Friday, November 20, 2015

තැඹිලි තැඹිලි පාටද? (පළමු කොටස)


උදේ පාන්දරම පටන්ගන්නේ මැටි ප්‍රශ්නයකිනි. තැඹිලි පාට කියන්නේ තැඹිලි වල පාටයි. හරියට කොළ පාට කියන්නේ කොළ වල පාට වගේය. එහෙනං ඒක තැඹිලි පාට නොවී වෙන පාටක් වෙන්නෙ කොහොමද?

හරි තැඹිලි තැඹිලි පාටයි කියමුකෝ! දැන් මේ මට පේන තැඹිලි පාටමද අනිත් අයටත් පේන්නේ?

මේ ප්‍රශ්නය විශ්ලේෂණය කරන්නටනම් මුලින්ම පෙනීම යනු කුමක්දැයි සාකච්ඡා කළ යුතුය. ඉතාම සරලව පෙනීම කියන්නේ එක්තරා පරාසයක විද්‍යුත් චුම්භක තරංග වලට අපේ මොළ දක්වන ප්‍රතිචාරයයි.



විද්‍යුත් චුම්භක තරංග ඒවායේ තරංග ආයාමයේ දිග අනුව ගැමා කිරණ, එක්ස්-කිරණ, පාරජම්බුල කිරණ, දෘශ්‍ය ආලෝකය, අධෝරක්ත කිරණ, ක්ෂුද්‍ර තරංග (මයික්‍රෝවේව්), රේඩියෝ තරංග ආදී ලෙස අපේ පහසුව සඳහා අපි වර්ග කරන්නෙමු. මෙහිදී තරංග ආයාමය කියන්නේ ඉහළ රූපයේ ඇති පරිදි තරංගයක හැඩය නැවතත් ඒ ආකාරයෙන්ම දැකිය හැකි තැන් දෙකක් අතර දුරයි.


(http://science-edu.larc.nasa.gov/)

 හෝමෝ සේපියන් මොළයකට සාමාන්‍යයෙන් ග්‍රහණය කර ගත හැක්කේ නැනෝමීටර 400 සිට 700 දක්වා පමණ පරාසයක විද්‍යුත් චුම්භක තරංගයි.  නැනෝමීටරයක් කියන්නේ මිලිමීටරයක් කොටස් මිලියනයකට බෙදූ විට ඇති දුරයි. මීට වඩා ඉතා කෙටි තරංග ආයාම ඇති ගැමා කිරණයක තරංග ආයාමය මැනිය හැක්කේ නැනෝමීටරයක් තවත් කොටස් මිලියනයකට බෙදූ විට ඇති ඒකක වලිනි. එමෙන්ම, රේඩියෝ කිරණයක දිගු තරංග ආයාම කිලෝමීටර ගණනක් දිග විය හැකිය. මෙවැනි පරාසයක ඇති විද්‍යුත් චුම්භක කිරණ වලින් අපට ග්‍රහණය කරගත හැකි ඉහත මුළු පරාසයම ඉතාම සොච්චමකි.

අප විවිධ වර්ණ ලෙස දකින්නේ අපේ ඇස් වලට සහ මොළයට ගෝචර වන ඉහත පරාසයේ විද්‍යුත් චුම්භක තරංග වල විවිධ තරංග ආයාමයන්ය. අපට පෙනෙන දිගම තරංග ආයාමයන් රතු පැහැයෙන්ද, කෙටිම ඒවා නිල් පැහැයෙන්ද පෙනේ. ඒ අතර පරාසයේ දේදුන්නේ ඇති, අපට පෙනෙන සියළු පාට තිබේ.



රතු පාටට වඩා දිග තරංග ආයාම අධෝරක්ත කිරණ ලෙසත්, නිල්/දම් පැහැයට වඩා කෙටි තරංග ආයාම පාර ජම්බුල කිරණ ලෙසත් හැඳින්වේ. මේවා සාමාන්‍යයෙන් හෝමෝ සේපියන්ස්ලාට පෙනෙන්නේ නැත. ද්‍රශ්‍ය ආලෝකයේ මේ අවම සහ උපරිම සීමා වලදී විද්‍යුත් චුම්භක තරංග වල භෞතික ලක්ෂණ වල විශේෂ වෙනසක් වෙන්නේ නැත. විද්‍යුත් චුම්භක තරංග අතරින් මේ කුඩා පරාසය පමණක් අප විසින් ග්‍රහණය කරගන්නේ පෙනීම හා අදාලව අපේ ඇති ජීව විද්‍යාත්මක සීමාවන් නිසාය. එමෙන්ම මෙසේ අපට ග්‍රහණය වන විද්‍යුත් තරංග රතු, නිල්, කොළ ආදී ලෙස වෙන්කරගැනීමද අපේ මොළය විසින් කරන දෙයකි.

අපේ පෙනීම වෙනුවෙන් වැදගත්ම කාර්ය භාරයක් කරන්නේ අපේ ඇස් වල ඇති ආලෝක සංවේදී සෛලයි. යෂ්ඨි සෛල සහ කේතු සෛල ලෙස හැඳින්වෙන මෙවැනි සෛල වර්ග දෙකක් තිබේ. ඒවා එසේ නම්කර ඇත්තේ හැඩය අනුවය. මේවායින් යෂ්ඨි සෛල පාට වෙන්කර හඳුනා ගැනීමට උදවු නොකරයි. ඒවා උපකාරී වන්නේ ආලෝකය සහ අඳුර වෙන්කර ගැනීමට පමණි. වර්ණ දැකීමට උදවු වන්නේ කේතු සෛලයි.

යෂ්ඨි සෛල මිලියන 90-120 පමණ තිබුණත් කේතු සෛල ඇත්තේ මිලියන 6-7ක් පමණි. මේ නිසා, කේතු සෛල වල සංවේදීත්වය මොළයට ප්‍රමාණවත් ලෙස දැනෙන්නට හොඳ ආලෝක තත්ත්වයක් අවශ්‍ය වේ. යෂ්ඨි සෛල ප්‍රමාණයෙන් වැඩි නිසා මඳ අඳුරේදී වුවද ප්‍රමාණවත් සංවේදීතාවක් දක්වයි. ඒ නිසා හොඳින් ආලෝකය නැති අවස්ථාවලදී අපට පෙනීමට උපකාරී වන්නේ යෂ්ඨි සෛලයි. දිවා කාලයේදී වර්ණවත් ලෙස පෙනෙන දේවල් රාත්‍රියේදී කළු-සුදු ලෙස පෙනෙන්නේ කේතු සෛල හොඳින් ක්‍රියාත්මක නොවන නිසා සහ යෂ්ඨි සෛල වලට පාට වෙන්කර හඳුනාගැනීමට උපකාරී විය නොහැකි නිසාය.

සාමාන්‍යයෙන් හෝමෝ සේපියන් ඇස් වල වෙනස් කේතු සෛල වර්ග තුනක් තිබේ. මේ එක් එක් වර්ගය වෙනස් ආකාර වලින් විවිධ තරංග ආයමයන්ට ප්‍රතිචාර දක්වයි. ඒවා සාමාන්‍යයෙන් වැඩිපුරම ප්‍රතිචාර දක්වන තරංග ආයාමයට අදාල පැහැය අනුව රතු, කොළ සහ නිල් ලෙස හැඳින්විය හැකිය.



ඇත්තටම මේ හැඳින්වීම සමාන කළ හැක්කේ අලි ඇඟක් තිබෙන නිසා අලියාට අලියා කීමටය. වර්ණ අර්ථදැක්වෙන්නේම මේ සෛල වල සංවේදීතාව අනුව බැවිනි. ඒ නිසා වඩා නිවැරදි වන්නේ දිගු, මැදි සහ කෙටි ලෙස හැඳින්වීමය. පහසුව තකා මා පෙර හැඳින්වීම යොදාගනිමි.

මොළයට වර්ණ වෙන් කර හඳුනාගත හැක්කේ මේ තෙවර්ගයේ කේතු සෛල ප්‍රතිචාර දක්වන ආකාරය සැසඳීමෙනි. උදාහරණයක් ලෙස රතු (දිගු) සහ කොළ (මැදි) කේතු සෛල එක සමානව සංවේදී වන අතර නිල් (කෙටි) කේතු සෛල සංවේදී නොවේනම් අපට පිරිසිදු කහ පැහැය පෙනේ.

ඉහත සඳහන් කළ කේතු සෛල තෙවර්ගය වෙනස් තරංග ආයාමයන්ට ප්‍රතිචාර දක්වන 'සංවේදීතා වක්‍ර' පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. උදාහරණයක් ලෙස විශේෂිත තත්ත්ව රැසක් දැනට අමතක කළත්, සාමාන්‍ය පුද්ගලයෙකුගේ මේ වක්‍ර උපරිම සංවේදීතාවක් දක්වන තැන් වල තරංග ආයාම නැනෝ මීටර 564–580 (රතු), 534–545 (කොළ) සහ 420–440 (නිල්) ලෙස විචල්‍ය වේ.

මේ අනුව, රතු හා කොළ කේතු සෛල වල සංවේදතා සමාන වී, නිල් කේතු සෛල වල සංවේදීතාව ශුන්‍ය වී ශුද්ධ කහ පැහැයක් පෙනෙන තරංග ආයාමය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඇතැම් විට කෙනෙකුට තමන්ගේ සංවේදිතා වක්‍ර වල ස්වභාවය අනුව ඇතැම් වර්ණ නොපෙනෙන්නටද පුළුවන. විශේෂයෙන්ම, සාපේක්ෂව එක ළඟ පිහිටි රතු සහ කොළ කේතු සෛල වල සංවේදීතා වක්‍ර බොහෝ සෙයින් සමාන වූ විට යමෙකුට රතු සහ කොළ පැහැයන් වෙන් වශයෙන් හඳුනා ගැනීම අසීරු වේ.

අපට යම් වස්තුවක් වර්ණවත්ව පෙනෙන්නේ එහි වැටෙන දෘශ්‍ය පරාසයේ විද්‍යුත් චුම්භක තරංග වලින් කොටසක් පමණක් අවශෝෂණය කරගෙන ඉතිරිය ආපසු හරවා එවූ විටය. මේ තරංග සියල්ලම අදාල වස්තුව විනිවිද ගියහොත් අපට වර්ණයක් නොපෙනේ. වාතය හෝ වීදුරු මෙනි. එමෙන්ම දෘශ්‍ය පරාසයේ තරංග සියල්ලම අවශෝෂණය කර ගතහොත් කේතු සෛල හෝ යෂ්ඨි සෛල කිසිවක් ප්‍රතිචාර නොදක්වන බැවින් අපට කළු පැහැය පෙනේ. දෘශ්‍ය පරාසයේ තරංග ආයාම සියල්ල එකවර ලැබුණහොත් කේතු සෛල තෙවර්ගයම උපරිමයටම සංවේදී වන නිසා (overload) මොළයට ඒවායේ වෙනස සැසඳිය නොහැක. එවිට අපට සුදු පැහැය පෙනේ.

දැන් අපි අපෙන් බාහිරව පවතින ඕනෑම පුද්ගලයෙකුට නිරීක්ෂණය කළ හැකි තැඹිලි වල්ලක් ගැන සිතමු (එවැන්නක් සැබෑවටම තිබේද යන්න අමතක කරමු). මේ තැඹිලි වල්ල දෘශ්‍ය පරාසයේ ඇතැම් තරංග ආයාම පමණක් ආපසු හරවා එවයි. මෙසේ එවන්නේ නිශ්චිත තරංග ආයාම එකතුවකි. ඒ තරංග ආයාම එකතුව අපේ ඇස් වල කාච මඟින් පෙරා දෘෂ්ඨි විතානය මත ප්‍රක්ෂේපණය කළ විට අපේ කේතු සෛල ප්‍රතිචාර දක්වයි. මේ ප්‍රතිචාර අපේ මොළයට ලැබේ. තැඹිලි ගෙඩියේ පාට තැඹිලි පාට විය යුතු බව අප ඉගෙන ගෙන ඇති නිසා දැන් අපි මේ ප්‍රතිචාර පැකේජය තැඹිලි පාට ලෙස හඳුනා ගනිමු.

තැඹිලි ගෙඩියේ පාට අපි කාටත් තැඹිලි පාටමය. එහෙත්, ඔබ දකින තැඹිලි පාට මා දකින තැඹිලි පාටම නොවේ. (ඔබ දකින තැඹිලි ගෙඩිය මා දකින තැඹිලි ගෙඩියමද?)

මේ ඊළඟ ලිපිය පළකරන තුරු පොඩි හෝම්වර්ක් එකකි. පහත රූපයේ ඔබට වෙනස් පාට කීයක් පෙනේද?



53 comments:

  1. තැඹිළි තැඹිළි පාට නම් දොඩම් ද තැඹිළි ය!

    ReplyDelete
    Replies
    1. සින්හලෙන් කිව්වහම දොඩම් (Orenge) ගෙඩිය තැඹිලි (Orenge) පාටයි
      ඉන්ග්‍රිසියෙන් කිව්වහම තැඹිලි (King Coconut) ගෙඩිය "Orenge" පාටයි

      පළතුරු නම්
      දොඩම් = Orenge
      තැඹිලි= King Coconut

      පාටනම්
      තැඹිලි = Orenge
      මඤ්ඤං වගේ.....

      Delete
    2. මම පොඩි කාලේ දැකලා තිබුණේ කොළ පාට දොඩම් පමණයි. තැඹිලි පාට ඉංග්‍රීසියෙන් orange ලෙස හැඳින්වීම ඒ දිනවල මට ලොකු ප්‍රහේලිකාවක්.

      Delete
    3. අපි තැබිලි කියා කියන්නේ තැබිලි ගෙඩියේ පාටට නම් අපි ඉංගිරිසියෙන් ඔරේන්ජ් කියන පාටට කියන සිංහල වචනය ලෙස තැබිලි යන වචනය යොදාගැනීම වැරදි වැඩකි. ඔරේන්ජ් යනු තැබිලි වලට වඩා රතු හා කහ වැඩි තීව්රතාවයකින් යුත් වර්ණයකි.

      Delete
    4. ඔබ හරි, විශ්ව. පාට වල නම් වලින් අදහස් වන භෞතික තරංග ආයාම පරාසය අදාල භාෂාව කතාකරන අයගේ සංස්කෘතියට සාපේක්ෂයි. තැඹිලි පාට කියන්නේ හරියටම orange නෙමෙයි. purple සහ violet දෙකම අපට දම් පාට. ඒ වගේම ප්‍රංශ ජාතිකයින්ගේ pourpre ඇමරිකානුවන්ගේ purple වලට වඩා වැඩියෙන් රතුයි.

      Delete
  2. 15යි
    ඔයත් මාර ටොපි තමයි දෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔය කාල තියෙන්නේ ටොපිය! කොහොම වුණත් මෙන්ඩගේ පිළිතුර අවංකයි. අවංක පිළිතුරු හැමවිටම නිවැරදියි.

      Delete
  3. ද පින්ක් පැන්තර්November 20, 2015 at 10:26 PM

    අපි පවතින සම්මතයන්ට අනුගතවීම කොන්සවර්ටිව් ද ?
    පවතින සම්මතයන් ප්‍රශ්ණ කිරීම රැඩිකල් ද ?
    නැතිනම්,
    මේ කොන්සවර්ටිව් රැඩිකල්භාවය නූතන ලිබරල් විලාසිතාවක්ද? මූලධර්මවාදී භාවිතාවක්ද? ජීවවිද්‍යානූකූල පැවැත්මක්ද ?

    em, ඔබට පෙනෙන්නේ කොහොමද?


    ReplyDelete
    Replies
    1. පවතින සම්මතයන් ප්‍රශ්ණ කිරීමට පුළුල් ඉඩකඩක් තිබීම පවතින සම්මතයනම් එවැනි සම්මුතියකට අනුගත වීම එකවරම කොන්සවර්ටිව්ද රැඩිකල්ද වෙනවා නේද?

      Delete
    2. ද පින්ක් පැන්තර්November 21, 2015 at 11:46 AM

      em, එතකොට යමෙක් රැඩිකල් වීමත් කොන්සවර්ටිව් අංගයක්ද ?


      අපි කෝපී ටිකක් බීලා ඉමු ---- ☕☕

      Delete
  4. මට පාට 36 ක් පේනවා...

    ReplyDelete
  5. මම නම් වර්ණාන්ධයි.

    ReplyDelete
    Replies
    1. වර්ණාන්ධතාවය ජනගහණයේ පිරිමින් සැලකියයුතු ප්‍රතිශතයකට සහ ගැහැණුන් සුළු ප්‍රතිශතයකට ඇති දෙයක් (ජාන බෙදීම සිදු වන ආකාරය අනුව). ඒත් මේ ගොඩක් අය ඒ බව කවදාවත්ම දැනගන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්ෂව විශාල ලෙස පුළුල් වර්ණ පරාසයක (සිය ගුණයක් පමණ) පෙනීමක් තියෙන අයත් සුළු ප්‍රතිශතයක් (මෙහිදී වැඩිපුරම ගැහැණු) සිටිනවා. තමන්ට වර්ණාන්ධතාවය තියෙන බව දන්න කෙනෙකුට මේ ලිපියේ කරුණු වඩා පැහැදිලි විය යුතුයි.

      Delete
  6. මට පාට 47 ක් පේනව.

    ReplyDelete
    Replies
    1. මෙහි සැබැ අගය 23.5 ක් බව සලකන්න..

      Delete
    2. ඩබොල් පෙනිල. හැක්...

      Delete
  7. තැඹිලි ගෙඩිය ඔරෙන්ජ් පාටයි. නැහැ වර්මිලියන් පාටයි.

    මා වඩාත්ම උනන්දු දේ ගැන ලිපිපෙලක්.හරිම වැදගත්. විශේෂයෙන්ම වර්ණ. මේ ගැන ස්වයං සයන්ස් එකක් හදාගන්න මාත් සෑහෙන ට්‍රයි එකක් දෙනවා.
    කලින් ලිපිවලට කමෙන්ට් කරන්න බැරිවුනා.දිගට ලියන්න වෙන නිසා.
    අකුරු ගැන කියනවානම්, අපට උගන්වලා තියෙන විදියට නැතිව අකුරු අගඉදන් මුලට (සිංහල හා ඉන්ග්‍රිසි)පොඩ්ඩක් ලියලා බලන්න වෙනස. මේ ගැන සමික්ෂණ කර ඇති සමහරවිට.

    ReplyDelete
    Replies
    1. දැන් මේ පළමු කරුණ ගත්තොත් මල්මි මටනම් තැඹිලි ගෙඩියක් පෙනෙන්නේ වර්ණ පරාසයේ වර්මිලියන් පාටට වඩා පැහැදිලි ලෙසම දකුණින්. ගෙඩිය හැදුණු ගහ අනුව එය රෙඩ්-ඔරේන්ජ් හෝ ඔරේන්ජ්-රෙඩ් විය හැකියි (මට පේන විදිහට). මේ තමයි අපි එකිනෙකා අතර තියෙන වෙනස්කම්. ඉතිං කෙනෙක්ට ඉර පෙන්නලා ඉර කිවුවම නෑ හඳ කියනවනම් සමහර විට ඔහු හෝ ඇය අවංක විය හැකියි. ඔබේ විෂය වාස්තු විද්‍යාව හෝ ෆැෂන් ඩිසයින් වගේ එකක්නම් මේ පුද්ගල වෙනස්කම් හැදෑරිය යුතුමයි. අනෙක් අතට මෙවැනි විෂයයන් වලට වඩා ගැලපෙන්නේ වර්ණ සංවේදීතාවය වැඩි අය. (ඔන් ඇවරේජ් පිරිමින්ට සාපේක්ෂව ගැහැණුන්ගේ වර්ණ පෙනීම තියුණුයි.) ඇත්තටම ඔබ රෝදය නැවත සොයා සොයාගන්නම අවශ්‍ය නැහැ. මේ හා අදාළ පර්යේෂණ සිදු කෙරී සහ සිදුකෙරෙමින් පවතිනවා. ලිපිය යටින් ඇති පාටතීරු රූපයත් ඇත්තටම එවැනි පර්යේෂනයක් සඳහා යොදාගත් එකක්..

      Delete
  8. තැඹිලි පාටට තැඹිලි පාට කියන්නේ, මුළු ලෝකයෙන්ම, තැඹිලි හොඳට තියන, තැඹිලි බොන, අපි විතරයි.

    මට පාට 37 ක් පෙනුනි. 1GB VGA, 1980 x 1920 resolution, LCD Monitor, මම කන්නාඩි පාවිච්චි කරනවා.

    ReplyDelete
    Replies
    1. පෙරන කිසිවක් නැති සාමාන්‍ය කණ්ණාඩියකින් මේ වර්ණ වෙනස්ව පෙන්නන්න ලොකු හේතුවක් නැහැ. මොනිටරයේ ස්වභාවය අනුව වර්ණ කිහිපයක් වෙන්වශයෙන් නොපෙනිය හැකියි.

      Delete
  9. තැඹිලි සෑමවිටම තැඹිලි පාට නොවේ. කෙසේ වෙතත් වයසට යන විට ඔය සංවේදී අවයව සහ ස්නායු දුර්වල වන නිසා පරණ ටීවී එකක් මෙන් සමහර වර්ණ නොපෙනී යා හැකිය. කෙසේ වෙතත් මේ පාඩම නම් අගනේය.

    මටනං අරකෙ පාට 35 ක් විතර පේනව.
    LCD මොනි‍ටරේකින් බලන කෙනෙකුට වැඩිය CRT මොනිටරේකින් බලන කෙනෙකුට පාට වැඩියෙන් පේන්න පුලුවන්. මොකද CRT වල වර්ණ විභේධන හැකියාව LCD එකකට වඩා වැඩි නිසා.

    ReplyDelete
    Replies
    1. නියම විදිහට ආසන්නව වර්ණ විභේදනය කරන LED මොනිටර් තියනව ...
      අඩුම එකක් ලක්ස එකහමාරක් විතර වෙනව ...
      ඇපල් එකේ රෙටිනා ඩිස්ප්ලේ එකත් ඒවගේ....

      Delete
    2. මොනිටරේට ලක්ෂ 1 1/2 ක්.. පොහ්.
      ඇපල් වලනං නියම විදියට පාට පෙන්නනව කියල මාත් අහල තියෙනව.

      Delete
    3. //වයසට යන විට ඔය සංවේදී අවයව සහ ස්නායු දුර්වල වන නිසා පරණ ටීවී එකක් මෙන් සමහර වර්ණ නොපෙනී යා හැකිය// ඔබ කියන කරුණ ඇත්ත. ඒත්, ගොඩාක්ම වයසට යනතුරු වයස නිසා ඇතිවන වෙනස්කම් වලට සාපේක්ෂව අපි එකිනෙකාගේ ජීව විද්‍යාත්මක වෙනස්කම් වල බලපෑම ගොඩක් විශාලයි.

      Delete
  10. මෑතක බ්ලොග් කියැවීමට පටන් ගත් මා මේ අඩවියට ආගන්තුකයෙකි,
    මේ ලිපියේ එන "ඔබ දකින තැඹිලි පාට මා දකින තැඹිලි පාටම නොවෙයි" කියන කියමන මම හුඟක් කාලයක් තිස්සේ ස්වයංව විමර්ශනයට ලක් කල කාරනයක්. මෙහි වර්ණාවලිය හා මානව ඇසට එහි සෛලයන් සංවේදී වන ආකාරය ආදී බොහෝමයක් ශාස්ත්‍රීය කාරණා සාකච්චා කර තිබෙනවා. ඒත් ඔබ දකින තැඹිලි පාටත් මා දකින තැඹිලි පාටත් එකක් ම වීම හෝ නොවීමේ ඉඩ ඒ සාදක මතින් පැහැදිලි කල නොහැකි බවයි මගේනම් අදහස.
    එහෙත් ඔබත් මාත් එකම තැඹිලි ගෙඩිය තැඹිලි පාට හැටියටම හඳුනා ගන්නේ ඒ පිළිබඳව ලැබූ පූර්ව දැනුම පදනම්වමයි. ඔබ දකින තැඹිලි පාට මා දකින තැඹිලි පාටින් වෙනස් විය හැකිද එසේ වෙනස් වනවානම් ඒ වෙනස් වීමේ පරාසය කොපමණද ආදිය විග්‍රහ කල හැක්කේ කෙසේද? මෙය එක් එක් පුද්ගලයාගේ මනෝ භාවයන්ට සාපේක්ශද, නැතහොත් ඉන්ද්‍රියයන්ට සාපේක්ශද?

    ReplyDelete
    Replies
    1. //ඔබ දකින තැඹිලි පාටත් මා දකින තැඹිලි පාටත් එකක් ම වීම හෝ නොවීමේ ඉඩ ඒ සාදක මතින් පැහැදිලි කල නොහැකි බවයි මගේනම් අදහස.// ඔබ සිතන ආකාරය විස්තර කළ හැකිනම් මට වැඩි පැහැදිලි කිරීමක් කළ හැකියි.

      //එසේ වෙනස් වනවානම් ඒ වෙනස් වීමේ පරාසය කොපමණද ආදිය විග්‍රහ කල හැක්කේ කෙසේද? මෙය එක් එක් පුද්ගලයාගේ මනෝ භාවයන්ට සාපේක්ශද, නැතහොත් ඉන්ද්‍රියයන්ට සාපේක්ශද?//
      මනෝ භාවයන්ට සාපේක්ශ වෙනස්කම් ඉතා විශාල විය හැකියි. එහෙත් මේ වෙනස්කම් නිශ්චිත ලෙස මැනීම පහසු දෙයක් නෙමෙයි. දැනට මා ඉදිරිපත් කර ඇත්තේ ඉන්ද්‍රියයන්ට සාපේක්ශ වෙනස්කම්. මෙහිදී වෙනස් වීමේ පරාසය භෞතිකව මැනිය හැකි දෙයක්. ප්‍රායෝගිකව බොහෝ විට වෙන්නේ දෙදෙනෙකුට එකම වර්ණයේ වෙනස් ශේඩ්ස් දෙකක් පෙනීම. එහෙත්, ඇතැම් තරංග ආයාම එක ලඟ පිහිටි වෙනස් වර්ණ දෙකක් ලෙස පෙනිය හැකියි.

      Delete
    2. මේක ටිකක් පිස්සු කථාවක්, මම මොලේ කොලොප්පන් කාරයෙකු ලෙස ඇතැම් විට ඔබලා වටහා ගනීවී.

      උදාහරණයක් ලෙස, මා රතු පාට දකින යම්කිසි ආකාරයක් පවතිනවා. එසේම මා නිල් පාට දකින යම්කිසි ආකාරයකුත් පවතිනවා. එසේම ඔබත් රතු හා නිල් යන දෙවර්ණය යම්කිසි දෙයාකාරයකට දකිනවා. මෙන්න මේ අතරින් ඔබ රතු දකින ලෙස මා නිලුත්, ඔබ නිල් දකින ලෙස මා රතුත් දකිනවා විය නොහැකිද?
      මට කුඩා කාලයේදී මගේ මව ර්තු පාටින් දකිනා රෝසමලක් (ඇයට යමෙකු කුඩා කල හඳුන්වා දුන් පරිදි ) මට රතු ලෙස දක්වනවා. එතැන් පටන් ඒ ආකාරයට දකින වර්නය මා රතු ලෙස හඳුනනවා. එහෙත් මා එම මල දකින්නේ මගේ මව නිල් පැහැය දකින ආකාරයෙනුයි. එසේ වනවානම් අප කෙදිනක හෝ මෙය එසේ නොවන වග හෝ එසේ වන වග තහවුරු කරගනිමුද. මෙය නොවිය හැක්කක් යැයි යමෙකුට ස්ථිරව පෙන්වා දිය හැකිද? ඉන්ද්‍රිය හෝ දෘෂ්‍ය තරංග ආයාම මගින් මෙය කිසිලෙසකින්වත් පැහැදිලි කල නොහැකියි.

      Delete
    3. සිතුවිළි සි, මා කියන්නේත් ඇත්තටම ඔබ කියන දෙයම තමයි. කෙසේ වුවත්, අපට වර්ණ පෙනෙන ක්‍රියාවලියේ ඇති සීමාවන් නිසා මෙවැනි වෙනසක් සිදුවිය හැක්කේ නිශ්චිත ආකාර කිහිපයකටයි. වර්ණ වලට පුද්ගලයෙකුගේ ඇස් වල අදාළ සෛල සහ මොළයේ වර්ණ වලට අදාල පෙදෙස් ප්‍රතිචාර දක්වන ආකාරය නිරීක්ෂණය කළ හැකි දෙයක් නිසාත්, ඊට වඩා වෙනස් සරල ක්‍රම මඟිනුත් පුද්ගලයින් අතර පෙනීමේ ඇති ඇතැම් වෙනස්කම් නිරීක්ෂනය කළ හැකියි. තව විස්තර දෙවන කොටසේ ලියන්නම්.

      Delete
  11. Replies
    1. වමේ සිට දකුනට ගන්ං කරන කොට 38යි
      දකුනේ සිට වමට ගනං කරනකොට 40යි

      Delete
    2. වයස මදි වගේ නැද්ද? :D

      Delete
  12. ඉතාම වටිනා ලිපියක්. මා බ්ලොග් ලිපියක ප්‍රින්ට් අවුට් එකක් ගන්නෙ එය ඉතාම වැදගත් නම් පමනයි. මෙයත් ෆයිල් කරන්න වටින නිසා ප්‍රින්ට් අවුට් එකක් ගත්තා.
    හෝමෝ සාපියන්ලට පෙනෙන පරාසයට එහා දේවල් ගැන දැනුමක් ලබාගන්න බැරිද .එහෙම තාක්ෂනයක් නැද්ද

    ReplyDelete
    Replies
    1. බැරිකමක් නැහැ, මධ්‍යස්ථ. එහෙත්, එක්තරා සීමාවක් දක්වා පමණයි.

      Delete
  13. පාට ගණන ගැන දැන්ම උත්තරයක් දෙන්නේ නැහැ. මෙය ඉතාම සරල කරුණක්. ඒත් ලැබී ඇති පිළිතුරු සුළු ප්‍රමාණයේ ඇති වෙනස්කම් වලින්ම පේනවා නේද, අපි එකිනෙකා දකින විදිහ කොයි තරම් වෙනස්ද කියා?

    ReplyDelete
  14. මට පේන්නේ 35. හැබැයි එක පාරයි බැලුවේ.

    දකුණු පැත්තේ තැඹිලි ගෙඩි රතු තැඹිලි. උඩ ඒවා කහ තැඹිලි. මූදු කොලපාට කියන පාටේ මට නිතර පේන්නේ නිල්පාට මතු වෙලා. මගේ ඇස් හොයන්නේම නිල්. පෙන්නන්නේම නිල්...:P

    රසවත් ලිපි පෙලක් ...

    ReplyDelete
    Replies
    1. විවිධ පුද්ගලයින්ගේ වෙනස් පාට වලට ඇති ස්වභාවික රුචි අරුචිකම් ඔවුන් වර්ණ දැකීමේ ඇති වෙනස්කම් වලට සම්බන්ධයි. කහ පාට කියන්නේ 'සැර' වැඩිම වර්ණයක්. වර්ණ සංවේදීතාවය වැඩි ඇතැම් අයට කහ පැහැය සැර වැඩියි. (මෙයින් මා අදහස් කරන්නේ සමස්තයක් ලෙස කේතු සෛල සංවේදී වන මට්ටම). එවැනි අය 'සැර අඩු' නිල් පැහැයට වඩා කැමතියි. කාන්තාවන් අතර වර්ණ සංවේදීතාව වැඩි අය ප්‍රමාණාත්මකව වැඩියි.

      Delete
  15. Colors 46 <~> 47

    PC -
    CRT monitor- (SAMSUNG Syncmaster Magic CD173G )
    Make Year 2004.07

    VGA - On board 256 MB (Intel Core 2Duo CPU E7500)

    ReplyDelete
  16. ඇයි මගේ නේත්‍රා Blue බලන්න මෙතරම් ආසා.
    කේතු සෛල වීලා ඇත්ද මඤ්ඤං හෝ ගා.

    ReplyDelete
  17. කරුමයක්ද මන්දා... මා හට නම් තීරු 44 ඇති බව පෙනේ. ඒ ඇසේ මට්ටමින් තීරු ගණන ගනන් කිරීමෙන්.

    එහෙත්,
    වර්ණ වශයෙන් බැලූ කල 4 සහ 5 දම් පාට තීරු එකම පාරින් පෙනේ (44-1=43)
    31,32,33 ලෙස අංක කළ හැකි කහ පාට තීරු තුන එකම පාට තනි තීරුවකි. (43-2=41)

    ඒ නිසා 17" ක LCD මොනිටරයකින් 1440x900 විභේදන බලයක් යටතේ මා දකින්නේ වර්ණ 41 පමණි.

    ReplyDelete
  18. පෝස්ට් එක අවසානයේ ඇති රූපයේ, එය ලින්ක්ඩ්ඉන්හි පලකළ (මහාචාර්ය) ඩයනා ඩෙර්වාල්ට අනුව, (https://www.linkedin.com/in/dianaderval?trk=pulse-det-athr_prof-art_hdr) වෙනස් වර්ණ 39ක් තිබේ. එහෙත්, ඔබේ පරිගණක තිරයෙන් පෙන්වන වෙනස් වර්ණ ගණන 35 දක්වා අඩු විය හැකිය. ඇයට අනුව, සාමාන්‍ය පුද්ගලයෙකුට පෙනෙන්නේ 20-32 අතර වර්ණ ප්‍රමාණයකි. ඇත්තටම මට පෙනෙන වර්ණ ගණන ඇත්තේ මේ පරාසයේය. ඩෙර්වාල්ගේ සටහන දෝෂ සහගත එකක් වුවත් පුද්ගලයින් අතර පෙනීමේ වෙනස්කම් ඇති බව තේරුම් ගැනීමට මේ රූපය උපකාරී වේ. මට හිතෙන්නේ මෙහිදී ඇතැම් අය තමන්ට ඇත්තටම පෙනෙන පාට ගණන සටහන් නොකර තීරු ගණන් කිරීම වැනි ක්‍රමයකින් පාට ගණන 'ගෙස් කිරීමට' උත්සාහ දරා ඇති බවයි.

    "හෝමෝ සාපියන්ලට පෙනෙන පරාසයට එහා දේවල් ගැන දැනුමක් ලබාගන්න බැරිද .එහෙම තාක්ෂනයක් නැද්ද" යනුවෙන් මධස්ථ මතධාරියා අසා තිබේ. 39 කට වඩා පාට පෙනෙන අය සිටීමෙන් පෙනෙන්නේ ඇතැම් අය සතුව එවැනි තාක්ෂණයක් තිබිය හැකි බවයි. :)

    ReplyDelete
  19. හොඳ ලිපියක්. මට ලිපි ටික කියව ගණන් වෙලාවක් නැතිව ලතවෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් දැන් අමාරුවෙන් කියවගත්තත් කමෙන්ට් බොහොම අඩුවෙන් දාන්නේ වෙලාව ප්‍රශ්නය නිසා.

      Delete
  20. ඔන්න අද තමා හරියට කියෙව්වේ

    ඔබ දකින්නේ මම දකින තැඹිළි ගෙඩියමද ප්‍රශ්ණයෙන් මුල් තර්කය තවත් පැටලෙනවා

    ඕක තවත් අනතැහැකි මම අද දකින්නේ ඊයේ දුටු තැඹිළි ගෙඩියමද එය දකින මම ඊයේ සිටි මමමද කියලා ඇහුවහම

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, ප්‍රාජේ. දර්ශනවාදයෙන් ඈත් වෙලා භෞතිකවාදී වුනත් සෛද්ධාන්තිකව වෙනස් නොවී පවතින තැඹිලි ගෙඩියක් මට දෙවරක් එක ලෙස දකින්න බැහැ. මගේ ඇස් වල ආලෝක සංවේදී සෛල එකම වස්තුවට (යම් හෙයකින් එය වෙනස් නොවී තිබුණොත්) ප්‍රතිචාර දක්වන ආකාරය තත්පර ගණනකින් වෙනස් විය හැකියි. මෙය පෙන්විය හැකි සරල පරීක්ෂණයක් තිබුනා. දැන් හොයා ගන්න බැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget