Wednesday, February 7, 2018

තව දවස් තුනයි!


පළාත් පාලන මැතිවරණ වලට ඇත්තේ දින තුනකි. මීට පෙර මා මේ හා අදාළව ලිපි කිහිපයක් ලියා තිබේ. ඒ ලිපි ලිවීමෙන් මූලික වශයෙන්ම අදහස් කළේ ඉතා සංකීර්ණ ක්‍රමයක් වන අලුත් මැතිවරණ ක්‍රමය ගැන හා එහි ද්වීතියික බලපෑම් ගැන කතා කරන්නටය. මේ එක් ලිපියකට ප්‍රතිචාර දක්වමින් අපේ බ්ලොග් හිතවතෙකු වන නයනේ විසින් හා තවත් ඇනෝ කෙනෙකු විසින් ලියා තිබුණේ මගේ ලිපිය එජාපයට වාසි සහගත උපකල්පන මත ලියා ඇති එකක් බවයි.

බොහෝ දුරට බාහිර නිරීක්ෂකයෙකු ලෙස මේ මැතිවරණය දෙස බලන මට මේ මැතිවරණයේ ප්‍රතිඵලය පෞද්ගලිකව එතරම් වැදගත් එකක් නොවේ. ඒ නිසාම, ලියන ලිපියකින් කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට වාසියක් හෝ අවාසියක් සිදු වන්නේද යන්නත් එතරම් වැදගත් කරුණක් නොවේ.

මෙහි පළවන බොහොමයක් ලිපි කියවන්නේ දහසකට අඩු පිරිසකි. ඒ අයගෙන්ද අඩක් පමණ මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන්නට වැඩි ඉඩක් නැති, ලංකාවෙන් පිටත ජීවත් වන අයයි. ඉතිරි අයගෙන් අති මහත් බහුතරය මැතිවරණය හා අදාළ ලිපියක් කියවන්නට එන්නේම තමතමන්ගේ පූර්ව නිගමන වල සිටිමිනි. ඒ නිසා, මේ අන්තිම මොහොතේ මෙහි මොනවා ලිවුවත් ඒ හේතුවෙන් එක ඡන්දයක් හෝ භාවිතා වන ආකාරය වෙනස් වේයැයි මා හිතන්නේ නැත.

මැතිවරණය කෙරෙහි නොගිණිය හැකි තරමේ ඉතා සුළු බලපෑමක් සිදුවීමේ අවදානමක් ඇතත්, මැතිවරණය ගැන මෙහි කතා කිරීමෙන් පසුව ගත වූ තෙසතියක පමණ කාලය තුළ "දැනගත්" අලුත් තොරතුරු හෝ සිදු වූ අලුත් දේවල් තුනක් නිසා මැතිවරණයට පෙර මෙහි තවත් සටහනක් යුතුයැයි සිතේ.

පළමුවැන්න මැතිවරණ ක්‍රමය ගැන වඩා නිවැරදි තොරතුරු දැනගන්නට ලැබීමයි. දෙවැන්න, මැතිවරණය ආසන්න කාලයේදී ජනාධිපති සිරිසේනගේ හැසිරීමයි. තෙවැන්න, මේ වන විට තැපැල් ඡන්ද භාවිතා කර අවසන් කර සිටින කිහිප දෙනෙකු මැතිවරණයේදී හැසිරී ඇති ආකාරයයි.

පළමුවැනි කරුණ වෙත මුලින්ම ගියහොත් දැන් කවුරුත් වාගේ දන්නා පරිදි මෙවර ඡන්ද පත්‍රිකා වල පක්ෂයේ හෝ කණ්ඩායමේ නම මිස අපේක්ෂකයින්ගේ නම් නැත. මගේ අදහස අනුව, ඇතැම් විට, මෙය මැතිවරණ පණතට යටින් මැතිවරණ කොමිසම මට්ටමේදී තීරණය වූවක් වන්නට පුළුවන. කොට්ඨාශ තුන් හාර දහසක් වෙනුවෙන් අනන්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ අපහසුව සැළකු විට මෙය ප්‍රායෝගික තීරණයකි. එය එසේ වූවත් නොවූවත්, මේ කරුණ නිසා මේ මැතිවරණ ක්‍රමයේ කොට්ඨාශ මන්ත්‍රී ධුර නිර්ණය වන ආකාරය පැරණි ඡන්ද කොට්ඨාශ ක්‍රමයෙන් වෙනස් වෙයි.

පැරණි ඡන්ද කොට්ඨාශ ක්‍රමය යටතේ බහු මන්ත්‍රී කොට්ඨාශයක මන්ත්‍රීධුර වෙනස් පක්ෂ වල අපේක්ෂකයින්ට ලබා ගන්නට හැකියාවක් තිබුණේය. පෙනෙන්නට ඇති ආකාරයට අලුත් ක්‍රමයට එවැනි ඉඩක් නැත. මෙහිදී මා නිවැරදි නොවන්නට පුළුවන. මා වැරදි නැත්නම්, මෙහි වාසිය තිබෙන්නේ බහු ආසන සහිත පළාත් පාලන බල ප්‍රදේශ වල වැඩිම ඡන්ද ලබාගැනීමේ ශක්‍යතාවය ඇති පක්ෂයටය.

ඉතිරි කරුණු දෙක ගැන කතා කරන්නට පෙර අවසන් වරට පැවති ප්‍රධාන මැතිවරණය වූ 2015 අගෝස්තු මැතිවරණයේ ප්‍රතිඵලය වෙත යා යුතුය. එය මෙවැන්නකි.

එජාපෙ: ඡන්ද ලක්ෂ 50.1 (45.7%)
එජනිස: ඡන්ද ලක්ෂ 47.3 (42.3%)
ජවිපෙ: ඡන්ද ලක්ෂ 5.4 (4.9%)
ද්‍රස: ඡන්ද ලක්ෂ 5.2 (4.6%)

රටේ සමස්ත ඡන්ද අනුව ප්‍රධාන කණ්ඩායම් හතර සතු වූ ශක්තිය ඉහත පරිදි වුවත්, අලුත් ක්‍රමයට වැදගත් වන්නේ මුළු රටෙන්ම ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය නොවේ. එක් එක් කොට්ඨාශය ඇතුළත ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයයි.

වත්මන් ඡන්ද ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණයකදී ඉහත ක්‍රමයටම ඡන්දය භාවිතා වුවහොත් ද්‍රවිඩ සන්ධානයට රටේ පළාත් පාලන ආයතන වලින් 10-12%ක පමණ බලය අත්පත් වනු ඇති නමුත් ඔවුන්ට වඩා ඡන්ද ලබාගත් ජවිපෙට රටේ කිසිදු පළාත් පාලන ආයතනයක බලය හිමිවන්නේ නැත. එමෙන්ම, එජනිසයට රටේ පළාත් පාලන ආයතන වලින් 47-48%ක පමණ බලය හිමි වනු ඇති අතර එජනිසයට වඩා වැඩිපුර ඡන්ද ලබාගත් එජාපෙට හිමි වනු ඇත්තේ පළාත් පාලන ආයතන වලින් 41-42%ක පමණ ප්‍රමාණයකි.

අප පැහැදිලිවම දන්නා පරිදි මෙවර මැතිවරණයේදී ඡන්ද බෙදී යනු ඇත්තේ 2015 අගෝස්තුවේදී බෙදී ගිය ආකාරයට නොවේ. එයට ප්‍රධාන හේතුව අලුත් පක්ෂයක් වන පොදුජන පෙරමුණේ ආගමනයයි. මේ ගැන විශ්ලේෂණය කරන්නට පෙර ද්‍රවිඩ සන්ධාන හා ජවිපෙ සාධක ඉවත් කළ විට තත්ත්වය වඩා සරල වේ.

සමීකරණයෙන් ද්‍රවිඩ සන්ධාන සාධකය ඉවත් කිරීම ඉතා පහසුය. ඔවුන්ට තනිකරම වාගේ තිබෙන්නේ ප්‍රාදේශීය ඡන්ද පදනමක් නිසා මේ ඡන්ද කිසියම් ප්‍රමාණයකින් වෙනස් වූවා කියා ඔවුන්ට වෙනත් ප්‍රදේශ වලින් ජයග්‍රහණ හිමි වන්නේ හෝ ඔවුන්ට ජයග්‍රහණය කළ හැකි තැන් වලදී පරාජය වන්නේ නැත. ඒ නිසා, අපට ඉතා පහසුවෙන්ම ඔවුන්ගේ කොටස ඉවත් කර ඉතිරි කොටසට අවධානය යොමු කළ හැකිය.

පසුගිය මහ මැතිවරණයේදීද ද්‍රවිඩ සන්ධානය ඉක්මවා ඡන්ද ලබාගත් ජවිපෙ විසින් මෙවර තරමක් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇතැයි සිතිය හැකිය. සමානුපාතික නියෝජන ක්‍රමය හේතුවෙන් ඔවුන් ලබන ඡන්ද අනුපාතයට ආසන්න ලෙස සමානුපාතික මන්ත්‍රී ධුර ගණනක්ද ජවිපෙ විසින් ලබාගනු ඇත. එහෙත්, ඔවුන්ට පළාත් පාලන ආයතනයක බලය පිහිටුවන්නට ලැබෙන්නට ඇති ඉඩකඩ ඉතාම අවමය.

ජවිපෙ විසින් ඉතිහාසයේදී 9% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර ඇති අතර තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ මුල් තැනට එන්නට පවා සමත්වී තිබේ. ප්‍රාදේශීය සාධක හෝ වෙනත් කරුණක් නිසා යම් හෙයකින් මෙවර ජවිපෙ කිසියම් පළාත් පාලන ආයතනයක බලය පිහිටවන්නට සමත් වූවද ඒ හේතුවෙන් ලංකාවේ ජාතික දේශපාලන බලතුලනයේ මහා ලොකු වෙනසක් සිදු වන්නේ නැත.

ජවිපෙ හා ද්‍රවිඩ සංවිධාන සාධක ඉවත් කළ විට ඉතිරි වන්නේ එජාපෙ, පොදුජන පෙරමුණ හා එජනිස යන ප්‍රධාන දේශපාලන බලවේග තුනයි. මීට අමතරව නුවරඑළියේදී හා නැගෙනහිරදී සුළු ජාතික දේශපාලන පක්ෂ විසින් කරනු ඇතැයි සිතිය හැකි බලපෑම ගැන කතා කරන්නට අප කාලය මිඩංගු කරන්නේ නැත.

එජාපෙ, පොදුජන පෙරමුණ හා එජනිස අතර ඡන්ද බෙදීයාමට ඉඩ ඇති ආකාරය පුරෝකථනය කිරීම සරල කටයුත්තක් නොවේ. එහෙත්, අලුත් මැතිවරණ ක්‍රමය අනුව සිදු විය හැකි විවිධ ආකාරයන්හි ඡන්ද බෙදීම් අවසන් ප්‍රතිඵලයට බලපාන ආකාරය තේරුම් ගැනීම සඳහානම් අවශ්‍ය වන්නේ මැතිවරණ ක්‍රමය පිළිබඳ තාක්ෂණික දැනුමක් පමණි.

කලින් ලිපියකින්ද පැහැදිලි කළ පරිදි, බලයේ සිටින සෑම ආණ්ඩුවක් මෙන්ම මේ ආණ්ඩුවද මේ මැතිවරණය පවත්වන්නේ ඔවුන්ට වඩාත්ම වාසිදායක තත්ත්වයන් යටතේදීය. මේ වාසිය එජාපයට ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම එජනිසයේ 2015 ඡන්ද පදනම දෙගොඩකට බෙදී තිබීම තුළය.

ලිපියේ පෙර පෙන්වා දී ඇති පරිදි 2015 අගෝස්තුවේදී රටේ වැඩි ප්‍රදේශ ගණනකදී ඉදිරියෙන් සිටියේ එජනිසය වුවත්, එජාපය එජනිසයට වඩා 3.4%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේය. මෙයින්ද පැහැදිලි වන පරිදි, එජනිසය ඉදිරියෙන් සිටි බොහෝ තැන් වලදී ඔවුන් ගත් වැඩි ඡන්ද ප්‍රතිශතයට වඩා විශාල වැඩි ඡන්ද ප්‍රතිශතයක් එජාපෙ ඉදිරියෙන් සිටි තැන් වලදී ඔවුන්ට ලැබී තිබුණේය. මේ වෙනස එළැඹෙන මැතිවරණ ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් කරයි.

පසුගිය මහ මැතිවරණයේදී එජාපය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයෙන් ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානයේ ඡන්ද අඩු කළ විට ඉතිරිවන ප්‍රමාණයට ආසන්නව සමානය. මේ ඡන්ද ලක්ෂ 50 ඇතුළත මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රීලනිප ඡන්ද ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයකි. එහෙත්, එජාප ඡන්ද වලට අමතරව පාවෙන ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක්ද මේ ඡන්ද ලක්ෂ පණහ ඇතුළත තිබේ. ඒ නිසා, එජාපයේ සැබෑ ඡන්ද පදනම ලක්ෂ 40ක් පමණ විය හැකිය.

එජාපයට එරෙහිව ඇති ජනප්‍රිය චෝදනා හේතුවෙන් එජාපයේම ඡන්ද ඔවුන්ට අහිමි වෙන්නේ නැත. එහෙත්, ඉතිරි පාවෙන ඡන්ද වලින් යම් ප්‍රමාණයක් එජාපයට අහිමි විය හැකිය. එක පැත්තකින් ජවිපෙ විසින් මේ ඡන්ද වලට කෙළ හලද්දී අනික් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන විසින් එජාපයට පහර ගසන්නේ ජවිපෙ වෙත යන්නට නොදී මේ ඡන්ද එජනිසය වෙත රඳවා ගන්නටය.

කෙසේ වුවත්, වැදගත්ම කරුණ වන්නේ 2015 අගෝස්තුවේදී එජනිසය වෙත ආකර්ෂණය වූ පාවෙන ඡන්ද බොහෝ දුරට නාගරික හා අර්ධ නාගරික ඡන්ද මිස ග්‍රාමීය ඡන්ද නොවන බවයි. ඒ නිසා, මේ පාවෙන ඡන්ද වලින් කොටසක් අහිමි වීම එජාපයේ ග්‍රාමීය ඡන්ද පදනමට එතරම් බල නොපායි.

මහා මැතිවරණයේදී එජාපය වැඩිපුරම ඉදිරියෙන් සිටියේ නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ වලදීය. ඒ ප්‍රදේශ වල එජාපය හා එජනිසය අතර විශාල ඡන්ද පරතරයක් තිබුණේය. ඒ නිසා, එජාප ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් අඩු වුවත් තව දුරටත් එම ප්‍රදේශ වල ඉදිරියෙන්ම සිටින්නට එජාපයට පුළුවන.

මෙයින් වෙනස්ව, ග්‍රාමීය ප්‍රදේශ වලදී පොදුජන පෙරමුණට ඉදිරියට එන්නටනම් 2015 ඡන්ද වලින් විශාල ප්‍රමාණයක් ඔවුන්ට ලබාගන්නට සිදු වේ. එසේ නැත්නම් සිදුවන්නේ ඒ ප්‍රදේශ වල මුල් තැන එජාපයට යාමයි.

එජනිසය 2015 අගෝස්තුවේදී ලබාගත් ඡන්ද විශාල ප්‍රමාණයක් රාජපක්ෂවාදීන්ගේ ඡන්ද වුවත්, ඒ අතර එසේ නොවන සම්ප්‍රදායික ශ්‍රීලනිප ඡන්දද තිබේ. එමෙන්ම, බලය ඇති පැත්තට වැටෙන පාවෙන ඡන්දද යම් ප්‍රමාණයක් ඒ ගොඩේ තිබේ.

අගෝස්තු මහමැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ලක්ෂ 10කින් පමණ අඩු විය. මෙසේ අඩු වුණේ යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ වෙත ආකර්ෂණය වී තිබුණු පාවෙන ඡන්දයි. මහ මැතිවරණයේදී ඒ ඡන්ද වෙනත් කිසිදු පක්ෂයක් වෙත සම්ප්‍රේෂණය වූයේ නැත. ආණ්ඩු පෙරලන මැතිවරණයක් නොවන මේ මැතිවරණයෙදී ඒ ඡන්ද නැවත භාවිතා වනු ඇතැයි සිතිය නොහැකිය.

එජනිස ප්‍රාදේශීය නායකයන් විශාල ප්‍රමාණයක් මේ වන විට සිටින්නේ පොදුජන පෙරමුණ සමඟය. බොහෝ ශ්‍රීලනිප පාක්ෂිකයින් දැන් ශ්‍රීලනිපය ලෙස හඳුනාගන්නේද පොදුජන පෙරමුණයි. එහෙත්, නිල වශයෙන් එජනිසය හා ශ්‍රීලනිපය තවමත් තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන භාරයේ වන අතර එම කණ්ඩායම සමඟද ප්‍රාදේශීය නායකයින් යම් කිසි ප්‍රමාණයක් සිටිති.

බොහෝ දෙනෙකු එකඟ නොවන්නේ එජනිස ඡන්ද පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය වෙත බෙදී යනු ඇත්තේ කෙසේද යන කරුණේදීය. එජනිස ඡන්ද වලින් පොදුජන පෙරමුණ වෙත ලැබෙනු ඇති ප්‍රමාණය පිළිබඳව 50% සිට 95% පමණ දක්වා විවිධ පුරෝකථන ඉදිරිපත් වී තිබේ. කෙසේ වුවත්, හැමදෙනෙක්ම පාහේ එකඟ වන කරුණු වන්නේ එජනිස ඡන්ද වැඩි ප්‍රමාණයක් පොදුජන පෙරමුණ විසින් ලබාගනු ඇති බව හා එජනිසයද එයින් කිසියම් හෝ ප්‍රමාණයක් ලබා ගන්නා බවයි.

මගේ පෞද්ගලික ඇස්තමේන්තුව වූයේ එජනිස ඡන්ද වලින් 65-80% අතර ප්‍රමාණයක් පොදුජන පෙරමුණ විසින් ලබාගනු ඇති බවයි. එසේ වුවහොත් එජනිසය වෙත ඉතිරි වන්නේ මහමැතිවරණයේදී ලබාගත් ඡන්ද වලින් 20-35%ක් පමණ හෙවත් රටේම ඡන්ද වලින් 8%-15% අතර ප්‍රමාණයක් බවයි. ඒ අනුව, එජනිසය ජවිපෙට වඩා ඉදිරියෙන් සිටිනු ඇත.

කෙසේවුවත්, එජනිසය හා පොදුජන පෙරමුණ අතර ඡන්ද බෙදීයන ආකාරයේ විශාල ප්‍රාදේශීය විෂමතා දකින්නට හැකි වනු ඇත. ඇතැම් ප්‍රදේශ වලදී එජනිසය ජවිපෙටද වඩා පසුපසට වැටෙන්නට මෙන්ම මුල් තැනටම වුවද පැමිණෙන්නට ඉඩ තිබේ. එහෙත්, එජනිසය විසින් තනිව ප්‍රාදේශීය සභාවක බලය පිහිටුවීමට විශාල ඉඩක් නැත.

ද්‍රවිඩ සන්ධානය විසින් ජයග්‍රහණය කරනු ඇති ප්‍රදේශ හැරුණු විට ඉතිරි පෙදෙස් වල පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ මුල් තැනට පැමිණෙනු ඇත්තේ එජාපය හෝ පොදුජන පෙරමුණයි. පොදුජන පෙරමුණ විසින් ජයග්‍රහණය කරන්නට ඉඩ ඇති බල ප්‍රදේශ ගණන තීරණය වෙන්නේ ඔවුන් විසින් ආකර්ෂණය කර ගන්නා එජනිස ඡන්ද ප්‍රතිශතය මතය.

පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය මහා මැතිවරණයේ ප්‍රතිශතයමනම් එජාපය හා පොපෙ අතර පළාත් පාලන ආයතන බෙදී යනු ඇත්තේ 41-42%: 47-48% වැනි අනුපාතයකටය. එහෙත්, එය එසේ වන්නට වැඩි ඉඩක් නැත.

පොදුජන පෙරමුණ විසින් අගෝස්තු ඡන්ද වලින් 90%ක් පමණක් ලබාගත්තොත් ඉහත අනුපාතය 53-54% : 35-36% ලෙසත්, මෙය අගෝස්තු ඡන්ද වලින් 80% මට්ටමට වැටුණොත් 66-67 : 22-23% ලෙසත් වෙනස් වනු ඇත. පොදුජන පෙරමුණ 70% මට්ටමට වැටුණහොත් ඉහත අනුපාතය 73-74%: 15-16% ලෙස තවදුරටත් වෙනස් වේ.

දැනට ඡන්දය භාවිතා කර අවසන් හෝ තීරණය කර අවසන් අය දෙස බැලූ විට පෙනෙන්නේ මෙවර රැල්ල තිබෙන්නේ ආණ්ඩුවෙන් ප්‍රතිවිරුද්ධ පැත්තට බවයි. රැල්ල ගහන්නේ එජාපයට හා එජනිසයට අවාසිදායක හා පොදුජන පෙරමුණට හා ජවිපෙට වාසිදායක ලෙසටය. මේ තත්ත්වයට මෛත්‍රීපාල සිරිසේනගේ අවසන් සති දෙක තුනේ ක්‍රියාකාරීත්වයද බලපා ඇත.

දැනට ඡන්දය ප්‍රකාශ කර අවසන්ව සිටින්නේ මැතිවරණ රාජකාරි වල නියැලෙන රජයේ නිලධාරීන් හා ආරක්ෂක හමුදා /පොලීසි වල පිරිස්ය. රටේ සාමාන්‍ය ජනතාවට සාපේක්ෂව මේ කණ්ඩායමේ "රාජපාක්ෂික භාවය" කොහොමටත් වැඩිය. මේ අය අතරින් ඇතැම් අය පසුගිය ප්‍රධාන මැතිවරණ දෙකේදී රාජපක්ෂලාට එරෙහිව ඡන්දය පාවිච්චි කළත් ඔවුන් බොහෝ දෙනෙකුට මහින්ද රාජපක්ෂ යනු තවමත් වීරයෙකි. රාජ්‍ය සේවකයින්ට මෙන්ම ආරක්ෂක හමුදා හා පොලීසි වල සාමාජිකයින්ටද මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග එතරම් දිරවන්නේ නැති වන්නට හේතු තිබේ. ඒ නිසා, දෙවසරකට පෙර යහපාලනය වෙත ආකර්ෂණය වුනු ඡන්ද වලින් යම් කොටසක්, විශේෂයෙන්ම තැපැල් ඡන්ද, මෙවර පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වී ඇති බවක්ද පෙනෙන්නට තිබේ. එහෙත්, මේ තත්ත්වය මේ කුලකයට සුවිශේෂී තත්ත්වයක් මිස රටටම පොදු තත්ත්වයක් නොවේ.

ලංකාවේ ඡන්ද භාවිතා වීමේදී බලය ඇති පැත්තට රැල්ල කැරකීම ඉතා සාමාන්‍ය තත්ත්වයකි. පසුගිය මහ මැතිවරණයට පෙර රාජපක්ෂවාදීන්ට "ජනාධිපතිවරයාගේ අයිතිය" අවශ්‍ය වුණේ ඒ නිසාය. එහෙත්, මෛත්‍රීපාල සිරිසේන විසින් අවසන් මොහොතේ විවෘත ලිපියක් ලියමින් තමන් සිටින්නේ එජාපෙ සමඟ බව සංඥා කිරීම නිසා රාජපක්ෂවාදී කණ්ඩායමේ සැලසුම් ව්‍යවර්ථ විය.

මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන සිටින්නේ වෙනම උපාය මාර්ගයකය. ඔහු එජාපයට දිගට හරහට පහර දෙයි. එහෙත්, එජාපය ප්‍රති ප්‍රහාර එල්ල කරනු නොපෙනේ. ඇතැම් අය මෙය යහපාලන කණ්ඩායමේ සැලසුමක් ලෙස දකිති. තවත් අය සැබෑ ගැටුමක් ලෙස දකිති. මෙය ආරම්භ වූයේ කෙළෙසකින් වුවත් මේ වන විටනම් ගැටුම එජාපයට අවාසිදායක වන තරමට දුරදිග ගොස් තිබේ. එජාපය මේ ප්‍රහාර හමුවේ ජනාධිපතිවරයාට ප්‍රතිප්‍රහාර එල්ල නොකරන්නේ ජනාධිපතිවරයා දැන් මොනවා කිවුවත් ඇත්තටම සිටින්නේ තමන්ගේ පිලේ බව ඡන්දදායකයින්ට ඇඟවීම ඔවුන්ට වාසිදායක නිසාය.

එජාපය හා එජනිසය වෙනවෙනම මැතිවරණයට ඉදිරිපත් වීම තුළ තිබුණේ එජාපයේ ගේමකි. මේ ගේම අපේක්ෂිත පරිදිම ඉදිරියට ඇදුනානම් මැතිවරණය අවසන් වන්නේ එජාපයට විශාල ජයග්‍රහණයක් ලබා දෙමිනි. එසේ වූවානම්, මැතිවරණය අවසන් වන විට මෛත්‍රීපාල සිරිසේනද අවලංගු කාසියක් බවට පත් විය හැකිව තිබුණි.

ගැටුම මෙතරම් දුරදිග නොගොස් එජාපය හා එජනිසය වෙනවෙනම තරඟ කිරීම පමණක් සිදු වූවානම් රටේ ඡන්දදායකයින් මේ කණ්ඩායම් දෙක හඳුනාගන්නේ බලය ඇති කණ්ඩායමේ සංරචක දෙකක් වශයෙනි. යහපාලන ගොඩේ සිටි එජාප සාමාජිකයින් කොහොමටත් එම පක්ෂය වෙනුවෙන් ඡන්දය භාවිතා කරනු ඇති අතර පාවෙන ඡන්දදායකයින් බොහෝ විට එජනිසය වෙත ඡන්දය භාවිතා කළ හැකිව තිබුණේය. ඒ ඔවුන්ට අලියාගෙන් ගන්නට වැඩ තිබෙන අතරම අලියාව පාලනය කළ හැකි හොඳ හෙණ්ඩුවක්ද අවශ්‍යව තිබෙන බැවිනි.

යහපාලන ඡන්ද කුට්ටියට ජවිපෙද ඉව අල්ලමින් සිටියේය. මෛත්‍රීපාල සිරිසේන විසින් එජාපයට ප්‍රහාර ආරම්භ කිරීමේ එක් අරමුණක් වූයේ මේ ඡන්ද ජවිපෙන් ආරක්ෂා කර ගැනීමයි. දෙවන අරමුණ වූයේ එජනිස ඡන්ද එජාප විරෝධී පොදුජන පෙරමුණ වෙත යා නොදී රැක ගැනීමයි.

ඉහත සැලසුමෙන් එජාපයට විශේෂ වාසියක් තිබුණේ නැත. එජාප ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ යහපාලන ඡන්ද පොදුජන පෙරමුණ වෙත නොයාම හා එජනිස ඡන්ද සියල්ලම පොදුජන පෙරමුණ වෙත නොයාම පමණි. මෙය ළඟා කර ගැනීමට අසීරු ඉලක්කයක් වූයේ නැත.

මෛත්‍රීපාල සිරිසේන දැන් කියන්නේ එජාපයේ සිටින්නේත් හොරු බවත්, හොරු අල්ලන්නට බැරි වුණේ එජාපය නිසා බවත්ය. එහෙත්, මේ ප්‍රකාශය නිසා ඔහුගේ ඡන්ද කිසිසේත්ම වැඩිවෙන්නේ නැත. මේ ප්‍රකාශ නිසා ඡන්දදායකයින්ට ඒත්තු යන්නේ ආණ්ඩුව ඇතුළේ එජනිසයට බලයක් නැති බවයි. බලය තිබෙන්නේ එජාපය සතුව බවයි. මේ සමඟම සිදුවන්නේ ආණ්ඩු බලය නිසා එජනිසයට ආකර්ෂණය විය හැකිව තිබුණු ඡන්ද නොලැබී යාමයි.

ඒ සමඟම යහපාලනය සමඟ සිටි පාවෙන ඡන්ද වලටද මේ ප්‍රකාශ හරහා කරන්නේ නිශේධනාත්මක බලපෑමකි. ඔවුන්ගේ පැත්තෙන් බැලූ විට, ඔවුන් බලාපොරොත්තු වූ පරිදි ආණ්ඩුව හොරු අල්ලා නැති අතර ඊටත් වඩා ලොකු හොරකම් කර තිබේ. දෙගොල්ලන්ම හොරු බව පැත්තකින් තිබ්බොත් රාජපක්ෂලා මොනවා හරි දෙයක් කරයි. මේ ආණ්ඩුව පතෝලය. බොහෝ ග්‍රාමීය ඡන්දදායකයින්ගේ ඇසින්, මෛත්‍රීපාලට එජාපයට එරෙහි වන්නට තරම් හැකියාවක් නැති අතර ඒ හැකියාව තිබෙන්නේ රාජපක්ෂලාටය. අවසාන වශයෙන් මෛත්‍රීගේ ප්‍රහාර හේතුවෙන් සිදුවන්නේ පොදුජන පෙරමුණේ ඡන්ද ඉහළ ගොස් (අඩුවෙන් පහළ ගොස්) එජාප ඡන්ද පහළ යාමයි. ඒ හැර, එජනිස ඡන්ද වැඩිවීමක්නම් සිදුවන්නේ නැත.

අවසන් සති කිහිපයේ සිදුවූ මේ බලපෑම් තිබුණත්, එජාපයට තවදුරටත් පළාත් පාලන ආයතන වැඩි ප්‍රමාණයක බලය පිහිටුවන්නට අසීරු නොවනු ඇති නමුත් පොදුජන පෙරමුණටද සැලකිය යුතු ජයග්‍රහණ ප්‍රමාණයක් ලැබෙනු ඇත. එජනිසයේ ඡන්ද වැඩි නොවූවත්, ප්‍රධාන බලවේග අතර වෙනස අඩු වීම නිසා එජනිසයට වැඩි ආයතන ගණනක තීරක බලය ලැබෙනු ඇත. ඒ තීරක බලයේ වාසිය ලබමින් පොදුජන පෙරමුණ මුල් තැනට පැමිණි, එහෙත් බහුතරය නොලැබූ පළාත් පාලන ආයතන කිහිපයකද එජාපය හා එජනිසය එක්ව බලය පිහිටුවන්නට ඉඩ තිබේ. එනයින් බලන විට, මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රහාර වලින් අවසාන වශයෙන් ඔහුට සිදුවනු ඇත්තේ වාසියකි.

මේ කිසිවක් අනාවැකි නොවේ. සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස මට හිතෙන හැටි පමණි. හරියටම වෙන්නේ කුමක්ද කියා දින තුනකින් බලාගත හැකි වනු ඇත.

17 comments:

  1. https://katha32.blogspot.com/2018/02/local-government-election.html#comment-form

    ReplyDelete
    Replies
    1. ඉකෝගෙ විශ්ලේශනයයි, සුමනදාස අබේවර්දනගෙයි විශ්ලේශන අතර ලොකු වෙනසක් නැහැ වගේ පේන්නේ.
      දෙන්නටම තමුන්ට දිනවිය යුතු පක්ශ 2ක් තියෙනවා. එක්කෙනෙක් ග්‍රහයො සෙට් එකක් ගැන කියල අන්තිමට අර තමුන්ගෙ හිතේ තියෙන දේ වෙන විදිහට අර හ්‍රහ පිහිටීම් ටික විශ්ලේශනය කරනව.
      ඉකෝ එකකට එකක් සම්බන්ද නති දත්ත ප්‍රමානයක් අර ගෙන තමුන්ට සාදනය කරන්ඩ අවශ්‍ය දේ අනුව උපකල්පන ටිකක් එකතු කරලා තමුන්ට දිනවිය යුතු පක්ශෙ දිනවනවා.

      ඉකො මේ විශ්ලේශනයෙදි හංගපු දේ තමා 2015 අගෝස්තුවේ තිබ්බ ලක්ශ 50 නෙවෙයි 2015 ජනවාරි මහින්දට තිබ්බ ලක්ශ 58 තමා මත්‍රී, මහින්ද අතරේ බෙදෙන්නේ. නමුත් 2015 ජනවාරි හංසයට තිබ්බ ලක්ශ 62, TNA,UNM,JVP,SLMC මයිත්‍රී සහ පාවෙන ලෙස බෙදෙන බව. එහෙම කිව්ව නම් ඉකෝට තමුන්ට අවශ්‍ය "එජාපේ දිනනවා" කියන මතය සාදනය කර ගන්ඩ බැරි වෙනවා

      ඇත්ත තත්වය මෙතන තියෙනව:

      https://www.facebook.com/Keerthi.tennakoon

      Delete
    2. ඇනෝ, කරුණු දෙකක් හැර ඔබ කියන දෙයට එකඟයි.

      //ඉකෝගෙ විශ්ලේශනයයි, සුමනදාස අබේවර්දනගෙයි විශ්ලේශන අතර ලොකු වෙනසක් නැහැ වගේ පේන්නේ.//
      අනාවැකි ලෙස සලකනවානම් ඔබ සමඟ එකඟයි.

      //දෙන්නටම තමුන්ට දිනවිය යුතු පක්ශ 2ක් තියෙනවා.//
      අවංකවම මටනම් එවැනි අවශ්‍යතාවයක් නැහැ.

      //ඉකෝ එකකට එකක් සම්බන්ද නති දත්ත ප්‍රමානයක් අර ගෙන තමුන්ට සාදනය කරන්ඩ අවශ්‍ය දේ අනුව උපකල්පන ටිකක් එකතු කරලා තමුන්ට දිනවිය යුතු පක්ශෙ දිනවනවා.//
      මම මොනවා ලිවුවත් මැතිවරණ ප්‍රතිඵලය තීරණය කරන්නේ ඡන්දදායකයින් විසින්නේ, ඇනෝ. මට කිසිදු පක්ෂයක් දිනවන්න අවශ්‍ය නැතත් මෙහි කර තිබෙන්නේ මම හිතන දෙය තහවුරු කරන්න කරුණු ඉදිරිපත් කිරීම බව ඇත්ත. කවුරු වුනත් ලිපියකින් කරන්නේ තමන්ගේ අදහස පැහැදිලි කරන්න කරුණු ඉදිරිපත් කරන එකයි.

      //ඉකො මේ විශ්ලේශනයෙදි හංගපු දේ තමා 2015 අගෝස්තුවේ තිබ්බ ලක්ශ 50 නෙවෙයි 2015 ජනවාරි මහින්දට තිබ්බ ලක්ශ 58 තමා මත්‍රී, මහින්ද අතරේ බෙදෙන්නේ. නමුත් 2015 ජනවාරි හංසයට තිබ්බ ලක්ශ 62, TNA,UNM,JVP,SLMC මයිත්‍රී සහ පාවෙන ලෙස බෙදෙන බව. එහෙම කිව්ව නම් ඉකෝට තමුන්ට අවශ්‍ය "එජාපේ දිනනවා" කියන මතය සාදනය කර ගන්ඩ බැරි වෙනවා//

      තවමත් මම සියලුම ප්‍රතිඵල නොදන්නා නිසා ඡන්ද සංයුතිය වෙනස් වී ඇති ආකාරය ගැන හරියටම කියන්න අමාරුයි. මැතිවරණ ප්‍රතිඵලය අනුව ඔබ ලියා ඇති දෙය බොහෝ විට නිවැරදි විය හැකි බව පේනවා. මැතිවරණයට පෙර මෙය කියන්න මම අනාවැකිකරුවෙක් නෙමෙයි.

      Delete
  2. ඉකොනෝ මම මෙම මැතිවරණ ව්‍යාපාරය මුලසිටම ඉතා සමිපව නිරීක්ෂණය කළා .
    මට ලැබුණු නිරීක්ෂණ
    1) ආරම්බයේදී unp පාක්ෂිකයන් ඉතා මන්දෝත්සාහි බවක් පලකල අතර බොහෝ අය මැතිවරණය පිලිබදව දැක්වුයේ ඈල්මැරුණු ස්වභාවයක් .
    2) මොහොට්ටුව කෘතීම පිබිදීමක් රටට පෙන්වීමට හැදුවත් එය සාර්ථක වුයේ නෑ .ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය මුදල් හා පමණට වැඩි ජනමාද්‍ය ආවරණ සහිතව ඇති පුම්බපු එකක් .එය මහපොළවේ පෙනෙන්නට නොමැත

    3) එජනිස ආරම්බයේදී සිටියේ ලැයිස්තුවට අපේක්ෂකයන් සොයා ගැනීමටවත් නොහැකි තැනක .
    පසුව මෙම තත්වය ක්‍රමයෙන් වෙනස් උනා .ජනාධිපති වරයා ගේ ක්‍රියාකලාපය මෙයට ප්‍රධානම හේතුව විය
    මැතිවරණ ව්‍යාපාරය අවසානයේදී එනම් අවසන් දින 07 තුලදී පහත වෙනස්කම් වූ බව නිරික්ෂනය කිරීමට හැකිවිය .
    * පොහොට්ට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය හුදු පුම්බනලද රැස්වීම් වලට මුලුරටේම ජනතාව මුදල් ,කෑම සහ මත්පැන් ලබාදී බස්රථවලින් ප්‍රධාන රැස්වීම පුරවා පුද්ගලික මාද්‍ය හරහා පෙන්වන එකක් විනා ගම්මට්ටමේ පැතිරුණු ව්‍යාපාරයක් නොවේ .බොහෝවිට ඔවුන්ගේ අපේක්ෂකයන් ගම්වල කළු චරිත වන ආතර බහුතරය ඔවුන්ට ප්‍රසාදයක් නොමැත .රාජ්‍ය බලය නොමැතිවීම ඔව්න්ට බරපතල පාඩුවකි
    * එජනිස ආරම්බයේදී කොරගසමින් ගියද අවසානයේදී සමස්ත චන්ද වලින් 12% -15% ආතර ප්‍රමාණයක් අවසානයේදී ලබාගත හැකි තත්වයට පත්විය මෙම සියලු චන්ද 2015 මහා මැතිවරණයේදී එජනිසයට ලැබුණු ච්න්දවේ .
    *unpයට තිබුණු එකම ප්‍රශ්නය වුයේ පුද්ගලිකව පාක්ෂිකයන්ට සැලකීමට නොහැකි වීමේ පාඩුවයි නමුත් ජනාධිපති වරයාගේ නිර්දය වාග් ප්‍රහාරය නිසා අක්‍රිය වී සිටි සියලු එජාප හිතවාදීන් මේ වනවිට නැවතත් චන්ද පොලට නොයමේ තීරණය වෙනස් කර නියත එජාප චන්ද දයකයන්වී සිටි .මෙම වර්දනය කැපී පෙනෙන වර්දනයකි .දැන් ඔවුන්ගේ සතුරා රාජපක්ෂ නොව ජනාදිපති සිරිසෙනයි .
    එජාපය 2015 මහා මැතිවරණයේ ලැබූ චන්ද ප්‍රමාණයට සමාන ho ඊට වඩා සවල්පයක් හෝ වැඩි චන්ද ප්‍රමාණයක් ලබාගනු ඇත
    මගේ අවසාන නිරීක්ෂණය වන්නේ
    එජාප 45% හෝ එයට 1% -2% වැඩි ප්‍රතිශතයක් ලබාගනී
    එජනිස චන්ද ප්‍රතිශතය පහත පරිදි වනු ඇත
    42 /60% =25.2 % පොහොට්ටුවට ද 42/40% =16.8 බුලට්කොලයටද වන ලෙස බෙදීයයි .
    ජවිපෙට 5% ඉක්මවීමට අසීරුවේ

    ReplyDelete
    Replies
    1. ඔබේ විශ්ලේෂණයට ස්තුතියි!

      Delete
  3. චී චී චී බෝම කැතයි.
    ඔය වගේ රට ඉන්න ඉගෙනගත්තු සෑර්ලත් අපේ ජනාධිපති තුමාට නක්කිය දානවද මෙහෙම.
    ඔහොම හොඳද සෑර් තව දවස් හතක්ම තියෙනවනේ.. කොහොමද තුන උනේ?

    ReplyDelete
    Replies
    1. //තව දවස් හතක්ම තියෙනවනේ//????

      Delete
  4. මගේ ඡන්දයත් හැමවිටම පාවෙන ඡන්දයක්. ඒ ඒ කාලෙට, කලකිරීම අඩුම පක්ෂය/පුද්ගලයා බලලා ඡන්දේ දෙනවා. හැමදාම හිතන්න යමක් ඉතුරු කරන ලිපියක් ලිවිම ගැන ස්තුතියි!

    නිකමට අහන්නේ, ලංකාවේ හිටියනම් ඡන්දේ දෙන්නේ කාටද?

    ReplyDelete
    Replies
    1. Same here. I voted for UNP for my first few elections. Once I voted for JVP for a provincial council election. In on of the general election I voted for 'Hela Urumaya' (the first year they contested). Voted for MR when he contested for the first time. Then for SF the second time and MS the third time.
      I'm not in Sri Lanka this year, but I would have voted for JVP. Not because I like them. I hate their approach towards private universities and unnecessary strikes. But at this point I don't think I have any other option.

      Delete
    2. //නිකමට අහන්නේ, ලංකාවේ හිටියනම් ඡන්දේ දෙන්නේ කාටද?//
      බරපතල ප්‍රශ්නයක්නේ! තවම කල්පනා කරනවා ඇත්තටම කාට ඡන්දය දෙන්න ඉඩ තිබුණද කියලා. මොන පක්ෂයෙන් හෝ ඉල්ලන ගමේ දන්න කියන කෙනෙක්ට හෝ දිනන්න යම් සම්භාවිතාවක් තිබෙන පක්ෂයක කාන්තා අපේක්ෂිකාවට ඡන්දය දෙන්න හෝ කාටවත් නොදීම ඉන්න ඉඩ තිබුණා කියල හිතෙනවා.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මහින්ද පතිරණලා ගෙන් ඉගෙන ගන්නා සිසුන්ට අබ සරණයි.

    - වෛද්‍ය රුවන් එම් ජයතුංග transyl2014.blogspot.com

    කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා ශ්‍රීලන්කන් ගුවන් සේවය මහින්ද රාජපක්ෂ යුගයේ කළමනාකරණය කළ ආකාරය පිළිබඳව දක්වා ඇති අදහස මුග්ධ මෙන්ම අතිශය හාස්‍යජනකය. පතිරණ මහතා ආශ්‍රයෙන් වෛද්‍ය රුවන් ජයතුංග මහතා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳව දරන අදහසේ බොහෝ සත්‍යතා ඇති නමුත් විශ්ව විද්‍යාල වර්ගීකරණය මත පදනම්ව කෙරෙන විග්‍රහයේ දී ඔහු මීට වඩා ප්‍රවේසම් විය යුතුව තිබිණි.

    මේ කමෙන්ටුව සඳහා මා පාදක කරගනුයේ www.4icu.org හි දත්තයන්ය.

    ශ්‍රී ලංකාව තුළ විශ්ව විද්‍යාල 16 ක් ඇති අතර ඉන් දේශීය වර්ගීකරණය (island ranking) අතර ප්‍රථම ස්ථානය හිමිකරගන්නේ වසර 1921 දී ආරම්භ කළ කොළඹ විශ්ව විද්‍යාලයයි (University of Colombo). ගෝලීය වර්ගීකරණයේදී (global ranking) එයට 1596 වන ස්ථානය හිමිය. ශ්‍රී ලංකාව තුළ ඇති විශ්ව විද්‍යාල අතරින් දේශීය වර්ගීකරණය යටතේ අවසාන එනම් 16 වන ස්ථානය හිමිකර ගන්නේ වසර 1996 දී ආරම්භ කළ අනුරාධපුරයේ භික්ෂු විශ්ව විද්‍යාලයයි. එය ගෝලීය වර්ගීකරණයේදී 7620 වන ස්ථානය හිමිකර ගනී.

    එසේම අපි වෛද්‍ය රුවන් ජයතුංග මහතාගේ අවධානයට ලක්වූ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා කුමන විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබුවාද යන්න මා නොදන්නා නමුත් දැනට ඔහු සේවය කරන වසර 1995 දී ආරම්භ කරන ලද සබරගමුව විශ්වවිද්‍යාලයට දේශීය සහ ගෝලීය වර්ගීකරණයන් යටතේ ලැබෙන ස්ථානයන් විමසා බලමු. දේශීයව එය විශ්ව විද්‍යාල 16 ක් අතරින් 13 වන ස්ථානය හිමිකරගන්නා අතර ගෝලීයව එයට හිමිවන ස්ථානය වෛද්‍ය රුවන් ජයතුංග මහතා සඳහන් කරන පරිදි 5993 නොව මා පරිශීලනය කළ මූලාශ්‍රය අනුව වඩාත් පහල අගයක් වන 6393 ය.

    වෛද්‍ය ජයතුංග මහතා සඳහන් කරන වසර 1950 දී ආරම්භ කරන ලද ඉතියෝපියාවේ Addis Ababa විශ්ව විද්‍යාලය ඉතියෝපියාවේ ප්‍රථම ස්ථානය හිමිකරගන්නා අතර ගෝලීයව 1837 වන ස්ථානය හිමිකර ගනී. එසේම වෛද්‍ය ජයතුංග මහතා සඳහන් කරන වසර 1922 දී ආරම්භ කළ උගන්ඩාවේ Makerere විශ්ව විද්‍යාලය දේශීයව ප්‍රථම ස්ථානයත් ගෝලීයව 2182 වන ස්ථානයත් හිමිකර ගනී.

    දැන් අපි යුක්රේනයේ විශ්ව විද්‍යාලයන්හි තත්වය විමසා බලමු. එහි විශ්ව විද්‍යාලයන් 171 ක් අතුරින් ප්‍රථම ස්ථානය හිමිකර ගන්නා වසර 1898 දී ආරම්භ කළ National Technical University of Ukraine Kyiv Polytechnic Institute ගෝලීය වර්ගීකරනයේදී 1747 වන ස්ථානය හිමිකර ගනී.

    අවසානයේ මා අවධානය යොමු කරනුයේ වෛද්‍ය ජයතුංග මහතා අධ්‍යාපනය ලද වසර 1922 දී ආරම්භ කරන ලද යුක්රේනයේ Vinnitsa National Medical University දේශීය සහ ගෝලීයව වර්ගීකරණයට ලක්ව ඇති ආකාරය පිලිබඳවය. එම විශ්ව විද්‍යාලය යුක්රේනයේ විශ්ව විද්‍යාලයන් 171 ක් අතුරින් 63 වන ස්ථානය හිමිකර ගන්නා අතර ගෝලීයව එයට හිමි ස්ථානය 6734 ය.

    මෙම සටහනෙහි අරමුණ වෛද්‍ය ජයතුංග මහතා, කිසිදු විශ්ව විද්‍යාලයක් හෝ රටක් අපහාසයට ලක් කිරීම නොව දත්ත එක්රැස් කිරීම, විශ්ලේෂණය, නිගමනයන්ට එළඹීම සහ ඒ මත තර්ක ඉදිරිපත් කිරීම යන කාරණයන් හිදී හැඟුම්බරව කටයුතු කිරීමට වඩා උපායශීලීත්වය අගනා බව තරමක් කටුක ආකාරයෙන් සිහිපත් කරවීමටය.

    අවශ්‍යනම් සංවාදයට එළඹෙමු.

    ReplyDelete
    Replies
    1. මෙය මෙහි දමන්න හේතුවනම් පැහැදිලි නැහැ.

      Delete
  7. මාගේ මේ පිළිබඳ තක්සේරුවනම් හාත් පසින් වෙනස්ය.
    මෙතැනදී ඉකොනොමැට්ටා බොහෝ දුරට එජාපය 2015 අගෝස්තු මැතිවරනයේ චන්ද ප්‍රතිශතයම රැක ගනීවියැයි පූර්ව මතයක සිටින බව පෙනෙනවා.

    එය එසේ වීම අසීරු බවකුයි මට පෙනෙන්නේ. 2015 වන විට එජාපයට ආකර්ශනය වුනු නවක ඡන්ද බහුතරයක් මේ වන විට ඔවුන් නැති කරගෙන හමාරයි.
    එසේම 2015 සිට මේ දක්වා එකතු වූ අළුත් ඡන්ද ආකර්ශනය කරගැනීමේ වැඩ පිළිවෙලක් ඔවුන් සතු වූව්යේ නැහැ.

    එසේම 2015 වන විට එජාප පිලට පිවිසි සිටි පාවෙන ඡන්ද බොහෝ සේ ඉවත්ව යාමක් තමයි දකින්නට පුළුවන්.

    මේ සියල්ල මැද ජවිපෙ සැලකිය යුතු ඉදිරි ගමනක් මෙවර ඒවියැයි මා සිතනවා. සමස්තයෙන් 1% ක ඉදිර් ගමනක් යනු ජවිපේට 20% ක වර්ධනයකි.

    අනාවැකි පැවසීම අසීරු වුවත් මෙවර එජාපය යම් හානියක් කරගත් බවක් පෙනෙනා අතර, පොහොට්ටුව සිතූ තරම් විශ්වාසයක් ජනිත නොකල බව පෙනී යනවා.

    කෙසේ වෙතත් සියල්ල රඳා පවතින්නේ ජනාධිපති වරයා හෙට අළුයම 7.00 දක්වා හැසිරෙන ආකාරයෙනුයි.
    ඔහු ඡන්ද ප්‍රථිපලයට බලපාන යම්කිසි ආන්දෝලනාත්මක ක්‍රියාවක් අවසන් පැය කිහිපයේදී කිරීමට ඉඩ ඇති බව බොහෝ දෙනා පුරෝකථනය කර තියෙනවා.

    එජාපය නම් අතට ගත් දේ කටේ දමා ගැනීමේ නොහැකියාවකින් පෙලෙන බවක් පෙනෙනවා.

    තව පැය කිහිපයක් ඉවසා බලමු.

    ReplyDelete
    Replies
    1. //මෙතැනදී ඉකොනොමැට්ටා බොහෝ දුරට එජාපය 2015 අගෝස්තු මැතිවරනයේ චන්ද ප්‍රතිශතයම රැක ගනීවියැයි පූර්ව මතයක සිටින බව පෙනෙනවා.//
      සමස්තයක් ලෙස එජාප ඡන්ද ප්‍රතිශතය තරමක් අඩු වෙයි කියා මම හිතනවා.

      //එසේම 2015 වන විට එජාප පිලට පිවිසි සිටි පාවෙන ඡන්ද බොහෝ සේ ඉවත්ව යාමක් තමයි දකින්නට පුළුවන්.//
      මේ සමඟත් මම එකඟ වෙනවා.

      නමුත් මම හිතන්නේ මෙසේ අඩු වන ඡන්ද බොහෝ දුරට නාගරික ඡන්ද බවයි. නාගරික ප්‍රදේශ වල එජාපය පවත්වා ගත් පරතරය අනුව හා එජනිස ඡන්ද සියල්ලම පොදුජන පෙරමුණට නොලැබීම තුළ මේ ඡන්ද අඩු වුවත් එජාපයට තවදුරටත් පොදුජන පෙරමුණට වඩා ඉදිරියෙන් සිටිය හැකි බවත් ඒ නිසා අලුත් මැතිවරණ ක්‍රමය අනුව ඡන්ද අඩුවීමේ අවාසිය නොදැනෙන බවත් යන කරුණු දෙකයි මම කියන්නේ. ග්‍රාමීය ප්‍රදේශ වලදී එජාප ඡන්ද ප්‍රතිශතය තිබුණේ කොහොමටත් අඩුවෙන් නිසාත්, ඒවා බොහෝ දුරට පාවෙන ඡන්ද නොව එජාප ඡන්ද නිසාත්, එවැනි ප්‍රදේශ වල එජාප ප්‍රතිශතය එතරම් අඩුවෙයි කියා මම හිතන්නේ නැහැ.

      ඉතුරු කරුණු ගැන බොහෝ දුරට එකඟයි.

      Delete
    2. ආසනයෙන් ආසනය 2015 අගෝස්තු ඡන්ද ප්‍රතිඵල දෙස බලා සුළු ගණනය කිරීමක් කළ විට මෙය පැහැදිලි වෙයි. සමස්තයක් ලෙස රටේම ඡන්ද යම් ප්‍රතිශතයක් අඩුවීම අලුත් ක්‍රමය යටතේ එජාපයට වැඩි පළාත් පාලන ආයතන ගණනක බලය පිටුවන්න බාධාවක් නෙමෙයි. වඩා වැදගත් වන්නේ ප්‍රධාන කණ්ඩායම් තුන අතරින් කොට්ඨාශ කීයකදී මුල් තැනට පැමිණිය හැකිද යන්නයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget