වෙබ් ලිපිනය:

Sunday, February 18, 2018

මැතිවරණ ප්‍රතිඵල හා නිර්මිත යතාර්ථය

කූඹියෝ ටෙලි නාට්‍යය තවමත් අවසන් වී නැතත් එය අවසන් වෙන්නට තවත් ඇත්තේ කොටස් කිහිපයක් පමණක් විය යුතුය. ටෙලිනාට්‍ය රචකයා විසින් මේ වන විට කිහිප වරක්ම ප්‍රේක්ෂකයින්ව කරකවා අතහැර තිබේ. තමන් නරඹන්නේ ටෙලිනාට්‍යයක් බව මේ නරඹන්නන් "දන්නා" නිසා කතාවේ පෙර කොටස් නරඹද්දී තමන් "දැන සිටි" දේවල් ඇත්ත නොවන බව, එසේ නැත්නම් කවදාවත්ම ඇත්ත නොවූ බව, ඔවුන්ට පසුව තේරේ.

ඊයේ විකාශනය වූ කූඹියෝ ටෙලිනාට්‍යයේ 51 වන කථාංගයෙහි ජෙහාන් ප්‍රියන්තට මෙසේ කියයි.

"උඹ ඔය දකින ගොඩක් දේවල් ඇත්ත නෙමෙයි!"

කූඹියෝ ටෙලිනාට්‍යයේ ඉහත කථාංගය විකාශනය වන විට ලංකාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වී සතියක් ගතවී තිබේ. එහෙත්, පසු මැතිවරණ කම්පන තරංග වල තීව්රතාව තවමත් අඩු වී නැත. තවමත් එළියට නොපෙනෙන පුංචි මැතිවරණයේ ලොකු ප්‍රතිඵල අපට ඉදිරියේදී දකින්නට හැකි වනු ඇත.

පෙනෙන්නට ඇති පරිදි මැතිවරණයෙන් පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් ලබා තිබේ. මාධ්‍ය වාර්තා අනුව පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන ආයතන 231ක් හෝ වැඩි ගණනක් ජයගෙන ඇති අතර ඒ බව විදහා දැක්වෙන සිතියම් මාධ්‍ය වල පළවී තිබේ. මේ සිතියම මේ වන විට විකිපීඩියාවේද දැකිය හැකිය. එහෙත්, ඇත්තටමනම් පොදුජන පෙරමුණට බහුතර බලය ලැබී තිබෙන්නේ පළාත් පාලන ආයතන 121ක හෝ ආසන්න ගණනක පමණි. පළාත් පාලන ආයතන 340න් 200කටත් වැඩි ගණනක කිසිදු තනි පක්ෂයකට බහුතර බලය ලැබී නැත. ඒ පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම තීරණය වන්නේ පක්ෂ හා කණ්ඩායම් සන්ධානගත වන ආකාරය අනුවය.

ඉහත කරුණ බොහෝ දෙනෙකුට රහසක් නොවූවත්, මහින්ද පාක්ෂිකයින් හා මහින්ද විරෝධීන් වෙනසක් නැතිව විශාල පිරිසක් විසින් විශ්වාස කරන දෙවන බොරුව වන්නේ පොදුජන පක්ෂය විසින් 45%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති බවයි. "දි ඉකොනොමිස්ට්" වැනි සඟරා හරහා බටහිර ලෝකය වෙත සම්ප්‍රේෂණය වෙමින් තිබෙන්නේද මේ නිර්මිත යථාර්තයයි. එහෙත්, ඇත්තටම මේ ප්‍රතිශතය 40.5%කට පමණ වඩා වැඩි නැත. පොදුජන පෙරමුණේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම් හා පක්ෂ විසින් ලබාගත් හා එම පක්ෂය තරඟ කළේනම් ලබන්නට තිබූ ඡන්ද ප්‍රමාණයද ප්‍රතිශතයක් ලෙස 0.6-0.8% නොඉක්මවයි.

මාධ්‍ය වල පළවී ඇති ප්‍රතිශත ගණනය කර තිබෙන්නේ පොදුජන පෙරමුණ, එජාප, එජනිස හා ශ්‍රීලනිප, ජවිපෙ හා ඉලංගෛ තමිල් අරසු කච්චි යන ප්‍රධාන දේශපාලන පක්ෂ හා සන්ධාන පහ හැර අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් විසින් ලබාගෙන ඇති ලක්ෂ 12කට ආසන්න ඡන්ද ප්‍රමාණය නොසලකා හරිමිනි.

මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ලෙස බොහෝ දෙනා දන්නා දේ තනිකරම නිර්මිත යථාර්තයකි. එහෙත් ඒ මත පදනම්ව මේ මොහොත වන විටත් ඉතා වැදගත් දේශපාලන තීන්දු ගැනෙමින් පවතී. ලංකාවේ මහ පොළොවේ දේශපාලනයට තීරණාත්මක බලපෑමක් සිදුවිය හැකි දේ ලියන්නට අප අකැමැති නිසා මේ ගැන වැඩිපුර කතා කරන්නට කැමති නැතත්, කාලයක් යද්දී මේ නිර්මිත යථාර්තය "සැබෑ" යතාර්ථය බවටත්, ඉතිහාසය බවටත් පත් වනු ඇත.

මෙහිදී නිර්මිත යතාර්ථයක් ගැන අප කතා කරන්නේ සැබෑ යතාර්ථයකට සාපේක්ෂව නොව තවත් නිර්මිත යතාර්ථයකට සාපේක්ෂවය. ඒ මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇති නිල මැතිවරණ ප්‍රතිඵලයි. අප දන්නා තරමින් කිසියම් හේතුවක් නිසා ආනමඩුව ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත් කර නැති අතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශිත නිල ප්‍රතිඵලය සංශෝධනය කර නැවත ඉදිරිපත් කර තිබේ.

පළාත් පාලන ආයතන දහයකටත් වැඩි ගණනක නිල ප්‍රතිඵල වල මේ වන විටත් බැලූ බැල්මටම පෙනෙන වැරදි දැකිය හැකිය. නිවැරදිම ප්‍රතිඵලය දැක ගන්නටනම් මේ වැරදිද නිවැරදි විය යුතුය. එවිට අපට දැකිය හැකි වනු ඇත්තේ සැබෑ යතාර්ථයද? ඡන්ද ප්‍රතිඵල වලින් පිළිබිඹු වන්නේ ඡන්දදායකයින්ගේ "සැබෑ" කැමැත්තද?

ප්‍රියන්ත, උඹ ඔය දකින ගොඩක් දේවල් ඇත්ත නෙමෙයි!

10 comments:

  1. මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ලෙස බොහෝ දෙනා දන්නා දේ තනිකරම නිර්මිත යථාර්තයකි.

    ඔබ හරි කියා මටත් සිතේ

    ReplyDelete
  2. මොන පඹයෙක් දැම්මත් දිනනවා...කියල ගොඩක් අය කියනවා

    ReplyDelete
  3. Your attempt to make you feel happy is great!

    ReplyDelete
  4. හං හං හා... ලංකාවේ පළාත් පාලන මැතිවරණය පැවැත් වූ 11 රාත්‍රියේ සිට උඩ පැන නැටූ මහින්දගේ බත් බැලයන්ට මාගෙ සාතිශය සංවේගය පළ කරන අතරම විනාඩි දෙකක නිශ්ශබ්දතාවක්ද පවත්වමි. අද රෑට කොට්ටෙට චූ කරල බුදියගනියව්.

    මහින්ද ඇමතිකම් හිගා කාල ලැජ්ජා නැහැ. මහින්ද රාජපක්ෂ ඇමතිකම් දෙකක් ඉල්ලලා . වරාය එයාට, විදේශ පුතාට....

    ලැජ්ජයි..... ලැජ්ජයි..... ලැජ්ජයි..... ලැජ්ජයි.....

    හිටපු ජනාදිපති කෙනෙක් නේද?

    ReplyDelete
  5. හිත හැදෙන කථා !!!

    "මේ නිර්මිත යථාර්තයයි. එහෙත්, ඇත්තටම මේ ප්‍රතිශතය 40.5%කට පමණ වඩා වැඩි නැත".
    - මේ වගේ හාමුගේ ප්‍රතිශතයත් දැම්මනම් හොඳයි නේද (this shows your Subconscious bias) ?

    ReplyDelete
  6. හිතවත් ඉකොනොම්මැට්ටා,

    ඔබ දන්නවද මේ 2018 පළාත් පාලන මැතිවරණය නව ශ්‍රී ලංකා මැතිවරණ වාර්තාවක් තබා ඇති බව?

    එනම් 1947 සිට මේ දක්වා සියලු පළාත් පාලන මැතිවරණ බ්ලයේ සිටින ආණ්ඩුව විසින් ඉතා ඉහළින් සහ පහසුවෙන් දිනුවත් මෙවර අලුත් පක්ෂයක් වූ පොහොට්ටු කල්ලිය ඉන්දියාවේ ආම් ආද්මී මෙන් මැතිවරණ ප්‍රතිඵල උඩු යටිකුරු කර තිබේ.

    මෙහි ඔබ කළාක් මෙන්ම ඡන්ද ප‍්‍රතිඵලය ගැන කෙරෙන විවිධාකාර විසුළු විකාර විග‍්‍රහයන් තමන්ගේ අච්චුවට දමා විග‍්‍රහ කිරීමට කෙනෙකු මොන තරම් පෙළඹෙන්නේද යන්න මනාව පෙන්වන තවත් විසුළු අවස්ථාවක් වන්නේ, මේ පරාජය "සයිටම් ප‍්‍රශ්නය" අරභයා මේ ආණ්ඩුව අනුගමනය කළ පිළිවෙතේ ප‍්‍රතිවිපාකයක් වශයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය විසින් හඳුන්වනු ලැබීමයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩත් මේ ඔබගේ පට්ට ආතල් විග්‍රහ වලට නොදෙවෙනි මෙවැනිම ප‍්‍රකාශයක් කර තිබේ.

    ඔහුට අනුව, "පොහොට්ටුව වෙනුවෙන් පාවිච්චි කළ ඡන්දය, ආණ්ඩු වෙනසක් ඉල්ලා පාවිච්චි කළ ඡන්දයක් මිස, මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පාවිච්චි කළ ඡන්දයක් නොවේ" ලු. පොහොට්ටුවට ඡන්දය පාවිච්චි කළ ඡන්දදායකයන් ආණ්ඩු වෙනසක් අපේක්ෂා කළ බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඔවුන් ගිය වර ජනාධිපතිවරණයේදීත් ඡන්දය ප‍්‍රකාශ කොට ඇත්තේ ද මෙලෙසින්ම ය. පළාත් පාලන ඡන්දයට මහින්ද රාජපක්ෂගේ බලපෑමක් නැතැයි කීම, කුහක කතාවක් නොවෙයි නම්, බොළඳ කතාවකි.

    ඔබ මෙහි අමතක කල පළමු කරුණ සාමාන්‍යයෙන් මහා මැතිවරණයක චන්ද ප්‍රතිපලය පළාත් පාලන චන්ද ප්‍රතිපලයක් සමග සංසන්දනය විහිළුවක් වීමයි. හේතුව සෑමවිටම පළාත් පාලන චන්දයක වැඩි වාසිය බලයේ සිටින පාලක පක්ෂයට. අනිත් කරුණ මහින්දට විරුද්ධව අගමැති ගේ බලය ඇති එජාපය, සහ විධායක බලය ඇති සිරිසේන ඇතිකළ දැඩි පීඩනය. මෙම කරුණු සලකා බැලීමේදී මහින්දගේ ජයග්‍රහණය අවතක්සේරු කරන මෙවැනි සංඛ්‍යා ලේඛන පදනමක් නැති විහිළුවක්.

    කොහොම වුණත් අලුත් මැතිවරණ ක‍්‍රමය තුළ සමානුපාතික නියෝජනය හරි තිතට ලැබෙන්නේ යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවද, මේ මැතිවරණයේදී එක් එක් පක්ෂය දිනාගෙන ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව දෙස බැලීමේදී යම් දැඩි විකෘති සහගත බවක් පෙනෙන්ට ඇති බවත් අප විසින් නිරීක්ෂණය කළා.

    දැන් උදා ලෙස, පො.ජ.පෙ. මෙවර සියයට 44.65% ක් හෙවත් 4,941,952 ක් ලබාගෙන පළාත් පාලන ආයතන 239 ක් ජයග‍්‍රහණය කොට ඇති බව කියන අතර, සියයට 32.63 ක් හෙවත් 3,612,259 ක් ඡන්ද ලබා ගත් එක්සත් ජාතික පක්ෂයට ජය ගත හැකිව තිබෙන්නේ පළාත් පාලන ආයතන 41 ක් පමණි. එනම්, පො.ජ.පෙ. දිනා ඇති ආයතන සංඛ්‍යාවෙන් අඩක්වත් දිනා ගැනීමට ඊට හැකි වී නැත. එසේම, ආණ්ඩුව කරවන පක්ෂ දෙක වශයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ලබා ගත් ඡන්ද ප‍්‍රමාණයත්, ඡන්ද ප‍්‍රතිශතයත්, පො.ජ.පෙ ලබා ගත් ඡන්ද ප‍්‍රමාණයට සහ ප‍්‍රතිශතයට වඩා වැඩි වෙතත්, ඔවුන්ට ලබා ගත හැකිව තිබෙන ආයතන සංඛ්‍යාව වන්නේ 51 ක් පමණි. ඊට වඩා අඩු ඡන්ද ප‍්‍රතිශතයක් සහ ඡන්ද ප‍්‍රමාණයක් ලබාගෙන ඇති පො.ජ.පෙ. ට, ආයතන 239 ක්ම ලැබී තිබේ.

    මෙවරත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පාවිච්චි කළ ඡන්ද ප‍්‍රමාණය, ජනාධිපතිවරණය සහ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සමග සැසඳීමේදී, මෙවර වැඩියෙන් පහළ ගොස් ඇති බව, ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු පෙන්වා දෙති. ඒක ඇත්ත, මහින්ද රාජපක්ෂ පිළ මෙවර ලබාගෙන ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ලබා ගත් ඡන්ද ප‍්‍රමාණයට වඩා අඩු ඡන්ද ප‍්‍රතිශතයක් බව ඇත්ත නමුත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව එසේ කිව නොහැක.

    පසුගිය 2015 අගෝ. පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා ගත් ඡන්ද ප‍්‍රමාණයට වඩා ලක්ෂ දෙකක පමණ වර්ධනයක් ඔහු සම්බන්ධයෙන් මෙවර පෙන්නුම් කරයි. අනිත් අතට, ආණ්ඩු බලය හොබවන පක්ෂ දෙක වශයෙන් එක්ව රාජ්‍ය බලය සහිතව ලබාගෙන ඇති ඡන්ද ප‍්‍රමාණය සහ ප‍්‍රතිශතය, පො.ජ.පෙ. මෙවර තනිව තරඟ කොට ලබාගත් ප‍්‍රමාණයට සහ ප‍්‍රතිශතයට වඩා වැඩි වෙතත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ මුළු ඡන්ද ප‍්‍රමාණයත්, ප‍්‍රතිශතයත් ඉතා බරපතල ලෙස පල්ලම් බැසීමකට ලක්ව තිබේ. එසේ වුණේ මන්ද යන්න තේරුම් ගැනීමට තවමත් එක්සත් ජාතික පක්ෂය අසමත්ව ඇති බව එජාප මාධ්‍යකරුවන්ගේ බහුබූතවලිනුත් අජිත් ධර්මකීර්ති වැනි ප්‍රබල එජාප හිතවාදීන්ගේ කෝලම් වලිනුත් මනාව පෙනේ.

    ReplyDelete
    Replies
    1. එහෙත් මෙතනදී රාජ්‍ය බලය ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ ‘‘කට විතරයි, වැඩ නැහැ’’ ප‍්‍රතිපත්තිය ඔවුන්ගේ පසුබෑමේ ප‍්‍රධාන හේතුව වශයෙන් ගත හැකිය. පසුගිය පරණ රාජපක්ෂ රෙජීම පාලන තන්ත‍්‍රයේ දූෂිතයන්ට එරෙහිව බොරුවට හඬගෑම, එක්සත් ජාතික පාක්ෂිකයන් සෑහෙන ප‍්‍රමාණයක් එම පක්ෂයට ඡන්දය දීමෙන් වළක්වාලන ලදි. එහෙත් ඔවුන් මහින්ද රාජපක්ෂට ඡන්දය පාවිච්චි කෙළේ නැත. තම පක්ෂය කෙරෙහි වන ඔවුන්ගේ කලකිරීම, හිටපු පාලකයන්ට එරෙහිව පියවර ගැනීම එක්සත් ජාතික පක්ෂය විසින් වළක්වනු ලබන්නේය යන මෛත‍්‍රීපාල සිරිසේනගේ චෝදනාව ඉදිරියේ තවත් උග‍්‍ර වන්නට ඇත.

      එමෙන්ම ලංකාවේ විශාල බුද්ධිමත් කොටසක් පසුගිය මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය සහ රාජපක්ෂ-විරෝධී කඳවුර සමග එකට සිටගත්හ. මේ ආණ්ඩුව දූෂණය දුරලමින් යහපාලනය ගෙන එනු ඇතැයි ඔවුහූ දැඩිව අපේක්ෂා කළහ. එහෙත් රාජ්‍ය බලය ලබාගත් වහාම අතිශය අශික්ශිත ලෙස වහ වහා ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුකල අති දැවැන්ත මහ බැංකු බැඳුම්කර වංචාව සිදුකිරීමත් ඊටත් වඩා එය බොළඳ ලෙස ගලේ පැහැරූ බළලුන් මෙන් යට ගැසීමට උත්සාහ කිරීමෙන් සහ ඒ හොරුන්ව ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය නින්දිත උත්සාහත් නිසා තම පාක්ෂිකයන් අතරේ පැවති විශ්වාසයත් බිඳ ගත්තේය.

      පසුගිය 2010-2014 රාජපක්ෂ රජයේ දැවැන්ත දූෂණ පිළිබඳ මතකය තවම ඇති නිසා මේ ඡන්දදායකයන් පිසිස සතුව අවසානයේ ඉතිරි වුණේ, ජනතා විමුක්ති පෙරමුණට හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡුන්දය පාවිච්චි කිරීමට හෝ ඡන්දය නොදා සිටීමට සිදු වන තත්වයකි. සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි මේ බැඳුම්කර වංචාව හරහා ගසා කා ඇති බව තමාගේ දේශපාලනික විරුද්ධවාදීන් කීමට පටන් ගත් නිසා වතුකරේ එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයන් කෙරෙහි මෙම වංචාව මොන තරම් බලපෑවේ ද යන්න අමාත්‍ය පලනී දිගම්බරම් කීවේය.

      ලාංකික බහුතර ජනතාවගේ හදවත් තේරුම් ගැනීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වීම ඔවුන්ගේ පරාජයට තවත් හේතුවක් විය. බලයට ආ සැණින්, ජීවන වියදම අඩු කිරීමේ ක‍්‍රමයක් වශයෙන් ප්ලේන් ටී එකේ සහ ආප්පයක මිල නියම කිරීමට තැත් කිරීමෙන් ඔවුන් පෙන්නුම් කෙළේ එය පොළොවේ පය ගසා නොසිටින පක්ෂයක් බව ය. ජනතාවට අවශ්‍ය වන්නේ කුමක් ද යන්න ගැන ඔවුන්ට කිසිදු වැටහීමක් නැති බව එයින් පෙන්නුම් කෙරුණි. වසර පහක දී රැකියා දස ලක්ෂයක් නිර්මාණය කිරීමට පොරොන්දු වූ ඔවුහූ පසු ගිය වසර තුනක කාලය තුළ රැුකියා 400,000 ක් සපයා ඇතැයි කීහ. එහෙත් මේ මුළු කාලය මුළුල්ලේ එක කර්මාන්ත ශාලාවක් හෝ වැඩබිමක් ඔවුන් විවෘත කොට නැත. මැතිවරණයක් සඳහා කයිවාරු සහ ලස්සන ප‍්‍රතිපත්ති එතරම් වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ, ජනතාවට සෘජු බලපෑමක් ඇති යහපත් කටයුතු සිද්ධ වීම ය. නමුත් එවැනි දෑ සිදුවුණාද කියා ඔබට පෝස්ට් එකක් මගින් දීර්ඝ වශයෙන් විස්තර කළ හැකි නම් ඉතා අගෙයි.

      Delete
    2. //දැන් උදා ලෙස, පො.ජ.පෙ. මෙවර සියයට 44.65% ක් හෙවත් 4,941,952 ක් ලබාගෙන පළාත් පාලන ආයතන 239 ක් ජයග‍්‍රහණය කොට ඇති බව කියන අතර, සියයට 32.63 ක් හෙවත් 3,612,259 ක් ඡන්ද ලබා ගත් එක්සත් ජාතික පක්ෂයට ජය ගත හැකිව තිබෙන්නේ පළාත් පාලන ආයතන 41 ක් පමණි.//
      පොදුජන පෙරමුණ හා එජාපය එක්ව දෙරණ ප්‍රධාන වූ මාධ්‍ය යොදා ගනිමින් රටක්ම රවටා තිබේ. ඔය සංඛ්‍යා 6න් එකක්වත් නිවැරදි නැත. මෙය විග්‍රහයක් නොවේ. වඩා නිවැරදි මැතිවරණ ප්‍රතිඵලයයි.

      Delete
    3. ඇත්තටම කියනවානම් රටක්ම නොව ලෝකයම රවටා තිබේ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: