අපට එදිනෙදා හමු වන තොරතුරු අප විසින් "ඇත්ත" හා "බොරු" ලෙස වර්ග කර ගන්නවා. බොරු අර්ථ දැක්වෙන්නේ කිසියම් ඇත්තකට සාපේක්ෂවයි. ඒ නිසා, බොරු පවතින්නනම් ඇත්ත කියා දෙයක් පැවතිය යුතුයි.
ගැඹුරින් විග්‍රහ කළොත්, ඇත්ත ලෙස හඳුනා ගන්නා බොහොමයක් දේවල් කිසියම් අදියරකදී බොරු වෙන්න පුළුවන්. "ඇත්ත" හා "බොරු" පිළිබඳව එවැනි දාර්ශනික මට්ටමේ විග්‍රහ වලට නොගියොත්, සම්මුතිය තුළ ඇත්ත කියා දෙයක් තිබෙනවා. පොල් ගහක් පොල් ගහක් මිසක් පුවක් ගහක් වෙන්නේ නැහැ. පොල් ගහකට පුවක් ගහක් කිවුවොත් එය බොරුවක්.
රටින් රටට, සමාජයෙන් සමාජයට සම්මුති වෙනස් වෙනවා. ඒ වගේම එකම රටක එකම සමාජයක වුවත් කාලයෙන් කාලයට සම්මුති වෙනස් වෙනවා. එසේ වෙද්දී ඇත්ත කියන දෙයත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් කිසියම් සමාජයක කිසියම් අවස්ථාවකදී සම්මුතිය තුළ ඇත්ත සේ පිළිගැනෙන දේවල් තිබෙනවා. ඒ නිසාම එවැනි සම්මුතීන්ට සාපේක්ෂව බොරු කියා දේවලුත් තිබෙනවා.
පොදුවේ කියපු මේ දේවල් ආර්ථිකය හා අදාළ දත්ත, සංඛ්‍යාලේඛණ, ප්‍රකාශ හා තොරතුරු ආදියටත් අදාළයි. ඒ නිසා, ආර්ථිකය හා අදාළ දත්ත, සංඛ්‍යාලේඛණ, ප්‍රකාශ හා තොරතුරු අපට "ඇත්ත" හා "බොරු" ලෙස වැඩි අපහසුවක් නොමැතිව වර්ග කරන්න පුළුවන්.
මේ ප්‍රවර්ග දෙකට අමතරව "ඇත්ත" හා "බොරු" අතර "දුස් තොරතුරු" කියා දෙයකුත් තිබෙනවා. ඇතැම් විට මෙවැනි දුස් තොරතුරක් පැහැදිලි බොරුවක් වෙන්නත් පුළුවන්. නමුත් හැම දුස් තොරතුරක්ම පැහැදිලි බොරුවක් වෙන්නේ නැහැ. ඊට හේතුව, මුලින් කී පරිදි, බොරුව අර්ථ දැක්විය හැක්කේ ඇත්තට සාපේක්ෂව නිසා. ඒ නිසා, ඇත්ත පැහැදිලි නැත්නම්, දුස් තොරතුරක් බොරුවක් කියා තහවුරු කරන්න අමාරුයි. මේ නිසාම, පැහැදිලි බොරු වලට සාපේක්ෂව එසේ නොවන දුස් තොරතුරු වලට පවතින්න පහසුයි.
ආර්ථිකය හා අදාළව විවිධ පාර්ශ්ව විසින් දුස් තොරතුරු පැතිරවීම විරල දෙයක් නෙමෙයි. මෙසේ කරන්නන් අතර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්, ප්‍රධාන මාධ්‍ය, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ පාර්ශ්ව ඉන්නවා. මෙම සටහනෙහි අරමුණ වන්නේ ආර්ථිකය හා අදාළ වන එවැනි දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම කිහිපයක් පිළිබඳව නිදර්ශන සහිතව පැහැදිලි කිරීමක් කිරීමයි.
ඒ එක්කම තවත් දෙයක් විශේෂයෙන් කිව යුතුයි. විවිධ පාර්ශ්වයන් විසින් අනාගතය සම්බන්ධව පුරෝකථන සිදු කරනවා. එවැනි පුරෝකථන හරියන්න හෝ වැරදෙන්න පුළුවන්. වැරදෙන පුරෝකථන කියන්නේ බොරු හෝ දුස් තොරතුරු නෙමෙයි. ඒ වගේම, කවුරු හෝ කෙනෙක් තමන් විසින් අනාගතයේදී කරන්නට හෝ නොකරන්නට අදහස් කරන දේවල් පිළිබඳව කලින් කියන දේවල් බොරු හෝ දුස් තොරතුරු සේ වර්ග කරන්න බැහැ. ඒවා වර්ග කරන්නට සිදු වන්නේ "වැරදුනු පුරෝකථන" හෝ "කඩ කළ පොරොන්දු" ලෙසයි.
මෙහි සඳහන් ප්‍රවර්ග සඳහා නිදර්ශන සපයා ගැනීම පිණිස මා විසින් උපයෝගී කර ගන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දෙසැම්බර් 19 දින පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවයි. මෙය රටේ ආර්ථිකය හා අදාළව තීන්දු තීරණ ගන්නා මුදල් ඇමති ධුරයද දරන රාජ්‍ය නායකයෙකු විසින් පාර්ලිමේන්තුවේදී කළ නිල ප්‍රකාශයක් වීම ඊට හේතුවයි. මෙමගින්, අදාළ කතාවේ ඇති දුස් තොරතුරු නිරාවරණය කිරීමක්ද සිදු කෙරෙන නමුත් සටහනේ මූලික අරමුණ එය නෙමෙයි. සම්පූර්ණ කතාව අවශ්‍ය අයෙකු සිටීනම්, එය ජනාධිපති ලේකම් කාර්යාල වෙබ් අඩවියේ තිබෙනවා.
1. "ලංකා ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ මේ වසරේ ලැබෙනවා."
මෙම ප්‍රකාශය කරන අවස්ථාව වන විට මෙම වසර අවසන් වී නැහැ. ඒ වන විට දන්නා තොරතුරු අනුව, වසරේ පළමු මාස 11 ඇතුළත ඩොලර් මිලියන 7,197.1ක ප්‍රේෂණ රටට ලැබී තිබෙනවා. තවමත් මෙම වසර අවසන්ව නොමැති නිසා මේ වසරේ ලංකාවට ලැබෙන්නට නියමිත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය පිළිබඳව මේ මොහොත වන තුරුද අප දන්නේ නැහැ.
මීට පෙර 2016 වසරේදී ඩොලර් මිලියන 7,241.5ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. යම් හෙයකින් පළමු මාස 11 අවසන් වන විට ඊට වඩා වැඩි ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබුණේනම්, ඉහත ප්‍රකාශය නිශ්චිත ප්‍රකාශයක් ලෙස සිදු කළ හැකියි. ඒ කියන්නේ, එසේ වීනම්, ඉහත ප්‍රකාශය ඇත්තක් වෙනවා. නමුත්, එසේ වී නැති බැවින් ඉහත ප්‍රකාශය ඇත්තක් නෙමෙයි.
ඇත්තක් නොවූ පමණින් ඉහත ප්‍රකාශය බොරුවක් වන්නේ නැහැ. එය බොරුවක් කියා අපට කිව හැක්කේ ඇත්ත දන්නේනම් පමණයි. නමුත් ඒ ඇත්ත අපට දැනගන්නට ලැබෙන්නේ අනාගතයේදීයි. ඒ ඇත්ත දැනගන්නා තුරු ඉහත ප්‍රකාශය සලකන්නට සිදු වන්නේ අනාවැකියක් ලෙසයි.
ඉහත ප්‍රකාශය අනාවැකියක් සේ සැලකුවහොත්, එම අනාවැකිය ඇත්තක් වීම සඳහා දෙසැම්බර් මාසය තුළ ලැබිය යුතු වන්නේ තවත් ඩොලර් මිලියන 44.4ක් පමණයි. දෙසැම්බර් මාසය තුළ එමෙන් කිහිප ගුණයක ප්‍රේෂණ ලැබිය යුතු බව පැහැදිලිව පෙනෙන කරුණක් නිසා, ඉහත අනාවැකිය ඇත්තක් වීමට සියයට සීයකට ආසන්න ඉඩක් තිබෙන අනාවැකියක්. එය තවදුරටත් අනාවැකියක් මිස ඇත්තක් නොවුනත්, කිසිසේත්ම බොරුවක් හෝ දුස් තොරතුරක් නෙමෙයි.
2. "සංචාරක ඉපැයීම් 2018 බිලියන 3.8ක වගේ ඉපැයීමක් සිදු වුණේ. එය අභිබවා යයි කියලා අපි අපේක්ෂා කරනවා."
මේ ප්‍රකාශයේ පළමු කොටස සෘජු බොරුවක්. ඒ නිසාම දුස් තොරතුරක්. මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, 2018 වසරේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 4,380.6ක්. එය රවුම් කළහොත් ඩොලර් බිලියන 4.4ක්. එම ආදායම කිසිසේත්ම ඩොලර් බිලියන 3.8ක් නෙමෙයි. මෙය අත්වැරදීමක්නම්, ඉතාම බරපතල අත්වැරදීමක්.
ප්‍රකාශයේ දෙවැනි කොටසෙහි තිබෙන්නේ අනාවැකියක්. "අපේක්ෂා කරනවා" කියා තිබෙන නිසා බලාපොරොත්තුවක් කියා කියන්නත් පුළුවන්. අනාවැකියක් හෝ බලාපොරොත්තුවක් බොරුවක් කියා කියන්න බැහැ.
ඉහත අනාවැකියේ හෝ බලාපොරොත්තුවේ පදනම අත්වැරදීමක් නිසා 2018 සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් බිලියන 3.8 සේ සැලකීම කියා අපි හිතමු. නොවැම්බර් මාසය අවසන් වන විට ලැබී තිබුණු සංචාරක ආදායම ඩොලර් මිලියන 2,910.6ක් පමණයි. ඒ නිසා, ඩොලර් බිලියන 3.8 මට්ටම දක්වා යාමට වුවද, දෙසැම්බර් මාසය තුළ තවත් ඩොලර් මිලියන 900ක පමණ සංචාරක ආදායමක් උපයා ගැනීමට සිදු වෙනවා. ඒ සඳහා දෙසැම්බර් මාසය තුළ සංචාරයකින් ලක්ෂ හත හමාරක් පමණ රටට පැමිණිය යුතුයි.
ඉහත ප්‍රකාශය සිදු කරන විට මාසයෙන් බාගයකටත් වඩා අවසන්ව තිබුණු අතර, ඒ වන විට මාසය තුළ රටට පැමිණ තිබුණේ සංචාරකයින් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පමණයි (දෙසැම්බර් 21 දින වන විටද මෙම ප්‍රමාණය 154,609ක්). ඒ අනුව, ඉහත අනාවැකිය හෝ බලාපොරොත්තුව ඇත්තක් වීමටනම් වසරේ අවසන් දෙසතිය තුල සංචාරකයින් ලක්ෂ හය හමාරක් පමණ රටට පැමිණිය යුතුව තිබුණා.
පශ්චාත් ආපදා තත්ත්වය තුළ නොව සාමාන්‍ය තත්ත්වයක් යටතේ වුවද දෙසතියක් තුළ මෙවැනි විශාල සංචාරකයින් ප්‍රමාණයක් රටට පැමිණීම සිදු විය නොහැකිව තිබුණු දෙයක් පමණක් නොව එවැනි ප්‍රමාණයක් කියන්නේ රටට දරා ගත හැකි සංචාරකයින් ප්‍රමාණය කිහිප ගුණයකින් ඉක්මවා යන ප්‍රමාණයක්. ඒ නිසා, මේ ආකාරයේ අනාවැකියක් ඉදිරිපත් කළ හැක්කේ හෝ අපේක්ෂාවක් තබා ගත හැක්කේ සාමාන්‍ය බුද්ධියක්වත් නොමැති අයෙකුට පමණයි. සෛද්ධාන්තිකව මෙවැන්නක් සිදු විය හැකි වුවත්, එසේ සිදු වීමේ සම්භාවිතාව ශුන්‍යයට ඉතා ආසන්නයි. සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකු විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නේනම්, එය සෘජු බොරුවක් නොවුනත්, දුස් තොරතුරක් සේ සැලකිය හැකියි.
3. "ඒ වගේම 1950න් පස්සේ අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබී තිබෙන්නේ අවස්ථා 06ක පමණයි. ඒ අවස්ථා 06ම 1%ට වඩා අඩුයි. හැබැයි ඉතිහාසයේ පළමු වතාවට අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය මේ වසරේ 3.8%ක් ලෙස වාර්තා කරනවා."
මේ ප්‍රකාශයේ පළමු කොටස නිවැරදියි. 1950න් පස්සේ අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබී තිබෙන්නේ අවස්ථා 06කදී පමණයි. ඒ, 1954, 1955, 1992, 2017, 2018 හා 2024 වසර වලදී. නමුත් දෙවන කොටස වැරදියි. ඉහත වසර හයෙන් තුනකදීම 1% ඉක්මවන ප්‍රාථමික අතිරික්තයක් තිබුණා. 1954 හා 1955 කියන්නේ ප්‍රාථමික අතිරික්තයක් පමණක් නොව සමස්ත අයවැය අතිරික්ත වාර්තා කළ වසර දෙකක්. කාටත් මතක 2024 වසර සැලකුවත් ප්‍රාථමික අතිරික්තය දදේනියෙන් 2.2%ක්. මෙහි තිබෙන්නේ පැහැදිලි බොරුවක් හා දුස් තොරතුරක්.
අවසාන වාක්‍යයේ තිබෙන්නේ ඇත්තක් නොවුනත්, එය පුරෝකථනයක් බැවින් බොරුවක් හෝ දුස් තොරතුරක් නෙමෙයි.
4. "2018 බැංකු අයිරාව බිලියන 180යි. 2019 එය බිලියන 274යි. 2020 බිලියන 575ක් සහ 2021 බිලියන 821ක් වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවේ බැංකු ගිණුම බිලියන 821 අයිරාවක් වී තිබුණා. හැබැයි 2025 නොවැම්බර් වන විට අපේ ආණ්ඩුවේ භාණ්ඩාගාර ගිණුමේ ධන අගය බිලියන 1202යි. ඒ කියන්නේ 2021ට සාපේක්ෂව ට්‍රිලියන 02ක ඉහළ යාමක්."
මෙහි තිබෙන්නේ බොරුවක් නෙමෙයි. ඒ වගේම මෙහි දුස් තොරතුරක් තිබෙනවා කියා කියන්නත් බැහැ. නමුත් 2018 සිට මෙහි සිදු කරන සංසන්දනය තුළ 2022, 2023 හා 2024 යන වසර තුන හිතාමතාම මග හරිනවා. කරුණක් ලෙස ගත්තොත් "2021ට සාපේක්ෂව ට්‍රිලියන 02ක ඉහළ යාමක්" කියන එක නිවැරදියි. එහෙත්, මේ ට්‍රිලියන දෙකෙන් ට්‍රිලියන 1.4ක් පමණම ඉහළ ගොස් තිබෙන්නේ 2022 හා 2023 වසර දෙකේදී කියන වැදගත් තොරතුර මේ ප්‍රකාශයේ නැහැ. ඒ නිසා, දුස් තොරතුරුම නොවුනත්, මෙවැනි ප්‍රකාශද සැලකිල්ලෙන් කියවා ගත යුතුයි.
සාරාංශයක් ලෙස, ආර්ථිකය හා අදාළ දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම මේවායි.
1. කරුණුමය සත්‍යයන් හා අදාළව සෘජු බොරු කීම - මෙහිදී උපකල්පනය වන්නේ ග්‍රාහකයා විසින් ඉදිරිපත් කරන කරුණු පරීක්ෂාවට ලක් නොකරනු ඇති බවයි. මේ ක්‍රමයෙන් පහසුවෙන් රවටා ගත හැක්කේ තමන් කෙරෙහි විශ්වාසය තබන අයවයි.
2. අනාගතය හා අදාළ අනාවැකි හා පුරෝකථන තහවුරු වූ ඇත්ත සේ ඉදිරිපත් කිරීම - මෙහිදී මෙසේ ඉදිරිපත් කරන කරුණු පිළිනොගන්නා අයෙකුට වුවද ඉදිරිපත් කරන්නේ දුස් තොරතුරක් බව තහවුරු කළ නොහැකියි. ඊට හේතුව, ඒ වන විට ඇත්ත එළිදරවු වී නොතිබීමයි.
3. හිතාමතාම තෝරාගත් තොරතුරු පමණක් ඉදිරිපත් කිරීම - මෙය කිසිසේත්ම දුස් තොරතුරු ප්‍රචාරය කිරීමක් නෙමෙයි. එහෙත් මෙහිදීද ඇතැම් විට ග්‍රාහකයා වෙත වැරදි අදහසක් සන්නිවේදනය කිරීමේ අරමුණ දැකිය හැකියි. එමෙන්ම, දුස් තොරතුරක් නොවන මුල් තොරතුර මත පදනම්ව පසුව දුස් තොරතුරු ප්‍රචාරය වීම බොහෝ විට දකින්න පුළුවන්.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.