මේ අවුරුද්ද තවමත් අවසන් වී නැහැ. ඒ නිසා, තවමත් අපට මේ අවුරුද්දේ රාජ්‍යමූල්‍ය තත්ත්වය ගැන හරියටම කතා කරන්න බැහැ. එය කළ හැක්කේ වසර අවසන් වී අදාළ සංඛ්‍යාලේඛණ පිළියෙළ කර ප්‍රසිද්ධ කරනු ලැබීමෙන් පසුවයි. එහෙත් නොවැම්බර් අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙන බැවින්, ඒ අනුසාරයෙන් අපට සෑහෙන තරමක අදහසක් ගන්න පුළුවන්.
රාජ්‍ය අයවැය ඇස්තමේන්තු හා අදාළව සත්‍ය සංඛ්‍යාලේඛණ සංසන්දනය කළ යුත්තේ වසර මුල සකස් කළ අයවැය ඇස්තමේන්තු සමඟයි. අයවැය ඇස්තමේන්තු හදන්නේ මුළු අවුරුද්දටමයි. පළමු මාස එකොළහට වෙනම අයවැය ඇස්තමේන්තු හදන්නේ නැහැ. යම් හෙයකින් හැදුවත් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා, වසර මුල ඉදිරිපත් කළ අයවැය ඇස්තමේන්තු වලින් අපේ විග්‍රහය පටන් ගනිමු.
අපේක්ෂිත ලැබීම් (රුපියල් බිලියන)
බදු ආදායම් - 4,590
බදු නොවන ආදායම් හා ලැබීම් - 400
ණය ගැනීම් (අයවැය හිඟය) - 2,200
එකතුව - 7,190
අපේක්ෂිත වියදම් (රුපියල් බිලියන)
පොලී වියදම - 2,950
අනෙකුත් පුනරාවර්තන වියදම් - 2,936
ප්‍රාග්ධන වියදම් - 1,304
එකතුව - 7,190
දැන් අපට ඉහත ගණන් සමඟ නොවැම්බර් අවසානයේ ප්‍රගතිය සංසන්දනය කළ හැකියි.
බදු ආදායම: නොවැම්බර් අවසානය වන විට එකතු කරගෙන තිබෙන බදු ආදායම රුපියල් බිලියන 4,612ක්. ඒ කියන්නේ, නිල සංඛ්‍යාලේඛණ අනුව, මාස එකොළහක් යද්දී අවුරුද්දේ අපේක්ෂිත බදු ආදායම් ඉලක්කය ලඟා කරගෙන ඉවරයි. මේ අනුව, තවමත් වසර අවසන්ව නැතත්, වසරේ බදු ආදායම ඉලක්කය ඉක්මවා ඇති බව දැනටමත් කියන්න පුළුවන්.
බදු නොවන ආදායම් හා ලැබීම්: නොවැම්බර් මාසය අවසාන වෙද්දී ලැබී තිබුණේ රුපියල් බිලියන 350ක් පමණයි. ඒ කියන්නේ ඉලක්කයට යන්න තවත් රුපියල් බිලියන 50ක් අඩුයි. මාධ්‍ය වාර්තා අනුව, දෙසැම්බර් මාසයේදී ඉන්දියාවෙන් ඩොලර් මිලියන 100ක ආධාරයක් ලැබී තිබෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 31ක් පමණ. ලැබුණු අනෙකුත් ආධාර සියල්ල එකතු කළොත් එකතුව රුපියල් බිලියන 40ක්වත් නොවෙන්න හේතුවක් නැහැ. ඒ වගේම, දෙසැම්බර් මාසය කියන්නේ රාජ්‍ය ආයතන වන ලාභාංශ ආදිය එකතු වන මාසයක්. ඒ නිසා, රුපියල් බිලියන 400 ඉලක්කය ලඟා කර ගැනීම ගැන වුනත් ලොකු සැකයක් නැහැ.
නිල සංඛ්‍යාලේඛණයක් නොවුනත්, ජනාධිපති දිසානායකගේ දෙසැම්බර් 19 කතාවට අනුව, දෙසැම්බර් 15 වන විට එකතු වී තිබුණු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 5,125ක්. ඒ කියන්නේ අයවැයේ අපේක්ෂිත ලැබීම් මෙන් 102.7%ක්. රුපියල් බිලියන 5,125 කියන්නේ ලැබී ඇති රාජ්‍ය ආදායම පමණයි. මෙම ගණනට ප්‍රදාන ඇතුළත් නැහැ. ප්‍රදාන එකතු කළ විට ලැබීම් ප්‍රමාණය මීටත් වඩා වැඩි විය යුතුයි.
පොලී වියදම: අයවැයෙන් යෝජිත පුනරාවර්තන වියදම රුපියල් බිලියන 5,886ක්. එයින් රුපියල් බිලියන 2,950ක් පොලී වියදම්. නොවැම්බර් මාසය අවසන් වන විට සත්‍ය පොලී වියදම රුපියල් බිලියන 2,268ක් පමණයි. ඒ කියන්නේ ඉහත ගණනින් 76.9%ක් පමණයි. මේ අනුව පෙනෙන්නේ වසරේ පොලී වියදම බොහෝ විට ඇස්තමේන්තු මට්ටමට වඩා අඩු මට්ටමක පවතිනු ඇති බවයි.
අනෙකුත් පුනරාවර්තන වියදම්: නොවැම්බර් මාසය අවසන් වන විට මෙම වියදම රුපියල් බිලියන 2,374ක්. ඒ කියන්නේ සත්‍ය වියදමෙන් 80.9%ක් පමණයි. මේ අනුව, ඉලක්කය තුළම රැඳී සිටිමින් දෙසැම්බර් මාසය තුළ වැඩි මුදලක් වියදම් කිරීමේ ඉඩක් තිබෙනවා.
ප්‍රාග්ධන වියදම: නොවැම්බර් මාසය අවසන් වන විට වැය කර තිබෙන මුදල රුපියල් බිලියන 646ක් පමණයි. මෙය ඇස්තමේන්තු කළ මුදලෙන් 49.5%ක් පමණයි.
මේ අනුව පෙනී යන්නේ ඉතා පැහැදිලි ලෙස රජයේ ආදායම් ඉහළ යාමක් සහ වියදම් සීමා වීමක් දැකිය හැකි බවයි. ආදායම් ඉහළ යාමට ප්‍රධානම හේතුව වාහන ආනයන ඉලක්ක ඉක්මවා යාමයි. කෙසේ වුවත්, රාජ්‍යමූල්‍ය තත්ත්වය හා අදාළව වැදගත් වන්නේ රාජ්‍ය ආදායම් ඉලක්ක ඉක්මවා ඉහළ ගොස් තිබීම මිස ඊට ප්‍රධාන හේතුව කුමක්ද කියන එක නෙමෙයි. වියදම් සීමා වීම ගැන කියන්න තියෙන්නේත් එයමයි.
අයවැය හිඟය: අයවැය ඇස්තමේන්තු අනුව හිඟය රුපියල් බිලියන 2,200ක් වුවත්, නොවැම්බර් අවසානයේදී සත්‍ය හිඟය රුපියල් බිලියන 326ක් පමණයි. මේ අනුව, නොවැම්බර් වන විට, රුපියල් බිලියන 1,874ක ඉතිරියක් තිබෙනවා. දෙසැම්බර් මාසයේ මෙහි සැලකිය යුතු අඩු වීමක් සිදු වුවත්, තව දුරටත් විශාල ඉතිරියක් පවතිනු ඇති බව ඉතාම පැහැදිලියි.
ඉදිරි වසරේ රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳව මෙන්ම රටේ ණය තිරසාරත්වය පිලිබඳව විමසා බැලීමට සිදු වන්නේ මේ පසුබිම මත පදනම්වයි. ඒ අනුව කිව හැක්කේ ඉදිරි වසරේ රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳව හෝ ඒ තුළින් පැන නගින ණය තිරසාරත්වය පිලිබඳ ගැටළුවක් කිසිසේත්ම දකින්නට නොමැති බවයි. එහෙත්, විදේශ අංශය අස්ථාවර වීම තුළින් ඇති වීමට ඉඩ තිබෙන ගැටළු පිළිබඳව වඩා පුළුල් ලෙස විමසා බලන්නට සිදු වෙනවා.
ලංකාවේ ණය තිරසාරත්වය හා අදාළ ප්‍රකාශයකට ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ආර්ථික විද්‍යාඥයින් ගණනාවක් සහ ආර්ථික විද්‍යාඥයින් සේ හැඳින්විය නොහැකි වෙනත් විද්‍යාර්ථීන් ඇතුළු 121 දෙනෙකු අත්සන් තබා තිබෙනවා. මේ හා අදාළව සටහනක් දකුණු ඉවුර කණ්ඩායම විසින් "ඉකොනොමැට්ටා Fan Club" පිටුවේ පළ කර තිබෙනවා. එම පිටුවේ පළ කෙරෙන්නේ අපගේ පාඨකයින් විසින් ලියන දේවල්. ඇතැම් අය අදාළ සටහන "ඉකොනොමැට්ටා" විසින් පළ කළ සටහනක් ලෙස වරදවා තේරුම් ගෙන තිබෙනවා.
අදාළ සටහනෙහි කියා ඇති ප්‍රධාන කරුණ, කෙටියෙන් කිවුවොත්, මෙම ලිපියට අත්සන් තබා තිබෙන්නේ වාමාංශික අදහස් ඇති අය බවයි. සාමාන්‍යයෙන් අපගේ සටහන් වල අප විසින් පුද්ගලයින් ලේබල් කිරීමක් කරන්නේ නැහැ. ඒ වෙනුවට අප විසින් කරන්නේ ඕනෑම අයෙකුගේ ප්‍රකාශයක් එහි ඇති කරුණු මත පදනම්ව විග්‍රහ කිරීමයි. එහෙත් වෙනත් අය විසින් වාමාංශික (හා දක්ෂිණාංශික), ජාතිකවාදී (හා විජාතිකවාදී) ආදී ලෙස පුද්ගලයින් ලේබල් කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. වෙනත් අය විසින් එසේ කිරීම අප විසින් ප්‍රශ්නයක් කරගන්නේ හෝ ප්‍රශ්නයක් සේ දකින්නේද නැහැ.
ඉහත ලිපිය ඉකොනොමැට්ටා විසින් ලියූවක් නොවන බව අපගේ නිත්‍ය පාඨකයින් බොහෝ දෙනෙකු විසින් පහසුවෙන්ම හඳුනා ගෙන තිබෙනවා. ඒ නිසා, ඇතැම් අයට සිදුව ඇති අත්වැරැද්ද පස්සේ පන්නන්නට අපට අවශ්‍ය නැහැ.
ඉකොනොමැට්ටා කිසිදු අවස්ථාවක දකුණු ඉවුර කණ්ඩායමේ සාමාජිකයෙකුව සිට නැහැ. ඔවුන්ගේ අදහස් සමඟ ඉකොනොමැට්ටා පොදුවේ එකඟ වන්නේද නැහැ. ඔවුන් හා තිබී ඇති එකම සම්බන්ධය අවස්ථා කිහිපකදී ඔවුන්ගේ ආරාධනයෙන් සම්පත්දායකයෙකු ලෙස කටයුතු කිරීම පමණයි. කෙසේ වුවත්, ඔවුන්ගේ අදාළ සටහනෙහි අපට පෙනෙන විශේෂයෙන් නිවැරදි කළ යුතු දෙයක් ඇත්තේද නැහැ.
ඇත්තටම අදාළ ප්‍රකාශය ජෝසප් ස්ටිග්ලිට්ස් මුල් වී කර ඇති ප්‍රකාශයක් නෙමෙයි. එම ප්‍රකාශය සකස් කර තිබෙන්නේ එක්සත් රාජධානියේ රාජ්‍ය නොවන සංවිධානයක් වන "Debt Justice" සංවිධානයයි. එම සංවිධානය ගෝලීය දකුණේ රටවල රාජ්‍ය ණය සහ පොදුවේ අඩු ආදායම්ලාභීන්ගේ ණය කපා දමන මෙන් ඉල්ලා උද්දේශනය කරන සංවිධානයක්. ලංකාව ඇතුළු දකුණු ආසියාවේ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්ද ඔවුන් හා එක්ව කටයුතු කරනවා. ප්‍රස්තුත ප්‍රකාශයට ජෝසප් ස්ටිග්ලිට්ස්ගේ අත්සන ලබා ගැනීම මගින් ඔවුන් ඒ සඳහා බටහිර මාධ්‍ය වල වැඩි අවධානයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.
මෙය මේ සංවිධානය විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කරන පළමු අවස්ථාව නෙමෙයි. මීට පෙර, ලංකාව මුලින්ම ණය ප්‍රතිව්‍යුහගත කරද්දීත් ඔවුන් මෙවැනිම ප්‍රකාශයක් කළා. මට මතක හැටියට දැන් මේ ප්‍රකාශයට අත්සන් තබා තිබෙන ගොඩක් අය ඒ අවස්ථාවේදීත් එම ප්‍රකාශයට අත්සන් තබා තිබෙන අය. මෙවර ප්‍රධාන වෙනස දිත්වා ආපදාව එක්ක ණය ප්‍රශ්නය ගෝලීය උණුසුම පිළිබඳ ප්‍රශ්නයත් එක්ක ගැට ගැසීම මගින් පාරිසරික ප්‍රශ්න ගැන උනන්දු අයව මෙයට සම්බන්ධ කර ගැනීමට මෙම සංවිධානය විසින් සමත් වී තිබීමයි.
මේ වෙද්දී පාරිසරික ප්‍රශ්න හා අදාළව ලෝකයේ යම් මතවාදී බෙදීමක් තිබෙනවා. ඇතැම් අය පාරිසරික ප්‍රශ්න පොදුවේ ප්‍රතික්ෂේප කරනවා. එවැනි අය ඉන්නේ දක්ෂිණාංශික කඳවුරේ. ඒ අයට අනුව, පාරිසරික ප්‍රශ්න කියන්නේ වාමාංශික අදහසක්. අනෙක් පැත්තෙන් පාරිසරික ප්‍රශ්න ගැන කතා කරන ඇතැම් අය තමන්ගේ කතිකාව ඉතාම අන්තවාදී තැනකට තල්ලු කරන අවස්ථා දකින්න පුළුවන්. ලංකාවම සැලකුවත්, පණු කරඳ ප්‍රශ්නය උදාහරණයක්.
මම පොදුවේ පාරිසරික ප්‍රශ්න ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් දිත්වා ආපදාව ගෝලීය පරිසර ප්‍රශ්නයකට බැර කළ හැකි එකක් කියා මම හිතන්නේ නැහැ. අවම වශයෙන් ලන්දේසි කාලයේ සිට ඉතිරිව තිබෙන විවිධ ඓතිහාසික මූලාශ්‍ර අනුව, වරින් වර නායයෑම්, ගංවතුර ආදිය ඇති වෙන එක ලංකාවට අමුතු දෙයක් නෙමෙයි. අද තිබෙන මට්ටමේ සංවර්ධනයක් නැති කාල වකවානු වලත් එවැනි ස්වභාවික ආපදා සැලකිය යුතු සංඛ්‍යාතයකින් ඇති වී තිබෙනවා.
කවර හෝ සංවිධානයක් විසින් කවර හෝ හේතුවක් නිසා ලංකාවේ ණය කපා හරින ලෙස ඉල්ලමින් උද්දේශනය කරනවානම් ඒ ගැන වරදක් කියන්න බැහැ. නමුත් එහෙම උද්දේශනය කළ පමණින් ණයහිමියෝ ණය කපා දමන්නේ නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ ණය කපා හරින ලෙස කරන ඉල්ලීමේ නෙමෙයි. එහි පදනම ලෙස ඉදිරිපත් කරන ලංකාව නැවතත් බංකොලොත් වීමට නියමිතයි කියන තර්කයේ.
වරක් ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් වූ ලංකාව නැවතත් බංකොලොත් වීමේ අවදානමක් තිබෙනවා. දිත්වා සුළි කුණාටුව නිසා ඒ අවදානම වැඩි වෙලත් තිබෙනවා. නමුත් වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ ඒ අවදානම ලංකාවට කළමණාකරණය කර ගත නොහැකි අවදානමක්ද කියන එකයි.
ඇමරිකාව,ජපානය වගේ ඕනෑම රටක් ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් වීමේ අවදානමක් තිබෙනවා. අවදානමක් තියෙනවා කියන්නේ එවැන්නක් අනිවාර්යයෙන් වෙනවා කියන එක නෙමෙයි. එසේ වීමේ යම් හැකියාවක් තිබෙනවා කියන එකයි. ලංකාව හා අදාලව මේ අවදානම සාපේක්ෂව වැඩියි. නමුත් ලංකාවට අවදානම කළමනාකරණය කරගන්න බැරිකමක් නැහැ.
ලංකාව නැවත බංකොලොත් වෙන්න යනවා කියන අදහස ප්‍රචලිත කිරීම මගින්ම ලංකාවේ ණය අවදානම ඉහළ ගිහින් එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ අවාසිය එක්ක බලද්දී ඔය වගේ උද්දේශනයන් නිසා ණයහිමියන්ගෙන් ලංකාවට ලැබෙන්න තිබෙන සහනයක් ඇත්නම් එය නොසලකා හැරිය හැකි තරම්.
ලිපිය ආරම්භයේ ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ අනුව නොවැම්බර් මාසය අවසන් වෙද්දී රාජ්‍ය ආදායම ඉලක්ක ඉක්මවා ඉහළ ගොස් තිබීම සහ රාජ්‍ය වියදම් සැලකිය යුතු අඩු මට්ටමක තිබීම තුළ ඒ වෙනසින් කොටසක් උපයෝගී කර ගැනීමෙන්ම පමණක් වුවත් රජය විසින් අමතරව වැය කරන්න සැලසුම් කර තිබෙන රුපියල් බිලියන 700 වියදම් කරන්න පුළුවන්. ඒ කියන්නේ රටේ ණය තිරසාරත්වය පිළිබඳ අවදානම, දිත්වා සුළි කුණාටුවෙන් පසුව වුනත්, පසුගිය ආර්ථික අර්බුදයෙන් හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව පැවති තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකයි තියෙන්නේ.
ලෝක බැංකු ඇස්තමේන්තුව අනුව දිත්වා සුළි කුණාටුවේ හානිය ඩොලර් බිලියන 4.1ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 1,270ක් පමණ. නමුත්, රටේ ණය තිරසාරත්වය කෙරෙහි බලපාන්නේ හානිය ප්‍රතිපූරණය කිරීම සඳහා රජය විසින් වියදම් කරන මුදල කොපමණද කියන එකයි. එම මුදල රුපියල් බිලියන 700 ඉක්මවන්නේ නැහැ. රුපියල් බිලියන 700ක අමතර මුදලක් මේ අවුරුද්දේ ඉතිරියෙන් පහසුවෙන්ම සපයා ගන්න පුළුවන්. ඒ සඳහා අඩු වශයෙන් එක රුපියලක් හෝ සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නොවැම්බර් වන විට දැකිය හැකි, අයවැය ඇස්තමේන්තු වලට සාපේක්ෂ රුපියල් බිලියන 1,874ක ඉතිරිය අනුව, රුපියල් බිලියන 1,270ක මුළු හානියම රජය මගින් ප්‍රතිපූරණය කළත්, රජයට රුපියල් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.
රුපියල් ප්‍රශ්නයට සාපේක්ෂව ඩොලර් ප්‍රශ්නය සංකීර්ණයි. රජය සතුව රුපියල් තිබුණත් රටේ ඩොලර් නැත්නම් විදේශ ණය ගෙවා ගන්න බැරි වෙනවා.
ලෝක බැංකු ඇස්තමේන්තු අනුව, යටිතල පහසුකම් හානිය ඩොලර් මිලියන 1,735ක්. මේ හානිය ප්‍රතිපූරණය කරන්න ඔය ප්‍රමාණයටම ඩොලර් අවශ්‍ය වෙන්නේ නැහැ. ගල්, වැලි, මිනිස් ශ්‍රමය ආනයනය කරන්නේ නැහැ. නමුත් මේ වියදමෙන් යම් කොටසක් ආනයන. ඒ සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා.
ඩොලර් මිලියන 814ක් කෘෂි භෝග වලට සිදුව ඇති හානිය. නමුත් මේ විදිහට හානි වුනේ වී, එළවළු වගේ දේවල්. තේ වැනි අපනයන බෝග වලට හානියක් සිදු වුනානම්, ඒ ඉතා අඩුවෙන් කියලයි මම හිතන්නේ. ඒ නිසා, මේ හානිය වැඩි වශයෙන්ම රුපියල් හානියක්. අපනයන ආදායමේ ඉතා සුළු අඩු වීමක් සහ සහල් වැනි ආනයන වල යම් වැඩි වීමක් වෙන්න පුළුවන්. නමුත් විදේශ විණිමය කෙරෙහි විශාල බලපෑමක් වෙන්න හේතුවක් නැහැ.
වාණිජ හා වාණිජ නොවන ගොඩනැගිලි වලට සිදු වූ හානිය ඩොලර් මිලියන 1,547ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. මේ ගැන කියන්න තියන්නෙත් යටිතල පහසුකම් හානිය ගැන කියපු කතාවමයි. ආනයන වල යම් ඉහළ යාමක් සිදු වෙයි. නමුත් ගල්, වැලි, මිනිස් ශ්‍රමය ආදිය රුපියල් වියදම්.
කෘෂි භෝග වලට හා ගොඩනැගිලි වලට සිදු වූ හානිය හා අදාළව රාජ්‍ය මැදිහත් වීම රුපියල් මැදිහත් වීමක්. වන්දි ලෙස දෙන්නේ රුපියල්. ඒ රුපියල් නිසා, ඩොලර් ඉල්ලුම තරමක් ඉහළ යන්න පුළුවන් වුනත්, එය රජයේ ප්‍රශ්නයක් නෙමෙයි. රජයට ඩොලර් අවශ්‍ය වෙන්නේ යටිතල පහසුකම් සඳහා අවශ්‍ය සෘජු ආනයන ඇත්නම් ඒවාටයි.
නැවත රාජ්‍යමූල්‍ය කළමනාකරණය වෙත හැරුනොත්, මේ අවුරුද්දේ කලින් සැලසුම් කළ ප්‍රාග්ධන වියදම් ඒ විදිහටම සිදු නොවෙන්න එක් ප්‍රධාන හේතුවක් වුනේ අපේක්ෂා කළ විදේශ ණය ප්‍රමාද වීම. රජය සතුව රුපියල් තිබුණත් ඩොලර් වලින් ලැබෙන්න තිබුණු ණය නොලැබුණු නිසා අවශ්‍ය වැඩේ කරගන්න බැරි වුනා. දැන් ආපදාවෙන් පසුව මේ ණය වලින් සැලකිය යුතු කොටසක් ආපදාවෙන් ගොඩ යාම වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ඒ කියන්නේ ඒ සල්ලි රජයට ලැබෙන්නේ කෙළින්ම ඩොලර් වලින්.
වෙනත් විදිහකට කිවුවොත්, මේ අවුරුද්දේ අයවැය ඉතිරිය ගැන ගණන් හිලවු රුපියල් වලින් ඉදිරිපත් කර ඇතත්, එයින් කොටසක් ඩොලර් වලින්ම "ඉතිරි වූ" අරමුදල්. මේ වසරේ ලැබෙන්න තිබුණු විදේශ ණයක් ඉදිරි වසරේ ලැබීම ඩොලර් ඉතිරි වීමකට සමානයි. ඒ නිසා, රුපියල් ප්‍රශ්නය වගේම ඩොලර් ප්‍රශ්නයත් විසඳෙනවා. ඊට අමතරව, මූල්‍ය අරමුදලෙන් ඩොලර් 206ක ණයක් ලැබී තිබෙනවා. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක් ණය හා ප්‍රදාන ලෙස ලැබී තිබෙනවා. ඩොලර් බිලියන 6 ඉක්මවන විදේශ සංචිතයකුත් මේ වෙද්දී රටේ තිබෙනවා. අවශ්‍යනම් එයින් ඩොලර් මිලියන තුන් හාරසීයක් ගත්තා කියලා රටේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැ.
මූල්‍ය අරමුදලට අනුව, අමතර ඩොලර් අවශ්‍යතාවය මිලියන 700ක් පමණයි. මේ රටේම අමතර ඩොලර් අවශ්‍යතාවය. ඉන්දියාවෙන් සහ මූල්‍ය අරමුදලෙන් ලැබුණු අරමුදල් පමණක් සැලකුවත් එහි ඩොලර් මිලියන 656ක් තිබෙනවා. කලින් වෙනත් ව්‍යාපෘති සඳහා ලැබෙන්න තිබුණු අරමුදල්, අනෙකුත් ආධාර ආදිය බැලුවහම ඩොලර් බිලියනයක පමණ අමතර බරක් දරා ගැනීමේ හැකියාවක් විදේශ අංශයට වුනත් තිබෙනවා. ඉදිකිරීම් වල ආනයන කොටස ඊට වඩා ගොඩක් වැඩි වෙන එකක් නැහැ. ඒ නිසා, රුපියල් ප්‍රශ්නය විසඳා ගන්න තරම්ම පහසුවෙන් නොවුනත්, ඩොලර් ප්‍රශ්නයත් විසඳා ගන්න පුළුවන්.
අවදානම් කියන ඒවානම් කවදාවත් නැති වෙන්නේ නැහැ. දැන් පවතින තත්ත්වය තුළ රුපියල් අවදානම රජයට පහසුවෙන්ම කළමනාකරණය කරගන්න පුළුවන්. නමුත් ඩොලර් අවදානම බාහිර සාධක මත තීරණය වන දෙයක්. උදාහරණයක් විදිහට දැනට ලෝක තෙල් මිල තිබෙන්නේ ඉතාම පහළින්. ඉදිරි වසරේ තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගියොත් එය විදේශ අංශයට බලපානවා. කවර හෝ හේතුවක් නිසා සංචාරකයින් පැමිණීම අඩු වුනොත් එය බලපානවා. යම් හෙයකින් තවත් ස්වභාවික ආපදාවක් ආවොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේ අමතර ප්‍රශ්න ඇති වුනොත්, ඒ ගැන ඒ වෙලාවට බලලා තීරණයක් ගන්න වෙනවා. ඒ හැර, මූද ගත් ගවුවක් තියෙද්දී දැන්ම අමුඩ ගහන්න අවශ්‍ය නැහැ.
බැලූ බැල්මට පෙනෙන්නේ "ලංකාවට ණය සහනයක් දෙන්න" කියන එක සද්භාවයෙන් කරන ඉල්ලීමක් විදිහටයි. නමුත් ඔය ඉල්ලීම හරහා ඇත්තටම වෙන්නේ "ලංකාව නැවතත් බංකොලොත් වෙන්න යනවා" කියන සංඥාව ලෝකයට ලබා දෙන එකයි. ඒ වගේ සංඥාවක් හේතුවෙන් ලංකාවට එන කෙටිකාලීන ආයෝජන ඇතුළු ප්‍රාග්ධන ආයෝජන නොලැබී යන්න පුළුවන්. ඒ හේතුවෙන් ඩොලර් එක කෙටිකාලීනව වේගයෙන් ඉහළ ගියොත්, 2022දී මෙන්, ප්‍රේෂණ ලැබීම් සීමා වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ තත්ත්වයක් යටතේ විදේශ අංශය ඇත්තටම අවුල් වෙන්න පුළුවන්. ඒ නිසා, මේ වෙලාවේ මේ ඉල්ලීම කිසිසේත්ම ලංකාවට උදවුවක් නෙමෙයි.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.