වෙබ් ලිපිනය:

Wednesday, February 21, 2018

මැකෝට වැරදුණු තවත් තැන්!


පසුගිය ලිපියෙන් වැරදි නිල ඡන්ද ප්‍රතිඵල කිහිපයක් පෙන්වා දීමෙන් පසුව වැරදි ඇත්තේ මෙපමණදැයි කතා කතු විසින් විමසා ඇත.

නැත!

නිල ඡන්ද ප්‍රතිඵල වල වැරදි අපමණය. වැඩි වැඩියෙන් විමසන තරමට තව තවත් වැරදි හමුවේ. මේ වැරදි මැතිවරණ කොමිසමටම මිස අපට සිල්ලරට ගොඩ දැමිය හැකි මට්ටමක නැත. ඇතැම් ප්‍රතිඵල අදාළ පළාත් පාලන ආයතනයේ බල තුලනයටද බලපායි. සියලු නිල ප්‍රතිඵල නැවත විමර්ශනය කළ යුතුයැයි අප යෝජනා කරන්නේ එබැවිනි.

ප්‍රජාතන්ත්‍රවාදයක මූලිකම අංගයක් වන්නේ මැතිවරණයි. ඒ නිසා මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ විශ්වාසය බිඳ වැටීම සුළුපටු කරුණක් නොවේ. මේ ප්‍රතිඵල නිවැරදි නොකෙරුනහොත් ඉදිරියේදී මැතිවරණ පෙත්සම් ගණනාවක් ගොනු වන්නට ඉඩ තිබේ.

පහතින් ඇත්තේ තවත් වැරදි ගණනාවකි.

9. පොළොන්නරුව දිස්ත්‍රික්කය දිඹුලාගල ප්‍රාදේශීය සභාව: මෙහි කොට්ඨාශ ඇත්තේ 12ක් පමණක් වුවත් අංක 1 දිඹුලාගල කොට්ඨාශය සඳහා මන්ත්‍රී වරුන් දෙදෙනෙකු පත් විය යුතුය. ඒ අනුව කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන 13ක් විය යුතු වුවත්  මැතිවරණ කොමිසම නම් කර ඇත්තේ කොට්ඨාශ මන්ත්‍රීධුර 12ක් පමණි. ඉතිරි මන්ත්‍රීධුර සමානුපාතික ක්‍රමයට බෙදා හැර තිබේ. මේ කොට්ඨාශය ජයගෙන ඇත්තේ පොදුජන පෙරමුණනම් එම පක්ෂයට තවත් මන්ත්‍රීධුරයක් හිමිවිය යුතුය.

10. ගම්පහ දිස්ත්‍රික්කය -ජාඇල නගර සභාව: අංක 7 කපුවත්ත බහු මන්ත්‍රී කොට්ඨාශය සැලකූ විට කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන 10ක් විය යුතු වුවත් නම් කර ඇත්තේ 9ක් පමණි. මේ කොට්ඨාශය ජයගෙන ඇත්තේ පොදුජන පෙරමුණනම් එම පක්ෂයට තවත් මන්ත්‍රීධුරයක් හිමිවිය යුතුය.

11. මාතලේ දිස්ත්‍රික්කය -මාතලේ ප්‍රාදේශීය සභාව:  අංක 10 දොරකුඹුර හා අංක 13 අලුවිහාරය බහු මන්ත්‍රී කොට්ඨාශ සැලකූ විට කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන 18ක් විය යුතු වුවත් නම් කර ඇත්තේ 16ක් පමණි. මේ නිසා බොහෝ විට පොදුජන පෙරමුණේ මන්ත්‍රීධුරයක් අඩු වී තිබෙන්නට ඉඩ තිබේ.

12. බදුල්ල දිස්ත්‍රික්කය -හපුතලේ නගර සභාව: කොට්ඨාශ තිබෙන්නේ 7ක් පමණක් වුවත් කොට්ඨාශ මන්ත්‍රීධුර 10ක් නම් කර තිබේ. එජාප කොට්ඨාශ මන්ත්‍රීධුර 3 අත් වැරදීමක් විය හැකිය.

13. පොළොන්නරුව දිස්ත්‍රික්කය -පොළොන්නරුව ප්‍රාදේශීය සභාව: එක් කොට්ඨාශ මන්ත්‍රීධුරයක අඩුවක් පෙනේ.

14. රත්නපුර දිස්ත්‍රික්කය -බලන්ගොඩ නගර සභාව: එජාප මන්ත්‍රීධුර ගණන 3ක් නොව 6ක් විය යුතුය.

15. ගාල්ල දිස්ත්‍රික්කය -ගාල්ල මහ නගර සභාව: අංක 15 තලපිටිය හා අංක 16 මකුළුව  බහු මන්ත්‍රී කොට්ඨාශ සැලකූ විට කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන 20ක් විය යුතු වුවත් නම් කර ඇත්තේ 21ක් පමණි. පවතින බල තුලනය අනුව මෙයින් කිසිදු පක්ෂයකට අවාසියක් සිදුවී නැති වන්නට පුළුවන.

අප මේ වැරදි හොයාගෙන තිබෙන්නේ ඇල්ගෝරිදමයක උපකාරයෙන් මිස මැතිවරණ ප්‍රතිඵල එකින් එක පරීක්ෂා කිරීමෙන් නොවන නිසා අපට අපට වරකට හමු වන්නේ අප සොයන රීතියට යටත් නොවන ආකාරයේ සරල වැරදි පමණි. වෙනත් ආකාරයන්හි වැරදි, උදාහරණයක් ලෙස එක පක්ෂයකට හිමි විය යුතු මන්ත්‍රී ධුරයක් වෙනත් පක්ෂයකට ලැබී ඇති අවස්ථා වැනි දේ අප විසින් විමසා නැත.

16 comments:

  1. ජේවීපිය විසින් එක් කොට්ඨාශයක් දිනූ පානදුර සභාවේ කණ්ඩායම් ලැබූ සමස්ත ඡන්ද ප්‍රමාණ සහ මන්ත්‍රී සංඛ්‍යාවේ අවුලක් තියේ ද? එහෙම කතාවක් ජවිපෙ මැම්බර් කියා තියෙනවා දැක්කා!

    ReplyDelete
    Replies
    1. එහිනම් වරදක් පෙනෙන්නට නැහැ, රසික.

      Delete
    2. පානදුර මහනගර සභාවේ ප්‍රතිඵලය අපගේත් අවධානය දිනා ගත්තා. එහි දෙවන ස්ථානයේ පසු වන්නේ ප්‍රතික්ෂේපිත ඡන්ද මිස පක්‍ෂයක් විසින් දිනා ගත් ඡන්ද නොවේ.

      පහත විස්තර කළ ක්‍රමවේදය අනුව සළකා බැලුවොත් මන්ත්‍රී ධුර ශ්‍රේණිය සැකසෙන්නේ 5,4,3,3 (එකතුව 15 ලෙසින්). මෙහි ප්‍රථම ස්ථානයේ අලියා සිටින අතර දෙවන ස්ථානයේ සිටින්නේ ප්‍රතික්ෂේපිත ඡන්ද. නමුත් සිත් ඇද ගන්නා නිරීක්ෂණය එය නොවේ - පානදුර මහනගර සභා මැතිවරණයේ වැඩිම ප්‍රමාණයක් ඇත්තේ අප්‍රකාශිත චන්ද. එය අලියා ලබා ගත් ඡන්ද ප්‍රමාණය මෙන් 135% ප්‍රමාණයක්. ප්‍රතික්ෂේපිත ඡන්ද ද මීට එකතු කළොත් එය අලියා විසින් දිනා ගත් සංඛ්‍යාව මෙන් 208% ක්.

      පානදුරේ පොහොට්ටු නාම යෝජනා ප්‍රතික්‍ෂේප නොවුණා නම් ...

      Delete
  2. පොළොන්නරුව දිඹුලාගල මේ ම්තිවරණයේ විකෘතියපෙන්වීමට ඉකොනෝ විසින් සොයා ගත් ඉතා හොඳ නිදර්ශන්යකැයි මට සිතේ.

    එහි 3.87% ලබා ගත් ජවිපෙ එක් ආසනයක් දිනා ගෙන ඇත.
    35.15% ගත් පොහොට්ටුව ආසන 7 කුත්
    31.81% ගත් ශ්‍රීලනිප ආසන 7 කුත් දිනා ගෙන ඇත

    ශ්‍රීලනිප හා පොහොට්ටුව අතර පරතරය 3.34% කි ඒ චන්ද ප්‍රමාණය නොසලකා හැරී ඇත.

    පොහොට්ටුවෙ එක ආසනයක වටිනා කම 5.02% කි
    ශ්‍රීලනිප එක ආසනයක වටිනාකම 4.54% කි
    එජාප යේ එක ආසනයක වටිනාකම 4.70 කි

    මේ අනුව වැඩියෙන් ඡන්ද ලැබූ පක්ශයට අඩු ආසන සංඛ්‍යාවක් හා අඩු චන්ද ලැබූ පක්ෂවලට වැඩි ආසන සංඛ්‍යාවක් ලැබෙන බව පෙනෙන්නේ.
    මේ ගනනය කිරීම තවත් සභා සඳහා ගනනය කර බැලීමෙන් පැහැදිලි අදහසක් ගත හැකි වේවි..

    මේ චන්දයේදී ඇපත් අහිමි වූ කණ්ඩායම් වලට ආසන ලැබී ඇතැයි කියන චෝදනාව ගැන එකොනො සතුව යම් අදහසක් තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. පණතේ 30(4) වගන්තිය අනුව 5%ක් නොගත් පක්ෂ හා කණ්ඩායම් වල ඇප රාජසන්තක වන බව පෙනේ. එසේ නොගත් පක්ෂ හා කණ්ඩායම් ගණනාවකටම මන්ත්‍රීධුර හිමි වී ඇත. ඇත්තටම මෙය පණතේ තාක්ෂණික වරදක් කියා කිව හැකිය. කාන්තා නියෝජිතයින් සම්බන්ධව ඇති තත්ත්වය මීටත් වඩා අවුල් සහගතය.

      Delete
    2. සිතුවිළි, ඔබේ තර්කයේ පදනමේ ම දෝෂයක් තිබේ.

      නව මැතිවරණ ක්‍රමය කිසි සැකයක් නැතිවම `ගොබ්බ` ක්‍රමයකි. මෙහි අප දකින ප්‍රධානම දෝෂය පක්‍ෂ වලට පමණක් වගකියන, ඡන්දය දෙන ජනතාවට වග නොකියන පිරිසක් අතට බලය යාමයි. දෙවැන්න අතිශය මුග්ධ `කාන්තා නියෝජනය`යි. මේ දෙකම පසෙක තබමු.

      නව මැතිවරණ ක්‍රමය ගෙනෙන විට 60:40 අනුපාතයක් ගැන කතා විණි. මෙහි 60% ඒ ඒ කොට්ඨාශයෙන් (ජයගෙන) පත් වන මන්ත්‍රීවරු වේ. 40% සමානුපාතික නියෝජනය යටතේ පක්‍ෂ ලැයිස්තුවෙන් පත් කෙරේ. මේ ගැන 100% නිවැරදිව කීම පිණිස පණත කියැවිය යුතුව ඇතත්, මේ ගැන අවධානයක් ඇති පුද්ගලයෙක් වශයෙන් පණත නොකියවා දැන ගත් කරුණු මත 60:40 අප තේරුම් ගත්තේ ඉහත අයුරිණි.

      එහෙත් මැකෝ විසින් මන්ත්‍රීධුර ගණනය කරනු ලැබ තිබෙන්නේ ඉහත සූත්‍රය අනුව නොවේ. ඔහු ගණනය කර තිබෙන්නේ කොට්ඨාශ දිනා ගත් සභිකයින් එසේම තබාගෙන 40% වෙනුවට 100% සමානුපාතික නියෝජනයක් ලැබෙන පරිදිය. එනම්, 60:40 අනුපාතය පට්ටපල් බේගලයකි.

      මේ ක්‍රමය ගැන අප මෙතෙක් කියැවූ සාරගර්භම ලිපිය ලියූ ඉකොනෝමැට්ටාට අනුව පවා සමානුපාතික ක්‍රමයට පත් වන්නේ 40% කි.
      "මේ මැතිවරණයේදී මුළු නියෝජිත සංඛ්‍යාවෙන් ආසන්න වශයෙන් 60%ක් හෝ අඩු ගණනක් තේරෙන්නේ කොට්ඨාශ ක්‍රමයටය. ආසන්න වශයෙන් 40%ක් හෝ වැඩි ගණනක් තේරෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයටය. නිවැරදිම අනුපාතය මැතිවරණ ප්‍රතිඵල පිටවන තුරු හරියටම කියන්නට නුපුළුවන." --- ඉකොනෝමැට්ටා | අළුත් මැතිවරණ ක්‍රමය --> https://economatta.blogspot.com/2018/01/blog-post_10.html

      එක්කෝ අප කිසිවෙක් පනත කියවා නැත, නැතිනම් මැකෝ හා පිරිවර එය කියවා නැත. මින් සිදු විය හැක්කේ එකකි. මැතිවරණ පනත කියවා තිබීම ඉකොනෝමැට්ටාත් ඇතුළුව අප කිසිවෙකුගේ රාජකාරී අවශ්‍යතාවයක් හෝ ජිවන කුසලතාවයක් හෝ නොවන බව පමණක් කියමි.

      දැන් ප්‍රස්තුතයට එමු.

      ඉකොනෝමැට්ටා පෙන්වන සිතියම පරිදි දිඹුලාගල ප්‍රා.සභාව කොට්ඨාශ 12 කින් යුක්තය, මින් එකක් බහු මන්ත්‍රී ආසනයකි. මැතිවරණ කොමිසමට අනුව ඉහත කී දිඹුලාගල ප්‍රා. සභාවේ දිඹුලාගල බහු-මන්ත්‍රී කොට්ඨාශයට මන්ත්‍රීධුර එකක් ඇත. මන්ත්‍රීධුර එකක් පමණක් ඇත්නම් එය බහු-මන්ත්‍රී කොට්ඨාශයක් වන්නේ ඇයිද යන්න පැහැදිළි නැතත්, මැතිවරණ ප්‍රතිඵලය පැහැදිළිය.

      කොට්ඨාශ 12, පොහොට්ටුවට 7 ක්, අතට 3 ක් හා අලියාට 2 ක් වශයෙන් ජයග්‍රහණ බෙදී ගොස් ඇත. සමුච්චිත ප්‍රතිඵලය ගතහොත් ඡන්ද බෙදී යන්නේ 19,032, 17224, 15284 බැගිණි. මීට අමතරව සීනුවට 2094 ක් හා ස්වාධීන කණ්ඩායමට 509 ක් බැගින් ඡන්ද ලැබී තිබේ. එකතුව 54,143 කි. ඒ වලංගු ඡන්ද සංඛ්‍යාවට සමානය.

      ප්‍රතිශත ගණනය කෙරෙන්නේ ඉහත කී වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ඒ ඒ පක්‍ෂය හෝ කණ්ඩායම කොපමණ ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්තේද යන්න පදනම් කරගෙනයි. මැකෝගේ වගුවේ ප්‍රතිශත ද වැරදි නැත.

      ඊළඟට කෙරෙන්නේ ඒ ඒ පක්‍ෂය හෝ කණ්ඩායමට මන්ත්‍රීධුර කීයක් හිමි විය යුතුද යන්න ගණනය කිරීමයි. 40% වෙනුවට 100% සමානුපාතික ක්‍රමය මතු වන්නේ මෙහිදීය. ඒ අනුව මන්ත්‍රී ධුරයක් ලැබීමට ඡන්ද කොපමණ අවශ්‍යද යන්න පළමුව ගණනය කෙරෙයි.

      දිඹුලාගල සභාවේ කොට්ඨාශ ක්‍රමයට පත් වන මන්ත්‍රීන් ගණන 12 නිසා (60%) සමානුපාතික ක්‍රමයට 8 ක් (40%) පත් විය යුතුය. නමුත් මැතිවරණ කොමිසම මේ ගණන 9 ලෙස තීරණය කර මුළු ගණන 21 බවට පත් කරයි - සමහර විට ඒ බහු-මන්ත්‍රී කොට්ඨාශයෙන් මුලින් සොරා ගත් මන්ත්‍රී ධුරය විය හැක. (කොට්ඨාශ වලින් 13 පත් වන විට සමානුපාතික ලැයිස්තුවෙන් 9 පත් වීම නිවැරදිය. එවිට මුළු සභික සංඛ්‍යාව 13+9=22 බවට පත් වේ.)

      මැකෝට අනුව මුළු මන්ත්‍රී ධුර ගණන 21 කි, මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව 54,143 කි. මේ නිසා එක මන්ත්‍රී ධුරයකට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව 54,143/21 = 2578 කි. දැන් ඒ ඒ පක්‍ෂ දිනා ගත් ඡන්ද සංඛ්‍යාව මේ සංඛ්‍යාවෙන් බෙදා බැලූ විට මැකෝ විසින් නිර්ණය කරන්නට යෙදුණු 7,7,6,1 සභික ධුර ශ්‍රේණිය ලැබෙයි. මැකෝ ගේ ගණිතය වැරදි නැත. නමුත් මේ කර ඇත්තේ සමානුපාතික ආසන 40% බෙදා දීමද?

      මා නැවතත් අවධාරණය කරන්නේ මැකෝ පනතට අනුව ක්‍රියා කරන්නට ඇත. එහෙත් පනතේ නිර්මාපකයින් 60:40 ආදී වශයෙන් අපට ඇද බා ඇත්තේ පට්ටපල් කෙබර වේ. සභා වල මන්ත්‍රීධුර කොට්ඨාශ අනුව 60% සහ සමානුපාතික ලැයිස්තුවෙන් 40% ලෙස බෙදෙන්නේ නැත. කොට්ඨාශ වලින් 60% තෝරා ගන්නා අතර සමානුපාතික ලැයිස්තුවෙන් කෙරෙන්නේ සභාවේ සංයුතිය සමානුපාතික නියෝජනය නිරූපණය වන සේ සුසර කිරීමයි. මෙහි අවසන් ප්‍රතිඵලය දැන් අප ඉදිරියේ ඇත.

      ඉහත විශ්ලේෂණය කොළොඹ මහනගර සභාවට ආදේශ කළහොත් සිදු වන දේ දෙතිස් කතාවේ මීට දින කිහිපයකට පෙර සඳහන් කළෙමි.
      පළාත් පාලන මැතිවරණයේ පසුවදන --> https://katha32.blogspot.com/2018/02/after-election.html

      Delete
    3. //සිතුවිළි, ඔබේ තර්කයේ පදනමේ ම දෝෂයක් තිබේ.//
      ඔව්. මැතිවරණ ක්‍රමය ප්‍රශ්නකාරී වුවත් මේ උදාහරණය නිවැරදි එකක් නෙමෙයි. මෙහි ආසන 21 සමානුපාතික ක්‍රමයට නිවැරදිව වෙන් කර තිබෙනවා.

      //නව මැතිවරණ ක්‍රමය ගෙනෙන විට 60:40 අනුපාතයක් ගැන කතා විණි. මෙහි 60% ඒ ඒ කොට්ඨාශයෙන් (ජයගෙන) පත් වන මන්ත්‍රීවරු වේ. 40% සමානුපාතික නියෝජනය යටතේ පක්‍ෂ ලැයිස්තුවෙන් පත් කෙරේ. මේ ගැන 100% නිවැරදිව කීම පිණිස පණත කියැවිය යුතුව ඇතත්, මේ ගැන අවධානයක් ඇති පුද්ගලයෙක් වශයෙන් පණත නොකියවා දැන ගත් කරුණු මත 60:40 අප තේරුම් ගත්තේ ඉහත අයුරිණි.

      එහෙත් මැකෝ විසින් මන්ත්‍රීධුර ගණනය කරනු ලැබ තිබෙන්නේ ඉහත සූත්‍රය අනුව නොවේ. ඔහු ගණනය කර තිබෙන්නේ කොට්ඨාශ දිනා ගත් සභිකයින් එසේම තබාගෙන 40% වෙනුවට 100% සමානුපාතික නියෝජනයක් ලැබෙන පරිදිය. එනම්, 60:40 අනුපාතය පට්ටපල් බේගලයකි.//
      පණත අනුව මැකෝ කටයුතු කර ඇති ආකාරය (මේ කරුණ හා අදාළව) නිවැරදිය. ඔබ මෙය තේරුම් ගැන ඇති ආකාරය නිවැරදි නැත. මා මගේ ලිපියේ විස්තර කළේද මේ ක්‍රමයයි. එය පැහැදිලි මදි බව පෙනේ. නැවතත් මේ ක්‍රමය සරලව විස්තර කරනවානම් මුලින්ම කොට්ඨාශ:සමානුපාතික 60:40 ලෙස මන්ත්‍රී ධුර ගණන නිර්ණය කර ගැසට් කෙරේ. මෙය කරන්නේ මැතිවරණයට පෙරය. ඒ අනුව, බහු මන්ත්‍රීධුරද සහිතව කොට්ඨාශ මන්ත්‍රීධුර 12ක් ඇති තැනකට සමානුපාතික මන්ත්‍රීධුර 8ක් නම් කෙරේ. ඒවා ලැබෙන්නේ කවර පක්ෂයටද යන්න මේ අදියරේදී අදාළ නැත.

      මැතිවරණයෙන් පසු සිදුවන දෙය.
      -100% සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීධුර වෙන් කෙරේ. (මෙහිදී එල්ලෙන මන්ත්‍රීධුර හා අදාළව මම පණත තේරුම් ගන්නා ආකාරයේ පොඩි වෙනසක් තිබේ. එය පසුව වෙනම විස්තර කරමි.) කිසියම් පක්ෂයක් විසින් ජයගෙන ඇති කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන මේ ක්‍රමයට ලැබෙන ගණනට වඩා අඩුනම් පමණක් ඉතිරි ප්‍රමාණය සමානුපාතික ලැයිස්තුවෙන් ලබා දේ. නමුත් ඒ ගණන මෙසේ හිමිවිය යුතු ගණනට වඩා වැඩිනම් ඡන්දයෙන් තේරී පත් වුනු කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන අඩු නොකරන අතර ඉතිරි 40% අඩු කරන්නේද නැත. ඒ අනුව මුළු මන්ත්‍රීධුර ගණන ඉහළ යයි.

      ඉහත උදාහරණයේදී පොදුජන පෙරමුණ කොට්ඨාශ මන්ත්‍රීධුර 12ම දිනුවා කියා සිතමු. පහතින් ඇත්තේ ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය අනුව ඇති වන තත්ත්වයයි.

      -එය 60%නම් ඔවුන්ගේ මන්ත්‍රීධුර ගණන සමානුපාතික ක්‍රමයටද නියම ගණනයි. ඒ අනුව ඉතිරි මන්ත්‍රීධුර 8 වෙනත් පක්ෂ වලට හිමි වේ. මේ අනුව අවසානයේ 12:8= 60:40 ලෙස මන්ත්‍රීධුර බෙදී යයි.

      -එය 70%නම් පොදුජන පෙරමුණට සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීධුර 14ක් හිමි විය යුතුය. එහෙත් ඔවුන්ට දැනටමත් 12ක් තිබෙන නිසා සමානුපාතික ලැයිස්තුවෙන් තවත් 2ක් ලැබේ. ඉතිරි මන්ත්‍රීධුර 6 වෙනත් පක්ෂ වලට හිමි වේ. මේ අනුව අවසානයේ 14:6= 70:30 ලෙස, එනම් 100% සමානුපාතිකව පක්ෂ අතර මන්ත්‍රීධුර බෙදී යයි. එහෙත්, පොදුජන පෙරමුණේ කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන තවදුරටත් 12මය. ඒ නිසා කොට්ඨාශ ලැයිස්තු අනුපාතය තවදුරටත් 60:40 ලෙසම පවතී.

      -එය 40%නම් පොදුජන පෙරමුණට සමානුපාතික ක්‍රමයට හිමි විය යුත්තේ මන්ත්‍රීධුර 8ක් පමණි. ඉතිරි පක්ෂ වලට මන්ත්‍රීධුර 12ක් හිමි විය යුතුය. එහෙත් පොදුජන පෙරමුණට දැනටමත් මන්ත්‍රීධුර 12ක් තිබෙන නිසා එය 8 දක්වා අඩු කළ නොහැකිය. අනෙක් පක්ෂ වල මන්ත්‍රීධුරද අඩු නොකෙරේ. මේ අනුව මන්ත්‍රීධුර ගණන අවසානයේදී 24 දක්වා ඉහළ යයි. මෙහිදී 12:12= 50:50 ලෙස, එනම් 100% සමානුපාතිකව නොව කොට්ඨාශ ජයගත් පක්ෂයට වාසිදායක ලෙස පක්ෂ අතර මන්ත්‍රීධුර බෙදී යයි. මේ අවස්ථාවේදී කොට්ඨාශ:ලැයිස්තු අනුපාතය තවදුරටත් 60:40 ලෙස නොපවතින අතර 50:50 ලෙස වෙනස් වේ.

      (ප්‍රතිචාරය අවසන් නැත.)

      Delete
    4. //මේ මැතිවරණයේදී මුළු නියෝජිත සංඛ්‍යාවෙන් ආසන්න වශයෙන් 60%ක් හෝ අඩු ගණනක් තේරෙන්නේ කොට්ඨාශ ක්‍රමයටය. ආසන්න වශයෙන් 40%ක් හෝ වැඩි ගණනක් තේරෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයටය. නිවැරදිම අනුපාතය මැතිවරණ ප්‍රතිඵල පිටවන තුරු හරියටම කියන්නට නුපුළුවන.//
      මා ලියා ඇති දෙය පණත අනුව මෙන්ම දැන් මන්ත්‍රීධුර වෙන් කර ඇති සාමාන්‍ය ආකාරය අනුවද නිවැරදිය. ඉහත උදාහරණ තුනෙන් පැහැදිලි වන පරිදි අමතර ආසන වෙන් නොකෙරුණහොත් ආසන්න ලෙස කොට්ඨාශ:ලැයිස්තු මන්ත්‍රීධුර අතර 60:40 අනුපාතය පවතින අතර මන්ත්‍රීධුර හිමි වන්නේ 100% සමානුපාතික ක්‍රමයක ආකාරයටය. ආසන සියල්ල දිනන පක්ෂය 60%ක් ඡන්ද ලබාගත් විට හෝ තමන්ගේ ඡන්ද ප්‍රතිශතයට සමානුපාතික කොට්ඨාශ ගණනක් පමණක් ජයගත් විට මෙය සිදු වේ.

      එහෙත්, එල්ලෙන මන්ත්‍රීධුර එකතු වූ විට මුළු මන්ත්‍රීධුර ගණන ඉහළ යන නිසා 60% එසේම තිබුණත් එය බෙදන්නට වෙන්නේ 100%ට වඩා වැඩි (120% වැනි) ගණනකින් නිසා අවසාන වශයෙන් සිදුවන්නේ කොට්ඨාශ මන්ත්‍රීධුර ප්‍රතිශතය 60%ට වඩා අඩු වීමයි.

      මේ අනුව මේ ක්‍රමයට අලුත් පක්ෂයක් විසින් කිසියම් ආයතනයක බහුතර බලය ලැබීම සඳහා,
      - එක්කෝ අඩුම වශයෙන් 50%ක් ඡන්ද ලබාගත යුතුය.
      -එසේ නැත්නම් කොට්ඨාශ මන්ත්‍රීධුර වලින් අඩුම වශයෙන් 91.7%ක් (සියල්ලම හෝ ආසන්න ගණනක්) ජයග්‍රහණය කළ යුතුය.

      (ප්‍රතිචාරය අවසන් නැත)

      Delete
    5. //දිඹුලාගල සභාවේ කොට්ඨාශ ක්‍රමයට පත් වන මන්ත්‍රීන් ගණන 12 නිසා (60%) සමානුපාතික ක්‍රමයට 8 ක් (40%) පත් විය යුතුය. නමුත් මැතිවරණ කොමිසම මේ ගණන 9 ලෙස තීරණය කර මුළු ගණන 21 බවට පත් කරයි - සමහර විට ඒ බහු-මන්ත්‍රී කොට්ඨාශයෙන් මුලින් සොරා ගත් මන්ත්‍රී ධුරය විය හැක.//

      දිඹුලාගල සභාවේ කොට්ඨාශ ක්‍රමයට පත් වන මන්ත්‍රීන් ගණන 13ක් (ආසන්න වශයෙන් 60%ක්) හා සමානුපාතික ක්‍රමයට 8 ක් (ආසන්නව 40%ක්) බව මැතිවරණයට පෙර 2017 නොවැම්බර් 1 දින ෆෛසර් මුස්තාෆා විසින් නිවැරදිව ගැසට් කර ඇත. (පහත 182 පිටුව බලන්න.)

      http://www.documents.gov.lk/files/egz/2017/11/2043-56_S.pdf

      මේ අයුරින්ම ජාඇල ප්‍රාදේශීය සභාව වැනි තැන් වලද පණත අනුව නිවැරදි කොට්ඨාශ හා ලැයිස්තු මන්ත්‍රීධුර ගණන් නිවැරදිව ගැසට් කර තිබේ. ගැසට් කර ඇති කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන් මැතිවරණයෙන් පසුව වෙනස් කළ නොහැක. මැතිවරණයෙන් පසුව කරන්නට තිබෙන්නේ ප්‍රතිඵලය අනුව මේ මන්ත්‍රීධුරවල පුරප්පාඩු පිරවීම හා අවශ්‍යනම් අමතර එල්ලෙන මන්ත්‍රීධුර එකතු කිරීම පමණි. මා විසින් පෙන්වා දී ඇත්තේ ඒ අවස්ථාවේදී කර ඇති ප්‍රාථමික මට්ටමේ සරල වැරදි මිස මූලික මට්ටමේ වැරදි නොවේ. කොට්ඨාශ මන්ත්‍රීධුරයක් වෙනුවට ලැයිස්තු මන්ත්‍රීධුරයක් ආදේශ කළ නොහැකිය. මේ නිසා කිසියම් පක්ෂයක සමස්ත මන්ත්‍රීධුර ගණන වෙනස් නොවුනද එසේ කළ නොහැක.

      //මැකෝ ගේ ගණිතය වැරදි නැත. //
      ආසන 21 සමානුපාතිකව බෙදීම හා අදාළව ඔබ නිවැරදියි.

      //එහෙත් පනතේ නිර්මාපකයින් 60:40 ආදී වශයෙන් අපට ඇද බා ඇත්තේ පට්ටපල් කෙබර වේ. සභා වල මන්ත්‍රීධුර කොට්ඨාශ අනුව 60% සහ සමානුපාතික ලැයිස්තුවෙන් 40% ලෙස බෙදෙන්නේ නැත. කොට්ඨාශ වලින් 60% තෝරා ගන්නා අතර සමානුපාතික ලැයිස්තුවෙන් කෙරෙන්නේ සභාවේ සංයුතිය සමානුපාතික නියෝජනය නිරූපණය වන සේ සුසර කිරීමයි. මෙහි අවසන් ප්‍රතිඵලය දැන් අප ඉදිරියේ ඇත.//
      පෙර විස්තර කර පරිදි මෙය ඉතා සංකීර්ණ ක්‍රමයකි. එක් එක් පක්ෂයේ වාසිය සලකා මුල් විද්වත් යෝජනාව සංශෝධනය කිරීම නිසා මෙය තාක්ෂණික ගැටළු ගණනක් ඇති අච්චාරුවක් වී ඇත. කාන්තා මන්ත්‍රීධුර වෙන් කිරීමේදී මේ අවුල දකින්නට හැකි වනු ඇත. මා පෙර ලිපි වලින් පැහැදිලි කර පරිදි පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය මෙතරම් වැඩි නොවුනානම් මෙහි අවාසිය පොදුජන පෙරමුණටය. නමුත්, දැන් මෙහි අවාසිය විඳින්නට වෙන්නේ එජාපයටය.

      Delete
  3. දැන් මැකෝ ව ගෙදර යවන්න පුලුවන්ද මේවා කියලා උ හොරා කියලා

    ReplyDelete
    Replies
    1. මෙය මැකෝගේ වගකීම පිළිබඳ ප්‍රශ්ණයක් වුවත් ඔහු විසින් කර ඇති හොරකමක් හෝ වංචාවක් නොවේ.

      Delete
  4. මෙහෙම බලනකොට 2015 දීත් මැකෝට වැරදුණා කියලා හිතෙන්න පුළුවන් නේද? අර කොම්පියුටර් ජිල්මාට් කතාවක් එහෙමත් පැතිරුනානේ කාලයක්!

    ReplyDelete
    Replies
    1. මෙවැනි වැරදි තිබුණා විය හැකියි. නමුත්, ඒ නිසා සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් වෙන්න ඉඩකඩක් නැති තරම්.

      Delete
  5. ඔබේ මේ ව්‍යායාමය අගය කරමි.

    ReplyDelete
  6. ඉකොනොගේ පියානන්ට නිවන් සුව පතමු!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: