Saturday, November 7, 2015

පාලම් කඩන, වීදුරු බිඳින අනුනාදය


ඒ 1831 අප්‍රේල් 12 අඟහරුවාදා දිනයයි. හතරවන විලියම් රජුගේ ලංකා කොලනිය පාලනය කළ එඩ්වඩ් බාන්ස් කොළඹ-මහනුවර මහා මාර්ගයේ වැඩ නිම කිරීමේ සතුට විඳිමින්, තමන් පාලනය කළ කොලනියේ කෝපි වගාව ප්‍රචලිත කිරීම ගැනත්, ඒ සඳහා දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් රැගෙන ඒම ගැනත් සැලසුම් හදද්දී කොලනියේ වැසියෝ කැවුම් කිරිබත් කමින්, පංච කෙළිමින් ඔවුන්ගේ අවුරුද්ද සමරමින් තුටු වෙති.

මේ අතර හතරවන විලියම් රජුගේ හිරු නොබසින අධිරාජ්‍යය රැකීමට කැපවුණු හැටවෙනි රයිපල් බලකායේ සෙබළු හැත්තෑ හතර දෙනෙකු එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර ආසන්නව අර්වෙල් ගඟ හරහා ඉදිකර ඇති, අඩි 144ක් දිග බ්‍රෝටන් ඉල්ලෙන පාලම තරණය කරති.

"වන් ටූ ත්‍රී ෆෝ ෆයිව් සික්ස් සෙවන්
ඕල් ගුඩ් සෝල්ජර්ස් ගෝ ටු හෙවන්...

ලෙෆ්ට් රයිට්... ලෙෆ්ට් රයිට්...
ලෙෆ්ට් රයිට්... ලෙෆ්ට් රයිට්..."

එල්ලෙන පාලම් යනු මේ කාලයේදී නවීන තාක්ෂණයේ විශිෂ්ඨ නිර්මාණයකි. බ්‍රෝටන් එල්ලෙන පාලම මුලින්ම සැදූ එල්ලෙන පාලම් වලින් එකකි.

එක් පෙළකට සිවුදෙනා බැගින් පාලම හරහා ගමන් කරන සොල්දාදුවන් එකම රිද්මයකට අඩි තබද්දී පාලම ඔවුන් අඩි තබන රිද්මයටම පැද්දේ. සොල්දාදුවන්ට වැඩේ ආතල්ය. සමහරුන්ට ඉබේටම විසිල් ගැසේ. ආතල් එක වැඩි කමට සොල්දාදුවෝ හිතාමතාම තවත් බර කර අඩි තබති. දැන් පාලම බොහෝ ඉහළට සහ පහළට දෝලනය වේ. සොල්දාදුවන් කණ්ඩායමේ මුල් අය දැන් පාලමේ අන්තයට ආසන්නව සිටිති.

එක පාරටම ඇසුණේ ඉලක්කයක් නොමැතිව හතර අතට ගිණිඅවි පත්තු කරනවිට ඇසෙන්නාක් වැනි විශාල හඬකි. වුණේ කුමක්දැයි සිතාගන්නටත් පෙර සොල්දාදුවෝ හතලිස් දෙනෙකු පමණ පාලමට අඩි දහඅටක් පහතින් වූ ගං පතුලේය. පාලම කඩා වැටී ඇත.

අර්වින් නදියේ ජල මට්ටම අඩි දෙක තුනකට වඩා වැඩි නොවූ නිසා කිසිවෙකුට ගිලී මැරෙන්නට වුනේ නැත. එහෙත්, මේ සිදුවීමෙන් සොල්දාදුවෝ විසි දෙනෙකු පමණ තුවාල ලැබූ අතර එයින් හයදෙනෙකු අතපය කඩා ගෙන බරපතල තුවාල ලැබූහ.

බ්‍රෝටන් ඉල්ලෙන පාලම කඩා වැටීමට හේතුව ලෙස සැලකෙන්නේ අනුනාදයයි. අනුනාදය යනු කුමක්දැයි පාඨකයෙකු අසා ඇති පැනයට පිළිතුරක් ලෙස ඇනෝ කෙනෙකු ඉදිරිපත් කර ඇති පහත පැහැදිලි කිරීම සරල, එහෙත් නිවැරදි පිළිතුරක් බව මගේ අදහසයි.

"අනුනාදය කියන්නේ පැද්දෙන එකටයි. ඕනෙම වස්තුවකට එකටම විශේෂ වුන පැද්දෙන රටාවක් තියෙනවා. අපි මේ රටාවට ඒකට බලයක් දිපුවම විතරයි ඒ වස්තුව අපෙන් උපරිම විදියට බලය ලබාගෙන තමන්ගේ උපරිම පද්දීමට ලගා වෙන්නේ. උදාහරණයක් විදියට ඔයා ඔන්චිල්ල්ලාවක් තල්ලු කරනවානම් ඒක පැද්දෙන රටාවටයි තල්ලු කරන්න ඕනේ. එතකොටයි ඒක ටිකෙන් ටික වේගේ වැඩි කරගන්නේ. ඒ රටාවෙන් වෙනස් විදියට තල්ලු කරොත් ඒක හරියට පද්දෙන්නේ නෑ. අනුනාදය කියන්නේ මේකටයි. හොදම උදාහරණයක් වෙන්නේ microwave උදුන. මේ microwave උදුන් හදල තියෙන්නේ ජල අනු වල පැද්දෙන රටාවට හරියටම ගැලපෙන විදියට. එතකොට ජල අණු වලට පුළුවන් microwave වල තියෙන මුළු ශක්තියයම අවශෝෂණය කරගන්න. ඒකයි වතුර රත් වෙන්නේ. microwave වල තියෙන භාජනය රත් නොවෙන්නේ microwave වල රටාව ඒ භාජනය හැදිලා තියෙන අනු වල රටාවට ගැලපෙන්නේ නැති නිසයි. මේ පාලම කැඩෙන්න හේතුවත් හුලග විසින් මේ පාලමේ පැද්දෙන රටාවටම හුලග හමලා තියෙන නිසයි."

එල්ලෙන පාලමක් මතට බලයක් යෙදෙන විට එය පැද්දෙන්නට පටන්ගනී. මේ පැද්දීම සිදුවන ස්වභාවික රටාවක් තිබේ. යමෙක් හරියටම මේ රටාවටම, එනම් ස්වභාවිකව පාලම පැද්දෙන කාලාන්තර අනුවම, බලයක් නැවත නැවතත් යෙදුවහොත් ඒ බලය සුළු බලයක් වුවත් එසේ එක්කරන ශක්තිය එකතු වීමක් සිදුවී පැද්දීම ක්‍රමයෙන් ප්‍රබල වේ. මෙය අනුනාදයයි. සංගීත භාණ්ඩ වල යොදා ගැනෙන්නේද මේ මූලධර්මයයි.

සාමාන්‍ය පාලමක් එල්ලෙන පාලමක් මෙන් පැද්දෙන බව අපට නොපෙනේ. එහෙත්, බර වාහනයක් යන විට සාමාන්‍ය පාලමක් වුවද මිලිමීටර් ගණනකින් හෝ දුන්නක් මෙන් නැවේ. බර ඉවත්වූ විට එය නැවත මුල් තත්ත්වයට පත්වේ. මේ නිසා සාමාන්‍ය පාලමක වුවද මෙවැනි ස්වභාවික සංඛ්‍යාතයක් තිබේ.

බ්‍රෝටන් සිදුවීමෙන් පසු බ්‍රිතාන්‍ය හමුදාව විසින් සොල්දාදුවන්ට පාලමක් උඩින් යන විට සාමාන්‍ය ගමනින් යාමට නියෝග කළේය. පසුව, මේ භාවිතය අනෙකුත් හමුදාවන් විසින්ද අනුගමනය කරන්නට පටන් ගත්තේය. ලංකාවේ හමුදා භටයින් වුවද පාලමක් තරණය කරන විට "ගමනේ නොයා" "සිත් සේ" යනු ඇතැයි යන්න මගේ අදහසයි.

(Photo credit:https://en.wikipedia.org/wiki/Albert_Bridge,_London)


පාලම් කැඩිය හැකි අනුනාදයට වීදුරුවක් කඩන එක කජ්ජක් නොවේ. පහත වීඩියෝවේ ඇත්තේ ටින්ටින් කාටුන් චිත්‍රපටයේ චරිතයක් වන බියන්කා කැස්ටෆියෝරි සම්භාව්‍ය ගීතයක් ගයන විට සිදුවන ගිණි විජ්ජුම්බරයයි.



මෙය කාටුන් වල පමණක් සිදුවන දෙයක් නොවේ. නිශ්චිත සංඛ්‍යාතයකට ශබ්දයක් නිපදවීමෙන් වීදුරුවක් බිඳදැමීම සරල දෙයකි.



බ්‍රෝටන් එල්ලෙන පාලම අනුනාදය නිසා බිඳවැටුණු බවට මත පලවී ඇති එකම පාලම නොවේ. මාතලේ කැරැල්ල මැඬපැවැත්වීමෙන් පසු දෙවෙනි වරට කෝපිකාලයේ ලාංකිකයින් අවුරුදු සමරද්දී, 1850 අප්‍රේල් 16 දින ප්‍රංශයේ ඇන්ගර්ස්හි මේන් නදිය හරහා ඉදිකර තිබුණු අඩි 335ක් දිග පාලමක්ද ඒ මතින් ප්‍රංශ සොල්දාදුවන් ගමන් කරද්දී මේ අයුරින්ම බිඳ වැටුණේය. පෙර සිදුවීමට මුහුණදුන් බ්‍රිතාන්‍ය සොල්දාදුවන් තරමට වාසනාවන්ත නොවූ ප්‍රංශ සොල්දාදුවෝ 226 දෙනෙකු මේ සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූහ.





අදට හරියටම වසර 75කට පෙර ටකෝමා පාලම බිඳ වැටුණේ එමතින් ඇමරිකන් සොල්දාදුවන් ගමන් කළ නිසා නොවේ. සුළඟ නිසා ඇති කළ පැද්දීම පාලමේ ස්වභාවික සංඛ්‍යාතයට සමාන වූ බැවිනි. මේ සිදුවීම පැය ගණනක් තිස්සේ සිදුවූ දෙයක් බැවින් (සුරතල් බල්ලෙකු හැරුණු විට) කිසිදු ජීවිත හානියක් සිදු නොවීය. එමෙන්ම, අසල වූ කැමරා කඩයක හිමිකරු වූ බානි එලියට්ට මේ සිදුවීම මිලිමීටර 16 වර්ණ සේයාපටයක සටහන් කර ගත හැකි විය. පේරාදෙණියේදී අප විසින් නැරඹුවේ මිලිමීටර් 35 කළුසුදු සේයාපටයකට පිටපත් කෙරුණු එලියට්ගේ වාර්තා චිත්‍රපටයයි.



අද වන විට ඉහත සිදුවීම් පිළිබඳව විවිධ මත පලවී තිබේ. පාලම් බිඳවැටීමට ප්‍රධාන හේතුව ලෙස අනුනාදය හැර වෙනත් සාධක රැසක් පෙන්වා දී තිබේ. කෙසේ වුවද, මේ බිඳවැටීම් සඳහා අනුනාදය නිසා සිදුවූ බලපෑම කිසිවෙකු විසින් සම්පූර්ණයෙන් බැහැර කර නැත.



ඉතා මෑතකදී (2000 ජූනි 10 දින) ලන්ඩන්හි සහශ්‍ර පාලම විවෘත කළ දින යම් තරමකින් අනුනාදය සිදුවීම නිසා එය තාවකාලිකව වසා දමා කම්පන අවශෝෂක එක්කර නවීකරණය කෙරිණි. මේ ඒ සම්බන්ධව නේචර්හි පලවූ ලිපියකි.

(Photo credit (top): http://www.fhwa.dot.gov/publications/publicroads/11janfeb/03.cfm)

27 comments:

  1. මැෂින් ලැබ් එකේ දී ටැකෝමා බිඳ වැටීම දැක තියෙනවා මතකයි.

    ReplyDelete
  2. අර 1831 අවුරුදු සැමරීම ගැන ඔබට මූලාශ්‍රයක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙලාවට මුලාශ්‍ර දාන ක්‍රමයකුත් තියෙනවනේ, රසික. :)

      Matta , E. (2015). "1831දී ලංකාවේ අවුරුදු සැමරූ හැටි". Unpublished manuscript.

      Delete
  3. සමහර උච්ච් ස්වර ගායනයෙන් වීදුරු බිඳෙන එක ගැන දැනසිටියත් හේතුව දැනගෙන හිටියේ නැහැ. බොහොම ස්තූතියි පෝස්ට් එකට.

    ReplyDelete
    Replies
    1. සමහර උච්ච් ස්වර ගායනයෙන්නම් වේදිකාව උඩ සහ අහල පහළ තියෙන ගොඩක් දේවල් බිඳෙනවනේ, ඉයන්. :)

      Delete
  4. යමක් උගත්තෙමි . මයික්‍රෝවේව් ගැන දැන නොසිටියෙමි . එක පාරටම මයික්‍රෝවේව් උදුනක් ඇතුලේ පදින ඔන්චිලාවක් ගැන පිස්සු සිතුවිල්ලක් මනස විකාර කරන්නේය

    ReplyDelete
    Replies
    1. //මයික්‍රෝවේව් උදුනක් ඇතුලේ පදින ඔන්චිලාවක් ගැන පිස්සු සිතුවිල්ලක්// ඔබේ මනසේ චිත්තරූප මැවෙන ආකාරයනම් හරිම අපුරුයි. අපේ වත්මන් ජීවිතත් මයික්‍රෝවේව් උදුන් ඇතුලේ පදින ඔන්චිල්ලා වගේ තමයි නේද?

      Delete
  5. සැබෑ ගුරෙක්... දන්නා දේ ලොවටම කියාදෙන හැටි හරිම අපූරියි. ඇනෝ කෙනෙක් අහපු ප්‍රශ්නයකට උත්තර දෙන්න වෙලා තියන මහන්සිය ගැනත් ආඩම්බරයි...

    ReplyDelete
    Replies
    1. අනෝ කෙනෙක් නෙවෙයි.. මේක ඇහුවේ මෙන්ඩ.. උත්තර දීල තිබ්බේ ඇනෝ කෙනෙක්..

      Delete
    2. ඔහුට සමහර විට සිංහල බ්ලොග් වල භාවිතා වන ඇනෝ යෙදුම ගැන අවබෝධයක් නැතුව ඇති, කමි. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි, කිත්තා.

      Delete
  6. අනුනාදයට අමතරව ටකෝමා කඩන් වැටෙන්ඩ හේතු විදියට අඳුනගෙන තියෙන්නේ මොනවද? මේ තත්වයට ප්‍රතිකර්ම ලෙස පාලම් නිර්මාණයේදී අලුතෙන් යොදා ගන්නා තාක්ෂණික උපාය මාර්ග මොනවාදැයි කියන්නත් පුලුවන්නම් හොඳයි නේද? නැත්නම් මේක කියවන අය හුළං හමන වෙලාවට පාලමක් උඩින් යන්නත් බය වෙයි..

    ReplyDelete
    Replies
    1. විස්තරාත්මකව සහ නිවැරදිව අනෙකුත් අදහස් පැහැදිලි කිරීමනම් තරමක් සංකීර්ණ දෙයක්, කමී. වොෂින්ටන් රජයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඒ ගැන තරමක් සරල විස්තරයක් තිබෙනවා. (http://www.wsdot.wa.gov/TNBhistory/Machine/machine3.htm). මෙය (ඔබ දන්නා අපරාධ නීතිය විෂයේ ප්‍රශ්න පත්‍ර වල එන උදාහරණ ආකාරයේ) වාහනයක රියදුරුට හෘදයාබාධයක් හැදී සිටියදී, වෙනත් වාහනයක හැපී බරපතල තුවාල ලබා, ගඟටත් වැටී ගිලී මිය ගිය විට මැරුණේ කොහොමද කියා සෙවීම වැනි තරමක් සංකීර්ණ දෙයක්. පාලමක්, ගොඩනැඟිල්ලක් වැනි ඕනෑම ආකෘතියක් සැලසුම් කිරීමේදී කරන්නේ සාමාන්‍යයෙන් සිදුවිය හැකි තත්ත්වයන් යටතේදී එය බිඳවැටීමට ඇති ඉඩකඩ අවම කිරීම. ටකෝමා පාලම සැලසුම් කිරීමේදී සුළඟ නිසා මේ ආකාරයේ අනුනාදයක් ඇතිවිය හැකි වීම ගැන අදහසක් තිබුණේ නැහැ. පසුකාලීන සැලසුම් වල එයත් සලකා බලනු ලැබුවා. ලන්ඩන්හි සහශ්‍ර පාලම සැලසුම් කිරීමේදී මේ ගැන දැනගෙන සිටියත් දහස් ගණනක් ඒ මතින් යනවිට ඔවුන් පියවර තබනු ඇත්තේ අහඹු රටාවකටයයි උපකල්පනය කළා. එහෙත්, කලින් නොසිතු පරිදි, එය විවෘත කළ දින විශාල පිරිසක් පියවර තැබුවේ එකම රටාවකට. ලෙඩක් හඳුනාගත් පසු බෙහෙත් නියම කිරීම පහසුයි. කම්පන තරංග අවශෝෂණය කරගත හැකි dampars සවි කළ හැකියි. වාහන වල ඇති 'සොකැට්සෝබර්' (shock absorbers) වගේ. සැලසුම්කරණයේදී අපට precautions ගත හැක්කේ සෛද්ධාන්තිකව හඳුනාගත් හෝ පූර්වාදර්ශයක් ඇති දේ සම්බන්ධව පමණයි.

      Delete
    2. Tuned mass dampers හා Harmonic absorbers ගැන තමයි මාත් කියුවේ තාක්ෂණික උපාය මාර්ග කියල.. අහල තිබුණට මාත් ඒ ගැන වැඩිපුර දන්නේ නෑ..

      Delete
  7. පාලං උඩ වාහන නවත්තන්න එපා කියන්නෙත් මම හිතන්නෙ ඔය පාලමේ ස්වාභාවික සංඛ්‍යාතය වෙනස් වෙන හින්දයි.

    ReplyDelete
    Replies
    1. වාහනයක් නැවැත්වූ විට ස්වභාවික සංඛ්‍යාතයනම් වෙනස් වෙනවා තමයි, Praසන්ன. ඒත්, මම හිතන්නේ මේ රෙගුලාසියට හේතුව (සාමාන්‍යයෙන් පාරකට වඩා පටු) පාලමක් මත වාහන තදබදය අවම කිරීම වියයුතුයි.

      Delete
  8. විශාල පිරිසක් එකම රිද්මයකට පාද තබමින් පාලමක් උඩින් ගමන් කලොත් එය කඩාගෙන වැටෙනවා කියලා මම අහලා තිබුනා.එල්ලෙන පාලමක විතරද මේක වෙන්න පුලුවන්.
    මට තව එක් ගැටලුවක් තිබෙනවා.අපි කතාකරනකොට පිටවෙන ශබ්දය අවට පරිසරයේ ඇති ද්‍රව්‍ය වලට අවශෝෂණය කරගෙන ඉන්පසු නැවත එම ශබ්දය මුදා හරින බව.සයන්ස් කරපු මගේ මතුරෙක් මට කීවා සමහර ස්ථාන වල හිටි හැටියේ ඇසෙන අද්භුත ශබ්ද වලට හේතුව මේකයි කියලා.මෙය පැහැදිලි කරන්න පුලුවන්ද.මගේ ලිපියකට මේ කරුනු මට අවශයව තිබෙනවා..

    ඒ වගේම මම පිලිතුරක් සොයමින් සිටි කරුනකට ඔබේ ලිපියෙන් පිලිතුරක් ලැබුනා.ඒ පිළිබදව ඔබට ස්තුති කරනවා.

    ReplyDelete
    Replies
    1. මෙය මගේ වත්මන් විෂය ක්ෂේත්‍රයෙන් බාහිර දෙයක් නිසා මගේ දැනුමත් සීමිතයි, මනෝ. අපට ඇසෙන සංඛ්‍යාත පරාසයේ තිබුණත් තීව්‍රතාව අඩු නිසා නොඇසෙන අප අවට ඇති ශබ්ද තරංග රැසක් යම් අයුරකින් නාභිගත වී තීව්‍රතාව වැඩි වුණොත් එය අපට ඇසෙන්න පුළුවන්. අවශෝෂණය කළ ශබ්ද තරංග නැවත නිකුත් කිරීම ගැනනම් මම වැඩි විස්තරයක් දන්නේ නැහැ. ඒ වගේම ඔබ දන්නවද ඇතැම් සංඛ්‍යාත ඇසෙන්නේ ගැටවර වියේදී පමනක් බව. ඇතැම් තැන් වලට ළමුන් පැමිණීම වැළැක්වීමට මෙවැනි ශබ්ද යොදාගන්නවා. ඒ වගේම ටෙක්ස්ට් එකක් ආවහම ගුරුවරයාට නොඇසී ළමයින්ට පමණක් ඇහෙන ටෝන්ස් තියෙනවා.

      Delete
  9. බයිබලයෙ තියෙන්නෙ අර ජෙරිකෝවෙ පවුර ඊශ්‍රායල්වරුන්ගෙ කාහල නාදයෙන් බිඳ වැටුනයි කියල. ඒත් ඔහොම දෙයක් වෙන්න ඇති සමහරවිට..

    ස්තූතියි ඉකෝන්ස්..බොහොම රසවත් සහ වැදගත් ලිපියක්.....:)

    ReplyDelete
    Replies
    1. ඔබ සටහන් කරන දෙය ඉතා වැදගත් කරුණක්, රවී. බයිබලයේ ඇති මේ සිදුවීම අනුනාදය නිසා සිදුවූවක් බවට බොහෝ දෙනෙකු මත පළකර තිබෙනවා.

      Delete
  10. මම අහපු දෙයක් පැහැදිලි කරන්න පොස්ට් එකක්ම ලියපු එක ගැන මට සතුටුයි..
    ගොඩක් දැනුවත් වුනා..දවසක මේවා පොඩි මෙන්ඩට කියලා දෙන්න අවස්තාවක් ආවොත් ඒ ඔබ නිසයි..අර ඇනෝටත් ස්තුතියි
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. පොඩි මෙන්ඩා තව ටික දවසකින් ඕවා තාත්තට කියලදෙයි. අපේනම් දැන් වෙන්නේ එහෙමයි. :)

      Delete
  11. අපි ශිශ්‍ය භටයො විදිහට පුහුණු වෙන කාලෙත් පාලම් උඩින් යද්දි සාමාන්‍ය විදිහට ඇවිදින්න කියල නියම කරල තිබ්බත් හරියටම ඒ ඇයි කියන එකට උත්තරයක් දැනගෙන හිටියෙ නෑ.
    ස්තූතියි ඉ.මැ

    ReplyDelete
  12. බොහොම වැදගත් ලිපියක් ඉකෝ.

    තිරස් පාලමකට වගේම සිරස් ගොඩනැගීල්කට උනත් ලොකු බලපෑමක් කරන්න අනුනාදයට පුළුවන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇතැම් විට ඔය පරණ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට උවත් ඔය "අනුනාදය"යොදා ගන්න පුළුවන් ඇති නේද ?

      Delete
  13. අහම්බයෙන් ඇස ගැ‍ටුනේ...මගේ විශය හින්දා ඉඩ ලැබුනු වෙලාවකට විස්තර සහිතව ලිපියක් දමන්නම්....

    සරල විදිහට කර ඇති සාර්ථක ඉදිරිපත් කිරීම ගැන ස්තූතියි....

    ReplyDelete
  14. මරු!
    මේ විදියට තමයි අපි සයන්ස් ලිපි ලියන්න ඕනෑ. නැද්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget