Friday, February 9, 2018

කළු බළල්ලු හා කළුවර කාමර


කළු බළල්ලුන්ට හා කළුවර කාමර වලට බයෙන් ජීවත් වන්නට වූ කාලයක් තිබුණේය. ඒ දශක තුනකට පමණ පෙරය. දර්ශනවාදය, ආගම හා විද්‍යාව සසඳමින් කළු බළල්ලු හා කළුවර කාමර ගැන කතා කෙරෙන ජනප්‍රිය සාදෘශ්‍යයක් තිබේ. එය මෙවැන්නකි.

-දර්ශනවාදය යනු කළුවර කාමරයක කළු බළලෙකු සෙවීම වැන්නකි.
-පාරභෞතික විද්‍යාව යනු කළුවර කාමරයක එහි නැති කළු බළලෙකු සෙවීම වැන්නකි.
-දේවධර්මවාදය යනු කළුවර කාමරයක එහි නැති කළු බළලෙකු සොයමින් "මම සොයාගත්තා!" කියා කෑගැසීම වැන්නකි.
-විද්‍යාව යනු විදුලි පන්දමක් රැගෙන කළුවර කාමරයක කළු බළලෙකු සෙවීම වැන්නකි.

මේ සාදෘශ්‍යය හරහා මතු කරන්නේ "ආගම් චොරය- එහෙත් විද්‍යාවනම් පට්ට සිරාය" කියන අදහසයි.

මා ආගම් අදහන්නෙකු නොවේ. ඒ මොන දෙයක් වුවත් ඇදහීම මට ඉතා අසීරු බැවිනි. එවැනි අසීරුතාවයක් නැති අය වෙනත් අයට කරදරයක් නොවන පරිදි තමන්ට අවශ්‍ය දෙයක් අදහාගත්තාට මට කිසිදු ප්‍රශ්නයක්ද නැත.

ඉහත ප්‍රකාශය හරහා එළි දක්වන්නේ විද්‍යාව අදහන්නන්ගේ දෘෂ්ඨියයි. එහෙත්, ඔවුන් පෙන්වන්නට හදන්නේ ආගම් අදහන්නන් මෙන් කිසිවක් නොඅදහන තමන් මාාාාර​ බවයි.

විද්‍යාව ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම හා විද්‍යාව ඇදහීම දෙකකි. විද්‍යාවට මොනවා හෝ දෙයක් එකතු කරන මා දන්නා කිසිවෙකු විද්‍යාවේ ක්‍රමවේදය භාවිතා කරන්නෝ මිස විද්‍යාව හරහා මතුකරගන්නා දේ අදහන්නෝ නොවෙති. එහෙත්, තමන් හැමවිටම විද්‍යාවම අනුගමනය කරන බව හිතන, පරිධියේ ඉන්නා බොහෝ දෙනෙකු ඒ වෙනුවට කරන්නේ විද්‍යාව ආගමක් මෙන් ඇදහීමයි.

ඉහත සාදෘශ්‍යය ජීවිතාදර්ශය කරගත් "බුද්ධිමත්" විද්‍යා ආගමිකයින් සිතන්නේ පහත පරිදි විය හැකිය.

"කළුවර කාමරයේ කළු බළලෙකු සිටින්නට හෝ නොසිටින්නට පුළුවන. ඒ නිසා, මා කළ යුත්තේ ආගම් අදහන්නෙකු මෙන් පූර්ව නිගමන වලට නොඑළඹී, එමෙන්ම අඳුරේ අතපත නොගා, විදුලි පන්දමක් රැගෙන මේ ගැන සොයා බැලීමයි. එහෙත්, ආගම් අදහන්නා කාමරයට ඇතුළු වන්නේම එහි කළු බළලෙකු සිටින බව විශ්වාස කරමිනි. ඔහු එහි ඇතුළු වන්නේ එහි කළු බළලෙකු සිටින බව තහවුරු කර ගත හැකි එකම මාර්ගය වන විදුලි පන්දමක් හෝ නොමැතිවය. නිසි පරීක්ෂාවකින් තොරවම කාමරයේ කළු බළලෙකු සිටින බව ඔහු නිගමනය කරයි."

බැලූ බැල්මටම පෙනෙන්නේ මේ විද්‍යා ආගමිකයා පරීක්ෂණ හා නිරීක්ෂණ මත පමණක් නිගමන වලට පැමිණෙන පූර්ව නිගමන වලට නොඑළඹෙන සිරා පොරක් බවයි. එහෙත්, ඇත්තටම ඇයද සිටින්නේ පූර්ව නිගමන ගණනාවක් ඇතුළේ සිරවය.

මේ ජාතියේ විද්‍යා ආගමිකයින් ඔවුන්ගේ ඇදහීම් අනුව විවිධ මට්ටම් වල සිටින්නට පුළුවන. උදාහරණයක් ලෙස අපි ජිල් හා සූසන් නම් වූ විද්‍යා ආගමිකයින් දෙදෙනෙක් ගැන සිතමු.

ආගම් අදහන්නන් විසින් කාමරයේ කළු බළලෙකු සිටිතැයි ඇදහීම විවේචනය කරන ජිල් වැනි අය කාමරයට ඇතුළු වන්නේම එහි කළු බළලෙකු නැතැයි අදහමිනි. ඇය කාමරයට යන්නේම ඇගේ මේ පූර්ව නිගමනය තහවුරු කිරීම සඳහා සාක්ෂි එකතු කරන්නටය.

බොහෝ විද්‍යා ආගමිකයින් ජිල් වැනි අය වුවත්, ඊට වඩා පියවරක් ඉදිරියෙන් සිටින සූසන් වැනි අයත් සිටිති. සූසන් කාමරයට ඇතුළු වන්නේ එහි කළු බළලෙකු ඇතැයි හෝ නැතැයි යන පූර්ව නිගමයක සිටිමින් නොවේ. එහෙත්, එයින් අදහස් වන්නේ ඇය පූර්ව නිගමන වල නිරතව නොසිටින බව නොවේ.

පළමුව, ජිල් මෙන්ම සූසන්ද කාමරයේ සිටියත් නැතත් වෙනත් කොහේ හෝ කළු බළලෙකු කියා වාස්තවික යථාර්තයක් ඇතැයි අදහයි. දෙවනුව, අඳුරු නිසා නොපෙනුණත් කළුවර කාමරයක් තුළ කළු බළලෙකු සිටින්නට ඉඩක් ඇති බව අදහයි. තෙවනුව, එසේ කළුවර කාමරය තුළ කළු බළලෙකු සිටීනම් විදුලි පන්දම් එළියට පෙනිය යුතු බව අදහයි. සිවුවනුව, විදුලි පන්දම් එළියට නොපෙනේනම් කාමරය තුළ කළු බළලෙකු සිටිය නොහැකි බව අදහයි. එහෙත්, මේ සියල්ල ඇදහීම් පමණි.

පළමුව "කළු" කියා භෞතික දෙයක් නැත. අපට යමක් කළු පැහැයෙන් පෙනීම යනුවෙන් අදහස් වන්නේ අපේ ඇස් වල ඇති කේතු සෛල හා යෂ්ඨි සෛල කිසියම් වස්තුවකින් පරාවර්තනය වී එන ආලෝකයට ප්‍රතිචාර නොදක්වන බවයි. අපට කළු පැහැයෙන් පෙනෙන සතෙකු වෙනත් බොහෝ සතුන්ට වෛවර්ණව පෙනේ. චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති හෝමෝ සේපියන්ස් කෙනෙකුට වුවද වෙනත් අය කළු ලෙස හඳුනාගන්නා කිසියම් දෙයක් වර්ණවත්ව පෙනෙන්නට පුළුවන. වස්තුවක් මොළය විසින් කළු ලෙස හඳුනාගන්නවා මිස නිරීක්ෂකයාගෙන් ස්වායත්ත නිරපේක්ෂ කළු පැහැයක් නැත. කළු මෙන්ම අනෙකුත් සියළු පැහැයන්ද භෞතිකව පවතින දේවල් නොවේ. එසේනම් නිරීක්ෂකයාගෙන් ස්වායත්තව කළු බළලෙකු සිටිය නොහැකිය. 

"කළු" බළලා මෙන්ම "කළුවර" කාමරයද තිබෙන්නේ නිරීක්ෂකයාගේ මනසේය. ඒ හැර නිරීක්ෂකයාගෙන් ස්වායත්ත නිරපේක්ෂ කළුවරක් කියා දෙයක් නැත. අඳුරු කාමරයක සිට මඳ අඳුරේ ඇති කාමරයකට පැමිණෙන අයෙකු දෙවන කාමරය එළිය තිබෙන කාමරයක් ලෙස හඳුන්වන්නට ඉඩක් නැතත්, මිදුලේ තද අවුවේ සිට එහි ඇතුළු වන කෙනෙක් ඒ කාමරයම කළුවර කාමරයක් ලෙස හඳුනාගන්නට පුළුවන. කාමරයක් කළුවර කාමරයක් හෝ කළුවර නැති කාමරයක් ලෙස නිශ්චිත ලෙස හඳුනාගත හැකි, සියළු දෙනාටම එකඟ විය හැකි නිශ්චිත සීමා ඉරක් නැත. එක් අයෙකුගේ යෂ්ඨි සෛල උත්තේජනය කරන්නට ප්‍රමාණවත් නොවන මඳ ආලෝකයක් තවත් අයෙකුගේ යෂ්ඨි සෛල උත්තේජනය කරන්නට පුළුවන.

කළුවර නැති තැනක සිටින "සුදු" බළලෙකුගේ ඇඟේ වැදී එන ආලෝකය බොහෝ දෙනෙකුගේ ඇස්වල යෂ්ඨි සෛල උත්තේජනය කරතත්, එවැනි තැනකම සිටින "කළු" බළලෙකුගේ ඇඟේ වැදී එන ආලෝකය එසේ යෂ්ඨි සෛල උත්තේජනය නොකරයි. ඒ නිසා, එක් බළලෙක් කළු බළලෙකු ලෙසත් අනෙක් බළලා සුදු බළලෙකු ලෙසත් අපට වෙන් කර හඳුනාගත හැකිය. එහෙත්, කළුවර කාමරයක් ඇතුළේදී මේ බළලුන් දෙදෙනාගෙන් එකෙක්වත් ඇස්වල යෂ්ඨි සෛල උත්තේජනය නොකරන නිසා බළලුන් දෙදෙනා වෙන් කර හඳුනාගත නොහැකිය. හරියටම කියනවානම් කළුවර කාමරයක සිටිය හැක්කේ කළු බළලුන් පමණි.

එහෙත්, කාමරයෙන් එළියේ සිටින සුදු බළලෙකුත් කාමරයට රිංගීමෙන් අනතුරුව කළුවට පෙනෙන බළලෙකුත් එකම වාස්තවික යථාර්තයක් බව අපේ මනස තීරණය කරයි. ඒ අනුව, කාමරයෙන් එළියේදී බළලා සුදුනම් කාමරය ඇතුළේ සිටින බළලාත් සුදු විය යුතු බව හිතන්නට මනස අපව පොළඹවයි. එහෙත්, ඇත්තටමනම් කාමර ඇතුළට රිංගන බළලුන් තවදුරටත් එළියේ සිටිය බළලුන්ම නොවේ. මැතිවරණයක් ජයග්‍රහණය කරන අපේක්ෂකයෙකු තවදුරටත් කලින් සිටි පුද්ගලයාම නොවේ.

ජනාධිපති කොමිසමක් දැමීම හොරු ඇල්ලිය හැකි එකම ක්‍රමය නොවන්නාක් සේම විදුලි පන්දමක් ඇල්ලීම කාමරයේ කළු බළලෙකු සිටින බව තහවුරු කරගත හැකි එකම ක්‍රමය නොවේ. කළු බළලෙකු කාමරයට රිංගනු දුටු අයෙකුට උගේ හඬින් හෝ ස්පර්ශයෙන් වුවද බළලා හඳුනාගත හැකිය. ඒ බව නිගමනය කළ හැකි තවත් බොහෝ ක්‍රම තිබේ. මේ ක්‍රම කිසිවක් වරදින්නට කිසිදු ඉඩක් නැති ක්‍රම නොවේ.

ආගම් අදහන බොහෝ දෙනෙකු කළුවර කාමරයට ඇතුළු වන්නේ එහි කළු බළලෙකු සිටින බව අදහමිනි. මේ කළු බළලා ඇත්තටම සිටින්නේ ඔවුන්ගේ මනසේය. ඒ නිසා, කාමරයට ඇතුළු වන ඔවුන්ට බොහෝ විට මේ කළු බළලා හමුවේ. ඒ සඳහා විදුලි පන්දමක් අවශ්‍ය වන්නේ නැත. එහෙත්, විද්‍යාව අදහන අයට විදුලි පන්දමක් නැතිව කළු බළලා දැකිය නොහැකිය. අවසාන වශයෙන් විදුලි පන්දමක උපකාරයෙන් කළුවර කාමරයේ කළු බළලා දකින විද්‍යාව අදහන්නන් දකින බළලා සිටින්නේද ඔවුන්ගේ මනසේය. එපමණක් නොව කළු නොවන වෙනත් බළලුන් සිටින්නේද, කළුවර නැති වෙනත් කාමර හා විදුලි පන්දම් තිබෙන්නේද ඔවුන්ගේ මනසේය.

මා දකින අඩි සලකුණු කයෝටියෙකුගේ, කෝයිවෘකයෙකුගේ හෝ බල්ලෙකුගේ වන්නේ ඒවා දකින අවස්ථාවේදී මගේ මනස පිළිගන්නට වඩාත්ම කැමති අර්ථකතනය අනුවය.

ඒ කෙසේ වුවත්, ලිපිය ආරම්භයේදී පළ කළ සාදෘශ්‍යය කලක් තිස්සේ ප්‍රචලිතව ඇති එකකි. අර්නස්ට් ගෙල්නර් වැනි ඇතැම් අය එයට තවත් කොටස් එකතු කර තිබේ. පහතින් ඇත්තේ එවැන්නකි.

"මාක්ස්වාදය යනු ඉතා විශාල කළුවර කාමරයක එහි නැති ඉතා කුඩා කළු බළලෙකු සොයමින් බලළාව අල්ලාගත් බවත් බළලා ගැන සියළු දේ දන්නා බවත් පෙනෙන්නට සැලැස්වීමයි."

6 comments:

  1. ඔබගෙන් මෙතෙක් කියවූ අසාර්ථකම ලිපියක්. ඔබ මෙතන භොතිකවාදයයි, සංකල්පයි, විද්‍යාවයි ඔක්කොම පටලගෙන. කළු බලලා කියන්නේ නිරීක්ෂකයට සාපේක්ෂ දෙයක් කියන ගමන් එක පැහැදිලි කරන්න ඇසෙ සයිල වල ක්‍ර්යියකරිත්වය විස්තර කරන එක මරු.

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ට් එකට ස්තුතියි! මම හිතන්නේ අපි දෙන්නා ඉන්නේ තැන් දෙකක කියලයි. මම විද්‍යාව, භෞතිකවාදය හා සංකල්ප යනු අතිපිහිත කළ නොහැකි වෙනම ලෝක ලෙස සලකන්නේ නැහැ. ඒ නිසා මට ඔබ කියන කරුණේ අවුලක් පෙනෙන්නේ නැහැ.

      Delete
    2. මම කියලත් නැහැ අතිපිහිත නැහැ කියල.
      ප්රශ්නයක් අහන්නද?
      ඔබ ඔබේ දරුවන්ට (සංකල්පයක්) හොරෙන් යම් විකිරණශීලී ද්‍රව්‍යයක් (කියල අපි සංකල්පමය වශයෙන් හඳුනාගන්න දෙයක්) හානිකර විය හැකි ප්‍රමාණයක් (නැවතත් සංකල්පයක්) ඔබේ දරුවන් අසල තැබුවොත් ඔවුන්ට කිසිදෙයක් වෙන්නේ නැතිද? නැතිනම් ඔවුන්ට යම් හානියක් වෙනවා කියල ඔබට පේනවා විතරද? එහෙමනම් ඔබ කිසිවකු නොදන්නේනම් විකිරණශීලී ද්‍රව්‍ය තියෙන තැනක ඉන්න එක උනත් අවුලක් නැතිද?

      Delete
    3. ඔබ මෙහි සංකල්ප කියා හඳුන්වන දේවල් අතරින් මම වැඩිම අවධානයක් යොමු කරන්නේ "හානිකර විය හැකි ප්‍රමාණයක්" හා "යම් හානියක්" කියන සාපේක්ෂ සංකල්ප දෙකටයි. මගේ "දැනුමට" සාපේක්ෂව හානිකර විය හැකි විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වුවහොත් හානියක් විය හැකියි. මේ හානිය කියා කියන්නෙත් මම හිතන දෙයක් මිස නිරපේක්ෂ දෙයක් නෙමෙයි. කලක් හානියක් කියා හිතූ දෙයක් තවත් අවස්ථාවක හානියක් නොවෙන්න පුළුවන්. එසේ වෙනස් වෙන්නේ මේ "බාහිර" දෙයට නිරාවරණය වන පුද්ගලයා කාලයත් සමඟ වෙනස්වීම නිසා (තව දුරටත් ඒ පුද්ගලයාම නොවීම නිසා) "සිදු විය හැකි දෙය" වෙනස් වීම නිසා හෝ කොහොමටත් සිදුවිය හැකි දෙය (ලෙස මා හිතා ඉන්න දෙය) පිළිබඳ මගේ දැනුම වෙනස් වීම නිසා විය හැකියි. ඔබේ උදාහරණයටම ආවොත් මගේ දරුවන් (වගේම මමත්) නිතිපතා යන දන්ත වෛද්‍ය පරීක්ෂන වලට ගිය විට ත්‍රිමාන එක්ස්රේ ඇතුළු එක්ස්රේ ගණනාවක් ගන්නවා. මෙසේ එක්ස්රේ වලට නිරාවරණය වීම සීමා කර ගැනීමට මම හැම විටම උත්සාහ කරනවා (සුවිශේෂී හේතුවක් නිසා). ඒ එයින් ඔවුන්ට හානියක් වන බව මම හිතන නිසා. එහෙත්, දන්ත වෛද්‍යවරු හෝ ඔවුන්ගේ සහායකයින් එසේ හිතන්නේ නැහැ (එසේ නැත්නම් තමන්ගේ වාසිය වෙනුවෙන් හානියක් නැති බව කියනවා). මෙහිදී "හානිකර විය හැකි ප්‍රමාණයක්" කියා සම්මතයක් තිබෙනවා. මෙවැනි සම්මත සියලු දෙනාටම එකසේ බලපාන පොදු දේවල් නොවන බව පැත්තකින් තිබ්බත්, "සාමාන්‍ය" පුද්ගලයෙකු හා අදාළව වුවත් මේ සම්මත "හානිකර සීමාව" නිවැරදි නැහැ කියා මම (හේතුවක් ඇතුව) හිතනවා. ඒ නිසා, සම්මත සීමාව අනුව මගේ දරුවන්ට හානියක් සිදු නොවුනත්, මම හිතන විදිහට හානියක් වෙනවා. දෙවන කරුණක් ලෙස, මෙහේ බොහෝ දෙනෙක් දරුවන් එළියට ගෙනියන්න පෙර UV rating එක බලනවා. මේ ගැන මම සැලකිලිමත් වෙන්නේ අඩුවෙන්. ඇමරිකාවේ සිටින කළු (සුදු නොවන) හමක් ඇති දරුවන්ට බොහෝ විට තිබෙන ප්‍රශ්නය සමේ පිළිකා හැදෙන එක වැනි හානි වලට වඩා විටමින් ඩී අඩුවීමෙන් වන හානියි. ඒ නිසා මම සැලකිලිමත් වෙන්නේ ඔවුන් අවශ්‍ය පමණ ඉර එළියට නිරාවරණය නොවීම ගැනයි. ඔබ සිටින්නේ මම සිටින තැනින් කොයි අන්තයේද කියන එක තවමත් පැහැදිලි නැතත් ඔබේ ප්‍රශ්න වලට සෘජු පිළිතුරු නොදී වෙන වැල්වටාරම් ලියනවා කියා හිතනවානම්,

      //ඔබේ දරුවන් අසල තැබුවොත් ඔවුන්ට කිසිදෙයක් වෙන්නේ නැතිද?//
      මට නිරීක්ෂණය නොවුණු පමණින් කිසිදෙයක් නොවන බව මට කියන්න බැහැ. මට නිරීක්ෂණය වුණු පමණින් හානියක් වන බව කියන්නත් බැහැ. නමුත්, මට ප්‍රතිචාර දක්වන්න වෙන්නේ මට පෙනෙන (අවබෝධ වන) ආකාරය අනුවයි.

      //නැතිනම් ඔවුන්ට යම් හානියක් වෙනවා කියල ඔබට පේනවා විතරද?//
      හානියක් වෙනවා කියල මට පෙනෙන එක හෝ නොපෙනෙන එක තමයි වෙන්නේ. දැන් මට හානියක් වෙන බව පෙනුණත් එසේ හානියක් වී නැති බව පසුව පෙනෙන්න පුළුවන්. එහි අනිත් පැත්ත වෙන්නත් පුළුවන්.

      //එහෙමනම් ඔබ කිසිවකු නොදන්නේනම් විකිරණශීලී ද්‍රව්‍ය තියෙන තැනක ඉන්න එක උනත් අවුලක් නැතිද?//
      කිසිවකු නොදන්නේනම් අවුලක් තිබෙනවද නැද්ද කියන ප්‍රශ්නය මතුවන්නේම නැහැ. ඒ නිසා අවුලක් ඇත්තේ හෝ නැත්තේ නැහැ. අවුල ඇති වන්නේ විකිරණශීලී ද්‍රව්‍ය තියෙන තැනක සිටි බව හෝ හානියක් වූ හෝ වන බව දැනගන්නා මොහොතේදීයි. මයික්‍රෝවේව් කර ආහාර ගැනීම හෝ ජංගම දුරකථන භාවිතා කිරීම හානිකර බව අලුත් දැනුමක් වුවහොත් ඒ මොහොතේ සිට මෙතෙක් සිදුවූ නිරාවරණය වීමුත් ප්‍රශ්නයක් වෙනවා.

      මේ මම මේ මොහොතේ හිතන ආකාරයයි. මේවා මගේ සාපේක්ෂ අදහස් නිසා වෙනස් විය හැකියි.

      Delete
  2. හරි. මම ඔබ දේවි කියල හිතපු පිළිතුර දීල තයෙනවා. හානියක්, හානිකර විය හැකි ප්‍රමාණනය කියන වචන එතරම් බර තැබිය යුතු වචන නෙමෙයි. දරුවන් සහ හානිය කියන වචන යොදාගන්න එක එතරම් සුදුසු නැහැ කියල පස්සේ හිතුනත් මම එතකොට කමෙන්ට් එක පබ්ලිෂ් කරලා ඉවරයි. හේතුවක් සහ එය නිසා ප්‍රතිපලයක් ඇතිවෙන බවත්, එය නිරීකෂකයාට සාපේක්ෂ බව ගැනයි කතා කරන්න ඕන උනේ. හානියක්ද නැතිද කියල අදාළ නැහැ.

    //මට නිරීක්ෂණය නොවුණු පමණින් කිසිදෙයක් නොවන බව මට කියන්න බැහැ. මට නිරීක්ෂණය වුණු පමණින් හානියක් වන බව කියන්නත් බැහැ. නමුත්, මට ප්‍රතිචාර දක්වන්න වෙන්නේ මට පෙනෙන (අවබෝධ වන) ආකාරය අනුවයි.//
    මෙන්න මේ දෙය. සිතන්නකෝ විකිරණශීලී ද්‍රව්‍ය නිසා දරුවාගේ කොණ්ඩය හැලුන කියල. (ඔක්කොම සංකල්ප නිසා මීට පස්සේ වරහන් ඇතුලේ දන්නේ නැහැ). ඔබ විතරයි දන්නේ විකිරණශීලී දෙයක් තිබෙනබව. දැන් හිතන්න තුන්වැන්නකු කොණ්ඩය ගිය දරුවාව දැක්ක කියල. (මීට පෙර කොණ්ඩය තිබෙන ඔබේ දරුවාව දැකල තියෙන කෙනෙක්). ඔබ හිතන්නේ ඔහුට දරුවාගේ කොණ්ඩය නැති බව පෙනෙයිද?
    පෙනෙන්නේ නැතිනම් ඒ ඇයි? පෙනෙනවා නම් ඒ ඇයි?

    ReplyDelete
    Replies
    1. //සිතන්නකෝ විකිරණශීලී ද්‍රව්‍ය නිසා දරුවාගේ කොණ්ඩය හැලුන කියල. (ඔක්කොම සංකල්ප නිසා මීට පස්සේ වරහන් ඇතුලේ දන්නේ නැහැ). ඔබ විතරයි දන්නේ විකිරණශීලී දෙයක් තිබෙනබව.// හරි. මට සාපේක්ෂව විකිරණශීලී දෙයක් තිබෙන බවට වූ සාපේක්ෂ දැනුමක් තිබෙන්න පුළුවන්. ඒ වගේම මේ විකිරණශීලී දෙය හා කොණ්ඩය හැලීම අතර හේතුපල සම්බන්ධයක් මගේ සාපේක්ෂ දැනුමේ කොටසක්නම් විකිරණශීලී ද්‍රව්‍ය නිසා දරුවාගේ කොණ්ඩය හැලුන කියල විය හැකියාවක් ගැන මම විශ්වාස කරන්න පුළුවන්.

      //ඔහුට දරුවාගේ කොණ්ඩය නැති බව පෙනෙයිද?
      පෙනෙන්නේ නැතිනම් ඒ ඇයි? පෙනෙනවා නම් ඒ ඇයි?//

      ඔහුට දරුවාගේ කොණ්ඩය නැති බව පෙනෙන්න හෝ නොපෙනෙන්න පුළුවන්. ඔබ කියනවනේ "මීට පෙර කොණ්ඩය තිබෙන ඔබේ දරුවාව දැකල තියෙන කෙනෙක්" කියා. ඒ නිසා මේ ඉඩකඩ ටිකක් වැඩියි. එසේ මුල් වර දුටු විට දරුවාගේ කොණ්ඩය තිබුණු ප්‍රමාණය ගැන අවධානය යොමු කළාද, එය අද දක්වා මතකයේ තිබුණද, දැන් ඔහු දරුවාගේ කොණ්ඩය ගැන අවධානය යොමුකළාද, කොණ්ඩය අඩුවීම ප්‍රමාණාත්මකව කෙතරම්ද වැනි කරුණු සහ තවත් කරුණු (ඔහුගේ ඇස් පෙනීම හා මොළයේ ක්‍රියාකාරීත්වය පෙර මට්ටමෙන් විශාල ලෙස වෙනස් වී තිබීම හෝ නොතිබීම වැනි) මත එය තීරණය වෙනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget