වෙබ් ලිපිනය:

Friday, January 19, 2018

දඩ කොළය සමඟ උසාවියට...


මේ අවුරුද්ද පටන් ගන්න වුනේම උසාවියෙනි. මේ මා චුදිතයෙකු ලෙස උසාවියකයට ගිය පළමු අවස්ථාවයි. ඇමරිකාවේදී තබා ලංකාවේදීවත් මීට පෙර චුදිතයෙකු ලෙස උසාවියකට ගොස් නැත.

උසාවි යන්නට වුනේ රථවාහන වරදකට චෝදනා ලැබුවෙකු වශයෙනි. මේ මා එසේ රථවාහන වරදකට චෝදනා ලැබූ පළමු අවස්ථාව නොවේ. එහෙත්, පෙර එසේ චෝදනා ලැබූ අවස්ථා වලදී වරද පිළිගෙන දඩ මුදල ගෙවා දැමූ බැවින් උසාවි යන්නට අවස්ථාවක් ලැබුණේ නැත.

ඒ පසුගිය ඔක්තෝබර් මාසයේ මුල් සතියයි. හරියටම කියනවානම් පස්වන බ්‍රහස්පතින්දාය. මේ සතිය ඉතාම කාර්ය බහුල සතියක් විය. විශේෂයෙන්ම මේ කියන බ්‍රහස්පතින්දා දිනය ඉතාම කාර්ය බහුල දවසක් විය. උදේ සිටම වරින් වර පුද්ගලයින් ගණනාවක් සමඟ එකිනෙකට වෙනස් ඔලුව කුරුවල් වන දේවල් සාකච්ඡා කරමින් ගත වුනු මේ දිනය අවසන් වන විට මා සිටියේ පුදුම වෙහෙසකිනි.

හවස හයහමාරට පමණ නිවෙස බලා ආපසු යාම සඳහා මා කාර්යාලයෙන් පිට වුනෙමි. පස්වන මහලේ පිහිටි මගේ කාර්යාලයේ සිට පාරෙන් අනෙත් පස ගොඩනැගිල්ලේ ගරාජයේ සිවුවන මහලේ නවත්වා ඇති මෝටර් රථයට යන්නට බිම් මහලට ගොස් පාර පනින්නට අවශ්‍ය නැත. මේ ගොඩනැගිලි දෙක සම්බන්ධ කරමින් පාරට උඩින් තනා ඇති අහස් උමගකින් අනෙක් පැත්තට යා හැකිය.

මෝටර් රථය වෙත ළඟා වුනු මම එය ගරාජයෙන් පිටතට ගෙන පාරට දැම්මෙමි. පාරේ මේ කොටස අපේ ආයතනයට අයත් නොවූවත් ආයතන භූමිය ඇතුළේම ඇති කොටසකි. මේ වන විට බොහෝ දෙනෙක් වැඩ අවසන් කර ගෙවල් වලට ගොස් අවසන් නිසා පාරේ වෙනත් වාහන හෝ මිනිසුන් වැඩිපුර දකින්නට නොහැකි වූ බව මතකය. තෙවසරකට වඩා වැඩි කාලයක් තිස්සේ ගමන් කරන මේ මාර්ගයේ මා වාහනය එළවාගෙන ආවේ පුරුද්දෙන් මිස සවිඥානකව නොවේ.

මගේ ඔලුවේ තිබුණේ ගෙදර ගිය වහාම දරුවෙකුව විෂය බාහිර කටයුත්තක් සඳහා රැගෙන යා යුතු බව හා හෙට දිනයේත් කරන්නට වැඩ ගොඩක් ඇති බව පමණි. වාහනය එළවමින් මම මනසින් මේ වැඩ කටයුතු සැලසුම් කරමින් සිටියෙමි. සාමාන්‍යයෙන් මා මෙහි ලියන ලිපි මනසින් සැලසුම් කෙරෙන්නේද මෙසේ වාහනය එළවන අතරතුරදීය.

ගරාජයෙන් වාහනය එළියට ගැනීමෙන් පසු ළඟ ළඟම ට්‍රැෆික් ලයිට් කිහිපයක් පසු කළ යුතුය. ඒ නිසා එතරම් වේගයෙන් වාහනය ධාවනය කළ නොහැකිය.

වැඩිදුරක් යන්නට ලැබුණේ නැත. පසුපසින් එන පොලිස් මෝටර් රථයක් නිවෙන දැල්වෙන විදුලි සංඥා වලින් වාහනය පැත්තකට ගෙන නවත්වනන්නට සංඥා කරයි.

සාමාන්‍යයෙන් නොකරන දෙයක් නොවුවත්, මේ වෙලාවේ නියමිත වේගය ඉක්මවා රථය ධාවනය නොකළ බව ස්ථිරය. එසේනම් වාහනය නවත්වන්නට සංඥා කරන්නේ ඇයි? ඇමරිකාවේදී සාමාන්‍යයෙන් කිසියම් වරදක් කළොත් මිස හැඳුනුම්පත් පරීක්ෂා කිරීමට හෝ ලයිසන් ඉන්ෂුවරන්ස් පරීක්ෂා කිරීමට නිකරුණේ වාහනය නවත්වන්නේ නැත.

ඇතැම් විට පොලිස් වාහනයට හදිසි වැඩකට යන්නට මාර්ගයේ ඉඩ ලබා ගැනීම සඳහා අනෙක් වාහන පැත්තකට ගන්නට කියා මෙසේ සංඥා කරයි. ඒ නිසා, කෝකටත් කියා මම පැත්තකට කර වාහනය නැවැත්වූයෙමි.

පොලිස් මෝටර් රථයද නැවැත්වීය. එසේනම් මා කිසියම් වරදක් කර තිබේ. ඇතැම් විට තිරිංග හෝ සංඥා විදුලි බුබුලක් දැවී ගොස් විය හැකිය. මෙවැනි අවස්ථා වලද පොලීසිය වාහනය නවත්වයි. විදුලි බුබුල දැවී ගොස් ඇති බව දැන නොසිටි බව කියූ විට අවවාදයක් පමණක් ලබා ගැලවී යා හැකි අතර දඩ කොළයක් ලැබෙන්නේ මේ ගැනම මීට පෙරද පොලිස් නිලධාරියෙකු විසින් අවවාදයක් දී ඇති බව සටහන් වී ඇත්නම් පමණි.

වාහනය නැවැත්වූ මම විදුලි පහන් නිසි ලෙස ක්‍රියාත්මක වේදැයි බැලීමට එළියට බැස්සෙමි. මෙය අවිඥානකව මෙන් සිදු වූ දෙයකි. පොලිස් නිලධාරියෙකු විසින් වාහනය නැවැත්වූ විට වාහනයෙන් නොබැස වීදුරුව පාත් කර දෙඅත් සුක්කානම මත තබාගෙන සිටිය යුතුය. ඒ වාහනයේ ගිණිඅවි තිබිය හැකි නිසා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. මා කළ අයුරින් එළියට පැමිණි විට පොලිස් නිලධාරියාට සැක හිතුණොත් ඔහුගේ ගිණි අවිය මා වෙත එල්ල විය හැකිය. ඒ වෙලාවේ මෙය මට අමතක විය. මේ සියල්ල මට මතක් වුනේ වාහනයට වී සිටින ලෙස පොලිස් නිලධාරියා කෑ ගැසූ විටය.

පොලිස් නිලධාරියා වාහනය වෙත පැමිණ පළමුව මගේ රියදුරු බලපත්‍රය හා වාහන ලියාපදිංචි කිරීමේ සහතිකය ඉල්ලා සිටියේය. ඉන් පසු, ඔහුගේ අතේ ඇති විද්‍යුත් උපකරණයෙන් ඒවායේ බාර්කෝඩ් ස්කෑන් කර දත්ත ඇතුළත් කර ගෙන ඒවා ආපසු දුන්නේය. මෙතෙක් මා පුන පුනා බලා සිටි චෝදනාව ඉදිරිපත් කළේ ඉන් පසුවය.

"රෙඩ් ලයිට් තියෙද්දී ආව නේද?"

එහෙම දෙයක් කළ බවක් මට මතක නැත.

"කොතනද?"

"xxx ස්ට්‍රීට් එකට හැරෙන හන්දියේදී..."

මේ වන විටත් මා සිටියේ මේ කියන තැනට යාර පණහක් පමණ දුරිනි.

"එහෙම කළ බවක් මට මතක නැහැ. මම සාමාන්‍යයෙන් කවදාවත් එහෙම කරන්නේ නැහැ."

මා කිවුවේ බොරු නොවේ. රතු සංඥාව වැටී තියෙද්දී දිගටම පැමිණි බවක් මට ඇත්තටම මතක නැත. කිසිදිනක හිතාමතා එසේ පැමිණද නැත. කෙසේවුවත්, බර කල්පනාවක සිටි නිසා රතු සංඥාව අවධානයට ලක් නොවී එසේ පැමිණියා වන්නට ඇති ඉඩ බැහැර කළ නොහැකිය.

මෙවැනි වැරදීම් මට සිදු නොවනවා නොවේ. ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත වල රතු සංඥාව වැටී තියෙද්දී වාහනය දකුණට හැරවිය හැකිය. එහෙත්, ඊට පෙර වාහනය සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුය. මෙසේ මගේ ඉදිරියෙන් නවත්වා ඇති වාහනයක් දකුණට හැරවූ විට ඇතැම් විට ඔළුවට යන්නේ ඉදිරියේ වූ වාහනය ධාවනය කළේ කොළ පත්තු වූ බැවින් බවයි. එවැනි ඇතැම් අවස්ථා වල වාහනය ඉදිරියට ගැනීමෙන් පසු කොළ පත්තුවෙන තුරු තවදුරටත් නවත්වා ගෙන සිටිය යුතු බව අමතක වෙන්නට ඉඩක් තිබේ.

"රෙඩ් ලයිට් එකේ වාහනය නැවැත්තුව බව මතකද?"

මම කල්පනා කළෙමි. රතු සංඥාව වැටී තිබුණු බවක්වත්, වාහනය නැවැත්වූ බවක්වත් මට මතක නැත. ඇත්තටම වැටී තිබුණේ මොන පාට එළියක්ද කියාවත් මට මතක නැත.

"ඔබ වාහනය රෙඩ් ලයිට් එකේ නවත්වලා කොළ වැටෙන්න පෙර ඉදිරියට ධාවනය කළා!"

"මම කවදාවත් එහෙම දෙයක් හිතාමතා කර නැහැ. ඇත්තටම එහි වැටී තිබුණේ මොන පාට එළියක්ද කියාවත් මට මතක නැහැ. මේක මම හැමදාම වාහනය එළවන සාමාන්‍ය පාර. මේ හරියෙදී වාහනය එළවෙන්නේ මොළය ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිහට අවිඥානිකව වගේ. කොහොම වුවත් ඔබ කියන වැරැද්ද මගේ අතින් වුණේ කොහොමද කියන එක මට හිතා ගන්නවත් බැහැ."

මම ඔහුට කිවුවේ සම්පූර්ණ ඇත්තයි.

"මට ඉදිරියෙන් රෙඩ් ලයිට් එකේ වෙනත් වාහනයක් නවත්වල තිබුණද?"

"ඒක මම දන්නෙ නැහැ"

සාමාන්‍යයෙන් ඇමරිකාවේ පොලිස් නිලධාරීන් තමන්ගේ රාජකාරියට අදාළ නොවන මෙවැනි ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැත.

"රතු ලයිට් එකේ ධාවනය කරමින් ඔබ කළේ අවදානම් සහගත වැඩක්. ඒ නිසා ඔබට දඩ කොළයක් දෙන්න වෙනවා. ඔබ වරද පිළිනොගන්නවානම් දින 90ක් ඇතුළත ඒ බව දැනුම් දිය යුතුයි. වරද පිළිගන්නවානම්, සති දෙකක් ඇතුළත මෙහි විස්තර ඇතුළු කිරීමෙන් පසුව අන්තර්ජාලය හරහා දඩය ගෙවිය හැකියි. එසේ නැත්නම් දුරකථනයෙන් හෝ තැපැල් මාර්ගයෙන් දඩය ගෙවන්නත් පුළුවන්!"

ඇමරිකාවේදී දඩ කොළයක් ලැබුණු පසු පොලිස් නිලධාරියා සමඟ වාද කර පලක් නැත. එක්කෝ වරද පිළිගෙන දඩය ගෙවිය යුතුය. නැත්නම් උසාවි යා යුතුය.

පෙර කී පරිදි, මේ මට රථවාහන වරදකට දඩකොළයක් ලැබුණු පළමු අවස්ථාව නොවේ. තෙවන අවස්ථාවයි. ඊට අමතරව අඩු වශයෙන් තවත් දෙවරක්වත් අවවාද ලැබී තිබේ. එහෙත්, ඒ සියල්ල වෙනත් ප්‍රාන්ත වලදීය. මේ අවවාද රථවාහන කාර්යාංශයේ දත්ත වලට එකතු නොවෙතත් පොලිස් දත්ත වලට යයි.

අවසන් වරට දඩ කොළයක් ලැබුණේ වසර දෙකහමාරකට පමණ පෙරය. ඒ ප්‍රාන්ත කිහිපයක් පසුකරමින් කැනඩාව දක්වා දිගු මාර්ග චාරිකාවක යෙදෙද්දීය. විනාඩි දෙක තුනක් කලින් යන්නටනම් පිස්සුවෙන් වාගේ වාහනය එළවීමේ කිසිම තේරුමක් නැතත්, දවසකට සැතපුම් පන්සීයක් හයසීයක් පමණ යන්නට ඉලක්කයක් ඇති විට තරමක් වේගයෙන් යාමේ සැලකිය යුතු වාසියක් තිබේ. ඒ නිසා, විශේෂයෙන්ම මෙවැනි දිගු මාර්ග චාරිකාවක යෙදෙද්දී උපරිම සීමාවට වඩා තරමක් වැඩියෙන් වාහනය ධාවනය කරන්නට මා පැකිළෙන්නේ නැත. උපරිම සීමාවට වඩා සැතපුම් පහක් හයක් වැඩියෙන් ධාවනය කළා කියා බොහෝ විට පොලීසියෙන් නවත්වා දඩ කොළයක් දෙන්නේ නැත. එහෙත්, එසේ කරන අවස්ථාද නැතුවා නොවේ.

මේ කියූ පෙර අවස්ථාවේදී වාහනය ධාවනය කරමින් සිටියදී ප්‍රාන්ත සීමාවක් පසු වූ අතර ඒ සමඟම උපරිම වේග සීමාව සැතපුම් දහයකින් අඩු විය. මේ බව අවධානයට ලක් වුවත්, පැය දෙකතුනක් වැඩි වේගයකින් රථය ධාවනය කිරීමෙන් පසුව එක වරම වේගය අඩු කරන්නට ටිකක් කම්මැලි හිතේ. මේ වගේ වෙලාවට සාමාන්‍යයෙන් මගේ පුරුද්ද තිරිංග නොයොදා ඇක්සලරේටරය පාලනය කිරීමෙන් හෙමිහිට වේගය අඩු කිරීමයි.

කොහොම වුනත්, ප්‍රාන්ත සීමාව පසු කර වැඩි දුරක් යන්නට හෝ වේගය අඩු කරන්නට පෙරම පොලිස් මෝටර් රථයක විදුලි ආලෝක සංඥා දැල්වුනේය. එවිට, පරක්කු වැඩිය. සිදුවිය යුතු පරිදිම, දඩ කොළයක් ලැබුණේය.

ඉහත අවස්ථාවේ වරද පිළිගෙන දඩ මුදල ගෙවනු හැර වෙනත් විකල්පයක් තිබුනේම නැත. පළමුව, මේ වරද මා කළ වරදකි. එය ස්ථිරය. දෙවනුව, වරද පිළිනොගෙන නිවසෙන් සැතපුම් සියගණනක් ඈත පිහිටි වෙනත් ප්‍රාන්තයක උසාවියකට නියම කරන දිනක යාම ප්‍රායෝගිකව කළ නොහැකි, එමෙන්ම කාලය හා මුදල් වැය වන කටයුත්තකි. තෙවනුව, එසේ ගියද බොහෝ විට පොලිස් නිලධාරියා සතුව වරද ඔප්පු කළ හැකි සාක්ෂි තිබෙනවා විය යුතුය. ඒ නිසා, වරද පිළිගෙන දඩමුදල ගෙවා දැම්මෙමි.

අපේ ප්‍රාන්තය ඇතුළු ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත වල මෙවැනි රථවාහන වරදකට වරදකරු වූ විට දඩ මුදලට අමතරව තවත් වැඩිපුර මුදලක් ගෙවා හෝ නොගෙවා මේ වරද රථවාහන කාර්යාංශයෙන් හා රක්ෂණ සමාගමෙන් සැඟවිය හැකිය. එවිට රියදුරු බලපත්‍රයට පොයින්ට්ස් එකතු වෙන්නේ හෝ රක්ෂණ වාරිකය ඉහළ යන්නේ නැත. මේ අවස්ථාව ලැබෙන්නේ නිශ්චිත අවුරුදු ගණනක් තුළ වෙනත් රථවාහන වරදකට වැරදිකරු වී නැති අයට පමණි. මේ වෙනුවෙන් අමතර මුදලක් අය කිරීම එක්තරා ආකාරයකින් ආණ්ඩුව විසින්ම නීත්‍යානුකූල ලෙස පගාව ගැසීමකි.

මීට පෙර, වෙනත් ප්‍රාන්තයකදී මගේ පළමු රථවාහන වැරදි දඩය ගෙවන විට මම ඩොලර් පණහක් වැඩිපුර ගෙවා ඉහත විකල්පයෙන් ප්‍රයෝජන ගත්තෙමි. ඒ ප්‍රාන්තයේ නීතියෙන් මේ අවස්ථාව ලැබෙන්නේ වසර හතකට එක් වරක් පමණි. එමෙන්ම, ඉන්පසුව ගෙවෙන වසරක කාලය තුළ දෙවැනි වරටත් වරදක් සිදුවුවහොත් ඩොලර් 50 ගෙවා තිබුණත්, පෙර වරද හා අලුත් වරද යන දෙකම රථවාහන කාර්යාංශයට වාර්තා කෙරේ. එවිට එය පොදු තොරතුරක් බවට පත්වන නිසා රක්ෂණ වාරික සැලකිය යුතු ලෙස ඉහළ යයි.

එහෙත්, දෙවන අවස්ථාවේදී අදාළ උසාවියේ නිලධාරීන් විමසු විට දැනුම් දුන්නේ එම ප්‍රාන්තයේ එවැනි නීතියක් නොමැති බවයි. ඒ නිසා, ඉහත දඩය ගෙවා වරද පිළිගැනීමෙන් පසු රක්ෂණ වාරිකය සුළු වශයෙන් ඉහළ ගිය අතර රථවාහන කාර්යාංශයේ රියදුරු වාර්තාවේ පොයින්ට්ස් දෙකක් සටහන් විය. තෙවන දඩකොළය ලැබෙන විටත් මේ පොයින්ට්ස් දෙක රියදුරු වාර්තාවෙන් ඉවත්ව තිබුණේ නැත.

අලුත් දඩකොළය ලැබීමෙන් පසු වාහනය එළවාගෙන ගෙදරට එද්දී මේ සියලු දේ මතක් වුණත් ඒ වන විට පරක්කු වැඩිය. හරියටම මතක නැතත්, මගේ අතින් මේ  කියන වරද සිද්ධ වූවා වන්නට විශාල ඉඩක් තිබේ. ඇමරිකාවේ පොලිස් නිලධාරීන් සාමාන්‍යයෙන් ගාණක් කඩා ගන්නට හෝ තරහක් පිරිමහගන්නට දඩ කොළ ලියන්නේ නැත. මා විසින් රථවාහන වරදක් නොකළේනම් මා පෞද්ගලිකව නොහඳුනන මේ පොලිස් නිලධාරියාට නිකරුණේ දඩ කොළයක් ලියන්නට හේතුවක් නැත.

මෙයින් අදහස් වන්නේ ඇමරිකාවේ පොලිස් නිලධාරීන් යනු කිසිදු වරදක් නොකරන සර්ව සාධාරණ පුද්ගලයින් බව නොවේ. සාමාන්‍ය පුද්ගලයෙකු වන පොලිස් නිලධාරියෙකු විසින් කිසියම් අයෙකුට නඟන චෝදනාවක් ඔහුගේ දැනුමට හා සංස්කෘතියට සාපේක්ෂ පූර්ව නිගමන වලින් වියුක්ත නැත. ඒ නිසා, කිසියම් පොලිස් නිලධාරියෙකු අතින් එක සමාන වරදක් කරන දෙදෙනෙකු අතරින් එක් අයෙකුට දඩ කොළයක් ලැබෙන්නට වැඩි සම්භාවිතාවක් තිබිය හැකි වුවත්, එවැනි නිලධාරියෙකුගේ නිගමනයට අනුව වරදක් නොකළ අයෙකුට දඩ කොළයක් දෙන්නට විශාල සම්භාවිතාවක් නැත.

අපේ ප්‍රාන්තය තුළදී සුළු රථවාහන වරදකට දඩ කොළයක් ලැබුණු විට ප්‍රතිචාර දැක්විය හැකි විකල්ප ක්‍රම කිහිපයකි. පළමු විකල්පය වන්නේ වරද පිළිගෙන දඩ මුදල ගෙවා දැමීමයි. එවිට මේ තොරතුර රථවාහන කාර්යංශයට වාර්තා කෙරෙන නිසා රියදුරු බලපත්‍රයට පොයින්ට්ස් එකතු වන අතර, රක්ෂණ වාරිකයද ඉහළ යයි. දෙවන විකල්පය වන්නේ වරද පිළි නොගන්නා නමුත් තීන්දුව පිළිගනිමින් දඩ මුදල ගෙවා දමා තීන්දුවට එරෙහිව උසාවි යාමට ඇති අයිතිය අත හැරීමයි. එවිට ලැබෙන ප්‍රතිඵලයද පළමු ප්‍රතිඵලයට වඩා වෙනස් නැත. තෙවන විකල්පය වන්නේ වරද පිළිනොගෙන පැමිණිලිකරුට, එනම් ප්‍රාන්ත රජයට, අභියෝග කරමින් උසාවි යාමයි.

මෙවැනි රථවාහන වරදක් ප්‍රාන්තයට එරෙහි නීතිමය වරදක් ලෙස සැලකෙන බැවින් වරද ඔප්පු කිරීමේ වගකීම ප්‍රාන්තය සතුය. මෙහිදී ප්‍රාන්තය නියෝජනය කරන්නේ අදාළ පොලිස් නිලධාරියාය. ඔහු හෝ ඇය වෙනුවට වෙනත් පොලිස් නිලධාරියෙකු උසාවි එන අවස්ථාද තිබෙන්නට පුළුවන. උසාවි යාමෙන් පසුවද වරදකරු වුවහොත් මුල් දඩමුදලට අමතරව නඩු ගාස්තුද ගෙවන්නට සිදු විය හැකිය. පොලිස් මෝටර්රථ වල සාමාන්‍යයෙන් ඩෑෂ්බෝඩ් කැමරා තිබෙන අතර බොහෝ විට මෙවැනි අවස්ථාවක සිදු වූ දෙය ගැන විද්‍යුත් සාක්ෂි පොලිස් නිලධාරියා සතුව ඇති නිසා පොලිස් නිලධාරියෙකුගේ තීන්දුවකට අභියෝග කිරීම අවදානම් සහගත කටයුත්තකි.

දඩ කොළය ලැබෙන විට මගේ වාහනයේ සිටියේ මා පමණක් නිසා මට කිසිදු සාක්ෂිකරුවෙකුගේ උදවුවක් නැත. පොලිස් නිලධාරියාටද සාක්ෂිකරුවන් නැතත්, සාමාන්‍යයෙන් උසාවියේ පූර්ව නිගමනය වන්නේ පොලිස් නිලධාරියාගේ සාක්ෂි වඩා විශ්වාසදායක බවයි. ඒ පූර්ව නිගමනය බිඳ හෙළන්නටනම්, පොලිස් නිලධාරියාට තමන්ගේ රාජකාරිය නිසි පරිදි කළ හැකි ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් නොතිබුණු බව ඔප්පු කරන්නට සිදු වේ. මේ කටයුත්තේ ඇති අමාරුවත්, කියන දවසක අනෙක් වැඩ අතපසු කර උසාවි ගොස් පැය ගණනක් රස්තියාදු වන්නට වීමේ අපහසුතාවයත් සැලකූ විට අන්තර්ජාලය හරහා  දඩමුදල ගෙවා දැමීම හොඳම විකල්පය බව පෙනී ගියේය.

දඩ කොළයේ තොරතුරු අන්තර්ජාලයෙන් පරීක්ෂා කළ හැකි පරිදි දත්ත ඇතුළු කරන්නට දෙසතියක් දක්වා කාලයක් ගත විය හැකිය. එහෙත්, දෙසතියකට ආසන්න වුවත් දඩ කොළයේ තොරතුරු අන්තර්ජාලයේ දකින්නට නැත. මගේ වාසනාවට පොලිස් නිලධාරියාට මේ කටයුත්ත අමතක වූවාවත්ද?

මීට පෙර වෙනත් ප්‍රාන්තයකදී දඩකොලයක් ලැබුණු අවස්ථාවේදීද මෙවැනි තත්ත්වයක් ඇති වූ විට දඩකොලයේ වූ උපදෙස් පරිදි අදාළ උසාවියට දුරකථන ඇමතුමක් දීමෙන් පසු සොයාගත හැකි වුණේ උසාවියේ ලිපිකරු විසින් දඩකොලයේ තොරතුරු අන්තර්ජාලයට ඇතුළත් කිරීමේදී මගේ වාසගමෙහි අකුරක් වරද්දා ඇති බවයි. ඇමරිකාවට නුහුරු හා ඉතා දිගු ලංකාවේ නම් වල අකුරු වැරැද්දීම මෙහිදී කලාතුරකින් සිදුවන දෙයක් නොවේ. මෙවරද සිදු වී ඇත්තේ මේ දෙයම විය හැකිය.

කෙසේ වුවද, අපේ ප්‍රාන්තයේ අදාළ වෙබ් අඩවියෙන් දඩ කොළයේ අනු අංකය ඇතුළු කිරීමෙන්ද විස්තර පරීක්ෂා කළ හැකිය. ඒ නිසා මම ඒ සඳහා දඩ කොළය අතට ගත්තෙමි. මේ කටයුතු සිදුවන්නේ දඩ කොළය ලැබී සතියකට පමණ පසුවය.

වැරැද්ද අහු විය. වාසගම වරද්දා තිබෙන්නේ උසාවියේ ලිපිකරු විසින් නොවේ. දඩ කොළය ලියූ පොලිස් නිලධාරියා විසින්මය. එය ඔහුගේ නොසැලකිල්ලයි. ලාංකිකයින්ගේ නම් ඉතා දිගුවීම හෝ ඇමරිකානුවන්ට නුහුරු වීම රථවාහන පොලිස් නිලධාරියෙකුට ඉදිරිපත් කළ හැකි නිදහසට කරුණක් විය නොහැකිය. රියදුරු බලපත්‍රයේ ඇති නම ඇතුළු තොරතුරු දඩ කොළයේ නිසි ලෙස සටහන් කිරීම ඔහුගේ රාජකාරියේ කොටසකි. ඔහුට එය නිවැරදිව කළ නොහැකිනම් එය රාජකාරිය කිරීමට ඔහුට ඇති යෝග්‍යතාවයේ අඩුවකි.

මේ වැරැද්ද අල්ලා ගැනීමෙන් පසු, දඩ කොළය තවදුරටත් පරීක්ෂා කරන විට තවත් වැරැද්දක් අහු විය. එහි මගේ ජාතිය ඉදිරිපිට පොලිස් නිලධාරියා විසින් "W" අකුරක් ලකුණු කර තිබේ. ආසියානු (Asian) යන්න W ලෙස කෙටිකරන්නට විදිහක් නැත. මේ පොලිස් නිලධාරියා විසින් W අකුර සටහන් කර ඇත්තේ සුදු (White) යන්න හැඟෙන්නටය. මේ වෙලාවේ මට මතක් වුණේ මීට පෙර ලැබුණු දඩකොලයේද මේ අයුරින්ම ජාතිය W ලෙස සටහන්ව තිබූ බවයි.

ඉඳහිට වුවත් සුද්දන් තරමටම වාගේ සුදු හමක් තිබෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇත්තෝ සිටිති. එහෙත්, මා එවැනි අයෙකු නොවේ. මගේ හම සුදුහමක් නොවන බව සිහි බුද්ධිය තිබෙන ඕනෑම කෙනෙකුට තේරේ. වාසගම වැරදීම පොලිස් නිලධාරියාගේ නොසැලකිල්ල නිසා සිදු වූවක් බව පෙනෙතත් මේ දෙවන වරද එවැන්නක් නොව චේතනාන්විතවම කර ඇති වරදකි.

සුදු ජාතිකයින් නොවන්නන්ට ජාතිවාදී පදනමකින් වැඩිපුර චෝදනා ගොනු කරන බව ඇමරිකාවේ පොලිස් නිලධාරීන්ට කෙරෙන චෝදනාවකි. රථවාහන දඩ කොළ වලින් චුදිතයින්ගේ ජාතිය පිළිබඳ දත්ත එකතු කරන්නට එක් හේතුවක් වන්නේ එම දත්ත පරීක්ෂා කර එවැනි වෙනස් ලෙස සැලකීමක් සිදුවන්නේදැයි පරීක්ෂා කළ හැකි වීමයි. ඇමරිකාවේදී ජාතිය යනු ශරීරයේ භෞතික ස්වරූපය හා සම්බන්ධ දෙයක් නිසා මෙය චුදිතයෙකු හඳුනා ගැනීමටද ඉවහල් වන්නකි. සුළු රථවාහන වැරදි කරන සුදු ජාතිකයින් නොවන අයගේ ජාතිය සුදු ලෙස සටහන් කිරීම මඟින් මේ පොලිස් නිලධාරියා මෙන්ම එවැනි වෙනත් පොලිස් නිලධාරීන් විසින්ද උත්සාහ කරන්නේ වෙනස් ලෙස සැලකීම පිළිබඳ චෝදනා වලින් ගැලවෙන්නටය. කොහොම වුණත්, අපේ බදු මුදලින් යැපෙන මේ පොලිස් නිලධාරියා මේ වෙලාවේ කර ඇත්තේ ප්‍රාන්ත රජයට වැරදි තොරතුරු වාර්තා කිරීමකි. එවැන්නෙකු පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුස්සෙකි.

අද අපේ ජීවිත බොහෝ දුරට තීරණය කරන්නේ දත්ත මඟිනි. මේ වියුණුවේ ලිපි තුළ වුවත් බොහෝ විට මා කරන්නේ දත්ත මත පදනම්ව නිගමන වලට පැමිණීමයි. සාමාන්‍යයෙන් විද්‍යාත්මක ක්‍රමය ලෙස සැලකෙන්නේද එයයි. ඇත්තටම පදනමක් නැති හිතළු මත නිගමන වලට පැමිණෙනවාට වඩා දත්ත මත පදනම් වීම සාර්ථකය.

කෙසේ වුවත්, දත්ත කියන්නේ පරම සත්‍යයන් නොවේ. අපට හමුවන දත්ත වල බොහෝ වැරදි තිබේ. මේ වැරදි අහඹු වැරදිනම් එවැනි දත්ත මත පදනම්ව කරන නිගමන එතරම්ම වරදින්නේ නැත. එහෙත්, වැරදි සිදු වන්නේ නිශ්චිත රටාවකටනම් එම දත්ත මත පදනම්ව කරන නිගමන වලට සිදුවන්නේ විශාල බලපෑමකි. මේ පොලිස් නිලධාරියා වැනි පොලිස් නිලධාරීන් සුදු නොවන ඇමරිකානුවන්ගේ ජාතිය සුදු ලෙස සටහන් කළත් එය අනිත් පැත්තට කරන්නේ නැත. මගේ අදහස මෙය සුදු පොලිස් නිලධාරීන් විසින් හිතාමතාම කරන දෙයක් බවයි. අලුත් පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් රස්සාව පරිස්සම් කර ගැනීමට උදවුවන මෙවැනි "ට්‍රික්ස්" උගන්වනවා විය හැකිය.

දඩ කොළය ලියූ පොලිස් නිලධාරියාට සිය රාජකාරිය කරන්නට සුදුසු වන තරමේ ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් හා/හෝ අවංක කමක් නොතිබුණු බව දැන් මට තර්ක කළ හැකිය. ඒ අනුව, වරද පිළි නොගන්නා බව දන්වමින් නඩු විභාගයක් ලබා දෙන මෙන් මම ඉල්ලා සිටියෙමි.

පළමුව, දඩ කොළයේ සඳහන් පුද්ගලයා මා නොවේ. එහි වාසගම පමණක් නොව ජාතියද මගේ එම තොරතුරු සමඟ නොසැසඳේ. ඒ නිසා, නම නිවැරදි කරන තුරු අඩු වශයෙන් උසාවියේදී මුලින්ම දෙන දිවුරුම හෝ මට දිය නොහැකිය.

අපේ ප්‍රාන්තයේ රියදුරු බලපත්‍රයක නම යටතේ මුලින්ම ලොකු කැපිටල් අකුරින් මුද්‍රණය කර ඇත්තේ වාසගමයි. රථවාහන පොලිස් නිලධාරියෙකු මෙය හොඳින්ම දැන සිටිය යුතුය. එය නිසි පරිදි දඩ කොළයට පිටපත් කළ නොහැකිනම් එය පොලිස් නිලධාරියාගේ (නො)සැලකිල්ල හෝ (අ)යෝග්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයකි. තමන්ගේ රැකියාව හා අදාළ වගකීම් නිසි පරිදි ඉටු කිරීමට තරම් ශාරීරික හා/හෝ මානසික යෝග්‍යතාවයක් නැති පොලිස් නිලධාරියෙකුගේ නිගමන නිවැරදි නොවන්නට ඉඩ තිබේ.

දෙවනුව, පොලිස් නිලධාරියා විසින් මගේ ජාතිය වැරදියට සටහන් කර තිබේ. ඒ පහත හේතුවක් නිසා විය හැකිය.

1. ඔහුට වර්ණ හඳුනා ගැනීමේ අපහසුවක්, එනම් ශාරීරික දුර්වලතාවයක් තිබුණාදැයි මා දන්නේ නැත. එසේනම්, සංඥා විදුලි එළියේ රතු පැහැය ලෙස ඔහු දැක්කේ කොළ පැහැයදැයි මා දන්නේ නැත. මා වාහනය ඇතුළේ සිටියානම් ඔහුට මගේ හමේ පැහැය පහසුවෙන් හඳුනාගත නොහැකි වීම පිළිගත හැකි වුවත්, මේ අවස්ථාවේදී මා වාහනයෙන් එළියට පැමිණීම නිසා මගේ වාසියට තවත් තර්කයක් එකතු කළ හැකිය. පොලිස් නිලධාරියාගේ ශාරීරික දුර්වලතාවයේ අඩුපාඩුව වෙනුවෙන් මා කළාදැයි හරියටම ස්ථිර නැති වරදකට මා දඩ ගෙවිය යුතු නැත.

2. ඔහුට ඒ අවස්ථාවේ කිසියම් මානසික ප්‍රශ්නයක් තිබුණාද කියා මම දන්නේ නැත. පුද්ගලයෙකුගේ හමේ පැහැය නිවැරදිව නිර්ණය කළ හැකි තරම් යහපත් මානසික තත්ත්වයක නොසිටි පොලිස් නිලධාරියෙකුට වාහනය ඉදිරියට ධාවනය කරන මොහොතේ සංඥා පුවරුවේ දැල්වී තිබුණේ කවර පාටක එළියක්ද යන්න නිගමනය කිරීමේදීද වරදින්නට පුළුවන. පොලිස් නිලධාරියාගේ මානසික දුර්වලතාවයේ අඩුපාඩුව වෙනුවෙන් මා කළාදැයි හරියටම ස්ථිර නැති වරදකට මා දඩ ගෙවිය යුතු නැත.

3. මේ පොලිස් නිලධාරියා යහපත් මානසික හා ශාරීරික යෝග්‍යතාවයකින් සිටියානම්, ඔහු ප්‍රාන්ත රජයට දැන හෝ නොදැන වැරදි තොරතුරු වාර්තා කිරීමට ඉඩක් ඇති අයෙක් විය හැකිය. එසේනම්, ඔහුගේ නිගමන අපක්ෂපාත හා අවංක නිගමන ලෙස සැලකිය නොහැකිය. මගේ බදු මුදලින් යැපෙන පොලිස් නිලධාරියෙකු ප්‍රාන්ත රජයට වැරදි තොරතුරු වාර්තා කරයිනම් එය ඉතා බරපතල තත්ත්වයකි.

පොලිස් නිලධාරීන් විසින් මේ අයුරින් වැරදි දත්ත වාර්තා කිරීම ඉතා බරපතල තත්ත්වයක් බව වෘත්තියෙන් මෙවැනි දත්ත විශ්ලේෂණය කර නිගමන ඉදිරිපත් කරන්නෙකු වන මට ඉඳුරාම කිව හැකිය. දැන් මේ දත්ත විශ්ලේෂණය කරන අයෙකුට පෙනෙන්නේ සුදු ජාතිකයින් රථවාහන වැරදි කරන්නට වැඩියෙන් ඉඩ ඇති බවත්, ආසියානුවන් වැරදි කරන්නට අඩුවෙන් ඉඩ ඇති බවත්ය. ඒ අනුව තීරණ ගන්නා රක්ෂණ සමාගම් සුදු ජාතිකයින්ගේ රක්ෂණ වාරික නියම මිලට වඩා ඉහළ දමා ආසියානු ජාතිකයින්ගේ රක්ෂණ වාරික නියම මිලට වඩා පහළ දමයි. මේ නිසා රක්ෂණ සමාගම් වල ලාභ අඩු වේ. රටේ ආර්ථිකයට නරක බලපෑමක් සිදු වේ. ඉඳහිට පොලිස් නිලධාරියෙකු අතින් සිදුවන අහඹු වැරදීමක් නිසා එසේ වන්නට ඉඩක් නැතත්, බොහෝ පොලිස් නිලධාරීන් විසින් පුරුද්දක් වශයෙන් මෙය කරන්නේනම් එයින් විශාල අයහපත් බලපෑමක් සිදු විය හැකිය.

දැන් මට අපේ ප්‍රාන්ත නීතිය අනුව දඩ මුදලක් ගෙවන්නට නියම වී ඇත්තේ රතු එළියේ වාහනය ධාවනය කිරීමේ වරදටය. එහෙත්, ඒ හේතුවෙන් කිසිවෙකුට හානියක් වූයේ නැත. එය නීතියෙන් වරදක් ලෙස සැලකෙන්නේ එසේ කිරීමෙන් අනතුරක් සිදුවී ජීවිත හා දේපොළ හානි සිදුවන්නට ඉඩක් ඇති බැවිනි. එසේනම්, පොලිස් නිලධාරියා විසින් නොසැලකිල්ල මත හෝ ශාරීරික හෝ මානසික යෝග්‍යතාවයක් නැති කම මත හෝ හිතාමතාම ප්‍රාන්ත රජයට වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමද විශාල පිරිසකට අයපතක් වීමට තුඩු දෙන දෙයකි. එසේ ක්‍රියා කරන පොලිස් නිලධාරියෙකු විසින් වාර්තා කරන තොරතුරු මත මා කළාදැයි හරියටම ස්ථිර නැති වරදකට මා දඩ ගෙවිය යුතු නැත.

විනිසුරු වෙත ඉදිරිපත් කළ හැකි තර්ක සියල්ල ගොඩ නඟා ගැනීමෙන් පසු මම වරදට අදාළ ප්‍රාන්ත නීති, පොලිස් නිලධාරීන් වෙනුවෙන් සකසා ඇති මාර්ගෝපදේශ, අදාළ ස්ථානයේ සිතියම් ආදියද සොයාගෙන ගොනු කර ගත්තෙමි.

නඩු විභාගය පැවතුණේ අවුරුද්දේ ආරම්භයේදීමය. රැකියාව හා අදාළ කටයුතු කල් දමන්නට අවශ්‍ය නොවන දිනයක් වීම නිසා හිතට වද දුන් තවත් ප්‍රශ්නයක් විසඳුනේය.

පැය තුන හතරක් රස්තියාදු විය. කොහොම වුණත් ගත් අවදානමෙන් පාඩුවක් වුණේ නැත. ගෙවිය යුතුව තිබුණු දඩ මුදල ඉතිරි වුණා පමණක් නොව රියදුරු වාර්තාවට එකතු විය හැකිව තිබුණු පොයින්ස් හතරක්ද එකතු වීම වලක්වා ගත හැකි විය. ඒ නිසා ඇමරිකාවේදී පමණක් නොව ජීවිත කාලයටම ලැබූ පළමු උසාවි අත්දැකීම කෙළවර වුණේ නරක විදිහට නොවේ.

33 comments:

  1. එහෙනං ඇමරිකාවෙනුත් ගේම ඉල්ලුව.

    ReplyDelete
    Replies
    1. ගේමක් පටන් නොගෙන ඉන්නම බැරිවුණොත් විතරක් පටන් ගන්න වෙනවා. හැබැයි ඉතිං පටන්ගත්තොත් කොහොම හරි ඉවර කරනවා. :)

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. +++++
    අලුත් යමක් දැනගත්තා. ස්තුතියි.

    ReplyDelete
  4. ඉකොනොට ලංකාවේදී ඉතාම ඉහල අදායමක් උපයන ලෝයර් කෙනෙක් වීමට හැකියාව ඇතිබව පෙනේ.

    ලංකාවේ පර්යේෂන දත්ත රැස් කරන්නෝ හිතාමත කරන දත්ත වංචාව ලංකාවේ බොහෝ ගැටලුවලට හේතුවී ඇති බව මගේ හැඟීමයි. ම කියන්නේ පර්යේෂකයෝ තමුන් කැමති ප්‍රතිපලය පෙන්වන්න කරන වෙනස් කම් නොවේ, පර්යේෂණය සඳහා රැකියාවක් වශයෙන් දත්ත රැස් කරන්නෝ තමුන් රැස් කරන දත්ත අවුට්ලයර්ස් කාණ්ඩයට අයත්වුනොත් උත්තර බදින්නට සිදුවීමෙන් මගහැරීමට කරන උත්සාහය (ලැබෙන දත්තය, හුරු පුරුදු සාමාන්යෙන් පිට නම් එය වෙනස් කිරීම). ලංකාවේ අපි සමහර ගැටළු විශාල ජනගහනයකට බලපාන බවට අතිශෝක්තියෙන් හුව දැක්වුවත් ඇත්තෙන් එය කුඩා විශේෂිත කණ්ඩායමකට පමණක් බලපාන්නක් විය හැකියි, ඔවුන් හඳුනාගත හැක්කේ අවුට්ලයර්ස් කාණ්ඩය තුල බව මගේ හැඟීමයි, නමුත් අවාසනාවකට එම තොරතුරු වෙනස්කර ඇතිනිසා අවුට්ලයර්ස් ලා හඳුනාගැනීමට ලබෙන්නෙවත් නෑ, රැකියාව සඳහා දත්ත රැස් කරන්නනේගේ දත්ත නිරවද්‍යතාව පරීක්ෂාකිරීමට අදාල ක්ෂේස්ත්රයේ අත්දැකීම් නැති නවක දත්තකලමනකරුවන් ගේ විශ්ලේෂණ මත පදනම් වීමට සිදුවීම මෙයට ලොකු හේතුවක්, එම දත්ත විශ්ලේෂණයෙන් පසු මතුවිය හැකි අනවශ්‍ය ප්‍රශ්නකිරීම් මගහැරීම සඳහායි ඔවුන් දත්ත වෙනස් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. //ඉකොනොට ලංකාවේදී ඉතාම ඉහල අදායමක් උපයන ලෝයර් කෙනෙක් වීමට හැකියාව ඇතිබව පෙනේ.//
      නීති විද්‍යාලයට ගිය පළමු දවසෙම සමාරම්භක උත්සවයට පරක්කු වෙලා ආවා කියල විනය ගැන දේශනයක් කරල ස්ටේජ් එක උඩ හිටවල තිබ්බනේ! ඉතිං කොහොමද? හැබැයි ඒ විදුහල්පතිම අවුරුදු ගණනකට පස්සේ ඇතැම් සිසුන්ට විභාගය ලියන්න තමන්ගේ කාමරය දුන් බව වාර්තා වුණා.

      Delete
  5. කළු වුනාට අපිත් කොකේසියන් තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය රටේ ආසියාතිකයෝ කියන්නේ චීන්නුන්ට නේද?

      Delete
    2. ඇමරිකාවේ ජීවත්වන දකුණු ආසියානු සම්භවයක් ඇති අය සැලකෙන්නේත් ආසියානු ඇමරිකානුවන් ලෙසයි.

      Delete
  6. උසාවියෙ වෙච්ච හරියත් ලිව්වනං තවත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මෙය ලියන්න පටන් අරගෙන සති දෙකක් පමණ වෙනවා. දිග වැඩි නිසාත්, තව ලියන්න හිටියොත් පළ කර නැති ලිපි ගොඩටම එකතු විය හැකි නිසාත් කෙටියෙන් අවසන් කර ලිපිය පළ කළා.

      Delete
  7. ඉකොන් එක්ක සෙල්ලං කරන්න එපා කියල ඇමරිකාවේ පොලිසීයට කේබල් පණිවිඩ යවා ඇති දැං. හැක්.

    සෑහෙන්න ප්‍රජාතන්ත්‍රවාදී කියන රටවල් වල තාමත් තිර වලින් වහල ජාතිවාදය අමු අමුවෙම පෙන්නනවා නේද?

    මම ඉකොන්ගෙන් ඉල්ලීමක් කරන්න හිටියේ. 2008 ඇමරිකන් ආර්ථික අර්බුදය සම්බන්ධ The Big Short ෆිල්ම් එකත් එක්ක සසඳලා මේ අර්බුදය ගැන ටිකක් ලියන්න බැරිද? මම චිත්‍රපටය බැලුවට ඒකේ එන ආර්ථිකවිද්‍යා කරුණු තේරෙන්නෑ. ජය

    ReplyDelete
    Replies
    1. කොයි තරම් පාලනය කරන්න හැදුවත් බොහෝ මිනිසුන් තුළ යම් තරමකට ජාතිවාදය තිබෙනවා. ඇමරිකාවේ වුණත් එහෙමයි. හැබැයි එය ඉතාම අඩු විශාල පිරිසකුත් ඉන්නවා. මෙහි විස්තර කර ඇති හැසිරීමට හේතුව ජාතිවාදය නෙමෙයි. මෙය ජාතිවාදය වැළැක්වීමට ආණ්ඩු විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග වල පීඩනයට එරෙහිව තනි පුද්ගලයින් ලෙස පොලිස් නිලධාරීන් විසින් දක්වන ස්වභාවික ප්‍රතිරෝධයේ පිළිබිඹුවක්. මෙයට තරමක් ආසන්න උදාහරණ ලෙස ලංකාවේ පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය 25% දක්වා ඉහළ දැමීම හා දශක කිහිපයකට පෙර සිදු වූ අධ්‍යාපන ප්‍රමිතිකරණය පෙන්විය හැකියි. පවතින තත්ත්වයන් අනුව ඇතැම් විට මෙවැනි ක්‍රියාමාර්ග තාවකාලිකව ගන්න සිදු වුවත් එයින් වෙන්නේ පවතින ස්වභාවික තත්ත්වය කෘතීම ලෙස වෙනස් කිරීමයි. කිසියම් ජනවර්ගයකට අයත් අය වැඩිපුර වැරදි කරනවානම් ඔවුන්ට වැඩිපුර චෝදනා එල්ලවීමේ වරදක් නැහැ. දඩ කොළ දීම වැනි දෙයකදී ජනගහනයේ වාර්ගික සංයුතිය පිළිබිඹු විය යුතු නැහැ. ඇමරිකාවේ පොලිස් නිලධාරියෙකු වාහනයක් නවත්වන්න සංඥා කරන්නේ රියදුරුගේ වාර්ගිකත්වය දැනගෙන නෙමෙයි.

      //ඇමරිකාවේ පොලිසීයට//
      ඇමරිකාවේ පොලීසි මිස ඇමරිකාවේ පොලීසියක් කියා එකක් නැහැ. ප්‍රාන්ත පොලීසි, ප්‍රාදේශීය පොලීසි, නාගරික පොලීසී, ආයතන සතු පොලීසි ආදිය මිස මධ්‍යගත පොලීසියක් ඇමරිකාවේ නැහැ. මේ අයගේ බලතල ප්‍රධාන වශයෙන්ම වෙනස් වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට බලය ඇති සීමාවන්ගේ වෙනස්කම් මතයි. ප්‍රාන්ත පොලීසියට ප්‍රාන්තය තුළ ඕනෑම තැනක නීතිය ක්‍රියාත්මක කළ හැකි වුවත් අනෙත් අයට එසේ කළ නොහැකියි. ෆෙඩරල් රජයේ පාලනය යටතේ තියෙන්නේ FBI වැනි ආයතන පමණයි. ඒ නිසා දැන් සිදුවී ඇති පරිදි ඇමරිකන් ෆෙඩරල් ආණ්ඩුවේ කටයුතු අකර්මන්‍ය වුවත් ජන ජීවිතයට දැනෙන බලපෑමක් වෙන්නේ නැහැ. මේ දඩ කොළය ලියූ පොලිස් නිලධාරියා අපේ ආයතනයට අයත් පොලීසියේ සේවයේ සේවය කරන, අපේ පේරෝල් එකේම සිටින අයෙක්. ඔහුට නීතිය ක්‍රියාත්මක කිරීමට බලය තිබෙන්නේ අපේ ආයතනයට අයත් බිම් පෙදෙස් තුළ, ඒ ඇතුළෙන් යන පොදු පාරවල් වල හා අවට පාරවල් ටිකක පමණයි. ඇමරිකාවේ පාසැල් ගැන ලිවීමෙන් පසු පොලීසි ගැනත් ලියන්න හිතා හිටියත් එය මඟ හැරී ගියා.

      අවසන් කරුණ ගැන පසු අවස්ථාවක බලන්නම්.

      Delete
  8. හරිම කණගාටුයි ඔබට සිදුවුණු අපහසුතාවයට.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මේවා ජීවිතයේ සාමාන්‍ය දේවල්. මම හිතන්නේ වැරැද්ද මගේ බවයි.

      Delete
  9. /මේ ගොඩනැගිලි දෙක සම්බන්ධ කරමින් පාරට උඩින් තනා ඇති අහස් උමගකින් අනෙක් පැත්තට යා හැකිය./

    අහස් උමඟ කිව්වම විරෝධෝක්තියක් (Oxymoron) වෙනව නේද? උමඟ කියන්නෙ උමං මාර්ගය නැත්නම් බිම්ගෙය (A Tunnel)

    Thanks for a really interesting article...:)

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි, රවී. නිවැරදි වචනය විය යුත්තේ අහස් පාලම නැත්නම් ගුවන් පාලම කියන එක කියා හිතනවා. නමුත්, මේ කියන අහස් පාලම සිංහලෙන් අහස් පාලම කියා කියූ විට කියවන ගොඩක් අයගේ හිතේ මැවෙන ආකාරයේ විවෘත එකක් නෙමෙයි. පොළොව උඩින් තිබුණත් උමඟක ගමන් කරන හැඟීම දනවන ආකාරයට හදා ඇති, උණුසුම පාලනය කර ඇති, ශීත කාලයේදී සිදුවන අපහසුතා මඟහැර ගොඩනැගිලි අතර ගමන් කිරීමට උදවු කරන "අහස් මී ගුලක්". ඕකට කියන්නේ Gerbil Tube කියලයි.

      Delete
  10. මා වාහනය අතට ගත් දින සිට අද වන තුරු වාහනයට නැග්ගාට පසු සහ වාහනයෙන් බසින තුරු මනසේ රැඳෙන්න ඉඩ දෙන්නේ වාහනය සම්බන්ධ කාරණා පමණි.. එයිනුත් ඒ වෙලාවේ පාර ගැනත් එහි ක්‍රියාකාරකම් ගැනත් පමණි... එයට විශේෂ හේතුවක් නැති උනත් පුරුද්දක් ලෙස කරන වැඩය (හෝ වැඩ කීපය) ගැන සිහිය හොඳින් තබා ගැනීම මගේ පුරුද්දක්.. අද වන තුරු කිසිම පොලිසියකින් කිසිම වරදකට මා නවතා ප්‍රශ්න කර නැත..

    ඒ නමුත් මට මාවම නවතා ප්‍රශ්න කිරීමට සිදු වූ එක දවසක් ඇත.. ඒ අදින් වසර දෙකකට කලින් එක් උදෑසනක, දිනපතා යනෙන පාරේ එක් තැනක රතු එළියක් නොතකා මම වාහනය පැදවීම... මම විතරයි වාහනේ හිටියේ ඒ වෙලාවේ..

    ට්‍රැෆික් ලයිට් එකට තප්පර කීපයක් තිබියදි මගේ හිත මගෙන් ප්‍රශ්න කලා මගේ දකුණු පැත්තෙන් තියන පාරෙන් වාහන නොනවත්වා එද්දි,මගේ දකුණු පසින් තියන වාහන නවතා තියෙද්දිත් ඇයි මම accelerator එකේ තියන කකුල බ්‍රේක් එකට ගෙනියන්නේ නැත්තේ කියා... why are you still not slowing down ??????

    එවිටයි මට වැටහුනේ කවදාවත් නැතුව එදින මම වෙනත් කල්පනාවක පැමිණ ඇති බව මෙතෙක් දුර... ඒ තප්පර කිහිපය තුල සිහි එළවා ගත් මම වාහනය නවත්වා ගත්තත් කිසිවෙකුට අනතුරක් නොවුනත් එදා මම මටම පොරොන්දු උනා මින් මතු කිසිම දිනක මෙවැනි සිදුවීමක් නොවීමට වාහනයට නඟින්න පෙර සියලු බාහිර සිතුවිලි හිතෙන් ඉවත් කර ගොඩ වීමට..

    එදා මට හිතුනේ බැරි වෙලාවත් මම රතු එළිය තියෙද්දි ගියා නම් තවත් වාහනයක හැපී ඒ අයට අනතුරක් උනා නම්... මට අනතුරක් උනා නම් ... එහෙම හිතෙද්දි මගේ මූණ ඉස්සරහ මැවිලා පෙනුනේ මගෙ පුංචි පුතාගෙ හිනා වෙන මූණ..

    ඒ වගේම එදා මාව පොලිස් නිලධාරියෙක් නැවැතුවා නම් (එදාට කලින් කිසිම දවසක වෙනත් දේ ගැන හිතමින් වාහනය පදවන පුරුද්දක් මා හට නැති උනත් ) මම මගේ වැරද්ද පිළි අරගෙන අනිවාර්‍යයෙන් දඩය ගෙවනවා වගේම අර දුන් පොරොන්දුවත් මගෙ හිතටම දෙනවා..

    පොලිස් නිලධාරියා කල වැරදි සොයා බැලීමට කලින් මගේ වැරදි සොයා බලා නිවැරදි කිරිමට මම කැමති නිසාත් අන් අයගේ වැරදි නිවැරදි කිරීම (මගේ අඩු පාඩු සියල්ල නැවත නොවරදින ලෙස හදා ගත් දිනක මිස ) මගේ වගකීමක් ලෙස මම නොසිතන නිසාත්...

    ඒ කොහොම උනත් ඉකෝ... අපි මිනිස්සු විදිහට අපේ ඇහේ තියන පොල් පරාලෙට වඩා අනිත් මිනිස්සුන්ගේ ඇහේ තියන පොල් කෙන්ද පෙනෙන බව නම් පැහැදිලියි :) :) පොල් කෙන්දක් ගැන් ලියන්න ගිහින් ප්‍රේමකීර්ති ලිව්ව මේ සින්දුවත් මතක් උනා...

    http://geepadura.blogspot.com.au/2012/08/kanda-kenda-karanu-pinisa-malini.html

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කරුණු වැඩි ප්‍රමාණයකට මම එකඟයි. මම මතු කළ තර්කයත් මෙයටම අදාළයි. මගේ අතින් යම් ආකාරයකින් සිදුවුණු වරදක් නැවත සිදුවන එක වළක්වගන්නනම් එය සිදුවුණු ආකාරය ගැන මට පැහැදිලි අදහසක් තිබිය යුතුයි. මේ වෙලාවේ මට කිසිසේත්ම එවැනි අදහසක් නැහැ. මට මතක මේ සංඥා එළියට මම වාහනය නොනැවැත්වූ බවයි. නමුත්, පොලිස් නිලධාරියා කියන්නේ වාහනය නවත්වා රතු තියෙද්දීම නැවත ධාවනය කළ බවයි. අවසාන වශයෙන් කාලය හා නඩුගාස්තු ගෙවන්නට වීමේ අවදානම ගෙන මම උසාවි ගියේ වරද සිදුවූ ආකාරය පැහැදිලි කරන්න පොලිස් නිලධාරියාට හැකි වුණානම්, මට එය නැවත සිදු වීම වලක්වා ගන්න ඉඩක් ලැබෙන නිසයි. නමුත්, ඔහුට එය කළ නොහැකි වූ නිසා සිදුවුණේ මා වරදින් නිදහස් වීමයි.

      අවසන් කරුණ ගැන මම සම්පූර්ණයෙන්ම එකඟ නැහැ. මා වරදක් කර ඇත්නම් එය ඔප්පු කිරීම පොලිස් නිලධාරියාගේ රාජකාරියේ කොටසක්. මම හිතන විදිහට මම කළ යුත්තේ මගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමයි. අනුන්ගේ ඇහැක පොල් කෙන්දක් මට කරදරයක්නම් මට ඒ ගැන කතා කරන්න වෙනවා. නැත්නම් මට ප්‍රශ්නයක් නැහැ. මගේ ඇහේ පොල් පරාලය වෙනත් අයෙකුට කරදරයක්නම් ඒ ගැන පෙන්වා දීම ඒ අයගේ වැඩක්. එසේ පෙන්වා දුන්නොත් මම ඒ ගැන හිතනවා.

      Delete



    2. ඔබට මෙවැනි දේ නැවත වීම වලක්වා ගන්න කරන්න තියෙන්නේ එකම දෙයයි... එය ඔබ දන්නවා මම හිතන්නේ...

      අවසන් කරුණ ගැන මට එහෙම හිතෙන්නෙ මම කල වැරද්ද මටම හොඳින් අවබෝධ වෙලා තිබුනු නිසා..මොකද්දෝ වාසනාවකට

      වෙන අයගෙ පොල් කෙදි මගේ ඇහට පෙනවා නම් එය මට කරදරයක් නම් මම දකින්නේ එය මගේ අඩු පාඩුවක් කියායි ඉකෝ.. ඒ නිසා මම ඒ පෙනෙන තැනින් ඉවත්ව මගේ අඩු පාඩු හදා ගන්නවා මිසක අන් අයගේ පොල් කෙදි ගැන කතා කරන්න පෙළබෙනවා ඉතාම අඩුයි...

      මට පෙනෙන පොල් කෙදි ගැන කතා කිරීමත් මා කරන්නේ හරිම කලාතුරකින් හරිම පරිස්සමින් වෙන කෙනෙකුගේ.. ඒ කෙනා කැමති නම් පමණයි.. ඒකත් බොහොම හිමින් කිසියම් විනයක් ඇතුව හිත් නොරිදෙන විදිහකට.. එහෙම කරන්න බැරි නම් මම කරන්නේ ඈත් වීම නිහඬව..

      මගෙ පියා මට දුන්නා අවවාදයක් අවට පරිසරයෙන් තමන්ගේ මනසෙ සාමයට කිසිඳු හානියක් කර නොගන්න කියා..ඒ නිසා වෙන්න ඇති මම එහෙම පුරුදු වෙලා තියෙන්නේ ඉකෝ...:)

      Delete
    3. මමත් බොහෝ දේවල් ගැන හිතන්නේ ඔබ හිතන විදිහටයි. නමුත්, ඇතැම් දේවල් ගැන කිසිවකු කතා නොකළොත් දිගින් දිගටම එයින් තවත් බොහෝ දෙනෙකුට නරකක් වෙනවා. ඒ වගේ වෙලාවට හැකි කමක් තිබේනම් මම වැරැද්දට එරෙහිව පෙනී සිටිනවා. ඒ වගේම මෙහිදී ඇමරිකාවේ හා ලංකාවේ සංස්කෘතික වෙනස්කම් ගැනත් යමක් කිව යුතුයි. බොහෝ විට වැරැද්දක් පෙන්වා දුන්නා කියා හෝ කරන්න බැරි දෙයකට බෑ කිවුවා කියා ඇමරිකානුවෙක් හිත් අමනාප කරගන්නේ නැහැ. මම හිතන්නේ එය ඔවුන් අනෙක් අයගෙනුත් බලාපොරොත්තු වන දෙයක්.

      Delete
  11. මහත්මයාට පුළුවන්ද උසාවියේදී කරුණු කාරණා සිදුවූ ආකාරය ගැනත් සටහනක් පල කරන්න. ඔබ නඩුව සදහා සුදානම් වූ අයුරු, නීතිඥයන්ගේ ගාස්තු, නඩුවට කොපමණ කාලයක් ගියාද, නඩුවෙන් පසු ආදාළ පොලිස් නිලධාරීය කුමක් කරාද වගේ දේවල් ගැන.

    මොකද ශ්‍රී ලංකාවේ නම් රථ වාහන පොලිස් නිලධාරීන් සමග නඩු දමා උසාවියෙන් තීන්දුවක් ගැනීමට අවුරුදු දෙකක් වගේ යනවා.

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මේ වෙනුවෙන් මා නීතිඥයෙකුගේ සහය ලබාගත්තේ නැහැ. ඒ නිසා, පැය කිහිපයක් රස්තියාදු වීම හැර වෙනත් අමතර වියදමක් ගියේ නැහැ. රථවාහන වැරදි විභාග කිරීම සඳහා අපේ නගරයේ වෙනම උසාවියක් තිබෙනවා. මට එහි යාමට තිබුණේ පස්වරු 1.30යි. නඩුව කැඳවන විට පස්වරු 3 පමණ වුණා. මුලින්ම කළේ නම් කියවා නියමිත වෙලාවට පැමිණ නොසිටි අයට වරෙන්තු කිරීමයි. ඉන් පසු නඩු එකින් එක විභාගයට ගත්තා. ඒ වෙලාවේ පැමිණ සිටි කිසිම කෙනෙක් නීතිඥයින් සමඟ පැමිණ සිටියේ නැහැ. මේ බොහෝ දෙනෙක් දිගින් දිගටම රථවාහන වැරදි කිරීම නිසා රියදුරු බලපත්‍රය තහනම් කරනු ලැබීමෙන් පසුව සහනයක් බලාපොරොත්තුවෙන් පැමිණි අයයි. ඔවුන් හැමෝම වගේ කළේ වරද පිළිගැනීමෙන් පසුව රියදුරු බලපත්‍රය නැති වීම නිසා තමන්ට සිදුවන අපහසුතා ගැන විස්තර කර අඩු දඬුවමක් ඉල්ලා සිටීමයි. අපේ ප්‍රාන්තයේ රියදුරු බලපත්‍රය අහෝසි කරන්නේ මාස 6ක් ඇතුළත පොයින්ට්ස් 18ක් එකතු වුනොත්. එහෙම බැලුවහම මගේ වරද ඉතාම සුළු වරදක්. ඒ වන විට මගේ පරණ පොයින්ට්ස් 2ත් කල් ඉකුත් වී අවසන්. මෙවැනි සුළු වරදකට චෝදනා ලබන අයෙක් දඩමුදල ගෙවා දමනු මිස උසාවියේ රස්තියාදු වෙන්න එන්නේ ඉතා කලාතුරකින්. ඒ නිසා, එහෙම එන්නේ තමන් වරදක් නොකළ බව විශ්වාස කරන නිසා බව විනිසුරුට මෙන්ම පොලිස් නිලධාරියාටත් පැහැදිලි වෙන්න ඇති. එහෙම වෙලාවට පොලිස් නිලධාරියා විසින් කවර ලෙසකින් හෝ චුදිතයාව වරදකරු කරන්නට උත්සාහ කරන්නේ නැහැ. මෙවැනි දෙයක් ප්‍රායෝගිකව ලංකාවේදීනම් කළ හැකියි කියා මම හිතන්නේ නැහැ. චුදිතයෙක් නීතිඥ සහය නැතිව ලංකාවේ උසාවියක තමන් වෙනුවෙන් පෙනී සිටීම ගැන මම පෞද්ගලිකව දන්නා බොහෝ විනිසුරුවරුන් විසින් හිතන්නේ නීතිය හෑල්ලුවට ලක් කිරීමක් ලෙසයි. ඒ නිසා, එවැනි අවස්ථාවක ලබා දිය හැකි උපරිම දඬුවම නියම කරන්න ඉඩ තිබෙනවා.

      Delete
  12. මෙම නඩු තීන්දුවත්, ඇමරිකන් රජය වසා දැමීමේ තීරණයත් අතර සම්බන්දතාවයක් තිබේද?

    ReplyDelete
    Replies
    1. මේ නඩු තීන්දුව නිසා අපේ ප්‍රාන්ත රජයට ලැබෙන්නට තිබුණු ආදායමක් අහිමි විය. ෆෙඩරල් රජය අක්‍රිය වීම නිසා ප්‍රාන්ත රජයට ලැබෙන්නට තිබුණු මූල්‍ය ප්‍රතිපාදන නියමිත අවස්ථාවේදී ලැබෙන්නේ නැත. ඒ නිසා මේ දෙකම ප්‍රාන්ත රජයේ අයවැයෙහි මුදල් ප්‍රවාහ (cash flow) වලට අහිතකර ලෙස බලපායි.

      Delete
  13. රතු එළිය නොසළකා යාම අල්ලන කැමරා නැතිද ඇමරිකාවේ? එහෙම වෙලා දඩයක් ගෙදරට ආවාම ෆොටෝ එක ඉල්ලන්න පුළුවනි සාක්‍ෂි විදියට.

    මාත් ඕස්ටේ‍ර්ලියාවේ මුල්ම දඩය ගෙව්වේ එක් ප්‍රාන්තයක සිට අනිත් ප්‍රාන්තයට පැන මුලින් ම හමුවුණු නගර සීමාවේ දී තමයි. එයට එක් හේතුවක් වුනේ මාර්ග සංඥාවල තිබුණු යම් වෙනස්කමක්.

    ලංකාවේ දී ක් ලැබුණු දවසේ නම්, ඒ වෙනුවට මා කිසිදා කර නැති, පගාවක් දී බේරෙන්න හැකියාව තිබුණාය කියා පසුව තේරුම් ගියා!

    http://rasikalogy.blogspot.com.au/2016/12/my-first-traffic-offence.html

    !!!

    ReplyDelete
    Replies
    1. බොහෝ තැන් වල කැමරා තිබෙනවා. ටොල් නොගෙවා යන එකනම් අල්ලන්නෙම කැමරා වලින්. ඊට අමතරව ඇතැම් ප්‍රදේශ වල ගුවනේ සිට හෙලිකොප්ටර් වලිනුත් නිරීක්ෂණය කරනවා. ඒ නිසා, වරදක් කළොත් දඩකොළයක් තැපෑලෙන් ගෙදරට එන්නත් සෑහෙන ඉඩක් තියෙනවා.

      ලින්ක් එක දමපු පෝස්ට් එකේ ඉතිරි (ඕස්ට්‍රේලියානු/ නවසීලන්ත) කොටස් දැම්මේ නැද්ද?

      Delete
  14. ඔබ ඒ වරද කල බව විද්‍යුත් සාක්ෂි හරහා ඒ පොලිස් නිලධාරියා ඔප්පු කිරීමට උත්සහ කලේ නැද්ද? එසේ ඔබ(ත්) වරදක් කල බව ඔප්පු උනානම් පොලිසියේ වරද පසෙක තිබියදී ඔබටත් දඩයක්/ දඬුවමක් හිමි වෙනවා නේද? පැමිණිල්ල ඔප්පු කිරීමට ඔවුන් සතුව සාක්ෂි තිබුනේ නැද්ද?

    නියමයි.. පට්ට ඉන්ටරස්ටින්.. මෙහෙම තර්ක කරලා හරි දිනන්න පුළුවන් සිස්ටම් එකක් තියෙන එකම වටිනවා..

    ReplyDelete
    Replies
    1. ඔහු සතුව ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණා විය හැකියි. ඔහු අපේ ආයතනයේම සේවය කරන නිලධාරියෙක්. (ඇමරිකාවේ පොලීසි විමධ්‍යගතයි) ඒ නිසා, සමහර විට පසුව මගේ පසුබිම හොයාබලා දිගින් දිගටම පස්සෙන් පන්නන්නේ නැතිව ඉන්න තීරණය කළා වෙන්නත් පුළුවන්.

      Delete
  15. මටත් හිතුනේ කමියා අහපු එක. ඔහුට තමන්ගේ චෝදනාව ඔප්පු කරන්න විද්‍යුත් සාක්ෂි දෙන්න බැරි වුනාද?

    දැන් මෙහෙම වුනාම ඒ නිළධාරියාගේ රැකියාවට තර්ජනයක් නැද්ද?

    මොන බයිලා ගැහුවත් ඇමෙරිකාවේ තාම වර්ණ බේද වාදය තියනවා නේද? මිනිස්සුන්ව වර්ණය අනුව වර්ගකරණ එකෙන්ම ඒක පේනවා....

    ReplyDelete
    Replies
    1. ඔහුගේ රැකියාවට මෙයින් බලපෑමක් වේයැයි මා හිතන්නේ නැහැ. මේ වර්ග කිරීමේ අරමුණම වර්ණභේදවාදය වැළැක්වීමයි. නමුත්, ඒ හේතුවෙන් එය වෙනවද කියා මම දන්නේ නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: