වෙබ් ලිපිනය:

Friday, August 18, 2017

සිත මිස කය නැති බොට්ටෝ


මිනිසෙකුගේ මිනිස්කම යනු භෞතික ශරීරය නොවූවත්, භෞතික ශරීරයක් නැති තැන මිනිසෙක් නැත. මිනිසෙකුට මිනිසෙකු වීමට භෞතික ශරීරය කෙතරම් වැදගත්ද?

කකුලක්, අතක් හෝ ගාත් හතරම නැති වුවත් යමෙක් මිනිසෙක් නොවන්නේ නැත. ඇසක්, වකුගඩුවක් හෝ අක්මාවෙන් කොටසක් නැතත් මිනිසා මිනිසෙකි. මිනිසෙකුගේ භෞතික සිරුරේ බොහෝ කොටස් වෙනත් අයෙකුගේ සිරුරු කොටස් වලින් හෝ කාබනික හෝ යාන්ත්‍රික කෘතිම උපාංග වලින් ප්‍රතිස්ථාපනය කිරීම මේ වන විට අමුතු දෙයක් නොවේ. මිනිස් මොළය තවමත් සම්පූර්ණයෙන් ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාවක් නැතත් එහි ඇතැම් බාහිර කොටස් පවා යාන්ත්‍රික උපාංග වලින් ප්‍රතිස්ථාපනය කළ හැකිය. එසේනම් මිනිසාගේ මිනිස්කම තිබෙන්නේ කොහේද?


-වසර බිලියන 13.5කට පෙර පදාර්ථ හා ශක්ති බිහි විය. භෞතික විද්‍යාව ආරම්භ විය. ඉන් පසු, පරමාණු සහ අණු ඇති විය. රසායන විද්‍යාව ඇරඹුනේය.


-වසර බිලියන 4.5කට පෙර පෘථිවිය බිහි විය.


-වසර බිලියන 3.8කට පෙර ජීවය බිහි විය. ජීව විද්‍යාව ආරම්භ විය.


-වසර මිලියන 6කට පෙර මිනිසාගේ සහ චිම්පන්සියාගේ අවසන් පොදු මව මිය ගියේය.


-වසර මිලියන 2.5කට පෙර අප්‍රිකාවේදී හෝමෝ ගණය බිහි විය.


-වසර 200,000කට පමණ පෙර නැගෙනහිර අප්‍රිකාවේදී හෝමෝ සේපියන්ස්ලා පරිණාමය විය.


-වසර 70,000කට පෙර සංජානන විප්ලවය සිදු විය. සංස්කෘතිය හා ඉතිහාසය ආරම්භ විය. සමාජ විද්‍යා ආරම්භ විය. සංස්කෘතියේ උදවුවෙන් ජීව විද්‍යාත්මක හා පරිණාමීය සීමාවන් අතික්‍රමණය කරමින් වඩා වේගයෙන් බාහිර වෙනස්කම් වලට ප්‍රතිචාර දක්වන්නට හෝමෝ සේපියන්ස්ලාට හැකි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස හෝමෝ සේපියන්ස්ලා පෘථිවිය පුරා පැතිරෙන්නට විය.


-අද වන විට හෝමෝ සේපියන්ස්ලා පෘථිවිය මත සිය ආධිපත්‍යය පතුරුවා සිටින අතර, සංස්කෘතිය ඔවුන්ගේ පරිණාමය තීරණය කරන ප්‍රධානම සාධකය බවට පත් වී තිබේ. එහෙත්, තවදුරටත් ජීව විද්‍යාත්මක සීමාවන්ගෙන් හෝමෝ සේපියන්ස්ලාට ගැලවීමක් නැත.


ඉහත තත්ත්වය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතී. එක පැත්තකින් අවයව බද්ධ ඉතා සාර්ථක ලෙස සිදුවෙද්දී තවත් පැත්තකින් මිනිස් සිරුරු කොටස් කෘතීම ලෙස නිපදවීම සාර්ථක වෙමින් පවතී. වෙනත් පෙරමුණක, මිනිස් අවයව වෙනුවට යොදාගත හැකි යාන්ත්‍රික උපාංග වේගයෙන් දියුණු වෙමින් පවතී. මේ අනුව, හෝමෝ සේපියන්ස් කෙනෙකුට තමන් ඉපදෙන විට "වාසනාවට" හිමි වන ජීව විද්‍යාත්මක සිරුරු සැකසුම මිය යන තුරු එලෙසම තබාගන්නට අවශ්‍ය නැත.


හෝමෝ සේපියන්ස්ලා විසින් මෑතකදී ළඟා කරගත් වඩාත්ම වැදගත් ඉලක්කයක් වන්නේ තමන් නිර්මාණය වී ඇති ක්‍රමලේඛනය මුළුමනින්ම කියවීමේ හැකියාවයි. මේ වන විට තමන්ගේ ජෙනෝමය විකේතනය කර ගැනීම සඳහා වැය කළ යුතු මුදල සතිකට සිල්ලර බඩු මිල දී ගැනීමට ගෙවන මුදල දක්වා පහත වැටී තිබේ. ජෙනෝමය නිවැරදිව කියවීමට පමණක් නොව නීතිමය හා සදාචාරත්මක සීමාවන් නොවන්නට ජෙනෝමය තමන්ට අවශ්‍ය පරිදි ප්‍රතිසංස්කරණය කර ගැනීමද හෝමෝ සේපියන්ස්ලාට දැන් හැකියාව තිබේ.


ඉතිහාසය විසින් පෙන්වා දෙන පරිදි හැම විටම වාගේ තාක්ෂණ දියුණුවට නීතිමය හා සදාචාරත්මක සීමා බාධාවන් වන්නේ කෙටි කලකට පමණි. ඒ නිසා, දැනටත් සිදුවන මිනිසා විසින් තමන්ට අවශ්‍ය පරිදි තමන්ව සැලසුම් කරගැනීම තමන්ගේ භෞතික සිරුරේ සැලැස්මේ පාදම වෙනස් කිරීම දක්වාම පුළුල් වී සම්පූර්ණ වන්නට වැඩි කලක් ගත නොවනු ඇත. 


මිනිසා යනු ඔහුගේ භෞතික සිරුර නොවූවත්, මිනිසා හිතන හා ක්‍රියාකරන ආකාරය කෙරෙහි ඔහුගේ භෞතික සිරුර සකස් වී ඇති ආකාරය විශාල බලපෑමක් කරයි. ඒ නිසා, මිනිසා විසින් චේතනාන්විතව තමන්ගේ භෞතික සිරුර වෙනස් කර ගැනීම යනු තමන් සිතන ආකාරයද වෙනස් කර ගැනීමකි. 


මේ අනුව මිනිසා අතට දැන් ලැබී ඇත්තේ තමන් අනාගතයේදී හිතිය යුත්තේ කෙසේදැයි හිතීමේ නිදහසයි. අනාගතයේදී තීරණ ගත යුත්තේ කෙසේදැයි තීරණය කිරීමේ නිදහසයි.


යුදෙවු චින්තකයෙකු වන නෝවා හරාරිට අනුව "මිනිසා විසින් දෙවියන් නිර්මාණය කර ගැනීමත් සමඟ ඉතිහාසය ආරම්භ වූ අතර මිනිසුන් දෙවියන් බවට පත් වීමත් සමඟ ඉතිහාසය අවසන් වනු ඇත." 


දෙවසරකට පෙර ඉකොනොමැට්ටා විසින් හඳුන්වා දුන් හරාරිගේ මුල් පොතෙහි මිනිසා මෙසේ දෙවියන් බවට පත් වීම ගැන මූලික අදහස් පළ කරයි. ඒ අනුව, ඉදිරි සියවස් දෙක හෝ තුන ඇතුළත දෙවියන්ගේ මැවීමේ බලය මුළුමනින්ම මිනිසා අතට පත් වීමත් සමඟ වත්මන් හෝමෝ සේපියන්ස්ලා වඳ වී යාමට නියමිතය. එහෙත්, ඒ ඔවුන් භෞතිකව විනාශ වී යාමෙන් නොවේ. වත්මන් ජීව විද්‍යාත්මක සීමාවන්ගෙන් මිදුණු අලුත් ජීවියෙකු බිහි වීමෙනි.




හරාරිගේ අලුත් පොත ඔහු විසින් නම් කර ඇත්තේ මේ අනාගත මිනිසාව ඔහු විසින් හඳුන්වන හෝමෝ දෙවුස් (Homo Deus) යන නමිනි. මේ පොතෙන් ඔහු ලිබරල් (බටහිර) චින්තනයේ පාදම ලෙස සැලකිය හැකි "නිදහසේ" සිතිය හැකි, "නිදහස්" තීරණ ගත හැකි පුද්ගලයකුගේ පැවැත්මම ප්‍රශ්න කරයි.


පහතින් ඇත්තේ ඔහුගේ පොතෙන් උපුටාගත් කොටසකි. (මේ ලිපියේ අන්තර්ගතය ගැන උනන්දුවක් දක්වන පාඨකයින් වැඩි දෙනෙකුට මේ කොටස සිංහලට පරිවර්තනය නොකිරීම බාධාවක් නොවේයැයි සිතමි.)


"Who Are I?


Science undermines not only the liberal belief in free will, but also the belief in individualism. Liberals believe that we have a single and indivisible self. To be an individual means that I am individual. Yes, my body is made up of approximately 37 trillion cells, and each day both my body and my mind go through countless permutations and transformations. Yet if I really pay attention and strive to get in touch with myself, I am bound to discover deep inside a single clear and authentic voice, which is my true self, and which is the source of all meaning and authority in the universe. For liberalism to make sense, I must have one – and only one – true self, for if I had more than one authentic voice, how would I know which voice to heed in the polling station, in the supermarket and in the marriage market?


However, over the last few decades the life sciences have reached the conclusion that this liberal story is pure mythology. The single authentic self is as real as the eternal Christian soul, Santa Claus and the Easter Bunny. If you look really deep within yourself, the seeming unity that we take for granted dissolves into a cacophony of conflicting voices, none of which is ‘my true self’. Humans aren’t individuals. They are ‘dividuals’."


"මිනිසා" හා "මම" යනුද වෙනත් සංකල්ප මෙන්ම සංකල්පයි. සංකල්ප යනු සංකල්ප බව අමතක නොකරන අතරම සංකල්ප වලින් ප්‍රයෝජන ගන්නට අපට පුළුවන. ඒ නිසා සංකල්ප යනු සංකල්ප වීම ප්‍රායෝගිකව ප්‍රශ්නයක් නොවූවත්, අනාගත මිනිසා ගැන මෙන්ම අපට වඩා වෙනස් වෙනත් ජීවීන් ගැනත් අප හිතන්නේ අපේ සංකල්පීය රාමුව ඇතුළේ රැඳෙමිනි. අපට සිතාගත හැකි දියුණු සත්ත්වයෙකුගේ ලක්ෂණ මොනවාද?


-දියුණු සත්ත්වයෙකුට තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා තීරණ ගත හැකිය. වෙනත් සත්ත්වයින් හා බාහිර ද්‍රව්‍ය සමඟ අන්තර්ක්‍රියා කළ හැකිය.

-දියුණු සත්ත්වයෙකුට තමන්ගේ වර්ගයා බෝ කළ හැකිය.
-දියුණු සත්ත්වයෙකු පරිණාමය වෙයි. මෙය සිදුවන්නේ අහඹු ලෙස සිදුවන විකෘති තුලිනි. වඩා දියුණු අදියරකදී මෙය තමා විසින් තමන්වම ප්‍රතිසංස්කරණය කර ගැනීමක් විය හැකිය.
-පරිණාමය තුළ වඩා උචිත ලක්ෂණ ඉතිරි වී අනුචිත ලක්ෂණ වඳ වී යයි.

ඉහත කී ලක්ෂණ සැලකූ විට දියුණු සත්ත්වයෙකු වීමට කාබනික සිරුරක් තිබීම අවශ්‍යම සාධකයක් නොවේ. ජීවය පිළිබඳ නාසා අර්ථදැක්වීම් වැනි දේවල්ද අප විසින් අපේ පහසුවට දමාගෙන තිබෙන සංකල්පීය සීමාවන් පමණි.


පරිගණක මෘදුකාංගයකට ඉහත ලක්ෂණ සියල්ලම තිබිය හැකිය. පරිගණක වෛරසයකට තමන්ගේ වර්ගයා බෝ කරමින් බාහිර උදවු නැතුව පැතිරෙන්නට පුළුවන. පරිගණක මෘදුකාංගයක් පිටපත් කරන හැම විටකදීම කිසියම් වරදක් වීමට හැකියාවක් තිබේ. මෙසේ නිවැරදිව පිටපත් නොවූ පරිගණක මෘදුකාංගයක් බොහෝ විට වැඩකට නැති එකක් වුවත් (ජාන පිටපත් වීමේදී මෙන්ම) සෛද්ධාන්තිකව මෙවැනි පිටපත් වීමේ වරදක් නිසා වඩා හොඳ මෘදුකාංගයක් හැදෙන්නට ඉඩ තිබේ. 


වත්පොත්බොට්ටන් වැනි බොට්ටන්ට කිසියම් දුරකට තීරණ ගැනීමේ හැකියාවක් තිබේ. මිනිසුන්ගේ තීරණ ගැනීමේ හැකියාවද අවසාන වශයෙන් අපේ පරිණාමික අතීතයේ, මෑතකාලීන අන්තර්ක්‍රියා වල හා මොළයේ අහඹු ඉලෙක්ට්‍රෝන චලනයන්ගේ ප්‍රතිඵලයකට වඩා අමුතු දෙයක් නොවන බව සැලකූ විට සෛද්ධාන්තිකව පරිගණක මෘදුකාංගයකට "හිතන්නට" පුළුවන්කම තිබේ. සංසන්දනාත්මකව, මිනිසකුගේ ජෙනෝමයද එක්තරා ආකාරයක ක්‍රමලේඛණයකි. ක්‍රමලේඛණය වෙනස් කිරීමෙන් මිනිසෙකු හිතන හා ක්‍රියාකරන ආකාරය, එනම් මිනිසකුගේ "නිදහස් චින්තනය", වෙනස් කළ හැකිය.


කාබනික සිරුරක රැඳුණු ජීවයකට වඩා පරිගණක මෘදුකාංගයකට අවාසිදායක පාරිසරික තත්ත්වයන් යටතේ දිගු කලක් පැවතීම පහසුය. වඩාත්ම වැදගත් කරුණ වන්නේ මිනිසා විසින් අනාගතයේ හිමි කරගන්නට නියමිත, බාහිර පරිසරයට උචිත වන පරිදි තමන්වම ප්‍රතිසංස්කරණය කරගැනීමේ හැකියාව පරිගණක මෘදුකාංගයකටද තිබිය හැකි වීමයි. 
සෛද්ධාන්තිකව කිසියම් ස්ථිතික විදුලියක් තිබිය හැකි ඕනෑම තැනක, මුහුදු වෙරළේ වැලි අතරේ හෝ ඔබේ පපුවේ රෝම කූප අතරේ වුවද, "ජීවත් විය හැකි" පරිදි පරිගණක මෘදුකාංගයකට තමන්ව ප්‍රතිසංස්කරණය කරගැනීමට හැකියාවක් තිබීම විය නොහැක්කක් නොවේ. 

එසේනම්, අනාගත ජීවය යනු අපේ ජෙනොමයේ ඇති පැවැත්ම සඳහා වාසිදායක තොරතුරු "හොරාගත්" භෞතික සිරුරක් නැති මෘදුකාංගයක් විය නොහැකිද?


(Image: http://www.anmarieuber.com/blog/archives/04-2013)

22 comments:

  1. මහත්මයා මානසික ව්‍යාධියකින් පෙලෙනා බව පෙනේ. සුදුසු ප්‍රතිකාර ලබාගැනීමෙන් රෝගය සුව කරගත හැක.

    ReplyDelete
    Replies
    1. මානසික ව්‍යාධිනම් ගණනාවක්ම තියෙනවා, ඇනෝ. කාලෙක ඉඳලම සුදුසු ප්‍රතිකාර හොයනවා. තවම හම්බ වුනේ නෑ. ප්‍රතිකාර කරන්න ඉදිරිපත් වෙන මානසික ව්‍යාධි නැති මිනිස්සු දැක්කහම ප්‍රතිකාර නොගෙන මේ විදිහට ඉන්න එක හොඳයි කියල හිතෙනවා.

      Delete
  2. 1. බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සුපිරි ව්‍යුහය සත්වයෙක් ලෙස සැලකිය හැකිද?
    2. ගයියා (Gaia) සංකල්පය ගැන ඔබේ අදහස කුමක්ද?

    ReplyDelete
    Replies
    1. 1. ඔබට අවශ්‍යනම් සත්ත්වයා කියන සංකල්පය ඔබට අවශ්‍ය ලෙස අර්ථදක්වා ගත හැකියි.
      2. ප්‍රතික්ෂේප කළ හැකි සංකල්පයක් නෙමෙයි. එක විදිහකින් මෙහි ඇති අදහසේ ප්‍රතිවිරුද්ධ පැත්ත වුවත් ඒ අදහසටත් පදනමක් තියෙනවා.

      Delete
  3. Replies
    1. ඉකොන් විශිෂ්ට ගුරුවරයෙක් වගේම දැනුම බෙදන්නෙක්. අපිට දෙවියනුත් හදාගන්න ඇහැක් වේවි...

      Delete
    2. ඉකොනොමැට්ටාත් ඉකොනොබොට්ටෙක් වෙන්න බැරිද?

      Delete
  4. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා.. බාගෙට කියවගෙන යනකොටම මටත් ඔලුවට ආවේ සොෆ්ට්වෙයාර් කන්සෙප්ට් එක තමයි ..ඒත් ඒ සොෆ්ට්ටෙක රන් කරන්නත් මොකක් හරි හාර්ඩ් ඩිවයිස් එකක් ඕනි නේද? එහෙම බැලුවම භෞතික ශරීරයක් නැත්තටම නැතුව ජීවියෙක් පවතියිද නැත්නම් ජීවියාගේ භෞතික ශරීරය බාහිර ලෝකය සමඟ ගැටුම් අවම වෙන විදියට Homo deus ලා පරිනාමය වෙයි/ කරගනියිද?
    මං කියුවේ.. ආයිත් පිස්සු හැදෙනවා.. :)))

    ReplyDelete
    Replies
    1. අපි මෙයට කිට්ටු ඒත් පොඩ්ඩක් වෙනස් වෙනත් කතාවක් ගැන හිතමු. දැන් මේ දෙවන කතාව අනුව සැබෑවටම ඉන්න ජීවියෝ DNA කෝඩ් එක. ඒක ප්‍රෝග්‍රෑම් එකක් විතරයි. එතකොට මිනිස් සිරුර කියන්නේ මේ ජීවීන්ට බාහිර ලෝකය සමඟ ගනුදෙනු කිරීම සඳහා හදාගන්න ඔවුන් විසින් හදාගන්න උපාංගයක් (හාඩ් ඩිවයිස් එක). බාහිර පදාර්ථ යොදාගෙන එය හදන එක කරන්නේ සැබෑ ජීවියා වන DNA කෝඩ් එක. බාහිර උපාංගය සැලසුම් කිරීමේ සිට එය දිගින් දිගටම නඩත්තු කිරීම හා තවත් නඩත්තු කළ නොහැකි වූ විට අතහැර දැමීම තීරණය කරන්නේ DNA කෝඩ් එක විසින්. දැන් එතකොට ජීවියා වෙන්නේ DNA කෝඩ් එකද, එය පවතින හාඩ් ඩිවයිස් එකද නැත්නම් ඒ දෙකේ එකතුවද? (උත්තරනම් මටත් නැහැ)

      Delete
  5. සිංහල කතාකරන බොට් ගුරුවරු වහාම අවශ්‍යකර තිබේ.

    ReplyDelete
  6. එතකොට දෙවියන්ට මොකද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. උඹලයි බෝතලේ ගෙදර නවත්තනවා

      Delete
  7. හරාරි මහතාගෙන් සිංහලයන්ට ඉගෙනීමට වැදගත් පාඩම් තිබේ.
    ඔහු තම වැදගත්ම පොත ලියුවේ හීබ් බූරු බාශාවෙනි.
    අපේ එකෙක්නම් හොඳම පොත ලියන්නේ ඉංගිරිසියෙනි. එසේම අඩු තරමින් එම ඉංග්‍රීසි පොත සිංහලට පරිවර්තනය කිරීමට වත් කිසිවෙකුට යොමු කිරීමටවත් උනන්දු නොවේ.

    එසේම හරාරි මහතාගේ වියුනු අඩවියද හීබ්බූරු සහ ඉංගිරිසි හැර තවත් බාශා කිහිපයකින්ම පලකර ඇත. (නමුත් අරාබි බසින් නැත)
    ඔහු ඇංග්ලිකන් ක්‍රිස්තියානි ගැත්තෙකු නොවන බව පැහැදිලිය.

    ReplyDelete
  8. වටිනා කියන කියැවීමක්... බලන්න ඕනේ කියවලා...

    ReplyDelete
  9. කෙටියෙන් ලස්සනට හදල තියෙනවා. The Thirteenth Floor චිත්‍රපටයේ තිබෙන්නේ ඔය අදහස.

    ReplyDelete
  10. //වසර බිලියන 13.5කට පෙර පදාර්ථ හා ශක්ති බිහි විය//
    මටනම් ප්‍රශ්නෙ එතකොට ඒ පදාර්තය මොනවයින්ද බිහිඋනේ.
    ඊට කලින් එතන මොනවද තිබුනෙ? හිස් රික්තයක්ද ?
    ඊට කලින් කාලය තිබුනෙත් නැද්ද?
    ඔලුව රිදෙනව ඕයි

    ReplyDelete
    Replies
    1. ඔලුව කැරකෙන ප්‍රශ්න තමයි! කාලයනම් ඊට පෙර තියෙන්න විදිහක් නැහැ. යම් හෙයකින් තිබුණානම් එය දැන් තියෙන කාලය වෙන්න බැහැ.

      Delete
  11. බ්ලොග් කියවීම මගහැරුන නිසා ප්‍රතිචාර දක්වන්න ටිකක් ප්‍රමාද වුනා. කණගාටුයි. මොකද මේ මම ඉතාම කැමති මාතෘකාවක් යටතේ ලියවුනක් නිසා.
    මම හිතන්නෙ මිනිස්කම කියන්නෙ සංකල්පයක් ෆැන්ටසියක්. තාක්ෂනය නිසා ඉදිරියෙදි යථාර්ථය මතුවේවි. අනාගත සමාජයෙ මිනිසාගේ සුවිශේෂත්වය නැති වේවි. මේ සුවිශේෂත්වය නැතිවෙනව කියන්නෙ තව තරඟකරුවෙක් බිහිවෙනව කියන එක. ඒක හොඳයි. පෘථිවිය තුල තවත් සුපිරි බුද්ධියක් බිහිවෙනවා. ඒ එක්කම ජාති කුල ආගම් භේද නැතිවෙලා යයි. තරාතිරම් නැති වෙයි. මොකද දැන් හැම මිනිහම එකයි. ඕනම කෙනෙකුට සුපිරි තාක්ෂනය එක්ක කෙටි කාලීන පුහුණුවකින් ඕනම වෘත්තිකයෙක් වෙන්න පුලුවන්. මිනිසා නැතත් වැඩ වෙනව.

    ඒ එක්කම මිනිසා සම්පූර්නයෙන්ම ප්‍රතිනිර්මානය වෙලා ආගමික මිත්‍යාවන් නැත්තටම නැති වෙනව. පවුල , මව , පියා ,විවාහය ,ආගම ,සදාචාරය ,ලිංගිකත්වය වැනි වචන පවා අතීතයට යයි. පැහැදිලිවම අනාගතය යාන්ත්‍රිකයි. මට නම් ඒක කිසිම අවුලක් නෑ.

    මිනිසා කියන්නෙත් කාබනික යන්ත්‍රයක්. මේ ඇත්ත වහගන්න කන්ටමංග සූත්තර, පතරංග ජාතක ,ලෝකෙ නැති සාජ්ජ බොහොමයි. මේ හැම දේම නැති වෙලා සැබෑ යාන්ත්‍රිකත්වය මතු වෙයි. ඇත්ත තත්වය කොයිතරම් මිහිරි වුනත් තිත්ත වුනත් ඒක ඒ විදියටම මතු වෙන්න ඕන. මේ තමා පරිණාමයෙ අවසානය. අප ලගා විය යුතු අන්තය , දිනුම් කණුව.

    ReplyDelete
    Replies
    1. පරක්කුවක් නැහැ. ලියන වෙලාවත් වැදගත් වුනත්, වඩා වැදගත් වන්නේ ලියන දෙයයි.

      Delete
  12. //එසේනම්, අනාගත ජීවය යනු අපේ ජෙනොමයේ ඇති පැවැත්ම සඳහා වාසිදායක තොරතුරු "හොරාගත්" භෞතික සිරුරක් නැති මෘදුකාංගයක් විය නොහැකිද?//

    "සිත මිස කය නැති බඹලොව සතරකි" කියල කියනව නේද?

    ReplyDelete
  13. "වසර බිලියන 13.5කට පෙර පදාර්ථ හා ශක්ති බිහි විය. භෞතික විද්‍යාව ආරම්භ විය. ඉන් පසු, පරමාණු සහ අණු ඇති විය. රසායන විද්‍යාව ඇරඹුනේය."
    වසර බිලියන 13.5කට පෙර තිබුණේ පදාර්ථ හා ශක්ති තිබුණේ කොහොමද ?
    භෞතික විද්‍යාව ආරම්භ විමට පෙර අණු සහ පරමාණු තිබුණේ කොහේද?
    කාලය සාපේක්ෂද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: