වෙබ් ලිපිනය:

Tuesday, January 24, 2017

රතු කැකුළු අසූඅටයි සම්බා අනූපහයි!


මේ දවස්වල හාල් මිල ගැන වැඩිපුර අදහස් පළවේ. මහ බැංකුවේ දත්ත අනුව, ජනවාරි 19 වෙනිදායින් අවසන් වූ සතියේ රතු කැකුළු කිලෝවක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 88 ක්ද, සම්බා කිලෝවක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 95 ක්ද ලෙස පැවතී ඇත.

පසුගිය වසරේ ජනවාරි 21න් අවසන් වූ සතියේදී රතු කැකුළු කිලෝවක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 73 ක්ද, සම්බා කිලෝවක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 98 ක්ද ලෙස පැවතී ඇත. මේ අනුව පෙනී යන්නේ රතු කැකුළු කිලෝවක මිල වසරක් තුළ 20.5%කින් ඉහළ ගොස් තිබියදී, සම්බා කිලෝවක මිල 3.1% කින් සුළු වශයෙන් අඩු වී ඇති බවයි.

ලාංකිකයෙකු වසරකට හාල් කිලෝ 112 ක් පමණ පරිභෝජනය කරයි. සාමාන්‍ය ලාංකිකයෙකුගේ කැලරි අවශ්‍යතාවයෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් ලබාගන්නේ බත් වලිනි. මේ වන විට රටේ වාර්ෂික සහල් ඉල්ලුම මෙට්‍රික් ටොන් මිලියන 2.3 ක් පමණ වේ. පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ලංකාවේ සහල් නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ ගියේය. කෙසේ වුවද, කාලගුණ තත්ත්වයේ වෙනස්වීම් නිසා ඇතැම් වසර වල රටේ අවශ්‍යතාවය රට තුළ නිපදවුණේ නැති නිසා කිසියම් සහල් ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදු විය.

යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු නැගෙනහිර කුඹුරු අස්වැද්දී රටේ සහල් නිපැයුම ඉහළ යාම නිසා 2009 වසරේ සිට ලංකාවේ සහල් නිෂ්පාදනය සහල් ඉල්ලුම ඉක්මවන්නට විය. 2008 වසරේදී ඇති ලෝක ආහාර අර්බුදය හා ධාන්‍ය මිල ඉහළ යාම හමුවේ ලංකාවේ සහල් මිල විශාල ලෙස ඉහළ යාමත්, ඒ හේතුවෙන් උද්ධමනය විශාල ලෙස වැඩි වීමත් සලකා බලමින් රජය විසින් සහල් නිෂ්පාදනය දිරිමත් කිරීමද ඊට හේතු වන්නට ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2009 වසරේදී රටේ වාර්ෂික අවශ්‍යතාවයෙන් 7.3%ක් පමණ වූ අතිරික්ත සහල් සංචිත ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් 2013 අවසානය වන විට 42.2% මට්ටම දක්වා වැඩි විය. මෙසේ සැපයුම ඉල්ලුම ඉක්මවීම නිසා දේශීය සහල් මිල අඩු මට්ටමක පැවතුණේය.

කෙසේ වුවද, 2014 වසරේදී රටේ සහල් නිෂ්පාදනය පහත වැටුණු නිසා මේ සංචිත ප්‍රමාණය රටේ වාර්ෂික අවශ්‍යතාවයෙන් 29.6% මට්ටමට පහත වැටුණේය. 2015 වසරේද සහල් අතිරික්තයක් පැවතියත් මේ වන විට සහල් ආනයනය නොකර රටේ අවශ්‍යතාවය පිරිමසාගත නොහැකි තරමට සංචිත පහත වැටී ඇති බව පෙනේ.

රතු කැකුළු ලංකාවේ, විශේෂයෙන්ම දකුණේ, ඉතා ජනප්‍රිය සහල් ප්‍රභේදයකි. පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ලංකාවේ රතු කැකුළු හාලේ ජනප්‍රියතාවය සීඝ්‍රයෙන් ඉහළ ගියේය. ලෝකයේ ජනගහණයෙන් අඩක පමණ ප්‍රමාණයකගේ ප්‍රධාන ආහාරය සහල් වුවත්, රතු කැකුළු හාල වෙනත් කිසිම රටක ලංකාවේ තරම් ජනප්‍රිය නැති බව මගේ අදහසයි. ලංකාවේ රතු කැකුළු අවශ්‍යතාවය මුළුමනින්ම වාගේ නිපදවෙන්නේ රට තුළ විය යුතුය. තරමක් මහන්සි වුනොත් ඕනෑම රටක නිපදවන ආහාරයක් මිල දී ගැනීමට බැරිකමක් නැති ඇමරිකාවට ලංකාවේ රතු කැකුළු වලට හරියටම සමාන ආනයනික හාලක් ලංකාව හැර වෙනත් රටකින් පැමිණ තිබෙනු මා දැක ඇත්තේ මැඩගස්කරයෙන් පමණි. මෙයට සාපේක්ෂව සම්බා හාල, වෙනත් රටවලද නිපදවෙන වැඩි අපහසුවකින් තොරව ආනයනය කළ හැකි සහල් ප්‍රභේදයකි.

බත් කෑම ඇබ්බැහියකි. බත් කා පුරුදු වූ කෙනෙකුට බත් නැතුවම බැරිය.එයට අමතරව බොහෝ දෙනෙකුට තමන් කන්නට පුරුදු වී සිටින හාල් වර්ගයද නැතුවම බැරිය. රතු කැකුළු වැනි රට තුළ නිපදවෙන හා රට තුළම පරිභෝජනය කෙරෙන සහල් වර්ගයක මිල බොහෝ දුරට තීරණය වන්නේ රටේ එම සහල් වර්ගයේ නිෂ්පාදනය මතය. මෙවැනි සහල් වර්ගයක් ආනයනය කිරීමේ හැකියාව ඉතා සීමිත වන අතරම, අපනයන ඉල්ලුමක්ද නැති වීම එයට හේතුවයි. දේශීය සහල් නිෂ්පාදනය ඉහළ යන විට රතු කැකුළු වැනි සහලක මිල විශාල ලෙස පහත වැටේ.

සම්බා වැනි සහලක තත්ත්වය මෙයට වෙනස්ය. ලංකාවේ නිපදවන සම්බා සහල් වලට ඉතා සමාන ආදේශක ආනයනය කිරීමේ හැකියාවක් ඇති නිසා, 2008දී මෙන් ලෝක මට්ටමේ ආහාර හිඟයක් නොපවතීනම්, සම්බා හාල් වල මිල ස්ථාවරව තබාගැනීම අපහසු නැත.

මේ දිනවල කාලගුණික හේතු මත ලංකාවේ සහල් නිෂ්පාදනය පහත වැටී ඇත. සහල් සැපයුම පහත වැටුණද ලංකාවේ සහල් වලට ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස අඩු නොවේ. මේ ඉල්ලුම සැපිරීමට සහල් ආනයනය කළ හැකි වුවත්, එසේ ආනයනය කළ හැක්කේ රටේ වැඩි දෙනෙකු කැමැත්තක් දක්වන සහල් ප්‍රභේදම නොවේ. ඒ නිසා ආනයනික සහල් සැපයුම එක් වූ විට සමස්තයක් ලෙස සහල් ඉල්ලුම හා සැපයුම අතර හිඟය නැති වී ගියත්, රතු කැකුළු ඉල්ලුම හා සැපයුම අතර හිඟය අඩු නොවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රතු කැකුළු මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

වසරකට පෙර සම්බා කිලෝවක මිල රතු කැකුළු කිලෝවක මිලට වඩා රුපියල් 25කින් වැඩි විය. බොහෝ විට රතු කැකුළු කිලෝවක මිල සම්බා කිලෝවක මිලට වඩා අඩුය. එයට හේතුව නිෂ්පාදන වියදමේ වෙනසක් විය හැකිය. රතු කැකුළු වලට ඇති කැමැත්ත නිසා රතු කැකුළුම කන අයට අමතරව මේ මිල වෙනස නිසා රතු කැකුළු ආහාරයට ගත් අයද සිටින්නට ඇත. එවැනි අයට රතු කැකුළු වෙනුවට සම්බා සහල් ආදේශ කර ගැනීම අපහසු නැත. කෙසේ වුවද, රතු කැකුළු මිල සම්බා මිලට ආසන්න වන තුරු එය සිදු නොවේ.

රතු කැකුළු වලට ඇබ්බැහි වී සිටින අය මිල ඉහළ ගියද සිය තෝරා ගැනීම වෙනස් නොකරති. එහෙත්, සම්බා වලට කැමති, මිල වෙනස නිසා රතු කැකුළු පරිභෝජනය කරන අය මේ මිල වෙනස කිසියම් මට්ටමකට පැමිණි වහාම රතු කැකුළු වෙනුවට සම්බා ආදේශ කරගනිති.

නිෂ්පාදනය පහත වැටීම හා ආනයනික රතු කැකුළු සැපයුමක් නැති වීම හමුවේ රතු කැකුළු සැපයුම විශාල ලෙස අඩු වී ඇති නිසා මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. එහෙත්, ආනයනික සම්බා සහල් මඟින් දේශීය සැපයුමේ අඩුව පුරවන නිසා සම්බා සහල් මිල ස්ථාවරව පවතී.


(Image: http://images.desigrub.com/tag/eggplant-curry/)

8 comments:

  1. ඇමෙරිකාවෙත් රතු කැකුළු ගන්න තියෙනවද?

    ReplyDelete
    Replies
    1. අප ජීවත්වන හරියේ ලංකාවෙන් එන රතු කැකුළු, රතු සම්බා, සුදු සම්බා වර්ග ගන්න තියෙනවා.

      Delete
  2. රතු බාස්මතී වර්ගත් ලංකාවෙන් විතරයි නේද එන්නේ!

    ලංකාවෙන් ගෙනා සුදු සුවඳැල්, කිරි සම්බා සහ වෙනත් විවිධාකාර නම ඇති රතු හාල්වර්ග (පැරණි ප්‍රභේද) සිඩ්නිවල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. රතු බාස්මතී කියා කියන එතරම්ම රතු නැති දුඹුරු පැහැති වර්ගය විතරයි මම දන්නේ. ඒවානම් ඉන්දියාවෙන්/ පකිස්ථානයෙන් එන්නේ. සිඩ්නි වල තියෙන තරම් වර්ග අපට නැහැ.

      Delete
  3. කේරළ මට්ටා රයිස් කියන එක ටිකක් රතු කැකුළු වගේ වර්ගයක්ද...

    ReplyDelete
    Replies
    1. ඒක ඇට ලොකුයි සහ ටිකක් රෝස පාටට හුරුයි නේද?

      Delete
  4. පකිස්තානයෙන් ගෙන්වන බාස්මතී රු.175 කි..එයම සතොසෙන් 145 -150 ක ට මිලදී ගත හැකිය!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: