වෙබ් ලිපිනය:

Monday, December 22, 2025

පශ්චාත්-ආපදා සාර්ව ආර්ථික කළමනාකරණය


මේ වෙද්දී අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වෙලා මාස 15ක් ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ ධුර කාලයෙන් 25%ක් දැනටමත් ඉවරයි. මේ කාලය ඇතුළත ආණ්ඩුව විසින් කළ හා නොකළ දේවල් ගැනනම් කතා කරන්න සෑහෙන පරාසයක කරුණු තිබෙනවා. නමුත් මෙම සටහනෙහි අවධානය යොමු කරන්නේ පශ්චාත්-ආපදා සන්දර්භය තුළ මේ ආණ්ඩුවේ සාර්ව ආර්ථික කළමනාකරණය කියන තනි කාරණයට පමණයි. 

සාර්ව ආර්ථික කළමනාකරණය කියද්දී එයින් රටේ මූර්ත අංශය, විදේශ අංශය, බැංකු හා මුදල් අංශය සහ රාජ්‍යමූල්‍ය අංශය කියන අංශ හතර අදහස් වෙනවා. මේ අංශ හතරෙන් වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තිබෙන, ප්‍රජාතන්ත්‍රවාදී රටක රජයකට සෘජුව කළමනාකරණය කළ හැක්කේ රාජ්‍යමූල්‍ය අංශය පමණයි. එහෙත් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා අනෙක් අංශ තුනට බලපෑම් කළ හැකියි. එවැන්නක් හිතාමතාම නොකළේ වුවද, රාජ්‍යමූල්‍ය කළමනාකරණය කරන ආකාරය ආර්ථිකයේ අනෙකුත් අංශ වලට බලපෑමක් කරනවා.

බැංකු හා මුදල් අංශය කළමනාකරණය කිරීමේ හැකියාවක් තියෙන්නේ මහ බැංකුවටයි. ස්වාධීන මහ බැංකුවක් තිබෙන රටක ආණ්ඩුවට මහ බැංකුවේ තීරණ වලට සෘජු මැදිහත්වීමක් කරන්න බැහැ. ඒ නිසා, බැංකු හා මුදල් අංශය හොඳින් ක්‍රියාත්මක වේනම් එහි ගෞරවය ලැබිය යුත්තේත්, හොඳින් හොඳින් ක්‍රියාත්මක නොවේනම් එයට වගකිව යුත්තේත් මහ බැංකුව මිස ආණ්ඩුව නෙමෙයි. එය එසේ නොවන්නේ මහ බැංකුව සතුව අවශ්‍ය පමණ ස්වාධීනත්වයක් නොමැති විටෙක පමණයි. 

විශේෂයෙන්ම ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රාජ්‍යයක විදේශ අංශය කෙරෙහි රජයට හෝ මහ බැංකුවට කළ හැක්කේ ඉතා සීමිත බලපෑමක් පමණයි. ගොඩක් දේවල් තීරණය වෙන්නේ රටෙන් බාහිරව. අනෙක් අතට, මූර්ත අංශයේ ක්‍රියාකාරිත්වය රටේ හැම දෙනෙකුගේම ක්‍රියාකාරකම් වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් විදිහට තීරණය වන දෙයක්. මහ බැංකුවට සහ රජයට ඒ මත කළ හැකි බලපෑමද සීමිතයි. 

මූර්ත අංශයේ වඩාත්ම වැදගත් සාර්ව ආර්ථික විචල්‍යය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය සහ එහි වර්ධන වේගය. එහෙමත් නැත්නම් ආර්ථික වර්ධන වේගය. රටක ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ ආණ්ඩුවකට සෘජුව පාලනය කළ හැකි දෙයක් නෙමෙයි. එසේ වුවත්, මෑතකදී මේ ආණ්ඩුව විසින් 7%ක ආර්ථික වර්ධන වේගයක් ඉලක්ක කරන කතාවක් කිවුවා. ඒ වගේ කතා එක්කෝ හිතාමතාම ගැලරිය චූන් කරන්න කියන කතා. එහෙම නැත්නම් වැරදි අවබෝධ වල ප්‍රතිඵල. වෙළඳපොළ ආර්ථිකයක් තිබෙන රටක ආණ්ඩුවකට ඒ විදිහට ආර්ථික වර්ධන වේගය තමන්ට අවශ්‍ය මට්ටමකට ගන්න බැහැ. 

ආර්ථික වර්ධන වේගය ඉලක්ක කරන අදහස එන්නේ පැරණි සමාජවාදී ක්‍රමයෙන්. වඩාත් නිවැරදිව කිවුවොත්, රටේ සමස්ත නිෂ්පාදනයම මධ්‍යගත ලෙස සැලසුම් කළ සෝවියට් සමාජවාදී ක්‍රමයෙන්. ඒ ක්‍රමය තුළ පෞද්ගලික අංශයක් නැහැ. නිෂ්පාදනය සිදු වන්නේ විවිධ රාජ්‍ය ආයතන තුළයි. ඒ නිසා රජයට තමන්ගේ සෘජු පාලනය යටතේ තිබෙන එක් එක් ආයතනයට නිෂ්පාදන ඉලක්ක ලබා දෙන්න පුළුවන්. එහෙම ඉලක්ක ලබා දුන්නත්, අදාළ ආයතන වලට ඒ ඉලක්ක ලඟා කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අඩු වශයෙන් යම් නිෂ්පාදන මට්ටමක් ඉලක්ක කරන්න පුළුවන්. ඒ අනුව, සමස්ත ආර්ථික වර්ධන වේගයද ඉලක්ක කරන්න පුළුවන්. 

නූතන වෙළඳපොළ ආර්ථිකයක් තුළ, රජයකට ඔය වැඩේ කරන්න බැහැ. චීනය වැනි, නිෂ්පාදන ආර්ථිකය තුළ සැලකිය යුතු රාජ්‍ය භාගයක් තිබෙන රටක රජයකට වුවද, සැලසුම් කර තමන්ට අවශ්‍ය වර්ධන වේගයක් ලබා ගන්න බැහැ. රටේ නිෂ්පාදනය තීරණය කරන්නේ තනි තනි ආයතන සහ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් විසිනුයි. මේ එක් එක් ආයතනයට වගේම ඇතැම් විට තනි පුද්ගලයින්ට පවා වර්ධන ඉලක්ක තියෙන්න පුළුවන්. නමුත් ඒ වර්ධන ඉලක්ක අතර පූර්ණ සම්බන්ධීකරණයක් නැහැ. 

මධ්‍යගත සැලසුමක් තුළ වර්ධන වේගය සැලසුම් කළේ වුවද රටක සැබෑ වර්ධන වේගය විවිධ භෞතික කරුණු මත තීරණය වන්නක්. ඒ කරුණු සියල්ල රජයට පාලනය කළ නොහැකියි. ඒ නිසා, ඉලක්කයක් ලඟා කර ගැනීමේ හැකියාව එවැනි ඉලක්කයක් කොයි තරම් ප්‍රායෝගිකද කියන එක මත තීරණය වෙනවා. තනි පුද්ගලයින්ගේ හා ආයතන වල ඉලක්ක සැලකුවත් එය එහෙමයි. 

රටක පවතින ප්‍රායෝගික භෞතික තත්ත්වයන් මත කෙනෙකුට රටේ ආර්ථික වර්ධනය පුරෝකථනය කළ හැකියි. මෙවැනි පුරෝකථන ආසන්නව නිවැරදියි. නමුත් ආර්ථික වර්ධනය හරියටම පුරෝකථනය කරන්න අමාරුයි. 

රාජ්‍යමූල්‍ය හා මුදල් කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කරද්දී ආර්ථික වර්ධනය වැනි විචල්‍ය පිළිබඳ යම් පුරෝකථන අවශ්‍ය වෙනවා. ඒ පුරෝකථන සියයට සියයක්ම නිවැරදි විය යුතු නැහැ. මේවා පුරෝකථන මිසක් ඉලක්ක නෙමෙයි. 

පසුගිය වසර 74 තුළ, ඒ කියන්නේ 1951-2024 අතර, ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 4.1%ක් පමණයි. 1977න් පසු කාලය සැලකුවොත්, මෙම වේගය 4.4%ක්. ඒ කියන්නේ ඉතිහාසය දිහා බැලුවොත් ලංකාවේ දිගුකාලීන වර්ධන විභවය තියෙන්නේ ඔය ආසන්න මට්ටමක. ඊට වඩා වැඩි වර්ධන ඉලක්කයක් නිකම්ම ඉලක්කයක් පමණයි. 

නමුත් ඔය වර්ධන වේගය පවත්වාගෙන ගිහින් තියෙන්නේත් දිගින් දිගටම විශාල වශයෙන් විදේශ ණය අරගන්නා අතරයි. ඒ විදේශ ණය වලින් ලැබුණු තල්ලුව මේ වර්ධන වේග ඇතුළේ තිබෙනවා. රටේ ආර්ථිකය විශාල අර්බුදයකට ගියේ මේ ණය චක්‍රය දිගින් දිගටම පවත්වා ගත නොහැකි නිසා. ආර්ථික අර්බුදයෙන් පසුව, මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණු දිගුකාලීන වර්ධන වේග විභවය 3.1%ක් පමණයි. ඔවුන් එම ඇස්තමේන්තුව තවමත් වෙනස් කර නැහැ. 

පසුගිය (2024) වසරේදී ලංකාවේ ආර්ථිකය 5.0%කින් වර්ධනය වුනා. මේ (2025) අවුරුද්දේ පළමු මාස නවය තුළද 5.0%ක වර්ධනයක් දකින්න තිබෙනවා. නමුත් මේ සාපේක්ෂව ඉහළ වර්ධන වේගයෙන් පෙන්නුම් කරන්නේ පසුගිය වසර වලදී සංකෝචනය වූ ආර්ථිකය නැවත පෙර පැවති මට්ටමට පැමිණීම මිසක් සැබෑ වර්ධනයක් නෙමෙයි. ලංකාවේ ආර්ථිකය 2018 පැවති මට්ටමට නැවත පැමිණෙනු ඇත්තේ ඉදිරි (2026) වසරේදී හෝ ඇතැම් විට ඊටත් පසු (2027) වසරේදීයි. සැබෑ ආර්ථික ප්‍රසාරණයක් දකිනු හැකි වනු ඇත්තේ ඉන් පසුවයි. මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව, ඉන් පසුව ලඟා කරගත හැක්කේ 3.1%ක වර්ධන වේගයක් පමණයි. 

අනෙක් අතට මේ 3.1% වර්ධන වේගය නෛසර්ගික වර්ධන වේගයක්. ඒ වර්ධන වේගය ලඟා කරගැනීම සඳහා රජය විසින් කිසිවක් කළ යුතු නැහැ. රාජ්‍ය මැදිහත්වීම් නිසා කෙටිකාලීනව වර්ධන වේගය ඉහළ යන්න වගේම අඩු වෙන්නත් පුළුවන්. නමුත් එවැනි මැදිහත්වීම් වලින් දිගුකාලීනව වෙනසක් සිදු වන්නේ නැහැ.

ඉහත හේතුව නිසාම, දිත්වා සුළි කුණාටුව වැනි ස්වභාවික ව්‍යසනයකින් ආර්ථික වර්ධනය කෙරෙහි ඇති වන බලපෑමද තාවකාලික එකක්. වැඩිම වුනොත් මාස නවයකින් පමණ එම බලපෑම අවසන් වෙයි. රාජ්‍ය මැදිහත්වීම් වල උදවුවෙන් මේ කාලය තවත් කෙටි වෙන්න පුළුවන්. එසේ වුවද, මාස හයක් පමණ යන තුරුවත් සුළි කුණාටුව නිසා සිදු වූ හානියේ බලපෑම තිබෙනවා. 

සුළි කුණාටුව පැමිණීමට පෙර රජය විසින් ගත් හෝ නොගත් ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ විවේචන තිබෙනවා. ඒ විවේචන පිළිබඳව විචාරයක් කිරීමට තරම් තොරතුරු මා සතුව නැහැ. කෙසේ වුවද, ආපදාවෙන් පසුව සාර්ව ආර්ථික කළමනාකරණය සැලකුවහොත්නම් ආණ්ඩුවට වරදක් කියන්න අමාරුයි. මේ කාරණයේදී ආණ්ඩුව වේගවත්ව කටයුතු කර තිබෙනවා.

හානිය හා අදාළ නිවැරදි හා පරිපූර්ණ තක්සේරුවක් තවමත් සිදු කර නැතත්, මීට පෙර සිදු වූ මෙවැනි ආපදා වල හානිය මත පදනම්ව මෙහි හානිය දදේනියෙන් 2.5%-5.0% අතර විය හැකි බව මූල්‍ය අරමුදල විසින් සලකා තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 2.5-5.0 අතර හානියක්. මෙය ඇතැම් අය සඳහන් කරන ඩොලර් බිලියන 6-7ක හානියට වඩා අඩුයි. මාධ්‍ය වාර්තා අනුව, හානිය පිළිබඳ ලෝක බැංකු තක්සේරුව ඩොලර් බිලියන 4.1%ක් වන අතර එයින් ඩොලර් බිලියන 1.735ක් පමණ යටිතල පහසුකම් වලට සිදු වී ඇති හානියයි. 

ආපදාව වැඩිපුර බලපාන්නේ කෘෂිකාර්මික හා සංචාරක කර්මාන්ත වලටයි. එහෙත් මේ අංශ දෙකටම මාස හයක් ඇතුළත නැවත හිස එසැවිය හැකියි. ඒ අතරවාරයේ ආර්ථික වර්ධන වේගයේ අඩුවක් විය හැකියි. ඉදි කිරීම් කටයුතු ඉහළ යාම නිසා එම අඩුවෙන් කොටසක් නිශේධනය විය හැකියි. රටේ ආර්ථිකය නැවතත් දිගුකාලීන වර්ධන පථයට ලඟා වුවත්, එය සිදු වන අතරවාරයේ පහත යන නිෂ්පාදනය නිසා මම වසරේ අවසන් කාර්තුවේ සහ ඉදිරි වසරේ මුල් කාර්තු දෙකේ වර්ධන වේගයන් සීමා වීම පැහැදිලිව පෙනෙන්න තිබෙන දෙයක්. එහෙත් ඉදිරි වසරේ දෙවන භාගය තුළ නැවත ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙයි. ඒ නිසා, 2027හා ඉන් පසුව රටේ වර්ධන විභවයට මෙම සුළි කුණාටුවේ බලපෑම ඉතිරි වන්නේ නැහැ.

රජය සතුව ප්‍රමාණවත් ද්‍රවශීල රුපියල් සංචිතයක් ඇති බැවින් රුපියල් බිලියන 700ක පමණ රාජ්‍ය මැදිහත්වීම මුදල් වෙළඳපොළ අස්ථාවර කිරීමට හේතුවක් නැහැ. ඉදිරි වසරේ මුල් භාගය තුළ උද්ධමනය ඉහළ යාමක් සිදු විය හැකි වුවත් එම තත්ත්වය දිගුකාලීනව පවතින එකක් නැහැ. ඒ නිසා, මහ බැංකුවට විශේෂ මැදිහත් කිරීම් කිරීමට අවශ්‍ය වන්නේද නැහැ. කෙසේ වුවත්, රටේ විදේශ අංශයට දැනෙන බලපෑමක් තිබෙනවා. 

මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව දිත්වා හානියේ ප්‍රතිඵලයක් ලෙස ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 720කින් හෙවත් දදේනියෙන් 0.7%කින් පමණ ඉහළ යාමට නියමිතයි. ඒ මේ විදිහටයි.

සංචාරක ආදායම් පහත වැටීම - ඩොලර් මිලියන (-350)

ආනයන වියදම් වැඩි වීම - ඩොලර් මිලියන (-420)

ප්‍රේෂණ ඉහළ යාම - ඩොලර් මිලියන 50

එකතුව - ඩොලර් මිලියන (-720)

මේ අනුව, පශ්චාත්-ආපදා සාර්ව ආර්ථික කළමනාකරණය තුළ වඩාත් අසීරුම කාර්යය ඉහත ඩොලර් මිලියන 720ක මුදල සොයා ගැනීමයි. එය සිදු වන්නේ මේ ආකාරයටයි.

මූල්‍ය අරමුදලෙන් - ඩොලර් මිලියන 205

අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින් - ඩොලර් මිලියන 400

විදේශ සංචිත වලින් - ඩොලර් මිලියන 115

එකතුව - ඩොලර් මිලියන 720

මේ අනුව, ඉහත විදේශ විණිමය ලැබීම් වල උදවුවෙන් ආපදාවෙන් පසුව විදේශ අංශයද ස්ථාවරව තියාගන්න පුළුවන්. යම් හෙයකින් විදේශ අංශය අස්ථාවර වුවහොත් ඩොලරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනයද ඉහළ යනවා. ඉතා ඉක්මණින් මූල්‍ය අරමුදලේ සහාය පැතීම මගින් මෙම ආපදාවෙන් පසුව නැවත ආර්ථිකය අස්ථාවර වීමේ විභවය රජය විසින් වළක්වාගෙන තිබෙනවා. 

මෙවැනි තත්ත්වයක් තුළ මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලක වාසිය ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලියේ පිරිවැය මත පමණක් පදනම්ව විනිශ්චය කිරීම නිවැරදි නැහැ. මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ මූල්‍ය අරමුදලෙන් ලැබී ඇති සහතිකය සමඟ ලැබෙන ස්ථාවරත්වයයි. දෙවනුව, අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින් ලැබෙන මුදල් ලැබෙනු ඇත්තේද එකම පැකේජයක කොටසක් ලෙසයි. 

මෙම තත්ත්වය තුළ ඉදිරි දෙවසර සඳහා දැනට මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති විදේශ සංචිත ඉලක්ක ඒ අයුරින්ම ලඟා කරගැනීමට හැකි වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. එම ඇස්තමේන්තු බොහෝ විට ඉදිරි විමර්ශනයේදී යාවත්කාලීන වෙයි. මේ අතර නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝසප් ස්ටිග්ලිට්ස් විසින් ආපදාව හමුවේ ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබා දිය යුතුයැයි යෝජනා කර තිබෙනවා. මගේ අදහස වනුයේ එවැනි ණය සහනයකින් දිගුකාලීනව රටේ ණය තිරසාරත්වය මත ඇති විය හැකි බලපෑම අනුව එවැනි සහනයක් සැබෑ සහනයක් නොවිය හැකි බවයි.

ඉහත විස්තර කළ සැලසුම අනුව ඉදිරි වසරේ ජංගම ගිණුම තුලනය කර ගත හැකිනම් රටේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ අවදානමක් නැහැ. යම් හෙයකින් විදේශ සංචිත වල සුළු අඩු වීමක් සිදු වුවද එමගින් 2022 ආර්ථික අර්බුදය වැනි තත්ත්වයක් නිර්මාණය වන්නේ නැහැ. එම අවස්ථාවේදී ප්‍රශ්නය ඔඩු දිවීමට හේතු වූයේ අවශ්‍ය අවස්ථාවේදී මූල්‍ය අරමුදලේ සහාය නොපැතීම, විණිමය අනුපාතය නිදහස් නොකිරීම, පොලී අනුපාතික වැඩි නොකිරීම වැනි සාධකයි.

10 comments:

  1. රහස් ඡන්ද තියරිය වැඩ නොකරයි.. මාලිමාව කොළඹ නගර සභා අයවැයත් පරදී..

    ජාතික ජන බලවේගය විසින් පාලනය කරනු ලබන කොළඹ මහ නගර සභාවේ ඉදිරි වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 3කින් පරාජයට පත්ව තිබේ. අද දින පැවැති සභා වාරයේදී අයවැය පිළිබඳ ඡන්ද විමසීම සිදු වූ අතර, එහිදී පාලක පක්ෂයට දැඩි පසුබෑමකට ලක් වීමට සිදු විය.

    අයවැය යෝජනාවලියට යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද 57ක් හා යෝජනාවට විපක්ෂව ලැබුණු ඡන්ද 60ක් ලැබින.

    මෙම පරාජයත් සමඟ සභාවේ ඉදිරි පරිපාලන කටයුතු සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.

    පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම ආරම්භයේ සිටම සංකීර්ණ මුහුණුවරක් ගත්තේය.

    මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 119ක් වන අතර, කිසිදු දේශපාලන පක්ෂයකට තනිවම ස්ථාවර බහුතරයක් ලබා ගැනීමට නොහැකි විය.

    මැතිවරණ ප්‍රතිඵල අනුව කිසිදු පාර්ශවයකට 60 සීමාව (බහුතරය) ඉක්මවා යාමට නොහැකි වූ බැවින්, ස්වාධීන කණ්ඩායම් සහ සුළු පක්ෂවල සහාය ලබා ගැනීමට සියලු පාර්ශවයන්ට සිදු විය. ජාතික ජන බලවේගය බලය පිහිටුවනු ලැබුවේද අනෙකුත් පාර්ශව කිහිපයක සහාය මතය.

    බලය ලබා ගැනීමේ අරගලයේදී පක්ෂ කිහිපයක් එක්ව සභාග පාලනයක් පිළිබඳ සාකච්ඡා කළද, නගරාධිපති ධුරය සහ තනතුරු බෙදාගැනීමේදී එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම නිසා දිගින් දිගටම අර්බුද පැනනැගුණි.

    වත්මන් අයවැය පරාජය වීමටද ප්‍රධාන හේතුව වී ඇත්තේ පාලක පක්ෂයට සහාය දුන් ඇතැම් කණ්ඩායම් සහ විපක්ෂය එක්ව අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමයි.

    ReplyDelete
  2. සොබා දමත් දුන්නා හොඳටෝම බැට
    එයින් වැටිණි 'නැඟිටීමක් පැතුව රට'
    පිහිටෙන් කාගෙ කාගෙත් යන්නට පෙරට
    හැකි වේවා සිරිලක් මෑණියන්හට!

    ReplyDelete
  3. තඹුත්තේගම කුමාර ජනාධිපතිව අප්‍රේල් වෙනකොට එළවනවයි කියන්නේ ඇත්තද එකොනෝ

    ReplyDelete
  4. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම නිසා, පසුගිය මාස 15 තුළ ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රු. බිලියන 703 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    2024 ඔක්තෝබර් මස රු. 293 ක් වූ ඩොලරයේ අගය මේ වන විට රු. 312 දක්වා (රු. 19 කින්) ඉහළ ගොස් ඇත. 2025 මැද භාගය වන විට ඇ.ඩො. බිලියන 37 ක් වූ විදේශ ණය ප්‍රමාණයේ වටිනාකම මත එමගින් ඇති කර ඇති අතිරේක බර රු. බිලියන 703 [ඩො.බිලියන 37 වරක් රු. 19] කි.

    ReplyDelete
  5. රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW :

    දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ දැවැන්ත විනාශයෙන් පසු මෙරට යළි ගොඩනැගීමේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ ආධාර පැකේජයක් ලබා දීමට ඉන්දීය රජය තීරණය කර තිබෙන බව සඳහන් වේ.

    එයට අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසා ඇත.

    අද (23) පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා මේ බව සඳහන් කළේය .

    ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් ඊයේ (22) පස්වරුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට පැමිණි අතර, මෙරට රැඳී සිටින කාලය තුළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ජනාධිපතිවරයාට අමතරව අග්‍රාමාත්‍යවරිය, විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම දෙමළ පක්ෂවල නායකයින්ද හමුවීමට නියමිතයි.

    ReplyDelete
    Replies
    1. https://sinhala.lankanewsweb.net/12/23/234516/

      Delete
  6. රට හදන්න සැබැම උවමනාවක් තියන නායකයෙකුට තමන්ගෙ ගෙදර උන්ටත් වැඩියරට ලොකු වෙන්න ඕනා. ගෙදර එකෙක් වරදක් කළත් දඩුවම් දෙන්න ඕනා.. අපි අහලා තියන කතා අනුව ලී ක්වාන් යූ එහෙමයි සිංගප්පූරුව ගොඩ ගත්තෙ..

    හැබැයි රට හදයි කියලා සමහරු හීන දකින අනුර කුමාර රට හදනවා දකින්න එයාලට දිගටම නිදාගෙනම ඉන්න වෙනවා...

    මහා උගතෙක් කියලා ආපු රංවල හොර උපාධිකාරයෙක් කියලා මාට්ටු වුනා. පක්ෂෙ එකා හින්දා no action.

    මාලිමාවට සම්බන්ධ වුන් කුඩු කේස් වලට මාට්ටු වුනාම පැමිණිල්ලකුත් නැතුව පොලීසියෙන්ම හරවලා යැව්වා. පක්සෙ එකා හින්දා no actio .

    රංවල මිනිස්සු හප්ලා අතපය කුඩු කරා. පක්ෂෙ එකා හින්දා no action.

    දණහිස්ස බාල බේත් ගෙනත් මිනිස්සු මැරුවා. රනිල් කෙහෙළියව හිරෙ දැම්මට දණහිස්ස පක්ෂෙ එකා හින්දා no action.

    අදටත් විගණකාධිපති කෙනෙක් නෑ..මහා අවංක නායකයා විවිගණකාධිපති හැටියට සුදුසුකම් නැති තමන්ගෙ එකෙක්ව දාගන්න වලි කන්නෙ ඇයි කියලා අපිට තේරෙන්නෑ..

    තාමත් හිතනවද අනුර රට හදය් කියලා...එහෙනම් 134 අතන ගහන්නෙ...

    ReplyDelete
  7. @ සෙන්නා

    2022දි ඇති වුනු "නායකයො නැති අරගලය"ට පස්සෙ ලංකාවෙ දේසපාලනය ඇතුළෙ මහ විසාල රික්තයක් ඇති වුනා. මේ රික්තය පුරවන්න මෙතුවක් කාලයක් තට්ටු මාරු ක්‍රමේට රට කාපු දෙගොල්ලන්ට බැරි වීමත් එක්කම මිනිස්සු නිරායාසයෙන්ම යොමු වුනේ එතෙක් බලයට ආපු නැති එන් පී පී මාලිමාව NPP එක එහෙම නැත්නම් ජවිපෙ පැත්තට. ඒකෙ අවසාන ප්‍රතිඵලය උනේ දීර්ඝ කාලයක් තිස්සෙ ප්‍රතිපත්තිගරුක, සුපිරිසුදු දේශපාලනයක් බොරුවට idolize කරපු NPP එක බලයට ලංකාණ්ඩුවේ බලය අල්ලපු එක.

    මේ බල හුවමාරුවේ credit එකේ අයිතිය තිබුනෙ NPP එකේ core එක run කරපු ජවිපෙට නෙමේ! කවුරු කෝම ලපං ගැහුවත් ඒක තමා ඇත්ත!

    ඒ බල හුවමාරුවේ credit එක තිබුනෙ 2022 අරගලයට පුළුවන් හැම විදියකින්ම සහය දක්වපු ජනතාවගෙන් බහුතරේකට.

    හැබැයි මේ ආණ්ඩුව බලේ ගත්ත දා ඉඳල හිතුවෙ මිනිස්සු එයාලව බලේට ගෙනාවෙ එයාලගෙ පක්ෂෙ ගැන තිබුනු පැහැදීමකට කියල. ආන්න එතන තමා NPP එක, ඒම නැත්නම් මාළිමාව වරද්ද ගත්ත තැන.

    සහෝදරවරුනි,

    ලංකාවෙ මිනිස්සු කවදාවත් ප්‍රතිපත්ති බලල ආණ්ඩු මාරු කලේ නෑ! උන් ආණ්ඩු මාරු කලේ උන්ට එපා උනාම! 2022 දි මිනිස්සුන්ට එතෙක් පාලන බලේ එහාට මෙහාට මාරු කරගත්තු දෙගොල්ල ගැනම කලකිරුනු නිසයි ඔයාලට බලේ ලැබුනෙ. හැබැයි ඔයාල ඒක කියවගත්තෙ මහ අමුතු විදියකට.

    ඔයාල බලේ ලැබුනු දවසෙ ඉඳල ට්ක ටික ඔයාලගෙ උද්දච්ච කම පෙන්නන්න ගත්ත. ඒත් මිනිස්සු කටපියාන හිටිය!

    ඇයි?

    මිනිස්සුන්ට විකල්පයක් නොතිබුනු නිසා!

    හැබැයි ඕනම දේකට සීමාවක් තියනව වගේම මිනිස්සුන්ටත් ඔයාලගෙ උද්දච්ච කල්කිරියාව දැන් එපා වේගන එන්නෙ.

    රන්වලගෙන් පටන් ගත්ත තැන ඉඳල ඔයාල මාර විදියට මිනිස්සුන්ව මැනිපියුලේට් කරන්න ගත්ත. ආන්ඩුවෙ කවුරුහරි මොකක් හරි මරි වැඩක් කරනකොට ඔයාල කලින් ආණ්ඩුවල වැරදි ලයිස්තුවක් එලියට දාල, මිනිස්සුන් තාවකාලිකව රවට්ටල ජාමෙ බේරගත්ත! හැබැයි කිසි හොරෙක් ඇල්ලුවෙ නෑ🙂

    හැබැයි දැන් ඒ නූල් සූත්තර තවදුරටත් function වෙන්නෙ නැති තැනකට ඇවිල්ල තියනව!

    අහල තියනවද දෙවනි ලෝක යුද්දෙ කාලෙ සිද්ධ උනු මිඩ්වේ සටන (Battle of Midway) ගැන?

    Midway වලදි තමයි, ප්‍රථම වතාවට අඛණ්ඩව පැසිපික් කලාපයේ ඇමරිකානු බලකඳවුරු එකින් එක තමන්ගෙ ග්‍රහණයට ගත්තු ජපන් අධිරාජ්‍ය හමුදාව, ඇමරිකානු හමුදා අතින් ඉතාම නින්දිත විදියට පරාද වෙන්නෙ සහ පැසිපික් යුධ පෙරමුණේ රැල්ල ඇමරිකානුවන්ට වාසි සහගත විදියට හැරෙන්නෙ.

    ජපානය පර්ල් වරායට පහර දෙනකොටම එයාල දැනං උන්න නැගනහිර යුධ පෙරමුණේ සෝවියට් රුසියාවත්, මැන්චූරියාවත් තියාගන එයාලට කවදාවත් ඇමරිකාවත් එක්ක යුද්ධෙකට පැටලිලා දිනන්න බැරි වෙන වග!

    හැබැයි එයාලගෙ ego එක, ඒම නැත්නං උද්දච්චකම ඒ ඇත්ත පිලිගන්න අකමැති උනා.

    දැන්, අශෝක රන්වලගෙ හොර උපාධිය , පර්ල් වරායට පහර දීමටත්, මිඩ්වේ සටන, කොළඹ නගර සභාවෙ අයවැය පරාද වීමටත් ආදේශ කරගන්න. එතනින් එහාට කියල වැඩක් නෑ. තේරුංගන්න එක ඔයාලගෙ වැඩක්.

    ඔයාලගෙ මඩ වලට පල්ලෙහා comment section එක විවෘතයි.

    මේක විතරක් මතක තියාගන්න!

    Your arrogance will be your downfall!

    ReplyDelete
  8. @ Economatta

    ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි... IMF වාර්තාවක් තහවුරු කරයි

    #lakvahini #TopNews #hotnews #srilanka

    ශ්‍රී ලංකා රජයේ පුරෝකථන අනුව ලංකා ආර්ථිකය ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගනු ඇතැයි අපේක්ෂා කරන නමුත් දිට්වා සුළි කුණාටුවෙන් ඇති වුණු බලපෑම හේතුවෙන් අත් කරගත හැකි වන්නේ සියයට 2.9ක මන්දගාමී ආර්ථික වර්ධන වේගයක් බව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල පූරෝකථනය කර තිබෙනවා.

    එමෙන්ම ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නවතම වාර්තාවෙන් පෙන්වා දෙන ආකාරයට මෙරට ජංගම ගිණුමේ හිඟය ඉදිරි මාස 12 දී ඇමරිකානු ඩොලර් මිලියන 720කින් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 22,674කින්) වැඩි වෙනු ඇති බවයි සඳහන් වන්නේ.

    ඇතැම් ආහාර ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් සියයට 30ත් 200ත් අතර ප්‍රමාණයකින් එම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යනු ඇතැයි එම වාර්තාව පවසනවා.

    එමඟින් මේ වන විටත් ශ්‍රී ලංකාවට උද්ධමන පීඩනයක් එල්ල වී තිබෙන බවද ලබන වසරේදී මෙරට සාමාන්‍ය උද්ධමනය සියයට 5.4 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කර එම වාර්තාව පෙන්වා දෙනවා.

    මෙම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ගමනට දිට්වා සුළි කුණාටුව බාධා එල්ල කර ඇති බවත් බාහිර හා ණය තිරසර භාවය පිළිබඳ අවදානම් තත්ත්වය ඉහළ නංවා ඇති බවත් ය.

    මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 11%කට පමණ දායකත්වය ලබා දෙන්නේ කෘෂිකර්මය සහ සංචාරක ව්‍යාපාරයයි. ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට හා සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

    ඒ අනුව ඉදිරියේදී ආහාර ආනයනය කිරීම සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇති අතර කෘෂිකාර්මික අපනයන පහළ යනු ඇති බවයි වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එළැඹෙන අලුත් අවුරුදු සමය වන විට ආර්ථිකය යළිත් කඩා වැටීමට නියමිත බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා.

    මේ ප්‍රවෘත්තිය ගැන ආර්ථික විද්යාව අනුව පැහැදිලි කළ හැකිද?

    ReplyDelete
  9. අන්න චින්තන දර්මදාසය ඉකොනොමැට්ටගෙ නමින් බොරු පෝස්ට් දානවා

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: