පසුගිය වසර අවසාන වන විට ලංකාව සතු වූ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,139.3ක් පමණයි. මහ බැංකුව විසින් කලින් දැන සිටි, වසර තුළ ගෙවිය යුතු වූ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,523.2ක්. පොලී ගෙවීම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,380.5ක්. ඉදිරි වසර තුළ ගෙවන පොරොන්දුවට විකුණා ඇති අතේ නැති ඩොලර් ප්‍රමාණය (ශුද්ධ වශයෙන්) ඩොලර් මිලියන 1,929.4ක්. ඒ අනුව, භාණ්ඩ හා සේවා ආනයනය ඇතුළු වසරේ පරිභෝජන වියදම් සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණයට අමතරව වසර තුළ අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය මිලියන 8,833.1ක්.
ඩොලර් මිලියන 3,139.3ක් අතේ තියාගෙන ඩොලර් මිලියන 8,833.1ක් ගෙවන්න පුළුවන්ද?
ජනවාරි මාසය අවසන් වන විට නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,360.6 දක්වා තව දුරටත් පහත වැටිලා. වසර තුළ ගෙවිය යුතු වූ මුදලින් කොපමණ ප්‍රමාණයක් ජනවාරි මාසය තුළ ගෙවලද? තව කොපමණ මුදලක් ගෙවන්න තියෙනවද?
ගෙවිය යුතුව තිබුණු මුදලින් ඩොලර් මිලියන 1,103.6ක් ජනවාරි මාසය තුළ ගෙවා තිබෙනවා. ඉතිරි මාස එකොළහ තුළ තවත් ඩොලර් මිලියන 7,739.5ක් ගෙවිය යුතුයි. එයින්ද ඩොලර් මිලියන 2,118.5ක් ගෙවිය යුත්තේ පෙබරවාරි හා මාර්තු මාස දෙක තුළයි. නිල සංචිත වලින් "කෑෂ් වලින්" තියෙන්නේ ඩොලර් මිලියන 2,078ක් පමණයි. ගෙවිය යුතු මුදල සංචිත වලින්ම ගෙවන්නනම් ඉතිරිව තිබෙන රත්තරන් සොච්චමත් විකුණන්න වෙනවා. නැත්නම් SDR විකුණන්න වෙනවා. එහෙම කළත්, මාර්තු අවසන් වෙද්දී ඉතිරි වෙන්නේ තව ඩොලර් මිලියන 242.1ක් පමණයි. ඔය කාලය තුළ ආදායම් ඉක්මවා ආනයන වෙනුවෙන් වැය කරන මුදල වෙනුවෙනුත් ඩොලර් අවශ්‍ය වෙනවා.
ඒ කියන්නේ අප්‍රේල් පමණ වෙද්දී රට බංකොලොත් වෙයිද?
සමහර අය ටික කාලෙක ඉඳලම රට බංකොලොත් වන දවස ගණන් හදනවා. තවත් පිරිසක් "අපිට මොකක් වෙයිද?" කියන ප්‍රශ්නය පෙරදැරිව මේ ගැන කනස්සළු වෙනවා. ඇත්තටම රට බංකොලොත් වෙයිද? එහෙමනම්, ඔය වැඩේ කවදා විතර වෙයිද?
අතේ තිබෙන සංචිත ප්‍රමාණය සහ ඉදිරි කාලයේ ගෙවන්න තිබෙන ණය දිහා පමණක් බලලා රට බංකොලොත් වන දවස ගණන් හදා පෙන්වන්න බැහැ. ජනවාරි මාසයම ගත්තත් ඩොලර් මිලියන 1,103.6ක ණය ගෙවා තිබෙන නමුත් සංචිත අඩු වී තිබෙන්නේ ඩොලර් මිලියන 778.7කින් පමණයි. ඒ කියන්නේ ඉතිරි ඩොලර් 324.9 කොහෙන් හෝ හොයා ගෙන කියන එකයි. හොයා ගෙන කියා කියන්නේ ණයට අරගෙන. ඊට අමතරව, ජනවාරි මාසයේ ඩොලර් ඉපැයීම් වලට වඩා වැඩි මුදලක් ආනයන වෙනුවෙන් වියදම් වී ඇත්නම් ඒ මුදලද හොයා ගෙන.
කබ්රාල් නිවැරදිව කියනවා වගේම, ණය ගෙවන්නෙත්, ආනයන සඳහා වියදම් කරන්නෙත් අතේ තිබෙන සංචිත පමණක් නෙමෙයි. ඇත්තටම සාමාන්‍ය කාලයකනම් බොහෝ විට ඔය සංචිත වලට අතවත් තියන්නේ නැහැ. ණය ගෙවන්නේ ණය අරගෙන. දිගින් දිගටම ණය ගන්න පුළුවන්කම තිබේනම් සංචිත අඩුකම ප්‍රශ්නයක් නෙමෙයි.
ඉතාම දළ වශයෙන් ගත්තොත් රටේ ණය මේ වෙද්දී ඩොලර් බිලියන 60කට ආසන්නයි. ඔය ණය සියල්ල එකවර ගෙවා දමනවා කියලා මේ ආණ්ඩුව කියන්නේ නැහැ. "අපි නොවරදවා ණය ගෙවනවා" කියා ආණ්ඩුව කියද්දී එයින් අදහස් කරන්නේ ගෙවිය යුතු ණය වාරික හා පොලී මුදල් කලට වෙලාවට ගෙවනවා කියන එකයි. එජාප/සජබ හෝ 43 බලකාය විසින්ද මේ ණය සියල්ල ගෙවා දමන දවසක් හෝ එහෙම ගෙවන බවක් කියන්නේ නැහැ. එවැනි දෙයක් කෙටි කලකින් ප්‍රායෝගිකව කරන්න බැහැ. අපි හිතමු කැට හොල්ලලා විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඩොලර් මිලියනය ගානේ එකතු කළා කියලා. එහෙම කළත්, මිලියනය ගානේ දෙන්න කැමති අය හැට දාහක් හොයා ගන්න ඕනෑ. මනෝරාජික සමාන්තර විශ්වයක ඒ විදිහට ඩොලර් හොයා ගත්තා කියා කියමු. ඒ ගත්තා කියලත්, ඒවත් ණයනම් රටේ ණය එක ඩොලරයකින් හෝ අඩු වෙන්නේ නැහැ.
කොයි තරම් හොඳ සැලසුමක් යටතේ වුවත්, මේ මොහොතේ වගේම අඩු ගානේ තව අවුරුදු විස්සක්වත් යනකම්, බංකොලොත් නොවී ඉන්නනම්, ණය ගෙවන්න අලුත් ණය ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. වෙන ක්‍රමයක් නැහැ. දැන් ප්‍රශ්නය ආණ්ඩුවට මේ වැඩේ කොයි තරම් දුරකට කරන්න පුළුවන්ද කියන එකයි.
යහපාලන ආණ්ඩුව කාලයේ පරිභෝජන වියදම් වෙනුවෙන් ණය ගත්තේ නැහැ. තිබුණු ණය එක ඩොලරයක් හෝ (ශුද්ධ වශයෙන්) ගෙවුවෙත් නැහැ. එහෙත්, තිබුණු ණය වල පොලී ගෙවන්න (සහ වෙනත් බැරකම් වෙනුවෙන් ප්‍රතිලාභ ගෙවන්න) ණය ගත්තා. මේ ණය වැඩි වශයෙන්ම ගත්තේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරලා.
ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරන එක පටන් ගත්තේ 2007දී. යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට ඩොලර් බිලියන 5.5ක ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරලා තිබුණා. යහපාලන ආණ්ඩුව විසින් ඩොලර් බිලියන 12.05ක ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කළා. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව විසින් ගත් අලුත් ණය සියල්ලම වගේ ස්වෛරිත්ව බැඳුම්කර හරහා ගත් ණය. මේවා පියවිය යුත්තේ අනාගතයේදී. රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ගත් ස්වෛරිත්ව බැඳුම්කර සියල්ල වුවත් තවම පියවා අවසන් නැහැ. එකවර ඩොලර් බිලියනයක් ගෙවන්න තියෙන අමාරුව බැලුවහම අනාගතයේදී එකවර ඩොලර් බිලියන 2.5ක් ගෙවන්න වූ විට වැටෙන අමාරුව හිතා ගන්නකෝ!
කොහොම වුනත්, යහපාලන ආණ්ඩුව විසින් මේ තරම් මුදලක් ස්වෛරිත්ව බැඳුම්කර හරහා හොයා ගත්තේ එය වැඩි අපහසුවක් නැතිව කළ හැකි වූ නිසා. එම කාලයේ ආණ්ඩුව විසින් පවත්වාගෙන ගිය සාපේක්ෂව යහපත් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය හා විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසා ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර මිල දී ගන්න හිතන අයෙකුට එහි ලොකු අවදානමක් පෙනුනේ නැහැ. මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව සිදු කළ බේබි කැපිල්ලක් වූ බදු කැපිල්ල නිසා තත්ත්වය කණපිට හැරුණා. රටේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ ගියා. ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ගොස් ස්වෛරිත්ව බැඳුම්කර විකිණීමට තිබුණු හැකියාව නැති වී ගියා. වත්මන් අර්බුදය මතු වුනේ ඒ නිසා.
හැබැයි මේ ආණ්ඩුව කරන්නේ කිසිවක් නොදන්නා තොත්ත බබ්බු නෙමෙයි. සමහර විට ලංකාවේ දේශපාලන ධාරා අතරින් රාජ්‍යමූල්‍ය කළමනාකරණය පිළිබඳ වැඩිම අත්දැකීම් හා පළපුරුද්දක් තිබෙන පිරිස ඉන්නේ රාජපක්ෂලා එක්ක වෙන්න පුළුවන්. මේ පිරිස විසින් අනුගමනය කරන ප්‍රතිපත්ති දිගුකාලීනව රටට කොයි තරම් හිතකරද කියන එක ප්‍රශ්නයක් වුනත්, අඩු වශයෙන් තමන් ආණ්ඩු කරන කාලය තුළ රටේ ආර්ථිකයේ විශාල කඩා වැටීමක් දකින්න මේ ආණ්ඩුවට කිසිම උවමනාවක් නැහැ. තැත් වරද ක්‍රමයට අවදානම් තීරණ ගනිමින් සිටියත් ආණ්ඩුව විසින් කරන දේවල් කරන්නේ කිසියම් විශ්වාසයකින් යුතුවයි. ස්වෛරිත්ව බැඳුම්කර විකුණන්න බැරි වුනත් මොන දහංගැටයක් හරි දාලා අවශ්‍ය ඩොලර් ටික ණයට ගත හැකිය යන විශ්වාසයේ ආණ්ඩුව ඉන්නවා.
සංචිත පහළ වැටීම හා ගෙවිය යුතු ණය ප්‍රමාණය අතේ තිබෙන සංචිත වලට වඩා වැඩි වීම ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් නෙමෙයි. 2015 වසර ආරම්භයේදී ඩොලර් මිලියන 8,208ක නිල සංචිත ප්‍රමාණයක් ලංකාව සතුව තිබුණා. වසර මුලදී ඇස්තමේන්තු කර තිබුණු, එම වසර තුළ ගෙවිය යුතු වූ ණය ප්‍රමාණය සහ වසර තුළ ගෙවූ බැරකම් ප්‍රතිලාභ ප්‍රමාණය ඩොලර් මිලියන 7,535ක්. එහෙත්, වසර අවසාන වෙද්දී සංචිත පහළ ගොස් තිබුනේ ඩොලර් මිලියන 905කින් පමණයි. ඉතිරි ඩොලර් ටික ආණ්ඩුව විසින් හොයා ගත්තා. හොයා ගත්තා කියන්නේ ඉතිං ණය තමයි. වසරේ ආදායම් හා වියදම් අතර වෙනසින්ද ඩොලර් මිලියන 173ක පොඩි ගාණක් ලැබුණා.
යහපාලන ආණ්ඩුවේ දෙවන වසර වූ 2016 ආරම්භ වන විට ඉතිරිව තිබුණු සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,304යි. වසර තුළ ඩොලර් මිලියන 9,971ක් ගෙවිය යුතු වුනා. හැබැයි එහෙමයි කියලා ලංකාව බංකොලොත් වුනේ නැහැ. වසර තුළ අඩු වුනේ සංචිත වලින් ඩොලර් මිලියන 1,285ක් පමණයි.
ඊළඟ අවුරුද්ද පටන් ගනිද්දී අතේ තිබුණු සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,019ක් පමණයි. ඩොලර් මිලියන 8,887ක් ණය ගෙවන්න තිබුණා. හැබැයි වසර අවසන් වෙද්දී ඔය ණය සියල්ලත් ගෙවලා සංචිත වලට ඩොලර් මිලියන 1,940ක් එකතු කර ගන්න ආණ්ඩුවට පුළුවන් වුනා. ඒ නිසා, 2017 අවසන් වෙද්දී නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,959 දක්වා ඉහළ ගියා.
ඉන් පසුව එළඹුණු 2018 වසරේදී ඩොලර් මිලියන 8,712ක් රටින් එළියට ගියත් සංචිත පහල ගියේ ඩොලර් මිලියන 1,039කින් පමණයි. මේ විදිහටම, 2019 වසරේදීද ඩොලර් මිලියන 6,774ක් එළියට යද්දී සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 723කින් වැඩි වුනා. ඔය වසර පහම බැළුවහම ඩොලර් බිලියන හත අටක සංචිත ප්‍රමාණයක් අතේ තියාගෙන ඩොලර් බිලියන 42ක පමණ රෝලක් ගහලා තියෙනවා. අවුරුද්දකට ඩොලර් බිලියන 8ක් පමණ රෝල් කරලා තියෙනවා. තාවකාලිකව බිලියනයක් දෙකක් එහා මෙහා වුනත් සංචිත ටික එහෙම්මම තියෙනවා.
මේ ආණ්ඩුව බලයට පත් වෙන කොට ඩොලර් මිලියන 7,632ක සංචිත ඉතිරි වී තිබුනා. වසර අවසන් වෙද්දී ඩොලර් මිලියන 1,978කින් සංචිත පහළ ගියා. ඒ, බැරකම් ප්‍රතිලාභ හැර, ඩොලර් මිලියන 1,084ක ජංගම ගිණුම් ශේෂයක් ඉතිරි වීමෙන්ද පසුවයි. ඒ කියන්නේ, ඩොලර් මිලියන 3,063ක ණය රෝල් කර ගන්න බැරි වුනා කියන එකයි. වසර තුළ ගෙවිය යුතු වූ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,818ක්. 2020 වසරේදී ආණ්ඩුවට හොයා ගන්න හැකි වී තිබෙන්නේ එයින් ඩොලර් මිලියන 2,755ක පමණ මුදලක් පමණයි. වසර තුළ සෘජු විදේශ ආයෝජන ලෙස ඩොලර් මිලියන 543ක් ඇවිත් තිබෙනවා. රජය ඩොලර් මිලියන 2,002ක ණය අරගෙන තිබෙනවා. ඉතිරි ඩොලර් මිලියන 210 වෙනත් විවිධ ක්‍රම වලින් රටට එන්න ඇති.
කොහොම වුනත් මේ ගණන් දෙස බලා ආණ්ඩුව වැටී සිටි වලේ ගැඹුර මැන ගන්න පුළුවන්. ණය හෝ වෙනත් මූල්‍ය ප්‍රවාහ ලෙස රජයට 2020 වසර තුළ ලබා ගත හැකි වී තිබෙන්නේ ඩොලර් බිලියන 2.8කට නොවැඩි මුදලක් පමණයි. බිලියන 3.1ක් පමණම වියදම් කර තිබෙන්නේ සංචිත විකුණලා. මේ තත්වය යටතේ බොහෝ දෙනෙකු පහළ යන නිල සංචිත පිළිබඳව කනස්සළු වීම තේරුම් ගන්න අමාරු නැහැ. 2020 අවසන් වන විට තත්ත්වය මෙවැන්නක් වීනම්, 2021 වසරේදී වුනේ කුමක්ද?
තවමත් සම්පූර්ණ සංඛ්‍යාලේඛණ තියෙන්නේ 2021 පළමු මාස නවය සඳහා පමණයි. මේ කාලය තුළ සිදු වූ විශේෂ වෙනසක් වන්නේ ණය ගෙවීමට අමතරව එදිනෙදා වියදම් සඳහාද ණය වන තැනට නැවතත් රට වැටීමයි. 2015-2019 කාලයේදී මෙන්ම වසංගතයෙන් දරුණුවට බැට කෑ 2020දීත් එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. මේ තත්ත්වය තනිකරම වැරදි විදේශ විණිමය ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක්.
ස්වාධීන, ධනවාදී ආර්ථික විද්‍යාඥයෙකු ලෝකය දෙස බලන්නේ ජාත්‍යන්තරවාදී ඇසකින්. කිසියම් ගනුදෙනුවක නිරපේක්ෂ කාර්යක්ෂමතාවය සැලකුවොත්, කාර්යක්ෂමතාවය ඉහළ යන්නේනම් ඒ ගනුදෙනුවෙහි වැඩි වාසිය යන්නේ කවර රටකටද කියන එක වැදගත් නැහැ. එහෙත්, කිසියම් රටක ජාතික ආර්ථික ප්‍රතිපත්තිය හදන ආර්ථික විද්‍යාඥයෙකුට එලෙස හිතන්න බැහැ. මෙහිදී අදාළ රටේ රජය නඩත්තු කිරීම සඳහා බදු ගෙවන ඒ රටේ මිනිස්සුන්ගේ ශුභ සිද්ධිය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න වෙනවා. පිටරැටියෙකුට පාඩුවක් වී රටවැසියෙකුට වාසියක් වන ඇතැම් අවස්ථා වලදී පෙර කී නිරපේක්ෂ කාර්යක්ෂමතාවය නොසලකා හැර රටට ලැබෙන සාපේක්ෂ වාසිය ගැන හිතන්න වෙනවා. ලෝකයේ කිසිදු රටක් වෙනත් රටවල වැසියන්ගේ ශුභ සිද්ධියට සමාන ප්‍රමුඛතාවයක් දී ආර්ථික ප්‍රතිපත්ති හදන්නේ නැහැ.
මේ වගේ කාරණාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධානයක අපේක්ෂාවන් හා කිසියම් රටක ජාතික අපේක්ෂාවන් සමපාත නොවෙන්න පුළුවන්. එයින් කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධාන කාගෙවත් අතකොළු කියන එක හෝ ලංකාවට කෙළින්න බලාගෙන ඉන්න බව නෙමෙයි. එහෙත්, එවැනි සංවිධානයකට ලංකාව කියන්නේ කිසිදු විශේෂත්වයක් නැති තවත් එක රටක් පමණයි. රටේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති හදන අයට එතැනින් ඔබ්බට යන දැක්මක් තිබිය යුතුයි.
ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් ජාත්‍යන්තරවාදීව නොසිතා රට ගැන හිතන එක කෙසේවත් නරක දෙයක් නෙමෙයි. නමුත් ප්‍රශ්නය දේශපාලන සටන් පාඨ ලෙස ඔය වගේ කතා කිවුවත්, ඇත්තටම එහි අනෙක් පැත්ත සිදු වීමයි.
මම හිතන්නේ කියවන ගොඩක් අය මින්ට් රසැති පෝලෝ ලොසින්ජර කාලා තියෙනවා. අනූ ගණන් වලදී ඔය ලොසින්ජර වල මැද හිලක් තිබුණේ නැහැ. ලොසින්ජරය ටිකක් ලොකු ඩිස්ප්‍රින් පෙත්තක් නැත්නම් ඔරලෝසු බැටරියක් වගේ එකක්. දැන්නම් ඩිස්ප්‍රිනුත් භාවිතයෙන් අයින් වෙලානේ. ඔහොම තියෙද්දී ඔය බෙහෙත් පෙත්තක් වගේ පෝලෝ ලොසින්ජරය දැන් තිබෙන ඩෝනට් එහෙමත් නැත්නම් උළුදු වඩ හැඩයේ එකක් බවට වෙනස් වුනා. අසුරණය වෙනස් වුනේ නැහැ. මිල වෙනස් වුනෙත් නැහැ.
දැන් ඇත්තටම වුනේ කලින් තිබුණු පෝලෝ ලොසින්ජරය පොඩි වෙන එක. රවුම ඒ තරමටම තිබුණත් මැදින් කෑල්ලක් අයින් වෙලානේ. ඒ කියන්නේ පාරිභෝගිකයාට පාඩුවක් වෙලා තියෙන්නේ. හැබැයි ඔය ලොසින්ජර විකුණපු සමාගම විසින් කළේ "සිසිල ගලන මින්ට් සිදුර සමඟ" කියලා අර අඩුව අමතර වාසියක් විදිහට පෙන්වමින් මාකට් කරපු එක.
රාජපක්ෂලා මේ වැඩේට ඉතාම දක්ෂයි. ඔවුන්ගේ "සිදුරු" ගැන අනෙක් අය දැනුවත් වී හඬක් නගන්න හිතන කොට මේ ගොල්ලෝ සිදුර විකුණලා ගාණක් හොයා ගෙනත් ඉවරයි. ඇමරිකන් පුරවැසියන් විසින් ලොකු තනතුරු බොහොමයක් දරන ආණ්ඩුව බලයට එන්නේ ඇමරිකන් විරෝධය මාකට් කරලා ඡන්ද එකතු කරගෙන.
ආනයන පාලනයත් මේ වගේම වැඩක්. රටේ දේශීය නිෂ්පාදනය වැඩි වෙන බව මිනිස්සුන්ට පෙන්වනවා. මිනිස්සුත් එහෙම හිතනවා. හැබැයි වෙන්නේ අනෙක් පැත්ත. මේ ආණ්ඩුවේ වත්මන් ආර්ථික ප්‍රතිපත්ති නිසා දේශීය නිෂ්පාදනය වැඩි වෙනවා තමයි. හැබැයි ලංකාවේනම් නෙමෙයි. ඉන්දියාවේ හා චීනයේ.
විණිමය පාලනයට පින් සිදු වෙන්න ලංකාවට භාණ්ඩ හා සේවා අපනයනය කරන රටවලට 2021 පළමු මාස නවය තුළ ලංකාව ඉපැයූ ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් 716ක භාණ්ඩ හා සේවා විකුණන්න පුළුවන් වුනා. මේ හේතුව නිසා, පෙර වසරේ ඉපැයූ ඩොලර් වලින් මිලියන 1,084ක් ණය පොලී ගෙවීම සඳහා ඉතිරි කර ගත් ලංකාවට ඒ ඉතිරිය නැති වුනා පමණක් නොව තවත් ඩොලර් 716ක් හොයන්න වුනා. ණය හා බැරකම් ප්‍රතිලාභ වෙනුවෙන් ගෙවන්න සිදු වූ ඩොලර් මිලියන 1,499ක් එක්ක පළමු මාස නවයේ ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 2,215 දක්වා ඉහළ ගියා.
ඔය මාස නවය තුළ රටේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,960කින් පහළ ගියා. එයින් ඩොලර් මිලියන 2,215ක්ම ජංගම ගිණුමේ හිඟය පියවන්න. ඉතිරි ඩොලර් මිලියන 745 ණය ගෙවන්න. හැබැයි ඔය කාලය තුළ ඩොලර් මිලියන 5,933ක ණය ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 5,188ක්ම රෝල් කරගෙන තියෙනවා. තවත් විදිහකින් කිවුවොත් සංචිත වලින් ඩොලර් බිලියන 3.0ක් පමණ වියදම් කරද්දී තවත් ඩොලර් බිලියන 5.2ක් ණයටත් අරගෙන තියෙනවා.
ජනවාරි අවසන් වන විට ඉතිරිව තිබුණු නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,360.6ක්. ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ තිබුණාටත් වඩා ඩොලර් මිලියන 343.6කින් අඩු වෙලා. 2021 සැප්තැම්බර් වලින් පසුව ගෙවුණු ඔය අන්තිම මාස හතර තුළ බොහෝ විට ඊට ආසන්න මුදලක් ඉපැයූ ඩොලර් වලට අමතරව ආනයන වෙනුවෙන් වෙන් කළා වෙන්න පුළුවන්. කොහොම වුනත්, ඔය මාස හතර ඇතුළත තවත් ඩොලර් මිලියන 1103.6ක් ණය හා පොලී ගෙවන්න වියදම් කරලා තියෙනවා.
මේ අනුව බැළුවහම 2021 ජනවාරි මුල සිට 2022 ජනවාරි අග දක්වා කාලය තුළ සංචිත වලින් ඩොලර් බිලියන 3.3ක් පමණ වියදම් කරන අතර තව ඩොලර් බිලියන 6.3ක් පමණ මොන විදිහකින් හෝ රෝල් කරගෙන තියෙනවා. මෙයින් ඩොලර් මිලියන 567ක් පසුගිය වසර තුළ සෘජු විදේශ ආයෝජන විදිහට ඇවිත් තියෙනවා. තවත් ඩොලර් මිලියන 2,418 ක් රජය විසින් ලබාගත් දිගුකාලීන ණය. එතකොට බිලියන තුනකට කිට්ටුයිනේ. IMF එකෙන් මිලියන 800ක් ලැබුණා. චීනයෙන් විණිමය හුවමාරු ගිවිසුම යටතේ ඩොලර් බිලියන 1.5ක පමණ යුවාන් ලැබුණා. ඉතිරි බිලියනය බංග්ලාදේශයෙන්, ඉන්දියාවෙන් එහෙම එකතු කරගත් ටික වෙන්න ඇති.
කොහොම හරි මට පෙන්වන්න අවශ්‍ය වැදගත්ම කරුණ ආණ්ඩුව IMF නොගොස් මොන විදිහෙන් හෝ රෝල ගහගෙන යනවා කියන එකයි. තවමත් IMF නොගිහින් ඉන්නේ රෝල ගහගෙන යන්න පුළුවන් නිසා. 2021 ජනවාරි අවසානයේ සිට වසරේ අවසන් මාස 11 තුළ ගෙවිය යුතු ණය පිළිබඳ මහ බැංකුවේ ඇස්තමේන්තු මෙහෙමයි.
ණය වාරික - ඩොලර් මිලියන 4,499යි.
පොලී ගෙවීම් - ඩොලර් මිලියන 1,242යි.
විකුණා ඇති අතේ නැති ඩොලර් - මිලියන 1998යි.
එකතුව ඩොලර් මිලියන 7,739යි.
ඔයිට අමතරව මේ අවුරුද්ද තුළ ණයට කන කොටසකුත් එකතු වෙනවනේ. ඒ නිසා, මේ ගණන ඩොලර් බිලියන 8 පන්නනවා. අතේ තියෙන්නේ ඩොලර් බිලියන 2.3ක් පමණයි. තව ඩොලර් බිලියන 5.7ක් පමණවත් මේ අවුරුද්ද තුළ හොයා ගන්න වෙනවා.
මේක අමාරු වැඩක්. හැබැයි බැරි වැඩක් නෙමෙයි. ගිය අවුරුද්දෙත් ඔය ගාණට කිට්ටු ගාණක් හොයා ගෙන තියෙනවා. වැඩේ නූලෙන් ගැස්සෙන්න බැරි නැහැ. එහෙම වෙන්න යන බව පෙනුනොත් ආණ්ඩුව IMF යයි. මේ අවුරුද්දේ ඔයිට වඩා අමුතු දෙයක් සිදු වෙන එකක් නැහැ.
හැබැයි මෙතැන තවත් දෙයක් වෙනවා. යහපාලන ආණ්ඩුව කාලයේ කලින් තිබුණු ණය වෙනුවට ස්වෛරිත්ව බැඳුම්කර ණය ආදේශ වුනා. දැන් ස්වෛරිත්ව බැඳුම්කර ණය වෙනුවට චීන හා ඉන්දියානු ණය ආදේශ වෙනවා. මේවා ඉතාම කෙටිකාලීන ණය. ඔය ණය ගෙවන්න කිසිම ක්‍රමයක් නැති බව දැන් පැහැදිලි ඇතිනේ. ඒ කියන්නේ ණය කල් පිරෙද්දී නැවත අලුත් කරන්න වෙනවා. එහෙම කරන්නනම් ඔය රටවල් දිගටම හොඳින් තියා ගන්න වෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව. චීනයට වැඩිපුර තියෙන්නේ ආර්ථික අරමුණු වුනත් ඉන්දියාව එහෙමම නැහැනේ.
ඉන්දියාව මේ වෙලාවේ නූල අත ඇරියොත් චීනය ලංකාව බේරා ගන්න එයි කියා හිතන්න අමාරුයි. එහෙම කරන බවක් පේන්න තිබුණේ නැහැ. හැබැයි චීනය ලංකාව අත ඇරියොත් ඉන්දියාව ඒ කොටසටත් කරගහන්න ඉඩ තියෙනවා. දැන් ඉන්දියාවට එසේ කරන්න අවශ්‍ය ශක්තිය තියෙනවා.
වැද්දෝ ගොරක දඩමස් වාගේ කරත
ReplyDeleteවැඩකාරයට බොරු කරනෙක 'ටොයිස්' වෙත
'ලක්' එක 'හිලක්' වෙයි වාගේ පෙනෙන්නැත
ලණු කෑව නං කොහු xන්නට වෙලා ඇත
ඉකොනොමැට්ටා,
ReplyDeleteආණ්ඩුවේ ඇමති කෙනෙක් වෙන නාලක ගොඩහේවා නමැත්තා ජා-ඇල Logistics park සැපයුම් ආශ‍්‍රිත සංවර්ධන ව්‍යාපෘතියට මුල් ගල තැබීම පසුගියදා ජා-ඇලදී ආරම්භ කළ අවස්ථාවේදී පැවසූ වදන් වලින් කොටසක් මෙහි දමන්නම්, මම හිතන්නේ මේ ප්‍රකාශයෙන් වත්මන් ආණ්ඩුවේ ගොබ්බ ආර්ථික ප්‍රතිපත්ති ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි;
//රටක ආර්ථිකය මෙහෙයවීමේ දී රජයකට අභියෝග රාශියක් තිබෙනවා. සමහර අභියෝග අපි කෙටි කාලීන විසඳුම් සෙවිය යුතු අභියෝග. ඒ අතර හැමදාමත් අපි දියුණු වෙමින් ඉන්න රටක් කියමින් ඉන්න එක නතර කරලා ඇත්තටම දියුණු රටක් බවට පත්වෙන්නේ කොහොමද කියන දීර්ඝ කාලීන අභියෝගය අපට තිබෙනවා. අපේ රටේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතාමත් විධිමත් බුද්ධිමත් ඥානාන්විත සැලැස්මක් අවශ්‍ය වෙනවා.
සංවර්ධනය ගැන කතා කරන කොට අපට එක ක්ෂේත්‍රයක් ගැන විතරක් කතා කරන්න බැහැ. උදාහරණයක් වශයෙන් කෘෂිකර්මාන්තය ගැන අද බොහෝදෙනෙක් කතා කරනවා. අපි තේරුම් ගන්නට ඕනේ කෘෂිකර්මාන්තයෙන් විතරක් මේ රට දියුණු කරන්නට බැහැ කියන සත්‍යය. අපේ රටේ දළ ජාතික නිෂ්පාදනයට කෘෂිකර්මාන්තයේ දායකත්වය මේ වන විට 7% ක් නැත්නම් 8% ක් පමණයි. නමුත් රටේ ජනතාවගෙන් 30% ක් පමණ කෘෂිකර්මාන්තය මත යැපෙන නිසායි අපට ඒ ක්ෂේත්‍රය විශේෂයෙන්ම වැදගත්.
අපි මතක තියාගන්න ඕනේ රටේ ආර්ථිකයට 26 % ක් පමන කර්මාන්තවලිනුත් 58% පමන සේවාවලිනුත් දායකත්වය ලැබෙන බව. ඒ නිසා රටේ සංවර්ධනය ගැන කතාකරන විට කර්මාන්ත හා සේවා කියන ක්ෂේත්‍ර දෙකත් ඉතාමත්ම වැදගත් වෙනවා. කොටින්ම කියනවා නම් කෘෂිකර්ම, කර්මාන්ත, සේවා කියන ක්‍ෂෙත‍්‍ර තුනම අපි සංවර්ධනය කරන්නට අවශ්‍යයි. එතනදීත් අප වටහාගත යුතුයි අපට මොනවද පහසුවෙන්ම කරන්න පුළුවන්, මොන ක්ෂේත්‍රවලින්ද අපට ජාත්‍යන්තරයට යන්න පුළුවන්, මොන ක්ෂේත්‍රවලද අපට හැකියාව තිබෙන්නේ කියන කාරණය. මේවා හරියට වටහාගත්තොත් තමයි අපට පුළුවන් වෙන්නේ වෙළෙඳපොල තිබෙන අවස්ථාවලින් උපරිම ප්රයෝජන ගන්නට අපේ හැකියාවන් භාවිතා කරලා. අපේ ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තිය තුළ අපි විශ්වාස කරන දෙයක් තමයි ආර්ථිකයේ ප්‍රතිලාභ රටේ ජනතාවගේ සෑම කොටසකටම බෙදී යන්න ඕනේ කියන කාරණය. අපි දන්නවා වසරකට ලක්ෂ 3 ක් 4 ක් පමණ ප්‍රමාණයක තරුණ පිරිසක් රැකියා වෙළෙඳපොළට එනවා. ඒක රටපුරාම සිදුවෙනවා. මේ සියළු දෙනාටම අපි අවස්ථාවන් සලසන්නට ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයේත්, සේවා ක්ෂේත්‍රයේත් වර්ධනය අපට ඉතාමත්ම වැදගත්.
ලෝකයේ කිසිම රටකට සංවෘත වෙලා වැඩ කරන්න බැහැ මන්ද අපි මේ ඉන්නේ ගෝලීය ආර්ථිකයක් තුළ. අපි ලෝකයේ සෑම රටක්ම අනෙක් රටවල් සමග ගණුදෙනු කරන්නට ඕනේ. ඒ ගණුදෙනු කිරීමේ කාර්යයේදී අපට අපනයනය, ආනයනය කියන දෙකම වැදගත් වෙනවා. සමහර අයගේ මතයක් තිබෙනවා මේ අපේ තිබෙන ඩොලර් අර්බුදය නිසා අපි ආනයනය සම්පූර්ණයෙන්ම සීමා කරලා අපනයනය විතරක් සම්පූර්ණයෙන්ම කරන්න ඕනේ කියලා. ඒක ආර්ථික විද්‍යාව ගැන නොදන්නා කම නිසා ඇතිවූ මතයක්. ආනයන හා අපනයන යන ක්ෂේත්‍ර දෙක හරහාම රජයට ආදායම් ලැබෙනවා. ඒ දෙක හරහාම අර්ථික අවස්ථාවන් ලැබෙනවා, රැකියා උත්පාදනය වෙනවා, ඒනිසා මේ දෙකම රටකට වැදගත්.///
///ලංකාවේ සංවර්ධනය ගැන කතා කරනවිට අපි කාලාන්තරයක් තිස්සේ හඳුනාගෙන හිටපු දෙයක් තමයි ලංකාවට ලෝක වෙළෙඳපල තුළ යම්කිසි තැනකට එන්න තිබෙන හොඳම අවස්ථාවක් තමයි කියලා ගුවන් හා නාවික ආශ‍්‍රිත සේවාවන් වර්ධනය කරන එක. ඒ අරමුණින් තමයි අපි පසුගිය කාලෙ මේ වරාය, ගුවන්තොටුපල සංවර්ධන කටයුතු විශාල අවධානයකින් කළේ. ඒ නිසා තමයි අපි කොළඹ වරාය වගේම හම්බන්තොට වරායත්, කන්කසන්තුරේ වරායත්, ත්‍රිකුණාමලය හා අනෙකුත් වරායවල් සංවර්ධනය කරන්න පටන් ගත්තේ. කොළඹ, මත්තල ගුවන්තොටුපලවල් වගේම අනෙකුත් ගුවන්තොටුපලවල් සංවර්ධනය කරන එක ආරම්භ කළේ. නමුත් පසුකාලීනව ඒවාට අපට බාධා පැමිණුනා. අන්තිමට අපට හම්බන්තොට වරාය නැතිවෙලත් ගියා . අපට දැන් කොළඹ වරාය ඉතිරිවෙලා තිබෙනවා. කොළඹ වරායෙන් අපි උපරිම ප්රයෝජන ගන්නට ඕනේ. දැනටමත් කොළඹ වරාය ආසියානු කලාපයේ තිබෙන කාර්යක්ෂම වරායක් කියලා හඳුන්වනු ලබනවා. අපි ඊයේ පෙරේදා පටන් ගත්තා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉතිරි ඉදිකිරීම් කටයුතු කරන්නට. අපි නුදුරු අනාගතයේම බටහිර පර්යන්තයේත් ඉදිකිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ඉදිකිරීම් කටයුතු තව වසර කිහිපයක් තුළ අවසන් කළහම අපි ගණනය කරලා තිබෙනවා අපේ තිබෙන ධාරිතාවය ලෝකයේ තිබෙන ප්‍රධානතම වරායන් 15න් එකක් බවට පත්වන්නට පුළුවන් කියලා. ඒ වරායේ ධාරිතාවය එක පැත්තකින් දියුණුවනවාත් එක්කම ඒකට අදාල කරන පහසුකම්, අනෙක් ක්ෂේත්‍රත් විශේෂයෙන්ම මේ ගුදම් පහසුකම් වගේ අනෙකුත් සේවාවන් දියුණුවන්නට ඕනේ. අන්න එතනදි තමයි මේ ලොජිස්ටික් පාර්ක් කියන සංකල්පය අපට වැදගත් වන්නේ මේ පහසුකම් සැලසීම සඳහා.//
Delete//රටේ සංවර්ධනය ගැන අපි යම්කිසි වැදගත් සැලැස්මක් ඇතිව වැඩ කරන කොට අපි සියළුම දේවල් ගැන සැළසුම් කරන්නට ඕනේ. නගර සැලසුම්කරණයේදී මේ ජාඇල ප්‍රදේශය අපි තෝරාගෙන තිබෙනවා ලොජිස්ටික් පහසුකම් සඳහා. විශේෂයෙන්ම මේ ගුදම් හා අදාල සේවා පහසුකම් සැලසීම සඳහා යොදාගත යුතු ප්‍රදේශයක් වශයෙන්. මොකද මේක එක පැත්තකින් වරායට කිට්ටුයි. අනෙක් පැත්තෙන් ගුවන්තොටුපලට කිට්ටුයි. ඒ අනුව තමයි අපි මේ කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයිතිවෙලා තිබූ ප්‍රයෝජනයට නොගත්ත අක්කර 36 ක පමණ භූමි ප්‍රමානයක ලොජිස්ටික්ස් පාර්ක් එකක් සෑදීම සඳහා ආයෝජකයන් කැදෙව්වේ. ආයෝජකයන් තෝරාගැනීමේදී විවෘත ලංසු තැබීම තමයි අපේ ක්‍රමවේදය. අපි ඉස්සර වගේ කවුරු හරි දේශපාලනඥයෙකුගේ ඇඳුනුම්කමට බිස්නස් දෙන ආණ්ඩුවක් නෙමෙයි. විශේෂයෙන්ම මගේ අමාත්‍යාංශයේ එහෙම වෙන්නේ නැහැ මොනම හේතුවක් නිසාවත්. අපි හැම විටම ඉතාමත් විනිවිදව පාරදෘශ්‍යභාවයෙන් තමයි හැම කටයුත්තක්ම කරන්නේ. එතකොට ලොජිස්ටික් පාර්ක් එක සඳහා අපි ලංසු කැඳෙව්වා ජාත්‍යන්තරව සහ දේශීය සමාගම්වලින්. අපි ඉතාමත්ම සංතෝෂ වෙනවා දේශීය සමාගමක් වන ඇක්සස් සමාගම, ලංකාවේ ලැයිස්තුගත සමාගම්වලින් ඉදිරියෙන්ම ඉන්න සමාගමක් ඒ සඳහා තෝරාගන්න ලැබීම ගැන. එතුමන්ලා රජයේ තක්සේරුකරුගේ වටිනාකමටත් වඩා තුන්ගුණයක් පමණ මේ වෙනුවෙන් ඉදිරිපත් කර තිබුණා. දෙවෙනියට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නේ ඔවුන්ගේ ලංසුව. ඒ නිසා කිසිම බලපෑමකින්, වෙන දැන හැඳුනුම්කමකින් තොරව ඉතාමත්ම පාරදෘශ්‍ය ක‍්‍රමවේදයකින් දේශීය සමාගමක් මේ ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙනවා. ඔවුන්ගේ ඉතිහාසය පුරාම රටපුරා ඉදිකිරීම් කර්මාන්තය තුළ කර තිබෙන විප්ලවය දිහා බැලවහම අපි විශ්වාස කරනවා එතුමන්ලා මේ කාර්යය ඉතාමත් සාර්ථකව කරලා මේ මුළු ආසියානු කලාපයේම නමක් දිනා ගන්න පුළුවන් තාක්ෂණයෙන් ඉහළම ලොජිස්ටික් පාර්ක් එකක් මෙතන හදලා දේවි කියලා මේ රට වෙනුවෙන්.///
///මේ ව්‍යාපෘතිය හරහා මේ ප්‍රදේශයට විශාල ප‍්‍රතිලාභ රාශියක් ඇතිවෙනවා. එක පැත්තකින් ඍජු රැකියා 800 ක් පමණ මේ හරහා ඇතිවෙනවා කියලා මට දැනුම් දීලා තිබෙනවා. වක‍්‍ර රැකියා දහස් ගණනක් මේ හරහා අැතිවේවි. ඒ වගේම මේ ලොජිස්ටික් පාර්ක් එකට සේවා සපයන්නන් ඉතා විශාල ප‍්‍රමාණයකට ව්‍යාපාරික අවස්ථා මේ නිසා සැලසේවි. ඒ අතර ප්‍රදේශවාසීන්ටත් විශේෂ අවස්ථා ලැබේවි. විශේෂයෙන්ම අපේ මේ ඩොලර් අර්බුදය ගැන කතා කරන වෙලාවේ විදේශ විනිමය රටට ඇද ගන්නට විශාල අවස්ථාවක් මේ හරහා අපට සැලසේවි. මේ ව්‍යාපෘතිය හරහා තවත් විදේශ ආයෝජන ගණනාවකුත් රටට එන්නට නියමිතයි. ඒ නිසා හැම පැත්තෙන්ම මේක රටට වැදගත් ව්‍යාපෘතියක්. ඒ වගේම මේ ජා ඇලට ඉතාමත්ම වැදගත් ව්‍යාපෘතියක්.//
//ගම්පහ දිස්ත‍්‍රික්කයේ දේශපාලනඥයෙක් වශයෙන් පසුගිය කාලයේ මැතිවරණයේදී මේ ජා ඇල ප්‍රදේශය දියුණු කරන්න විශේෂ පොරොන්දුවක් දුන් දේශපාලනඥයෙක් වශයෙන් මම ඉතාමත්ම සංතෝෂ වෙනවා ජා ඇලට මේ ව්‍යාපෘතිය ගෙන එන්නට ලැබීම ගැන. මෙහි ප්‍රතිලාබ අපි දකින්නේ අද නෙමෙයි හෙටයි.
Deleteසමහර වෙලාවට අමනෝඥ දේශපාලනඥයින් දුරදිග දකින්නේ නැති අය මේවා පිළිබඳ දුර්මත ඇති කරන්න උත්සාහ කරනවා. පහුගිය කාලෙත් අපි දැක්කා යම් යම් කලබැගෑනි ඇති කරන්න උත්සාහ කරනවා. අපි කණගාටු වෙනවා ඒ අයට මේ රටේ අවශ්‍යතාව, මේ ජාතියේ අවශ්‍යතාව, මේ වගේ වටිනා ව්‍යාපෘතිවල වටිනාකම තේරුම් ගන්නට බැරි එක ගැන. හැබැයි අපි ඒවයින් කිසි සේත්ම කලබල වන්නේ නැහැ. මොකද අපි අපේ ගමන යනවා. අපි මේ ගමන යන්නේ රට වෙනුවෙන්. මොකද රට වෙනුවෙන් කරන කටයුතු මොනම හේතුවක් නිසාවත්, මොනම බලපෑමක් නිසාවත් අපි නතර කරන්නේ නැහැ. ප‍්‍රමාද කරන්නෙත් නැහැ. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ව්‍යාපෘතිවල උපරිම ප‍්‍රයෝජන ගන්න කියලා. අපේ රජයේ නිලධාරින්ගෙනුත් ඉල්ලා සිටිනවා අපි මේකට අවසර දුන්නා පමණක් නෙමෙයි මෙතනින් එහාට මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා අපට දෙන්න පුළුවන් සෑම සහයෝගයක්ම අපි ලබා දෙන්න ඕනේ.//
රාජ්‍ය අංශයට පමණක් රටක් හදන්න බැහැ. රාජ්‍ය අංශයේ වගකීම වෙන්න ඕනේ රාජ්‍ය අංශයේ වගකීම ඉටු කරන ගමන් පෞද්ගලික අංශයටත් පුළුවන් තරම් අවස්ථාව ලබාදීලා මේ රටේ ආර්ථික සංවර්ධන කි‍්‍රයාවලිය සඳහා මේ සියලූ දෙනාම දායක කරගන්න එක. ඒ සඳහා සහයෝගය ලබාදෙන්න කියල අපි අපේ දේශපාලන අධිකාරියෙනුත් ඒ වගේම රාජ්‍ය නිලධාරින්ගෙනුත් සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.///
////ඕනෑම රටක් දියුණුවන විට ඒ රටකට යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යාවශ්‍ය කාරණයක්. සමහරවෙලාවට දේශපාලන කුහකත්වය නිසා සංවර්ධනය අවශ්‍ය නැහැ කියලා කිව්වට යටිතල පහසුකම් නැතිව කිසිම රටක් සංවර්ධනය කරන්න බැහැ. ඒ නිසා තමයි ලෝකයේ ඕනෑම රටක සංවර්ධනය පටන් ගන්න කොට මුලින්ම රේල් පාරවල්, පාරවල් හැදෙන්න පටන් ගන්නේ. ඒ මගින් තමයි මුළු රටම සම්බන්ධීකරණය වෙන්නේ. ජනතාවගේ ප‍්‍රවාහන පහසුකම් සැලසෙන්නේ. මිනිසුන් එම මාර්ග භාවිත කරමින් තමයි ගම්වලට යන්නේ. ගම්වල ව්‍යාපාර පටන් ගන්නේ.
///ඒ වගේම විදුලිය, ජලය මේවා අත්‍යාවශ්‍ය දේවල් රටක් දියුණු වෙන්නේ. රටේ නගරවලට පමණක් නෙමෙයි ඈත ගම්මානවලටත් විදුලිය ජලය ලබාදෙන එක රටක සංවර්ධනයට අත්‍යාවශ්‍ය කාරණයක්. මෙම කාරණා දිහා බැලූවහම පහුගිය කාලයේ අපේ රටේ සෑහෙන සංවර්ධනය උනා මේ සෑම ක්‍ෂෙත‍්‍රයකින්ම. මහා මාර්ග, අධිවේගී මාර්ග පමණක් නෙමෙයි සෑම ගමකම පුංචි පාරවල් පවා කාපට් වෙලා ඒ ප‍්‍රවාහන පද්ධතිය සෑහෙන දුරට අද සංවර්ධනය වෙලා තිබෙනවා. විදුලිය ගැන කතා කළොත් අද රටේ ජනතාවගෙන් 100% කට විදුලිය ලබා දෙන්නට අපි සමත් වෙලා තිබෙනවා. පානීය ජලය මේ රටේ මෑතක්වන තුරුම තිබුණේ 48% කට වගේ ප‍්‍රමාණයකටයි. පසුගිය වසර දෙක තුළ කොරෝනා ගැටළුව මැද්දේ එය 70% කට පමණ ප‍්‍රමාණයකට වැඩිවෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු 3 අවසන්වන විට මේ රටේ ජනතාවගෙන් 90%ක් දක්වා වැඩි කිරීමට.///
///ඒ වගේම තවත් වැදගත්ම අවශ්‍යතාවයක් තමයි මේ විදුලි සංදේශන පහසුකම. ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන විට එතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ ගැන කතා කරනකොට එතුමා විශේෂයෙන්ම සඳහන් කරපු දෙයක් තමයි අපේ රටේ අනාගත සංවර්ධනය රඳා පවතින්නේ අධි තාක්ෂණ ලෝකයක් සමග අනගත වීම මත කියලා. මොකද අපි ලෝකයේ අනෙක් රටවල් සමග තර`ග කරන්න තිබූ අවස්ථාවල් ඉතිහාසය පුරා අපේ රටේ තිබූ ප‍්‍රශ්න නිසා, විශේෂයෙන්ම විදේශ ආක‍්‍රමණ නිසා යටත් විජිත වශයෙන් තිබූ නිසා අපට අහිමි උනා. විශේෂයෙන්ම ලෝකය කාර්මීකරණය වන විට ඒ කාර්මීකරණය ආපු අවස්ථාවන් අපට අහිමිවුණා මොකද අපි යටත් විජිත වශයෙන් හු`ගක් පසුගාමීව හිටපු රටක් නිසා. අපිට දැන් ලෝකය තාක්ෂණයෙන් ඉදිරියට යන විට අපිත් තාක්ෂණික යටිතල පහසුකම් ඉක්මනට සංවර්ධනය කර ගන්න පුළුවන් නම් අපට පුළුවන් ලෝකයේ අනෙක් රටවල් සමග තර`ගයක් දෙන්නට. ඒ සඳහා අවශ්‍ය කරන අධ්‍යාපන මට්ටම අපේ රටේ තරුණ පරපුරට තිබෙනවා. නමුත් යටිතල පහසුකම් ඒ හා සමානව දියුණු වෙන්නට ඕනේ. ඒ නිසා අපි විශේෂ අවධානයක් යොමු කලා. ඇත්ත වශයෙන්ම මහින්ද රජපක්ෂ මහත්මයාගේ රජය කාලයේ තමයි පටන් ගත්තේ. වර්තමාන ජනාධිපතිතුමා ඊටත් වඩා දැඩිලෙස විශ්වාස කරනවා. ලෝකයේ ඕනෑම රටක් සමග සංසන්දනය කරන්න පුළුවන් මට්ටමට යටිතල පහසුකම් දියුණු කරන්න ඕනේ කියන කාරණය. එතනදී එස්එල්ටී මොබිටෙල් ආයතනය විශාල වැඩකොටසක් කරගෙන යනවා. අද මොබයිල් ටෙලිකොමියුනිකේෂන් සපයන අනෙකුත් ආයතනත් ලංකාවේ භූමි භාගයෙන් 96% කට වඩා මේ වන විට ආවරණය කරලා තිබෙනවා. තව 4% ක් පමණ ප‍්‍රමාණයක් තමයි ආවරණය කරන්න තිබෙන්නේ. තැන් තැන්වල පොඩි පොඩි පොකට්ස් ඉතිරිවෙලා තිබෙනවා. ඒ වගේ එකක් තමයි මේ කෑරගල ගම්මානය. අපි ඒ වගේ තැන් හඳුනාගත්තහම පුළුවන් තරම් ඉක්මනට ඒ පහසුකම ගෙනල්ලා ඒ ආවරණය ලබාදෙනවා. මේ සම්පේ‍්‍රෂන කුළුණු හරහා ලබාදෙන ආවරණය හරියට පරක් හදනවා වගේ. පාර හැදුවට පස්සෙ තමයි ඒ ගමට අවශ්‍ය විවිධ දේවල් පාරේ එන්න පටන් ගන්නේ. ඒ වගේ මේ ලබාදෙන සන්නිවේදන පහසුකම හරහා තව බොහෝ දේවල් තාක්ෂණය සමග ඉදිරියට එනවා. අපි විශ්ව විද්‍යාලයට යන කාළේ මොබයිල් කොමියුනිකේෂන් කියලා කිව්වේ ශබ්දය විතරයි. ඒ කාලේ ඬේටා තිබුණේ නැහැ. ඒ කාලේ අපි වීඩියෝ කොම්පරන්ස් වගේ දේවල් අහලා පමණයි තිබුණේ. අද එම පහසුකම දුරකථනයටම ඇවිල්ලා තිබෙනවා. අද දුරකථනය හරහා අපට බොහෝ දේවල් කරන්න පුළුවන්. තාක්ෂණය දියුණුවන විට මීටත් වඩා දේවල් අපට කරන්න පුළුවන්. අද අපට ලෝකයේ ඕනෙම කෙනෙක් සමග අපේ දුරකථනයෙන් කොම්පරන්ස් එකක් කරන්න පුළුවන්. ළමයෙකුට ඕනෙම විෂයක් අන්තර්ජාලය හරහා අධ්‍යනය කරන්න පුළුවන් පහසුකම අද තිබෙනවා. එයිනුත් ඉදිරියට ගිහින් තාක්ෂණය හුගක් දියුණුවන විට ගෙදර ඉඳං තවත් වැඩ කරන්න පුළුවන්.
Deleteසමහර වෙලාවට කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන භාණ්ඩ වෙන කොහේ හරි ඉඳලා සැලසුම්කරලා නිෂ්පාදනය කරන්න පුළුවන් තත්වයට තාක්ෂණය ඉස්සරහට අපට එනවා. දැනට තිබෙනවා 4G තාක්ෂණය. ලංකාව පුරාම 90% ක් විතර තිබෙන්නේ එම තාක්ෂණය. ඊ ළගට 5G තාක්ෂණය එනවා. එය ආවට පස්සේ දැනට කොළඹ සහ ප‍්‍රදේශ කිහිපයක අපි එය පාවිච්චි කර බලනවා. එම තාක්ෂණය ආවහම විශාල වැඩ කොටසක් අපට කරන්න පුළුවන් වෙනවා. සාමාන්‍ය පාරිභෝගිකයින්ට වඩා වේගයෙන් දත්ත ලැබෙනවා. ඊට අමතරව කර්මාන්ත ශාලාවලට විවිධ ක්‍ෂෙත‍්‍රවලට බොහෝ වැඩ කිරීම සඳහා ඒ හරහා පහසුකම ලැබෙනවා. මේ තාක්ෂණය වෙනස්වන වේගය අපට හිතා ගන්නවත් බැරිතරම් වේගයකින් සිද්ද වෙන්නේ. අපි පහුගිය අවුරුදු 30 ඇතුළත යම්කිසි සංවර්ධනයක් තාක්ෂණ ලෝකයේ දැක්කනම් මම හිතන්නේ ඊට වඩා වැඩි සංවර්ධනයක් ඉදිරි අවුරුදු පහ ඇතුළත දකීවී. ඊට පස්සේ වසරින් වසර හු`ගක් දේවල් වෙනස් වේවි. ඒක නිසා මේ කෑරගල ගම්වාසීන්ට මේ අද ලැබුණ දේ වටිනාකම තේරෙන්නේ අද නෙමෙයි. මේකේ වටිනාකම තේරෙන්නේ හෙට. අනාගතයේදී. ඒ නිසා අනාගතයේ දොරටුව මේ දරුවන්ට විවෘත වෙලා තිබෙනවා. ඒ නිසා ඔබ සියලූ දෙනාගේම වගකීම තමයි මේ ලැබිලා තිබෙන අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න එක.///
///අපේ රටට මේ වෙලාවේ අවශ්‍ය වෙලා තිබෙන්නේ පුළුවන් තරම් ආයෝජන ගෙනෙන එක, ව්‍යාපාර පටන් ගන්න එක, රැකියා උත්පාදනය කරන එක එම අවස්ථාවන් ජනතාවට ලබාදෙන එක. ඒ නිසා මොනවා හරි ඒ වගේ දෙයක් කරන්න යනවිට ඒවට බාධා කරන්නේ නැතිව ඒවට අකුල් හෙලන්නේ නැතිව, කකුලෙන් අදින්නේ නැතිව අපි හැම කෙනෙක්ම මේ රටට අවශ්‍ය කරන දේවලට උදව් කරනවා නම්, ඒවා අගය කරනවා නම්, කරන මිනිසුන්ව ධෛර්යමත් කරනවා නම් අපට මේ රටේ හුඟක් දේවල් ඉස්සරහට කරන්න පුලූවන්.//
Delete///අපි සතියේ දවස් හතම වැඩ කරනවා. අපි මොනවා හරි දෙයක් කොහේ හරි මේ දිස්ත‍්‍රික්කය තුළ කරනවා. අපි විශ්වාස කරනවා මිනිස්සු අපට ඡන්දෙ දුන්නේ යම්කිසි බලාපොරොත්තුවක් ඇතිව. අපේ වගකීම තමයි වෙන අය කරන වැඩ විවේචනය කර කර ඉන්නේ නැතිව වෙන අය වැඩ නොකරන එක ගැන කරදර වෙන්නේ නැතිව අපිට හැකි උපරිම මට්ටමෙන් වැඩ කරනවා. අපි එම කාර්යය කරමින් ඉන්නවා. අපි ඉල්ලන්නේ හැම කෙනෙක්ගෙන්ම අපි වගේ තමුන්ගේ කාර්යය කරන්න. තමුන්ගේ කාර්ය හැම කෙනෙක්ම කරනවා නම් අන්තිමට අපේ රට අපට අවශ්‍ය කරන තැනට ගෙනයන්න පුළුවන් වේවි’ අපි දන්නවා ලංකාවයි ඉන්දියාවයි නිදහස ලැබුවේ ඉතාමත් ලඟ ලඟ අවුරුදු දෙකක. 1947 ඉන්දියාව නිදහස ලැබුවා. අපි 1948 නිදහස ලැබුවා. අපි අවුරුදු 74 කට පස්සේ ආපහු හැරිලා බලනකොට ලංකාවට නැති සුවිශේෂී වාසියක් ඉන්දියාවට තිබෙන බව ඉන්දියාවේ ආර්ථික වර්ධනය දිහා බැලූවහම අපට පේනවා. ලංකාව තවමත් ආර්ථික ප‍්‍රශ්න ගැන කතා කරන රටක්. අපි හැමෝම කතා කරන්නේ ආර්ථික ගැටළු ගැන. මේ ආර්ථික ගැටළු වලින් ගොඩ එන්නේ කොහොමද කියන එක ගැන. නමුත් අපට ආසන්නයේ තිබෙන අපට වඩා විශාල දිළිඳු රටක් ඉන්දියාව. නිදහස ලබන වෙලාවේ අපි ආසියාවේ තිබිච්ච සාමාන්‍ය ධනවත් රටක්. අද ඉන්දියාව ලෝකයේ ආර්ථිකයන්ගෙන් පස්වෙනි ස්ථානයට ඇවිල්ලා තිබෙනවා. නිදහස ලබන වෙලාවේ ඉන්දියාව යටත් විජිතයක් කරගෙන හිටපු මහා බි‍්‍රතාන්‍යයට වඩා අද ඉන්දියාවේ ආර්ථිකය විශාලයි. තව අවුරුදු 5 ක් ඇතුළත ලෝකයේ තුන්වෙනි විශාලතම ආර්ථිකය වීමේ හැකියාව ඉන්දියාවට තිබෙනවා.///
///ඉන්දියාවේ මේ වෙනස විශේෂයෙන් පසුගිය දශක දෙකක පමණ කාලය තුළ මහා විශාල ආර්ථික සංවර්ධනයක් ඇතිවෙන්නට හේතුව කවුරු හරි ගිහින් හරියට හොයලා බැලුවොත් ඒකේ පිටුපස තිබෙන රහස තමයි ඉන්දියාවේ බහුතරයක් තරුණ පරපුර ඉංග‍්‍රීසි භාෂාව කතා කරන එක. මොකද ඉන්දියාවේ ආර්ථිකය දියුණු වෙන්නේ සේවා ආර්ථිකයක් විදිහට. ඒ සේවා ආර්ථිකයේ ශක්තිය වෙලා තිබෙන්නේ ඉන්දියාවේ සෑම තරුණ තරුණියකටම ඉංග‍්‍රීසි කතා කිරීමේ හැකියාව තිබෙන නිසා. ඒක යම්කිසි හේතුවක් නිසා ඉතිහාසය විමර්ෂණය කරන කොට යම්කිසි වෙලාවක හොඳයි කියලා දැකපු දේවල් අද අපට නරකට පිහිටලා තිබෙනවා. අද ලංකාවේ ඒ ශක්තිය නැහැ. අද ලංකාවේ ඉංග‍්‍රීසි අධ්‍යාපනය අතින් ඉතාමත්ම පිටිපස්සෙන් ඉන්නේ ඉන්දියාව පාකිස්ථානය වගේ රටවල් එක්ක සංසන්දනය කරනා විට. ඒ නිසා සේවා ආර්ථිකයෙන් ඉහළට යන්නට අපට තිබෙන අවස්ථාව සෑහෙන දුරට සීමා වෙලා තිබෙනවා මෙන්න මේ කාරණය නිසා. මොකද අපි අද ඉන්නේ ගෝලීය වෙළෙඳපොලක. මේ ගෝලීය වෙළෙඳපල තුළ බොහෝ දේවල් කරන්න පුළුවන් අපේ තරුණ පරපුරට හොඳ ඉංග‍්‍රීසි දැනුමක් තිබෙනවා නම්.///
///අද අපේ සමාජයේ තරුණ තරුණියන්ට රැකියාවක් ලබාගන්න ගියහම තිබෙන ප‍්‍රධානතම ගැටළු වලින් එකක් තමුන් ගැන ආත්ම විශ්වාසයක් නැතිකම. සම්මුඛ පරීක්ෂණයට ගිහින් ආත්ම විශ්වාසයකින් මුහුණ දෙන්නට බැරිකම. ඒ ආත්ම විශ්වාසය නැතිවෙන්නටත් එක ප‍්‍රධාන හේතුවක් තමයි ඉංග‍්‍රීසි දැනුම. හුඟක් වෙලාවට සම්මුඛ පරීක්ෂණයකට ගියහම වචනයක් දෙකක් හරි ඉන්න සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉංග‍්‍රීසියෙන් අහනවා. ඇහුවේ නැතත් අහයි කියලා බයේ යන්න කලින්ම ආත්ම ශක්තිය කඩා වැටිලා තමයි එතනට යන්නේ. පහුගිය කාලේ මම හුඟක් දරුවෝ පුද්ගලික අංශයේ රැකියාවලට යොමු කරන්න උත්සාහකළා. ඒ ආයතනවලට කතා කරලා ඒ දරුවන්ව රැකියාවලට ඇරියහම, ඒ රැකියාවලට මං වෙනුවෙන් ගන්න කැමැත්ත තිබුනත් ඒ දරුවෝ සම්මුඛ පරීක්ෂණයට ආවහම ඒ අය කියනවා ඇමතිතුමා තරහා වෙන්න එපා ඒ දරුවෝ ගන්න බැහැ. සම්මුඛ සාකච්ඡාවලටවත් මුහුණ දී ගන්න බැහැ. කතා කරගන්න බැහැ. වෙව්ලනවා. අපි කොහොමද ගන්නේ. එහෙනම් රැකියාවලට එක එක්කෙනාට වැඳ වැඳ රැකියා ඉල්ල ඉල්ල යවන්න කලින් දරුවන්ව රැකියාවලට යවන්න පුළුවන් වෙනසක් කරන්නට ඕනේ. ඒ වෙනස කරන්න පුළුවන් ප‍්‍රධානම ක‍්‍රම දෙකක් තමයි, පළවෙනි එක ඒ දරුවන්ගේ ඉංග‍්‍රීසි මට්ටම ඉහළ නංවන එක. දෙවන එක තමයි අපි කියනවා මෘදු කුසලතා, හැසිරෙන විදිහ, කතා කරන විදිහ, තමුන් අඳින පළඳින විදිහ මෙන්න මේවා පිළිබඳ දැනුමක් දරුවන්ට ලබාදෙන එක. කාරණා දෙකක් නැවතත් මම ඔයාලාට මතක් කරන්නවා. හොඳට ඉංග‍්‍රීසි ඉගෙන ගන්න. ඉංග‍්‍රීසි කවදාවත් අපතේ යන්නේ නැහැ. දෙවන කාරණය ආත්ම ශක්තිය වැඩි කරගන්න. මම ඉංග‍්‍රීසිවල අවශ්‍යතාවය පිළිබඳවත් කරුණු කිහිපයක් කියන්නම්. ඇයි ඉංග‍්‍රීසි අවශ්‍ය. පළවෙනි කාරණය තමයි රැකියාවක් ගන්න ගියහම ඉංග‍්‍රීසි අවශ්‍යයි. දෙවන කාරණය තමයි රැකියාව ඇතුලේ ඉහළට යන්න ගියහම, රජයේ වේවා පෞද්ගලික අංශයේ වේවා ඕනෙම තැනක ඉංග‍්‍රීසියෙන් හොඳට කතා කරන්න පුළුවන් නම් උඩට යන්න පුළුවන් හැකියාව වැඩියි. විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ.
Deleteදෙවන කාරණය තමයි ව්‍යාපාරයක් කරන්න ගියහම උනත් අද ඉංග‍්‍රීසි දැනුම තිබෙනවා නම් අපට ගෝලීය ව්‍යාපාර කරන්න පුළුවන්. ලංකාවේ ඉඳන් ලෝකයත් එක්ක ගණුදෙනු කරන්න පුළුවන්. ඒවා කරනකොට කවුරු හරි මත යැපෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ තමුන්ගේ දැනුම තිබෙනවා නම් තමුන්ට අන්තර්ජාලයට ගිහින් මොනවා හරි ඉගෙන ගන්න. විදේශ කෙනෙක් සමග ගණුදෙනු කරන්න වගේ හැම දේකටම ඉංග‍්‍රීසිවල වටිනාකම තිබෙනවා. ඊ ළඟට සමාජයේ පිළිගැනීමක් තිබෙනවා. ආත්ම විශ්වාසය ගොඩනැගෙනවා. ඒ වගේ වාසි ගණනාවක් තිබෙනවා. ඒ නිසා මම ඔයාලට දෙන පළවෙනිම අවවාදය තමයි හොඳට ඉංග‍්‍රීසි ප‍්‍රගුණ කරන්න. හැමදාම ඉගෙන ගන්න. අපි අද උනත් අළුත් වචනයක් දැක්කොත් ඩික්ෂනරියෙන් හොයලා බලලා ඔළුවට දා ගන්නවා. ඒක අපතේ යන්නේ නැහැ. අපට කවදාවත් ඉංග‍්‍රීසි ඩික්ෂනරිය කියවලා ඉවර කරන්න බැහැ. හැමදාම අළුතෙන් ඉංග‍්‍රීසි ඉගෙන ගන්න. දෙවන කාරණය තමයි ආත්ම විශ්වාසය, මෘදු කුසලතාවයන් හදා ගන්න. හොඳට ආත්ම විශ්වාසය තිබෙනවා නම්, හොඳට ඉංග‍්‍රීසි කතා කරන්න පුළුවන් නම් ලොකු ගමනක් යන්නට පුළුවන්///
ආන්ඩුව මේ වගේ මනස්ගාත සිහින ලෝකවල ජීවත් වෙවී කොහොමද රටක් වශයෙන් ඉදිරියට යන්නේ?
මේ අයට රටේ තියෙන කේන්ද්‍රීය ප්‍රශන ගැන කිසිම අවබෝධයක් වත් සැලැස්මක් වත් නෑති බව මේ කතා වලින්ම පැහැදිලි වෙනවා නේද?
මේ මෝඩ අදහස් වල ප්‍රතිඵලයක් ලෙස ඉතා ඉක්මණින් කබලෙන් ලිපට වැටෙයි කියලා හිතන්න පුළුවන්.
ඉකොනොමැට්ටා, මේ කෙටි වීඩියෝ ක්ලිප් එක බලා කියන්න බලන්න මේව ඇමරිකන් ඉන්ග්ලිශ්, මෝඩ සිංහලයන්ට තෙරෙන්නෙ නෑ කියලා, ඉකොනොමැට්ටාගේ සහෝදර ඇමරිකන් පුරවැසියෙක් නේ
ReplyDeletehttps://www.facebook.com/watch/?v=1469783233416733
ඇත්තටම ඇමරිකන් කාරයෝ ඔක්කොම මේ වගේ මී හරක් වෙන්න ඇති, මතකනේ පිස්සු ට්‍රම්ප් ගොයියා, ඒවගේම දැනට ඉන්න බයින්ඩන් බයිඩං ගොන් බයියාත් එච්චර තමයි, ඩොලර් ට්‍රිලියන ගනන් අච්චු ගහලා දැන ඩොලරය අම්බානක වැටිලා තියෙන්නේ ඒකනේ, ලංකාවෙන් ඇමරිකා යන උනුත් සේරම වගේ මේ වගේ ගොන් යක්කු තමයි, ඉංග්‍රීසිත් බැරි, සිංහලත් බැරි, ගණනුත් බැරි ඇමරිකන් කේප්ප හරකෙක් ආසියාවේ පුංචි රටක විව්‍යවස්ථාව වෙනස් කර පාර්ලිමේන්තු පැමිණීම පිළිබද සතුටට කිරිබත් කමු අපි.
//ආනයන පාලනයත් මේ වගේම වැඩක්. රටේ දේශීය නිෂ්පාදනය වැඩි වෙන බව මිනිස්සුන්ට පෙන්වනවා. මිනිස්සුත් එහෙම හිතනවා. හැබැයි වෙන්නේ අනෙක් පැත්ත. මේ ආණ්ඩුවේ වත්මන් ආර්ථික ප්‍රතිපත්ති නිසා දේශීය නිෂ්පාදනය වැඩි වෙනවා තමයි. හැබැයි ලංකාවේනම් නෙමෙයි. ඉන්දියාවේ හා චීනයේ.//
ReplyDeleteමේක ඇත්තටම වෙන්නෙ ආනයනය පාලනය හින්දද? විනිමය අනුපාතය පාලනය හින්දා ද?
මේක වෙන්නේ විණිමය අනුපාතය පාලනය කිරීම නිසා. ඒ නිසා දේශීය නිෂ්පාදන පහළ ගිහින් ආනයන ඉහළ යනවා. ආණ්ඩුව කරන්නේ එය වහගෙන එහි අනෙක් පැත්ත පෙන්වීමට ආනයන පාලනය උපකරණයක් ලෙස යොදා ගැනීමයි. නමුත්, ඒ ආනයන පාලනයෙන් එතරම් වැඩක් වෙන්නේ නැහැ. විණිමය අනුපාතය පහළින් තියෙන තුරු ආනයනය පාලනය කරන දේවල් නිසා ඉතිරි වන ඩොලර් ටිකෙන් වෙන්නෙත් පාලනය නොකළ ආනයනික භාණ්ඩ වල ඉල්ලුම වැඩි කරන එකයි.
Deleteඉන්දියාව අන්තිමේදී රාජපක්ෂලාව බිත්තියට හේත්තු කරලා ඔවුන්ට අවශ්‍ය දේ කර ගනී වගේ. මොකෝ ඉන්දියාව දන්නවා ඔවුන්ට අවශ්‍ය දේ ගන්නනම් ඒකට සුදුසුම වෙලාව රාජපක්ෂලාට ආණ්ඩු බලය තියෙන වෙලාව කියලා. මොකද මේ ගොල්ලෝ විපක්ෂයේ ඉන්න වෙලාවට කරන්නේ බිල්ලෝ මවලා මෝඩ මිනිස්සු රවටන එකනේ. උදාහරණයක් ගත්තොත් ගම්මන්පිලගෙ රූපාන්තරණය බලන්න.
ReplyDelete