වෙබ් ලිපිනය:

Friday, February 4, 2022

ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වීමේ ප්‍රශ්නය


බොහෝ තනි පුද්ගලයින් විසින් මෙන්ම ලංකාවේ ප්‍රමුඛ දේශපාලන ධාරා විසින්ද ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ආර්ථික අර්බුදය ඩොලර් නැතිකම සේ හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම මත පදනම්ව විවිධ විසඳුම්ද යෝජනා කරනවා. මේ යෝජිත විසඳුම් එම විසඳුම් ඉදිරිපත් කරන දේශපාලන ධාරා අනුව වර්ග නොකර ආකෘතිය අනුව පහත අයුරින් ලැයිස්තුගත කළ හැකියි. 

1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ලබා ගැනීම හෝ එසේ නොගොස් වෙනත් පාර්ශ්ව වලින් ණය ලබා ගැනීම - මෙහිදී ක්ෂණිකව රටට ඩොලර් ආවත්, මැදිකාලීනව ඊට වඩා ඩොලර් ප්‍රමාණයක් රටින් එළියට යනවා. වෙනත් පාර්ශ්ව වලින් ණය ගත් විට ආපසු යන ප්‍රමාණය වැඩියි.

2. විදේශගත ලාංකිකයන්ගෙන් ඩොලර් එවන ලෙස ආයාචනය කිරීම- මෙහිදී ක්ෂණිකව රටට යම් ඩොලර් ප්‍රමාණයක් එනවා. ඒ ඩොලර් ආපසු යන්නේ නැහැ. නමුත්, මේ වගේ දෙයක් දිගින් දිගටම කරන්න බැහැ. මහා පරිමාණයෙන් කරන්නත් බැහැ. 

3. ණය පැහැර හැරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ආනයන පාලනය කිරීම - මෙහිදී අරමුණ වන්නේ ඩොලර් එළියට යන එක සීමා කර ගැනීම හෝ පමා කර ගැනීම. හැබැයි මේ විදිහට ඩොලර් ඉතුරු කර ගත හැක්කේ කෙටි කාලයකට පමණයි.

4. දේශීය වත්කම් විදේශිකයන්ට විකිණීම හා/හෝ ස්වභාවික සම්පත් විකිණීම - මෙයින්ද ක්ෂණික වාසියක් ලැබුනත් බොහෝ විට සිදු විය හැක්කේ දිගුකාලීනව අවාසියක් වෙන එකයි. එසේ නොවන ආකාරයෙන්ද මෙය කළ හැකි අවස්ථා තියෙන්න පුළුවන්. 

5. විණිමය අනුපාතය පාවෙන්නට ඉඩ හැර රුපියල අවප්‍රමාණය කිරීම - ක්ෂණිකව ප්‍රශ්නය විසඳා ගත හැකි ක්‍රමයක් වුවත් දිගුකාලීනව ප්‍රශ්නය විසඳෙන්නේ මේ වැඩේ දිගින් දිගටම කරන්නේනම් පමණයි.

6. රුපියල අවප්‍රමාණය නොකර අපනයන ප්‍රවර්ධනය කිරීම - කරන්න පුළුවන්නම් හොඳයි. එහෙත් මෙය සංගත හෝ ප්‍රායෝගික යෝජනාවක් නෙමෙයි.

මේ ලැයිස්තුවට එකතු කළ හැකි තවත් විසඳුම් තිබිය හැකියි. මෙහි අවසනට සඳහන් කළ විසඳුමෙහි සංගතභාවය හා ශක්‍යතාවය ප්‍රශ්නකාරී වුවත්, අනෙක් හැම විසඳුමක්ම ඩොලර් නැතිකමට ප්‍රශ්නයක් විය හැකි විසඳුම්. මේ ඕනෑම ක්‍රමයකින් හෝ ක්‍රම කිහිපයකින් ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ක්ෂණික ප්‍රශ්නය විසඳෙන්න පුළුවන්. නමුත්, අප සාකච්ඡා කළ යුතු කරුණ එයින් ඔබ්බෙහි තිබෙන දෙයක්.

ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ක්ෂණික ප්‍රශ්නය ඩොලර් නැතිකම කියන එකේ වැරැද්දක් නැහැ. නමුත්, ලංකාවේ අනාගතය පිළිබඳ දිගුකාලීන දැක්මක් ඇති දේශපාලන වැඩ පිළිවෙලක් හෝ දිගුකාලීන සාර්ව-ආර්ථික වැඩ පිළිවෙලක් තුළ අවධානය යොමු විය යුතු හා විසඳුම් යෝජනා විය යුතු ලංකාවේ දිගුකාලීන ප්‍රමුඛ ආර්ථික ප්‍රශ්නය ඩොලර් නැතිකම නෙමෙයි. ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වීමයි. 

ඩොලර් නැතිකම ලංකාවට ප්‍රශ්නයක් වන්නේ ඇයි? ඉහත කවර ආකාරයකින් හෝ ඩොලර් නැතිකමට විසඳුමක් සොයා ගතහොත් අනාගතයේදී නැවතත් ඩොලර් නැතිකම ලංකාවට ප්‍රශ්නයක් නොවන බවට සහතිකයක් තිබේද? එවැනි සහතිකයක් නැත්නම්, ඩොලර් නැතිකමට මේ මොහොතේ ලබා දෙන විසඳුමක් පැලැස්තර විසඳුමක් පමණක් නොවන්නේද? ඩොලර් නැතිකම ලංකාවට ප්‍රශ්නයක් වීමම ප්‍රශ්නයක් බව ඔබ නොදකින්නේද?

ඩොලර් කියන්නේ ඇමරිකාවේ ජාතික මුදල් ඒකකයයි. ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුවට ඩොලර් ඕනෑ තරමක් මුද්‍රණය කර ගත හැකියි. ඒ නිසා, ඇමරිකාවට ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වෙනත් රටවලට ඩොලර් මුද්‍රණය කරන්න බැහැ. එහෙත්, ඒ හේතුව නිසාම අනෙක් හැම රටකටම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. 

ඇමරිකාව ඩොලර් මුද්‍රණය කරනවාක් මෙන්ම අනෙක් රටවලට ඒ රටවල ජාතික මුදල් ඒකක මුද්‍රණය කර ගත හැකියි. ලංකාවටත් රුපියල් මුද්‍රණය කර ගන්න පුළුවන්.

ලංකාවට ඩොලර් අවශ්‍ය වන්නේ භාණ්ඩ හෝ සේවා ආනයනය සඳහා. ඇමරිකාවත් භාණ්ඩ හා සේවා ආනයනය කරනවා. ඒ වෙනුවෙන් ඩොලර් වැය කරනවා. අනෙක් රටවල් ඩොලර් ලබාගෙන ඇමරිකාවට භාණ්ඩ හා සේවා එවනවා. අනෙක් රටවල් රුපියල් ලබාගෙන ලංකාවට භාණ්ඩ හා සේවා එවනවානම් ලංකාවට ඩොලර් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත්, අනෙක් රටවල් රුපියල් අරගෙන ලංකාවට භාණ්ඩ හා සේවා එවන්නේ නැහැ. ඒ නිසා, ලංකාවට ඩොලර් උපයා ගන්න සිදු වී තිබෙනවා. 

ලෝකයේ අනෙක් හැම රටක්ම ලංකාව මුහුණ දෙන ප්‍රශ්නයට මුහුණ දෙන්නේ නැහැ. අපි එක්සත් රාජධානිය හෝ ජපානය වැනි රටක් ගනිමු. එක්සත් රාජධානියට භාණ්ඩ හා සේවා ආනයනය කරන්න ඩොලර් අවශ්‍යම නැහැ. ඔවුන්ට පවුම් ගෙවා භාණ්ඩ හා සේවා ආනයනය කළ හැකියි. ඒ අයුරින්ම ජපානයට යෙන් ගෙවා භාණ්ඩ හා සේවා ආනයනය කළ හැකියි. ලෝකයේ රටවල ජාතික මුදල් ඒකක අතරින් මෙවැනි ශක්තියක් තිබෙන්නේ මුදල් ඒකක සීමිත ප්‍රමාණයකට පමණයි. ලංකාවේ රුපියල ඒ අතර නැහැ. එහෙමනම්, දිගුකාලීනව බැලුවොත් ලංකාවේ ප්‍රශ්නය ඩොලර් නැතිකමද, එසේ නැත්නම්, රුපියලට පිළිගැනීමක් නැතිකමද? 

රටක ජාතික මුදල් ඒකකයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීම කිසිසේත් කළ නොහැකි දෙයක් නෙමෙයි. ඇමරිකානු ඩොලරයට අද තිබෙන පිළිගැනීම මීට වසර සියයකට පෙර මේ ලෙසින්ම තිබුණේ නැහැ. පසුගිය සියවසේ මුල් කාලය වෙද්දීත් ඇමරිකානු ඩොලරය ඇමරිකාවෙන් පිටත ලොකු පිළිගැනීමක් නොලැබූ මුදල් ඒකකයක්. යුරෝ මුදල් ඒකකයට තිබෙන්නේ වසර තිහක පමණ ඉතිහාසයක්. ජපානයේ යෙන් මුදල් ඒකකයට පිළිගැනීමක් ලැබුණේ පසුගිය සියවසේ දෙවන භාගයේදී. ලංකාවේ රුපියලට තරම් ඉතිහාසයක් නැති, ඉතා කුඩා රටක් වන සිංගප්පූරුවේ ජාතික මුදල් ඒකකය අද ලොව පුරාම පිළිගැනෙන මුදල් ඒකකයක්. 

ඇතැම් මුදල් ඒකක වලට තිබෙන පිළිගැනීමට හේතුව අදාළ රටවල් වල ආර්ථිකය කියන එක ඇත්තක් වුවත්, මුදල් ඒකකයක ශක්තිය නිර්ණය කරන එකම සාධකය එය නෙමෙයි. බිට්කොයින් වැනි මුදල් පසුපස කිසිදු ආර්ථිකයක් නැහැ.

සිංගප්පූරු ඩොලර් අරගෙන සංචාරය කරන අයෙකුට ලෝකයේ බොහෝ රටවලදී ඉතා පහසුවෙන් එම මුදල් වෙනත් මුදලකට මාරු කරන්න පුළුවන්. එහෙත් ලංකාවේ රුපියල් අරගෙන වෙනත් රටකට යන කෙනෙකුට එසේ මාරු කරන්න බැහැ. ලංකාවේ සංචාරකයින් නිතර යන එන ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ හා සිංගප්පූරුවේ "පුංචි ඉන්දියාව" වැනි සීමිත තැන් කිහිපයකදී හැර ලංකාවෙන් පිටතදී ලංකාවේ රුපියල් මාරු කරන්න බැහැ. ඒ නිසා, පිටරටකට යන ලාංකිකයෙකුට රුපියල් වෙනුවට ඩොලර් හෝ වෙනත් විදේශ මුදල් ඒකකයක් අරගෙන යන්න වෙනවා. දිගුකාලීනව කරගත යුත්තේ මේ තත්ත්වය වෙනස් කර ගැනීම නෙමෙයිද? 

දූරදර්ශී දේශපාලන ව්‍යාපාරයක් විසින් ඉහත ලැයිස්තුවේ ඇති විසඳුම් දෙස බැලිය යුත්තේ මේ ඉලක්කය අමතක නොකරමිනුයි. මේ මොහොතේ ඩොලර් නැතිකම සඳහා යෝජනා කරන විසඳුම් වලින් දිගුකාලීනව සිදු වෙන්නේ "ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වීමේ ප්‍රශ්නය" විසඳෙන එකද, නැත්නම්, තවත් උග්‍ර වෙන එකද?

ලංකාවේ රුපියලට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීම ක්ෂණිකව, වසරකින් දෙකකින් හෝ වසර දහයකින් පහළොවකින් කළ හැකි දෙයක් නෙමෙයි. නමුත්, ඒ ගැන නොසලකා හිටියොත් කවදාවත්ම ඔය වැඩේ වෙන්නේ නැහැ. ඒ තරම් දුර බලන්න කලින් මේ මොහොතේ ප්‍රශ්නය විසඳා ගත යුතු බව ඇත්ත. හැබැයි එහිදී අවධානය යොමු කළ යුත්තේ ප්‍රශ්නය කොහොම හරි විසඳා ගන්න නෙමෙයි. වඩා හොඳ විදිහකට විසඳා ගන්නයි.

ලංකාවේ රුපියල කාටවත් එපා කියන එකෙන් කියැවෙන්නේ ලංකාව පෙන්වන වටිනාකම කවුරුවත් එහි දකින්නේ නැහැ කියන එකයි. දැන් රුපියලක මිල ඩොලර් ශත බාගයක්. ඒ මිලට කවුරුවත් රුපියල් මිල දී ගන්නේ නැහැ. මිල අඩු කිරීම ප්‍රශ්නයට විසඳුමක්. ලංකාවේ චූටි රුපියලටත් යම්කිසි වටිනාකමක් තියෙනවනේ. ඒ මිලට දුන්නොත් ඩොලර් ගෙවා රුපියල් ගන්න අය හොයා ගන්න බැරිවෙන එකක් නැහැ. වෙනත් විදිහකට කිවුවොත් රුපියලේ සැබෑ වටිනාකම නිරූපණය වන ආකාරයට විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීම ක්ෂණික ප්‍රශ්නයට ලබා දිය හැකි පහසු හා ක්ෂණික විසඳුමක්. 

හැබැයි මේ විදිහට ප්‍රශ්නය විසඳා ගත් පමණින් දිගුකාලීන ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ලංකාව රුපියල් අච්චු ගහන තරමට එහි සැබෑ වටිනාකම අඩු වෙනවා. ඒ නිසා, එක්කෝ ඔය සල්ලි අච්චු ගැහිල්ල නවත්වන්න ඕනෑ. නැත්නම් හැමදාම දිගින් දිගටම රුපියලට අවප්‍රමාණය වෙන්න ඉඩ දෙන්න ඕනෑ.

ණයට ඩොලර් අරගන්න පුළුවන්නම් ඒ මගිනුත් මේ මොහොතේ ප්‍රශ්නය විසඳෙනවා. හැබැයි දිගුකාලීනව ඒ ගත් ණය පොලියද සමඟ ගෙවන්න වෙන නිසා ප්‍රශ්නය නැවත වටයකින් මතු වෙන්නේ වඩා දරුණු ලෙසයි. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ලබා ගැනීම හෝ එසේ නොගොස් වෙනත් පාර්ශ්ව වලින් ණය ලබා ගැනීම අතර තිබෙන ප්‍රධානම වෙනස පළමු ක්‍රමයේදී බොහෝ විට විණිමය අනුපාතය අවප්‍රමාණය කරන්න සිදු වීමයි. ඊට අමතරව, මැදිකාලීනව ප්‍රශ්නය යටපත් කළ හැකි කොන්දේසි ඒ සමඟ එන්න පුළුවන්.

විදේශගත ලාංකිකයන්ගෙන් ඩොලර් එකතු කර ගන්න පුළුවන්නම් ඒ මගින්ද මේ මොහොතේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්. එහෙත්, අනුන්ගෙන් හැමදාම සල්ලි ඉල්ලන්න බැහැ. ඔය වැඩේ ලොකුවට කරන්නත් බැහැ.  දැන් ප්‍රශ්නය විසඳාගත්තා කියලා ප්‍රශ්නය නැවත මතු වෙන එක වලක්වා ගන්නත් බැහැ. මීට සාපේක්ෂව, ලාංකිකකයින් වැඩි වැඩියෙන් රට පටවන එකේත් ප්‍රශ්න ගණනාවක් තිබෙනවා වුවත් එය වඩා ස්ථාවර ක්‍රමයක්. ඒ වැඩෙන් ක්ෂණික ප්‍රශ්නය හෝ දිගුකාලීන ප්‍රශ්නය නොවිසඳුනත් මැදිකාලීනව සහනයක් ලැබෙනවා.

ණය පැහැර හැරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ආනයන පාලනය කිරීම වගේ දේවලුත් ක්ෂණික ප්‍රශ්නයට විසඳුම් වුවත් මේ වැඩ වලින් මැදිකාලීනව වගේම දිගුකාලීනවත් වෙන්නේ ප්‍රශ්නය උග්‍ර වෙන එකයි. වත්කම් හා/හෝ ස්වභාවික සම්පත් විකිණීමෙන්ද ලැබිය හැක්කේ කෙටිකාලීන වාසියක් පමණයි. රුපියල අවප්‍රමාණය නොකර අපනයන ප්‍රවර්ධනය කිරීම කතාවට හොඳ දෙයක් වුවත් ප්‍රායෝගිකව කරන්න අමාරු වැඩක්.

ඔය මොන දෙයක් කළත් දිගුකාලීනව තියා මැදිකාලීනවවත් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ නිසා, නහය ඉදිරිපස තිබෙන පහසු විසඳුම අතහැර වෙන වෙන විසඳුම් හොයන එක කිසිම තේරුමක් නැති වැඩක්. රුපියල එහි සැබෑ වටිනාකම දක්වා පහත වැටෙන්න ඉඩ දුන් පසු ක්ෂණික ප්‍රශ්නය අවසානයි. ඉන් පසු, සල්ලි අච්චු ගහන එක ටිකෙන් ටික හෝ අඩු කරන්න වෙනවා. සල්ලි අච්චු ගහනවානම් නැවත නැවත රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දෙන්න වෙනවා. 

අවසාන වශයෙන් "ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වීමේ ප්‍රශ්නය" විසඳා ගත හැක්කේ සල්ලි අච්චු ගැසීම සීමා කිරීම මගින් පමණයි. රටක් ලෙස කවදා හෝ ආර්ථික නිදහස ලබා ගැනීම ගැන හිතනවානම් ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වීමේ ප්‍රශ්නයෙන් හැකි ඉක්මණින්  නිදහස් වෙන එක ගැනත් දැන්ම හිතන්න වෙනවා.

7 comments:

  1. ආනයනය ආදේශක භාණ්ඩ ලංකාවේ හදන්න පුළුවන් නං ඒකත් විසදුමක්. කොහොමත් ධනවාදය නිසා මිනිස්සු අධිපරිභෝජනයට හුරු වෙලා ඉන්නේ. බහු ජාතික සමාගම් තමයි මේ උගුලට මිනිසුන් හසු කරේ. ඕකෙන් ගැලවෙන්න ඕනි.

    චීන සමාජවාදය යම් තරමකට විසදුමක්. කොහොමත් ආණ්ඩුව කොහොම හරි මේ ගේම ගහයි කියන විශ්වාශය දැන් නං මට තියෙනවා. මිනිස්සු තුලත් යම් තරමකට දැන් ඒක ඇතිවෙන බව පේනවා.

    මොකද භාණ්ඩ මිල ඉහල යාම තරමක් පාලනය උනා. නය වාරික ගෙව්වා. තෙල් හිගයත් මග හරවා ගත්තා. ගෑස් තියෙනවා. විදුලි බල ගැටලුවත් මගහරවාගෙන යන බවක් පේනවා.

    කොහොම උනත් ආණ්ඩුවත් එක්ක තරහා නිසා රට බංකොලොත් වෙනකං බලං ඉන්න එක මුහුණත් එක්ක තරහට නහය කපා ගන්නවා වගේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. @ Ano Feb 04 10.00 PM

      ඔබ කියන කතාවේ ඇත්තක් නැත්තේම නෑ ඒත් තවමත් ලංකාවට විදේශ විනිමය හිඟකම සහ එහි ඇති බලපෑම තියෙනවා, ලෝක ආර්ථිකය ටිකෙන් ටික සාමාන්‍යකරණය වීමත් සමගම ලංකාවට තියෙන ප්‍රශ්න, විශේෂයෙන්ම ආනයනික භාණ්ඩ වල අධික මිල ප්‍රශ්නය ක්‍රමක් ක්‍රමයෙන් අඩු කර ගත හැකි වේවි ඒත් දැන් වෙච්ච එක හොඳක් තමයි අපනයනවලට සාපේක්ෂ වශයෙන් පමණක් ආනයනය කරන එක, අනවශ්‍ය දේවල් අධික ලෙස ආනයන කරන එක පාලනය වෙලා අත්‍යවශ්‍යම දේවල් වලට ප්‍රමුඛතාව ලැබී තියෙනවා මේක දිගටම කරගෙන යන්න පුළුවන් නම් හොඳයි.

      ඒ වගේම රජය සමහර දේවල් වලට මැදිහත් වෙන එක අඩු කිරීම නිසා මිනිස්සුන්ට හැම දෙයක්ම ආණ්ඩුව කරනකන් බලන් නොඉඳ තමතමන්ගේ විසඳුම් සොයා ගැනීමට සිදු වීම ඉතාම හොඳ පාඩමක්. දැන් මිනිස්සු හිතන්න පෙළඹෙනවා ප්‍රශ්න වලට තම තමන්ගේ පෞද්ගලික නුවණ පාවිච්චි කරන්න, අන්තර්ජාලය හරහා වෙනත් රටවල භාවිතා වන විසඳුම් වර්ග වගේ දේවල්, ගොඩක් කට්ටිය සොලාර් ඕෆ් ග්රිඩ් පද්ධති හරහා විදුලිය සහ ගෑස් ප්‍රශ්න වලට හරියන විකල්ප ක්‍රම හොයාගෙන තියෙන්නේ DIY ලෙස තනියම කරගන්න පුළුවන් ඒවා.

      ආණ්ඩුව මේ ඩොලර් හිඟ වෙලාවේ ආනයනික consumable පරිභෝජන භාණ්ඩ ගෙන්වා පොදු ජනතාවට කෙටි කාලීනව ආතල් දීමට ඩොලර් බිලියන ගණන් ඉන්දියාවෙන් චීනයෙන් ණයට අරන් කන්සියුමබල් පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ගෑස් කන බොන ජාති වගේ පරිභෝජන භාණ්ඩම ගෙන්නවන එක වෙනුවට සොලාර් පවර්ඩ් ඕෆ් grid system සඳහා High efficiency solar panels, deep cycle LiFePO4 බැටරි පද්ධති, MPPT බැටරි චාජින් යුනිට්, pure sine wave ඉන්වර්ටර් සහ එෆිශන්ට් විදුලි උපකරන බැටරි සහ පවර් සේවින් ෆ්‍රිජ්, මල්ටි කුකර්, ලීටර් 0.5 l එළවලු උයන්න 1/2 බාගෙ රයිස් කුකර් වගේ දේවල් එතකොට නවීන දියුණු තාක්ෂණය සහිත ඉලෙක්ට්‍රික් බයික් වගේම ටවුන් වල ත්‍රීවීල් ලඩ වෙනුවට ඉලෙක්ට්‍රික් ස්කූටර් සහ චීනය/ යුරෝපය වගේ පොදු ජනතාවට නාගරික ප්‍රදේශ වල රෙන්ටබල් (පුට්) බයිසිකල්, විදුලි බස්රථ වගේ ප්‍රාග්ධන ආයෝජන ඒවල් ආරම්භ කළොත් සෑහෙන ඩොලර් ගණනක් ඉතුරු කරගන්න පුළුවන්, දැනට මත් ලංකාවේ ආණ්ඩුවේ 2020 - 30 සූර්යබල සංග්‍රාමය ක්‍රියාත්මක වුණත් විදුලි බල මණ්ඩලයේ ඩීසල් ගල්අඟරු බහිරවයන් එක්ක වැඩේ අල වෙලා තියෙන්නෙ. ඒ වෙනුවට පොදු ජනතාවට, කර්මාන්ත සහ ඔෆිස් වලට ඒකීය තනි තනි ඕෆ් ග්රිඩ් සොලාර් සහ වර්ටිකල් axis mini wind plant project වගේ දේවල් ආරම්භ කරන්න පුළුවන් නම් හොඳයි නේද?

      රජයට මේකට සල්ලි නැත්නම් ජනපති කෙලින්ම ADB, EU වලින් වගේම දැනට මේ ක්‍රම ගොඩක් හොදටම කරන චීනයේ වගේම ඉන්දියානු සහ දෙස් විදෙස් පෞද්ගලික අංශයේ සහය ලබා ගැනීමට පුළුවන් වේවි. මේ වගේ වෙනස්ම විදියේ විසඳුමක් ගැන කල්පනාවෙන් වැඩ කරන්න ඕන.

      Delete
  2. ඉකොන් මේ පොස්ටුව ලියන්නේ ඊයේ ජනපති කරපු කතාව නිසා කියලා හිතනවා. එයට දෙන්න පුළුවන් හොදම උත්තරයත් ඔබ දීලා තියෙනවා.

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා,

    පහත දැක්වෙන ගෝලීය තිරසාර සංවර්ධන දර්ශකය (Global Sustainabil Development index) තුල ලංකාවට ලෝකයේම දෙවන ස්ථානය හිමි වී ඇති අතර

    https://www.sustainabledevelopmentindex.org/


    මේ තිරසාර සංවර්ධනය පිළිබඳ සංකල්පය සහ එහි ඇති වැදගත්කම ගැන ඔබ විශ්වාස කරන ඇමරිකානු ලිබරල් ධනවාදී ආර්ථික දෘෂ්ඨිය මත පදනම් වූ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද?

    යුරෝපයේ, ඕෂනියා සහ වෙනත් බොහෝ රටවල් ගණනාවක ආර්ථික විශේෂඥයින් බහුතරයක් දෙනා මෙම තිරසාර සංවර්ධනය පිළිබඳ සංකල්පයට වැඩි වටිනාකමක් ලබා දෙන නමුත් ඇමරිකානු එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ පැරණි ව්‍යාපාරික ප්‍රජාව මේ ගැන නොතකා mass consumption mass production වැනි ක්‍රියාවන් වල නිරත වූ නමුත් නූතන ඇමරිකානු පුරවැසි ක්‍රියාකාරීන් මෙන්ම ඊලෝන් මස්ක් ප්‍රමුඛ නූතන අධි තාක්ෂණික ව්‍යාපාර සහ තරුණ පරම්පරාවේ ව්‍යවසායකයන් තිරසාර සංවර්ධනය උදෙසා විශාල වශයෙන් උනන්දුවෙන් කතා කරන යුගයක ලංකාවට මේ වෙලාවේ විශාල සහයෝගයක් ලබා ගැනීමට ලංකාවේ මෙම පර්ෆෝමන්ස් එක ලොකු සහයෝගයක් වෙයි නේද?

    සරලව කියනවා නම් තිරසාර (ධරණීය) සංවර්ධනය යනු මුලිකවම පරිසරයේ පවත්නා සම්පත් හැකි අවමම ප්‍රමාණය උපරිමම කාර්යක්ෂමතාව සහිතව ප්‍රයෝජනයට ගන්නා අතරම අනාගතය සඳහා ද උපරිම වශයෙන් ඒවා සුරැකීමයි. මේ අනුව තිරසාර/ ධරණීය සංවර්ධනය පවත්නා සම්පත් වර්තමානයේ ප්‍රයෝජන ගැනීම, එවා සංවර්ධනය කිරීම මෙන්ම, අනාගත පරපුරේ අවශ්‍යතාවයන් සඳහාද ඒ සම්පත් යම් ප්‍රමාණයකට ආරක්ෂා කිරීමත් අදහස් වන බැවින් අනාගතයට සම්පත් සුරකීමේදි යම් ප්‍රමාණයකට හෝ වර්තමාන අවශ්‍යතා කැප කිරීමට සිදුවිය හැකි නමුත් තිරසාර/ ධරණීය සංවර්ධනය පිළිබද සංකල්පය සකස් වි ඇත්තේ චිරාත් කාලයක් තුළ එකිනෙකට ප්‍රතිවිරැද්ධ දෙසට ඇදි ගිය ධාරා දෙකක් එක් පොදු දිශාවකට යොමු වීම මගින්.

    සම්ප්‍රදායික ඇමරිකානු පන්නයේ මානව කේන්ද්‍රීය භෞතික සංවර්ධනය පිළිබද චින්තන ධාරාව හා ජෛව කේන්ද්‍රගත වු පරිසරය සංරක්ෂණය පිළිබඳ චින්තන ධාරාවන් අතර පශ්චාත් යුධ සමයේදි අවම සංවර්ධිත ලෝකය යනුවෙන් හැදින්වුණු වත්මන් සංවර්ධනය වෙමින් පවතින රටවල් කාර්මිකරණය කිරිම පිළිබඳ ප්‍රශ්නය සංවර්ධනය යනුවෙන් හදුන්වන ලදි.

    මෙතනදි ඉතාමත් කැපී පෙනෙන මුලික ලක්ෂණය නම් ඌන-සංවර්ධිත ලෝකය සංවර්ධනය කිරිම යනු සංවර්ධිත රටවල‍ටම ආවේනික කාර්මිකරණයේ අනුරුවක් බවට පත් විය යුතු බව මිස තෙවන රටවල පරිසර, සමාජ, ආර්ථික හා සංස්කෘතික තත්වයන්ට ගැලපෙන සංවර්ධනයක් විය යුතු බව අදහස් නොවීමයි. සංවර්ධිත රටවල් අනුගමනය කෙරුනු දේශපාලන මතවාද සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑවේ විවිධාකාර ලෙස වුවද සංවර්ධනය පිළිබඳ සමස්ත චින්තනයම හුදු ආර්ථික පාරාමිතින්ම පදනම් කර ගත් එකක් බව පොදුවේ දක්නට ලැබුණා. අනෙක් අතට පාරිසරික චින්තනය ඇසුරින් මතුවී ආ ප්‍රධාන කරුණ වුයේ සංවර්ධිත රටවල කාර්මිකරණය‍‍ තුල ඇති වු විපත් පිළිබඳව කතා කිරීමයි. එබදු තත්ත්වයක් සංවර්ධන විරෝධී නිසා මෙම චින්තන ධරා දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ වෙමින් සංරක්ෂණ වාදින්ගේ සංවර්ධන විරෝධී අදහස්/ සංවර්ධනය පරිසරයේ සතුරෙකු ලෙසද සිතිමට තරම් අන්තගාමි තත්වයකට ඹවුන්ගේ එම චින්තනයන් සකස් වී තිබුණ නිසා මෙම අන්තගාමි තත්වයන් දෙකෙහිම සාරය මුසු කොට ගත් විසදුමක් කරා යොමු විමට ධරණීය සංවර්ධනය නම් සංකල්පය බිහිවූ බව මේ ගැන කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන්.

    ReplyDelete
  4. ලංකාවේ මේ දවස් වල පවතින විදේශ මුදල් සංචිතය සිඳී යාමත් කොවිඩ් වසංගතයේ බලපෑමෙන් වඩාත් විකෘති වී ඇති රජයේ ආදායම් අහිමි වීමේ ප්‍රශ්නයත් හේතු කාරණා මත ඇති වී ඇති ආර්ථිකයේ ගෙවුම් ශේෂ හිඟ තත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම කඩිනම් කරන ලෙස අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ආණ්ඩුවට එල්ල කරන බලපෑම වැඩි වෙමින් ඇතැයි ලංකාවේ මාධ්‍ය ගණනාවක් අද වාර්තා කරලා තියෙනවා.

    එම නිල නොලත් ආරංචි මාර්ග මත පදනම් වූ මාධ්‍ය වාර්තා වල මම දැක්ක විදිහට මේ වන විට අමාත්‍ය වාසුදේව නානායක්කාර හැර සෙසු ඇමතිවරුන් IMF මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇති බව ද වාර්තාකර තිබේ.

    ආණ්ඩුවේ ඇමති නව සමසමාජ පක්ෂයේ වාසුදේව නානායක්කාර සඳහන් කරන්නේ ධනවාදී සමාජ ක්‍රමයක් බිහි කිරීම වෙනුවෙන් පෙනී සිටින පොදුජනතාවට හානීකර IMF මුල්‍ය අරමුදල වැනි ඇමරිකානු රූකඩ ආයතන වල සහාය ලබා ගැනීමටත් තමන් තවමත් එරෙහිව සිටින බවයි. විපක්ෂ කණ්ඩායම් වල අය ගත්තත් ජවිපෙ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වරු තුන් දෙනා IMF එකට සම්පූර්ණයෙන්ම විරුද්ධව සිටින නමුත් අන් හැම කෙනෙක්ම IMF වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට පක්ෂව කටයුතු කරන බව පේනවා. ජවිපෙ හැර වෙන කිසි කෙනෙක් දැඩි විරෝධය සහ බාධා කරන එකක් නැති නිසා ඉක්මනින් IMF වැඩසටහන් ක්‍රියාත්මක කරලා තවත් බරපතල ආර්ථික අවුලක් ලංකාවේ ආණ්ඩුව හදා ගනීවිද මන්ද?

    ReplyDelete
  5. ග්‍ර්‍රිසියෙ ප්‍රශ්නය සහ ලන්කාවෙ ප්‍රශ්නය එකම ප්‍රශ්නයද?

    ReplyDelete
    Replies
    1. හේතු ගණනාවක් නිසා ලංකාව සිටින්නේ ග්‍රීසිය හිටියාට වඩා භයානක අඩියක.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: