Monday, June 1, 2015
අපේ අවදානම් අධිභාරය අඩුවී තිබේ!
පෙර සටහන හා බැඳේ.
සා ර ස ගේ සබැඳිය අනුව යමින් හර්ෂ ද සිල්වාගේ ගේ ප්‍රකාශය හා අදාළ මහ බැංකු මාධ්‍ය නිවේදනය සොයා ගත හැකි විය.
http://mangalasamaraweera.com/2010/03/22/us-640-mn-imf-loan-obtained-by-govt-lying-in-foreign-banks-harsha-de-silva/
පහත වෙබ් පිටුවේ ඇති 2010 මාර්තු 18 දිනැති මාධ්‍ය නිවේදනයයි.
http://www.cbsl.gov.lk/htm/english/02_prs/p_1.asp?yr=2010
මේ අනුව අදාල සංවර්ධන බැඳුම්කර නිකුතුව පිලිබඳ වැඩි තොරතුරු මෙසේය.
-ඩොලර් මිලියන 55ක සංවර්ධන බැඳුම්කර මාස 36 ක කාලයකට සයමස් LIBOR අනුපාතයට වඩා 3.95% ක් පොලියකට.
-ඩොලර් මිලියන 37ක සංවර්ධන බැඳුම්කර මාස 24 ක කාලයකට සයමස් LIBOR අනුපාතයට වඩා 3.80% ක් පොලියකට.
එම මාධ්‍ය නිවේදනය අනුවම 2009 සැප්තැම්බර් මාසයේදී මෙසේ වාණිජ ණය ලබා ගෙන ඇත්තේ,
-මාස 36 ක කාලයකට සයමස් LIBOR අනුපාතයට වඩා 4.25% ක් පොලියකට හා
-මාස 24 ක කාලයකට සයමස් LIBOR අනුපාතයට වඩා 4.50% ක් පොලියකටය.
මේ බැඳුම්කර නිකුත්කර ඇත්තේ වසර 2-3 කාලයකට බැවින් වසර 10කට නිකුත්කළ බැඳුම්කරයක් හා සැසඳීම කිසිසේත්ම නිවැරදි නොවේ. වසර 10කට ණයක් ලබා දීමේදී ආයෝජකයා ගන්නා අවදානම ඉතා ඉහල බැවින් වැඩි පොලියක් අපේකෂා කිරීම තේරුම් ගැනීමට අපහසු නැත. ඒ නිසා මෑත කාලීන නිකුතුවේ සැසඳිය හැකි කල්පිරීම් දෙස අප බැලිය යුතුය.
අදාළ විස්තර මම නැවත පළ කරමි.
- ඩොලර් මිලියන 650ක් ලබාගෙන ඇත්තේ වසර 10ක කාලයකින් ආපසු ගෙවීමට 6.125% ක වෙනස් නොවන පොලියකටය.
- ඩොලර් මිලියන 329ක් මාස 13ක කාලයකට සයමස් LIBOR අනුපාතයට වඩා 3.1669% ක් වැඩි පොලියකට.
-ඩොලර් මිලියන 9ක සංවර්ධන බැඳුම්කර මාස 35ක කාලයකට සයමස් LIBOR අනුපාතයට වඩා 3.5389% ක් පොලියකට.
(දැනට සමස් LIBOR අනුපාතය 0.42315% කි. මහ බැංකු මාධ්‍ය නිවේදනය අනුව 2010 මාර්තුහිදී මේ අනුපාතය 0.40% කව පැවතී ඇත. ඒ අනුව ජාත්‍යන්තර වෙළඳපොලේ පොලී අනුපාතික 0.02% කින් සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.)
මාස 13 බැඳුම්කරය වඩාත් කෙටිකාලීන නිසා මෙහිදී මාස 35 සහ මාස 36 බැඳුම්කර සැසඳීම සාධාරණය.
ඒ අනුව පෙනී යන්නේ 2010 මාර්තු නිකුතුවට සාපේක්ෂව මෙවර ණය ලබාගෙන ඇත්තේ 0.41% ක් අඩුවෙන් බවයි (3.95 - 3.54).
මෙය ආයෝජකයන්ගේ ශ්‍රී ලංකාව පිලිබඳ ආකල්ප යහපත් වීමක් වීමට ඇති ඉඩකඩ එසේ නොවීමට ඇති ඉඩකඩට වඩා ඉතා විශාලය.
තීරණය ඔබ සතුය. මා ස්ථිරවම නොපවසන්නේ එය පුද්ගලික මතයක් නිසාත්, සලකා නොබැලූ වෙනත් කරුණු වල බලපෑම් ද තිබිය හැකි නිසාත්ය. සා ර ස තර්කය අනුව යමින් කලින් ලබාගත් කොමිස් මුදල් අඩුවීමක් ලෙස මෙය පටු ලෙස අර්ථදැක්වීමට යමෙකුට හැකි වුවත් එය නිවැරදි නැත.
අවදානම් අධිභාරය යනු කුමක්ද?
අප යමෙකුට ණය මුදලක් ලබාදීමේදී එය ආපසු නොලැබීමේ අවදානමක් පවතී. උදහරණයක් ලෙස යමෙකු රුපියල් දෙසීයක් ආපසු දෙන පොරොන්දුව පිට ඔබෙන් රුපියල් සියයක් ඉල්ලා සිටී.
මෙය හොඳ ගනුදෙනුවක්ද නැද්ද යන්න තීරණය වන්නේ ණය දෙන්නා තුල ණය ලබා ගන්නා තැනැත්තා පිළිබඳව ඇති විශ්වාසය මතය.
-පොරොන්දුව ඉටුවීමේ ඉඩකඩ 100%ක් නම් ණය දීමෙන් අනිවාර්යයෙන්ම රුපියල් 100ක ලාභයක් ඇත.
-පොරොන්දුව ඉටුවීමේ ඉඩකඩක් ඇත්තේම නැත්නම් ණය දීමෙන් අනිවාර්යයෙන්ම රුපියල් 100ක අලාභයක් සිදුවනු ඇත.
-පොරොන්දුව ඉටුවීමේ ඉඩකඩ 50%ක් නම් රුපියල් 100ක ලාභයක් හෝ රුපියල් 100ක අලාභයක් සිදු වීමේ සමාන ඉඩකඩක් ඇති නිසා ලාභයක් හෝ අලාභයක් නැත.
මුදල් අහිමිවීමේ අවදානමක් ඇතත් වැඩි පොලියක් ලැබේනම් ආයෝජකයෝ ණය ලබාදෙති. සක්විතිලාට ලොකු මුදලක් එකතු කරගත හැකි වූයේත් මහ බැංකුව අර්ථසාධක අරමුදල් ග්‍රීක බැඳුම්කර වල ආයෝජනය කළේත් මේ අනුවය.
ඇමරිකාවේ ස්ථිර තැන්පතු පොලිය 0.05%ක් හා ලංකාවේ 3.5% ලෙස පවතිද්දී ඒ මුදල් ලංකාවේ ආයෝජනය නොවන්නේ මෙහි මුදල් ආයෝජනය කිරීමේ අවදානම 3.45%කට වඩා වැඩියැයි ඇමරිකානු ආයෝජකයන් සිතන නිසාය. එසේ සිතීමට වත්මන් හා පෙර පැවති ආණ්ඩු වල ක්‍රියාකාරකම් මෙන්ම අපේ මාධ්‍ය මගින් ඉදිරිපත් කරන තොරතුරු සහ යමෙකුගේ වත්පොත් හෝ බ්ලොග් සටහනක් වැනි සුළු දෙයකින් වුවද යම්කිසි දායකත්වයක් ලැබේ.
මගේ සාමාන්‍ය අදහස වූයේ ආණ්ඩු මාරුවෙන් පසු අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය යහපත් වී තිබිය යුතුය යන්නයි. සා ර ස සටහන අනුව එය එසේ නොවන බව දැකීම මා විමතියට පත් කළ බැවින් වැඩිදුර සොයා බැලීමට උනන්දු වූවෙමි. මේ සටහන පොදු මහජනතාවගේ තීරණ ගැනීමේ හැකියාව දියුණු කිරීමට තල්ලුවක් වශයෙනි.
පසු එකතු කිරීම:
මහ බැංකු වෙබ් අඩවියේ ඇති පසු ගිය වසර වල මාධ්‍ය නිවේදන තව දුරටත් පිරික්සීමේදී පෙනී ගිය පරිදි 2014 මාර්තු හිදී තුන් වසරකින් කල් පිරෙන සංවර්ධන බැඳුම්කර නිකුත් කර ඇත්තේ LIBOR අනුපාතිකයට වඩා 4% ක පොලියකටය. මේ අනුව, මට සොයාගත හැකි වූ තොරතුරු අනුව 2009-2014 කාලයේදී (යුද ජයග්‍රහණයෙන් පසුව) තුන් වසරකින් කල් පිරෙන සංවර්ධන බැඳුම්කර සඳහා අපි LIBOR අනුපාතිකයට වඩා 3.95-4.25% පරාසයේ පොලියක් ගෙවා ඇත්තෙමු. මේ කරුණු අනුව, LIBOR අනුපාතිකය මත අධිභාරය 3.54% ක් දක්වා අඩුකරගත හැකි වීම මගේ මතය පරිදිනම් වත්මන් රජය ලැබූ පැහැදිලි ප්‍රගතියකි.
මතුපිටින් පෙනෙන කරුණු දෙස බලා තීරණ වලට එළඹීම හානිදායකය.
Labels:
ආර්ථික විද්‍යාව,
පොලී අනුපාතික,
මූල්‍ය වෙළඳපොළ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.