Friday, February 23, 2018

ඡන්ද දෝස මෝහ

පළාත් පාලන මැතිවරණයේ 'නිවැරදි' සමස්ත ප්‍රතිඵලය ඊයේ මෙහි පළ කෙරුණේය. එහෙත්, මෙහිදී නිවැරදි යන වචනය භාවිතා කරන්නේ සාපේක්ෂ අර්ථයකිනි. මාධ්‍ය හරහා ප්‍රචලිතව ඇති ප්‍රතිඵල අනුව ඡන්දය පැවැත්වුණු ආයතන 340ම කිසියම් පක්ෂයක් විසින් ජයගෙන ඇති බව පෙනුණත් ආයතන 200කම කිසිදු තනි පක්ෂයකට බහුතර බලයක් ලැබී නැත. ඒවායේ බලය තීරණය වන්නේ පක්ෂ එකිනෙක සන්ධානගත වන ආකාරය අනුවය.

කෙසේවුවද, ඉහත නිරීක්ෂණය පදනම් වන්නේද වැරදි රාශියක් දැකිය හැකි නිල මැතිවරණ ප්‍රතිඵල පාදක කරගනිමිනි. ලිපි දෙකක් පුරා මෙවැනි වැරදි ගණනාවක් දැනටමත් පෙන්වා දී ඇතත් එසේ පෙන්වා දී තිබෙන්නේ බැලූ බැල්මටම පෙනෙන වැරදි පමණි. මේ වැරදි පෙන්වා දීමේදී, මැතිවරණ කොමිසම විසින් මන්ත්‍රීධුර බෙදාහැර ඇති ක්‍රමය පණත අනුව නිවැරදියැයි සලකා තිබේ. වැරදි ලෙස දක්වා ඇත්තේ මැතිවරණ කොමිසම විසින්ම අනුගමනය කර ඇති සාමාන්‍ය ක්‍රමවේදය පවා අනුගමනය කර නැති තැන්ය.

මෙයින් අදහස් වන්නේ මැතිවරණ කොමිසම විසින් අනුගමනය කර ඇති සාමාන්‍ය ක්‍රමවේදය පණත අනුව නිවැරදි බව නොවේ. එහිද ප්‍රශ්න තිබේ. ඊට අමතරව පනතේද ප්‍රශ්න තිබේ. ඒ අනුව, මේ මැතිවරණ ප්‍රතිඵලය තනිකරම අවුල් ජාලයකි. තවමත් නිල වශයෙන් මන්ත්‍රීධුර පුරප්පාඩු සඳහා පත්වන පුද්ගලයින් නම් කර නැත්තේ මේ අවුල් ලිහා ගන්නට අසීරු නිසා විය හැකිය. සන්ධාන ඇති වීම හා මන්ත්‍රීවරු අලෙවිවීම හරියටම ඇරඹෙනු ඇත්තේ මන්ත්‍රීධුර පුරප්පාඩු පිරවුනු පසුවය.

අලුත් මැතිවරණ ක්‍රමය ගැන මීට පෙර මෙහි ලිපියක් පළ කර තිබේ. එහෙත්, මැතිවරණ කොමිසම විසින් අනුගමනය කර ඇති ක්‍රමය හරියටම එම ලිපියේ මා විසින් විස්තර කර ඇති ක්‍රමයම නොවේ. මගේ අදහස අනුව, පණත අනුව මා විස්තර කර ඇති ක්‍රමය නිවැරදිය. එහෙත්, මා නීති විශාරදයෙක් නොවන බැවින් මට මේ ගැන සහතික විය නොහැකිය. කෙසේ වුවත්, මා දකින වැරැද්ද මෙහි සටහන් කර තැබිය යුතුය. මා සිතන පරිදි පණත අනුව නිවැරදි ක්‍රමවේදය අනුගමනය කළහොත් මීට වඩා වැඩි ආයතන ගණනක බහුතර බලය කිසියම් හෝ පක්ෂයකට ලැබෙන අතර අමතර මන්ත්‍රීධුර ගණනාවක් සඳහා වැය වන මහජන මුදල්ද ඉතිරි වේ. මා පෙන්වා දෙන තාක්ෂණික වරදට පදනමක් නැත්නම් අවශ්‍ය කෙනෙකුට එය පැහැදිලි කිරීමේ අයිතිය තිබේ. එහෙත්, එය එසේ නොවේනම් අගතියට පත්ව ඇති පාර්ශ්ව වලට නීතිමය පිලිසරණ පැතීමේ හැකියාව තිබේ.

අලුත් ක්‍රමයට මන්ත්‍රී පුරප්පාඩු පුරවන ආකාර තුනක් තිබේ. ඒ පහත පරිදිය.

1) කොට්ඨාශ ජයග්‍රාහකයින් (පණතේ 65B ඡේදයේ 1 අනුකොටස)
2) සමානුපාතික ක්‍රමයට හිමිවන පූර්ණ මන්ත්‍රීධුර (පණතේ 65B ඡේදයේ 3 අනුකොටස)
3) සමානුපාතික ක්‍රමයට හිමිවන "කොටෙන් ගොඩයන" මන්ත්‍රීධුර  (පණතේ 65B ඡේදයේ 4(b) අනුකොටස)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පණතේ 65B ඡේදයේ 4(b) අනුකොටස මා තේරුම් ගන්නා ආකාරය අනුව ඉහත (3) ක්‍රමයට මන්ත්‍රීවරුන් පත් කළ යුත්තේ (1) හා (2) ක්‍රම වලට අවශ්‍ය මන්ත්‍රී පුරප්පාඩු පිරවිය නොහැකිනම් පමණි. එහෙත්, සිදුව ඇත්තේ එය නොවේ. මෙහි ප්‍රතිඵලය ලෙස පණත අනුව නියමිත ගණනට වඩා එල්ලෙන මන්ත්‍රීධුර එකතු වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස එක අතකින් පොදු පිරිවැය ඉහළ යද්දී අනෙක් අතින් ආයතන ගණනාවක බහුතර බලය කිසිදු පක්ෂයකට නැතිව ගොස් ඇත.

මෙය පැහැදිලි කිරීම සඳහා අපි පහත උපුටා දක්වන කොළඹ මහ නගර සභාවේ ප්‍රතිඵලය දෙස බලමු.

එජාප     131,353
ශ්‍රීලපොපෙ 60,087
එජනිස    31,421
එප්‍රස     27,168
ජවිපෙ     14,234
ස්වාධීන-2 4,833
එසාස     4,700
ශ්‍රීලජාබ  3,251
ලකස      2,853
යජාපෙ  2,771
එජනිපෙ     1,380
ස්වාධීන-1 929
එකතුව     284,980


කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීධුර ගණන 110ක් ලෙස නිර්ණය කර ඇති අතර එයින් 60%ක් එනම් 66ක් කොට්ඨාශ මන්ත්‍රීධුර වේ. නගර සභා බල ප්‍රදේශයේ ඇති කොට්ඨාශ 41න් එක් එක් කොට්ඨාශයේ වැඩිම ඡන්ද ලබාගත් දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට මේ මන්ත්‍රීධුර හිමිවේ. බහුමන්ත්‍රී කොට්ඨාශයන්හි වැඩිම ඡන්ද ලබාගත් දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට අදාළ පරිදි මන්ත්‍රීධුර 2ක් හෝ 3ක් හිමි වේ. ඒ අනුව, කොට්ඨාශ මන්ත්‍රීධුර 66 බෙදී ගොස් ඇත්තේ පහත පරිදිය.

එජාප     60
ශ්‍රීලපොපෙ 3
එජනිස    2
එප්‍රස     1

මැතිවරණ කොමිසම විසින් මේ කොටස නිවැරදිව කර ඇති අතර අවුල තිබෙන්නේ ඉතිරි මන්ත්‍රීධුර 44 හා අදාළවය. මේ මන්ත්‍රීධුර 44 සමානුපාතික ක්‍රමයට බෙදීම සඳහා පළමුවෙන්ම "අදාළ ඡන්ද සංඛ්‍යාව" සොයාගත යුතුය. මෙය මුළු වලංගු ඡන්ද ගණන මන්ත්‍රීධුර ගණනෙන් බෙදූ විට ලැබෙන පූර්ණ සංඛ්‍යාවයි. 264,980/110=2,590.727 වන නිසා මෙහිදී අදාළ ඡන්ද සංඛ්‍යාව වන්නේ 2,590යි. මේ අනුව එක් එක් දේශපාලන පක්ෂය හෝ කණ්ඩායම විසින් ලබාගත් සෑම ඡන්ද 2,590ක් වෙනුවෙන්ම එක් මන්ත්‍රීධුරයක් වෙන් විය යුතුය. මෙය එක් එක් පක්ෂයේ ඡන්ද ගණන 2,590න් බෙදූ විට ලැබෙන පූර්ණ සංඛ්‍යාවයි. මේ ගණන් පහතින් දක්වා තිබේ.

එජාප     131,353 50.72 50
ශ්‍රීලපොපෙ 60,087 23.20 23
එජනිස    31,421 12.13 12
එප්‍රස     27,168 10.49 10
ජවිපෙ     14,234 5.50 5
ස්වාධීන-2 4,833 1.87 1
එසාස     4,700 1.81 1
ශ්‍රීලජාබ  3,251 1.26 1
ලකස      2,853 1.10 1
යජාපෙ  2,771 1.07 1
එජනිපෙ     1,380 0.53 0
ස්වාධීන-1 929 0.36 0
එකතුව     284,980 105

මැතිවරණ කොමිසම විසින් මේ දෙවන පියවරද නිසිපරිදි අනුගමනය කර තිබේ.

දෙවන පියවරෙන් පසුව එක් එක් පක්ෂයට හෝ කණ්ඩායමට පණතේ 65B ඡේදයේ 3 අනුකොටස අනුව හිමි විය යුතු සමානුපාතික මන්ත්‍රීධුර ගණන හා 65B ඡේදයේ 1 අනුකොටස අනුව දැනටමත් හිමි වී ඇති කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන පරීක්ෂා කළ විට පෙනෙන්නේ එජාපය දැනටමත් අමතර මන්ත්‍රීධුර 10ක් ලබාගෙන ඇති බවයි. ඒ මන්ත්‍රීධුර ගණන අඩු කළ නොහැකි නිසා මේ වන විට මන්ත්‍රීධුර බෙදී ගොස් ඇති ආකාරය පහත පරිදි වේ.

එජාප     60
ශ්‍රීලපොපෙ 23
එජනිස    12
එප්‍රස     10
ජවිපෙ     5
ස්වාධීන-2 1
එසාස     1
ශ්‍රීලජාබ  1
ලකස      1
යජාපෙ  1
එජනිපෙ     0
ස්වාධීන-1 0
එකතුව     115

මේ අනුව දැනටමත් නියමිත ආසන ගණන වන 110 පිරවී තවත් අමතර ආසන 5ක්ද පිරවී අවසානය. ඒ නිසා, දැනටමත් පණතේ 65B ඡේදයේ 4(a) අනුකොටස අනුව එල්ලෙන මන්ත්‍රීධුර 5ක් තිබේ. ඒ නිසා, පණතේ 65B ඡේදයේ 4(b) අනුකොටස අනුව "කොටවලින්" මන්ත්‍රීධුර පිරවීමේ අවශ්‍යතාවයක් නැත. 4(b) අනුකොටස ක්‍රියාත්මක විය යුත්තේ 1 හා 3 අනුකොටස් අනුව පුරප්පාඩු පිරවීමෙන් පසුව තවත් පුරප්පාඩු ඇත්නම් පමණි.

මා සිතන පරිදි පණතේ විස්තර කර ඇති නිවැරදි ක්‍රමය ඉහත ක්‍රමයයි. එහෙත්, මැතිවරණ කොමිසම විසින් කර ඇත්තේ එය නොවේ. ඔවුන් පණතේ ඇති අනුපිළිවෙල වරද්දමින් පළමුව 3 අනුකොටසත්, දෙවනුව 4(b) අනු කොටසත් ක්‍රියාත්මක කර ඇති අතර 1 අනුකොටස දෙස අවධානය යොමු කර තිබෙන්නේ එයින් පසුවය.

මේ අනුව, 3 අනු කොටස අනුව ඉහත පෙන්වා ඇති පරිදි මන්ත්‍රීධුර 105ක් පිරවීමෙන් පසුව එජාපය විසින් දැනටමත් අමතර ආසන 10ක් ලබා ඇති බව නොසලකමින්, 4(b) අනුකොටසේ විස්තර කර ඇති ආකාරයට තවත් පුරප්පාඩු 5ක් පුරවා තිබේ. ඒ සමානුපාතික ක්‍රමයට මුළු මන්ත්‍රීධුර ගණන වන ධුර 110ම පිරෙන පරිදිය. ඔවුන් කර ඇති දෙය තේරුම් ගැනීමට එක් එක් දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට දැනටමත් ලැබී ඇති මන්ත්‍රීධුර වෙනුවෙන් අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ඉවත් කළ විට ශේෂය දෙස බැලිය යුතුය. මේ ශේෂය දෙස බලමින් වැඩිම ශේෂය ඇති පක්ෂ හෝ කණ්ඩායම් 5ට අමතර මන්ත්‍රීධුර වෙන් කර තිබේ.

එජාප     131,353 50.72 50 129,500 1853 1 51
ශ්‍රීලපොපෙ 60,087 23.20 23 59,570 517 23
එජනිස    31,421 12.13 12 31,080 341 12
එප්‍රස     27,168 10.49 10 25,900 1268 10
ජවිපෙ     14,234 5.50 5 12,950 1284 1 6
ස්වාධීන-2 4,833 1.87 1 2,590 2243 1 2
එසාස     4,700 1.81 1 2,590 2110 1 2
ශ්‍රීලජාබ  3,251 1.26 1 2,590 661 1
ලකස      2,853 1.10 1 2,590 263 1
යජාපෙ  2,771 1.07 1 2,590 181 1
එජනිපෙ     1,380 0.53 0 0 1380 1 1
ස්වාධීන-1 929 0.36 0 0 929 0
එකතුව     284,980 105 271,950 13,030 5 110

මැතිවරණ කොමිසම විසින් 1 අනුකොටස අනුව කළ යුතු දේ පරීක්ෂා කර ඇත්තේ එයින් අනතුරුවය. මෙහිදී ඔවුන්ට එජාපය විසින් මන්ත්‍රීධුර 9ක් දැනටමත් වැඩිපුර ලබාගෙන ඇති බව පෙනී ගොස් ඇති අතර ඒ අනුව එල්ලෙන ආසන 9ක් නම් කර තිබේ. එහෙත් ඇත්තටම තිබිය යුත්තේ එල්ලෙන ආසන 5ක් පමණි. මේ හේතුව නිසා කොළඹ මහ නගර සභාවේ සමස්ත ප්‍රතිඵලය වෙනස් වී ඇති ආකාරය පහත දැක්වේ.

එජාප     60 60
ශ්‍රීලපොපෙ 23 23
එජනිස    12 12
එප්‍රස     10 10
ජවිපෙ     5 6
ස්වාධීන-2 1 2
එසාස     1 2
ශ්‍රීලජාබ  1 1
ලකස      1 1
යජාපෙ  1 1
එජනිපෙ     0 1
ස්වාධීන-1 0 0
එකතුව     115 119

පණතේ විධිවිධාන නිසිපරිදි අනුගමනය කළේනම් එජාපයට අනෙක් පක්ෂ සියල්ලටම වඩා ඡන්ද 5ක් ඇතත්, මැතිවරණ කොමිසම විසින් මන්ත්‍රීධුර බෙදා ඇති ආකාරය අනුව දැන් තිබෙන්නේ එක් වැඩි ඡන්දයක් පමණි. මේ අනුව, නගරාධිපතිගේ තීරක බලය නැතිව එජාපයට කොළඹ මහා නගර සභාව තුළ තනිව යෝජනාවක් සම්මත කළ නොහැකිය. වැරදි ක්‍රමය නිසා 0.48% තරම් අඩු ඡන්ද ප්‍රතිශත ලබාගත්, පණත අනුව තැන්පත් කළ ඇප මුදල් හෝ ආපසු නොලබන දේශපාලන පක්ෂ වලටද මන්ත්‍රී ධුර හිමි වී ඇති අතර විශාල හෙට්ටු කිරීමේ බලයක්ද ලැබී තිබේ.

මැතිවරණ කොමිසම විසින් සෑම ආයතනයක් හා අදාළවම අනුගමනය කර ඇත්තේ ඉහත ක්‍රමයයි. ඒ නිසා, නියම ක්‍රමය අනුගමනය කළේනම් කිසියම් හෝ පක්ෂයකට බලය හිමිවන ආයතන ගණනාවකම බලය කිසිදු තනි පක්ෂයකට නොලැබී ගොස් ඇති අතර මේ හේතුව නිසා ඉතා සුළු ඡන්ද ප්‍රතිශත ලබා කොට වලින් ගොඩ ගිය වලිග වලට ආයතන බල ප්‍රදේශ තුළ මුල් තැනට පැමිණි බල්ලන් නැටවීමේ හැකියාව ලැබී තිබේ.

මේ අවුල ඇති වීමේ මුල 2017 නොවැම්බර් 2 දිනැති අංක 2043/56 දරන අති විශේෂ ගැසට් පත්‍රයයි. එහි කොළඹ මහ නගර සභාව ඇතුළු එක් එක් පළාත් පාලන ආයතනය සඳහා සමානුපාතික ක්‍රමයට පත් කරගත යුතු සභික සංඛ්‍යාව නිශ්චිත ලෙස සඳහන් කර තිබේ. මේ ගැසට් පත්‍රයට අනුව මැතිවරණ කොමිසම නිවැරදිය. එහෙත්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පණත අනුව මේ අයුරින් නිශ්චිත ලෙස ගැසට් කල යුත්තේත්, එසේ කිරීමේ හැකියාව ඇත්තේත් එක් එක් ආයතනය සඳහා තේරී පත් විය යුතු කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන පමණි. දෙවන ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රීවරුන් ගණන එසේ නිශ්චිත ලෙස ගැසට් පත්‍රයේ සඳහන් කිරීමට අවශ්‍යතාවයක් හෝ හැකියාවක් නොමැත.

කෙසේවුවත්, දෙවන ලැයිස්තුවේ මන්ත්‍රීධුර ගණනද නිශ්චිත ලෙස ගැසට් කර ඇති අතර එම ගැසට් පත්‍රය නිසා මැතිවරණ කොමිසමද අමාරුවේ වැටී තිබේ. මගේ අදහස අනුවනම් ගැසට් පත්‍රය හා පණත අතර නොගැලපීමක් ඇති විට අනුගමනය කළ යුත්තේ පණතේ ඇති ක්‍රියාපටිපාටියයි.

මෙය අපගේ පෞද්ගලික අදහස වන අතර මේ ලිපියේ සඳහන් නීතිමය කරුණු නිවැරදි නොවන්නට ඉඩ තිබේ. ඒ නිසා, අප කරන්නේ මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරවීමක් පමණි. අවශ්‍ය අයෙකුට මේ කරුණු ඔස්සේ වැඩිදුර සොයා බලන්නට හා ඉන් අනතුරුව මැතිවරණ ප්‍රතිඵල නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කරන්නට පුළුවන.

4 comments:

  1. I think the way you interpret the bill and your calculation is 100% correct unless some other clause in some other bill has superseded them. I too calculated in the same way you did. However I was clueless of how the election commission did it. Now I understand their fallacy.

    මෙය පුදුම විය යුතු නැත. අප රටේ නීති සෑදීම සහ නීති ක්‍රියාත්මක කිරීම යන වැඩ දෙකම කරන්නේ 99% ම සාමාන්‍ය පෙලින් පසුව ගනිතය හැදෑරීමක් නොකරන ලද නීතිඥ සහ පරිපාලන ශ්‍රේනි වල නිලදාරීන්ය.

    2012-2013 සමයේ Z-score ප්‍රශ්නයේදී ගනිතය පිලිබඳ මහාචාර්‍ය වරු 6 දෙනෙක් එකව සෑදූ සූත්‍රය වැරදි යයි ගනිතය පිලිබඳ මහාචාර්‍ය තටිල් තර්ක කලේය. තටිල් නිවැරදි බව සාමාන්‍ය පෙලින් පසුව ගනිතය ඉගෙන නොගත් ශිරානි බන්ඩාරනයක තීරනය කලාය.

    ReplyDelete
    Replies
    1. මන්ත්‍රීධුර ප්‍රමාණ නියම කර ඇති 2017 නොවැම්බර් 2 ගැසට් නිවේදනයන්හි අර්ථ නිරූපන ආඥාපණත ගැන සඳහනක්ද තිබේ. ඇතැම් විට කිසියම් අධිකරණයක් විසින් දැන් ගණනය කර ඇති ආකාරය නිවැරදි බවට අර්ථ නිරූපණය කළා විය හැකිය. එසේ කළේනම් ඒ තීන්දුවද නිවැරදි නැත. මේ අවුල දැන්ම ලිහා නොගත්තොත් පළාත් සභා මැතිවරණ වලදී එහි බලපෑම වඩා නරක විය හැකිය.

      Delete
    2. ඇතැම් විට පරිගණක වැඩසටහන පණත අනුව නිවැරදි වූවා වන්නටද පුළුවන. එසේ තිබියදී එය වැරදියයි උපකල්පනය කර අතින් "හරියට" ගණන් හදන්නට ගොස් වැඩේ අවුල් කරගත්තාද කියාත් සැක සිතේ.

      Delete
    3. Chances are very very remote that the software developer had referred the bill before developing the application. Normal process is the client in this case the election commission gives his requirement and specification and the developer builds something (he claims) that fits the SRS. This sort of mathematical calculation is the least worried thing of a developer as implementation is pretty much straight forward.
      The processes involved, user interfaces, other API etc are the ones they mostly negotiate with the client.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget