වෙබ් ලිපිනය:

Sunday, February 13, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (පස්වන කොටස)

විණිමය අනුපාතය නිදහසේ තීරණය වෙනවානම් ආනයන වෙනුවෙන් කොයි තරම් විදේශ විණිමය වැය කළත් රටකට ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. මොකද ආනයන ඉල්ලුමට සරිලන ඩොලර් සැපයුමක් නැත්නම් ඩොලරයේ මිල ඉහළ යනවා. එවිට, ආනයන ස්වභාවිකවම සීමා වෙනවා. 2001දී විණිමය අනුපාතය පාවෙන්න ඉඩ දීමෙන් පසුව, 2001-2003 කාලයේදීත්, ඉන් පසුව 2015-2019 කාලයේදීත් භාණ්ඩ හා සේවා ආනයන වෙනුවෙන් ලංකාව වැය කළ හැම ඩොලරයක්ම භාණ්ඩ හා සේවා අපනයන ආදායම් ලෙස හෝ ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට පැමිණි ඩොලර්. 

රාජපක්ෂ දශකය තුළ ලංකාවේ විදේශ බැරකම් ඉතා විශාල ලෙස ඉහළ යාමට හේතු වුනේ ණයට ගත් ඩොලර් වලින් විණිමය අනුපාතය පාලනය කිරීමයි. මෙහිදී විණිමය අනුපාතය පාලනය කිරීම තුළ ණයට ගත් ඩොලර් වලට අමතරව තවත් ඩොලර් රටට ආවා. ඒ ඩොලර් නිසා විණිමය අනුපාතය තව දුරටත් පහළ ගියා. තව තවත් ඩොලර් ණය ලෙස රටට ආවා. ණය ඉහළ ගියා.

එහෙමනම් 2015-2019 අතර කාලයේදීත් ඩොලර් ප්‍රශ්න මතු වුනේ කොහොමද? 

භාණ්ඩ හා සේවා ආනයන වෙනුවෙන් අවශ්‍ය වූ ඩොලර් ප්‍රමාණය රටට ආවත්, 2015 වන විට එකතු වී තිබුණු විදේශ ණය වල වාරික ගෙවීමට හා පොලී ගෙවීමට තවත් ඩොලර් අවශ්‍ය වුනා. විණිමය අනුපාතය තවත් ඉහළ යාමට ඉඩ දුන්නානම් පරණ ණය වල පොලී ගෙවන්න අවශ්‍ය ඩොලර් වුවත් මිල දී ගන්න තිබුණා. එහෙත්, යහපාලන ආණ්ඩුව එසේ කළේ නැහැ. මම හිතන්නේ පැවති දේශපාලන වාතාවරණය එයට හේතු වෙන්න ඇති. එයට අමතරව එසේ කිරීමේදී මතුවන සාධාරණත්වය පිළිබඳ ගැටළුවක් ඇතුළු වෙනත් අතුරු ප්‍රශ්නද තිබෙනවා. 

කෝවිඩ් වසංගතය හා ආණ්ඩුවේ අසාර්ථක කෝවිඩ් මර්දන ක්‍රියාමාර්ග නිසා ආර්ථිකයට සිදු වූ හානිය හමුවේ වුවත් 2020 වසරේදීද මේ තත්ත්වය එළෙසම තිබුණා. එම වසරේදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 10,047කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 3,035කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 7,104කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 20,186ක්. භාණ්ඩ හා සේවා ආනයන වෙනුවෙන් රටින් පිටට ගියේ ඩොලර් මිලියන 18,271ක් පමණයි. වාහන ආනයනය පාලනය කිරීම නිසා ඩොලර් මිලියන 500කින් හෝ 600කින් පමණ ආනයන වියදම් අඩු වූ සේ සැලකුවත්, ආනයන පාලනයක් නැති තත්ත්වයක් යටතේ ආනයන වියදම් සඳහා අවශ්‍ය විය හැකිව තිබුණු මුළු ඩොලර් ප්‍රමාණයම රටට ඇවිත්. 

කෝවිඩ් නිසා රටේ ඩොලර් හිඟයක් ඇති නොවූ බව ඉහත සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට ඉතාම පැහැදිලියි. ඩොලර් මදි වුනේ ණය වාරික හා පොලී ආපසු ගෙවන්නයි. ඒ ණය 2004-2014 කාලයේ හෝ ඊටත් පෙර කාලයක ගත් ණය. කෙසේ වුවත්, 2021 වසරේදී විණිමය අනුපාතය පාලනය කිරීමට පටන් ගැනීම නිසා, දැඩි ආනයන පාලනය හමුවේ වුවත්, 2004-2014 කාලයේදී මෙන්ම, භාණ්ඩ හා සේවා ආනයන වියදම, භාණ්ඩ හා සේවා අපනයන වලින් හා ශ්‍රමික ප්‍රේෂණ වලින් ඉපැයූ මුදල ඉක්මවා තිබෙනවා. 

පසුගිය 2021 වසර තුළ ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 20,637ක් වැය වී තිබෙනවා. සේවා ආනයන වෙනුවෙන් වැය වූ මුදලද මෙයට එකතු කළ විට එකතුව ඩොලර් මිලියන 24,000 ඉක්මවනවා විය හැකියි. මහ බැංකු අධිපති කබ්රාල් විසින් විමසන්නේ රටේ ඩොලර් නැත්නම් මෙපමණ මුදලක් වියදම් කළේ කොහොමද කියලයි. මේ කතාව බොරුවක්ම නෙමෙයි. 

ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් විසින් රටේ ඉතිරිව තිබෙන නිල සංචිත ප්‍රමාණය අනාගත ආනයන වියදම් සමඟ සසඳමින් ආනයන සඳහා ඩොලර් නැති වන දවස ගණන් හදනවා. එහෙත්, සෑම මසකම භාණ්ඩ හා සේවා අපනයන ආදායම් ලෙසත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙසත් රටට ඩොලර් එනවා. ඒ නිසා, සංචිත පහළට වැටී තිබීම ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් වන්නේ නැහැ. කබ්රාල් කියන්නේ මේ කතාවයි. 

සෑම මසකම රටට කොහොමටත් ඩොලර් යම් ප්‍රමාණයක් පැමිණෙන නිසා වියදමට ඩොලර් මදිනම් ආනයන පාලනය හරහා රටට එන ඩොලර් රටින් යන එක සීමා කළ විට ප්‍රශ්නය විසඳෙන බව කබ්රාල්ගේ ප්‍රකාශය තුළ ගැබ්ව තිබෙන අදහසයි. ඇතැම් වාමාංශික ආර්ථික විද්‍යාඥයින් මේ අදහසෙහි සෘජු ප්‍රකාශකයින් වී සිටිනවා. උදාහරණයක් ලෙස රටට එන්නේ ඩොලර් මිලියන 20,000ක් පමණක්නම්, ආනයන සීමා කර රටින් පිටට යන ඩොලර් ප්‍රමාණයද ඒ මට්ටමටම සීමා කර ගත් විට සංචිත නැතිකම තව දුරටත් ප්‍රශ්නයක් වන්නේ නැහැ.

මේ විසඳුම තුළ නොදකින දෙය හෝ නොකියන දෙය වන්නේ විණිමය අනුපාතය වෙනස් වන්නට ඉඩ නොදී රට තුළ මුදල් සැපයුම වැඩි කරද්දී රටට එන ඩොලර් ක්‍රමයෙන් අඩු විය හැකි බවයි. ඒ වගේම, ආනයන පාලනය කළද ආනයන ඉල්ලුම ඉහළ යාම නිසා අවසාන වශයෙන් ඩොලර් රටින් යාම වැළැක්වීම අසීරු බවයි. 2021 සංඛ්‍යාලේඛණ වලින් මේ කරුණ තහවුරු කරනවා.

පසුගිය වසරේ රටට ආ සහ රටින් ගිය ඩොලර් ප්‍රමාණ පිළිබඳ සම්පූර්ණ දත්ත තිබෙන්නේ සැප්තැම්බර් අවසානය දක්වා පමණයි. එම නව මස තුළ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 8,934ක්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 1,833ක් හා ශ්‍රමික ප්‍රේෂණ හරහා තවත් ඩොලර් මිලියන 4,577ක් ලෙස ඩොලර් මිලියන 15,345ක් රටට ලැබී තිබෙනවා. ඒ අතර, දැඩි ආනයන පාලන හමුවේ වුවද, භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් 15,885ක් රටින් එළියට ගොස් තිබෙනවා. මේ අයුරින්, රටවැසියන් විසින් නූපයූ ඩොලර් වියදම් කිරීම 2015 වසරේ සිට 2020 වසර දක්වාම සිදු නොවූ දෙයක්. 

මුළු වසරම සැලකූ විට, භාණ්ඩ අපනයනයෙන් ඩොලර් 12,502ක් හා ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 5,491ක් ලෙස, සේවා අපනයන ආදායම් හැර, ඩොලර් මිලියන 17,993ක් රටට පැමිණ ඇති අතර භාණ්ඩ අපනයනය වෙනුවෙන් පමණක් ඩොලර් මිලියන 20,637ක් රටින් එළියට ගොස් තිබෙනවා. මේ අනුව, ඩොලර් මිලියන 2,644ක හිඟයක් තිබෙනවා. පළමු මාස නවය තුළ සේවා ගිණුමෙහි ඩොලර් මිලියන 886ක අතිරික්තයක් තිබීම සැලකූ විට වසර අවසාන වන විට මේ හිඟය පියවිය හැකි තරමේ අතිරික්තයක් සේවා ගිණුමෙන් ලැබෙන්න ඉඩක් නැහැ. සමානුපාතිකව සලකා එහි ඩොලර් මිලියන 1,181ක අතිරික්තයක් තිබුණේයැයි සැලකුවොත් තවත් ඩොලර් මිලියන 1,463ක හිඟයක් තිබෙනවා. වසර අවසානයේ සංචාරක කර්මාන්තයේ යම් පිබිදීමක් ඇති වූ නිසා මෙය මීට වඩා තරමක් අඩු විය හැකියි.

අධිපති කබ්රාල් කියන විදිහටම ආනයන වියදම් හා ණය ගෙවීම සඳහා යොදා ගත හැක්කේ දැනට රටේ තිබෙන සංචිත පමණක් නෙමෙයි. කවුරු හෝ එහෙම කියනවානම් එය විහිළු කතාවක් තමයි. සෑම මසකම රටට එන ඩොලර් ආනයන වෙනුවෙන් වගේම පරණ ණය ගෙවන්නත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. 2015-2020 අතර කාලයේදී ලංකාවේ රටවැසියන් විසින් "පරිභෝජනය කළ" ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් විසින් රටට ගෙනාවා. ඒ නිසා, පරිභෝජන වියදම් වෙනුවෙන් ණය ගන්න හෝ සංචිත වැය කරන්න කිසිසේත්ම අවශ්‍ය වුනේ නැහැ. එසේ තිබියදීත් රටේ ඩොලර් හිඟයක් ඇති වුනේ 2015ට පෙර ලබාගත් ණය වල පොලී හා වාරික ගෙවන්න 2015-2020 කාලයේ රටවැසියන් විසින් ඉපැයූ ඩොලර් වලින් පරිභෝජන වියදම් වලින් පසු ඉතිරි වූ කොටස ප්‍රමාණවත් නොවූ නිසයි.

දැන්, 2021දී, නැවතත් පරිභෝජන වියදම් වෙනුවෙන් ණය ගන්න තැනට රට වැටී තිබෙනවා. එයට හේතුව අලුත් විදේශ විණිමය ප්‍රතිපත්තියයි. රටවැසියන් විසින් උපයන ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් ආනයන වෙනුවෙන් රටෙන් එළියට යනවා කියන්නේ විදේශ ණය නොගන්නේනම් සංචිත වැය කරන්න වෙනවා කියන එකයි. සංචිත පහළ බැසීම ප්‍රශ්නයක් වන්නේ මේ සන්දර්භය තුළයි. දැඩි ආනයන පාලන රෙගුලාසි හමුවේ වුවද ආනයන වියදම් ඉහළ ගොස් තිබීමෙන් පෙනෙන්නේ මිල (විණිමය අනුපාතය) ඉහළ දමා ආනයන ඉල්ලුම අඩු නොකර පැලැස්තර අලවන්න යාම සාර්ථක වී නැති බවයි.

විණිමය අනුපාතය පාලනය කිරීම නිසා සිදුව තිබෙන්නේ එකක් කඩතොළු මකා ගන්නට ගොස් දෙකක් කඩතොළු හදාගත් ඉඳුරුවේ ආචාරියට වූ දෙයයි. ගත් ණය හා වාරික ගෙවන්නට විදේශ විණිමය නැතිව රට අර්බුදයට ගොස් තිබියදී දැන් සිදුව ඇත්තේ එදිනෙදා පරිභෝජන වියදම් වෙනුවෙන්ද විදේශ විණිමය සොයන්නට සිදු වන තත්ත්වයක් ඇති වී තිබීමයි. 

බොහෝ විට මේ වසරේ මැද භාගය වෙද්දී කෝවිඩ් වසංගතය අවසන් වෙයි. එයින් අදහස් වන්නේ කෝවිඩ් ලෝකයෙන් තුරන් වන බව නෙමෙයි. බටහිර රටවල කටයුතු බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි. ඒ එක්කම ලංකාවට නැවතත් සංචාරකයින් පැමිණීම ඉහළ ගොස් සේවා ගිණුමේ අතිරික්තය ඉහළ යයි. එහෙත්, එසේ වූ පමණින්, පවතින විණිමය අනුපාතය පවත්වා ගනිමින් ලංකාවට මේ අර්බුදයෙන් ගොඩ යාමේ හැකියාවක් නැහැ. 

26 comments:

  1. සිද්ද වී ඇති සියලු අසමත්කම්වලට හේතුවයි 'සුන්දර'
    කතන්දරයක් පටන් අරගෙන, පැතිර යවනව ලකේ පුරවර
    දිගින් දිගටම වැරදි වෙයි නම් වහා ඒවා නිදොස් කර-කර
    පාලනය කළ යුත්තෙ වැසියොද? එහෙව් රටකට මොටද නරවර

    ReplyDelete
  2. යහපාලන කාලෙ අලුතෙන් නය උනේ රුපියල් බිලියන 500වගෙ කියල තිබ්බ නේද පෙර ලිපියක?
    භාන්ඩ ආනයනයට නය ගැනීමට අවශය උනේ නැතිනම් මේ නය වෙලා තියෙන්නෙ මොනවටද?

    ReplyDelete
    Replies
    1. ඔබ සඳහන් කරන පෙර ලිපිය කුමක්ද කියා කිවුවොත් හරියටම පිළිතුරක් දිය හැකියි. රුපියල් වලින් සඳහන්ව ඇත්නම් එය රාජ්‍ය ණය ගැන කියූ දෙයක් විය හැකියි. මෙහි කතා කරන්නේ විදේශ ණය ගැන.

      Delete
    2. මම හිතන්නේ මේ ලිපිය විය යුතුයි.

      යහපාලන ණය හා රාජපක්ෂ ණය
      https://economatta.blogspot.com/2021/09/blog-post_25.html

      එහි සඳහන් රුපියල් බිලියන 537 යහපාලන ආණ්ඩුව කාලයේ ගත් රාජ්‍ය ණය, ඒ වෙනුවෙන් 2019 දක්වා ගෙවූ පොලිය හා 2019 දක්වා අගය වෙනස් වීමෙහි එකතුව. දැන් පොලී එකතු වී තව වැඩි වී තිබිය යුතුයි.

      මෙහි තිබෙන්නේ රටේ ණය. එයට රජය විසින් ගත් විදේශ ණයත්, වෙනත් අය ගත් විදේශ ණයත් ඇතුළත්. ඒ වගේම රාජ්‍ය ණය වලට විදේශ ණය වගේම දේශීය ණයත් ඇතුළත්. ඒ නිසා, මේ දෙක සෘජුව සංසන්දනය කරන්න බැහැ. භාණ්ඩ හා සේවා ආනයනය රාජ්‍ය වියදම් වල ප්‍රධාන කොටසක් නෙමෙයි. රජයේ වියදම් බොහොමයක් දේශීය වියදම්.

      Delete
    3. ඔව් ඒ ලිපිය තමයි.
      ඔබ මෙහි කියන්නෙ ආනයනය කරන්න රට ඇතුලෙ ඩොලර් මදි උනාම රජයෙන් හරි වෙන කවුරුහරි ඩොලර් ණයක් ගන්නව ඇරෙන්න ක්‍රමයක් නෑ කියන එකද?
      එතකොට 2021 බැලන්ස් කරගත්තෙ කොහොමද?

      Delete
    4. අහ්, සොරි. සන්චිත ටික වියදම කරල කියල ලියල තියෙනව.

      Delete
    5. //ඔබ මෙහි කියන්නෙ ආනයනය කරන්න රට ඇතුලෙ ඩොලර් මදි උනාම රජයෙන් හරි වෙන කවුරුහරි ඩොලර් ණයක් ගන්නව ඇරෙන්න ක්‍රමයක් නෑ කියන එකද?//

      හරියටම හරි. තිබෙන එකම ක්‍රමය සංචිත වියදම් කිරීම පමණයි. මෙය ඉතාම මූලික සාර්ව-ආර්ථික මූලධර්මයක්.

      Delete
  3. දැන් ආණ්ඩුවේ එකම ගැලවුම් කාරයා විනිමය අනුපාතය හිර කරන් ඉන්න පමණයි. මොකද යක්ක පුත්තු කැමති නෑ ඇමරිකන් ඩොලරය ඉදිරියේ ශ්‍රී ලාංකික රුපියල බාල්දු වෙනවා දකින්න. මට හිතෙන විදියට රටට අවශ්‍ය බොහොමයක් දේවල් උන්ඩියල් වෙන ඩොලර් සල්ලි වලින් 250,260 රේට් වලට පුද්ගලික අංශය විසින් ආනයනය කරනවා. ඒ ගොල්ලත් ලාබයක් තියන් විකුණනකොට බඩු මිල කොහොමත් ඉහල යනවා. අපේ යක්ක පුත්තු බඩුමිල වැඩිවෙන එක කාගෙන හිටියත් රුපියල අවප්‍රමාණය වීම දකින්නේ තම්බියට උරුමලු පේනවා වගෙයි. ඒ නිසා පළාත් පාලන මැතිවරණය වෙනකල් වත් ඔහොම ඇදගෙන යයි.

    ReplyDelete
    Replies
    1. ලන්කාවෙ උන්ගෙ ජිවිතේ එකම පරමාර්තය එක එක දේවල් රැක ගැනීම මිසක් මිනිස්සුන්ගෙ ජීවන තත්වය උසස් කිරීම නෙමෙයි.
      රට ජාතිය ආගම රැක ගැනීම
      නිදහස් අද්‍යාපනය
      සවුක්‍යය
      රුපියල

      Delete
    2. මන් ඔය විහිළුවෙන් කිව්වට ගොඩක් අයගේ මනස හැඩගැහිලා තියෙන්නේ ඔය විදියට. රුපියල අවප්‍රමාණය උනා විතරයි උන් හිතන්නේ රටේ ආර්ථිකය ඉවරටේම ඉවරයි දැන් ඉතින් අපි ලෝකය ඉදිරියේ බාල්දු වෙනවනෙ කියලා. මේවා අපේ රටේ ආණ්ඩු පෙරලෙන සාධක.

      Delete
    3. //මට හිතෙන විදියට රටට අවශ්‍ය බොහොමයක් දේවල් උන්ඩියල් වෙන ඩොලර් සල්ලි වලින් 250,260 රේට් වලට පුද්ගලික අංශය විසින් ආනයනය කරනවා.//

      ඉතාම පැහැදිලිව. ඒ වගේම, රටින් පිටට යවන පෞද්ගලික ප්‍රේෂණ වල අඩුවීමක් පෙනෙන්නෙත් ඒ සල්ලි උන්ඩියල් වෙන නිසා. නිල සංඛ්‍යාලේඛණ වල ශ්‍රමික ප්‍රේෂණ අඩු වුනාට ඒ සල්ලි ඇත්තටම එනවා.

      Delete
    4. //මන් ඔය විහිළුවෙන් කිව්වට ගොඩක් අයගේ මනස හැඩගැහිලා තියෙන්නේ ඔය විදියට. රුපියල අවප්‍රමාණය උනා විතරයි උන් හිතන්නේ රටේ ආර්ථිකය ඉවරටේම ඉවරයි දැන් ඉතින් අපි ලෝකය ඉදිරියේ බාල්දු වෙනවනෙ කියලා. මේවා අපේ රටේ ආණ්ඩු පෙරලෙන සාධක.//

      එක පැත්තකින් රාජපක්ෂලා තමයි වඩාත්ම හොඳින් බහුතර මිනිස්සුන්ට අවශ්‍ය දෙය හඳුනාගෙන එය කරන්නේ. මෙහිදී වෙන්නෙත් එයයි.

      Delete
    5. ඒක මමත් පිලිගන්නවා ඉකොන්. මොකද වර්තමාන වෙළද ඇමතීම තමයි 2019 වේදිකාවට නැගලා කිව්වේ රටේ හක්ක දොට්ට පැනලා ආර්ථිකය කුල්ල කිජිත වෙලා රුපියල මස්තබාල්දු වෙලා කියලා. සමහර මිනිස්සු මේවා පිළිගන්නේ දේවත්වයෙන්. කෝච්චර උගතෙක් උනත් වේදිකාවේදී කියන්න වෙන්නේ මේ වගේ ගල් පැලෙන බොරු තමා. නැත්නම් ඊලග වේදිකාවේ කියන්න කතාවක් හම්බවෙන්නේ නෑ.
      මොකද බන්දුල ගුණවර්ධන කියන්නේ ලංකාවේ ආර්ථිකය නොදන්නා මනුස්සයෙක්ද

      Delete
    6. ඔය වැඩේ හොඳටම කළේ රාජපක්ෂ කඳවුරේ අය. හැබැයි එජාප/සජබ අයත් ඔය වැඩේ නොකරනවා නෙමෙයිනේ. දැන් බදු වලට විරුද්ධව, පඩි වැඩි කිරීම් වලට පක්ෂව කෑ ගහන අය එසේ කරන්නේ ඇයි? ජනතාවට ඇත්ත කතා කරන්න පටන් ගත යුත්තේ බලයට පත් වීමට පෙරයි. සමහර විට එයින් ආරම්භයේදී අවාසියක් වෙන්න පුළුවන්. හැබැයි වත්මන් සන්දර්භයේ බොරු කියලා බලයට එන කෙනෙක් ඉතා ඉක්මණින් චාටර් වෙන එක වලක්වන්න බැහැ. මගේ දැඩි විශ්වාශය වන්නේ ඇත්ත කියන දේශපාලන ව්‍යපාරයක් වටා ජනතාව එක්රැස් වන තත්ත්වයන් මෝරා එන බවයි.

      Delete
  4. //. එයට අමතරව එසේ කිරීමේදී මතුවන සාධාරණත්වය පිළිබඳ ගැටළුවක් ඇතුළු වෙනත් අතුරු ප්‍රශ්නද තිබෙනවා. //
    මේකෙන් අදහස් කලේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මෙය පැහැදිලි කිරීම සඳහා අපි 2021 ශ්‍රී ලාංකිකයා හා 2011 ශ්‍රී ලාංකිකයා කියලා වියුක්ත පුද්ගලයින් දෙන්නෙක් අර්ථ දක්වමු. මේ අයගෙන් අදාළ වසර වල ලංකාවේ සිටි වැඩිහිටි (ආදායම් උපයන හා වියදම් කරන) පුද්ගලයින් නියෝජනය වෙනවා. 2021 ශ්‍රී ලාංකිකයා තමන් පරිභෝජනය කරන ඩොලර් සියල්ල උපයනවා. ඒ කියන්නේ ඔහු හෝ ඇය ආනයනික භාණ්ඩ මිල දී ගන්නේ ඩොලරයක "නියම මිල" ගෙවලා. මෙයින් වෙනස්ව 2011 ශ්‍රී ලාංකිකයා ආනයනික භාණ්ඩ මිල දී ගෙන පරිභෝජනය කරන්නේ 30%ක් අඩු මිලක් ගෙවලා. (මෙය ආණ්ඩුවේ විණිමය ප්‍රතිපත්තිය නිසා ඉබේටම වන දෙයක් මිසක් 2011 ශ්‍රී ලාංකිකයා විසින් හිතාමතා කරන දෙයක් නෙමෙයි.) ඒ නිසා, රට ණය වෙනවා. සරලව කිවුවොත් 2011 ශ්‍රී ලාංකිකයා විසින් ලාබෙට කාලා රට ණය කරලා. දැන් මේ ණය ගෙවීම සඳහා 2021දී ඩොලරයේ මිල එහි "නියම මිලට" වඩා වැඩි කරලා 2021 ශ්‍රී ලාංකිකයා පරිභෝජනය කරන ආනයනික භාණ්ඩ වලින් "බද්දක්" අය කරන එක කොයි තරම් සාධාරණද? මෙය තීරණය වන්නේ 2021 ශ්‍රී ලාංකිකයා හා 2011 ශ්‍රී ලාංකිකයා එක් අයෙක්මද නැත්නම් දෙදෙනෙක්ද කියන එක මත. දෙන්නාම එක්කෙනෙක්නම් මෙහි කිසිම වැරැද්දක් නැහැ. දෙන්නා දෙන්නෙක්නම් යම් අවුලක් තිබෙනවා.

      මේ දෙන්නා එක්කෙනෙක් නෙමෙයි. දෙන්නෙක්ද නෙමෙයි. 2011 "ලාබෙට කෑ" ශ්‍රී ලාංකිකයන්ගෙන් ඇතැම් අය 2021 වෙද්දී මිය ගිහින්. තවත් අය රට හැර ගිහින්. ඇතැම් 2021 ශ්‍රී ලාංකිකයින් 2011දී ආදායම් නූපයු කුඩා දරුවන්. ඔවුන් තමන් උපයන මුදල් පරිභෝජනය වෙනුවෙන් වැය කරන්න පටන් ගත්තා පමණයි. ඒ නිසා, 2011 ණය බර එකවර 2021 ශ්‍රී ලාංකිකයා මත පටවන එකේ සදාචාරාත්මක වැරැද්දක් තිබෙනවා. හැබැයි එසේ නොකරනවා කියා කියන්නේ මෙය 2031 ශ්‍රී ලාංකිකයා මත පටවන එක. 2011 ශ්‍රී ලාංකිකයාගෙන් ඔය ණය කොහොමටවත් අය කරගන්න බැහැ. ඒ නිසා එම ණය 2021 ශ්‍රී ලාංකිකයාගේ සාක්කුවෙන් එකවර නොගෙන 2021 ශ්‍රී ලාංකිකයා හා 2031 ශ්‍රී ලාංකිකයා අතර යම් අනුපාතයකට බෙදා හැරිය යුතුයි. මෙය දේශපාලන තීරණයක්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සදාචාරාත්මක පදනමක් ලැබෙන පළමු කරුණ මෙයයි. (යහපාලන ආණ්ඩුව මේවා මේ තරම් දුරට හිතුවා කියලා හෝ දැන් ණය ප්‍රති ව්‍යුහගත කිරීම ගැන කතා කරන අය මේ විදිහට හිතනවා කියලා නෙමෙයි මම කියන්නේ.)

      ඊළඟට ප්‍රායෝගික ප්‍රශ්නය. රටේ විදේශ ණය වලින් සැලකිය යුතු කොටසක් රජයේ විදේශ ණයනේ. ඩොලරය ඉහළ යාම ඉවසිය හැකිනම් ණය ගෙවන්න අවශ්‍ය ඩොලර් වෙළඳපොළෙන් මිල දී ගන්න පුළුවන්. හැබැයි ඒ වැඩේට රුපියල් අවශ්‍යයි. මේ රුපියල් හොයා ගන්නේ කොහෙන්ද? සල්ලි අච්චු ගැහුවොත් නැවත ප්‍රශ්නයේ මුලට යනවා. ඒ නිසා, කළ හැක්කේ බදු වැඩි කරන එක පමණයි. මම හිතන්නේ යහපාලන ආණ්ඩුව ප්‍රායෝගිකව බදු වැඩි කළ හැකි උපරිම සීමාවක් දක්වා ළඟා වී සිටියා. දැන් මේ ආණ්ඩුවට විණිමය අනුපාතය පහළින් තියා ගන්න අවශ්‍ය හේතුවත් මෙයයි. වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන ඩොලර් ප්‍රශ්නය විසඳා ගත හැකි වුවත් ආණ්ඩුවට ඩොලර් ගන්න රුපියල් නැහැ. ඒ නිසා, කොහෙන් හෝ ණයට ඩොලර්ම හොයනවා. මේ කාරණයේදී නැවත දෙවනුවත් සදාචාරාත්මක ප්‍රශ්නයක් මතු වෙනවා. 2011 ශ්‍රී ලාංකිකයා විසින් නොගෙවූ බදු සියල්ල 2021 ශ්‍රී ලාංකිකයාගෙන් අය කිරීම කොයි තරම් සාධාරණද?

      Delete
    2. //මම හිතන්නේ යහපාලන ආණ්ඩුව ප්‍රායෝගිකව බදු වැඩි කළ හැකි උපරිම සීමාවක් දක්වා ළඟා වී සිටියා.//
      // දැන් මේ ආණ්ඩුවට විණිමය අනුපාතය පහළින් තියා ගන්න අවශ්‍ය හේතුවත් මෙයයි//
      මේ දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද

      Delete
    3. විණිමය අනුපාතය තිබිය යුතු "නියම මිල" කියන එක රුපියල් 250 හෝ රුපියල් 300 වැනි වෙනස් නොවන නිශ්චිත මිලක් නෙමෙයි. සල්ලි අච්චු ගැසීම ඉහළ යද්දී, උද්ධමනය ඉහළ යද්දී, තිබිය යුතු විණිමය අනුපාතයත් දවසින් දවස ඉහළ යනවා. ඒ නිසා, සල්ලි අච්චු ගැසීමේ පිළිවෙත වෙනස් කර ගන්නා තුරු ඩොලරයට පාවෙන්න හැර එය යම් තැනක රඳවා ගන්න බැහැ. දිගින් දිගටම ඉහළ යනවා. විණිමය අනුපාතය පහළින් තියා ගන්නනම් සල්ලි අච්චු ගහන එකත් නැවැත්විය යුතුයි (සීමා කළ යුතුයි). ඒ සඳහා රජයේ වියදම් කපා බදු වැඩි කළ යුතුයි. මේ ආණ්ඩුව ප්‍රතිපත්තියක් ලෙස එතැන නැති නිසා සල්ලි අච්චු ගහන්නම වෙනවා. සල්ලි අච්චු ගැසීමේදී බඩු මිල ඉහළ යනවා. විණිමය අනුපාතය පහළින් තියාගෙන ආනයනික බඩු වල මිල ඉහළ යන්න නොදීම කෘතිමව බඩු මිල පහළින් තියා ගත හැකි එක් ක්‍රමයක්. හැබැයි එහිදී ආනයන භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වී ඩොලර් හිඟයක් ඇති වෙනවා. හිඟය පියවීමට ඩොලර් ණයට ගන්නම වෙනවා. හොඳින් පරීක්ෂා කළොත් පෙනෙයි ආණ්ඩුව ආනයන පාලනය කරනවා කියා පෙන්වමින් සීමා කරන්නේ පාරිභෝගික මිල දර්ශක පැසෙහි නැති හෝ අඩු බරක් ඇති අයිතමයන් බව. කහ කිලෝව රුපියල් 10,000ක් වුනත් එයින් උද්ධමනයට දැනෙන බලපෑමක් වෙන්නේ නැහැ. ආනයන පාලනය කරන බව පෙන්වමින් උද්ධමනයට වැඩි බලපෑමක් තිබෙන දේවල් අඩු මිලට ආනයනය කිරීම දිගටම සිදු වෙනවා. දැන් සිදු වී තිබෙන්නේ නැවතත් ණයට ඩොලර් අරගෙන කන තැනට රට වැටීමයි. ඉන්දියාව දෙන ඩොලර් සියල්ල නැවත ඉන්දියාවටම යනවා. රටට ඉන්දියන් බඩු මිසක් ඩොලර් එන්නේ නැහැ. ඒ බඩු වලට පොලියත් එක්ක ගෙවන්න වෙන්නේ අනාගතයේදී. (සජබ ආණ්ඩුවට කියන්නෙත් ණය නොගෙවා හරි පාරිභෝගික භාණ්ඩ ආනයනය කරලා අඩුවට දෙන්න කියලනේ.) මෙහි තවත් පැති ගණනාවක් තිබෙනවා. ලිපි මාලාවේ ඉදිරි කොටසකදී විස්තරාත්මකව කතා කරමු.

      Delete
    4. @ano 8:38
      මේ ආන්ඩුවටබදු වැඩි කිරීමේ සදාචාරාත්මක අයිතියක් නෑ. ඉතින් බදු වැඩි කර රුපියල් ආදායම වැඩි කරගන්න හැකියාවක් නැති නිසා ඒ වෙනුවට අතේ තියෙන රුපියල් ගානට ඩොලර් වැඩි ප්‍රමානයක් ගන්න ඩොලර් එකේ මිල ක්‍රෘතිමව පහලින් තියන් ඉන්නවා.

      Delete
    5. ඉකොනොගෙ පැහැදිලි කිරීම සම්බන්දව තව ප්‍රශ්නයක්.
      2021 ශ්‍රීලාන්කිකයාගෙන් 2011 බදු මුදල අය කර ගැනීම අසාදාරන බව ඇත්ත. නමුත් ඊටත් වඩා අසාදරනයක් නේද විදේශ විනිමය උපදවන අයට නියම මුදල නොදී ඔවුන්ට 2011 ශීලාන්කිකය කාපුබීපු බිල ගෙවපිය කියන එක?
      විදෙස් විනිමය උපද්දවන කොටස 2021 ශ්‍රීලාන්කිකයන්ටත් වඩා කුඩා නියැදියක්නෙ.

      Delete
    6. //2021 ශ්‍රීලාන්කිකයාගෙන් 2011 බදු මුදල අය කර ගැනීම අසාදාරන බව ඇත්ත. නමුත් ඊටත් වඩා අසාදරනයක් නේද විදේශ විනිමය උපදවන අයට නියම මුදල නොදී ඔවුන්ට 2011 ශීලාන්කිකය කාපුබීපු බිල ගෙවපිය කියන එක?//

      විදේශ විණිමය උපදවන අයට නියම මුදල නොදීම අසාධාරණ වනවා පමණක් නොව අවාසිදායකයි. එහෙත්, දෙවැන්න සිදු වන්නේ නැහැ. පරණ ණය ගෙවීම සඳහා මුළුමනින්ම යොදා ගැනෙන්නේ අළුත් ණය.

      Delete
    7. ඒක කෙලින්ම එහෙම වෙන් කරන්න පුලුවන්ද? විදෙස් විනිමය ඉපයීම් භාන්ඩ ආනයනයට පමනයි ණය ගෙවන්න යෙදවෙන්නෙ නැහැ කියල?
      අලුත් ඩොල්‍ර් ණ්ය සහ විදෙස් විනිමය ඉපයීම් සියල්ලම එක්කහු කරල නේද අවුට්ෆ්ලෝ එක බැලන්ස් කරගන්නෙ?

      Delete
    8. ඩොලර් කොයිවත් ඩොලර් තමයි. නමුත්, ණය ගෙවන්න ඩොලර් වෙන් කිරීමේ ප්‍රශ්නයක් මතු කළ හැක්කේ ශුද්ධ වශයෙන් ණය ගෙවා ඇත්නම් පමණයි. ගෙවූ ණයට වඩා ගත් ණය වැඩිනම් එයින් අදහස් වන්නේ ණය ගෙවීම සඳහා ඉපැයූ ඩොලර් වැය කර නැති බවයි. ඉපැයූ ඩොලර් ණය ගෙවන්න යෙදවූවානම් ණය අඩු විය යුතුයි.

      Delete
    9. ඒකත් ඇත්ත.

      Delete
  5. ඉකෝන්, ශ්‍රී ලංකාව ඩොලර් 12000 ඒක පුද්ගල අදායමකට ළඟා වීම ගැන සමාජයේ කතිකාවතක් තියෙනවා. මේ පවතින තත්වය අනුව එය ලංකාවට ළඟා කරගැනීමට කොපමණ කාලයක් ගතවෙයිද? ඒ වන විට ලේකයේ මධ්‍යන්‍යය කොපමණ වැඩි වෙලා තියෙයිද?

    ReplyDelete
    Replies
    1. එය විචල්‍ය බොහෝ ගණනක් මත තීරණය වන දෙයක්. ඩොලරය 200 මට්ටමේම තියෙද්දී උද්ධමනය 50%ට විතර වැඩි වුනොත් අවුරුදු තුනකින් වුනත් පුලුවන්!

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: