  6. වෙනද වගේම වැදගත් සටහනක්.. ඔබට ස්තුතී මේ සටහන එකතු ළාට..

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget