Sunday, February 25, 2018

ශ්‍රීලනිපයේ අනාගතය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ වුණේ 1951 වසරේදීය. එම පක්ෂය ජාතික මැතිවරණයකට මුහුණ දුන් මුල්ම අවස්ථාව 1952 පාර්ලිමේන්තු මැතිවරණයයි. කොට්ඨාශ ක්‍රමයට පැවැත්වුණු එම මැතිවරණයේදී දිවයිනේ පාර්ලිමේන්තු ආසන 95න් 48කට තරඟ කළ එම පක්ෂයට ආසන 9ක් ජය ගන්නට හැකි වූ අතර රටේ සමස්ත ඡන්ද වලින් 15.52%ක් ලබා ගනිමින් ලංකාවේ දෙවන ප්‍රධාන පක්ෂය බවට පත් වන්නට හැකි විය. ඉන් පසුව පැවති 1956 මැතිවරණයේදී ශ්‍රීලනිපය ප්‍රධාන පක්ෂය වූ මහජන එක්සත් පෙරමුණු සභාගයට දිවයිනේ සමස්ත ඡන්ද වලින් 39.52%ක් ලබා ගත හැකි විය. එතැන් සිට දිගටම ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

මෙවර පළාත් පාලන මැතිවරණ වලදී පළාත් පාලන ආයතන 340න් අඩු වශයෙන් 328කට ශ්‍රීලනිපය හෝ එජනිසය ලෙස තරඟ කළ කණ්ඩායම් සියල්ලටම ලබා ගත හැකි වූයේ රටේ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 12.1%ක් පමණි. මේ ශ්‍රීලනිපය ආරම්භ වීමෙන් පසු එම පක්ෂය මේ මට්ටමට වැටුණු පළමු අවස්ථාවයි.

ශ්‍රීලනිපයේ පරිහානිය ඇරඹුණේ එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂට ප්‍රතිපක්ෂව තරඟ කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ශ්‍රීලනිප සභාපතිත්වයද භාර ගැනීමත් සමඟය. ඒ වන විට ශ්‍රීලනිපයේ සිටි අති මහත් බහුතරය මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් අයයි. පොදුජන පක්ෂය පිහිටුවීමත් සමඟ මහින්දවාදී ඡන්ද ශ්‍රීලනිපයෙන් ක්‍රමයෙන් ඉවත් වන්නට පටන් ගත්තේය. පසුගිය පළාත් පාලන මැතිවරණය මේ ක්‍රියාවලියේ මස්තකප්‍රාප්තියයි. එජනිස ඡන්ද බැඳී තිබී තිබුණේ ශ්‍රීලනිප හෝ එජනිස යන නම් සමඟ හෝ පක්ෂ සලකුණු සමඟ නොවන බව මැතිවරණ ප්‍රතිඵලය පෙන්වා දෙයි.

කෙසේ වුවත්, එජනිස ඡන්ද ප්‍රමාණය ලක්ෂ 15ක මට්ටමට වැටීම මෛත්‍රීපාල සිරිසේනගේ පරාජයක් ලෙස මා සලකන්නේ නැත. ඒ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද පනස් දහසකට නොවැඩි ප්‍රමාණයක් පමණක් මත බලපෑම් කළ හැකි ප්‍රාදේශීය නායකයෙකු වූ ඔහුට ජාතික ඡන්ද පදනමක් කිසි කලෙක නොතිබුණු බැවිනි. මේ වන විට එජනිසය සතුව ලක්ෂ 15ක ඡන්ද පදනමක් ඇති අතර එම පක්ෂය තෙවන බලවේගයක් ලෙස ජවිපෙ අභිබවා ඉදිරියෙන් සිටී.

එජනිසයට මේ ඡන්ද පදනම වර්ධනය කර ගැනීම කෙසේ වුවත් දිගටම රැකගත හැකි වෙයිද?

එජනිස ඡන්ද වලින් ලක්ෂ පහක් පමණ සේ මා ඇස්තමේන්තු කරන ශ්‍රීලනිප ඡන්ද වලින් කොටසක් පොදුජන පෙරමුණ විසින් පහසුවෙන් ආකර්ශනය කරගනු ඇත. එහෙත්, ඉතිරි ඡන්ද වල හැසිරීම තීරණය වන්නේ ඉදිරි දේශපාලන පෙළගැසීම් අනුවය. ලක්ෂ 10ක් පමණ වන මේ ඡන්ද ලංකාවේ මැතිවරණ වල අවසන් ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් කිරීමේ හැකියාව ඇති පාවෙන ඡන්දයි. මේ වන විට ලංකාවේ පාවෙන ඡන්ද වලින් වැඩිම ප්‍රමාණයක් රැඳී තිබෙන්නේ එජනිස ඡන්ද මල්ලේය. ලක්ෂ 7 ඉක්මවන ජවිපෙ ඡන්ද වලින් ලක්ෂ 5ක් පමණම මේ වන විට එම පක්ෂයේ ස්ථාවර ඡන්ද බවට පත් වී ඇති අතර පාවෙන ඡන්ද එහි ඇත්තේ ලක්ෂ 2ක පමණ ප්‍රමාණයක් පමණි.

මැතිවරණයෙන් පසුව එජනිසය සතුව විකල්ප තුනක් තිබුණේය. පළමුවැන්න පොදුජන පෙරමුණ සමඟ එකතු වීමයි. දිවයිනේ සමස්ත ඡන්ද වලින් 40.5%ක් ලබා සිටින පොදුජන පෙරමුණට වෙනත් පක්ෂ වල සහාය නොමැතිව බලය පිහිටුවිය හැක්කේ පළාත් පාලන ආයතන 125ක පමණි. එහෙත්, එජනිස සමඟ එකතු වුවහොත් මේ ප්‍රමාණය 238ක් පමණ දක්වා ඉහළ යයි. පොදුජන පෙරමුණ හා එජනිස අතර සන්ධානයකට දළ වශයෙන් දිවයිනේ සිංහල බෞද්ධ බහුතරයක් සිටින සියලුම පළාත් පාලන ආයතන වල බලය පිහිටුවිය හැකිය.

එහෙත්, මෙය සිදුවන ආකාරයක් මේ වන විට පෙනෙන්නට නැත.

එක පැත්තකින් පොදුජන පෙරමුණේ අරමුණ ඉදිරි ජාතික මැතිවරණයක් ජයගැනීම මිස පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම නොවේ. ජාතික මැතිවරණයකදී එජනිසයේ ඉතිරි ඡන්ද පහසුවෙන් තමන් වෙනත් ලැබෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා විය යුතුය. අනෙක් අතට පොදුජන පෙරමුණ හා එජනිසය අතර සන්ධානයකින් සිදුවන්නේ පොදුජන පෙරමුණ තුල එජනිසය ක්‍රමයෙන් දිය වී යාමයි. ඉන්පසුව, මෛත්‍රීපාල සිරිසේන හෝ එජනිසය තවදුරටත් ලංකාවේ දේශපාලනය තුළ වැදගත් සාධකයක් වන්නේ නැත.

දෙවන විකල්පය එජාපය සමඟ එකතු වීමයි. මේ වන විටද එජාප-එජනිස සන්ධානයක් පවතින නිසා මෙය එතරම් අපහසු නැත. කෙසේවුවද, එජාප-එජනිස සන්ධානයකට වුවද වෙනත් පක්ෂ හෝ කණ්ඩායම් වල සහයෝගය නොලබා බලය පිහිටුවිය හැක්කේ පළාත් පාලන ආයතන 57ක පමණි. මෙය පොදුජන පෙරමුණට තනිව බලය පිහිටුවිය හැකි ආයතන ගණනින් අඩකටත් අඩුය. කෙසේ වුවත්, පොදුජන පෙරමුණට එජනිස සමඟ සන්ධානගත වී බලය ලබාගත හැකි අමතර ආයතන ගණන දැන් ගණනට අඩු වුවත්, එජාපයට මෙය දැන් ගණන මෙන් 8 ගුණය ඉක්මවයි. ඒ නිසා, එජනිසයට පොදුජන පෙරමුණ විසින් ගෙවනවාට වඩා වැඩි මිලක් ගෙවන්නට එජාපය සූදානමින් සිටිනවා විය හැකිය.

එජාපය සමඟ සන්ධානගත වුවද එජනිසයේ ඉතිරිව ඇති ශ්‍රීලනිප ඡන්ද විශාල ප්‍රමාණයක් පොදුජන පෙරමුණ වෙත ක්‍රමයෙන් විතැන් වීම වැළැක්විය නොහැකි වුවත් එමඟින් එජනිස මරණය පමා කරගත හැකිය.

එජනිස සතු තෙවන විකල්පය වන්නේ තෙවන බලවේගයක් ලෙස ස්වාධීනව සිටීමයි. මෙහිදී එජනිසයට දිගටම රඟපාන්නට සිදුවන්නේ දිගින් දිගටම පවතින ආණ්ඩු විවේචනය කරන ජවිපෙ භූමිකාවයි. මෙමඟින් ශ්‍රීලනිප ඡන්ද ගිලිහුණත් පාවෙන ඡන්ද තමන් වෙත රඳවා ගන්නට එජනිසයට පුළුවන. එසේ කළහොත් තෙවන බලවේගයක් ලෙස පමණක් වුවත් එජනිසය දිගටම පවතිනු ඇත.

මේ තෙවන විකල්පය යටතේ එජනිසයට තරඟ කරන්නට වෙන්නේ ජවිපෙ සමඟය.

ජවිපෙ සමඟ මේ වන විට රැඳී සිටින බහුතරය එසේ රැඳී සිටින්නේ ජවිපෙහි මාක්ස්වාදී මුල් නිසා නොවේ. ප්‍රධාන පක්ෂ කෙරෙහි ඇති කළ කිරීම හා ජවිපෙ විසින් ප්‍රදර්ශනය කරන පක්ෂ විනය ආදී වෙනත් හේතු නිසාය. ජවිපෙට දැන් සිටින තැනින් ඉහළට යන්නට තිබෙන බාධාව ඔවුන්ගේ මාක්ස්වාදී මූලයන්ය. විපක්ෂයේ සිටින තාක් කල් මේ මාක්ස්වාදී මූලයන් ප්‍රශ්නකාරී නොවූවත් ජවිපෙට බලය ලැබුනොත් එය ප්‍රශ්නයක් බව ලංකාවේ ඡන්දදායකයා දනී. එසේ නැතුව, ජවිපෙ විසින් කැරලි අවස්ථා දෙකකදී මිනීමැරීම වැනි දේ තවදුරටත් එතරම් වැදගත් කරුණු නොවේ. ජවිපෙට නැවත එවැනි තැනකට යා නොහැකි බව පැහැදිලි කරුණකි. අනෙක් අතින් ජවිපෙට නිදහස් වෙළඳපොළ අන්තය කරා තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමේ අවශ්‍යතාවය පෙනෙන නමුත් ඔවුන්ගේ ඉතිහාසය අනුව ක්‍රමක්‍රමයෙන් මිස කෙටි කළක් තුළ එම පක්ෂය වෙනස් කිරීමේ හැකියාවක් නැත.

පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී එජනිසය විසින් ඉතා දක්ෂ ලෙස ජවිපෙ සමඟ තරඟ කරමින් පාවෙන ඡන්ද එක්රැස් කරගත්තේය. මෙහිදී, එජනිසය සතු වූ වාසිය ජවිපෙ මාක්ස්වාදී ඉතිහාසයයි. එහෙත්, මේ වාසිය දිගටම රැකගන්නටනම් එජනිසයට ජවිපෙ ආකාරයේ විනයක්ද අවශ්‍ය වේ. එවැනි විනයක් පවත්වා ගැනීමට එජනිසයට හැකි වේදැයි සැක සහිතය. ඒ නිසා එජනිස පාවෙන ඡන්ද යම් ප්‍රමාණයක් ක්‍රමයෙන් ජවිපෙ වෙත විතැන් වන්නටද ඉඩ තිබේ.

අවසාන වශයෙන් එජනිසය සතුව කොපමණ ඡන්ද ඉතිරිවේද යන්න අනාගතයට භාර කරුණකි.


3 comments:

  1. මේ මැතිවරණය පරාජය වුවද, ඉදිරි පලාත් සභා මැත්වරණය එජාප යට ජය ගත හැකියැයි තර්කයක් ගොඩනැගීමට ඉකොනොමැට්ටා දත්ත විශ්ලේශනය ඉක්මවා උත්සහ දරා ඇතැයි සිතේ.

    මෙහිදී පාවෙන චන්ද වල හැසිරීම පක්ෂ වහළුන්ගේ හැසිරීම දක්වා ඌනනය කිරීමක් කර ඇති ලෙස මට සිතේ.

    පාවෙන ඡන්ද යනු අද තිබෙන තැන එසේම තිබේයැයි කිසි ලෙසකින්වත් නොගත යුතු ඡන්ද පදනමක් පමණි. එය බොහෝ විට එක් එක් මැතිවරණයේදී වඩා තර්කානුකූල පදනම සොයා විතැන් වෙන්නකි. පාවෙන ඡන්ද දායකයා රැවටිය හැක්කේ එක් වරකි. එක් ඡන්දයක් එක් වරකි.

    මෙවර ඡන්දයේදී දූෂ්ණ විරෝධී වීරයා චරිතය රඟපෑ ජනාධිපති වරයා, මැතිවරණය අවසානය හා අපි තරහයි නාටකා අකුලා දමා, මහ බැංකු වාර්ථාව හමස් පෙට්ටියේ එබීමත් සමග ඔහු වෙත පැමිණි පාවෙන ඡන්ද ද පාවී ඉවත යාම වලක්ක ගත නොහැකිය.
    2002 දී චන්ද්‍රිකාගේ විකාර දේශද්‍රෝහී පාලනයට එරෙහිව බොහෝ දෙනා එජාපය ට පක්ෂව ඡන්දය භාවිතා කලද සටන් විරාම ගිවිසුම හරහා රනිල් වික්‍රමසිංහ ඒ විශ්වාසය හා සූදු කෙලියේය. එහි වන්දිය අදටත් ගෙවන ඔහු පාවෙන චන්ද ආකර්ශනය කරගත නොහැකිව ලත වේ.

    එසේම 2015 ඡන්ද ජයග්‍රහනයෙන් පසු මෙතෙක් බලයක් නැතිව සිටි එජාප පාක්ශිකයින්ට සැලකීමට ඉදිරිපත් වීම හරහා ඔහු නැවත වරක් ඔහු වෙත පක්ෂ වූ පාවෙන ඡන්ද වලට කෝචොක් කලේය.

    පාර්ලිමේන්තුවේ අසන පැනවලට විසිළු පිළිතුරු සපයමින්, පාවෙන ඡන්ද විහිළුවට ලක් කලේය. පාක්ෂික වහලා ඒ විහිළු ධනාත්මකව අර්ථ දැක්වීමට ඉදිරිපත් වුවද, පාක්ශිකයෙකු නොවන චන්ද දායකයා ඒවා අර්ථකථනය කරන්නේ වෙනත් කෝනයකිනි.

    මෙන්න මේ යථාර්තය වටහා නොගෙන කරනු ලබන විග්‍රහයකින් ලැබිය හැකි යථා අවබෝධයක් නැති අතර, තමාවම මුලාකර ගැනීමක් සිදුවේ.

    ReplyDelete
    Replies
    1. //මේ මැතිවරණය පරාජය වුවද, ඉදිරි පලාත් සභා මැත්වරණය එජාප යට ජය ගත හැකියැයි තර්කයක් ගොඩනැගීමට ඉකොනොමැට්ටා දත්ත විශ්ලේශනය ඉක්මවා උත්සහ දරා ඇතැයි සිතේ.//
      නැත. එය එජාපයට ඉතා දුරස්ථ බව සක් සුදක් සේ පැහැදිලිය.

      //පාවෙන ඡන්ද යනු අද තිබෙන තැන එසේම තිබේයැයි කිසි ලෙසකින්වත් නොගත යුතු ඡන්ද පදනමක් පමණි. එය බොහෝ විට එක් එක් මැතිවරණයේදී වඩා තර්කානුකූල පදනම සොයා විතැන් වෙන්නකි.//
      මම කියන්නේත් මේ කරුණයි. ඒ ඡන්ද වලට ඕනෑම දෙයක් විය හැකිය. අනාගතය කොහේවත් ලියැවී නැත.

      Delete
  2. ඉකොනොමැට්ටාගෙන් කොපි කරලද මන්දා, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගිය මැතිවරණයේ ලබා ගෙන ඇත්තේ 40.66% ප‍්‍රතිශතයක් බව ඇමති චම්පික රණවකත් කියනවා.

    ගිය ජනාධිපතිවරණයට හංසයා ලකුණින් එක්වූ පක්ෂවලට 51%ක් ඡන්ද ලැබී ඇතැයිද ඔහු කියයි.

    මාධ්‍ය ආයතනවලින් වාර්තා කර ඇත්තේ අසත්‍ය ප‍්‍රතිඵලයක් යයිද ඔහු සදහන් කරයි. කෙසේ වෙතත් ඔහු පවසන සත්‍ය ප‍්‍රථිඵලය ගත් මූලාශ‍්‍රය සදහන් කර නැත. බොහෝවිට ඉකොනොමැට්ටා වෙබ් අඩවිය විය යුතුයි.

    එමෙන්ම මැතිවරණ කොමිසම විසින් මේ වන තෙක් අවසන් නිල ඡන්ද ප‍්‍රතිඵලයක් නිකුත්කර නොමැත. ඉතිහාසයේ මුල් වතාවට තැපැල් ඡුන්ද ප‍්‍රතිඵල වෙනම නිකුත් නොකලේද මෙවර මැතිවරණයේදීය.

    ඇමතිවරයාගේ ෆේස්බුක් අඩවියේ සදහන් කර ඇති වාර්තාව මෙසේය.

    පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප‍්‍රතිශතය 40%යි.
    මාධ්‍ය ආයතන ප‍්‍රකාශ කළ පළාත් පාලන ආයතනවල ජාතික ප‍්‍රතිශත ගණනයන් වැරදියි.

    පොහොට්ටුවේ සැබෑ ජාතික ප‍්‍රතිශතය : 40.66%
    (මාධ්‍ය ආයතනවලට අනුව : 44.65%)

    ජවිපෙ ප‍්‍රතිශතය : 5.8%
    (මාධ්‍ය ආයතනවලට අනුව : 6.27%)

    මේ වරද සිදුවූයේ කෙසේ ද?

    බොහෝ මාධ්‍ය ආයතන ජාතික ප‍්‍රතිශත ගණනයේදී සළකා බලා ඇත්තේ මූලික පක්ෂ කීපයක් (ශ‍්‍රි.පො.ජ.පෙ, එ.ජා.පෙ, ශ‍්‍රි.ල.නි.ප + එ.ජ.නි.ස, ජ.වි.පෙ, දෙමළ සන්ධානය ආදිය) ලබාගත් ඡන්ද 11,069,417 සියළු වලංගු ඡන්ද ලෙස ගැනීමෙනි.

    නමුත් සෙසු පක්ෂ හා ස්වාධින කණ්ඩායම් සියල්ලේ වලංගු ඡන්ද ප‍්‍රමාණය ද සමග සියළු වලංගු ඡන්ද ප‍්‍රමාණය 12,214,901ක් තරම් වේ. මේ අනුව ඒ ඒ පක්ෂවල ජාතික ප‍්‍රතිශතය වෙනස් විය යුතුය.

    ජනවාරි 8 ජනවරම හා ආණ්ඩුවේ අනාගතය.

    මෙහිදී වැදගත් වන්නේ ආණ්ඩු හැදීමට කතා කරනා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දූෂිත කල්ලියට ලැබී ඇත්තේ 40%ක් පමණක් වීමයි.

    මේ අනුව ගත් කළ එජාප හා ජනාධිපතිතුමාගේ ශ‍්‍රිලනිපය සහිත ජාතික සභාග ආණ්ඩුවට අයත් පක්ෂවලට 42%ක් ලැබී ඇති අතර, පසුගිය ජනාධිපතිවරණයේදී හංසයා ලකුණ යටතේ එක්වූ සියළුම පක්ෂවලට 51%ක් ඡන්ද ලැබී ඇත.

    මේ අනුව තවමත් 2015 ජනවාරි 08 ජනවරමෙන් ජනතාව ඈත්වී නැති බව පැහැදිලිය. දැන් අවශ්‍යව ඇත්තේ ප‍්‍රධාන පක්ෂ දෙක එකතු කරන කඩිනම් ජාතික වැඩපිළිවෙලක් හා සෙසු සහායක පක්ෂවලට ගැටුම් ඇති නොවන ක‍්‍රියාමාර්ග ගැනීමය.

    පාඨලී චම්පික රණවක ඇමතිවරයාගේ ෆේස්බූක් අඩවියේ ඇසුරිනි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget