Monday, November 23, 2015

තැඹිලි තැඹිලි පාටද? (දෙවන කොටස)


පෙර ලිපියෙන් සාකච්ඡා කළ පරිදි අපේ දෘෂ්ඨි පරිපථ වලට ග්‍රහණය කර ගත හැක්කේ විද්‍යුත් චුම්භක වර්ණාවලියේ සීමිත පරාසයකි. මේ පරාසයේ ඉහළ හා පහළ සීමාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුවද ඒ සාමාන්‍යයෙන් සුළු වශයෙනි. අප එකිනෙකා ලෝකය දකින ආකාරය වැඩිපුරම වෙනස් වන්නේ මේ පරාසය තුළ ඇති විවිධ වර්ණ වෙන්කර හඳුනාගන්නා ආකාරය අනුවය.

භෞතික ගුණාංග අනුව වර්ණ එකිනෙකින් වෙනස් වන්නේ ඒවායේ තරංග ආයාම අනුවය. දැන් අපි ශුද්ධ කහ පැහැය ලෙස නිශ්චිත තරංග ආයාමයක් හඳුනා ගනිමු. මේ තරංග ආයාමය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බව මොහොතකට අමතක කරමු.

මේ තරංග ආයාමය සහිත විද්‍යුත් චුම්භක තරංග අපේ අක්ෂි කාචය විනිවිද දෘෂ්ඨි විතානය මත පතිත වූ විට (පෙර ලිපියෙන් හඳුන්වා දුන්) අපේ කේතු සෛල තුන් වර්ගයෙන් රතු (දිගු) සහ කොළ (මැදි) කේතු සෛල දෙවර්ගයම උපරිමයට තරමක් කිට්ටු වන තරම් (90% පමණ) ප්‍රතිචාර දක්වන අතර නිල් (කෙටි) කේතු සෛල ප්‍රතිචාර නොදක්වන තරම්ය. මේ ප්‍රතිචාර සංයෝගය අපේ මොළය විසින් කහ පැහැය ලෙස හඳුනා ගනී.

යම් හෙයකින් කහ වර්ණයට වඩා කෙටි තරංග ආයාමයක් ඇති කොළ පැහැයට හුරු එළියක් සහ දිගු තරංග ආයාමයක් ඇති රතු පැහැයට කිට්ටු එළියක් එක තැන, අපේ ඇස් වලට වෙනස් ස්ථාන දෙකක් ලෙස හඳුනාගත නොහැකි තරම් කිට්ටුවෙන් තිබුණොත් කුමක් වේද? රතු තරංගය අපේ රතු කේතු සෛල 90% මට්ටමට සංවේදී කරවන අතර කොළ තරංගය කොළ කේතු සෛල 90% මට්ටමට සංවේදී කරවයි.

මේ ප්‍රතිචාර සංයෝගය කහ පැහැය හමුවේ මොළයට ලැබෙන ප්‍රතිචාර සංයෝගයට සමාන නිසා මොළය දැන් දකින්නේ කහ පැහැයයි. එහෙත්, භෞතික වශයෙන් මෙහි ඇත්තේ වෙනස් තරංග දෙකකි. ඔබේ රූපවාහිනිය, පරිගණක තිරය මෙන්ම වර්ණයෙන් මුද්‍රිත ඡායාරූපයක් හෝ පුවත්පතක් ඔබේ මොළය රවටන්නේ වර්ණ දැකීමේ ක්‍රියාවලියේ ඇති මේ දුර්වලතාවය උපයෝගී කරගනිමිනි. වර්ණ මුද්‍රණයේදී බොහෝ විට මූලික භෞතික වර්ණ වන රතු, කොළ සහ නිල් වල අතරමැදි වර්ණ වන මැජෙන්ටා, සියැන් සහ කහ වර්ණ මිශ්‍ර කෙරේ.

එක් එක් කේතු සෛල වර්ගයේ ඇති වෙනස් සංවේදිතා මට්ටම් සියයකට වැඩි ප්‍රමාණයක් හෝමෝ සේපියන් මොළයක දෘශ්‍ය පරිපථ වලට වෙන් වශයෙන් හඳුනාගත හැකිය. එනම්, රතු පාට මට්ටම් සියයක්, කොළ පාට මට්ටම් සියයක් සහ නිල් පාට මට්ටම් සියයක් වශයෙනි. මේ අනුව, වෙනස් වර්ණ (100x 100x 100) මිලියනයකට වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය දෘෂ්ඨියක් ඇති කෙනෙකුගේ මොළයට හඳුනාගත හැකිය. මේ වර්ණ ප්‍රමාණය මිලියන 2.3-10 දක්වා ප්‍රමාණයක් ලෙස විවිධ පර්යේෂකයින් විසින් ඇස්තමේන්තු කර තිබේ.

ශක්තිය ඉතිරි කර ගැනීමේ උපායක් ලෙස මෙසේ එකතු කරගන්නා දත්ත ඒ ආකාරයෙන්ම සැකසුම් නොකර තරංග ආයාම සංවේදීතාව අනුව එක ළඟ පිහිටි කේතු සෛල දෙකක වෙනස අනුව සැකසුම් කෙරේ. මේ අනුව, රතු සහ නිල් කේතු සෛල වල සංවේදිතා මට්ටම් ඒ අතර පිහිටි කොළ කේතු සෛල වල සංවේදිතා මට්ටම සමඟ සැසඳේ. රතු සංවේදීතාව වැඩිනම් රතු පැහැයත් අඩුනම් කොළ පැහැයත් තෝරා ගැනේ. මේ අයුරින්ම, නිල් පැහැය වැඩිනම් නිල් පැහැයත් අඩුනම් කහ පැහැයත් තෝරාගැනේ. (සැසඳීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් කහ පැහැයක්ද තිබේ.)

ඇසේ කේතු සෛල වලින් වෙන් වශයෙන් හඳුනා ගන්නා මූලික 'භෞතික' වර්ණ තුන ඇසුරෙන් මොළය විසින් හඳුනා ගන්නා ඉහතින් සඳහන් කළ වර්ණ හතර ප්‍රාථමික 'මානසික' වර්ණයි. මෙහිදී පහසුවට රතු, කොළ ලෙස නම් කළත් ඇත්තටම මේ මූලික මානසික වර්ණ වල ඇත්තේ රතු සහ කොළ පැහැයන්ට ආසන්න වර්ණ දෙකක් මිස හරියටම රතු සහ කොළ වර්ණ නොවේ.

ප්‍රාථමික 'මානසික' වර්ණ




රතු (සරිස්)
කහ
 කොළ (ඇක්වා)
 නිල්

අවසාන වශයෙන් අප දකින පැහැය මෙසේ තෝරා ගැනෙන වර්ණ දෙකේ එකතුවකි. සැසඳීමේදී සංවේදිතා මට්ටම් සමානනම් සුදු ආලෝකය මිස වර්ණයක් එකතු නොවේ. එවිට අපට පෙනෙන්නේ එක සැසඳීමකින් එකතුවන වර්ණයයි. සැසඳීම් දෙකෙන්ම ප්‍රතිපල සමානනම් අපට අවසාන වශයෙන්ද සුදු පැහැය පෙනේ.

ප්‍රාථමික 'මානසික' වර්ණ මිශ්‍රණ

.        
කහ     −    මැදි      +     නිල්         .

කොළ                                            කොළ

 +                                                +

මැදි                                             මැදි 

 −                                                −

රතු                                            රතු

.        
කහ     −    මැදි      +     නිල්         .
(source: http://midimagic.sgc-hosting.com/huvision.htm)

දැන් මේ ක්‍රියාවලිය සිදුවන ආකාරය අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට එකවර රතු සහ කොළ වර්ණ දැකිය නොහැකිය. මොළයට සංවේදී වන්නේ මේ වර්ණ දෙක අතර වෙනසයි. මෙයින් අදහස් වන්නේ රතු සහ කොළ වල අතරමැදි වර්ණ ගැන නොවේ. කහ සහ නිල් පැහැයන්ට අදාලවද මෙය මෙසේමය. එමෙන්ම, මෙහිදී මා සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස හඳුන්වන්නේ ඇසේ කේතු සෛල වර්ග තුනක් ක්‍රියාකාරිව ඇති අයෙකි. මෙවැනි කේතු සෛල වර්ග තුනකට අඩුවෙන් ක්‍රියාකාරිව ඇති වර්ණාන්ධ අය මෙන්ම කේතු සෛල වර්ග හතරක් ක්‍රියාකාරිව ඇති අයද යම් ප්‍රතිශතයක් සිටිති. ඒ ගැන පසුව කතා කරමු.

සාමාන්‍ය හෝමෝ සේපියන් මොළයකට වෙනස් වර්ණ මිලියන ගණනක් වෙන් කර හඳුනාගත හැකි වුවත් මේ වර්ණ මතක තබා ගන්නේ එසේ හඳුනාගන්නා තරමේ නිරවද්‍යතාවක් සහිතව නොවේ. වර්ණයක් මතක තබා ගන්නේ මොළය විසින් හඳුනාගන්නා 'සැබෑ' වර්ණයට කිට්ටුවෙන් ඇති 'දන්නා කියන' වර්ණයක් වශයෙනි. බොහෝ විට කෙනෙකුට සාරියක පැහැය මතක තබා ගෙන ගොස් සාප්පුවකින් ඒ පාටම සාරියක් තෝරා ගත නොහැකිය. එහෙත්, සාරියේ කොනකින් කෑල්ලක් කපා ගෙන ගියහොත් ඉතා නිවැරදිව සසඳා ඒ තේරීම කළ හැකිය.

මෙසේ යමෙකුගේ මතකයේ ඇති  'දන්නා කියන' වර්ණ ප්‍රමාණය උපන්දා ලෙස ලැබෙන පුහුණුවෙහි ප්‍රතිපලයකි. උපතින් පුර්ණ අන්ධව සිටි කෙනෙකුට පසුකාලීනව පෙනීම ලැබුණු වහාම කිසිවක් 'නොපෙනෙන්නේ' මේ නිසාය.

දැන් ඔබේ මනස දකින නිල් පැහැය මා දකින නිල් පැහැයමද? එය එසේ විය යුතු නැත.

උදාහරණයක් ලෙස යමෙකු දකින මූලික මානසික වර්ණ වල ධ්‍රැවීයත්වය මාරු වූයේයයි සිතමු. දැන් මා දකින නිල් ඔබ දකින කහ පැහැයයි. මා දකින කොළ පැහැය ඔබ දකින රතු පැහැයයි. මේ උදාහරණයේදී මූලික වර්ණ හතරම හරියටම අනිත් පැත්ත ගසා ඇති නිසා ඔබේ මනසට පෙනෙන්නේ මට පෙනෙන ලෝකයේ නෙගටිව් පිටපතකි. ඔබට තැඹිලි වල්ලක් පෙනෙන්නේ මට ඉහතින් ඇති තැඹිලි වල්ල පෙනෙන අයුරිනි.

මෙය කිසිවෙකුට නිරීක්ෂණය කළ හැකිද? එසේ කළ නොහැකිය. මා උඩින් ඇති තැඹිලි වල්ලේ රූපය ඔබට පෙන්වා ඔබට එය පෙනෙන්නේ කෙසේදැයි ඇසුවොත් ඔබ කියනු ඇත්තේ ඔබට පෙනෙන්නේ තැඹිලි වල්ලක නෙගටිව් ඡායාරූපයක් වන නිල් පැහැ තැඹිලි වල්ලක් බවයි. මගේ නිල් පැහැය ඔබට පෙනෙන්නේ මගේ තැඹිලි පාටිනි. එහෙත්, මගේ තැඹිලි පාට ඔබේ නිල් පැහැයයි. එය ඔබ දකින තැඹිලි පාට හෝ තැඹිලි වල පාට නොවේ.

මෙහිදී වෙන්නේද, මා පෙර ලිපිවල සඳහන් කළ අකුරු උඩු-යටිකුරු ලෙස පෙනෙන විට සිදුවන සංසිද්ධියමය. මෙහිදී අපි දකින වර්ණ රාමු වෙනස් වුනත් ඒවා හරියටම ගැලපේ. ඒ නිසා, අප ලෝකය අනෙකාට විස්තර කරන ආකාරයන්හි කිසිදු නොගැලපීමක් සිදු නොවේ.

උදාහරණයක් ලෙස ඉහතින් ඇති මූලික මානසික වර්ණ හතර ඔබට පෙනෙන්නේ මට පේන ආකාරයෙන්දැයි මට දැනගත නොහැකිය. එහෙත්, මේ ලිපියේ මා ඉදිරිපත් කරන කරුණු ඔබට තේරුම් ගැනීමට එය බාධාවක් වන්නේ ඔබ ත්‍රිවර්ණ-සංවේදී දැක්මක් නොමැති අයෙක්නම් පමණි. ලේ වල පාටත්, ස්ට්‍රෝබෙරි ගෙඩියක පාටත් (ආසන්න වශයෙන්) සමාන බවට සහ කෙහෙල් දල්ලක පාට එයට වඩා වෙනස් බවට අපට එකඟ වීමට රතු පාට සහ කොළ පාට ඔබට ඇත්තටම පෙනෙන ආකාරය බාධාවක් නොවේ.

පාට යනු එකිනෙකාගේ පෞද්ගලික හැඟීමකි.  එහෙත්, අපි එකිනෙකාට එකඟ විය හැකි නිශ්චිත තරංග ආයාමයක් ඇති භෞතික 'කහ පාටක්' (සහ වෙනත් පාට) ඇත්නම් මේ හැඟීම කවරක් වුවත් අපට වර්ණ හා අදාලව එකඟ විය නොහැකි තැනක් නොතිබිය යුතුය.

කෙසේ වුවද, බෝජනා දකින ලෝකයේ ඇතැම් දේ පමණක් උඩු යටිකුරු වී ඇති අයුරින් අපේ වර්ණ හඳුනාගැනීමේ රාමුවල ඇතැම් කොටස් පමණක් වෙනත් අයට වඩා වෙනස් ලෙස පෙනේනම් අපට අප එකිනෙකාගේ දැකීමේ ඇති වෙනස්කම් අවබෝධ කර ගත හැකිය. එමෙන්ම විද්‍යාත්මක ලෙස පරික්ෂා කර තහවුරු කිරීමටද පුළුවන.

පළමු කොටසේ සාකච්ඡා කළ පරිදි ඇත්තටම තත්ත්වය මෙසේය. අපේ කේතු සෛල වල සංවේදිතා වක්‍ර සමාන නොවන නිසා අපේ වර්ණ විසංයෝජනය කරන රාමුද සමාන නැත. ඒ නිසා එකම වස්තුව දකින අප දෙදෙනෙකුගේ මොළයට යැවෙන සංඥා එක සමාන නැත. ඇත්තෙන්ම අපේ ඇස් දෙකෙන් වෙනවෙනම යවන සංඥා දෙක වුවද හරියටම සමාන නැත.

(මගේ ලිපි උපුටා වෙනත් තැනක පළ කරන්නේනම් කියවන්නාට අවශ්‍ය විටෙක මුල් ලිපිය ඇති තැනට පහසුවෙන් ලඟා විය හැකි පරිදි සම්පුර්ණ ලින්ක් එකක්ද සමඟ පලකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එසේ නොකිරීම වැඩිදුර තොරතුරක් දැනගැනීමට කැමති අයෙකුට කරන අසාධාරණයකි.)

26 comments:

  1. බොහොම ස්තූතියි කරුණු වලට. මෙය මේ විදිහටම සුවඳ, ශබ්දය, ස්පර්ශය, රස යන දේවලටත් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්, ඉයන්. කියවන අයගේ උනන්දුව දිගටම තිබුණොත් වෙලාව ලැබෙන හැටියට ඒවා ගැනත් ලියන්නම්.

      Delete
  2. කලින් ලිපියෙ පොඩ්ඩිට උත්තරෙන්.
    /'සැර' වැඩිම වර්ණයක්/ මේ කියන්නේ බ්‍රයිට් කලර්ස් කියන එක නේද?
    නැතිනම් කහ නිල් වල තියෙන value ද ?නැතිනම් /cold warm ද?

    කලින් ලිපියේ මට උත්තරේට. අර කිවුව විෂය දෙකට පාට සමග වැඩ කරන විදි බොහෝ විට පරස්පර වෙනවා . ඡායාරුප වලදි තවත් දෙල් වෙනමම සුත්තරයක්.මේවා ඉගෙන ගන්න ගියාම කෙලවරක් නැහැ.. ඒ වගේම අපි තැඹිලි ගෙඩියක් පාට කරනවානම් orange hue වෙනුවට පාවිච්චිය වඩා සාර්තක vermilion hue.

    මානසික වර්ණ වල ධ්‍රැවීයත්වය /මේ මොකක්ද?
    මා දන්නේ colour circle complementary colours & eye complementary colours විතරයි.

    සිංහල පාරිභාෂික වචනත් එක්ක ඉන්ග්‍රිසි වචනය දානවානම් ටැපලිලි අඩුයි. සෝස් වලට යන්න ලේසියි.

    ඔබට කරදරයක් අපහසුවක් නැතිනම්, හෝ ඔබ ළග තියෙනවානම් ලෝකයේ ජනවර්ගවල වර්ණ දැකිමේ වෙනස්කම් ටිකක් දැමිය හැකිද? මේවා මානසික කියවිම් සන්ස්ක්රුතික කියවිම් හා ඇහේ සෛල වල හැටි අනුවත් වෙනස් වෙනවා ඇතිනේද?මේ සේරටම එක සුත්තරයක් නැතිද?
    උදාහරනෙකට කියනවනම් චීන්නු (පෙරදිග අන්තය) හා සුද්දන් (අපරදිග අන්තය) රතු පාවිච්චි කරන්නේ හාත්පසින් වෙනස් අර්තවලට මීට මැද කොටස රතු පාවිච්චි කරන්නේ මද්‍යස්ත අර්තයකින්..මේවා සංස්ක්රුතික ඉැගන්විම්ම නෙමෙයි මා හිතන විදියටනම්.

    ReplyDelete
    Replies
    1. //'සැර' වැඩිම වර්ණයක්/ මේ කියන්නේ බ්‍රයිට් කලර්ස් කියන එක නේද? නැතිනම් කහ නිල් වල තියෙන value ද ?නැතිනම් /cold warm ද?//

      මල්මි, පළමුව ඔබට අවශ්‍ය තරමට පැහැදිලි කිරීමක් කිරීමට තරම් වර්ණ හා අදාල විවිධ විෂයයන් පිළිබඳව ලොකු දැනුමක් මට නැහැ. චිත්‍ර ශිල්පයේදී සහ ඡායාරූපකරණයේදී කලක සිටම යම් ආකෘති සහ සම්මුතීන් යොදාගත්තත් වර්ණ හා අදාලව භෞතිකව සිදුවන දෙය පිලිබඳ දැනුම සාපේක්ෂව අළුත් සහ තවමත් අසම්පුර්ණ බවයි මා හිතන්නේ. ඔබ කියන පරිදිම මේවා reconcile කීරීම කොයි තරම් සංකීර්ණද කියා තේරෙන්නේ ඔබේ කමෙන්ට් එක දැක්කහම. මා සැර ලෙස අදහස් කළේ සමස්තයක් ලෙස කේතු සෛල (cone cells) සහ යෂ්ඨි සෛල (rod cells) ප්‍රතිචාර දක්වන වන මට්ටම. එක සමාන ආලෝක තත්ත්වයක් යටතේදී නිල් පැහැ දෙයක් දුටු විට සමස්තයක් ලෙස මේ සෛල සංවේදී වන ප්‍රමාණයට වඩා කහ පැහැයට එසේ සංවේදී වන ප්‍රමාණය ඉතා වැඩියි. මා හිතන්නේ මා කියන දෙය brightness එක constant තියලා hue වෙනස් කිරීමකට සමාන බවයි. එහෙම බැලුවොත් මේ කියන්නේ cold සහ warm colors ගැන. අනෙක් අතට, වෙනස් විෂයක brightness, hue, saturation ලෙස කතා කරන්නේ සමහර විට මේ ස්වභාවික වෙනස නොපෙනෙන පරිදි normalize කරපු scale එකක් ගැන විය හැකියි. එහෙමනම්, එය හදා තිබිය යුත්තේ hue වෙනස් වන විට brightness වෙනස් නොවේනම් සෛල සංවේදී වන ප්‍රමාණය සමාන වන පරිදි විය යුතුයි. එවැනි scale එකක්නම් 'සැර' කියන්නේ brightness පමණයි. මේ දෙකෙන් කුමක් වුවත්, මේ 'සැර' වැඩි පාට ආලෝකයට වඩා සංවේදී අයට පීඩාවක් ඇති කරනවා. එයට හේතුව එවැනි පාට දෙස එකදිගට බලා සිටින විට ඇසේ ආලෝක සංවේදී සෛල fatigue වීම.

      //ඒ වගේම අපි තැඹිලි ගෙඩියක් පාට කරනවානම් orange hue වෙනුවට පාවිච්චිය වඩා සාර්තක vermilion hue.//

      එය එසේ විය හැකියි. චිත්‍ර ඇඳීමේදී අප කරන්නේත් මනස රැවටීමක්. මෙහිදී වර්ණාවලියේ ඇති ශුද්ධ වර්ණ සහ ශුද්ධ වර්ණ කිහිපයක ඇතැම් මිශ්‍රණ මොළයට වෙන්කර හඳුනාගත නොහැකි වීම අපි ප්‍රයෝජනයට ගන්නවා.

      //මානසික වර්ණ වල ධ්‍රැවීයත්වය /මේ මොකක්ද?//
      polarity of psychological primaries
      බොහෝ විෂයයන් වල මූලික වර්ණ තුනක් (රතු, කොළ, නිල්) ගැන කතා කරනවා. ඇසේ ඇති කේතු සෛල තුන් වර්ගයත් දළ වශයෙන් මේ පාට තුනට සමානයි. ඒත්, ඇත්තටම මොළය දකින වර්ණ මූලික වර්ණ හතරක් ලෙසයි සැලකෙන්නේ. මේවායිනුත් එකවර දකින්නේ දෙකක් පමණයි. ඒ අනුව නිල් කියන්නේ කහ වල අනිත් පැත්ත. කොළ සහ රතුත් එහෙමයි. එවිට ඇත්තටම scale දෙකයි තියෙන්නේ. වර්ණාවලියේ ශුද්ධ වර්ණ සැදෙන්නේ මේ scale දෙකේ values එකතු වීමෙන්. මෙයට අමතරව යෂ්ටි සෛල මගින් ආලෝකය/අඳුර ලෙස තුන්වන මානයක් එකතු කරනවා. මෙය brightness ලෙස සැලකිය හැකියි. දැනට දන්නා තරමින් මොළය මඟින් දිගු (රතු) සහ කෙටි (නිල්) කේතු සෛල සසඳන්නේ නැහැ.

      //මා දන්නේ colour circle complementary colours & eye complementary colours විතරයි.//

      මේ ආකෘතී හදලා තියෙන්නේ පහසුවට රේඛීය scale එකක් අග මුල ගැට ගසා රවුම් කරලා. එහි ඕනෑම තැනක ඇති පාට දෙකක තරංග ආයාම කිට්ටු වුණත් රතු සහ නිල් එසේ නැහැ (රතු සහ නිල් වචන මා භාවිතා කරන්නේ ආසන්න අර්ථයකින්. නියම වචනය අපට පෙනෙන දිගම සහ කෙටිම තරංග ආයාම) ඒ අතර ඇති වර්ණ වර්ණාවලියේ ශුද්ධ වර්ණ නෙමෙයි. ස්වභාවිකවත් ඒ වර්ණ පැවතිය හැක්කේ තරංග ආයාම දෙකක එකතුවක් (මිශ්‍ර වර්ණයක්) ලෙස පමණයි. අනෙක් වෙනස කහ පාට. රතු කොළ මිශ්‍ර කර කහ පාට හදා ගත හැකි වුනත් ඇත්තටම වෙන්නේ ඒ පාට දෙක එකිනෙක නිශේධනය වීම. එවිට අපට පෙනිය යුත්තේ සුදු. එහෙත් කොළ සහ නිල් සැසඳීමේදී නිල් නැති නිසා අපට නිල් වල අනිත් අන්තය වන කහ පාට පේනවා.

      //සිංහල පාරිභාෂික වචනත් එක්ක ඉන්ග්‍රිසි වචනය දානවානම් ටැපලිලි අඩුයි. සෝස් වලට යන්න ලේසියි.//
      එය මා හැකි පමණ කරන්නම්. වැඩියම ඉංග්‍රීසි වචන මැද්දට දැම්මහම too technical වගේ පෙනෙන නිසයි එය නොකළේ.

      //ඔබට කරදරයක් අපහසුවක් නැතිනම්, හෝ ඔබ ළග තියෙනවානම් ලෝකයේ ජනවර්ගවල වර්ණ දැකිමේ වෙනස්කම් ටිකක් දැමිය හැකිද? මේවා මානසික කියවිම් සන්ස්ක්රුතික කියවිම් හා ඇහේ සෛල වල හැටි අනුවත් වෙනස් වෙනවා ඇතිනේද?මේ සේරටම එක සුත්තරයක් නැතිද?
      උදාහරනෙකට කියනවනම් චීන්නු (පෙරදිග අන්තය) හා සුද්දන් (අපරදිග අන්තය) රතු පාවිච්චි කරන්නේ හාත්පසින් වෙනස් අර්තවලට මීට මැද කොටස රතු පාවිච්චි කරන්නේ මද්‍යස්ත අර්තයකින්..මේවා සංස්ක්රුතික ඉැගන්විම්ම නෙමෙයි මා හිතන විදියටනම්.//

      මෙවැනි දේ කියවූ මතක යාන්තමට වගේ ඇතත් දැනටනම් මතකයේවත් නැහැ, මල්මි. යමක් ලැබුණොත් ඔබට ලබා දෙන්නම්. මගේ turkish මිතුරියක් සිටිනවා මේවා ගැන පර්යේෂණ කරන. ඇයට කතා කරන වෙලාවක මම අහන්නම්. ඔබ සිතන පරිදි ගොඩක් සංස්කෘතික ඉගැන්වීම් වල ඊට වඩා දේවල් තියෙනවා තමයි. ඒවගේම එසේ නැති තැනුත් තියෙනවා. සමහර විට දැනට තියෙන දැනුමේ සීමාව වෙන්නත් පුළුවන්. ජනවර්ග අතර පෙනීම හා අදාලවන ජානමය වෙනස්කම් තිබෙනවා. ඒත් මා දැනට දන්නා පරිදි මේ වෙනස්කම් සංස්කෘතික වෙනස්කම් තරම් විචල්‍ය නැහැ.

      Delete
    2. මුලින්ම දිග උත්තරයට ස්තුතියි.
      නමුත්, මේක ඔබේ කලින් ලිපිවල කියනවා වගේ මා දකින්නේ ඔබ දකින ලෝකය නොවෙයි ගනයේ තමයි අපි කතාකරන්නේ එකම දේ පරස්පර ක්ෂේත්‍රයන් දෙකකින්.

      මේ පරස්පර ක්ෂේත්‍රවල දැනුම එකට එකතුවෙනවා අඩුයි. ඒ නිසා වෙන්න ඇති මේ ක්ෂේත්‍රෙය් දැනට සොයාගෙන ඇති දේ හරිම අසම්පුර්ණ බව දැනෙන්නේ. අනික වර්ණ භාවිතා කරන ක්ෂේත්‍රවල අයගේ භාෂා සන්නිවේදන හැකියාව හරිම අඩුයි.ඒ නිසා ඒ අයට හැකි ඒවා ඒ අයගේ ක්ෂේත්‍රයේ අයට කියාදෙන්න පමනයි. එහෙම නැතිනම් වර්ණ සමග ඇති ප්‍රාෙයෝගික අත්දැකිම් ප්‍රාෙයා්ගිකව භාවිතාකරනවා ඒ අතර වචන පෙරලිවලට ඉඩක් නැහැ.මේක මටත් නැහැ. කියාදෙන්න උගන්වන්න කුසලතාවයක් නැහැ හා එයින් විඩාපත්වෙනවා.නමුත් ක්‍රියාවෙන් පෙන්විය හැකියි.

      තුර්කි මිතුරියට කතාකල විටක නම් නොවරදවාම අහන්න.

      මා කලින් සිතා සිටියේත් මේවා සංස්ක්රුතික වෙනස්කම් තරම් විචල්‍ය නැතැයි කියායි. නමුත්, ජනවර්ග හා ලෝකයේ ස්වභාවික ආලෝකය ලැබෙන ප්‍රමාණය.ලෝක ගොලේ කොතනද ඉන්නෙ /ඉපදුනේ කියන එක සංස්ක්රුතියට වඩා බලපානවා කියා මා සැක කරනවා.

      ඒ වගේම. ලෝකයේ කොහේත් ග්‍රෝත්‍රිකයන්ගෙන් පැවත එන්නන් වර්ණ වලදි හා හැඩතලවලදි හරිම සමානයි.

      Delete
    3. complementary colours
      ගැන කියනවානම් ඔබ කියන ලෙස එය උදාහරනෙකට වර්නාවලිය/වර්ණ චක්‍රය පදනම්කොට ගන්නවානම් රතු -කොළ
      නමුත්. වර්ණ ශිල්ප විදියට ප්‍රාෙයා්ගිකව පාවිච්චි කරද්දි මේ තියරිය ප්‍රාෙයා්ගිකව ගැලපෙන්නැහැ. කලුපාට පාරවල් ගැන ගන්නවනම්. කලු වල complementary විදියට ඉස්සර කහ ඉරි ඇන්දා දැන් සුදු පාට ගානවා. මුද්‍රණයේදි කලුට ප්‍රතිවිරුද්ධව ගන්නේ සයන් පාට. මේවායේ පර්යේෂණයන් ගැන නම් මා දන්නේ නැහැ.

      Delete
  3. මැට්ටෝ..
    ආයමත් එන්න එන්න ලිපි බරපතල වැඩි වෙනවා..ටිකක් සරල කරලා ලියන්න උත්සහා කරහන්..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩගේ කොලිටි කන්ට්‍රෝල් නැත්නම් මෙලහට වාහනේ කොහේ ඇනගෙනද දන්නේ නැහැ. හොඳ වෙලාවට හැප්පෙන්න කලින් එලාම් වදිනවා. ආපහු පාරට දාගන්නම්.

      Delete
  4. මෙය කිහිප විටක් කියවා තේරැම් ගත යුතු ලිපියක්
    මට තදනිල් හා කලු පාට බොහෝ විට පැටලෙනවා
    විශේෂයෙන්ම මේස් තේරීමේදී
    මේ ගැන හැමවිට සිනා සෙන මා බිරිඳට දෙන්නම් උත්තරයක් මේ ලිපියෙන්ම ��

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා! මම පොඩි එකෙක් ලෑස්ති කළොත් මේස් දෙක පාට දෙකක්. ගැහැණු අයගේ වර්ණ සංවේදීතාවය සමඟ පිරිමින්ට තරඟ කරන්න අමාරුයි. එයට පරිණාමික සහ ජීව විද්‍යාත්මක හේතු තියෙනවා. අනෙක් අතට දුර සහ ඉඩ පිලිබඳව ගැහැණුන්ගේ සංවේදීතාවය අඩුයි. ගැහැණු ගුවන් නියමුවන් නැත්තේ discrimination නිසා නෙමෙයි. ගැහැණු කෙනෙකුට සිතියමක් කියවීමට (බොහෝ විට) එය 'නියම අතට' තිබිය යුතුයි.

      Delete
    2. / ගැහැණු අයගේ වර්ණ සංවේදීතාවය සමඟ පිරිමින්ට තරඟ කරන්න අමාරුයි. එයට පරිණාමික සහ ජීව විද්‍යාත්මක හේතු තියෙනවා. /

      මෙහෙම වෙන්නෙ වසර දස දහස් ගණනකට පෙර පිරිමින්ගේ සහ ගැහැනුන්ගේ කාර්ය භාරයන්හි වූ පැහැදිලි වෙනස හින්දය කියල මම කොහෙ හරි කියෙව්ව මතකයි. බොහෝවිට ඩෙස්මන්ඩ් මොරිස්ගෙ පොතක වෙන්න ඇති.

      මිනිස් පරිණාමයෙ Hunter / Gatherer යුගයෙදි පිරිමින්ගේ කාර්ය භාරය දඩයම වූ අතර ගැහැණුන් පළතුරු, ගඩා ගෙඩි එක් රැස් කිරීමේ යෙදී සිටියා. හරිත වර්ණ කොළ අතරින් ඉදුණු පළතුරක් නිවැරදිව තෝරාගැන්මට තියුණු වර්ණ සංවේදිත්වයක් අත්‍යාවශ්‍ය වෙන්න ඇති.

      ඉකෝන්ස්..බොහොමත්ම ස්තූතියි..මම කලින් නොහිතපු පැත්තකට මගෙ මනස යොමු කලා ඔබ. හරිම ආසාවකින් කියවපු ලිපි පෙලක්.

      Delete
    3. ඔවු, රවී. මෙය පරිණාමික මනෝ විද්‍යාව හඳුන්වාදීමේදීම බොහෝ විට ඉදිරිපත් කරන කතාවක් නිසා විෂයයට අදාල පොත් හැම එකකම වගේ තියෙනවා.

      Delete
  5. මේ දැනුම වැදගත්....... ඉතාම වටිනා ලිපියක්.... මේ වගේ දේවල් වැඩිය අපිට අහන්න ලැබෙන්නෙත් නැහැනේ....... ක්ෂේත්‍රය වෙනස්...

    ReplyDelete
    Replies
    1. මගේ ක්ෂේත්‍රයත් නෙමෙයි, කුරුටු. මගේ ක්ෂේත්‍රය වුනානම් මමත් මහන්සි වෙලා මොනවා හරි දෙයක් දැනුමට එකතු කරනවා. ඒ තරම් රසවත්.

      Delete
  6. ඉතාම අපූරු ශාස්ත්‍රීය පැහැදිලි කිරීමක්.
    භෞතිකව යම් කිසි නියත තරංග ආයාමයක් සහිත යම් කිසි නියත වර්නයක් ලෙස අප හඳුනාගන්නා නිශ්චිත වූ වර්ණ පවතින බව ඔබ තහවුරු කරන ආකාරය ඉතාම අපූරුයි. ඔව් ඇත්තෙන්ම ඒක නිවැරදියි.
    ඒ වගේම මගේ නිල් පාට ඔබේ තැඹිලි ලෙසටත් මගේ තැඹිලි ඔබේ නිල් ලෙසටත් පැවතීමේ ඉඩ හසරද ඔබ ඉතා අපූරුවට පැහැදිලි කර තිබෙනවා.
    අවසානයේ කුමක් කවුරුන් කුමන අයුරින් දැක්කාද, ඔබත මාත් කිසිවෙකුත් තැඹිලි ගෙඩිය තැඹිලි පාට නොවේ යැයි කියන්නේ නැහැ යමෙකු තැඹිලි ගෙඩිය යම් ආකාරයකට දකීද ඔහු එය හඳුන්වන්නේ තැඹිලි ලෙසින්මයි. අන් කොතැනක තැඹිලි ගෙඩිය තමන් දකින ආකාරය හා සමවූ වර්නයක් දුටුවද එය හඳුන්වන්නේ තැඹිලි පැහැය ලෙසින්මයි. මෙන්න මේක බොහෝම අපූරු කාරණයක්.
    ඉකොනොමැට්ටාගෙන් මා මෙසේ ඇසුවොත්,
    අප එක් එක් පුද්ගලයා වර්නයන්ට දක්වන ආකර්ශනය හෝ කැමැත්ත වෙනස් වන්නේත් මේ හේතුවෙන්මද?

    ReplyDelete
    Replies
    1. වර්ණ වලට ඇති කැමැත්ත සහ වර්ණ පෙනීමේ වෙනස්කම් අතර සම්බන්ධක් තිබෙනවා. එහෙත්, මේ සම්බන්ධ පර්යේෂණ තවමත් සීමිතයි.

      Delete
  7. ලංකාවේ හැර වෙන කොහේවත් තැඹිලි ගස් තියනවද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ලංකාවේ පමණයි. ආවේනික ශාකයක්. තැඹිලි වෙනුවට වෙනත් රටවල ආදේශකය වෙන්නේත් දොඩම් ම තමයි

      Delete
    3. විකිපීඩියා අනුව තැඹිලි ලංකාවට ආවේණික ශාකයක්. හැබැයි පොල් තියෙන අනිත් රටවලත් තැඹිලි තිබෙනවා. මම හිතන්නේ මේ ඇතැම් තැඹිලි වර්ග ඒ රටවලට ආවේනික බවයි.

      මේ ගෝවේ තැඹිලි.

      http://konkanifoodie.blogspot.com/2010/11/orange-dwarf-coconut-gendale.html

      Chowgat orange dwaft කේරළ තැඹිලි වර්ගයක්. Malayan orange dwaft සහ Malayan yellow dwaft මැලේසියානු රං තැඹිලි සහ ගොන් තැඹිලි.

      මීට අමතරව මාල දිවයින, කැරිබියන් රටවල්, ඝානා, කැමරුන් ආදී රටවලත් තියෙනවා.

      Delete
    4. උද්භිද විද්‍යාත්මකව බැලුවොත් තැඹිලි කියන්නේ වෙනත් ශාක විශේෂයක් නෙවෙයි. පොල් කියන විශේෂය (cocos nusifera) ට ම අයත් ප්‍රභේදයක්. ශාකයක් තැඹිලි වෙන්නේ එහි ජාන සැකැස්මේ ඇති වෙනස් කමක් මත පමණයි.
      අපි දන්න නොයෙකුත් පොල් විශේෂ සියල්ලම මේ ආකාරයෙ ඒවා.
      උදාහරණ ලෙස. කුන්දිරා, රන් තැඹිලි, ගොන් තැබිලි, රතු පොල් ආදී ප්‍රබේද සැලකිය හැකියි.
      පොල් මල බොහෝ දුරට ස්වයං පරාගනය වන නිසා පොල් ගෙඩියක් පැල කිරීමෙන් බොහෝ විට මව් ශාකයට සමාන පැලයක් ලැබිය හැකියි. එහෙත් එය නිශ්චිතවම එසේ විය යුතු නැහැ.
      එම නිසා තැඹිලි ලංකාවට ආවේනික ශාකයක් ලෙස දැක්වීම විද්‍යාත්මකව පිලිගන්නට බැහැ. හැබැයි ලංකාවට ආවේනික වූ ජාන සැකැස්මක් විය හැකියි. එහෙත් දැන් එය ලොව බොහෝ රට වල තිබෙනවා මෙන්ම ඇතැම් විට ලංකාවෙන් ගෙන ගියා වන්නටත් පුළුවන්.

      Delete
    5. ඉකොනො, Malayan orange dwaft කියන විශේෂයට මලයානු රං තැඹිලි කීම ගැලපෙන එකක් නැහැ. අපේ නියම රං තැඹිලි ගෙඩිය කිසි සේත්ම කහ හෝ තැඹිලි පාට නැහැ. ඒක තනිකරම තද කොළ පාට ගෙඩියක්. ඒ වගේම සාපේක්ශව විශාල බෝලයක් වැනි හැඩයක් ඇති පොල් ගෙඩියක්. එහි විශේශත්වය වන්නේ ගෙඩිය කපන විට මල ලඟින් ඇති මස ඉතා සිත්ගන්නා සුළු රතු රෝස පැහැයකින් යුක්ත වීමයි. එසේම එහි දිය ඉතාම ප්‍රනීත රසයෙන් යුක්තයි. දැන් වන විට ඉතාම දුර්ලබ පොල් විශේෂයක් ඇත්තෙන්ම එකම ගසක් වත් ලංකාවේ තිබෙනවාදැයි සැකයි.
      කහ පාට එකටනම් ගොං තැඹිලි කීම හරි වෙන්නට පුළුවන් ඒවා අපේ කහ පාට ලොකු ගෙඩි තියෙන වතුර මෙලෝ රසක් නැති ගොං තැබිලි වගේමයි.

      Delete
    6. ස්තුතියි, සිතුවිලි සි! රං තැඹිලි කියන්නේ ඔය වගේ එකක් බව දැනගෙන හිටියේ නැහැ. මම හිතාගෙන හිටියේ ගොං තැඹිලි නොවන (රතු පැහැයට හුරු ඒවා) සියල්ලම රං තැඹිලි කියලා. ගෙඩිය කපන විට මල ලඟින් ඇති මස කන්න පුළුවන් තරමට ප්‍රණීත නවසි පොල් වර්ගයක්නම් වරක් දැකලා තිබෙනවා.

      Delete
  8. විකිපීඩියා අනුව තැඹිලි ලංකාවට ආවේණික ශාකයක්.////// තැඹිලි ගස් Aus වල වවලා තියනවා නේද ?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget