Monday, January 8, 2018

පුංචි ඡන්දයේ ලොකු ප්‍රතිඵල


අවුරුද්දේ පළමු දින අටම ඉතාම කාර්යබහුල ලෙස ගෙවී ගිය නිසා, ලියන්නට දේවල් කප්පරක් තිබුණත් වියුණුව යාවත්කාලීන කරන්නට ඉසිඹුවක් ලැබුණේම නැත. මහින්ද රාජපක්ෂව පරාජය කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කෙරුණු ජනාධිපතිවරණයේ තෙවන සංවත්සරය එළඹෙද්දී, කලකට පසු නැවත වරක් ලංකාවේ දේශපාලන බලතුලනය පරීක්ෂා කෙරෙන පළාත් පාලන මැතිවරණ සඳහා දින නියම වී තිබේ. අලුත් අවුරුද්දේ කතා කරන්නට ඇති මාතෘකා අතරින් පුංචි ඡන්දය ඉදිරියට පැමිණීම නොවැලැක්විය හැකිය.

පළාත් පාලන මැතිවරණ වල ප්‍රතිඵල සාමාන්‍යයෙන් ලංකාවේ මිනිසුන්ගේ ජන ජීවිතයට විශාල බලපෑමක් කරන්නේ නැත. ඒ නිසා, පළාත් පාලන මැතිවරණ ලංකාවේ ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ වලට සාපේක්ෂව ජනතාවගේ හෝ මාධ්‍ය වල අවධානය දිනාගන්නේ නැත. ලංකාවේ මෑතකාලීන පළාත් පාලන මැතිවරණ වලදී ඡන්දදායකයින් විසින් ඡන්දය ප්‍රකාශ කිරීමට දක්වා ඇත්තේද සාපේක්ෂව අඩු උනන්දුවකි.

කෙසේ වුවත්, අනාගතය යනු අතීතයේ සිට වර්තමානය දක්වා කරුණු සිදුවී ඇති ආකාරයේ රේඛීය දිගුවක් නොවේ. කරුණු කිහිපයක්ම නිසා, විශේෂයෙන්ම ප්‍රධාන වෙනස්කම් දෙකක් නිසා, මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල ලංකාවේ අනාගත දේශපාලනයට තීරණාත්මක බලපෑමක් කරන්නට සැලකිය යුතු ඉඩක් තිබේ.

පළමුව, මේ මැතිවරණය පැවැත්වෙන්නේ අලුත්ම හා වෙනස්ම ක්‍රමයකටය. ඉතා සංකීර්ණ ක්‍රමයක් වන මේ අලුත් මැතිවරණ ක්‍රමය ගැන නිසි අවබෝධයක් වැඩි දෙනෙකුට නැති නිසා ඒ හේතුවෙන් සමස්ත ප්‍රතිඵලයට මෙන්ම දිගුකාලීනව ලංකාවේ දේශපාලනයටද සිදුවිය හැකි බලපෑම පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදු වී නැත.

දෙවනුව, ලංකාවේ මේ වන විට පවතින දේශපාලන බලතුලනය අඩු වශයෙන් නමසිය හැත්තෑ හතෙන් පසුව මේ අයුරින් පැවතී නැත. පසුව පැහැදිලි කෙරෙනු ඇති පරිදි, මේ දෙවන කරුණ පළමු කරුණට සම්පූර්ණයෙන් පරිබාහිර කරුණක්ද නොවේ.

සාකච්ඡාව ඉදිරියට ගෙනයාමට පෙර ඉහත කරුණු දෙකටද වක්‍ර ලෙස සම්බන්ධ නිරීක්ෂණ කිහිපයක්ද ඉදිරිපත් කළ යුතුය.

1. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු 2015 අගෝස්තුවෙන් පසු වසර දෙකහමාරක කාලය තුළ ලංකාවේ මැතිවරණයක් පැවැත්වී නැත.

2. පළාත් පාලන මැතිවරණ සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට පෙර ලංකාවේ මේ වන විට ඉදිරියෙන්ම සිටින දේශපාලන කණ්ඩායම් තුන ලෙස සැලකිය හැකි එජාප ප්‍රමුඛ එජාපෙ, අලුතින් පිහිටවූ පොදුජන පක්ෂය හා ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානය යන බලවේග තුන අතර ඇති විය හැකිව තිබුණු සෛද්ධාන්තික ද්විපාර්ශ්වික මැතිවරණ හවුල් තුනම බිහි වීමේ ඉඩකඩ පිළිබඳ ඉඟි වරින් වර පළ කෙරුණත් එවැනි කිසිදු සන්ධානයක් ඇති වූයේ නැත.

ඉහත නිරීක්ෂණ දෙකම ඉතා පහසුවෙන් පැහැදිලි කළ හැකිය. කෙසේ වුවද, ඊට පෙර අප තරමක් මුලට යා යුතුය.

ලංකාවේ දේශපාලනය තුළ දේශපාලන පක්ෂ වල උපායමාර්ගික හැසිරීම් වල බලපෑම ඇතැම් විට රටේ මිනිසුන්ගේ කැමැත්ත වෙනස්වීමටද වඩා වැඩිය. සාමාන්‍ය භාවිතයේදී "ඩීල්" ලෙස හැඳින්වෙන කොටසද මේ උපායමාර්ගික හැසිරීම් වල කොටසකි.

රාජපක්ෂ පාලනය බිඳ වැටීමට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේද රටේ ඡන්දදායකයින්ගේ හැසිරීමේ සිදු වූ ක්ෂණික වෙනස්වීමකට වඩා රාජපක්ෂ විරෝධී බලවේග වල උපායමාර්ගික හැසිරීමයි. 2015 ජනාධිපතිවරණය සඳහා දින නියම කෙරෙන විට ලංකාවේ දේශපාලන බලය බොහෝ දුරට රාජපක්ෂ පවුල වටා කේන්ද්‍රගතව තිබුණේය යන්න නිවැරදිය. එකිනෙකට විරුද්ධ දේශපාලන අදහස් දරන එජාප හා ජවිපෙ මෙන්ම, දෙමළ හා මුස්ලිම් ජනවාර්ගික ඡන්ද පදනමක් ඇති දේශපාලන පක්ෂත්, ශ්‍රිලනිපයේම ඇතැම් කොටසුත් මේ තත්ත්වය තුළ දැඩි අසහනයකින් සිටියත් ජනාධිපතිවරණය ආසන්න වන තුරුම පෙනෙන්නට තිබුණේ රාජපක්ෂ පාලනය බිඳ නොවැටෙනු ඇති බවයි.

පසුගිය ජනාධිපතිවරණයට දින නියම වන විට රාජපක්ෂවාදීන්ට මෙන්ම රාජපක්ෂ විරෝධී කණ්ඩායම් වලටද ආණ්ඩු වෙනසක සේයා පෙනෙන්නට තිබුණේ නැත. රාජපක්ෂවරුන් ප්‍රධාන එජනිස ඡන්ද පදනම ප්‍රධාන වශයෙන්ම සිංහල බෞද්ධ ඡන්දදායකයින් අතර පැතිර තිබූවක් වුවත්, ඒ පදනම සුළු ජාතික ඡන්ද වලින් පරාජය කිරීමට අපහසු තරමේ පුළුල් එකක් විය.

රාජපක්ෂ ආණ්ඩුව තුළ සිට එළියට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායම නිසා ඒ වන විට පැවති සමතුලිතතාවය යම් තරමකින් වෙනස් විය. එහෙත්, මෛත්‍රීපාල සිරිසේනගේ පොදු අපේක්ෂකත්වය රාජපක්ෂවාදීන් බිය ගන්වන්නට හෝ රාජපක්ෂවිරෝධීන්ට නිසැක ජයග්‍රහණයක් තහවුරු කරන්නට තරම් ප්‍රමාණවත් වූයේ නැත. අඩු වශයෙන් මෛත්‍රීපාල සිරිසේන සමඟ ආණ්ඩුවෙන් එළියට එනු ඇතැයි අපේක්ෂා කෙරුණු පිරිසෙන් බොහෝ දෙනෙකු එසේ ආණ්ඩුවෙන් එළියට ආවේද නැත. ඒ නිසා, ජනාධිපතිවරණ ප්‍රතිඵල පිටවන තුරුම රාජපක්ෂවාදීන් සිටියේ ජයග්‍රාහී මානසිකත්වයකිනි.

ජනවාරි 8 වෙනසට මුල් වුනේ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස පිල් මාරු කිරීම නිසා වෙනස් වූ සුළු ඡන්ද ප්‍රතිශතය නොවේ. සිංහල බෞද්ධ නාගරික ඡන්ද වල වෙනස්වීම, දශක ගණනක් තිස්සේ භාවිතා නොවුණු උතුරේ ඡන්ද හා සාමාන්‍යයෙන් නොවැටෙන පාවෙන ඡන්ද යම් ප්‍රමාණයකි. මහින්ද රාජපක්ෂ සතුව තිබූ සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ඒ වන විටද නොසෙල්වී තිබුණේය.

උතුරේ ඡන්ද ප්‍රමාණවත් තරම් ප්‍රකාශ වුවහොත් රාජපක්ෂ පාලනය බිඳ වැටෙන බව ගණිතමය යථාර්තයක් වුවත්, ඡන්දයට පෙර රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමේ හැකියාව ගැන එජාපයට පැහැදිලි විශ්වාසයක් තිබුණේ නැත. ඊට වසර කිහිපයකට පෙර එජාපය මුල්ව රාජපක්ෂ විරෝධීන් එකතු කරගනිමින් සරත් ෆොන්සේකා යොදා ගෙන කර තිබුණු පරීක්ෂණයද අසමත් පරීක්ෂණයක්ව තිබුණේය. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම හා බදු අඩු කර අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීම වැනි රාජ්‍ය වියදම් තවත් පුළුල් කෙරෙන, තමන්ගේ ආර්ථික වැඩපිළිවෙළට සම්පූර්ණයෙන්ම පටහැනි ඡන්ද පොරොන්දු දීමට එජාපය යොමු වුණේ මැතිවරණ ජයග්‍රහණය ගැන ඒ වන විටද ඔවුන්ට විශ්වාසයක් නොතිබුණු බැවින් මිස රාජපක්ෂ විරෝධී කඳවුරේ සිටි "සමාජවාදීන්ගේ" බලපෑම හේතුවෙන් නොවේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ඒ, ප්‍රධාන වශයෙන්ම එජාපයේත්, දෙවනුව දෙමළ හා මුස්ලිම් ජනවාර්ගිකයින්ගේත්, තෙවනුව ජවිපෙයේත් ඡන්ද වලිනි. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රීලනිප ඡන්ද නොලැබුණු තරම්ය. ශ්‍රීලනිප ඡන්ද අතිමහත් බහුතරය තවදුරටත් ලබාගත්තේ මහින්ද රාජපක්ෂ විසිනි.

එහෙත්, ජනාධිපතිවරණයෙන් පසුව "අමුතු දෙයක්" සිදු විය. මහින්ද රාජපක්ෂ විසින් කැමැත්තෙන්ම ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රීපාල සිරිසේන වෙත පැවරුවේය. එහෙම වුණේ ඇයි?

එජාප, ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය ඇතුළු ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන සමඟ සිටි කණ්ඩායම් වලට මෛත්‍රීපාල සිරිසේනව යොදා ගන්නට අවශ්‍ය වුණේ මහින්ද රාජපක්ෂව පරාජය කිරීම සඳහා පමණි. බොහෝ විට රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාව වන්නට ඇත්තේ ජනාධිපතිවරණයෙන් තෙවසරකට පසුව දැන් සිදු වී ඇති පරිදි, ශ්‍රීලනිපය දෙකඩ කිරීමයි. මහින්ද රාජපක්ෂ විසින් කැමැත්තෙන්ම ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රීපාල සිරිසේන වෙත නොපැවරුවේනම් ඒ අවස්ථාවේදීම එය සිදු විය හැකිව තිබුණි.

ජනාධිපතිවරණය දක්වාම ශ්‍රීලනිපය තුළ මෛත්‍රීපාල සිරිසේනට සැලකිය යුතු බලයක් නොතිබුණත්, මහින්ද රාජපක්ෂගේ පරාජයත් සමඟ තත්ත්වය වෙනස් වෙමින් තිබුණේය. ඒ නිසා, ඒ අවස්ථාවේදී ශ්‍රීලනිප අයිතිය පිළිබඳ ගැටුමක් ඇති වූයේනම් ශ්‍රීලනිපය දෙකඩ විය හැකිව තිබුණු අතර, එයින් වඩා විශාල කණ්ඩායම තවදුරටත් මහින්ද රාජපක්ෂ සමඟම සිටිය හැකිව තිබුණත්, රාජ්‍ය බලය අහිමි මහින්ද රාජපක්ෂ සමඟ ඉතිරිවන කණ්ඩායම ක්‍රමයෙන් රාජ්‍ය බලය වෙත ආකර්ෂණය විය හැකිව තිබුණේය.

ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රීලනිපය දෙකඩ වෙන්නට හැර එහි ලොකු කෑල්ල අයිති කරගත්තත්, මාස කිහිපයකට පසුව පිහිටුවීමට නියමිතව තිබුණු එජාප ආණ්ඩුවක් හා ශ්‍රීලනිපයේ අනෙක් පාර්ශ්වය නියෝජනය කරන ජනාධිපතිවරයෙකු බලයේ සිටියදී මේ ලොකු කෑල්ල උපයෝගී කරගෙන නැවත රාජ්‍ය බලය ඇල්ලීම පහසු කටයුත්තක් නොවේ. එමෙන්ම, මහින්ද රාජපක්ෂ සමඟ සිටින ශ්‍රීලනිප පිරිස් එසේ සිටින්නේ ඉතා ඉක්මණින් නැවත රාජ්‍ය බලය ලබාගැනීමේ සිහිනය දකිමින් නිසා, එය පමා වන තරමට සිදුවන්නේ මේ කණ්ඩායම තවත් දුර්වල වීමයි.

ඉහත කරුණු සලකා බැලූ විට මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රීලනිප නායකත්වය පිරිනැමීම ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ විසින් ගත් තර්කානුකූල තීරණයකි. ඒ හරහා, රාජ්‍ය බලයේ වාසි තකමින් හෝ දඬුවම් ලැබීමේ තර්ජනය වලක්වා ගැනීමට මහින්ද රාජපක්ෂ හැර දමා ආණ්ඩුවේ පාර්ශ්වයක් සමඟ එකතු විය හැකිව තිබුණු පිරිස් තමන් සමඟ රඳවා ගන්නට මහින්ද රාජපක්ෂට හැකි විය.

අනෙක් පැත්තෙන්, ශ්‍රීලනිප නායකත්වය භාර ගැනීම මෛත්‍රීපාල සිරිසේනටද වාසිදායක තීරණයක් විය. ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රීලනිප නායකත්වය ලබා නොදුන්නේනම් මෛත්‍රීපාල සිරිසේනට ඒ සඳහා සටන් කර ශ්‍රීලනිප පළුවක් ගලවාගන්නට සිදුවන අතර මේ පළුව ශ්‍රීලනිප ලොකු පළුව නොවේ. වඩාත් වැදගත් කරුණ වන්නේ ඒ පොඩි පළුවට වුවද පාර්ලිමේන්තුව තුළ පැවති බලතුලනය සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකිව තිබුණත්, මැතිවරණයකදී ශ්‍රීලනිප ඡන්ද පදනම කෙරෙහි ලොකු බලපෑමක් කළ හැකිව නොතිබීමයි. ඒ වෙලාවේ මෛත්‍රීගේ ශ්‍රීලනිප පිලට කළ හැකිව තිබුණේ ශ්‍රීලනිප ඡන්ද වලින් කිසියම් ප්‍රතිශතයක් කඩමින් මහින්ද පිල දුර්වල කිරීම පමණි.

මහින්ද මෛත්‍රී පිල් ලෙස බෙදුණු ශ්‍රීලනිප කණ්ඩායම් දෙකක් හා එජාපය අතර සිදුව හැකිව තිබුණු මහමැතිවරණ සටනක වාසිය ලැබිය හැකිව තිබුණේ එජාපයටය. එවැනි තත්ත්වයක් යටතේදී, මෛත්‍රී පිළ වෙත කැඩෙන ශ්‍රීලනිපයේ ඡන්ද හේතුවෙන් 2015 අගෝස්තු මැතිවරණයේදී එජනිසය මුල් තැනට පැමිණි දිස්ත්‍රික් ගණනාවක මුල් තැන සමඟ බෝනස් ආසන එජාපයට ලැබීමටත්, ඒ අමතර මන්ත්‍රීධුර කිහිපයේ උදවුවෙන් ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයේ හෝ සහාය නොලබමින් ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එජාපයට ලැබෙන්නටත් ඉඩ තිබුණේය. එජාපය ඒ අවස්ථාවේදී එවැනි ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවූයේනම්, එජනිසයේ මන්ත්‍රීවරුන් විශාල ගණනක්ද ඒ ආණ්ඩුවට  ස්වේච්ඡාවෙන්ම එකතු විය හැකිව තිබුණේය. එවැනි වාතාවරණයක් යටතේ වුවද, ශ්‍රීලනිප මෛත්‍රී පිල ආණ්ඩුවේ කොටසක් වනු ඇතත් මෛත්‍රීට දැනට තිබෙන හෙට්ටු කිරීමේ හැකියාව නැති වී ඔහු නාමික ජනාධිපතිවරයෙකුගේ තත්ත්වයට පත් විය හැකිව තිබුණේය. එමෙන්ම, මහමැතිවරණයෙන් වැඩි කලක් යන්නට පෙර පවත්වන ප්‍රාදේශීය මැතිවරණ හරහා එජාපය රට පුරා බලය තහවුරු කර ගැනීමද සිදු විය හැකිව තිබුණේය. එසේ වීනම් එය මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන මරණයයි.

මේ අනුව පැහැදිලි වන පරිදි, මහින්ද විසින් මෛත්‍රීට ශ්‍රීලනිපය භාර දීම නිසා ඒ වෙලාවේ මහින්ද-මෛත්‍රී දෙපක්ෂයටම සිදුවුණේ වාසියකි. අප දන්නා පරිදි කොහොමටත් ස්වේච්ඡා ගණුදෙනුවක් සිදුවන්නේ ගණුදෙනුවට එළඹෙන පාර්ශ්ව දෙකටම කිසියම් හෝ වාසියක් ඇත්නම් පමණි. මහින්ද හා මෛත්‍රී අතර සිදු වූ ගණුදෙනුව නිසා අවාසියක් වූයේ එජාපයටය. වඩා නිවැරදිව කියනවානම් එජාපයට සිදු වුණේ ලැබිය හැකිව තිබුණු උපක්‍රමික වාසියක් නොලැබී යාමයි. එහෙත්, ඒ සම්බන්ධයෙන් එජාපයට ඒ අවස්ථාවේදී කළ හැකි දෙයක් තිබුණේද නැත.

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප නායකත්වයට පත්වීම නිසා ශ්‍රීලනිපය ඒ වෙලාවේ දෙකඩ වුණේ නැත. ඒ නිසා එජාපයට අගෝස්තු මහමැතිවරණයේදී අපේක්ෂිත වාසිය ලැබුණේද නැත. එහෙත්, ජනාධිපතිවරණයේ සිට ගත වූ මාස අටක කාලය තුළදී පවා එජනිස ඡන්ද පදනම සැලකිය යුතු ලෙස නාය ගියේය. මේ මාස අට තුළ, දකුණේ නාගරික දිස්ත්‍රික්ක වලදී 14-17% පමණ ප්‍රමාණයක්ද, ග්‍රාමීය දිස්ත්‍රික්ක වලදී 19-24% දක්වාද, නැගෙනහිරදී 22-26% දක්වාද, උතුරේදී 30% ඉක්මවාද එජනිස ඡන්ද අඩුවිය.

කෙසේවුවත්, ඉහත කී පරිදි එජනිසයෙන් ගිලිහුණු ඡන්ද වලින් එජාපය වෙත සම්ප්‍රේෂණය වී තිබුණේ සීමිත ප්‍රතිශතයක් පමණි. එජනිසයෙන් ගිලිහුණු ජනවාරි ඡන්ද බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේදී එජාපෙ වෙත සම්ප්‍රේෂණය වී තිබුණේ ඉතාමත්ම සුළුවෙනි. මහනුවර, මාතලේ, අම්පාර, කුරුණෑගල හා අනුරාධපුරදී 1-2% ප්‍රමාණයකුත්, ගාල්ල, මාතර හා රත්නපුරේදී 3-4% ප්‍රමාණයකුත්, කෑගල්ලේදී 5% පමණත් මෙසේ එජාපෙ වෙත සම්ප්‍රේෂණය වී තිබුණු අතර හම්බන්තොට, මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක වලදී මේ ප්‍රතිශතය 11-12% තරම් ඉහළ අගයක් ගත්තේය. ඉතිරි ඡන්ද භාවිතා වී නොතිබුණේය.

ඉහත නිරීක්ෂණය ලංකාවේ ඡන්ද පක්ෂ අතර මාරු වන සාමාන්‍ය රටාව සමඟ ඉතා හොඳින් ගැලපේ. මැතිවරණ වලදී "පරීක්ෂණ කරන" නාගරික උගත් ඡන්දදායකයින් රැළි ඇති කිරීමට හා වෙනස්කිරීමට පුරෝගාමී කාර්යයක් කළත්, මැතිවරණයකදී සංඛ්‍යාත්මක බලපෑමක් කළ හැකි ප්‍රධානම කණ්ඩායම සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්දදායක පිරිසයි. මේ පිරිස බොහෝ විට ඡන්දය දෙන්නේ රැල්ල හමන අත බලාගෙනය. එය සිදුවන්නේ කිසියම් කාලපමාවක් සහිතවය. සිංහල බෞද්ධ ඡන්දදායකයින්ගේ පාක්ෂිකත්වය වෙනස්වන සාමාන්‍ය රටාව පහත පරිදි විස්තර කළ හැකිය.

1. පවුලකට කිසියම් පාක්ෂිකත්වයක් තිබේ. මෙය එක්කෝ එජාපයයි. නැත්නම් ශ්‍රීලනිපයයි. මේ පාක්ෂිකත්වය වෙනස් වන්නේ ඉතා හෙමිනි. (පවුලේ තරුණ සාමාජිකයින් මේ පාක්ෂිකත්වය තුළ රැඳී නොසිටින්නට පුළුවන.)

2. තමන්ගේ පක්ෂය දිනන්නට ඉඩ වැඩිනම් පාක්ෂිකයෝ සියල්ලෝම වාගේ ඡන්දය භාවිතා කරති. තමන්ගේ පක්ෂය පරදින්නට ඉඩ වැඩිනම් පාක්ෂිකයන්ගෙන් සැලකිය යුතු කොටසක් ඡන්දය භාවිතා නොකරති.

3. බොහෝ විට එපාප හා ශ්‍රීලනිප පාක්ෂිකත්වයන් ඇති කණ්ඩායම් දෙකේම පූර්ව උපකල්පනය වන්නේ දැනට බලයේ සිටින පක්ෂයම ජයග්‍රහණය කරනු ඇති බවයි. එහෙත්, ආණ්ඩුව වෙනස් වෙන්නට යන බව නාගරික ඡන්දදායකයින්ට ග්‍රාමීය ඡන්දදායකයින්ට වඩා කලින් තේරේ.

4. ආණ්ඩු මාරුවක් සිදු වූ විට බොහෝ ඡන්දදායකයින්ට තමන්ගේ උපකල්පනය වැරදුනු බව තේරුම් යයි. ඒ නිසා, ආණ්ඩු මාරුවකින් පසුව එන මැතිවරණයකදී බලයට පත් වූ පක්ෂයේ පාක්ෂිකයින්ගේ නොවැටුණු ඡන්ද වැටෙන්නට පටන් ගනී. පැරදුණු පක්ෂයේ පාක්ෂිකයින්ගේ වැටුණු ඡන්ද නොවැටී යන්නට පටන් ගනී.

5. ආණ්ඩුවක් දිගින් දිගටම බලයේ සිටිද්දී පැරදුණු පක්ෂයට ඡන්දය භාවිතා කරමින් සිට පසුව ඡන්දය දීමෙන් වැලකී සිටි අය ක්‍රමයෙන් බලයේ සිටින පක්ෂය වෙත පාක්ෂිකත්වය වෙනස් කරයි. තවදුරටත් පැරදුණු පක්ෂයට ඡන්දය භාවිතා කළ අය ඡන්දය දීමෙන් වැළකෙන්නට පටන්ගනී.

ඉහත රටාවට හේතුද පැහැදිළි කළ හැකි වුවත් මා ඒ සඳහා කාලය මිඩංගු කරන්නේ නැත. වැදගත්ම කරුණ වන්නේ බලයේ සිටින හා දිනන්නට වැඩිම ඉඩක් ඇති පක්ෂයේ ග්‍රාමීය ඡන්ද පදනම ක්‍රමයෙන් ඉහළ යාමත්, කලින් බලයේ සිටි පක්ෂයේ ඡන්ද පදනම ක්‍රමයෙන් පහළ යාමත් සිදුවන බවය. මෙය වෙනස් වන්නේ පළමුව නාගරික ප්‍රදේශ වල ඡන්ද රටාවේ වෙනසක් සිදුවී කලක් ගත වීමෙන් පසුවය. එමෙන්ම, නාගරික ඡන්දදායකයින් විසින් කරන ඇතැම් "පරීක්ෂණ" නිසා ඇති වන රැළි ග්‍රාමීය පෙදෙස් වලට සම්ප්‍රේෂණය වන්නට පෙර එම රැළි වල සැර බාල වී යන අවස්ථාද සුලභය.

පසුගිය අගෝස්තු මැතිවරණයේදී මහින්ද පාර්ශ්වය විසින් මෛත්‍රීව යොදාගත්තේ රාජ්‍ය බලය තවදුරටත් තමන් සතුව තිබෙන බව ග්‍රාමීය ඡන්දදායකයින්ට ඒත්තු ගැන්වීමටය. මැතිවරණය ආසන්නව මෛත්‍රී විසින් ලියූ විවෘත හසුන හා වෙනත් හේතු නිසා ඒ උත්සාහය එතරම් සාර්ථක වූයේ නැත. 2015 ජනවාරි සිට අගෝස්තු දක්වා ගත වූ මාස අට තුළදී එජනිස ඡන්ද ප්‍රමාණය ලක්ෂ 58ක සිට ලක්ෂ 47ක් දක්වා පහත බැස්සේය. ඉතා සුළු වශයෙන් වුවත්, එජාපයේ ඡන්ද පදනම ඉහළ ගියේය.

ආණ්ඩුවක ජනප්‍රියත්වය බොහෝ විට බලයට පත්වී දෙවසරකට පමණ පසුව අඩු වන්නට පටන් ගනී. ඒ නිසා, ප්‍රධාන මැතිවරණයකින් බලයට පත්වන ආණ්ඩුවක් බොහෝ විට උත්සාහ ගන්නේ හැකි ඉක්මණින් ප්‍රාදේශීය මැතිවරණ පවත්වා තමන්ගේ බලය තහවුරු කර ගැනීමටය. එහෙත්, එජාපය එසේ නොකරමින් පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කල් යවමින් සිටියේය. ඒ ඇයි?

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කල් යැවීමට එජාපයට අඩු වශයෙන් උපාය මාර්ගික හේතු දෙකක් තිබුණේය. පළමුව, අපේක්ෂා කළ පරිදි මහා මැතිවරණයට පෙර සිදු නොවුණත්, ශ්‍රීලනිපය දෙකඩ වීම ඉදිරි කාලය තුළ අනිවාර්යයෙන්ම සිදු වන බව එජාපය දැන සිටියේය. දෙවනුව, අලුත් මැතිවරණ ක්‍රමය හරහා එජාපයට වාසිදායක පිටියක් නිර්මාණය කර ගත හැකිව තිබුණේය. (දෙවන කරුණ පසුව විස්තරාත්මක ලෙස පැහැදිලි කෙරෙනු ඇත.) මේ දෙකම මේ වන විට සිදුවී තිබේ.

එජාපයට ඉහත වාසි ලැබෙද්දී එජාපයේ ජනප්‍රියත්වය විශාල ලෙස පහත වැටී ඇති බව ඇතැම් අය කියන්නට පුළුවන. එහෙත්, මැතිවරණ ප්‍රතිඵලයකට ඇති බලපෑම සැලකූ විට පෙනෙන්නේ වෙනස් තත්ත්වයකි.

යහපාලන ආණ්ඩුව පත් කර ගන්නට මහන්සි වූ, දූෂණ විරෝධය ප්‍රමුඛ කරගෙන කටයුතු කළ නාගරික ඡන්දදායකයින් අතර යහපාලන ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වී ඇති බව ඇත්තකි. ඔවුන්ට අනුව ආණ්ඩුව කලින් කියූ ලෙස හොරු අල්ලා දඬුවම් කර නැතුවා පමණක් නොව, බැඳුම්කර ගණුදෙනුව හරහා ඔවුන් වෙත තැබූ විශ්වාසය පලුදු කරගෙනද ඇත. අන්තර්ජාලය නිතර පරිශීලනය කරන, මේ වියුණුව ඇතුළු අන්තර්ජාල වියුණු සටහන් කියවන නාගරික පාඨකයින් බොහෝ දෙනෙක් ඉන්නේ මේ ගොඩේ වුවත්, මේ පිරිසට ලංකාවේ මැතිවරණයකදී ප්‍රමාණාත්මකව විශාල බලපෑමක් කළ නොහැකිය. එවැනි, බලපෑමක් කිරීමේ හැකියාව ඇති ග්‍රාමීය ඡන්දදායකයින්ට බැඳුම්කර ගණුදෙනුව හෝ හොරු නොඇල්ලීම විශාල ප්‍රශ්න නොවේ. හැන්ද ඇති අය බෙදාගැනීම හා ආණ්ඩුවේ ලොක්කන් හොරකම් කිරීම ඔවුන්ගේ ඇඟටම පත්තියම් වී ඇති "කවුරුත් දන්නා" සාමාන්‍ය දේවල් මිස මැතිවරණයක් ආසන්නව තිගැස්මක් ඇති කරවන දේවල් නොවේ. පොල් මිල ඉහළ යාම වැනි සිල්ලර ප්‍රශ්නයක් ඔවුන්ට ඊට වඩා විශාල ප්‍රශ්නයකි.

ආණ්ඩු බලය ශ්‍රීලනිපයෙන් එජාපය වෙත මාරු වූ බව අගෝස්තු මහමැතිවරණය වන විටද ලංකාවේ ග්‍රාමීය ඡන්දදායකයින් බොහෝ දෙනෙකුට දැනී නොතිබුණේය. එහෙත්, මේ වන විට බොහෝ දෙනෙකුට ඒ අවබෝධය ලැබී ඇති අතර වසර දෙකහමාරක් යනු ලංකාවේ ග්‍රාමීය ඡන්දදායකයාට සිය පාක්ෂිකත්වය මාරු කිරීම සඳහා හිත හදාගන්නට ප්‍රමාණවත් කාලයකි. රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළ ගොස් ඇති අතර, මිල වැඩි බවට කවදත් නැගෙන මැසිවිලි අඩුවක් නැතත් බඩු මිල සාපේක්ෂව ස්ථාවරව පවතී. ඩොලරය ඉහළ යාමේ වාසියද අපනයන කර්මාන්ත වල නියැලෙන හා ශ්‍රමික ප්‍රේෂණ වලින් යැපෙන ග්‍රාමීය පවුල් වලට ලැබී තිබිය යුතුය. ලංකාවේ ග්‍රාමීය ඡන්දදායකයින්ට ආණ්ඩුව එපා වෙන්නට තරම් මහා පරිමාණ හානියක් ආණ්ඩුවෙන් මෙතෙක් සිදු වී නැත. ඒ නිසා, පසුගිය වසර දෙකහමාර තුළ ග්‍රාමීය ඡන්ද වෙනස් වී ඇත්තේ සුළු වශයෙන් හෝ එජාපයේ වාසියට හා ශ්‍රීලනිපයේ අවාසියට මිස අනෙක් අතට නොවේ.

අනෙක් අතට ආණ්ඩුව සමඟ සිටි නාගරික ඡන්දදායකයින් රැසකට ආණ්ඩුව එපා වී තිබුණත්, මේ ආණ්ඩුව ඉවත්වී පසුගිය ආණ්ඩුවේ ටීම් එක නැවතත් බලයට පැමිණෙනු දැකීම ඔවුන්ගේ අභිප්‍රාය නොවේ. පළාත් පාලන මැතිවරණ වලදී ඔවුන්ගේ හැසිරීම කෙසේ වේදැයි ස්ථිරවම කියන්නට නුපුළුවන. මේ අයගෙන් කොටසක් කලකිරීම් හමුවේ වුවත් තවදුරටත් එජාපය වෙතම ඡන්දය භාවිතා කරනු ඇති අතර, එජාපයෙන් ගිලිහෙන නාගරික ඡන්ද වලින් කොටසක් මෛත්‍රීපාලගේ ශ්‍රීලනිපය විසින් ලබාගනු ඇත. මෛත්‍රීපාල සිරිසේන විසින් නැවතත් දූෂණ විරෝධය කරලියට ගෙනෙන්නේ මෙසේ එජාපයෙන් ගිලිහෙන ඡන්ද රඳවා ගැනීම සඳහාය. ඊට අමතරව, ආණ්ඩුව සමඟ කලකිරී සිටින්නන්ගේ ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ජවිපෙ විසින්ද ලබාගනු ඇත. වැදගත්ම කරුණ වන්නේ යහපාලනය පිහිටුවීම සඳහා දායක වී දැන් ආණ්ඩුව සමඟ කලකිරී සිටින්නන්ගේ ඡන්ද මේ මැතිවරණයෙදී මහින්ද රාජපක්ෂගේ පොදුජන පෙරමුණු කරා සම්ප්‍රේෂණය නොවන බවයි.

පසුව වඩා විස්තරාත්මක ලෙස සංඛ්‍යානුසාරයෙන් පෙන්වා දෙනු ඇති පරිදි, එජාපයේ නාගරික ඡන්ද වලින් කොටසක් ගිලිහී ගියත් එජාපයට තව දුරටත් එම ප්‍රදේශ වල වැඩිම ඡන්ද දිනාගැනීම අපහසු නොවනු ඇත. ඒ අතරම, එජාපයට ග්‍රාමීය පෙදෙස් වල වැඩිම ඡන්ද ලබා ගැනීම පහසු කරමින් ශ්‍රීලනිප ඡන්ද වලින් විශාල කොටසක් පොදුජන පෙරමුණ වෙත විතැන් වනු ඇත. මෙහි ක්ෂණික ප්‍රතිඵලය වන්නේ රටේ සිංහල බහුතරයක් සිටින මැතිවරණ බල ප්‍රදේශ අතිමහත් බහුතරයක කොට්ටාශ නියෝජනය එජාපය වෙත හිමි වීමයි.

පළාත් පාලන මැතිවරණ වලින් පසුව ප්‍රධාන දේශපාලන බලවේග තුන අතර කවර ආකාරයේ සන්ධානයක් ඇතිවේද යන්න විවෘත ප්‍රශ්නයකි. ඒ ගැන සාකච්ඡා කිරීමට පෙර කතා කළ යුත්තේ මැතිවරණයට පෙර එවැනි සන්ධාන නොහැදුණේ ඇයිද යන කරුණයි.

මාධ්‍ය වලින් මොනවා කිවුවත් එජාපය හා මහින්ද පාර්ශ්වය අතර මැතිවරණ සන්ධානයක් බිහිවීම අවම සම්භාවිතාවක් තිබුණු දෙයකි. ඒ නිසා, ඒ ගැන කතා කරන්නට වැඩි කාලයක් මිඩංගු කළ යුතු නැත. ඇති වීමට වැඩි ඉඩකඩක් තිබුණේ මහින්ද-මෛත්‍රී සන්ධානයක් හෝ එජාප-මෛත්‍රී සන්ධානයකි. මෙවැනි සන්ධානයක් ඇති විය හැක්කේ එහි පාර්ශ්ව දෙකටම එයින් වාසි ලැබේනම් පමණි.

අලුත් මැතිවරණ පැවැත්වෙන ක්‍රමය අනුව කිසියම් කොට්ටාශයක වැඩිම ඡන්ද ලබන දේශපාලන පක්ෂයට සාපේක්ෂ වාසියක් තිබේ. ඉතා පැහැදිලිවම, පවතින බෙදීම් අනුව, මේ පළාත් පාලන මැතිවරණයේදී සිංහල බහුතරයක් සිටින ප්‍රදේශ අති මහත් බහුතරයක වැඩිම ඡන්ද ලබාගන්නට ඉඩ තිබෙන්නේ එජාපයයි. දෙවෙනි තැනට පත් වන්නට වැඩි ඉඩක් ඇත්තේ මහින්දගේ පොදුජන පෙරමුණයි.

ශ්‍රීලනිපයේ මහින්ද-මෛත්‍රී කණ්ඩායම් එකතු වූයේනම් ඔවුන්ට රටේ ප්‍රදේශ සැලකිය යුතු ගණනක වැඩි ඡන්ද ලබාගැනීමට ඉඩක් තිබුණේය. එහෙත්, මෛත්‍රී කණ්ඩායමට වෙන්ව තරඟ කර පළමු තැනට එන්නට හැකියාවක් ඇත්තේම නැති තරම් වන අතර මහින්ද කණ්ඩායමට වුවද එවැනි හැකියාවක් ඇත්නම් ඒ සීමිත ප්‍රදේශ ගණනක පමණි. ඒ නිසා, මෙවැනි එකතුවක් පැහැදිලිවම මහින්ද පාර්ශ්වයට වාසිදායකය.

යම් හෙයකින් මහින්ද-මෛත්‍රී කණ්ඩායම් එකතු වූයේ වුවද ඔවුන් එකතුව වැඩිම ඡන්ද ලබාගන්නා ප්‍රදේශ ගණනට වඩා වැඩි ගණනක වැඩිම ඡන්ද එජාපය විසින් ලබා ගන්නට ඉඩ තිබේ. මෙය මහින්ද පාර්ශ්වයට ප්‍රශ්නයක් නොවූවත් මෛත්‍රී පාර්ශ්වයට ප්‍රශ්නයකි. රටේ කිසියම් හෝ පළාත් පාලන ආයතන ප්‍රමාණයක බලය ලබාගැනීම පොදුජන පක්ෂය විසින් ලැබිය හැකි ජයග්‍රහණයක් වුවත්, රටේ දෙවන තැනට වැටෙන සන්ධානයක දෙවන තැනට වැටෙන්නට මෛත්‍රී පාර්ශ්වයට අවශ්‍ය නැත. ඒ නිසා, මහින්ද-මෛත්‍රී සන්ධානයක් ඇති වුණේද නැත.

එසේනම්, එජාප-මෛත්‍රී සන්ධානයක් ඇති නොවුණේ ඇයි?

අලුත් මැතිවරණ ක්‍රමය ගැනත්, මේ මැතිවරණයේ අපේක්ෂිත ප්‍රතිඵල ගැනත්,  එජාප-මෛත්‍රී සන්ධානයක් ඇති නොවීමට හේතු ගැනත්, අලුත් මැතිවරණ ක්‍රමය නිසා දිගුකාලීනව ලංකාවේ දේශපාලනය තුළ සිදුවිය හැකි වෙනස්කම් ගැනත් අපි දෙවන කොටසකින් කතා කරමු.

19 comments:

  1. බොහොම පැහැදිලි විවරණයක්,
    1.ඊලග කොටසින් පෙර හා යෝජිත ජන්ද ක්‍රම අවසන් ප්‍රතිපලයට බලපාන අන්දම විස්තර සහිතව පැහැදිලි කිරීමට කාරුණික වන්න. ( අලුත් ක්‍රමය මගින් පක්ෂයට වඩා පුද්ගලයා මුලික වෙයිද?)
    2. මෙම ලිපියට අදාළ නොවුවත් / වසර 63කත 2017 වසර මුල් මාස 10 තුල අයවැය අතිරික්තයක්/ හැකිනම් පැහැදිලි කරන්න.

    ReplyDelete
    Replies
    1. 1. මෙය ඊළඟ ලිපියේ තියෙනවා.
      2. හොඳ යෝජනාවක්. ඉඩ ලැබෙන පරිදි බලන්නම්!

      Delete
  2. Replies
    1. කියවන්න සිටියත් තවමත් කියවන්න ඉඩක් ලැබුණේ නැහැ.

      Delete
  3. Interesting article....looking forward to read the remaining part/s.

    ReplyDelete
  4. පළාත්පාලන මැතිවරණය පිලිබදව මගේ නිරීක්ෂණය නම් උතුරු නැගෙනහිර දෙමල බහුතර ප්‍රදේශ හැර ඉතිරිප්‍රදේශ වල 2018/01/07 දිනෙන් අවසන් වූ සතිය දක්වා සැලකු විට ගම්ප,හ ගාල්ල ,කළුතර ,කුරුණෑගල ,අම්පාර ,මාතර, අනුරාධපුරසහ රත්නපුර යන දිස්ත්‍රික්කවල සමස්ත චන්ද දායකයන් ගෙන් 50% unpසහ 50% unpවිරෝධී ලෙස හැසිරෙයි .නමුත් unp විරෝධී 50% සම්පුර්ණ ඒකකයක් ලෙස ගත්කල එතුල ඉන් 60%-65% ක විශාල භාගය මහින්ද හිතවාදී චන්ද වනවිට 25%-30% නිල ශ්‍රීලනිප හිතවාදී වේ ජවිපෙ ට ලැබෙනුයේ ඉතිරි 10%-15% ප්‍රමාණය වේ මෙම ප්‍රමාණයත් ජවිපෙ පාක්ෂික චන්ද නොවන අතර මෙතුල කිසිදු පාක්ෂික භාවයක් නොමැති පාවෙන ච්න්දදයකයන්ද සිටී.ඉහත බෙදීම තුල අතිවිශේෂ අවස්ථාවක් නොවුන හොත් එම දිස්ත්‍රික්ක වල බහුතර කොට්ඨාශ එජාපය තරගයකින් තොරව ජයග්‍රහණය කිරීමේ ඉතා විශාල සම්භාවිතාවක් පවතී .
    කොළඹ ,නුවර ,නුවර එලිය ,බදුල්ල ,පුත්තලම ,කෑගල්ල ,මාතලේ යන සම්ප්‍රදායික එජාප ලැදි ච්න්දදයකයන් සිටින දිස්ත්‍රික්කවල හැසිරීම වනුයේ සමස්ත චන්ද වලින් 65%සිට 80% දක්වා චන්ද ප්‍රතිශතයක් එජාපය ලබාගනී ඉතිරි කොටසේ වැඩි කොටස මහින්ද හිතවාදී වන විට ඉතා සුළුතරය නිල ශ්‍රීලනිප හිතවාදී වේ ජවිපෙට ලැබෙනුයේ අනුපාත ක්‍රමයෙන් ලැබෙන සහනය පමණි .
    ,හම්බන්තොට හා පොලොන්නරුව එහි සාම්ප්‍රදායික නායකත්වය අනුව හැසිරෙන බව පෙනේ නමුත් ඇතිවන බෙදීම හේතුවෙන් තනි වැඩි කොටස කොට්ඨාශ 50% ක පමණ එජාපය සතුවනබව නිරීක්ෂණය කලහැක .උතුරු නැගෙනහිර දෙමල ප්‍රදේශවල සියලුම කොට්ඨාශ දෙමල ජාතික සන්දානය ලබාගැනීමට 100% ක සම්භාවිතාවක් ඇත .

    ReplyDelete
    Replies
    1. පළාත්පාලන මැතිවරණය පිලිබදව මගේ නිරීක්ෂණය නම් උතුරු නැගෙනහිර දෙමල මුස්ලිම් බහුතර ප්‍රදේශ හැර ඉතිරිප්‍රදේශ වල 2018/01/09 දින ප.ව. 06.10 න් අවසන් වූ සතිය දක්වා සැලකු විට ගම්පහ, ගාල්ල , කළුතර , කුරුණෑගල , අම්පාර , මාතර, අනුරාධපුර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල සමස්ත චන්ද දායකයන් ගෙන් 20-25 % UNP සහ 25-30 % උග්‍ර UNP විරෝධී ලෙස හැසිරෙයි. 60% පමණ වන බහුතර පාවෙන ඡන්ද නමුත් UNP විරෝධී 75% සම්පුර්ණ ඒකකයක් ලෙස ගත්කල එතුල ඉන් 40%-65% ක විශාල භාගය මහින්ද හිතවාදී චන්ද වනවිට 5%-10% නිල ශ්‍රීලනිප හිතවාදී වේ. ජවිපෙ ට ලැබෙනුයේ ඉතිරි 10%-15% ප්‍රමාණය වේ. මෙම ප්‍රමාණයත් ජවිපෙ පාක්ෂික චන්ද නොවන අතර මෙතුල ද කිසිදු පාක්ෂික භාවයක් නොමැති පාවෙන ච්න්දදයකයන් බහුලව සිටී. ඉහත බෙදීම තුල වුවත් අතිවිශේෂ අවස්ථාවක් නොවුන හොත් එම දිස්ත්‍රික්ක වල බහුතර කොට්ඨාශ එජාපය යන්තමින් ජයග්‍රහණය කිරීමේ ඉතා විශාල සම්භාවිතාවක් පවතී. ඒ එජාප විරෝධී බහුතර ඡන්ද දායකයන් ඡන්දය භාවිත නොකිරීම නිසයි.

      කෙසේ නමුත් බහුතර ග්‍රාමීය එජාප පාක්ෂිකයින්ද එජාපයෙන් රජයේ රැකියා ඇතුළු කිසිදු වරප්‍රසාදයක් නොලත් බැවින් මෙවට අගමැතිවරයාට යස පාඩමක් ඉගැන්වීමට ඡන්දය භාවිත නොකරනු ඇත.

      කොළඹ, නුවර, නුවර එලිය, බදුල්ල, පුත්තලම, මාතලේ යන සම්ප්‍රදායික එජාප ලැදි ච්න්දදයකයන් සිටින දිස්ත්‍රික්කවල හැසිරීම වනුයේ සමස්ත චන්ද වලින් 25%සිට 30% දක්වා චන්ද ප්‍රතිශතයක් එජාපය ලබාගනී. ඉතිරි කොටසේ වැඩි කොටස මහින්ද හිතවාදී වන විට ඉතා සුළුතරය නිල ශ්‍රීලනිප හිතවාදී වේ. නමුත් අපේක්ෂා භංගත්වයට පැමිණි එජාප පාක්Sජිකයෝත් ජවිපෙට ඡන්දය දීමට වැඩි නැඹුරුතාවක් ඇති නිසා ඔවුන්ට ලැබෙන ආසන ප්‍රමාණය සැලකිය යුතු ලෙසින් වැඩිවනු නිසැකය.

      හම්බන්තොට හා පොලොන්නරුව එහි සාම්ප්‍රදායික නායකත්වය අනුව හැසිරෙන බව පෙනෙන නමුත් ඇතිවන බෙදීම හේතුවෙන් තනි වැඩි කොටස කොට්ඨාශ 50% ක පමණ එජාප විරෝධීන් (සංධානය සහ පොහොට්ටුව, එමෙන්ම හම්බන්තොටදී ජවිපෙද තිස්සමහාරාමය වැනි පළාත් වල ප්‍රබල වනු ඇත.) සතුවනබව නිරීක්ෂණය කලහැක. උතුරු නැගෙනහිර දෙමල සහ මුස්ලිම් ප්‍රදේශවල කොට්ඨාශ වැඩි ප්‍රමාණයක් දෙමල සහ මුස්ලිම් පක්ෂ ලබාගත්තත් ඉලංකෛ තමිළ් අරසු කට්චි සංධානයේ ඇති උග්‍ර බෙදීම්, එපීඩීපී සහ තමිළ් මක්කල් විඩුතලෛ මුන්ණනි වැනි නව තරුණ කණ්ඩායම් වර නැග ඒමකුත් සමගම ඉලංකෛ මුස්ලිම් කොංකිරස් මෙන්ම ඕල් සිලෝන් මක්කල් කොන්කිරස් ආදී පක්ෂ අතර අර්බුද නිසා ඒවායේද ගැටුම් නිසාම ගැටුම් වලින් පිරුණු අස්ථාවර සභාග ආණ්ඩු එම ප්‍රදේශ වල පිහිටුවීමට සිදුවනු ඇත.

      Delete
  5. හොඳ ලිපියක් ඉකොනොමැට්ටා, ඔබ මීට කලින් ඉදිරිපත් කල මහබැංකුවේ බොන්ඩ්ස් හුවමාරු සිද්ධිය හා බැඳි සියලු සිදුවීම් මනාව විස්තර කෙරුණු බැඳුම්කර සීරීස් කතාපෙළ, එට්කා ගිවිසුම හරහා ලංකාව ලොව ධනවත් සංවර්ධිත රටක් බවට ලෙහෙසියෙන් පත්කරගන්නා ක්‍රමවේදය පිළිබඳ පෝස්ට් මෙන්ම ඉතාම වටිනා සාරගර්භ දේශපාලන විවරණයක්.

    ඇත්තටම මෙම මැතිවරණය මෙන්ම ඉදිරියේ පවතින සියලු මැතිවරණ වලදී ලංකාවේ වෙසෙන ඡන්ද දායකයින් විසින් කළ යුතු වන්නේ;

    01. එක්සත් ජාතික පක්ෂයට (UNP-අලියා ලකුණ) ඡන්දය දීම මගින් වත්මන් වේගවත් ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සමග විශන් 2020 හරහා නීල හරිත ආර්ථිකයක් තුලින් සංවර්ධිත රටක් බවට ලංකාව පත්කර ගැනීම.

    02. එක්සත් ජාතික පක්ෂයට ඡන්දය කිසිසේත්ම දීමට නොහැකි නම් ජනපති මෛත්‍රීපාල මහතාගේ සංධානයේ බුලත් කොළයට ඡන්දය දී රජයේ සමබරතාව සුරැකීම.

    03. මේ සියල්ලටම ඉරුද්ධ නම් ජ.වි.පෙ. (JVP) සීනුවට කතිරය ගසා විපක්ෂය ශක්තිමත් කර ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමයි.

    කිසිසේත්ම අන්ත දූෂිත අසික්කිත රාජපක්ෂ හොර පවුල සහ උන්ගේ වහල් බයි හැතිකරයට කිසිදු අවස්තාවක් දිය යුතු නැත. ඔවුන් දේශපාලනයෙන් අතුගා දමා මුළුමණින්ම විනාශ කර දැමිය යුතුමය.

    එමෙන්ම ඉකොනොමැට්ටා ඔබට මතකද අප රට 1972 ට පෙර දේශපාලන බලය පැවරුණු හැටි? 1972 ව්‍යවස්ථාවෙන් පසු රාජ්‍ය සේවයේ ඉහල බලය ඇත්තේ දේශපාලකයන් (ඈමති, ලේකම්, සභාපති) වෙත යි. ඊට කලින් ස්ථිර ලේකම් ට ඇමති ටත් වඩා පාලන බලය තිබුණා යයි සිතමි. ඹවුන් සුරක්ෂිත කරන රාජ්‍ය සේවා කොමිසම බලවත් වුනා. දැන් තත්ත්වය අනුව දේශපාලකයන්ට අවශ්‍ය තම (කෙටි) පාලන කාලය තුළ හැකිතාක් තම ඡන්ද පදනම වැඩිකර ගැනීම හා රාජ්‍ය සේවයෙන් ලබාගත හැකි අනෙකුත්වාසි ලබා ගැනීම පමණ යි. නිලධාරි ඒ සඳහා දේශපාලකයින් විසින් හසුරුවන උපකරණ පමණයි. ඉහලින් බල කිරීමක් නැති විට නිලධාරිත් පුලු පුලුවන් වාසි අරගෙන සේවය පැහැර හැරීම සිදුවන බව තමයි අපට පෙනෙන විදිහ..

    ඇමෙරිකාව ඇතුළු වෙනත් රටවල මේ බල ප්‍රශ්නය විසදී ඇත්තේ කෙසේ දැයි නො දනිමි. හැකිනම් විස්තර කර දෙන්න, ඇමතිවරු වෙනුවට කෙලින්ම ලේකම්වරු මගින් ඇමරිකන් විධායක බලය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. ගොන් තඩියෝ..
      ඇමරිකාවේ ඇමතිට කියන නම තමයි ලේකම් කියන්නේ. ගොන් බයියා

      Delete
    2. Anonymous January 9, 2018 at 8:26 AM

      //ගොන් තඩියෝ..//

      ඇයි මහත්මයා/ මහත්මිය/ මෙනෙවියනි?

      //ඇමරිකාවේ ඇමතිට කියන නම තමයි ලේකම් කියන්නේ. //

      ඔබ මා කී දෙය වටහාගෙන තිබෙන්නේ වැරදියට, ඔය ලේකම් /ඇමතිවරු කියන නම දෙකම කැබිනට් මණ්ඩල සාමාජිකයින් වෙනස් ක්‍රම දෙකකදි හඳුන්වන නිකම් තනතුරු නාම විතරයි, හැබැයි විධායක බලය ක්‍රියාවට නංවන ආකාරය අනුව දේශපාලන විද්‍යාවේදී ආණ්ඩුක්‍රම වර්ග කරන නිසා එම පදනම මත වර්ග කිරීමේ දී ජනාධිපති ආණ්ඩුක්‍රමය, පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩුක්‍රමය, මිශ්‍ර විධායක ආණ්ඩුක්‍රමය, විධායක ඒක පුද්ගලතන්ත්‍ර ආණ්ඩුක්‍රමය ලෙස නූතනයේ දී වර්ග 4ක් දැක ගත හැකියි. මේ වර්ග 4 දි ඕවයෙ ස්කෝප් වෙනන්ස් වෙන්නෙ මෙන්න මෙහෙම;

      ඇමරිකන් ක්‍රමය ගත්තොත් ඒක ජනාධිපති ආණ්ඩුක්‍රමයක්, ඒකෙදි විධායක බලතල සියල්ල ජනාධිපති තනතුර වෙත එකට ඒකරාශී කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ම යොදන ලද විධි විධාන මඟින් ව්‍යවස්ථාදායකයේ බලපෑමෙන් නිදහස් කරන ලද ස්වාධීන පැවැත්මක් සහිත තමාගේ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳ ව ව්‍යවස්ථාදායකයට වග නොකියන ක්‍රමයක්.

      මේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක දක්නට ලැබෙන මූලික ලක්ෂණ මේවා;

      01. තනි විධායක් පැවතීම.

      ජනාධිපති ආණ්ඩුක්‍රමයක් යටතේ දැකිය හැක්කේ එක් විධාකයක් පමණි. ඒ වූ කළී ජනාධිපති තනතුරයි. ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා මෙන් ම ආණ්ඩුවේ ද නායකයා වේ. වෙනත් ආකාරයට දක්වන්නේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුළ නාමික විධාකය හා සත්‍ය විධායකයා යන ආයතන දෙක විසින් ක්‍රියාවට නංවන බලතල දෙවර්ගයම ජනාධිපති ආණ්ඩුක්‍රමයක ක්‍රියාවට නංවන්නේ ජනාධිපතිවරයා විසින් පමණි.

      02. බලතල බෙදීමේ සිද්ධාන්තය ක්‍රියාත්මක වීම.

      ජනාධිපති ආණ්ඩුක්‍රමය බලතල බෙදීමේ සිද්ධාන්තය පදනම් කොටගත් ආණ්ඩුක්‍රමයකි. මෙහි මූලික අරමුණ වන්නේ ව්‍යවස්ථාදායක, විධායක, හා අධිකරණ යන ආයතන තුන එකිනෙකින් වෙන් කරමින් ඒවාට පැවරෙන බල කේෂ්ත්‍ර තුළ ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සලසා දීමයි.

      ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විධායකය හා ව්‍යවස්ථාදායකය තේරී පත් වන්නේ වෙන වෙන ම පවත්වනු ලබන මැතිවරණ මඟිනි. මේ හේතුවෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක මෙන් ආයතන දෙක එකක් මත අනෙක රඳා පවතින තත්වයක් නොපවතී. ආයතන දෙක අතර ඇත්තේ දුරස්ථ සබඳතාවයකි. ඒ නිසා එක් ආයතනයකට අනෙක් ආයතනය පාලනය කිරීමකින් තොර වූ ස්වාධීන පැවැත්මක් විධායකයට හිමි වී ඇත.

      03. විධායකය ස්ථාවර බව

      ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තුළ විධායකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කරන ලද නිළ කාලයක් සඳහා මහ ජනතාව විසින් තෝරා පත් කර ගනී. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක මෙන් විශ්වාසභංග යෝජනාවක් මඟින් හෝ රාජ්‍ය අයවැය ලේඛණය පරාජය වීමෙන් හෝ රාජ්‍යය ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජයට පත් වීමෙන් හෝ එම නිල කාලය තුළ ජනාධිපති බලයෙන් ඉවත් කිරීමට ව්‍යවස්ථාදායකයට හැකියාවක් නැත. ඒ සඳහා අති විශේෂ ක්‍රියාමාර්ගයක් ගත යුතු ව ඇත. එය කළ හැක්කේ දෝෂාභියෝගයක් ගෙන ඒමෙන් පමණි. එය ද අතිශය දුෂ්කර ක්‍රියාමාර්ගයකි. මේ නිසා කැබිනට් ආණ්ඩුක්‍රමයක මෙන් නොව ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විධායකය ස්ථාවර බවකින් යුක්ත වේ.

      04. ආණ්ඩුව එක් සාමූහික මණ්ඩලයක් නොවීම.

      ජනාධිපති ආණ්ඩු ක්‍රමය තුළ කැබිනට් මණ්ඩලයක් වුව ද එය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක කැබිනට් මණ්ඩලයට සමාන නොවේ. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක කැබිනට් මණ්ඩලය ජනාධිපතිගේ උපදේශකයින් විනා විධායක ප්‍රතිපත්ති තීරණය කිරීමේ බලයක් ඔවුනට නැත. ජනාධිපතිවරයා විධායක ප්‍රතිපත්ති තීරණය කිරීමේ සර්ව බලධාරී පුද්ගලයා වේ. අමාත්‍යවරු ජනාධිපතිගේ අභිමතය මත පත් කරනු ලබන අතර ඔහුට අවශ්‍ය අවස්ථාවක දී තනතුරු වලින් ඉවත් කළ හැකි වේ. විශේෂයෙන් ම ඇමරිකානු ජනාධිපති ආණ්ඩුක්‍රමය තුළ කැබිනට් (ජනාධිපති ලේකම්වරු) සමන්විත වන්නේ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් නොවන බාහිර වශයෙන් පත් කරන පුද්ගල කණ්ඩායමකිනි.

      05. ව්‍යවස්ථාදායකයට වග නොකීම.

      ජනාධිපති ආණ්ඩුක්‍රමය තුළ ජනාධිපති ව්‍යවස්ථාදායකයට වග නොකියනු ලැබේ. එයට හේතුව ඔහු ව්‍යවස්ථාදායකය තුළින් තේරී පත් වූ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙකු නොවීමයි. මේ නිසා ජනාධිපති වග කියනු ලබන්නේ මහ ජනතාව පමණි.

      06. විධායක බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ජනාධිපති පුළුල් නිදහසක් භුක්ති විඳීම.

      ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙක් නොවන නිසා ඔහු ව්‍යවස්ථාදායකයේ පාලනයෙන් නිදහස් වේ. එසේ ම දෝශාභියෝගයකින් හැරුණු විට ජනාධිපතිවරයා තනතුරින් ඉවත් කළ නොහැකි අති දුශ්කර ක්‍රියා මාර්ගයකි. එබැවින් විධායක බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පුළුල් නිදහසක් භුක්ති විඳී.

      - To be continued...

      Delete
    3. Cont'd

      මීට ප්‍රතිවිරුද්ධ ලෙස එංගලන්තයෙන් හඳුන්වාදුන් වෙස්ට්මිනිස්ටර් කැබිනට් ආණ්ඩුක්‍රමය තුල විධායක බලතල ක්‍රියාවට නංවන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් විසිනි. මෙම කැබිනට් මණ්ඩලය තෝරා පත් කර ගනු ලබන්නේ ව්‍යවස්ථාදායකය තුලිනි. රට පුරා පවත්වනු ලබන මහ මැතිවරණයකින් ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් තෝරා පත් කර ගන්නා අතර ව්‍යවස්ථාදායකයේ බහුතර ආසන සංඛ්‍යාව දිනා ගන්නා පක්ෂයේ හෝ කණ්ඩායමේ නායකයා අගමැති වශයෙන් පත්වන අතර ඔහුගේ අභිමතය මත "අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්" පත් කර ගනු ලැබේ. එහි දී කැබිනට් මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව කොපමනද යන්න පිළිබඳවත්, එම අමාත්‍යාංශ මොනවාද යන්න පිළිබඳවත්, ඒවා පවරනු ලබන්නේ කාටද යන්න පිළිබඳවත් තීරණය කරනු ලබන්නේ අගමැති ය. බොහෝ දුරට අගමැතිවරයා තම කැබිනට් මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ දී පක්ෂයේ ජ්‍යෙෂ්ට සාමාජිකයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලැබේ.

      නමුත් ලංකාවේ ඇමරිකන් ක්‍රමයේ ජනපති කෙනෙකුත් වෙස්ට්මිනිස්ටර් අගමැති කෙනෙකුත් ඇතිකර කවලම් විකාර ආණ්ඩුක්‍රමයක් තනා තිබේ.

      //ගොන් බයියා//

      මා දන්නා පරිදි දේශපාලනික අර්ථයෙන් "බයියා" ලෙස හඳුන්වන පුද්ගලයින් බොහෝඅදුරට සිංහල බුද්ධාගම වන අතර ත්‍රිපිටකයට වඩා මහාවංශය විස්වාශ කරමින් ලොව තුල තම වර්ගයා අතීතයේ සිට උසස් ලෙස පැවතෙන 2500 වසක අභිමානයෙන් වසන පිරිසකි. සමස්තය වශෙයන් ගත්කල ජාතිකත්වය මත පදනම් මතවාදයක් දරමින් බටහිර දේශපාලක සහ සමාජ විද්‍යා ආදර්ශයට වඩා ආසියාතික පැරණි ආගමික සහ ජාතිකක මත පදනම් වූ පුද්ගල බද්ධ මතයක් දරයි. රටට බලපාන කාරනා වල බහුතරය සිංහල ජනයාට තීරන ගැනීමේ පරම අයිතිය හිමි බව සිතති. ( මීට ප්‍රතිවිරුද්ධ පිරිස "ටොයියා" නමින් තමන් හඳුන්වාගන්නා අතර කෙසේ නමුත් බයි-ටොයි නම් වූ ප්‍රතිවිරුද්ධ දෙමතධාරීන් තර අධ‍යාපන මට්ටම හෝ බුද්ධි මට්ටමටම අනුව වෙනසක් නොමැති බැව් පෙනී යයි.

      මොව සුප්‍රකට නමගිය විශ්ව විද්‍යාල වල සේවය කරන ලාංකික සම්භවය ඇති ආචාර්ය, මහාචාර්ය වරු ඇතුලු බොහෝ පිළිගත් වෘත්තිකයින්, චින්තකයින් මෙම දෙවර්ගයටම න්‍යායාඅචාර්යමය ලෙස නායකත්වය දෙති.

      බයි මතවාදයේ වත්මන් අයිකන් එක/ නැත්නම් බ්‍රැන්ඩ් එක වන පුද්ගල ප්‍රකාශකයා වන මහින්ද රාජපක්ෂ මෙම දෙවර්ගය වෙන්කර ගන්නා ලිට්මස් පරිකෂාවයි. ඔබට පෙනෙයි ඔහුට දේවත්වයෙන් සලකා දැඩිව ආදරය කරන අය මෙන්ම මහින්ද රාජපක්ෂට උග්‍ර ලෙස වෛර බැඳ ඔහුව මරා මස් කන්නට තරම් දැඩි වෛරයකින් සිටින ජන්මාන්තර වෛරක්කාරයින්, (උදා: මෙම බ්ලොගයේද කමෙන්ට් කල රාසිකොලොජි නමැත්තා මෙසේ රාජපක්ෂ සහ ඔහුගේ බැතිවතුන් සමග මාරාන්තික වෛරයක් ඇති අයෙක් බව පෙනෙයී) මේ ආදරය කරන අය සහ වෛර කරන අය දෙගොල්ල අතර මැදි මාවතේ අය අප වැනි ඉතාම සුළුතරයක්.)

      ඉතින් මිතුර/ මිතුරිය, මා එබඳු මතයක් නොදරන බැවින් ඉතා කාරුණිකව එම "බයියා" නමැති ඔබ පිදූ ගෞරව නාමය ප්‍රතික්ෂේප කිරීමට තරම් නිහතමානී වෙමි.

      Delete
    4. හොඳ විස්තරයක්, ඇනෝ!

      කෙටියෙන් කමෙන්ට් එකක් දමනවානම් ඇමරිකාවේ කැබිනට් මණ්ඩලය මූලික වශයෙන්ම වෙනස් වෙන්නේ කැබිනට් මණ්ඩල සාමාජිකයින් (ලංකාවේ ඇමතිවරුන්ට සමාන කළ හැකි ලේකම්වරුන්) ලංකාවේ මෙන් ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයින් නොව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන රජයේ නිලධාරීන් වීම මතයි.

      Delete
  6. ඉකෝන් මැට්ටා දැනන්ටමත් දන්නවා ඇති ෆේස් බුක් නිර්මාතෘ වරයා මෙන්ම මේවන විට ලෝකයේ මුල්පෙළේ බිලියනපති මාර්ක් සකර්බර්ග් මෙවර ශ්‍රී ලංකාවේ සතිඅන්ත පුවත්පතක වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී සිට ඇති බව. (ඇත්තම කිව්වොත් හොරෙන් පොරගෙ ෆොටෝ එකක් දාල එඩිට් කරල වගේ)

    කොහොමහරි මේ දැන්වීම නිර්මාණය කරල තියෙන්නේ උසස් පෙළ අවසන් කළ අයට විදේශ හා අනුබද්ධ ව්‍යාපාර කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය සම්බන්ධ පාඨමාලා හඳුන්වාදීමට රජයට අනුබද්ධ ස්වාධීන උසස් අධ්‍යාපන ආයතනයක්, මේක ලස්සන හරිත සරසවියක් කිව්වොත් වඩා නිවැරැදියි.

    කෙසේ වෙතත් මෙවැනි දැන්වීමක් සඳහා ඔහු තෝරාගෙන තිබීම ඔහුව දැනුවත් කර සිදුකර ඇතිද යන්න ගැටලුවකි. හැබැයි ලංකාවෙන් පිට ඉන්න බොහෝ ලාංකිකයින් මේ නිව්ස් එක දැකල කිව්වෙ සකර්බර්ග්ට මේ ගැන කීවොත් සුවර් ඌ නඩුවක්වක් දාන් නෑ කියල, මොකද ඌ ඇතුලු ඇමරික්කන් කාරයෝ එච්චරටවත් ලංකාව ගණන් ගන් නෑලු, (ලෝකෙට ගණන් ගන්න තරම් දෙයක් අපේ උන් කරල නෑලු 2500 කට්ටිය කරපුවා ගැන ගහන කයිවාරුව විතරයිලු තවම).

    හැබැයි ලංකාවෙ අයියල නම් කියන්නෙ ඉතින් "දැන් කාලෙ උපාදි විකිනෙන්නෙ පිටකොටුවෙ පේමන්ට් එකේ පෑන්ටි විකුනනව වගේ, ඉතින් වැඩි ඈතක් නෑ මේකත් ඉන්දියාවක් වෙනවා, පේමන්ට් වල වැඩ කරන දොස්තරල ඉ‍ජිනේරුවෝ. පීඑච් ඩී තියෙන කම්පියුටර් රෙපෙයාර් කරන උන් එහෙමත් වැහි වහී"ලු. මේ ගැන ඉකොනොමික්ස් මෙන්ම මෙබඳු කාරණා ගැනත් රසවත් පෝස්ට් ලියා පලකරන ඔබගේ අදහස කුමක්දැයි දැනගන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. //ලංකාවෙන් පිට ඉන්න බොහෝ ලාංකිකයින් මේ නිව්ස් එක දැකල කිව්වෙ සකර්බර්ග්ට මේ ගැන කීවොත් සුවර් ඌ නඩුවක්වක් දාන් නෑ කියල//
      මේ දැන්වීම ගැන මම දන්නේ නැහැ. හැබැයි උඩ කොටස සම්බන්ධවනම් මමත් එකඟයි.

      Delete
  7. "මහින්ද රාජපක්ෂ විසින් කැමැත්තෙන්ම ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රීපාල සිරිසේන වෙත පැවරුවේය. එහෙම වුණේ ඇයි?"

    I don't think this is true. When MR was the President CBK was still the party leader. MR wanted to take the leadership of the party, so with the help of others he changed the constitution of SLFP, to say that if someone form the party becomes the current president, they automatically becomes the party leader.

    ReplyDelete
    Replies
    1. I agree with you. What I wanted to say was that MR prevented a split of the party at that point by smoothly handing over the SLPF leadership to MS. Though the constitution of SLFP required what you say, for most of the SLFPers MR was still their leader. Therefore, unless MR strategically withdrew, the party could have been split at that point and MS would have been the leader of a party with a very limited membership and the break away section could have been the SLFP power house no matter how it could have been called. Basically, what has happened now could have happened at that point.

      Delete
  8. as i see there will be a good chance that UNF get highest number of seats in more than 200 councils (not necessarily a majority) Also SLPF ( pohottuwa) will claim around 75 councils . UPFA / SLFP ( maithree) will be distant third in majority of them but will be second in few with no wins . Anyway maithree team will be decisive in establishing councils in wherever no majority seats are obtained by any party . JVP will secure 540,000 votes obtained in general elections which will be able to have representation in most of councils ( except north and east) . TNA will sweep north councils while SLMC / NC / ACMC will share eastern councils in muslim ghetto areas

    ReplyDelete
    Replies
    1. My money's on UNP around 150, pohottu 30-40 with My3-clan being the distant third. Most of the rest of the councils will not have a clear majority and UNP will have to tap My3 to form the administration. There will still be around 40-50 councils even UNP+My3 do not add up to simple majority. In those councils JVP will support them to maintain power sitting in the opposition though, just like they do in the parliament.

      Tamil/Muslim majority areas: TNA or MC(depending on what the mosque preach closer to the election days)

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget