වෙබ් ලිපිනය:

Saturday, June 27, 2015

ඡන්දයක වටිනාකම ආන්තික තෙරපුමක් යෙදීමට ඇති හැකියාවේ ප්‍රමාණයටය.

දෙමසකටත් වඩා කෙකර ගගා සිටි කිකිළිය අවසානයේදී බිජුව හෙලා තිබේ. ඒ කිකිළියගේ බඩ පලා බිජුව ගැනීමට තිබුණු තර්ජනය නිසා නොවේ. ගැබ තුළ කුණුවෙමින් පැවති බිජුව පිපිරී කිකිළිය ආසාදනය වීමට පෙර එය ඉවත හෙළිය යුතු වූ බැවිනි. බිජුව රන් බිජුවක් නොවූවත් ඔම්ලටයක් සාදා ගැනීමට නොහැකි තරමට තවමත් කුණුවී නොමැති නිසා එහි තවමත් ආර්ථික වටිනාකමක් තිබේ. දැන් ඇත්තේ අවශ්‍ය පරිදි ඔම්ලටය සාදා ගැනීමේ අවස්ථාවයි. ඔම්ලටය රස වනු ඇත්තේ කෝකියන්ගේ දක්ෂතාවයන්හි ප්‍රමාණයටය. මෙලෝ රහක් නැති ස්ක්රෑම්බල් බිත්තරයක් වීමට ඉඩ නොහැර ලුණු ගම්මිරිස් වැටුණු හොඳ ඔම්ලටයක් සාදාගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාව අත නොහැරිය යුතුය.

මේ එළැඹෙන්නේ වසර තුළ පැවැත්වෙන දෙවැනි ජාතික මැතිවරණයයි. මෙය වසර මුල පැවති ජනාධිපතිවරණය තරමටම උණුසුම් හා තීරණාත්මක වන ලකුණු පෙනුණේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමටද පෙර සිටය. ජාතික මැතිවරණයකින් පසුව අප වෙනුවෙන් තීරණ ගැනීමේ අයිතිය අපේ ගරු නියෝජිතයින්ට පවරා වසර ගණනක් බකන්නිලාගෙන සිටීමට සිදුවීම අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය නිසා ජාතික මැතිවරණයකදී අපට හිමිවන වරණීය අයිතියට ලොකු වටිනාකමක් තිබේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ලැබූ ඡන්ද කුට්ටි වල සංයුතිය පිළිබඳව කතිකාවක් ඇති විය. බොහෝ විට ඡන්ද මළු විසංයෝජනය කෙරුණේ ජාතීන් හෝ ආගම් මත පදනම්වය. නෛතික වශයෙන් ජනාධිපතිවරණයකදී ලකුණු කෙරෙන ඡන්දයක වටිනාකම ජාතිය, ආගම හෝ වෙනත් නිරීක්ෂණය කළ හැකි සාධකයක් අනුව වෙනස් නොවන බව මෙහිදී ඉස්මතු වුණු නිවැරදි කරුණකි.

ඡන්දදායකයාගේ ජාතීය හෝ ආගම මත ඡන්දයක නෛතික වටිනාකම වෙනස් නොවූවත් නෛතිකව සමාන වටිනාකම් ඇති ඡන්ද වල ආර්ථික වටිනාකම් සමාන විය යුතුම නැත. ඡන්දයක ආර්ථික වටිනාකම හෙවත් සැබෑ වටිනාකම තීරණය වන්නේ එමඟින් ආන්තික තෙරපුමක් යෙදීමට ඇති හැකියාවේ ප්‍රමාණයටය.

ආරම්භයේදී ග්‍රීසියේ පැවති සෘජු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ඡන්දයකට නෛතික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද තිබුණේ (සාපේක්ෂ අර්ථයකින්) සමාන වටිනාකමකි. මේ තත්ත්වය වෙනස් වූයේ සෘජු ප්‍රජාතන්ත්‍රවායෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට මාරු වීමත් සමඟද නොවේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන පක්ෂ මත පදනම් වූ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙසට පරිණාමය වීම නිසාය. මැතිවරණ මත පදනම් වූ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන සෑම රටකම පාහේ වර්තමානයේදී එය සිදුවන්නේ දේශපාලන පක්ෂ හරහාය.

යම්කිසි තෝරාගැනීමක් සඳහා පුද්ගලයකු සතු වන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දේශපාලන පක්ෂ තුළ දියවී යද්දී දේශපාලන පක්ෂ වෙත සම්ප්‍රේෂණය වන වරණීය බලය ඒ තුළ සංකේන්ද්‍රණය වන සාමාජික සංඛ්‍යාවට අනුපාතිකව වෙනස් වේ. මේ මඟින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමේදී එක් එක්  දේශපාලන පක්ෂය සතුවන ආන්තික තෙරපුමක් යෙදීමේ හැකියාව තීරණය කෙරේ. කෙසේ වුවද දේශපාලන පක්ෂයක් සතුවන ආන්තික තෙරපුමක් යෙදීමේ ශක්තිය එහි සාමාජික සංඛ්‍යාවට හැමවිටම අනුපාතික වන්නේ නැත.

උදාහරණයක් ලෙස සාමාජිකයන් සියදෙනෙකුගෙන් යුතු ආයතනයක් සලකමු. මෙහි ඕනෑම සාමාජිකයෙකුගේ ඡන්දයක් නෛතික වටිනාකමින් සමාන වන අතර සරල බහුතරයකගේ තීරණය ක්‍රියාත්මක වේ. දැන් අපි විවිධ සංයුතීන් යටතේ තීරණ ක්‍රියාත්මක කිරීමේ සැබෑ බලය දේශපාලන පක්ෂ අතර බෙදී යන ආකාරය සලකා බලමු.

අවස්ථාව-1:

කොළ - 51, නිල්- 45, කහ-3, රතු-1

මෙහිදී වෙනත් කිසිවකුගේ උදවුවක් නොමැතිව ආන්තික බලය යෙදීමේ හැකියාව (51වන ඡන්දය) කොළ පක්ෂය සතු වන අතර කොළ පක්ෂය ඇතුළත් නොවන කිසිම සංයෝගයකට ආන්තික බලය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැත. ඒ අනුව සැබෑ බලය සම්පුර්ණයෙන්ම කොළ පක්ෂය සතුවන අතර අනෙක් දේශපාලන පක්ෂ වලට සිය තීරණ ක්‍රියාත්මක කිරීමේ කිසිදු හැකියාවක් නැත.

දේශපාලන බලය බෙදීයාම: කොළ - 100%, නිල්- 0%, කහ-0%, රතු-0%

මෙවැනි අවස්ථාවකට හොඳම නිදසුන 1977 පාර්ලිමේන්තුවයි. මේ පාර්ලිමේන්තුව තුළ සරල බහුතර රීතිය පමණක් නොව 2/3 රීතිය යටතේද තීරණ ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ අයිතිය ජේආර් ජයවර්ධනගේ එජාපය සතුවිය. කලවාන අසුන බහුතර ඡන්දයෙන් දිනූ අපේක්ෂකයාව ඡන්ද පෙත්සමකින් පරාජය කරමින් මේ පාර්ලිමේන්තුවට පැමිණ ජේආර්ගේ මුල් පාර්ලිමේන්තුවේ සිටි එකම වාමාංශික දේශපාලනඥයා වූ සරත් මුත්තෙටුවේගමට මෙන්ම හොඳටම කෙට්ටු වී සිටි ශ්‍රීලනිපයේ අනාගත අපේක්ෂාව හා චතුර කථිකයා වූ නුවරඑළිය-මස්කෙළිය බහු අසුන නියෝජනය කළ අනුර ප්‍රියදර්ශී බණ්ඩාරනායකටත් අදහස් ප්‍රකාශ කිරීමේ පුළුල් අවකාශයක් මේ පාර්ලිමේන්තුව තුළ පැවති නමුත් ඒ අදහස් ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු ශක්‍යතාවක් නොවීය. එක් පක්ෂයකට නියෝජිත සංඛ්‍යාවෙන් බහුතරයක් ඇත්නම් සරල බහුතර රීතිය යටතේ තීරණ ගැනීමේ බලය න්‍යායාත්මකව සම්පූර්ණයෙන්ම එම පක්ෂය සතුවේ.


අවස්ථාව-2:

කොළ - 48, නිල්- 48, කහ-3, රතු-1

මෙහිදී කිසිදු පක්ෂයකට තනිවම තීරණයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ආන්තික තෙරපුම යෙදිය නොහැකිය. ඒ සඳහා අඩුම වශයෙන් පක්ෂ දෙකක් එකතු විය යුතුය. මේ පක්ෂ දෙක කොළ, නිල් සහ කහ යන පක්ෂ තුනෙන් ඕනෑම දෙකක් විය හැකි අතර එසේ පක්ෂ දෙකක් එක් වූ පසු තුන් වන පක්ෂයක වටිනාකමක් නැත. වැදගත් කරුණ වන්නේ මේ ආයතනය තුල විශාල නියෝජනයක් ඇති කොළ සහ නිල් පක්ෂ වලට ඇති දේශපාලන බලයම සාපේක්ෂව සුළු නියෝජනයක් ඇති කහ පක්ෂයටද තිබීමයි. එහෙත් රතු පක්ෂයට කිසිදු දේශපාලන බලයක් නැත.

දේශපාලන බලය බෙදීයාම: කොළ - 33.3%, නිල්- 33.3%, කහ-33.3%, රතු-0%

ඇතැම් තත්ත්වයන් යටතේ සුළු පක්ෂ තමන්ගේ නියෝජනය ඉක්මවන ශක්තියක් පෙන්වීම මේ අනුව න්‍යායාත්මකව පැහැදිලි කළ හැකිය. 1994, 2000, 2001, 2004 පාර්ලිමේන්තු මැතිවරණ මෙසේ ඇතැම් සුළු පක්ෂ වලට ඔවුන්ගේ නියෝජනයට වඩා විශාල දේශපාලන බලයක් හිමි කර ගත හැකිවූ අවස්ථාවන්ය.

උදාහරණයක් ලෙස 2004 පාර්ලිමේන්තුවේ සංයුතිය මෙසේ විය.
සන්ධානය- 105
එජාප -82
ටීඑන්ඒ -22
හෙළ උරුමය-9
මුකො-5
කඳුරට-1
ඊපීඩීපී-1
(එකතුව- 225)

මෙහිදී ඇතිවිය හැකි ආන්තික බලය යෙදවීමේ ශක්‍යතාවක් ඇති සංයෝජන මෙසේය. (මේ ඇතැම් සංයෝජන ප්‍රායෝගිකව බිහිවීමේ හැකියාවක් නොමැතිවීම මෙන්ම සන්ධානය සමජාතීය නොවූ එකතුවක්ය යන්නද නොසලකා ඇත.)
1. සන්ධානය+එජාප
2. සන්ධානය+ටීඑන්ඒ
3. සන්ධානය+හෙළ උරුමය
4. එජාප+ටීඑන්ඒ +හෙළ උරුමය

ඇතිවිය හැකි සංයෝජන හතරෙන් තුනකටම සන්ධානය ඇතුලත් වන අතර එජාප, ටීඑන්ඒ සහ හෙළ උරුමය අයත් වන සංයෝජන දෙක බැගින් තිබේ. ඉතිරි පක්ෂ තුනෙන් එකකටවත් ආන්තික බලය යෙදීමේ හැකියාව නැත.

මේ අනුව අපේ සරල උපකල්පන  යටතේ එක් එක පක්ෂ සතු සැබෑ බලය මෙසේය.
සන්ධානය- 33.3%
එජාප -22.2%
ටීඑන්ඒ -22.2%
හෙළ උරුමය-22.2%
මුකො-0%
කඳුරට-0%
ඊපීඩීපී-0%

භාවිතා කළ ඡන්ද වලින් 6%ක් ලබා පාර්ලිමේන්තුවේ 4%ක නියෝජනයක් ලැබූ හෙළ උරුමයට ඡන්ද වලින් 38%ක්  සහ පාර්ලිමේන්තුවේ 37%ක නියෝජනයක් ලැබූ එජාපය තරමටම බලයක් හිමිවීම මෙහිදී සැලකිය යුතුය.

යම් පක්ෂයක් ඔවුන්ගේ නියෝජනය ඉක්මවන 'ලොකු දේවල්' ඉල්ලීම මේ අනුව විශේෂ සිදුවීමක් නොවේ. සැබෑ බල සමතුලිතතාව අනුව සිදුවිය යුත්තකි. එහෙත් යම් පක්ෂයක් ඔවුන්ගේ ආන්තික බලය යෙදවීමේ හැකියාව ඉක්මවා යමක් ලබාගනීනම් එය එම පක්ෂයේ නායකයින්ගේ ක්‍රමෝපායික දක්ෂතාවය වන අතර තමන්ගේ සැබෑ බලය නොසලකා හරීනම් එය ක්‍රමෝපායික දුර්වලතාවයකි.


මාස කිහිපයකින් පසු  බිහිවීමට නියමිත නව පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන අනාවැකි කීමට තවමත් කල් වැඩි නමුත් ඇතැම් සුළු පක්ෂවලට තම නියෝජිත අනුපාතය ඉක්මවන බලයක් එහි හිමිවීමට බොහෝ දුරට ඉඩ තිබේ.


4 comments:

  1. ඡන්ද බහුතරයක් ගන්නා පිළට බෝනස් ආසන දෙන්නේ ඔය විකෘතිය තවත් විකෘති කිරීමටය. ඇමරිකා එක්සත් ජනපදයේ ඉලෙක්ටරල් කොලේජ් එකෙන් වෙන්නේ ද එයයි.

    එවැන්නක් ලංකාවේ තිබුණා නම් මරා දිනනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔය දෙකම ගැන කතාකරන්න තමයි හිටියේ. තුන්වැනි කරුණ සල්ලන් අවමය. ඇමරිකාවේ ඉලෙක්ටරල් කොලේජ් හදන විට දේශපාලන පක්ෂ තිබුණේ නැති නිසා ඒක හොඳ ක්‍රමයක් වුණා. දේශපාලන පක්ෂ ඉතා ඉක්මණින්ම හැදුනත් 2000 වෙනකම්ම ප්‍රශ්නයක් වුණේ නැහැ. ජේආර් නම් වැඩේ පටන්ගත්තේම හොඳට ගණන් හදලා වංක චේතනාවකින්. හැබැයි ඔහුගේ ගණන් බැලීම් වැඩි කල් නොයාම වැරදුනා. අනෙත් කරුණු ඇමරිකන් ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාව ඡන්දයෙන් අවසන් නොවීම සහ ලංකාවේ එසේ වීම මෙන්ම චෙක්ස් ඇන්ඩ් බැලන්සස් වල ඇති විශාල වෙනස්කම් (ඔබ බොහෝ වෙලාවට මට වඩා පියවරක් ඉදිරියෙනුයි ඉන්නේ.)

      Delete
  2. මෙන්න මේකේ ඔය ආන්තික තල්ලුවෙ තියෙන්නේ කොහෙද කියලා කියන්න පූලුවන්ද?
    ජෙ.වී.පී බිය නොවන්න..දිනපු හැටි මයියා පෙන්වන්නම්...( JVP you are a winner)

    P.S මෙය 2011 ලියා ඇති නිසා වැඩවසම් ක්‍රමය යටතේ සිතිය යුතු බව සලකන්න

    ReplyDelete
    Replies
    1. මයියා: ඔබේ උදාහරණය සම්මත පාඨග්‍රන්ථ උදාහරණයක් (Standard text book case). ඔබේ සරල ආකෘතිය 2011ට හරි. මම පොඩ්ඩක් වෙනස් උදාහරණයක් ගන්නම්. හැබැයි මේක උදාහරණයක් පමණයි. මම අහඹු ගණන් සමඟ සැබෑ නම් යොදාගන්නේ තේරුම් ගැනීමේ පහසුව පිණිස පමණයි. ඔබ පරිදිම මම කාණ්ඩ තුනක් ගන්නම්.

      1. මහින්ද>මෛත්‍රී>>රනිල් 40%
      2. රනිල්>මෛත්‍රී>>මහින්ද 35%
      3. මෛත්‍රී>රනිල්>>මහින්ද 25%
      මෙතන > කියන්නේ ටිකක් වැඩියෙන් කැමතියි, >> කියන්නේ තුන්වන තෝරාගැනීමට ඉතාම අකමැතියි.

      දැන් පළමු මනාපය අනුව මෙතන දිනන්නේ මහින්ද. එහෙත් ඔහුට 60%ක් ඉතාම අකැමතියි. මෛත්‍රී ලැයිස්තුවේ අන්තිමයා. එත් ඔහුට 25% කගේ පළමු කැමැත්තත් ඉතිරි 75%ක පිරිසගේ පළමු කැමැත්තට ආසන්න දෙවන කැමැත්තත් තිබෙනවා. එහෙත් ඔහුට දිනීමේ හැකියාවක් නැහැ. 60%ක් මහින්දට වඩා මෛත්‍රීට කැමති වුනත් මෛත්‍රී පරාදයි.

      ලංකාවේ ජනාධිපතිවරණ නීතිය අනුවනම් මෙතන ජයග්‍රාහකයා රනිල්. ඒත් 65%ක්ම රනිල්ට වඩා මෛත්‍රීට කැමතියි.

      මේක තේරුම් ගන්න තුන්වන කණ්ඩායමේ බොහෝ දෙනෙක් ඔවුන්ගේ පළමු කැමැත්ත ප්‍රකාශ නොකර දෙවන කැමැත්ත ප්‍රකාශ කිරීමටත් ඉඩ තිබෙනවා. (ආන්තික තල්ලුව දෙන්න පුළුවන් වෙන්නේ රනිල්ට ඡන්දය දුන්නොත් නිසා) ඒ ගණන 5%ට වැඩි වුනොත් පළමු මනාපය අනුවත් රනිල් දිනනවා. දැන් පෙනෙන්නේ මෛත්‍රීට ලොකු කැමැත්තක් නැහැ වගෙයි. ඒත් ඒ ඇත්ත තත්ත්වය නොවෙයි.

      ජවිපෙ බොහෝ විට ඉන්නෙත් මම හිතන හැටියට (ප්‍රතිශත කෙසේ වෙතත්) මගේ උදාහරණයේ මෛත්‍රී ඉන්න තැන. රටේ බහුතරයකට ඔවුන්ගේ නියෝජනයක් අවශ්‍යයි. ඒත් පාලන බලය දීමට කැමති නැහැ. සන්ධාන ලැයිස්තුවෙන් ඉල්ලූ විට ඔවුන් උඩට එන්නේ ඒ නිසයි.

      කාට වුණත් කළ හැකි හොඳම දෙය තරඟ නීති ගැන වද නොවී පවතින නීති යටතේ ක්‍රමෝපායික තීරණයක් ගැනීමයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: