වෙබ් ලිපිනය:

Wednesday, February 14, 2018

මැතිවරණ ප්‍රතිඵල- ගම්පහ දිස්ත්‍රික්කය

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිඵල දෙස බැලූ විට පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණයෙන් විශාල කොටසක් මෙවර පොදුජන පෙරමුණ විසින් ලබාගෙන ඇති බවයි. මේ ප්‍රමාණය එජනිසය විසින් මහමැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණයටද වඩා වැඩිය. ඒ අතර එජාපය විසින් පසුගිය මහමැතිවරණයේදී ලබාගත් නාගරික හා අර්ධ නාගරික ඡන්ද විශාල හෝදාපාළුවකට ලක්වී ඇති අතර එම ඡන්ද වලින් කොටසක් එජනිසය වෙතත්, තවත් කොටසක් ජවිපෙ හා වෙනත් පක්ෂ වෙතත් කාන්දු වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිඵලය ඉහත කරුණු තවදුරටත් සනාථ කරයි.

පොදුජන පෙරමුණ විසින් මෙවර ගම්පහෙන් ලබා ඇති ඡන්ද ප්‍රමාණය 655,554 ක් වන අතර මේ ප්‍රමාණය මහමැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා 105,596කින් වැඩිය. මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ භාවිතා වූ ඡන්ද ප්‍රමාණයද පසුගිය මහමැතිවරණයේදී සිට වැඩි වී ඇත්තේ 108,400 කිනි. මේ අනුව, ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලැබූ ඡන්ද 664,347 අතරෙන් මහමැතිවරණයේදී එජනිසයට නොලැබුණු කොටසෙන් විශාල ප්‍රමාණයක් නැවත ආපසු ලබාගන්නට පොදුජන පෙරමුණ සමත් වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි වූ ඡන්ද වලින් 3,196ක් හැර ඉතිරිය මෙසේ පොදුජන පෙරමුණ විසින් නැවත ලබාගත් ඡන්දයි.

මේ අයුරින් පොදුජන පෙරමුණ මහින්දගේ ඡන්ද නැවත එකතු කර ගනිද්දී එජාපයේ ඡන්ද ප්‍රමාණය 181,644 කින් අඩු වී තිබේ. ගම්පහෙන් ශ්‍රීලනිපය විසින් ලබාගත් ඡන්ද 136,298හිත්, ජවිපෙ වැඩිපුර ලබාගත් ඡන්ද 14,297හිත්, වෙනත් පක්ෂ විසින් වැඩිපුර ලබාගත් ඡන්ද 33,853හිත් එකතුව ඡන්ද 184,448 කි. මේ අනුව, අලුත් ඡන්ද තුන්දහසක් පමණ හැරුණු විට මෙසේ බෙදී ගොස් ඇති ඉතිරිය එජාපයෙන් අඩුවූ ඡන්ද ප්‍රමාණයට සමානය. මෙසේ එජාපය විසින් අහිමි කරගෙන ඇත්තේ, වැඩි වශයෙන්ම, තෙවසරකට පෙර ආකර්ශනය කරගත් පාවෙන ඡන්දයි. කොළඹින් හා ගම්පහෙන් පමණක් එජාපය විසින් අහිමි කරගෙන ඇති ඡන්ද ප්‍රමාණය 411,865 කි.

ගම්පහ දිස්ත්‍රික්කය ලංකාවේ වැඩිම ඡන්දදායකයින් පිරිසක් සිටින දිස්ත්‍රික්කයයි. එමෙන්ම, ශ්‍රීලනිපයේ නිර්මාතෘන් වන බණ්ඩාරනායකලාගේ බලකොටුවයි. එම දිස්ත්‍රික්කය තුළ පොදුජන පෙරමුණ හමුවේ ශ්‍රීලනිපයේ පසුබෑමෙන් පිළිබිඹු කරන්නේ ශ්‍රීලනිපයේ මළගමයි. මින් ඉදිරියට බණ්ඩාරනායක පවුලේ ජීවත්වන සාමාජිකයින්ට හෝ පක්ෂයක් ලෙස ශ්‍රීලනිපයට ලංකාවේ දේශපාලනය කෙරෙහි මෙතෙක් කළ බලපෑම කළ හැකියැයි නොපෙනේ.

ලංකාවේ දේශපාලනය තුළ ප්‍රධාන පක්ෂ දෙකකට මිස තෙවන පක්ෂයකට පාලන බලය ලබාගත හැකි බලවේගයක් ලෙස පැවතිය හැකි රික්තකයක් නොමැත. එසේ තෙවන පක්ෂයක් ලෙස මතු වූ පක්ෂ කිසිවකට වැඩි ආයු කාලයක් තිබී නැත. එහෙත්, පොදුජන පෙරමුණ විසින් මේ වන විට ශ්‍රීලනිපය විස්ථාපනය කරමින් මේ අභියෝගය ජයගෙන ඇති අතර ඒ හේතුවෙන් ඉදිරියේදී ශ්‍රීලනිපයට අත්වනු ඇත්තේ පැරණි වාමාංශික පක්ෂ වලට අත් වූ ඉරණමයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කොට්ඨාශ 416කින් ශ්‍රීලනිපය මුල් තැනට පැමිණ ඇත්තේ කොට්ඨාශ 6 කදී පමණි. කොට්ඨාශ 67ක්  එජාපය විසින් ජයගෙන ඇති අතර ඉතිරි කොට්ඨාශ 343ම ජයගෙන ඇත්තේ පොදුජන පක්ෂයයි. කෙසේවුවත්, ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ක් අතරින් පොදුජන පෙරමුණට බහුතර බලය ඇත්තේ ආයතන 10ක පමණි. එක් ආයතනයක බලය එජාපයට ලැබී ඇති අතර ඉතිරි ආයතන අටක බලය පිහිටුවිය හැක්කේ පක්ෂ දෙකක හෝ කිහිපයක සන්ධානයකට පමණි. ඒ නිසා, ගම්පහ දිස්ත්‍රික්කය තුළදීද මේ වෙලාවේ කොළඹදී මෙන් ශ්‍රීලනිපය සතුව සැලකිය යුතු තීරක බලයක් තිබේ.





16 comments:

  1. ආණ්ඩුවේ පක්‍ෂවල ඡන්ද අඩු වීමට එක් හේතුවක් නම් අරක්කු මිල ඉහළ දැමීම බව පැවසසෙනවා!

    ReplyDelete
  2. ඉතිං මොන විනාසයක්ද, දැන් මොකක්ද ප්‍රශ්නෙ?
    (අද කාලෙ කොල්ලන්ගෙ ගණන් පාඩම්)

    පස්වන වසරේ ඉගෙනුම ලබන තම පුත්‍රයා මධ්‍ය වාර්ෂික පරීක්ෂණයෙන් ගණිතය විෂය සඳහා අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ඇතිබව දැකීමෙන් වික්‍රමසූරිය මහතා අතිශයින් කෝපයට පත්විය. වහා තම පුතා කැඳවූ...

    වික්‍රමසූරිය මහතා -

    උඹට කිව්ව් නේද අර සිරිවර්ධනලගේ කොලුව එක්ක දඟල දඟල ඉන්නකොට ඔය ටික වෙයි කියල. බලපන් අර රාජසූරියගේ පුතා ගණන් වලට 100 න් 80 ක් අරන්ලු. බලපන් උඹට කීයද ?

    පොඩි වික්‍රමසූරිය -

    100 න් 45 යි.

    වික්‍රමසූරිය මහතා -

    හඃ, කියන අපූරුව. එතකොට සිරිවර්ධනලගෙ කොලුවට කීයද?

    පොඩි වික්‍රමසූරිය -

    100 න් 40යි.

    වික්‍රමසූරිය මහතා -

    හඃ, බලපන් උඹල දෙන්න කරගෙන තියන විනාසෙ?

    පොඩි වික්‍රමසූරිය -

    මොන විනාසයක්ද ?

    වික්‍රමසූරිය මහතා -

    ඇයි මිනිහො දඟල දඟල ඉඳල ගණන් වලට උඹල දෙන්නම අඩු ලකුණු ගන්න එක
    විනාසයක් නෙමෙයිද? බලපන් හොඳට වැඩ කරපු පොඩි රාජසූරියට 80 යි.

    පොඩි වික්‍රමසූරිය -

    හඃ හඃ හඃ. තාත්ත මේ පිස්සු කතාකරනව. මට 45යි . පොඩි සිරිවර්ධනට 40. අපි දෙන්නටම 85යි.

    ඉතින් වැඩ කරපු පොඩි රාජසූරියට වඩා දඟල දඟල හිටිය අපේ ලකුණු වැඩි නැද්ද ?

    ඉතිං මොන විනාසයක්ද, දැන් මොකක්ද ප්‍රශ්නෙ?

    මෙයට වික්‍රමසූරිය මහතාගේ ප්‍රතිචාරය කුමක් වන්නට ඇද්ද?

    ReplyDelete
  3. ඔලිම්පික් පදක්කම් ගැන වඩාත් ගැඹුරු ගණිතමය විශ්ලේෂණයක්

    මීළඟ ඔලිම්පික් උළෙලේ මීටර් 100 දිවීමේ ප්‍රථම ස්ථානය ලබන රුසියාව රන් පදක්කම හිමිකර ගන්නා අතර දෙවන ස්ථානය ලබන ඇමෙරිකාව රිදී පදක්කමද තුන්වන ස්ථානය ලබන එංගලන්තය ලෝකඩ පදක්කමද හිමිකරගන්නේ යයි අපි උපකල්පනය කරමු.

    නිරීක්ෂණ -

    01.ඇමෙරිකාව සහ එංගලන්තය යන රටවල් දෙකම නේටෝ සංවිධානයට අයත් රටවල්ය. එනිසා රුසියාව එක පදක්කමක් ලබද්දී නේටෝ සංවිධානය පදක්කම් දෙකක් ලබයි. එකට වඩා දෙක යනු විශාල සංඛ්‍යාවකි.

    02.රුසියාව ලද පදක්කමේ බරට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම් වල බර එකට එකතුකළ විට ලැබෙන අගය වැඩිය.

    03.රුසියාව ලද පදක්කමේ විශ්කම්භයට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම්හි විෂ්කම්භයන්ගේ එකතුව විශාලය.

    04. රුසියාව ලද පදක්කමේ පරිධියට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම්හි පරිධීන්ගේ ගේ එකතුව විශාලය.

    05. රුසියාව ලද පදක්කමේ වර්ගපලයට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම්හි වර්ගපලයන්ගේ එකතුව විශාලය.

    06.රුසියාව ලද පදක්කමේ ඝනකමට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම් එකමත එක තැබූ විට ලැබෙන්නේ වැඩි ඝනකමකි.

    නිගමනය -

    ඔලිම්පික් උළෙලේ මීටර් 100 දිවීමේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ රුසියාව නොව නේටෝ සංවිධානයයි.

    ReplyDelete
    Replies
    1. Well said !

      ++++++++++++++++++++++++++++

      Good examples !

      Delete
    2. රුසියාවේ උන් සහභාගී වෙන්න එපැයි දිනන්න. ඩෝප් කාරයින්ට ඔලිම්පික් තහනම්

      Delete
  4. පත්වෙන මන්තිරිවරු බලාගන්න තැනක් නැද්ද

    ReplyDelete
    Replies
    1. කොහේවත්ම නැහැ. කියල වැඩක් නැහැ. ඡන්දය තිබුණේම ගමට මන්ත්‍රී කෙනෙක් පත් කරගන්න මිසක් ආණ්ඩු මාරු කරන්න නෙමෙයිනේ. ඒ වුණාට අවශ්‍යම දෙය නැහැ.

      Delete
  5. මේ ඔක්කොම ගනිත සූත්ත්‍ර පැත්තකින් තියමු.
    අපි ඡන්දය දුන් ගමේ එකා හෝ අපේ ගම අයිති කොට්ඨාශය cචන්දය ජයගෙන ඇත්තේ කුමණ පක්ෂයක් හෝ කණ්ඩායමක්ද?
    ඒ කොතරම් වූ ඡන්ද සංඛ්‍යාවකින්ද?
    මේ තොරතුරු නිල වශයෙන් බලා ගත හැකි නිල වෙබ් අඩවියක් හෝ රාජ්‍ය මාධ්‍ය ආයතනයක් තිබේද?

    ReplyDelete
    Replies
    1. නිල වශයෙන් බලාගත හැකි තැනක් තවමත් නැහැ. ගැසට් කරන කල්ම ඉන්න වෙයි වගේ, ඊට පෙර ඡන්ද ප්‍රතිඵල ලේඛණ වල තියෙන වැරදි හදන්න වෙනවා. ජාතික දේශපාලනයට තිබෙන බලපෑම වෙනස් වෙන්නේ නැතත් මන්ත්‍රීවරුන් සංඛ්‍යා ගණනය කිරීමේ වැරදි තවමත් තිබෙනවා.

      Delete
  6. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගැන ඔබ කියන අනාවැකිය නිවැරදි නැත. මෙතන පොදුජන පෙරමුණ කියන බැසිල් සහ ජී.එල්. ගේ පක්‍ෂයට මිනිස්සු ජන්දය දුන්නේ නෑ. ඔවුන් ජන්දය පාවිචිචි කලේ මහින්ද රාජපක්‍ෂවෙනුවෙන් සහ යම් සුළු පිරිසක් ආන්ඩු විරෝධය වෙනුවෙන්. අනෙක ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයට ජනාධිපතිචරණයේ දී ජන්දය දුන්න අය පාක්‍ෂිකයන්ට පෙන්නන්න ඕන කමක් තියෙන්න ඇති තම නායකායා විදියට මෛත්‍රීපාල සිරිසේන තබා ගැනීමට තමන් අකමැතිබව. ශී්‍රලනිපයට පැවැත්මක් තියෙනවා . හැබැයි මෛත්‍රීපාල මහත්තයා නායකත්වය වෙනකෙනෙකුට බාරදුන්නනොත්. ඔය කියන පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ එක ආසනයක්වත් නෑ. ඇත්ත වශයෙන්ම ඔය පක්‍ෂයට සහයෝගය දක්වපු ශී්‍රලනිප මංත්‍රීවරු කරේ නීති විරෝධී වැඩක් නමුත් මෛත්‍රීට ඒකට විනය පරීක්‍ෂණ තියනවා කියල බොරු වහසිබස් දෙඩුවට එහෙම කරන්න පක්‍ෂයේ සුබෑ බලයක් ඔහුට නෑ. ඒක නිසා දැන් මෛත්‍රීට කරන්න තියෙන්නේ පක්‍ෂ නායක කමින් අස්වෙන්න. එයා නමුත් කරන්න යන්නනේ එජාප නායකයා වෙනස් කරන හදන එක !

    ReplyDelete
    Replies
    1. මේ අදහසට එකඟයි. උදාහරණයක් ලෙස කවදා හෝ විමුක්ති වැනි නැවුම් චරිතයක් දේශපාලනයට පැමිණියොත් (94 චන්ද්‍රිකා ආවා වාගෙ) නැවත අත්තනගල්ල ඇතුළු බණ්ඩාරනායක බලකොටු දිනන එක ශ්‍රීලනිපයට එතරම් අසීරු වෙන එකක් නෑ. නමුත් මේ සඳහා නිවැරදිව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවිය යුතුයි.

      කැපුවත් කොළ කැපුවත් නිල් මානසිකත්වය වර්තමානයේ අභාවයට යන බව නම් පැහැදිලියි. මම නම් එය දකින්නේ සාධනීය ලක්ෂණයක් ලෙස.

      Delete
    2. //විමුක්ති වැනි නැවුම් චරිතයක් දේශපාලනයට පැමිණියොත් (94 චන්ද්‍රිකා ආවා වාගෙ) නැවත අත්තනගල්ල ඇතුළු බණ්ඩාරනායක බලකොටු දිනන එක ශ්‍රීලනිපයට එතරම් අසීරු වෙන එකක් නෑ.// විමුක්ති කර ඇති ප්‍රකාශ පිළිබඳ ප්‍රචාරයන් සලකා බැලීමේදී මහින්දට ආකර්ෂණය වන සිංහල බෞද්ධ ඡන්ද කිසිවක් ඔහුට‍ නොලැබෙනු ඇති.

      Delete
  7. //ලංකාවේ දේශපාලනය තුළ ප්‍රධාන පක්ෂ දෙකකට මිස තෙවන පක්ෂයකට පාලන බලය ලබාගත හැකි බලවේගයක් ලෙස පැවතිය හැකි රික්තකයක් නොමැත. එසේ තෙවන පක්ෂයක් ලෙස මතු වූ පක්ෂ කිසිවකට වැඩි ආයු කාලයක් තිබී නැත. //
    මගේ අදහස නම්, මැතිවරණය කුමක් වුවත්, ලංකාවේ බහුතරය තමන්ගේ ඡන්දේ දෙන්නේ තනි පුද්ගලයින්ට මිසක් දේශපාලන පක්ෂ වලට නෙවෙයි. ඩී.එස් ගේ ඉඳන් 2018 පුංචි ඡන්දේ මහින්දගේ ජයග්‍රහණය දක්වාම ඒක එහෙමයි. දේශපාලන පක්ෂය ගැන සලකා ඡන්දේ දුන්නානම් අද රටේ තියෙන්නේ ජවිපෙ ආණ්ඩුවක්.

    ReplyDelete
    Replies
    1. //දේශපාලන පක්ෂය ගැන සලකා ඡන්දේ දුන්නානම් අද රටේ තියෙන්නේ ජවිපෙ ආණ්ඩුවක්.//
      මගේ අදහස තනිකරම මෙහි අනිත් පැත්ත. මම හිතන හැටියට ජවිපෙට ඡන්දේ නොලැබෙන්නේම ඔවුන් ජවිපෙ නිසා. එජනිස ලැයිස්තුවෙන් ඉල්ලූ විට සෑම දිස්ත්‍රික්කයකම වගේ මුල් තැන් වලට පැමිණ මන්ත්‍රීවරුන් 40ක් පමණ පත් කරගන්න හැකි වුණේ ඒ නිසා.

      Delete
    2. //මගේ අදහස තනිකරම මෙහි අනිත් පැත්ත. මම හිතන හැටියට ජවිපෙට ඡන්දේ නොලැබෙන්නේම ඔවුන් ජවිපෙ නිසා. එජනිස ලැයිස්තුවෙන් ඉල්ලූ විට සෑම දිස්ත්‍රික්කයකම වගේ මුල් තැන් වලට පැමිණ මන්ත්‍රීවරුන් 40ක් පමණ පත් කරගන්න හැකි වුණේ ඒ නිසා.//
      spot on

      Delete
  8. යූඇන් පියට මේ මොහොතේ රනිල් හැර වෙන විකල්පයක් නැත. දෙවැනි පෙළක් ජේ ආර් ගේ කාලයේ හැර අන් කවර කලක වත් තිබුනේ ද නැත .මේ මොහොතේ රනිල් වෙනුවට සිටිනා සජිත් කරූ වැනි විකල්ප වලට මහින්දට තබා නාමල්ටවත් අභියෝගයක් වන්නට නොහැකි .ඔවුන් ජය ගන්නට නම් සිරා දිනූ පොල් ලෙල්ලක් දැම්මත් දිනන ජාතියේ රැල්ලක් නිර්මාණය විය යුතුය. නමුත් දැන් රැල්ල මහින්දගේ ඉවුරට ගහන තත්වයක් තුල ඒ නම් හීනයකි.එක්කෝ යූඇන් පිය උද්දච්ච මුරණ්ඩු රනිල්ව ආම්බාම් කර ගනිමින් මහින්දට බැටන් එක නොදී සිරාව බැලන්ස් කිරීමේ ගේම ගැසිය යුතුය. නැත්නම් රනිල්ව පන්නා අලුත් තරුණ නායකයෙකු ( එවැන්නකු වේදැයි සැකයකි ) සමග ලෝන්ග් ටර්ම් ගමනකට මුල පිරිය යුතුය.රාජපක්ෂලාට බැටන් එක ගිය පසු නැවත ලබා ගැනීමට නම් කොහොමත් සෑහෙන කාලයක් බලා සිටිය යුතුය. මේ මොන නෙයියාඩ ගම උනත් ලංකාවේ ජහමනයා තේරුම් ගත යුතු එකම දේ නම් ලංකාවේ වර්තමාන දේශපාලනය යනු බලය ලබා ගැනීම සඳහා සහ එය පවත්වා ගැනීම සඳහා ඕනෑම දහජුරාවක් කරන අසික්කිත ගේම් එකක් පමණක් බවයි. මේ එකෙකුටවත් රට ගැන ජනතාව ගැන ඇල් පෙනෙත්තක කැක්කුමක් නැති බව තේරුම් ගැනීමට චන්දයෙන් පසු ගතවූ පසුගිය සතිය හොඳටෝම ඇතිය.රාජපක්ෂට ජනතාව ගැන කැක්කුම නම් අගමැති කම ගෙන ආණ්ඩුවක් පිහිටුවා රට ස්ථාවර කරන්න පුළුවනි නොවේදැයි අසන්නට පොහොට්ටුවට චන්දය දුන් ජහමනයා කල්පනා කල යුතුය.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: