වෙබ් ලිපිනය:

Monday, February 12, 2018

මැතිවරණ ප්‍රතිඵල- කොළඹ දිස්ත්‍රික්කය

පළාත් පාලන මැතිවරණයේ නිල ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර අවසානය. මේ මැතිවරණය මැතිවරණ කොමිසම පිහිටුවීමෙන් පසු පැවැත්වූ ප්‍රථම මැතිවරණයයි. මැතිවරණය සාමකාමී හා සාධාරණ ලෙස පැවැත්වුණු බව පොදුවේ පිළිගැනෙතත් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදීනම් කොමිසම එතරම්ම කාර්යක්ෂම නොවූ බව පැහැදිලිව පෙනුණු කරුණකි.

මේ මැතිවරණය පැවැත්වුණේ අලුත් හා ඉතා සංකීර්ණ ක්‍රමයකටය. මැතිවරණ ක්‍රමය අනුව කිසියම් පළාත් පාලන ආයතනයක් සඳහා තේරීපත් වන නියෝජිතයින් කවුද යන්න පමණක් නොව කොපමණද යන්නත් ප්‍රතිඵල පිටවන තුරු දැනගත නොහැකි වීම විශේෂත්වයකි. උදාහරණයක් ලෙස කොළඹ මහ නගර සභාව සඳහා නියමිත මන්ත්‍රීධුර ගණන 110ක් වුවත්, මෙවර මැතිවරණයෙන් මන්ත්‍රීවරු 119ක් තේරී පත් වී සිටිති. මේ අයුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වැඩිපුර තේරීපත් වී ඇති මන්ත්‍රීවරුන් ගණන 29කි.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව එක් එක් ආසනයේ වැඩිම ඡන්ද ලබාගත් පක්ෂ දැක්වෙන සටහනක් වේගයෙන් සංසරණය විය. එහෙත්, රටම එක් මැතිවරණ කොට්ඨාශයක් ලෙස සැලකෙන ජනාධිපතිවරණයකදී එවැනි සිතියමක ලොකු තේරුමක් තිබුණේ නැත.

මෙවරද එවැනිම සිතියම් දකින්නට ලැබේ. මේ සිතියම් පාට කර තිබෙන්නේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශ අනුවය. එහෙත් ඇත්තටම මේ සිතියමේද වැඩි තේරුමක් නැත. අලුත් මැතිවරණ ක්‍රමය අනුව කිසියම් පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක වැඩිම ඡන්ද ලබාගත් පමණින් එහි බලය පිහිටුවිය නොහැකිය.

අලුත් මැතිවරණ ක්‍රමය සමානුපාතික හා කොට්ඨාශ ක්‍රම වල මිශ්‍රණයක් වුවත් මේ කොට්ඨාශයක් යනු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත පිහිටි කුඩා ප්‍රදේශයකි. එවැනි එක් එක් කොට්ඨාශය වෙනුවෙන් වැඩි ඡන්දයෙන් නියෝජිතයින් තෝරා ගැනුණේය. අලුත් මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමේ අරමුණ වුනේම මේ අයුරින් කොට්ඨාශයකට නිශ්චිත මන්ත්‍රීවරයෙකු තෝරා පත් කර ගැනීමට ඉඩ සැලසීමයි. මට අනුව, මෙය අලුත් මැතිවරණ ක්‍රමයේ පැවති ප්‍රධානම සාධනීය අංගයයි.

මැතිවරණය ක්‍රමයට ගැලපෙන පරිදි මේ එක් එක් කොට්ඨාශය තුළ වෙන වෙනම ඡන්ද ගණන් කිරීමද සිදුවිය. අදාළ ඡන්ද ප්‍රතිඵල මාධ්‍ය වෙතද ලැබී ඇති අතර ඇතැම් වෙබ් අඩවි හරහාද දැක බලාගන්නට පුළුවන. එහෙත්, මේ කොට්ඨාශ ප්‍රතිඵල මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. මැතිවරණයට පෙර මා අපේක්ෂා කළ පරිදි මේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වූවානම් ලංකාවේ ඡන්දදායකයින්ගේ හැසිරීම පිළිබඳ විස්තරාත්මක තොරතුරු රැසක් දැක බලාගන්නට ඉඩ තිබුණේය. වඩා තේරුමක් ඇති සිතියමක් වන්නේ මේ එක් එක් කොට්ඨාශය නියෝජනය කරන මන්ත්‍රීවරයාගේ පක්ෂය දැක්වෙන සිතියමකි.

අලුත් මැතිවරණ ක්‍රමයේ වැදගත්ම අංගය එක් එක් කොට්ඨාශය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සිටීම වුවත්, මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේදී මැතිවරණ කොමිසම විසින් මේ කරුණ නොසලකා හැර තිබුණේය.

අලුත් ක්‍රමයකට පැවැත්වෙන මැතිවරණයකට මුහුණ දීම අභියෝගයක් වුවත් මැතිවරණ කොමිසමට ඒ සඳහා නිසි පෙර සූදානමක් තිබුණේද යන්න සැක සහිතය. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදී සාමාන්‍යයෙන් පෙර මැතිවරණ වලදී දැකිය නොහැකි වූ තරමේ අත් වැරදි දකින්නට ලැබුණේය. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කරන නිල වෙබ් අඩවියට දැන් පිවිසුනත් ලංකාවේ කොහේවත් නැති "මීගමුව දිස්ත්‍රික්කයේ" පළාත් පාලන ආයතන වල ඡන්ද ප්‍රතිඵල බලාගන්නට පුළුවන. මුලින්ම ප්‍රකාශයට පත් කළ ඡන්ද ප්‍රතිඵල තුනෙන් එකක් වූ කිරින්ද-පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ නිල ප්‍රතිඵල ලේඛණයේ වූ වැරදි නිවැරදි කරමින් මේ වන විට අලුත් ප්‍රතිඵල ලේඛණයක් නිකුත් කර තිබේ. තවත් මෙවැනි අත්වැරදි කොපමණ ඇත්දැයි කිව නොහැක.

මැතිවරණ ප්‍රතිඵලය තේරුම් ගන්නටනම් එක් එක් පක්ෂය ලැබූ ඡන්ද, මන්ත්‍රීධුර මෙන්ම කොට්ඨාශ ජයග්‍රහණ ගැනද විමසිය යුතුය. පහතින් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය හා අදාළ එවැනි දත්තයි.





පළාත් පාලන මැතිවරණයයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 521,656 ක් ලබාගෙන ඇති අතර මේ ප්‍රමාණය 2015 මහමැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද 474,063 ට වඩා 47,593කින් වැඩිය. එහෙත්, 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද 562,614ට වඩා 40,958කින් අඩුය.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ඡන්ද 725,073 ක් ලබාගත් අතර මහ මැතිවරණයේදී එජාපය හා ජවිපෙ එකතුව ගත් ඡන්ද ප්‍රමාණය 722,134කි. මේ අනුව, ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ලද ඡන්ද මහමැතිවරණය වන විට කොටස් දෙකකට බෙදෙනු හැර වෙනත් වෙනසක් සිදු නොවුණු බව පැහැදිලිය.

මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත්තේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා 88,551ක් අඩුවෙනි. ඒ අතරම භාවිතා වූ මුළු ඡන්ද ප්‍රමාණයද 87,461කින් අඩු විය. මේ අනුව, ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලැබූ ඡන්ද 88,000ක් පමණ මහමැතිවරණදී භාවිතා නොවූ බව සිතිය හැකිය. මේ ඡන්ද වලින් අඩකට වඩා මඳක් වැඩියෙන් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නැවත ලබාගෙන තිබේ. ඒ අනුව, වලංගු ඡන්ද සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත.

අනෙක් අතට එජාපය විසින් මෙවර කොළඹින් ලබාගෙන ඇත්තේ ඡන්ද 410,522ක් පමණි. මෙය ඉතාම අඩු ඡන්ද ප්‍රමාණයකි. රනිල් වික්‍රමසිංහ අවසන් වරට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ 2005දී කොළඹින් ඡන්ද 569,627ක් ලබාගත් අතර, මහින්ද රාජපක්ෂ යුද්ධය නිමවා අති විශිෂ්ඨ මැතිවරණ ජයක් වාර්තා කළ 2010දීද සරත් ෆොන්සේකා ඡන්ද 533,022ක් ලබාගත්තේය. මෙවර සිදුව ඇත්තේ එජාප ඡන්ද වල පෙර නොවූ විරූ නාය යාමකි.

පසුගිය මහ මැතිවරණයේදී (මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද වලින් ජවිපෙ ඡන්ද ඉවත් වීමෙන් පසු) එජාපය ඡන්ද 640,743ක් ලබා ගත්තේය. ඒ අනුව, පසුගිය වසර තුනක කාලය තුළ කොළඹින් පමණක් එජාපයේ ඡන්ද 230,221ක් අඩු වී ඇත. පොදුජන පෙරමුණට මෙතරම් ඉදිරියට එන්නට හැකි වී තිබෙන්නේ ඔවුන්ගේ ඡන්ද වැඩි වූ නිසා නොව එජාපයේ ඡන්ද මේ තරමටම අඩු වූ නිසාය. මේ ඡන්ද වලට සිදුවුණේ කුමක්ද?

කොළඹින් මෙවර එජනිසය විසින් ලබාගෙන ඇති මුළු ඡන්ද ගණන 134,147කි. ජවිපෙ ඡන්ද ප්‍රමාණය 23,316කින්ද, වෙනත් පක්ෂ වල ඡන්ද 58,696කින්ද ඉහළ ගොස් තිබේ. මේ සියල්ලම එජාපය විසින් මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද ලෙස සැලකුවත් තවත් ඡන්ද 14,000ක පමණ අඩුවක් තිබේ. පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය 47,000කින් පමණ ඉහළ ගියත්, වලංගු ඡන්ද වැඩිවී තිබෙන්නේ 33,000කින් පමණ නිසා ඉතිරිය මෙවර භාවිතා නොවුණු එජාප ඡන්ද විය හැකිය. එජනිසයට, ජවිපෙට හා වෙනත් පක්ෂ වෙත විතැන් වුනු හෝ භාවිතා නොවුණු එජාප ඡන්ද 230,000න් වැඩි ප්‍රමාණයක් ජනාධිපතිවරණයේදී ආකර්ෂණය වූ පාවෙන ඡන්ද විය හැකි වුවත් එජාපයේ පසුගිය ඡන්ද පදනම් දෙස බැලූ විට එජාපයේම ඡන්ද වලින්ද යම් කොටසක් එජාපය විසින් මෙවර අහිමි කරගෙන ඇති බව පෙනේ. මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු පළාත් පාලන බල ප්‍රදේශයකින් 50% ඉක්මවා ඡන්ද ලබාගන්නට එජාපය සමත් වී නැත.

එජාපයේ මේ පෙර නොවූ විරූ පසුබෑම හමුවේ පොදුජන පෙරමුණ කොළඹින් පවා මුල් තැනට පැමිණියත් ඔවුන්ටද 50% ඉක්මවන්නට හැකිව තිබෙන්නේ ආයතන බල ප්‍රදේශ හතරකදී පමණි.

අලුත් මැතිවරණ ක්‍රමය අනුව කිසියම් ආයතන බල ප්‍රදේශයක කොට්ඨාශ සියල්ලේම හෝ ආසන්න ගණනක මුල් තැනට පැමිණෙන පක්ෂයට හෝ කණ්ඩායමට විශේෂ වාසියක් ලැබේ. මේ වාසිය ලබමින් එජාපය ආයතන දෙකකත්, පොදුජන පෙරමුණ ආයතන හයකත් බහුතර බලය ලබා ඇති නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ ඉතිරි පළාත් පාලන ආයතන පහක බහුතර බලය කිසිදු පක්ෂයකට ලැබී නැත. මේ ඇතැම් ආයතන වල බලය පිහිටුවීමේ තීරක බලය එජනිසය සතුව ඇත.


7 comments:

  1. දේශපාලන පක්ෂ තුල බිම්මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොපැවතීම ලොකුම ගැටලුවක්, කිසිදු දේශපාලන පක්ෂයක බිම් මට්ටමේ ශාඛා වල නියෝජිතයන් තේරීමට ජන්ද පැවැත්වෙන්නේ නැහැ, ජන්ද ලැයිස්තුවට එකතුවෙන්නට හැක්කේ බලවතුන්ගේ නෑදෑයන්ට සහ බත්බැලයනටම පමණි. මා දන්නා සිය රැකියාවල දී ඉහල සර්ථතකත්වයක් ලබා තිබු මෑතකදී විශ්‍රාම ගිය කිහිප දෙනෙකුම බිම් මට්ටමේ දේශපාලනයට එක්වීමට උත්සහදරුවත් එතැන් වල අරක්ගත් දුෂකයන් ඔවුන්ව කපා දැමුවා. ජවිපෙ එවන් අය පසු පස හම්බා ගියත්, ජවිපෙ නායකයන්ගේ මතයට හිස නොනැමූ පළමු අවස්ථාවේම ඔවුන්ව හලා දමනවා.

    ReplyDelete
  2. හම්මේ.. ඔලුව අවුල් වෙන සීන් එකක්.. :))) ඔක්කොම පැරදී කියල මම නම් හිතාගෙන ඉන්නේ..

    ReplyDelete
  3. //මා නම් එක එක ප්‍රතිඵල විස්ලෙසොන කරන මාර අර්ථකතන දිහා බලාගෙන පට්ට ආතල් එකක් ගන්නවා... බැලුවාම එකෙක්කත් පැරදිලා නෑ - මාතලන්///

    X 2

    අපි 2015 ජනවාරි 8 අරමුණු වෙනුවෙන් විශ්වාසය තැබුවේ මෛත්‍රීපාල මත නොව එජාප UNP මතය. අප එජාප UNP සලකන්නේ අපගේ දේශපාලන අරමුණ සමග සමපාතවූ ව්‍යාපාරයක් ලෙසය. රටේ තිබෙන දේශපාලන පක්ෂ අතරින් සාපේක්ෂව ඉදිරිගාමී ලෙස සමාජ සංවර්ධනයට දායක වීමේ වැඩි හැකියාවක් මෙම මොහොතේ තිබෙන්නේ එජාපටය. අපි ඒවාට පටහැණි UNP දූෂණ, අක්‍රමිකතා ආදිය විවේචනය කිරීමෙන් වළකින්නට එය හේතුවේ. රනිල් හා ඔහුගේ ගෝලබාලයන් UNP අපේක්ෂකයන්ට එකාට ලක්ෂය බැගින් බෙදා දුන්න හුඟක් එවුන් මේ ලක්ෂයෙන්ද ගානක් ගහගත්හ. UNP අපේක්ෂකයන්ට ලක්ෂය බැගින් දීපු එක හොඳයි. UNP උන් වත් ටික කාලෙකට හරි අතමිට සරුකර ගනීවි. රනිල් හා ඔහුගේ ගෝලබාලයන් UNP රු. කෝටි 15ක් දී UNP election campaign දැන්වීම් හදා ගත්තේ ය. දිලිත් ජයවීර සල්ලි ටික අරගෙන Ad ගහලා දීලා අමුණුගම තාත්තයි දුවයි දෙන්නත් එක්ක එකතුවෙලා තුන්දෙනාම මහින්දට චන්දෙ දාන්න ඇති.

    ReplyDelete
  4. Dear Econo,

    /// Sri Lankan asylum seeker, who is an LTTE suspect, has been ordered for deportation next week, despite the UN requesting Australia not to move him while it investigates whether he will be tortured if he is returned, the Guardian reported on Monday. "Shantaruban" has arrived in Australia by boat in 2015 and has remained in immigration detention since. But Shantaruban was initially reluctant to reveal his connection to the Tigers when he arrived in Australia seeking asylum because he feared he would face deportation or punishment.

    There have been widespread reports of the mistreatment and torture of prisoners by Sri Lankan security forces, including the systematic use of rape, the Guardian reported.

    The Sri Lankan government has consistently denied mistreatment is occurring.///

    What do you think about this issue? Why Sri Lankan government killing & torturing innocent Tamil civilians like this after 10 years of ending war? Isn't it terrible situation?

    ReplyDelete
  5. ආණ්ඩුවේ පක්‍ෂවල ඡන්ද අඩු වීමට එක් හේතුවක් නම් අරක්කු මිල ඉහළ දැමීම බව පැවසසෙනවා!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: