Wednesday, January 25, 2017

බාස්මතී කමු සතොසේ!

බාස්මතී කියන්නේ මා කුඩා කාලයේ අසා තිබුණු එහෙත් කා නොතිබුණු හාලකි. ඒ කාලයේ මේ බාස්මතී හාල් ගැන අසා තිබුණේ ඉතා රසවත්, සියුම්, සුවඳැති එමෙන්ම ඉතා මිල අධික සහල් වර්ගයක් වශයෙනි. වැඩිහිටියන්ගේ කතාබහ තුළ අසා තිබුණු මේ පුදුම හාල් වර්ගය කන්නට තබා ආසන්න නගර වල පිහිටි වෙළදසැල් කිසිවක විකුණන්නට හෝ නොතිබුණු බැවින් ඒ කාලයේ බාස්මතී යනු සිතින් සිතාගත යුතු සංකල්පයක් පමණක් විය.

බාස්මතී තබා සම්බා හෝ සුදුහාල් වලින් ඉවූ බතක් වුවද කන්නට ඒ දවස්වල අපට නිතර ඉඩ ලැබුණේ නැත. ඒ, බොහෝ විට ගෙදර ඉදුණේ අපේම කුඹුරු වල වී තම්බා, වේලා, කොටා සකසා ගත් හාල් බැවිනි. ඒ නිසා ඒ දවස් වල සුදු "රටහාලේ" බතක් කන්නට වුවද තිබුණේ ලොකු පෙරේත කමකි. පසුව මේ කුඹුරු මවගේ හා පියාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් අතර බෙදී යාමත්, අපට අයිති වුනු කුඹුරු කෑලි විකුණා දැමීම හෝ පුරන්වීමත් නිසා අපේ පවුලේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හාල් කඩෙන් ගන්නට සිදුවුවත් අපේ ගෙදර ඇත්තන්, විශේෂයෙන්ම මගේ පියා, රතු හාලට ඇබ්බැහි වී සිටි නිසා හැමවිටම වාගේ මෙසේ කඩෙන් ගත්තේත් රතු හාල්ය.

කලක් යද්දී අනෙක් හාල් වර්ග මෙන්ම බාස්මතී හාල්ද අපේ පැත්තේ වෙළඳසැල් වල දකින්නට පුළුවන් වුණත් මේ හාලට විශේෂ ආකර්ශනයක් ඇති නොවුණේ  බාස්මතී හාල් සාපේක්ෂව මිල අධික වූ නිසාම නොවේ. බාස්මතී හාලේ කියන තරම් අමුතු විශේෂත්වයක් නොතිබුණු නිසාය. ඇතැම් විට එවැනි විශේෂයක් නොපෙනුණේ ඒ වන විට අප නිතර ආහාරයට ගත් හාල් වර්ග වලට ඇබ්බැහි වී සිටීම නිසා විය හැකිය.

තාවකාලිකව හෝ ස්ථිරව විදේශ රටක පදිංචියට එන ලාංකිකයින් බොහෝ දෙනෙකු මුල් කාලයේ මුහුණ දෙන 'දැවෙන' ප්‍රශ්නයක් වන්නේ ලංකාවේදී හුරු වී සිටින ආහාර රටාව පවත්වා ගැනීමයි. ජීවත් වන නගරය අනුව, තමන් කැමති හාල් වර්ගය සොයාගැනීම තබා අමාරුවෙන් හෝ කන්නට හැකි හාල් වර්ගයක් සොයා ගැනීම වුවද විශාල අභියෝගයක් වන්නට පුළුවන.

ලෝකයේ සහල් අපනයනය කරන රටවල් අතරින් තෙවන තැන ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙන් සිවු ගුණයක් පමණ සහල් නිපදවන ඇමරිකාව ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවයට ආසන්න ප්‍රමාණයක් සහල් අපනයනය කරයි. එහෙත්, මේ ඇමරිකන් හාල් ලංකාවේ හාල් වලට ඇබ්බැහි වී සිටින අයෙකුට හොඳ ආදේශකයක් නොවේ. එමෙන්ම, අග්නිදිග ආසියාතික රටවලින් ආනයනය කෙරෙන ඇලෙන සුළු සහල් වර්ගද ලාංකිකයෙකුගේ ආහාර රුචිය සමඟ හොඳින් පෑහෙන්නේ නැත.

ඇමරිකාවේ (මෙන්ම වෙනත් බොහෝ රටවලද) ප්‍රධාන නගරයක් ආසන්නව ජීවත් වන අයෙකුට ලංකාවෙන්ම ආනයනය කරන විවිධ සහල් වර්ග මිලදී ගැනීමට අවස්ථාවක් ලැබුණත් ප්‍රත්‍යන්ත ජනපදයක වෙසෙන්නෙකුට බොහෝ විට ඒ වාසනාව නැත. එවැන්නෙකුට, ඇති හොඳම විකල්පය වන්නේ අඟහරු ලෝකයට ගියත් හොයා ගන්නට අමාරු නැති ඉන්දියන් කඩයකින් හෝ තායි, වියට්නාම් වැනි වෙනත් ආසියාතික කඩයකින් ලාංකික රුචියට ගැලපෙන හාල් වර්ගයක් මිල දී ගැනීමයි. මෙසේ තෝරා ගන්නවායැයි කීවත් බොහෝ විට ඇත්තේ එකම විකල්පයකි. ඒ බාස්මතී හාලයි.

අනෙක් හාල් වර්ග කෙසේ වුවත්, බාස්මතී හාල්නම් නොවරදවාම ආසියාතික කඩවලත් බොහෝ විට වෙනත් ඇමරිකන් සුපිරි වෙළදසැල් වලත් විකුණන්නට තිබෙන අතර දිනපතා බත් කන පවුලකට ඇති ලාබම විකල්පය වන්නේද බාස්මතී හාලයි. ලංකාවෙන් ආනයනය කළ රතු කැකුළු හෝ සම්බා වැනි හාලක් හෝ ඉන්දියාවෙන් ආනයනය කළ එවැනි හාලක් මිලදී ගැනීම සඳහා වැය කළ යුතු මුදල බාස්මතී මිල මෙන් දෙගුණයක් පමණ වේ.

කෙසේ වුවද, ලංකාවේ තවමත් බාස්මතී කියන්නේ මැක්ඩොනල්ඩ්ස් කෑම වගේම සුඛෝපභෝගී කෑමකි. තමන්ගේ තරාතිරම පෙන්වන සංකේතයකි.

පසුගිය ලිපියට කමෙන්ටුවක් දමමින් සරස විසින් සටහන් කර ඇති පරිදි පකිස්තානයෙන් ගෙන්වන බාස්මතී කිලෝවක් සතොසෙන් 145-150 කට මිලදී ගත හැකි වුවත් එයම වෙනත් තැන්වල විකිණෙන්නේ රුපියල් 175කටය. ප්‍රභේදය හා වෙළඳ නාමය අනුව
බාස්මතී සහල් වල මිල විශාල ලෙස වෙනස් වේ. කීල්ස් සුපර්හි විකිණෙන බාස්මතී කිලෝ පහේ පැකට්ටුවක මිල රුපියල් 1500-3000 අතර පුළුල් පරාසයක පැතිර ඇත. කෙසේවුවද, සරස සටහන් කර ඇති පරිදි එකම වර්ගයේ බාස්මතී සහල් සතොසේ අඩුවටත් වෙනත් තැන්වල වැඩි මිලටත් විකිණෙන්නේය යන්න සිදුවිය නොහැක්කක් නොවේ.

මෙය පැහැදිලි කළ හැකි පළමු ආකාරය වන්නේ සතොසට පාඩුවට හාල් විකුණන්නට හැකි වුනත්, පෞද්ගලික ව්‍යවසායකයෙකුට එසේ කළ නොහැකිය යන කරුණයි. ලෝකයේ සහල් අපනයනය කරන රටවල් අතරින් සිවුවන තැන සිටින පකිස්ථානයෙන් බාස්මතී ආනයනය කර, සියළු බදු ගෙවා අවසන් කළ විට බාස්මතී කිලෝවක මිල රුපියල් 145ට වඩා අඩු විය හැකිය. උදාහරණයක් ලෙස මේ මිල රුපියල් 130ක් බවත්, සතොසේ බාස්මතී විකිණෙන්නේ රුපියල් 145 බැගින් බවත් සිතමු. එයින් අදහස් වන්නේ සතොස ලාබ ලබන බව නොවේ.

භාණ්ඩයක් මිලදී ගැනීමට හා ප්‍රවාහනයට වැයවන මුදලේ එකතුවත් විකුණුම් මිලත් අතර වෙනස අදාළ ආයතනයේ ලාබය නොවේ. සේවක වැටුප්, ජල හා විදුලි ගාස්තු, වෙළඳ දැන්වීම් ගාස්තු, ගොඩනැඟිලි සඳහා ගෙවිය යුතු කුලී ආදී අමතර වියදම් සියල්ල ආවරණය කරගන්නට වෙන්නේද විකුණුම් මිල හා පිරිවැය අතර වන මේ වෙනසිනි. එමෙන්ම, කිසියම් ව්‍යාපාරයක් සඳහා මුදල් ආයෝජනය කරන අයෙකු එම මුදල් ආයෝජනය නොකර බැංකුව ඉතිරි කළේනම් ලැබෙන පොලිය ව්‍යපාරයේ ලාබ වලට වඩා වැඩිනම් කිසිවෙකු ව්‍යාපාරයක ආයෝජනය නොකරනු ඇත. ඒ නිසා ආයෝජකයන්ට නිසි ප්‍රතිලාභයක් වෙන් කරන්නට වෙන්නේද විකුණුම් මිල හා පිරිවැය අතර වන මේ වෙනසිනි. මේ සියල්ල එකතු කළ විට බාස්මතී කිලෝවක් විකිණිය හැකි මිල රුපියල් 175ක් පමණ වන්නට පුළුවන.

සියළු වියදම් නිසි ලෙස ආවරණය කරගෙන බාස්මතී කිලෝවක් විකිණිය හැක්කේ රුපියල් 175කටනම්, රුපියල් 145-150කට බාස්මතී කිලෝවක් විකුණන සතොස කරන්නේ දාහට අරන් පන්සීයට දීමකි. සතොස වාර්ෂික ලාභ පිරික්සූ විට මෙය පැහැදිලි වේ.

මේ වාර්තාවට අනුව පසුගිය ජූනි මාසයේ පමණක් සතොස විසින් රුපියල් මිලියන 98ක ලාභ වාර්තා කර තිබේ. මෙය වැදගත් පුවතක් වී තිබෙන්නේ සාමාන්‍යයෙන් සතොස එවැනි ලාභ වාර්තා නොකරන නිසාය. එම වාර්තාවටම අනුව 2016 පළමු මාස හය තුළ සතොස ලබා ඇති ලාභය රුපියල් මිලියන 38.2කි. මාස හයක ලාභ ජූනි මාසයේ ලාබ වලට වඩා අඩු වීමෙන් පෙනෙන්නේ පළමු මාස පහ තුළ රුපියල් මිලියන 59.8ක පාඩුවක් වාර්තා වී ඇති බවයි. මාධ්‍ය වාර්තා දකින්නට නොහැකි වීමෙන් පෙනෙන්නේ ජූනි මාසයෙන් පසුව සතොස නැවතත් පාඩු ලබන බව වෙන්නටද බැරිකමක් නැත. එමෙන්ම, 2015දී සතොස ලබා ඇති පාඩුව රුපියල් බිලියන 1.7කි.

මාස හයකට රුපියල් මිලියන 38.2ක ලාබයක් කියන්නේ සතොස වැනි ආයතනයක ප්‍රාග්ධන සංචිතයේ වටිනාකම සැලකූ විට සොච්චමකි. පර්පෙචුවල් ට්‍රෙෂරිස් වැනි සමාගම් එක ගණුදෙනුවෙන් උපයන ආදායම් වලට සාපේක්ෂව නොගිණිය හැකි මුදලකි. එමෙන්ම, 2015 පළමු මාස හය තුළ සතොස පිරිවැටුම වූ රුපියල් බිලියන 13.7න් 0.3% තරම් සොච්චමකි. සතොස බඩු තොගය මුදල් කර ඒ අරමුදල් රජයේ අයවැය හිඟයෙන් කොටසක් පියවා ගැනීමට වැය කළේනම් රජයට ඉතිරි වන පොලී මුදල ඉතා විශාල මුදලකි. මෙය එසේ කරන්නට කරන යෝජනාවක් නොවේ. මා මෙයින් පෙන්වන්නේ සතොස සැබෑ පාඩුව ගිණුම් වල පෙන්වන පාඩුව පමණක් නොවන බවයි. සතොස තුළ හිර වී ඇති විශාල ප්‍රාග්ධනය වෙනුවෙන් නොලැබී ගිය පොලියද මේ පාඩුවට එකතු විය යුතුය.

බාස්මතී කියන්නේ ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ ආහාරයක් නොවේ. බාස්මතී කන්නේ ආදායම් ඉනිමඟේ තරමක් උඩින් ඉන්නා අයයි. සතොස මේ අයට පාඩුවට බාස්මතී විකුණයි. සියළු සෘජු හා වක්‍ර වියදම් පියවාගෙන ප්‍රාග්ධනය වෙනුවෙන් නිසි ප්‍රතිලාභයක්ද ලබමින් බාස්මතී කිලෝවක් විකිණිය හැක්කේ රුපියල් 175 කටනම්, කිලෝවක් රුපියල් 145 බැගින් විකුණන විට සතොසට රුපියල් 30ක අලාභයක් සිදු වේ. බාස්මතී මිල දී ගන්නා පාරිභෝගිකයාට රුපියල් 30ක වාසියක් වේ.

පාරිභෝගිකයාට වාසියක් වේනම් මෙහි ඇති වැරැද්ද කුමක්දැයි කෙනෙකුට අහන්නට පුළුවන. වැරැද්ද වන්නේ මේ රුපියල් 30 වෙනත් අයෙකු විසින් ගෙවිය යුතු වීමයි.

මෙය මේ විදිහට විස්තර කළ හැකිය. බාස්මතී කිලෝවක් රුපියල් 175 බැගින් විකිණුවේනම් සතොසටද වෙනත් ව්‍යවසායකයෙකු ලබන තරමේ ලාභයක් ලැබිය හැකිව තිබුණේය. එසේනම්, එම ලාභය රජයේ ආදායමට එකතු වී රජයේ අයවැය හිඟය පහත බැසිය හැකිව තිබුණි. එසේ වුණානම්, රජයට ණය ගන්නට වෙන්නේ අඩුවෙනි. ඒ නිසා පොලී ගෙවන්නට වෙන්නේද අඩුවෙනි.

කෙසේවුවද, සතොස බාස්මතී කිලෝවක් මිල කර ඇත්තේ රුපියල් 145-150කටය.  ඒ නිසා සතොසට අනෙක් ව්‍යවසායකයින් ලබන නියම ලාභය නොලැබේ. ඒ නිසා රජයේ අයවැය හිඟය ඉහළ මට්ටමක පවතී. මේ හිඟය පියවා ගැනීමට රජය විසින් එක්කෝ ණය ගත යුතුය. නැත්නම් බදු වැඩි කළ යුතුය. ණය ගත් විට පොලියත් සමඟ ආපසු ගෙවිය යුතුය. ඒ සඳහාද බදු වැඩි කරන්නට සිදුවේ. අවසාන වශයෙන් මේ පාඩුව ආවරණය වන්නේ මහජන බදු මුදල් වලිනි.

වැට් වැනි බද්දක් ඉහළ දැමූ විට එය ගෙවන්නේ බාස්මතී කන ඉහළ ආදායම්ලාභීන් පමණක් නොවේ. බාස්මතී කෑම සිහිනෙන් දිව ගෑ සුවඳක් පමණක් වූ අඩු ආදායම්ලාභීන්ටද මේ බරට උරදෙන්නට සිදුවේ. ඒ නිසා, ඉහළ ආදායම්ලාභියෙකු සතොසෙන් රුපියල් 30ක් අඩුවට බාස්මතී කිලෝවක් මිලදී ගන්නා විට ලැබෙන ලාබය වෙනුවෙන් රතු කැකුළු කන සාමාන්‍ය ජනතාවටත් කිසියම් මුදලක් ගෙවන්නට සිදු වේ.

මේ නිරීක්ෂණය තවත් ප්‍රශ්නයක් මතු කරයි. සතොසේ රුපියල් 145-150 මිලකට බාස්මතී විකිණෙද්දී වෙනත් කඩවල එම බාස්මතී හාලම රුපියල් 175 බැගින් විකිණෙන්නේ කෙසේද?

මෙයට පිළිතුර ඇත්තේ ලංකාවේ බාස්මතී කන අය බාස්මතී කන්නේ ඇයි කියන කරුණේය. බොහෝ දෙනෙකු වැඩි මිලක් ගෙවා බාස්මතී කන්නේ එහි ඇති විශේෂ රසයක් හෝ ගුණයක් නිසා නොවේ. බාස්මතී කෑම මඟින් තමන්ගේ සමාජ තත්ත්වය පෙන්වීමටද හැකි නිසාය. මෙසේ බාස්මතී කෑම මඟින් යමෙකුට තමන්ගේ සමාජ තත්ත්වය පෙන්වීමට හැකි වී තිබෙන්නේම බාස්මතී මිල අධික හාලක් බැවිනි. මෙවැනි ආකාරයට සිතන ඇතැම් අයට අනුව, සුපිරි වෙළඳසැලකින් බඩු නොගෙන සතොසේ රස්තියාදු වීම මඟින් කෙනෙකුගේ සමාජ තත්ත්වයට වෙන්නේ හානියකි. ඒ නිසා, බාස්මතී කෑම පමණක් ප්‍රමාණවත් නැත. 'පොඩි ගාණක්' වැඩියෙන් ගියත් සතොසේ රස්තියාදු නොවී සුපිරි වෙළඳසැලකින්ම බාස්මතී මිල දී ගත යුතුය!


(Image: https://realisticcookingideas.com/2013/02/25/basmati-rice-with-spices/)

39 comments:

  1. මම නම් බාස්මතී කන්නේ බිරියානි ඇතුළු අනිත් රෙසිපි වලට වෙන හාලක් හරියන්නේ නැති හින්දාය.

    ReplyDelete
    Replies
    1. මම නම් බාස්මතී කන්නේ//////////රෙන්න පහසු නිසා

      Delete
    2. බිර්යානි වලටනම් හරියන්නේ බාස්මතී තමයි.

      Delete
  2. //පාරිභෝගිකයාට වාසියක් වේනම් මෙහි ඇති වැරැද්ද කුමක්දැයි කෙනෙකුට අහන්නට පුළුවන. වැරැද්ද වන්නේ මේ රුපියල් 30 වෙනත් අයෙකු විසින් ගෙවිය යුතු වීමයි.//
    ප්‍රශ්නෙ තියෙන්නෙ මේක කී දෙනෙක් තෙරුං අරං තියෙනවද කියන එකෙයි.

    ReplyDelete
    Replies
    1. රජය මහජන මුදල් යොදවා ව්‍යාපාර කළ යුතුයයි සිතනවානම් පාරිභෝගිකයාට හොඳ මිලක් ලබා දෙනවාට අමතරව, සැපයුම්කරුවන්ට නියම මිල ගෙවා, සේවකයන්ටද තරඟකාරී වැටුප් ගෙවා පෞද්ගලික ව්‍යවසායකයකු උපයන මට්ටමේ ලාභයක්ද ඉපැයිය හැකි බව පෙන්විය යුතුය. රජය කාර්යක්ෂමයැයි සැලකිය හැක්කේ එසේ කර පෙන්වන්නේනම් පමණි. රජයට පුද්ගලික අංශයට හොඳ තරඟයක් දිය හැකිනම් එය පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමටද උදවු වේ. එහෙත්, ලාභ නොලබමින් හෝ අඩුවෙන් ලබමින් අඩුවට බඩු විකිණීම යනු හොඳ තරඟයක් දීම හෝ කාර්යක්ෂමතාවය නොවේ.

      Delete
  3. ඇමෙරිකාවේ තියන හොඳම බාස්මතී එක එන්නේ ඉන්දියාවෙන් කියලයි මම හිතන්නේ.. අවුරුදු ගානක් රෝයල් බාස්මතී කාල ලංකාවේ රතු හාල් වලට මාරුවුනායින් පස්සේ තමා දැනුනේ බාස්මතී වලින් හුඟක් නරක අතුරුපල ලැබිල තියෙනවා කියල ශරීරයට.. බාස්මතී කන එක නැවත්තුවායින් පසුව දීර්ඝ කාලයක් තිබ්බ බඩ දැවිලි ගැස්ට්‍රයිටීස් අසනීම කොහේ ගියාද කියල නැතුව ගියා.. කොලොස්ට්‍රෝල් මට්ටම සැලකියයුතු තරම් පහත වැටුන..ලංකාවෙන් එන රතු කැකුළු ඇරුනාම ප්‍රාබොයිල් තමයි අපිට ගැලපෙන හාල් වර්ගය කියල තමා අවසාන තීරණය මගේනම්.

    ReplyDelete
    Replies
    1. meka nam boruwak. basmati walin lankawe halwalin wenne nethi wishesha antharawak wenne ne.

      Delete
    2. විවිධ හාල් වර්ග අතර සිරුරට සීනි (සාමාන්‍ය ව්‍යවහාරය අනුව) උරාගන්නා වේගයේ හා ප්‍රමාණයේ වෙනස්කම් තිබිය හැකි බව මගේ අදහසයි. මේ වෙනස්කම් කොතරම් විශාලද යන්න ගැන මට අදහසක් නැත. හාල් වර්ගය මාරු කිරීමෙන් කෙසේ වුවත් බත් කෑම අඩු කිරීමෙන්නම් සීනි හා කොලෙස්ටරෝල් (ට්‍රයිග්ලිසරොයිඩ් සංරචකය) අඩු කර ගත හැකිය. හාල් වර්ග අතර වෙනස්කම් ගැන නිශ්චිතව කියන්නට තරම් දැනුමක් මට නැත. මේ ගැන දන්නා අය කියවන අය අතර සිටින්නට පුළුවන.

      Delete
    3. meka gena thamayi maath kiwwe. basmathi wala ehema GI index eke wishesha wenasak ne. rathu kekuluwalata wada nutrition wala wenasakuth ne. wenasa thiyenne hithe. sticky rice nam sampoornen wenas. GI index eka godak wedi. kewama mahath wenawa wedi.

      Delete
    4. ඉකෝ, මගේ සීමිත දැනුමේ තරමට අඩුම GI දර්ශකය තියන හාල් වර්ගය තමා බස්මති. සාමාන්‍යයෙන් ගත්තොත් දිග හාල් වල GI දර්ශකය, කොට හාල් වර්ග වලට වඩා කොහොමත් අඩුයි. පෝෂණ ගුණය වෙනස් කරුණක් නේ. හාල් වර්ග වල පෝෂණ ගුණය හා කුරුට්ට ඇති හාල් හා නැති හාල් අතර වෙනස තවත් එකක්. විවිධ හාල් අතර පෝෂණ ගුණයේ විශාල වෙනස් කම් නැහැ. කුරුට්ට සහිත හාල් වර්ග වලින් පිසගත් බත් ආහාර මාර්ගයේ වැඩි කලක් දිරවීමට රැඳෙනවා. ඒ කුරුට්ට නිසා. ඒ නිසා බඩගිනි වීමට යන කාලය වැඩි වෙනවා. මෙයින් අප ගන්න ආහාර ප්‍රමාණය (එහෙම ගන්න අතේ හැකියාව තියන විට) අඩු වෙනවා. කුරුට්ටේ ද යම් පෝෂණ ගුණයක් තියනවා තමා. හැබැයි නුතන දිවියේ, තීරණාත්මක වන්නේ කුරුට්ට නිසා ආහාරයට එකතු වන තන්තු.

      Delete
    5. රයිගම්, ඔබේ වටිනා අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි! හාල් ඇටයක ප්‍රමාණය හා කුරුට්ට තිබීම හෝ නොතිබීම ග්ලයිකෙමික් දර්ශක අගයට බලපාන ආකාරය තර්කානුකූලව වුණත් තේරුම් ගත හැකියි. ඇලෙන සුළු සහල් වල ග්ලයිකෙමික් අගය අනෙක් වර්ග වල අගයට වඩා වැඩි බව බොහෝ දුරට තහවුරු වී තිබුණත්, නොඇලෙන සුළු (හෝ ඇලෙන සුළු) වර්ග අතර වෙනස්කම් ගැන සිදුවී ඇති අධ්‍යයනයන් තවමත් ප්‍රමාණවත් නොවන බවයි මට හිතෙන්නේ. බාස්මතී හාල් වල ග්ලයිකෙමික් දර්ශක අගය ගොඩක් අඩු (මතක හැටියට 56 පමණ) බව පෙන්වන එක් අධ්‍යයනයක් මම දැක්කා. නමුත්, එහි සලකා බලා තිබුණේ කුරුට්ට සහිත එක් බාස්මතී වර්ගයක් පමණයි. බාස්මතී කියන්නේ එක් වර්ගයක් නොවන නිසා විවිධ බාස්මතී වර්ග වල මේ අගය සැලකිය යුතු ලෙස වෙනස් වන බවයි පෙනෙන්නේ. ඒ වගේම, වෙනත් කරුණු මත මෙය විශාල ලෙස උච්ඡාවචනය වන බවත් සිතිය හැකියි. උදාහරණයක් ලෙස මිල ගැන සලකා "බ්‍රෝකන් බාස්මතී" වලට මාරු වුන විට තනිකරම වෙනස් ප්‍රතිඵලයක් ලැබීමට ඉඩ තියෙන බව තේරුම් ගන්න අමාරු නැහැ. මම වඩා කැමති බත් ටිකක් බෙරි වී ඇති විටයි. මෙසේ බෙරි කර උයාගත් විට ග්ලයිකෙමික් දර්ශක අගය වැඩිවිය හැකි බව හිතාගන්න පුළුවන්. වඩා විශ්වසනීය ප්‍රභවයක් ලෙස සැලකිය හැකි මේ පර්යේෂණය සඳහා විවිධ හාල් වර්ග 235ක් අධ්‍යයනය කර තිබෙනවා. ඒ අතර නමින් හඳුනාගත හැකි බාස්මතී වර්ග තුනක් තිබෙනවා. ඒවායේ ග්ලයිකෙමික් දර්ශක අගයන් පහළ මැදි (58), මැදි (61) හා වැඩි (74) ලෙස සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා. (පර්යේෂණ පත්‍රිකාව අවසානයේ Supplementary material යටතේ ඇති Excel වර්ක්ෂීට් එක බලන්න.) මේ පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කිරීම සඳහා CSIRO පර්යේෂකයින් කිහිපදෙනෙක්ම මුල්වී සිටින නිසා අනිවාර්යයෙන්ම ඔබ මේ ගැන මට වඩා වැඩි දෙයක් දන්නවා ඇති. ලින්ක් එක දැම්මේ "කෝකටත්" කියන පදනමින් සහ වෙනත් අවශ්‍ය අයෙකුටත් පරිශීලනය කිරීම සඳහා. මෙහි මගේ දැනුමේ තියෙන අඩුපාඩුව වන්නේ හාල් වර්ග සඳහා යොදාගෙන ඇති කේත විකේතනය කිරීම සඳහා මූලාශ්‍රයක් සොයාගත නොහැකිවීම. සමහර විට මේ කේත ඔබට හුරු ඇති. ලංකාවේ ජනප්‍රිය සහල් ප්‍රභේද හෝ ඒවාට ආසන්න ප්‍රභේද මේ ලැයිස්තුවෙන් හඳුනාගැනීමේ හැකියාවක් මට නැහැ.

      Delete
    6. කමෙන්ට් එක ඇතුළේ ලින්ක් එක වැඩ ක‍රන්නේ නැහැ. එය පහතින් දමනවා.

      http://link.springer.com/article/10.1007%2Fs12284-011-9073-z

      Delete
    7. ඔව්, ඉකෝ මා සාමාන්‍යයෙන් GI දර්ශකය වගේ දේවල් සාමාන්‍ය ලිවීමේදී භාවිතාවට ගන්නේ නැහැ. මෙවැනි පාරිභාෂික වචන මගින් කියන්න යන දේ සැඟවී යනවා. රතු බස්මතී ද තියනවා පමණක් නොවේ, සුදු හාල් වලද කුරුට්ට/නිවුඩ්තිඩ ඉතිරි කරන්න පුළුවන්. මෙහි අන්තය වන වල් හාල්ද වෙළඳපොලේ අද තියනවා. ඒවා කෑම හරි අසීරුයි. අද තියන සියලුම කෘෂි භෝග කොතරම් අප විසින් වැඩි දියුණු කර"" තියනවද කියන එකට හොඳ නිදර්ශනයක්/උදාහරණයක් ලෙස මේ වල් හාල්/වි වර්ග ගන්න පුළුවන්.

      මිනිසුන්ගේ ආහාර තේරීම් අමතක කර, ආහාර වර්ග වල "වැරදි" සෙවීමට හා මානව සංහතියේ බඩගින්න නිවීමට විශාල ලෙස හේතු වුන (එමගින් ජනගහණ වර්ධනයද දර්ශීය කෙරුව), කෘෂිකර්මයේ ප්‍රවර්ධනය ගැන පදනමක් නොමැති කතා වලට අද විශාල ඉල්ලුමක් තියනවා.

      Delete
    8. හාල් ගැන නොදන්නා හුඟක් දේවල් දැනගත්ත..
      ඒත් ඒ ඔක්කොම හරි උනාට අවුරුදු හතරක් බෙහෙත් වලින් සුවකරන්න බැරිවුණු බඩේ දැවිල්ල නිකම්ම හොඳවුණා ලංකාවේ රතු හාල් කන්න පටන් ගත්තාම.. දැනුත් ඉඳල හිටලා දවසක් දෙකක් බාස්මතී කෑවොත් නැවතත් බඩේ දැවිලි එනවාමයි.. මම හිතන්නේ බාස්මතීවල තියන මොකක්හරි සංඝටකයක් මගේ ආහාර මාර්ගය එක්ක විරසකයක් ඇති..

      Delete
    9. අදහස් දැක්වීම ගැන නැවතත් ස්තුතියි, රයිගම්! ඒ එක්කම ඔබ කියා ඇති දේ වලට එකඟයි.

      Delete
    10. අම්බලන්ගොඩ, මිනිසුන් කාටත් පොදු දේ වගේම සැලකිය යුතු වෙනස්කමුත් තිබෙනවා. ජීව විද්‍යාත්මක වෙනස්කම් වගේම, සංස්කෘතික හා චර්යාත්මක වෙනස්කම් නිසාත් එකම හාල් වර්ගයෙන් විවිධ පුද්ගලයින්ට ලැබෙන ප්‍රතිඵලයේ වෙනස්කම් තියෙන්න පුළුවන්. බෙහෙත් වර්ග ගත්තත් එහෙමනේ. බොහෝ පර්යේෂණ වලදී වගේම ප්‍රතිපත්ති සකස් කිරීමේදීත් කරන්නේ වැඩි දෙනෙක්ට හා/හෝ සාමාන්‍ය පුද්ගලයෙකුට වැඩි යහපතක් වන දෙය යෝජනා කිරීමයි. මෙය සියල්ලන්ටම එකසේ නොගැලපෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස අපි බත් උයන ආකාරයේ, වෙනත් දී සමඟ මිශ්‍ර කරන ආකාරයේ මෙන්ම කන ආකාරයේත් වෙනස්කම් තියෙනවා. පුරුද්දක් ලෙස හදිසියෙන් බත් ගිල දාන කෙනෙක්ට හා රස කරමින් වැඩි වෙලාවක් තිස්සේ කන කෙනෙකුට එකම ලෙස උයපු බත් වලින් වුනත් ලැබෙන ප්‍රතිඵලය වෙනස් විය හැකියි. ඒ නිසා ඔබට හොඳයි කියා "දැනෙන" දේ තෝරා ගැනීමයි ඔබ කළ යුත්තේ.

      Delete
    11. රයිගම්
      //
      මිනිසුන්ගේ ආහාර තේරීම් අමතක කර, ආහාර වර්ග වල "වැරදි" සෙවීමට හා මානව සංහතියේ බඩගින්න නිවීමට විශාල ලෙස හේතු වුන (එමගින් ජනගහණ වර්ධනයද දර්ශීය කෙරුව), කෘෂිකර්මයේ ප්‍රවර්ධනය ගැන පදනමක් නොමැති කතා වලට අද විශාල ඉල්ලුමක් තියනවා.//
      මෙය තව විස්තර කරන්න පුලුවන්ද?

      Delete
  4. මං නං මුලින් ම බාස්මතී කෑවේ පේරාදෙණියේ දෙවෙනි වසරේ ඉන්නා කාලේ. දඹදෙණිය පැත්තේ බැචෙකු ගේ පවුලේ කුඹුරුවල අස්වැන්න. අපේ ඊරියගම චමරියේ මුල් කාලයේ

    ReplyDelete
    Replies
    1. වසර කිහිපයක කාල පරතරයක් සහිතව වුවත් රසිකගේ බොහෝ අත්දැකීම් මගේ අත්දැකීම් සමඟ සමපාත වේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මායිමක් කිට්ටුව කිට්ටුව ගමක තනිකරම වවන්නේ බාස්මතී බව දෙවන වසරේදී අපේ බැචෙක්ගෙන් දැනගත් විට මට එය දැනුනේ ලංකාවේ චෙරි වත්තක් ගැන අහන්නට ලැබුනාක් මෙන් විශේෂිත තොරතුරක් ලෙසිනි.

      Delete
    2. රසික බත් කනව ?

      Delete
  5. බාස්මතී විවිධ ප්‍රමිති තිබේ. සුපර්මාර්කට්වල තියෙන ටයිගර් වැනි බ්‍රෑන්ඩ් අඩුම ප්‍රමිතියේ ය. මේ දක්වා මා අනුභව කර ඇති හොඳම බාස්මතී වර්ගය indian gate නමින් එන එකකි.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ බොහෝ පැති වල පහසුවෙන් සොයාගන්නට ඇති, මිලෙන් අඩුම (සහ තත්ත්වයෙන්ද බාලම වන්නට ඉඩ ඇති) බාස්මතී වර්ගය උඩ අම්බලන්ගොඩයා විසින් සඳහන් කර ඇති රෝයල් බාස්මතී සන්නාමය යටතේ එන සහලයි. රසික සහ අරුණ විසින් සඳහන් කර ඇති වර්ගද මෙහි ඇත. ඒවා රෝයල් බාස්මතී වලට වඩා තරමක් මිලෙන් වැඩි වර්ගයි.

      Delete
  6. ලංකාවෙත් සංක්‍රමණය කරන අයට කෙලින්ම පුරුදු විය හැකි හාල් වර්ගය තායිලන්තයෙන් එන ජැස්මින් රයිස් යැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ජැස්මින් රයිස් මා ජීවත්ව සිටි බොහෝ පැති වලද පහසුවෙන් මිලදී ගන්නට තිබුණු, බාස්මතී වලටද වඩා මිල අඩු සහල් වර්ගයක් විය. එහෙත්, අප ඇතුළු ලංකාවේ බොහෝ දෙනෙකු මේ සහල් වර්ගය එතරම්ම ප්‍රිය නොකළේ එය තරමක් ඇලෙන සුළු වූ නිසාය. පසුව අපේ මිතුරියක් විසින් පෙන්වා දුන් පරිදි උයන්නට පෙර කිහිප වරක් හොඳින් සේදූ විට මේ ඇලෙන සුළු ගතිය නැති වේ. නැත්නම් අඩුවේ. රසික තායිලන්තයේ ජීවත්ව සිටි නිසා මේ සහලට කලින් පුරුදු වී සිටියා විය හැකිය.

      Delete
    2. In my opinion the closest to SL 'bayya's taste and affordable is the "Asian long-grain" rice.

      Delete
  7. ඉකොනොගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ ලිපියේ අන්තර්ගතය ආර්ථික විද්‍යානුකුලව විග්‍රහ කරලා දෙන්න පුලුවන්ද?
    http://www.yuthukama.com/2015/12/Permit.html

    ReplyDelete
    Replies
    1. එහි මතු කරන කරුණ රසවත්, ඇනෝ. පසුව ලිපියක් ලියන්නම්! මෙය මා කොහොමටත් ලියන්න සිටි දෙයක්.

      Delete
    2. බොහොම තැන්කූ. ඉක්මනින්ම ලියයි කියා බලාපොරොත්තු වෙනවා.

      Delete
  8. ලාභයක් නැතුව බිස්නස් සතොසේ......

    ඉකොන්.....සාමන්‍යයේ බත් සහ කරි කනවානම් අපේ සුදුහාල්, රතු හාල් තරම් වෙන හොඳ ආදේශකයක් මට නම් නැහැ. නමුත් ඉන්න රටේ හැටියට බාස්මති තමයි තියෙන්නේ. ෆ්‍රයිඩ් රයිස්, බුරියානි වගේ දේවල් වලට බාස්මති වඩාත් හොඳ වෙන්නේ , ඒවා අපෙ සුදුහාල වගේ එකට එකතුනොවන නිසා.

    සාමාන්‍යයෙන් මේ රටේ බාස්මති කිලෝ දහයක් පවුම් 13කට වගේ ගන්න පුලුවන්. ආසියානුවන්ගේ සහල් පාරිභෝජනය වැඩිනිසාත්, මුදල් ගැන සිතාත් "බ්‍රෝකන් බාස්මති" කියලා එකක් තියෙනවා. මිළ අරට වඩා ගොඩාක් අඩුයි. හොඳ ඉල්ලුමකුත් තියෙනවා. එකම වෙනස, මේ හාල් ඇටවලින් සීයට පනහක් විතර milling process එකේදි දෙකට තුනට කැඩිලා තියෙන්නේ. මුදල් ගැන හිතුවොත් හොඳ ආදේශකයක්. මේවා හොඳ විකල්ප. ලංකාවේ මුදලාලි අයියලා ගෙන්වන්නේ බ්‍රෝකන් බාස්මතිද දන්නෙත් නැහැ. කලවම් කරනවත් ඇති.

    ReplyDelete
    Replies
    1. ඔය බ්‍රෝකන් බාස්මතී ලන්ඩන් අවට හොඳින් විකිණුන බව මටත් මතකයි. මෙහෙදීනම් මම තවම දැකල නැහැ.

      Delete
  9. බාස්මතී අරහං, කිරි සම්බා පැලෙනකම දෙසාබාතෑකි.

    රටගිය ඇත්තන්ගේ දැවෙන ප්‍රශ්නය රටහාල්(ජැපොනිකා) චොරනොවී උයාගැනීම නොවෙද?

    සතොසේ බාස්මතී අඩුවෙන් දෙන්නේ පාරිභෝගිකයෝ ආකර්ශනය කරගැනීමට වෙන්න බැරිද, ඇරත් ගොඩක් තැන්වල බාස්මතී කියා විකුණන්නේ ලංකා බාස්මතී, ඒවායේ ඇටේ සුදුපාටට හුරුයි, ඉව්වාම දිග අඩුයි, දැන් බෝඩ් කෑලි වලින් ලංකා කෑල්ලත් හැලිලා. ලංකා බාස්මතී මාස කීපයකට පෙර ගියේ රුපියල් 110ට දැන් කීයද මන්දා.

    ReplyDelete
    Replies
    1. සතොසේ බාස්මතී අඩුවෙන් දෙන්නේ පාරිභෝගිකයෝ ආකර්ශනය කරගැනීමට වෙන්න බැරිද?

      එසේ වෙන්නට බැරිකමක් නැත. සතොස පාරිභෝගිකයින් ආකර්ශනය කර ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? බාස්මතී සහ වෙනත් භාණ්ඩ විකිණෙන ප්‍රමාණය වැඩි කර ගැනීමයි. භාණ්ඩ විකිණෙන ප්‍රමාණය වැඩි කරගැනීමට උත්සාහ කරන්නේ ලාභ වැඩි කරගැනීමටය. භාණ්ඩ විකිණෙන ප්‍රමාණය වැඩි වූ විට ආදායම (ලාභය නොවේ) ඉහළ යයි. මෙසේ විකිණෙන ප්‍රමාණය වැඩි වී ආදායම ඉහළ යාම හේතුවෙන් ලාභ කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති වේ. ඒ අතරම, එක් භාණ්ඩයක් වන බාස්මතී වල මිල අඩු කිරීම හේතුවෙන් ලාභ ආන්තිකය (profit margin) පහළ යයි. එයින් ලාභ කෙරෙහි සෘණාත්මක බලපෑමක් ඇති වේ. සමස්තයක් ලෙස ලාභයක් ලැබෙන්නේ මේ දෙකේ ශුද්ධ ප්‍රතිඵලය ධන අගයක්නම් පමණි. ඒ නිසා මෙවැනි උපාය මාර්ගයක් අනුගමනය කිරීමට පෙර නිසි හැදෑරීමක් කළ යුතුය. නැත්නම් වෙන්නේ ශුද්ධ අලාභයකි. මෙහිදී සතොස විසින් එවැනි උපාය මාර්ගයක් අනුගමනය කළේද යන්න හෝ එහි ප්‍රතිඵලය කුමක් වීද යන්න ගැන මා දන්නේ නැත. එහෙත්, ඉතිහාසයේ සහ වර්තමානයේ සතොස ලාභ අලාභ වලින් පෙනෙන පරිදි සමස්තයක් ලෙස සතොස උපාය මාර්ග එතරම් සාර්ථක වී ඇති බවක් නොපෙනේ.

      Delete
  10. ලංකාවේ රයිස් කඩවල නම් බාස්මතී කියල ගහන්නේම කීරි සම්බා..

    රජයට මේ වෙලාවේ සහල් මිල අඩුකරන්න දැනටරජයේ ගබඩා වල තිබෙන මිලදී ගත් සහල්‍තොග සතොස හරහා නිකුත් කරන්නට පුලුවනි. නමුත් රජය එහෙම කරන්නේ නැහැ.. රජයේ තොගත් ඉවර වුනාම රටේ සහල් නිශ්පාදනය නියගය නිසා යථා තත්වයට පත් නොවුනොත් සහල් මත පනවා ඇති සියයට 50ක බද්ද ඉව්ත කරලා සහල්‍ තොග නිදහසේ රටට එන්නට ඉඩ දෙන්නට ඕනි..

    එහෙත් අපේ ජනාධිපති තුමා කියන්නේ ඉන්දුනීසියාවෙන් සහල් ගෙන්වනවා ලු..මිල අඩුකරනවාලු..ඉන්දුනීසියාවෙන් පරිත්‍යාග කරන සහල් රුපියල් 75ට දෙනවාලු..ඇයි එතුමා සහල් මිල අඩුකරන්න තිබෙන වී ගබඩාවල වී පාවිච්චි නොකරන්නේ? ඇිය එතුමා සහල් මත පනවා ඇතිබදු ඉවත් ක‍ොට සහල්‍ වෙලදාම නිදහසේ කරගන්නට ඉඩ නොදෙන්නේ?

    සහල් කියන්නේ ආහාරයක් නෙව..ඉතිං කවුරු කොහොම ගෙන්නුවත් කුනු හාල්‍ ගෙනල්ලා කාටවත් විකුනන්න බෑ... මම නම් හිතන්නේ නියං කාල‍ේදිවත් හාල්‍ව ඕනාම අයෙකුට ගේන්න හැකිවෙන්න බදු අඩුකරලා වෙලදාම නිදහස් කරන්නට ඕනි..එවිට හාල් මිල සීඝ්‍රයෙන් අඩුවුනාම වත් මිනිස්සු ඊලග කන්නේවත් බටු මිරිස් තක්කාලි ඉරිගු වට්ටක්කා වත් හිටවන්න හිතෙන්නේ නැතෑ වී වෙනුවට..

    ReplyDelete
  11. අපි බොහෝ වෙලාවට කන්නේ බ්‍රෝකන් බාස්මතී..ලාබයි, උයන්ට ලේසියි.

    ReplyDelete
  12. ඔය පකිස්තාන් බාස්මතීනම් අන්තිම බාල හාලක්. සමහර හාල් නිකන් නාඩු වගේ. හොඳම බාස්මතී එන්නෙ ඉන්දියාවෙන්, ඒකෙනුත් ඉන්දියා ගේට් ක්ලැසික් එක තමයි හොඳම. ඒ තමයි මම කාල තියෙන දිගම හාල. අපිනම් පොන්නි සම්බා වගේ කීප ගුණයක් ගෙවන්න ඕනෙ මේ බාස්මතීවලට. මේ තියෙන්නෙ ලින්ක් එක,
    https://www.amazon.com/India-Gate-Basmati-Rice-10-Pounds/dp/B00502WJ8Y

    ReplyDelete
  13. ජපානෙ නම් මම දන්න හුඟාක් අයගෙ ආදේශකය තායි හාල්.
    බාස්මතීත් තියෙනවා, මිල දෙගුනයක් විතර වෙනවා.

    ReplyDelete
  14. ලංකාවේ නම් දැන් ගණන් වැඩිම කුරුළුතුඩු, මඩතවාලු සහ සුවදැල් වන ඉපැරණි හාල් වර්ගය. කිලෝ එක රුපියල් 200 කි. දෙයියන්නේ හාල් කැවෙන එක හොඳයි කියා හිතෙන්නේ එතකොටය.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget