Thursday, February 1, 2018

මාළු අල්ලමුද?


ජනවාරි මාසය අවසන්ය. මාසය තුළ මෙහි පළ කරනු ලැබ ඇත්තේ ලිපි හතරක් පමණි. අවසන් ලිපිය පළ කර ඇත්තේ දෙසතියකට පමණ පෙරය. මේ දෙකෙන් එකක්වත් සිදුවුණේ පළමු වරට නොවූවත්, සාමාන්‍යයෙන් මේ වියුණුව මීට වඩා අඩු කාලාන්තර තුළ යාවත්කාලීන කෙරෙන බව පාඨකයින් දන්නා කරුණකි.

වියුණුව කෙරෙහි අඩු අවධානයක් ලැබෙන්නට හේතු වූ මූලික කරුණ කාර්යබහුලකම වූවත් එය එකම කරුණ කියා කියන්නට නුපුළුවන. ලිපියක් ලියා පළ කරන්නට තරම් උත්තේජනයක් නොතිබීමද එයට හේතුවකි. පසුගිය දෙසතිය තුළ ලියන්නට පටන්ගත් ලිපි කිහිපයක්ම අතරමඟ නැවතී ඇති අතර තවත් කිහිපයක් ලියා අවසන් කළද ඒවායේ ඇති කරුණු අනුව පළ කළ යුතුයැයි සිතුණේ නැත.

වියුණුව කෙරෙහි වූ උනන්දුව අඩුවුණේ ඇතැම් අය හිතන පරිදි හිට්ස් අඩුවීම හෝ කමෙන්ට්ස් අඩුවීම වැනි සිල්ලර කරුණු නිසා නොවේ. කියවන්නන්ගේ අඩුවක් කොහෙත්ම සිදුවී නැත. දෙසතියකින් පමණ අලුත් ලිපියක් පළ වී නැතත්, සෑහෙන පිරිසක් තවමත් "නිකං ඇවිත් යන්නට" හෝ පැමිණේ. තේරුමක් ඇති කමෙන්ට් මිස නිකමට දමන කමෙන්ට්ස් වලින් මට කවදාවත් උත්තේජනයක් ලැබී නැත.

ඇත්තටම කියනවානම් වියුණුව කෙරෙහි උනන්දුව අඩුවන්නට හේතුව වූයේ පසුගිය දිනවල වියුණුවෙන් පරිබාහිරව කරන දේවල්ද වියුණු ලිපි ලියනවාටම සමාන දේවල් වීමයි. ඒ නිසා, වෙනදා මෙන් වියුණු ලිපියක් ලිවීමෙන් කාර්යබහුල ජීවිතයේ ඒකාකාරී බවින් මිදෙන්නට උදවුවක් නොලැබුණේය. එවැනි වාසියක් හෝ නැතිව, වියුණු ලිපි ලියන්නට කාලය මිඩංගු කළ විට විට මඟ හැරී යන්නේ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීම හා පවුල සමඟ ගත කිරීම සඳහා ඇති සීමිත කාලයයි.

සාමාන්‍යයෙන් නිතර යාවත්කාලීන කෙරෙන වියුණුවක් වන රසිකොලොජි වියුණුවද මේ වියුණුවට හෝ මට පෞද්ගලිකව කිසිදු සම්බන්ධයක් නැති, මා නොදන්නා කවර හෝ හේතුවක් නිසා මේ අවුරුද්ද තුළ යාවත්කාලීන වී තිබුණේ ඉතා අඩුවෙනි. ටික කලකට පෙර රසිකොලොජිස්ට් විසින්ම කියා තිබුණු පරිදි සිංහල වියුණු යනු තවමත් එකිනෙකට අනුපූරක මිස ආදේශක නොවේ. මා හිතන පරිදි ඔහුගේ මේ අදහස නිවැරදිය. ඇතැම් අය වරින්වර පිට පනින රීතියක් වුවත්, බොහෝ බ්ලොග්කරුවන් කැමැත්තෙන්ම වෙනත් බ්ලොග් ප්‍රවර්ධනය කරන්නේ මේ ගැන අදහසක් බොහෝ බ්ලොග්කරුවන්ට තිබෙන නිසා විය හැකිය.

සිංහල වියුණු එකිනෙකට අනුපූරක වීමට ඉල්ලුම් සාධක මෙන්ම සැපයුම් සාධකද බලපායි. ටික කලකට පෙර රසිකොලොජිස්ට් විසින්ම ඔහුගේ වියුණුවට පාඨකයින් පැමිණෙන ප්‍රධාන ප්‍රවේශ මාර්ග පිළිබඳ සංඛ්‍යාලේඛණ පළ කර තිබුණේය. මේ ලිපිය හොයාගන්නට අපහසු වුවත්, එම ලැයිස්තුවේ හැලපකඩේ හා ඉකොනොමැට්ටා වැනි වෙනත් බ්ලොග් අඩවි කිහිපයක්ද තිබුණේය. මේ වියුණුවට පාඨකයින් එන ප්‍රධාන ප්‍රවේශ මාර්ග අතරද හැලපකඩේ හා රසිකොලොජිය වැනි වෙනත් බ්ලොග් අඩවි තිබේ.

රසිකොලොජිය වැනි බ්ලොගයක් නිතර යාවත්කාලීන වන විට එහි පැමිණෙන පාඨකයින් ගණනද වැඩි වේ. එවිට, ඒ හරහා මේ වියුණුව වැනි වෙනත් වියුණු වලට පැමිණෙන පිරිස්ද ඉහළ යයි. විරුද්ධ දිශාවටද ඒ දෙයම සිදුවනවා විය යුතුය. මෙය ඉල්ලුම් සාධක හරහා එක් වියුණුවකින් තවත් වියුණුවක් පෝෂණය වන ප්‍රධාන ආකාරයකි.

කෙසේවුවද, රසිකොලොජිගේ ඉහත සංඛ්‍යාලේඛණ අනුව එහි පැමිණෙන පාඨකයින් අති මහත් බහුතරය පැමිණෙන්නේ බ්ලොග් සින්ඩිකේටර හෝ බ්ලොග් රෝල් හරහා නොවේ. වත්පොත හා ගූගල් හරහාය. මෙය මේ වියුණුවටද පොදු කරුණකි. ඒ නිසා, වෙනත් බ්ලොග් හරහා පැමිණෙන සාපේක්ෂව සුළු පාඨකයින් ප්‍රතිශතය වියුණුව සමඟ රැඳී සිටින්නට විශාල බලපෑමක් කරන්නේ නැත.

එක් සිංහල වියුණුවකින් තවෙකක් පෝෂණය කරන්නට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ සැපයුම් සාධකයි. අයෙක් ලිපියක් පළ කළ විට තවත් බොහෝ අයට ලියන්නට දෙයක් මතක් වෙයි. ඉයන් වැනි අය විසින් කලින් කලට දිරිගන්වනු ලැබූ රැළි උදාහරණ ලෙස දැක්විය හැකිය.

දැන් මේ "අනුවේදනීය කතාව" අවසන් කර ලියන්නට සිතා සිටි මාතෘකාවට නැවත පැමිණියහොත් රසිකොලොජිස්ට්ගේ අලුත්ම ලිපි දෙකෙන් කතා කරන්නේ මස්කෑම හා සතුන් මැරීම අතර ඇති සම්බන්ධය ගැන හා සතෙකු මැරීමේදී සතා අනුව හා අවස්ථාව අනුව යමෙකුට ඇතිවන සහකම්පනය වෙනස්වීම ගැනය. ඔහුට මේ ලිපි ලියන්නට උත්තේජනයක් සපයා ඇත්තේ ඔහුගේ මිතුරෙකු විසින් වත්පොතේ පළ කරනු ලැබ ඇති සටහනකි.

දිනපතාම වාගේ කිසියම් හෝ සත්ව මාංශ කොටසක් ආහාරයට ගන්නා පුද්ගලයෙකු වන මට සතෙකු මැරීම බොහෝ විට ඉතා අසීරු කාර්යයකි කාර්යයකි. එහෙත්, එයින් අදහස් වන්නේ මා කිසිවිටෙක සතෙකු මරා නැති බව හෝ සතෙකු නොමරන බව නොවේ. එසේ කළ අවස්ථා ඕනෑතරම් තිබේ. විශේෂයින්ම මදුරුවන් හා මකුණන් ඕනෑතරම් මරා තිබේ.

ඇමරිකාවේ ජීවත් වෙද්දී මුහුණ දෙන ප්‍රශ්නයක් නොවූවත්, දැන් වුවද ලංකාවට ගිය විටක මදුරුවන් මරන්නට මා පැකිලෙන්නේ නැත. එහෙත්, ඉතා කුඩා කාලයේදී (පාසැල් යන්නටත් පෙර හෝ පළමු ශ්‍රේණියේ උගත් කාලයේදී පමණ) පින් තකා දිනපතා නිශ්චිත මදුරුවන් ගණනකට ගණන් කරමින් ලේ දන් දුන් අතීතයක්ද මට තිබේ. ඒ නිසා, දැනටත් සතෙක් මරන්නට ඇති අපහසුතාවය පසුපස අවිඥානිකව හෝ ආගමික පසුබිමක් තිබෙන්නටද පුළුවන.

ආහාර පිණිස සතුන් මැරීම ඇමරිකාවේදී සැලකෙන්නේ ඉගෙන ගත යුතු ජීවන කුසලතාවයක් ලෙසිනි. මෙය ආබ්‍රහමික ආගම් වල දාර්ශනික පදනම සමඟද මැනවින් ගැලපේ.

ඇමරිකාවේ සෑම නගරයකම වාගේ ඉතා හොඳ මට්ටමේ පුස්තකාලයක් තිබේ. පළාත් පාලන ආයතන විසින් අයකරනු ලබන බදු වලින් නඩත්තු කෙරෙන මේ පුස්තකාල වලින් කෙරෙන්නේ පොත් හා වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රකාශන කියවන්නට, අසන්නට හෝ නරඹන්නට අවස්ථාව සැලසීම පමණක් නොවේ. මේ පුස්තකාල වල කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා විවිධ වයස් කාණ්ඩ ඉලක්ක කර සකසා ඇති පරිගණක මෘදුකාංග, ඉංග්‍රීසි භාෂාව හා වෙනත් භාෂා ආදිය නොමිලේ හැදෑරීමට අවකාශ සැලසෙන අධ්‍යාපනික වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මකව ඇති අතර ඒ අතර මාළු ඇල්ලීම වැනි ජීවන කුසලතා පුහුණු කෙරෙන වැඩ සටහන්ද තිබේ. බොහෝ විට මෙවැනි වැඩ සටහනක අරමුණ ජීවන කුසලතාවයක් ලෙස මාළු ඇල්ලීම ප්‍රවර්ධනය කිරීමම නොව, පවුලක දරුවන් හා වැඩිහිටියන් එක්ව විනෝදාංශයක් ලෙස මාළු ඇල්ලීම වැනි ක්‍රියාකාරකම් තුළින් පවුල් සම්බන්ධතා ශක්තිමත් කිරීම විය හැකිය.


පවුලේ සාමාජිකයින් හා එක්ව වසරකට වරක්වත් "කෑම්පිං යාම" මෙන්ම එවැනි අවස්ථාවක හෝ වෙනමම අවස්ථාවක දරුවන් හා එක්ව මාළු අල්ලන්නට යාමද බොහෝ ඇමරිකානුවන් විසින් කරන දෙයකි. බලපත්‍රයක් ලබාගැනීමෙන් පසු ප්‍රාන්ත රජයේ දේපොළ වන ඇළ, දොළ, ගංගා හා ස්වභාවික පොකුණු ආදියේ මාළු අල්ලන්නට ඉඩ ලැබෙන අතර ඇතැම් ප්‍රාන්ත වල නිශ්චිත සතියක් හෝ සති අන්තයක් තුළ බලපත්‍ර නොමැතිව මෙසේ මාළු අල්ලන්නටද ඉඩ ලැබේ. එහෙත්, මේ මාළු ඇල්ලීම මාළුවාගේ ප්‍රමාණය දක්වාම තවදුරටත් නියාමනය කෙරී ඇති අතර නිශ්චිත තරමකට ලොකු වී නැති මාළු අසුවුවහොත් ඔවුන් නැවත වතුරට දැමිය යුතුය. මෙය මාළු ගහණය ස්ථිරව පවත්වා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයකි.


මා පෞද්ගලිකව දන්නා, දරුවන් සමඟ නිතර මාළු අල්ලන්නට යන ඇතැම් ඇමරිකානු මිතුරෝ ඉහත පරිදි අසුවන කුඩා මාළුන් පමණක් නොව, ලොකු මාළුන් පවා අසු වූ වහාම කරන්නේ බිලී පිත්තෙන් මුදා නැවත වතුරට දැමීමයි. දවස පුරාම මාළු අල්ලන ඔවුන් හවසට ගෙදර එන්නේ හිස් අතිනි. මේ හැසිරීමට හේතුව ආගමික එකක්යැයි කිව නොහැකිය.

මගේ දරුවන්ගේ මිතුරන් ඔවුන්ගේ පවුල්වල අය සමඟ කරන ක්‍රියාකාරකම් වල නිරත වන්නට මගේ දරුවන්ද කැමතිය. එහෙත්, කවර හෝ හේතුවක් නිසා මාළු අල්ලන්නටනම් ඔවුන් කැමතිම නැත. එහෙත්, ඔවුන් හැදී වැඩී ඇත්තේ මා හැදුණු ආකාරයේ සංස්කෘතික වටපිටාවක නොවේ. මෙය පිං පවු මත පදනම් නොවූ, සත්ත්ව හිංසනයට ඇති කිසියම් ස්වභාවික අකැමැත්තකි.

14 comments:

  1. අතේ මුදල් ගැවසෙනවනම් මස් කෑමට සතකු මරා හැකියාව තිබුනත් කඩෙන් මස් මිලදී ගැනීමට ඇති ඉඩ වැඩි, අසීරුවෙන් ජිවත් වූ ගැටවර කාලේ අපි ගෙදර ඇති කළ කුකුලුන් මැරුව, ඒ වගේම අසල ගැවසුණු තලගොයින් සහ වලිකුකුලුන් දඩයම් කර තියෙනවා, ගමේ මන්දපෝෂණය සුලබ වූ එකල ළමුන්ගේ පෝෂණයට සහ බුද්ධි වර්ධනයට මස් මලු කිරි බිත්තර අවශ්‍ය බව අම්ම නිතර කිවා වගේම මස් සපයා ගැනීම දිරිමත් කළ, එකම තහංචිය වුනේ පෝයදාට එසේ නොකිරීමයි. දැන් තඩි තලගොයේක් මහගෙදර බිත්ති උඩ වාසය කරනවා, වත්තේ ලොකු තලගොයි කීපදෙනෙක්ම යහතින් ඉන්නවා, කුකුල්ලු කිරි හරක් ඇති කරන්න කිසි උනන්දුවක් නෑ, අම්ම සතියට වරක් පොලේ ගිහින් එනකොට කුකුල් මස් ගෙනවා.
    දැන් වියාපාරයක් වශයෙන් සතුන් ඇති කරන අය හැර වෙනත් සතුන් මරණ අය ලංකාවේ නැති තරම්, මම මෑතකදී රක්ෂිතයක් ආශ්‍රිතව සමීක්ෂණයකට සම්බන්ද වුණා,එහි ප්‍රසිද්ධ දඩයම් කරුවන් සියල්ල හමුවුනා, ඔවුන් සතු හොර තුවක්කු තවම තිබුනත්, පෙරට වඩා වන සතුන් බහුල වුනත් දැන් ඔවුන් කිසිවෙකුත් දඩයම් කරන්නේ නෑ, ඔවුන්ට මස් ඕන වුනොත් කඩෙන් කුකුල් මස් ගෙනව, වාරයට මීපැණි රැස් කිරීමේ පමණක් කරනවා, පෙරට වඩා වැඩි ආගමික නැබුරුවක් ඇතිවීම එයට ප්‍රමුක හේතුව බව ඔවුන් කීවත්, වයසට යෑම නිසා අසනීප වීම, රැකියාවේ නියුත් දරුවන්ගෙන් වියදමට මුදල් ලැබීම, උත්සව සඳහා දඩමස් ඇනවුම් නොලැබීම, දඩයමක් කලොත් ගමේ ගමබට්ටෝ හරහා පොලිසිය ඒ දඩයම දහගැනීම ගැනීම, දඩයමට දක්ෂ තරුණයන් බිහි නොවීම වැනි කරුනුත් හේතුවන බව පෙනී ගිය.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔබේ විග්‍රහය සෑහෙන දුරට පිළිගත හැකි එකක්!

      Delete
    2. Nutman,

      Agree with you...:)

      Delete
    3. මගේ අදහස නම් දඩයමට ඉඩ දිය යුතුයි.දැන් තියෙන නීති ඒ සදහා සංශෝධනය කරන්න ඕනේ.වල් ඌරෝ මරන්න,ලග තියා ගන්න පුළුවන් හැබැයි විකිණීම,ප්‍රවාහනය තහනම්.

      අනිත් එක මිනිස්සු දඩ මස් කන්න අකමැති නැහැ.වන්දනාවේ යන මිනිස්සු හොයන්නෙත් දඩමස්.දැන් ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වැඩියෙන් පාලකයෝ ආගමික භක්තියක් මවාගෙන වැඩ කරන නිසා තමයි මේ වගේ නීතිවලින් මෙච්චර මිනිස්සු හිර කරන්න යන්නේ.

      Delete
  2. ඔබගේ බ්ලොග් එක ඇඩ් කරන්න මාතලන්ගේ සින්ඩියට. ඒක තමයි ගොඩක් දෙනෙක් භාවිතා කරන සින්ඩිය. මාතලන්ට ඊමේල් එකක් දාන්නකෝ ඔබගේ බ්ලොග් එක ගැන කියලා. ඊට පස්සේ ගොඩක් හිට්ස් වැඩිවෙයි.

    ReplyDelete
  3. ඔබගේ පෝස්ට් වල නොදන්නා දෙයක් ඉගෙනීමට අවස්ථා තිබෙනවා. එම නිසා එෆ්බී පිටුවක් හරහා අළුත් පෝස්ට් වලට ලින්ක් දීම හොඳ යැයි යෝජනා කරනවා. මම මෙය පටන් ගත් පසු දුටු දෙයක් තමයි 50% කට වඩා කියවන්නන් එන්නේ එෆ්බී හරහා බව.

    ReplyDelete
    Replies
    1. එය මම කලක සිටම කරනවා, ඉයන්! මගේ කියවන්නන් විශාල ප්‍රමාණයක් මෙහි එන්නේ ඒ ලින්ක් හරහා.

      Delete
  4. ඒක එතිකල්ද යන්න පිලිබඳව මගේ ලොකු සැකයන් තිබුනට මං මස් කන්න කැමතියි.
    සතුන් මරණ ක්‍රම බොහෝමයකට අකමැතියි.

    මං වේදනා අඩු (ප්‍රායෝගිකව කල හැක්කේ එපමණයි ) ඝාතන තියන රටකට ගියහම ආසාවෙන් හරක් මස් කනවා, ලංකාවෙ හරක් මස් කනකොට ගිල්ටි හිතෙනවා එනිසා වැලකෙනවා බොහෝවිට. මුව/ගෝන මස් කන්නෙ නෑ. වල් ඌරු මස් කනවා. හේතුව වඳවීමේ තර්ජනය ඌරන්ට නොතිබීම. මරණ ක්‍රම ගැන ගිල්ට් එක තියෙනවා.

    මාලුන්ට කෑගහන්න පුලුවන් වුනා නම් තිබුන නම් මාලු අල්ලන එක angling ඒ තරම්ම රිලැක්සින් හොබී එකක් නොවෙන්න පුලුවන් ??

    ReplyDelete
  5. /* ටික කලකට පෙර රසිකොලොජිස්ට් විසින්ම ඔහුගේ වියුණුවට පාඨකයින් පැමිණෙන ප්‍රධාන ප්‍රවේශ මාර්ග පිළිබඳ සංඛ්‍යාලේඛණ පළ කර තිබුණේය. මේ ලිපිය හොයාගන්නට අපහසු වුවත්, එම ලැයිස්තුවේ හැලපකඩේ හා ඉකොනොමැට්ටා වැනි වෙනත් බ්ලොග් අඩවි කිහිපයක්ද තිබුණේය. */

    මෙන්න ඒ ලිපිය
    https://rasikalogy.blogspot.com.au/2017/07/facebook-blogging-and-i.html

    !

    ReplyDelete
    Replies
    1. මා ලිපි දෙකක් පමණක් ලියූ අදින් අවසන්වන තිස් දවසක කාලය තුළ පිවිසුම් ප්‍රතිශතයන් මෙසේ ය.
      ෆෙස්බුක් 43%
      ගූගල් 46%
      කොට්ටු 4%
      ඉකොනොමැට්ටා 2%
      W3ලංකා 2%
      අඹ ගහ 2%

      Delete
    2. බොහොම ස්තුතියි, රසික!

      Delete
  6. මට නම් මාලුවෙක් මරන්නත් පුලුවන් වෙන කෙනෙක් මරනවා බලන්න ඉන්නත් පුලුවන්..(වෙන ඕනම සතෙක් මරන්නත් මරනවා බලන් ඉන්නත් මට පුලුවන් ), හැබැයි කෙනෙක් තමන්ගේ හුස්ම ගැන අවධානය යොමු කරන්න පොඩි කාලේ ඉඳලා හුරු වෙනවා නම් හුස්ම හිර කරලා ජීවයක් නැති කරන්න හිතන්නේ නැහැ... අවබෝධය වැදගත් නිකන් කොහේ හරි කවුරු හරි කිව්ව නිසා සත්තු මරන්නේ නැතුව ඉන්න එකට වඩා.. තමන්ට අනිත් කෙනාව දැනීම වැඩි කරගන්න මනස හුරු කරනවා නම් ගොඩක් දේ අවබෝධ වෙනවා..

    සත්තු ඕන නැ, පොල් ගෙඩියක් බිඳින්න පුලුවන් ද ඒ ඇතුලේ තියෙන්නේ පොල් පැළයට ජීවත් වෙන්න ඕන කරන පරිසරය විනාස කරනවා කියන අදහස එන්නේ නැතුව හිතට..

    මාලු මරන්න පුලුවන් උනාට මම මාලු කන්න ආස නැහැ...

    ReplyDelete
    Replies
    1. පොල් ගෙඩිය බිඳින කොට එහෙම හිතුනට මම සම්බෝල කන්න ආසයි...

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget