ආපදා කළමණාකරණය හා අදාළව පසු ගිය දවස් වල බොහෝ දෙනෙකු විසින් කතා කර තිබෙනු දැක්කා. ඒ කතාබහ අතරතුර ඇතැම් දුර්මතද ප්‍රචාරය වෙමින් තිබුණා. මෙහිදී දුර්මත කියන එකෙන් මම අදහස් කරන්නේ පසුගිය ආපදාව හා අදාළ කරුණු නෙමෙයි. පොදුවේ ආපදා කළමනාකරණ මූලධර්ම පිළිබඳ කරුණු ගැන.
පසුගිය ආපදාව පිළිබඳව බොහෝ දෙනෙකු තුළ උනන්දුවක් ඇති වී තිබෙන මේ මොහොතේ මෙම සටහන තුළද එම ආපදාව ගැන කතා කළත්, එසේ කරන්නේ පොදුවේ ආපදා කළමනාකරණය පිලිබඳව කතා කිරීම සඳහා ප්‍රවේශයක් ලෙස පමණයි. ඒ හැර, මෙම ආපදාව හමුවේ විවිධ පාර්ශ්වයන් විසින් ගත් හෝ නොගත් ක්‍රියා මාර්ග ගැන කතා කිරීම මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ නෙමෙයි.
මෙම ආපදාවෙන් පසුව රජයට එල්ල වූ ප්‍රධාන විවේචනයක් වුනේ ආපදාව පිළිබඳ තොරතුරු ඉදිරිපත්ව තිබියදී අවශ්‍ය ක්‍රියා මාර්ග නොගත්තේය යන්නයි. එයට රජයේ හෝ රජය ආරක්ෂා කරන පාර්ශ්ව වල ප්‍රතිචාරයක් වී තිබෙන්නේ එවැනි නිශ්චිත තොරතුරු නොතිබුණු බව පෙන්වා දීමයි. අනෙක් පැත්තෙන්, විවේචකයින් විසින් එවැනි තොරතුරු තිබුණු බවට කරුණු ඉදිරිපත් කරමින් තර්ක කරනවා. අපට පෙන්වා දෙන්නට අවශ්‍ය වන්නේ මේ තර්ක දෙවර්ගයම එකම කාසියක දෙපැත්ත බවයි.
මෙවැනි සුළි කුණාටුවක් පිළිබඳව සති ගණනකට පෙර නිශ්චිතව පුරෝකථනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා එවැනි නිශ්චිත පුරෝකථනයක් සිදු වී තිබුණාද නැද්ද යන්න පිළිබඳව තර්ක කිරීම තේරුමක් නැති දෙයක්. පුරෝකථන මූලධර්ම අනුව කළ හැක්කේ සුළි කුණාටුවක විභවය පිළිබඳව කලින් පුරෝකථනය කිරීම පමණයි. එම සුළි කුණාටුව ඇති වෙන්න හෝ නොවෙන්න පුළුවන්. හොඳ ආපදා කළමණාකරණයක් තුළ සිදු විය යුත්තේ එම විභවය පිළිබඳව විනිශ්චය කර හානි අවම කෙරෙන ක්‍රියාමාර්ග ගැනීමයි.
සුළි කුණාටුවක් පිළිබඳව සති ගණනකට පෙර නිශ්චිතව දැනගත හැකිනම් ඒ සඳහා සූදානම් වීම යාන්ත්‍රිකව වුවද කළ හැකි දෙයක්. ඒ සඳහා කළමනාකරණ විනිශ්චයක් ලොකුවට අවශ්‍ය වන්නේ නැහැ. තනි තනි පුද්ගලයින්ට වුවද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන හානිය අවම කරගන්න පුළුවන්. මෙවැනි අවස්ථා වලදී පූර්ව මැදිහත්වීම් අවශ්‍ය වන්නේම අදාළ ආපදාවට මුහුණ දෙන්නට සිදු වීම හෝ නොවීම හා අදාළව අවිනිශ්චිතතාවයක් තිබෙන නිසා. එවැනි පූර්ව මැදිහත්වීමකදී හැම විටම යම් අවදානමක් ගන්න වෙනවා. ආපදා කළමණාකරණය කියන්නේ යම් මිලක් ගෙවිය යුතු දෙයක්. ඒ මිල නොගෙවා, ආපදාවක් ප්‍රශස්ත ලෙස කළමනාකරණය කර ගත නොහැකියි.
අනෙක් පැත්තෙන් මෙම ආපදාවේ හානිය වෙනත් රටවල හා වෙනත් කාලවකවානු වල සිදු වූ ආපදා වල හානි හා සංසන්දනය කිරීමක් දකින්න පුළුවන්. රජයට පක්ෂපාතී පිරිස් වගේම රජය විවේචනය කරන පිරිස් විසින්ද මේ වැඩේ කරනවා. එහෙත්, මේ සංසන්දන ඒ තරම් තේරුමක් තිබෙන සංසන්දන නෙමෙයි.
ඇත්තටම සිදු කළ යුත්තේ කිසියම් ප්‍රතිපරිසිද්ධික තත්ත්වයක් හා සංසන්දනය කිරීමයි. මෙම ආපදාවට පෙර කිසියම් පූර්ව ක්‍රියා මාර්ග ගත්තේනම් හානිය කොපමණ දුරකට අඩු කර ගත හැකිව තිබුණේද? කෙසේ වුවද, මෙවැනි විශ්ලේෂණයක් සිදු කළ යුත්තේ ආපදාවට පෙර පැවති තත්වයන් මත පදනම්ව මිස ආපදාව සිදු වීමෙන් පසුව දැන් අප දන්නා කරුණු මත පදනම්ව නෙමෙයි.
ආපදාවේ හානිය ඩොලර් බිලියන 6-7ක් පමණ බව ඇතැම් අය විසින් ඇස්තමේන්තු කර තිබෙනු දැක්කා. අප විසින් එවැනි ඇස්තමේන්තුවක් සිදු කර නැහැ. එමෙන්ම මේ පිළිබඳ පිළිගත හැකි විස්තරාත්මක ඇස්තමේන්තුවක් දකින්න ලැබුණේත් නැහැ. නමුත් අපට අවශ්‍ය පැහැදිලි කිරීම සඳහා මෙම ගණන හරියටම නිවැරදි විය යුතු නැහැ.
යම් හෙයකින් නිවැරදි පූර්ව ක්‍රියාමාර්ග ගත්තේනම් මේ හානිය මුළුමනින්ම වලක්වා ගත හැකිව තිබුණේද? කිසිසේත්ම නැහැ. නමුත් යම් පූර්ව ක්‍රියාමාර්ග ගත්තේනම් මේ හානිය මීට වඩා අඩු කරගත හැකිව තිබුණේය යන්න අපට බැහැර කළ නොහැකි තර්කයක්. මෙම කරුණ හා අදාළව ඉදිරිපත් කෙරෙන ශක්තිමත්ම තර්කය වන්නේ ආපදාවට පෙර ජලාශ හිස් කළේනම් හානිය විශාල ලෙස අඩු වන බවයි. මෙය කරුණක් ලෙස සත්‍යයක්.
පහත තිබෙන්නේ ජල විදුලිය නිපදවීම සඳහා යොදා ගන්නා ලංකාවේ ප්‍රධාන ජලාශ වල ජල ධාරිතාව ඝන මීටර මිලියන වලින්.
සමනලවැව - 278.00
කාසල්රී - 48.30
මාඋස්සාකැලේ - 123.30
කොත්මලේ - 170.90
පොල්ගොල්ල - 4.11
වික්ටෝරියා - 723.20
රන්දෙණිගල - 801.50
රන්ටැඹේ - 7.00
බෝවතැන්න - 23.50
එකතුව 2,179.61
අවශ්‍යනම් අපි මෙයට කුඩා ජලවිදුලි බලාගාර සඳහා ජලය සපයන ජලාශ ටිකත් එකතු කරමු.
උඩවලව - 279.20
චන්ද්‍රිකාවැව - 27.71
මාදුරුඔය - 596.60
දඹුළුඔය - 11.70
මොරගහකන්ද - 557.90
කළුගඟ - 248.00
එකතුව - 1,720.11
මුළු එකතුව - 3,899.72
ජල විදුලිය නිපදවීම සඳහා යොදා නොගන්නා ජලාශ හා වාර්මාර්ග පද්ධති වල ධාරිතාවන්ද එකතු කළහොත් මෙම අගය ඝන මීටර මිලියන 5,538.35 දක්වා ඉහළ යනවා. නමුත් අපි ඒ කොටස නොසලකා හරිමු. ඒ ජලාශ හිස් කරනවා කියන එක ප්‍රායෝගිකව වඩා අසීරු කාර්යයක්.
ඇත්තටම කියනවානම් ඉහත දෙවන ලැයිස්තුවේ ජලාශ හිස් කරන එක වුවත් ප්‍රායෝගිකව ගන්න අමාරු තීරණයක්. ඊට හේතුව එම ජලය කෘෂිකාර්මික අවශ්‍යතා සඳහාද අවශ්‍ය වීම සහ එම කෘෂිකාර්මික ජල අවශ්‍යතාව සඳහා වෙනත් විකල්ප නොමැති වීම. ප්‍රායෝගිකව වඩා පහසුවෙන් හිස් කළ හැක්කේ පළමු ලැයිස්තුවේ තිබෙන ජලාශ නවයයි.
පළමු ලැයිස්තුවේ ජලාශ නවය හිස් කිරීම සෛද්ධාන්තිකව කළ නොහැක්කක් නෙමෙයි. මෝසම් වැසි එන්න කලින් සැලසුම්සහගත ලෙස ඔය ජලාශ හිස් කිරීම කාලයක් තිස්සේම සාමාන්‍යයෙන් කරන දෙයක්. හිස් කරනවා කියන්නේ අඩියටම හින්දනවා කියන එක නෙමෙයි. ප්‍රායෝගික සීමාවක් දක්වා ජල මට්ටම අඩු කරනවා කියන එක. එහෙම කරන එකේ කිසිම ආවස්ථික පිරිවැයක් නැහැ. ඒ ඇයි?
ඉහත ජලාශ වල ජලය කියන්නේ විභව ශක්තිය ලෙස ගබඩා කරගෙන තිබෙන විද්‍යුත් ශක්තිය. සැලසුම්සහගත ලෙස ජලාශ හිස් කරද්දී ඒ විභව ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙලා එම විද්‍යුත් ශක්තිය රුපියල් බවට පරිවර්තනය වෙනවා. මෝසම් වැසි වසිද්දී නැවත ජලාශ පුරවා ගන්න පුළුවන්. කලින් ජලාශ හිස් කර තියාගත්තේ නැත්නම් මෝසම් වැසි එක්ක ලැබෙන වතුර නිකම්ම මුහුදට ගලාගෙන යනවා.
ඉහත පරිදි සැලසුම්සහගත ලෙස ජලාශ හිස් කිරීමේ ප්‍රධාන අරමුණ ප්‍රශස්ත ජල කළමනාකරණය මිසක් ආපදා කළමනාකරණය නෙමෙයි. අහසින් වැටී එම එම ජලාශ වල එකතු වන එක් වතුර බිඳුවක් හෝ ජල විදුලිය හැදීම සඳහා ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයැවීම අරමුණ කියා කියන්න පුළුවන්.
යම් හෙයකින් අපේක්ෂිත පරිදි මෝසම් වැසි නොලැබුණොත් වෙන්නේ කුමක්ද? එහෙම වුනොත් ජල විදුලිය හදන එක සීමා වෙනවා. විදුලිය නිපදවීම සඳහා පොසිල ඉන්ධන දහනය කරන්න වෙනවා. ඒ වෙනුවෙන් වැඩි පිරිවැයක් වැය වෙනවා. නමුත් කලින් සැලසුම් කර ජලාශ හිස් කරද්දී හදන සෑම ජල විදුලි ඒකකයකින්ම ඉන්ධන විදුලිය ඒකකයක් ඉතිරි වී තිබෙන නිසා මෝසම් වැසි ආවේ නැතත් කලින් ගත් තීරණයේ ආවස්ථික පිරිවැයක් නැහැ.
ආපදා කළමනාකරණ අරමුණ පෙරදැරිව අන්තිම මොහොතේ හදිසියේ ජලාශ හිස් කරන්න වුනොත් මේ වාසිය ගන්න බැහැ. හිස් කරන වතුර වලින් ජල විදුලිය හදලා ඒ මගින් ඉන්ධන විදුලිය හැදීම සීමා කර ගත හැකි සීමාවක් තිබෙනවා. ඒ සීමාව පැන්නුවොත් වතුර ජල විදුලිය සෑදීම සඳහා ප්‍රයෝජනයට නොගෙන නිකම්ම මූදට යවන්න වෙනවා. ඒ වෙනුවෙන් ආවස්ථික පිරිවැයක් දරන්න වෙනවා. එය ආපදා කළමනාකරණය වෙනුවෙන් ගෙවන්න සිදු වෙන මිලක්. ඒ මිල ගෙවීම මගින් දැන් සිදු වී තිබෙන ආකාරයේ ව්‍යසනයක හානිය අඩු කරගන්න පුළුවන්. නමුත් එය නොමිලේ ලැබෙන දෙයක් නෙමෙයි. ඒ නිසාම, මෙවැන්නක කවුරු හෝ විසින් චේතනාන්විතව ගත යුතු තීරණයක් තිබෙනවා.
වැසි වැටීම තීරණය කරන්නේ ස්වභාව ධර්මය විසින්. එහි හඳුනාගත හැකි රටා තිබෙනවා. නමුත් වැසි වැටෙන ආකාරය පිළිබඳව අපට තිබෙන්නේ අසම්පූර්ණ දැනුමක් නිසා අවිනිශ්චිතතාවය වැඩියි. මේ අවිනිශ්චිතතාවයට සමාන්තරව ජල විදුලි සැපයුමද විචලනය වන නමුත් ඊට අනුරූපව විදුලි ඉල්ලුම විචලනය වන්නේ නැහැ. මේ ඉල්ලුම් සැපයුම් නොගැලපීම තුලනය කරගන්නේ අභිමත පරිදි ඉන්ධන විදුලි ජනනය වෙනස් කිරීම මගින්.
නමුත් ඉහත තත්ත්වය පසුගිය වසර කිහිපය ඇතුළත විශාල ලෙස වෙනස් වී තිබෙනවා. ඒ සූර්ය බල විදුලි ජනනය විශාල ලෙස ඉහළ යාම නිසා. ජල විදුලි ජනනය වගේම සූර්ය බල විදුලි ජනනය තීරණය කරන්නෙත් ස්වභාව ධර්මය විසින්. ඒ නිසා, විදුලි ඉල්ලුම හා සැපයුම තුලනය කිරීම සඳහා කවුරු හෝ පරිපාලකයෙකුට කලින් තිබුණු හැකියාව දැන් ඒ විදිහටම නැහැ. ඒ නිසාම, ආපදා කළමනාකරණ අරමුණ පෙරදැරිව ජලාශ හිස් කරන්න සිදු වුනොත් එහි ආවස්ථික පිරිවැය පෙර කාලයට වඩා වැඩියි.
කලින් තත්ත්වය තුළ වැඩියෙන් ජල විදුලි ඒකකයක් හදද්දී ඉන්ධන විදිහට රුපියල් ඉතිරි වෙනවා. නමුත් සූර්ය බල විදුලිය රුපියල් විදිහට ඉතිරි කරගන්න බැහැ. ඒ නිසා එක්කෝ ජලය නිකම්ම නාස්ති වෙනවා. එහෙම නැත්නම් සූර්ය බලය නිකම්ම නාස්ති වෙනවා. ඔය දෙකෙන් කොයි එක වුනත් එහි ආවස්ථික පිරිවැයක් තිබෙනවා. එතකොට ඉතිරි වෙන ප්‍රශ්නය වන්නේ ආපදා හානියේ අපේක්ෂිත හානිය මගින් ඒ ආවස්ථික පිරිවැය ආවරණය වෙනවාද නැද්ද කියන එකයි. හොඳ ආපදා කළමණාකරණයක් කියා කියන්නේ ඔන්න ඔය තීරණය නිවැරදිව ගන්න එකට.
දැන් අපි පසුගිය සුළි කුණාටුව එක්ක වැටුණු වැස්ස දෙස බලමු. කුණාටුවේ බලපෑම වැඩිපුරම දැකිය හැකි වූයේ නොවැම්බර් 26, 27 හා 28 යන දවස් තුන තුළයි. දකුණු පළාත හැර අනෙකුත් සෑම පළාතකටම මෙන් එම දින තුනෙන් කිසියම් දින දෙකක් තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණා. දළ ඇස්තමේන්තුවක් විදිහට දින තුනක කාලය ඇතුළත දිවයිනට වැටුණු සමස්ත වර්ෂා ජල ප්‍රමාණය ඝන මීටර මිලියන දස දහසක් පමණ වෙන්න පුළුවන්.
රටේ ඕනෑම තැනක එකතු වන වර්ෂා ජලය ඉහත කී ජලාශ වල රඳවා ගන්න බැහැ. එසේ රඳවා ගත හැක්කේ එම ජලාශ වල ජලපෝෂක ප්‍රදේශ වලට වැටෙන වර්ෂා ජලය පමණයි. පහත තිබෙන්නේ ඉහත ප්‍රධාන ජලාශ නවයේ ජල පෝෂක කලාපය පිළිබඳ දළ ඇස්තමේන්තුවක්.
මහවැලි සංකීර්ණයේ ජලපෝෂක ප්‍රදේශය - වර්ග කිලෝමීටර 3,118
කාසල්රී (කැළණි) ජලපෝෂක ප්‍රදේශය - වර්ග කිලෝමීටර 115
මාඋස්සාකැලේ (මස්කෙළිඔය) ජලපෝෂක ප්‍රදේශය - වර්ග කිලෝමීටර 130
සමනලවැව (වලවේ) ජලපෝෂක ප්‍රදේශය - වර්ග කිලෝමීටර 342
එකතුව - වර්ග කිලෝමීටර 3,705
වර්ෂාපතන දත්ත දෙස බැලූ විට ඉහත ජලපෝෂක ප්‍රදේශ වලට අදාළ දින තුනක කාලය තුළ, ප්‍රධාන වශයෙන්ම නොවැම්බර් 26 හා 27 දින වල, මිලි මීටර 500ක පමණවත් වර්ෂාපතනයක් ලැබී ඇති බව පේනවා. මේ අනුව, එම ජලාශ වලට එකතු වූ (පිටාර ගිය ජලයද ඇතුළුව) මුළු ජල ප්‍රමාණය ඝන මීටර මිලියන 1,852ක් පමණ සේ සැලකිය හැකියි. එය එම ජලාශ වල මුළු ධාරිතාව වන ඝන මීටර මිලියන 2,179.61ට ආසන්න අගයක්. මෙම ජලාශ මුළුමනින්ම හිස් කිරීම අපහසු බැවින් ඉහත ජල ප්‍රමාණය රඳවා ගැනීම සඳහා අදාළ ජලාශ හැකි උපරිම මට්ටමින් හිස් කර තබා ගන්නට සිදු වෙනවා. එසේ කළේනම් හානියෙන් සැලකිය යුතු කොටසක් අඩු කර ගත හැකිව තිබුණා.
කෙසේ වුවද, රටේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝ මීටර 65,610ක් බැවින්, රටට වැටුණු සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර 150ක් සේ සැලකුවහොත්, සුළි කුණාටු දින වල වැටුණු මුළු ජල ප්‍රමාණය ඝන මීටර මිලියන 9,842ක් පමණ වෙනවා. ඒ අනුව, උපරිම වශයෙන් ඉහත ජලාශ වල එක්රැස් කර ගත හැකි වන්නේ එම ප්‍රමාණයෙන් 19%ක් පමණයි. එයින් ඔබ්බට පාලනයක් කර ගත හැකි වනුයේ කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා පවත්වාගෙන යනු ලබන ජල සංචිතද හිස් කළේනම් පමණයි. මේ අනුව පෙනී යන්නේ ප්‍රශස්තම ක්‍රියාමාර්ග ගනු ලැබුවද මෙම සුළි කුණාටුවෙන් විශාල හානියක් සිදු විය හැකිව තිබුණු බවයි.
කෙසේ වුවද, මෙවැනි ස්වභාවික ආපදාවක හානිය ඉහළ යන්නේ ආපදාවේ පරිමාණය සමඟ රේඛීයව නොව ඝාතීය ලෙස බව අපට අමතක කළ නොහැකියි. සරලව කිවුවොත්, අඩි දහයක ගංවතුරක හානිය අඩි පහක ගංවතුරක හානිය මෙන් දෙගුණයකට වඩා බොහෝ වැඩියි. ඒ නිසා, වැසි වැටෙන්නට පෙර ජලාශ හිස් කර ගංවතුර යම් තරමකින් හෝ අඩු කර ගත්තේනම් එයින් ආපදාවේ විනාශය අනුපාතිකව කිහිප ගුණයකින් අඩු වෙනවා.
පෙර සූදානම්ව, යම් මට්ටමක් දක්වා ජලාශ හිස් කිරීම මගින් වැටුණු ජල ප්‍රමාණයෙන් 10% පමණ, එනම් ජලය ඝන මීටර මිලියන 1000ක් පමණ රඳවා ගත්තේයැයි අපි හිතමු. මෙලෙස එක්රැස් වනුයේ අහසින් වැටුණු වැහි වතුර වලින් වැඩිම විභව ශක්තියක් ඇති, ඒ නිසාම වැඩිම හානියක් කිරීමේ විභවයක් ඇති ජලයයි. ඒ නිසා, වැටුණු ජලයෙන් 10%ක් පමණ රඳවා ගත්තේනම් වුවද, ඩොලර් බිලියන 6-7ක් ලෙස සඳහන් කරන හානියෙන් 30%-35%ක් පමණවත් අඩු කරගත හැකිව තිබුණු බව මගේ අදහසයි. අපි මෙම ගණන ඩොලර් බිලියන 2ක් සේ සලකමු. ඒ කියන්නේ ආසන්නව රුපියල් බිලියන 600ක පමණ ඉතිරියක්.
නමුත් මෙවැනි තීරණයක් ගැනීමේ ආවස්ථික පිරිවැයක් තිබෙනවා. ඒ විදුලි බලය නොනිපදවා නිකම්ම මුහුදට යවන්නට සිදු වන වතුර ප්‍රමාණයයි. ඇත්ත වශයෙන්ම අපේක්ෂිත පරිදි වැස්ස ලැබුනේනම්, එවැනි ආවස්ථික පිරිවැයක් නැහැ. ආවස්ථික පිරිවැයක් තිබෙන්නේ යම් හෙයකින් අනාවැකිය වැරදී වැස්ස නොලැබුණේනම් පමණයි. එම ආවස්ථික පිරිවැය කොපමණද?
දළ ඇස්තමේන්තුවක් ලෙස ජලය ඝන මීටර මිලියන 1000ක් නිකම්ම මුහුදට යැවීම නිසා ජල විදුලිය ගිගාවොට් පැය 500ක් නිපදවීමේ අවස්ථාව අහිමි වූයේයැයි සිතමු. මෙම අහිමි වූ ජල විදුලි ඒකක ප්‍රමාණය ඉන්ධන දවා නිපදවීම සඳහා ඒකකයකට රුපියල් 30ක අමතර මුදලක් වැය වේයැයි සිතමු. එසේනම්, මෙම තීරණයේ ආවස්ථික පිරිවැය උපරිම වශයෙන් රුපියල් බිලියන 15ක් පමණ විය හැකියි.
දැන් මෙහි තිබෙන්නේ රුපියල් බිලියන 600ක් බේරා ගැනීම සඳහා රුපියල් බිලියන 15ක් වැය කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් මෙහි ඇති ගැටලුව වන්නේ රුපියල් බිලියන 600 බේරෙන්නේ ඇත්තටම හානිය සිදු වුවහොත් පමණක් වීමයි. නමුත් රුපියල් බිලියන 15ක පාඩුව අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඒ නිසා, තීරණය ගන්නා අයෙකුට ඒ පිළිබඳ වගකීම ගන්නට සිදු වෙනවා.
කාලගුණ අනාවැකිය මත පදනම්ව සිදු විය හැකි ආපදාවේ හානිය පිලිබඳව නිවැරදි විනිශ්චයක් කළ යුත්තේ මේ නිසායි. ඒ සඳහා, සුළි කුණාටුවක් ඇති වන බව නිශ්චිතව දැන ගන්න අවශ්‍ය නැහැ. සුළි කුණාටුවක් ඇති වීමේ විභවයක් සහිත අඩු පීඩන තත්ත්වයක් ඇත්තටම සුළි කුණාටුවක් බවට පත් වීමේ සම්භාවිතාව කුමක්ද?
අඩු පීඩන තත්ත්වය සුළි කුණාටුවක් බවට පත් වීමේ අවදානම අවම වශයෙන් 2.5%ක්නම්, ඒ කියන්නේ හතළිහෙන් එකක්නම්, මෙම පැහැදිලි කිරීම සඳහා යොදාගත් සංඛ්‍යා අනුව, හොඳම තීරණය වනුයේ ජලාශ හිස් කිරීමයි. එයින් අනිවාර්යයෙන්ම මූල්‍යමය පාඩුවක් සිදු වෙනවා වගේම බොහෝ විට සුළි කුණාටුව ඇත්තටම එන්නේ නැහැ. නමුත් මේ තීරණය ගැනීමේ වාසිය තේරෙන්නේ කවදා හෝ සුළි කුණාටුවක් ඇත්තටම ආපු දවසටයි. ආපදා කළමණාකරණය කියන්නේ එයටයි.
දැන් ලියන්නට තියෙන්නේ මෙතෙක් ලියූ කොටස කැමැත්තෙන් කියවූ සැලකිය යුතු පිරිසක් කියවන්න අකැමැති විය හැකි කොටසක්. නමුත් ඒ කොටසේ මම පෙන්වා දෙන්නේ පෙන්වා දිය යුතු වැදගත්ම දෙයක්.
වෛද්‍ය විද්‍යාවේ හෝ ඉංජිනේරු විද්‍යාවේ සිට ආර්ථික විද්‍යාව දක්වා විවිධ විෂය පථයන්ට අයත් ආපදා කළමණාකරණ ක්‍රියාවලීන්ට මෙහි සඳහන් මූලධර්ම අදාළයි. අති මූලික කරුණක් ලෙස, ආපදා කළමණාකරණය වෙනුවෙන් මිලක් ගෙවන්නට සිදු වෙනවා. ඒ මිල නොගෙවා හානිය ප්‍රශස්ත මට්ටමකට අඩු කරගන්න බැහැ. රුපියල් බිලියන 600ක පාඩුවක් වලක්වා ගැනීම සඳහා කටයුතු කරද්දී අවස්ථා 40කින් 39කදීම සිදු වන්නේ රුපියල් බිලියන 15ක පාඩුවක් සිදු වීමයි. වාසියක් සිදු වන්නේ එක් අවස්ථාවකදී පමණයි. අවදානමේ ස්වභාවය අනුව මේ සම්භාවිතා වෙනස් වෙන්න පුළුවන්.
පසුගිය කාලයේ බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වූ හෙජිං ගනුදෙනුව වගේම ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවද ප්‍රශස්ත ලෙස අවදානම් කළමනාකරණය කිරීම සඳහා ගත් උත්සාහයන් දෙකක්. හෙජිං ගනුදෙනුව මගින් උත්සාහ ගත්තේ ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමට මුහුණ දීමටයි. ඉන්ධන මිල පහළ යාම නිසා සිදු වූ අලාභයද එහිම ප්‍රතිඵලයක්. ඒ වගේම, ග්‍රීක බැඳුම්කර ආයෝජනයෙන් සිදු වූ පාඩුව සිදු වුනේ සමස්තයක් ලෙස ආයෝජන ප්‍රතිලාභ වැඩි කර ගැනීමේ උත්සාහයක් තුළයි. පාඩු විදින්නට සිදු වීමේ අවදානම නොගෙන ලාබ ලබන්නට හෝ අවදානම් අඩු කරගන්නට බැහැ.
මෙම සුළි කුණාටුවට පෙර, සුළි කුණාටුව ඇති වීමේ සම්භාවිතාව අඩු මට්ටමක පැවතියද, ජලාශ වල වතුර නිදහස් කළේනම් බොහෝ විට එය ප්‍රශස්ත තීරණයක්. නමුත් එසේ කිරීමෙන් පසුව සුළි කුණාටුව පැමිණියේ නැත්නම්, එයින් පාඩුවක් සිදු වෙනවා. වත්මන් සන්දර්භය තුළ එවැනි ක්‍රියාමාර්ගයක් අර්ථදැක්වෙන්නේ වතුර ටික නිකම්ම මුහුදට යවා වැඩි මිලට ඉන්ධන විදුලිය නිපදවීම මගින් අයථා ලෙස මුදල් ඉපැයීමක් ලෙසයි. එවැනි චෝදනාවකට ලක් වීමට අකැමැති නිසා, මේ වගේ අවස්ථාවක ගත යුතු හොඳම තීරණය ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ නැහැ. මෙය හොඳ තත්ත්වයක් නෙමෙයි.
මේ ලිපියේ සඳහන් දළ ඇස්තමේන්තු පිළිබඳ ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් පෙන්වා දෙන්න අවශ්‍ය වන්නේ එම සංඛ්‍යා නෙමෙයි. සංඛ්‍යා වෙනස් වුනා කියා මෙහි පැහැදිලි කරන කරුණු වෙනස් වෙන්නේ නැහැ.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.