Sunday, December 31, 2017
ජීඑස්පී සමඟ සුබ නව වසරක්!
තවත් ග්‍රෙගෝරියන් අවුරුද්දක් අවසන් වෙමින් තිබේ. ලංකාව ඇතුළු තවත් රටවල් ගණනාවකටම දැනටමත් 2018 අවුරුද්ද ලබා අවසන්ය. එළියේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක බිංදුවක් හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ දහඅටකි. හාත්පස පෙනෙන ගස්වැල්, නිවෙස් වල වහල, නවත්වා ඇති වාහන සියල්ල හිමෙන් වැසී ගොස්ය. අවට පෙනෙන්නේ සුදු පැහැය පමණි. සීතල මැද්දේ එළියට බහින්නට ලොකු කම්මැලිකමක් නැතත් ලබන සතිය වෙද්දී අවසන් කළ යුතු වැඩ තොගයක් ගොඩ ගැසී ඇති නිසා අද අවුරුද්දේ අන්තිම දිනය මෙන්ම ඉරිදා දිනයක්ද වුවත් වෙනත් දෙයක් කරන්නට තරම් හිතේ නිදහසක් නැත. කෙසේවුවත්, අවුරුද්දේ අවසන් බ්ලොග් සටහන ලියන්නට පොඩි වෙලාවක් හෝ මිඩංගු කළ යුතුය.
ලංකාවෙන් ඇමරිකාවට එවන ඇඟලුම් සඳහා මෙතෙක් ලැබුණු ජීඑස්පී සහනය අදින් පසු නොලැබෙන බව දැනගන්නට ලැබී තිබේ. මේ අනුව, රුසියන් තේ කුරුමිණි අර්බුදය යාන්තමින් ගොඩදාගත් ලංකාවට තවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය යනු ලංකාවේ ලොකුම අපනයන වෙළඳපොළයි. ලංකාවේ අපනයන වලින් 27.3%ක්ම මිල දී ගන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. එමෙන්ම ඇඟලුම් යනු ලංකාවේ ප්‍රධානම අපනයන නිෂ්පාදනයයි. ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන ඇඟලුම් වලින් උපයන ආදායම පමණක් ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් 20.4%කි. මෙයට සාපේක්ෂව රුසියාවට තේ යැවීමෙන් ලංකාව උපයන ආදායම සමස්ත අපනයන ආදායමෙන් 1.4%ක් පමණි. ඒ නිසා, ඇමරිකාවට යවන ඇඟලුම් වලින් ලැබෙන ආදායම 7%කින් පමණ අඩුවුවහොත් එයින් ලංකාවට සිදුවන බලපෑම සමස්ත රුසියානු තේ වෙළඳපොළම අහිමිවීමට වඩා විශාලය.
ලංකාව ඇමරිකාවෙන් ආනයනය කරන්නේ මුළු ආනයන වලින් 2.8%ක් පමණක් වීමත්, ලංකාවේ ගෙවුම් ශේෂයට විශාලම අතිරික්තයක් එකතු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ කරන ද්විපාර්ශ්වික වෙළඳාම වීමත් සැලකූ විට ප්රශ්නයේ බරපතලකම තවත් ඉස්මතු වී පෙනේ. ලංකාව විසින් වාර්ෂිකව චීනය හා ඉන්දියාව වැනි රටවලින් විශාල භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කරන්නේ ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් සමඟ කරන වෙළඳාම් හරහා උපයන වෙළඳ ශේෂ අතිරික්තය වැය කරමිනි.
ඇතැම් අය කියන විදිහට ලංකාවට ජීඑස්පී අහිමිවීමත්, ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීමට ලංකාව එරෙහි වීමත් අතර සම්බන්ධයක් තිබේ. මේ කතාවනම්, රුසියන් තේ තහනම හා ඇස්බැස්ටෝස් තහනම සම්බන්ධ කරමින් ටික දිනකට පෙර ගොතා තිබුණු කතාව තරම්වත් පදනමක් නැති කතාවකි.
අදින් ජීඑස්පී සහනය අහිමි වන්නේ ලංකාවට පමණක් නොවේ. භාණ්ඩ 4800ක පමණ ප්‍රමාණයක් අඩු තීරුබදු අනුපාතිකයක් ගෙවමින් ඇමරිකාවට අපනයනය කිරීම සඳහා හිමිකම් ලබා තිබුණු රටවල් හා ප්‍රදේශ 129කට අද සිට සිදුවන ඇමරිකානු ජීඑස්පී සහනය අහිමි වීම බලපායි. එමෙන්ම, මෙය ඇමරිකාව විසින් හදිසියේ ගත් තීරණයක් නිසා සිදුවන දෙයක්ද නොවේ. අඩු ආදායම්ලාභී රටවල දිළිඳුකම අඩුකිරීමේ අරමුණින් නිශ්චිත කාලයකට හඳුන්වා දුන් මේ සහනය අහිමි වන්නේ ස්වභාවික ලෙසම කල් ඉකුත් වීම නිසාය.
අදාළ සහනය තවත් කලකට දීර්ඝ කිරීමටනම් ඇමරිකානු කොන්ග්‍රසයේ ඒ සඳහා යෝජනාවක් සම්මත විය යුතුය. මුලින්ම මේ සහනය හඳුන්වා දුන් 1976 වසරේ සිට වාර ගණනාවක්ම මෙහි කාලය දීර්ඝ කෙරී ඇති අතර අවසන් වරට එය සිදුවුණේ 2015 ජූනි 29 දිනදීය. ඒ 2015 ජූලි 29 දින සිට වසර දෙකහමාරක කාලයකට බලපැවැත්වෙන පරිදිය. මෙවර කල් ඉකුත් වීමට පෙර එය නැවත දීර්ඝ කෙරුණේ නැත.
කෙසේවුවද, මීට පෙරද මේ ජීඑස්පී සහනය මේ අයුරින් ස්වභාවික ලෙසම කල් පිරී අහිමි වීමෙන් පසු කොන්ග්රසය විසින් තවත් කලකට බලාත්මක කර ඇති අතර එසේ කරන විට පසුගිය කාලයටද බලපාන පරිදි එය කිරීමට මේ සහනය ලබාදුන් පණතෙන් ප්‍රතිපාදන සපයා තිබේ. බොහෝ විට මේ සහනය අහිමි වී කලකින් නැවත ලබාදෙන නිසාම මේ සහනය අහිමි වීමෙන් පසු ඇමරිකන් රේගුව විසින් එකතු කරන අමතර බදු මුදල් සාමාන්‍යයෙන් වියදම් නොකර වෙනම එස්ක්‍රෝ ගිණුමක තබා ගනී. ඒ නිසා, මෙවරද පෙර මෙන්ම ජීඑස්පී සහනය තවත් කලකට නැවත ලැබෙන්නට විශාල ඉඩක් තිබේ.
ලොකු ඉඩක් නැතත්, මෙවර පෙර මෙන් එසේ නොවන්නට වුවද බැරිකමක්ම නැත. වෙනත් රටවල දිළිඳුකම තුරන් කිරීම ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රමුඛතාවයක් නොවේ. යම් හෙයකින් ඇමරිකාව ජීඑස්පී සහනය නැවත ලබා නොදුන්නොත් ලංකාවට කුමක් වෙයිද?
නිවැරදි සංඛ්‍යා සංඛ්‍යාලේඛණ මා සතුව නැතත්, ලංකාවෙන් ඇමරිකාවට යවන භාණ්ඩ සියල්ලටම ජීඑස්පී සහනය නොලැබෙන බව මගේ අදහසයි. මෙහි බලපෑමක් ඇත්තේ අඩු තීරුබදු පහසුකම් සැලසෙන ඇඟලුම් අයිතමයන් ඇතුළු අනෙකුත් අපනයන වලට පමණි. ඒ ප්‍රමාණය කොපමණදැයි මා දන්නේ නැත. තීරුබදු සහන ලබමින් ඇමරිකාවට අපනයනය කළ භාණ්ඩ දැන් විකුණන්නට වෙන්නේ වඩා වැඩි මිලටය.
කෙසේවුවත්, මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ ලංකාව පමණක් නොවේ. ලංකාව සමඟ තරඟකරමින් ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරන අනෙකුත් බොහෝ රටවල්ද මේ ප්‍රශ්නයට එක සමානව මුහුණ දෙයි. ඒ නිසා, ජීඑස්පී සහනය අහිමි වුවද ඒ හේතුව නිසා ලංකාවට හිමිව තිබූ ඇමරිකාවේ වෙළඳපොළ වෙනත් අඩු ආදායම්ලාභී රටකට යන්නේ නැත.
ලංකාවෙන් ඇමරිකාවට යවන්නේ ප්‍රධාන වශයෙන්ම ඇඟලුම්, රබර්, මැණික් හා ස්වර්ණාභරණ, තේ හා කුළුබඩු ආදියයි. මේ භාණ්ඩ ඇමරිකාව තුල හෝ වෙනත් සංවර්ධිත රටවල නිපදවෙන්නේ ඉතා අඩුවෙනි. ඒ නිසා, ලංකාවට හිමිව තිබූ වෙළඳපොළ ඇමරිකාවේ දේශීය නිෂ්පාදකයින්ට හෝ මෙතෙක් ජීඑස්පී සහනය නොලැබූ ඉහළ ආදායම් මට්ටමක සිටින රටකට හිමිවීමටද ලොකු ඉඩක් නැත.
කෙසේ වුවද, ඇමරිකාව තුළට කලින් ජීඑස්පී සහනය යටතේ ආනයනය කළ භාණ්ඩ වල මිල වැඩි වන නිසා ඉල්ලුමෙහි කිසියම් අඩුවක් සිදුවීමට ඉඩ තිබේ. මේ දින වල ඇමරිකාවේ ආර්ථිකය ඉතා හොඳ තත්ත්වයක තිබෙන නිසා සිදුවී ඇති ධනාත්මක බලපෑම හමුවේ මේ අඩුව නොපෙනී යන්නට ඉඩ ඇතත් ජීඑස්පී සහනය අහිමි වුවහොත් ඇතිවන බලපෑම කිසියම්ම හෝ නිශේධනාත්මක එකක් බවට තර්කයක් නැත.
ඇමරිකාව විසින් ජීඑස්පී සහනය නැවත ලබා දුන්නත් නොදුන්නත් එය ලංකාවේ රාජ්‍ය නායකයින්ට ඇමරිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා කර විසඳාගත හැකි රුසියානු තේ තහනම ආකාරයේ ප්‍රශ්නයක් නොවේ. බොහෝ විට, එවැනි මැදිහත්වීමක් නැතත් මේ සහනය නැවත ලැබෙනු ඇත. එසේ සිදු නොවුණත්, එය ලංකාවට වෙනස් කළ හැකි දෙයක් නොවේ. ඒ නිසා, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර කියා ලංකාව විසින් නිල වශයෙන් පිළිගත්තත් ඒ හේතුවෙන් ලංකාවට ජීඑස්පී සහනය නැවත ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ නැත.
ලබන නව වසරේ ලංකාවට නැවතත් ජීඑස්පී සහනය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.
ඔබ සැමට සුබ නව වසරක්!
Labels:
ඇමරිකාව,
ඊශ්‍රායලය,
ජාත්‍යන්තර වෙළඳාම,
සේවා ආර්ථිකය
Subscribe to:
Post Comments (Atom)
සුබ නව වසරක් ඉකොන්. ලංකාවේ අඤානවන්ත දේසපාලුවෙක් කියල තිබුනා සතේක බලපෑමක් ලංකාවට නැතිය කියල. ඔව් සීයෙට හතක් විතර කියන්නෙ මොන ගානක්ද
ReplyDeleteඉකොනොටත් සුබ නව වසරක් වේවා !
ReplyDeleteඔබටත් සුබ නව වසරක්!
Deleteසුබ නව වසරක් ඉකොන්...!
ReplyDeleteමේ ජීඑස්පී සහනය අහිමි වෙලා තියෙන්නේ රාජ්‍ය විදේශ ප්‍රතිපත්තියේ වරදක් නිසා නොවන බව පැහැදිලියි.
Happy and profitable New year Mr.Economatta. Do you know how many countries have a positive balance of trade with USA?
ReplyDeleteGood question! US has a trade surplus with more countries than the number of countries that it has a trade deficit with. A simple count using the list in the following link shows that US has a surplus with around 135/235 countries while trade with 100/235 countries leads to a deficit. However, the deficit numbers, particularly with all the major trade partners except UK, are significantly larger than the surplus numbers, so overall US has a consistent trade deficit. This is partly due to the capital inflows in opposite direction, owing to the practice of investing in US treasuries as countries build up their foreign reserves.
Deletehttps://dataweb.usitc.gov/scripts/cy_m3_run.asp
සුබ නව වසරක් ඉකොන්
ReplyDeleteඔබටත් සුබ නව වසරක්, කෞශල්‍ය!
Deleteසුබ නව වසරක් !
ReplyDeleteඔබටත් සුබ නව වසරක්, ප්‍රාජේ!
Deleteසුබ නව වසරක් ඉකොන්
ReplyDeleteඔබටත් සුබ නව වසරක්, උදය!
Deleteසුබ නව වසරක්. GSP පිලිබඳ නිවැරදි පැහැදිලි විස්තරයක්. මෙච්චර රට වැටිලා තියෙද්දිත් මේක කාලය දික් කරගන්න නොහිතුවේ මොකද ?
ReplyDeleteඔබටත් සුබ නව වසරක්, රසුදැල්!
Deleteමේ ප්රශ්නය ලංකාවේ පැත්තෙන් ඇති වූ ප්‍රශ්නයක් හෝ ලංකාවට මැදිහත් වී විසඳිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි. තේ කුරුමිණි ප්රශ්නයේදී මෙන් ලංකාව පැත්තෙන් සිදුවූ වරදක් තිබුණානම් සාකච්ඡා කර යමක් කරගත හැකිව තිබුණා. මෙය ලංකාවේ වරදකින් සිදුවූ දෙයක් නෙමෙයි.
ඔබටත් සුබ නව වසරක් ඉකොන්, ඇත්තටම ලංකා රජයට සම්බන්ධ බොහෝ දෙනා නිල නොවන අයුරින් පවසනන්නේ නම් මේ ජීඑස්පී තහනම් සීන් එක වගේම රුසියන් තේ තහනමටත් හේතුව අන්ත දූශිත රාජපක්ෂ පවුල ප්රමුඛ ඒකාබද්ද හොර කල්ලිය විසින් කරන ලද කුමන්ත්‍රණ රැසක් බවයි. මෙම රාජපක්ෂ කල්ලිය වැනි ආර්ථික ඝාතක වනචරයින්ගේ විනාශකාකාරී ක්‍රියාවන්ගේ රට බේරාගෙන රටේ ආර්ථිකය රැකගෙන සංවර්ධනය කිරීමට රජය විසින් ගතයුතු ක්‍රියාමාර්ග පැහැදිලි කළ හැකිද?
ReplyDeleteසුබ නව වසරක්, ඇනෝ!
Deleteමම හිතන විදිහට මේ දෙකම අහඹු සිද්ධි පමණයි. ජීඑස්පී සිද්ධිය හා අදාළවනම් කුමන්ත්‍රණයක් සිදුවෙන්න කිසිදු ඉඩක් නැහැ.
සුබ නව වසරක් ඉකොන්
ReplyDeleteඉකොනෝ මොකද හිතන්නේ බන්දුම්කරේ අලුත්ම තත්වේ ගැන? ලියපු ලිපිපෙලින් කියපු දේ තවමත් වැලිඩ්ද?
ReplyDeleteමගේ ලිපිපෙළ ලිවුවේ විෂය කරුණු මත පදනම්ව බොහෝ දුරට තාක්ෂණික ලෙස නිසා අලුත් තොරතුරු ලැබීමෙන් එහි ලියා ඇති දේවල් බොරු වෙන්නේ නැහැ. නමුත්, දැන් කලින් නොදැන සිටි තවත් දේ එළි වී තිබෙනවා. මම ලිවුවේ ඒ වන විට දැන සිටි සීමිත කරුණු පදනම් කරගනිමින්, විෂය රාමුව ඇතුළත උපකල්පන කරමිනුයි. උදාහරණයක් ලෙස පළමු ලිපිපෙළේ අවසන් (විසිවන) ලිපිය ලියද්දී මගේ නිගමනය වුණේ මේ ගනුදෙනුවෙන් යම් හෙයකින් රජයට පාඩුවක් වුණානම් එහි බලපෑම වැඩිපුරම තිබෙන්නේ ලංකා බැංකුව, සේවක අර්ථසාධක අරමුදල හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන රජයේ ආයතන හරහා බවයි. මම මේ නිගමනයට පැමිණියේ තනිකරම තාක්ෂණික කරුණු මත පදනම්ව මිස වෙනත් අය දැන නොසිටි කිසිවක් දැනගෙන නෙමෙයි. අදාළ ආයතන තුනෙන් පළමු දෙකේ සම්බන්ධය මේ වන විට පැහැදිලි වී තිබෙනවා.
Deleteතවදුරටත් පැහැදිලි කරන්න පුලුවන්ද? මේ කියන්නේ වෙන්දේසිය දවසේ වුනු පාඩුව ගැනද නැතිනම් සෙකන්ඩරි මාර්කට් එකෙදී උන දේවල් ගැනද?
Deleteබැඳුම්කරය සම්බන්දයෙන් ආර්ථික විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කල හැකිද? මාධ්‍ය වාර්ථා වලට එහා ගිය විස්තරයක් අප දන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස මා හට මේ ගැන දැනීමක් නැති අතර මාධ්‍ය වාර්ථා ගැනද ගැටළු පවතී. ඔබට විග්‍රහයක් කල හැකි නම් එය ඉතා අගය කරමි. මාධ්‍ය වාර්ථා ඇසුරින් මා තුල ඇති වී ඇති ගැටළු කිහිපයක්ද ඉදිරිපත් කරමි.
ReplyDelete1. ප්‍රාථමික, ද්විතීය වෙළද පොල සහ රජයේ මූල්‍ය අවශ්‍යථා සදහා බැදුම්කර නිකුත් කිරීම සම්බන්දයෙන් සරල පැහැදිලි කිරිමක් කල හැකිද
2. පර්පර්චුවල් සමාගම විවෘත වෙන්දේසියක් මගින් බැඳුම්කර මිලදී ගත්තේ නම් එය නීත්‍යානුකූල නොවන්නේද
3. අභ්‍යන්තර තොරතුරු ලීක් වීමට අමතරව මෙහිදී වංචාවක් සිදුවීමට ඉඩ කඩක් පවතීද
4. මාධ්‍ය වාර්ථා අනුව පර්පර්චුවල් සමාගම මිලදී ගෙන ඇත්තේ 60% කට ආසන්න බැදුම්කරය. ඔවුන් වරදක් (වංචාවක්) සිදුකර ඇත්නම් 40% මිලදි ගෙන ඇති අනෙක් සමාගම් වලට වගකීමක් නැද්ද.
5. වාර්ථා වන අන්දමට රජයේ අරමුදල් වලට මහත් අළාභයක් සිදු වී ඇත. ඒසේ වීමට ඉඩකඩක් පවතීද. නැතිනම් සිදුවී ඇත්තේ අපේක්ෂිත ලාභයක් අහිමිවීමක් පමනක්ද
6. අළාභයක් සිදුවී ඇත්නම් එය ගණනය කිරීමේ ක්‍රමවේදයක් පවතීද
මෙය ඉල්ලීමක් පමණක් බව කාරුණිකව සලකන්න
දයාරත්න, මේ වන විට එළියට ප්‍රසිද්ධ වී ඇති කරුණු සියල්ල එළිදරවු වන්නට පෙර වුවත්, මේ හා අදාළව මම ලිපි 30ක් පමණ ලියා තිබෙනවා. ඔබ අසා ඇති ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ඒ ලිපි වල අඩංගු බව මගේ විශ්වාසයයි.
Deleteමුල් ලිපි 20ට ලින්ක් පහත ලිපිය අවසානයේ තියෙනවා.
https://economatta.blogspot.com/2016/12/blog-post_26.html
I went through those articles, Thanks Sir.
Deleteඔබට සුබ නව වසරක් වේවා
ReplyDeleteවිචාරක දියණිය
ඔබටත් සුබ නව වසරක්, විචාරක දියණිය!
Deleteසුබ නව වසරක් වේවා ඉකොන්!
ReplyDeleteඔබටත් සුබ නව වසරක්, ජීවන්ත!
Deleteසිතුවිලි සටහන් බ්ලොග් කියවනය http://sithuwilisatahan.com/
ReplyDelete