Thursday, January 5, 2017

ඇමරිකාවේ කුරුල්ලෝ

පුළුල් පරාසයක පැතිරුණු භූ විෂමතාවන් හා කාලගුණ විෂමතාවන් සහිත විශාල රටක් වන ඇමරිකාවේ නිදැල්ලේ වෙසෙන ආවේණික හා සංක්‍රමණික කුරුල්ලන් මෙන්ම වෙනත් රටවලින් රැගෙන විත් ඇති කරන කුරුළු විශේෂ විශාල ගණනක් වාසය කරති. මේ අතරින් විවිධ පාත්තයින් වර්ග ප්‍රාන්ත බොහොමයක සුලභව දැකිය හැකිය. මේ පාත්තයින් රංචු පැද්දි පැද්දී පාර මාරුවීම ඇතැම් දිනවල දැකිය හැකි මනහර දසුනකි. පාත්තයින් කණ්ඩායම් මෙසේ පාර මාරුවී අවසන් වන තුරු රියදුරෝ සිය වාහන නවතාගෙන බලා සිටිති.

ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත වල නිවාස පිහිටි ප්‍රදේශ වල (residential areas) කෘතිමව සකස් කළ කුඩා පොකුණු දක්නට හැකිය. මේ පොකුණු වල බොහෝ විට පාත්තයින් හා හංසයින් පීනමින් සිටිනු දැකිය හැකිය. ඇමරිකාවේ උතුරෙන් පිහිටි ප්‍රාන්ත වල මේ දිනවල ඇත්තේ සෘණ උෂ්ණත්වයකි. මේ වෙලාවේ මගේ නිවස පිහිටි ප්‍රදේශයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 12ක් හෙවත් සෙල්සියස් අංශක සෘණ 11කි. මේ කාලයට පෙර කී පොකුණු මතුපිට අයිස් තට්ටුවක් මිදී ඇති නිසා පීනන පාත්තයින් වෙනුවට දකින්නට ලැබෙන්නේ ඇවිදින පාත්තයින්ය.

පාත්තයින් වර්ග මෙන්ම ගේ කුරුළු වර්ග හා පරෙවි වර්ගද බොහෝ ප්‍රදේශ වල සිටිති. ඔවුන් බොහෝ විට දකින්නට ලැබෙන්නේ ශීත කාලය අවසන් වේගෙන එද්දීය. එමෙන්ම, උකුසු වර්ගද බොහෝ විට දැකිය හැකිය.ලෝකයේ සිටින 9800ක් පමණ වන කුරුළු විශේෂ අතරින් 12%ක් පමණම ඉදිරි සියවසක කාලය තුළ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටිති.

අද (ජනවාරි 5) ඇමරිකාවේ ජාතික කුරුළු දිනයයි. සති තුනක කාලයක් පුරා පැවැත්වෙන ඇමරිකාවේ වර්ෂාවසාන කුරුළු සංගණනයේ මස්තකප්‍රාප්තිය වන්නේද මේ දිනයයි. ජනතා සහභාගිත්වයෙන් ස්වේච්ඡාවෙන් කෙරෙන මේ සංගණනය ඇමරිකාවේ මෙන්ම කැනඩාවේ හා තවත් ලතින් ඇමරිකානු හා කැරිබියන් රටවල් ගණනාවක පැවැත්වේ. පසුගිය වසරේදී ඇමරිකාවේ පමණක් ස්වේච්ඡා නිරීක්ෂකයින් 76,669ක් මේ කටයුත්තට දායක වූ අතර කුරුල්ලන් 54,531,408ක් ගණන් ගැනිණි. මේ අවුරුද්දේ සංඛ්‍යාලේඛණ තවමත් සාදා අවසන් කර නැත.

ඇමරිකාවේ කුරුල්ලන් හා කුරුළු සංගණනය ගැන:

http://www.audubon.org/

ජාතික කුරුළු දිනය ගැන:

http://www.nationalbirdday.com/

14 comments:

  1. අලුත් අවුරුද්දෙ අලුත් මෙනු එකක් වගේ. ගුඩ්.

    ReplyDelete
    Replies
    1. අළුත් දේවල් කරන්න හැකිනම් හොඳයි, ඇනෝ. ඒ වුනත් නිකමට වගේ පටන්ගත් මේ වැඩේ දිගටම ඇදී යද්දී කාලයේ වියදම වැඩි වැඩියෙන් දැනෙනවා. ඒ නිසා කාලය අඩුවෙන් යොදවමින් වුවත් මෙය නැවතෙන්න නොදී කරගෙන යන්නයි උත්සාහ කරන්නේ.

      Delete
  2. අපට සෙන්ට්‍රිග්රෙඩ් අංශක 30 ක් වගේ. මේ දිනවල පාත්තයන්ට පැටවූ ලැබිල. පටන් ගැන්මේදී 10-12 ක් පමණ වන මේ පැටවුන්, අවසානයේදී 2-3ට බහිනවා. ස්වභාවිකවරණය වුවත්, කුඩා පැටවුන් දකිනා විට අම්මල උන්ව රැක ගන්න හදන මහන්සිය පුදුම හිතෙනවා. අව්වෙන් රැක ගන්න පවා.

    ReplyDelete
    Replies
    1. පැටවු සමඟ ඇවිදින පාත්ත අම්මලා වරින් වර දැක්කත් මේ පැටවූ ගණන අඩු වෙන එක ඔබ මෙන් හොඳින් නිරීක්ෂණය කරල නැහැ, රයිගම්. සමහර විට ඉදිරියේදී එය ඉබේම වෙයි. උඩ පින්තූරයේ ඉන්න මිතුරියනම් වසර දෙකක්ම උණුසුම් කාලයේ අපව විසිට් කළා. ඒ දෙවරම එකම තැන වරකට දෙකක් හෝ තුනක් බැගින් බිත්තර දමා රකිමින් දෙවරකට පැටවු පහක් හෝ හයක් බැගින් හදා ඉගිලෙන්න හැකි වන තුරු බලාගත්තා. ඇතැම් විට මේ පැටවුන්ගෙන් අන්තිමට පැටවූ බිහිකරන වයස දක්වා ඉතුරු වෙන්න ඇත්තේ කිහිප දෙනෙක් පමණක් වෙන්න ඇති. මේ කාලයට තිබුණු ලොකුම කනස්සල්ල වුනේ තණකොළ කපන යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න සිදුවීම. අම්ම්ටනම් එහි ගාණක් නොතිබුණත් පැටවුන්ට මෙය මහා භයංකර දෙයක් මෙන් දැනෙන්න ඇති.

      //ස්වභාවිකවරණය වුවත්, කුඩා පැටවුන් දකිනා විට අම්මල උන්ව රැක ගන්න හදන මහන්සිය පුදුම හිතෙනවා. අව්වෙන් රැක ගන්න පවා.//මේකත් ස්වභාවිකවරණයේම ප්‍රතිඵලයක් නේද? පැටවුන් හොඳින් රැකගන්න අම්මලාගේ දරුවන් ඉතිරි වෙන්න තියෙන ඉඩකඩ එහෙම නැති අම්මලාගේ දරුවන් ඉතිරි වෙන්න තියෙන ඉඩකඩට වඩා වැඩි නිසා.

      Delete
  3. ඇයි ඇමරිකා එ.ජ. තාමත් රාත්තල්, සැතපුම්, ගැලුම් වැනි "ඉම්පීරියල්" මිනුම් භාවිතා කරන්නේ? ඒ නිව් ඉම්පීරියලිසම් ද?

    ReplyDelete
    Replies
    1. මේවා වෙනස් කරන්න එකවර විශාල වෙනසක් කළ යුතුයි. සැතපුම් කිලෝමීටර් කිරීම වැනි දෙයක් ගත්තොත් මාර්ග, වාහන, රථවාහන නීති ආදී කොයි තරම් දේ වෙනස් කළ යුතුද? මම හිතන හැටියට ඒ සඳහා වැය කළ යුතු මුදල්මය හා මුදල් නොවන පිරිවැය වලට සාපේක්ෂව ලැබෙන වාසියක් නැහැ.

      Delete
  4. මෙහෙ නම කොහොමද දන් නෑ..මම ඉන්න වගුරු බිම් කිට්ටුව.. කැළණිය දිහා..මේ හරියේ වගුරු බිම ගොඩකරනවා හිමින් හැරේ..දැන් කුරුල්ලන්ට ඉන්න තැනක් නැහැ මිනිස්සු ඒවා ගොඩකරන නිසා..

    ReplyDelete
    Replies
    1. කොළඹ අවට දැන් නිතර දැකිය හැකි කුණු කන්න එන කොහාලා මෙහි ප්‍රතිඵලයක්. මේ ගැන මම කලකට පෙර ලිවුවා. https://economatta.blogspot.com/2015/12/blog-post.html

      Delete
  5. කොළඹ කුරුල්ලො...
    කාක්කො සහ වවුලො

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම නැහැ, උඩුවා. කාක්කෝ හා වවුලෝ ඇරෙන්න තව කුරුල්ලෝ විශාල ගණනක් කොළඹ නාගරික ප්‍රදේශ වලදී වුවත් දැකගත හැකියි. එයට ඇහැ පුරුදු වී තිබීමයි අවශ්‍ය. මම කියනවට සැලකිල්ලෙන් බලන්න.

      Delete
  6. කුරුළු සංගණනයත් නියමයි.කාලකෙට කලින් ලංකාවේ අලි සංගණනයක් එහෙමත් කෙරුවා මතකයි.

    ReplyDelete
    Replies
    1. මෙහි විශේෂත්වය වන්නේ, මනෝජ්, පෞද්ගලික සම්බන්ධතා නැති හැත්තෑපන් දාහකට අධික විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් තමන්ගේ කාලය හා ශ්‍රමය යොදවමින් මෙවැනි කටයුත්තක් කිරීමයි. මෙය මෙවර සිදුවන්නේ 117වෙනි වරටයි. මෙයින් ඔවුන්ට ලැබෙන මුදල් වාසියක් නැහැ. තනි පුද්ගලයින්ගේ සතුට වෙනුවෙන් කරන දෙයක්. මෙවැනි දේවල් අලි සංගණනය මෙන් රජය විසින් සැලසුම් කර පොදු අරමුදල් වැය කර කිරීම අවශ්‍යම දෙයක් නෙමෙයි. කුරුළු සංගණනයට කාලය, ශ්‍රමය හා මුදල්යො දවන්නේ කුරුල්ලන්ට කැමති, මේ කටයුත්තෙන් සතුටක් ලබන අයයි. කුරුල්ලන් ගැන හැඟීමක් නැති අයගේ මුදල් ඒ සඳහා බලෙන් ගන්නේ නැහැ. අලි ගැන බැලීම රජයට භාර දුන් විට අලි සංගණන වැනි දේවල් වලට අලින්ට අකැමැති අයගේ මුදලුත් බලෙන් යෙදවෙනවා.

      Delete
  7. කුරුල්ලන්ට මං ගොඩක් කැමතී... අපූරු සටහන... සංගලනයේ විස්තරත් ලියන්න...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔබ වැනි අය වෙනුවෙන් මමත් රවී මෙන් පින්තූර විස්තර කළ යුතුයි. උඩ පින්තූරය අපේ නිවස අසල පඳුරක කූඩුවක බිත්තර රකින පරවි වර්ගයට අයත් කිරිල්ලියකගේ. සංගණනය ගැන වැඩි දෙයක් ඉඩක් ලැබුණොත් ලියන්නම්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget