Sunday, June 7, 2015

අපිට ළඟ නෑයන් නැත්තේ ඇයි?


සිංහලුන්, දෙමළුන්, ඇමරිකානු පුරවැසියන්, සිංගප්පූරු පුරවැසියන්, ශ්‍රී ලාංකික හා ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියන් මෙන්ම මොන පුරවැසිකමක්වත් නැති රෝහින්ගා මුස්ලිමුන් හා මැද පෙරදිග බිඩූන්ලා දක්වා අපි සියල්ලෝම හෝමෝ සේපියන්ස්ලා වෙමු. එසේ වෙන්නේ ජීව විද්‍යා වර්ගීකරණය අනුවය. හෝමෝ නැත්නම් 'මිනිස්' කියන්නේ අපේ 'ගණය' හෙවත් පවුලයි. සේපියන්ස් කියන්නේ මේ ගණයට අයත් අප සත්ත්ව කොට්ඨාශය අයත් වන විශේෂයයි. ජීවවිද්‍යාවේදී සතුන්ට නම් දාන්නේ මේ අයුරින් පවුලේ නම සහ සතාගේ නම එකතු කිරීමෙනි.



පූසන්ට කොටියන්, සිංහයන්, චීටාවන් වැනි බළල් පවුලේ නෑයෝ බොහෝ සිටිති. බල්ලන්ටද නරින්, වෘකයින් වැනි ළඟ නෑයෝ සිටිති. ඇමීබාවාගේ සිට ඔය කොයි සතාටත් දුර නෑකමක් අපට තිබේ. ඒත් හෝමෝ සේපියන්ලා වන අපට වෙන මිනිස් නෑයින් නැත. අපේ පවුලේ ළඟ නෑයන් නොමැති නිසා අපි අනිත් සතුන් සහ අප අතර ලොකු වැටක් ගහගෙන පොරවල් වී සිටිමු. අපිට ළඟ නෑයන් නැත්තේ ඇයි?


දැන් නැති වුවත් ඉතා මෑත කාලයක් දක්වා අපට ළඟ නෑයෝ සිටියහ. වසර මිලියන දෙකහමාරකට පෙර අප්‍රිකාවේ ජීවත් වූ ඔස්ට්‍රලෝපිතකස් හෙවත් දකුණේ වානරයාගෙන් පැවතුනු මිනිස් දරුවෝ ලොව පුරාම විසිරුනහ. ඔවුන් වෙනස් දේශගුණික තත්වයන්ට හැඩ ගැසෙද්දී මිනිස් වර්ග රැසක් බිහිවිය. පුරා විද්‍යා සාධක අනුව අපේ ඔස්ට්‍රලෝපිතකස් අප්පච්චී අඩුගානේ තවත් දරුවන් පස් දෙනෙක්වත්වත් ජාතක කර තිබේ. මේ අනිත් දරුවෝ වරින් වර මහ පොළොවෙන් තුරන් වී ගියහ. මානව ඉතිහාසය හා සසඳන කළ ඉතා කෙටි කලක් ලෙස සැලකිය හැකි වසර දොළොස් දහසකට පෙරත් අපේ නියන්ඩතාල් අයියා ජීවත් වී තිබේ.


හෝමෝ සේපියන්ලාට වඩා විශාල සිරුරකට මෙන්ම විශාල මොළයකටද හිමිකම් කියූ හෝමෝ නියන්ඩතාල්ලා දරුණු හිම යුගයද සාර්ථක ලෙස ජය ගනිමින් යුරෝපයේ සහ බටහිර යුරෝපයේ විශාල පෙදෙසක සිය ආධිපත්‍යය පතුරා සිටියදී හෝමෝ සේපියන්ලා අප්‍රිකාවේ කොටසකට සීමා වූ සාපේක්ෂව නොවැදගත් ජීවී කොට්ඨාශයක් විය.


වසර 150,000කට පෙර ඇරඹුණු හෝමෝ සේපියන්ලාගේ මුල් අවුරුදු අසූදහස මෙසේ පතෝල ලෙස නිකම්ම ගෙවී ගියත් වසර හැත්තෑ දහසකට පෙර හදිසියේම වෙනස් දෙයක් සිදු විය. වසර දහසක් වැනි ඉතා කෙටි කලක් තුල බොහෝ දේ ඉගෙන ගනිමින් 'දියුණු වූ' හෝමෝ සේපියන්ලා අරාබි මුහුද තරණය කරමින් මැද පෙරදිගටත් එතැනින් ආසියාව හරහා යුරෝපයටත් ව්‍යාප්ත වෙමින් ඇරඹු සම්ප්‍රදායික නියන්ඩතාල් නිජ භූමි ආක්‍රමණය සහ වර්ග සංහාරය අවසන් වූයේ නියන්ඩතාල්ලා සම්පූර්ණයෙන් මිහිපිටින් අතුගා දැමීමෙනි.


ශරීර ප්‍රමාණයන් මෙන්ම බුද්ධියෙන්ද සේපියන්ස්ලාට වඩා ඉදිරියෙන් සිටි නියන්ඩතාල්ලාව ඔවුන්ගේ වාස භූමි වලදීම පරාජය කිරීමට සේපියන්ලාට හැකි වූයේ කෙසේද? ජෙරුසලමේ හීබෘ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ මහාචාර්ය යුවාල් නෝවා හරාරි මෙය සිදු වූයේ හෝමෝ සේපියන්ලා දෙවියන්ගෙන් දැනුම ලබා ගත් නිසායැයි කියන්නේ නැත. ඔහුගේ 'සේපියන්ස්: මිනිසුන් ගැන කෙටි ඉතිහාස කතාවක්' නම් ග්‍රන්ථයේ සඳහන් පරිදි මෙයට හේතුව අදාළ කාලයේදී සිදුවූ වාසිදායක ජාන විකෘතියකි.


චින්තන විප්ලවය ලෙස හරාරි විසින් හඳුන්වන මේ ජාන විකෘතිය මභින් පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවන සැබෑ ලෝකයේ නැති දේවල් ගැන සිතීමේ හැකියාව හෝමෝ සේපියන්ලා සතු විය. ඒ අනුව, සිංහ ඔලුවක් ඇති මිනිසුන්, ලොව මැවූ දෙවියන්, මුදල්, ධනවාදය, සමාජවාදය, මානව හිමිකම්, ජාතිය, යහපාලනය වැනි සංකල්ප නිර්මාණය කර ගැනීමට සේපියන්ස්ලාට හැකිවිය. මේ මඟින් ඇතැම් ජීව විද්‍යා සීමාවන් අතික්‍රමණය කිරීමට සේපියන්ස්ලාට හැකි විය.


ස්වභාවික පරිසරයකදී කිසියම් සත්ත්ව කණ්ඩායමක විශාලත්වය 150කට වඩා වැඩිවන්නේ ඉතාම කලාතුරකිනි. සංඛ්‍යාව වැඩි වීමත් සමඟ කණ්ඩායම් හැඟීම ඇතිවීමට අවශ්‍ය අන්‍යොන්‍ය විශ්වාසය ගොඩනැංවීම අපහසු වන බැවිනි. චින්තන විප්ලවය මඟින් මේ සීමාව අතික්‍රමණය කිරීමට හෝමෝ සේපියන්ලාට ඉඩ සැලසිනි. දෙවිකෙනෙකු වැනි සංකල්පයක් පොදුවේ පිළිගත් විශාල කණ්ඩායමක සාමාජිකයන් අතර විශ්වාසය තහවුරු විය. මේ නිසා ඔවුන්ට සාමුහිකව ක්‍රියා කළහැකි විය.


සේපියන් මිනිසෙකු බොහෝවිට නියන්ඩතාල් මිනිසෙකුට පරාජය විය. සේපියන්ලා සියයක් බොහෝවිට නියන්ඩතාල්ලා සියයකටද පරාජය විය. එහෙත් සේපියන්ලා දහසකට පහසුවෙන් නියන්ඩතාල්ලා දහසක් පරාජය කළ හැකිවිය.


හරාරි ඉදිරිපත් කරන තර්ක හිතළු නොවේ. ඉතිහාසය, පුරා විද්‍යාව, මානව ජීව විද්‍යාව, ජීව විද්‍යාව, පරිණාමික මනෝ විද්‍යාව ආදී ක්ෂේත්‍ර වල අලුත්ම පර්යේෂණ මත ඒ තර්ක පදනම් වී තිබේ. ඉතා සංකීර්ණ ප්‍රශ්න වලට සරල විද්‍යාත්මක විසඳුම් ඇති බව හරාරි අපට පෙන්වයි.


හරාරිට අනුව සේපියන්ස්ලාගේ අවසානය ඉතා නුදුරේය. එහෙත් සේපියන්ස්ලා වඳ වී යනු ඇත්තේ ඔබට එක් වරම සිතිය හැකි විනාශයක් නිසා නොවේ. ඔවුන් සිය සීමාවන් තව දුරටත් ඉක්මවමින් වඩාත් දියුණු ජීවී කොට්ඨාශයක් (ඔහුගේ වචන වලින් දෙවිවරුන්) බවට පරිණාමය වීමෙනි. ජීවතාක්ෂණික, පරිගණක වැනි ක්ෂේත්‍ර වල සිදුවන දියුණුව සමඟ මෙය දැනටම සිදු වෙමින් පවතී.


හීබෘ භාෂාවෙන් ලියා ඇති හරාරිගේ කෘතිය ඉංග්‍රීසි ඇතුළු භාෂා තිහකට පමණ දැනටම පරිවර්තනය වී ඇත. දන්නා තරමින්නම් සිංහල පරිවර්තනයක් තවම නැත.


(ඡායාරූප අන්තර්ජාලයෙනි)



13 comments:

  1. මී මැසි, කූඹි කොලනිවල නම් 150 ට වඩා ගහණයක් ඉන්නවා නේද?

    පොත ගැන ඔත්තුවට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමයි. ගාණ ලොකු වුණත් එතනත් මම හිතන්නේ පරිණාමයෙන් ඇති වුනු සීමාවක් තියෙනවා. හරාරි කියන්නේ සේපියන්ස්ලාට පමණක් පරිණාමයෙන් DNA ආකෘතිය වෙනස් වන තුරු නොසිට සංස්කෘතික සත්ත්වයෙක් ලෙස පරිණාමය විය හැකි බවයි. විශාල කරුණු ගොඩක් ඇති මේ පොත ගැන මගේ කෙටි සටහන ඉතාම දුප්පත් එකක්.

      Delete
    2. රසික ගොන් කතා නොකියා ඉන්න. මීමැස්සන්ගේ හා කූඹින්ගේ ටීම්-වර්ක් මනුස්සයාගේ ටීම්-වර්ක් වලින් ගොඩක් වෙනස්. මීමැස්සන් කූඹින් කියන්නෙ ලොකු මැසිමක කුඩා දැති රෝද. දැති රෝද වලට කිසිම අවබෝධයක් නැහැ තමන් මැසිමක් වෙනුවෙන් වැඩ කරන බව. හැබැයි අවිඥානකව කරන වැඩේ කරනවා. මිනිස්සු එහෙම නෙවෙයි. මිනිස්සු වැඩ කරන්නෙ තමන්ගේ පුද්ගලාභිමතාර්ථ පිණිස. නමුත් ඒ තුළින්ම අපූරුවට ටීම්-වර්ක් එකක් හැදෙනවා.

      Delete
    3. ඔබ එය නිවැරදිව විස්තර කර තිබෙනවා ඇනෝ. මම හිතන්නේ මගේ සටහනේ ඇති වාක්‍යයකුයි මෙතන නොමඟ යවන සුළු වී ඇත්තේ. රසික කමෙන්ට් කර ඇත්තේ ඒ අනුවයි.

      Delete
  2. සැබෑ ලෝකයේ නැති දේවල් ගැන සිතීමේ හැකියාව හෝමෝ සේපියන්ලා සතු විය +++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඔවු. මේක තමයි පොතේ ප්‍රධානම පොයින්ට් එක. 'දැනුම නිර්මාණය කර ගැනීමේ හැකියාව' වැනි දෙයක්. තමා අවට පවතින ලෝකය පිලිබඳ දැනුම අතින් නියන්ඩතාල්ලා සිට ඇත්තේ සේපියන්ස්ලාට වඩා ඉදිරියෙන්. ඒත් තමන් අවට සැබෑවටම නැති දෙයක් ගැන සිතන්නට ඔවුන්ට කිසිදා හැකි වී නැහැ.

      Delete
  3. /සේපියන් මිනිසෙකු බොහෝවිට නියන්ඩතාල් මිනිසෙකුට පරාජය විය. සේපියන්ලා සියයක් බොහෝවිට නියන්ඩතාල්ලා සියයකටද පරාජය විය. එහෙත් සේපියන්ලා දහසකට පහසුවෙන් නියන්ඩතාල්ලා දහසක් පරාජය කළ හැකිවිය. /

    සේපියන්ස්ලා 62 ලක්ෂයක් නියැන්ඩතාල්ලා 58 ලක්ෂයක් පැරැද්දූ කතාව අහලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔය පනස් අටේ වගේම හැට දෙකේත් තියෙන්නේ පොදුවේ විශ්වාස කරන සංකල්පයක් වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමේ සේපියන්ස් හැකියාවයි. ඒ හැකියාව සේපියන්ස්ලාට පලදායී මෙන්ම එසේ නොවන දෙයක් සඳහාත් යොදා ගත හැකි බවට ඉතිහාසයේ සාධක එමටයිනේ, ඇනෝ.

      Delete
  4. /...මුල් අවුරුදු අසූදහස මෙසේ පතෝල ලෙස නිකම්ම ගෙවී ගියත් වසර හැත්තෑ දහසකට පෙර හදිසියේම වෙනස් දෙයක් සිදු විය. /

    හරියටම වුණේ මොකද්ද, වුණේ කවදාද කියන දේ ගැන වාද ඇතත් මොකක් හරි වුණා කියන එක ගැන ජීව විද්‍යාඥයින්, පුරා විද්‍යාඥයින් පොදුවේ එකඟයි.

    ආතර් සී. ක්ලාක් 2001 ලියන්නෙත් මේ ගැනම නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ. ක්ලාක්ගේ පොත් තුනේ තියෙන්නෙත් ඔය දිග කතාවම තමයි. ක්ලාක් පොත් ලියන කාලේ තිබුණු සීමිත දැනුමත් සමඟ ඔහුට ගොඩක් හිස්තැන් පුරවන්ඩ වුණා. ප්‍රබන්ධයක් නොවන හරාරිගේ පොතේ කරුණු වලට මෑතකාලීන (2012 පමණ දක්වා) පර්යේෂණ වල සොයාගැනීම් ගොඩක් පදනම් වෙනවා. ඔහු සිතන පරිදි අප සිටින්නේ නැවතත් ලොකු පරිවර්තනයක් සිදුවන කාලයක. පසුගිය අවුරුදු හැත්තෑ දහසේ සංස්කෘතික පරිණාමය මඟින් තමන්ට අවශ්‍ය විදිහට වෙනස් වුනත් ජීව විද්‍යාත්මක පරිණාමයේ සීමාවන්ගෙන් හෝමෝ සේපියන්ස්ලාට මිදෙන්ඩ බැරි වුණා. දැන් අපි අපට අවශ්‍ය ලෙස ජීවය මැවීමේ 'දෙවියන්ගේ' හැකියාව අපේ අතට අරගෙනයි තියෙන්නේ. ඒ දැනුම (ජෙනෝමය වෙනස් කිරීම වැනි) දේශපාලනික හා සදාචාරාත්මක හේතු මත භාවිතයේ නොයෙදුනත් ඉතා ඉක්මණින් එය සිදුවීම නොවැලැක්විය හැකි බවයි ඔහුගේ අදහස.

      Delete
  5. මුන් දෙවියො වගේ උනොත් ආන් එදාට තමයි දෙයියා පල් වෙන්නේ

    ReplyDelete
  6. වැදගත් සටහනක්.. එතකොට ඔය ඊලගට වෙන පරිනාමය වෙන්න තව සෑහෙන්න කල් යාවි මම හිතන්නේ.. දැන් ඉන්න අය දෙවිවරු උනොත් ඉතින් සේපියන්ලට ඉතින් සොරිම තමයි..

    ReplyDelete
    Replies
    1. මේක ස්වභාවිකව සිදු වන තුරු බලා නොසිට අප විසින් තෝරාගන්නා පරිණාමයක් නිසා එය පරම්පරා කිහිපයක් ඇතුළත වුවත් සිදු නොවිය හැක්කක් නොවෙයි, දිනේෂ්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget